Monday, February 5, 2018

රස්තියාදු ගැසීම, කොළ කැඳ, දෙල්, කළුවාමෝදර අවුරුදු උත්සවය, බිරියානි සහ ඩැනිස් ගේ සොමිය.


අපි කොල්ලො කාලෙ වැඩිපුරම රස්තියාදු ගැහුවේ පොඩි මහින්දලගේ කඩේය.   හරියටම කිව්වොත් පොඩි මහින්දලගෙ ගෙදරය.     මුලින් මුලින් ඇල්බීනු මුදලාලිගේ කඩේ ළඟ රස්තියාදු වුනු අපි කණ්ඩායමම පොඩි මහින්ද කඩේ පටන්ගත්තාට පසුව එතැනට සේන්දු වුණේ කඩේටත් වඩා පොඩි මහින්දලගෙ ගෙදර ඉස්සරහ කාමරේ කුලියට අරගෙන පදිංචිවී රෙදි මෝලේ වැඩට ගිය ඩැනිස් නිසාය.   අපට ඒ ගෙදර අපේ ගෙදර වගේ හැසිරෙන්නට ඉඩකඩ තිබුණේ ගෙදර හිටියේ අම්මාත් තාත්තාත් පොඩි මහින්දත් පමණක් නිසාවෙනි.    ඩැනිස්ගේ කාමරයේ කොල්ලන් පිරී නොහිටියේ ඔහු වැඩට ගිය වෙලාවට විතරය.    අපිට වඩා දෙගුණයක් වයස වගේම දරු තුන්දෙනෙක් ඉන්න පවුල් කාරයෙක් උනත් ඩැනිස් එක්ක අපි ඇසුරු කළේ සම වයසේ යාළුවන් වගේය.    අහළ පහළ ගස්වල වැල වරකා ඉදී තිබුණොත් ඒවා බාගෙන කාමරේට ගෙනැත් කෑම, අලවත්තෙන් අන්නාසි කඩාගෙන ඇවිත් කෑම, රෑට හොර කුරුම්බා කඩාගෙන ඇවිත් බීම ආදිය අපි දිනපතාම වගේ කරපු දේවල්ය.    ඩැනිස් උදේට ගෙදර ඉන්න දවස්වල කට්ටිය එකතුවී චූඩා ගේ ගහෙන් දෙල් කඩා තම්බාගෙන කන එක තවත් වැඩකි.    දෙල් තම්බන්නේ ඩැනිස්ය, දෙල් කැඩුවායින් පසුව ඩැනිස් දෙල් පොතු අරින්නේ පිත්තල හැන්දකින් සුරලාය.   සුද්ද කර කෑලි කපාගන්නා දෙල් මුට්ටියේ දමා තම්බා ගත් පසු වතුර පෙරා දිය වේලෙන්නට ඇර පොල් ගෙඩියක් ගා මුට්ටියට දමා කූරු ගා කලවම් කරගන්නා ඩැනිස් කොච්චි ලුණුමිරිසක්ද හදයි.    ඒ විදියට හදන දෙල් හරිම රසය, සමහර දවස්වලට කොළ කැඳ හදයි.    අලවත්තෙන් කොළ ජාති එකතු කරගෙන එන අපි පොල් ගෙඩියකුත් ගල් කරගෙන එන්නට අමතක කරන්නේ නැත.   රතුහාල් ටිකක් ලිප තබා කොළ ටික වනේ කොටා ඉස්ම ගෙන පොල් කිරිද දමා ලොකු මුට්ටියක හදන කොළ කැඳ හැලිය හරිම ප්‍රණීතය.

හැබැයි ඩැනිස් රෑට බීගත්තොත් නම් වනයකි, නිකම් වනයක් නොවැ සාල වනයකි.    ඒ වේලාවට අපි කරන්නේ සිංදු කියන එකය, නැත්නම් ඩැනිස් කියවන්නට පටන් ගනී.    ඔහුගේ කියවිල්ලට අහු උන එකාට බේරීමක් නම් නැත.    ඉස්සර මැරතන් දුවපු කාලේ වෙච්ච දේවල් කියවන්නේ ළඟ ඉන්න එකාගේ ඇඟට ඇන ඇනය.    කියවිල්ල ඉවර වෙද්දී ළඟ හිටපු අහිංසකයාගේ ඉල ඇටවලට පත්තු බඳින්න තරමට කැක්කුමය.   ඒ. නිසා හොඳම දේ සිංදු පටන් ගන්නා එකය, සිංදු කියන්නේද ඩැනිස් මය.    මාතලන් චිත්‍රපටයේ පරණ සිංදු වලින් පටන් ගන්නා බජව්ව ඉවර වෙන්නේ මහ රෑ ජාමයේ ඩැනිස් ගේ වෙරිමත හිඳුනු වෙලාවටය.   ඒ වෙනතෙක් කාටවත් යන්නට අවසර නැත, ගියොත් ගෝරි දමයි.    ඩැනිස් ගේ ගෝරි ගැන මට තව කතාවක් මතක්වේ.    ඒ කතාව මීට කළින් පෝස්ටුවකද මා ලියා ඇති බව මතකය.   කතාව මෙහෙමය.

එක සිංහල අලුත් අවුරුද්දක මම කළුවාමෝදර ඩැනිස්ලගේ ගමට ගියේ ඩැනිස් ගේ ආරාධනයෙනි.    මට අමතරව ගුරාද උගේ යාළුවාවූ මොහොමඩ් ද අවුරුදු කන්නට කළුවාමෝදර ඇවිත් සිටියෝය.   උදේ අවුරුදු කෑමෙන් පසුව අපි අවුරුදු උත්සවය බලන්නට ගියෙමු.    ඩැනිස් අවුරුදු උත්සවයේ ප්‍රධාන සංවිධායකයෙකි.   තරඟ පවත්වා තෑගී බෙදාදී ඉවර වන විට රෑ බෝ විය.   අවුරුදු උත්සවයේ සංවිධායකයෙක් හා ගමේ හොඳ දළකාරයෙක් වූ මහරාජා අවුරුදු උත්සවය සංවිධානය කළ සියල්ලන්ටම බොන්න බෝතල්ද කන්නට බිරියානි ද අලුත්ගමින් ගෙන්නෙව්වේය.    බෝතල් පාටිය ඉවරවුණේ මහ රෑ වෙද්දීය, ඩැනිස් හොඳ පදමටම බීගෙන කියවන්නට පටන්ගෙන සිටි නිසා ගෙදර ගිහිං කන්නට බිරියානි පාර්සල් ටිකද අරගෙන වදෙන් පොරෙන් ඩැනිස්ද කැමති කරවාගෙන ගෙදර එන්නට පිටත් වුණෙමු.     වෙලාව මහ රෑ දොළහත් පහුවී ඇති නිසා හොඳටම බඩගිනිය, මට උවමනා උනේ ඉක්මනට ගෙදර ගිහිං රෑට කන්නටය.    මමත් ඩැනිසුත් ඉස්සරහින් ගිය අතර ගුරාත් මොහොමඩුත් ආවේ අපට පිටුපසිනි.   අපි ගියේ කැලෑ පාරකිනි, පාර අයිනෙන් අකුළෙන් වැසුණු ඇළක් ගලායයි.    ඩැනිස් ලවුස්පීකරයක් දැම්මාසේ ගමටම ඇහෙන්නට කියවමින් එද්දී මම වචනයක් වත් කතා නොකර ගියේ වචනයක් වැරදුණොත් හෙම පුතයාගේ හැටි දන්නා නිසාය.   මගේ නිහඬතාව ගැනද ඩැනිස් සමහර විට කියයි.

මොකද උඹ ගොළුවෙක් වගේ සද්ද නැතුව යන්නෙ? කටේ පිට්ටුද?

ඒ උනාට කතා කරන්නට බැරිය, සමහර විට මම මෙහෙම කිව්වාය කියා සිතමු.

හරි කරුවලයි නේද?

කොක්කක් නැතිව කොක්කක් සොයමින් යන ඩැනිස්ට ඒ හොඳටම ඇතිය.   ඔහු වහාම මට මෙසේ ප්‍රතිචාර දක්වනු ඇත.

ඈ යකෝ, රෑ උනාම කරුවල වෙන්නෙ නැතුව එළිය එනවද? තොපේ ගමේ රෑට එළියද? නිකං බොරු සෝබන දාන්න එනවා මෙතන, ඉඳපිය තොගෙ පුච්චානම් යන්න හොඳ වැඩක් කරන්න!

කියා පුකට පයින් පාරක් දී ඇළට තල්ලු කරන්නටද බැරි නැත.    මම සද්දෙ වහගෙනම ගමන් කළෙමි.    පස්සෙන් එන ගුරා මොහොමඩ් එක්ක රණ්ඩු වෙන්නට පටන් ගත්තේ ඔය අල්ල පනල්ලේ ය.   උන් දෙන්නා බැන ගන්නේ දෙමළෙන් නිසා අපිට උන් කියන මෙලෝ දෙයක් නොතේරේ.     ඩැනිස් හොඳ පරීක්ෂාවෙන් දෙන්නාගේ රණ්ඩුවට කන් දීගෙනම යන්නේ කොච්චර ඇඟ නලියෑවත් රණ්ඩුවට මැදිහත් වෙන්නට භාෂාව නොදන්නාකමට නිසා මිසක උවමනාව නැති නිසා නොවේ.    එකපාරටම චකස් ගා සද්දයක් ඇහුණේ මේ අතරය, සමහර විට ඇළ ඉවුරේ සිටි ගෙම්බෙක් ඇළට පනින්නට ඇත.    වහාම ආපහු හැරුණු ඩැනිස් රණ්ඩු වෙන දෙන්නා ලඟට දිව ගියේ අට්ටාලෙට නැගපු වෙසමුනියා සේ මාරාවේෂයෙනි.

ඈ බොල තෝ යාළුවට ගැහුව නේද? 

අතේ තිබුණු බිරියානි පාර්සලය ඇළට විසිකළ ඩැනිස් ගුරාගේ බෙල්ලෙන් අල්ලාගෙන හොලවයි.    එක පාරටම කඩා වැටුණු මේ හෙණගෙඩිය මොකක්ද කියා අදහා ගන්නටවත් බැරිව ගුරාත් මොහොමඩුත් බීතවී බලා සිටිති.

තෝ දැනගන්, තොගෙ යාළුවා උනාට තෝත් එක්ක ආවට ඌ දැන් ඉන්නෙ මගෙ ගමේ, මගෙ ගෙදර.  යකෝ  මගෙ ගෙදර ඉන්න එකාට ගහන්න තෝ කවුද?

 මට ගෙහුවෙ නෑ අයියෙ! 

මොහොමඩ් වෙවුලමින් කියයි.   ඒ ගමන ඩැනිස් ගුරාව අතහැර මොහොමඩ්ගේ බෙල්ලෙන් අල්ලා ගත්තේය.

ආ! තෝ යාළුවව සුද්ද කරන්න එනවද? මට බොරු කරන්න තොපිට බෑ දැනගනියව්, තොපි දෙන්න නෙවෙයි මේ කළුවාමෝදර එකෙකුටවත් මට පාට් දාන්න බෑ බොලව්, තොපි නටන්නෙ මේ ඩැනිස්ගෙ හැටි දන්නැතුවයි, තොපිත් එක්ක තිබුණු යාළුකම් අදින් ඉවරයි, ආයෙ උඹල නෙවෙයි මේ කළුවාමෝදර එන්නෙ.  ඩැනිස්ගෙ ගෙදරින් බත් කාල ඉවරයි කියල හිතාගනියව්! තොපි නැතුවට මට ඕනෑ තරං යාළුවො එහෙ ඉන්නවා. තොපි වගේ හාල් පාරුවො නෙවෙයි දන්නවද උන් හොඳ කොල්ලො! තව මුංට බුරියානිත් කවන්න හුහ්!

කියූ ඩැනිස් මුලින්ම මොහොමඩ් අතේ තිබුණු බිරියානි පාර්සලයද ඊළඟට ගුරා අතේ තිබ්බ පාර්සලයද උදුරා ඇළට විසිකර ආපහු යන්නට හැරෙන විට දැක්කේ බිරියානි පාර්සලයත් තුරුළු කරගෙන සිටි මාවය.

ආ ! තෝද ?  සද්ද නැතුව ඉන්නකොට මම දැනගෙන හිටිය තෝ යටිකුට්ටුවෙක් කියල.  මුං දෙන්නව කොටෝල හොඳ එකා වගේ ඉන්නව මෙතන. තොට බෑ මාව තම්බන්න ගං ඕකත් මෙහාට !

කියූ ඩැනිස් මගේ අතේ තිබු බිරියානි පාර්සලයද උදුරා ඇළට විසිකළේය.   පාර්සලය මගේ අතේ තිබුණත් ඇලේ තිබුණත් වෙනසක් නැත්තේ හතර දෙනෙකුට එක කෑම පාර්සලයකින් වැඩක් නැති නිසාය.   කෑම ටික ඔක්කොම ඇළට පුජා කළ ඩැනිස් තනියම ආපහු ගෙදර යන්නට හැරුණේ අපට බලු බැණුම් බැන වදිමිනි.

දැන් මම ගෙදර ගිහිං තොපි තුන් දෙනාගෙම ඇඳුම් අල්ලල එළියට විසිකරනවා.  ඕනෑ තැනක පලයව්,  තොපිට  ගැහුවෙ නැත්තෙ ගමට ආපු බල්ලෙකුටවත් මම ගහන්නෙ නැති හිංදා! ඒ වගේ ජරා වැඩ මං කරන්නෙ නෑ, උඹලට තේරුණාද?  ඕනෑ තැනක ගිහිං බුදිය ගනිව් හැබැයි මගෙ ගෙදරට එන්න බෑ!

මහ රෑ කරුවලේ යන්නටත් තැනක් නැති නිසා අපි තුන්දෙනාද ඩැනිස් පස්සෙන් හිමිහිට ගෙදරටම යාගත්තෙමු.    ඩැනිස් ගේ බිරිඳ හෙවත් අක්කා කරුණාවන්ත කාන්තාවකි.   ඇඳුම් පොඩිකරගෙන ඇඟේ මඩ ගාගෙන එන අපි දුටුව ඇය වෙලා තියෙන දේ තේරුම් ගන්නට ඇත.   අක්කා ඩැනිස්ව ඉක්මනට ඇඳට දැම්මාය.  ඇඳට වැටී ටික වෙලාවකින් ඩැනිස් ගොරවන්නට විය.   ඇල් වතුර ටිකක් බීපු අපිද බඩගින්නේම නින්දට ගියෙමු.   

පහුවදා උදේ අපිට ඇහැරුණේ ඩැනිස් ගේ සද්දෙටය.  ඒ වෙනකොට හොඳටම එළිය වැටිලාය.

හා හා නැගිටපල්ල නැගිටපල්ලා! හොඳටම දවල් වුණා ඉන්න බෑ බඩගිනියි, ඉක්මනට මුණ කට හෝදගෙන ලෑස්ති වෙයල්ලා, කොහෙද ඊයෙ රෑට කන්නවත් හම්බුනායැ!

අපි සුදානම් වූ පසු ඩැනිස් අපිවත් වාහනේ දාගෙන අලුත්ගම ටවුමට එක්කරගෙන ගොස් උදේට ජයටම කෑම කන්නට අරං දුන්නේය.   ආපහු ගෙදර ඇවිත් තුන් දෙනාටම ටී ෂර්ට් ද තොප්පිද දුන්නේය.  කළින් දා රෑ වෙච්ච සිද්දිය ගැන ඩැනිස් කීවේ,

අමතක කරල දාපල්ලා, ගමේ වැඩක්නෙ! කියාය.  එදා හවස අපි ආපහු ගමේ ආවේ ඩැනිස් ද එක්කරගෙනය.   

තවත් අවුරුද්දක් විතර රෙදි මෝලේ වැඩකරපු ඩැනිස් රස්සාවෙන් අයින්වී ආපහු ගමට ගිහිං ටුවරිසම් කරන්නට පටන් ගත්තේය.   ඒ ටුවරිසම් හොඳටම නැගලා ගිය කාලය නිසා ඩැනිස් අතේ යහමින් සල්ලි ගැවසෙන්නට විය.   වැඩි කලක් යන්නට පෙර ගාලු පාරේ මුහුද පැත්තට වෙන්නට තිබුණු ඔවුන්ගේ ඉඩමක  ඩැනිස් අලුත් ගෙයක් හදා පවුල පිටින්ම පදිංචියට ගියේය.    තව අලුත් වාහනයක්ද ටුවරිසම් වලට දැම්මේය.  ඒ වන විට ඩැනිස් දරුවන් පස් දෙනෙකුගේ පියෙකි.    මේ කාලය වනවිට මමද රස්සාවට යමින් සිටි නිසා කළින් වගේ ඩැනිස් ගේ සොමිය නිතරම ගන්නට ලැබුණේ නැත.    ඩැනිස් ද අපේ ගමට ආවේ මඟුලක් මරණයක් වැනි අත්‍යාවශ්‍ය කටයුත්තකට පමණය.   ඩැනිස් ගේ ගෙදර කටයුත්තක දී අපිත් නොවරදවාම කළුවාමෝදර ගියෙමු෴

(ලියන්නට හිටියේ වෙන කතාවක් නමුත් ලියැවුණේ අමුතුම කතාවකි.  ඩැනිස් ගේ සොමිය තවදුරටත් ලියන්නට ඇති නිසා තවත් කොටසකට කල් තබමි)

43 comments:

  1. පටන් ගන්න කලියෙන් වියර කරලනේ ..

    ReplyDelete
    Replies
    1. සමහර දවස්වලට එහෙම වෙනවා!

      Delete
  2. https://en.wikipedia.org/wiki/Dennis_the_Menace

    ReplyDelete
  3. හැල අයියල ආයෙමත් සිංහල බ්ලොග් පන ගහල ගන්ටැයි දඟලන්නෙ

    ReplyDelete
    Replies
    1. එහෙමයි අදහස.පණ ගහයිද දන්නෙ නෑ.

      Delete
  4. මදෑ කොලා. හොඳ වැඩේ බොලා තුන්දෙනාවත් උස්සල ඇලට විසික් කලානං.

    ReplyDelete
    Replies
    1. ඇළට විසික් කොරන්න ඉස්සෙල්ල මාරු උනේ ඒකයි.

      Delete
  5. අයියෝ ඩැනිස්!

    ReplyDelete
  6. අපරාදේ හැලපයියේ බිරියානිය.ඇලේ මාළු නම් ජයට කන්න ඇති එදා.දෙල් උයලා,ඌරු මස් එක්කත් නියමෙට මැච් වෙනවා.

    ReplyDelete
    Replies
    1. එදා මාළු හොඳට අවුරුදු කන්න ඇති.

      Delete
  7. පිස්සු හුත්තෙක් ෙන

    ReplyDelete
  8. //ලියන්නට හිටියේ වෙන කතාවක් නමුත් ලියැවුණේ අමුතුම කතාවකි. ඩැනිස් ගේ සොමිය තවදුරටත් ලියන්නට ඇති නිසා තවත් කොටසකට කල් තබමි// ආයි ඕක අද විතරක් වෙච්චි දෙයක් ඇයි.. අනේ බුදු හැලපයියේ.. උඹ මිට පස්සේ කතාව විතරක් ලියල පබිලිස් කොරහන්.. මාතෘකාව අපි දාගන්නම්.. :))

    ඩැනිස් ලොක්ක තාම ඉන්නවද ඒ පැත්තේ.. පරණ සොමි මතක් කරලා ලඟදි සෙට් උනේ එහෙම නැද්ද? :D

    ReplyDelete
    Replies
    1. අද විතරක්..වෙච්ච් දෙයක්....

      Delete
    2. ඩැනිස් ලොක්කට වෙච්ච දේ පස්සෙ කොටසක ලියන්නම්.

      Delete
    3. මෙන්ඩ,
      ඒකනෙ බං, අද විතරක් වෙච්ච දේ බලපංකො.

      Delete
  9. ඔහේ ඉතින් බිරියානි වලට කොහොමත් මනාපයි නොවැ...

    ReplyDelete
    Replies
    1. ඔහේ දෙන බිරියානි වල රස තාම මතකයි.

      Delete
  10. එතකොට මේකේ ඇනෝ ඇවිත් හැමදාම පිස්සු කෙලින්නෙ ඩැනිසද?

    ReplyDelete
    Replies
    1. අන්න හරි, ඌ තමා හැමදාම බීගෙන ඇවිත් පිස්සු කෙලින්නෙ.

      Delete
  11. ඩැනිස්ටනේද බාප්පා බුජු පුතේ කිව්වේ

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් බුජු පුචේ කියල කිව්වේ.

      Delete
  12. සමහර උන් බිව්වාම දෙන ආතල් උන්ට ඊලග දවසේ මතක නෑ .

    හැලපේ අය්යා ලංකාවට ගියාම තාම සෙට් වෙනවා ඇති නේද ?

    ReplyDelete
    Replies
    1. සමහර උන් කිව්වම කලණ අපිත් අයිති වෙනවා.

      Delete
    2. ඔව් ඔව් හැලපේ අය්යේ . අපිත් ඒ කුලකයේ තමයි . හැක් හැක් හැක්

      Delete
  13. තුන් දෙනටම එකතු වෙලා ඩැනිට නෙලලා ඇලට දාන්න තිබුනෙ..වෙරි හිදෙන්න

    ReplyDelete
    Replies
    1. අපොයි එහෙම කොහොමද. ඌ හොඳ එකානෙ.

      Delete
  14. මහින්ද පතිරණලා ගෙන් ඉගෙන ගන්නා සිසුන්ට අබ සරණයි.

    - වෛද්‍ය රුවන් එම් ජයතුංග transyl2014.blogspot.com

    කථිකාචාර්ය මහින්ද පතිරණ මහතා ශ්‍රීලන්කන් ගුවන් සේවය මහින්ද රාජපක්ෂ යුගයේ කළමනාකරණය කළ ආකාරය පිළිබඳව දක්වා ඇති අදහස මුග්ධ මෙන්ම අතිශය හාස්‍යජනකය. පතිරණ මහතා ආශ්‍රයෙන් වෛද්‍ය රුවන් ජයතුංග මහතා ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතිය පිළිබඳව දරන අදහසේ බොහෝ සත්‍යතා ඇති නමුත් විශ්ව විද්‍යාල වර්ගීකරණය මත පදනම්ව කෙරෙන විග්‍රහයේ දී ඔහු මීට වඩා ප්‍රවේසම් විය යුතුව තිබිණි.

    මේ කමෙන්ටුව සඳහා මා පාදක කරගනුයේ www.4icu.org හි දත්තයන්ය.

    ශ්‍රී ලංකාව තුළ විශ්ව විද්‍යාල 16 ක් ඇති අතර ඉන් දේශීය වර්ගීකරණය (island ranking) අතර ප්‍රථම ස්ථානය හිමිකරගන්නේ වසර 1921 දී ආරම්භ කළ කොළඹ විශ්ව විද්‍යාලයයි (University of Colombo). ගෝලීය වර්ගීකරණයේදී (global ranking) එයට 1596 වන ස්ථානය හිමිය. ශ්‍රී ලංකාව තුළ ඇති විශ්ව විද්‍යාල අතරින් දේශීය වර්ගීකරණය යටතේ අවසාන එනම් 16 වන ස්ථානය හිමිකර ගන්නේ වසර 1996 දී ආරම්භ කළ අනුරාධපුරයේ භික්ෂු විශ්ව විද්‍යාලයයි. එය ගෝලීය වර්ගීකරණයේදී 7620 වන ස්ථානය හිමිකර ගනී.

    එසේම අපි වෛද්‍ය රුවන් ජයතුංග මහතාගේ අවධානයට ලක්වූ කථිකාචාර්ය මහින්ද පතිරණ මහතා කුමන විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලැබුවාද යන්න මා නොදන්නා නමුත් දැනට ඔහු සේවය කරන වසර 1995 දී ආරම්භ කරන ලද සබරගමුව විශ්වවිද්‍යාලයට දේශීය සහ ගෝලීය වර්ගීකරණයන් යටතේ ලැබෙන ස්ථානයන් විමසා බලමු. දේශීයව එය විශ්ව විද්‍යාල 16 ක් අතරින් 13 වන ස්ථානය හිමිකරගන්නා අතර ගෝලීයව එයට හිමිවන ස්ථානය වෛද්‍ය රුවන් ජයතුංග මහතා සඳහන් කරන පරිදි 5993 නොව මා පරිශීලනය කළ මූලාශ්‍රය අනුව වඩාත් පහල අගයක් වන 6393 ය.

    වෛද්‍ය ජයතුංග මහතා සඳහන් කරන වසර 1950 දී ආරම්භ කරන ලද ඉතියෝපියාවේ Addis Ababa විශ්ව විද්‍යාලය ඉතියෝපියාවේ ප්‍රථම ස්ථානය හිමිකරගන්නා අතර ගෝලීයව 1837 වන ස්ථානය හිමිකර ගනී. එසේම වෛද්‍ය ජයතුංග මහතා සඳහන් කරන වසර 1922 දී ආරම්භ කළ උගන්ඩාවේ Makerere විශ්ව විද්‍යාලය දේශීයව ප්‍රථම ස්ථානයත් ගෝලීයව 2182 වන ස්ථානයත් හිමිකර ගනී.

    දැන් අපි යුක්රේනයේ විශ්ව විද්‍යාලයන්හි තත්වය විමසා බලමු. එහි විශ්ව විද්‍යාලයන් 171 ක් අතුරින් ප්‍රථම ස්ථානය හිමිකර ගන්නා වසර 1898 දී ආරම්භ කළ National Technical University of Ukraine Kyiv Polytechnic Institute ගෝලීය වර්ගීකරනයේදී 1747 වන ස්ථානය හිමිකර ගනී.

    අවසානයේ මා අවධානය යොමු කරනුයේ වෛද්‍ය ජයතුංග මහතා අධ්‍යාපනය ලද වසර 1922 දී ආරම්භ කරන ලද යුක්රේනයේ Vinnitsa National Medical University දේශීය සහ ගෝලීයව වර්ගීකරණයට ලක්ව ඇති ආකාරය පිලිබඳවය. එම විශ්ව විද්‍යාලය යුක්රේනයේ විශ්ව විද්‍යාලයන් 171 ක් අතුරින් 63 වන ස්ථානය හිමිකර ගන්නා අතර ගෝලීයව එයට හිමි ස්ථානය 6734 ය.

    මෙම සටහනෙහි අරමුණ වෛද්‍ය ජයතුංග මහතා, කිසිදු විශ්ව විද්‍යාලයක් හෝ රටක් අපහාසයට ලක් කිරීම නොව දත්ත එක්රැස් කිරීම, විශ්ලේෂණය, නිගමනයන්ට එළඹීම සහ ඒ මත තර්ක ඉදිරිපත් කිරීම යන කාරණයන් හිදී හැඟුම්බරව කටයුතු කිරීමට වඩා උපායශීලීත්වය අගනා බව තරමක් කටුක ආකාරයෙන් සිහිපත් කරවීමටය.

    අවශ්‍යනම් සංවාදයට එළඹෙමු.

    ReplyDelete
    Replies
    1. මම ඉගන ගන්නා කාලයේ (1986-1993) යූක්‍රයීනයේ විනිට්සා විශ්ව විද්‍යාලය අයත්ව තිබුනේ සෝවියට් දේශයටය​. එකල යූක්‍රයීනයේ විනිට්සා විශ්ව විද්‍යාලය මොස්කව් රාජ්‍ය විශ්ව විද්‍යාලය සමග අනුබද්ධව තිබූ අතර එකල යූක්‍රයීනයේ විනිට්සා විශ්ව විද්‍යාලය ලෝක ශ්‍රේනිගත කිරීමේදී පළවන 500 අතර තිබුනේය​. සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසු විනිට්සා විශ්ව විද්‍යාලයේ සිටි මහාචාර්‍යවරු බොහෝ දෙනෙක් ඇමරිකාවට සහ ඊස්ස්‍රායලයට ගියෝය​. එසේම යූක්‍රයීනය සිවිල් යුද්දයකට පැටලුනි. ඒ නිසා පසුකාලීනව ශ්‍රේනිගත කිරීමේදී පහල වැටුනේය​. මේ හැර මා උසස් අධ්‍යාපනය ලැබූ කැනඩාවේ යෝක්විශ්ව විද්‍යාලය ඇමරිකාවේ වොශ්බර්න් විශ්ව විද්‍යාලය ගැන තොරතුරු ඔබ සඟවන්නේ මන්ද ? කැනඩාවේ යෝක් විශ්ව විද්‍යාලය ඇමරිකාවේ වොශ්බර්න් විශ්ව විද්‍යාලය ලෝක ශ්‍රේනි ගත කිරීමේදී ඉහලින්ම සිටින විශ්ව විද්‍යාල වෙති. (අවශ්‍යනම් සංවාදය Face Book එකේ කරමු ; එවිට ඔබට ඔබගේ නියම අනන්‍යතාවයෙන් එන්නට සිදුවේ. එවැනි නිර්භීත පියවරක් ගැනීමට ඔබට පුලුවන්ද ? )

      Delete
  15. මම ඉගන ගන්නා කාලයේ (1986-1993) යූක්‍රයීනයේ විනිට්සා විශ්ව විද්‍යාලය අයත්ව තිබුනේ සෝවියට් දේශයටය​. එකල යූක්‍රයීනයේ විනිට්සා විශ්ව විද්‍යාලය මොස්කව් රාජ්‍ය විශ්ව විද්‍යාලය සමග අනුබද්ධව තිබූ අතර එකල යූක්‍රයීනයේ විනිට්සා විශ්ව විද්‍යාලය ලෝක ශ්‍රේනිගත කිරීමේදී පළවන 500 අතර තිබුනේය​. සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසු විනිට්සා විශ්ව විද්‍යාලයේ සිටි මහාචාර්‍යවරු බොහෝ දෙනෙක් ඇමරිකාවට සහ ඊස්ස්‍රායලයට ගියෝය​. එසේම යූක්‍රයීනය සිවිල් යුද්දයකට පැටලුනි. ඒ නිසා පසුකාලීනව ශ්‍රේනිගත කිරීමේදී පහල වැටුනේය​. මේ හැර මා උසස් අධ්‍යාපනය ලැබූ කැනඩාවේ යෝක්විශ්ව විද්‍යාලය ඇමරිකාවේ වොශ්බර්න් විශ්ව විද්‍යාලය ගැන තොරතුරු ඔබ සඟවන්නේ මන්ද ? කැනඩාවේ යෝක් විශ්ව විද්‍යාලය ඇමරිකාවේ වොශ්බර්න් විශ්ව විද්‍යාලය ලෝක ශ්‍රේනි ගත කිරීමේදී ඉහලින්ම සිටින විශ්ව විද්‍යාල වෙති. (අවශ්‍යනම් සංවාදය Face Book එකේ කරමු ; එවිට ඔබට ඔබගේ නියම අනන්‍යතාවයෙන් එන්නට සිදුවේ. එවැනි නිර්භීත පියවරක් ගැනීමට ඔබට පුලුවන්ද ? )

    ReplyDelete
  16. ඩැනිස් හරියට චෞඋ එන්ලා‍යි වගේ නේ?

    ReplyDelete
  17. Replies
    1. ටහුඩු තමා තව පොඩ්ඩෙන් කනවා.

      Delete
  18. කෝ ස්වප්නා? අද මාතෘකාවෙනුත් අයිං කරල නෙව...

    ReplyDelete
    Replies
    1. උඹ නොඉවසිල්ලෙන් බලා සිටින ස්වප්නා ඊළඟ පෝස්ටුවෙන් එළියට එනු ඇත.

      Delete

ඔබේ අදහස්