අවසන් නොකළ කතා කීපයකම ඉතුරු හරිය ලියන්නට ඇතත්, ඒවා ලිවීම ඉදිරියට කල්දමා අද කියන්නට යන්නේ වෙනම කතාවකි. මම මීට කලින් ලියූ පෝස්ට් කීපයකම වගේ කෑලි කෑලි ලියා තිබුණත් කතාව හරියටම ලියා ගන්නට බැරිවිය. ඇත්තටම කිව්වොත් කතාවක් මගේ හිතේ තිබුණත්, කතාව ඔබත් සමග බෙදාගන්නට අවශ්‍යයි කියා හිතුණත් කතාව කොහෙන් පටන් ගන්නද, මොන විදියකට කියාගෙන ඉදිරියට යන්නද ආදී කිසිදෙයක් දැනට හිතේ නොතිබුණත් සමහරවිට නීරස එහෙම නැත්නම් බෝරිං වගේ වෙයි කියා හිතුණත් කියන්නට දෙයක් ඇතැයි මම අවංකව සිතන නිසා හිතෙන තැනකින් කතාව පටන් ගෙන කියාගෙන යන්නට සිතා ගත්තෙමි. සුපුරුදු විදියට මේ මීට අවුරුදු බර ගණනකට පෙර කතාවකි. මේ කතාව ලියන්නට උත්තේජනය ලැබුණේ අපේ මිත්‍ර චෙෆාකි කළ යෝජනාවක් නිසා බවද කිව යුතුමය.
සාමාන්‍ය පෙළ විභාගය අවසන් කර ගෙදරට වී රස්තියාදු ගහමින් සිටි කාලයේ, අපේ ඉවරයක් නොවන රස්තියාදු ගැහිල්ල ගැන ගෙවල්වලින් තිබුණේ දැඩි විරෝධයකි. ගෙවල්වලින් කොපමණ විරුද්ධකම් පෑවත් අපේ රස්තියාදුව නවත්වන්නට ගෙදර අයට හැකි වුණේ නැත. ඔය කියන කාලයේ අපි වැඩියෙන්ම ඇබ්බැහි වී සිටියේ චිත්‍රපට බලන්නටය. අපේ ටවුමේ තියෙන සීගිරි හෝල් එකට එන චිත්‍රපට හැම එකම නැත්නම් අඩු තරමින් එන චිත්‍රපට වලින් වැඩි හරියක් බැලුවාය කියන නම්බු නාමය කොල්ලන් අතරේ ලබා ගැනීමට කවුරුත් කැමැත්තක් දැක්වුවෝය.
සිලෝන් තියටර්ස් සමාගමේ චිත්‍රපට පෙන්නන හෝල් එකක් වූ සීගිරි හෝල් එකට ලැබෙන්නේ දෙවැනි වටයේ චිත්‍රපට පෙන්නන්නටය. චිත්‍රපටයක් දාපු දවසේම බලන්නට නම් අලුත්ම චිත්‍රපට පෙන්නන සිලෝන් තියටර්ස් සහ සිනමාස් සමාගම් දෙකේම හෝල් දෙකක් තිබුණු ගම්පහට යන්නට සිදුවේ. සාමාන්‍යයෙන් සිනමාස් සමාගමේ හෝල්වල ඇම්. මස්තාන්, ජේ. සෙල්වරත්නම්, ලෙනින් මොරායස්, නීල් රූපසිංහ වැනි අධ්‍යක්‍ෂ වරුන් විසින් තැනු ඇක්ෂන් හෙවත් ක්‍රියාදාම චිත්‍රපට පෙන්වන අතර සිලෝන් තියටර්ස් සමාගමේ හෝල්වල පෙන්වන්නේ බොහෝදුරට කලාත්මක චිත්‍රපටය. තරුණයන්ගේ මහත් ප්‍රසාදය දිනු ගාමිණි ෆොන්සේකා වැනි නළුවන් පෙනී සිටින ක්‍රියාදාම චිත්‍රපට ආදායම් වාර්තා පිහිටුවමින් බැඳගෙන දුවන අතර කලාත්මක චිත්‍රපට දින කීපයකින් ගැලවී යන්නේ ප්‍රමාණවත් නරඹන්නන් නොමැතිවීම හේතුවෙනි.
නිධානය, තුන්මං හන්දිය, දෑස නිසා වැනි පසුකාලීනව අතිශය සම්භාවනාවට පාත්‍රවූ චිත්‍රපට පවා ප්‍රදර්ශනය ආරම්භ කොට දින කීපයකින් අවාසනාවන්ත ලෙස ගැලවී ගියේ ගාමිණී රඟපාන සුරයා ගණයේ චිත්‍රපට නරඹන්නන් පිරී ඉතිරී ගිය සිනමාහල් වල ප්‍රදර්ශනය වෙද්දීය. චිත්‍රපටයක් ගලවා තවත් එකක් එනතුරු ගතවෙන දින කීපයක කාලය තුළ පෙන්වන්නට ඉංග්‍රීසි, හින්දි හෝ දෙමළ චිත්‍රපට හෝල් වලට ලැබේ. භාෂා භේදයකින් තොරව මේ එන හැම චිත්‍රපටයක්ම පාහේ බලන්නට පුරුදු වී සිටි අපට ඒ හේතුවෙන් සම්භාව්‍ය චිත්‍රපට මෙන්ම කසිකබල් චිත්‍රපටද තොග පිටින් නරඹන්නට ලැබීම වාසනාවක් වුණේ පසුකලෙක හොඳ සහ කබල් චිත්‍රපට මොනවාදැයි වෙන් වශයෙන් තෝරා ගැනීමට එයින් ලැබුණු පිටිවහල නිසාය.
අපේ ටවුමේ තිබුණු හෝල් එකට චිත්‍රපට ලැබෙන්නේ කෝච්චියේය. හැම තැනම තැලී පොඩිවී ඇද හොකර වුනු යකඩ පෙට්ටිවල බහා එන චිත්‍රපටය ඉස්ටේසමේ ප්ලැට්ෆෝම් එකේ පසෙක තබා තිබේ. චිත්‍රපටයේ නම සහ පෙට්ටිය තුළ ඇති රීල් ගණන ලියු කොළයක් පෙට්ටියේ පියනේ අලවා ඇති නිසා ඊළඟට හෝල් එකේ පෙන්වන චිත්‍රපටය කුමක්දැයි අපට කළින්ම දැනගන්නට ලැබේ. හෝල් එකේ වැඩකරන පොඩී මාමා අත් කරත්ත කාරයෙක් අඬගහගෙන ඉස්ටේසමට ගොස් චිත්‍රපටය හෝල් එකට අරගෙන එයි.
සාමාන්‍යයෙන් අපි බලන්නට යන්නේ හයයි තිහේ සෝ එකය. චිත්‍රපටයට ටිකට් දෙන්න පටන් ගන්නේ හයට විතර වුණත් හවස හතර වන විට අපි ටවුමේ පෙනී සිටින්නෙමු. හය වෙනතුරු අහන්න බලන්නට ඕනෑ තරම් දේවල් ටවුමේ ඇත. ටවුමට ගිහිං පළමුවෙන්ම කරන කාරිය වෙන්නේ හෝටලයකට ගොඩවැදී කන එකය. දවල්ට ගෙදරින් හොඳට බත් කා බඩ පුරවාගෙන හිටියත් ගෙදර කෑමට වඩා හෝටලයෙන් කන කඩචෝරු හරිම රසය. අද වන විට හරියකට කෑම වේලක් රසට කන්නට හෝටලයක් අපේ ටවුමේ නැතත් අද වැසී ඇති හෝටල් ගණනාවක් එදා ටවුමේ ක්‍රියාත්මක වී තිබිණි. නම් වශයෙන් කිවහොත් ගාමිණි හෝටලය හෙවත් ගාමිණිය, ලියනගේ හෝටලය හෙවත් ලියනගේ එක, බෙන්තර හෝටලය හෙවත් බෙන්තරේ, ජනහිත හෝටලය හෙවත් ජනහිතේ, ආරියසිංහල හෝටලය හෙවත් බෝ ගහ ළඟ රවුම් කඩේ, සුමනගිරි හෝටලය හෙවත් සුමනගිරිය සහ මුස්ලිම් හෝටලය ඉන් කීපයකි.
අද වන විට අපේ ටවුමේ තිබෙන්නේ මේ හෝටල් අතුරින් ජනහිතේ සහ සුමනගිරිය පමණය. අනික්වා ඔක්කොම වැසී ගිහිල්ලාය. හැමදාම හවසට හොඳ රසට උණු උණුවේ හරක් මස් සුප් එකක් තෙල් පෑදෙන තෙම්පරාදුවක් ද දමා කටට රසට බොන්නට පිළිගන්වන මුස්ලිම් හෝටලයේ සුප් එක සමග උණු රෝස් පාන් ගෙඩියක් කන්නට අප බොහෝ ප්‍රිය කළෙමු. අවුරුදු ගණනාවක් ඒ කෑම කාපු අපි කිසිමකෙනෙක් වඳ වුණේ නැතත් අද මුස්ලිම් හෝටලය ආගිය අතක් නැත්තේ සිංහල ජාතිය සහ ආගම මුස්ලිමුන් ගෙන් බේරාගන්නට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුණ අපේ වීරෝදාර දේශ හිතෛෂීන් නිසාම විය හැකිය. ඒ කාලයේ ටවුමේ තෝස කඩයක් නොතිබුණත් සුරුට්ටු කඩ සහ සිල්ලර කඩ කීපයක්ද විශාල රෙදිපිළි කඩයක්ද දෙමළ ව්‍යාපාරිකයන් විසින් පවත්වාගෙන ගියත් 1983 දී කඩ ටික මංකොල්ල කා පුළුස්සා දැමුවිට කඩවල හිටිය උන් පණ බේරාගෙන පැනගියෝය. ඒ වුනාට අද වන විට තෝසේ කඩ දෙකක්ම ටවුමේ ඇති නිසා වර්තමානයේ සිංහල ජාතියට තර්ජනය ඇතිවී ඇත්තේ දෙමළුන් නිසා නොවැ මුස්ලිමුන් නිසා බව නොවැරදී කටපුරාම කිවහැකිය.
එක තෝසේ කඩයක් තියෙන්නේ ටවුම මැදමය. ශ්‍රී රංගාස් කැෆේ යනුවෙන් නම තබා ඇති ඒ හෝටලයේ මුදලාලි ඇතුළු සේවකයන් සියල්ලම දෙමළ අයයි. තෝසේ කඩේ අපේ ටවුමේ ඉතාම ජනප්‍රිය හෝටලයක් වී ඇතුවාක් සේම කඩේ වැඩකරන අයද ඉතා සතුටින් වැඩ කරගෙන යති. මමත් දවස් කීපයක් මේ හෝටලයෙන් කෑම ගෙනැත් කා ඇත්තෙමි. ඔහොම කද්දී මට තේරුණ දෙයක් වුණේ ඒ සයිවර් කෑමවල රසයේ පොඩි වෙනසක් ඇති බවයි. වෙනස තියෙන්නේ සාමාන්‍ය සයිවර් හෝටලයකට වඩා මේ හෝටලයේ හදන කෑමවල ලුණුරස සහ මිරිස් සැර වැඩි කමයි. සයිවර් උපන් ඉන්දියාවේ පමණක් නොවැ වෙන වෙන රටවලදීත් ඉන්දියන් සයිවර් කෑම රසබලා පුරුදු මට මේ වෙනස හොඳින් දැනුන නිසා වැරද්දක් ඇත්නම් නිවැරදි කරවා ගැනීම යුතුකමක් ලෙස මම සැලකුවෙමි. ඒ නිසා දවසක් උළුඳු වඩේ ගන්නට ගිය වෙලාවක මම මුදලාලිට මේ කතාව කීවෙමි. මුදලාලි සුහදව මා සමග කතාකරමින් කියාසිටියේ මේ වගේ පැමිණිල්ලක් ලැබුණු පළවෙනි දවස කියාය. රටේ නගර දහඅටක ශ්‍රී රංගාස් කැෆේ දහඅටක් ඇතැයි කියූ මුදලාලි ඒ නම් දහඅටම එක දිගට කියාගෙන ගියේය. කෙසේ වුවත් මගේ පැමිණිල්ල ඵල දරා ඇති බව මට තේරුණේ ඊයේ කෑ උළුඳු වඩේ සහ ඒවා කන්නට දුන් අමු මිරිස් චට්නිය සුපුරුදු සයිවර් රසට තිබුණු නිසාය.
මුස්ලිම් හෝටලයෙන් සුප් එක සප්පායම් වී එළියට එන වෙලාව වෙනවිට ටවුම මැද තියෙන තුන්මං හන්දියේ සෙනග පිරී හිඳිති. දැන්නම් හතරමං හන්දියක් වී තිබුණත් එදා එතැන තිබ්බේ තුන්මං හන්දියකි. තුන්මං හන්දිය ගැන මතක් කරන විට මට තවත් කතාවක් මතක්වේ. සපත්තු කඩේ හිමිකරුවා වූ බාරොන් මහත්තයා විනෝදකාමියෙකි. කාට හෝ ලණුවක් දී විනෝද වීම ඔහුගේ සිරිතකි. බාරොන් මහත්තයා ළඟ හිටපු අවුරුදු හතළිස් පහක් පණහක් වයසැති එක ගෝලයෙක් අහිංසකයෙකි. කඩේ වැඩ කරන්නට දැණුමක් තේරුමක් නොතිබුණු ඔහුට පැවරී තිබුණ ප්‍රධාන කාරිය වුණේ දවල්ට ගෙදර ගිහින් බාරොන් මහත්තයාගේ කෑම එක ගෙනැත් දෙන එකය. තුන්මං හන්දියෙන් යන බයිසිකල් ඇතුළු වාහන හන්දියේදී අතින් සංඥා කර ධාවනය වීම ඔහුට ප්‍රශ්නයක් වී තිබිණ. දවසක් මේ ගැන ඔහු බාරොන් මහත්තයාගෙන් ඇසුවිට හන්දියේදී අතින් සිග්නල් දමා යන එක සිරිතක් බව බාරොන් මහත්තයා ඔහුට කීවේ විහිළුවටය. එදා සිට මනුස්සයාද බයිසිකලෙන් හන්දිය පහුකරද්දී අතින් වමට සිග්නල් දමා කෙළින් ඉස්සරහට යන අතර බාරොන් මහත්තයා ඔහු කරන මේ වැඩේ කඩේ කට්ටියද අඬගහගෙන එළියට වී බලා සිටින්නේ බක බක ගා සිනාවෙමිනි. වමට සිග්නල් දමා කෙළින් ඉස්සරහට යන එකාට පස්සෙන් එන රියැදුරන් අම්ම මෝ නැතුව බැන වදින්නේ ඇයි කියා අහිංසකයා ඒ වනවිටත් නොදැන සිටියේය.
මේ වෙලාව වනවිට තුන්මං හන්දිය ළඟ පේමන්ට් එකේ කඩල විකුණන ආච්චි කඩල බේසමත් රැගෙන හන්දියට ඇවිල්ලාය. කළු කඩල හෙවත් කොණ්ඩ කඩල තම්බා ළූණු මිරිස් එකතුකර තෙල්දමා පොල් කෑලි මිශ්‍රකර විකුණන්න ගෙනැත් ඇති කඩල බේසමෙන් හමන සුවඳට කෙනෙකුට කඩල මුලක් නොකා යන්නට හිතුණොත් පුදුමයකි. කඩල පමණක් නොවැ වෙනත් බොහෝ ආහාර ද්‍රව්‍යද පිටරටින් ආනයනය කිරීම තහනම් කර තිබූ සිරිමා බණ්ඩාරනායක මැතිණියගේ පාලන සමයේදී කොණ්ඩ කඩල යනු දුර්ලභ කෑමකි. ඒ වුනාට කඩල ආච්චි කොහෙන් හෝ කඩල ටිකක් අමාරුවෙන් සොයා තම්බාගෙන ඇවිත් විකුණයි. කඩල ටිකට මිරිස් කරලක්ද දමා කැන්ද කොළවල ඔතා විකුණාගන්නට ආච්චි යුහුසුළු වෙද්දී පැය බාගයක්වත් යන්නට පෙර කඩල බේසම හිස්වෙයි. මාස කීපයක් ගතවන විට ආච්චිගේ කඩල වෙළඳාම සම්පූර්ණයෙන් ඇනහිටියේ කඩල සපයා ගන්නට ඇති අපහසුව නිසා වියයුතුය.
සමහර දවස්වල හවසට සයිකල් කාරයෙක් ඇවිත් සයිකලයෙන් වැඩ පෙන්වයි. සයිකලයෙන් වැඩ දාන්නට ගොඩක් ඉඩ උවමනා නිසාවෙන් ඔහු වැඩ දාන්නේ තුන්මං හන්දියේ නොවැ බස් ස්ටෑන්ඩ් එකේය. ඔහුගේ සයිකලය මහා පුදුමාකාර එකකි. එහි රෝද ඉස්සරහටද පස්සටද අතින් සහ පයින් කරකවන ඔහු හිටපු ගමන් සීට් එක උඩ ඔලුවෙන් හිටගෙන අතින් පැඩල් කරකවමින් සයිකලය පැදගෙන යයි. ආයෙම සයිකලයේ දිගාවී ඉස්සරහ රෝදය අතින් කරකවමින් වටයක් යයි. මේ වැඩ බලාගෙන ඉන්නවිට වෙලාව ගතවෙනවා නොදැනේ.
ටවුමේදී හැමදාම පාහේ හමුවන තවත් චරිතයක් නම් බේත් තෙල් වෙළෙන්දන් ය. සමහරු බේත් ගුළි විකුණන අතර සමහරු බේත් තෙල් විකුණති. දවසක් තුන්මං හන්දියේ රාවුතර් ස්ටෝර්ස් ඉස්සරහ කඩල ආච්චිගේ පොට් එකේම ගුළි වෙළෙන්දෙක් දේශනාවක් පවත්වන විට මමත් ආරිත් සෙනග ගොඩේ ඉස්සරහටම වී බලාගෙන සිටියෙමු. සාමාන්‍යයෙන් මේ වෙළෙන්දන් කවුරුත් පාහේ කට වාචාලයන්ය. එදා ගුළි වෙළෙන්දා වික්කේ ඉතා දුර්ලභ මහාර්ඝ වාජීකරණ ගුළි රාජයෙකි. වැඩිහිටියන්ට පමණක් වැදගත් වන මේ දේශනාව පොඩි කොල්ලන් වූ අපි ඉස්සරහට වී කටත් ඇරගෙන අසා සිටීම ඔහුට රිස්සුවේ නැත. මේ ගුලිය දියකර වැලකට දැම්මත් වැල ගහක් වගේ කෙලින්වී උඩට යන බව කී වෙළෙන්දා ගුළියක් පාවිච්චි කර ගෙදර නෝනාගෙන් ලැබෙන සැළකිලි බලාගන්නට කියා කියමින් වටයක් යමින් ගමන ඉස්සරහ උන්න ඉලන්දාරින්ගෙන් " බැඳලද? බැඳලද?" කියා අහගෙන ගියේ සවුත්තුවටය. ගොඩක් දෙනෙක් වෙළෙන්දා ගේ ප්‍රශ්නයෙන් පසු බැස්ස අතර අපේ එක කොල්ලෙක් "ඔව්" කියා කීවේය. ඒ ගමන වෙළෙන්දා ලෑස්ති වුණේ ඌව මඩවන්නටය. ඒ උනාට අපේ ආරි ඒකට ඉඩදුන්නේ නැත. ඌ කෙළින්ම වෙළෙන්දාගෙන් ගේම ඉල්ලුවේය.
" මේ හලෝ, මේක අපේ ටවුම, අපට ඕනැ තැනක අපි ඉන්නවා. තමුසෙ ගුළි බැරිනං ළඟ තියෙන ගුළි දෙක හරි විකුණ ගත්තට අපට කමක් නෑ. හැබැයි අපේ කොල්ලන්ට පාට් දාගෙන එන්න එපා, තේරුණාද?"
හැඩිදැඩියෙකු වූ ආරි ඒ ටික කියපු විදියට වෙළෙන්දා පසු බා ගියේය. ඊට පස්සෙ මිනිහා අනං මනං කතා නොකර ගුළි ටික විකුණා ගන්නට විතරක් උනන්දු විය.
සමහර දාට එතනට එන්නේ බේත් තෙල් කාරයෙකි. බේත් තෙල් කාරයා ළඟ අඩුවැඩිය ගොඩකි. ඉස්සෙල්ලාම බිම කිළුටු රෙද්දක් දිග හැර දමා ඒ මත ඔහුගේ අඩුවැඩිය තබයි. ඇලුමිනියම් තැටියක ඇති ගාම්භීර අඳුරු පැහැති තෙල් මත තැබූ සත්ව ඇට කටු ගොඩකි, මොණර පිල් මිටියකි, අගනා ඖෂධ යැයි කියන වේලුනු ලී කැබලි රැසකි, මැරිච්ච සර්ප ඔළුවකි, ලොකු හා පොඩි කවච කීපයකි, පිත්තල පහනකි, මොනවාදැයි හරියට කියන්නට බැරි තව තව කෑලි ලීපයකි. මෙකී නොකී හැම දෙයක්ම ඔලොගුවෙන් එළියට ගෙන තබන බේත් තෙල් කාරයා වටේට ඒ වනවිටත් නොඉවසිල්ලෙන් වටවී බලා සිටින මිනිස්සු පොදියකි. කිසි කලබලයක් නැතිව තමන්ගේ වෙලාව ගෙන වැඩේට පසුබිම හදා ගන්නා බේත් තෙල් කාරයා ඊළඟට දේශනාව පටන් ගනී.
වෙළෙන්දා ගේ දේශනාව ඒ විදියටම කියන්නට අද මට අමතක වුණත් ඔහු කියන්නේ තමන් ළඟ ඇත්තේ ඉතා අසීරුවෙන් හින්දා ගත් අනර්ඝ බේත් තෙලක් බවය. මේ තෙල් හිඳින්නට ඔහු අවුරුදු ගණනාවක් මහන්සි වී අවශ්‍ය ද්‍රව්‍ය රැස්කර ඇත. මදාරා, සඳුන් දර ආදී සමහර කළමනා ගෙන්වා ගෙන ඇත්තේ හිමාල අඩවියෙනි. බිං කොහොඹ සොයාගෙන ඇත්තේ වැදි රටෙනි. තෙල් හිඳින්නට ගින්දර සොයාගන්නට අපමණ මහන්සියක් දැරූ බව කී අතර නිකම්ම අපේ ගෙවල්වල තියෙන ගින්දරෙන් ගිනිතියන්නට නම් එපමණ මහන්සියකින් සඳුන් දර සොයාගත්තේ කුමකටදැ යි ඇසු බේත් තෙල් කාරයා ගින්දර ඕපපාතිකව හැදුණු තැනකින් ලබාගත යුතු යැයි කියා ඔහු ගින්දර ගත්තේ අකුණක් ගසා ඇවිලෙමින් තිබු කොළ අත්තකින් බව කිවේ බලා සිටි අයගේ නළල රැලි කරවමිනි. එපමණ වියදමක් සහ මහන්සියක් දරා හිඳගත් තෙල් රාජයා ආලේප කළ පමණින් කැඩුණු බිඳුණු ඇටකටු තිබුණා වගේම හාවෙන බවත් ඇට කටු පමණක් නොවැ කැඩුණු ලීයක් පවා මේ තෙල්වලින් තිබුණා වගේ හා කරන්නට හැකි යැයි කීවේය. ශරීරයේ වේදනා කැක්කුම් ඇති තැන්වල ගාන්නට මීට වඩා ප්‍රත්‍යක්ෂ ඖෂධයක් තවත් නැති බව කියූ ඔහු තමන්ට අහම්බෙන් වගේ මේ ටවුමට එන්න හිතුණු එක මිනිස්සුන්ගේ භාග්‍යයක් යැයි වැඩිදුරටත් කීවේය.
දේශනාවේ මේ හරිය වෙනවිට වටේ හිටපු මිනිස්සුන්ගේ කුතුහලය උපරිමයටම නැග ඇති බව ඔවුන් කටත් ඇරගෙන බලා හිඳින විදියෙන් පෙනේ. තෙල් ටික එළියට ගන්නට මේ හොඳම වෙලාව බව වෙළෙන්දා දනී. ඉස්සෙල්ලාම තෙල් කුප්පියක් සල්ලි දී ලබාගන්නේ වෙළෙන්දාගේම තැරව් කාරයෙකි. කතාවත් එක්කම ඉතුරු තෙල් කුප්පි ටික විකුණා ගන්නට බේත් තෙල් කාරයාට වැඩි මහන්සියක් දරන්නට වෙන්නේ නැත. බලාගෙන හිටිය කාන්තාවන් එහෙම මේ මහාර්ඝ තෙල් කුප්පිය මිලදී ගන්නේ තමන් ගන්නේ පාට කරපු පොල්තෙල් යැයි හීනෙකින් වත් හිතා නොවේ. ඇලුමිනියම් තැටියේ අඳුරු පාටට දමා ඇත්තේ පිච්චිච්ච එන්ජින් ඔයිල්ය. හොඳ වෙලාවට බේත් තෙල් කාරයා ඇන්ජින් ඔයිල් විකුණන්නේ නැත. පොල්තෙල් ගෑවාට ඇඟට කිසිම අගුණයක් නැති නිසා බේත් තෙල් කාරයාත් මොන මොනවා හරි කියා කීයක් හරි හම්බ කරගැනීමේත් වරදක් කියන්නටත් බැරිය෴
https://gadyanohothkavi.blogspot.com/2018/05/blog-post_15.html
ReplyDeleteරසවත් අතීතයක්
ReplyDeleteඑසේය.
Delete//ඒ වුනාට අද වන විට තෝසේ කඩ දෙකක්ම ටවුමේ ඇති නිසා වර්තමානයේ සිංහල ජාතියට තර්ජනය ඇතිවී ඇත්තේ දෙමළුන් නිසා නොවැ මුස්ලිමුන් නිසා බව නොවැරදී කටපුරාම කිවහැකිය.//
ReplyDeleteඅන්න......... ඔහේටත් තේරිලා
හපොයි....!
Deleteඔව් බං, තේකොළ වගයක් හම්බුනා හරිම රසයි. ඒ ගමන මම ඔක්කොම ටික කාල දැම්මා.
Delete+++++++=
ReplyDeleteවැට.
Deleteබෝ ගහ යට රවුම් කඩේ , O/L කරල ඉවර වෙලා දවසම ගෙවුවෙ ඕකෙ තමයි.
ReplyDeleteතැපැල් කන්තෝරුව කිට්ටුව තිබ්බ සයිවර් කඩයක් , නම මතක නෑ. වේයන්ගොඩ තමයි ඉස්සර රුපියලකට වැඩිම රටකජු ප්‍රමාණයක් දුන්නෙ. මම අම්මත් එක්ක පොලට එන්නෙ රටකජු කන්නයි , එදාට ඉන්න රිලා නටවන උන් , සර්කස් කාරයො , බොම්බයි මොටයි වෙලෙන්දො බලන්න. පොලේ කරවල විකුණන තැන තමයි මට හිතට අල්ලලම යන්නෙ.
අපි ඉස්සර ගමේ එද්දි සීය වේයන්ගොඩ මිරිස් මෝල පාරෙ බක්කි කරත්තෙ තියන් ඉන්නව අපිව වදුරව එක්ක යන්න.
පස්සෙ කාලෙක 18+ ෆිල්ම් පෙන්නපු මඩුව තිබ්බෙ ඒ මිරිස් මෝල උඩ .
//එදාට ඉන්න රිලා නටවන උන්//
Deleteවෙන රිලව් මොකටද ? උබටම නටලා පෙන්නන්ඩ තිබ්බනේ.....
කම්මලයගෙ අම්මටනං ඒක බලාඉන්න එක හෙන බෝරිං ලු ඒ කාලෙ. මෙකද අනික් හැම වෙලාවෙම නටන රිලවෙක් එක්කනෙ ඒ මනුස්සය ඉන්නෙ. හැක්..
Deleteමට නටන්ඩ ඕනෙ වෙන්නෙ නෑ , මේ ඉන්නෙ මගෙ පැනලගිය රිලා මොටා
Deleteඅප්පට සිරි , කල්ල මරේ , නයත් ඉන්නෙ . දෙන්න ජෝඩු දාල පැනල ගිය දා පටන් ...
Deleteඑල ද බ්‍රා..
Deleteදැන් රවුම් කඩේ නෑ. වෙනස් කරලා ලොකුවට හදලා කුලියට දෙන්න දාල තියෙනව මම දැක්කා. කාර්යාලයකට පමණයි කියලත් බෝඩ් එකේ තිබ්බා.
Deleteඋඹට නයයි රිළවයි දෙන්නාම එකසැරේ හම්බුණා නේද?
ඒ......................කාලෙ සිද්ධ වෙච්චි කතාවක් මෙ.
ReplyDeleteඔව් ඔව් ඒ.........කාලෙම තමා.
Deleteලස්සන අතීතය...
ReplyDeleteඑහෙමයි.
Deleteඅපි ඉපදෙන්ඩත් කලින් ඒවාද කොහේද....
ReplyDeleteවෙන්න ඇති, සූටික්ක කිව්වම ඉතින් සූටීම සූටි සතෙක් නොවැ.
Deleteඑතරම්ම පඳුරුනොතලා තෙල්බෙහෙත් කාරයන් ගැන මතක් කර ලිවීම අගෙයි හැලපේ..මාතාගේ පත්තරේ වැඩි හිට් ගානක් එන්නෙත් ඔහේගේ පෝස්ට් වලට..වැල නොකඩා ලියන්න..අර තෙල් ටිකක් ගාගත්තම වැල් ගස් වෙන නිසාවෙන් ඔහොම යමු...
ReplyDeleteතෙල් වලට වැඩිය අර ‘බැඳලද‘ ගුලියක් ගත්තනං වැඩේ ලේසිවෙයි.
Deleteඔන්න ඔහේ කියපු විදියටම. තව මතක් වෙන හැටියට ලියඤ්ඤ.
Deleteඔහේ විතරක් නෙමෙයි අපි පොඩි කාලෙ මේ ටවුමෙත් ඔය තෙල් බේත් කාරයො, මැජික් කාරයො, බයිසිකල් සර්කස් කාරයො හිටිය. දැන්නං එකෙක්වත් පේන්න නෑ. දැං ඊට වැඩිය ලේසිනේ හිඟාකන එක.
ReplyDeleteසර්කස් බුවාගෙ බයිසිකලේ බ්රේක් ඇත්තෙ නෑ කියල දැක්කෙ නැද්ද?
ඇත්තම තමයි. බ්රේක් නැති කතාව මට ලියන්න මතක නැති උනා.
Delete//ඒ වුනාට අද වන විට තෝසේ කඩ දෙකක්ම ටවුමේ ඇති නිසා වර්තමානයේ සිංහල ජාතියට තර්ජනය ඇතිවී ඇත්තේ දෙමළුන් නිසා නොවැ මුස්ලිමුන් නිසා බව නොවැරදී කටපුරාම කිවහැකිය//
ReplyDeleteමේක ලියන්න ඔහෙට රංගාස් කාරය කීයක් දුන්නද. හැක්..
එක වඩයක් දුන්නනම් වැඩිත් එක්ක...
Deleteතෝසෙ සහ වඩේ පාර්සලයකි.
Deleteලොකුපුතා,
Deleteඑක වඩයක් මදි බං. සෑහෙන්න ලිව්වනෙ.
++++++++++++++++
ReplyDeleteඋගෙත් වැට.
Deleteමේකෙ ස්ටයිල් එක ටිකක් වෙනස්, පොතකට නියමයි. අවුරුදු 100කට විතර පස්සෙ පියසේන නිශ්ශංක ලිව්වා වගේ තියෙයි.
ReplyDelete👍👍👍👍
Deleteවෙනස් කතාවක් නිසා ස්ටයිල් එක වෙනස් වෙන්න ඇති. අවුරුදු 100 කට විතර පස්සෙ බලමු එහෙනං.
Delete/// හොඳ වෙලාවට බේත් තෙල් කාරයා ඇන්ජින් ඔයිල් විකුණන්නේ නැත. පොල්තෙල් ගෑවාට ඇඟට කිසිම අගුණයක් නැති නිසා බේත් තෙල් කාරයාත් මොන මොනවා හරි කියා කීයක් හරි හම්බ කරගැනීමේත් වරදක් කියන්නටත් බැරිය ///
ReplyDeleteඇති යන්තන් එහෙම එකක්වත් තේරුම් අරගත්තා... ;)
උබ තවම ඉන්නවද
Deleteඅපිටත් යමක් තේරෙනව ඉතිං.
Deleteරංගාස් එකේ සාම්බාරුවට අජිනොමොටෝ දානවද මන්දා බං. මටත් ඔය ලුණු වැඩි අවුල දැනුනා..
ReplyDeleteබුරාත් රංගාස් රස බැලුවද? අජිනොමොටෝ දානව ඇති.
Deleteඔය තෙල් බෙහෙත් වෙළඳාම ගැන අපූරු විස්තරයක් තිබ්බ ඩබ්ල්යු.ඒ.සිල්වා මහත්තයගෙ හිඟන කොල්ලා පොතේ...
ReplyDeleteස්තූතියි හැලප....විශිෂ්ඨයි!
හිඟන කොල්ලා එකේ මෙහෙම නෙවෙයි දිග හෑල්ලක් තියෙනවා.
Deleteස්තුතියි රවී!
හෙට එන්නම් බන්...
ReplyDeleteහා හා.
Deleteහවසට චිත්‍රපටි බලනට ආ හැලපේ
ReplyDeleteරසයට හෝටලෙන් කෑමත් ගත්තලු හැලපේ
වයසට තරුණ හින්දම ඒ දින හැලපේ
නිකමට අහන්නේ ගුලියක් ගත්තද හැලපේ...
ජයවේවා!!!
ඒ කාලෙ ගුළි තියා මොකුත් ඕනෑ නෑ.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteහෝල් එකකින් පිලුමක් බලපු කාලයක් මතක නෑ. ටොරන්ට් දෙයියට පින්සිද්ද වෙන්න අහුවෙන හැමදේම බාගෙන බලනවා. කාලයයි තාක්ෂණයයි හැමදේම වෙනස්කරලා. ජිවිත සංකීර්ණ කරලා.
ReplyDeleteඅපටත් එසේමැයි. දැන් අයගෙ ජීවිත එදා වගේ නොවේ ඉතාම සංකීර්ණයි.
Deleteමමත් 1957-1959 කාලේ වෙයන්ගොඩ ඔය කියන සෙව්වේ හිටියා. චිත්‍රපටි ශාලාව සහ තවත් විස්තර කරන සමහර දේවල් ඒ කාලෙත් තිබුණා. ස්ටේෂන් එක පැත්තේ, තමන්ගේ අතේ මැණික්කටුව හරියේ බ්ලේඩ් එකකින් කපා ළේ වැගිරෙන කොට, මොනවාදෝ අද්භූත තෙලක් ගාලා එවලේම ළේ නවත්වන තෙල් බෙහෙත් කාරයෙකුත් හිටියා. ඒ තෙල ඉක්මනින්ම විකිනෙනවා
ReplyDeleteවැඩේ කියන්නෙ දැන් ඒ වෙළෙන්දෝ කවුරුවත් නැති එකනෙ.
Deleteඅපූරුයි හැලපයියේ... රහ කෑමක් කෑවා වගේ
ReplyDeleteස්තුතියි ඩිල්ෂාන්.
Deleteඅපිත් දවසක් කට ඇරං අහගෙන හිටියා ඔය වගේ බේත කාරයෙක් ඉස්සරහ. ඒ ගම්පහ රන්ජන් ලංකා එක ඉස්සරහ. ඒක ඒ කාලෙ සියනෑ එන්ටර්ප්‍රයිසස්.
ReplyDeleteතව හිටියා ප්‍රේමදාස ජනාධිපතිගෙ මූණ තියෙන සර්ප වෙදෙක්, ලී පෙට්ටි සීයක් විතර අරං ඇවිත් උන්නැහැ එක එක සර්පයො හඳුන්වල දෙනව.
තව මතක් උනා කව්බෝයි අයියා...
ඔය සියනෑ එන්ටර්ප්‍රයිස් හදන්න කලින් එතැන තිබුණේ ජයන්ති හෝල් එක උඹට මතකද? ඔව් ඔය සර්පයෝ අරං එන උන් සර්පයි බර ගාණක් පෙට්ටිවල දමන් ඇවිත් සෙනගට පෙන්නනවා නොවැ.
Deleteපළමුව "පවුල් පන්සල" සම්බන්ධව උඹට සුබ පැතුම්!!! එහෙම බ්ලොග් වලින් සමුගන්න එපා "ටික්කා". උඹ මට ලොකු උදව්වක් කළා බ්ලොග් අවකාශයට අලුත් වචන පවා හඳුන්වා දෙන්න. "සිපිපියා" කියන්නේ මම මේ බ්ලොග් අවකාශයට නිර්මාණය කළ කෙටි යෙදුමක්. "සිපිපියා" කියන්නේ සිනුවර පිං (කරණ) පියා කියන එක. ඕක මම මුලින්ම නිර්මාණය කළේ "මල්ලෙ පොල්" වල උඹේ අවසර ඇතුව. උඹ ඒක අනුමත කළා. ඊට පස්සෙ මගෙ නිර්මාණය "ලපිපියා". "සිපිපියා" සම්බන්ධයෙන් උඹේ අනුමැතිය දැකපු පො_නයෙක් මගෙන් ඇහුව "මල්ලෙ පොල්" වලදී එහෙනම් මේ නම අනුමත කරපු "ලන්ඩන් වල ඉන්න, කොට, තට්ට, කළු" එකා "ලපිපියා" ද කියල . මම දුන්නෙ එකම උත්තරයයි. ඒ "ලපිපියා" කියන්නේ කොට තට්ට චාටර් ඉංජිනේරු දවල් තාරකා විද්‍යාඥයට කියල. එතන ඉඳන් "ලපිපියා" කියන්නෙත් සිංහල බ්ලොග් අවකාශයෙ පිළිගත් වචනයක්. ඔය "එයාර් මයිල්" වලට "ලපිපියා" fix උනේ මට උත්තර දෙන්න ගිහිල්ල. ඔය "ලපිපියා" පට්ට කපටි ඌ වගේ උන්ගෙ බ්ලොග් මහන්තත්තකම "එයාර් මයිල් යායෙන්" පෙන්නන්න ගිහින් ඌ කළේ අරුණ පෙරේරා වගේ සුන්දර මිනිස්සුන්ට මේක එපා කරපු එක. මොනවා උනත් මේකෙ වල් අලිය වගේ මාතලන් ඉන්න එක හොඳයි. ඔය "මැවි(ව)සුරු" අහවල් "පියන්ට" වඩා හිත හොඳ කන බොන "ගයිඩෙක්" දාහෙන් සම්පතයි. එහෙම එක්ක tour ගිය tourists ල team එකක් අවුරුදු 5 කින් හරි මෙහෙ එනවා. අන්තිමට අඩු ගානේ ඒ සල්ලි රටට.
ReplyDeleteතෙල් බෙහෙත්කාරයො, සර්කස්කාරයො නම් දැකපු කාලයක් මතක නැහැ. නමුත් නයි සහ රිලවුන් නටවන අහිකුණ්ටකයො, අත බලල සාස්තර කියන අය තවමත් ගාල්ල කොටුව ඇතුලෙ ඉන්නව සංචාරකයො නිසා (පහුගිය මාසෙත් දැක්ක).
ReplyDelete