Monday, December 29, 2014

ක්ලින්ට් ඊස්ට්වූඩ් ආනෝල්ඩ් ස්වාසෙනගර් සහ අල්ලපු ගෙදර කෙල්ල.


 අවුරුද්ද ඉවර වෙන්න ඔන්න මෙන්න කියල මේ අවුරුද්දෙ අවසාන පෝස්ටුව ලියමු.පහුගිය අවුරුද්දෙ පෝස්ට් එකසිය ගාණක් ලියවුනාට මේ අවුරුද්දෙ යන්තං පනහ පැන්නුව විතරයි.එහෙම ලියාගත්ත එකත් ලොකු දෙයක් කියල දැන් හිතෙනවා.ඊට වඩා ලියාගන්න තිබුන නං හොඳයි නමුත් මොනව කරන්නද, ලද දෙයින් සතුටුවෙන්න කියල කතාවකුත් තියෙනවනෙ.ඒ නිසා එහෙම හිතල හිත හදාගන්නව.

අවුරුද්දෙ අවසාන පෝස්ටුව මොනව ගැන ලියන්නද කියල මම කල්පනා කළා.පහුගිය මාසෙ නන්දා මාලිනි ආපු කතාව ලියන්න පටන් ගත්තා,ඒ වුනාට පින්තූරයි, වීඩියෝ ටිකයි තාම ඉල්ල ගන්න බැරිවුනා.මට එදා කැමරාව ගෙනියන්න බැරිවුනා,ඇත්තම කිව්වොත් මම කැමරාව ගෙනිච්චෙ නෑ.ඒ සංගීතෙ ගොඩක් කාලෙකට පස්සෙ පැය දෙක තුනක් එක විදියට ඉඳගෙන බොහොම ආසාවෙන් රස විඳපු ප්‍රසංගයක් වුණා.ඉන්ටිපල් එක වෙලාවෙ ප්‍රසංගයේ පූරක හෙවත් ගීතවල අටුවා ටීකා කියපු අපේ හිතවත් ඉන්දිකගෙ මිත්‍රයා වුන බන්දුල නානායක්කාරවසම් එක්ක මම කතාකලා.ඉන්ටිපල් කියන වචනෙ මම ඇහුවෙ මීට අවුරුදු බර ගානකට ඉස්සෙල්ල එක වෙසක් රැයක මීරිගම මිහිර හෝල් එකේ රෑ දොළහෙ ෂෝ එක බලන්න පෝලිමේ ඉන්නකොටයි.ඒ කාලෙ වෙසක් එකට සෙනග වැඩි නිසා රෑ නවයෙ ෂෝ එකට පස්සෙ තවත් එකක් දැම්මා.ඔන්න අපි පෝලිමේ කට්ට කාගෙන ඉන්නකොට (එතකොටත් නමේ ෂෝ එක දුවනවා)ඉන්ටවල් බෙල් එක ගහපුවම කොල්ලෙක් තව එකෙකුට කතා කරලා අපිවත් පෙරළගෙන ඇතුළට දිව්වා.

වරෙන් වරෙන් යකෝ ඉන්ටිපල් පටන් ගත්තා...

බලපුවම හෝල් එකේ වඩේ විකුණන්න ආපු කොල්ලෙක්.ඒ නං අපි ගෙදර ඉඳල වෙසක් බලන්න ආව දවසක වෙච්ච දෙයක්.ඒ වුනාට මම ඒ කාලෙ වැඩිපුරම ෆිල්ම් බැලුවෙ බෝතලේ අපේ අම්මලගෙ ගමේ ඉන්නකොට මීරිගම ඇවිත්.මීරිගම හෝල් දෙකයි ටවුමෙ එහා කෙරෝලේ මීරිගම සෙන්ට්‍රල් එක ළඟ මිහිර හෝල් එක සහ මෙහා කෙරෝලේ වෙල ගාව පැට්‍රෝල් ෂෙඩ් එක ඉස්සරහ ගාමිණී හෝල් එක.ඒ කාලෙ තිබුණෙත් චිත්‍රපට සමාගම්  දෙකයි මිහිර සිනමාස් එකේ.ගාමිණී සිලෝන් තියටර්ස් එකේ.

අපි හතර දෙනෙක් බයිසිකල් දෙකක නැගල බෝතලේ ඉඳන් මීරිගමට හැතැප්ම හත අටක් මඩම පාරෙ  සයිකල් පදිනවා.ඒ පාරත් නිකං තැනිතලා පාරක් හෙම නෙවෙයි මහ උස කඳු තුන හතරක්ම තියෙනව.ඒ උනාට බහින්නෙ ස්කවුට් කැලේ හරියෙ පුරාණ මීරිගම කන්දෙ විතරයි.ගාමිණී හෝල් එකේ නමේ ෂෝ එක බලල රෑ කඩෙන් තේ බීල වැනිල සුරුට්ටුවකුත් බිබී සයිකල් පැදගෙන බෝතලේට යද්දි මහ රෑ දෙක තුන වෙනවා.

දැන්නං පැට්‍රෝල් ෂෙඩ් එක ඉස්සරහ ගාමිණී හෝල් එක නෑ.ඒ වෙනුවට ගෙදර යන ගමන් කඩයක් තියෙනවා. ඊට එහා පැත්තෙ අරක්කු බාර් එක.ගෙදර යන ගමන් කඩේ අරක්කු නෑ මම දවසක් පවුලගෙ ගෙදර යන ගමන් ගෙදර යන ගමන් කඩේට ගිහිං බෝතලයක් ගන්න බලපුවම ඒකෙ බෝතල් තිබ්බෙ නෑ.ලයිසන් එකක් තාම නෑ කියල සිකුරිටි කොල්ල මගෙත් එක්ක කිව්වා.මිහිර හෝල් එක නං තාම තියෙනව.ඒ හෝල් එකේ අපි ගොඩක් බැලුවෙ ඉංග්‍රීසි චිත්‍රපටි.කව්බෝයි චිත්‍රපටි බර ගාණක් ඒ හෝල් එකේ බලල ඇති.ඒ කාලෙ අපේ වීරයා වුනේ ක්ලින්ට් ඊස්ට්වුඩ්.ඔහු අස්සයා පිටේ යන විදිය,වෙඩි තියන විදිය,සුරුට්ටු බොන විදිය එහෙම අපි හරිම අගය කළා.අපි වැනිලා සුරුට්ටු බොන්න පුරුදු උනෙත් ඔය ක්ලින්ට් ඊස්ට්වුඩ් හින්දනෙ.

දැනට වයස අවුරුදු අසුහතරක් වන ක්ලින්ට් තාමත් කැලිපෝනියාවේ ජීවත් වෙනවා.මම කැලිපෝනියාවේ ඉද්දි ට්‍රයි එකක් දුන්න නං සමහරවිට මුණ ගැහෙන්නත් තිබුණා.කොහෙද මොළේ පහළ වෙද්දි පරක්කු වැඩියි.ඇයි තවත් සුප්‍රසිද්ධ නළුවෙක් වන ආනොල්ඩ් ස්වාසෙනගර් කැලිපෝනියාවේ ආණ්ඩුකාරය.ඔන්න සැරයක් රජා කැලිපෝනියාවට ආපු වෙලේ පිළිගැනීමේ උත්සවයට එන්න කියල ස්වාසෙනගර්ටත් ආරාධනාවක් කළා.ආණ්ඩුකාරයනෙ කියන්ඩම එපැයි.මොන පිස්සුද එනව  තියා පොර ආරාධනාව තඹ සත පහකට ගණන් ගත්තෙ නෑ.

හැබැයි මමනං දවසක්දා ස්වාසෙනගර්ව දැක්ක.ඒ මෙහෙමයි අපි  පන්සලක කටිනෙට සහභාගී වෙන්න යද්දි මග තිබුණ රූපගත කිරීමක ස්වාසෙනගර් හිටිය කියල සෙනෙවිරත්න කිව්වා.

අන්න අන්න ස්වාසෙනගර් දැක්කද?

හැතැප්ම අසුවක විතර වේගෙන් වාහනේ යද්දි සෙනෙවිරත්න කියනවා,මොකෝ නවත්තල ආපහු ගිහිං බලාගන්න කියලයැ අපිත් ඔලුව හොල්ලල නිකං හිටියා.හරියට මහ රෑ එකට දෙකට කතරගම රජ මාවතේ යද්දි ජයකොඩි අපට වල්අලි පෙන්නුව වගේ.දකුණු කැලිපෝනියාවේ ශ්‍රී ලංකා පන්සල් 13 ක් ඒ දවස්වල තිබුණා.ඔය පන්සල් හැම එකකම කටිනෙට අපටත් එන්න කියල ආරාධනා කරනවා.එක පන්සලකට  ගිහිං තව එකකට නොගිහිං හිටියොත් හාමුදුරුවන්ගෙ හිත නරක් වෙනවා.ඒ නිසා තියෙන හැම වැඩක්ම කල්දාල කටිනෙට නොවරදවාම සහභාගී වෙනවා.ඒ දවස්වල කටින පිංකමක් තනියම කරන්න පුළුවන් තරමට පිංකමේ කෙරෙන හැම දෙයක්ම කට පාඩම් වෙලා තිබුණා.

පිංකම ඉවරවෙලා හාමුදුරුවන්ට දානෙත් දීල ගිහියන් වෙන අපි දානෙට ගියාම තමයි වැඩේ තියෙන්නෙ.දිග මේසෙක කෑම තියෙල තියෙනව.මේසෙ පංසලේ එහා කෙළවරේ ඉඳල මෙහා කෙලවරට දිගයි.ඔය මේසෙ මුල ඉඳල අගටම කෑම බාජන තියෙනවා.ඇයි ඉතිං අපි ඇරෙන්න එන හැම දායකයම මොනව හරි කෑම වර්ගයක් අරං එනවනෙ.ඔන්න ඉතිං අපිත් මුලින්ම ඩිස්පෝසබල් ප්ලාස්ටික් පිඟන් අරගෙන පෝලිමේ යනවා.ඉස්සෙල්ලම බත් බේසම්.එක එක ජාතියෙ ඒවා.සුදු බත්,රතු බත්,කහ බත්,එළවලු බත්,දුන්තෙල් බත්,ප්‍රයිඩ් රයිස් ඔය වගේ බත් වර්ග දහයකට වැඩියි.ඊට පස්සෙ පරිප්පු කියමුකො පරිප්පු බාජන විස්සක් විතර අර්තාපල් ගත්තොත් ඒවත් එහෙමයි උයල බැදල තෙල් දාල ආදී වශයෙන් ඊළඟට මාළු ඒවත් එහෙමයි මිරිසට, කිරට, බැදපු මාළු ඒ වගේ බාජන ගොඩයි චිකන්,බෝංචි,කජු,ආදී වශයෙන් බොහොම පරිස්සමෙන් චූට්ට චූට්ටබෙදාගත්තත් මේ වෙනකොට පිඟානේ සෑහෙන ප්‍රමාණයක් පිරිලා.තව මේසෙ බාගයක්වත් දුර ගිහිං නෑ.බොහොම අමාරුවෙන් මේසෙ කොණටම ගිහිං අන්තිමටම රෝ සැලඩ් ටිකයි කට්ලට් එකකුයි පපඩම් කෑලි ටිකකුයි කෑම එකේ උඩින් තියාගත්තම පිඟාන අරං එන අසරණය කවුද කියල කාටවත් හොයන්න බෑ මුණ පේන්නෙ නෑ.

මොන ආකාරයට බෙදාගත්තත් ඔය සෙතේ ඔහොමම වෙනවා.අන්තිමට කිරිපැණි තියා කෙහෙල් ගෙඩියක්වත් කන්න බැරි තරමට උස්මුරුත්තාවටම එනතුරු කෑම කාල.ඉතිං බොහොම අමාරුවෙන් ග්‍රේප්ස් ගෙඩි දෙක තුනක් කාල නිකං ඉන්නවා.යන්න ලෑස්තිවෙලා හාමුදුරුවන්ට වඳින්න ගියාම හාමුදුරුවො කෑම අරං යන්න කියනවා.

අනේ මේ ඔය යන අය ඔක්කොම කෑම අරං යන්න,ඔය කෑම මොකුත් මෙහෙ පංසලේ ඉතුරු කරල යන්න එපා අපරාදෙ අහක යනවා...

කෑම අරං යනව තියා ඒ වෙලාවට කෑම දිහා බලන්නවත් හිතෙන්නෙ නෑ බඩ උස්සගන්නවත් බැරි තරමට තියෙද්දී රෑට තියා තව දෙතුන් වේලකට කෑම ටිකක් කන්න බැරි ගානට හිතෙන්නෙ.ඒත් ඉතිං හාමුදුරුවො තරහ වෙයි කියල කේක් කෑල්ලක් කෙසෙල් ගෙඩියක් ඔතාගන්නවා.

ආ මහත්තය යන්නද හොඳා හොඳා ගෙනියන්න කෑම ටිකක් ගත්තද?

එහෙමයි එහෙමයි අපේ හාංදුරුවනේ ගත්ත මේ තියෙන්නෙ ...

හොඳයි එහෙනං ගිහිං එන්නකො තෙරුවන් සරණයි...

ආපහු එනකොට නං කිසිම කතාවක් නෑ ගෙදරට එනකං කොහෙ ගියාද දන්නෙ නෑ නිදි.අපි හිටිය ල බ්‍රියා හවුසිං එකේ ගෙවල් තිබුනෙ වට රවුමට සහ මැද පොදු තණ පිටියක්.ඒ වගේ රවුමට ගෙවල් සහ තණ පිට්ටනි ගණනාවක් ඒ විශාල නිවාස ක්‍රමයේ තිබුණා.ගෙවල්වල ඔක්කොම අය සහ පොඩි ළමයි ඔය තණ පිටිය තමන්ගෙ විවේකය ගත කරන්නටත් සෙල්ලං කරන්නටත් යොදා ගත්තා.අපේ අල්ලපු ගෙදර හිටියෙ තරුණ ජෝඩුවක්.කොල්ල නිතරම ගෙදර ආවෙ නැති නිසා බෝනික්කියක් වගේ හුරතල් කෙල්ල වැඩ ඇරිල ඇවිත් ගොඩක් වෙලාවට ඔය තණ පිටියෙ පුටුවක වාඩිවෙලා පොඩි උන්ගෙ සෙල්ලං බලමින් මොනා හරි කමින් බොමින් කාලය ගතකළා.

මමත් හවසට පොත් කියවන්න ගේ පිටිපස්සෙ ගහක් යටට යන නිසා අපි එකිනෙකා දැන හඳුනා ගත්තා.දවසක මේ කෙල්ල ගහයටට රෙඩ් වයින් බෝතලයක් ගෙනත් මටත් බොන්න කතාකළා.මමත් නිකං යන්න බැරි නිසා අර්තාපල් චිප්ස් ටිකකුත් බැදගෙන බෝතලේට සහබාගි වුණා.නිතරම ගේ පිටිපස්සෙ ඉන්නව නං අපි මොනව හරි බෙදා හදාගෙන කනවා.දවසක් දා මම ඉඳිආප්පයි පොල් සම්බෝලයි දුන්නම කෙල්ල ගෑරුප්පුවෙන් කන්න උත්සාහ කළා.

ඔය ජාතිය ගෑරුප්පුවෙන් කන්න බෑ පුළුවන් නං අතින් කන්න එතකොටයි රස තියෙන්නෙ...

උත්සාහ කළාට කෙල්ලට අතින් කාගන්න බැරිවුනා.දවසක් කෙල්ල හෙනසි බෝතලයක් අරං ඇවිත් තිබුන නිසා මම මොකද මේ වෙනස කියල ඇහුවා.

අපි දෙන්න අද ඩිවෝස් වෙන්න නඩුව ෆයිල් කළා ඒ සතුටට බොමු...

ඒ මොකද ඔය දෙන්න මේ අද ඊයෙ වෙනකං සතුටින් හිටියනෙ...

හිටිය නං තමා ඒ වුනාට සතුටින් නෙවෙයි, අපි දෙන්න නොගැලපෙන බව අපට තේරිලා ගොඩක් කල්...

මම සිරිතක් වශයෙන් කෙනෙකුගෙ පුද්ගලික දේවල් එයා කියන්නෙ නැතිනං හාර අවුස්සල අහන්නෙ නැති නිසා ඒ ගැන ඊට වඩා දෙයක් ඇහුවෙ නෑ.බෝතලේ ඉවර කරන්න හවුල් උනා.ඊට දවස් කීපෙකට පස්සෙ ඒ ජෝඩුව ගෙදර බඩු අස්  කරගෙන දෙන්න ගමනාන්ත දෙකකට යන්න ගියා.ඒ දවස්වල ගේ පිටිපස්සෙදි මම ගත්ත ඒ කෙල්ලගෙ පිංතූරයක් නං මට ඊයෙ පෙරේද හම්බවුනා.මට මේ කතාව මතක් වුනෙත් ඒ පින්තුරෙ දැකපුවමයි.ඉතිං අමතක වෙයි කියල ලියල තියන්න හිතුවා.

විස්තරේ තාම ඉවර නෑ ඒ වුනාට මගෙ කතාව ඉවර කරන්න ඕනැනෙ.දැන් තියෙන්නෙ කතාව අවසන් කිරීම සහ නව වසරට සුබ පැතීම.ඉතිං 2014 අවුරුද්ද පුරාවටම මගෙ බ්ලොග් එක කියවන්න ආපු සොහොයුරු සොහොයුරියන් සියලු දෙනාටම ලබන්නාවූ 2015 අලුත් අවුරුද්ද සියළුම සිතුම් පැතුම් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වන,බත බුලතින් බව බෝගයෙන් මිළ මුදලින් අඩු නොවන ඉසුරුමත් අවුරුද්දක් වේවායි ඔබේ හිතවත් හැලපයා වන මම ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා.ඒ වගේම අවුරුද්දෙ මුල අපේ මෑණියන්ගෙ අභාවයෙන් වසරක් පිරෙන දානමය පිංකම් කටයුත්ත යෙදිලා තිබෙන නිසා මමත්  ලංකාවට පැමිණෙන්න බලාපොරොත්තු වෙනවා.ආවහම හමුවෙමු.සැමට සුබ නව වසරක් වේවා෴

Sunday, December 21, 2014

ජයාගෙ චීන කොට්ටං ඇට ගොඩ, අට්ටගෙ මහාමේරු පරුවතේ සහ ජනාධිපතිවරණය.


අදට මොකුත් ලියන්න බැරිවෙලා සති කීපයක් වුනා .ලියන්න ලොකුවටම ඕනෑකමකුත් තියෙනව ලියන්න දේවලුත් තියෙනව නමුත් ලියවෙන්නෙ නෑ.කතා හතරක් පහක් ඔලුවෙ තියෙනකොට මොන කතාව ලියන්නද හිතා ගන්න අමාරුයි.එකක් ලියන්න හදනකොට ඒක පරද්දල වෙන එකක් ඉස්සරහට එනවා ආයෙම තව එකක්,ඔය ඔක්කොම පැටලිලා ගුලිවෙලා අවුල්වෙලා අන්තිමට ප්‍රතිඵලේ වෙන්නෙ මොකුත්ම ලියන්න නොහැකිවීමයි.

එකකට එකක් පරදින්නෙ නැතුව ඉස්සරහට එනවා කියපුවම මට එකපාරටම මතක් වුණේ ජයා කොල්ලව, අපි ජයා කිව්වට ඉස්කෝලෙට නම වෙන එකක්.ඉස්කෝලෙ කිව්වෙ ගුණවර්ධන කියල, ජයා  කරෝලිස්ගෙ පුතා මගේ පාසැල් මිත්‍රයා,ගමේ තිබුණු කනිෂ්ට විද්‍යාලයට අපි දෙන්න ආවෙගියේ එකටමයි.ජයා කරපු නැති ගෙදර වැඩ මම ලියල දෙනවා ඒ වෙනුවට ජයා මට ඉස්කෝලෙ ගෙනියන්න ගොම ඇහිඳල දෙනවා කොළ කඩල දෙනව ආදී දඩාවතේ කරන්න තියෙන සෑම සියලු වැඩක්ම කරදෙනවා.දවසක්දා උදේ ඉස්කෝලෙ යද්දී අපි දෙන්නම ගෙනෙන්න කියාපු ඉරටු ලෑස්තිකරගෙන ගිහිං තිබ්බේ නෑ.පාරෙදී ඔය කතාව ජයාට කියාපු ගමන්ම පොඩ්ඩක් ඉන්නකො කියල කියපු ජයා අලවත්තට පැනල විදුලි වේගෙන් පැළ පොල්ගහකට නැග්ගා.නැගල රත් පැහැ ගැනිල වැටෙන්න ඔන්න මෙන්න තිබ්බ නාම්බන් පොල් අත්තක් බිමට ඇදල දාල ඒ වේගෙන්ම බැහැගත්තා.අපි දෙන්නම ඒ පොල් අත්තෙන් ඇතිවෙන්න කොළ ගලවන් ඉරටු සුද්දකරගෙන හොඳ ළමයි වගේ ඉස්කෝලෙට ගියා.

ජයා ගස් නගිනව දැකපු කෙල්ලො කීපදෙනෙක් පංතියේ නෝම්මහත්තයට ගින්න දීල වැඩේට අපි දෙන්නව අහුවුනා.අපි දෙන්නව කෙලින්ම ලොකු මහත්තය ලඟට යවල නඩුත් අහල වේවැල් පාරවල් දෙක දෙක දීල පීරියඩ් එකක් දන ගස්සල තිබ්බා.ගුටි කෑව කියල අපිනං පයිසෙකටවත් ගණන් ගත්තෙ නෑ එදා ආපහු එන ගමනුත් කුරුම්බා කඩාගෙන කෑවා.ඉතිං ඔන්න ඔය ආකාරයට සාර්ථකව ප්‍රාථමික අධ්‍යාපනය ලබපු අපි දෙන්නගෙන් මම හයේ පන්තියට සෙන්ට්‍රල් එකට යද්දි ජයා එහෙමම ගෙදර නැවතිලා තාත්තගෙ කරුමාන්තෙට උදව් කරන්න ගත්තා.

ඊට පස්සෙ අපි දෙන්නගෙ ආශ්‍රය දුරස් වුනා පස්සෙකාලෙක කම්වූ පරිද්දෙන් පෙලවහකුත් කරගත්ත ජයා බිරින්දෑව ගෙදරට එක්කං ආවා.මේ යුවළට නිවුන් දරු සම්පතකුත් ලැබුණා.ජයා විනෝදාංශය වශයෙන් කලේ අලවත්තෙ හාවො එළවපු එකයි.මේ වැඩේටම හරියන්න හදාගත්ත දඩයම් බලු හමුදාවකුත් ජයා සතුව හිටියා.මගෙ අන්නාසි හොරු කතාවෙත් මම ජයා ගැන ලියල ඇති.

එකකට එකක් පරදින්නෙ නැති කතාවත් කියලම ඉන්නංකො.අපේ ගංපළාත්වල ඩොංග ගස් හරියට තියෙනවා.ඩොංග වලට අපි කියන්නෙ චීන කොට්ටං කියලයි.වැඩේ කියන්නෙ අපේ ගං ටිකේ ඇරෙන්න ආයෙම චීන කොට්ටං  තියෙන්නෙ ඔය කළුතර සාවියෙ විතරයි.විශාල ගස්වල හැදෙන චීන කොට්ටං  කියන්නෙ බොහොම රස පළතුරක් හරියට මැංගුස් වගේ හැබැයි ඉදුනම කහපාටයි.බොහොම රස චීන කොට්ටං  හැදෙන පරණ ගස් කීපයක් කොල්ලො අඳුනගෙන තිබුණා.පරණ ගස් කිව්වෙ චීන කොට්ටං  ගෙඩි එන්න එන්නම මිහිරි රසයක් ගන්නෙ ගස් පරණ වෙනකොටයි.ඉතිං චීන කොට්ටං  ඉදෙන කාලෙට ඔය ගස්යට කොල්ලො පොදි කමින් ඉදුණ චීන කොට්ටං  වලු වලට පොලු ගහනවා.ගහ යට කහම කහ පාටට චීන කොට්ටං ලෙලි. කොල්ලො කාල විසිකරන ලෙලියි,රෑ වවුල්ලු කාල බිමට දාපු චීන කොට්ටං ලෙලියි මොකුත් නෑ කහපාට පාවඩයක් අතුරලා වගේ.

චීන කොට්ටං ගෙඩිය දෑතින් තදකරල පලාගෙන මද සුප්පු කරද්දි හරිම රහයි.රහ කොච්චරද කිව්වොත් සුප්පු කරපු ඇටේ කටිං එලියට වීසි කරන්න හිත්දෙන්නෙ නෑ.එහෙමම ගිලල දානවා.හැබැයි ඔය චීන කොට්ටං ඇටේ මැංගුස් ඇටේ වගේ යන්තං රොඩ්ඩ වගේ තියෙන ඇටයක් නෙවෙයි.තරමක් විසාලයි.ඉතිං කෙනෙක් චීන කොට්ටං ගෙඩි පහ හයක් කෑවොත් ඇට විසිහතරක් විසිපහක් නිකම්ම බඩ ඇතුලෙ.රස කර කර චීන කොට්ටං කෑමෙ රඟේ තේරෙන්නෙ පහුවදා බඩ වේලපුවමයි.අනික ඔය චීන කොට්ටං හරි ගිනියමයිලු කියල අපේ අම්මල කියන්නෙ අපි ඉවරයක් නැතුව චීන කොට්ටං පල පලා කද්දියි.

ඉතිං ජයාත් අනික් කොල්ලො වගේම චීනකොට්ටං වාරෙට හැමදාම මදි නොකියන්න චීනකොට්ටං ගිලදැම්මා.ඒ මදිවට ගොරක ගස්වල ඉදිච්ච ගොරක තියෙනව නං ඒවත් අත ඇරියෙ නෑ.ඉතිං ගොරක ඇටයි චීනකොට්ටං ඇටයි මුගේ බඩේ පිරිල කියල වික්කරේ කිව්වා.

ජයා  කොච්චර ගොරකයි චීන කොට්ටනුයි කෑවද කිව්වොත් හොඳටම බඩ වේලුවා.බඩ කකියනවා හැබැයි බඩ යන්නෙ නෑ දවසක්දා මං බලාගෙන හිටියෙ.කොච්චර බඩ රිදෙන්න අරන්ද කිව්වොත් මුගේ කටත් ඇදවෙලා.ඒ වෙලාවට  අලවත්තෙ අකුලක වාඩිවුනාට බඩයන්නෙ නෑ.බඩ ඇතුලෙ වෙන්නෙ මොකද දන්නවද,ඔන්න චීන කොට්ටං ඇට ටික පේලියට එළියට එන්න එනකොට ගොරක ඇට ටිකට තද වෙනවා.හහ් තොපි කොහොමද  මට ඉස්සෙල්ල යන්නෙ?ඉඳපියව් යන හැටි පෙන්නන්ඩ,කියල ගොරක ඇටේ බ්රූස් ගාල පහළට ඇවිත් චීනකොට්ටං ඇට ටික ඕල්ටේක් කරලා හරහට දානවා.ඔන්න ඔක්කොම ඇට ටික හිරවෙනවා.අනේ ජයා වේදනාවට දත් මිටි කනවා කෙඳිරි ගානවා, මොන පිස්සුද.හිරවෙලා තියෙනව මිසක් යන්නෙම නෑ.

ඔහොම දුක් වේදනා විඳල විඳල ඔන්න ඉස්ප්‍රේ මැෂින් එක ඉස්ටාට් කළා වගේ බ්රූස් ගාල ඔක්කොම ගියා.පස්සෙ මම එතනට ගිහිං ඇට කීයක් තියෙනවද කියල ගැනල බැලුව.කීයක් තිබුනද දන්නවද?ඇට එකසිය විසිඅටක් තිබුණා.මූ කොහොම ඇට ගිලිල්ලක් ගිලල ඇද්ද?

වික්කරේ අපිත් එක්ක කිව්වෙ අලවත්තෙ පොල් ගහක් යට ඉඳගෙන කතා කර කර ඉද්දියි.

ඊට පස්සෙ නං ජයා හොඳ පාඩමක් ඉගෙන ගන්න ඇති නේද?

මොන පිස්සුද.ආයෙ පහුවදා ඉඳන් චීන කොට්ටං ගස්වලට පොලු ගගහ ගියෙ.ඌ ඉගෙන ගන්න පාඩං.

වික්කරේගේ කතා කියන්න ගියොත් පන්සිය පනස් ජාතකේට එකක් හරි වැඩි මිසක් අඩු නෑ.දෙන්නෙ ලණුමයි.අපිත් හැමදාම ලණු කනවා ආයෙ අහුවෙන්නෙ නෑ කියල හිතාගෙන හිටියට පහුවදත් ඊට වඩා ලොකු ලණුවක් කනවා.

ඔන්න ඒ කාලෙ අට්ටට ගිටාර් පිස්සුවක් තිබුණා.කණ්ඩායම් සංගීතෙ නැගල ගිය කාලෙනෙ.ඉතිං මුට හැදුන පිස්සුව එසේ මෙසේ එකක් නෙවෙයි.ගිටාර් එකක් අයිති කරගන්නෙ කොහොමද කියල අට්ටා හැමදාම හිතින් දුක් වින්දා.ඔන්න දවසක් හවස්වීගෙන එන වෙලාවක වික්කරේ දෙකක් දාගෙන එහෙම අට්ටලයි මිදුලෙන් යනකොට අට්ටා ඉස්තෝප්පුවෙ බිත්ති කණ්ඩිය උඩ වාඩිවෙලා කකුල් හොල්ල හොල්ල ඉන්නවා.

ආ ළමයො,තව පොඩ්ඩෙන් අමතක වෙනවා මේ ළමය දැක්කහමයි මතක් උනේ.අන්න පොඩි මාම  ගාමිණිය ගාව ඉන්නවා,බඩු මල්ලකුයි තව මොකද්ද වීණාවක් වගේ එකකුත් උස්සගෙන.බලපංකො ඉතිං මං කොහොමද මේ ඔක්කොම උස්සං ගෙදර යන්නෙ.කෝ මේ ළමෙක්වත් නෑනෙ කියල කිව්වා.

ගිටාර් එකක්ද වික්‍රමසේන මාමෙ?

අට්ටා පැනල ඇහුවා.

වෙන්න ඇති මං ඕවයෙ නම් දන්නවැයි,ආං ගාමිණිය ළඟ ඉන්නවා...

කියාගෙන වික්කරේ යන්න ගියා.

ඇයි ඉතිං ඔයා උදව් කළේ නැත්තෙ කියල අහන්නවත් සිහියක් අට්ටට තිබුනෙ නෑ.බිත්ති කන්ඩියෙන් පැනපු පාර කඟවේනා වගේ එක හුස්මට ටවුමටම දිව්වා.ගාමිණිය ලඟට ගියාම එතන හිටපු මාමෙක් නෑ.අට්ටා ටිකක් වෙලා බලං ඉඳල මොනවද කාපු රිළව වගේ හැති හල හලා ආපහු ආවා. ඊළඟ සතියෙ ලොකු මාම නුවර ඉඳන් ඇවිත් බඩුත් අරං එන්න බැරුව රජවත්තෙ කනත්ත ළඟ ඉන්නව කියල අට්ට ගිහිං වරුවක්ම කනත්තෙ රස්තියාදු වෙලා ආවා.

වික්කරේගේ වැඩ ඔහොමයි.ඔය මනුස්සය මටත් අනන්තවත් ලණු දීල තියෙනවා.ඒ කතා ටික ටික වෙන වෙලාවක ලියන්න ඕනෑ.

අට්ටා ගැන ලියපු එකේ තවත් කතාවක් තියෙනව ඒකත් කියලම ඉන්නං.අට්ටගේ පවුලෙ දහදෙනයි.අට්ට වැඩුමලා,ඌට බාල සහෝදර සහෝදරියො නම දෙනෙක් හිටියා.දවසක්දා අට්ට කරපු දඟ වැඩකට තාත්තා අට්ටව ඉස්තෝප්පුවෙ දණගස්සල තිබ්බා.අපි කොල්ලො කට්ටිය එවෙලෙ අට්ටලගෙ මිදුලෙ සෙල්ලං කර කර හිටියෙ.අට්ට ඉස්තෝප්පුවෙ දණගහගෙන ඉද්දි ඔන්න අට්ටලගෙ ආච්චිඅම්ම අට්ටලගෙ ගෙදරට ආවහම ඉස්තෝප්පුවෙ දණගහගෙන ඉන්න අට්ටව දැක්කා.

ඇයි පුතේ උඹ දඟ කරන්නෙ,අම්මල තාත්තලට කරදර කරන්නෙ,ටිකක් හිතල බලපන්.උඹ දඟ කරල හරියනවද .මහාමේරු පරුවතේ උඹේ ඔලුව උඩ නේද මගේ පුතේ...

ආච්චිඅම්මා වෙවුල වෙවුලා කියනකොට අට්ටට බය හිතුණා.ඔලුව අතගාල බලපු අට්ටා මහා හයියෙන් අඬන්න ගත්තා.

කාලයක්ම ජයා දකින්න හිටියේ නැතුවම මම හිතංහිටියෙ ජයා පවුලගෙ ගමේ ගිහිං කියලයි,එත් ජයා මළා කියල පස්සෙ ආරංචි වුණා.ජයාට වෙච්ච දේ ගැන මම ආරංචි කරලා බැලුවෙ ඊටත් කාලෙකට පස්සෙයි.බොහොම අමාරුවෙන් හොයා ගත්ත තොරතුරු අනුව දවසම අව්වෙ වැඩකරල මහන්සිවෙලා ආපු ජයා එහෙම්මම සීතල වතුර නාල තියෙනවා.ක්ෂණිකව හැදුණු හෘදයාබාධයකින් ඔහුගෙ ජීවිතය නැතිවෙලා.

ජයාගෙ මරණෙන් පස්සෙ දරු දෙන්නව නැන්ද මාම ළඟ දාපු ජයාගෙ පවුල ආපහු ගෙදර යන්න ගියා,දරු දෙන්නා කරෝලිස්ගෙයි පවුලගෙයි ළඟ සැපසේ නැතත් බඩගින්නෙ ඉන්නෙ නැතුව හැදුණා වැඩුනා.ඉස්කෝලෙ ඉවරකලායින් පස්සෙ මේ කොල්ලො දෙන්න ජීවත්වෙන්න නොයෙක් දේ කළා.දෙන්නම පවුල් වුණායින් පස්සෙ ආර්ථික අහේනිය තදින්ම දැනුනා. 

තව දිගට ලියන්න කම්මැලියි කම්මැලියි වගේ හිතෙන නිසා තව කොටසකට යමු.මේ දවස්වල නැගල යන්නෙ දේශපාලන කතානෙ.මම දේශපාලනේ නොවන ඡන්දෙ ගැන ටිකක් ලිව්වා.මැතිවරණ රාජකාරි ගැන එහෙම,ඒකෙත් තව ටිකක් ලියන්නට තියෙනව.මට නං මේ සැරේ මැතිවරණ රාජකාරි නෑනෙ.ගෞරවනීයව වැඩ කටයුතු ටික අහවර කරගන්න ලැබේවා කියල රාජකාරියට යන අයට සුබ පතනවා.දේශපාලකයො ඡන්ද පොළට ආවට පුටුවෙන් නැගිටින්න අවශ්‍ය නෑ.ඉන්න විදියටම වාඩිවෙලා ඉඳන් දේශපාලකයටත් වාඩිවෙන්න කියල කතාබහ කරන්න.මෙහෙම ලිව්වෙ පහුගිය ඡන්දවල මම දැකපු පින්තුරවල දේශපාලකයො ඡන්ද පොළට ආපු වෙලාවට ජ්‍යෙෂ්ට ඡන්ද ස්ථානාධිපතිවරු නැගිටල බොහොම බයාදුවෙන් ඇඹරි ඇඹරි ඉන්න හැටි මම දැකපු නිසයි.එතකොට මටනං  නොහිතෙන දෙයක් නෑ,විළි ලැජ්ජයි.

ඒත් එක්කම රාජකාරියට ගියාම ලැබෙන කෑම බීම ගැන ගොඩක් ප්‍රවේශම් වෙන්න ඕනෑ.පහුගිය ඡන්ද තුන හතරකදිම මම දැක්ක දෙයක් තේ දෙන වෙලාවට කවදාවත් ඔය කෑම කොමිටිවල ඉන්න උදවිය තේ එකක් කෝපි එකක් හදවල දෙන්න කරදර වෙන්නෙ නෑ.තොග පිටිං ගත්තු මයිලෝ පැකට් පැය විසිහතරෙම ලෝබ නැතුව බෙදල දෙනවා.බොහොම වෙලාවට ඔය මයිලෝ පැකට් නිසි උෂ්ණත්වයේ ගබඩා කර නොතිබීම නිසා බොන අයට බඩේ අමාරු හැදෙනවා.ඒ නිසා ඒ ගැන විශේෂයෙන්ම පරිස්සම් වෙන්න.දුන්න පලියට බොන්න එපා මමනං ඔය වෙලාවටයි අවේලාවටයි හැම තිස්සෙම දුන්න මයිලෝ පැකට් බීවෙම නෑ.හොඳම දේ ලඟපාත කඩේකින් තේ එකක් බොන එකයි.

මෙදා සැරේ ගනින එකනං මහ ඡන්දෙක වගේ කරදර නෑ දෙගොඩ ගහපුවම වැඩේ ඉවරයි.මනාප ගනින්න නෑනෙ.ඒ නිසා අලුයම එක දෙක වෙද්දි ගණන් කිරීම අවසන් වේවි.මහ ඡන්දෙදි නං වැඩේ ඇදුනොත් දෙතුන් සැරේ ගනිනකල් ඉන්නත් වෙනවා.ගනින අය කොච්චර දවල් වෙනකං හිටියත් කෑම සපයන නෝනල මහත්තුරු නං එළිවෙද්දී ඒ ගොල්ලන්ගෙ කඩේ වහල දාල යන්න යනවා.එතකොට දවල් වෙනතුරු වැඩට ඉතුරුවෙන අයට ඉතිං ඇල්වතුරවත් නෑ.එසේ නොවී එළඹෙන  ජනාධිපතිවරණය මැතිවරණ රාජකාරිවල යෙදෙන සියළුම රජයේ නිලධාරීන්ට සුබම සුබ ජනාධිපතිවරණයක් වේවායි ඉතසිතින්ම සුබ පතනවා෴

Saturday, December 6, 2014

අසූ දෙකේ ඡන්දෙ ග්‍රාමසේවක සහ ග්‍රාමනිලධාරීයා


අපේ රටේ ඉස් ඉස්සෙල්ලම ජනාධිපති තේරීමේ ඡන්දයක් හෙවත් ජනාධිපතිවරණයක් පැවැත්වුවේ 1982 දීයි.හැබැයි ඒ වෙනකොටත් රටේ විධායක බලැති ජනාධිපතිවරයෙක් හිටියා.නමුත් ඔහු පත්වුණේ ජනාධිපතිවරණයකින් නොවෙයි.ඒක වුණේ මෙහෙමයි,ජේ ආර් ජයවර්ධන මහතා 1977 දී ලබාගත් ඓතිහාසික ජයග්‍රහණයෙන් පස්සෙ 1978 දි අලුත් ව්‍යවස්ථාවක් සම්මත කරගත්තා.නව ව්‍යවස්ථාවට අනුව රටේ නායකයා විධායක බලතල සහිත ජනාධිපති වරයා නිසා අගමැති ජේ ආර් ජයවර්ධන විධායක බලතල සහිත අතිගරු ජනාධිපති උතුමාණන් වහන්සේ (ඒ දවස්වල කියන්න කියල තිබ්බේ එහෙමයි)වශයෙන් ජනාධිපති පුටුවෙ වාඩිවුනා.ඉතිං ඒ නිසා රටේ පැවැත්වුන පළවෙනි ජනාධිපතිවරණය පැවැත්වුනේ 1982 අවුරුද්දෙදියි.

ඔය ජනාධිපතිවරණයට එදා තරඟ කළ හයදෙනා  අතරින් අද ජීවතුන් අතර ඉන්නෙ වාසුදේව නානායක්කාර මහතා පමණයි.මෙදා සැරේ නං දැනටම දහඅට දෙනෙක්ද කොහෙද ඇප තියල තියෙනව කියල මම දැක්කා, අට වෙනිදා වෙද්දී කී දෙනෙක් වේවිද දන්නෙ නෑ.කොහොම උනත් මෙදා සැරේ ඡන්ද කොළේ අර ඉස්සර අපේ ගෙවල්වල වී තම්බල වනාපු මාගල වගේ වේවි කියලනං මට බුදු ෂුවර් එකක් තියෙනවා.

ඉතිං ඔය ජනාධිපතිවරණය කාලෙදිත් මම රජයේ සේවෙ හිටියත් ඒ සැරේ මට ඡන්දපොළ රාජකාරි තිබුනෙ නෑ සහ රස්සාවට ගියපු අලුත නිසා ඒ ගැන එච්චර තේරුමකුත් තිබුනෙ නෑ.නමුත් ඒ ඡන්දෙදි ඡන්දපොලටම සම්බන්ධ වෙනම රාජකාරියක් මට පැවරිලා තිබුණා.ඒ කතාව මම වෙනම ලියන්නං.ඡන්දෙට යු ඇන් පී එකේ අපේක්ෂකයා වුණේ ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතාමයි.ඡන්දෙට කලින්ම එතුමා තමන්ගෙ ප්‍රධානතම ප්‍රතිවාදියා වෙන්න හිටපු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියට විරුද්ධව ප්‍රජා අශක්නුතා කොමිසම කියල එකක් ගෙනත් මැතිණියගේ ප්‍රජා අයිතීන් අහෝසි කරල ඡන්ද බලය නැතිකරල ඡන්දෙට ඉල්ලන්න නුසුදුසු තත්ත්වයට පත්කරල දැම්මා.

ඒ හේතුවත් තවත් අභ්‍යන්තර හේතුනුත් මීළඟ ජනාධිපති ඡන්දෙට අපේක්ෂකයා විය යුත්තේ කවුරුද කියන ප්‍රශ්නයත් හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පුපුරලා දෙකඩ වුනා. ඒ අනුව දහ පහළොස් වතාවක් රාජ්‍ය නායකයා හැටියට වැඩ බලා ඇති පක්ෂයේ නියෝජ්‍ය නායක මැදවච්චිය පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සේනානායක මහතා අනුර බණ්ඩාරනායක මහතා සහ තවත් ඉදිරිපෙළ නායකයන් කීපදෙනෙක් සමග ශ්‍රී ල නි ප(මෛත්‍රී  පිල )පිහිටුවාගෙන පක්ෂයේ බලය අල්ලාගන්න සුදානම් වුනා.මැතිණිය,කොබ්බෑකඩුව මහතා,ටී බී ඉලංගරත්න මහතා,විජය කුමාරතුංගයන් ආදී අය ඊට විරුද්ධව සටනට පැමිණියා.

පක්ෂයේ බලය ඇල්ලීමේ සටන මහ සද්දෙන් පටන් ගත්තා.වහසි බස් රණ්ඩු ආදියෙන් නොඅඩු සටන පොලිසි උසාවි ආදී තැන්වලත් රඟ දැක්වුනා.ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව මේ සටන දෙස සිනා මුහුණින් බලා සිටියා පමණක් නොවෙයි සටන වැඩි දියුණු කරගන්නට හැකි හැම උපකාරයක්ම කළා.අවසානයේ හෙක්ටර් කොබ්බෑකඩුව මහතා ශ්‍රී ල නි ප ජනාධිපති අපේක්ෂකයා වශයෙන් පත්වුන විට මෛත්‍රී පිල නොනිල වශයෙන් ජේ ආර් ජයවර්ධන මහතාට සහයෝගය දැක්වුවා.සහයෝගය දැක්වීමේ කූටප්‍රාප්තිය වුණේ 1983 පැවති කුප්‍රකට ජනමත විචාරනයේදී මෛත්‍රීපාල සේනානායක මහතා එක්සත් ජාතික පක්ෂ වේදිකාවට නැගීමයි.

මෛත්‍රීපාල සිරිසේන මහතා දේශපාලකයෙක් ලෙස මඩු බැසීම සිදුවුනේ මෙන්න මේ ජනාධිපතිවරණ වකවානුවෙදීයි.මෛත්‍රීපාල සේනානායක මහතා පක්ෂය හැරගිය පසු කොබ්බෑකඩුව කණ්ඩායමට මෛත්‍රීපාල කෙනෙකුගේ අවශ්‍යතාව ඉතා තදින් දැනෙන්නට වුන විට එවකට මන්ත්‍රීවරයෙක්වත් නොව ආසන සංවිධායක වරයෙක් පමණක්ව සිටි පොළොන්නරුවේ මෛත්‍රීපාල සිරිසේන තරුණ දේශපාලකයා ඔවුන් විසින් වේදිකාවට නැංවුයේ මෛත්‍රීපාල සේනානායක නම් ජ්‍යෙෂ්ට දේශපාලනඥයාගේ අඩුව පිරවීමටයි.ඔවුන් විසින් ඒ දිනවල ප්‍රසිද්ධ කළ ජනාධිපතිවරණ රැළි පෝස්ටර් මට මතකයි.රැස්වීම අමතන කථිකයන්ගේ නම් පෙළ සඳහන් කර තිබුනේ,

හෙක්ටර් කොබ්බෑකඩුව 
ටී බී ඉලංගරත්න 
විජය කුමාරණතුංග 
මෛත්‍රීපාල සිරිසේන

ආදී වශයෙන් මෛත්‍රීපාල කියල ලොකුවට දාල සිරිසේන කෑල්ල කුඩාවට දානවා.

ඡන්ද පෝස්ටර් ගැන කියද්දි එම ජනාධිපතිවරණයටම තරඟ කළ අපේක්ෂකයෙක් වූ රෝහණ විජේවීර එක් වේදිකාවකදී උපහාසාත්මකව කළ කතාවක් මට මතකයි.

"මම නුවරඑළියේ රැස්වීමකට යද්දි පෝස්ටර් වගයක් දැක්ක,මේවැයි  තියෙන්නෙ ගාමිණි,මාලනී,ජෝ,ජේ ආර්,දෙනවක හාමිනේ කියල.මං බැලුව අලුත් චිත්‍රපටයක්වත් ඇවිල්ලද කියල, නෑ බලපුවම යු ඇන් පී රැස්වීමක්. ජයවර්ධන මහත්තය පහළට වැටිල තියෙන තරම කිව්වොත් දැන් ගාමිණි මාලනී නැතුව ඡන්ද රැස්වීමක්වත් තියාගන්න බැරුව තියෙන්නෙ."

1982 ජනාධිපතිවරණය ජයගත් ජේ ආර් ජයවර්ධන මහතා විධායක ජනාධිපති ලෙස නැවත වරක් පත්වුණා.ඡන්දෙන් දවස් දෙක තුනකට පස්සෙ එක නිවාඩු දවසක මම ගෙදර ඉද්දි රොසලින් අපේ ගෙදර ආවා.රොසලින් කියල කිව්වෙ බී රෝඩ් එකේ තනියම ජීවත්වෙන වැඩිමහලු කාන්තාවක්.ඇයට තරමක් නුහුගුණේ තිබුණා.සතියකට දෙකකට සැරයක් අපේ ගෙදර,එතකොට මායක්කලගේ ගෙදර ඇවිත් දවස දෙක ඉඳල යනඑක ඇගේ සිරිතක්.රොසලින්ව බයිට් එකට ගන්න පුළුවන් නිසා ඇය යන එන එක ගැන අපේ අකමැත්තක් තිබුනෙත් නෑ.එදා මම කුස්සියට යද්දි රොසලින් අපේ අම්මත් එක්ක බර කතාවක්.

කාටද රොසලින් ඡන්දෙ දැම්මෙ?

මම රොසලින්ගෙන් ඇහුවා.

මම ඡන්දෙ දැම්මෙ යතුරට...

රොසලින් කියපුවම මම උඩගියා,යතුර කියන්නෙ සමසමාජ පක්ෂයේ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මහතා ඡන්දය ඉල්ලපු ලකුණ.සාමාන්‍යයෙන් අපේ පළාත්වල සමසමාජ පක්ෂයට හෝ කොල්වින් ආර් ද සිල්වා මහතාට ඡන්ද පදනමක් නෑ.බොහෝ දෙනෙක් කොල්වින් ආර් ද සිල්වා මහතා හෝ ඔහුගෙ ලකුණ ගැන කිසි දෙයක් දන්නෙත් නෑ.එහෙම තියෙද්දී රොසලින් යතුරට ඡන්දෙ දැම්ම කියපුවම පුදුමයක් ඇතිවෙන එක සාධාරණයි.

මොකක් මොකක් රොසලින්,යතුර කාගෙද කියල දන්නවද?

මම ඕව දන්න එකක් නෑ මහත්තයො,මගෙ ගෙයි යතුර නැතිවෙලා ඒකවත් හම්බවෙයිද බලන්නයි මම යතුරට ඡන්දෙ දැම්මෙ...

රොසලින් එක්ක ඡන්දෙ ගැන කතා කරන්න ගිහිං උඹටත් අංගොඩ තමා නවතින්න වෙන්නෙ...

අපේ අම්ම කිව්වා,පැලෙන්න එන හිනාව තදකරගෙන මම කුස්සියෙන් එළියට බැස්සා.

ඉතිං ආයෙම අසුදෙකේ ඡන්දෙට ආවොත් ඔය ඡන්දෙදි අපේ ගමේ ඉස්කෝලෙ තිබ්බ ඡන්දපොළ අයිතිව තිබුන ග්‍රාමසේවක වුනේ බෝගහවත්තේ නිස්සංක රාළහාමි. දැන් නං ග්‍රාම නිලධාරී නොවැ.ඒ කාලෙ කිව්වෙ ග්‍රාම සේවක කියලයි.නිල නම එහෙම උනාට කවුරුවත් එහෙම කිව්වෙ නෑ ග්‍රාමසේවක රාළහාමි හරි රාළහාමි හරි කියල කටපුරා කිව්වා.ග්‍රාමසේවක කියපුවම මට කතාවක් මතක් උනා.ඔන්න දවසක් පොඩි පේමෙයි,ආනන්දයි ග්‍රාමසේවකගෙන් චරිත සහතිකයක් ගන්න ගියාලු.ඔෆිස් එක තිබුනෙත් ගෙදරමයි.ගෙදර බොහොම වස බල්ලෙක් ඉන්න නිසා මේ දෙන්න එකපාරට ගෙදරට නොගිහිං වැට ළඟ ඉඳන් හයියෙන් කතාකළා.

ග්‍රාමසේවක ඉන්නවද?

ම්ම්හ් සද්දක් නෑ.

ග්‍රාමසේවක ඉන්නවද දන්නෙ නෑ නේද?

මුන් දෙන්න හයියෙන් කතාකරනකොට ගේ ඇතුලෙ ඉඳන් ගෑනුකෙනෙක් ඉස්සරහට ඇවිත්...

මොකක්...

නෑ මේ ග්‍රාමසේවක ඉන්නවද කියල බැලුවෙ,චරිත සහතිකයක් ලියෝගන්න...

චරිත සහතික ඉල්ලන්න කලින් කතාකරන්න ඉගෙනගෙන වරෙව්,කතා කරන්න දන්නෙ නැති අවලම්මු,තව චරිත සහතිකත් ඉල්ලන්න එනවා...

පුපුරා හැලුන ඒ ගෑනු කෙනා මුන් දෙන්නව එළවගෙන,එදා උන් දෙන්න රාළහාමි නොකිව්වෙ නොදන්න කමටද නැත්නං අර ගෑනු කෙනා කිව්වා වගේ අවලං කමටද කියල මම ඇහුවෙ නං නෑ.

ඔය මැතිවරණ රාජකාරිවලට යද්දි පත්වීම එන කොලේම උපදෙස්ද  සඳහන් වෙනවා.ඒ උපදෙස් අතර ඡන්ද පොළේදී කෑම බීම වෙනුවෙන් ග්‍රාම නිලධාරී වරයාට ගෙවිය යුතු මුදල් ප්‍රමාණයද දක්වා තිබෙනවා,මෙන්න මේ විදියට...

උදෑසන ආහාර වේලක් සඳහා           රු........
දිවා/රාත්‍රී ආහාර වේලක් සඳහා         රු........
කිරි තේ එකක්                               රු........

කෑම බීම ගෙදරින් නොගෙනෙන ග්‍රාම නිලධාරී වරයාගෙන් කෑම ලබාගන්නා සියළුම නිලධාරීන්ගේ කෑම බිල කවුරු හෝ කනිෂ්ට ඡන්ද ස්ථානාධිපතිවරයෙක් විසින් සියලු දෙනාගෙන්ම එකතුකර ග්‍රාම නිලධාරියාට ලබා දෙනවා.ග්‍රාම නිලධාරින්ගේ ආහාර සැපයීමත් පුද්ගලයාගේ ආකල්පය අනුව වෙනස් වෙනවා.නගරබද ග්‍රාම නිලධාරියෙක් නම් අවශ්‍ය කෑම පාර්සල් ප්‍රමාණය ගණන් බලා හෝටලයකින් හෝ කෑම සැපයීම කරන කාන්තාවකට ඇණවුම ලබාදී හෝ සපයා දෙනවා.නමුත් ගම්බද ග්‍රාම නිලධාරීන් මීට වෙනස්. ඔවුන් රසට ආහාර පිසින කාන්තාවන් ලවා විශේෂයෙන් කෑම පිළියෙළ කරවනවා.මම ඉස්සෙල්ල කියපු අපේ ග්‍රාම සේවක නිස්සංක රාළහාමිත් ඒ විදියයි.අසුදෙකේ ඡන්දෙ වෙලාවෙ මම ඡන්ද පොළේ වෙනම රාජකාරියක් කළා කියල කිව්වනෙ.ඉතිං උදේට මගේ කෑම වේල ගෙදරින් ඒවා තිබුණා.කෑම ටික කන්න කෑම කාමරයට ගියාමයි ඡන්දෙට ආපු නිලධාරීන්ට නිස්සංක රාළහාමි කෑම සපයා තිබුන ආකාරය මම දැක්කෙ.මේස දෙකතුනක් එකට අල්ලල දිග මේසයක් හදල සුදු රෙදි එලල හරියට මඟුල් මේසයක් වගේ.ඒ මේසෙ නැති කෑමක් නෑ.එතන තියාගෙන මම ඉඳිආප්ප ටික කන්න ලෑස්ති වෙද්දි නිස්සංක රාළහාමි එතෙන්ට ඇවිත්...

මොකටද ගෙදරින් කෑම ගෙන්නගත්තෙ,මෙහෙ ඇතිවෙන්න කෑම ලෑස්තිකරල තියෙනවනෙ...

කියල කිව්වා,ඒ නිසාම මම දවල්ට කෑම ඒ මේසෙන්ම සප්පායම් වුණා.පස්සෙ කාලෙකදි ඡන්ද රාජකාරිවලට ගියාම  ග්‍රාම නිලධාරියා දෙන මෙලෝ යකෙකුට කන්න බැරි නීරස කෑම පාර්සලේ කනකොට නිස්සංක රාළහාමිගේ කෑම මේසෙ මට මතක්වෙන්නෙ නිරායාසයෙන්මයි.

කන්න කෑම තියා බොන්න ඇල්වතුර ටිකක් වත් නොලැබුන ඡන්දත් අපි කරලා තියෙනවා.ඒ අසූ ගණන්වල මුල්ම පළාත් සභා ඡන්දෙ,ජේ වී පිය මුල ඉඳන්ම ඔය ඡන්දෙට කචල් දැම්මා.මුලින්ම ඡන්දෙ දාන්න එන එකාට මරණය ආදී වශයෙන් පෝස්ටර් හිටං ගහල තියෙද්දී ඡන්ද රාජකාරිවලට නම් කරපු නිලධාරීන් අසනීපයි කියල මග අරිද්දි තරුණ රාජ්‍ය සේවකයො වෙච්ච අපි අභියෝගෙ බාරගන්නත් එක්ක ඡන්දෙට ගියා. ඒක ඡන්දයක් නෙවෙයි යුද්දයක්.

දැන් නං පෝස්ටුව ලිව්ව ඇති ඇති කියල හිතෙනවා.ඡන්දෙට ගිහිං යුද්දයක් කරපු හැටි ඊළඟ සැරේ ලියන්නං.මේ ටිකේ මොන මොනා හරි ලියන්නත් එපායැ නැත්නං බොලා ලියපිය ලියපිය කියල තර්ජනේ කරනවනෙ.ඉතිං අදට මේ ඇති නේද ෴

Saturday, November 29, 2014

ඡන්දෙ සහ ලැම්බෝගිනි






ආයෙම ඡන්දයක් ඇවිත්.අපි මොනව ලිව්වත් වැඩක් නෑ හිට් වෙන්නෙ නෑ.ලබන ජනවාරි පහුවෙනකල් කියවන අයට අපි ලියන වැල්වටාරං අල්ලල යන්නෙ නෑ.මේ කාලෙ මාතලන් ඇතුළු දේශපාලනය ගැන ලියන සෙට් එකේ කාලෙ.ඉතිං ඒ අයට ලියන්න ඇරල අපි අයිනක් අල්ලගෙන ඒ ගොල්ල ලියන ඒවා කියවමින් සතුටින් මේ කාලෙ ගත කරමු.

මට නං ලියන්න තියෙන්නෙ දේශපාලනය නොවන ඡන්ද කෙරුවාව ගැනයි.කාටත් තේරෙන විදියට කිව්වොත් මැතිවරණ රාජකාරි.මේ ගැන වතාවක් රාජ් ලියල තිබුණා.දේශපාලකයො මාසයක් දෙකක් දඟලන දැඟලිල්ලෙ අවසාන ප්‍රතිපලය ලබාදෙන්නෙ දවස් දෙකතුනක් නිදිමරාගෙන මහන්සි වෙන දහස් ගණනක අහිංසක රජයේ සේවකයන් කණ්ඩායමක් විසිනුයි.මැතිවරණ රාජකාරි සඳහා සුදුසුකම් ලබා ඇති සියළුම රජයේ සේවකයින් ඒ සඳහා අයැදුම් කිරීම අනිවාර්යයි.කම්මැලිකමට ඉල්ලන්නෙ නැතුව ඉඳල අහුවුනොත් එහෙම දඬුවම්.ඒ වුනාට ඉල්ලන්නෙ නැතිව කම්මැලිකමට මග අරින අය ඕනෑ තරම් ඉන්නවා.ආයතන ප්‍රධානියා මේ අයව පාවල දුන්නෙ නැත්නං අහුවෙන්නෙ නෑ.රාජකාරි ඉල්ලුවෙ කවුද නැත්තෙ කවුද කියල හොය හොයා ඉන්න ආයතන ප්‍රධානියාට වෙලාවක් තියෙයියැ.ඒ නිසා කවුරුවත් අහුවෙන්නෙ නං නෑ.

හැබැයි මමනං මැතිවරණ රාජකාරි උවමනාවෙන්ම මග ඇරල නෑ,චේන්ජ් එකටත් එක්ක ඩියුටි යනවා.හැබැයි ඉතිං ජොලිය වගේම කට්ටකුත් තියෙනවා.ඡන්දෙට කලින්දා පෙට්ටිත් අරගෙන පොලිස් ආරක්ෂාවත් ඇතුව ඡන්ද පොලට එක්ක යන්නෙ හරියට රාජ්‍ය අමුත්තො වගේ.වැඩේ ඉවරවුනාම නං තියෙන තත්වෙ ගැන කියන්ඩත් කණගාටුයි.ලංකාවෙ ඡන්ද ගණනාවක මැතිවරණ රාජකාරි කරල තිබ්බත් ඔක්කොම කියන්න ගියොත් දිග වැඩිවන නිසා මම අන්තිමටම කරපු ඡන්ද දෙකේ අත්දැකීම් කීපයක් කියන්නං.

එකක් 2010 තිබ්බ ජනාධිපතිවරණය.ඒ කියන්නෙ රජුට එරෙහිව ජනරාල් තරඟය,ඒ වෙලාවෙ මට ලැබුනෙ දෙහිවල ආසනයේ ගල්කිස්සට ආසන්නව තිබුණ ඡන්ද පොලක්.මේ ඡන්ද පොළ පිහිටා තිබුනෙ ළදරු පාසල් ගොඩනැගිල්ලකයි.ඡන්ද පොළක් ප්‍රියමනාප වෙන්න  ඒ ඡන්ද පොළ අයිති ග්‍රාම නිලධාරියා ඉතාම  වැදගත් සාධකයක් වෙනවා.මොකද අපි ඒ ස්ථානයට පැමිණි මොහොතේ පටන් ඡන්ද පෙට්ටි වහල ආපසු පිටත්වෙන මොහොත දක්වා පැමිණ සිටින නිලධාරී කණ්ඩායමට අවශ්‍ය සියළුම පහසුකම් සලසා දීමේ භාරදූර වගකීම ග්‍රාම නිලධාරිවරයා සතු රාජකාරියක් වන නිසාවෙන් ග්‍රාම නිලධාරීවරයා මිත්‍රශීලී කාරුණික කෙනෙක් නම් කවුරුත් සතුටුවෙනවා.

නමුත් මේ ඡන්ද පොළ අයිති ග්‍රාම නිලධාරිවරයා මට දකින්නට ලැබුනේ අපි ගිය දවසෙ රාත්‍රියෙත් ඡන්ද විමසීම දවසෙ හවස ග්‍රාම නිලධාරියාගේ රාජකාරිය පිළිබඳව ජ්‍යෙෂ්ට ඡන්ද ස්ථානාධිපති විසින් ලියාදෙනු  ලබන වාර්තාව අරගෙන යන්නට ආපු අවස්ථාවෙත් පමණයි.ග්‍රාම නිලධාරියාට තවත් ඡන්ද පොළවල් දෙකක් හෝ තුනක් බාරව තිබුන නිසා අපේ ඡන්ද පොලට ඔහුගෙ සහායකයෙක් වන තරුණයෙක් පූර්ණකාලීනව පත්කර තිබුණා.ඒ තරුණයත් වරදක් නෑ අපි කියපු දේවල් ඔක්කොම කරදුන්නා සහ ඉල්ලපු දේවල් ඔක්කොම ලබාදුන්නා.

ඡන්ද පොළක රාත්‍රිය ගතකිරීම සෑහෙන බියජනක ව්‍යායාමයක්.බියජනක කියන්නෙ මේ හොර හතුරන්ගෙන්වත් ත්‍රස්තවාදීන්ගෙන්වත් ඇතිවෙන තර්ජන ගැන නොවෙයි.හතර වටේම හමුදා සහ පොලිස් ආරක්ෂාව තරකරලා තියෙන නිසා ඒ ගැන කිසිම බයක් නෑ.නමුත් කිසිම හමුදාවකට මෙල්ල කරන්නට බැරි මදුරු හමුදාවෙන් කිසිම කෙනෙකුට ගැලවීමක් නෑ.විශේෂයෙන් නගරබද සහ කොළඹට කිට්ටුව මෙවැනි තැන්වල රාත්‍රියට තියෙන මදුරු කරදරය වචනවලින් විස්තර කරන්නට අමාරුයි.චන්ද පොළවල්වල මම අනන්තවත් රාත්‍රිය ගතකරලා තිබ්බත් මදුරු කරදරේ නැතිව නිදාගන්න ලැබුනෙ එකම එක ඡන්ද පොළකදියි.ඒ අනූහතරෙ මහ ඡන්දෙදි රාජකාරි කරන්නට ලැබුණු වැලිපැන්නෙ ගම්බද ඉස්කෝලෙක. රෑට කෑම කාල ඩෙස්ක් දෙක තුනක් ලංකරගෙන ඇලවුනා මතකයි.ඉස්කෝලෙ කොට බිත්ති උඩින් දෙපැත්තෙන්ම හමන පිරිසිදු සීත සුළං පහස ලබමින් මළා වගේ එලිවෙනකල්ම නින්ද ගියා.ග්‍රාම නිලධාරියා උදේ තේ ගෙනත් කතාකරනකොටයි ඇහැරුනේ.

ඉතිං කොහොමහරි ඒ දීර්ඝ රාත්‍රිය මදුරුවොත් සමග ගෙවාදාල උදෙන්ම සුදානම්  වෙලා හත වෙද්දි ඡන්දය ආරම්භ කළා.ඡන්දපොළක් බාරව කටයුතු කරනකොට අනුන්ගෙ ඡන්ද සෑහෙන්න දාන්න සිද්ද වෙනවා.ඒ කියන්නෙ අතපය වාරු නැති,ඇස් පෙනෙන්නෙ නැති,අසනීප කාරයො වත්තං කරගෙන ඡන්ද පොළට ගෙනාපුවම බාර අරගෙන ඔවුන්ගෙ ඡන්දය දාල ආපහු ගෙනියන්න බාරදෙන්න ඕනෑ.එතකොට ඡන්දෙ පාවිච්චි කරන්න දන්නෙ නැති අය ඕනෑතරම් එනව ඒ අයගෙ ඡන්දය දාන්න ඕනෑ.සමහරුන්ගෙ අතට ඡන්ද කොළේ දුන්නම ඒක අතට අරං උඩබිම බලනව මොනව කරන්නද දන්නෙ නෑ.ඒ අයට කතාකරල බය ඇරල කියල දෙන්න ඕනෑ.එහෙමත් බැරිනං ඒ අයගෙන් අහල කියන ලකුණට ඡන්දෙ දාන්න ඕනෑ.ඔය වගේ වැඩ ගොඩයි.සාමාන්‍යයෙන් අපට උපදෙස් දෙන්නෙ වෙන කෙනෙකුගෙ ඡන්දයක් ලකුණු කරද්දි ඡන්ද පොලේ කනිෂ්ට ඡන්ද ස්ථානාධිපතිටත් ලඟට කතාකරල ඡන්දය ලකුණු කරන්නයි.එහෙම සාක්කියක් ළඟ තියාගන්නෙ සැකය නිසා ඡන්දදායකයන්ගෙන් පසුව එල්ලවෙන්න පුළුවන් අභියෝග මගහරවා ගන්නයි.මමනං තනියම ඡන්දය ලකුණු කරන්න යන්නෙම නෑ හැම තිස්සෙම කනිෂ්ට ඡන්ද ස්ථානාධිපතිවරයට  ලඟට කතාකරල අදාළ ඡන්දය ඔහු හෝ ඇයත් ඉදිරිපිට ලකුණු කරනවා.මොකද මැතිවරණ රාජකාරිවලදී කිසිදිනක රජයේ සේවකයන්ට වංචා ගැන චෝදනා එල්ලවෙලා නැහැ.ඒ ගෞරවනීය තත්ත්වය අපි හැමදාම පවත්වා ගත යුතු නිසා.

ඉතිං ඔය විදියට මම අනුන්ගෙ ඡන්ද දමමින් එක සීරුවට වැඩෙහි යෙදිලා ඉන්න අතරතුරේ එක්තරා කාන්තාවක් කොළෙත් අරගෙන ඡන්දය ලකුණු කරන කුටියට ආවා.ඇවිත් වටපිට බලද්දි මම ටිකක් විමසිලිමත් වුණා.මගෙ දිහා බලපු ඇය සිනාමුසු මුහුණින් මට කතාකළාම මමත් එතනට ගියා.ඇය බර්ගර් ජාතික කාන්තාවක් බව මට පෙනුනා.

වෙයාරීස් දැට් ඩක් මෙන් ?

ඇය මගෙන් අහනවා.මගෙ ලයිට් එක පට ගාල පත්තුවුනා.මේ අහන්නෙ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ඡන්ද ලකුණ වන හංසයා ගැන බව මට වහාම තේරුණා.මම ඇයට හංසයා පෙන්වා,

බට් ඉට් ඊස් නොට් අ ඩක් මෑම්,ඉටීස් ස්වෝන් .

කියල කිව්වා.

යේස් යේස් ස්වෝන් ස්වෝන් කැන් යු ප්ලීස් වෝට් ඉට් ෆෝ මී?

සුපුරුදු විදියට කනිෂ්ට ඡන්ද ස්ථානාධිපතිවරියත් ලඟට අඬගහල මම ඒ කාන්තාවගේ ඡන්දය ලකුණු කරල ඇයටත් පෙන්නලා පෙට්ටියට දාන්න කියල කොළේ ඇය අතට දුන්නම ඇය මට ස්තූති කරලා ගිහිං ඡන්දය දැම්මා.ඔය ඡන්දෙ දැමිල්ල කොරන්න ගිහිං තව වැඩක් උනා ඒ ඊට පස්සෙ තිබ්බ මහ ඡන්දෙ වෙලේ.එක ඡන්දදායකයෙක්  මාදැක්ක මරාගන්ටම  ආවනෙ.ඒ කතාව ආයෙම කියන්නං.ඉතිං වැඩි සිදුවීමකින් තොරව හවස හතරට ඡන්ද පෙට්ටියත් වහගෙන බස් එකේ පටෝගෙන ඔන්න බොරැල්ලෙ ඩී එස් එකට ආවා.ඒ සැරේ කොළඹ දිස්ත්‍රික්කේ ගණන් කිරීමේ මධ්‍යස්ථානය තිබ්බෙ ඩී එස් එකේ.ඇවිත් පෙට්ටියත් බාරදීල රෑ කෑම ගන්න දෙන කූපන් එකත් අරං ගණන්කිරීම පටන්ගන්න තව ගොඩක්වෙලා යන නිසා තේ එකක් බොන්න කියල එළියට බැස්සා.මෙන්න අපේ ඔෆිස් එකේ අක්‍රම් ඉස්සරහට එනවා.

කොහෙද බං ඡන්දෙ කළේ ?

මට පෝලිං රාජකාරි තිබ්බෙ නෑ බං ගනින්න විතරයි තියෙන්නෙ,මේ ගෙදර ඉඳන් එන ගමන්...

ගණන් කරන්න පටන් ගනිද්දි බැරියැ,වරෙන් තේ එකක් බොන්න යන්න...

අපි දෙන්න ඉස්සරහ කඩේට යන ගමන් අක්‍රම් දවල් සිද්දවෙච්ච දේවල් කියනවා.

ඒකයැ,ජෙනරාල්ට ඡන්දෙ තිබ්බෙ නෑ කියල ආණ්ඩුව දැනගෙන තියෙන්නෙ අද දවල්,එවෙලෙ ඉඳන් ටී වී එකේ දුන්න මඩ පාරක් ආයෙ හොදි ඕන නෑ බං...

කවුද මඩයා...

වෙන කවුද ඉතිං අර මඩවංස මිසක...

අපි දෙන්න හිනාවෙවී තේ බීල ඇවිත් ඡන්දෙ ගනින තැන්වලට පිටත්වුනා.

කතාව තව ගොඩක් දිගයි.ඒ වුනාට අදට ඇති ඇති කියල හිතෙන නිසා තවත් කොටසකට ඉඩතියල දැනට ඉවර කරන්නං.ආ මම ඉහළින් දාල තියෙන පිංතූර කීපය ගැනත් යමක් කියන්න ඕනෑ. පහුගිය දවස්වල මම ඩුබායි මෝල් එක ඉස්සරහින් යද්දි කොල්ලො කෙල්ලො සමුහයක් වාහනයක් වටේ වටවෙලා බලනවයි පිංතූර ගන්නවයි දැකල එතනට ගිහිං බලපුවම කට්ටිය ලැම්බෝගිනියක් වටකරගෙන ඉන්නව දැකල මාත් පිංතූර කීපයක් ගත්තා.ලංකාවෙ දේශපාලනයයි ලැම්බෝගිනියි අතර තියෙන අමුඩෙයි පුකයි වැනි සහසම්බන්ධතාව හේතුභූත කොටගෙන හුදීජන පහන් සංවේගය උදෙසා ඒ පිංතූර මෙතන දාන්න ඕනයි කියල හිතුන නිසා මම ගනිපු පිංතූර ඔක්කොම ටික ඔන්න ගෙනත් දැම්මා෴

Sunday, November 16, 2014

අලි ඇල්ලීම.




අලි ඇල්ලීම කියල මාතෘකාව තිබුණට මම අල්ලපු අලියෙක් නෙවෙයි.අදත් මම ලියන්නෙ මා කියවූ පොතකින් උපුටාගත් කතාවකුයි.මේ විදියට පොතකින් කතාවක් ඉදිරිපත් කරන්නෙ මගෙ අතින් මේ දිනවල කතා ලියවෙන්නේ නැති නිසයි.ඒ ගැනත් යමක් කියන්න එපැයි.සිද්ධීන් ගෙන් ගහන කාලයක් ගෙවිල ගියත් ලියන්න දේ  හිතේ එමට තිබුණත් ලියාගන්න බැරුව ඉන්න කාලයක් මේක.ඇයි කියල කියන්න නං මම දන්නෙ නෑ. ඉතිං මගෙ පුද්ගලික ජීවිතයේ සිදුවුන සිදුවීම් කීපයක් මෙතන සඳහන් කිරීම ඔබට කරච්චලයක් නොවේවි කියල හිතනවා.

ටික කලක් අසනීපව එක්තැන්වී හිටපු බිරිඳගෙ මව පහුගිය මාසෙ මියගියා. මට උදව් කරමින් හිටපු බිරිඳ මරණෙ සිදුවූ දාට පහුවදාම ලංකාවට පිටත්වුන නිසා සුපුරුදු විදියට මට ඒ අවමංගල්‍යයටත් සහභාගී වෙන්නට නොහැකි උනා.එදා ඉඳන් ඇයගේ වැඩ කොටසත් මට කරන්නට සිදුවුන නිසාවෙන් කරමින් හිටි වැඩ කොටස දෙගුණ වුණා.ඒත් එක්කම ලංකාවෙන් තව පොත් මිටියකුත් ලැබුණා.වැඩත් පොතුත් අතර හිටපු නිසා බ්ලොග් කියවීම සහ කමෙන්ට් කිරීම ඇරෙන්නට ලියාගන්න වෙලාවක් ලැබුනෙ නෑ.ඊට අමතරව කම්මැලිකමකුත් නොතිබුනාම නොවෙයි.කම්මැලිකම කොපමණද කිව්වොත් මේ බ්ලොගේට අවුරුදු දෙකක් පිරුණු නොවැම්බර් 11 වෙනිදාවත් යමක් ලියාගන්න හැකිවුණේ නෑ.මුලදී හිතාගෙන හිටියෙ කවද නැතත් අවුරුදු දෙක පිරෙනදාට හොඳ කතාවක් ලියන්නටයි.නමුත් ඒ සිතුවිල්ල පල දැරුවෙත් නැහැ.මෙන්න මෙහෙම හිතත් එක්ක තර්ක කරමින් හිටිය මිසක ප්‍රයෝජනවත් යමක් වෙන්නෙ නැති නිසා මා රස විඳි පොතකින් කතාවක් ලියන්නට හිතාගත්තා.කලින් කියවල නැත්නං රසවත් නං පොතකින් අරං ලිව්වත් මමම ලිව්වත් වෙනසක් නෑනෙ නේද? එහෙනං අපි කතාව රසවිඳිමු.

"වැල්ලවාය සිට හම්බන්තොට දක්වා ගමන් කරන්නෙකුට තෙලුල්ල නගරය හමුවේ ඉන් අනතුරුව හමුවන කුඩාඔය වැදගත් සිද්ධි සිදුවූ ස්ථානයක් නොවේ.නමුත් එහි පාලමක් ඉදිකර ඇති අතර,සමහර විට ඔයෙහි එතරම් ජලය නොමැත.කෙසේ වෙතත් මෙම ඔය රට තුලින් නිතරම ගලා බසින අතර එය මුළු පෙදෙසටම ජීවය ලබාදෙයි.මෙහි ඇති බොහෝ දිය කඩිති මග දිගටම විසිරී ඇත.වල් අලි,කොටි,මුවන් හා වල් ඌරන් ආදී සත්තුද,කුරුල්ලෝද මෙහි ජලය ප්‍රයෝජනයට ගනිති.කුඩාඔය පාලම අසල වෙසෙන ජනතාවද මෙම සතුන් සමග ඔයෙහි ජලය ප්‍රයෝජනයට ගනිති.

මෙම පෙදෙසෙන් වරක් මා මිතුරෙක් සමග රථයෙන් යද්දි මගෙ රථයෙහි සුක්කානම ගැස්සෙන්නට වූ අතර එයින් මට පැහැදිලි වූයේ රථයෙහි යම් රෝදයක හුළං බැසගොස් ඇති බවය.මම ඉහත සඳහන් පාලමට කිට්ටුවෙන් ඇති පැල්පතක් ඉදිරියෙන් රථය නැවැත්වීමි.ඒ අසල වෙනත් පැල්පත්ද ඇති බව පෙනිණි.මීට පෙර මා මෙම පෙදෙස පසුකර යන විට මෙම පැල්පතෙහි හැඩිදැඩි මිනිසෙකු මා දැක ඇති අතර,විටෙක එහි හීන් සිරුරක් ඇති උස ස්ත්‍රියක්ද,කිරිබොන කුඩා දරුවෙක් ද මා දැක ඇත.

එදින මා රථය නවතා රථයෙන් බැස රථයෙහි පිටුපස කොටස විවෘත කළේ අමතර රෝදය සහ රථය එසවීමට අවශ්‍ය උපකරණ ලබා ගැනීමටය.අවශ්‍ය දේ ලෑස්ති කරමින් සිටින විට කාරුණික සිහින් කටහඬකින් යමෙකු ඇසුයේ තමාට එම කාර්යය සඳහා උපකාරී වන්නට හැකිද යන්නය.එවිට මා දුටුවේ පාර හරහා පැල්පතේ මීට ඉහතදී දැක ඇති මිනිසාය.ටයරයක් මාරු කිරීමට තමා දන්නේදැයි මම ඔහුගෙන් විමසුවෙමි.ඔහු සිනාවක් පාමින් පැවසුයේ තමා මීට පෙර බොහෝ වාරයක් එම කටයුත්ත කර ඇති බවත්,තමාට අවශ්‍ය වන්නේ අදාළ උපකරණ බවත්ය.ඔහුට යම් මුදලක අවශ්‍යතාවක් වුවහොත් එය දීමට හැකියාවක් තිබු හෙයින් එම කාර්යය ඔහුට බාරදුනිමි.

ඔහුගේ නම කවරේදැයි මා විමසුවිට ඔහු පැවසුයේ තජුඩින් යනුවෙනි.පසු වර්ෂවලදී ඔහු හොඳින් දැන හඳුනාගැනීමට මට හැකිවූ අතර එම පාරේ ගමන් කරන හැමවිටම වාගේ ඔහුගේ පැල්පතට ගොඩවී තේ එකක් බීමට අමතක නොකළෙමි.ඔහු පහසුවෙන්ම මා දුටු ශිෂ්ටසම්පන්න මිනිසෙකු වූ අතර එයට යම් හේතුවක් තිබිණි.එය මා පසුව ඔබ වෙත පවසමි.

රථයෙහි රෝදය මාරුකොට ආම්පන්න රථයෙහි පිටුපසට දැමු පසු ඔහු අපට තමාගේ වාඩියට පැමිණ තේ බී යන ලෙස ඉල්ලා සිටියේය.වාසනාවකට තජුඩීන්ට දෙමළ හා සිංහලෙන් කතා කිරීමට හැකිවීම අපට පහසුතාවයක් උදා කළේය.අපිටද එම භාෂා කතාකළ හැකි බැවිනි.අපි මේසයක් වටා වාඩිවූ අතර ඔහු ඔයට ගොස් වතුර පනිට්ටුවක් ගෙන එන ලදී.ඒ අතරතුරේ ලිපෙහි විශාල බෙලෙක් භාජනයක බාගෙට පිරවූ වතුර ලිපෙහි උතුරමින් තිබිණි.ඔහු වාඩියට පැමිණ කෝප්ප කිහිපයක් වතුරෙන් සෝදා තම බිරිඳට දුන් අතර ඇය උකු කළ කිරි සමග තේ කෝප්ප කිහිපයක් පිළියෙළ කරන ලදී.අපගේ ගමන නැවත ආරම්භ කිරීමට ප්‍රථම ඔහුට යම්කිසි මුදලක් දුන් අතර,නැවත මෙම පාරේ යනවිට ඔහු හමුවීමටද පොරොන්දු වීමු.

තජුඩීන් යනු මෙම පෙදෙසට තම ජීවනෝපාය කරගැනීමට පැමිණි මුස්ලිම් ජාතිකයෙකි.ඔහු හා ඔහුගේ පවුල සම්පූර්ණයෙන්ම හුදකලා නොවීය.සතියකට දෙවතාවක් බසයක් එම මාර්ගයෙහි ගමන් ගනී.ඔහුට තණමල්විලට යාමට අවශ්‍යතාවයක් වුනොත් ඔහු දන්නා අයෙකුගේ වාහනයක හෝ පාරේ යන ලොරියකට අතවනා තම ගමන යයි.

ඔහු හොඳින් දැනගත් පසු ඔහු මා විශ්වාසවන්තයෙකු ලෙස සැලකීය.තජුඩීන් හා ඔහුගේ බිරිඳ මෙම දුෂ්කර පෙදෙසෙහි ජීවත්වූ අන්දම මට දැනගන්නට ලැබිණ.ඔහු වෙත සමහර විට අවසර නොලත් විය හැකි තුවක්කුවක් තිබුණ අතර එය දඩයමේ යාමට ඔහු ප්‍රයෝජනයට ගත්තේය.මුවෙකු හෝ ගෝනෙකු දඩයම් කරගත් අවස්ථාවක ඔහු එහි වැඩි කොටසක් වෙළඳාම් කළේය.මෙම පාරේ යන බොහෝ දෙනා මෙම වාඩියෙහි දඩමස් විකුණන බව දැනගෙන එහි පැමිණ ඔහුගෙන් දඩමස් මිලදී ගත්හ.ඔහු මුස්ලිම් ජාතිකයෙක් නිසා වල් ඌරන් මැරීමෙන් වැළකී සිටියේය.නමුත් වල් ඌරන් සිටින ඉසව්ව ඔහු දැනසිටි නිසා,එම සතුන් සිටින ස්ථානයට මා ගෙනගිය විට වල් ඌරෙකු දඩයම් කරගැනීමට මට හැකිවිය.මා හැමවිටම පාහේ එස් ජී උණ්ඩ පහක් හෝ හයක් ඔහුට ලබාදුන් අතර ඒ සම්බන්ධව මා හට කෘතඥ විය.

ඔහුට තවත් හොඳ ආදායම් මාර්ගයක් තිබිණ.අවට කැලෑවේ ඔහු පමණක් දන්නා ඉසව්වක ගංජා හේනක් වවා එයින් ඔහු ආදායම උපදවා ගත්තේය.පාරේ යන අයට ඒවායේ කුඩා මිටි ඔහු විකිණු අතර ඔහුද ගංජාවැටි ගත්බව මට ඒත්තු ගියේ,ඔහු නිතරම සන්සුන් ශාන්තභාවයකින් සිටීමේ රහස,ඔහු නිතරම මත්වී සිටි නිසා බව මම විශ්වාස කරමි.එම කරුණ මට ප්‍රශ්නයක් නොවුයේ ඔහුගේ ජීවිතය ඔහු විසින්ම ගෙන යායුතුය යන්න මගේ ප්‍රතිපත්තිය වීම නිසාය.

තජුඩීන් අවුරුද්දක් හෝ දෙකක් දැනගැනීමෙන් පසුව ඔහුගේ තවත් රහසක් මට දැනගන්නට ලැබිණි.එනම් හම්බන්තොටට ඔබ්බෙන් වෙසෙන ඉතා පෝසත් අයෙකුට අලියෙකු ලබාගැනීමට ඔහුට දෙන කොන්ත්‍රාත්තුවය.කැලයෙන් අල්ලගන්න එම අලියා මාස කීපයක් මිනිස්වාසයට පුරුදුකොට පසුව අලියා ප්‍රවාහනය කරනු ලැබේ.මෙම කටයුත්ත ඉතා රහසිගත ලෙස සිදුකරන අතර යම් සිදුවීමක් සිදුවී ඇතිබව දැනගන්නේ කිහිප දෙනෙකු පමණි.රහස ටික දෙනෙකු දැනගත්විට එය ආරංචිවීමේ ප්‍රවණතාවයද අඩු මට්ටමකින් පවතී.මෙම කාර්යය සඳහා තජුඩීන්ට හොඳ ගෙවීමක් කරනු ලබන අතර එයින් ඔහුට සාමාන්‍යයෙන් මිලදී ගැනීමට නොහැකිදේ මිලදී ගැනීමට හැකිවේ.

දිනක් මා තජුඩීන්ට පැවසුයේ අලියෙකු අල්ලා ගන්නා හැටි බැලීමට මට බලවත් කැමැත්තක් ඇති බවය.එමෙන්ම කරන ක්‍රියා කිසිවෙකුට මා නොපවසන බව ඔහු දැනසිටියේය.ඔහු මට පැවසුයේ එවැනි කොන්ත්‍රාත්තුවක් ලැබෙන අනික් වාරයේදී තමා ඒ බව මාවෙත දන්වන බවත්,එම මෙහෙවර සඳහා මාද කටුව යන බවත්ය.

මාස කීපයකට පසු මා තජුඩීන්ගේ වාඩිය වෙතට ගියෙමි.ඔහු මා පැත්තකට කතාකොට පැවසුයේ අලියෙකු ඇල්ලීමට තමා මන්දක් පිළියෙළ කරන බවය.එයින් පැහැදිලි වුයේ අලියෙකු ඇල්ලීමට පෙර මුලික වශයෙන් පිලිවෙලවීමක් විය යුතු බවය.ඔහු යෙදී සිටියේ එවැනි කාර්යය කෙරෙහිය.

ඔහුට කොන්ත්‍රාත්තුව දුන් අය පවසා ඇත්තේ ඔහුට අවශ්‍ය හොඳින් වැඩුණු තරුණ අලියෙකු බවකි.ඔහු අනතුරුව කළේ අලින් විශේෂයෙන් ගැවසෙන ඔයෙහි දියවළවල් අසල හා වනාන්තරයේ විවිධ ස්ථානවල අලින්ගේ පා සලකුණු පරීක්ෂා කිරීමය.පා සලකුණු අනුව අලියාගේ උස දළ වශයෙන් සොයාගැනීමට ඔහුට හැකිවිය.එසේ සනිටුහන් කරගත් අලියා පසුපස ගොස් අලියා නිදැල්ලේ හැසිරෙන ස්ථානත් කාලය වැඩියෙන් ගතකරන ඉසව්වත් ඔහු විසින් සොයාගනු ලැබේ.

තජුඩීන්ට නිතරම කුඩා හේනක් තම වාඩිය කිට්ටුවෙන් තිබුන අතර ඔහුගේ නිවාස වටාද ඉරිඟු,උක්ගස්,මෑකරල් හා වෙනත් බෝග වවා තිබිණි.ඒවා තම පවුලේ ප්‍රයෝජනයට ගන්නා ලදී.ඒවාට අවශ්‍ය ජලය අවශ්‍ය ප්‍රමාණයට තිබුණු අතර එහි අඩුවීමක් නොකිරීමට ඔහු වග බලාගත්තේය.ඔහුගේ පැල වටා තිබුන කුඩා පැල්පත්වල බඩඉරිඟු හා උක්ගස් කොළ මිටි ගබඩා කර තිබිණි.අලියා ඇල්ලීමට සති කීපයකට පෙර ඔහු කළේ මෙම මිටි අදාළ අලියා හැසිරෙන ඉසව්වට ගෙන යාමය.අනතුරුව එම ඉරිඟු හා උක්කොළ මිටි අලියාට හමුවීමට හැකි ඉලක්ක ස්ථානවල ගැටගසා දමන ලදී.අලි බඩඉරිඟු හා උක්කොළ කෑමට ප්‍රියකරන අතර මේ නිසා හේන්වලට වැද ගැමියන්ගේ වගා පාලු කරති.එවිට සමහරවිට ගම්මුන්ගේ වෙඩි පහරට ලක්වී අලි තුවාල ලබති.කැලෑවේ ගස්වල කොළවලට වඩා අමුතු රසයක් මෙම ඉරිඟු හා උක් කෑමෙන් ලැබෙනු ඇත.මෙය මිනිසුන් ආහාරයෙන් පසු රසවත් අතුරුපසක් ගත්තා වැනි ක්‍රියාවක් ලෙස සිතිය හැක.

තමාගේ බඩඉරිඟු මිටි හා උක්කොළ මිටි කෑමට අදාළ අලියා පැමිණෙන බව තහවුරු කරගත් පසු,අලියා තව තවත් ඒ සඳහා පෙළඹවීම සඳහා වැඩියෙන් ආහාර සැපයීමට තජුඩීන් ක්‍රියාකරයි.මෙම කටයුත්ත ඔහු දිගටම කරන්නේ අලියා ඒවා කෑමට නිතර නිතර පැමිණෙන බව තහවුරු වන තෙක්ය.

අනතුරුව ඔහු කළේ ඉතා ශක්තිමත් තොණ්ඩු/මන්ද කිහිපයක්ම ප්‍රවේශමෙන් තෝරාගත් ස්ථානවල පොළොවෙහි තැබීමය.මෙම මන්දවල් අල්ලා ගතයුතු අලියාගේ පාදයට තරමක් විශාලව සාදන ලද ඒවාවූ අතර ඒවා විශාල අලින්ගේ පාදවලට කුඩා තරමේ ඒවා විය.මෙම මන්ද පොළොවෙහි කුඩා වලක් හාරා ඒ වටා තබා තිබු අතර යම් හෙයකින් අලියා ඒ මත පාදය තැබූ විට පාදය මන්ද සමග එම කුඩා වලට වැටෙන අතර අලියා කරන්නේ පාදය ඉදිරියට ඇදීම මිස ඉහළට එසවීම නොවේ.එම හේතුවෙන් පාදය මන්දයේ හිරවෙයි.මන්දහි එක් කොණක් අසල ගසක තදින් ගැටගසා ඇති බව කිවයුතු නොවේ.ගැට ගැසීමට එවැනි ගසක් නැති අවස්ථාවල වෙනත් සෙලවිය නොහැකි යමක මන්දෙහි ලනුව ගැටගසනු ලැබේ.තජුඩීන් තවදුරටත් මන්ද අලියාට නොපෙනෙන ලෙස එය වැලි හෝ පස්වලින් වසාදැමීමට කල්පනාකාරී වෙයි.මන්දවල් ඇටවූ පසු දිනකට දෙවරක් හෝ තුන්වරක් ඒවා පරීක්ෂාවට යන්නේ යම් සාර්ථක ප්‍රතිපලයක් ලබා ඇත්දැයි සොයා බැලීමටය.යම් හෙයකින් අලියා මන්දට අසුවී සිටියේ නම් ක්‍රියාව අවසන් කිරීමට ඔහු වහා පියවර ගනු ඇත.ඒ පිලිබඳ විස්තර ඉක්මනින් ඔබවෙත ඉදිරිපත් කරමි.

එක් සති අන්තයකදී මම මිතුරන් කිහිපදෙනෙකු සමග කිරිඳි ඔයෙහි ස්නානය කිරීමට ගිය අතර අනතුරුව ඇතිවූ බඩගින්න හේතුවෙන් අපි තණමල්විල පාරේ රිය පැදවීමු.වැල්ලවායට යනවාට වඩා තණමල්විල ආසන්න නගරය වූ නිසාත් එහි තානායම්කරුවූ කැලික්ස්ටස් අප හඳුනන නිසා හොඳ ආහාර වේලක් බලාපොරොත්තුවෙන් අපි එහි ගියෙමු.මම නිතරම දොළහ පරිමාණය තුවක්කුව රැගෙන ගිය අතර මගදී වලි කුකුළෙකු හෝ දෙදෙනෙකු අවස්ථාවක් ලැබුණොත් දඩයම් කරගැනීමද අරමුණ විය.

කුඩාඔය පසුකරත්ම මා තජුඩීන්ගේ පැල්පත අසල රථය සෙමින් පැදවූයේ ඔහුට අප ආපසු ගමනේදී හමුවන බව දැන්වීමටය.ඔහු රථය වෙත දුවගෙන විත් පැවසුයේ යමක් මට කීමට ඇති නිසා රථයෙන් බැස පැමිණෙන ලෙසය.

ඔහු කණට කොඳුරමින් පැවසුයේ තමා තරුණ අලියෙකු මන්දට හසුකරගත් බවත් ඔහු සවස්යාමය වනතුරු බලා සිටින්නේ ඒ වනවිට අලියා යම්තරමකින්වත් සන්සුන් වීමට ඉඩ ඇති නිසා අලියාගේ අනෙක් පාදයටද මන්දක් දැමීමට සුදානමින් සිටින බවත්ය.මෙම ක්‍රියාදාමය පරිස්සමින් කළයුතු දුෂ්කර ක්‍රියාවක් බැවින් එය බැලීමට මට තදබල ආශාවක් ඇතිවිය.මා ඔහුට පැවසුයේ අප දැන් තානායමට යායුතු බවත් අපි ආපසු හැරී ඉක්මනින් පැමිණෙන බවත් ඒ සඳහා ඔහු සමග මම එක්වන බවත්ය.

පොරොන්දු වූ පරිදි අපි කුඩාඔයට එදින සවස පැමිණියෙමු.මා මිතුරන්ට පැවසුයේ තජුඩීන් මා වනාන්තරයට කැඳවාගෙන යන බවත් ඔවුන් එතෙක් වාහනයේ සිටින ලෙසත්ය.එය මා පමණක් බැලිය යුතු දෙයක් බව තජුඩීන් පවසන බවත් ඔවුන්ට දැන්වීය.මාගේ පහදාදීම ඔවුන් පිළිගත් බව පෙනිණි.වැඩි විස්තර ඔවුන්ට පසුව කියන බවත් ඔවුනට දැන්වීය.මාගේ මිතුරන්ට මෙම රහස පැවසුවිට එය රහසක් වශයෙන් ඔවුන් තබාගන්නා බව මට විශ්වාසය.

මාගේ පුදුමයට පැය කිහිපයක් තුලදී තජුඩීන් ඉතා මහත ගංජා සුරුට්ටු දෙකක දුම්පානය කළ අතර එය ඔහු මත්  ගතියකට පත්කළ බව මට පෙනිණි.සවස හතර පමණ වනවිට තජුඩීන් සහ මා ඔහුගේ පැල්පත පිටුපස වනාන්තරයට අඩි පාරක් දිගේ ගමන් ගතිමු.

අපි පැය බාගයක් පමණ ගමන්කොට විශාල උස් ගසක් යට නතරවීමු.ඔහු ගස වටා ගොස් දිගු ශක්තිමත් දඟර ගැසූ ලණුවක් ඔහුගේ උරහිස වටා දමාගෙන මා ඉදිරියේ පෙනී සිටියේය.ඔහු පැවසුයේ අලියාගේ අනෙක් කකුලට එය දැමීමට සුදානම් කර ඇති බවය.එය කෙසේ සිදුකරනු ඇත්දැයි මට කිසිදු දැනුමක් නොතිබිණි.

අපි නැවත ගමන් ඇරඹුවෙමු.ඔහු මගෙන් ඉල්ලා සිටියේ නිශ්ශබ්දව එන ලෙසය.ඔහු ඇඟිල්ල දිගුකොට මට දැන්වූයේ අලියා දැන් ආසන්නයේ සිටින බවය.සුළු වේලාවකින් මන්ද සහිත කඹය අතට ගෙන සුදානම් වූ අතර මම එම මොහොතේ සිතුවේ අශ්වාරෝහකයෙකු ගවයෙකු ඇල්ලීමට මන්ද විසිකරනවා වැනි ක්‍රියාවක් කිරීමට ඔහු සැරසී සිටින්නේද යන්නය.නැවත ඔහු නිශ්ශබ්දව මට දැන්වූයේ මා සිටින ස්ථානයේ නැවතී සිටින ලෙසත් ඔහුගේ ඉරියව් වලින් මට පැහැදිලිකලේ ඔහු ඉදිරියට ගොස් අලියා මුහුණලා සිටින දිසාව බලාගන්නා බවය.

සුළු වේලාවකින් ඔහු නැවත පැමිණියේය.ඔහු නැවත මට ඉඟි කළේ ඉතා ප්‍රවේශමෙන් ඔහු සිටින තැනට පැමිණෙන ලෙසය.මම එතැනට ගිය පසු ඔහු ඇඟිල්ලක් දිගුකොට අඩි හතළිහක් පමණ ඉදිරියෙන් සිටින අලියාගේ පසුපස පෙදෙස පෙන්වීය.මට එම ස්ථානයේ නතරවීමට සිදුවිය.ඔහු කළේ සරම අමුඩයක් ලෙස කැසකවාගෙන පොළොව දිගේ බඩගාමින් ඉතා සෙමෙන් ඉදිරියට යාමය.යම් අවස්ථාවක මන්ද එක් කොණක් ඔහු ගසකට බැන්දා විය හැක.නමුත් එම ක්‍රියාව මම නුදුටිමි.

එය මට බොහෝ කාලයක් ගතවූ බවක් දැනුණි.එක් අවස්ථාවෙක ඔහු අලියාගේ පිටුපස සිටිනවා මම දුටිමි.මට බය සමග ගෞරවයක් ඔහු කෙරෙහි ඇතිවුයේ අලියා වෙතට අවසන් අඩි කීපය ගොස් අනතුරුව අලියාගේ පිටුපස පාදය අසලටම ගොස් අලියාගේ කකුලට දැනෙන සේ එයට තට්ටු කරනවා දුටු විටය.මෙම සියලු අවස්ථාවේම තරුණ අලියා ඉදිරිය දෙසට යොමුවී සිටි අතර මන්දෙන් ගැලවීමට ගත් උත්සාහය නිසා වෙහෙසට පත්වී සිටියා නිසැකය.නමුත් විශ්වාස ලෙස මට පැවසිය හැක්කේ අලියාගේ පිටුපස මනුෂ්‍යයෙකු සිටින බව අලියා නොදැන සිටි බවය.

මම තජුඩීන්ගේ වේගවත් සෙලවීමක් දුටිමි.මාගේ විශ්වාසය වුයේ ඔහු අලියාගේ අනෙක් කකුලටත් මන්ද දැමු බවය.අනතුරුව සතරගාතයෙන් පැත්තකට පැනගත් තජුඩීන් නිමේෂයකින් මා සිටින තැනට පැමිණියේය.ඒ අතරතුර අලියා පසුපසට ඉක්මනින් හැරී විනිවිද යන හඬකින් කුංචනාද කළේය.අලියාගේ ප්‍රයත්නය වුයේ ඔහු බැඳසිටි මන්ද ගලවාගැනීමත් ඔහු අසලට පැමිණි අවිනීත මිනිසා අල්ලා ගැනීමත්ය.නමුත් එම ප්‍රයත්න ඉටුවූයේ නැත.අනතුරුව ටික වේලාවක් පැවතියේ කලබලකාරී  තත්ත්වයකි.ඊටපසු තජුඩීන් මා දෙස භ්‍රාන්ත වූ මුහුණකින් බැලුවේ 'අලියෙකු අල්ලන්නේ එහෙමයි' පවසන්නාක් මෙනි!

එදින මා යමක් උගෙන ගත්තෙමි.මා යම්දිනෙක අලියෙකු අල්ලාගන්නේ නම් මා ගංජා සුරුට්ටු දෙකක් පානය කළ යුතු බවය.අනතුරුව මා සිහිමුර්ඡා නොවුයේ නම් මට අලියෙකුගේ එක කකුලකට මන්දක් අලියාගේ කකුලට තට්ටුකර දැමීමට නොබියක් ඇතිවන බවය.

තජුඩීන් සහ මම නැවත ආපසු පැමිණ කේන්තියෙන් සිටි අලියාගේ කුංචනාදය ඇසෙන ප්‍රමාණයේ දුරකට පැමිණියෙමු.මෙතැන්සිට සති කිහිපයක් හෝ මාසයක් හෝ දෙකක් ඉතා වෙහෙසකාරී වැඩකොටසක් තජුඩීන්ට බාරවිය.ඔහුට අලියාට ආහාර හා වතුරද ගෙනයාමට සිදුවන අතර මේ කටයුතු දිගටම සිදුකළ යුත්තේ මේ මිනිසා වතුර හා ආහාර සමග සම්බන්ධයක් ඇති බව අලියා තේරුම් ගන්නා තුරුය.පසුව අලියා අතගෑමටත් අලියාගේ කකුල්වල මන්ද එකිනෙක බුරුල් කිරීමටත් ඔහුට අවස්ථාවක් හිමිවනු ඇත.

අලියා මෙල්ල කිරීමට නම් අලියා සමග කතාකිරීමද වැදගත් අංගයක් වන්නේය.මෙම සියලු ක්‍රියාදාමය දැකගැනීමට මා වාසනාව ලද්දෙක් වූ අතර ප්‍රවීනයාට ඉතිරි වැඩකොටස නිමකිරීමට ඉඩ දිය යුතුව ඇත.ගංජා සුරුට්ටු දෙකක් පානය කොට හෝ මධ්‍යසාර බෝතලයක් බිව්වද එවැනි නිර්භීත ක්‍රියාවක් කිරීමට ධෛර්යයක් තිබිය යුතුය.එම ධෛර්යය තිබීම ගැන මා තජුඩීන්ට ගෞරවය පුද කරමි.

තජුඩීන්ගේ නිවසට පැමිණි පසු නැවත මාගේ මිතුරන් හා එක්වීම සතුටට කරුණක් විය.හිරු බැසයමින් තිබුණි.අපට නැවත අපගේ නිවෙස් කරා යා යුතුව ඇත.තජුඩීන්ට මාගේ කෘතඥතාව පලකොට ඔහුගේ පවුලෙන් සමුගෙන අපි නික්ම ගියෙමු.

තජුඩීන් සමග ගොස් කුමන කටයුත්තක නියලුනේදැයි මාගේ මිත්‍රයෝත් මා සිතූ පරිදි දිගටම මාගෙන් ප්‍රශ්න කළහ.ඔවුන් එය තමාට පමණක් සීමාවූ රහසක් ලෙස තබාගන්නේ නම් සියල්ල පවසන බවට ඔවුන්ට පොරොන්දු වී මා ඔවුන්ට කෙලින්ම පැවසුවේ අපි අලියෙකු අල්ලාගත් බවය.ටික වෙලාවක් යනතුරු එකදු වචනයක්වත් එක මිතුරෙකුවත් පිට කළේ නැත.මා හීනයක් දුටුවාදැයි එක් අයෙකු ඇසුවේ සිනාසෙමිනි.මා හිසවනා රිය පැදවීමේ නිරතවීමි෴
(මන්ද ගසා අලි අල්ලන්නා,විශ්මිත වනාන්තරය සහ වෙනත් අරුම පුදුම කථා.ට්‍රෙව ලබ්‍රෝයි )

ට්‍රෙව ලබ්‍රෝයි මේ කතාව ලියා ඇත්තේ 1950 දශකයේ මුල් භාගයේදීයි.ඔහු මේ කතාවේ අවසානයට ලස්සන  කවියකුත් එක්කරනවා.එදවස තිබූ සුහද ආගමික සංහිඳියාව මේ අපූරු කවියෙන් මොනවට පැහැදිලි වන බව මගේ අදහසයි.මේ කවිය අදට ගලපාගැනීම ඔබට බාරයි.හැකිනම් අද තත්ත්වය පෙන්වමින් මෙයට පිළිතුරු කවියක් ලියන ලෙස බ්ලොග් අවකාශයේ සිටින ප්‍රතිභාපූර්ණ කවි කිවිඳියන්ට මා ආදරයෙන් ආරාධනා කරනවා.කවිය මෙහෙමයි.

පන්සල පල්ලිය කුරානය සමගින්
සමගියෙන් සිනහවෙන් පසන් සිතැතින් 
සිටින රුව ඔබ වැසියන්ගේ 
ඇඳෙයි සිත්වල විදෙසුන්ගේ
එයම ඇරයුමක් ඔවුනට
යළි යළිත් ඔබ දෙසට එන්නට.                                  

Tuesday, October 28, 2014

අමරෙගෙ කඹ ඇදිල්ල අපේ බෝල පිට්ටනිය සහ ටැප් එක ළඟ ක්‍රිකට් කණ්ඩායම.

අමරෙගෙ ගේ තියෙන්නෙ අපුරු තැනක,පැත්තකින් වෙල්යාය අනික් පැත්තෙන් දෙපා ඇළ, ඒ දෙපැත්තෙන්ම සිසිල් සුළං රැළි හමාඑද්දී දෙකක් දාගෙන දවල්කෑම කන අමරය වඩුමඩුවේ බුරු ඇඳේ ඇලවෙලා සරම අස්සට හමන සුළං පහස විඳගනිමින් නින්දක් නිදාගෙන ආපහු ඇහැරෙන්නෙ හවස්කරේ බඩුමිටියක් ගේන්න ජිනාගෙ ගෙදරට යන්නයි.මිටියත් ඔතාගෙන ගහල රෑට කෑම කාල එහෙම රෑ දෙගොඩහරියක් වෙනකල් වඩු මඩුවෙ වැඩ කරනවා.ඔන්න දවසක් මරු වැඩක් උනා.

ඒ දවස්වල අපි ප්‍රථම වතාවට ලංකාවෙ පවත්වපු සාක් සම්මේලනයට පණ දාගෙන වැඩ කරනවා.වීරෙයි සුමනෙයි මමයි ඇතුළත් වෙලා තිබ්බෙ ෆුඩ් කමිටි එකට හෙවත් සාගිනි කමිටුවටයි.අපේ ප්‍රවාහන කටයුතු වලට සංස්කෘතික දෙපාර්තමේන්තුවෙන් ගනිපු පැජරෝ එකකුයි රියදුරෙකුයි වෙන්කරල තිබුණා.උදේ පාන්දර ඔය පැජරෝ එකේ කොළඹ යන අපි ගෙදර එන්නෙ මහ රාත්තිරියෙ යක්කු ගස්යන වෙලාවටයි.රෑ එකොළහට විතර කොළඹින් පිටත්වෙන වාහනේ ඉස්සෙල්ලම වීරෙව උඩුගම්පොලින් බස්සවල ඊට පස්සෙ මාව ගෙදරින් දාල අන්තිමට සුමනෙ බස්සන්න ඌරපොල යනවා.එදා වීරෙව බස්සල අපි ඇවිත් ටවුමෙ රෑ කඩෙන්  සුදුආප්පයි ලුණුමිරිසුයි කෑවා.ඒ වෙනකොටත් අපි පාවිච්චි කරමින් ආපු බෝතලේ කාලකට පොඩ්ඩක් විතර අඩුවෙන් ඉතුරුවෙලා තිබුනට ආප්ප කෑමෙන් පස්සෙ ආපහු බොන්න කවුරුවත් කැමති උනේ නැති නිසා ඉතිරිටික අපේ පාරෙ ඇහැරලා ඉන්න කාට හරි දෙමු කියල එන්න පිටත්වුනා.

පාරෙ එක ගේකවත් එළියක් දකින්නට තිබුනෙ නෑ. ඒ මහ රාත්‍රියේ හෙවල්වල එළි නැතිවීම පුදුමයක් නෙවෙයි,ඊටමත් රාත්‍රියේ එන පැජරෝවක් ගම්වල මිනිස්සු දැක්කෙ මරණයේ පණිවිඩය රැගෙන එන වාහනයක් හැටියටයි.රට මහා අඳුරු සමයක් පසුකරමින් උන් ඒ අවදියේ මිනිසුන්ගෙ සිත් තුලට භීෂණයේ රුදුරු අත්දැකීම් තදින් කාවැදී තිබුණා.ඒ නිසා පැජරෝවක හඬ රාත්‍රියේ ඇහෙන විට තියෙන එළියත් නිවා දමන්නට මිනිසුන් පෙළඹීම පුදුමයක් නොවෙයි.

බලුකපුටෙක්වත් පේන්න නැති අන්ධකාර පාරදිගේ වාහනය වේගයෙන් ඇදී එද්දී ඉදිරියෙ ඇති වෙල අයිනෙ එළියක් දකින්නට තිබුණා.ඒ වෙන කවුරුවත් නොවෙයි,රෑ නිදිමරාගෙන  වැඩකරන අමරෙගෙ වඩුමඩුවෙ එළියයි.

අන්න සුමනෙ අමරයද කොහෙද ඇහැරලා ඉන්නව ඉතුරුටික මිනිහට දෙමු...

කියමින් මම බෝතලේ ඉතුරු හරිය වීදුරුවට වක්කරද්දීම වාහනේ අමරෙගෙ වඩුමඩුව ළඟ ක්‍රාස් ගාල නැවැත්තුවා.

අමරේ...

කියල මම කතාකරද්දි ඕඕ කියමින් අමරෙ එක තප්පරෙන් වාහනේ ළඟ පෙනී සිටියා.

ආ..මේ .....මහත්තයනේ...

කියමින් ක්ෂණයකින් මාව අඳුනාගත් අමරෙට

මෙන්න මේක බීල දානවා...

කියල  මගේ අතේ තිබුණ වීදුරුව දුන්නා.වීදුරුව අතට ගත් සැණින් ගුඩු ගුඩුස් හා වීදුරුවෙ තිබූ ටික එක උගුරට ගිලදැම්ම අමරෙගෙන් සමුගෙන අපි එන්නට පිටත්වුණා.මේ සිද්ධියේ පසුවදන හෙවත් අමරේ මෙය අර්ථකථනය කර තිබූ ආකාරය මට දැනගන්නට ලැබුණේ ඊටත් මාස ගාණකට පසුවයි.ඒ ගමේ තරුණයන් කීප දෙනෙක් සමග එක් සවසක සතුටු සාදයකට හවුල් වෙමින් සිටි අවස්ථාවෙයි.

අමරෙ අයියට මරු වැඩක් කලාලු නේද...

එක කොල්ලෙක් මගෙන් ඇහුවම මේ කිසිදෙයක් නොදැන සිටිය මම වැඩි විස්තර ඇහුවා.අමරෙ ඔහුට  සිද්ධිය කියපු  ආකාරයට කතාව මෙහෙමයි.

එදා රාත්‍රියේ පැජරෝව වඩුමඩුව ළඟ නවතද්දී අමරෙ හිතා සිටියේ  එය ඔහුව මරන්න ගෙනයන්නට පැමිණි වාහනයක් බවත් ඒ රාත්‍රිය අමරෙගේ අවසන් රාත්‍රිය බවත්ය.වාහනය තුළ මා හිඳිනු දැකීම ඔහුට මහත් අස්වැසිල්ලක් සහ සැනසිල්ලක් වී තිබෙනවා.

වීදුරුවකින් පුරෝල එකක් දුන්න බං,තියෙන්නෙ මොනවද කියලවත් බැලුවෙ නෑ පණ බයට එක හුස්මටම ගිලල  දැම්මා.එච්චරම තමා මතක ගිහිං ඇඳේ වැටුනා මතකයි ඇහැරුනේ පහුවදා...

මේ ආයෙම දවසක වෙච්ච දෙයක්.අපේ ගමේ එක අවුරුදු උත්සවයක හවස්වරුවේ පැවැත්වෙන කාන්තා කඹ ඇදීමේ තරඟය ජයටම පැවැත්වෙමින් තිබුණා.තරඟ විනිශ්චයට මාත් සම්බන්ධවී සිටි නිසා තරඟය පැවැත්වෙමින් තිබියදී දෙපැත්තෙම තරඟකාරියන් කඹ අදින ආකාරය පරීක්ෂාවෙන් බලාගෙන මම කඹේ එක කොණක ඉඳන් අනික් කොනට ඇවිදගෙන ආවා.එක පැත්තක වැර දමා කඹය අදින සායවල් ගවුම් අතරේ සරමක් දැක්ක මම උඩගියෙ නැතුවා විතරයි.බලපුවම සරමත් පිටපොට ගහගෙන වලිකමින් අමරය හොඳ සීරුවට කඹේ අදිනවා.

නීති විරෝධී බව හොඳටම  දැන දැන අමරය කරන මේ වැඩේ දැක්කම මට කේන්ති ගියා,ඒත් එක්කම නවත්ත ගන්න බැරි හිනාවකුත් ආවා.එදා විතරක් නෙවෙයි ගෑනු ගොඩේ අමරය කඹේ ඇදපු ඇදිල්ල මතකවෙනකොට අදත් මට හිනාව නවත්ත ගන්න බෑ.හිනා ගියාට මු කරන වැඩේ නවත්තන්න එපායැ.මම විසිල් එක ගහන්න හදනකොටම පෙරළෙන රෝල්වෙන ගෑනු ගොඩ එක්කම අමරයත් අනිත් පැත්තට ඇදිල යන්න යනකොට පොර කඹේ අත ඇරල අහකට පැන්නා.ඒ නිසාම අප්සැට් එකක් නැතුව වැඩේ බේරගත්තා.පහුවදා හවස මීවිතකට හවුල් වෙන ගමන් මම මේ කතාව හිනාවෙවී අනික් කොල්ලන්ට කිව්වට උන් ඒක එච්චර ගාණකට ගත්තෙ නෑ.

ඔය යකා හැම අවුරුද්දෙම ඔය වැඩේ කරනවා.හැබැයි ඇදල දෙන්නෙ කොස්ගහ සයිඩ් එකට එන ගෑනුන්ට විතරයි.අනික් පැත්තෙ පිලට උගෙ ගෑණි ඇද්දත් අමරය කොස් ගහ පැත්තට එන පිලට අදිනවා,ඒ උගෙ හැටි ...

ඒකත් එහෙමද කියල මම නිකං හිටියා.අපි දන්නා කාලෙක ඉඳන් අපේ ගමටය කියල සෙල්ලං කරන්න පිට්ටනියක් තිබුනෙ නෑ.මුලදී අපි පොඩි කාලෙ නාරංවත්තෙ පිට්ටනියෙ සෙල්ලං කළා.ටිකක් දුර යන්න තියෙන නිසා පස්සෙ කාලෙක නාරංවත්තෙ පිට්ටනියට යාම නැවතිලා පෝටවත්තෙ සෙල්ලං කරන්න ගත්තා.අයිතිකාරයො පෝටවත්ත බෙදාගත්තට පස්සෙ සෙල්ලං කරන්න අවුරුදු උත්සව තියන්න තැනක් නැති  අපට යන එන මං නැතිවුනා.එහෙමයි කියල අපි නිකං හිටියෙ නෑ ගොයං කපපු වෙලේ අවුරුදු උත්සව තිබ්බා.වෙලේ වතුර කාලෙට පාරෙ අවුරුදු උත්සව තිබ්බා.අපි පාරෙ වෙලේ එහෙම අවුරුදු උත්සව තියද්දි අමරය පුදුමාකාර සහයෝගයක් දුන්නා.වෙන්දේසිකාරයෙක් අලවත්ත ඉඩම අරගෙන කෑලි කඩල විකුණන්න සුදානං වුණේ ඔය කාලෙදියි.

බොහොම දිග කතාවක් කෙටියෙන් කිව්වොත් ලොකු අරගලයකින් පස්සෙ අපේ ගමට පිට්ටනියක් සඳහා ඉඩම් කෑල්ලක් අලවත්තෙන් ලැබුණා.ඡන්දයක් අත ළඟ තිබුණු නිසා බොහොම ඉක්මනට පස් කපල සමතලා කරල පිට්ටනියත් හදල දුන්නා.අලුතෙන් ලැබුණු පිට්ටනියෙ ගමේ කොල්ලො බොහොම සතුටින් ක්‍රීඩා කළා.ඔන්න ඔය විදියට කාලය ගෙවිල යද්දි රැකියාවෙ අවශ්‍යතාව අනුව මට විදේශගත වන්නට සිදුවුනා.පිටරට ගියත් නිවාඩුවට ගෙදර ආවහම පිට්ටනියට ගිහිං සෙල්ලං කරන්න මම අමතක කලේ නෑ.මේ වෙද්දි අපේ පිට්ටනිය අවටපිට බොහොම ජනප්‍රිය වෙලා තිබුණා වගේම සෙල්ලං කරන්න අහළ පහළ ගම්වලින් ළමයි එන්න පටන් අරගෙන තිබුණා.මැච් ගහන්න ටුනමන්ට් තියන්න මේ එන සෑම සියලු දෙනාම පිට්ටනියට ආවෙ අපේ ක්‍රීඩා සමාජයේ ආරාධනයෙන් හෝ එහි අනුදැනුම ඇතිවයි.

මෙන්න මේ පිළිගත් ආකාරයට විරුද්ධව පිට්ටනියෙ සෙල්ලං කරන්නට ආව කණ්ඩායමකුත් හිටියා.මේ අය ටවුමෙ පල්ලිය ආසන්නයෙ  ටැප් එක ළඟ කියන සුප්‍රසිද්ධ තැන තිබුණ නගර සභා නිවාස හරියෙ පදිංචිවෙලා හිටපු කණ්ඩායමක්.(මෙතන ටැප් එක කිව්වෙ පාර අයිනෙ තිබ්බ පොදු ජල කරාමයක්.පැය විසිහතරෙම වතුර ගලාගෙන ගියපු මේ ටැප් එක ළඟ කාන්තා පාර්ශවය පැය විසිහතර පුරාම නෑවා සහ රෙදි හේදුවා.)චණ්ඩි උණ සෑහෙන්න ගහල තිබ්බ මේ අය ළඟ විකට් බැට් බෝල මොකුත්ම තිබුනෙ නැති නිසා ඒවා ඔක්කොමත් බලෙන් වගේ ගත්තෙ අපේ ක්‍රීඩා සමාජයෙනුයි.අනුන්ගෙ ක්‍රීඩා උපකරණ වලින් තමන්ගෙ වගේ අපේ පිට්ටනියෙ ඕනෑ ඕනෑ වෙලාවට ඇවිත් සෙල්ලං කරන මේ අයට විරුද්ධව අපේ ගමේ කවුරුවත් කිසිදෙයක් කියන්න නොගියෙ ටවුමෙ චණ්ඩි එක්ක හැප්පිලා අන්තිමේ ටවුමටවත් යන්න නැතිවෙයි කියල බයටයි.ඊට පස්සෙ මේ අය එක එක ටීම් වලට චැලේන්ජ් කරල මැච් ගහන්න අපේ පිට්ටනියට එක්කං එනවා.ඒ ඇවිත් මැච් ගහන්නෙත් අපේ බැට් බෝල වලින්මයි.ඒ මදිවට සයිකල් පැදගෙන පිට්ටනිය ඇතුළටම එනවා.අපි ඒ දවස්වල සයිකල් පදිනව තියා පිට්ටනියෙ සයිකලයක් තල්ලු කරන්නවත් දුන්නේ නෑ.

පිටරට රාජකාරි කාලය ඉවර කරල මම ලංකාවට එද්දී තිබුණ තත්වය ඔන්න ඔහොමයි.නමුත් මම මේ කාරණා කිසිදෙයක් දැනගෙන හිටියෙ නෑ.එක නිවාඩු දවසක උදේ මම කඩේ පැත්තෙ ගිහිං ආපහු ගෙදර එද්දි පිට්ටනියෙ බොහොම ජයට ක්‍රිකට් මැච් එකක් යනවා.අපේ අය මැච් එකක් ගහනව නං මම නොදැන ඉන්න විදියක් නෑ.අනික කණ්ඩායම් දෙකේම ඉන්න ක්‍රීඩකයන් දැකල පුරුදු අයත් නෙවෙයි.මේ වැඩේ මොකද්ද බලන්න මම පිට්ටනියට ගොඩවුනා.ගමේ කොල්ලො කීප දෙනෙක් පිට්ටනිය අයිනෙ ඉඳන් මැච් එක බලනවා.පිට්ටනිය අයිනෙ සයිකල් දහයක් විතර ගොඩගහල.

මේ මැච් එක මොකක්ද ටුනමන්ට් එකක්ද? මං ඇහුවා.

නෑ අර ටැප් එක ගාව කට්ටිය මැච් එකක් ගහනව...

මම වැඩිදුර විස්තර අහපුවම ඔය විස්තර ටික කියල ගමේ කවුරුවත් බය නිසා මේ වැඩේට විරුද්ධව කතා කරන්නෙ නැහැ බලාගෙන ඉන්නව ඇරෙන්න අපටත්  වෙන කරන්න දෙයක් නෑ කියලත් කිව්වා.කොල්ලො කියාපු කතාවට මට දුක හිතුණා.ටැප් එක ළඟ නෙවෙයි අඟහරු ලෝකෙ ඉඳන් ආවත් වැරදි වැඩේ වැරදිමයි,ඒ නිසා මේ කරන නිග්‍රහය සහ මදිපුංචිකමට විරුද්ධව මමවත් කතා කරනව කියල හිතාගෙන ගිහිං ටැප් එක ළඟ ටීම් එකේ අයගෙන් මේ ගැන ඇහුවා.ටැප් එක ළඟ ක්‍රීඩකයන් සහ මා අතර ඇතිවුන සුහද සංවාදය මේ විදියයි.

තමුසෙ කවුද ඕයි පිට්ටනියෙ අයිතිකාරයද?

අපට මෙහෙ නෙමෙයි ඕයි ඕනැ තැනක ගිහිං මැච් ගහන්න කාගෙන්වත් අහන්න ඕනැ නෑ දන්නවද?

මේ ඕයි...මීට වඩා හොඳ පිට්ටනිවලට අපට එන්න කිව්ව හරිද අපි ගියෙ නැතුවට තමුසෙ දන්නවද?

ඇයි තමුසෙ අපට මොනව කරන්ඩද?

අඩෝ මේ...නිකං...දෙන්නෙ නැතුව පලයං යකෝ ආව මෙතන අපේ ....අරින්න ..

අපේ ආදරණීය සංවාදය උස් හඬින් දිගින් දිගටම ඇදී යනකොට පිට්ටනියෙ සෙල්ලං කරමින් හිටපු අයත් සංවාදයට එකතු වුණා.පන්දුවට පහර දෙමින් හිටපු පල්ලිය ගාව  ත්‍රීවීල් එකක් එලවන ටැප් එක ළඟ තට්ටයා කියන සුරතල් නමින් හැඳින්වෙන ක්‍රීඩකයා බැට් එක දෝත බදල උස්සගෙන දුවගෙන ආවෙ කෙලින්ම මිඩ් විකට් හරහා ඇදී යනසේ මගේ ශීර්ෂයට දැවැන්ත හයේ පහරක් එල්ල කරන්නටයි.

අඩෝ දැනගනිං තොපි ලුණු කන්න හරි ටවුමට එන්න ඕනෑ හරිද එතකොට බලාගන්නං...

මොනවද ඩෝ එතකොට, බලාගන්න දෙයක් දැන් බලාගනිං...

මේ වෙනකොට පිට්ටනියෙ ගෝසාවට ගමේ ගොඩක් දෙනෙක් එතෙන්ට පිරුණා.දැන් වැඩේ නැගලම යනවා, වලිබර අමරයත් එතනම පහළ තියෙන වඩුමඩුවෙ ඉඳල කුරුල්ල වගේ පිට්ටනියට දුවගෙන ආවෙ දැඩි චිත්ත ප්‍රීතියෙන් යුතුවයි.මෙච්චර කල් බයට කවුරුත් කටවහගෙන හිටපු ටැප් එක ළඟ කණ්ඩායමට මම අභියෝග කිරීම ඔහුගෙ සිත අමන්දානන්දයට පත්කිරීමට හේතුවී තිබුණා.මම තියන අඩියක් ගානේ ධෛර්ය වඩවන වචන කියමින් හෙවනැල්ල වගේ අමරය මගෙ පස්සෙන්ම හිටියා.

කෙළල දාමු මහත්තයො ඔවුන්ට මොකට බයවෙන්ඩද? මම ටවුමට යනකොට නියන ඉනේ ගහගෙන යනව.වරෙන්කො ගහන්ඩ,ඇරල දාන්නෙ බොකු බඩවැල් එලියට එන්න...

කොහොමහරි අපිට කෙළගන්න ලැබුනෙ නෑ කට්ටිය වටවෙලා දෙගොල්ල දෙපැත්තට කළා.තවත් පැයක් විතර බැනගෙන ටැප් එක ළඟ කණ්ඩායම පහුබැහැල යන්න ගියා.ගහගන්න කොහොමත් බනින්න නං උන් හරි දස්සයි කියෝනව කියෝනව ගෑනු වගේ.මට බැනිල්ල බෑ එක්කො ගහනව නැත්නං ගුටිකනව එච්චරයි.පිට්ටනියෙ මම ගහගන්නව කියල ගෙදරට ආරංචි උනොත් ඊට හපන් බැනුම්.අන්තිමට වැඩේ ඉවර උනේ පොලිසියටත් ගිහිං.ඒක වෙනම කියන්න ඕනැ තව ලස්සන කතාවක්. ටැප් එක ළඟ ටීම් එක පොලිසියෙදි අපෙන් සමාව ගත්තා.පොලිසියෙ ඉඳන් ආපහු එද්දි අපි ටැප් එක ළඟ නැවතිල එතන තියෙන චෙරි ගහේ ගෙඩි කැඩුවෙ කන්න නං නෙවෙයි.ඔන්න ඔය විදියට ඒ වැඩේ ඉවර උනා.ඊට පස්සෙ ටැප් එක ළඟ ටීම් එක කවදාවත් අපේ පිට්ටනියට ආවෙ නෑ.හැබැයි අපි එන්න එපා කිව්වෙ නෑ. කිව්වෙ සෙල්ලං කරනවනං නිසි පරිදි අවසර ඇතුව සෙල්ලං කරන්න කියලයි.

ඊට පස්සෙ අවුරුද්දෙ මට ආපහු විදේශගත වෙන්නට උනා.ඒ ඇවිත් අවුරුද්දක් ගියෙ නෑ අමරෙ හදිසියෙන්ම මළා.මරණෙ සිද්ද උනේ මෙහෙමයි.යලට වපුරන්න ගෙවල් ළඟ කුඹුර කොටමින් හිටපු අමරෙට එක පාරටම උණ ගත්තා.පැනඩෝල් බිබී දවස් දෙකක් හිටියට උණ බැස්සෙ නැතිතැන ගිහිං බේත් ගත්තා.හවස බේත් අරං ගෙදර ඇවිත් බේත් ටික හෙට ඉඳල බොනව අද අරක්කු ටිකක් බොනව කියල කසිප්පු ගෙනත් බීල තියෙනව.මී උණට අරක්කු වහ වගේලු.පහුවදා උදේ හොඳටම අමාරුවෙලා ඉස්පිරිතාලෙ ගෙනිච්චා.ආපහු ගෙදර එන්න උනේ පෙට්ටියක.මට අමරෙගෙ වල කපන්නත් ලැබුනා෴

Sunday, October 19, 2014

අපේ කඨින පිංකම විලියොංගෙ රස්සාව ජොලාගේ ඕවරේ සහ පොඩීගෙ ලව් එක.

  

අහම්බෙනුත් බ්ලොග් පෝස්ට් ලියවෙනවලු.මොනා හරි ලියන්න දැන් සති දෙකක ඉඳන් තටමනවා.කොටස් දෙකක් ලියපු මගෙ සලාලා සංචාරක සටහනේ ඉතුරු හරිය ලියන්න ගත්තා,බාගයයි.ඊඩ් නිවාඩුවට ගියපු ඩුබායි සංචාරෙ ගැන ලියන්න ගත්තා,බාගයයි.ලියවුනේම නෑ ඉතිං මොකද කරන්නෙ කියල හිත හිතා ඉද්දි කඨින පෙරහැරක් ගැන තුශානි ලියපු මෙන්න මේ  සටහන දැකපුවම කඨින පිංකම් ගැන හිතේ තිබ්බ මතකයන් රාශියක් අවදි වුණා.ඒ වගේම මේ වස් පවාරණ කාලෙ කඨින පිංකම් ගැන ලිවීමත් පිනක් නොවැ.ඒ නිසා කඨින පිංකම් සම්බන්ධ ටීකාවත් පොඩ්ඩක් කියලම ඉමු.

වස් කාලය කියන්නෙ වැහි කාලය,වැහි කාලෙ එක්තැන් වෙලා ඉන්න ස්වාමින් වහන්සේලා වස් කාලය අවසන ලොකු පිංකමක් පවත්වල වස් පවාරණය කරනවා.ඒ වස් පිංකමට අමතරව වස් කාලය පුරාම පන්සලේ පිංකම් රාශියක් පැවැත්වෙනවා.පංසලේ සහ දායක සබාවේ හයි හත්තිය අනුව විවිධාකාරයේ පිංකම් පවත්වනවා.ඒ කියන්නෙ හොඳට ඇති පැති පන්සල් හැම සතියකම අලංකාර මල් පෙරහැරවල් පවත්වනව සහ කඨින පෙරහැර සහ පිංකම ඉතාම අත්‍යාලංකාරයෙන් පවත්වනවා.එතකොට නැති බැරි පන්සල් කරන්නම අවශ්‍ය නිසා නොකර බැරිකමට කඨින පෙරහැර සහ පිංකම පවත්වනවා.මොන ආකාරයට කලත් කඨින පිංකම මහත්පල මහානිසංස ගෙන දෙන පිංකමක් බව හාමුදුරුවරු දෙසා වදාරනවා මම අහල තියෙනව.

කඨින පෙරහැරේ සහ පිංකමේ අර්ථයත් එය පවත්වන ආකාරයත් ඔයගොල්ලො හොඳින්ම දන්න නිසා මම ඒ ගැන වැඩිදුර විස්තර කරන්නට යන්නෙ නෑ.ඒ වෙනුවට මට මතක ඇති කාලෙ ඉඳන් අපේ පංසලේ කඨිනෙ පවත්තපු හැටි ගැන පොඩි විස්තරයක් කරන්නං.අපි තරුණයො සන්දියෙදි කාලයක් කඨින පිංකම බොහොම ජයට කෙරුනෙ පංසලේ හිටපු අරියසෝබන පොඩි හාමුදුරුවන්ගෙ උනන්දුවත් අපේ තරුණ විසේත් හින්දමයි.එක අවුරුද්දක මල් පෙරහැරකට අපි කට්ටිය ලී කෙළි නැටුමක් කළා.පුරුදු කෙරෙව්වෙ ගුණපාල අපි කොල්ලො අටදෙනෙක් සාරිවලින් අන්දන ඇඳුම් ඇඳගෙන තුප්පොට්ටි බැඳගෙන බොහොම ජයට ලීකෙළිය කරමින් පෙරහැරේ නැටුවා.ආ තව එකක් අමතක වුණා මල් පෙරහැරවල් ඉවර වෙලා ගෙදර එන ගමන් කරපු තවත් පිංකමක් ගැන මම ගිය අවුරුද්දෙ ලියපු කොන්ත්‍රාත්තුව  කතාවෙ ලිව්වා.අදාළ කොටස මම එතනින් උපුටල දක්වන්නම්.

"අබේ කියන්නෙත් අපේ කණ්ඩායමේ හිටපු හොඳ හිත ඇති කොල්ලෙක්,කඩවසම් හොඳ උස මහත,ඕනැ දේකට පස්සට අදින්නෙ නෑ.

අබයටත් විලියොංගෙ පවුල එක්ක පොඩි තරහක් තිබුණා.මොකක්ද විලියොංගෙ කොල්ලො දෙන්නා,ඒ කියන්නෙ පකඩයයි,සඳුවයි දවල් තිස්සෙ සෙල්ලං ගෙයක් හදනව.මේක අපි උඹල හදපු සෙල්ලං ගෙවල් වගේ නෙවෙයි,වරිච්චි බැඳල මැටිගුලි තියල පොල් අතු බැඳල,උං ලස්සන බලනව.  පන්සලේ මල් පෙරහැර ඉවරවෙලා මහරෑ ගෙදර එන ගමං අබයයි මමයි මුංගෙ සෙල්ලං ගේ පයිං ඇනල කඩල දානව.අනේ ඉතිං පහුවදා උදෙත් අරුං දෙන්න අඬ අඬා ආපහු සෙල්ලං ගේ හදනව එදා රෑටත් ඒ සෙතේමයි.



අනේ ඒ ඒ... මේ පොඩිඋං දෙන්න වේයො හුඹහ බඳිනව වගේ හදන සෙල්ලං ගේ මේ පාහරයො රෑට කඩල දානවනෙ...කිය කියා දෙස් දෙවොල් තියමින් හිටපු විලියොංගෙ පවුල දවසක් රෑ සෙල්ලං ගේ ලඟ හැංගිලා රැකල ඉඳලා.ඕකෙ වගක් දන්නෙ නැතුව එදත් අබයයි මායි රෑ එනගමන් සෙල්ලං ගෙට වැදිල බිත්තිවලට පයිං අනින්න ගත්තා.



හාආආ...තොපි අල්ලගන්න තමයි මමත් රැකල හිටියෙ හිටපියවු වල් පාහර බල්ලො,තොපේ හතර හන්දි කැඩෙන්න ඕනැ මේ පොඩි උංගෙ සෙල්ලං ගේ කඩනවට....

කොහෙද අකුලක හැංගිලා හිටපු විලියොංගෙ පවුල කෑ ගහගෙන මාරාවේශයෙන් වගේ අපේ පැත්තට දුවගෙන එනවා.අබයටයි මටයි දැං කරකියාගන්න දෙයක් නෑ.අපි දෙන්නා ඔලුව හැරුණු අතේ දිව්වෙ කෙහෙල් පඳුරු දෙබෑ කරගෙන.



දිව්වට වැඩක් නෑ,ගෑණි අපිව අඳුන ගත්ත,කිරිසුදු හඳ එලියනෙ දවල් වාගෙ.මේ ගැනත් පහුවදා හා හෝවක් ගියාට වැඩේ එච්චර දිග දුර ගියෙ නෑ,දෙගොල්ලො බැණගෙන නිකං හිටිය."

මේ වැඩෙත් හිතේ තියං හිටපු අබයා පස්සෙ දවසක විලියොංගෙ ගෑනිට හුජ්ජ ගහල වයිරෙ පිරිමහගත්තා.විලියොං ගෙ පවුලත් වැඩිකල් ජීවත්වුණේ නෑ ඊට අවුරුදු කීපෙකට පස්සෙ මැරිල ගියා.රෙදිමෝලේ රස්සාව කරගෙන හිටපු විලියොං රස්සාවෙන් පැන්ෂන් අරං ටික කාලෙකට පස්සෙ ඔත්පොළ වෙලා ඇවිදගන්න බැරුව ගිහිං කාලයක් අර වෝකර් එකක් පාවිච්චි කරමින් ඇවිද්දා.පහුගිය අවුරුද්දෙ මැද බාගෙ වගේ මිනිහත් මළා කියල මට දැනගන්න ලැබුණා.

විලියොං රස්සාවකට යන්න ගිය හැටි ගැන තවත් කතාවක් තියෙනව,මිනිහ කොල්ල කාලෙ  ගෙවල් ළඟ හිටපු හෙන්දිරික් රස්සාව කළේ කොටුවෙ මහ තැපැල් කන්තොරුවෙ,හරියටම කිව්වොත් හෙන්දිරික් පෝස්ට් මාස්ටර් ජනරාල් ගෙ ඔපිස් පියන්.තැපැල් කන්තෝරුවෙ රස්සාවක් හොයල දෙන්න කියල විලියොං හැම තිස්සෙම හෙන්දිරික්ට කන් කෙඳිරි ගානවා.ඒ කාලෙ මැති ඇමතිල පස්සෙ නොගියට ආයතනයකට සුළු සේවකයෙක් ගන්න ප්‍රධානියාට පුළුවන්කම තිබුණා.ඒ වුනාට ඉතිං රජයේ රස්සාවක් දෙන්නත් මනුස්සයෙකුට අකුරක් ඉලක්කමක් පුළුවන් වෙන්න එපායැ.ගොන් බඳින කණුවක් වෙච්චි විලියොං තමන්ගෙ ලොක්ක ලඟට එක්ක ගිහිං සවුත්තු වෙන්න බෑ කියල හෙන්දිරික් වැඩේ මග අරිමින් හිටියට විලියොංගෙ අම්මල තාත්තලත් වද කරන නිසා දවසක් විලියොංව කන්තෝරුවට එක්කරගෙන ගියා.

උඹ ඔතනින් ඉඳගෙන ඉඳිං, මං රාජකාරි ටික ඉවර කරලා උඹව මහත්තය ලඟට එක්ක යන්නං...

හෙන්දිරික් එහෙම කියල විලියොංව බංකුවක ඉන්දවල ඇතුළට ගියා.පැයක් දෙකක් ඔහොම ඉඳගෙන ඉද්දි එකපාරටම හෙන්දිරික් සුදු කෝට් එකක් ඇඳල නැමි පනාවක් ඉහේ ගහගෙන හිටපු තවත් මනුස්සයෙක් එක්ක ඇවිත් විලියොං ඉදිරියෙ පෙනී හිටියා.

විලියොං, වටීස් යුව නේම් විලියොං...

අර මනුස්සය විලියොං ගෙන් එහෙම අහපුවම විලියොං පණ බයේ ගැහෙන්න ගත්තා.විලියොං උඩ බිම බලද්දි ආපු මනුස්සය අවඥාවෙන් කට ඇද කරල හෙන්දිරික් එක්ක ආපහු යන්න ගියා.ටිකකින් හෙන්දිරික් ආපහු  ආවා.විලියොං තාම දියෙන් ගොඩට ගත්ත මාළුවා වගේ ගඩ ගඩ ගගා ගැහෙනවා.

අනේ බං අයියෙ මාව ආපහු එක්ක පලයං...

ඇයි බොල හරකො කට වහගෙන හිටියෙ,මොනව හරි කිව්ව නං රස්සාව අතේනෙ...

අනේ බං මම  ඉංගිරිස් දන්න එකක්යැ,ඉතිං මොකවත් කියන්නෙ කොහොමද?

යමං යමං උඹයි මායි කොරන ආණ්ඩුවෙ රස්සාවල්...

හෙන්දිරික් විලියොංව කොටුවෙන් කෝච්චියෙ පටෝල ගෙදර එව්වා,අර වැඩේ විලියොං රස්සාවල් ඉල්ලන එක එපා කරවන්න හෙන්දිරික් කරපු උප්පරවැට්ටියක් කියල දැනගෙන හිටියෙ හෙන්දිරික් විතරයි.පස්සෙ කාලෙක රෙදිමෝල හදද්දි ඒකෙ සිල්ලර වැඩට ගියපු විලියොංට  රෙදි මෝල හැදුවට පස්සෙ සිවිල් අංශයෙ රස්සාවක් ලැබුණා.

ඔය රෙදි මෝලෙ ඒ කාලෙ හිටපු මිල් මැනේජර් පෙරේරගෙ පුතා ජොලනන්දන හෙවත් ජොලා රාජගෙ මල්ලි සුදු ගෙ ක්ලාස් මේට් නිසා අපේ සැට් එකත් එක්ක සෙල්ලං කරන්න වල බහින්න එහෙම අපේ ගමට එනවා.

ඔන්න දවසක් අපේ ටීම් එක සික්ස් අ සයිඩ් ටුනමන්ට්  එකක් ගහන්න රාගම ගියා.ටීම් එකට කට්ටිය හදිසියෙ හොයාගන්න ලැබුනෙ නැති නිසා මම ටක් ටක් ගාල ඇහින්දාස් ටීම් එකක් හැදුවා,ක්‍රීඩකයෝ ටික මෙහෙමයි මම,වෙනුජ,ජොලා,එතකොට බී රෝඩ් එකේ එකම වෘත්තීය ක්‍රීඩකය වුන පියසිරියි තව පොලු කඩල යන්න බෝල් කරන කොල්ලෙක් හිටිය, ඔය පස්දෙනයි මාත් එක්ක ඉස්පිරිතාලෙ වැඩකරපු පොඩීයි,හයදෙනා ඔහොමයි.කට්ටිය කෝච්චියෙ ගිහිං රාගමින් බැහැල ටූනමන්ට් එක තිබ්බ මහර හිරගෙදර පිට්ටනියට ගියා.

අපේ මැච් එක තිබුනෙ කඩවත ටීම් එකක් එක්ක.අපි ඉස්සෙල්ල බැට් කරල අවුලක් නැතුව පනස් ගාණක් ගහගත්තා.ඔන්න කඩවත ටීම් එක බැට් කරන්න බැස්සා.අපේ දෙන්නෙක් දාපු ඕවර් දෙකට හිරවෙලා හිටිය බැට්ස්මන්ලට පහළොවක් වත් ගහගන්න ලැබුනෙ නෑ.තුන්වෙනි ඕවරේ දාන්න ජොලා බෝලෙ ගත්ත.මූ හොඳටම කොටයි.ස්පීඩ් කරන්න යන්න ඕනෑ නෑ ගානට පිච් කරල බෝලටික දාගනින් කියල මම ඌට වැඩි හොඳට කිව්වා.ජොලා දුවගෙන ගිහිං පළවෙනි බෝලෙ දානකොටම අම්පයර් නෝ බෝල් කියල කෑගැහුව.බෝලෙ ට්‍රැක් එකේ මැද පිච්වෙලා ගානට ඉස්සිලා ආවා.බැට්මන් අත දිග ඇරලා දුන්න පාරක් බෝලෙ ජිල්බෝලෙ වෙන්න,රූං ගාල විදිල්ල වගේ තිතක් වෙනකං උඩගිය බෝලෙ ගිහිං වැටුනෙ පිට්ටනියෙනුත් එහා පැත්තෙ කණාටු රබර් කෑල්ලෙ.හයයි.ඊළඟ බෝලෙටත් ඒ සෙතේමයි.ජොලා ඕවරේට බෝල දහයක් හෝ එකොළහක් දැම්මා.උගෙ ඕවරෙන් පස්සෙ මැච් එකත් ඉවරයි.

අපි මැච් එක පැරදුනාට වැඩියම සතුටු වුනේ අපේ පොඩී,ඒ මොකද කිව්වොත් උගෙ කෙල්ල වැඩ ඇරිල ස්ටේෂන් එකට එන වෙලාවට ආපහු යන්න ලැබුන නිසා.ඒකත් තරමක් දිග දුර ගිය කතාවක්.පොඩී යාලුවෙන්න කළින් ඔය කෙල්ල ඔබ පෙම් කරනා ඔබේ කුමාරී වගේ මටත් ආදරෙයි කියල තිබුණා.ඒ කතාවෙ කොටසක් මම මෙන්න මෙතන ලිව්වා.ආයෙම ඒ කතාව ලියන එකේ තේරුමක් නෑනෙ.ඉතිං අපේ ආදර ගීතය ඉවර උනායින් පස්සෙ පොඩී ඒ කෙල්ලත් එක්ක අලුත්ම ආදර ගීතයක් ගයන්න පටන් ගත්තා.කෙල්ල උසට මහතට පෙනුමට හිටියට පොඩී නං කැහැටු කොල්ලෙක්, හරියට දැති ගොයියෙක් වගේ.දෙන්නගෙ ගැලපීම ඉස්පිරිතාලෙම හිටපු ගෑනු කෙනෙක් දැක්කෙ මේ විදියටයි.

අපොයි,ලොරියට බයිසිකළේ හේත්තු කළා වගේ...

ඔය වගේ එක එකා කියපු කට කැඩිච්ච වරත්තු කතා නං උන් දෙන්න පයිසෙකටවත් ගණන් ගත්තෙ  නෑ,තමන්නෙ පාඩුවෙ ලව් එක ඇදගෙන ගියා.ඒ උනාට දැන් වෙලා තියෙන්නෙ ඊට හපන් වැඩක්නෙ, මුන් දෙන්න ලව් කරන තැන මටත් ඉන්න වෙලා.බොලාට හොඳ නං මටත් මොකද කියල අපි කට්ටියම රාගම ස්ටේෂන් එකට ආවා.ඔන්න කෙල්ලත් වැඩ ඇරිල වෙලාවට ස්ටේෂමට ආවා.මාත් හිටපු නිසා දෙන්න ඉස්ටේසමේ ලව් කරන්න ගියෙ නෑ, ඇඹරි ඇඹරි ඉඳල කෝච්චිය ආපුවම උන් දෙන්න එක පෙට්ටියකට නැග්ග අපි කට්ටිය වෙන පෙට්ටියකට නැග්ග.වැඩේ ගොඩ දාගත්තෙ ඔන්න ඔහොමයි.ඔය විදියට ලව් කළාට මොකද උන් දෙන්නට එකතු වෙන්න ලැබුනෙ නං නෑ.මොන ආකාරයෙන් හෝ ඒ ලව් එකත් කැඩිල ගියා.පස්සෙ කාලෙක පොඩී උන්නෙ ගමේම දීගෙ අත් ඇරිච්ච ගෑනු කෙනෙක්ව බැඳගෙන හොඳට සතුටින් සමාදානෙන්  පවුල් කෑවා.ඒ කාලෙ වෙනකොට පොඩී වැලිසර ඉස්පිරිතාලෙ ඉඳල ගෙවල් ළඟ තිබ්බ ග්‍රාමීය ඉස්පිරිතාලෙකට මාරුවක් අරං තිබ්බා.පොඩීගේ ආරාධනයෙන් දවසක්දා අපි යාළුවො හත් අට දෙනා දවල් කෑමකට පොඩීලගෙ ගෙදර ගියා.

රස්සාවට අමතරව පොඩීගෙ තව ඉඩම් කෑල්ලක අන්නාසි දාල තිබුණා,ඒ ඉඩමෙම කිකිළියො තුං හාරසීයක කොටුවක්  තිබුණා.පොඩීගේ බිරිඳ බොහොම ධෛර්ය සම්පන්න කාන්තාවක් බව බැලු බැලු හැමතැනම පෙනෙන්නට තිබුණා.අන්නාසි වලිනුත් බිත්තර වලිනුත් මාසෙකට සෑහෙන ආදායමක්  ලැබෙනවා කියල පොඩී අපිත් එක්ක කිව්වා.පොඩී මනුස්සයෙක් වගේ ඉන්න එක ගැන අපටත් හරිම සතුටුයි.දීපු අන්නාසිත් අරං අපි ගෙදර ආවා.නමුත් මේ සමෘද්ධිමත් භාවය තිබුනෙ බොහොම ටික කාලයයි,තදින්ම බීමට ඇබ්බැහි වුන පොඩී රස්සාවට යන්නෙත් නැතුව දවස පුරාම බීමතින් ගමේ රස්තියාදු ගහමින් ඉන්නව කියල මට ආරංචි වුණා.ඔය කාලෙ වෙද්දි මාත් ඉස්පිරිතාලෙන් මාරුවෙලා වෙන රස්සාවකට ගිහිං හිටියෙ.

එක නිවාඩු දවසක අපි කට්ටිය ඒ කිව්වෙ මමයි කුවින්ටසුයි, පෝටයයි අපේ ගේ ඉස්සරහ මායක්කලගෙ වත්තෙ ගල උඩ පොඩි කර්තව්‍යයක් කරමින් ඉද්දි එකපාරටම පොඩී ඔතෙන්ට කඩා පාත් උනා.ඒ ගමන පොඩීටත් වැඩේට සම්බන්ධ වෙන්න කිව්වම  චුට්ටක් වීදුරුවට දාගෙන කට ඇඹුල් කරමින් හිටිය මිසක බිව්වෙ නෑ.අපි මොකද කියල ඇහුවම.

මට මෙව්ව හරියන්නෙ නෑ බං,සුදුව නැද්ද?

ඒ ගමන ඌට සුදුව බෝතලයක් ගෙන්නල දුන්නම බොහොම සතුටින් බිව්වා.හැබැයි දෙක දානකොට කට් වගේ පෙනුන නිසා ගිහිං මගෙ කාමරේ ඇඳට දාපං කියල කුවින්ටස්ට බාරදුන්නා.අපේ වැඩේ ඉවරකරල කෑමට යනකොටත් පොඩී නිදි.කන්න කිව්වට කන්නත් බෑ ගෙදර යන්න ඕනැ කිව්වම කොල්ලෙක් අතේ සයිකලේක පොඩීව ගෙදරට පිටත් කරල අපි දෙතුන් දෙනා දවල්ට කෑවා.කෑවට මොකද කුවින්ටස්ගේ මුණ හරි නෑ.මම ඒ ගැන උගෙන් ඇහුවා.

මාර වැඩේනෙ උනේ,අර යාළුවව නිදාගන්න ඇඳට දාල ගිහිං ටිකකින් මම ආපහු බලන්න ආවා.ඇවිත් බලනකොට මූ ඇඳේ හුජ්ජ කරලනෙ."පොඩි පම්ප් එකක් දැම්ම මචං ගාණක් නෑ නේද කියල" පොර මගෙන් අහනව.

ගිහිං බලනකොට ඇඳ වැවක් වගේ, හුජ්ජ පදාසයයි.ඒ ගමන කුවින්ටස්ල බෙඩ් ෂීට් එකයි මෙට්ටෙයි දෙකම ගෙනිහින් හෝදල අව්වට දැම්මා.හොඳ වෙලාවට ඒ කාලෙ අපි තනිකඩ කොල්ලො.බොන එකට ගෑනු බනින්නෙ ඔන්න ඔය වගේ කබල් වැඩ සිද්දවෙන නිසා වෙන්න ඇති.බනිනව කිව්වම මට තවත් කතාවක් මතක් උනා.ඒකත් කියලම ඉන්නං ඈ. එක්කොත් කම්මැලියි ඔච්චර කොටන්න,ඒ කතාව වෙනම පෝස්ට් එකක් හැටියට ලියන්නං.෴