Saturday, January 5, 2013

10.කොන්ත්‍රාත්තුව

මේ සිද්දිය වුනේ දැනට සෑහෙන කාලෙකට ඉස්සෙල්ල අපි ගමේ රස්තියාදු ගහන කාලෙ.
 
අපේ කණ්ඩායමේ නිතරම හත් අට දෙනෙක් හිටියා.උදේ ගෙදරින් පිටවෙන කට්ටිය එකතුවෙන්නෙ පොඩිමහින්දගෙ කඩේ.
 
හවස් වෙනතුරු දවස ගෙවාගන්න, කට්ටිය එකතුවෙලා බොහෝදේවල් කරනවා.සමාජ සේවයක්,ශ්‍රමදානයක් ,කාගෙහරි ගෙදරක වැඩක් තිබුණොත් ඉස්සරවෙලාම යන්නෙ අපි තමයි.
 
හැන්දෑ වෙනකොට අලවත්තෙන් හොරෙන් අන්නාසි කඩන්නයි,ඒ වත්තෙම ගහකින් කුරුම්බා කඩාගෙන බොන්නයි,මහලිඳේ පැනල නාන්නයි කට්ටිය අමතක කලේ නැහැ.

හැමදාම නොවුණත් මේ වැඩවලට ඉඳහිට එකතුවෙන කීප දෙනෙකුත් හිටිය,ඉඳහිට කීවෙ ඒ අය රස්සාවල් කරපු නිසා.බඩ මුණසිංහ සහ නෙල්සන් එයින් දෙන්නෙක්.

දෙන්නම රස්සාව කළේ අපේ ගමේ තිබ්බ රෙදි මෝලෙ.වැඩමුර ක්‍රමයට මෝල පැය 24 ම වැඩ කලා.වැඩ යෙදෙන වෙලාව අනුව මෝලෙ වැඩකරන අය රෑ දවල් දෙකේම ගම මැදින් තියෙන පාරෙන් රෙදිමෝලෙ වැඩට යනව.

ඔන්න ඔහොම යන වෙලාවක තමයි බඩ මුණේ විලියොංගෙ පවුලත් එක්ක අරෝවක් ඇතිකරගත්තෙ.මොකක් හරි පොඩි ප්‍රශ්ණෙකට ,එක්කො ගේ ඉස්සරහ පාරෙ හරහට නිදාගෙන ඉන්න බල්ලගෙ කකුල බයිසිකලේට යට කරල හරි මොකක් හරි ඔයවාගෙ සුලු දේකට.විලියොංගෙ පවුල බඩ මුණේට හොඳටම දොස් කියල.

බඩ මුණයට හරිම කේන්තියි,මිනිහ බලන්නෙ දැන් මේ ගෑණිගෙන් පලිගන්න.

දවසක් වැඩට යද්දි නෙල්සන් මුණගැහුණා,නෙල්සන් එක්ක බඩා විස්තරය කිව්වා,කියල ඇහුව මේකට මොකක් හරි කරන්න බැරිද කියල.වියදමක් යනවනම් ඒකටත් ලෑස්තියි කියලත් කිව්වා.
 
නෙල්සනුත් කල්පනා කරල කියන්නම් කියල ඇවිත් දවසක අබේට කතාකරල දෙන්න ප්ලෑනක් ගහගත්තා.කොන්ත්‍රාත්තුවෙ ගාණ රුපියල් 10 යි,මුණය සල්ලිකාරයනෙ,ඌට ගාණක් නෑ.

අබේ කියන්නෙත් අපේ කණ්ඩායමේ හිටපු හොඳ හිත ඇති කොල්ලෙක්,කඩවසම් හොඳ උස මහත,ඕනැ දේකට පස්සට අදින්නෙ නෑ.

අබයටත් විලියොංගෙ පවුල එක්ක පොඩි තරහක් තිබුණා.මොකක්ද විලියොංගෙ කොල්ලො දෙන්නා,පකඩයයි,සඳුවයි දවල් තිස්සෙ සෙල්ලං ගෙයක් හදනව.මේක අපි උඹල හදපු සෙල්ලං ගෙවල් වගේ නෙවෙයි,වරිච්චි බැඳල මැටිගුලි තියල පොල් අතු බැඳල,උං ලස්සන බලනව.
 
පන්සලේ මල් පෙරහැර ඉවරවෙලා මහරෑ ගෙදර එන ගමං අබයයි මමයි මුංගෙ සෙල්ලං ගේ පයිං ඇනල කඩල දානව.

අනේ ඉතිං පහුවදා උදෙත් අරුං දෙන්න අඬ අඬා ආපහු සෙල්ලං ගේ හදනව එදා රෑටත් ඒ සෙතේමයි.

අනේ ඒ ඒ... මේ පොඩිඋං දෙන්න වේයො හුඹහ බඳිනව වගේ හදන සෙල්ලං ගේ මේ පාහරයො රෑට කඩල දානවනෙ...

කිය කියා දෙස් දෙවොල් තියමින් හිටපු විලියොංගෙ පවුල දවසක් රෑ සෙල්ලං ගේ ලඟ හැංගිලා රැකල ඉඳලා.

ඕකෙ වගක් දන්නෙ නැතුව එදත් අබයයි මායි රෑ එනගමන් සෙල්ලං ගෙට වැදිල බිත්තිවලට පයිං අනින්න ගත්තා.

හාආආ...තොපි අල්ලගන්න තමයි මමත් රැකල හිටියෙ හිටපියවු වල් පාහර බල්ලො,තොපේ හතර හන්දි කැඩෙන්න ඕනැ මේ පොඩි උංගෙ සෙල්ලං ගේ කඩනවට....

කොහෙද අකුලක හැංගිලා හිටපු විලියොංගෙ පවුල කෑ ගහගෙන මාරාවේශයෙන් වගේ අපේ පැත්තට දුවගෙන එනවා.

අබයටයි මටයි දැං කරකියාගන්න දෙයක් නෑ.අපි දෙන්නා ඔලුව හැරුණු අතේ දිව්වෙ කෙහෙල් පඳුරු දෙබෑ කරගෙන.

දිව්වට වැඩක් නෑ,ගෑණි අපිව අඳුන ගත්ත,කිරිසුදු හඳ එලියනෙ දවල් වාගෙ.
මේ ගැනත් පහුවදා හා හෝවක් ගියාට වැඩේ එච්චර දිග දුර ගියෙ නෑ,දෙගොල්ලො බැණගෙන නිකං හිටිය.

ගෑණි බැන්නට පලි ගන්නත් එක්ක අබයා නෙල්සන්ගෙ ප්ලෑනට කැමතිවුණා.

දෙන්න වැඩේට තෝරගත්තෙ විලියොං රෑ වැඩ දවසක්,මට කියන්න අමතක වුණා,විලියොං වැඩ කලෙත් රෙදිමෝලෙ.මිනිහා එදා හවස 3 ට වැඩට ගිහිං රෑ 11ටයි ආපහු එන්නෙ.බඩ මුණයත් මොකුත් නොදන්න ගානට හවස වැඩට ගියා.

එදා රෑ 10ට විතර ගමේ ප්‍රජා මණ්ඩලේ පිටිපස්සෙ මුණගැහුණු අබෙත් නෙල්සනුත් හීංසීරුවෙ ක්‍රියාත්මක වුණා.ලොකු පොල් කෝම්බයක් හොයාගෙන ආපු අබේ ඒකට මුත්‍රා කලා.ඊට පස්සෙ නෙල්සන්,කොහොමහරි පොල් කෝම්බෙ පුරෝල හුජ්ජ.

ඊට පස්සෙ දෙන්න එතනම බිම වාඩිවෙලා කල් මරන්න ගත්තා වෙලාව එනකල්.
ඔන්න රෑ 11 ට පහක් තියෙද්දි රෙදිමෝලෙ වැඩමුර මාරුවෙන්න නලාව මහහයියෙන් කෑ ගහන්න ගත්තා,ඒක අහලගං හතකටම ඇහෙනවා.

ටිකකිං ආයෙත් 11 ට නලාව කෑගැහුවා,ඒ වැඩ කරපු විලියොංලට පිටත් වෙන්න.
නෙල්සන් මේක අහගෙන ටිකක් වෙලා බලාගෙන හිටියා.විලියොං ගෙදර එන්න කලිං වැඩේ ඉවර වෙන්නත් ඕන,නලාව පිඹපු ගමන්ම විලියොංට ගේ ගාව පහළ වෙන්න බෑනෙ,ගෙදර එන්න ටිකක් වෙලා යනවනෙ.

තවත් ටිකකිං නෙල්සන් හෙමිහිට නැගිටලා විලියොංගෙ මිදුලට ගිහිං ගෙට ගොඩවුණා.පිටිපස්සෙං හුජ්ජ පොල්කෝම්බෙත් අතේ තියාගත්තු අබයා.

ටක්..ටක්.. ටක්..නෙල්සන් දොරට තට්ටු කරනව,විලියොං වගේ කටහඬ වෙනස් කරල..
ඕයි... කිව්ව.

ඉස්තෝප්පුවෙ දොර ඇරෙන්නෙ එලියටද,ඇතුළටද කියල මේ දෙන්න කලිං බලාගෙනයි තිබුණෙ,දොර ඇරෙන්නෙ ඇතුළට.

චීත්තයක් පොරවගෙන කුප්පිලාම්පුවකුත් අතිං ගත්තු විලියොංගෙ පවුල දොර අරිනවත් එක්කම නෙල්සන් ඉස්තෝප්පුවෙ කොට බිත්තියෙන් පිළිකන්නට පැන්නා.විදුලි වේගයෙන් ක්‍රියාත්මක වුණු අබේ පොල්කෝම්බෙ තිබුණු හුජ්ජ ටික විලියොංගෙ පවුලගෙ මූණට දමල ඇරිය.

ඈයියාආ.....මේ මොන ජරාවක්ද යකෝ...

හුජ්ජවලින් නෑවිලා ගිය ගෑණි සිහි එළව ගන්නත් කලින් දෙන්න ඔලුව හැරුණු අතේ පැනල දිව්වා.
ඊට පොඩ්ඩ වෙලාවකට පස්සෙ විලියොනුත් එක්ක වැඩ ඇරිල ගෙදර එන බඩ මුණේ සිද්ද වෙච්චි දේ අහල අකම්පාල වුණා.පැනල ගිය එවුං හොයන්න යන්නත් විලියොංට කතාකලා,දැං ඔවුන් හොයාගන්න බැරිවෙයි කියපු විලියොං නං නිදාගත්තා.

කොන්ත්‍රාත්තුවට ලැබුණු මුදලින් පහුවදා අපට හොඳ සංග්‍රහයක් ලැබුණා.

මේ වැඩේ කලේ කවුද කියලා අද මේ වෙනතුරු දන්නෙ අපි කීප දෙනා විතරයි. කතාව ඕකයි දැං තියෙන්නෙ පූර්වාපර සන්ධි ගැලපීම.

ගමේ ඉන්නකං අපේ හැම වැඩකටම සම්මාදං වුණු බඩ මුණේ පස්සෙ කාලෙක උසස්වීමක් ලැබිලා පූගොඩ රෙදිමෝලට මාරුවෙලා ඒ පැත්තෙන්ම පවුල් වුණා,මගුල් ගෙදරට අපි කට්ටියම පූගොඩ ගියා,ඊට පස්සෙනම් ඇහැටවත් දැක්කෙ නෑ.

ඒ කාලෙ ගමේ බෝඩිං වෙලා හිටපු නෙල්සන් පස්සෙ අපේ ගමෙන්ම පෙළවහක් කරගෙන ගමේම ගෙයක් හදාගෙන පදිංචි වුණා.දැන්නං ළමයිනුත් ලොකුයි,ලොකුදුවගෙ මගුලත් ඊයෙ පෙරේදා තුබුණෙ,මටත් මතක් කරල තිබුණා,ඒත් ඉතිං මට යන්න විදිහක් තියෙන එකක්යැ.

පහුකාලෙක අබේට අපේ ගමට අල්ලපු වැටේ තිබ්බ හාල් ගබඩාවෙ රස්සාවක් ලැබුණා,ඒත් වැඩි කාලයක් රස්සාව කරගෙන ඉන්න බැරිවුණා,මිනිහගෙ ඔලුව නරක් වුණා,අවුරුදු ගාණක් ඉස්පිරිතාලෙ හිටියා,මොනතරං බේත් හේත් බලි තොවිල් කලාද,කෝ මොන ආකාරයකටවත් නිට්ටාවටම සනීප කරගන්න බැරිවුණානෙ,හොඳවුණාම ගෙදර එවනව,ඒත් ඉක්මනටම ආපහු ලෙඩේ මතුවෙනව.අබේගෙ ජීවිතේ ඉතිරිහරියත් ඉස්පිරිතාලෙටම ගෙවිලයයි,ඉඳහිට ටිකට් කපල ගමට ආපුවෙලාවට මාත් එක්ක කතාබහකරල යනව.

විලියොංගෙ පවුල ඊට ටික කාලෙකට පස්සෙ හදිස්සියෙම මළා.විලියොංට දැං ඇවිදින්න බෑ,ගෙදරමයි.යන දිහාක යන්නෙ අර ආධාරකයක උපකාරයෙන්.

මැටිවලින් සෙල්ලං ගෙවල් හදපු සඳුවයි,පකඩයයි දැන් පින්තාරුකරුවො දෙන්නෙක්,ළඟදි අපේ ගෙදර තීන්ත ගාන කොන්ත්‍රාත් එක ගත්තු බාස්ගෙ ගෝලයො හැටියට ආවෙ උං දෙන්නා.

අපි හොරෙං අන්නාසි කඩපු අලවත්ත දැනට අවුරුදු 15 කට විතර ඉස්සර කෑලි කඩල වෙන්දේසි කළා,වෙන්දේසිකාරයො අලුත් නමකුත් දැම්මනෙ සමර් ගාඩ්න් කියල, තියෙන නම ලස්සන මදිවෙලා,මමත් ගේ හදාගත්තෙ ඒ වත්තෙන් ගත්තු ඉඩම් කෑල්ලක.
පොඩි කාලෙ අපි දුව පැනපු,ගුඩු ගහපු, හීනයක් වගේ සුන්දර අපේ ළමා කාලය ගෙවිල ගිය අක්කර 50ක විශාල වත්ත පුරාම දැන් ගෙවල් හැදිල,පාරවල් හැමතැනම.
වත්තෙ කොහෙටහරි යන හැම වෙලාවකදිම අතීත සුන්දර මතකයන් අවදිවෙලා හිත හඬා වැටෙන එක මට කොහොමටවත් නවත්තගන්න බෑ.
ප.ලි:හැඳල ඉස්පිරිතාලෙ නේවාසිකව හිටපු අබේ දැනට මාසෙකට විතර උඩදි මලා කියල මට පණිවිඩයක් ලැබුණා.

16 comments:

  1. ගෝනහේන පැත්තෙද මංදා..?

    ReplyDelete
    Replies
    1. ඔහොම කියවනකොට ඉක්මනටම කොහෙද කියල දැනගනී

      Delete
    2. මාරයෝ මටත් ඕකම හිතුනා , රෙදි මෝල් කතාව තමා චුට්ටක් අවුල්

      Delete
    3. හරි වැඩේ නේද අටම්,රෙදි මෝල් තිබුණු තැන් හොයන්නත් වෙනවනේ.

      Delete
    4. ඇයි බං අටමො සූරි ආරච්චි මහත්තයගේ බලවේගේ... ඒ කිව්වේ අර පේෂකාර්මාන්තේ... අර හාල් ගබඩාවනං මාවරමණ්ඩිය හරියේ වෙන්ට ඇති...

      Delete
    5. අප්පට අර පන්සල පහු කරනකොට තියන එකද . තාමත්එතන මොකක්ද අටමගලක් තියනවනේ

      Delete
    6. ඒක තමා... දැන් ඒක මං හිතන්නේ ඩී එස් අයි එක අරං තියෙන්නේ...

      Delete
  2. අනේ කාලේ මවන අරුමේ.... ඒ අතීතය ඇත්තටම සුන්දර ද අසුන්දර ද. කොහොමත් බොහොම ලස්සන මතකයක්...
    මම සමකය වටේ ලියන නලින්

    ReplyDelete
    Replies
    1. නලින්,අතීතය අතින් අල්ලල බදා ගන්න හිතෙන තරමට සුන්දරයි.

      Delete
  3. බොහොම රහට ලියලා තියෙනවා... ඒ උනාට අර අහිංසක ගෑණිට කරපු වැඩේට නම් හරිම සවුත්තුයි...

    ReplyDelete
    Replies
    1. මොනව කරන්නද සිරා,අපි ඉතිං ගෑණිගෙ පැත්තෙන් හිතුවෙ නැහැනෙ

      Delete
  4. ඔය වයසට ඉතින් කරන දේ හොඳ නරක හිතන්නේ නැහැනෙ.. .. අපි කාගෙත් කිල්ලෝට වල ඔය වගේ හුණු ටික ටික තියෙනවා.

    ReplyDelete
  5. අදත් එලකිරි! හැබෑටම මේ උදවිය දැන් බ්ලොග් කියවන්නෙ නැතුවඇති නේද?
    මට පේන්නෙ අපේ සරත් අයියත් කාටහරි චූ ගහල තියනව වගේ. :)

    ReplyDelete
  6. මේ කතාව කියන උන්දෑ ගැන කියලා නැහැනේ...

    ReplyDelete
  7. හුජ්ජ කොම්බේ .. හුකැස්

    ReplyDelete

ඔබේ අදහස්