අනූහයේ ජනවාරි තිස් එක,ඒ කියන්නෙ අදට අවුරුදු දාහතකට ඉස්සෙල්ල ,කාලය කොච්චර වේගයෙන් ගෙවිල යනවද.....එදා දවස නම් ජීවිතේ තියෙනතුරු අමතක කරන්න බැරිවෙයි.
ඔය කාලෙ මම වැඩකලේ වරායෙ..අපේ කන්තෝරුව තිබුණෙ බණ්ඩාරනායක ජැටියෙ.ජනවාරි තිස් එක් වෙනිදත් සුපුරුදු විදියට වැඩට ගිය මට එදත් තවත් දවසක් විතරයි.
වෙලාව ගැන මට එච්චර මතකයක් නෑ(පස්සෙ සෝදිසි කරල බලපුවාම දවල් එකොළහට )මම තවත් යාලුවෙකුගෙ පුටුවක ඉඳගෙන හිටියෙ.
එකපාරටම තියුණු ශබ්ද තරංගයක් මගෙ එක කණකින් ඇතුල්වෙලා අනික් කණෙන් පිටවෙලා ගියා...මාව නිකං ඇලවෙලා ගියා වාගෙ.
ඒ සද්දෙ නං එච්චර හොඳ එකක් නෙවෙයි....ජුලියස් කියනව,
එතකොටම දොරෙන් එළියට ආපු මම දැක්කෙ ලංකා බැංකු බිල්ඩිමේ(පිට්ටු බම්බුවෙ )උඩම තට්ටුවල
ජනෙල්වල වීදුරු කෑලි එළියට වීසිවෙනව.
බෝම්බයක්ම තමයි.....කට්ටිය කතාවුණා..
අපි කට්ටියම එකවර ඒ පැත්තට යන්න පිටත්වුණා...
වරායෙ ලේඩන් බැස්ටියන් ගේට්ටුවෙන් අපි එළියට එනකොට පාර පිරිල සෙනග,යෝක් වීදියෙන් ජනාධිපති මාවත පැත්තට ඇදෙනව.
අන්තිමට වෙච්චි දේ ආරංචි වුණා...
මහ බැංකුවට බෝම්බ ගහල.....
මගෙ ඇඟ හීතල වෙලා ගියා,බිරිඳ උදේ වැඩට ආව නේද...
අපි අඩිය ඉක්මන් කරල ඒ පැත්තට ගියා,ඔරලෝසු කණුව පහුකරල වැඩිදුරක් යන්න වුණේ නෑ,පාර වහල....
මහ බැංකුවයි ඒ ඉස්සරහ තියෙන සෙලින්කෝ බිල්ඩිමයි හෝ ගාල ගිනි ගන්නව,ගිනි දළු බුර බුරා නැගෙනව.
ගිනි නිවන හමුදාවයි එයාපෝස් හෙලිකොප්ටර් වලිනුයි වතුර ගහනව,
ඇම්බියුලන්ස් රතු එළි පත්තුකරගෙන කෑගහනව,එකම කලබැගෑනියයි.
ඔන්න ඔය වෙලාවෙම වැස්සකුත් ඇදහැලුනා.
අති විශාල කම්පනයක් ඇතිවුණාම එහෙම වැහි වැටෙනව,
කවුරුවක්වත් දන්න කෙනෙක් හොයාගන්න නෑ,ආපහු යමු...අපි කතාවුණා.
ඉස්පිරිතාලෙට ගිහින් බලන්න...තව කවුද කෙනෙක් කිව්වා.
කට්ටියම ආපහු ඔෆිස් එකට ඇවිත් අපේ ලොක්කගෙ පරණ කැබ් එකේ නැගල ඉස්පිරිතාලෙට යන්න පිටත්වුණා.
මග දිගටම ට්‍රැපික්...හරිම අමාරුවෙන් විනාඩි හතළිස්පහකට විතර පස්සෙ පුංචි බොරැල්ලට ආව.
මම එතනින් බැහැල ඉස්පිරිතාලෙට යන්න පිටත්වුණා,ලොක්ක එයාගෙ ළමයි බලන්න නාලන්දෙට ගියා,එයාට ඉන්නෙ තුන් නිවුන් දරුවො,කොල්ලොම තුන්දෙනෙක්.
ඉස්පිරිතාලෙට යන්න ගියාට ලඟටවත් යන්න බෑ සෙනග සේනාව ඊස් මීස් නෑ.ඉස්පිරිතාලෙ ගේට්ටු ඔක්කොම වහල,ඇම්බියුලන්ස් කෑ ගහගෙන තුවාල කාරයින්ව ගේනව.ගේට්ටුව ලඟ නවත්තන ඇම්බියුලන්ස් වලට සෙනග කඩාවදිනව තමන්ගෙ ඥාතිය හිතවතා ඉන්නවද බලන්න.
ඔය අස්සෙ හිරවෙන්න බැරිනිසා මම පොඩ්ඩක් පැත්තකට වෙලා හිටියෙ,එතකොට තමයි නිමල් එනව දැක්කෙ,අපි දෙන්නම එකතුවෙලා ගේට්ටුව ලඟට ගියා.ගේට්ටුව ගාව ප්‍රියන්ත අඬ අඬා ඉන්නව ප්‍රියන්තගෙ බිරිඳත් වැඩ කරන්නෙ මහ බැංකුවෙ.
ඉස්සරහටම යනකොට පොඩි ගේට්ටුවක් ලඟ රාජපක්ෂ ඉන්නව.රාජා අපිත් එක්ක කෝච්චියෙ යන එන එකෙක්,වැඩ කරන්නෙ එම් ආර් අයි එකේ.
උඹල එනකං තමයි බලාගෙන හිටියෙ .....කියපු රාජා අපි දෙන්නව ඇතුළට ගත්ත.කොරිඩෝ දිගේ අපිව එක්කං ගියපු රාජා එක තැනක නැවතිලා කිව්ව,
ගෙනාපු බොඩීස් ඔක්කොම මෙතනයි තියෙන්නෙ,විකෘතිවෙලා නම් මූණෙන් අඳුනා ගන්න බැරිවෙයි.....උදේ ඇඳන් ආපු ඇඳුම මතකනෙ...එහෙමවත් අඳුනගන්න බලන්න....කියල.
නිමල් ගත් කටටම කිව්ව ..
අනේ.. මටනම් බෑ ඔයාම ගිහිං බලන්න කියල...
මටත් මොකද්ද වගේ,ඒත් මොනව කරන්නද...කවදද හිතුවෙ තමන්ගෙ ආදරණීයයන්ගෙ කැඩුණු බිඳුනු සිරුරු ඉස්පිරිතාලෙකදි හොයාගන්න වෙයි කියල...
මෙහෙම කාලකණ්ණි අවස්ථාවකට මම මූණ දුන්නමයි,ඉස්සර ඉස්පිරිතාලෙ වැඩ කරන කාලෙ නං කපල දාපු මළසිරුරක් පැත්තකින් තියාගෙන කෑම කන්න වුණත් පුලුවනි.එච්චරට හිත ගල්වෙලා තිබුණෙ,ඒත් කාලයාගේ ඇවෑමෙන් ආපහු හිත මෘදුවෙලා...
දැන් කරන්න දෙයක් නෑ...යථාර්ථයට මූණ දෙන්න එපායැ...මම හිත තද කරගෙන ඇතුළට ගියා.
අනේ සංසාරේ කියල මට හිතුණ...උදේ ගෙවල්වලින් සතුටින් පිටවෙච්චි අය නේද මේ...
කහපාට පොලිතීන් වලින් ඔතපු සිරුරු කෙහෙල් කඳන් වගේ බිම පෝලිමට දාල තියෙනව.
මළ සිරුරු එකක් නෑර මම හොඳින් බැලුව...ම්හ්..දන්න කවුරුවත් නෑ.
අපි එතනින් පිටත් වෙලා ඉස්පිරිතාලෙ ඔෆිස් එක ළඟට එනකොට ශ්‍රියාණි එතන ඉන්නව,
මාව දැකපු ශ්‍රියාණි කිව්ව...
පොඩ්ඩක් ඉන්න,තව ටිකකින් තුවාල කාරයන්ගෙ ලිස්ට් එක බෝඩ් එකට දානව කියල...
එයාම ඇතුළට ගිහිං ඒ ලිස්ට් එකත් අරගෙන ආව.
ඒකෙත් කාගෙවත් දන්න අයගෙ නම් නෑ...
අපිට දැන් ටිකක් හිතට හොඳයි...
ඔන්න එතකොට රූපෙත් අපි ඉදිරියට ආව,රූපය කියනව තව කට්ටියක් උඩ තට්ටුවෙ කොටුවෙලා ඉන්නවලු...ඒ ගොල්ලන්ව හෙලිකොප්ටර්වලින් බේරගන්න හදනව කියල.
අපිට මොකුත් හිතාගන්න බෑ,දැන් හවස හතරත් පහුවෙලා...උදේ එකොළහට පිටත් වුණු ගමනනෙ.
අපි ඇස්වාට්ටුවට ඇවිත් කොටුවට එන්නයි හැදුවෙ.බැලුවහම කොටුවට ඇතුල්වෙන්න බෑ..පාරවල් වහල
ඒ ගමන බස් එකක කොම්පඤ්ඤ වීදිය ඉස්ටේෂමට ගිහිං අපි වෙනදට යන කෝච්චිය අල්ල ගත්ත.
අපිත් එක්ක වෙනදට යන කට්ටිය ඔක්කොම කොටුවෙන් මරදානෙන් නැග්ගට වෙනද තියෙන සතුටු සාමීචි එදා තිබුනෙ නෑ.
සද්ද නැතුව ඇවිත් අපේ ඉස්ටේෂමෙන් බැස්සහම රැවුලා මාව උගෙ සයිකලේ දාගෙන ගෙදර එක්කං ගියා.
නිමල් බස් එකේ නැගල ගෙදර ගියා.
සයිකලේ වත්තට ඇතුල්වෙනකොටම මම දැක්කෙ සුන්දර දර්ශනයක්...බිරිඳ පුතත් වඩාගෙන මිදුලෙ ඉන්නව.
වෙච්චි විස්තරේ පස්සෙයි දැනගත්තෙ...
බැංකුවෙ බිරිඳ වැඩකරපු බැංකු සංවර්ධන දෙපාර්තමේන්තුව තිබුණෙ සෙලින්කෝ බිල්ඩිමේ තට්ටුවක, සිද්ධියට පැය බාගෙකට විතර කලින් ඇය බැංකුවට ගිහිල්ල තිබුණා මට අවශ්‍ය කරපු ලියවිල්ලක් හදාගන්නත් එක්ක.
ආපහු එනකොට බැංකුව ඉස්සරහ හිටපු ඇය අඳුනන ආරක්ෂක නිළධාරියෙක් එක්කත් කතා කරල පාර පැනපු ඇය ආපහු දෙපාර්තමේන්තුවට ඇවිත් තිබුණා.
ඊට මොහොතකට පස්සෙ අර ආරක්ෂක නිළධාරියව වෙඩි තියල මරල දැම්ම.ඔහු තමයි බැංකු බෝම්බයේ පළවෙනි බිල්ල.
බෝම්බය පුපුරද්දි බිරිඳ කොරිඩෝවක ගමන් කරමින් ඉඳල තියෙන්නෙ.බෝම්බෙත් එක්කම ඇය එතනම බිම ඇද වැටිල කොරිඩෝවෙ බිත්ති ඔක්කොමත් ඇයගෙ ඇඟ උඩට කඩන් වැටිල, ඒ පාටිෂන් හාඩ්බෝඩ් වලින් හදල තිබ්බ නිසා හානියක් නෑ.
ඇගේ අල්ලෙ වීදුරු කෑල්ලකට කැපුණු පොඩි තුවාලයක් තිබුණ එච්චරයි.හැබැයි ඒ වෙලාවෙ අංශයේ වැඩකරමින් හිටපු අයට නම් ගොඩක් හානි සිදුවෙලා,වැඩියත්ම සද්දෙ මොකක්ද කියල බලන්න ජනෙල් ලඟට ගිය අයගෙ ඇස් වීදුරු කෑලිවලට තුවාල වෙලා,පිපිරීම් දෙකක් සිද්ද වුණානෙ.
කට්ටියම එකතු කරගෙන තුවාල කාරයන්වත් වත්තන් කරගෙන පසුපස තිබුණු හදිසි දොරටුවෙන් පිටත් වෙනකොට ඒ හරියටත් ගින්න පැතිරෙමින් තිබුණලු.
ඉක්මණින් පහළට බැහැගත්තට බිරිඳට පෙනිල තියෙනව හිටපු එක්කෙනෙක් අඩුයි කියල.ඇය කෑගහල..අනේ..මැණිකෙ නෑනෙ කියල.
ඒ ගමන තවත් කීපදෙනෙක් එක්ක ආපහු ඇය උඩට නැගල බැලුවාම හොඳටම තුවාල වුණු මැණිකෙ ලේ පෙරාගෙන සුන් බුන් ගොඩක් මැද වැටිල ඉන්නවලු.කොහොමහරි ඇයත් අරගෙන කට්ටිය පහළට බැහැල තියෙන්නෙ ගිණිදැල් මැදින්.ඒකට නම් උඩට ගිය අයට වීරත්වයට පිරිනැමෙන සහතිකත් හම්බවෙලා තිබුණ.
කෙළින්ම ඉස්ටේෂන් එකට කට්ටියත් එක්ක ආපු ඇය තිබුණු කෝච්චියක නැගල ගෙදර ඇවිත්.
දැන් කට්ටිය කියයි ඇයි කෝල් එකක්වත් දෙන්න තිබ්බනෙ කියල,බෝම්බෙත් එක්කම පැත්තෙම ටෙලිපෝන් අවුට් ගියා,ජංගම දුරකතන කියන දේ ඒ කාලෙ අහල තිබුණ විතරයි ඒකත් සුඛෝපබෝගී භාණ්ඩයක්.
ඒ දවස් ටිකේම අපි මළගෙවල් වල ගියා.
බිරිඳ බලන්න ගෙදරට ආපු කට්ටිය කොච්චරක්ද කිව්වොත් හකුරුයි කහටයි විතරක් දුන්නත් රුපියල් දාස් ගානක් යනතරම්.
එදා නම් මට ජීවිතේ ගැන පුදුම කළකිරීමක් ඇතිවුනේ,ජීවත්වෙනව කියල අපි මොනවද මේ කරන්නෙ ඔක්කොම විහිළුවක් නේද කියලයි මට නම් හිතුනෙ.
එදා ඒ ඇතිවුණු කළකිරීම නැතිවුනේ නැහැ.
ජීවිතය දිහා මනුෂ්‍යයන් දිහා ඒ ගොල්ලො කරන නානාප්‍රකාර විකාර වැඩ දිහා අදටත් ඉතාම උපේක්ෂාවෙන් බලාඉන්න ඒ අත්දැකීම මගේ ජීවිතයට මහඟු පිටුවහලක් වුණා කියලයි මට නම් හිතෙන්නෙ.
ඇත්තමයි කථකයාගේ අත්දැකීම 100%ක් මම වින්දා මේ කතාව කියවනකොට හරියට එතන හිටියා වගේ. දුක, භිය, ත්‍රාසය, කුතුහලය ඔක්කොම...ගෙවුණු අවුරුදු 30 මිනිස්සු ඔය වගේ කොච්චර දුක් උහුලන්න ඇත්ද..?
ReplyDelete"සයිකලේ වත්තට ඇතුල්වෙනකොටම මම දැක්කෙ සුන්දර දර්ශනයක්...බිරිඳ පුතත් වඩාගෙන මිදුලෙ ඉන්නව"
මේ වෙලාවේ ඔබේ හිතේ ඇතිවුන සතුට මගේ හිතෙත් ඒ විදිහටම ඇති කරවන්න තරම් ඔබේ ලිවිල්ල පංකාදුයි.
කතාව ලියනකොට මම ඒ දවසට ආපහු ගියා.
Deleteකියල වැඩක් නෑ. දුක්බර සිදුවීමක් උනත් උපරිම අයුරින් ලියල තියෙනව.
ReplyDeleteස්තූතියි ත්‍රිභාෂා
Deleteethakota api podi un. Maranaya kiyana eka wath notherena.
ReplyDeleteEth mokakdo amuth hagemak athi una matath mathakai. Mara biya kiyana de minissunta danunu loku siduweemak eka.
Oba eda wasanawanthayek unath, awasanawanthayo kotharam hitiyada.
Minissu nisama thamai minissunta wipath wediyenma enne.
අවාසනාවන්ත වූවන් කොපමණ නම් හිටියද ඒ ගැන හිත තවමත් හඬා වැටෙනවා
Deleteමේ පිපිරුම එදා මා ලේක්හවුසියේ ඉහළමාලයේ සිට දෑසින්ම දුටුවා. සෙලින්කෝ බිල්ඩිමෙන් මිනිසුන් බිමට පනිනවා දැක්කා. මේ බිය නැති කළ එක ගැන කියන විට මා කඩේයන්නෙක් කියනවා... ඒත් ඇත්ත දේ අපේ හදවත් දන්නවා.
ReplyDeleteහැලපේ කමෙන්ට් වලට උත්තර දාපන්...
එවැනි සිදුවීම් කිසිදිනෙක දකින්නට නොලැබේවා
Deleteඋඹට නං කමක් නෑ හොදට ලියන්න පුළුවන්... අම්මප තෝ කොහේද මෙච්චර දවස් හැංගිල හිටියේ. කාරි නෑ කරගෙන යමු. ඒක නෙමෙයි බං උඹ වරායේ හිටිය නං මෙන්න මේ පයිත්තියං පොරවත් කියවපං. උඹට මං රහසෙන් කියුවේ. අපි කියන්නේ අයියයි කියල නෙව.. හැක්..
ReplyDeletehttp://lankapriyagesithivili.blogspot.com/2013/01/8_30.html
ඔව් බං,ඌත් වරායෙ කතා ලියනවනෙ,මම කියවල තියෙනව.දැන් මගෙන් අහයි හිටපු තැන් විස්තර මම එතකොට කියන්නම්කො
Deleteඕක වෙනකොට මං ගොඩක් පොඩි උනත් මට හොදට මතකයි සිදුවීම...
ReplyDeleteසිද්ධීයෙං පස්සේ නිවුස් බලපු මං ඉස්සරහ වත්තේ පිංකියි සිගිතියි එක්ක එකතු වෙලා පිට්ටු බම්බු බෝම්බ සෙල්ලම කියලා කරේ ඕක තමා...
ඉස්සර කොටුවේ තිබ්බ හැම ගොඩනැගිල්ලම මට මතක පිට්ටු බම්බුව කියලා..
අපි යුද්ධ කාලේ උපං එවුං නිසා බෝම්බ, මිනී, තුවක්කු ගැන එච්චර හැගීමක් නැද්ද කියලත් වෙලාවකට හිතෙනවා...
තරියල සෙල්ලමටත් යුද්ධ කරපු උං.වෙච්චි විනාශය තේරෙන්නෙ යුද්ධෙට කලිං ලෝකය දැකපු අපිටනෙ
Deleteමේ ඇහුවමයි මේ ගැන සිද්ධියට මුණදිපු කෙනෙක්ගෙන්. ඔක වෙන දවස් වල මම පොඩි නේ. ඉස්කොලේ 3 4 වගේ ඇති. එත් සිද්ධිය මතකයි. ඇත්තටම මතක් කරන්නත් අකමැති අමිහිරි මතකයක් වෙන්න ඇති. හ්ම්ම්.
ReplyDeleteකොච්චර අමිහිරි වුණත් ජනවාරි මාසෙදි ඔය සිද්දිය මතක් වෙන එක වළක්වන්න බෑ.ඒ වගෙ මතකයන් ජීවිතවල තියෙනව නේද.එදා මම මුහුණ දුන්නු අත්දැකීම ඔබත් එක්ක බෙදාගන්නයි ලිව්වෙ.මගෙ තවත් අමිහිරි මතකයක් තියෙනව දෙසැම්බර් මාසය හා බැඳුනු, ඒකත් එහෙමයි,උඳුවප් සීතලත් එක්ක මතකෙට එනව,ලියන්නද කියලත් වෙලාවකට හිතෙනව
Deleteමම හිටියෙ කොටහේනෙ ඉස්කෝලෙ. මට ඔය සිද්ධිය හොඳට මතකයි.
ReplyDeleteමගේ එකවුන්ට් එක තිබ්බෙ ඔය සෙලින්කෝ එකේ පහල තට්‍ටුවේ තිබ්බ බැංකුවෙ. ඔය සිද්ධියෙන් පස්සෙ ඔය පැත්තෙ පාර වැහුවනෙ මේ ලඟක් වෙනකල්l
එතකොට හැලපෙගෙ බිරිඳට වීරත්වයට පිරිනැමෙන සහතිකය ලැබුනා!
නියමයිනෙ.
ඩූඩ් පාර නම් තාම වහල ඒත් ඒක හරියට අස්සය ගියාට පස්සෙ ඉස්තාලෙ වැහුව වාගෙ තමයි.ඔය පාර බෝම්බෙට කලින් වහන්න කියල කොච්චර ඉල්ලුවත් බෝම්බෙ පුපුරනකම් වැහුවෙ නෑ.
Deleteවීරත්වයට සහතිකය නම් ලැබුණා.ඒත් පස්සෙ කාලෙක රට යන්න නිවාඩු ඉල්ලුවට ලැබුණෙ නෑ.
උඹත් කියන්නෙ හරි කතාවක්නෙ හැලපෙ. වීර වරියෝ රට පටවලා හරියනවද? :D
Deleteහැලපයා පුංචි බොරැල්ලට එන වෙලාවේ මම හිටියෙත් පුංචි බොරැල්ලේ. ලොක්කගේ පුතාලා එතකොට නාලන්දේ කීය වසරෙද කියල මතකද? මොකෝ මමත් ඔය සිද්ධිය දැක්කේ නාලන්දේ ඉදලම තමා.
ReplyDeleteපහු කාලෙක මාත් එක්ක මහ බැංකුවේ වැඩ කරපු යාළුවෙක්ගේ තාත්තා නැති වෙලා තිබ්බේ ඔය බෝම්බෙන්. කරුමෙ කියන්නේ මරණයට හේතු වෙලා තියෙන්නේ පළවෙනි බෝම්බයෙන් වෙච්ච හානිය බලන්න ගිහිං දෙවැනි බෝම්බෙ කෑලි වැදීම.
මගේ මතකයෙ හැටියට 6 හෝ 7 වසර විය යුතුයි.ඔය කාලෙ මහේලත් නාලන්දෙ ෆස්ට් ඉලෙවන් ගැහුව.
Deleteපේට්‍රියට් මහ බැංකුවෙ වැඩ කළාද?එහෙනම් බිරිඳ ඔබව දන්නවත් ඇති.
තමන්ගේ අත්දැකිම් අනිත් අයත් එක්ක බෙදා හදා ගන්න එක හොඳයි. එතකොට අනිත් යටත් ඒ දේවල් වල තියෙන දුක,සතුට හෙමදෙයක්ම විඳින්න පුළුවන්.
ReplyDeleteබලාගෙන ගියාම මහේ එහා පැත්තේ ඉන්නේ හොඳ කතන්දර මාමා කෙනෙක්නෙ..
හැලප මහත්තයෝ...ඔයා හොඳට ලියනවා.. තව ලියන්න..
සුභපැතුම්
ස්තූතියි ඇනෝ,ඔබලා කියවනතුරු ලියන්නයි බලාපොරොත්තුව.
Deleteඅර මගෙ එහා පැත්තෙ ඉන්නෙ කියන එකනම් පොඩ්ඩක් තේරුණේ නෑ.ඔබ අදහස් කළේ වරාය ගැනද?
ඒ කාලේ අපි කොළඹ ගියේ කොච්චර බයෙන්ද
ReplyDeleteඅටම් ඒ දවස්වල අපි දෙන්න වැඩට ආවේ ගියේ කෝච්චි දෙකක,මොකද එකක ගිහින් බ්ලාස්ට් වුණොත් පුතාට දෙන්නම නැතිව යන හින්දා.
Deleteඒක කාළකණ්ණි සිතුවිල්ලක් වුණාට ඒකයි අමිහිරි යථාර්ථය.යුද්ධයත් එක්ක ඔයවගෙ දේවල් ඕනැතරම් වෙනවා.
අහල ඇති උතුරෙ කොටි හමුදාවට බඳවගනී කියල දුවලව බඩ කරන්න වුණු තාත්තල ගැන එහෙම.ඒවත් එක්ක බලනකොට මේව මොනවද.
ඔය මූසල සිදුවීම ගැන මම ගොඩාක් පත්තර වාර්තා කියවලා තියෙනවා සහ පටිගත වූ රූපවාහිනී වැඩසටහන් දැකලා තියෙනවා... ඉසුසු ලොරියකට පුපුරන ද්‍රව්‍ය කිලෝ 250 පුරවගෙන ඇවිල්ලා තමයි එදා ඔය විනාශය කලේ...මම දන්න කෙනෙක් ඉන්නවා මහ බැංකුවෙ ආරක්ෂක අංශයෙ...එයා ඔය කියන දවසෙ වැඩට යන්න ලෑස්ති වෙනකොට බිරිද කියලා, මොනාද අනේ දවස් ගානක් තිස්සෙ වතුර මෝටරය කැඩිලා ඔයා අද ගෙදර ඉදලා ඒක හදන්නකො...හැන්දෑවට ගෙදර ඇවිත් ළිදෙන් වතුර ඇදලා පණ යනවා කියලා....ඉතිං මේ මනුස්සයා එදා වැඩට නොගිහින් වතුර මෝටරය හදන්න ගෙදර නැවතිලා...එයාම කියන විදියට එදා වැඩට ගියානම් මිනිහගෙ බොඩි එක දූවිලි වෙනවලු....බැංකුව ඉස්සරහම රාජකාරි කරන නිසා.
ReplyDeleteඒ වගේ කාලයක්නං ආයෙ ඕනිම නෑ.
ReplyDeleteඔය සිද්දිය වෙද්දි මමත් පොඩි.. එදා නම් ඒ ගැන එච්චර දැනුමක් තිබ්බේ නෑ.. ඒත් කාලයත් එක්ක ඒ සිද්දිය අමිහිරි මතකයක් බව කියවපු දැකපු දේවල් වලින් දැන ගත්තා.. ආයේ ඒ දේවල් නොවෙන එකම හිතට ලොකු සැනසීමක්..
ReplyDelete