අපේ ගමේ තිබුණු රෙදි මෝල නිසා ගමට හොඳ සහ නරක දෙකම එකවගේ ලැබුණ කියලයි මටහිතෙන්නෙ.
හොඳ දේවල් පැත්තෙන් බැලුවහම සෘජු හා වක්‍ර රැකියා රාශියක් ලැබීම හේතුවෙන් ගමේ මිනිස්සුන්ගෙ ආර්ථිකය ,ජීවන මට්ටම ඉහළගියා.ඒවගේම බුලත්විටේ ඉඳල කුලී ගෙවල්, කාමර දක්වා හැමදෙයක්ම ඉහළ මිලකට විකුණගන්නත් අවස්ථාව ලැබුණ.මෝලෙ වැඩට පිටගම්වලින් ආපු අය ගොඩක් ගමේ නැවතිලා හිටපු හින්දා ඒ අයගෙ දක්ෂකම් ශිල්පීය හැකියාව වගෙ දේවලුත් ගමට ලැබුණා.
නරක පැත්තෙන් කල්පනා කරපුවාම ගමේ වාගෙම ටවුමෙත් බඩුමිළ සීයට සීයකින් වැඩිවුණේ මෝල හින්දයි.පොඩි උදාහරණයක් ගත්තොත් සත 10 ට 11 ට තිබුණු බිත්තර ගෙඩිය සත 20 දක්වා ගණන් ගියා.ඒ වගේම විවිධ පළාත්වලින් ආපු විවිධ පුද්ගලයන්ගෙ විෂමාචාර ගති පැවතුම් නිසා ගමේ තිබුණු නිසංසල සංහිඳියාව බිඳිල ගියා.ඒ විතරක් නෙවෙයි,පැය 24 ම එකම ආකාරයට විහිදුණු මෝල ක්‍රියාත්මක වන ශබ්දය ගමේ සාමකාමී නිහැඬියාවත් බිඳල දැම්ම.සුරාව සූදුව එකට එකකින් වැඩිවුණා.මේ දෙපැත්තම කිරල බැලුවාම නරක පැත්ත බර වැඩියි කියල තමා මටනං හිතෙන්නෙ.
අපේ ගමේ හැම ගෙදරකම වගේ රෙදි මෝලෙ වැඩකරන කෙනෙක් දෙන්නෙක් නැවතිලා හිටිය,පුළුවන්කමක්, ගෙදර ඉඩක් තිබුණොත් හේම මෝලෙ වැඩකරන අයට කාමරයක් දෙන්න කවුරුත් අකමැතිවුණේ නැත්තෙ අමතර ආදායමක් ලැබෙන නිසා.
ඔන්න අපේ ගෙදරටත් නේවාසිකයො දෙන්නෙක් ඇවිත් නවාතැන් ගත්ත,නම් වශයෙන් කිව්වොත් කළහෙ ලොකුගේ තිලකරත්න හෙවත් අපි කියපු හැටියට තිලක් අයිය එක්කෙනෙක්.අනිකා විමල් හෙන්රි,උගෙ වාසගම නං දැන් මට මතක නෑ.එතකොට කාමරේට මාසෙකට ගත්තෙ රුපියල් හැත්තැපහයි මගෙහිතේ කෑමත් දීල.තිලක් අයිය ගාල්ලෙ කළහෙ වංචාවල,හෙන්රිය ගම්පොල සිංහපිටියෙ.
ඔයකාලෙ මටත් රස්සාවක් නෑ,මම ඉක්මනටම මේ දෙන්නත් එක්ක හරි හිතවත් වුණා.ක්‍රිකට් මැච් එහෙම තියෙනකොට තිලක් අයිය මාත් එක්ක කොළඹ යනව බලන්න.මට මතකයි සැරයක් වෙස්ට් ඉන්ඩීස් ටීම් එකක් ආව කැප්ටන් ඇල්වින් කලිචරන්,දෙවෙනි පෙළ ටීම් එකක්,එස් එස් සී එකේ ගහපු මැච් එක බලන්නයි අපි ගියෙ.එදා තමයි සිල්වෙස්ටර් ක්ලාක් ගෙ බෝලයක් සුනිල් වෙත්තිමුණිගෙ ඔලුවෙ වැදිල ඉස්පිරිතාලෙ අරං ගියෙ.අපි ගියෙ රුපියල් පහේ ටිකට්වලට.
නොබෝ දිනකින්ම මුං දෙන්න මාව බයිට් එකට ගන්න පටන් ගත්ත.ඔන්න මම දෙන්නට තේත් අරගෙන කාමරේට යනව මුං කරන්නෙ මගෙ සරම කඩන එක.අත් දෙකේ තේ දෙකනෙ,මටත් මළ පැනල කෝප්පත් එක්කම තේ දෙක මිදුලට විසිකරනව,මුං දෙන්න හූ කිය කිය හිනාවෙනව.තිලක් අයිය අපේ ගෙදරට ආවට පස්සෙ එයාගෙ යාලුවො ටික හවහට හවහට අපේ මිදුලට එක් රැස් වෙනව.
ගුරුගේ,මායාදුන්න,රසාක්,මයියංගනේ ආරිය එහෙම, ඔක්කොම ටික මිදුලෙ බර සාකච්ජාවක් මොකක්ද බැලුවම බෝතලයක් ගහන්නෙ කොහොමද කියල.එකෙක් අතේවත් සල්ලි නෑ,කට්ටිය අහස පොළොව ගැටලන්න සාකච්ජා කරල කොහොමහරි බෝතලේකට ගාන හොයා ගන්නව.ඒ දවස්වල සුදුව බෝතලයක් රුපියල් දහයයි මගෙහිතේ.බෝතලේ ගහන්නෙ අපේ අල්ලපුවත්තෙ ගල උඩ,ඒක තමයි අපේ ජනප්‍රියම පොට් එක.
රෙදිමෝල නිසා අපේ ගමේ වාගෙම මෝල වටේ තිබුණු අනිත් ගම්වලත් කසිප්පු නිෂ්පාදනය හා අලෙවිය සීයට සීයකින් ඉහළගියා.
දවසක්දා මෝලෙ දවල් කෑම වෙලාවෙ මම ගෙදර ඉඳන් බලාගෙන හිටිය මෝලෙ වැඩකරන උන් තිලකෙගෙ පොට් එකට එනව,හරියට හීත්‍රෝ එයාපෝට් එකට ප්ලේන් බස්සනව වගේ,එකා පස්සෙ එකා.
ඔන්න රෙදි මෝලෙ අන්තර් දෙපාර්තමේන්තු ක්‍රිකට් තරඟාවලිය පටං ගත්ත,ඔය මෝලෙත් තියෙනවනෙ දෙපාර්තමේන්තු, පුළුන් ගබඩාව,විවීම,කැටීම,නිමකිරීම,සිවිල් අංශය ආදී වශයෙන් හැම දෙපාර්තමේන්තුවක්ම කණ්ඩායමක් ඉදිරිපත් කරල කණ්ඩායම් ගණනාවක්ම තරඟාවලියට ක්‍රීඩා කරනව.
මැච් ගැහුවෙ අපේ ඉස්කෝලෙ ඒ කියන්නෙ සෙන්ට්‍රල් ග්‍රවුන්ඩ් එකේ,මායාදුන්නය කැටීම දෙපාර්තමේන්තු කණ්ඩායමට සෙල්ලං කරනව.ඌ හොඳ ක්‍රිකට් ක්‍රීඩකය,ගම අම්බලන්ගොඩ දේවානන්දෙ ටීම් එකටත් ගහල තියෙනව කියල තමා කට්ටිය කතාවුනේ.
අපි කට්ටිය පිරිවරාගත්තු තිලක් අයියත් මැච් දවසට ග්‍රවුන්ඩ් එකට යනව එයාලගෙ දෙපාර්තමේන්තු කණ්ඩායමට චියර් කරන්න බෝතල් බයිට් ආදී ඔක්කොම ජාති අරගෙන.ටීම් එකේ සමහර උං අපට කියනව අපි ඉවරවෙලා එනකං බෝතල් තියාගනිල්ල කියල,ඒ වුණාට උං පිට්ටනියට බහිනකොටමයි අපි බෝතල් කඩාගෙන වැඩේ පටං ගන්නෙ,අමුවෙන් මැච් බැලියැහැකියැ,අරුං ඉවරවෙලා එනකොට මොකුත් නෑ.පස්සෙ පස්සෙ උං වැඩේ දැනගෙන කලින්ම අවුට් වෙලා එනව.
දවසක්දා මම ඉස්කෝලෙට යද්දි ටිකක් පරක්කු වුණා මොකක්ද වැඩකට ගිහිං,මම යද්දි හොඳටම ගහපු තිලක් අයියල රසාක්ල පන්තියක් ඇතුළෙ නටනව,බෝතල් බයිට් ඔක්කොම ඉවරයි,මාව දැකපු ගමන් තිලක් අයිය කියනව,
යනකොට මේවත් අරං පළයං... කියල මට පෙන්නුව හිස් බෝතල්,ඉඳුල් බයිට් පීරිසි,හිස් සැමන් ටින් ඔන්න ඕව..
මටත් මළ පැන්න..දුවගෙන ආවට බොන්නත් නෑනෙ.
මට බෑ මම ආවෙ ඔය නටබුන් අදින්න නෙවෙයි... කියපු මම පැත්තකට ගියා.
ඔන්න ඔක්කොම වැඩ ඉවරවෙලා ආපහු එන්න පිටත් වුණාම තිලක් අයිය කිව්ව මම ටවුමටත් ගිහිං එන්නං...
කියල කාමරේ යතුර රසාක්ට දුන්න,වෙනද දෙන්නෙ මට,
මටත් මොකද,මම රසාකයත් එක්ක ගෙදර ආව.
අපේ ගෙදරට ආපු රසාකය කෙලින්ම දොර ඇරගෙන තිලක් අයියගෙ කාමරේ ඇතුළට ගිහිං ගෙනාපු මොනවද ඇතුළෙන් තියල තිලක් අයියගෙ ඇඳුම් පෙට්ටිය ඇරිය,මාත් බලාගෙන හිටිය පෙට්ටියෙ යටට වෙන්න තිබුණු පින්තූර දෙකතුනක් අරගෙන ආපහු පෙට්ටිය වහල දැම්ම.
බැලුවහම තිලක් අයිය ආසාවෙන් තියාගෙන හිටපු පිටරට කැලැන්ඩරයක තිබුණු ලස්සන කාන්තා පින්තූර වගයක්.
මට කියන්න දේකුත් නෑනෙ වැඩි හොඳට තිලක් අයිය මූටනෙ යතුර දුන්නෙ,මම බලාගෙන ඉද්දි මූ කාමරේ වහල යන්න ගියා.
පස්සෙ තිලක් අයියට හොඳටම තරහ ගිහිං,එයා හිතල තියෙන්නෙ රසාක් මට පගාවක් දීල කාමරේ ඇරගෙන පින්තූර උස්සල කියල,රසාක්ට මොකුත් කිව්වෙත් නෑ,මටත් හොරෙන් රහසිගත මෙහෙයුමක් දියත් කරල රසාකයගෙ කාමරේට පැනල ගෙනිච්ච පින්තූර ටික ඔක්කොම ආපහු ගෙනාව.
ඔය රෙදිමෝලට යන එන ප්‍රධාන පාර,බී රෝඩ් එකේ හිටිය ලොකුම කසිප්පු මුදලාලිය තමයි නිහාල්.මෝලෙ ඉන්න බොන එවුං හැම එකාම වාගෙ නිහාල්ට ණයයි.කිසිම ප්‍රශ්ණයක් නොනගා නිහාල් ණයට කසිප්පු දෙනවා,හැබැයි පඩියට ගාණ බේරන්න ඕනැ.නැත්නං ඉතිං පාරෙන් යනකොට නිහාලයගෙන් ගුටි තමා ලැබෙන්නෙ.
මට තිලක් අයිය දවසක් ලස්සන කතාවක් කිව්ව,
ඔන්න මෙයා දවසක් ගිහිල්ල නිහාල්ලගෙ ගෙදරට අඩියක් ගහන්න,කතා කළාට නිහාල් ගෙදර ඉඳල නෑ...කොහෙද ගිහිං
නිහාල්ලගෙ අම්ම පන්සිල් ගන්නවලු...
මුසාවාදා වේරමනී සික්ඛා පදං සමාදියාමි
අම්මෙ..කාලක් බොන්න පුළුවන්ද බලන්නයි ආවෙ...තිලක් අයිය කියල
අනේ මහත්තයො..මම මේ උදේ හවස බුදුන් වඳින පෝයට සිල් ගන්න ගෑණි වෙච්චි,මම ඔය පංච පාපවලට නෑනෙ... කියල
ඔන්න ඔය දොරමුල්ලෙ බෝතලේ තියනව,මහත්තයම ටිකක් දාගන්නකො...මමනං ඕව අතින් අල්ලන්නෙවත් නෑ...
නිහාල්ගෙ අම්ම ගාථා කියනවලු.
පූජේමි බුද්ධං කුසුමේන නේන..තිලක් අයිය බෝතලෙන් වීදුරුවකට වක්කරනවලු,
පුඤ්ඤෙන මේතෙන නතහෝතු මුක්ඛං
මහත්තයො..ටිකක් වැඩියි වාගෙ නේද..චුට්ට්ක් අඩුකරන්න..
පුප්පං මිලායාති යථා ඉදම්මේ...හරිද අම්මෙ..
තව මීත්තරයක් විතර අඩුකරන්නකො මහත්තයො...
කායෝ තථායාති විනාස භාවං..
හා දැං හරි....
ගුඩු ගුඩු ගාල වීදුරුව ගහල ඇරපු තිලක් අයිය වටපිට බලල...
කායෙන වාචා චිත්තේන..
පමාදේන මයාකතං
මහත්තයො සල්ලි ටික ඔය මේසෙ උඩිං තියන්න...
අච්චයං කමමේ භන්ථෙ
හා හොඳයි හොඳයි...භූරිපඤ්ඤ තථාගතො
තිලක් අයිය එනකන්ම ඒ ශ්‍රද්ධාවන්ත අම්ම බුදුන් වැඳීම නැවැත්තුවෙ නැතිලු.
1980 මහා වැඩ වර්ජනයට සම්බන්ධ වුණු තිලක් අයිය මෝලෙනුත් අපේ ගෙදරිනුත් යන්න ගියා,ඊට පස්සෙ කිසිම ආරංචියක් ලැබුණෙ නෑ,අනූවෙ දශකයෙ මුල භාගයෙ දවසක අපි දවල්ට කන වෙලාවෙ තිලක් අයිය යාලුවෙකුත් එක්ක අපේ ගෙදර ආවෙ මැන්ඩිස් බෝතලේකුත් අරං.
නැතුව හිටපු කාලෙ රට රස්සාවකට ගිහිං ලංකාවට ඇවිත් පවුලකුත් වෙලා ඒ දවස්වල පානදුරේ උස්වත්ත පැත්තෙ ගෙයක් ඉඩමක් අරගෙන පදිංචි වෙලා බොහොම ජයට ඉන්නවලු.
ඔන්න ඊට පස්සෙ අපේ සම්බන්ධකම් අලුත් වුණා,මම බැඳල අපේ ගෙදර උත්සවය දවසෙ කලින්ම ගමට ආපු තිලක් අයිය මයියංගනේ ආරිලගෙ ගෙදරට වෙලා දවල් වරුවෙම බීල මගුල් ගෙදර ආවෙ කෙලින් හිටගන්නවත් බැරුව.
අපි පානදුරේ ගිය දවසක බිරිඳ තිලක් අයියලගෙ වත්තෙ පොල් පැළයකුත් හිටෙව්ව.
කාලය වේගයෙන් ගෙවී ගිහිං මගේ විප්‍රවාස සමයත් ඇරඹුණා,හිත මිතුරන් සමග සම්බන්ධතා පවා සීමිතයි.
2004 නොවැම්බර් මාසෙ එක සීතල දවසක තිලක් අයියගෙ යාලුවා වුනු අපේ මස්සිනාගෙන් මට ලැබුණු ටෙලිපෝන් පණිවිඩයකින් කියවුණේ හෘදයාබාධයකින් තිලක් අයිය හදිසියේ මියගිය බව,
මම තිලක් අයියගෙ නෝනට කතාකරල විස්තර අහගත්ත,වත්තෙ තණකොළ කප කපා ඉඳල ඇවිත් වාඩිවුණා විතරලු.කලින් ඉඳලම ලෙඩේ තිබිල තියෙනව,බේත් බිබී තිලක් අයිය ඉඳල තියෙන්නෙ.
මරණෙට මට සහභාගි වෙන්න නොලැබුනු බව දන්නවනෙ,
පෙට්ටියක උඩුකුරුව වැතිරිලා ඉන්න තිලක් අයියව මම නොදුටු නිසා මගේ හිතේ තාම ඇඳිල ඉන්නෙ අර අපිත් එක්ක පිස්සු වැඩ කරමින් හක හක ගගා හිනාවෙවී හිටපු තිලක් අයියවයි,ඒකට මම හරි ආසයි.
.
කියන්ඩ දෙයක් නැ හැලපයියේ , කාලෙකට පස්සේ රසට මොකවත් කියවනවා උඹ හන්දා
ReplyDeleteරන් වැනි හදවත් ඇත්තවුන්ගේ වචන පවා හිතට හරිම සුවදායකයි අටම් මල්ලී.
Deleteහැලපයියගේ කතා හැලපම තමා..
ReplyDeleteඅටං අයියා කිවුවා වගේ පට්ට රහයි..
හැලපයි, තරියගෙ කෙසෙල් ගෙඩියි එකතුවුණාම රස සාගරයක් මැවෙයි.
Deleteමාත් මළ ගෙවල් වල යන්න හරිම අකමැතියි... වැඩියෙන්ම මම හොදට දන්න අයගේ.. මං ආස නෑ ඉතුරු ජීවිත කාලට අර මරණ ගෙදර හිතේ මැවෙනවට.. ඒ මනුස්සයා ගැන මං දන්න දේවල් විතරක් මතක තිබ්බම ඇති කියලා හිතෙනවා... ඒත් ඉතිං ඕක තේරුම් ගන්නේ නෑ නේ අපේ මිනිස්සු ...
ReplyDeleteඅර අම්මගේ බුදුන් වැඳිල්ල කියලා වැඩක් නෑ නේ.. හි හි
අම්මපා මේ ජිවිතේ වැඩි හරියක් බෝතලේ කොහෙන් හරි සෙට් වෙලා තියෙනවා නේ... බෝතල් කතාව තමයි මට මේ කතාවේ අල්ලන්නේ නැති එකම දේ... හි හි
Deleteමගේ ප්‍රාර්ථනාවත් ළබැදියන්ගෙ මරණ දක්නට නොලැබේවා කියන එකයි හිරූ.
Deleteකතාව නං හොදට තියෙනවා. මට පුරස්නේ බොට දාන නම ගැන තමා.. හැලප බෙබා.. හොදා තමා..
ReplyDeleteදාපං දාපං උඹනෙ මේකේ උන්ට උප්පැන්න දෙන්නෙ.
Deleteතොපි දෙන්න කෙළ ගනියව්
Deleteඋදේ හවස බුදුං වඳින උපාසකම්ම ෂොට් එකේ ගානත් නියමෙටම දන්නව වගේ.
ReplyDeleteඅදත් නියම කතාව.
කිරල මැනල වගේ බඩු ටික දුන්නා බුදුන් වඳින ගමන්ම, කොහොමද පළපුරුද්ද.
Deleteඅර උපාසක අම්මල සල්ලි ලේන්සුවේ තියල ගනුදෙනු කරන එක එච්චර දෙයක් නෙමෙයිනෙ මේවයෙ හැටියට
ReplyDeleteසල්ලි කොහොමත්ම අතිං ඇල්ලුවෙ නෑනෙ අපේ උපාසකම්මා
Deleteනියම කතාව අර අම්මගේ බුදුන් වැඳිල්ලයි ගනුදෙනු කෙරිල්ලයි මරු.
ReplyDeleteකිසිම විදියකින් පන්සිල් බිඳුනෙ නෑනෙ
Deleteකොහෙන් හරි ඇදිලා එන්නෙම බෝතල් කතාවක්නේ අප්පා..:)
ReplyDeleteබෝතල් කතා ඇතිවෙලාද තරූ
Deleteහැලපේ උඹටම ආවේනික වෙචිච විදියට බොහොම රහට ලියැවෙනාවා මේ ලිපි මාලාව නං.
ReplyDeleteමගේම ශෛලියක් තිබෙන බව දැනගැනීමත් සතුටක් නලින්
Deleteඅර ගාතා කියමින් කසියා විකිනීම නම් ලොවෙත් නෑ බං හැලපේ. ලෙලේ ලොල්!
ReplyDeleteඋඹ බලාපං මේක ටික දවසකින් ඊ මේල් එකක් වෙලා උඹටම එන්නෙ නැද්ද කියලා.
henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
එහෙමත් ඒව වෙනවද ඩුඩ්
Deleteචියර් කරන හැම තැනකම බෝතලේ තියෙනවාමනෙ...පට්ට සිද්ධිය... අදත් බෝතලේ රුපියල් 10 ට දෙනවා නම්... හ්ම්...
ReplyDeleteඑහෙනම් 27 වෙනිදට මල්වත්තෙ බෝතල් ගොඩගැහෙයි
Deleteහැබෑවටම අපූරු ලියවිල්ල හැලප+ අයියා=හැලපයියා.
ReplyDeleteකායෝ තතායාති විනාස භාවං..
එහෙනං
Deleteප්‍රියෙහි විප්පයෝගෝ දුක්ඛෝ කියනවනේ.
ReplyDelete