Tuesday, March 19, 2013

41.හෙණරාජ තෛලය



අද පළ කරන්න ලියල තිබුණෙ මදුරාසියෙ ඉන්න කාලෙ වෙච්චි කතාවක්....ඒත් ඊයෙ සෙන්ට්‍රල් ස්ටේෂන් එකේදි ලංකාවෙ හාමුදුරු නමකට ගහනව දැක්කහම මට නං හරිම කළකිරීමක් ඇතිවුණා ඒනිසා ලියල තිබුණු කතාව පැත්තකට දාල ලහි ලහියෙ කතාවක් ලිව්ව.

අපි මදුරාසියෙ හිටිය කාලෙ තිබුණු ජාතීන් අතර සමගිය සුහදත්වය අද කොහෙ ගිහින්ද......මට මෙහෙමත් හිතෙනව වෙලාවකට....

ගලගොඩ අත්තේ
වගකිව යුත්තේ...... කියලත්

අපේ ගමේ ඔය රෙදිමෝල හදල තියෙන ඉඩමට ඉස්සර කිව්වෙ බෙලෙක් වත්ත කියලලුනෙ....ඒ අපේ සීයලගෙ කාලෙ.....මේ වත්තට මොකද බෙලෙක්වත්ත කිව්වෙ කියල මට ප්‍රශ්නයක් තිබුණා කාලෙක ඉඳන්....පස්සෙ මම මේකට හේතුව හෙව්වා.

ඔය වත්ත ඉස්සර සුද්දෙකුගෙලුනෙ.....සුද්දගෙ නම බ්ලේක්....බ්ලේක්ගෙ වත්ත බ්ලේක්වත්ත.....ඒක තමයි අපේ ගමේ අයගෙ ඌරුවට බෙලෙක්වත්ත උනේ.

ඔය බ්ලේක් කියන මහත්තය ඉස්සර තමන්ගෙ වතු බලන්න මාසෙකට දෙහෙකට සැරයක් පොඩි සංචාරයක් කරනව....බෙලෙක්වත්ත බලලා ඊට පස්සෙ වෙළෙන් එගොඩවෙලා ගමමැදින් එයාටම අයිති තවත් ඉඩමක් වන රජවත්ත කියන ඉඩම බලන්නත් යනව.


 ගමන ටිකක් දුරයි.....බ්ලේක් වයසක මනුස්සය.....ඇඟත් මහතයි....ඉතිං හරියකට පාරවලුත් නැති ගමේ අඩිපාරවල් වලින් වෙල් නියරවල් වලින් යන්න උනාම බ්ලේක්ට හරි මහන්සියි...හති.....තැන තැන නතරවෙවී හති ඇර ඇර යන්නෙ.....

බ්ලේක් ගමට ආපුවාම ආවතේව කරන මනුස්සයෙක් මේ වැඩේ ගැන අවධානයෙන් හිටියා....බ්ලේක් හති අරින්න නවතින තැන්වලදි මිනිහා කුරුම්බයක් එහෙම කපල බ්ලේක්ට පිළිගන්වනවා.....මෙයාගෙ නම සිමියොං....සිමියොංට බ්ලේක් මහත්තය ගමනෙ යනකොට නවතින තැන් එහෙම හොඳට නෝට්.

ඉතිං සිමියොං මොකද කලේ පොල් කොට කෑලි ටිකක් හොයාගෙන ගාණට කපල බ්ලේක් නවතින තැන්වල එක ගානෙ හිටවගෙන ගියා.

ඔන්න දැන් බ්ලේක් මහත්තය වතු බලන්න යන දවසත් ආවා....ගැමියන් කණ්ඩායමකුත් පසු පස්සෙන් ඇතිව බ්ලේක් තමන්ගෙ සංචාරය ආරම්භ කළා....

බ්ලේක් මහත්තය ඉස්සෙල්ලම නවතින තැනට ආපුවාම මෙන්න තියෙනව වාඩිවෙන්න පොල් කොටයක්.......සතුටින් වාඩිවෙලා හති ඇරල ආයෙමත් ගමන පටන් අරං නවතින ඊළඟ තැනට ආවාම එතනත් වාඩිවෙන්න පොල් කොටයක්......බ්ලේක් හරිම සතුටුවෙලා තෝල්කයගෙන් අහනව....

හූ ඩිඩ් දිස්........කියල

තෝල්කයත් පස්සෙන් වැටීගෙන ආපු මිනිස්සුන්ගෙන් ඇහුවා.....

කවුද බං මේ පොල් කොට හිටෙව්වෙ......කියල

 ඒ ගමන සිමියොං ඉස්සරහට ඇවිත් බ්ලේක්ට වැඳල එහෙම.......

මමයි හිටෙව්වෙ හාමුදුරුවනේ.......කියල එකත්පස්ව හිටගත්තා.

බ්ලේක් හිනාවෙලා සිමියොංගෙ පිටට තට්ටුකරල......

වැරි වැල් සිමිච්චි වැරි වැල් .......කිව්වා..

එහෙමයි හාමුදුරුවනේ එහෙමයි........

කියාපු සිමියොං එතනින් අන්තරස්ධාන වුණා.

බ්ලේක් ආපහු ගමන පටන්ගත්තා....

ගමන ඉවරවෙන්න ටිකක් විතර දුර තියෙද්දි පත නරිවැල් කන්දකුත් කරගහගත්තු සිමියොං හති හලාගෙන බ්ලේක් මහත්තය ඉදිරියෙ පෙනී සිටියා.

බ්ලේකුත් වටපිට බලනවා මොකද මේ කියල......

ඇයි හාමුදුරුවනේ......ගේන්න කිව්වෙ.......ඒකනෙ ගෙනාවෙ කියල සිමියොං කිව්වා.

පස්සෙනෙ කාරණාව පැහැදිලි වුණේ....බ්ලේක් මහත්තය වැරි වැල් කියපු එක තමා සිමියොං නරි වැල් කියල තේරුම අරං තියෙන්නෙ.

අරන් ආපු නරිවැල් කන්දරාවට මොනව කළාද කියල නම් දැනගන්න ලැබුණෙ නෑ.....සිමියොං හරකුන්ට දෙන්න ගෙනියන්න ඇති සමහරවිට.

ඔන්න ආයෙම සැරයක් සිමියොං ගඩොල් කපන කට්ටියකුත් එක්ක ඇළහැරද බකමූණෙද ගිහිල්ලා...

ටික දවසකින් ගෙදරට ලියුමක් එනවලු සිමියොංගෙන්......ලියුමත් හැමතැනම ගිහින් තමා ගෙදරට ලැබිල තියෙන්නෙ.....මොකද එච්චර ලස්සනට ඇඩ්‍රස් එක ලියල තිබිලා.ලියුමෙ කට්ටියට කියවගන්න පුළුවන් වෙච්චි හරිය මෙහෙමයි.

උඹට කොහොමද මට කොහොමද(උඹට කොහොමද...මට නංහොඳයි )

ලොක්කීට සහ ලබ්බීට කියාන්ට හේනයාට කොටන්න කියාල(ලොක්කිටයි ලබ්බිටයි හේන කොටන්න කියන්න )

මාගෙ වල්ලා පට්ටා බලාගන්න(මගේ බලු පැටියා බලාගන්න )

කතා අහල තිබුණට මේ සිමියොං කවුද කියල මට හරියටම දැනගන්න හම්බවුණේ නෑ....හැබැයි අපේ සුනිල් මහත්තයගෙ තාත්තගෙ නමත් සිමියොං.....උන්දැනං මැරිල දැන් අවුරුදු විසිපහකටත් වැඩියිනෙ....මැරුණෙත් අලුත් අවුරුද්දක් වෙලාවක.

සුනිල් මහත්තය නං මම කලිනුත් කියල තිබුනාවගේ විද්‍යා ගුරුවරයෙක්නෙ.....ඒ වුණාට ඉස්කෝලෙ ඇරිල ඇවිත් අපිත් එක්ක හොරෙන් අන්නාසි කඩන්න යන්න නං නොවැරදීම එකතුවුණා.

පස්සෙ කාලෙකදි ජ්‍යොතිෂ‍යට හිත වැටුනු සුනිල් මහත්තය සාස්තරේ ගැඹුරටම හැදෑරුවා.....වැඩි උනන්දුවක් දැක්වුවෙ නොපෙනෙන ලෝකය ගැන හොයන්නත් මන්තරවලින් අත් හදා බැලීම් කරන්නත් තමයි.ඒ කාලෙ වෙද්දි අපිත් එක්ක ලඟින් ආශ්‍රය කලේ නෑ......මොකද අපි ඔය දේවල්වලට එච්චර උනන්දුවක් තිබ්බෙ නැති නිසා....ඕවට අපි හිනාවුනානෙ....ඉතිං ඒවට හිනා නොවෙන කීප දෙනෙක් එයාගෙ වැඩට උදව්වට හිටියා.
 වීරෙත් එයාගෙ උදව්වට හිටපු කෙනෙක්.

ඔය කාලෙ වෙද්දි සුනිල් මහත්තය හෙණරාජ තෛලය හිඳින එක ගැන පරීක්ෂණ කරමිනුයි ඉඳල තියෙන්නෙ...මේ කතා නම් මට අහන්න ලැබුණ මිසක් දැක්කෙ නම් නෑ.....මොකටද බොරු කියන්නෙ.....ඔය හෙණරාජ තෛලය හිඳින්න මහගොඩක් ජාති ඕනැ කියලයි කට්ටිය කිව්වෙ.....ඕනැකරන දේවල් නම් මට දැන් මතක නෑ......ඒත් එකක් මතකයි.....ඒ මොකක්ද කිව්වොත් හෙණරාජ තෛලය හිඳින්න ඔය අපි ගන්න ගින්දර පාවිච්චි කරන්න බෑලු....ඒකට ගන්න ඕනැ ස්වභාවිකව ඇතිවන ගින්දරක්ලු......තෙල හිඳින්න ඕනැකරන අඩුම කුඩුම ටික ඔක්කොම හොයා ගත්තත් මේ ගින්දර නිසා වැඩේ  පටන්ගන්න විදියක් නැතුව සුනිල් මහත්තය කණගාටුවෙන් ඉඳල තියෙන්නෙ.

 ඔන්න දවසක් ඉස්කෝලෙ ඇරිල සුනිල් මහත්තය බස්පොළට වෙලා ඉන්නවලු ගෙදර එන්න....තරමක වැස්සකුත් තිබුණු වෙලාවක්....

දඩ දඩාං කියල ගහපු අකුණක් ඉස්සරහ වත්තෙ පොල් ගහකට වැදිල ගහ ගිණිගන්න පටන් අරන්......

වැටට උඩින් පැනපු සුනිල් මහත්තය ගහ ළඟට දුවල තියෙන්නෙ කඟවේනෙක් වගේ.....

අඩියට දෙකට පොල් ගහට නැගපු සුනිල් මහත්තය ගිණිගන්න පොල්කොළ මිටියකුත් ඇදගෙන බැහැල ළඟම තිබ්බ ගෙදරකට දිව්වලු.....

ඒ ගෙදරින් කුප්පි ළාම්පුවක් ඉල්ල ගත්ත සුනිල් මහත්තය ඒක පත්තුකරල කියල තියනව නිමන්නෙ නැතිව තියාගන්න කියල....

ළඟම කඩෙන් සිගරැට් පැකැට් එකක් අරගෙන ලාම්පුවෙන් පත්තු කරගෙන ගෙදර එන්න පිටත් වෙලා.......සිගරැට් එක ඉවරවෙනකොට කොටෙන් තවත් එකක් පත්තු කරගෙන කොහොම හරි ගෙදරට ඇවිදින් ඒ ගිණි දැල්ලෙන් ලන්තෑරුමක් පත්තු කරගෙන......

දවසක්දා සුනිල් මහත්තය ඇතුළු කණ්ඩායමක් පත්තුවෙන ලන්තෑරුමකුත් අරගෙන කනත්ත පැත්තට යනව මම දැක්ක....ඒ මොකද කියල අහපුවාම තමයි ළඟ හිටපු එකෙක් ඔය කතාව මට කිව්වෙ.

 ඔය සුනිල් මහත්තයගෙ හොඳම යාලුව වීරෙ අපේ ළඟම නෑයො.....වීරයගෙ සීයයි අපේ සීයයි සහෝදරයො......වීරෙ කතාකරන්නෙ නම් ග්‍රන්ථ බාසාවෙන්......අපි වාගෙ ඔය ආගිය අතේ කතාකරන්නෙ නෑ......ලිඛිත භාෂාව තමයි කටේ තිබුණෙ....ඒ දවස්වල වීරයල අපිව එච්චර ගණන් ගත්තෙ නෑ රස්තියාදු කාරයො කියල.....වීරය රස්සාවක් නෙකෙරුවට සුනිල් මහත්තයගෙ ප්‍රධාන ගෝලයනෙ.

අපට මූව එච්චර දිරෙව්වෙ නෑ....අවස්ථාවක් එනතුරු තමා හිටියෙ වීරයව අල්ලගන්න.

ඔය එගොඩහගොඩේ ආතර අයියලගෙ තාත්ත ජෝන් හැමදාම හවසට වතුරවලේ ඇඩ්ඩිංගෙ පොට් එකට යනව කසීප්පු ගහන්න.....හැමදාම බොන්න සල්ලි කොහෙන්ද....සල්ලි නැතිවෙන වෙලාවට ජෝන් කරන්නෙ පොල් කඩල ලෙලි ගහගෙන ගිහින් විකුණල බොන එක.....ජෝන්ට වතු කෑලි කීපයක්ම තිබුණා....හැමදාම කඩද්දි පොල් ඉතුරුවෙයියැ....අනික පියතිලකත් පොල් කඩනවනෙ බොන්න.....පියතිලක කිව්වෙ ආතර අයියගෙ මල්ලි.....ආතර අයිය නං ඔය වැඩවලට ගෑවුණේ නෑ....පාඩුවෙ රස්සාව කරගෙන හිටියා....එයා වැඩකලේ තැපැල් දෙපාර්තමේන්තුවෙ.

පොල් නැතිවුණාම ජෝන් මොකද කරන්නෙ....යාන්තමට වතුර අඬන පොලුත් කඩනව.....කලටි ලෙලිගහල අව්වෙ තිබ්බහම තරමක පෙනුමක් එනවනෙ....

අපි හවස පොඩි මහින්දගෙ කඩේ කතා කර කර ඉන්දැද්දි ජෝන් මේ පොල් හෙවත් කලටිත් අරගෙන පාරෙන් පල්ලම් බහිනකොට අපි කෑගහනව කලටි කලටි කියල....ජෝනුත් සද්ද නැතුව ගිහිල්ල බීල කඩේළඟින් එනකොට අමු කුණුහරුප කිය කියා අපට බනිනව.

මේ වැඩේ මූලිකය අනගාරික මුණසිංහ....ඌ බඩ මුණයගෙ අයියා...අවුරුදු හතළිස් ගාණකුත් වෙලා කසාදයක් බැඳගන්නෙ නැතුව හිටපු හින්ද තමා අපි අනගාරික කියල කිව්වෙ.

දවසක් ජෝන් කඩේ ගාව නැවතිලා අනගාරිකට නොසෑහෙන්න බැනල කුණුහරුප කිය කියා....අනගාරිකට මේකට මල පැනල ජෝන්ගෙන් පළිගන්න බලාගෙන හිටියෙ.....

අනගාරික අපිවත් අල්ලගෙන හැදුව මද්දක්....ඔය මද්ද ජෝන් බීල එන පාරෙ පල්ලමේ හොඳට පලලට හදල තියල ලණුවෙ කොණ අරගෙන පෝටවත්තට පැනල අගලක හැංගිලා බලාගෙන හිටිය ජෝන් එනකං......ඔන්න හයහමාරට විතර ගොම්මනේ ජෝනා ගෙදර එනව...

මද්දෙ මැද්දට අඩිය තියනකොටම අනගාරිකය ලණුව ඇද්දා....මද්දට කකුල් දෙකම හිරවුණු ජෝන් වැටිල පුක බිම ඇණුනා තහ් ගාල.....කුණුහරුප ඉවරයි....අපි පැනල දිව්වා.

දෙවෙනි දවසෙත් අපි මද්ද අටෝල අගලෙ හැංගිලා බලාගෙන හිටිය ජෝන් එනකං....මෙන්න පාර දිගේ පහළට එනව වීරය.....මූත් අපට දිරවන්නෙ නෑනෙ...එකෙක් අහනව....

මොකද කියන්නෙ ගහමුද මද්ද මූටත්.......කියල

අපට හිනා....අපි කටවල් වහගෙන කිචි කිචි ගාල හිනාවෙන සද්දෙ වීරයට ඇහිල....ඌ දැනගත්ත මොකක් හරි දෙයක් සිද්දවෙනව කියල....

එන ගමන්ම වීරය ඇදල පැදල කියනව.....

මට මොකුත් කරන්න බෑඈඈ.....මම පාරෙ යන මගියෙක්....කියල.

චිකිස් ගාල මහ හයියෙන් කට්ටියටම හිනාවක් පැන්න මුගෙ කතාවට......ඉතිං කොහොම මදු ගහන්නද....

ජෝන් පස්සෙ කාලෙක මළා....අනගාරික මුණසිංහ අවුරුදු පණහකටත් කිට්ටුවෙලා බැන්ද කෙල්ලක්ව....ළමයෙකුත් ඉන්නව දැන්නම් ලොකු ඉළන්දාරියෙක්......

මම පස්සෙ කාලෙක ගෙයක් හැදුවෙ වීරයගෙ ගෙවල් ඉස්සරහමයි.....වීරය තාම බැඳල නෑ.....රස්සාවකටනං යනව කොහෙද මන්දා....කතාවනං තාම ලියන බාසාවෙන්ම තමා....

මේ ළඟදි ඩෙංගු බලකාය ආවනෙ අපේ ගෙවල් වතු එහෙම බලන්න.....ඔය වීරයලගෙ වත්ත නං එකම කැළයක්.....සිංහරාජ වනාන්තරේ වාගෙ...ඔවුන්ගෙ ගෙට පහළින් දැවැන්ත උණ කැළයක් තියෙනව.....ඕකෙ කපපු උණ ගස්වල මුල් කුහරවල වතුර පිරිල මදුරුවො බෝවෙයිද බලන්න කට්ටිය ගිහින්......වීරය කියනවලු...
 
කුහරවලට රතු පස් දමා තදකර පොල්කටුවලින් වසා ඇත.......කියල
 
මට ඕක නෙල්සන් කිව්වෙ....ඌත් හිටියනෙ ඩෙංගු බලකායෙ.

68 comments:

  1. මාරම කතාව හැලපයියේ. ඒත් මටත් වාවන්නේ නැත්තේ චෙන්නායි පහරදිම තමා. එග්මෝර, සෙන්ට්‍රල්, බීචි,ටී නගර්, මම ගෙදර වගේ ඇවිදපු තැන්.කෙන්ට් ලේන් එක ගෙදර මිදුල වගේ.ඒත් අන්තිම පාරට යනකොට මහා බෝධිය ඉස්සරහා පොලෝසියෙන් පිරිලා.. එදා මට අනතුරක ඉව දැනුනා. එදා තෝසයක් කන්නවක් අල්ලපු වැටේ හෝටලේට ගියේ නෑ. ආයි යන්න ලැබේ ද හිතන්නවත් බෑ.අවසන් වතාවට ගියෙත් සමන් අතාවුදහෙට්ටි සොයුරාත් එක්කමය්.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි නලීන් කල්පනා කරනකොට හරිම දුකයි ගෙදර වගේ තිබුනු චෙන්නායි ඉස්සරහට හීනයක් වෙයිද කියල

      Delete
  2. අලංකාරව කතාව ලියා ඇත!
    (ලියන භාෂාවෙන්)

    ReplyDelete
    Replies
    1. ඔබට තුති(එම භාෂාවෙන්ම )

      Delete
  3. දැන් ඔය හෙනරාජ තෛලය හැදුවද???

    ReplyDelete
    Replies
    1. ඒකනං දන්නෙ නෑ බණ්ඩො,මම හොයන්න ගියෙ නෑනෙ

      Delete
  4. බණ්ඩාගේ ප්‍රශ්නේ තමා මටත් ආවේ හෙණරාජ තෛලේ හිඳ ගත්තාද ??

    ReplyDelete
    Replies
    1. ගිය වෙලාවක සුනිල් මහත්තය හම්බ වුණොත් අහන්නම්

      Delete
  5. හලපයියේ, මට හෙනරජේ ටිකක් ගන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. ඒ මොනාටද,හොරකමක වත් යන්නද

      Delete
    2. නෑ බන් අර අමතක සිල්වා ලංකාවට ආවනේ, ඉතින් මෙයින් ටිකක ළඟ තියන් ඉන්න එක කෝකටත් හොඳයි බන්. අහක යන එකක් වත් පත්තු උනොත්?

      Delete
  6. දැං කාලේ සිමියොං හිටියනං දේශපාලනේට යවන්න හොඳයි... හි හි

    ReplyDelete
    Replies
    1. සිමියොං නම් ඒ වැඩේ කලේ අවංකමයි මගෙ හිතේ

      Delete
  7. ඔය හෙනරාජ තෛලය හදන්න, අකුණු ගහපු පොල් ගහක ගෙඩි වලින් තෙල් හිඳින්න ඕනෙ කියල මුවන්පැලැස්සෙ තිබුන වගේ මතකයි

    ReplyDelete
    Replies
    1. තවත් ඔය උණහපුළුවන් එහෙමත් ඕනැය කියලයි කතාවුණේ

      Delete
  8. අකුණෙ ගින්දර ටික පරිස්සං කරගෙන ගෙදර ගෙනාපු හැටි තමයි නියම.

    හැලපයියටත් හෙනරාජ තෙල් හම්බඋනැයි.

    ReplyDelete
    Replies
    1. @ Praසන්ன

      හැලපයියට ලැබුණු ටික රත්තරන් සුරේක දාලා කකුල පලලා ඇඟ ඇතුළට දාගෙනලු ඉන්නේ :D

      Delete
    2. දැන් සුරේ වතුරේ දාල බං..

      Delete
    3. නලී;කතාවක් තියෙනව සුරයක නියම බලය ගන්නනම් ඇද නැති මවිල් ගසක් දැමිය යුතුයි කියල :).මේක දැකල තහනම් වචන අහල දාල අප්ෂට් කොරොනව නෙමෙයි හරිය :).

      Delete
    4. ඒක තමා ත්‍රිභාෂා,සුනිල් මහත්තයගෙ මොළේ තමයි.
      මම නං ඉල්ලන්න ගියෙ නෑ

      Delete
    5. ඈ කෙන්ජි එහෙම මයිල් ගස් කොහෙන් හොයන්නැයි,කලා ලෝකෙ වත් හොයල බලමුද

      Delete
    6. ඔව් ඔව් නලිය බලාගෙන හිටියනෙ

      Delete
    7. සුරේ ගලෝල තිබ්බනෙ හසිත,මස් මාලු කන්න බැරි නිසා.

      Delete
  9. සිමියොං වැඩ්ඩෙක් වගේ...

    ඒක නෙවේ බොල ඔය හෙනරාජ තෛලය කියල එකක් තාම තියෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. sAm මලය; දැන් තියෙන්නෙ වශී බෝලනේ.

      Delete
    2. ඔව්නෙ සෑම්,සිමියොංල රියල් වැඩ්ඩො අපි වාගෙ නෙවෙයි.

      Delete
  10. හැලපගේ හතර වටේ මොනවාද අප්පා නොතිබිල තියෙන්නෙ.

    ReplyDelete
  11. ඇත්ත කියන්න එපයි හැලපේ තරහ් උනත්. මම හිතන්නේ ඒකයි අවශ්‍ය දේ. උඹට කියන්න ඕන උන දේ කියවෙලත් නෑ. වෙනදා තරම් රහත් නෑ. මම ආස නෑ උඹ පස්සට යනවට. මේ කියන්නෙ මගේ අදහස උඹට ආදරේ නිසා.

    ReplyDelete
    Replies
    1. අනේ මොනවටද මචං තරහ වෙන්නෙ ඇත්ත කිව්වහම,මමත් දැනගෙන හිටිය හදිස්සියට ලියවෙනකොට.....එක පිට ලියල ටිකක් හති වාගෙත් මාතලන්.........බොහොම ස්තූතියි අඩුපාඩු පෙන්නල දුන්නට

      Delete
  12. මාව නං කරකෝල අතෑරියා වගේ.. කතා ගොඩයි.. අපිනං හැලප කඩේට එනවා හැලප තුමා අපේ කඩේ එන්නෙ නැති එකයි දුක..

    ReplyDelete
    Replies
    1. අනේ සරත් එහෙම කියන්න එපා,මම අද උදේම ඔබේ ලිපිය බැලුවා.....නමුත් වැඩට යන්න පරක්කු වෙන නිසා කමෙන්ට් කරන්න වෙලාවක් තිබ්බෙ නෑ.ඔෆිස් එකේ සිංහල නැති නිසා දවල්ට ලියන්න බෑ.අද හවසට කමෙන්ට් එකක් ලියන්නයි හිටියේ......දැන් ලිව්වොත් කියයිද දන්නෙ නෑ කිව්ව නිසා ඇවිත් ලිව්ව කියල.

      Delete
  13. යකඩෝ මේ හැලපයියා එතකොට කිව්වේ හෙනරාජේ ගැනද අප්පේ . . .

    මට හිතෙන්නේ හැලපයියටත් මට තියෙන ලෙඩේම තියෙනව වගේ.

    කතාවක් කියන්න ගත්තාම මුල මැද අග මතක නෑ අන්තිමේදි කියන්න ගත්තු ගත්තු එක ඇර වෙන අනිත් ඔක්කෝම කියලා වගේ.

    මගේ එක යාල්වෙක් වෙච්චි මැටි පූසා නම් කියනවා ඉස්සර "හා අයියේ අතුරු කතා ඇති දැන් මුල් කතාව කියහන්" කියලා . . හොඳ වෙලවට කතාවේ නවත්තපු තැන ඌම මතක් කරලා දෙනවා . . හික්z

    ReplyDelete
    Replies
    1. ඒක තමයි දුකා මටත් වැඩේ මේ වටේ යන එකයි පඳුරු තැලිල්ලයි නවත්තගන්න බැරි එකනෙ.

      Delete
  14. මමත් හැලපයගේ කතා ආසාවෙන් බලනවා. ඒත් අද නම් හිතුනේ නිකං 'මල්ලේ පොල්' වගේ...:D:D

    ReplyDelete
    Replies
    1. මාත් මේ කියන්න හැදුවේ ඒකමයි :) :) :)

      Delete
    2. අනේ තරහවෙන්න එපාල පොඩ්ඩි සහ සෝන්යා...දන්නැද්ද ඉතින් ඔහොම දේවලුත් වෙනවනේ.

      Delete
  15. මටත් නයිවැල් ටිකක් හොයාගන්න බැරි වෙයිද? :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. නයි වැල් නෙමෙයි රජෝ නරිවැල්,ඔය ඕනැතරම් තියෙන්නෙ ගිරිඋල්ලෙ.මම පොටෝවලත් දැකල තියනව මාළිගාව ළඟ බෝක්කුව ගාවයි පිටිපස්සෙ කෙහෙල් පඳුරු දිගේයි ඕසෙට වැවිල තියෙන්නෙ.

      Delete
  16. වැල් නැතිව නයි දෙන්නද :) ?

    ReplyDelete
  17. මටත් තෛලෙ දීපියෝ/...........

    ReplyDelete
    Replies
    1. හා, කුප්පියකුත් අරගෙන වරෙන්

      Delete
  18. Dude:

    ඒකයි ඔරිජිනල් බෙලෙක්වත්ත නේද? මට මතක්වෙන්නෙම බෙලෙක් කඩේ හන්දිය.

    ReplyDelete
    Replies
    1. //මට මතක්වෙන්නෙම බෙලෙක් කඩේ හන්දිය.//
      ඩූඩ් ඒක කියපන්කො..දැනගන්න..!

      Delete
    2. ඔව් මචං,ඒක ඔරිජිනල් බෙලෙක්වත්ත.දැන් නම් ඔය නම දන්න අයවත් ඉන්නෙ අපි ටිකදෙනයි

      Delete
    3. ඈ බොල බෙලක් කඩේ හන්දිය තියෙන්නේ ගාළු පාරේ... රත්මලාන එයාර්පෝස් එක ළග... මාත් බෙලෙක් කඩේ කරක් ගහපු එකෙක් තමා.. ලියන්නංකෝ එකක් ඒ ගැනත්...

      Delete
  19. වෙනදා කතා තරම් ගෝ එකක් තිබුනේ නැහැ වගේ.

    අර අකුණු අහපු වෙලේ ගින්දර ගන්න ගියපු එකනම් මාරම වැඩක්.මමනම් දවක් 7ක් යනකන් ඒ කිට්ටුවටවත් යන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඔව්නෙ අසරණයො හරියට ලියවුණේ නෑ.
      ඒක තමා මොන තරම් හිතේ ධෛර්යයක් තියෙන්න ඕනැද

      Delete
  20. හැලපයියට දිරවන්න බැරි උන පොර වගේ පොරවල් ඉස්සර ගම්වල හිටිය නේද ...එකෙක් හරි..සමහරු ගෑණු වගේ ඇදෙන චරිත..මතක් වෙනකොටත් හිනා..........අපේ ගමෙත් හිටිය ඔය වගේ පොරවල්...අපිව දැක්ක තැන ගෑණු වගේ ගස්සගෙන යන්නෙ..නයාට අඳුකොට වගේ..!!

    ReplyDelete
    Replies
    1. දැන් නම් ඒ ලොකුකං ඉවරයි,අපි උන්ව පහුකරගෙන ගොඩක් දුර ගියානෙ,ඔය ඉන්නෙ දැන් බල්ලො වාගෙ

      Delete
  21. යන්ත්‍ර මන්ත්‍ර වැඩ ගැන නම් විස්වාසයක් නැහැ
    මගේ .ඉස්සර නම් ඉන්න ඇති හරියට සාස්තරේ
    දන්න අය.දැන් නම් ඉන්නේ පල් හොරු.සාස්තරේටත්
    නිගාවක් ඒ වගේ මිනිස්සු.

    ReplyDelete
    Replies
    1. අපෝයි සහන්,මන්තර සාත්තර කාරයො වැහි වැහැල හිටියට ඔක්කොම හොරුනෙ

      Delete
  22. එක පාර කතා ගොඩාක් කියෙව්වා නොවැ.. එල එල.. ඔය හෙනරාජෙ බොහෝම බලගතු තෙලක්ලු නේද...

    ReplyDelete
    Replies
    1. කතාවට එහෙම කියනව චින්තක,හැබෑව බොරුව මමනම් දන්නෙ නෑ

      Delete
  23. ලස්සනට ලියන්ඩ තිබ්බ කතා තුන හතරක්ම එකට පටලවාගන මොනවද ලොකු අයියේ කොරන්නේ.

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් වැරදුනා මල්ලියෙ,හැම තැනින්ම දොස්.
      ඒක නෙවෙයි මොකද උඹ අර කුණු බ්ලොග් එකකට අනවශ්‍ය ප්‍රසිද්ධියක් දීගෙන දැඟලුවෙ.

      Delete
  24. වැරි වැල් සිමිච්චි වැරි වැල්....
    හික්......

    ReplyDelete
    Replies
    1. නරි වැල් හාමුදුරුවනේ නරි වැල්

      Delete
  25. හදපු හෙණරාජ තෛලෙකුත් නෑ....සිමියොන්ට වෙච්ච දේකුත් නෑ.....අනගාරිකත් කසාද බැන්දා.....

    මේක කියෙව්වම මට මතක් වුනේ "රසවත් කොස් දළු ව්‍යාංජනයක් පිළියෙල කරගන්නා ආකාරයයි"
    නොමේරූ කොස්දළු 5ක් (සෝදා පසෙකින් තබන්න)
    පරිප්පු ග්‍රෑම් 250 යි
    රතුළූනු
    අමු මිරිස්
    ලියාගත් උම්බලකඩ (තේ හැන්දක් පමණ)
    තුනපහ
    මිරිස් කුඩු
    පොල් කිරි කෝප්ප 1යි.
    රස අනුව ලුණු.

    සෝදා පසෙකින් තිබ්බ කොස් දළු හැර අනිත් දේවල් එකලාසයක් කරලා කොහොම හරි ව්‍යාංජනයක් පිළියෙල කරනවා.කොස් දළු වලට කරන දෙයක් නෑ.හැබැයි නම "රසවත් කොස් දළු ව්‍යාංජනය" මේ පෝස්ට් එකත් ඒ වගේ.

    තරහ අවසර....,අපි හැලප කඩේට ගොඩවෙන්නෙ ලස්සන කතාවක් රස විදින්න මිසක් වසා පද්ධතියෙ රූප සටහනක් බලන්න නෙවෙයි....ඕන්න කිව්වා....

    ReplyDelete
    Replies
    1. අත් හදා බැලීමකුයි කලේ සුමිත්,හරිගියෙ නෑ.කොස්දළු වෑංජනය වාගෙමයි

      Delete
  26. ඕං කාලෙකින් කියෙව්වා...ඇට පැටළුනාද මන්දා...ඒක නෙමේ මාර්තු මාසේ උපන් දින දෙකම අල්ලලා පැදුරු පාටියක්වත් දාමුද..

    ReplyDelete
    Replies
    1. දෙක නෙවෙයි පේට්‍රියට් තුනක්ම තිබුණා එකක් ගැන ප්‍රසිද්ධ කලේ නෑ

      Delete
  27. //නරිවැල්// ඒ කුමක් දැයි මා අසා නැත. හැලපය, එහි හැඩ රුව කෙසේදැයි පැවසිය හැකි ද.. ? :D

    හෙනරාජ තෙල් ගැන අහල නම් තියනවා. දැකල නැති නිසා යමක් කියන්න බෑ ඉතින්.

    ReplyDelete
    Replies
    1. ඔය හැම තැනම ගාල් පිටින් වැවිල තියෙන්නෙ චන්දන,දෙමළ වැල් කියලත් කියනව

      Delete
  28. කතාව පැටලලි තමා.. මම කියවල අතෑරලා දාලයි තිබ්බේ.. කමක් නෑ.. වැටෙන්න එපායැ නැගිටින්න.. දැක්ක නේ අපි හරි වසයි.. හරියට ලියපං.. හික්

    ReplyDelete
  29. මේ කතන්දරයේ වරදක් මම නං නොදකිමි.

    මේ කතා මැද කතා ශෛලියයි.

    දැන් ඔබ කළ යුත්තේ අවම වශයෙන් මෙහි එන චරිත, සිදුවීම් මින් ඵෙට ලියා ඇති කතන්දරවලටත්, ඉස්සරහට ලියන කතන්දර මේ කතන්දරයටත් හයිපර් ලින්ක් මගින් යා කිරීමයි.

    ReplyDelete
  30. අර තෙලට මොකද උනේ හින්දේ නැද්ද?
    කෝරලේ වලව්ව

    ReplyDelete

ඔබේ අදහස්