Friday, January 18, 2013

18.ෂැඩෝ


අපේ ගෙදරට ෂැඩෝ ආවෙ මීට අවුරුදු එකහමාරකට විතර ඉස්සෙල්ලා,එතකොට එයාට වයස මාසයයි.
පුතා ඕ ලෙවෙල් පාස්වුනු වෙලාවෙ මොනවද ඔයාට ඕනැ කියල එයාගෙ අම්ම ඇහැව්වාම කිව්වෙ බලු පැටියෙක් ඕනැ කියලයි.ඒ ගමන ටික දවසක් පත්තරවලින් බලු පැටවු හොයපු අම්මල පුතාල පස්සෙ ඔන්න ඔය කළල්පිටිය පැත්තෙ තැනකට ගිහිං ජර්මන් ෂෙපර්ඩ් පැටියෙක් තෝරගෙන ආව.පැටියට නම දාල තිබුණෙ දකින්නත් කලින්.
ෂැඩෝ පොඩිකාලෙ හරිම දඟයි,ගෙදර හිටිය අනික් බල්ල ජිනී, ජිනීයි පූස කිටියි දෙන්නම ෂැඩෝ එක්ක තරහයි.ෂැඩෝ කිටියගෙ ඇඟට පැනල හපනව ආදරේට,සෙල්ලං කරන්න හදන්නෙ, ඒ වුණාට කිට්ටට හරියට තරහ යනව,කිට්ට ඉක්මනට දොර රෙද්දක් අස්සෙ හැංගිලා කෑ ගගහ ෂැඩෝගෙ මූණට අතින් ගහනව,ඒ වෙලාවට නම් අපට හරි බයයි බැරිවෙලාවත් කිට්ටගෙ නියපොත්තක් ෂැඩාගෙ ඇහේ වැදුණොත් කියල.
කොච්චර ඈත් කරල තිබ්බත් ෂැඩෝ කිටියට කරදර කරන එක නවත්තන්නෙ නෑ.

ජිනී කූඩුවෙ ඉන්නකොට නැට්ට කූඩුවෙන් එළියට වැටිල තිබුණොත් ෂැඩෝ ගිහිං නැට්ටෙන් අදිනව,ජිනීට හරිම තරහයි,ගොරව ගොරව දත් විළිස්සගෙන මහ හයියෙන් බුරනකොට මම නෙමෙයි වගේ ෂැඩෝ හිමිහිට එතනින් මාරුවෙනව.
කෑම කන්නෙත් හිතුනහම තමයි,සමහර වෙලාවට හොඳට කනව,සමහර දවසක කෑම එක අනල එහෙම ඉස්සරහිං තිබ්බහම ඉව කරල නිකං ඉන්නව,
ඔන්න දවසක් බිරිඳ කරල තියෙන දේ මේ..මේ..ෂැඩෝ කන්න කියල බත්කටක් කටේ තියල,
මෙන්න එතකොට හොඳට කනවලු.

බිරිඳ දවසක් කතාකරපු වෙලේ මට කිව්ව,
මට දැන් බල්ලන්ටත් බත් කවන්න වෙලානෙ..කියල
මම කිව්ව  හොඳයි පුතත් නැති එකේ බල්ලට කවන්න කියල.දැන් ෂැඩා කන්නෙ රතු බත්ලු,සුදු බත් දුන්නම ඉවකරල යනවලු.දවසක් නාවල ඉවරවෙල වේලෙන්න එළියෙ බඳින්න ගෙනියනකොට,එදා ගේට්ටුව ලොක් කරල තිබිල නෑ යන්තං ඇරිල තිබුණ තැනක් දැකල එළියට පැනල දුවල,ගෙදර ඉඳල තියෙන්නෙත් බිරිඳ විතරයි,කතා කළාට අහන්නෙම නැතුව වත්ත පුරා දුවල,අනේ මේකා නැතිවෙයි කියල බයට මෙයත් බල්ලගෙ පස්සෙන්ම දුවල,කොහොම හරි අල්ලගෙන ගෙදර ගෙනත් දෙකක් දීල තිබුණා.

 දැන්නං ගොඩක් හොඳයි,බ්‍රෂ් කරන්න එහෙම කතා කරපුවම කෙළින්ම ඇවිත් බිත්ති කණ්ඩිය ළඟ හිට ගන්නව,බ්‍රෂ් එක අතට ගන්නකොට එයා දන්නව මොකක්ද කරන්න යන්නෙ කියල.
අපි ඔය ෂැඩෝ ගේන්න කලින් අපේ නංගිගෙ පුතා කැලුම් ගෙනාව ලොකු බල්ලෙක්,ඌ රොත්ස්වෙයිලර් එකෙක්,නම මොන්ටි.
ඔන්න ගේ පිටිපස්සෙ ලොකු කූඩුවක් එහෙම හදල මොන්ටිව දැම්ම,මොන්ටිනම් හරිම වසයි,පෙනුමත් හරිම රෞද්‍ර පාටයි ඒ දවස්වල අපේ පුතාගෙ වැඩේ කූඩුව ළඟට ගිහිං මොන්ටි දිහා බලාගෙන ඉන්න එක.සමහර දවස්වල බල්ල පිටිපස්ස හරවගෙන ඉන්නකොට පිටත් අතගානවලු,ඇවිත් කියනව,අම්මගෙ ඇඟේ ලේ නෑ මේව අහල බයේ.ඇයි අප්ප බුහ් ගාල හැපුවොත් එහෙම.

මොන්ටිය ළමයින්ට නං සැර නෑ,හැබැයි ළඟ පාතින් හරි බල්ලෙක් ගියොත් බුර බුරා කූඩුව කඩාගෙන පනින්න හදනව,අපේ මහගෙදර මල්ලිල හදපු බල්ලො දෙන්න,රෙක්ස් සහ ටාසන්,මේ දෙන්න අපේ ගෙදර එන්න පුරුදුවෙලා හිටියෙ මොන්ටිගෙ කූඩුව ලඟින්,මොන්ටි උං දෙන්නට මොනතරම් භයංකාර විදියට තර්ජනය කළාද කිව්වොත් ඒ අහිංසකයො දෙන්න මොන්ටියගෙ කූඩුව පැත්ත පළාතෙන් යන එකත් නවත්තල දැම්ම.
මොන්ටි අපේ මස්සිනා පේමරත්න එක්ක ඉක්මනටම යාලු වුණා,කෑම දෙන්න යන්නෙ  නාවන්නෙ එහෙම එයා තමයි.පෙළක් වෙලාවට මොන්ටිවත් ලෙහාගෙන අපේ ගෙදර ඇවිත් ඌව ගේ ඉස්සරහ අඹ ගහේ බැඳලත් තියනව.
 ඔන්න ඔහොම ඉන්නකොට මොන්ටිගෙ කකුල්වල ඇඟිලි පුරුක් අතරෙ කිණිතුල්ලො බෝ වුණා,ඕක වඳ කරන්න කැලුම් ස්ප්‍රේ එකක් ගෙනත් දුන්න කකුල්වලට ගහන්න,පේමරත්න ඕක ගහනවට මොන්ටි කැමති නෑ,ඒක හරියට දනව එතකොට පේමරත්න මොන්ටිට විහිළු කරනව.

ඔන්න දවසක් ඔය බේතත් අරගෙන පේමරත්න මොන්ටිගෙ කූඩුව ඇරල ඇතුළට ගිහිං තැන තැන බිත්තිවල හිටපු කිණිතුල්ලන්ට ස්ප්‍රේ එක ගහනවලු මොන්ටිට පස්ස හරවගෙන.ඒ කරන ගමං මොන්ටිට ස්ප්‍රේ එක පෙන්නල කියනවලු ඊළඟට උඹට තමයි කියල.දෙතුන් සැරයක් විහිළු කරනකොට එක පාරටම මොන්ටි පැනපු ගමන් පේමරත්නගෙ අත හපාගෙන,දත් මසට කාවැදිල කට ලොක් වෙලා,තැන් දෙකක් අල්ලල තිබුණා,පේමරත්නට මොකුත් කරගන්න බෑ මේ අලි බල්ලත් එක්ක මොන්ටිය දැන් පේමරත්නගෙ අතින් අල්ලගෙන එහාට මෙහාට හොල්ලනවලු පේමරත්නව බිම දාගන්න,බිම දාගත්තොත් බෙල්ලටම පනිනව.

පේමරත්නගෙ හොඳ වෙලාවට අපේ අයිය ඉඳල,මෙයාගෙ කෑගැහිල්ලට ගිහිං බලල දැන් බල්ල අත කාලලු කහ පාට ටිෂියු එළියට එන්න,අයිය පොල්ලක් අරං ගැහුවට මොන්ටිය අතඇරල නෑ,ඒ ගමන අයිය ස්ප්‍රේ එක දැකල ඒක අරගෙන මොන්ටියගෙ ඇස්වලට විදපු ගමන්ම අතඇරල,
ඒ ගමන ඉක්මනටම ඉස්පිරිතාලෙට ගෙනිහිං දවස් හතරක්ද පහක්ද හිටිය. අපේ පුතා කිව්ව එතන බිම තිබුණු පේමරත්නගෙ ලේ හිටං මොන්ටිය ලෙවකෑව කියල.

සනීප වෙලා ආපු පේමරත්න බල්ලත් එක්ක වයිර බැඳගත්ත,කිසිම සාත්තුවක් සැලකිල්ලක් කලේ නෑ,මොන්ටි අසනීප වෙලා ඇහේ කැන්සර් එකක හැදුනා,හරියට බේතක් කළෙත් නෑ.
 වැඩිකල් ගියෙ නෑ මොන්ටි මළා....

මගෙනම් අදහස මොන්ටිගෙ වැරැද්දක් නෑ කියලයි,තමුන්ට හිරිහැර කරන එකෙන් බේරෙන්න මොන්ටි තමන් දන්න එකම දේ කළා.මොන්ටිලට වැඩියෙ මොළයක් තියෙන අපි දැනගන්න එපායැ මොන්ටිලත් එක්ක ගණුදෙනු කරන ක්‍රමය.

දැන් මොන්ටිගෙ කූඩුව හිස්,කැලුම් වෙන ගෙදරක පදිංචියට ගිහිං,දැන් කැලුම් ගාව තව බල්ලො දෙන්නෙක් ඉන්නව එකෙක් මොන්ටි අනික කාලෝ.
බිරිඳ මෙහෙ එන්න දවසකට කළින් අපේ ජිනිය මළා,මැරෙනකොට එයාට අවුරුදු දහයයි,උදේට කන්න දෙන්න බලනකොට කූඩුවෙම මැරිල ඉඳල.

 අපේ මහගෙදර හිටපු රෙක්ස් මළේ ඊට කළින්,මාගෝ නං තාම ඉන්නව හැබැයි උගෙ නැට්ට නෑ,බල්ලොත් එක්ක ගෝරියකට ගිහිං නැට්ට මුලින්ම කඩාගෙන.සනීප කරගත්තෙත් අමාරුවෙන්,දැන් නැට්ටක් නෑ චූටි කොටයක් වන වන අපේ ගෙදර එනව.
 

දැන් අපේ ගෙදර ඉන්නෙ ෂැඩෝ විතරයි,අපි කට්ටිය නැතුව ෂැඩෝට පාලු ඇති.
ෂැඩෝ පැටිය කාලෙ පුතත් එක්ක නටද්දි ගත්තු පිංතූර කීපයක් හොයාගත්තා.හැබැයි මොන්ටියගෙ පින්තූරයක්නං හම්බවුණේ නෑ.

23 comments:

  1. සැහ්. ප්‍රේමරත්නයා අහුඋනානං සත්තව අවිහිංසා සංවිධානේට හිරේ දානවා.. හැබැයි මිනිහටත් තිබුන මානව හිමිකම් යන්න බල්ල කෑවයි කියල.. මහ බලු කතාවක් හැලපයෝ.. හික්ස්

    ReplyDelete
    Replies
    1. ඒක තමයි බං,බලුම බලු කතාවක්

      Delete
  2. අනේ... මට අපේ වලව්වේ හාමු මතක් උනා..

    ගිය සතියේ ගෙදර ගියාම කොච්චර රවට්ටලා ගේ ඇතුලට ගියත්, මාව පෙරලගෙන ලෙවකන්න ගත්තා.. එයාගේ අලි කකුල් වලට පැගිලා මගේ කකුල් දෙකම තුවාල වෙලා.. ඒ තරම් දැඟළුවා... පැය බාගයක් විතර ඌත් එක්ක නටලා ඉවර වෙලා, ඇඟ හෝදගෙන ඇවිත් තමයි ගෙදර අනිත් අයත් එක්ක කතා කළේ.. මාව කෙල වලින් නාවලා.. ඇඳන් ගිය ඇදුම ආයිත් වෙන කොහෙවත් අඳින්න බෑ.. ඒක පුරාම මවිල්...

    ඒක නම් පුදුම ආදරයක් අප්පා.. මම ගෙදර ගියේ මාස 3කට විතර පස්සේ.. ඒත් ගෙට අඩිය තියන‌ෙකාටම දුවගෙන ඇවිත් ඇඟට පැන්නා..

    මගේ බ්ලොග් එකේ වැඩි හරියක් ඇත්තේ එයාගේ ෆොටෝ තමයි මං හිතන්නේ.. හි හි

    ReplyDelete
    Replies
    1. අමතක උනානේ.. ඇයි අපේ පූස්.. එයාට මෙයා දෙන වද වලින් බේරෙන්න දැං එයා පදිංචි වෙලා ඉන්නේ ෆ්‍රිජ් එක උඩ.. හි හි..

      Delete
    2. හිරූ,අපි හවසට ගෙදර ඇවිත් ඇඳුම් මාරුකරල ඇඟ හෝදගෙන තමා ෂැඩෝ අරින්නෙ.නැතිනම් ඇඳුම් ලෙහන්න දෙන්නෙත් නෑ.කරේ ඉන්නෙ.

      Delete
    3. කිව්වට තරහා ගන්න එපා බල්ලොයි කෙල්ලොයි අතර මාර සම්බන්ධයක්නේ තියෙන්නේ

      Delete
    4. කොල්ලන්ට වඩා බල්ලෝ හොඳයි නලීන් අයියේ.. කෙල්ලන්ගේ හිත් රිද්දන්නේ නෑ නේ බල්ලෝ කොල්ලෝ වගේ... හි හි

      අපෙ උන්දැව ගැට ගහලා තියන්න බෑ.. අපිට බයයි බෙල්ල කඩා ගනී කියලා... උඩ පනින පැනිල්ලට... හි හි

      Delete
  3. අපේ ගෙදර ඕකේ අනිත් පැත්ත... කිටියා තමා බලු පැටියට ඉන්න දෙන්නේ නැත්තේ. කිටියට හරියට කේන්ති යනවා. සමහර වෙලාවට බලු පැටියාගේ මුණට ගහ ගෙන ගහ ගෙන යනවා... අම්මෝ... ඒ වෙලාවට නම් බයත් හිතෙනවා.ඇයි ඇහැකට එහෙම වැදුනොත් ඉවරයිනේ.....

    මොන්ටිගේ වරදක් නෑ තමා. එයා එයාට වෙන කරදරයෙන් බේරෙන්නනේ එහෙම කලේ...... හැබැයි බල්ලෝ කනවා කියන එක නම් මහා බය හිතෙන වැඩක්. අපේ ගෙවල් ලග ආන්ටි කෙනෙක්ගේ කකුලක් බල්ලෙක් කාලා අන්තිමට දැන් ඒ ආන්ටිගේ ඒ කකුල ටිකක් කොටයි.... ඇවිදින්නත් අමාරුයි. ගොඩක් දුක් වින්දා....

    ReplyDelete
    Replies
    1. ඔය සුරතල් සත්තු හදන එකත් කලාවක් සමනළී,හදනවට හදන්න බෑ සත්තු පිහිටන අය ඉන්නව,හැම කෙනාටම බෑ

      Delete
    2. ඒක නම් ඇත්ත..

      අපේ හාමු ගෙදරට එන ඕනේ කෙනෙකගේ ඇඟට පනිනවා .. ඒත් අපේ මහත්තයා ගාවට ගිහින් යන්තම් ඉව කරලා එනවා... එයා සත්තු හදන්න කැමති නෑ.. සත්තුන්ට ආදරේද මන්දන්නෙත් නෑ.. ඒක බල්ලට තේරිලා මං හිතන්නේ.. ඒ ‌ගොල්ලන්ගේ ගෙදර අයගෙනුත් අපේ බලුස් එකතු මස්සිනා එක්ක විතරයි.. එයා එක දවසයි අපේ ගෙදර ආවේ.. මෙයා නැවතුනේ එයාගේ කරේ... හි හි

      Delete
  4. නියම K9 කතාවක්නෙ. ඒක නෙවෙයි මචං හැලපේ. උඹලා කට්ටිය ගෙදර නෙවෙයිද ඉන්නේ? මේ කතාව කියවනකොට මට එහෙම හිතුනා.

    ReplyDelete
    Replies
    1. අපි ගෙදර නෙවෙයි ඉන්නෙ ඩූඩ්,මේ දවස්වල විප්‍රවාසෙ,ඒකනෙ දැන් ෂැඩෝ තනිවෙලා ඉන්නෙ.

      Delete
  5. හැලපයියේ බල්ලෝ ගැනනං කතා කරලා වැඩක් නැ, මම කාලෙකට කලින් ලියුවා පෝස්ට් එකක් ,

    වෙලාවක් තියනවානං බලන්න

    "http://atampahura.blogspot.com/2012/06/blog-post_03.html"

    ReplyDelete
    Replies
    1. නොවරදවාම කියවන්නම් අටම් මල්ලී.

      Delete
  6. හැලපෙගේ කතා කලාව හරිම අමුතුයි අපව දැද බැද ගන්නවා. පොඩි දෙයක් වුණත් අපුරු අයුරකින් කියනවා

    ReplyDelete
  7. සත්තුවත්තක් වගේ දාගත්ත නම් ගොඩ

    ReplyDelete
  8. අඩේ....බලු සනුහරයක්ම ඉන්නවා වගේ! :D

    ReplyDelete
  9. ඔඩෙල් අක්කගෙං කීයක්හරි ඉල්ලගන්න බැලුවෙ නැද්ද? :D

    ReplyDelete
  10. "බල්ලොත් එක්ක බෑ" කියන්නෙ නිකන්යෑ.

    ReplyDelete
  11. මම පවු බොලං...බල්ලන්ට කොච්චර ආසා වුනත් අපේ ගෙදර බල්ලො හදන්න බෑ...උපරිම හොදින් ඉන්නෙ අවුරුදු 3 යි. එතැනින් පස්සෙ හොද කරන්න බැරි කරුම ලෙඩක් හැදෙනවාමයි...ඊට පස්සෙ සතාගෙ ඉතිරි ආයුෂ ගෙවෙන්නෙ මේ කරුම ලෙඩේ එක්ක... එකෙක්ට දිවේ පිළිකාවක් ඇවිත් දිව හිල්වෙලා මලා...තව එකෙක්ට හොද කරන්න බැරි කුෂ්ඨයක් ආවා, ඊට කලින් හිටිය කෙනාට මී මැස්මොරේ හැදුනා... තත්වය ඔහොම නිසා සිරා කොලුවා දැන් සත්තු හදන්නෙ නෑ... යාලුවන්ගෙ බල්ලො තමා හුරතල් කරන්නෙ...

    අපේ නිවස පිහිටා තියෙන්නෙ දේව පාදයක කියලා තමයි ගොඩාක් අය කියන්නෙ...

    ReplyDelete
    Replies
    1. පූසන්ට නම් කිසි හෙනයක් නෑ...දැනටත් 4 දෙනෙක් ඉන්නවා...කලුම කලු සේනකයත් එක්ක..

      Delete
  12. අහල පුරුදු වචනයක් හින්ද මොකක්ද බලන්න ආව. බ්ලොග් ලෝකෙට හැලප කඩයක් දාල නේද... ජය වෙවා හැලප අයියා.... පුළුවන් වෙලාවක ඇවිත් යන්නම් අපේ පැත්තෙත් රවුමක් දාල යන්නකෝ

    www.mytechgate.blogspot.com

    ReplyDelete
  13. හ්ම්ම්ම්ම් මටත් මතක් උනේ මගේ JD ව. ජර්මන් ෂෙපර්ඩ් කියන්නේ හරි ගොන් බල්ලෝ ඒ හොඳ පෙනුම හුරතල්. ඒ නිසාම තමයි මම උන්ට ආසා.

    ReplyDelete

ඔබේ අදහස්