Sunday, May 8, 2016

බැට් වැඩපොළ රුක්අත්තන ලී කජු ලී සහ බත්මුල නිසා ගැලවීම.



















අදත් අතීත මතක සටහනක් අවදි වුයේ ගූගල් ස්ට්‍රීට් වීව් වල දැකපු පින්තූරයක් නිසාය.   අපේ ටවුමේ සිට B 445 පාරදිගේ ඊතලය ගෙනගියේ නිකම් කම්මැලිකමටය.   මගේ අතීත මතකය අවදිවුනේ පාරේ මෙන්න මෙතැනදීය.   මේ සථානය මගේ ජීවිතයට සදානුස්මරණීය වන්නේ මම හාපුරා කියා රැකියාවක් කළේ මෙතැන වීමයි.    එයට රැකියාවක් කියනවාද පුහුණුවක් කියනවාද එහෙමත් නැත්නම් වෙනත් නමක් කියනවාදැයි මට තවමත් සිතාගන්නට නොහැක්කේ රැකියාවක් නම් රැකියාවකට යන කෙනෙකුට ලැබිය යුතු වැටුපක් මට නොලැබුණු නිසාත් පුහුණුවක් නම් ඒ ලබාගත් පුහුණුවෙන් මට මොනයම් ආකාරයක හෝ ප්‍රයෝජනයක් නොලැබුණු නිසාත්ය.   ඒ කෙසේ වුවද මා මෙම ස්ථානයේ ගතකළ කාලය යන්තම් මාස කීපයකට සීමාවී නැවතුන හෙයින්  අද මට ඒ කිසිවක් ගැන එතරම් හැඟීමක් නොමැති අතර ඇත්තේ මතක සටහනක් පමණි.  

අපේ කාලයේ එස් එස් සී හෝ ජ්‍යෙෂ්ටය යනුවෙන්ද අදනම් ඕ ලෙවෙල් යනුවෙන්ද හැඳින්වෙන සාමාන්‍යපෙළ විභාගයට මුහුණදීමෙන් පසු ලැබෙන දීර්ඝ නිවාඩුවෙන් මාස කීපයක් අපේ මවගේ ගමේ හෙවත් බෝතලේට වී ගෙවා දැමු බව මා කලින් ලියා ඇත.    ආපසු ගමට පැමිණි මට ගෙදරටවී නිකම් ඉඳීම මහත් අපහසු කාර්යයක් විය.   ලැබෙන එකම සැනසීම දවල් වෙනතුරු නිදාගැනීම පමණකි ඊට පසු දවස ගෙවා දැමීම ඉතා කම්මැලි වුනේ ආශ්‍රය කරන්නට කෙනෙක්වත් දවල්වෙනවිට ගමේ ඉතුරු නොවීම නිසාය.    මේ නිසා තාවකාලික රැකියාවකට හෝ පුහුණුවකට යන්නට ඇත්නම් හොඳය කියා මට නොයෙක් විට සිතුනි.    ඒ වනවිට මගේ හිතවතෙක්ව සිටි වත්තේ ආරි වැඩකළේ මෙන්න මේ ආයතනයේය.(ආරි කිව්වේ මගේ තවත් හිතවතෙක් වූ රෙදිමෝලේ වැඩකළ මයියංගනේ ආරි කියා වරදවා වටහා නොගන්න) මෙම ස්ථානය තරමක කම්හලක් වූ අතර මුලික වශයෙන් සැහැල්ලු පන්දු ක්‍රිකට් පිති නිපදවීමෙන් ආරම්භකර පසුව වෙනත් වෙනත් නිෂ්පාදනද කරන්නට පටන්ගෙන තිබු  අතර ආයතනයට ලස්සන පොෂ් නමක් තිබුණත්  දන්න කියන සියලු දෙනාම මේ ආයතනය හැඳින්වුයේ බැට් වැඩපොළ යන සරල නාමයෙනි.

බැට් වැඩපොළට  යන්නට මට ඇති ආසාව ගැන මා ආරිට කියූ විට ආරි කිව්වේ ආයතනය හිමිකරු සමග කතාකර බලන ලෙසය.    ආයතනයේ හිමිකරුවා දුරින් අපේ ඥාතියෙක් වූ නිසා අපේ අම්මාට කියා ඔහුත් සමග කතාකළ විට ප්‍රශ්නය විසඳුනි.   ඉල්ලුම් පත්‍ර හෝ වෙනත් ලිය කියවිලි කිසිවක් නොවූ අතර ලැබෙන වැටුප ගැනද කිසිවෙකුගේ සඳහනක් නොවීය.    මා ඒ මාසයේ සිටම ආරිත් සමග බැට් වැඩපොළේ සේවයට යන්නට පටන්ගත්තෙමි.    ආයතනයේ හිමිකරු සිය දරු පවුල සමග පදිංචිව සිටි ගෙටම අල්ලා තනා තිබු එම ආයතනය සතු දහ දෙනෙක් පමණ වැඩකළ කම්හලේ ලී අංශය සහ යකඩ අංශය යනුවෙන් අංශ දෙකක් වූ අතර මා අනුයුක්ත කරන ලද ලී අංශයේ ප්‍රධාන වශයෙන් ක්‍රිකට් පිති සහ පේෂකර්ම ආයතනවල පාවිච්චියට ගන්නා බොබින් නිෂ්පාදනය සිදුවිය.    එමෙන්ම ඇණවුම් ලැබෙන ආකාරයට වෙනත් ලී නිෂ්පාදන සකස්කරදීමද සිදුකෙරුණි.    එකල රජය විසින් විදේශ වලින් කරන ආනයන නතර කොට තිබු හේතුවෙන් මෙම ආයතනයේ නිෂ්පාදන වලට ඉතා හොඳ ඉල්ලුමක් තිබු අතර විශාල ඇණවුම් නිතරම ලැබුණි.  මම ආරි සමග හැමදාම උදේ ටවුමට ගොස් බස් එකක නැගී සේවයට ගියෙමි.    මුලින්ම ආයතනයට බැඳෙන හැම ආධුනික සේවකයාටම  කරන්නට ලැබෙන වැඩක්වු බැට් පිරවීමට මටද සිදුවිය.    

බැට් පිරවීම යනු කුමක්දැයි විස්තර කරන්නට කලින් ක්‍රිකට් පිති නිෂ්පාදනය කරන ආකාරය ගැන කෙටි විස්තරයක් කල යුතුය.    පිති නිෂ්පාදනයට යොදා ගන්නා රුක්අත්තන ලී බැට් වැඩපොළට සපයන්නේ ඒ අහළ පහළ ලී මුදලාලි කෙනෙකි.    ඔහු විසින් කප්පවා කුට්ටි කොට ගෙනැවිත් බාරදෙන රුක්අත්තන කඳන් ඉරා ක්‍රිකට් බැට්වල ප්‍රමාණ අනුව සකස් කරගනු ලබයි.     මුදලාලි ඒ වනවිට රුක්අත්තන ගස් කැපීම කෙතරම් ජයට කරගෙන ගියාද කිවහොත් ඒ අහළ පහළක නම් බේතකට පොත්තක් ගලවා ගන්නට වත් රුක්අත්තන ගසක් නොවීය.     ළඟ පාත ගස් නොමැතිවූ කළ පසුබට නොවූ මුදලාලි ගස් සොයමින් වෙනත් ප්‍රදේශ පවා පීරන්නට විය.    ලී මුදලාලිට අසු නොවී ඉතුරුවූ රුක්අත්තන ගසක් අදටත් දැකිය හැක්කේ අපේ ටවුමේ බස් නැවතුම්පොළ ළඟය ඒ දැවැන්ත ගහ කෝච්චි ඉස්ටේෂමට හොඳහැටි පෙනේ.    නගර සභාවට අයිති දේපොලක් නොවන්නට ඒ ගහද ඔහුගෙන් බේරෙන්නේ නැත.    

ක්‍රිකට් පිති කපනවා ඇරෙන්නට රුක්අත්තන ලීය ගන්නේ මිනීපෙට්ටි හදන්නටය.    නමුත් මිනීපෙට්ටි වලටද රුක්අත්තන ලීය ගණන් වැඩි නිසා ඊටත් වඩා මිළෙන් අඩු කජු ලෑලි මිනීපෙට්ටි නිෂ්පාදනයට යොදාගන්නා බව දැනගන්නට ඇත.    කජු ලෑලි ගැන කතාකරනවිට මට හේමපාල ධර්මසේන කියපු කතාවක් මතක්වේ,කොළඹ මල් ශාලාව අයිති මුදලාලි චිත්‍රපට කීපයක් නිෂ්පාදනය කර ඇති නිසා හේමපාල ධර්මසේනලාගේ හිතවතෙකි.   මුදලාලි අලුතෙන් හදපු ගෙට ගෙවැදීමේ උත්සවයට ධර්මසේන හේමපාලටද ආරාධනා ලැබී තිබුණි.   නියමිත දිනයේ ඔහු එහි යන්නේ තවත් ආරාධිතයන් දෙපොළක් වූ මහාචාර්ය සුනිල් ආරියරත්නත් චින්තන ජයසේනත් සමගය.    ඔවුන්ව ආදරයෙන් පිළිගන්නා මුදලාලි ඔවුන් ගෙතුළ ඉන්දවා තවත් වැඩකට ඇතුළට ගිය වෙලේ චින්තන ජයසේන ගෙයි ඇති පුටු මේස ආදී ලී බඩු එකින් එකට තට්ටු කරමින් සාලයේ ඇවිදින්නට විය.    චින්තන මොනවා කරනවාදැයි එවිට සුනිල් ආරියරත්න ටිකක් තදින් අසා ඇත. 

නෑ  මේ බඩු හදල තියෙන්නෙ කජු ලී වලින්ද කියල බැලුවා...

චින්තන ජයසේන කියා ඇත්තේ සුනිල් ආරියරත්නයන්ට හිසේ අත් ගහ ගන්නට සලස්වමිනි.    සංදේශය චිත්‍රපටය කාලයේ සිට චිත්‍රපට සිය ගණනක කලා අධ්‍යක්ෂණය කළ ධර්මසේන හේමපාල ළඟ මෙවැනි රසකතා  දහස් ගණනක් ඇතත් මෙතෙක් මට  ඔහුගෙන් අහගන්නට ලැබී ඇත්තේ කීපයකි.    හේතුව අප දෙන්නා නිතරම මුණ නොගැසීමයි විශේෂයෙන් මා නිතරම ලංකාවේ  නොසිටීම තවත් කාරණයකි.    කලා අධ්‍යක්ෂණය යන විෂයය චිත්‍රපටයකටහෝ ටෙළියකට එකල නම් ඉතා වැදගත් වුවත් දැන් ඉන්නා නිෂ්පාදක වරුන් හා අධ්‍යක්ෂක වරුන් එය නොසලකා කටයුතු කිරීම හේතුවෙන් හේමපාල ධර්මසේනයන් මේ වනවිට සිය නිවසේ විවේකයෙන් පසුවෙනවාට කිසිම සැකයක් නැත.

නැවතත් ක්‍රිකට් පිති නිෂ්පාදනය පිලිබඳ කතාවට පැමිණියහොත් ක්‍රිකට් පිති 0 සිට 6 දක්වා ප්‍රමාණ වලින් නිපදවනු ලබයි.   ගෙන එන රුක්අත්තන කොටවලින් හැකි තරම් ප්‍රමාණයක් 6 සඳහා කපාගන්නට බලන්නේ එයට වෙළඳපොලේ ලැබෙන මිල වැඩි නිසාය.    ඉන්පසුව පිළිවෙලින් 5,4,3,2,1 සහ 0 සඳහා ලී සකස් කර ගනී.     ලී කැබලි ටික ප්‍රමාණ අනුව වෙන්කරගත් පසු මුලින්ම ඇත්තේ පිත්තේ මිට ලියවීමයි.    ලී කැබැල්ල ලියවන පට්ටලයට සවිකර වේගයෙන් කරකැවෙන්නට සලස්වා මුලින් බොකු නියනෙන් හැඩය පාදාගත් පසු සමතල නියන උපයෝගී කරගෙන මිට නිමැවුම සිදු කරනු ලබන්නේ ඒ සඳහා හොඳින් පුහුණුවූ කෙනෙකි.   ඉන්පසුව යාන්ත්‍රික යත්තෙන් පිත්ත හැඩ ගසාගනු ලබයි.   මේ ආකාරයට නිමැවෙන දල පිත්තේ ලීයට කෘමීන් විසින් කර ඇති හානි මනාව දිස්වේ.    එම ස්ථාන පාදාගෙන හොඳින් ශුද්ධ කර කැපී ඉවතයන රුක්අත්තන ලී කෑලි සිදුරේ ගණනට කපාගෙන ගම්වල ඔබා සිදුරට තබා මිටියකින් තට්ටුකර ඉන්පසු තියුණු තලයකින් සැස ඉතිරි කෑල්ල ඉවත් කර ගත් පසු එතන කෘමින් විද හානිවූ ස්ථානයක් යැයි සොයාගන්නට බැරිවේ.    මුලින්ම ආධුනිකයාට කරන්නට ලැබෙන බැට් පිරවීම යනු මේ කාර්යයයි.මෙසේ සාදාගන්නා පිති දැව සුරක්ෂිතතා ද්‍රාවණයක ගිල්වා අව්වේ තබා වේලාගෙන ඉන්පසුව වැලි කඩදාසි වලින් ඔපදමා පොලිෂ්කර පිත්තේ නිමාව සිදුකරයි.    ඉන්පසුව ඇත්තේ අදාළ සලකුණු සීල් තැබීමයි පිත්ත රුක්අත්තන වුවද පිත්තේ ඉදිරියෙන්ම ලස්සනට willow යනුවෙන් මුද්‍රාව තබනු ලැබේ.     මිට ළඟ සහ මිට උඩ පිත්තේ ප්‍රමාණය සටහන්වේ.   ඉන්පසුව මිටට රබර් ආවරණය යොදා ඉටි කවරයෙන් ආවරණය කර ගත්කල පෙනෙන්නේ පිටරටින් ගෙනා පිත්තක් විදියටමය.   

බැට් වැඩපොළේ සතුටින් වැඩකරමින් මාසයක් පමණ ආරිත් සමග වැඩට ගියෙමි ආවෙමි.   ආරි වැඩට නොගිය එක සෙනසුරාදා දවසක අම්මා හදා දුන් දවල් කෑම එකත් රැගෙන වැඩට යන්නට ගෙදරින් එළියට බැස්සෙමි.    ටවුමට යන්නට අපේ ගෙදර සිට වෙලේ නියර දිගේ ගිහිං මහ පාරට යන්නට සිදුවේ මහ නියර සහ අයිනෙ නියර යනුවෙන් වෙල් යාය දෙපැත්තේ  නියරවල් දෙකකි.   එදා මම අයිනෙ නියර දිගේ ගියේ එතනින් පාරට දුර මීටර් සීයකින් පමණ අඩුවෙන නිසාය.    වැඩිපුර පාවිච්චි නොකරන නිසාවෙන් අයිනෙ නියර වල් වැහී තිබුණත් ඒ ගණනකට නොගෙන මම ඉක්මනින් ගියේ මහ පාරට ගොඩවෙන්නටය.    මහපාර පෙනි පෙනී තියෙද්දී ඇළ අයිනේ ළිඳක් ළඟ මුණ හෝදමින් හිටපු එකෙක් මාව දැක නියරට පැන මග හරස්කළේය.

කොහෙද තෝ යන්නේ?

අහෝ ඛේදයකි,මේ කලින් සතියේ අපේ ගමේදී කෙල්ලෙක් සම්බන්ධව අපිත් එක්ක ගෝරියකට පැටලී ගුටි කාපු එකෙකි.    මුන් කල් වේලා බලා රැක සිට මාව අල්ලාගෙන ඇත්තේ පළිය ගන්නටය.    උන් එදා දුවද්දීත්  කිව්වේ අපේ පාරෙන් යන්ඩ වරෙව්කෝ  කියාය.    දැන් ඉතිං කරුමය පළදී ඇත අද ගුටි කන්නට වෙන එක ෂුවර්ය.

අහුවෙයි කියල තෝ හිතුවෙ නෑ නේද යකෝ තොපිට ලුණු කන්ඩ හරි අපේ පාරෙන් යන්ඩ වෙනව බොළ, උඹ ගිහිං බජාර් එක එක්කං වරෙන් මම මුව තියාගෙන ඉන්නං...

කොල්ලා ඒ ළඟ හිටපු තවත් එකෙකුට කතාකර කීවේය.   ඌ කුරුල්ලෙක් සේ දුවගෙන ගියේ බජාර් එක එක්කං එන්නටය.  මම කකුල් ගැහි ගැහී නියරේ හිටගෙන හිටියෙමි මුගෙත් එක්ක ඩීල් එකක් දාගන්නවා නං මේ වේලාවේය බජාර් එක ආවොත් පැහැදිලිවම කන්නට සිදුවේ.

මොකක්ද ඩෝ තොගෙ අතේ තියෙන්නෙ?  මගේ අතේ තිබු කරදාසි කවරය දැක ඌ ඇහුවේය.

ද දවල් කෑම එක...මම ගැහෙමින් උත්තර බැන්දෙමි.

මෙහෙ දීපිය ඕක...ඌ ක්‍ෂණයකින් කෑම පාර්සලය මගෙ අතින් උදුරා ගත්තේය.    කෑම එක උදුරාගත් පසු උගේ සැර ටිකක් අඩුවුන බව මම දැක්කෙමි සමහරවිට උදේ කෑම නොමිලේම ලැබුණු සතුටට විය හැකිය.    ඌ කියපු බජාර් එක නම් තාම එන පාටක් නැත.

දැන් තොට බේරෙනව නං එක විදිහයි තියෙන්නෙ ඔහොම්මම ආපහු පළ...

මොනවද යකෝ තෝ හෝහපුටුව වගේ මගෙ දිහෑ බලං ඉන්නෙ මැරුම් කන්නෙ නැතුව පල කිව්වෙ...

උගේ බජාර් එක එන්නට තව වෙලා ගතවෙන බව දුටු කොල්ලා ඌටත් පරක්කු වෙන නිසා මගෙත් එක්ක සමාදානයට කතාකරයි.    කෑම එක අරගෙනත් මු මට වැඩට යන්න නොදී ආපහු යන්නට කියපු එක ගැන මට ඇතිවුනේ කේන්තියකි.    මුටම සෙල්ලං දාන්න ඉඩදී බලා ඉන්නට බැරිය මම ඌට පෙනෙන්නට ආපහු යන්නට සැරසුනෙමි මා ආපහු යනු දුටු ඌද අනික් පැත්ත හැරුනේ ගෙදර යන්නටය පැන්න ගමන් ඌව ඇළට තල්ලුකල මම පස්ස නොබලා ආපහු  දිව්වෙමි.    වතුර නාගෙන දනි පනිගා ඌ ඇළෙන් ගොඩ එන විට මම ඌට අහු නොවෙන්නට දුවගොස්  ඉවරය.   ඌ වතුර බේරි බේරි නියරට ගොඩවී අත  දික්කර නියත වශයෙන්ම මා මරණ බවට මරණ තර්ජන කළේය කෑම එක ඇළේ ගහගෙන ගිහින් නිසා ඌටත් නැත මටත් නැත ඒක මාළුන් කා දමන්නට ඇත.    කාලයක් යනතුරු ඒ පැත්තෙන් ටවුමට නොයන්නට මම වග බලාගත්තෙමි.

මට බැට් වැඩපොළේ වැඩ කරන්නට ලැබුණේ මාස දෙක තුනකි.   නැවතත් ඉස්කෝලෙ යන්නට බැට් වැඩපොළට සමුදෙන්නට සිදුවිය.   ඉන්පසුව බැට් වැඩපොළත් සමග මගේ ගණුදෙනුවක් ඇතිවුනේ නැත.   පසුකාලීනව 1989 භීෂණ සමයේ දේශප්‍රේමීන් විසින් ඉතා දක්ෂ නිර්මාණ කරුවෙක් වූ බැට් වැඩපොළේ අයිතිකරුව වෙඩි තබා මරාදමන ලදී.   ඔහුගේ මරණය ගැන දැනගත් සැනෙකින් මට මතක් වුනේ ආයතනයේ වැඩකළ දහයක් පමණවූ සේවක පිරිසය.   ඔවුන්ගෙන් වැඩිදෙනා දරුපවුල් කාරයන් වූ අතර ඉන්පසුව ඔවුන් තම බඩවියත කෙළෙස රැකගනීවිදැයි මතක්වුණු කල ඔවුන් කෙරේ මට මහත් අනුකම්පාවක් ඇතිවිය.    එතැන් සිට නැවත බැට් වැඩපොළ ගොඩගන්නට කිසි කෙනෙකුට හැකි නොවුන අතර ආයතනය වැසී කම්හල අභාවයට ගියේය.    බැට් වැඩපොළේ ගොඩනැගිලි සියල්ලම පාහේ අද වනවිට කඩවලට බදුදී ඇති ආකාරය ඉඳහිට එතැනින් යද්දී මම දකිමි෴

117 comments:

  1. දැන්නම් මිනී පෙට්ටි හදන්නේ ඇල්බීසියා ලීයෙන්.බැට් ගැන කතාකරලා වැඩක් නෑ ලගදි ටුවර්මන්ට් එකකට ගෙනාවා බැට් 2ක්. බැට් එක අහසේ මිට අතේ

    ReplyDelete
    Replies
    1. දැන් බැට් නෑ නෙව.. අර වක් වෙච්චි හැඳි වාගේ මොනවද නෙව තියෙන්නේ..

      Delete
    2. ඒකනම් ඇත්ත. අපි ගම්පහින් අලුතෙන්ම ගත්තු බැට් එකෙන් අතදිගැරලා එකයි ගැහුවේ.මිට මගේ අතේ අනිත් කෑල්ල බෝලෙත් එක්කම ගියා යන්න.අපරාදෙ සල්ලි

      Delete

    3. "භීෂණ සමයේ දේශප්‍රේමීන් විසින් ඉතා දක්ෂ නිර්මාණ කරුවෙක් වූ බැට් වැඩපොළේ අයිතිකරුව වෙඩි තබා මරාදමන ලදී "

      ජවිපෙට අවලාද නැගිම දුෂිත රාජපක්ශ කල්ලියේ හවුල් කාරයන්ගේ වැඩක් පිළිගන්න එපා..!

      ජනතා විමුක්ති පෙරමුණ.


      Delete
    4. ///ජවිපෙට අවලාද නැගිම දුෂිත රාජපක්ශ කල්ලියේ හවුල් කාරයන්ගේ වැඩක් පිළිගන්න එපා..! ///

      හැලපේ ඔයා... ;)

      Delete
    5. අපි හිටපු බැට් වැඩපොළේ හදපු ඒවා නම් එහෙම කැඩුනේ නෑ.දැන් හදන බැට්වල ප්‍රමිතිය හොඳටම සවුත්තු ඇති.

      Delete
    6. හරියට හරි තිස්ස මටනං ඒ හැඳි වගේ බැට්වලින් ගහන්නම බෑ.අපි හැදුවෙ එහෙම ඒවා නෙවෙයි හොඳ බැට්.

      Delete
    7. ඇනෝ,
      මමනං කාගෙවත් හවුල් කාරයෙක් නෙවෙයි.අවලාදයක් නෙවෙයි මම කිව්වෙ වෙච්ච දේ.ඔහොම නෙවෙයි ඒ ගොල්ල කරපු තව වැඩ තියනව ඇහුවොත් බල්ලො බත් කන්නෙ නෑ.
      ඔබ සමහර විට උත්ප්‍රාසය මතුකිරීමට මෙහෙම ලියන්න ඇති.

      Delete
    8. ලොකු පුතා,
      බලපං මුන් මාවත් අහක යන මඟුල් වලට පටලෝල නොවැ.

      Delete
  2. සුදීක බෝල් දානවා. උඹ බැට් ගහනවා..

    දැං වගේම තමා නේද උඹ මහ නරි කපටියා. හැක්..මාත් කාලයක් වලියක් වෙච්චි පළාතක් මග ඇරල යන්න කිලෝමීටර් හතක වටයක් ගහනවා ටවුමට යන්න.. හැක්

    ReplyDelete
    Replies
    1. ////සුදීක බෝල් දානවා. උඹ බැට් ගහනවා../////

      අපි ෆීල්ඩ් කරනවා...

      Delete
    2. කියල වැඩක් නෑ බං.ඒ වලිය හින්දා මම කාලයක්ම හැතැප්ම ගානක වටයක් ගියා.පස්සෙ නං මතක් වෙද්දි විලි ලැජ්ජයි.

      Delete
    3. අරුණ,
      ඔව් ඉතිං උඹ දැන් බ්ලොග් ලියන්නෙත් නැති එකේ ෆීල්ඩ් කරපං.

      Delete
  3. මාත් ගොටි නොකා බේරිච්ච එකක් ලියපු දවසෙම මෙයත් එහෙම එකක් ලියලා

    ReplyDelete
    Replies
    1. අටමෝ උඹ ගුටි නොකා බේරුනේ අඩුම ගාන ඇහටවත් සැපක් අරගෙන...ඒකට මූ...

      Delete
    2. උඹව බයකරන්න නොවැ උන් හැදුවෙ.

      Delete
    3. අරුණ,
      බලපං මට මොනම සැපක් වත් නැතිව කෑම එකත් පුජා කරන්න උනා නොවැ.

      Delete
  4. හොඳ වෙලාවට බජාර් එක කිට්ටුව තිබ්බෙ නැත්තෙ. නැත්තං හැලපෙං පැණි බේරෙන්න කන්න තිබුණ. හැක්..
    බැට් විලෝ ලීයෙන් හදල තියෙනවද කියල කාල බලන්නයැ.

    ReplyDelete
    Replies
    1. උංගෙ බජාර් බයිලා… හැක්
      හැලපයියගෙ බත් එකට ෂොට් එක දෙන්න හදල තියෙන්නෙ … ඕ යේස් :D

      Delete
    2. එහෙම බජාර් එකක් සමහර විට නැතුවත් ඇති බං මාව බයකරන්න කිව්වට.

      Delete
    3. පත්තරේ,
      ඔව් බං දැන් නං මටත් එහෙම හිතෙනවා.

      Delete
  5. ගූගල්ලාගෙන් වැඩ නිසා අතීත මතක සවාරි යන්න ලේසියි නේද? දහ පාලොස් දෙනෙකුට රස්සා දීපු මුදලාලිට වෙච්ච වැඩේ පිටිපස්සේ ලොකු කතාවක් තියෙනවා. තාමත් සමහරු තේරුම් ගත්තු නැති, අපේ සමාජෙට දෙපැත්තේම භීෂකයන් විසින් කරපු හානිය.

    ReplyDelete
    Replies
    1. තිලකෙ කියපු කතාව ඔස්සේ ගියොත් කතා කරනවා නං දවස ගාණක් කතා කරන්න දේත් ලියනවා නං පෝස්ට් සිය ගාණක් ලියන්න දේත් ලේසියෙන්ම සොයා ගන්න පුළුවනි.

      Delete
  6. / අපේ කාලයේ එස් එස් සී හෝ ජ්‍යෙෂ්ටය යනුවෙන්ද අදනම් ඕ ලෙවෙල් යනුවෙන්ද හැඳින්වෙන සාමාන්‍යපෙළ විභාගයට …/

    ජේ. එස්.සී, එස්.එස්.සී සහ එච්.එස්. සී. කියල විභාග හැඳින්වෙන එක මම දන්න විදිහට හැටේ දශකයෙ මුලදි නතර කලා. ඒ බං හැලපෙ උඹත් එස්.එස්.සී.ද කලේ එතකොට?

    / එකල රජය විසින් විදේශ වලින් කරන ආනයන නතර කොට තිබු හේතුවෙන් මෙම ආයතනයේ නිෂ්පාදන වලට ඉතා හොඳ ඉල්ලුමක් තිබු අතර විශාල ඇණවුම් නිතරම ලැබුණි. /

    මගෙ ගාව ඔය ලංකාවෙ හදපු බැට් හතරක් විතර තිබ්බ.එව්වයින් අන්තිම බැට් එක නම් නියම භාණ්ඩයක්. සුදු තීන්ත ගාල රතු ගොතපු රතු රබර් ආවරණයක් මිටට දාල තිබ්බ ඒ බැට් එක බලන්ඩ ලස්සනයි. අනික නියම ගානට බර. වැඩිත් නෑ..අඩුත් නෑ..මගෙ යාලුවො අතරත් මාර ඉල්ලුමක් තිබ්බෙ ඒකට..

    ආ..තව බැට් එකේ පිටිපස්සෙ රවුම් ස්ටිකර් එකක් අලවල තිබ්බ. ඒකෙ තිබ්බ ඔය ෆීල්ඩිං පොසිෂන්ස් ඔක්කොම ලකුණු කරල. ලෝංග් ලෙග්, තර්ඩ් මෑන්, ඩීප් ස්ක්වෙයාර් ලෙග්, මිඩ් විකට්, ගලී..ඔය වගෙ. අවුරුදු දහයකට වගෙ ඉස්සරත් මම දැක්ක් අපෙ මහ ගෙදර අල්මාරියක් පිටිපස්සෙ ඕක තියනව....:)

    / ක්‍රිකට් පිති කපනවා ඇරෙන්නට රුක්අත්තන ලීය ගන්නේ මිනීපෙට්ටි හදන්නටය. /

    රුක් අත්තන ලීයට නයින්ගෙ විස උරනවයි කියල කතාවක් තියනව නේද? ඔය හැත්තැ ගණං වලම ආපු ෆිල්ම් එකක තිබ්බ නයෙක් කාල මැරිච්ච් කෙල්ලක් රුක් අත්තන මිනී පෙට්ටියක දාල වලදාල පස්සෙ ආයෙම පණ එනව. ඒක වෙන්නෙ කෙල්ල මනමාලිවෙන්ඩ ඇඳගෙන ඉද්දියි නයා කන්නෙ. පස්සෙ ඒ ඇඳගෙන හිටපු රත්තරං බඩුත් එක්කම වල දානව. ගමේ කොල්ලො කට්ටියක් රෑ ජාමෙ වල හාරනව අර රත්තරං බඩු ටික ගන්ට. අප්පට සිරි මෙන්න මිණිය නැඟිටිනව. කොල්ලො පණ එපා කියල දුවනව..

    ගොපළු හඬ ද කොහෙද ෆිල්ම් එක...කෙල්ලට හිටියෙ මට මතක විදිහට ජෙනිටා සමරවීර. අර හරූන් ලන්ත්‍රාගෙ සිංදුවක් එහෙම තියෙන්නෙ…….

    මගෙ නාමලී බැඳි ආදරේ,
    මනමාලි යයි මැණිකේ ඔයා,
    ඔරුවේ නැඟී දුර පාවෙවී,
    අමනාපයෙන් පිටවී ගියා……..

    ReplyDelete
    Replies
    1. ඒ සින්දුව නම් මාර ලස්සනයි නේ..

      Delete
    2. ගොපලු හඬේ ටෝනි/ජීවරානි නේද? හරූන් ලන්ත්‍රාගේ මගේ නාමලී සිංදුව අහලා මොහමඩ් රාෆි කියලා තියෙනවා උඹ ඉපදෙන්න තිබුනේ ඉංදියාවේ කියලා.

      Delete
    3. මතකේ හැටියටනම් මේ කතාවෙත් ඉන්න ඕනේ මොහොමඩ් රාෆි. මිල්ටන් පෙරේරා හෙන ආසයිලු මොහොමඩ් රාෆිට.දවසක් තමන්ගේ ගීත ටිකකුත් අරගන ඉන්දියාවට ගිහින් රාෆිව හම්බවුනාලු.ඒ අතර තිබ්බලු "සිකුරු ලියා" චිත්‍රපටියේ ගීතත්.ඒ ගීත අහපු රාෆි කිවුවලු "උඹගේ කටහඬත් හොඳයි.ඒත් ඊට වඩා මේ ගීතවලට සංගීතය නිර්මාණය කරපු මිනිහා විශිෂ්ඨයි" කියලා.මිල්ටන් මේ කතාව ක්ලැරන්ස්ට කිවුවහම ක්ලැරන්ස් හිනාවෙලා නිකන් හිටියලු.

      Delete
    4. සිරාවට කටුස්?

      Delete
    5. අරූ, ඔබ හරි….. ගොපළු හඬේ ඉන්නෙ ජෙනිටා නෙවෙයි ජීවරාණි තමයි. අධ්යක්ෂණය කරල තියෙන්නෙ ඉන්දීය ජාතික කේ. වෙන්කට් ඔහු මට මතක විදිහට 1983 ජූලි කලබල සමයේ ඝාතනය කරනු ලැබුවා.

      Delete
    6. ඔව් ඔව් ජාති ආලේ කකුල් අස්සෙන් බේරෙන එවුන් වෙන්කට්ව මැරුවා. සිරිපතුල ෆිල්ම් එක හැදුවෙත් මෙයා.

      Delete
    7. මගෙ නාමලී සින්දුවේ තනුව හින්දි එකක්. නමුත් හරූන් ලන්ත්‍රාගේ ගායනය අර හින්දි තනුව තවත් ඔපවත් කළා.

      Delete
    8. ඩ්‍රැකි-
      කතාව ඇහුවේ H.D.ප්‍රේමරත්නයන් ගැන ගිය රූපවාහිනි වැඩසටහනකින්. සිකුරුලියා චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂනයට ක්ලැරාව තෝරගන්නවට චිත්‍රපට නිශ්පාදකවරයා කැමතිවෙලා නෑ.චිත්‍රපට අධ්‍යක්ශක වුන H.D.ප්‍රේමරත්නයන් කිවුවලු ක්ලැරා නැත්තන් ඔහු අධ්‍යක්දනයෙන් ඉවත්වෙනවා කියලා.දන්න විදිහට ඔය තමයි ක්ලැරාගේ පළමු චිත්‍රපට සංගීත අධ්‍යක්ශනය.ශුවර් නැත්තේ ඔතන්ට එන්න ඕනේ මොහොමඩ් රාෆිද නැත්තම් වෙනත් ඉන්දීය ස්ංගීත වේදියෙක්ද කියන එකයි.මට නම හරියට මතක නෑ.

      Delete
    9. හරිට හරි අරු. ඔය සින්දුව ගැන තමයි මමත් කිව්වේ. හැලපෙට පුලුවන්නම් මේ අඩවියේ කමෙන්ට්ස් වලටත් වීඩියෝ සහ පින්තූර දාන විදිහට හදන්න, මේ වගේ වෙලාවට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා.

      Delete
    10. මචං මම එස් එස් සී කියන එක නවත්තපු කාලෙට පස්සෙ විභාගෙ ගත්තෙ.නමුත් එස් එස් සී කියල ඒ කාලෙත් කතාවට කියවුණා.

      Delete
    11. කටුස්,
      මොහොමඩ් රාෆි සහ නෞෂාඩ් දෙපොලම මිල්ටන්ගේ යාළුවො.මට මතක හැටියට සැරයක් මිල්ටන් නෞෂාඩ් මුණගැහෙන්න ඉන්දියාවට ගියා.ඔය සිද්ධිය එවෙලෙ වූ දෙයක්ද දන්නෙ නෑ.

      Delete
    12. ගොපලු හඬේ මේ ගීතය අමරණීයයි අරුණ.මේ සිංදුව අහද්දී මම අමුතුම ලෝකෙකට යනවා වගේ.මේ ගීතය ලිවේ කවුද කියා තාම සොයාගන්න බැරිවුනා.

      Delete
    13. විචා,
      හැකි ඉක්මනින් පිංතුර වලට සහ වීඩියෝ වලට කමෙන්ට් බොක්ස් එක විවෘත කරන්නයි අදහස.

      Delete
  7. විප්ලවයට ජයවේවා !!!!

    ReplyDelete
    Replies
    1. උන් කරපු විප්ලවය ඒක තමා මල්ලි.

      Delete
  8. ඒකාලේ තිබුණ ග්‍රාමීය කර්මාන්ත/වැඩපොලවල්වල මතක පෝලිමේ හිතට ආවා. අපි ඉස්කෝලේ ගියේ රේල්පාර දිගේ පයින්, ඒ පාරේ තැනක අත්යන්ත්‍ර රෙදි කම්හලක් තිබුණා, මේ කියන බොබිම විස්තරේ ඒ කම්හල ගැන චිත්‍රය මතකයට නඟනවා.

    තදේට වහලා තිබ්බ ආර්ථිකේ දොරවල් එකපාරටම ඇරලා දාපු කාලේ අපි NCGE වලින් GCE (O/L) සම්ප්‍රාප්තිය. ඒ කාලේ තර්ක කල පමණක් පණ්ඩිත කතා අද ඇස් ඉදිරිපිට ඇත්ත වෙලා. යූටර්න් නැති ජීවිතයේ මතක විතරක් ඉතිරියි.

    ReplyDelete
    Replies
    1. ඒ තිබුණු ග්‍රාමීය කර්මාන්ත සිය දහස් ගණනක් විවෘත ආර්ථිකයට මුහුණ දෙන්නට බැරුව වැහිලා ගියා.ඒ කර්මාන්තවලින් බඩ වියත රැකගත්ත අහිංසක මිනිස්සු අසරණ වුනා.

      Delete
  9. අම්ම ගහයි බැට් එකෙං. තව ඩිංගෙන් හැලපෙ කනව කෑමක්.... එහෙනං තාම ඇල ලඟ

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ බං.ඒ උනාට උනුත් කියපු තරං වැඩකාරයො නෙවෙයි.අපි ආයෙම දවසක උන්ට නෙලුවා.

      Delete
  10. where your bat company? There is a man i know also past make bats. He first slice logs and cut middle. Then he make the hanndle with a dick and joint two. I dont know what the timber kind use.

    ReplyDelete
    Replies
    1. Why you no reply?

      Delete
    2. ///Why you no reply?////
      ravi, helapa same same. :D

      Delete
    3. Aru,

      How can I reply? That guy is asking about some one from Helapa's area who makes bats.

      I will kill that bloody rascal Helapa and that's a promise...Heh..heh.. :)

      Delete
    4. රවි....හරි නැහෙනේ බන්. ඒ ඇනෝට උත්තරයක් දීපන් පොරට තේරෙන ඉංග්‍රීසියෙන්. උඹේ ඉංග්‍රීසි මදි ඌව තම්බන්න : ඇත්තටම බලන් ඉන්නවා උඹේ උත්තරේ. අඩෝ උත්තරයක් දීපන් බං.

      Delete
    5. ඇනෝ නෙවෙයි මං අර පකිරින්තුවගෙ ඔලුවට බැට් එහෙකින් කෙලින්නෙ...දවසක...දෙයියම්පල්ල...අනේ ඇත්තමයි...

      Delete
    6. හැලපයාට බැට් එකෙන් ගහලා මැට් එකෙන් ඔතන්න ඕන එකෙක්.

      බට් වයි යු නො රිප්ලයි ඇනෝ....නෝ ගුඩ්..නෝ ගුඩ්..

      පකිරෙන්තුවා...අපේ සීයා පාවිච්චි කරපු ලස්සන වචනයක්. කිසි වැඩකට නැති එකාට කිව්වේ පකිරෙන්තුවා කියලා. අපේ තාත්තට ඉස්සර සීයා බනිනවා ඔහොම බීලා ගෙදර ආවාම.

      Delete
    7. මිස්ටර් ෆ්ලයි, මී ටුමෝරෝ ඕකේ.ටුමෝරො ටුමෝරෝ ඇන්ඩ් ටොමෝරෝයි අනික් ටුමෝරෝයි සන්ඩේ.ඔකේ ලා..?
      කියල ගොං චීන තඩියෙක්ගෙන් අහල නිවාඩු ඉල්ලගත්ත කාලෙ මතක්වෙනවා අරූ අයියෙ..

      Delete
    8. ගස් මල්ලි...මම ඔමාන් ඉන්න කාලේ වෙච්ච ඇත්ත කතාවක්.මේක ගාමන්ට් ෆැකටරියක සුද්දෙක් සහ අපේ එකෙක් අතර. අපහාසයට නොව විනෝදයට ලියන්නේ. අපි උපන් සුද්දෝ නෙමෙයිනෙ.

      පියා නොහොත් පියසිරි සුද්දට කඩේ ගිහින් සුපවයිසර් කෙනෙක් වෙච්ච, නමුත් හොඳ එකෙක්. කඩේ යන නිසාම මූ වැඩ කරනවට වඩා කරේ ෆැක්ටරිය වටේ රවුම් ගහන එක. සුද්දා කියලා තියෙනවා උඹ ඕන දෙයක් කර ගනින් මට කමක් නැහැ කියලා. අනිත් අය ටාගට් එකට වැඩ. ටාගට් නැත්නම් පඩි කපනවා. මුට සුද්දා කියන එකත්, මූ සුද්දට කියන එකත් කාටවත් තේරෙන්නේ නැහැ.

      මාසේ අන්තිමේ පඩි හම්බ වුනා. මුගේ පඩි කපලා. ෆැක්ට්‍රි මැනේජර් වෙච්ච ලංකාවේ බොස ගාවට ඇවිත් මූ ප්‍රශ්නේ කිව්වා. මැනේජර් කිව්වා උඹ සුද්දගේ යාලුවනේ, උඹම ඕක සුද්දට කියපන්, මමත් ඕන්නම් එන්නම් කියලා.

      මෙන්න මෙහෙමයි පියා කිව්වේ..

      cutting talking cutting ok. no cutting talking now cutting, big poblem..why why why..

      මොකක්ද කිව්වේ තේරුනාද? සුද්දා හොල්මන්. මම දැන් ඉන්න රටට ආපු කාලේ මම වැඩ කරා දෙමල බුවෙකුට. ඒ ටෝක්ස් පුදුම ආතල්. කෝ ලියන්න වෙලාවක් නැහැනේ. අපේ වයිෆ් තමයි ඒ කතා ඉමිටේට් කරන්නේ ලස්සනට. මිනිහගේ නම බාලා. යාලුවො සෙට් වුනාම මගෙන් ඉල්ලන්නේ බාලා කතා කියපන් කියලා. ඉල ඇදෙනවා ලබ්බෝ.



      Delete
    9. Aruna perera
      How you tel Ravi Halapa same? Is that true you tell?

      Delete
    10. Deer Ravi
      I said man bat making I Know is not there in Halapas are. He is another area man. I said he also make bats in his home. Slice logs cut the middle make the handle with a dick and both joint is his work. It how that he make bats.

      Delete
    11. Deer Aruna
      I think that man say " cutting talking cutting ok " is because cutting salary not before telling. "No cutting talking now cutting " is no before tell cutting salary and cutting last when give salary.

      Delete
    12. ඇනෝ.....උඹද බං මම ඔය කියන පියසිරි :D පියා උඹේ හොඳ ඉම්පෘව්මන්ට් එකක් තියෙනවා. මීට මුවා අරුණ.

      මොනවා වුනත් ඉඳලා හිටලා විතරක් උඹත් හොඳ ආතල් එකක්. ඒ හින්දා සිංහලෙනුත් කමෙන්ට් එකක් දාපන්. සිංහල උගන්නන සල් ගාදු කෙනෙක් ඉන්නවා එවන්නද:D

      Delete
    13. අරූ,

      Deer කිව්වම මතක් වුනේ....හෙහ්,හෙහ්,උඹට මතකද අර කතාව?

      "No..no..no..not deer.... deer run too fast"

      පොඩි ආතල් එකක් ඕන උනහම මම ඔය කතාව ආයෙ ආයෙ කියවනව...:)

      Delete
    14. Ano,

      But me think talking and cutting is not good. cutting and talking good but cutting talking and talking cutting is very good.you say what? ok or not ok?

      Delete
    15. ///"No..no..no..not deer.... deer run too fast"///

      පිස්සු හැදෙනවා අබ්දුල් හමීඩ්ව මතක් වුනාම..පව් යකෝ තොපි මුවෙකුටවත් ඉන්න දෙන්නේ නැහැ. මුවා වෙලා සඳ මුවා වෙලා....

      Delete
    16. බොල ඉංගිරිසි ඇනෝ උඹත් එකයි උඹේ ගුරා පැරකුම් ජයසිංහත් එකයි. පැරකුම් ජයසිංහ වගේමයි උගේ ක්ලාස් ගිය එවුනුත්. අලි මදිවට හරක්

      Delete
    17. Why you blame parakum sir. You like people like to blame others like Parakim sir. Because they sinhala buddist extremes dont like socialism people like Parakum sir. You like that also. I know why you dont like Parakum sir. Because he speek true. Parakum sir is brane man. Not like you who racism people. So please dont blame to paraku sir. You like people only know to blame and insult others. Insult people no good thing. You geles because you dont know english. Dont insult people go to parakum sirs class and take English knolege.

      Delete
    18. Deer Aruna
      I am not piyasiri you tell. Who is Salgadu? Future I start a blog. It is double langwage blog. So it can read sinhala and English both reading people.

      Delete
    19. රවී තමයි සිංහල උගන්නන සල් ගාදුව හරියටම දන්නේ. රවීගෙන් අහන්න. ඒ ලඟ පන්සලක ඉන්නේ.

      බ්ලොග් එක පටන් ගනින් කොල්ලෝ.අපිත් එන්නම් කියවන්න.

      Delete
    20. මොකක්ද බොල මෙතන වෙන්නෙ.

      Delete
    21. මේක පට්ට.. ravi halapa same same.. සහ පියා ගේ කතාව.. අවුරුදු ගානක කොරියන් එවුනුයි චින්නුයි එක්ක වැඩ කරලා තියෙන නිසා පට ගාලා පදිරි වෙනවා.. අපි ඊයේ රෑ මේ ඉංග්‍රීසි ඇනෝ ගැන කතා වුනා.. හැක්.

      Delete
    22. I start blog soon as posibel I can. So please come read my blog future. This will double langwage blog.

      Delete
    23. ඔක්කොම කතා උඹේ බ්ලොග් එකට යටයි බං.වහාම පටන්ගනිං.අපි ඔක්කොම හැමදාම එනවා.

      Delete
    24. රවී,
      මගේ අහිංසක ඉල්ලීමට උඹේ පිළිතුර තර්ජනය ද.අහෝ කොතරම් කෲරද මේ ලෝකය.විප්‍රවාස ගතවී හෝ තර්ජන වලින් බේරෙන්නට බැරි හැටි.

      Delete
    25. අරුණ,
      උගෙන් හිත කම්පා වෙන විදියට ඉල්ලීම් කළත් ලැබෙන්නේ තර්ජනයම නම් අසරණ මා කුමක් කරන්නද?

      Delete
    26. ප්‍රසා,
      දැන් ඔක්කොම මෙතන ගහ මරා ගත්තට පස්සෙද උඹ හොයන්න එන්නෙ.අපූරුයි.

      Delete
    27. කමි,
      බොලා මොනාද ඌ ගැන කතාකළේ.අන්න පොර බ්ලොගක් පටන් ගන්න යනවලු.පොඩ්ඩක් උදව් කරල නග්ගල ගනිං.

      Delete
    28. Thank you to idea about help to me. I start soon. I know you all help me. Very good.

      Delete
    29. Hello, I start new blog today. Please come to see that. It is double langwage blog. All you can read English Sinhala both. I hope all you blog people help me. I like to inwite all you and I welcome all you there my blog.

      Delete
  11. //ක්‍රිකට් පිති කපනවා ඇරෙන්නට රුක්අත්තන ලීය ගන්නේ මිනීපෙට්ටි හදන්නටය//

    සමහර පිති පහරවල්වලට suicidal shots කියන්නෙ !

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් රුක්අත්තන ලීයෙන් බැට් කපන්නෙ suicidal shots ගහන නිසාමයි.

      Delete
  12. මග රැක ගෙන හිටපු කෙනාට කරපු වැඩේ නම් මරු ආ... සටකපට හැලපෙ...

    ReplyDelete
    Replies
    1. අනේ අහිංසක මම.එහෙම උනේ නැත්නං එදා මමයි ඇලේ නාන්නෙ.

      Delete
  13. ඇයි හත්තිලව්නෙ කකුලෙන් මැඩලිං ගගහ හිටපු වෙලාවෙ ඕක ගලෝල හිටං අරූගෙ ඔලුව දෙබෑ වෙන්න ලෑව නං මකකවෙනාද මං අහන්නෙ
    අර තනියම හිටි වෙලේඅපරාදෙ බත් එක.
    මම නං මළාට බත්තෙක දෙන්නෑ. ඕ යේස්. දෙයියනේ බඩ වියත රැකගන්න තියෙන අයිටම් එක නෙව හැක්.

    අපේ බාප්ප කියනව ඔය ජේවීපි කචල් දවස් වල වෙච්ච දේවල්. ට්‍රාන්ස්ෆෝමර්ස් බස් අනං මනං ගිනි තබ්බ කුඩු කරපු කතා. එයැයි ආමි එකේ හිංද ඕ කතා ගොඩක් තියෙයි . හැබැයි අනේ මංද එකක් වත් හොඳ කතා නෑ

    ReplyDelete
    Replies
    1. මොකක් ගලොලද බං?බත් එක නං අපරාදෙ තමයි දැන් මතක් වෙනකොටත් හීල්ලෙනවා.ආයෙ කවදා අම්ම හදල දෙන බත් එකක් කන්නද බං.

      Delete
  14. හැලපේ පොරක් නොව. ඇලට තල්ලු කරලා දිව්ව එක. බැට් කිව්වම් මම මුලින් හිතුවේ වවුලෝ ගැන කියල පොස්ට් එක.

    ReplyDelete
    Replies
    1. පණ බයට ඌව ඇළට තල්ලු කලා මිසක පොරක් නිසා නෙවෙයි අජිත්. ඒ කාලෙ අපි වවුලට කියන්නෙ බැට් කියල දන්නෙත් නෑ.

      Delete
  15. අර රවියා කිව්ව රුක් අත්තන කතාව මටත් මතක් වුනා. මේ කතාවෙ උඹ සඳහන් කරපු එක චරිතයක් මම දන්නවා. අර මුදලාලි. හොඳ මනුස්සයෙක්. සරුංගලේ හදනවා මට මතකයි.

    උඹ අර වතුරට තල්ලු කල එකාව උඹ ඊට පස්සෙ කවදාවත් දැක්කේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. මුදලාලි චිත්‍රපට කීපයක් කලා මචං.ඔහු ඉතා හොඳ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක්.වතාවක් අපේ වෘත්තීය සමිති වැඩකට මැතිනිය ආව වෙලාවේ එතුමියට සංග්‍රහ කරන්න මුදල් තිබ්බෙ නෑ.ඒ ගමන ගිහිං මුදලාලිට කියපු ගමන් මුදල් ලැබුණා.

      Delete
  16. බොලේ.. ගස්ලබ්බ කල්පනා කොරන්නෙ හැලපයියා නොකරපු වැඩක් තියේද කියල හැබෑට..? හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මාත් නිකං ඉන්න වෙලාවට ඔහොම කල්පනා කරනව බං.බලපුවම වැඩේ ඇත්ත.

      Delete
  17. තව පොඩ්ඩෙන් "ආරි ඩබල" පැටලෙනවා. තැන්කූ වරහනට, හිහ්..

    ReplyDelete
    Replies
    1. පටලව ගන්න අය ගැන හිතලමයි වරහන දැම්මේ.මේ පැත්තෙ පැමිණීම ගැන බොහොම ස්තුතියි.

      Delete
  18. ඔය කියපු මුදලාලිද චිත්තරපටි වලට මිණීපෙට්ටි දෙන්නෙ ...??
    දවසක් රඟපාන්න පෙට්ටියකට බැහැපු නලුවෙක් මුදලාලිට කිව්වලු මුදලාලි මේකෙ මක්කොල්ලවත් ඉන්ඩ බෑ ඇණ ඇනෙනව කියල ...
    මුදලාලි කිව්වලු වෙන්ඩ බෑ මම අවුරුදු 20ක් තිස්සෙ කරන්නෙ මේ රස්සව අදමයි ඔය වගේ කතාවක් ඇහුවෙ කියල ....

    ReplyDelete
    Replies
    1. නෑ බං මුදලාලි චිත්‍රපට නිෂ්පාදනය කළා.එයාගෙ ෆිල්ම් එකක මිනීපෙට්ටි දර්ශනයක් තිබ්බොත් ඉතිං කිසි ප්‍රශ්නයක් නැතිව පෙට්ටි ගතහැකි.

      Delete
  19. ක්‍රිකට් ගේම් වගේම තමයි ගේම් එක අතරේ යන ගේම්... අපි නම් ටූනමන්ට් ගහන්න ගිහිල්ලයි, ආරාධනා පිට ගහන්න ගිහිල්ලයි අම්බානක කාලා තියෙනවා එක එකාගෙන්... දැන් ජාතික ක්‍රිකට් වල තත්වෙත් එක්සත් ක්‍රීඩා සමාජේ තත්වෙටත් එහේ ගිහිල්ලා තියෙන්නේ... මහත්වරු ක්‍රිකට් ගහපු කාළේ නම් ඇත්තටම ඒක මහත්වරුන්ගේම ක්‍රීඩාවක් උනා...

    ReplyDelete
    Replies
    1. ක්‍රිකට් ගහපු හැටි ටුනමන්ට් කරපු හැටි ගැන කතා ගොඩයි බං.ලියනව නං ඔය ගැන වෙනම සීරිස් එකක් ලියන්න පුළුවනි.

      Delete
  20. පිති නිෂ්පාදනයෙත් සෑහෙන පියවර ගානක් තියෙනවා නේ..

    හොඳ වෙලාවට කට්ටිය එන්න පරක්කු වුනේ. නැත්තම් හිතාගන්න පුළුවන් වෙන්න ගිය දේ... හි.. හි...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් පිති නිෂ්පාදනයත් සංකීර්ණ වැඩක් තුශානි.
      කට්ටිය එන එකක් නැතිවෙයි කියලයි මට පස්සෙ හිතුනෙ.ඔය එක එකා කියන වෙලාවට ගුටිකන්න එන උන් කොහෙද ඉන්නෙ.

      Delete
  21. ඇළට තල්ලු කරල දිව්වා. මට මතක් උනේ නාමලයගෙ සීන් එක. පස්සෙ දාන්නං...

    ReplyDelete
    Replies
    1. නොවරදවාම ලියපං හරිද.

      Delete
  22. මේ මොරටුව කොරළවැල්ල පැත්තේ නම් ඔය බැට් නිෂ්පාදනය කෙරෙනවා දැන්.මිනිපෙට්ට් නම් පානදුර පරත්ත කියන පැත්ත තමයි.

    මුණ හෝදපු ඒකට නාගෙන යන්න වුනා එහෙනම්....

    ReplyDelete
    Replies
    1. අපේ පැත්තෙ නං දැන් බැට් හදන තැන් නැහැ බං.
      ඌට නොමිලෙම නාගන්න ලැබුණු එක කොච්චර දෙයක්ද.

      Delete
  23. උඹට බැට් එකක් දකිනකොට අතීතය මතක් වෙනවා ඇති නේද....අපි ක්‍රිකට් ගහනකාලේ බැට් හදලා දුන්නේ ගෙට එහා පැත්තේ වඩු මඩුවෙ සෙට් එක. ඒ පවුලේ කොල්ලෝ සෙට් එකත් ක්‍රිකට් ගහන්න එන නිසා නියම හොඳ ලීවලින් හදන්නේ. මරු බැට් ටිකක් තිබුනා. ඒ කොල්ලෝ හතර දෙනාගෙන් තුන් දෙනෙක් අඩු වයසින්ම මිය පරලොව ගියා.

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව් මචං.පරණ මොඩල් බැට් එකක් දැක්කම හිත සෑහෙන ඈත අතිතෙකට දුවනවා.අපිත් ඉස්සෙල්ලම බැට් එකක් කප්පව ගත්තෙ ගමේ වඩුවා ඒ කියන්නෙ අමරෙලයි තාත්තට කන්කෙඳිරි ගාලයි.අටුවෙ තිබ්බ ලැල්ලක් අරං ගිහිං කප්පව ගත්තෙ.ඒ ලෑල්ල ලුණුවරණ ලැල්ලක් කියල වඩුවා කිව්වා.යකඩ කෑල්ල වගේ මම දන්න කාලයක් වෙනකං ඒ බැට් එක ගෙදර තිබුණා.

      Delete
  24. ඉස්සර ඔය වගේ බැට් එකකින් ක්‍රිකට් ගහන්න තියෙන්නේ පුදුම ආසාවක් නේ.. මගේ ගාව බැට් එකක් තිබුනා ඒක ටිකක් හතරැස් වගේ මතක.. කොල්ලෝ ගොඩක් කැමති වුනේ අග හරියෙන් වක් වෙච්ච රවුම් හැඩේ තියෙන එකට..kookabura ද මොකක් ද කියල බ්‍රෑන්ඩ් එකක් තියෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. බ්‍රෑන්ඩ් ගණනාවක් තියෙනවා.kookabura කියන්නෙ ඉතා හොඳ ගණයේ ලෙදර් පිත්තක්.

      Delete
  25. ඉස්සර අපි වඩු මඩුවට ගිහින් පිටපලු වලින් බැට් හදාගන්නවා..

    ReplyDelete
    Replies
    1. පිට පලුවලින් තමයි බැට් හදලා දුන්නේ. මට වචනේ අමතක වෙලා තිබුනේ....පිට පලු කියන්නේ මාතෘකාවක් ලලිත් :D

      Delete
    2. අපිත්.. මේ හැලප අයියා කියන සුපිරි බැට් ගත්තේ ටුනමන්ට් එකක් ගහන්න යනවනම් තමයි.. :) නැත්නම් අඟල් තුන හතරක් පළල මොනවා හරි ලෑල්ලක් ගත්තා වක් පිහියෙන් උඩ මිට කපලා රවුං කර ගත්තා.. හරිම සිම්පල් ප්ලෑන් .. :)

      Delete
    3. අපිත් ඉස්සෙල්ලම ගහන්න පටන් ගත්තෙ පිටපලු වලින් හදපු බැට්වලින් තමා.

      Delete
  26. රුක්අත්තන වලින් මාත් එකපාරක් බැට් එකක් හදාගත්ත. මෙහෙ නං දැනුත් තියනවා ඕනෑතරම්. දරට වත් ගන්නෙ නැති නිසා ඉතුරු වෙලා. තව ටිකක් දිගට ලියන්න තිබ්බෙ. පටස් ගාල ඉවර උනා වගේ දැනුන. කොහොම නමුත් අර කොල්ලගෙ කපටිකමට අහු වෙලා බයවෙලා බත් එකටත් කෙලොගත්ත නේ?

    ReplyDelete
    Replies
    1. සෑහෙන්න ලිව්වනෙ බං මම හිතුවේ ඇතියි කියල.
      යකෝ බැට් වැඩපොළ මේ වෙනකොටත් තිබුණ නං මට අර ගස් ගන්න මුදලාලිව එහෙ එවන්න තිබ්බා.අපරාදෙ.

      Delete
  27. අපි මුලින් ගත්තේ පොල් පිති බැට්...
    පස්සේ මම හෙන ගේමක් දීල රබර් ලෑල්ලකින් බැට් එකක් හදා ගත්තා...

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ අපි විකට් එකටත් තිබ්බෙ පොල්පිත්තක්.බැට් එකක් තියෙන එකා ඉතිං පුතයෙක් තමා.

      Delete
  28. අර ගස් ලබ්බ කියපු එක තමය මටත් මතක් උනේ.. මේ යකාත් නොකරපු මඟුලක් නෑනේ.. හැක්.

    ReplyDelete
    Replies
    1. මොනා කරන්නද බං වැරද්දක්ද මංදා.නොදන්නා කමට කරපුවනෙ.

      Delete
  29. කුකුළත් ජාතික ක්‍රීඩාවටත් වඩා කැමතිම ක්‍රිකට් වලට.

    ReplyDelete
    Replies
    1. අපිත් මරාගෙන මැරෙන්න උනත් ලැස්ති උනේ ක්‍රිකට් වලට තමා.

      Delete
  30. දේශප්‍රේමීන්ගේ විප්ලවය...කුහකත්වය විනා අන් කිසිත් නැති...

    ReplyDelete

ඔබේ අදහස්