අහවල් වැදගත්කමකටද මං දන්නෑ පහුගිය දවස් කීපයෙම මාධ්‍යය පුන පුනා අනුභව කලේ නළුවෙකුගේ තාවකාලික පැවිද්ද කියන ප්‍රවෘත්තිය...මේ පැවිදිකමේ රස්නය බ්ලොග් ලෝකයටත් තරමකට වැදිලා තිබ්බා...
මේ ප්‍රබල ප්‍රචාරණයේ මූලික අරමුණ ඉදිරියේදී නිපදවන්නට නියමිත චිත්‍රපටයකට පූර්ව ප්‍රචාරයක් ලබාගැනීම කියන එක කාටත් රහසක් නොවෙයි...ඒ වුනාට ඉතිං හැම මාධ්‍යයක්ම ඔය ප්‍රවෘත්තිය පස්සේ දුවල තිබුනෙ දුවන්නන් වාලේ කෙට එළදෙනත් දිව්වහේ තමයි...කාට කියන්ඩද.
මේ ප්‍රබල ප්‍රචාරණයේ මූලික අරමුණ ඉදිරියේදී නිපදවන්නට නියමිත චිත්‍රපටයකට පූර්ව ප්‍රචාරයක් ලබාගැනීම කියන එක කාටත් රහසක් නොවෙයි...ඒ වුනාට ඉතිං හැම මාධ්‍යයක්ම ඔය ප්‍රවෘත්තිය පස්සේ දුවල තිබුනෙ දුවන්නන් වාලේ කෙට එළදෙනත් දිව්වහේ තමයි...කාට කියන්ඩද.
ඔය ටික කිව්වේ මගේ කතාවට ආරම්භයක් හැටියටයි...මොකද මේ මහණ වෙච්චි කතා දකිනකොට මටත් එක කතාවක් මතක් වුනා.
කාලය 1993 වර්ෂයෙ මැදභාගය,ඒ වෙනකොට මම වැඩකලේ වරායේ රැජිණ පාලමේ තිබුණු කාර්යාලයක...නමුත් කාර්යාලය අයිති වෙලා තිබුනෙ වරාය අධිකාරියට නොවෙයි වරාය හා නාවික අමාත්‍යාංශයට...අමාත්‍යංශයේ තදයො ටික ඔක්කොම හිටියෙ G.O.H හෝටලේ ලඟ තිබුණු වරාය හා නාවික අමාත්‍යාංශ බිල්ඩිමේ නිසා අපේ වැඩවල හරි වැරදි හොයන්නවත් වැඩට ඇඟිලි ගහන්නවත් කෙනෙක් හිටියේ නෑ...ඒ නිසාම අපි ඉතා උනන්දුවෙන් රාජකාරි කටයුතු කරගෙන ගියා.
අපි කොච්චර නිදහසකින් ඔෆිස් එකේ වැඩ කලාද කිව්වොත් රජයේ කාර්යාලයක වැඩ කරනවා කියල හිතුනේ නෑ ඒ තරමට කට්ටිය එකමුතුව වැඩකලා...
ඔය කාර්යාලයේදී තමා මහණවෙලා හිටපු චරිතය මට මුණගැසෙන්නේ...ඔහු කාර්යාලයේ දුරකථන ක්‍රියාකරවන්නා නම ක්‍රිස්ටෝපර්...අපි පටබැඳපු හුරතල් නම කිටී...ටිකක් විතර මලපැනපු වෙලාවට කිටී ඔය නමටත් කෑගහනවා...
පූසන්ට කියන නමක්නෙ යකෝ මට දාල තියෙන්නෙ...
ඔෆිස් එකේ හිටපු හොඳම උපාසකයා කිටී...නිතරම බණ පදයක් හරි බණ කතාවක් හරි මෙනෙහි කරමින් වැඩ කරන්නෙ...ටික කාලෙකට ඉස්සර කිටී තාවකාලික පැවිදි භාවයක් අරගෙන කඳුබොඩ ආරණ්‍යයේ සතියක්ද දෙකක්ද භාවනා කරලා තියෙනව...ඒ තාවකාලික පැවිද්ද ගැන කිටී කතා කරන්නෙ හරිම ආඩම්බරෙන්...
ඔය කතා නිසාම කිටී අපි හැමෝගෙම බයිට් එක බවට පත්වුනා...
උපාසකය උනාට කිටී කෑමට බීමට බොහොම ලැදියි...කාර්යාලයෙ අපි කෑම කන්නෙ කණ්ඩායම් හැටියට කීප වතාවකටයි...අපි කට්ටිය කෑම කන කාමරේට ගිහිං ගෙදරින් ගෙනාපු කෑම එක දිග ඇරගන්නකොට කිටී එතනට එනවා...ඒ කෑම ජාති චෙක් කරන්න...
ආ...අද අඹ මාලුව නේද...කජුත් තියෙන්නෙ...
ඔහොම කියද්දි ඒ කෑමවලින් කොටසක් කිටීටත් ලැබෙනව...කිටී කෑම කද්දි අර ඔක්කොමත් එක්ක බොහොම උජාරු කෑම වේලක් කන්න ලැබෙනවා.
ගෙදරින් කෑම ගෙනාවෙ නැති දවසට වරායෙ බත් පාර්සලයක් ලේසියෙන්ම ගන්න පුළුවනි...දවල් දොළහට විතර ජනේලෙ ළඟට වෙලා බලාගෙන හිටියම තමන්ගෙ කෑම පාර්සල් විකුණන වරාය සේවකයො කෑම පාර්සලෙ ඉහළට උස්සගෙන ඇවිදිනව,එකක් රුපියල් දහයයි...
ඔය වරායෙ කෑම පාර්සලේ අපට නං තනියම කන්න බැරි තරමට විශාලයි...අවුන්ස පහක් හයක් බර මාලු කෑල්ලක්,ඒ මාලුකෑලි හොද්දට නොදා ලුණු ගම්මිරිස් දාල වෙනම තම්බල ගන්න ඒව මගෙ හිතේ...හොදි පැකට් එක වෙනම තියෙනව,එළවලු දෙකක්,පරිප්පු හරි මුංඇට හරි වෑංජනයක්, ඔය මොන ජාති තිබුණත් බැදපු කරවල කෑලි කීපයකුයි පොල් සම්බෝලෙයි අනිවාර්යයි...
බ්‍රහස්පතින්දාට කුකුල් මස් සහ කහ බත්, අන්නාසි කෑල්ලකුත් කෑම එකේ තියෙනවා...හැබැයි බැදපු කරවලයි සම්බෝලයි එදාටත් කෑම එකට අඩංගුයි...
ඔය වරායෙ කුස්සියෙ මාලු බයිට් නං බොහොම රසට හදනවා...සැරයක් මම ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙ වැඩකරන කාලෙ මොකක්ද වැඩකට නිවාඩු දවසක ඔෆිස් ගියා...ගිය වැඩේ ඉවර කරලා එදා ඇවිත් හිටිය කට්ටිය පොඩියට කර්තව්‍යයක් කරන්න සෙට්වුණා...කරුමෙට එදා බාර් ඔක්කොම වහලා අමද්‍යප දිනයද කොහෙද...කොම්පඤ්ඤ වීදියෙ හොර පොට් වලත් බඩු ඉවරයි,කට්ටිය වාහන අරගෙන පිස්සු බල්ලො වගේ හැම තැනම දිව්වට වැඩක් වෙලා නෑ...අන්තිමේ ඔන්න කටත් ඇදකරගෙන මගෙ ළඟට ආවා...
ම්ම්හ්...අපි දන්න කොහෙවත් බඩු නෑ...
ඉතිං මොකද කරන්නෙ...මම ඇහුවා...
අර යාලුවටවත් කතා කරල බෝතලයක් ගන්න ලෑස්ති කරගන්න බැරිවෙයිද...
මම කැමති නෑ බං හැම තිස්සෙම ඌට කරදර කරන්න...
බැරි අමාරු දවසකටවත් උදව්වක් නැති යාළුවො මොකටද...
කොහොමහරි එදත් මගෙ යාලුවා උදව් කළා...
සැරෙන් සැරේට කතාකරන්න මට බෑ ගේන තරමක් එකසැරේ ගෙනෙල්ලා...
කර්තව්‍යය පටන්ගද්දිම අපේ ඩ්‍රයිවර් මොළේ සුනිල් හෙවත් මොළයා යාළුවෙකුට කතාකළා...
ඌට මොළේ සුනිල් කියන්නෙ ඩ්‍රයිවර්ල අතර ඉන්න මොළකාරය නිසා...ඕනෑ වැඩකදි ලෙඩකදි ඔපීනියන් දෙන්නෙ මොළයා තමයි...
තව ඩ්‍රයිවර් කෙනෙක් හිටියා ජයසිරි කියලා...ඌට දෙන දෙන වාහනේ හප්පනවා...සැරයක් එක ෆොක්ස්වාගන් වෑන් එකක් හැප්පුවා කෙලින්ම කන්ඩම්...ආයෙ මොනම ආකාරයකටවත් හදන්න බැරිවුණා...
දවසක් උදේ පාන්දර ඔෆිස් එකේ පත්තර කියවන කට්ටියවත් දාගෙන ජයසිරි ගාලු පාරෙ එනවා...රෑ තිස්සෙ බීල හිටපු මූට නින්ද ගිහින් මොරටුව හරියෙදි පාර අයිනෙ නවත්තල තිබුණු ලොරියක හැප්පිලා...ලොරියෙ ඉඳල තියෙන්නෙ මාලු ගේන්න මීගමු යන මාලු විකුණන කණ්ඩායමක්...උදේ පාන්දර කට්ටිය ලොරියත් අරං මීගමු ගිහිල්ලා මාලු ගෙනත් එක එක්කෙනා ගෙවල් ගානෙ ගිහිල්ලා විකුණනවා...ඔය ලොරියෙ පිටිපස්සෙ දොරේ ඉඳගෙන හිටපු මනුස්සයෙක් වෑන් එක හැප්පුනු වේගෙට පාරට ඇදං වැටිල ඔලුව බිම වැදිල සිහි නැතිව ගිහිං ඉස්පිරිතාලෙ...වෑන් එකේ ඉස්සරහ පැත්ත කුඩේ කුඩු, වෑන් එක දැකපු ඔක්කොමල ඇහුවෙ මේකෙ ඉස්සරහ ගිය මිනිස්සු ඉතුරුවුණාද කියලයි...අපි උදේ වැඩට යද්දි ජයසිරිය පොලිසියෙ කූඩුවෙ...
දවල් වෙද්දි නාරාහේන්පිට රථවාහන උසාවියට දානව කිව්වා...අපිටික උසාවියට ගියගමං පෙරකදෝරුවො ටික මොක්කුද වගේ අපිව වටකරගත්තා...අපිත් එකෙක් අල්ලල එහෙම ඉන්නකොට ජයසිරිව අරං ඇවිත් උසාවියට දැම්මා...නඩුකාරය වචනයක්වත් කතාකරනව ඇහෙන්නෙවත් නෑ තෝල්කය තමයි ඔක්කොම නඩු අහන්නෙ...කොහොමහරි ජයසිරියට ඇපදුන්නා...උසාවියෙන් එළියට එන්න උනේ නෑ පොලිසියෙන් අපිව ආයෙම නතරකළා...
බලපුවම ඉස්පිරිතාලෙ ගෙනිච්චි මනුස්සයා සිහිය එන්නෙ නැතුවම මැරිලා...
ජයසිරිව මරණ පරීක්ෂකයා ළඟට දානව කියල අපටත් එතෙන්ට එන්න කිව්වා...
මරණ පරීක්ෂණ උසාවිය ළඟ ඒ මනුස්සයගෙ ගෙදර අය නෑදෑයො යාළුවො පිරිලා ඉන්නවා...අපට ටිකත් බයත් හිතුණා හිටියෙත් මැරයො වගේ අය නිසා...වෑන් එකේ ගිය අය සාක්කි දීල ඉවරවුණාම මරණ පරීක්ෂක තුමා කතාකලා...
දැන් මේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙ නිලධාරී මහත්වරුත් ඇවිත් ඉන්නවනෙ...මරණකරු ඉතාම අහිංසක පුද්ගලයෙක් නිසා ගෙදර අයට ආධාරයක් කරන්න කටයුතු කරන්න...
මරණෙ කටයුතු කරගන්නත් උදව් කරනවය...ගෙදර අයටත් ආධාරයක් කරනවය කියල රථවාහන උසාවියෙ ඇපමතම රියදුරු මුදාහරින්න කියල අපේ පැත්තෙන් කිව්වා...
ඔන්න ඔය විදියට ජයසිරිවත් අරං අපි එළියට ආවා...
පෙට්ටිය අරං දෙන්න මරණෙ ගෙදරට ගෙනියන්න ආදී වියදම් සියල්ලම ජයසිරිට බලාගන්න කිව්වා...ඌත් කැමතිවුණා...ඔෆිස් එකෙනුත් මැරුණු මනුස්සයගෙ ගෙදරට ආධාරයක් දුන්නා...
දවසක්දා අපි ඡායාරූප අංශයෙ ඉඳගෙන රේඩියෝ එකේ ක්‍රිකට් මැච් එකක් අහනවා...ජයසිරියත් ඔතන හිටියා...
ආපෝ...වැඩක් නෑ බං...ලංකාවෙ විකට් එකපිට එක යන්නෙ හරියට ජයසිරි වාහන හප්පනව වගේ ...
රංජිත් කියපුවම අපට ඉළ කැඩෙන්න හිනා...
ජයසිරිය නැගිටල ඉණට අත් දෙක තියාගෙන රංජි දිහා ටිකක්වෙලා රවල බලාගෙන ඉඳල එළියට බැහැල යන්න ගියා...
මොළයගෙ යාළුවා වරායෙ කුස්සියෙ වැඩකරන කෙනෙක්...
මචං අපට බයිට් එකක් හදල දියංකො...
පැයකින් විතර බයිට් එක ගෙනියන්න එන්න කියල යාළුවා කිව්වා...
මොළේ අපිවත් දාගෙන මෝදර පැත්තෙන් වරායෙ කුස්සියට ගිහිල්ල යාලුව දීපු ලොකු පාර්සලෙත් අරන් ආපහු ආවා...
ලෙහෙල බැලුවම ඉස්ටු දාපු ලොකු කට්ටාවෙක්...කට්ටාවො මාලුවට කන්න බෑ කරවල විතරයි...ඔය විදියට කට්ටාවො කෑවෙ මාත් එදාමයි...
යාළුවා හොඳට ලුණු ගම්මිරිස් කහ එහෙම දාල ගෑවිච්චි තැන කන්න පුළුවන් විදියට රසට කට්ටාවව ඉස්ටු දාලා තිබුණා...
ලෝක අමද්‍යප දිනයෙදි කට්ටාවො බයිට් එකත් එක්ක අපි ගැහුව ගැහිල්ලක් කරටි කැඩෙන්න...
අපි හිටිය කාර්යාලය වටේට කැන්ටින් කීපයක්ම තිබුණා...දවල් එක වෙද්දි ඔය කැන්ටිවල ආප්ප පුච්චන්න පටන් ගන්නවා...දවල්ට බත් නැතිව වෙන මොනව හරි කන්න හිතුනු දාට අපි ආප්ප අරං එනවා...ආප්පයක් ලොකු දීසියක් විතර විශාලයි...ආප්ප කන්න ලුණු මිරිසුයි මාළුහොදියි කැන්ටිමෙන් ලැබෙනවා...
තව කැන්ටිමක් අපේ ඔෆිස් එක ඉස්සරහම තිබුණා...ඒ කැන්ටිම ඉතාම මෑතකදි විවෘත කරපු එකක්...ඒ දවස්වල වරාය ඇතුලෙ පොඩ්ඩක් ඔලුව රිංගවගන්න ප්‍රමාණවත් ඉඩක් තිබ්බොත් එතන කැන්ටිමක් දානවා බිස්නස් හොඳයිනෙ...ඒ කැන්ටිමේ එළවලු රොටී, රෝල්ස්,කට්ලට් එහෙම උණුවෙන් කන්න අපි කට්ටිය යනවා...
බාස් කෙනෙක් කෑම හදන්නෙ ඔන් ද ස්පොට්...මගෙත් විනෝදාංශෙ කෑම හදන එකනෙ...මම ඔතෙන්ටම වෙලා කෑම හදන හැටි බලන් ඉන්නකොට...
මහත්තය බොහොම උවමනාවෙන් බලාගෙන ඉන්නෙ අපේ බඩේ පාර ගහන්නද දන්නෑ...
බාස් කියනවා...
රැජිණ පාලමේ ගේට්ටුව ඉදිරිපිට පාරෙන් එහා පැත්තෙ වරාය උසාවිය තිබුණු ගොඩනැගිල්ලෙ කොණේ එක කැන්ටිමක් තිබුණා...කිටියගෙ දත් ගලවන්න එක්කරං යන්නෙ ඔය කැන්ටිමට.
ක්‍රිස්ටෝපර් ප්ලේන්ටියක් බොමුකො...
ජුලියස් කියනවා...
අද සල්ලිත් එච්චර නෑ...හා යමුකො හැබැයි ප්ලේන්ටී විතරයි හරිද...
ආ...යං යං එන්ඩලා කට්ටියම...
ජුලියස් අපටත් අඬගහනවා...
ඔක්කොටොම කලින් කැන්ටිමට ගොඩවදින්නෙ ජුලියස්...
අර කෙහෙල්ගෙඩි ඉදිලද මුදලාලි...දෙන්නකො ඔය වැලිතලපත් දෙන්න...මල්ලි කට්ටියටම ප්ලේන්ටී දාන්න...
අපි වැලිතලපයි ඉදිච්ච කෝලිකුට්ටුයි කනකොට කිටිය බලාගෙන ඉන්නවා...ටිකකින් බලාගෙන ඉන්න බැරිව යනවා...තවදුරටත් ඉවසගෙන ඉන්න බැරිතැන...
මටත් දෙන්න...
කිටී කන්න පටන් ගන්නකොට අපි තේ බීල ඉවරවෙන්නත් ලඟයි...
අපි යනව ක්‍රිස්ටෝපර්...මුදලාලි ඔය මහත්තය ඔක්කොගෙම සල්ලි ගෙවයි...
අපි ඔෆිස් එකට ඇවිත් ටිකවෙලාවක් යද්දි තමා ඔන්න කිටිය බැන බැන ඔෆිස් එකට එන්නෙ...
ආයෙ කතා කරපල්ලකො තේ බොන්න යන්න...
අපි සද්ද නැතුව ඉන්නව...ටික දවසකින් කිටියට ඒ සිද්දිය අමතක වුණාම ආයෙම කැන්ටිමට එක්ක යනවා...
මතු සම්බන්ධයි........