අද මම ලියන්න හිටියෙ දන්සැල් කතාවක්...නමුත් ඒ කතාව ලියන්න කාලය මේක නෙවෙයි කියල මට පස්සෙ හිතුන..
දන්සැල් කතා හරියන්නෙ වෙසක් මාසෙටනෙ...ඒ කතාව පස්සට තියල අද වෙන කතාවක් කියන්නම්.කතාවක් කිව්වට මේක කතාවක්ම නෙවෙයි..මොකක්ද කිව්වොත් මම සෑහෙන කාලෙක ඉඳල නිරීක්ෂණය කරපු අපේ ගමේ සිද්දවෙන අවමංගල චාරිත්‍ර කීපයක්.සමහරක් චාරිත්‍ර අපේ ගමටම අනන්‍ය වෙච්චි ඒව කියල මට නිකමට වගේ හිතුන නිසා තමයි ලියන්නෙ..ලියද්දි ටිකක් වටෙත් යයි...ගණං ගන්න එපා.
පළවෙනි එක තමයි පොත...මේ පොත කවුරු පටන් ගත්තද කොයි කාලෙ ඉඳන් පැවත එනවද කියල කවුරුවත් දන්නෙත් නෑ හොයන්න උත්සාහ කරලත් නෑ.
ගමේ මරණයක් උනහම මුළු ගමේම ගිහිං පොතට සල්ලි එකතු කරල අර මරණ ගෙදරට බාර දෙනව පොතත් එක්කම.
ඊළඟ මරණෙදි පොත ගෙදර තියෙන අය තමයි සල්ලි එකතු කරන්න ඕනැ..ඔය විදියට පොත ගමේ හැම තැනම යනව..දැන් පාවිච්චියට ගන්නෙ කීවෙනි පොතද කියල කවුරුවත් දන්නෙ නෑ.
ඊළඟ චාරිත්‍රය වල කැපීම හා සම්බන්ධ එකක්....මරණයෙ අවසාන කටයුතු කරන දවසෙ ටිකක් දවල් වෙන්න වගේ වල කපන අය කීප දෙනෙක් මරණ ගෙදරට යනව...ඒ යන අයගෙන් කෙනෙකුට මරණ ගෙදරින් බුලත් හෙප්පුවක් පිළිගන්වනව..ඒ බුලත් හෙප්පුව දීම තමයි වල කපල දෙන්න කියල කරන ආරාධනය....එතකොට හෙප්පුව ගත්තු කෙනා තමයි කනත්තෙත් වල කපන කණ්ඩායමෙත් නායකය.
මරණ ගෙදරින් උදැල්ල යකඩ ඉන්න කැත්ත වාගෙ ආයුධත් එක්ක බුලත් පහේ මල්ලකුත් දෙනව ඔරේන්ජ් බාර්ලි බෝතල් දෙකතුනක් එක්ක...
ඉස්සර නම් ඔය මල්ලට කසිප්පු බෝතල් දෙකකුත් දාලයි දෙන්නෙ...ඒ වැඩිහිටියො වලවල් කපපු කාලෙ.
වලවල් කැපිල්ල වැඩිහිටියන්ගෙන් අපි අතට ආවට පස්සෙ අපි ඒ ජරා සිරිත නැවැත්තුව.
කනත්තට ගිහින් ඉස් ඉස්සෙල්ලම කරන වැඩේ තමයි වල අල්ලන එක.වල අල්ලනව කියන්නෙ වල කපන්න තැනක් හොයාගන්න එක.කලින් මිනියක් වල නොදාපු තැනක් හොයල එතන තමා වල ලකුණු කරන්නෙ.
ඒක කරන්නෙ හොඳට පළපුරුද්ද තියෙන අය..මාත් ඕනැතරම් වලවල් බාර අරගෙන තියෙනව..ඒ වුණාට කරන්න නම් වුණේ කවුරු හරි කෙනෙක් පෙන්නන තැන වල ලකුණු කරල දෙන එක විතරයි.ඊට වැඩියෙ උදලු පාරක්වත් ගහන්න ලැබිල නෑ...ඇයි ඕනැතරම් කට්ටිය වැඩට ඉන්නවනෙ.
වල ලකුණු කරන්නෙ එකක් ඉස්සරහින් එකක් වශයෙන් උදලු පාරවල් තුනක් ඉස්සරහට කොටාගෙන යන එක.
ඊට පස්සෙ කට්ටියක් වල කපන්න ගන්නව තවත් කට්ටියක් වටපිට සුද්ද කරන්න ගන්නව..ඉතුරු ටික කනත්තට ඇතුල් වෙන තැන තොරණ ගහන්න ගන්නව.
වල කණ්ඩායමේ නායකයට තියෙන්නෙ අඩුපාඩු හොයල බලල සපයන එකයි කෑම බීම ගැන බලාගන්න එක වාගෙ දේවල් තමයි.වල බාර අරන් ඉන්නෙ සල්ලි කාරයෙක් නම් වල සරුයි....එතකොට කනත්තට මිනිස්සු එකතු වෙන්නෙ ගූ බෙට්ටට නිළ මැස්සො වහනව වගේ තමා....හැබැයි වැඩ කරන අය ටිකයි..වැඩිපුර එන්නෙ පිනට බොන්න එන අපතයො.
පළවෙනි පාර බෝතල් හය හතක්වත් ගෙන්නන්න ඕනෑ මොකද එක බෝතලයක් රවුමක් යන්නත් මදිනෙ.
ඔය වෙනකොට වාහන හත අටක්වත් කනත්තෙ පාර අයිනෙ නවත්තල තියෙනව..ත්‍රී වීල් සයිකල් අත් ට්‍රැක්ටර් ආදිය...ගමෙන් පිට පදිංචි වෙලා ඉන්න කොල්ලො මළගෙදරට ඇවිත් කතා කරල වාහනේට නැගල කෙලින්ම එන්නෙ කනත්තට.
ඉර හැරෙන කොට බෝතල් දහයක් වත් හිස්වෙලා..වල කපනව නෙවෙයි වල මවනව.....එච්චර ලස්සනට වැඩේ කෙරෙනව.
ඔය අපේ අලවත්තෙ කනත්ත තියෙනව නේද..හරිම ෂෝක් පස නිකං පිටි වාගෙ..වලක් කපන්න උදැල්ලක් ඕනැ නෑ මන්නයක් තිබුණොත් ඇති.
අපේ තාත්තල ඉස්කෝලෙ යන කාලෙ ඔය කනත්තෙ රටකජු වැව්ව කියල මාත් එක්ක කියල තියෙනව.
හැබැයි වැහැල පස පොඟල දිය සීරාව අල්ලල තියෙන කාලෙට පාර අයිනෙ වලවල් අල්ලන්න හොඳ නෑ..වල කඩාවැටෙනව කොහොම හරි කපාගත්තත් වතුර උනනව.
වලක් කපන්න ගත්තයින් පස්සෙ මොනම හේතුවකටවත් ඒ වල වහල වෙන එකක් කපන්න හොඳ නෑලු..සැරයක් ඔය වයසක සැට් එක වලවල් කපාපු කාලෙ අල්ලපු වල කඩාවැටිල වෙන වලක් කපල තමයි මිනිය වලලල තියෙන්නෙ...ඔය වල කපපු සැට් එකේ හිටිය ආරච්චි කියල මනුස්සයෙක්..අපේ අට්ටගෙ සීය.
එදා මේකා කණමදය වාගෙ බීල ගෙදර ඇවිත් නිදි.
අපි කට්ටිය රෑ ගෙට පැන්න මූව බය කරන්න.
ආරච්චියො...ආරච්චියෝ...එකෙක් උගුර යටින් කෑ ගහනව මුගෙ ඇඳ ළඟට බඩගාගෙන ගිහිං.
මොකාද බොල හු xxxx පුතා..... මූ වෙරි පිට අහනව.
මම ඩැනී තෝ අරගෙන යන්නයි මම ආවෙ..කියල තව එකෙක් කියනව..
ආරච්චිය කුණුහරුප ඉවර කරනව..බලු බැණුම්..ඒ මදිවට මූ පණබයේ ඇඳේ ගුලිවෙලා.
එදා මහ රෑ වෙනකම් අපි හොල්මන් කලා..
ඔන්න ආපහු වටේ ගියානෙ..කොහෙද පීලි පනින එක නවත්තන්න බැරි කොට.
මරණ ගෙදරට කෑම දෙන ගෙදරින්ම කනත්තටත් කෑම ගේනව...සැරයක් කනත්තට කෑම පාර්සල් හැත්තැපහක් ගේන්න වෙලා..ඒ පියදාස මුදලාලිගෙ පවුලගෙ මරණෙ වෙලාවෙ...හිතාගනිල්ලකො කනත්තෙ හිටපු සෙනග කොච්චරද කියලා.
ඔය වැඩේට පියදාස මුදලාලි එක එක කතා කියල තිබුණ...කන්න දීල කතා කියනවට අපි කැමති නෑ.. වහාම ක්‍රියාත්මක වෙන පරිදි ඊළඟ මරන ගෙදර ඉඳල කෑම ගෙන්න ගන්න එක නතර කළා.
ඊට පස්සෙ අපි වල කපද්දි අහළ පහල දන්න ගෙදරකට බඩු ගෙනිහින් දීල පරිප්පු හොද්දක් හදවගෙන සම්බෝලයක් තලෝගන්නව...ටවුමෙ බේකරියට දෙතුන් දෙනෙක් ගිහින් උණු පාන් ගේනව..ඒක තමයි අපේ දවල් කෑම.
කෑමෙන් පස්සෙ ඉතින් කරන්න කියල එච්චර වැඩක් නෑ...වලත් සරසල තොරණත් ගහල ඉවරයි එක එක කතා කිය කියා මඩ ගහගෙන කාලෙ ගෙවාදානව.
ඔන්න දැන් අරගෙන එනව කියල ආරංචිය ලැබුණාම හය දෙනෙක් ඇතුල්වෙන තැන තොරණ ලඟට යනව දෙන බාරගන්න.
තොරණ ලඟදි දෙන බාරගත්තු කට්ටිය වල ලඟට දෙන ගෙනත් තුන් වටයක් පැදකුණු කරල වල උඩ තැන්පත් කරනව.ඊට පස්සෙ වලේ නායකය කතාවක් කරමින් දේහයට අවසාන ගෞරව දක්වන්න නොලැබුනු කෙනෙක් ඉන්නව නම් ඒ අයටත් වලේ වැඩ කරපු අයටත් අවසාන ගෞරවය දක්වන්න අවස්ථාවක් ගෙදර අයගේ අවසර ඇතිව ලබාදෙනව.
ඊට පස්සෙ දෙන බොහොම ගෞරවයෙන් වලේ තැන්පත් කරල ඔක්කොමල්ල අනිච්චාවත සංඛාරා කියමින් වලට පස් දානව.ඊටත් පස්සෙ උදලුවලින් ඉස්සෙල්ලම පස් දාන්නෙ මියගිය අයගෙ ලඟම ඥාතීන්...ඊටත් පස්සෙ තමා වලේ කට්ටිය උදලු අතට ගන්නෙ...
ලස්සනට පස්කන්ද ගොඩ කරල ඉහ උඩින් කුරුම්බෙ කපල තියනව...මැදින් පොල් මල විහිදවල ගහනව..පය හරියට පොල් ගෙඩි දෙක තියල ඉටිපන්දම් හඳුන්කූරු පත්තු කරනව.
පය පාමුලින් පොඩි පාරවල් තුනක් කපනව...තුන් පැත්තට වම් පැත්තට ගල්, මැදට මල් ,දකුණු පැත්තට කටු...මැද තියෙන මල් පාරෙලු මළගිය ප්‍රාණකාරය යන්න ඕනෑ.
කනත්තෙ වැඩ කටයුතු අවසන් වෙලා වලේ කට්ටිය ආයුධත් අරගෙන කෙළින්ම යන්නෙ මරණගෙදරට..මිදුලෙ තියපු මේසෙක බිස්කට්,සිසිල්බීම,බුලත්විට තියල සුදු රෙද්දකින් වහල වලේ අයට සං ග්‍රහයක් ලෑස්ති කරල තියෙනව...ඒ ගොල්ල සංග්‍රහය බුක්ති විඳිනකල් කිසි කෙනෙකුට සංග්‍රහ කරන්නෙ නෑ.
ඉස්සර නං ඔය මේසෙට බෝතල් දෙකකුත් තිබ්බලු..ඒ සිරිත අපි නැතිකරල දැම්ම.
ගෙදර කෙනෙක් ඇවිත් වලේ නායකයට ඇස්ස කපාපු කුරුම්බ ගෙඩියක් දෙනව පිහියකුත් එක්ක...එයා කුරුම්බ ගෙඩිය සිදුරු කරල කුරුම්බ වතුර උගුරක් බීල අනික් අයට දෙනව...හැම දෙනාම කුරුම්බ වතුර උගුර බැගින් එකම ගෙඩියෙන් බොනව...ඊට පස්සෙ තමා මේසෙට වාඩිවෙන්නෙ.
නායකය නැගිටල කියනව අපට භාරදුන්නු වැඩේ සාර්ථකව ඉෂ්ට කරලයි ඇවිත් ඉන්නෙ කියල..ගෙදර කෙනෙක් ඒ ගැන ස්තූතිය ප්‍රකාශ කරනව...ඊට පස්සෙ තමා සංග්‍රහය.
සංග්‍රහය අවසානයේ ගෙවල්වලට යන කට්ටිය දෙහි ගාල නාල පිරිසිදු වෙලා තමයි රෑට තියෙන මල බතට සහභාගි වෙන්න එන්නෙ.
ඒ වෙනකොට ගෙදර සාලෙ අස් කරල හෝදල කහ වතුර හෙම ඉහල තියෙන්නෙ....මරණෙ ගෙදරින් එලියට ගත්තු ගමන් දෙන තියල තිබුණු තැන ලිපක් බැඳල පොඩි මුට්ටියක බතක් උයනව....ඒ බත ගොට්ටකට දාල ගස් දෙබලක ගිහින් තියන්න ඕනැ කන්න ඉස්සෙල්ල.
මළ බතට වෑංජන හැටියට තියෙන්නෙ වට්ටක්ක,කරෝල හොදි,අලු කෙහෙල් මාලුව,පරිප්පු,කොළ මැල්ලුම් වගේ දේවල්....වට්ටක්කයි කරෝල හොදියි නම් අනිවාර්යයි.
බිම එලපු පැදුරුවල වාඩිවෙන කට්ටියගෙ ඉස්සරහින් කෙහෙල් කොළ එලල බත් මාලු පිණි බෙදනව.
කන්න කලින් බත් පිඬක් අනල කෙහෙල් කොළයක් එලපු කුල්ලකට දානව..ඒක සත්තුන්ට කන්න.
හත් දවසෙ දානෙ වෙනකන් ගෙයි දොර ජනෙල් වහන්නෙවත් ගෙදර කට්ටිය තනිකරන්නෙවත් නෑ.
ඉවර කරන්න කළින් තව කතාවක් කියන්න තියෙනව....
වල කපන අය කනත්තෙ ඉඳන් කණ පැලෙන්න බොන එක ගැන මගෙ කිසිම මනාපයක් තිබ්බෙ නෑ...මුල ඉඳන්ම මගෙ අදහස උනේ මේ වැඩ කෙරෙද්දි හොඳ සිහියෙන් ඉන්න ඕනැ කියන එක.
දවසක් දා මම කොල්ලො කට්ටියට මේ ගැන කිව්වා..වලේ වැඩ ඉවර වෙනතුරු අපි නොබී වැඩකරමු...වැඩටික ඉවරකරලා බොන දෙයක් ගෙනල්ල බොමු කියලයි මම යෝජනා කළේ.
කිසිම විරෝධයක් පාන්නෙ නැතුව කට්ටියම එකඟ වුණා...ඊට පස්සෙ එළඹුණු මලගෙදර වල කපන වෙලාවෙ මට කට්ටියත් එක්ක යන්න වුණේ නෑ...පුතාගෙ ඉස්කෝලෙට ගිහිං එන්න වෙලා තිබ්බ හින්දා...මම ආපහු ගෙදර ඇවිත් කනත්තට යනකොට දවල් වෙලා තිබුණා.
යනකොටත් කට්ටිය අරක්කු ගෙනත් බීල විතරක් නෙවෙයි..පෙළක් උන් මාවත් විවේචනය කරලා...මම උන්ට නීති දැම්ම කියල.
මේක ආරංචි උණාම මට යකා නැග්ග...
මම තොපිට දාපු ඇති මගුල් නීතියක් නෑ බොලව්..
තොපිම නේද මම කියපු දේට කැමති වුණේ ...කියල කේන්ති ගිය පාර මම සද්දෙන්ම කිව්ව.
උඹල කනත්තෙ බොනකං මම නෙවෙයි ආපහු වලවල් බාරගන්නෙයි...කනත්තට අඩියක් තියන්නෙයි කියපු මම ආපහු ගෙදර ආව.
එදා ඉඳල මම කනත්තෙ වලවල් කපන්න ගියෙ නෑ....මළගෙදරට සහභාගි වෙලා එතන වැඩ කටයුතු කරනව විතරයි..
කට්ටිය නම් සුපුරුදු විදියට කනත්තෙ බොනවලු...හැබැයි එච්චර සකිලයක් නෑලු....මොකද කලෙක්ෂන් එක වැටෙන්නෙ බොහොම ටිකලු...දවසක්දා එකෙක් කිව්වලු..
දැන් ඉතින් තෝරු මෝරු එකෙක්වත් නෑනෙ කියල.
ඉතිං මම ඔය කිව්වෙ අපේ ගමේ අවමංගල චාරිත්‍ර කෙරෙන විදිහ බොහොම කෙටියෙන් ඔයගොල්ලොත් දැනගන්න ආසවෙයි කියල හිතුණු නිසා.
මේ චාරිත්‍ර ඔබේ පළාත්වලත් ඇති...සමහරවිට මීට වෙනස් චාරිත්‍රත් ඇති.
මේ ගැන සංවාදයක් ඇතිවෙනව නම් මම බොහොම කැමතියි..කාගෙත් දැනුම වැඩිකරගැනීම සඳහා.
ඇත්ත සින් එකක්ද බොල ?
ReplyDeleteහැම වචනයක්ම ඇත්ත සෑම්
Deleteමමත් මේ දැම්මේ අපේ ගමේ පුරාණ චාරිත්‍ර ගැන පෝස්ට් එකක්. හැබැයි මරණ චාරිත්‍ර නෙමේ, ..කමත් චාරිත්‍ර
ReplyDeleteකුරුම්බා චාරිත්‍රය ඇරෙන්න අනිත් ඔක්කොම චාරිත්‍ර අපේ ගමෙත් තිබ්බා. දැන් නම් ගොඩක් ඒවා නෑ. හැබැයි නොවැරදීම කසිප්පු චාරිත්තරේ නම් තාමත් තියනවා. හිටහංකෝ ටික දොහකින් ඒ ගැන ලියන්නම්.
අනේ ලියපං පේට්‍රියට්.
Deleteඔය කුරුම්බා චාරිත්‍රය අපේ ගමට විතරක් සීමා වුණු එකක් කියල මාත් දැනං හිටිය.ඒකෙන් අදහස් වෙන්නෙ සමානාත්මතාව පෙන්වීම වෙන්න ඇති නේද.
අර කපපු වලක් හරි නැත්තං වහන්නේ ඇයි අයියේ??????
ReplyDeleteමට ඒක තේරුන්නෑ..
තව අරහෙම පාරවල් තුනක් හදන්නේ????????
අපිට ඉතිං මෙහෙම එවුවා සෙට් වෙන එකක්නං නෑ මේ ජීවිත කාලෙට....
මං නං තාම මලබතක් කාලවත් නෑ...
ඒ අතිං බලනකොට අපි හෙන ආටිෆිෂල් චරිත අප්පා...
හරි නැත්තං වහන්නේ ඇයි නෙමේ වහන්නේ නැත්තේ ඇයි??????
Deleteමෙහෙමයි තරියො.මිනියක් දාල වහන්න කපපු වල නිකං වැහුවොත් වලේ නායකයට වස් වදිනව,මැරෙනව කියල මතයක් තියෙනව,ඒක මතයක් විතරයි.
Deleteඑහෙම වහනව නං බිත්තරයක් වගේ ජීවයක් ඇති දෙයක් දාලලු වහන්නෙ.
අර මලබතනම් කොහොමහරි දවසක කාල බලන්න,මොකද ඒක කොල්ලෙක් විඳිය යුතු අත්දැකීමක් කියලයි මම නම් හිතන්නෙ.
පාරවල් තුන කපන එකත් හුදු චාරිත්‍රයක් පමණයි,ඒකෙ කිසිම ගතයුත්තක් නෑ නමුත් පරම්පරාවෙන් පරම්පරාවට කරගෙන එන නිසා තාම ඔහෙ කරනව.
අපි කරන නමුත් පැහැදිලි උත්තරයක් දෙන්න බැරි දේවලුත් තියනව නේද තරියො.
ඈ...තරියා...මල බතක් කාලා නෑ...? දැන් වයස 21යි නේද? ඒක නොකා නම් වැඩක් නැහැ මචෝ....හැබයි කන එකත් ටිකක්වත් ගැමි පැත්තකින් කෑවොත් තමා හොද. මොකෝ මේ ලගදි මල ගෙදරක ගියා උඹලගේ පැත්තේ (කැළනියේ) මල බත කේටරින් එකෙන්. කරෝල පත කෑලි. හොදි අඩුයි. නියම මලබතේ රහ වැඩි වෙන්නේ කට්ට කරෝල හදල, හොදි වැඩි වුනාම. දැන් නම් සමහර පැතිවල (අපේ පැත්තෙත්) අනිවාර්‍යෙන් ලූණු සම්බෝලෙකුත් දානවා.
Deleteඋඹ වැඩක් නෑ තරියා... මැරෙන්න අපේ පැත්තට වරෙන්!
Delete'ඔහේ කොහෙද මල ගෙවල් මෙහෙනේ නියම මලගෙවල්' නේද සජා මල්ලි.
Deleteඅපේ පැත්ත මොඩ් වැඩියි දැං...
Deleteපාරවල් 3න් කියවෙන්නෙ වැදගත් කතාවක්
Delete1 - දිව්‍ය ලෝකෙ යන පාර (මල් තියන්නෙ)
2 - මනුස්ස ලෝකෙට (මම පොඩි කාලෙ හිටපු පැත්තෙ තියනව පොල් මල් කිනිත්තක්)
3 - නිරය (ගල් තියන්නෙ)
මැද පාරෙ යන්න කියන්නෙ නිවන් අබෝධ කරන්න පුලුවන් එකම ලෝකම නිසා
madda...
සීන් එක නං ඇත්තම තමා තාමත් අපේ පැත්තේ වෙන්නේ මේ ක්‍රෙම්ටම තමා මං ඉතිං මිරිගම එකා බව දන්නවනේ. හැබැයි අපේ ගමේ වලේ බොන එක නං දැං නැවතිලා.. වෙනස එපමණයි.
ReplyDeleteවලේ බොන එක නවත්තන මම තාම ට්‍රයි.කොහෙද ඉතිං ඕකටම වලට එන මළ පෙරේතයො ඉන්නවනෙ.
Deleteමේ කතා ටික ගැන නම් දනගත්තේ අද තමයි.. ඕවට යන්නේ පිරිමි අය විතරයි නේ.. අනිත් එක මම මළගෙවල් වල ගියාම විනාඩි 5 කට 10කට වඩා ඉන්නේ නෑ.. කොහොම හරි අහල පහල ගෙදරකට හරි පැනලා හැංගිලා ඉන්නවා.. ගමේ මිනිස්සු මාව දකින්නේ මළ ගෙදරකදි විතරනේ...ඉතිං ප්‍රශ්න වලට උත්තර දීලා ඉවරයක් නෑ... හි හි...
ReplyDeleteඒක නෙවෙයි.. මාරයා ලියලා තිබ්බනේ ඔය ඇඹුලයි, මඟුල් බතයි, තව එක එක බත් වලින් එයාගේ ලිස්ට් එකේ පළවෙනියට තියෙන්නේ මළබත කියලා... ඒක ඒ තරම් රහයිලු.. ඔය දවල් කෑම එක ෆේස්බුක් එකේ දාන මාරයගේ පුරුද්ද නිසා දවසක් මම දැක්ක වට්ටක්කයි කරෝලයි තව මොනාදයි එක්ක බත් එකක්.. මළබතේ කතාවත් එක්කම ඔය කතාව අපේ මහත්තයට කිව්වම එයා කිව්වා වට්ටක්කයි කරෝලයි උයන්නේ මළබතට විතරයිනේ, ඒවා නිකම් ගෙවල් වල හදන්න හොද නෑ නේ කියලා... මං එහෙම එකක් ඇහුවමයි.... ඇත්තටම එහෙම එකක් තියෙනවද කියලා දන්න අය කියන්නකෝ..
( මේකට කමෙන්ට් දාන්න එනවා කියලා දන්න නිසා මෙතනම ඔයාගේ කතාවත් කිව්වා. තරහා වෙන්න එපා මාරයියේ.. හි හි)
මළබතේ රස ගැන නම් කතා කරන්න දෙයක් නෑ හිරූ,මාරයගෙ කතාව සම්පූර්ණ ඇත්ත.
Deleteවට්ටක්කයි කරෝලයි ගෙදර ඉව්වොත් ...ආ..අද මළබතක් තියෙන්නෙ කියල අපි කියනව මිසක් හදන්නෙ නෑ කියල තද තහනමක් මම දන්න තරමින් නම් නෑ.
මේ ගැන සම්පූර්ණ විස්තරයක් මාරය කරයි මම නිතන්නෙ.
හා මං මුකුත්ම කියන්න ඕන නැහැ අද.. :D
Deleteඋඹත් මොනව හරි ලිව්ව නං තමා මාර මල්ලියෙ හොඳ
Deleteමලබතේ හොදි ජාති ගෙවල්වල හැදුවා කියල අවුලක් තියනවා කියලනම් අහල නෑ. ආදහනෙට ඉදල මලබත් නොකා ආපු ගෙවල් අතේ ඇගිලි ගාණටත් අඩුයි. ඒක කෑවහම මල ගිය ඇත්තට පිනක් වෙනව කියලත් කියනවනේ. ඊටත් වඩා ඒකට තියන කෑදර කමට තමා නොකා නේන්නේ.
Deleteමේ හැම වක්‍යකම මට පෙන්නේ මිනිසත් බව,සහයෝගය,සහොදරත්වය,තමන්ගේ කම,ඒ සිරිත් අද කරන්නේ විලාසිතාවකට පමණයි.ඉතාම වැදගත් කතිකාවක්
ReplyDeleteමනුෂ්‍යයෝ වන අපි මිනිසත් බව වර්ධනය කර ගත යුතුය
මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
තාම මේ චාරිත්‍ර රැකගෙන එන නිසා මිනිසත් බවත් රැකෙනව ඒවත් එක්කම.
Deleteමරු චාරිත්‍ර....
ReplyDeleteඔව් කාලෙක ඉඳන් පැවතගෙන එන ඒවා.
DeleteWenas sirith virith godak ...adha sinhala nae ..liyanna ..
ReplyDeleteඉංග්‍රීසියෙන් වුණාට කමක් නෑ,ඔබව සාදරයෙන් පිළිගන්නව.
Deleteහූ...හු...කොළඹ හතේ කොහෙද ඕවා...
Delete//ඉස්සර නම් ඔය මල්ලට කසිප්පු බෝතල් දෙකකුත් දාලයි දෙන්නෙ...ඒ වැඩිහිටියො වලවල් කපපු කාලෙ.
ReplyDeleteවලවල් කැපිල්ල වැඩිහිටියන්ගෙන් අපි අතට ආවට පස්සෙ අපි ඒ ජරා සිරිත නැවැත්තුව.//
ඊට පස්සෙ ඒ කසිප්පු බෝතල් 2 මුං බීල වතුර බෝතල් 2ක් වලට දානවලු....
යසිත්,කසිප්පු බෝතල් දෙක අරන් තියෙන්නෙ වල කපන එවුන්ට බොන්න.
Deleteඅපි නැතිකලේ ඒ සිරිතයි.
මේ පැතිවලනං අර මිනිය තිබ්බ තැන උයන බත ගෙයි පිටිපස්සෙ ඉඳල වහල උඩිං ඉස්සරහට විසිකරන චාරිත්‍තරේකුත් තියෙනව.
ReplyDeleteදැංනං ගම් වල ඔබ චාරිත්‍ර තිබ්බට නගර ආශ්‍රිතව ඕව කෙරෙන්නෙ නෑ. වල කපන්න මිනිස්සු හොයාගන්නෙත් කුලියට තමයි.
'වලවල් කැපිල්ල වැඩිහිටියන්ගෙන් අපි අතට ආවට පස්සෙ අපි ඒ ජරා සිරිත නැවැත්තුව.'
ඊට පස්සෙ කෙලිංම බාර් එකෙං සීල් බෝතල්නෙ එතෙන්ට ගෙනාවෙ. :D
ඒක නං ඇත්ත ප්‍රසන්න,දැන් කෙලින්ම බාර් එකෙන් සීල් ගේනවා.
Deleteමේ සිරිත් ගැන අදමයි ඇහුවෙත්. මේ වගේ කොයි තරම් දේවල් ගැන අපි නොදැනුවත්ද කියලා හිතෙනකොට දුක හිතෙනවා. මේ වගේ දේවල් හොයන්න තිබ්බ ආසාව හන්දා මම උසස්පෙළ කරන දවස්වල ප්‍රොජෙක්ට් එක විදියට කලෙත්, " නුවර කලාවියේ බස් වහර හා චාරිත්‍ර වාරිත්‍ර". ඒත් ඒ හුඟක් ඒවා අතීත චාරිත්‍ර. දැන් නම් ඕවා හුඟ හරියක් නැහැ.
ReplyDeleteඔබ වැනි තවත් අය කොපමණ ඇද්ද තරූ.
Deleteඒ අයගේත් ප්‍රයෝජනය සඳහා තමයි මේක ලිව්වෙ.
මචං අපේ පැත්තේ මේ විදියේ චාරිත්‍රයක් දැනුවත්වම නැහැ.සාමාන්යෙන් වෙන්නේ වැඩිහිටියෙක් වැඩේ කරන එක තමයි. මේ විදියේ විස්තරයක් ඇහුවෙත් අදමයි.
ReplyDeleteමචං මම මේ බ්ලොග් එකට අළුත් මොකක්ද උඹලගේ ගම් පැත්ත.
උඹල වුණත් කවද හරි වැඩිහිටියො වෙනව නේද අසරණයො,හැමදාම ඔහොම ඉන්නෙ නෑනෙ.
Deleteමගෙ ගම් පළාත නං සියනෑ කෝරළේ,ඔය මාරය, අටම් එහෙම හොඳට දන්නව.
//වල ලකුණු කරන්නෙ එකක් ඉස්සරහින් එකක් වශයෙන් උදලු පාරවල් තුනක් ඉස්සරහට කොටාගෙන යන එක.//
ReplyDelete//තොරණ ලඟදි දෙන බාරගත්තු කට්ටිය වල ලඟට දෙන ගෙනත් තුන් වටයක් පැදකුණු කරල වල උඩ තැන්පත් කරනව.//
//ලස්සනට පස්කන්ද ගොඩ කරල ඉහ උඩින් කුරුම්බෙ කපල තියනව...මැදින් පොල් මල විහිදවල ගහනව..පය හරියට පොල් ගෙඩි දෙක තියල ඉටිපන්දම් හඳුන්කූරු පත්තු කරනව.පය පාමුලින් පොඩි පාරවල් තුනක් කපනව...තුන් පැත්තට වම් පැත්තට ගල්, මැදට මල් ,දකුණු පැත්තට කටු...මැද තියෙන මල් පාරෙලු මළගිය ප්‍රාණකාරය යන්න ඕනෑ.//
මේ ක්‍රියාවන්වල යම් කිසි හේතු තියේද මෙහෙම කරන්න..
චාරිත්‍රයන් කාලයත් එක්ක වැලලිලා යන කාලයක මේ ලිපිය වටිනාම ලිපියක්..! විශේෂයෙන් නොලියැවෙන චාරිත්‍රයන්.. ස්තූතියි ගොඩක් මේ උත්සහයට..
ස්තූතියි නන්දු...මා උත්සාහ කලෙත් වැලලිලා යන චාරිත්‍රයන් මතක් කර දෙන්නටයි.
Deleteමාර වෙනස් සිරිත් වගයක්.. හැබැයි හොඳයි කට්ටිය එකමුතු වෙලා කරනවනෙ..
ReplyDeleteමේ වගේ ඒවා මෙහෙම ලියලා තියන එක හොඳයි.. මොකද ඕවා ඔය විදිහට තව කාලයක් තියෙන්නෑ...
පුළුවන් තරම් කල් තියාගන්න තමයි සෙන්නා අපේ උත්සාහය
Deleteඔය වගේ මලගෙවල්වල අත්දැකීම් මටත් තියේ..පෝස්ට් එකකුත් දාල ඇති.
ReplyDeleteඅපිව සෙට් වෙන්නෙ තොරණට තමා..වලේ වැඩ කරන්නෙ ටිකක් වයසක අය..ඕය කොයි තැනටත් බෝතලය අනිවාර්‍යයි..හැබැයි බොන්නෙ නිකං ඉන්න එවුන්.
දැන්..දැන් මේව දකින්න අමාරුයි. අර තරියා කියල තියෙනව වගේ ආටිෆිෂල් චරිත ඇත්තෙ.
හරිනෙ වීයො,දැන් අත්දැකීම් එහෙමත් තියෙනවනෙ.චාරිත්‍ර පළාතෙන් පළාතට වෙනස් වෙනවනෙ.තියෙන චාරිත්‍ර නොනැසී පවත්වාගෙන යන්න තමයි අවශ්‍ය.
Deleteබොන කථා වලට පාඨකයො විවේචන දැම්මා කියපු නිසාද මන්දා හැලප මාමා මේ එකපාරටම අමධ්‍යප සංගමේට බැදිලා තියෙන්නෙ...
ReplyDeleteඑහෙමකටම නෙවෙයි සිරා,මම කිව්වෙ මගේ මතය.නැතුව මම හොඳ මිනිහ වෙන්න ගියා නෙවේ.
Deleteමේකට ආවට ගියාට කමෙන්ට් එකක් ලියන්න අමාරුයි හොයලා බලන්නෙ නැතිව. මොකද බොරු ලියන්න බෑනෙ බං. හැබැයි මේ ලිපියේ නම් පුදුම වටිනාකමක් තියෙන බව නම් කියන්න ඕනෙ. මේකට ඉංග්‍රීසි ටැග් එකකුත් දාපං මචං funeral rites in Sri Lanka වගෙ සර්ච් එන්ජින් වලට අහුවෙන්න.
ReplyDeleteටෑග් එකක් දාන්නම් ඩූඩ්,හැබැයි කමෙන්ට් එකකුත් දාපං මචං
Deleteමෙහෙමනෙ මචං. දැන් ඕවා අලුතෙන් දැනගන්න විදියක් නැත්තෙ එකක් ලංකාවේ නැති නිසා. අනික ඔය වල දැමීම දැන් කෙරෙන්නෙම නෑනෙ. කෙලින්ම ආදාහනාගාරෙකට ගෙනියන එකනෙ වෙන්නෙ.
Deleteමට යන්තම් මතකයි බෑණලා වෙන දෙන්නෙක් චිතකය වටේට රවුම් කීයක්ද මන්ද යන් එක දෙපැත්තට, ඔලුවෙ සුදු රෙදි ජටාවක් බඳිනවද මන්දා.
මට උඹට තරම් මතකයක් නෑ මචං ඔය සම්බන්ධව. උඹ නම් විශ්වකෝෂයක්. කොහෙද බොල මෙච්චරකල් හිටියේ? :D
අනේ ඩුඩෝ මාත් ලංකාවෙන් පිට ඉඳගෙන තමයි ලියන්නෙ,යම් අමතක වෙච්චි දේවල් තියේනම් ලංකාවට කතාකරල අහගන්නව.
Deleteවර්ණනාවට ස්තූතියි,බ්ලොග් ලෝකෙට ආපු හැටි කියල වෙනම පෝස්ට් එකක් දාන්නත් හිතයි.
උඹලට මරනේ කෑල්ලක් කන්න වගේ හිතෙන්නේ නැත්ද පුරාණ චාරිත්‍රයක් නෙව ඒක්... හැක්..
ReplyDeleteඇත්ත බං වෙනස් විදියේ චාරිත්‍ර වාරිත්‍ර තියෙනවා ඒ වගේම සමහර ඒවා කාලයෙන් කාලයට වගේම ප්‍රෙද්ශය අනුවත් වෙනස් වෙනවා... මේක හොද පෝස්ට්කටුවක්..
(මං මුලින්ම ගහල තියෙන්නේ තොට මඩ..)
තොගෙ තියෙන්නෙම මඩ නේන්නං.
Deleteමේක දැකලා මටත් මල ගෙවල් සීන් ගොඩක් මතක් උනා! :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ඒව නං රජ මළ ගෙවල් වෙන්න ඇති.
Deleteඑසේම වේවා
මාත් මේ චාරිත්තරේට වංගිය දෙවංගියක් විතර සාබාගි වෙලා තියේ
ReplyDeleteඅර ඉහට පලාපු කුරුම්බා පය පොල් වැඩේ නම් දැනං උන්නේ නෑ මහත්තයෝ
මල් අත්තක් දෙකක් ගහල ඉටි පන්දම් ගැහිල්ල තමා කෙරුවාව
අර කුඩා මුට්ටියෙ බත් ගොට්ටෙ වැඩෙත් දැං කෙරෙන්නේ නෑ මයේ හිතේ
අත්දුටු මෙව්වා ජාලයේ සිංහලෙං ලියා තීවාට පිං ඕ ඈ!
ස්තූතියි තිස්ස,මාත් ඔය මතක තියෙන හැටියට තමා ලිව්වෙ
Deleteඅපේ පැත්තෙ නම් ඔය සිරිත් විරිත් බොහොම අඩුයි.
ReplyDeleteවල ළග කටයුතු නම් ඔය කියපු විදියට බොහෝ දුරට සමානයි.එතනත් සිරිත් නෑ. වල කපන කණ්ඩායමේ ලීඩර් උදේම මිනී පෙට්ටියේ සයිස් එක මැනගෙන කට්ටියත් එක්ක කනත්තට යනවා. වල කපන තැන සුද්ද බුද්ද කරගෙන මුලින්ම ගහන උදළු පාරට අහුවෙන පස්ටික වෙනම අරන් තියනවා. චාරිත්‍රයකට කියලා කෙරෙන්නෙ එච්චරයි.
පැය දෙකකක් ඇතුළත වල කපන වැඩේ අවසානයි. ඒ වෙනකොට උදේ කෑමට පානුයි පරිප්පුයි ගෙනත්. තව පොල් හකුරු එක්ක කහටත් හම්බවෙනවා.
ඒවාත් කාලා කසිප්පුත් බීලා වල කපපු උන් එකා දෙන්නා එහා මෙහා වෙනවා. එතැන් සිට තියෙන්නෙ තොරණෙ වැඩයි ගොක් කොළ සැරසිලි ඇතුළු සැරසිළි වැඩයි. ඒ අපේ කොටස,
වෙනත් ප්‍රදේශවල බොහොම අඩුවෙන් කෙරෙන අපේ ගමේ අනිවාර්යයෙන් කරන සැරසිල්ල කපපු වල උඩ ලෑලි දාලා වහලා ලී කුඩු වලින් කරන විශේෂ සැරසිල්ලයි. ඒ වැඩේ බොහෝ විට පැවරෙන්නෙ මට.
ලී කුඩුවලට කුකුල් සායම් හො ඩයි දාලා වර්ණ ගන්වලා විශේෂ රටාවකට ඇතිරීමයි කෙරෙන්නෙ. ඒකට කියන්නෙ "කාපට් එක දානව"යි කියලා.
එහෙම කාපට් එක් දැම්මට පස්සෙ කෙසෙල් කොට හයක ගොක් කොළ වලින් කළ සැරසිල්ලක් වල වටේට හයි කරනවා, ඊට පස්සෙ ඒ කෙසෙල් කොට අතර ගොක් කොළයයි පොල් කොළයයි එකට තියලා හදපු දම් වැලක් පොටවල් දෙකක් හිටින විදියට අදිනවා. එතනින් වැඩේ ඉවරයි. ඊට පස්සෙ කාපට් දාලා ඉතිරි වුන ලීකුඩු වලට එන පාර දිගේ තැන තැන දානවා.
මේ වැඩ ඉවරවෙලා නාලා කියලා ආයෙ මළ ගෙදරට යනකොට 2 විතර වෙනවා. එතකොට කෑමත් ඉවර වෙන්න කිට්ටුයි.
සාමාන්‍යයෙන් අපේ පැත්තෙ මළ ගෙදරක අවසාන දවසෙ තියෙන කෑම,
බත්-අඹ හෝ ඇඹරැල්ල මාළුවක්- තක්කාලි + ළූනු සලාදය - කෙලවල්ලා මාළු - අමුමිරිස් සම්බෝලෙ මික්ස් කළ මඤ්ඤොක්කා - පරිප්පු - වියළි මිරිස් සමග බැදපු පපඩම්.
මළ බතත් හැදෙනවා, එච්චර සිරිත් විරිත් නෑ.
තවත් විශේෂ දෙයක් අපේ ගමේ කනත්තෙ සොහොන් කොත් හදන්නෙ නෑ.(එකම සොහොන් කොතක්වත් නැති පොදු සුසාන භූමියක් තියෙන්නෙ අපේ ගමේ විතරද මන්දා)
Deleteවල කපන්න පිටත්වෙන්නෙ ඉර හැරුණට පස්සෙ කියල මතයක් තියෙනවා,ඒ කියන්නෙ දවල් දොළහෙන් පස්සෙ.
Deleteඒත් දැන් නම් සෙට් එක උදේ දහය වෙද්දි කනත්තෙ,අර ලී කුඩු ඩයි කරල වල සරසන එක දැන් අපේ පැත්තෙත් කෙරෙනව.හැබැයි වල උඩට ලෑලි නම් දාන්නෙ නෑ වල වටේ තමා ලස්සනට ලී කුඩු අතුරන්නෙ.
අපේ කනත්තෙ ඉතාම ආදි කාලෙ බැඳපු සොහොන් කොත් දෙකක්ද තුනක්ද තියෙනව මිසක් අලුතෙන් සොහොන් කොත් හැදිල්ලක් නෑ.
මගේ කතාව වගේම සුමිත්ගෙ කමෙන්ට් එකත් බලන අයට ප්‍රයෝජනවත් වෙයි.
ගම කොයි පළාතෙද කියල ඇහුවට අමනාපයක් නෑ නේද සුමිත්.
ඉංගිරිය, නාච්චිමලේ පැත්තෙ.
Deleteහුටා..අපි ඒ දවස්වල සතියට වතාවක් නාන්න ගාටන ඉසව්වක්නේ.
Deleteඅපේ පැත්තේ නම් මේ විදියට හුගක් සංකිර්ණ චාරිත්‍ර නම් නෑ
ReplyDeleteගොඩක් මල ගෙවල් වල වැඩ කටයුතු කරන්නේ තරුණ පරපුර තමයි
මල බත වුනත් අල්ලපු ගෙදරක උයල මගුල් මේසයක් වගේ තමයි සැට් කරන්නේ.
මමත් ඔය වලවල් කීපයක්ම කපන්න සහබාගී වෙලා තියනවා. අපේ පැත්තේ නම් වල කපන්න පටන් ගන්නේ භුමිදානේ දවසට කලින් දවසේ රෑ.
රෑට මේ වැඩේ කනත්තේ කරන එක නම් අමුවෙන් කරන්න අමාරුයි ඉතින්.
අපේ පැත්තේ කිව්වේ දකුණේ ,,,
නොදන්නා දෙයක් දැනගත්තා හැලපයෝ...
මේ කතාව මම ඇහුවමයි සුජියො,මම ගියා දික්වැල්ල හරියෙ මළගෙදරකට මීට අවුරුදු දෙකකට විතර කලින්, ගෙටම පැත්තකින් හදාපු මඩුවක තමා අපිට කන්න දුන්නෙ,උයන්නෙත් එතනමයි
Delete//ඔය අපේ අලවත්තෙ කනත්ත තියෙනව නේද..හරිම ෂෝක් පස නිකං පිටි වාගෙ..වලක් කපන්න උදැල්ලක් ඕනැ නෑ මන්නයක් තිබුණොත් ඇති.//
ReplyDeleteයකෝ වලට අයිසින්දාලා තියන විදිහට මැරිලා ඒකේ බුදියන්ඩ හිතෙනවා,
අනේ හැලපයියේ මේ ලියන එව්වා තව මොනවා හරි ක්‍රමයකින් තවත් තැනක ආරක්සා කොරන්ඩ.
උඹ අතින් මේ ලියවෙන්නේ ඇත්තටම ජීවිතය වින්ද මිනිස්සුන්ගේ අවසන් පරම්පරාවේ කතන්දරය.
හැත්තැව දශකය අගබාගේ ඉපදිච්ච අපිටත් ඔය වාසනාව යාන්තමට තිබුනා උනාට ඒ අත්දැකිම් සම්පුර්ණ නැ.
දවසක් මම බයික් එකේ යනකොට පාරට රට අඹ ගෙඩියක් වැටුනා. ලැජ්ජාව පැත්තක තියලා හරවගන ගිහින් අහුලගන ආවා අඹ ගෙඩිය.ගෙනල්ලා දුන්නා අපේ ලොක්කිට. කෙල්ල අඹ ඇටයේ එක කෙන්දක් නැතිවෙන්න උලා කාලා
අඹ ඇටය අරගන ගිහින් මල් පෝච්චියක වැලලුවා
''තාත්තේ වෙනදට ගේන එවා එපා මේ අඹ ජාතියම ගේන්න''
දැන් දරුවෝ අපි සල්ලි දීලා ගෙනත් දෙන වහ ටිකක් කාලා ඔහේ ජීවත්වෙනවා
උන්ගේ ජීවිත මෙලෝ රහක් නැ
අඹ ගැනනං කතා කරන්න එපා අටමෝ... පහු ගිය කාලේනං හක්කේ රිඹ යනකල් වැඩ පොලේ අඹ ගස්වල ගහේ ඉඳුන අඹ කාලා කාලා සනීපෙන් හිටියා... දැන් මං මාකට් එකේ තියෙන අඹ වලට ඉව අල්ල අල්ල යනවා අර ඉඳුන අඹ සුවද හොයන්න..තුක් නොදකින් ඔක්කෝම මහ වහතු ගඳයි... එකක් නැහැ හරි හමන් සුවඳට ඉඳුන ඒවා.. අනේ මංදා මෙහෙ ලොකු නෝනලා මහත්තුරු සල්ලි ගෙව ගෙව ඒ අඹ උස්සං යනවා.. කොහොම කනවද කියලා දෙයියෝ තමා දන්නේ... අඹ ගෙඩියේ නැට්ට මුල දැක්කම සංසාරේ කලකිරෙනවා.. අඹවරලා දුක දීලා කඩපු අඹ... පැහිලා හෝ ඉදිලා කඩන අඹවල නැට්ට මුල එහෙම වකූර් වෙන්නේ නැහැනේ... සනිපෙට වෙන් වෙලා එනවනේ.. නොදකින් මේ කොළඹ අඹ...
Deleteඅටම්ගෙ කතාවෙන් ඇවිස්සුනු මාරය ඔන්න අඹ ගැන අපූරු පෝස්ට් එකක් දාල තියෙනව.
Deleteඒ කතාවෙන් මගෙත් අඹ මතකය අවදිවුණා,හැබෑටම පෝස්ට් එකක් දාන්න තරම් අඹකතා අපට තියෙනව නේද කියල හිතුන ඒක කියෙව්වාම.
කොහොම උනත් අර වැලේ කට්ටියට මුලින් සංග්‍රහ කිරීම වගේ දේවල් හරිම හොඳ මනුස්ස කම් අනේ කරුඑම්ට අපේ පැතිවල ඔය වගේ දේවල් නැහැනේ. යකෝ ඒ වගේ පැත්තක මැරෙන්නත් ආසයි.
ReplyDelete