Wednesday, May 18, 2016

කොහු අඹ ගහ උඩ ශ්‍රීපාදය වෙසක් දන්සැල් සහ ස්ථිර නිවේදකයා.



අපේ ගම අහළ පහළ ගං හතක පමණක් නොව  ඒ කාලේ අපි කිව්ව හැටියට මුළු ඒරියල් එකේම මහ ඉහලින් ප්‍රසිද්ධ වෙන්නට හේතු කාරණා වුනේ පසුකාලීනව අප විසින් ඉදි කරන ලද මහා පරිමාණයේ වෙසක් සැරසිලිය.    පසුකාලීනව කිව්වේ මුල් කාලයේ අප ඉදිකළේ කුඩා පරිමාණ වෙසක් සැරසිලි නිසාය.    අපි වෙසක් සැරසිලි ඉදිකරන්නට පටන් ගත් කාලයේ ටියුබ් බල්බ් වලින් බුදු රැස් වළල්ලක් කරකැවීම සහ ඊට සමගාමීව අලවත්තෙන් හොරෙන් කඩපු අන්නාසි කපා දන්සැලක් දීම, සුද්දලගේ අද ඔය තියෙන කුලී ගේ හදන්න ගත්ත දවස්වල ඒ ගෙපොල උඩ පිරිනිවන් මංචකය ඉදිකර සෝමපාල මහත්තයට කියා ජාතක පොතේ ඇති අදාළ අවස්ථාව එතන සිට ගායනා කරවා සතියක් ප්‍රදර්ශනය කිරීම ආදී දේවල් වූ අතර මා මීට පෙර ඒ ගැන ලියා ඇති බව මතකය.    එවැනි කුඩා ප්‍රමාණයේ වෙසක් සැරසිලි සාර්ථකව ඉදිකර තරමක ප්‍රසිද්ධියක් ලත් අපේ ගමේ තරුණ පිරිස ඊළඟ අවුරුද්දේ  මහා පරිමාණයේ වෙසක් සැරසිල්ලක් ඉදිකරන්නට අර ඇඳගෙන හිටියෙ කලින් අවුරුද්දේ සිටමය.   ඒ සඳහා තරුණයන් කීප දෙනෙකුට උත්තේජනය වී තිබුණේ ඒ අවුරුද්දේ වෙසක් බලන්නට ගිය ගමනකදී දුටු ශ්‍රීපාද ආකෘතියකි.

ඒ ශ්‍රීපාද ආකෘතිය එපමණ විශාල එකක් නොව කුඩා එකක්වූ අතර එයට නගින්නට පහසුකම්ද නොවීය.   අපේ අය කිව්වේ ඒ ශ්‍රීපාදයම  විශාලව සහ ශක්තිමත්ව ඉදිකළහොත් සෙනග නැග්ගවීමට හැකි බවය.   කරන්න යනදේ ගැන අදහසක් පමණක් ඇතිව අපි සමිතියක්ද පිහිටුවා ගත්තෙමු.   ඊළඟට ශ්‍රීපාදය ඉදිකරන තැන නිශ්චය කරගෙන සැලැස්ම සකසා ගත යුතුවිය.   ඉදිකරන ස්ථානය අත ලඟම තිබුණි ඒ ඩේවිට් අයියාගේ වත්ත මායිමේ තිබුණු දැවැන්ත කොහු අඹ ගසය.   සැලැස්ම වුයේ පොඩි මහින්දලගේ කඩේ ලඟින් ආරම්භවන ශ්‍රීපාදය එතැන් සිට ඉහළට නැග කොහු අඹ ගහ මුදුනේ පිහිටුවන ශ්‍රීපාද පත්මය ලඟින් පහළට බැසීම අරඹා ඩබල් ක්‍රිස්තියන් කුලියට හිටපු ගේ මිදුලෙන් බිමට බැස්සවීමයි.    තැපැල් කන්තෝරුවේ වැඩකළ අපේ ගමේ කුලියට හිටපු ගමගේට ඩබල් ක්‍රිස්තියන් කිව්වේ අක්කයි නංගියි දෙන්නා සමගම පවුල් කාපු නිසාය.   ඉතිං ඔය ආකාරයට සැලැස්ම සකස් කරගෙන මුලික කටයුතු ආරම්භ කළත් විශාල ව්‍යාපෘතියක් වන ශ්‍රීපාද ආකෘතියක් සහ ඊට අදාළ මඩු කුඩම් ඉදිකිරීමට මුලික වශයෙන් පුවක් කොටද  ලණුද ලෑලිද පොල්ලතුද ආදී වශයෙන් මෙකී නොකී දහසක් දේ අවශ්‍ය වූ අතර අපේ කණ්ඩායම සතුව අරමුදලක් නොවීය.   කළින් අවුරුදුවල කරපු වෙසක් සැරසිළි වලදී ආරාධිත අමුත්තන් විසින් දෙනලද මුදල්ද ඩබල් ක්‍රිස්තියන් ගසාකාලාය.   අපි අතෙත් එහෙමකට ඉතිරිකරපු මුදලක් නොවූ අතර අතේ මුදල් තිබුණු කීපදෙනාගේ  මුදල් යොදවා වැඩේ ආරම්භ කළෙමු.

උඩුගම පැත්තේ ජයටම අතුරක්  කරපු නිළමේ අපේ කණ්ඩායමේ සිටීම කොල්ලන්ට මහත්ම ශක්තියක් විය.   නිළමේ කාසි කාරයෙකි පවුල් බරක්ද නැත අවශ්‍ය අරමුදල් සපයන්නට නිළමේ කරගහපු නිසා හිතේ සතුටින් වැඩේ පටන් ගෙන කරගෙන ගියෙමු.    ශ්‍රීපාදය ඉදිකිරීමේදී විශාල වශයෙන් ශ්‍රමය අවශ්‍ය විය කණ්ඩායමේ සිටි කොල්ලන් බොහෝ දෙනෙක් එවකට රැකියා නැතුව සිටි නිසා බොහෝ වැඩ කටයුතු සිදුවුනේ ඔවුන්ගේ ශ්‍රමයෙනි.   එවකටද මම රැකියාවක් කල නිසා මම කළේ ශ්‍රීපාදය ඉදිකරන තැන බලන්නට රාත්‍රියේ යාමයි.   ඊට අමතරව සති අන්ත වල දවසේම ශ්‍රීපාද වැඩබිමේ ගතකළෙමි.   මා බොහෝදුරට කළේ වැඩබිමේ වැඩකරන අයට වෙලාවට තේ ටික කෑම ටික පොඩි උනුත් හවුල් කරගෙන සපයා දීමයි.    ඊට අමතරව අහළ පහළ ගෙවල් දෙක තුනකින් වැඩ කරන අයට කන්න බොන්න දීම නිසා ගමේ ගෙවල් හැම එකකින්ම පාහේ දින වෙන්කරගෙන වැඩබිමට කෑම සහ තේ සපයන්නට වීම වැඩ කරන අයට මහත් පහසුවක් විය.   අරමුදල් ප්‍රශ්නයක් නොවුයෙන් අවශ්‍ය බඩු වෙලාවට ලැබෙන්නට වූ නිසා  දැන් ශ්‍රීපාද ආකෘතියේ වැඩ පිමි පනිමින් ඉදිරියට යයි.   මුලිකවම සැකිල්ල ඉදිකර අවසන්ව දැන් කෙරෙන්නේ නිමහම් කටයුතුය.  ශ්‍රීපාදයට නගින්නට ආරම්භ කරන තැනට ආසන්නව තවත් මඩුවක් ඉදිකළේ කාර්යාලය හැටියටය.   කාර්යාලය තිබුණේ ටිකට් කඩන්නටත් ස්පීකර් කාරයාටත්  ආධාර දෙන අයට කවි කියන කවියාටත් නිවේදන කටයුතු කරන නිවේදකයාටත් රැඳී සිටින්නටය.   ශ්‍රීපාද ආකෘතිය ප්‍රදර්ශනය කරන කාලයේදී එහි ස්ථිර නිවේදකයා සහ ප්‍රචාරක නිලධාරියා ලෙස කොහු අඹ ගහ මුදුනේ සිටම කට්ටිය මාව තෝරාගෙන තිබුණේ ඊට කලින් එල්ලේ මැච් වල නිවේදන කටයුතු කර හුරුවක් තිබුණ නිසා වාගේම ඒ වැඩේ කරන්නට වෙන කෙනෙක් ගමෙන් හොයාගන්නට නැතිවීම නිසාය.

ප්‍රචාරක කටයුතු කීවිට මුලින්ම කරන්නට  වුනේ හොඳ විශ්වාසදායක තැනකින් ස්පීකර් සැට් එකක් හොයාගෙන කලින්ම ඇඩ්වාන්ස් ලබාදීමයි.    මන්දයත් වෙසක් ලං ලං වෙත්ම අහළ පහළ කුලියට දෙන ස්පීකර් හැම එකකටම වැඩ ලැබෙන නිසා ස්පීකර් සැට් එකක් හොයාගන්නට අපහසු වීම නිසායි.    ඊළඟට අවශ්‍ය වන්නේ ශබ්දවාහිනී යන්ත්‍රය සඳහා බලපත්‍රය හෙවත් ස්පීකර් පෝමිට් එක ලබාගැනීමයි.   ඒ සඳහා ස්පීකර් කාරයාගෙන්ද ස්පීකරය හයිකරන ඉඩමේ අයිතිකාරයාගෙන්ද  අවසරය ලිපි මගින් ලබාගෙන ග්‍රාමසේවකගේ නිර්දේශය සහිතව ඉල්ලුම් පත්‍රය පොලීසියට ඉදිරිපත් කරන්නට සිදුවේ.   ඉන්පසුව පෝමිට් එක තැපෑලෙන් ලැබේ.    අපි අවුරුද්දට කරන බක්මහ උළෙලට ස්පීකර් පෝමිට් ඉල්ලුවිට එය ලැබෙන්නේ බක්මහ උළෙල අවසන්වී සතියක් පමණ කල් ගතවී නිසා මේ අවසරය අපි කල් ඇතුවම  ලබාගන්නට උත්සාහ කළේ ප්‍රචාරණය සඳහා යන්නට සුදානම්වූ විට ස්පීකර් පෝමිට් නැත්නම් ස්පීකර් කාරයා වාහනයට නගින්නට අදිමදි කරන නිසාය.    අවසර නැතුව ස්පීකර් පාවිච්චි කළොත් නඩු දමා ස්පීකර් රාජසන්තක කරන්නට පොලිසියට හැකි නිසා ස්පීකර් කාරයන් පෝමිට් නැතුව යන්නට බයය.   දැන් අය නම් ස්පීකර් පෝමිට් ගන්න අවශ්‍යය කියා දන්නෙත් නැතුව ඇති  කියා හිතෙන්නේ රට පුරා හැම තැනම පන්සල්වලද බෝ ගස් වලද උදේටද හවසටද කිසිම විචාරයක් නැතිව මහ හඬින් ප්‍රචාරය වන පන්සිල් සෙත් පිරිත් මතු නොව පැය ගණන් ප්‍රචාරය වන බණද  ඇසෙද්දීය.   ඇහෙනවිට ගෙවල්වල වැඩක්වත් කරගන්නට බැරි මහ කන්කරච්චලයක් වන ඒවාට පෝමිට් ගන්නවා නම් ඒ අයට තුන්සිය හැටපස් දවසේම පෝමිට් ඉල්ලමින් පොලීසිවල යන්නට සිදුවේ.

වෙසක් හෙවත් මැයි මාසය ආරම්භවන විට ශ්‍රීපාදය ඉදීකිරීම අවසන් අදියරට ඇවිල්ලාය හදන්නට මුල්වී කටයුතු කරන උදවිය වැඩවලින් හෙම්බත්වී සිටිති.    මේ වගේ බර වැඩ තියන තැනක ඉන්න කොල්ලන් වැඩ කටයුතු කරන්නේ විවිධාකරයකටය.    ආරම්භයේ සිටම වැඩේට මුල්වී කරගහගෙන වැඩකරපු උන් ඉවරවෙනතුරු එක දිගටම වැඩකරති.    සමහරු වැඩ කරන බව පෙන්නුවත් කරන වැඩක් නැත.    සමහරු එන්නේ වැඩකරන තැනට ගේන කෑම බීම සප්පායම් වී කයිය ගහන්නටය.   ඔය වගේ විවිධාකාර අය එක්කහු කරගෙන වැඩක් කරන්නට ලේසි නැත සමහර වෙලාවට බහින්බස් වීම්ය සමහර වෙලාවට ගෝරිය ඔව්වා සමාදාන කරන්නටත් සිදුවේ.   වැඩ කරන තැන හිටපු උන් මගෙන් බර වැඩ බලාපොරොත්තු නූනත් හැකි හැම වෙලාවකම මමත් ගිහිං ඒ අයගේ වැඩට උදව් කෙරුවෙමි.   දැන් අපි හදපු ශ්‍රීපාද ආකෘතිය බලන්න ලස්සනය සිරිපතුලකුත් හදා අඹගහ මුදුනේ පිහිටෙව්වෙමු.    ශ්‍රීපාදේ නගින අයට පහළ නොපෙනෙන්නට බට වැටියෙන් බට ගාල් කපා ගෙනවුත් නගින පඩිපෙළ දෙපැත්තේ ගසා ලස්සන කළෙමු හේරත් අයියා හිටපු කුලීගේ ළඟ බටයකින් වතුර ගෙනැත් කොල්ලන් සීත ගඟුලක්ද නිර්මාණය කලෝය.

දැන් මගේ වැඩ කොටස ළංවී ගෙන එයි, අපේ ශ්‍රීපාදය ගැන කපිලට කියා අතින් ලියවපු පෝස්ටර් ටවුම හැමතැනමත් අහළ පහළ ගම්වලත් අලවා ඉවරය.   ටවුමේ පල්ලිය ළඟ සහ අපේ පාරට හැරෙන ගල් බෝක්කුව ළඟ පාර හරහට ලොකු බැනර් දෙකක් ඇදලා ඇත.    ඊට අමතරව ශ්‍රීපාදයට යන පාර කියා ඊතල ගසා ඇත.   අපේ පළාත වටේටම ශ්‍රීපාද ආකෘතිය ගැන පණිවිඩය දෙන්නට ස්පීකරයකුත් වාහනේ බැඳගෙන ප්‍රචාරය කරන්නට සිදුවේ.   ඒ වැඩේ තියෙන්නේ වෙසක් දවසේ දවල්ටය ත්‍රීවීල් නැති ඒ කාලේ වැඩේට වෑන් එකක් කුලියට ගන්නට සිදුවේ අදනම් ත්‍රීවීල් එකේ හෝන් දෙක සවිකර නිවේදනය පටිගත කර එය ප්‍රචාරය වෙන්නට සලස්වා හැම තැනම ගියත් ඒ කාලේ ප්‍රචාරයට බොහෝ දුක් විඳින්නට සිදුවිය.   උදේ දහයමාරට එකොළහට විතර ප්‍රචාරය යන්නට වාහනේ පොඩි මහින්දලගෙ කඩේ ලඟට පැමිණෙයි.   වාහනේ යන්නේ එනවුන්ස් කරන මමත් ස්පීකර් කාරයාත්ය.   ස්පීකර් කාරයා ටවුමෙන් නග්ගා ගත යුතුය ඊට අමතරව අත් පත්‍රිකා බෙදන්නට පොඩි උන් කීප දෙනෙක් අරගෙන යන්නට ලෑස්ති කරගෙන සිටියෙමි උන් ටික කියන දේ අහන කීකරු කොටින්ම කිව්වොත් මට කඩේ ගිය කොල්ලන්ය.    ඒ උනාට වාහනේ ඇවිත් නවත්තපු පරක්කුවෙන් එතන හිටපු කොල්ලො කුරුට්ටො පැටිපස් පරාණ ටික ඔක්කොම වාහනේට ගොඩවෙලා හමාරය ස්පීකර් බඩු ටික දාගන්න තියා මටවත් නැගගන්නට ඉඩක් ඉතුරුවී නැත.   මම බිම ඉන්න අතර කොල්ලො ටික වාහනේට වී අයින් වලට මරා ගනිති ශ්‍රීපාද වැඩබිමේ මුලිකයා වූ නිලමේ ඔන්න ඔය වෙලාවේ එතනට ආවේ අපි ප්‍රචාරයට පිටත්වෙන හැටි බලන්නටය වාහනේ පුරා කොලු කුරුට්ටන් පිරී ඉඳිනු දුටු නිළමයාට යක්ෂයා ආරූඨ විය.

බැහැපියව් බැහැපියව් ඔක්කොම,තොපි කොහෙ මඟුලෙ යන්නද...

නිළමේ වාහනේ පිරී හිටපු කොල්ලො ටික ඔක්කොම බිමට බැස්සුවේය.   ඊට පසුව මට අවශ්‍ය වන කීපදෙනා පමණක් නග්ගාගෙන යන්නට ලෑස්ති උනෙමි.    ඒ අව් අස්සේ එකෙක් අඬ අඬා ගිහිං උන්ගෙ අම්මාට නඩුව කියලාය අම්මා කොල්ලාද එක්කරගෙන දුවං ආවේ  නිලමේත් එක්ක ඩීල් එකක් දාගන්නටය.

අනේ මල්ලියෙ මූත් ඔන්නොහේ ගියදෙන් පොඩි එකාගෙ ආසාව නොවැ...

කොල්ලගෙ අම්මා අපේ වැඩේට බොහෝ උදව් පදව් ඇති කාන්තාවක් වු නිසා නිළමේ මොකුත් කීවේ නැත.   කොල්ලා වාහනේට නැගගත් පසු නිළමේ මට කීවේ තවත් කුණු කොන්ත්‍රාත් එන්නට කලින් ඉක්මනට පිටත් වෙන්නට කියලාය.   ඒ කාලයේ ලඟපාත මොනම දන්සැලක්වත් තිබුනේ නැත තිබහට බීම බෝතලයක් සිගරැට් එකක් බිව්වත් ඒ අතින් වියදම් කරගෙනය.   දැන් නං තුංමං හංදියෙන් පිටත්වී ටවුමට යන ටිකට  දන්සැල් හතර පහක් නොවැරදීම හමුවේ.     දවල් දවසට වැඩියත්ම තියෙන්නේ මහා සිසිල් පැන් දන්සැල්ය.  ගමේත් අහල පහළත් ගෙවල්වලින් මුදල් සම්මාදම් කර ඇල්වතුර පාටකර සීනි ටිකක්  දියකර ගත්විට සිසිල් පැන් සාදාගත හැක.  තැලිච්ච අන්නාසි ගෙඩි තුන හතරක් පොඩියට කපා ඒ උඩට ඉහගන්නට තියේ නම් වඩාත් ලස්සනය.   මහා අයිස්ක්‍රීම් දන්සැල්ද තිබුණත් ඒ බොහොම අඩුවෙනි අයිස්ක්‍රීම් කඩෙන් සල්ලිවලට ගතයුතු නිසා වියදම වැඩිය.   ඊට අමතරව මහා බිස්කට් දන්සැල් ද මහා මයියොක්කා දන්සැල්ද කඩල දන්සැල්ද දවාලට වැඩිවශයෙන් දකින්නට ඇත.   රෑ වෙද්දී  මහා දන්සැල් ගාන තවත් ඉහළ යයි බත් දන්සැල්ද කහබත් දන්සැල්ද ප්‍රයිඩ් රයිස් දන්සැල්ද නුඩ්ල්ස් දන්සැල්ද ආදී වශයෙන් දන්සැල්ද හැමතැනමය.    මීට ටික කලකට කලින් වත්තේ ආරිලෑ අම්මා ගේ ඉස්සරහ අවුරුදු පතා පාන් සහ සීනි සම්බෝල දන්සැලක් දුන්නේ ආරිලගේ මැරිච්ච මල්ලිට පිං පිණිසය ඒ කතාවට මගේද යම් සම්බන්ධ කමක් තියෙන නිසා ඒ ගැන වෙනම ලියමි.

ටවුමට ගිහිං ඉස්පීකර් කාරයත් පටවාගෙන ප්‍රචාරය ආරම්භ කළෙමි.   ඉස් ඉස්සෙල්ලම උනේ මෙහෙම දෙයකි සෙනග ගැවසෙන හරියකදී ප්‍රචාරය පටන් ගන්නට හිතාගෙන සිංදුවක් දාගෙන යමු කියා ස්පීකර් කාරයාට කියපු විට ඔහු  කිව්වේ ළඟ තියෙන්නේ රැකෝඩ් ප්ලේයර් එකක් නිසා වාහනේ දුවන විට සිංදු දාන්නට බැරිය කියාය මන්ද එවිට තැටියෙන් කට්ට පනින බැවිනි ඒ නිසා වාහනේ නවත්වා සිංදු දාන්නට සිදුවිය.   පෙන්නන්නේ සිරීපාදෙ නිසා අපි දැම්මෙ සිරීපාදෙ ගැන කියවෙන සිංදුය.

සකල සතම බොදු බෙතියෙන් 
නමදින දුර හෙර හැම බේදේ 
සුගත තථාගත ලෝක තිවංකර 
සම්බුදු සිරිපාදේ...

මග නවත්වා සිංදුව දාන විට කොලු කුරුට්ටන් දුවගෙන එන අතර කාන්තාවන් ජනෙල් දොරවල් වලින් ඔලුව දමා බලති.   සිංදුවත් ඒ දවස්වල නැගලම යන එකකි දැන් සිංදුව නවත්වා කතා කරන්නට වෙලාවයි.

ටොක් ටොක් ටොක් ආයුබෝවන් මේ ඔබ අමතන්නේ .......... ......... රන්තරු තරුණ සංගමයේ ප්‍රචාරක අංශයයි.   රන්තරු තරුණ සංගමය ප්‍රථම වරට අභිමානයෙන් ඉදිරිපත් කරන මහා ශ්‍රීපාද ආකෘතිය මේ මස 12 වන දින එනම් අද සිට...

මම කියාගෙන යමි, නිවේදනය අවසන්වූ විට ආයෙම සිංදුවය.   ඒ අතරේ පොඩි උන් අත් පත්‍රිකා බෙදති.   කොහොමත් ප්‍රචාරය කරගෙන රවුම ගිහිං අවසන්වන විට හොඳ ගණන්ය.   ගෙදර ගිහිං නාගෙන එහෙම හොඳ ඇඳුමක් ඇඳගෙන ආපහු ශ්‍රීපාදයට හවස හය වෙද්දී වාර්තා කල යුත්තේ ශ්‍රීපාද ආකෘතිය ප්‍රදර්ශනය ආරම්භ වන උත්සව සභාව මෙහෙයවීමට ඇති නිසාවෙනි.     උත්සව සභාවට පන්සලේ ලොකු හාමුදුරුවන්,ගමේ ප්‍රභූවරු පොලිසියේ ස්ථානාධිපති තුමා ආදී වැදගත් උදවියට පැමිණෙන්නට කියා ආරාධනා කර ඇත.   හවස හතරේ ඉඳන් ගමේ මිනිස්සු පවුල් පිටින් එතනට ඇවිත් කට ඇරගෙන බලා සිටිති.   ඒ මදිවට ගමේ අය පිට ගම්වල ඉන්න ඥාතීන්ටත් ලියුම් යවා ශ්‍රීපාදය ගැන දන්වලාය.  

තිසරණ සරණයි,

ආදරණීයපොඩි මල්ලි වෙත ලියා දන්වන වගනම් බොහෝ කාලෙකින් නුඹලාගේ සැප දුක් දැනගන්නට නොලැබීම ගැන කණගාටුවෙමි.  හදිස්සියෙන් මේ ලියමන ලියන්නේ වෙසක් එකට අපේ ගමේ හදල තියෙන සිරීපාදය ගැන දැනුම් දෙන්නටය. මල්ලියේ උඹ ඇතුලු පවුල හැන්දෑවක මෙහෙ ආවොත් රාත්‍රියේ සිරීපාදෙ බලා අපේ ගෙදර නැවතී පහුවදා යන්නට පුලුවනිය. උඹලා පැමිණෙනවා නම් අපේ ගෙදර උදවියත් බොහෝසතුටුය.  එන නොඑන වග හැරෙන තැපෑලෙන් දන්වන්ඩය.

සැපවේවා 
මීට ආදරණීය ලොකු අයියා වන 
පී.අරනෝලිස්

කවුරු ආවත් මම නැතුව වැඩේ පටන්ගන්නට බැරි වෙන එකෙකුටවත් මයික් එකට කතා කරන්නට බැරි නිසාය.    කවුරුහරි හිත දැඩි කරගෙන මයික් එක අතට ගත්තත් කතා කරන්නට යනවිට ගොත ගැසේ.    පසු කාලීනව මම කොල්ලන් කීප දෙනෙකුගේම බය ඇර හොඳට කතාකරන්නට පුළුවන් තත්වයට පත්කළෙමි

ප.ලි.
මේ ලංකාවේ වෙසක් නොදැක මා ගෙවන පස්වන අවුරුද්දයි.  වෙසක් උත්සවයේදී බොහෝ ක්‍රියාකාරීව සිටි පුද්ගලයෙකු වූ මාහට මෙසේ නිකම් උඩ බලාගෙන සිටීමට සිදුවීම සිතට දනවන්නේ මහත් ශෝකයකි. මෙය  ඒ ශෝකය නිසා ලියැවුණු මතක සටහනකි.


දිග වැඩිවන නිසා තව කොටසකට යමු.

70 comments:

  1. මේක කලින් ලියපු පෝස්ට් එකක් නේද ? කියවල තියනව වගේ මතක

    ReplyDelete
    Replies
    1. මේක ම නොවුණත්, මේ සිරීපාදේ හැදීම ගැන ලියවිල්ලක් මා ද කියවා ඇත!

      Delete
    2. /* පොඩි මහින්දලගෙ කඩේ ඉස්සරහ පාර ලඟින් පඩිපෙළ පටන් අරං හේරත් අයියල ඒ දවස්වල පදිංචිවෙල හිටපු පොඩි මහින්දලගෙ කුලී ගේ ළඟ සීත ගඟුල හදල එතනින් කෙලින්ම ලොකු ගස් අල්ලල ටිකක් දුර දකුණටයි වමටයි ගෙනිහින් හා ඩේවිට්ලගෙ වත්තෙ ඉමේ තියෙන මහ පත කොහු අඹ ගහ මුදුනෙ සිරිපාද පත්මේ පිහිටෝල ඊට පස්සෙ ඇඩ්ඩිංලගෙ වත්තෙ ගස් උඩින් පහළට බැහිල්ල පටන් අරං ඩබල් ක්‍රිස්තියන්ගෙ කුලී ගෙයි මිදුලෙන් ආපහු පාරට වැටෙනවා,ඔන්න ඔය පැලෑන කට්ටිය ඒකඡන්දයෙන් අනුමත කරගෙන නැකතක් බලල කිරිබත් කාල එහෙම වැඩේ මුලිකය වෙච්ච නිළමෙගෙ ප්‍රධානත්වයෙන් සිරීපාදෙ ඉදිකරන්න වැඩ කටයුතු පටන් ගත්තා...*/

      http://helapakade.blogspot.com/2014/05/130.html

      Delete
    3. හොඳ වෙලාවට ඩේ ජා වූ නෙමෙයි...

      Delete
    4. මේ රසික එක්ක බැහැනේ වැඩක් කොරන්න අප්පා . අලුතෙන් එකතුවන පාඨක ජනයා පිණිස.

      Delete
    5. කලින් ලියපු කතාවක් තමයි නමුත් මේ නොලියවුණු හරිය.

      Delete
    6. රසික,
      මේ සිරීපාදෙම තමා වැඩි විස්තර සහිතව ලිව්වා.

      Delete
    7. ගස්,
      හොඳ වෙලාවට එහෙම එකක් නොවෙයි.

      Delete
    8. අජිත්,
      රසිකත් එක්ක බෑ නේන්නං,අලුතෙන් එකතුවෙන පාඨකයන්ට දැනගන්න ලියනව කියල රසික හිතන්නෙ නෑනෙ.

      Delete
  2. හැලපෙ අයියෙ, මේ දවස් වල මහා ගං වතුර ඒක හින්ද මහා දන්සැල් ඇඩ්වාන්ස් කරල දැන් දෙනව. සිසිල් පැන් නම් දෙයියො අඩු නැතිව උදේ හවා දෙනව .

    ReplyDelete
    Replies
    1. දන්සැල් අපිත් ටී වී එකේ නං දකිනවා.සිසිල් පැන්වලට මේ වෙසක් එකේ ඉල්ලුමක් නැතිවේවි.

      Delete
  3. කලිනුත් ශ්‍රීපාදයක් හැදුව නේද?

    ReplyDelete
    Replies
    1. එක්කෝ 1978 ඉඳලා අවුරුදු දෙක තුනක් සිරීපාදේ හදන්න ඇති, නැතිනම් අරූට වගේ (මූටත්?) අවුල් වෙලා!

      ;-)

      http://helapakade.blogspot.com/2014/05/130.html

      Delete
    2. ඒක හැදුවෙ ගිය ආණ්ඩුවෙන්, අලුත් එක ආවට පස්සෙ අරක කඩල අලුතෙන් එකක් හදනව. හැක්..

      Delete
    3. හැලපෙ අයියේ.....මෙන්න මූ අපිට අරූ, මූ කියලා කතාකරනවා

      Delete
    4. අරූ ණ දැන් ලියන්නෙ නැතිවා පමණක් නොව ට්‍රේඩ් මාර්ක් එකත් repudiate කරනව වගේ

      Delete
    5. ප්‍රා....මම තාමත් ආසයි අරූ කියනවට :D
      අරූගේ අඩවිය වර්ඩ්ප්‍රෙස් එකවුන්ට් එකෙන් මට ලොග්වෙන්න බැහැ මොකක්ද වෙලා.

      Delete
    6. රාජ්,
      එකක් නෙවෙයි බං දෙකක් හැදුවා.

      Delete
    7. ප්‍රා,අරූ
      නරකද අරූ අලුත්ම බ්ලොගක් පටන් ගත්ත නං.

      Delete
    8. ප්‍රසා,
      ආණ්ඩුවෙන් ගම්උදාවල්වල හැදුවෙත් අපි හැදුවට පස්සෙ.

      Delete
  4. දැන් මේ වගේ වැඩ ගොඩක් අඩුයි.. අපූරු සටහන.. ඊලඟ කොටසත් ඉක්මනින් දාන්නකෝ එහෙනම්..

    ReplyDelete
    Replies
    1. හොඳයි හොඳයි ඉක්මනින් දාන්නං.

      Delete
  5. මොකක්ද බං දිල. පොල් ලෙලි කෑල්ලක් මුදට දාලා වැඩියිද කියල අහනවා වගේ නේ.. මාත් ඔය වගේ වැඩ වලදි උපදෙස් දෙන්න තමා ඉන්නේ. ලී කැල්ලක් එහාට මෙහාට කරන්නවත් යන්නෑ. හැක්

    ReplyDelete
    Replies
    1. හැක්.. මේ කොමෙන්ට් එකෙන්ම උඹෙන් උපදෙස් ගත්ත එවුවන්ට වෙච්ච දේ හිතාගත්තැකි ඉඳං.

      Delete
    2. උඹ වාගේම තමයි මාත්.ඔහෙ කැරකි කැරකි හිටියට වැඩක් කරන්නෙ නෑ.

      Delete
  6. සිරීපාදෙ කතාවනං ඉස්සෙල්ල පාරකුත් කියවා ඇති බව මතකය. ඒත් ඉතිං කමක් නැතිය. දෙපාරක් කියෙවුවාය කියා වැඩියක් නැතිය.
    මමනං ඔයවගේ සිරීපාදයක් දැකල, නැගල තියෙන්නෙ ඇඹිලිපිටියෙ ගම්උදාවෙ තිබ්බ එකේ තමයි.
    උඹලත් අර සිරාගෙ සෙට් එක වගේ සිරීපාදෙ ඇතුලෙ සෙට් උනේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ අපි එව්වට එච්චර එලෙව්වෙ නෑ බං.තේ කහට බිබී වැඩකළේ.

      Delete
  7. ||කොල්ලගෙ අම්මා අපේ වැඩේට බොහෝ උදව් පදව් ඇති කාන්තාවක් වු නිසා නිළමේ මොකුත් කීවේ නැත. //

    බුද්ධාලම්භන ප්‍රීතිය කෙසේ වෙතත් අකුසල් හිතකට දැනුනේ ඔන්න ඔය ට්ක වෙච්චි...!

    හැලපේ...ලංකාවෙ වෙසක් නොදැක්කට මස්කට් දන්සැලයි, එමබ්සි පන්සලේ පිංකමයි ඔහේට ඉතින් තියෙනවනේ....ඒකෙත් ඔහේද අනව්න්සර් ජොබ් එක කරන්නේ..?

    ReplyDelete
    Replies
    1. මගේ වගේම බොදු බැති සිතක් අනේ සාදු.......

      Delete
    2. මස්කට් වෙසකුත් මරු බං...අපි ඉස්සර බැහැගෙන කූඩු හදනවා ඔතන.

      Delete
    3. ෂිහ් අම්මප පව්කාරකමක මහත.පංසලේ දවස් අටට දන්සැල් අටයි.අනේ නෑ මම ඔය වැඩවලින් අයින් වෙලා ඉන්නෙ.

      Delete
    4. මැලේ,
      මම නොදන්නවයි බොගෙත් පව්කාරකම.

      Delete
    5. අරූ,
      මෙදා සැරේ උන් ඉස්කෝලෙ ළමයින්ට කියල කුඩු හදෝගත්ත බං.

      Delete
  8. ඔය අනවුන්සර් වැඩේ කරනකොට සිංදුවක් කියන්න ඉල්ලගෙන එන අය සෙට් වෙලා නැද්ද හැබෑට..? තව මයිකෙකෙන් කතා කරන්න කියල ඉල්ලගෙන කතා නොකර බලා....ගෙන ඉන්න අය එහෙම..? ඔය ඔක්කොටොම මයික් කටා බැනුම් අහන්න එපැයි.
    දිග වැඩියක් නම් නෑ අප්පා...
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අනේ ඒ ගැන මොකට කියනවද බං.මයික් හිඟන්නො ඉවරයක් නෑ.හොඳ වෙලාවට ඒ කාලෙ එෆ් එම් මයික් නොතිබුනේ. තිබ්බ නං මගෙ අතින් උදුරගෙන දුවනවා.

      Delete
  9. සිරිපාදය ..... වෙසක් අප්පේ මතකවෙනකොට ...... එන්න හිතයි දුවලා එක පිම්මේ...... මොනවා කරන්නද ඔන්න ඔහේ ටීවී එකෙන් බල බලා ඉන්නවා මේ අවුරුද්දෙත් ...........

    ReplyDelete
    Replies
    1. උඹටයි මටයි දෙන්නටම එකම සෙතේ.

      Delete
  10. ඔන්න වෙසක්!!!!!

    අපිත් හැදුවා බං පොසොන් එකට මිහින්තලයක්. මිහිඳු හාමුදුරුවෝ ගල අස්සෙන් තමයි මුදුනට වඩින්නේ. මුවා ගලවටේ දුවනවා..තිස්ස පස්සෙන් පන්නනවා. ඕක අපේ පොසොන් මහා කූඩු රාජයා වගේම ප්‍රසිද්ධයි. දෙල්කඳ හයිලෙවල් පාරෙන් වනාත පාරට හැරන තැනම වත්තේ හැදුවේ. දැන් ඒ තැන් යකඩ ගොඩවල් පුරවපු කොන්ක්‍රීට් වනාන්තර.

    මෝටර් එකක් හිරවෙලා එක පාරක් මිහිඳු හාමුදුරුවඟේ ඔලුව විතරක් ගල උඩට ආවා කඳ එන්නේ නැහැ. උස්සලා තමයි උඩට ගත්තේ.

    ReplyDelete
    Replies
    1. මුවා ගල වටේ දිව්වද ගල මුවා වටේ දිව්වද?

      Delete
    2. මුවා තිස්ස පස්සෙන් පන්නනවා.....

      Delete
    3. උඹ ඔහොම කියනකොට මට මතක් උනේ අපේ ටවුන් එකේ පංසලේ මිහිඳු පෙරහැර.මිහිඳු හාමුදුරුවො යන්නෙ පෙරහරේ අනිතිමට.සැරයක් ඔක්කොම ගියාට පස්සෙ රේල් ගේට්ටුව වැහුවා මිහිඳු හාමුදුරුවො ගේට්ටුව මෙහා පැත්තෙ හිරවුනා.ගේට්ටුව අරිද්දි පෙරහැරේ කෑල්ල ගොඩක් දුර ගිහිං.පෙරහැර අල්ලගන්න මිහිඳු හාමුදුරුවො වැඩ්ඩා වැඩිල්ලක් බං ඒකනෙ වැඩිල්ල.

      Delete
  11. //ඒ මදිවට ගමේ අය පිට ගම්වල ඉන්න ඥාතීන්ටත් ලියුම් යවා ශ්‍රීපාදය ගැන දන්වලාය. // සිරාවට. ඒ ලිපිය නම් මරු.

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ පරණ උදවිය ලිව්වෙ ඔය විදියටයි අජිත්.ඒ උනාට දැන් ඉන්න පොඩි අයට ලියුම් කියන්නෙ මොනාද කියල කියල දෙන්න වේවි.

      Delete
  12. Halapa frend this good post I say. Wesak is large celibrasion more than enauf all contry full. It no matter. But I think there tamil muslim cristiyan people living this contry and wen they no celibrate wesak we large clebrate is no good. Some times they take pain mind and think wrong. So one thing we can do not celibrate wesak large all full contry. Other thing we buddist people also celibrate hindu cristian muslim riligen fastiwal with they all.

    ReplyDelete
    Replies
    1. I think we oll mast selibret oll thri rilijan festiwal vithawut separeshan.

      Delete
  13. පෝස්ට් එක දිග වැඩි නැහැ හැලපේ...
    ඔය වගේ වැඩක් කරන්න පටන් ගත්තම තමයි තේරෙන්නේ කොච්චර අමාරු ගේමක්ද කියලා...

    ///දැන් අය නම් ස්පීකර් පෝමිට් ගන්න අවශ්‍යය කියා දන්නෙත් නැතුව ඇති කියා හිතෙන්නේ රට පුරා හැම තැනම පන්සල්වලද බෝ ගස් වලද උදේටද හවසටද කිසිම විචාරයක් නැතිව මහ හඬින් ප්‍රචාරය වන පන්සිල් සෙත් පිරිත් මතු නොව පැය ගණන් ප්‍රචාරය වන බණද ඇසෙද්දීය. ඇහෙනවිට ගෙවල්වල වැඩක්වත් කරගන්නට බැරි මහ කන්කරච්චලයක් වන ඒවාට පෝමිට් ගන්නවා නම් ඒ අයට තුන්සිය හැටපස් දවසේම පෝමිට් ඉල්ලමින් පොලීසිවල යන්නට සිදුවේ.///

    ඇයි බං අපේ උන් හැමදාම ගෙදර තියෙන මුව හමට විතරක් තලන්නේ, දවසට පස් වතාවක් අහවල් එක තැලිලා කෑ ගහනවා වගේ උඩු බුරන එවුන්ගේ හිරිහැරේ ගැන අපේ එවුන් කෙළ බිඳක් හෙලනවා මම දැකලම නැහැ...

    ReplyDelete
    Replies
    1. ලොකු පුතා සහජීවනේට බාධාකරන්න එපා.ටවුන් එකේම තියෙන පන්සලට පිරිත් දාන්න තහනම්.පල්ලියේ පස් වතාවක් නාද කරන්න පුළුවන්.අනෙත් පල්ලි වල ඉස්පීකර් වැල් ඇදගෙන යාතිකා කරන්න පුළුවන්.ඒවා වෙනම කතා.. පන්සලෙන් නම් සද්දෙ බෑ.හරිම ගෝත්‍රිකයි නෙ.. හා නැද්ද හොඳයි..?එච්චරයි.

      Delete
    2. මුව හමට තලනවා නෙවෙයි බං පස් වතාවක් කෑ ගැහුවට සැරේකට විනාඩි පහක්වත් උන් කෑ ගහන්නෙ නෑනෙ.මේව එහෙමද රබර් පටි වගේ පැය ගණන් ඇදෙනවා අනික එහෙම දැම්මෙත් අරුන්ගෙන් ගේම ඉල්ලලා නේද?

      Delete
    3. ලබ්බෝ,
      ඔව් බං ඇත්තම කිව්වොත් හරිම ගෝත්‍රිකයි විළි ලජ්ජාවෙ බෑ.

      Delete
    4. ඉස්සර පෝය දවසට හරි මොකක්හරි විශේෂ දවසක පිරිත් බණ වගේ යන එක දිනපතා මට්ටමට ගේන්න "පස් පාරේ" උන් හේතුවක් උනා තමයි...
      උන් ඔක්කොටම පල්ලි යන එක අනිවාර්ය නම් අනිත් ආගම් වල උන්ට ඇහෙන්න මොන මගුලට දවසට පස් වතාවක් ඕක දානවද මන්ද...
      අඩු ගානේ අහගෙන ඉන්න පුළුවන් එකක්නම් කමක් නැහැ...

      මම ඉස්සර DS එක ගාව බෝඩිමක හිටියා, එතන ඉස්සරහ ගෙදරක හැමදාම උදේට සෑහෙන වෙලාවක් භජන් ගීත දාල තියෙනවා, මම පුදුම ආසාවකින් අහගෙන ඉන්නේ. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ...
      හැබැයි අර "පස් පාර" නම් ඇහෙනකොට ඇඟේ මයිල් ඉස්මයිල් වෙනවා...

      Delete
  14. ඒ කාලේ හැලප අයියාට ගේ කිව්වේ "මයික් ටයිසන්" කියලද? :D

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ මයික් ටයිසන් ගැන කට්ටිය දන්නෙ නෑ.

      Delete
  15. මයික් ටයිසන්ගෙන් කණ පරිස්සම් කර ගනිල්ලා...

    ReplyDelete
    Replies
    1. ඌ කණ කෑවෙ මේ බොහොම මෑත කාලෙකනේ බං.

      Delete
  16. අතීත මතක බොහොම හෘදයාගම විදියට ලියවෙනව නේ... ඉක්මනට ලංකාවෙ වෙසක් බලන්ට එන්න ලැබේවා...

    ReplyDelete
    Replies
    1. අනේ ප්‍රාර්ථනාවට බොහෝම ස්තුතියි.

      Delete
  17. මෙහෙ අපි කියලත් එච්චර වෙනසක් නැහැ. විදුලි එළියෙන් තොර පාරවල් දිගේ, විදුලි බල්බ් නැතුව ඉටිපන්දම් වලින් ආලෝකවත් කල වෙසක් කූඩු, බකට්, බලමින්, පයින් ගියහැටි, නැවත නොලැබෙන සුන්දර අද්දැකීමක්.

    ReplyDelete
    Replies
    1. දැන් නං ඉටිපන්දම් ගහපු කුඩු දකින්නවත් නෑ විචා.අපි රාත්‍රියේ ගියෙත් පොල්කට්ටක ගැහුව ඉටිපන්දමක් පත්තු කරගෙන.

      Delete
    2. මොකද බන් නැත්තේ...
      අපි මේ පාර කුඩු හදල ඉටි පන්දම් වලින් පත්තු කරලා, එළියේ ලයිට් නිමල තිබ්බා...
      බකට් පත්තු කලෙත් ඉටි පන්දම් වලින්...
      පට්ට ගති...
      වොට් 75, 100 බල්බ් දාල ඒ ආතල් එක ගන්න බැහැ...

      Delete
  18. හරිම ලස්සණ ලිපියක් හැලප ...

    ReplyDelete
  19. හැලපයියගෙ සිරීපාදෙ ගැන කලින් ලිව්ව ලිපිය කියෙව්වා මතකයි. අද තියෙන සමාජ ක්‍ර‍මය ඇතුලෙ මේ තියෙන අව්‍යාජ බව, එකමුතුකම සියල්ලම යලි නොඑන ගමනේ...ඒ කාලෙ යකඩ කටත් බැදගෙන ප්‍ර‍චාරය දෙන ගමන් ලස්සන කෙල්ලන්ට ඇස් ලයින් කරපු හැලපයියගෙ තරුණ රූපකාය ගැන මට චිත්තරූපයක් මවාගන්න පුලුවන්.

    අපේ පාසලේ තූර්ය වාදක ඛණ්ඩායම පසුකාලීනව කරපු සංදර්ශන වලදි ආදි ශිෂ්‍යයෙක් විදියට මමත් ප්‍ර‍චාරක වැඩ කටයුතු වලට දායක උනා. අපිනම් අපේ සංදර්ශනයට අමතරව මෙතන කියන්න බැරි ආතල් බොහොමයක් ගත්තා...

    ReplyDelete
    Replies
    1. අද අපේ ගම්වලත් ඒ අව්‍යාජබව සමගිය සහජීවනය හුඟක් දුරට දුරස් වෙලා ගිහිං.නෑමයි කියන්නට බැරිවුනත් අද ඒ වගේ වෙසක් සැරසිලි වෙන්නෙම නෑ.දන්සැල් දෙකක් තුනක් වෙසක් එකට කෙරෙනවා මේ සැරේ කොහොමද දන්නෙ නෑ.

      Delete
  20. Halape, Muscut koheda inne, call karanna mata 92986275

    ReplyDelete
    Replies
    1. හුටා දීපංකො ඉතිං උත්තර.

      Delete
  21. මටත් මතකයි දන්සැල් වලින් කන එක මදි කමක් කියලා අපිත් එක්ක ගිය වැඩිහිටි කෙනෙක් කියනවා.. හැබැයි ප්‍රසිද්ධ අය කරන එවා වලින් කනවා..මම නම් කොහොමත් හරිම කැමතියි ගෙදර නැතුව ඕනම තැනක හදන කැම කන්න, දන්සැල් වල කැම තවත් රසයි... එක කාලෙක අපේ පැත්තේ පන්සලත් තරුණ කට්ටියත් එකතු වෙලා කලා ගමේ ලියිට් නැති අතුරු පාරවල් සැහෙන ප්‍රමාණයක පහන් පත්තු කරන වැඩපිලිවෙලක් වෙසක් කාලේට.

    ReplyDelete

ඔබේ අදහස්