Wednesday, April 1, 2015

සලාලා ගමන කිරි,ඕකිඩ් පසන් සහ වින්සන්ට්

 අපි ආයෙම සලාලා යනවද?

බිරිඳ එහෙම ඇහුවෙ ලංකාවෙදිමයි.

බලමුකො,යන්න තියෙන්නෙ මාර්තු විතර නේද?

මමත් ගානකට නැතුව කිව්වා.කොහොමින් හරි මෙහෙටත් ඇවිත් දන්නෙම නැතුව දිනස්තර ලංවෙලා මාර්තු මාසෙ ගමන ඉස්තිර වුනා.මෙදා සැරේ අපි ගියෙත් ආවෙත් රාත්‍රියේමයි.ඒ නිසාවෙන් බොහොම බලාපොරොත්තු සහිතව හිටපු අලුත් එයාපෝට් එකේ පිංතුර ගන්නට බැරිවුනා.

ඒ විතරක් නෙවෙයි වෙනද වගේ ඇවිදින්න බැරිවුන නිසා පිංතුර කොහොමත් අඩුයි.අපි රාත්‍රියේ ගිය නිසා හරියකට කෑමක්වත් තිබ්බෙ නෑ.ඒ නිසා පහුවදා උදේ නාල එහෙම සුදානම් වෙද්දි හොඳටම බඩගිනියි.ඒ ලඟම තිබ්බ පොඩි කඩේකට අපි ගොඩවෙන්න හදද්දි අපේ සලාලාවල යාළුවො ටික කැමතිවුනේ නෑ.ඔය කඩේ කෑම රසද දන්නෙ නෑ,අපි ගිහිල්ලත් නෑ ආදී වශයෙන් කිව්වත් ගිහිං බලමුකො කියල මම ඉස්සර උනා.ගිහිල්ල බලපුවම ඇත්ත වශයෙන්ම අපි බලාපොරොත්තු වුනාටත් වඩා  කෑම වර්ග ඒ කඩේ තිබුනා.කෑමත් රසයි.යාළුවො ටික අපිව එතනට එක්ක යන්න අදිමදි කලේ ඒ කඩේ පොෂ් මදි නිසා කියල අපි පස්සෙ දැනගත්තා.කිසිම කන්කරච්චලයක් නැති සමාදානය පිරී ඉතිරී තිබුන ඒ පොඩි කඩේට මම පහුවදා උදෙත් කෝපි එකක් බොන්න ගියා.කෝපි බොන්න ගියෙ එදා උදේට කෑම යාළුවන්ගෙන් ලැබුන නිසයි.
ඒ කඩේ අයිතිකාරයා සහ කෝකියා එක්කෙනෙක්.ඔහු දෙමළ කතාකලා.වැඩට හිටපු කොලු ගැටයා කතාකලේ හින්දි විතරයි.අපට භාෂාව බාධකයක් උනේ නෑ.මම දන්න හින්දි ටිකත් ඔවුන් දන්න දෙමළ ටිකත් අදහස් හුවමාරුවෙදී අපි දෙගොල්ලන්ට හොඳටම ප්‍රමාණවත් වුනා.ඉතිං මේස තුන හතරක් තිබ්බ ඒ  කඩේ වාඩිවෙලා උණු උණු උළුඳු වඩේ එකක් කාල කෝපි බොද්දි මගේ හිත සතුටින් සමාදානයෙන් පිරිල ඉතිරිලා තිබුනා.ලංකාවෙදි උනත් මම ලයිට් දාල දිලිසෙමින් තියෙන ලොකු කඩවලට යනවට වඩා පොඩි පෙට්ටි කඩේකින් කන්න බොන්න වඩාත් කැමතියි.අවිවේකීබව නොඉවසිල්ල ගෝෂාව පිරිල තියෙන ලොකු කඩවලට වඩා පොල්ලතු වහල තියෙන පුංචි කඩවල සාමය සමාදානය නොඅඩුව තියෙනවා.ඔන්න ඔය වෙලාවෙ දඩ බඩ ගාල අමුත්තෙක් කඩේට ඇතුල්වුණා.ඔහු හිනාවෙමින් මට කතාකළා.

ඇයි මේ වඩේ විතරක් කන්නෙ මේ තියෙන්නෙ පිට්ටු,තෝස,ඉට්ලි ගෙන්නගෙන කන්නකො...

කවුද බලපුවම මගේ මිත්‍ර කෘෂි විද්‍යාඥයා,මම කලින් පෝස්ටුවකත්  ඔහු ගැන ලියල තිබුනනෙ.මාව හම්බෙන්න එද්දි මම කඩේ ඉන්නව දැකල එතනම කාරෙක නවත්තල ආවා කියල ඔහු කිව්වා.ඉතිං මට උදේට කෑම ලැබුණු බවත් කෝපි කෝප්පයක් බොන්න කඩේට ආව බවත් දැකපු නිසා වඩේ එකක් කාපු බවත් ඔහුට කියපු මම මගෙත් එක්ක කෝපි කෝප්පයක් බොන්නට ඔහුට කතාකළා.මට කියන්න අමතක උනා ඒ කඩේ කෑමත් බොහෝම මිළ අඩුයි.අපි දෙන්න කඩෙන් එළියට ඇවිත් කතා කරමින් ඉද්දි ඔහු වාහනෙන් තරමක කවරයක් අරගෙන මගෙ අතට දුන්නා.

මේ මම උදෙන්ම පාම් එකෙන් කපාගෙන අරන් ආවා...

බලපුවම ඔහු ඇවිත් තියෙන්නෙ හිස් අතින් නෙවෙයි.එවෙලෙම වැලෙන් නෙලපු මිදි වලු හත අටක් ඔහු ගෙනත් තිබුනා.උදේට කාපු උඩටම අපි ඒ රසම රස පැණි බේරෙන මිදි ටිකත් සප්පායම් වුනා.මිදි කන ගමන් කතාවට වැටුන මම ඔහුගෙන් ඇහුවෙ මිදි වැල්වලට පන්දලම හදන උස ප්‍රමානය මිදි අස්වැන්නට බලපෑමක් කරනවද කියලයි.මිදි වැල්වලට වැටෙන ඉර එළිය අනුව ඒ කන්නයේ පෙරා ගන්නට හැකි වයින් බැරල් ප්‍රමාණය හරියටම කියන කෙනෙක් ගැන කතාවක් මම පොතක කියවලා තිබුනා.ඊට අමතරව බොහොම කාලෙකට ඉස්සර දවසක් නුවරදි එක මිනිහෙක් මුණගැහුනා.

ඒ අපි පෙරහැර බලන්න නුවර ගිය දවසකයි.අපි කිව්වෙ ආරියි මමයි අපට එන්න කියල ආරාධනා කළේ ගුරුගේ.ගුරා ඒ පෙරහැර කාලෙ  නුවර ටවුමෙ කොකා කෝලා කඩ කීපයක් බදු අරගෙන තිබුනා.නුවර ගිය අපි ගුරාත් මුණගැහිලා ටවුමෙ ඇවිදිමින් ඉද්දි ඕකිඩ් පැළ සහ අතු විකුණමින් හිටපු වයසක මනුස්සයෙක් දැක්කා.ඒ මමත් මල් වවමින් හිටිය කාලයක් නිසා අපි ඒ මිනිහත් එක්ක කතාවට වැටුනා.පාර අයිනෙ මල් පැළ විකුණන කවුරුත් ගණන් ගන්නෙ නැති වයසක මනුස්සයෙක් උනාට ඔහුගෙ උද්භිද විද්‍යා දැනීම හරි ඉහළයි කියල තේරුම් ගන්නට අපට වැඩි වෙලා ගතවුනේ නෑ.ඕකිඩ් වවන හෝ වැවෙන උස ප්‍රමාණයත් මල් හටගැනීමත් අතර පැහැදිලි සම්බන්ධතාවක් තියෙනව කියල ඔහු අපිත් එක්ක කිව්වා.අපි ඔහුත් එක්ක බොහෝ වෙලාවක් කතා කරමින් ඉඳල චූටි මුණ ගැහෙන්න බෝගම්බර හිරගෙදරට ගියා.

චූටිය ඒ කාලෙ වැඩකලේ බෝගම්බර හිරගෙදර.ඌ අපට දවල්ට කන්න යන්න කතාකළා.අපි දවාලට කාලයි ඉන්නෙ කියපුවම චූටිය අපට කිරිපැණි ගෙනත් දුන්නා.ඒ කිරිත්  නරකම නෑ කන්න පුළුවනි.හැබැයි මම කාල තියෙන හොඳම කිරි නෙවෙයි.මම කාපු හොඳම කිරි ගැන මතක දෙකක් මගේ හිතේ කාවැදිල තියෙනවා.ඒ දෙකම බොහෝම පරණ මතකයන්.එකක් අපේ ලොකු අම්මගෙ දුව චූටි අක්ක දීග දීපු වෙලාවෙ,චූටි අක්ක දුන්නෙ මාතර යටියනට.අපි මනමාලිත් කැන්දගෙන මාතර ගියා.එහෙදි අපට දීපු මඟුල් මේසෙ දෙපැත්තෙ මුදවපු කිරි කළ දෙකක් තියල තිබුනා.කෑමට වඩා ඒ කිරි පැණි අපි හැමෝම රසවින්දා.පස්සෙන් පහු මනමාලය චූටි අක්කලගෙ ගෙදර නවතින්න ආපු නිසා ඒ කිරිපැණි කෑම වැඩිදුර ගෙනියන්න ලැබුනෙ නෑ.අනික් මතකයත් දකුණෙ.ඒ වලස්මුල්ලෙ,ඒ කාලෙ අපේ ඔෆිස් එකේ හිටපු අක්ක කෙල්ලෙකුත් එක්ක අක්ක කෙල්ලගෙ අක්ක දීල හිටපු වලස්මුල්ලේ කඩිගමුව හෝ ඔහොම නමක් ඇති ගමකට ගියා.එහෙදි අපට ඇතිවෙන්න කිරි කන්නත් දීල ගෙදර ගේන්නත් කිරි හට්ටි දෙක දෙක දුන්නා.ඒ කිරිත් බොහොම අනර්ඝයි.කිරි කෑවට අක්ක කෙල්ලගෙ වැඩේනං එච්චර දිගදුර ගියෙ නෑ.ඇත්තම කිව්වොත් දිගදුර ගෙනියන්න මගෙ උවමනාවක් තිබ්බෙ නෑ.අක්ක කෙල්ලට නං බොහොම උවමනාව තිබුනා.ඒ උනාට මොනා කරන්නද.

ඒ වගේ ගෙවල්වල හදන කිරි මිසක වාණිජ වශයෙන් විකුනන්න තියෙන කිරි නං කිසි කමකට නෑ.ඔය කතරගම යද්දි හම්බන්තොට ඉඳල දිගටම විකුණන්න තියෙන කිරි සතපහකට වැඩක් නෑ.හැබැයි ඒ පලාතෙදිත් හොඳ කිරි හොයාගන්න ක්‍රම නැතුව නොවෙයි.ඒ ක්‍රමේ මම ඉගෙනගත්තෙ අපේ උමගිලියගෙන්.ඒ මම ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ රාජකාරි කරද්දියි.

ඒ කාලෙ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තිබුනෙ ටෙලිකොම් එක ඉස්සරහ ට්‍රාන්ස්වර්ක් මන්දිරයෙයි.මම එතැනට ගිහිං අවුරුදු දෙකක් විතර යද්දි මේ අලංකාර මන්දිරය දැකපු ජනාධිපති ප්‍රේමදාස වහාම ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වහාම එතනින් ඉවත් කරගන්න කියල නියෝග කළා.ඒ හදිස්සියට දෙපාර්තමේන්තුව ගෙනියන්න තැනක් අපට හොයාගන්න බැරි උනා.ඒ උනාට හැමදාම ජනාධිපති කාර්යාලයෙන් දෙපාර්තමේන්තුව අයින් කළාද කියල තර්ජනාත්මක කෝල් එන්න ගත්තා.කරන්න දෙයක් නැති තැන පණ බයටම දෙපාර්තමේන්තුවෙම කොටසක් වෙලා තිබුණ පොල්හේන්ගොඩ රජයේ චිත්‍රපට අංශයට බඩු පොදි බැඳගෙන ගිහිං ඒකෙ තිබ්බ පොඩි ෆිල්ම් හෝල් එකෙයි වත්තෙ ගස් යටයි මේස පුටු තියාගෙන අවතැන් වෙලා හිටියා.වැඩි දවසක් යන්න කලින් දෙපාර්තමේන්තුවේ කොටසක් මැලේ වීදියටයි තව කොටසක් රක්ෂණ මන්දිරයටයි අරං ගියා.පස්සෙ කාලෙක පොල්හේන්ගොඩ රජයේ චිත්‍රපට අංශයට අයිති ඉඩමෙම අලුත් ගොඩනැගිල්ලක් හදල ජනමාධ්‍ය අමාත්‍යංශයයි ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවයි ඔක්කොම එක තැනකට ගෙනාවා.මේ ඊයෙ පෙරේදා අපේ කට්ටියකට නෙලුම් යායෙන් සම්මාන දුන්නෙ ඔන්න ඔය මම කියන ඉස්තානයෙයි.

මැලේ වීදියෙ ඉද්දි අපි දවසක් රාජකාරියකට කතරගම ගියා.ගිය වැඩේ ඉවරවෙලා ආපහු එමින් ගමන අපි ඔක්කොම ගෙදර ගේන්න කිරි ගත්තට උමගිලිය කඩවලින් කිරි ගත්තේ නෑ.මිනිහ දෙපැත්ත බල බලා දිගටම ආවා.අම්බලන්තොට ටවුම හරියෙදි එකපාරටම වාහනේ නවත්තන්න කියල බැහැල ගිහිං බයිසිකලේක කිරි හට්ටි දෙක තුනක් එල්ලගෙන හිටපු මිනිහෙක්ගෙන් කිරි ටික අරගෙන ආපහු ආවා.අපි විස්තරේ අහපුවම උමගිලිය කිව්වෙ ඒ වගේ මිනිස්සු උදේට ගෙදර මුදවන කිරිටික ටවුමට අරං ඇවිත් විකුණල යන්න පුරුදුවෙලා තියෙනව කියල සහ කඩවලින් ගන්න කිරිවලට වඩා ඒ අය ගේන කිරි ප්‍රමිතියෙන් හරිම ඉහළයි කිව්වා.එදා සැරේ හොඳම කිරි ගෙදර ගෙනිච්චෙ උමගිලිය.

2002 අවුරුද්දෙ සාම ගිවිසුම අස්සන් කළාට පස්සෙ අපි කට්ටිය බස් එකක් අරං ට්‍රිප් එකක් ගියා.කට්ටිය කිව්වෙ අපි කෝච්චියෙ එකට යන කණ්ඩායම.ගියෙ ත්‍රිකුණාමලේ.අපි ට්‍රිප් එක ගියපු දිග සති අන්තෙට දවස් හතරක් තිබුණා.ඒ නිසා රටේ පහළ තිබුන බස් හමුදාවම ඒ සති අන්තයේ එක එක පළාත්වල ට්‍රිප් වලට වෙන් කරගෙන තිබුනා.පළවෙනි දවසෙ රාත්‍රිය ට්‍රින්කොවලට කිට්ටුව මිත්‍රයෙකුගෙ ගෙදර ගතකරපු අපි පහුවදා උදේ නැගිටල දවල්ට උයාගෙන එහෙම පිටත්වුනා.උදේට කන්න මග තැනක නතරකරල කෑම කමින් ඉද්දි සයිකලේ පස්සෙ කිරි හට්ටි හතරක් ගැට ගහගෙන ආව මනුස්සයෙක් අපි ළඟ නවත්තල මහත්තේල කිරි ගන්නවද කියල ඇහුවා.බලපුවම කිරි ටික හොඳයි ගාණත් වරදක් නෑ.පස්සෙ මමයි තව යාළුවෙකුයි කිරි හට්ටි හතර ගත්තා.ගනිපු වෙලාවෙ ඉඳන් අනික් උන් හිනාවෙනවා දැන්ම මොකට කිරි ගත්තද යද්දී කන්තලේ හරියෙන් කිරි ඕනෑ තරං ගන්න බැරිද කිය කියා,ඔන්න අපි ට්‍රිප් එකත් ඉවර කරල යන්න පිටත්වුනා.කන්තලේ හරියට එද්දිං කිරි කඩ පේළියක්ම තියෙනවනෙ කට්ටියට කිරි ගන්න බස් එක නතර කළා.කිරි ගන්න උවමනාව තිබ්බ අය බැහැල ගිහිං කඩවලින් කිරි ඉල්ලුවා.මොන පිස්සුද එක කඩේකවත් කිරි ඉතුරුවෙලා තිබුනෙ නෑ.ඇයි දවස් හතරක් තිස්සෙ බස් හාර පන්සීයක් එහෙට මෙහෙට යද්දිං කිරි ඉතුරුවේයැ.මේ අහළ පලාතකින් නං මහත්තේලට කිරි හොයාගන්න හම්බවෙන්නෙ නෑ කියල කඩේක මනුස්සයෙක් කිව්වලු.ඒ සැරේ ගෙදර කිරි ගෙනාවෙ අපි දෙන්න විතරයි.ආයෙම කෝච්චියෙ ට්‍රින්කො ඉඳල කොළඹ එද්දි කන්තලේ නවත්තපුවම මිනිස්සු කීප දෙනෙක් කිරි හට්ටි අරං කෝච්චියට නගිනවා.අපි වතාවක් ඒ කිරි ගත්තා.ඒවත් හොඳ ගෙදර හදපු කිරි.

ඉතිං මිදි ගැන කියන්න ගිහිං ඕකිඩ් ගැන කිව්වා ඕකිඩ් ගැන කියන්න ගිහිං කිරි ගැන කිව්වා.ඔය මම ලියපු යාළුවො තුන්දෙනාගෙන් ඒ කියන්නෙ ගුරුගේ,ආරි සහ චූටි එකෙක්වත් මේ වෙද්දි ජීවතුන් අතර නෑ.තුන්දෙනාම අකාලයේ මැරිල ගියා.මේ ඊයෙ පෙරේද මගෙ තව හිතවතෙක් මියගිය පුවත දැනගන්නට ලැබුණා.ඒ පසන් කොඩිකාර.මම පසන්ව හඳුනා ගත්තෙ දෙසතියෙ වැඩ කරන කාලෙදියි.ඒ කාලෙ පසන් දෙසතියට සාහිත්‍ය ලිපි විවේචන වගේ දේවල් ලිව්වා.වැඩක් නැති වෙලාවට දෙසතියට ඇවිත් අපිත් එක්ක කයිය ගගහ හිටියා.ඒ වෙනකොටත් ඔහු පොත් කිහිපයක් පරිවර්තනය කර තිබුනා.මාකේස්ගෙ සියක් වසක හුදකලාව ඉන් එක පොතක්.හැබැයි මට ඔහු ලියන ඒව කියවන්න අමාරුයි.ඒ මගේ බොළඳකම වෙන්න ඇති.කොහොම හරි ඒ කිසිවක් අපේ හිතවත්කමට බාධාවක් උනේ නෑ.එක වතාවක් මරු වැඩක් උනා.

ඒක කළේ දෙසතිය සහකාර සංස්කාරක වෙලා හිටිය වින්සන්ට් පෙරියප්පෙරුමයි.ඒ කාලෙ වෙද්දි සිංහල විශ්ව කෝෂය ලියන වැඩේ පටන් අරං තිබුනා.මහාචාර්ය පුංචිබණ්ඩාර සන්නස්ගලගේ කර්තෘත්වයෙන් සිංහල විශ්ව කෝෂය ආරම්භ කිරීම ගැන උද්දාමයෙන් ප්‍රහර්ෂයට පත්වෙලා හිටිය සිංහල පණ්ඩිතයෙකු වූ වින්සන්ට් ඒ ගැන ලිපියක් දෙසතියට ලියන්න කවුදෝ මනුස්සයෙකුට බාරදීල තිබුනා.සති ගානක් ගතකරල ඔහු ලිපිය ලියාගෙන ආපුවම වින්සන්ට් සුපුරුදු විදියට ලිපිය කපල කොටල හරිගස්සල දෙසතියෙ පළකළා.ලිපිය පළවෙලා ටික දවසකින් තමන් මහන්සි වෙලා ලියපු ලිපිය කපලය විකෘති කරලය ගෙව්වෙත් සුළු මුදලක්ය කියල නාහෙන් අඬාගෙන ආව මේ මනුස්සය තමන්ට කරපු වැරැද්දට වන්දි ඉල්ලල ලියුමක් එව්වා.ඒ ලියුම ගණන් ගන්නෙ නැතුව හිටියම පුවත්පත් මණ්ඩලයට පැමිණිලි කළා.කොහොමහරි දෙසතියෙ කර්තෘට ප්‍රකාශකට ආදී ගණනාවකට පුවත්පත් මණ්ඩලය ඉදිරියෙ පෙනී සිටින්නය කියල නොතීසි ලැබුණා.

වින්සන්ට් පෙරියප්පෙරුම කියන මාධ්‍යවේදියා ගැන යමක් නොකිව්වොත් මේ සටහන සම්පූර්ණ වෙන්නෙ නැහැ.ඔහු මා දැකපු ඉතාම අහිංසක පුද්ගලයෙක්.මම දෙසතියට යද්දි වින්සන්ට් දෙසතිය සහකාර සංස්කාරකවරයායි.දෙසතියේදී අපිත් එක්ක විහිළු තහළු කරගන්න වින්සන්ට් කවදාවත් කෙනෙකුට තදින් කතාකල හෝ අරගල කළ කෙනෙක් නොවෙයි.ඒ නිසාම ඔහුට කොතනදීවත් සාධාරණය ඉටුවුණේ නෑ.නිවැරදි සිංහල හාෂාව ඉතා උතුම් කොට සැලකු ඔහු ප්‍රාචීණ පණ්ඩිතයෙක්.දෙසතියේ බස් වහර නිවැරදිව පිරිසිදු වන්නේ ඔහු අතිනුයි.මම ඉස්සෙල්ලත් කිව්වා වගේ වින්සන්ට් සිංහල විශ්ව කෝෂය ආරම්භ කිරීම ගැන ඉතා සතුටුවූ කෙනෙක්.ඔහු පොත් කීපයක්ද ලියා පළකළා.බුරුම වීණාව සහ අප්පුහාමිගේ දැලි පිහිය ඉන් මට මතක ඇති පොත් දෙකක්.මින් අප්පුහාමිගේ දැලි පිහිය පොතට 1997 රාජ්‍ය සාහිත්‍ය උළෙලේ හොඳම ළමා සාහිත්‍යය සම්මානයද ලැබුණා.දෙසතියේ සංස්කාරක හැටියට හිටපු ගාමිණී විජේතුංග හදිසියේ විශ්‍රාම ගියායින් පසුව සංස්කාරක ධූරය ලැබිය යුතුව තිබුනේ සහකාර සංස්කාරක වූ වින්සන්ට්ට උනත් එවකට පැවති  පාලනය සංස්කාරක තනතුරට පිටින් කෙනෙක් ගැනත් දැම්මා.තමන්ට දරුණු අසාධාරණයක් සිදුවෙද්දීත් වින්සන්ට් ඒ වෙනුවෙන් කෑ ගහගන්න රණ්ඩු වෙන්න ගියෙ නෑ,සද්ද නැතුව ඉහළින් ආව පුද්ගලයට තැන දීල තමන් සුපුරුදු විදියට වැඩ කරගෙන ගියා.

පස්සෙ කර්තෘ හැටියට වින්සන්ට්ටයි ප්‍රකාශක හැටියට මටයි නඩු විභාගයට යන්න කියල ඉහළින් උපදෙස් දුන්නා.දවසක අපි දෙසතියෙ මේ ගැන කතා කරමින් ඉද්දි ඔතනට ආව පසන් අපෙන් විස්තරේ අහගෙන එදාට අපිත් එක්ක ඔහුත් නඩුවට යන්න එනබව අපට කිව්වා.නියමිත දවසෙ අපි තුන්දෙනා පුවත්පත් මණ්ඩලය ඉදිරියෙ පෙනී සිටියා.නඩු දෙකකට පස්සෙ අපේ නඩුව අඬගැහුවා.පැමිණිල්ල ඉදිරිපත් කරල පැමිණිලිකාරයගෙන් සාක්කි ගත්තා.ඊට පස්සෙ විත්තියෙන් කරුණු අහපුවම පසන් නැගිටල දෙසතියෙ ලේඛන ශෙෙලියට අනුකූලව ලිපියෙ වෙනස්කම් කරන්න සිදුවුණාය කොහොමත් ඒ ලිපිය සඟරාවෙ පල කළ හැකි මට්ටමක තිබුනෙ නෑය ආදී වශයෙන් කරුණු කියන්න උනා.ඒ උනාට පසන් කියාපු කරුණු වලට ඇහුම්කන් දෙන්න පුවත්පත් මණ්ඩලේ අය සුදානම් උනේ නෑ.ඔවුන් පැමිණිලි කාරයගෙ පැත්ත ගනිපු බව පැහැදිලිවම පෙනෙන්න තිබුණා.පුවත්පත් මණ්ඩලේ සාමාජිකයෙක් වෙලා හිටිය එක සිංහල පණ්ඩිතයෙක්,

දෙසතිය තියා හතර සතිය උනත් අපි කියන විදියටයි වැඩ කරන්න ඕනෑ...

කියමින් පසන්ගෙ ඇඟට කඩා පැන්නා.වැඩේ හරියන්නෙ නැති බවත් මේ විදියට ගියොත් අපි සැහැල්ලුවෙන් ගනිපු දේ අනික් අතට පෙරළෙන්නට හැකි බවත් අපට තේරුම් යමින් තිබුණා.මොනව කරන්නද කියල අපි එකිනෙකා මූණෙන් මූණ බලාගනිද්දි අපේ හොඳ හිතවතෙක් වෙලා හිටපු එවකට පුවත්පත් මණ්ඩල ලේකම්,

කෝ බලන්න ඔයගොල්ලන්ගෙ සඟරාව දෙන්න...

කියමින් අපේ ලඟට ඇවිත්,

කල් ඉල්ලගන්න,කල් ඉල්ලගන්න...

කියල අපට රහසෙන් කිව්වා.ඒ ගමන මම නැගිටල මේ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු අධ්‍යයනය කර අපේ පිළිතුර දැනුම් දීමට ඉදිරි දිනයක් ලබාදෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි කිව්වම ඊළඟ මාසෙ දිනයක් ලබාදුන්නා.අපි එතනින් පිටත්වෙලා කොටුවට එනකල්ම පසන්ට වදේ ගැහුවෙ ගෙනිච්ච පෙරකදෝරුවගේ දක්ෂකම නිසා තව පොඩ්ඩෙන් කට්ටියම හිරේ යනව කිය කියා.පසනුත් හිනාවෙවී අපි කියන කතා අහගෙන හිටියා.අපි කෙලින්ම ආවෙ කොටුවෙ ටෙලිකොම් එක හරියෙ උඩ තට්ටුවක තිබ්බ බාර් එකකට.මම හිතන්නෙ ඒ වයි ඇම් සී ඒ එකේ බාර් එක.එතනින් අපි තුන්දෙනා සප්පායම් වෙලා විසිර ගියා.අද වින්සන්ට් සහ පසන් දෙන්නම නෑ.වින්සන්ට් මීට කාලෙකට ඉස්සෙල්ල අකාලයේ ජීවිතයෙන් සමුගත්තා.මේ ඊයෙ පෙරේදා පසන් යන්න ගියා෴

104 comments:

  1. යකෝ සලාලා වලින් පටං අරන් කොහේ ගිහින්ද මන්ද ඉවර උනේ.
    මොකද මේක එකපාරක් දාල අයින් කළේ.

    ReplyDelete
    Replies
    1. නෑ ප්‍රසන්න මේක මේ අප්‍රේල් මාසෙ පළවෙනි පෝස්ට් එක හැටියට දාන්න තියාගෙන හිටියෙ.දැම්මා.මගෙ ටයිම් සෝන් එකේ අප්සෙට් එකක් නිසා වැටුනෙ මාර්තු මාසෙට.ඉතිං අයින්කරලා ටිකක් වෙලා යන්න ඇරලා ආපහු දැම්මා.

      Delete
  2. සලාලා ගමන කිරි ඕකිඩ් පසන් හා වින්සන්ට්.. කොමෙන්ට් එකක් විදියට මාතෘකාවම දාන්න හිතුනා.. ගොඩාක් තැන්වල මොකක්දෝ හුරු බවක් දැනුන හැලපයියේ..

    ReplyDelete
    Replies
    1. හුටා කියන්න හිතාගෙනම හිටපු එක මිස් උනා.. අක්ක කෙල්ල ගෑන විස්තර කරල තියෙනව බොහෝම මදි ඈ..

      Delete
    2. හරියට හරි... බොහොම මදි... හැබැයි වලස්මුල්ල පැත්තෙ ගිහින් ඔයින් ආව කියන්නෙත් ලොකු දෙයක්..

      Delete
    3. යකෝ කෑ ගහන්න එපල්ලා.අක්ක කෙල්ලත් එක්ක නටපු නාඩගං ගෙදර මනුස්සය දැනගත්තොත් මම බ්ලොග් ලියලත් ඉවරයි බොලා මම ලියන කුණුහරුප කියවලත් ඉවරයි.ඒ නිසා ඔවුන්දෑ ලංකාවට ගියාට පස්සෙ ඒ හරිය ලියන්නා.ඉවසල ඉඳහල්ලකො.

      Delete
    4. ලබ්බෝ,
      වලස්මුල්ල පැත්ත ඔය අපි ගියපු අසූ ගණන් වලත් හරියට සේප්ටි පින් එක ගලවපු ග්‍රෙනේඩ් එකක් වගේ තිබුනෙ.මම ගියෙත් ටිකක් බයෙන් බයෙන් ඒ උනාට අප්සැට් එකක් නැතුව දවස් දෙකක් ඉඳල ආපහු එන්න ඇහැක් උනා.

      Delete
  3. අන්තිමට දැලි පිහියෙනුත් කිරි කාල නේද?

    ReplyDelete
    Replies
    1. ඒක තමයි අමාරුම වැඩේ කම්මලේ.

      Delete
  4. පටන් ගත්තෙ කොහෙන්ද, ඉවර වුනේ කොහෙන්ද නෙහ් :D

    ReplyDelete
    Replies
    1. ටිපිකල් හැලප ස්ටයිල්.

      Delete
  5. ඒ කාළේ කිරි හට්ටි තිබුනේ නෑ.. තිබුනේ කිරි මුට්ටි.. ඔය කිරි මුට්ටි තුනක් එකට තියලා පොල් කොළවල වලින් හදපු කදිම මැස්සක් වගේ එකක තමයි අපේ ගම්වල අය ඉස්සර කැළණියට එන කොට ඉස්සගෙන එන්නේ. පැණි තිබුනේ මුල් වල. නොම්මර එකේ ගෙවල් වලම හදපු කිතුල් පැණි. ගෑවුන තැන රසයි. ඒ කාළේ මගේ ප්‍රධානම ආහාරය වෙච්චි පාන් එක්ක කන්න පුළුවන් ඕන තරම්.

    ඔය කිරි මුටි බඳින පොල් කොල ගැජට් එක ඒ කාළේ මම ලිහලා බලනවා.. පොල් කොළ තුන හතරක් එකට වලල්ල වගේ බැඳලා යටම මුට්ටියේ අඩියට හිටින්න තියනවා. ඒ වලල්ලටම හතර පැත්තට තව පොල් කොළ හතරක් උඩට ඇවිත්, උඩදි අර පොල් කොල හතර එකතු කරලා ගැටයක් දානවා..

    බොහෝම කලකින් ඒ වගේ කිරි උස්සගෙන එන ඇඩි එකක් යනවා, ලීසිං ගැන යන ඇඩ් එකක. ටයි එකක් දාපු පොරක් කිරි මුට්ටිද, හට්ටිද උස්සගෙන එනවා.... "අම්මා දුන්නා" කියලා.. පට්ට ඇඩ් එක..

    පැණි මුල් හදලා තිබුනේ කිතුල් ගහේම හනසු වලින්. ඉස්සර දොදොල් පට්ට ඔතලා තිබුනෙත් ඒවා වලන්. කොහොමත් මාතර පැත්තේ කටුවන කියන ගම කිරි පැණි වලට බොහොම ප්‍රසිද්දයි.. ඒ කාළේ මගුල් ගෙවල් වලට කිරි ගේන්නේ එහෙන්..

    ඒත් මම කාපු හොඳම කිරි කාලා තියෙන්නේ පොළොන්නරුවෙන්.. එහේ කිරිත් බොහොම රහයි.. දැන් නම් එක එක තැන තියෙන එව්වට වඩා සුපර් වල තියෙන කිරි හොඳයි... ඒත් මම හිතන්නේ ඒවා මී කිරි නෙමෙයි.. හරියට චිකන් සොසේජස් වගේ.. 100% ක් සෝයා...

    ReplyDelete
    Replies
    1. මාතේ ඔය පොල්කොල ගැජට් එකට කියන්නෙ පිලිවැස්ස කියලා නේද?. මන් හිතන් හිටියෙ පැනිමුල් හැදුවේ පුවක් අත්තේ අග තියෙන කොළපොතින්ය කියලා...කිතුල් ගහේ එහෙම ගැජට් එකක් තියෙනවද?

      Delete
    2. කිතුල් හනසු කියල සීන් එකක් මතක් වෙන්නේ නැනේ බං මටත්

      Delete
    3. මාත් දැකල තියෙනව කොළපොතේ පැණි මුල්නම්.. කිතුල් හනස්ස කියන්නේ ඒ වගේ එකක්ද? පොල් හනස්සනම් දැල් දැල්

      Delete
    4. මෙන්න මෙතන තියන එකද බලන්න

      http://4.bp.blogspot.com/-BlX9ymn5VXM/UIVwIs8YXZI/AAAAAAAAALA/kbQYv1EcTUk/s320/kitul_tree.jpg

      Delete
    5. ලොකු අයියේ ෆොටෝ කෑලි දාන්ඩ සෙටින්ග් හදමුකෝ

      Delete
    6. ඔන්න මචෝ මට මතක් උනා.. තාත්තගෙන් අහලා කොන්ෆෝම් කර ගත්තා...

      චෙෆාකි කිව්වා වගේ ඒකට කියන්නේ පිලිවැස්සද කොහෙද..

      පැණි මුල හදන්න පුවක් කොල කිතුල් කොල වේලුනාම ගහට සම්බන්ධ වෙලා තිබුන පැත්තේ බෑග එක වගේ කෑල්ලෙන්. ඉස්සර ඕකේ තියාගෙන පොඩි උන්ව ඇදගෙන යනවා. ගලකට අහු උනොත් පුක නෑ..

      හනස්ස කියන්නේ අටමා කියපු එක... කොලපොත තමයි හරි නම.. හරි නම් මට ඉලපොතෙන් ගහන්න ඕන...

      බුදු කුස්සිය
      බුදු නම් මුණි, කුස්සිය නම් පැල
      මුණි පැල
      පැණි මුල

      Delete
    7. නෑ අටමෝ... චෙෆාකියි කල්‍යාණයි කියපු එක හරි.. මට මචෝ නම් ගම් මතක තියෙන එකෙක්ය..

      Delete
    8. Pol hanassa dal dal neme. Dal dal wenne "boo matulla". Hanassa kiyanne pol male case ekata.

      - Investi ano.

      Delete
    9. පැණි මුල් හදන්නෙ පුවක් අතුවල තියෙන කොළපුවෙන් තමයි.
      ඔරිජිනල් පැනිනං ටික කාලයක් තියෙනකොට වැලි හකුරු මිදෙනව.

      Delete
    10. කොලපොතේ දාපු කලු දොදොලුත් තියනව

      Delete
    11. දැන් ඒ වැඩේ කරන්න කෙනා සුපිරියටම ඒ වැඩේ කරනවා.ඔහු කියන්නේ හවස වැඩ ඇරිලා යනකොට ළමයින්ට චොක්ලට් එකක් වෙනුවට ඔය කොලපොතේ දාපු දොදොල් පට්ටයක් අරගන යන්න කියලා.ඔහු ගැන පේපර් ආර්ටිකල් දෙක තුනකුත් ගියා.අළුත් වැඩක් කරන්න හදන දිරිය තරුණයෙක්.මතක විදිහටනම් ආනන්දේ ආදී ශිෂ්‍යයෙක්.

      Delete
    12. වැලි හකුරු නම් මාරයි..දැන් ඉන්න ගොබිලො ඕව කාලා නෑ.....

      Delete
    13. මහාචාර්ය තුමා මින් මනත වයිස් චාන්ස්ලර් ඩැඩාගෙන් ඇපෲවල් නැතුව අනන් මනන් ලියනව එහෙම නෙමෙයි ඕන්...මට නම් මතක නෑ කියලා හයිෆයි ටෝර්ක් වානා හරිය..පිලිවැස්ස කියන්නෙ අමබලන්ගොඩ වැල්ලෙන් මාලු ගේන කොට දෙන පොල්කොල ගැජට් එකට...

      Delete
    14. ඒක තමා මාත් බැලුවේ අපේ ටල්අම්මලැ ගෙදරත් පුවක් කොලපත් පැණි මුල් තිබුනා මතකයි , ආතා පිහියට කොපුව හදන්නෙත් කොලපතෙන් ,

      කිතුල් මලට එහෙම හුකුංප්ලාන්ට් එකක් නැති හන්දයි ගුගල් කරල බැලුවේ

      Delete
    15. මගෙ අම්මෝ මචෝ,උඹගෙ කමෙන්ට් එකට උත්තර ලියද්දි මතක් වෙන දේවල් නං අනන්තයි අප්පරමානයි.ඔක්කොම ලිව්වොත් පෝස්ට් එකක් වෙනවා.ඒක මට පාඩුයි.ඔය පොල්කොළ ජිල්මාට් එකට අපි කිව්වෙ පිරිවැස්ස කියල.ඔය පිරිවැස්ස වර්ග දෙකයි.එකක් ගොක්කොළ වලින් වියාපු පිරිවැහි.අනික මෝරාපු පොල්කොළ වලින් වියාපු පිරිවැහි.ගොක්කොළ පිරිවැස්සෙ කිරි හට්ටිත් පොල්කොළ පිරිවැස්සෙ ඔය චෙපාකි කියනව වගේ මාළු හෝ ජාඩි දාගෙන එන්නත් පුරාණ මුහුදුබඩ ගම්වල මිනිස්සු පුරුදුවෙලා හිටියා.ගොක්කොළ පිරිවැස්සයි පොල්කොළ පිරිවැස්සයි මාරුවෙලා උන අකරතැබ්බයක් මාර්ටින් වික්‍රමසිංහයන් ඔහුගෙ උපන්දා සිට පොතේ රසවත්ව විස්තර කරලා තියෙනවා.කොහෙද ඉතිං පොත්පත් වලින් උපුටල දක්වනවට උඹල කැමති නෑනෙ.නැත්තං ඒ පොත දැනුත් මගෙ ළඟ තියෙනව.

      දැනට අවුරුදු කීපෙකට ඉස්සෙල්ල මම කිරිහට්ටි දෙකක් අරගෙන දානෙ ගෙදරක ගියා.කිරි ගත්තෙ ටවුමෙ වැන් එකකින්.ඒ කිරිවලින් හැන්දක් ගත්ත විතරයි ඉතුරු හරිය කඩාවැටෙන්න ගත්තෙ හරියට කන්දක් නාය යනවා වගේ.කිරිපිටි දියකරල ජෙලටින් දාල සෙට් කරල.විළි ලැජ්ජාවෙ මයෙ ඉහේ උකුණෝ බිමට පැන්න බං.

      Delete
    16. චෙපාකි,
      කිතුල් ගහේ තියෙන ගැජට් එකක්වත් ඒ වගේ දේකට ප්‍රයෝජනයට ගන්න බෑ මචං.එක්කො පොල් නැත්නං පුවක්.

      Delete
    17. අටමෝ,
      හරි බං,කිතුල් ගහේ අඬු බඩු ලිපේ දානව මිසක වෙන ප්‍රයෝජනයක් නෑ.
      දන්න එකෙක් හම්බ උනාම පොටෝ කෑලි දාන්න හදා ගන්නං.

      Delete
    18. ක.මි.,
      කිතුල් හනස්සත් පොල් හනස්ස හා සමානයි.හැබැයි ඔය උඹ කියන්නෙ බූ මටුල්ල ගැන.ඔය උඩින් ඇනෝත් කියල තියෙන්නෙ.

      Delete
    19. ඉන්වෙස්ටි ඇනෝ,
      ඔබ හරි ඇනෝ.ඔය බූ මටුල්ල ලිපේ දානව ඇරෙන්න අපේ ගම්වල පරණ අය රාවල රොඩු බොඩු පෙරාගන්නත් යොදාගත්තා.

      Delete
    20. ප්‍රා,
      කොළපොතේ ඔතාපු කලු දොදොල් මතක් වෙනකොටත් කටට කෙළ උනනවා.අපි පොඩි කාලෙ ඔය ඔතන පොලිතීන් කොළ තිබුනෙ නෑනෙ.දොදොල් පට්ටෙ ඔතන්නෙ කොළපොතේ.එහෙම ඔතාපු දොදොල් පට්ට අපේ ටවුමෙ හෝටල්වල ඉස්සරහ එල්ලල තිබුනා මට අද වගේ මතකයි.පට්ටේ මහතට පේන්න කොළපත් කෑලි දෙකතුනකුත් ඇතුළට තියල ඔතනවා.ගෙදර ගෙනියල කොලේ පිටින්ම අපට කෑලි කෑලි කපල දෙනවා.හොඳටම තෙල් බැහැපු කලු දොදොල් දිව්‍යලෝක රසයි.

      Delete
    21. කටුසු,
      කවුරු උනත් ඒ මනුස්සය කරන්නෙ ව්‍යාපාරෙකට වඩා පිංකමක් කියල මට හිතෙනවා.උඩු ගං බලා යන්න හදන රැල්ලට එරෙහිව පීනන මේ වගේ තරුණයන්ට අපි කවුරුත් උදව් කරන්න ආශීර්වාද කරන්න ඔන.

      Delete
    22. කොලපතෙන් පැණි මුළ හදල දුමේ එල්ලුවාම නිකන්ම හකුරු වෙනවා... පට්ට රහයි... කොලපතට පුවක් කොලපුව කියලත් කියනවා සමහරු..

      Delete
    23. එතකොට හැලපේ උඹට මතකෙයි... මිගමු ලෙල්ලමෙන් කකුළිවෝ ගේන කොට දෙන මල්ල.. ඒක මට මතක විදියට තල් කොල මල්ලක්ද කොහෙද...

      Delete
    24. පැණිමුල් හදන්නෙ පුවක් කොලෙන්. කොලේ කිව්වට අර ඇදගෙන යන්න පාවිච්චි කරන කඳට සවිවූ කොටසෙන්. ඒක වතුරෙ දාල පදම් කරල ඝනකම අඩු වෙන්න පට්ට ගහල ගන්නෙ. ඒ වගේ එකකින් දියරයක් රඳවගන්න පුළුවන් කියන්නෙ ඉතිං වැඩිය කල්පනා නොකලත් සුපිරි වැඩක් තමයි.
      දොදොල් පට්ට වලටත් ගන්නේ ඒ විදියටමයි.

      Delete
    25. මාතලන්,අපොයි ඔව් දැන් මතක් වෙනවා.ඒ මල්ල තල් කොළ මල්ලක් තමා.ඔයින් එකක දාගෙන ගෙනාපු කකුළුවො ටිකක් තමා අර පැනල ගියෙ.

      Delete
  6. මචෝ ඔය කේරළ කොෆිශොප්ස් වල තියෙනවා උදේට මරු කෑමක්..එග් ශවර්මා...එම්බසිය අනිත් පැත්තේ තියෙන බීපී ශෙඩ් එකේ කොෆිශොප්ස් දෙකක් තියෙනවා උදේක අරගෙන කාලා බලන්නකෝ...කුබූස් එකේ ඔතපු එක ගන්න බන් එකේ දාපු එක නැතුව...මට ඕමාන්වලින් මිස් වෙන ලෙන්ගතුම දේ තමයි ඔය එග් ශවර්මා එක..ගිය සුමානේ ස්පෙෂල් ඩිලිවරි එකක් ආවා ලුලූ එකෙන් කුබූසුයි මාල්බරෝ ලයිට්ස් මිටියයි....මේ දවස්වල උදේට එග් ශවර්මා බුදිනවා හිටං...

    ReplyDelete
    Replies
    1. ඔත්තුවට තැන්කුයි මචෝ,මේ සුමානෙ අපි අර ගිමන් හලේ කියල තිබුන උපවාසෙ කරනවා.ඉරිදා උදේම කාල බලල ගුණ පණ කියන්නං.

      Delete
    2. අපි දෙන්නත් උපවාසේ පටන් ගත්ත . මගදී කෙල වුනා . දැන් ආයේ මුල ඉඳන් පටන් ගන්න ඕනේ.

      Delete
  7. ඔයාලගේ පැත්තේ තිබුනේ නැද්ද ඒ කාලේ මුදවපු කිරි ( මං කියන්නේ ගෙවල් වලවත් )

    ReplyDelete
    Replies
    1. නැහැලු.. ඒත් තන කිරි නම් තිබුනලු... ඔය සොලමන් ඩයස් බන්ඩාරනායක මහත්තයා තන කිරි බොන්නේ මුදවලා නෙමෙයිලු.... පොඩි උන් වගේ කෙලින්ම කුක්කු තනෙන්මලු...

      Delete
    2. තනෙන් මුදවගන්නේ බොහොම අමාරුවෙන් වෙන්නැති

      Delete
    3. අටං,
      අපේ ගෙවල්වල එළකිරි නං ඕසෙට තිබුණා.ඒ උනාට මීකිරි වලින් මුදවපු කිරි හැදුවෙ නෑ.

      Delete
    4. මාතේ,
      බලාගෙන හිටිය වගේ ඔය කියල තියෙන්නෙ.ඔය කියන්නෙ මහ බණ්ඩාරනායක මහත්තය ගැන නේද?මම නං ඔය කතාව ඇහුවමයි.

      Delete
  8. හැමදාම වගේ මගේ කමෙන්ට් එක ලඟට ඇවිත් උත්තර දෙන එක කල්දාන්න එපා හොඳේ?

    අපි කිව්වේ පිරිවැස්ස කියලා. සමහර පලාත්වල පිලිවැස්ස කියනවා ඇති.

    මිදී වවනකොට මිදිවල කප්පාදු කරලා ඒ කප්පාදු කල අග්ගිස් වලින් වතුර බින්දු එකක් දෙකක් එනතුරු වලට වතුර දාන්න ඕනේ කියලා මට අපේ පැත්තේ සරු මිදිවලක් පවත්වාගෙන යන අසල්වැසියෙක් කිව්වා.

    ඒ කාලේ පී.සී.ඉඹුලාන කියන අමාත්‍යවරයා හම්බවෙන්න ඔය ට්‍රආන්ස්වර්ක්ස් මන්දිරයට ගිහිල්ලා තියනවා මම.

    ReplyDelete
    Replies
    1. මිදී වැල් වලට දාන්න ඕනි පරණ බැටරි කෑලි තලලා. එතකොටත් මිදී හොදට හැදෙනවා.

      Delete
    2. අපෝ නෑ අද එහෙම කරන්නෙ නෑ.විචාට උත්තර දීල වැඩේ කල්දානවා.ඇත්තටම එහෙම වෙන්නෙ දිග උත්තරයක් දිය යුතු වෙලාවට එච්චර කාලයක් ගතකරන්න කම්මැලි කමටයි.එතකොට කෙටියෙන් උත්තර දිය යුතු ඔබට පහලින් කමෙන්ටු දාල තියෙන අයටත් අසාධාරණයක් නොවෙන්නෙ නෑ නේද?
      අපිත් කියන්නෙ පිරිවැස්ස කියලයි.ඉඹුලානල ඇමතිකම් කරන කාලෙ අපි රාජ්‍ය සේවයට එන්න හිතලවත් නැතුව ඇති.

      Delete
    3. ඇනෝ,
      දැනුවත් කිරීමට බොහොම ස්තූතියි ඇනෝ.

      Delete
  9. මම රසම කිරි කෑවෙ දික්වැල්ලෙදි.මිද්දෙණියෙ බඩු.කියලා හදව ගත්ත ඒවා.මුකුත් නැතිව නිකක් කන්න පුලුවන්.
    සමහරු කිරි බෙදාගන්නෙ කාල ඉවර ඉඳුල් පිඟානටම.ඒකට බත් ටිකයි මස් හොදියි දාගෙන රහට කනවා.මට ඒ වැඩේ නං ටිකක් අවුල්.
    රහට ලියල තියෙන ලියවිල්ලක්.
    ජයවේවා...!!

    ReplyDelete
    Replies
    1. රසම කිරි තියෙන්නෙ ඔය හරියෙ ගෙවල්වල හදන හෝ හදවගත්තුව තමා.නැවුම් රසත් එක්ක නිකං කන්න පුළුවනි.බතුයි කිරියි කන එකට දකුණෙ ලොකු ඉතිහාසයක් තියෙනව කියල දන්නවා නේද ලබ්බෝ.එතකොට මුදවපු කිරි බත් එක්ක කලවං කරල හදපු කර්ඩ් රයිස් කාල තියෙනවද?අන්න බඩු.මෙහෙම ලියල බෑ ඊළඟ පෝස්ටුව ඒ ගැන ලියන්නං.මතකය අවදි කිරීම ගැන ස්තූතියි.

      Delete
    2. මිරිසට උයපු මාලුයි, පොලුයි, මීකිරියි, බත් පිඟන් දෙකතුනකුයි.... ම්ම්ම්.... දිවිය ලෝක රස .....

      Delete
    3. ඇනොපිලිස්,
      දකුණෙ සුපුරුදු කෑමක් නේද?සමහරු බත් මීකිරි සහ පනිත් කනවා.මගෙ මීළඟ පෝස්ටුව ඔය ගැනයි.

      Delete
  10. කිරි කිව්වම මතක් වෙන්නෙ දකුණ උනත් මාටහ් කිව්වැහෙ පොළොන්නරුවෙත් හොඳ කිරි තියෙනව. කොටිම්ම සුනාමි කෝච්චිය පෙරලුනෙත් පොළොන්නරු කිරි නිසාය කියනවනෙ.

    ඉස්සර රත්මලානෙ ගවුස් දොස්තර මහත්තයගෙ පරණ දිස්පැනසරිය එහාපැත්තෙ තිබ්බ මාතර කඩේ කියල එකක්. ඕකෙ දොරකඩ පැණිමුල් එල්ලල තියෙනව. අපිට පැණි මුල් ආවෙ හෙවෙස්සෙ නන්දාරාම සාදුගෙ ගමෙන්.

    මේ ලඟදි ගඊෂ පෙරේරට නාමල් රාජපස්ස පිළිවැස්සෙ තියාපු කිරි මුට්ටියක් අවුරුද්දට යවපු එහෙක පින්තූරයක් කැරකුනා. එහෙම ඇරෙන්න පිරිවැස්සෙ තියපු කිරි කොහෙද. පිරිවැස්ස කිව්වම මතක්වෙන්නෙ ටිපින් එක.

    ReplyDelete
    Replies
    1. උඹ පුලුවන්නම් හොයා ගනින් ලංකාවෙන් පිට නොගිය එකෙක් ටිපින් එක කියන්නෙ මොකක්ද කියලා දන්න....අඩුගානේ ගෑවිච්ච එකෙක්වට් එලියට ගිහින් තියෙන්න ඕනි ඔය වචනේ තේරුම දැනගන්න...

      Delete
    2. දැන් පිරිවැහිත් හොඳ කිරි එක්කම නැතිවෙලා ගිහිං.ඒක නෙවෙයි පිරිවැස්සට සමාන වෙන්නෙ ටිපින් කැරියර් එකනෙ බං.ඔය චෙපාකිය කියල තියෙන්න වගේ කී දෙනෙක් ඔය වචනෙ දන්නවද බලමුකො.

      Delete
    3. ටිපින් කියන්නෙ අර ඉංදියාවෙ ඔපිස් වලට දවල්ට කෑම අරන් යන බාජනේට නේද ..???

      Delete
    4. 'රබ් නේ බනා දි ජෝඩි' ෆිල්ම් එකේ ඔය වචනෙ තිබුනා... දැං ක්ලික් උනා.
      හරිදෝ...???

      Delete
    5. Tiffin carrier

      http://en.wikipedia.org/wiki/Tiffin_carrier

      Delete
  11. මුදවපු කිරි ගැන මම ඉගෙන ගත්තේ කොළඹ තරු පහේ හෝටලයක වැඩ කරද්දී. හොදම තත්වයේ, කිසිම රසායනිකයක් නොදාපු කිරි තියාගන්න පුළුවන් දවස් දෙකයි. ඒ කියන්නේ අද කිරි මිදෙව්වා නං හෙට දවස ඇතුලත ආහාරයට ගන්න ඕනි. එහෙම නැත්තං අයින් කරන්න ඕනි.

    මම වැඩ කරපු හෝටලයට දිනපතා මුදවපු කිරි ගෙනාවා. අද උදේ කිරි ගෙනාවා නං අද දවසේ හෝ හෙට දවසේ ඇතුලත සාදන කෑම වර්ග වලට/ කෑමට විතරයි ඒවා ගන්නේ. එහෙම නැතිව තව දවසක් හෝ තියා ගත්තොත් ඒවා අවර්ණ වෙනවා. කෝල්ඩ් රූම් එකේ තිබා තිබුනත් ඒ වැඩේ වෙනවා.

    ඒ කිරි හට්ටි වල කල් නිෂ්පාදිත දිනය සහ කල්ඉකුත් වීමේ දිනය ගහලා තියෙන්නේ. ඒ දින අතර තියෙන්නේ දවසක/දෙකක වගේ පරතරයක්.

    ඒ නිසා කිරි ගන්නවා නං ඒවායේ කල් ඉකුත්වීමේ දිනය බලන්න. නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත්වීමේ දිනය අතර වෙනස දවස් දෙකක් වගේ තියෙන්න ඕනි. අන්න ඒවා තමයි කිසිම රසායනිකයක් නැති හොදම කිරි. ඕනි නං ඒ වගේ තියෙන කිරි හට්ටියක් ගෙදර ගෙනත් දවස් දෙකක් විතර තියලා බලන්න. එතකොට ඒවා අවර්ණ වෙනවා පෙනෙයි. එහෙම වෙන්නේ ඒවට කල්තබා ගැනීමේ ද්‍රව්‍ය දාලා නැති නිසා.

    සමහර තැන්වල තියෙන කිරි කෑවම බඩ දැවිල්ල එනවා. එහෙම වෙන්නේ කිරි කල්තබගන්න සමහර අය දාන ප්‍රභල රසායනික ද්‍රව්‍ය නිසා.

    ReplyDelete
    Replies
    1. //සමහර තැන්වල තියෙන කිරි කෑවම බඩ දැවිල්ල එනවා. එහෙම වෙන්නේ කිරි කල්තබගන්න සමහර අය දාන ප්‍රභල රසායනික ද්‍රව්‍ය නිසා.//

      සාමාන්‍ය කිරිවල ආම්ලිකතාව (pH අගය) 6.0 විතර වෙනව. ඒත් මුදවාපු කිරිවල ආම්ලිකතාව 4.5ක් 5.0ක් විතර වෙනව. ඒ්ක වෙන්නෙ මුදවාපු කිරිවලග වර්ධනය වෙන බැක්ටීරියා විසින් නිපදවන ලැක්ටික් අම්ල නිසා. ආම්ලිකතාව 4.5ක් වගේ කියන්නෙ ඇසිඩ් ගතිය සෑහෙන්න වැඩියි. කිරි පරන වෙන්න වෙන්න නිපදවෙන ලැක්ටික් අම්ල ප්‍රමානය වැඩිවෙන නිසා ආම්ලිකතාව තව තවත් වැඩිවෙනව. ඒ මුදවාපු කිරි ආහාරයට ගත්තාම බඩ දැවිල් අල්ලන එක ආයෙ අහන්නත් දෙයක්ද ????

      Delete
    2. ඇඹුල් වෙලා... පච වෙලා.. බඩ යන්නෙ ඒවගෙන් වෙන්න ඕනෙ.එතකොට අළුත්ම කිරි වලත් දිව පුපුරු ගහන ගතිය එන්නෙ මක්ක වෙලාද?

      Delete
    3. කිරි කියන්නේ උෂ්ණ ආහාරයක් නේ. සමහර අයට ඒවා කෑවම දිව එහෙම පුපුරු ගහන්නේ ඒ නිසා. බල කරවල වගේ දේවල් කෑවමත් එහෙම වෙන්නේ.

      Delete
    4. ඇනෝ,
      කිරි ගැන ඔබේ වෘත්තිමය අත්දැකීම් ඇසුරෙන් විස්තරයක් කිරීම ගැන බොහොම ස්තුතියි.මේ ලඟදි මගෙ මිත්‍රයෙකුගේ කඩේට පැනපු පී එච් අයි මහත්තුරු විකුණන්න තිබුන කිරි හට්ටි ටික ඔක්කොම විනාස කරල දාල තියෙන්නෙ කල් ඉකුත්වන දිනය තර්කානුකූල නෑ කියලලු.

      Delete
    5. ඇනෝ,
      ඇත්තටම මුදවපු කිරි උෂ්ණ අහාරයක්ද?මම හිතාගෙන හිටියෙ ශීතල ආහාරයක් කියලයි.

      Delete
  12. කොහෙන් පටන් අරණ කොයි විදියට ඉවර උනත් කතාවෙන් ඔලුවට දාගත්ත දේවල් බෝමයි.. නියමයි හැලප අයියා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සජ්ජෝ.අපි කා ලඟත් තමන්ටම සීමාවූ අත්දැකීම් සහ කතා තියෙනව නොවැ.ඒ අත්දැකීම් අනික් අයත් එක්ක බෙදාගැනීම නිසා කාටත් යම් යම් දේවල් දැනගන්න ලැබෙනවා.ඒ කියන්නෙ ඔබ ලියන කතාවකින් උනත් අපි යමක් ඔලුවට දාගන්නවා.

      Delete
  13. කොහේ කිරි කෑවත් කතරගම පැත්තෙ එව්ව නම් කන්නෙ නෑ. එක පාරක් කාල ගිය කට්ටිය ඔක්කොටම කැලෑවලට රිංගන්න සිද්ද උනා. කිරි හදන්න ෆෝමලීන් දානවාළු.

    ReplyDelete
    Replies
    1. මේ ෆෝමලීන් දාන කතාව ඇත්ත. සමහර වෙලාවට අලුත් පිට වගේ තියෙන පකිරි කෑවමත් බඩ දන්නේ මේ වගේ සැර බෙහෙත් දාලා කිරි කල්තබා ගන්න නිසා.

      Delete
    2. මේ ෆෝමලීන් දාන කතාව ඇත්ත. සමහර වෙලාවට අලුත් පිට වගේ තියෙන කිරි කෑවමත් බඩ දන්නේ මේ වගේ සැර බෙහෙත් දාලා කිරි කල්තබා ගන්න නිසා.

      Delete
    3. ගැමි කර්මාන්ත හැටියට තිබුන දේවල් දැඩි ලෙස වාණිජකරණය වීමේ විපාක අහිංසක පාරිභෝගිකයන්ට අත්විඳින්නට වෙනවා සරත්.

      Delete
  14. කියන්න ගියපු දේ කියවිලා නැති වගක් දැනුනත් සුපුරුදු පරිදි කතා ගොඩක් කියවිලා...
    අපේ පැතිවල මුදවපු කිරි දාන්නේ ප්ලාස්ටික් හරි වීදුරු හරි භාජන වල
    ඒවා කල් තියා ගන්න බැහැ.
    උපරිම දවසයි, නැත්නම් දෙකයි
    හැබැයි ඉතින් දන්න කියන උන්ගේ ගෙවල් වල හදන නිසා ගෙදරටම ගෙනත් දෙන කිරි බයක් හැකක් නැතුව කන්න ඇහැකි
    අවුරුදු බර ගාණක් ගෙවල් දෙකකින් අපේ ගෙදරට මී කිරි (අපි මුදවපු කිරි වලට කියන්නේ එහෙමයි, ඒ මුදවපු කිරි තනිකරම වගේ හැදුවේ මී හරක්ගේ කිරි වලින් නිසා වෙන්න ඇති) ගෙනාව, කවදාවත් ඒවා නිසා අපි කාටවත් බඩේ අමාරුවක්වත් හැදිලා නැහැ... හෙහ්

    ReplyDelete
    Replies
    1. //""කියන්න ගියපු දේ කියවිලා නැති වගක් දැනුනත් ""// ඈ කවද්ද බොල ඔටුවෝ හැලපයියා කියන්න ගිය දේ කිව්වේ .. හිකිස් අම්මපා ..නැද්ද හැලපයියේ...

      Delete
    2. අවුල කියන්නේ මු රවී ලොක්කා වගේ නෙමෙයි බොහොම සාන්ත දාන්තව පීලි පනින එකයි...
      ගල් ආඳෙක් වගේ මු පනින්නේ
      ඒකට අපේ රවී... ඌ පීලි පනින්නේ "ඔන්න මං පැන්නා" කියලයි

      Delete
    3. එහෙම නැවුම් කිරි කන්නට ලැබෙන එකත් වාසනාවක් ලොකු.නිකං වාසනාවක් නෙවෙයි කලාතුරකින් කෙනෙකුට ලැබෙන වාසනාවක්.

      Delete
    4. ඉවාන්,
      කියන්න ගිය දේ කියවෙලා නැතුව ඇති ඒ උනාට කවදාහරි ඒ දේ කියවෙනවා.ඒ නිසා ගනන්ගන්න එපා.

      Delete
  15. කාපු බීපුව ගැන කියලා අදත් අපිව අවුස්සලා තියලා ගියා නේද? මොනා උනත් සමකාලීන සෙට් එක මතකයන් අවදි කරන්න එකතුකරගත්තු හැටිත් නෙලුම් යාය පැවත්වුණු තැන ඔරිජින් එක සොයා ගිය හැටිත් අපූරුයි හැලප අයියෙ. ඕල්ඩ් ඉස් ගෝල්ඩ් කිව්වලු.

    ReplyDelete
    Replies
    1. ඔය නෙලුම්යාය පැවැත්වුන තැනත් එක්ක මගෙ බොහොම සමීප අත්දැකීම් තියෙනව මදාවියෝ.ඉතිං ලියද්දි නිකම්ම ඒ දේවල් ලියවෙනවා.

      Delete
  16. // මිදි ගැන කියන්න ගිහිං ඕකිඩ් ගැන කිව්වා ඕකිඩ් ගැන කියන්න ගිහිං කිරි ගැන කිව්වා.... // මේ හැලප ස්ටයිල්.. හි..හි... හැබැයි ඔහොම ලියන එකෙන් සමහර කතා මිස් වෙන එක තමයි නරක.

    ReplyDelete
    Replies
    1. සමහර කතා අදට මිස් වෙලා ඇති ඒ උනාට දුක් වෙන්න එපා ඒ කතා කවදාහරි ලියවෙනවා.

      Delete
  17. කිරි ගැන මාත් ලිව්ව බොහොම ඈත කාලෙ.

    http://raj1st.blogspot.com/2012/03/blog-post_15.html

    ReplyDelete
    Replies
    1. කියෙව්වා බොහොම රහයි.

      Delete
  18. ඉස්සර ඉස්කෝලෙ යන කාලෙ බාප්ප ගෙනා සිළුමින පත්තරෙන් තමයි පත්තර කියවිල්ල ආරම්භ වුනේ. ඒ කාලෙ තමයි පෙරියප්පෙරුම මහත්තය ගැන දැනගත්තෙ. ඇත්තම කිව්වොත් මැරුනට පස්සෙ ලිපියකින්. මට මතකයි ඒ ලිපියෙ තිබුන හිතවතුන් ඔහුට කියනව කියල "වින්සන්ට්ගෙ පනනල රැඳිල තියෙන්නෙ නණලළේ" කියල. කවුද හිතුවෙ එහෙව් අය එක්ක වැඩකරපු හැලපෙලා අද මෙහෙම මුනගැහෙයි කියල.

    ReplyDelete
    Replies
    1. වින්සන්ට් ගැන මගෙ ඇති ගෞරවය අති විශාලයි රාජ්.ඇත්තටම භාෂාවට ඔහුගෙන් සිදුවුන සේවයට ලැබිය යුතු ගෞරවය ඔහුට ලැබුනෙ නැති බව මගේ අදහසයි.මේ විදියට හෝ ඔහුට උපහාරයක් දක්වන්නට ලැබීම සතුටක්.

      Delete
  19. මං හොඳ කිරි කෑවේ මහකනදරාව යාය එක ගමේ පොඩි වැඩකට ගිහිං ගමේ ගදරකින් එදා දවල්ට හදාගෙන ඇවිත් තිබිච්චි කිරි මුට්ටිය! පංකාදු පහයි!
    අපි හතර පස් දෙනා මුට්ටියම ඉවර කරලයි නැවතුනේ

    ReplyDelete
    Replies
    1. මහකනදරාවේ හේනක් කොටන්න වත් ගියාද නාඩියෝ.

      Delete
    2. නෑ.. ඉස්කෝලෙට පොත් වගයක් බෙදන්න ගියා

      Delete
  20. කමෙන්ට් වල තියෙන්නේම කිරි පැණි ගැනනේ බං හැලපයියේ.
    අපිට කොහින්ද ඇහුවලු උණු මාළු,අද ගෙදර යමින් ගමන් කීල්ස් එකෙන් අරන් යනවා කිරි හට්ටියක්.පැණි නම් ගෙදර තියේ.
    පුවත්පත් මණ්ඩලයට උසාවියක බලතල තියේද හැලපයියේ.?

    ReplyDelete
    Replies
    1. මොන තරං දේ ලිව්වත් කමෙන්ට් වල තියෙන්නෙ කිරි පැණි ගැනමයි මනෝජ්.
      පුවත්පත් මණ්ඩලයට පුවත්පතක සඟරාවක පළවූ දේ වෙනස් කරන්නට සමාව ගන්නට නියම කරන්නට සංශෝධනය කර නැවතත් පල කරන්න කියන්නට බලය තිබෙනවා.උසාවියකට හා සමාන බලතල නෑ.

      Delete
  21. තියෙන හොඳම කිරි කෑවත් දවස් තුනක් විතර බඩයන එකෙක් හිටියා අපේ පන්තියේ. ඌට කිරි දැක්කත් ඇති

    ReplyDelete
    Replies
    1. එහෙම අය ඉන්නව ඉවාන්.ඒ උපන් අසාත්මිකතාවක් වෙන්න ඇති.

      Delete
  22. මට නම් කිරි පේන්න බෑ .. පැණි ටිකක් වැඩිපුර දාගෙන මුදවපු කිරි නම් කන්න පුළුවන් .. හැබැයි එච්චර කැමැත්තක් නෑ ...

    ReplyDelete
    Replies
    1. මෙන්න අපේ උගත් බුද්ධිමත් ලොකු මහත්තයා ඇවිත්. ඔබතුමාට අපි හරි කැමතියි. ඒ ඔබතුමා හොද පවුලක, හොද වැදගත් මහත්තයෙක් නිසා. ඔය ගරු කටයුතු තත්වය බ්ලොග් වල දිගටම තියාගන්න. හැමෝම කැමතියි ඔබතුමාට.

      Delete
    2. අපිටත් නිතරම කන්න කිරි ලැබෙන්නෙ නෑ පැතුම්.

      Delete
  23. අපේ ගෙදර දැන් අවුරුදු දෙකක් විතර පරණ හොද සරුවට වැවුන මිදි වැලක් තියෙනවා. මල් ආවට ගෙඩි නෑ..හැලපයියා ලග මේකට කෙමක් නැද්ද ?

    ReplyDelete
    Replies
    1. පසලොස්වක දවසක චන්ද්‍රග්‍රනයක් තියන වෙලාවක නිර්වස්ත්‍රයෙන් ගිහින් කතා නොකර මිදි වැලේ අඟලක විතර හරියේ වටේම පොත්ත ගලවන්න ඕනෑ.

      Delete
    2. පරණ බැටරි කෑලි තලලා ඒවායේ මදේ දාන්න මිදීවැලේ මුලට. එතකොටත් හොදට මිදී හැදෙනවා. ඒ කාරණේ නං කෘෂිකර්ම නිලධාරීයෙක්මයි කිව්වේ.

      ඔය අපේ ඇනෝ කෙනෙක් කියලා තියෙන දේ නං දැනගත්තේ දැන්. හැබැයි දෙහි ගස් වල ගෙඩි හැදෙන්නේ නැති උනාම රෑ දෙගොඩ යාමේ හෙළුකොට්ටෙන් පොල්ලකුත් අරං දෙහිගහ ගාවට ගිහිං කුණුහරුපෙන් දෙහි ගහට බනින ගමන් පොල්ලෙන් දෙහි ගහට ගහන්න ඕනි. මොකද හුත්තිගේ දෙහි ගහ ගෙඩි හැදෙන්නේ නැත්තේ. හැදියන් දෙහි ගෙඩි කිය කියා දෙහි ගහට ගහන්න ඕනි. එතකොට ටික දවසකින් දෙහි ගෙඩි හැදෙනවා.

      Delete
    3. ස්තූතියි මිත්‍ර වරුනි. බැටරි කෑල්ල අත්හදා බලමු.

      Delete
    4. මෙපමණ කල් ගිහිං නම් ගෙඩි හැදෙන එක අවිස්වාසයි.හොඳ වර්ගයේ මිදී පැළයක් හොයා හිටවන්න කියන්න.

      Delete
  24. හැලපෙ අය්ය බෙනට් අය්යල එක්ක වැඩ කරපු පද්මලාල් ජයනෙත්තිව (ජයන්ත) දන්නවද? එයා ගිය සතියෙ නැති උනා

    ReplyDelete
    Replies
    1. හෝදිසියක් නෑ ඇනෝ.සමහරවිට එයා එන්න ඇත්තෙ මම බෙන් එකෙන් ගියාට පස්සෙ වෙන්න ඇති.කොහොම උනත් පනිවිඩේට ස්තූතියි.

      Delete
  25. හැලපේ කවදාහරි පොතක් ලියනවානම් මේ කොමෙන්ට් ටිකත් ඒකට එකතු කරන්න. කිරිපැණි වගේ රස කතාබහක් . පසන්ව මටත් කීප වතාවක් මුණ ගැසිලා තියෙනවා. පහුගිය මාසේ ජයරත්න එකට ගිහින් අවසන් වතාවට බලල ආවා

    ReplyDelete
    Replies
    1. ඇත්තටම තිලකේ ඒ වැඩේ කල යුතුමයි.මොකද කමෙන්ට් වල කතාවට වැඩි දෙයක් ලියැවිලා තිබෙනවා.හරියටම කිව්වොත් පෝස්ටුව සර්ව සම්පූර්ණ වන්නේ කමෙන්ට් වලිනුයි.

      Delete
  26. සල්ලාල ගමන වගේ දැක්කේ මුලින් :-D

    ReplyDelete

ඔබේ අදහස්