අදත් තව ටිකක් මඤ්ඤොක්කා ගැන ලියන්න කල්පනා කලේ මම ලියපු මඤ්ඤොක්කා හැළියෙ කතාවට අපේ කට්ටිය බොහොම මනාපයක් දක්වපු නිසයි,මනාප කියන්නෙ ගොඩක් අය මඤ්ඤොක්කා ගැන කෙළ හලාගෙන කමෙන්ට් කරල තිබුණා. නොරට ඉන්න අපි වගේ අයනං කමක් නෑ කියමුකො, ලංකාවෙ ඉන්න අයත් බොහොම කෑදරකමකින් කතා කළා නොවැ...
ඒ වුනාට පහුගිය කාලෙ මම ලංකාවෙ හිටපු දවස්වල මෙන්න මෙහෙම දේකුත් වුනා,මගෙ අර පොඩි කෙහෙල් කෑල්ල තියෙනවනෙ මම නැති ටිකේ කෙහෙල් ගස්වලට කිසිම සාත්තුවක් තිබිල නැතුව බොහොම දුක්ඛදායක තත්වයකට කෙහෙල් කොටුව පත්වෙලා තිබුණා, වල් වැවිල ගස් කඩාගෙන වැටිල කපපු කෙහෙල් මුල් දිර දිරා යනවා බලන්න දුකයි කිව්වහම මොකද නලින්ල අටං ල අපේ ගෙදර ආපු වෙලාවෙත් පුතා කොටුවට යමු යමු කිව්වට මම උන්ව එක්ක ගියෙ නෑ පෙන්නන්න බෑ විලි ලැජ්ජයි...
ඉතිං කොටුව මේ විදියට තියන්නත් පුළුවනැයි බලන්න බෑ දුකයි ඒ නිසා මම කොල්ලො ටිකකුත් අඬගහගෙන කොටුවට රෙපෙයාර් එකක් දෙන්න පටන්ගත්තා. කෙහෙල් මුල් ඔක්කොම ගලෝල දාල වැඩිපුර පැළ අයින් කරල වල් සුද්ද කරලා පෝර පාරකුත් දාල යන්තං මනුස්ස පාටකට හදාගත්ත,වැඩක් නං නෑ ඉතිං මම ඇවිත් කොටුව සුද්ද පවිත්ර කරලා පෝර දාල යන්න ගියාම වැටෙන කෙසෙල්කැන් ටික ඉන්න අය කපාගෙන කනව,අඩු තරමෙ කපපු ගහක මුලක් වත් ගලෝල දාන්නෙ නෑ,ආයෙම කැලෑ වැහුනම මම ආපහු ආපු වෙලාවක සුද්ද කරන තුරු එහෙමම තියෙනව හරියට සංසාර චක්කරේ වාගෙ තමයි ,ඉතිං ඔය වැඩ ටික ඉවර වෙද්දි දවල් එක දෙක උනා මම කට්ටියට එතනම හීනියට කර්තව්යයකුත් කරන්න ලෑස්තිකරලා තිබුණා...
මඤ්ඤොක්ක පඳුරු දෙකක් ගලෝල තම්බගමු...
මම එහෙම කිව්වම කට්ටිය කට ඇද කරගත්ත...
මඤ්ඤොක්ක කන්න බෑ අයියෙ පාන් ගෙන්නන්න...
ඒ ගමන චූං පාන් වෑන් එකෙන් උණු පාන් අරගෙන කලටි පොල් ගෙඩියක් කඩල සම්බෝලෙකුත් ගලේ තලෝගෙන කට්ටිය එක්ක සතුටින් කෑවා,සම්බෝල එක්ක නෙවෙයි උණු පාන් කලටි පොල් එක්ක කාල තියෙනවද මාර රසයි,අපි කොල්ලො කාලෙ ඔය වෙසක් සැරසිලි එහෙම කරද්දි මහ රෑ හොර කුරුම්බ කඩනවනෙ ඒ වෙලාවටත් කලටි කඩල ටවුමෙ බේකරියෙන් උණු පාන් ගෙනැත් කනවා...
පෙළක් කොල්ලන්ට නං පාන් කන්න ඔය මොකුත්ම ඕනත් නෑ. දවසක්දා පාන්දර පාන් ගෙනාපු වෙලාවක කපිලය පාන් ගෙඩි දෙකයි තුන්කාලක් නිරි පිටින්ම කෑවනෙ,ඔය රැකෝඩ් එක අවුරුදු කීපයක් තිබිල ආපහු කැඩුවේ කපිලගෙම පොඩි මල්ලි වසන්ත,වසන්ත එදා පාන් රාත්තල් තුනයි කාලක් නිකම්ම කෑවා...
ඔය වගේ රැකෝඩ් කාලෙන් කාලෙට ඇතිවෙනව කැඩෙනව, වීරෙ කුරුම්බ බීල තියපු රැකෝඩ් එක නං තාම කඩල නෑ, දවසක්දා මහ රාත්තිරියෙ වීරය කුරුම්බ ගෙඩි හතරක් බීල හතරෙම ලොඳත් කෑවා,වීරයව දැකපු කෙනෙක් නං මු මෙහෙම වැඩක් කරයි කියල හිතන්නෙවත් නෑ, ඒ තරං කේඬෑරි කොල්ලෙක්,දැන් ඉන්න කොල්ලො පරපුර නං හොර කුරුම්බ කඩනව කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නැතුව ඇති...
ඔව්ව ඔහොම තමයි කලින් කලට පලින් පල කිව්වලුනෙ,මම නං ඉතිං කොයි රටේ හිටියත් අල බතල මඤ්ඤොක්ක ටිකක් හොයාගන කන්න උපරිම උත්සාහයක් ගන්නවා,යුරෝපෙ සමහර වෙලාවට හුළං වදිනවට ලෙල්ලෙ ඉටි ගාපු මඤ්ඤොක්කා තායි කඩවල ඉන්දියන් කඩවල තියෙනව දැක්කම අරං ගිහිල්ල තැම්බුවට කොච්චර වෙලා තැම්බුවත් තැම්බෙන්නෙ නෑ ගල් කෑලි වගේ, අපරාදෙ ගෑස් ටික කියල බැන බැන අල කෑලි ටික විසික්ක කරල දානව...
ඔන්න අපි චෙන්නායිවල ඉන්න කාලෙ බිරිඳගේ ගමේ මනුස්සයෙක් ඉන්දියාවෙ එනව කියල මොනවද එවන්න ඕනි කියල ගෙදරින් ඇහුවම මඤ්ඤොක්ක ටිකක් එවන්න කියල බිරිඳ කිව්වලු,අයියත් රට ගෙනියන්නනෙ කියල මඤ්ඤොක්කා කිලෝ ගාණක් වත්තෙන් ගලෝල අර මනුස්සයට ගිහිං දුන්නට බර වැඩිවෙනව කියල අල දෙකක් විතරක් අරං ඇවිත් තිබුණා,පහුවදා උදේ ඒ මඤ්ඤොක්කා අල දෙක තම්බල පොල් සම්බෝලත් එක්ක කෑම මේසෙට තිබ්බම අර මනුස්සය තම්බපු අල ටික ඔක්කොම කාල යන්න ගියා,අනේ පව් මඤ්ඤොක්ක කන්න ආසාවෙන් හිටපු අපි දෙන්නට හුළං...
දැන් කොල්ලො නං අපි වගේ ඔය වැල්අල, බතල මඤ්ඤොක්ක වලට පෙරේතකමේ දඟලන්නෙ නෑ, උන්ට පොටැටෝ චිප්ස් බැදල දුන්නනං කයි,ෆ්රෝසන් චිප්ස් හැමදාම කන අපිට මුද්දරලගෙ දෙන්දරමුන්දෙ ගෙදර ගියාම ප්රෙෂ් චිප්ස් කන්න ලැබෙනව,ඒ කියන්නෙ මුද්දර වත්තෙ අර්තාපල් වවනවා,ගේ පිටිපස්සෙ තියෙන පොඩි ඉඩං කෑල්ලෙ අර්තාපල් ලීක්ස් තක්කාලි බීට්රූට් එක්ක තව අපි නම් දන්නෙ නැති එළවලු ජාති මුද්දර වවාගෙන තියෙනව...
ඒ ගොල්ල වත්තෙ පලදාව එකසැරේ නෙලාගන්නෙ නෑ උයන්න ඕනෑවුනාම හිල්ඩ නංගි ගිහිං වත්තෙන් ලීක්ස් ටිකක් බීට්රූට් ගහක් දෙකක් ගලෝගන්නවා,එහෙම නැත්නං අපි ගියාම අපට ගේන්න දෙන්න ගලෝනවා, එහෙමත් නැත්නං ඊළඟ කන්නෙ වෙනකල්ම මෝර මෝර තිබිල පස් පෙරලනකොට යටවෙලා යනවා...
දවසක්දා අපි එහෙ ගිය වෙලාවක හවස මුද්දරයි මමයි ගේ පිටිපස්සෙ තියෙන සමර් හට් එකට වෙලා බියර් බෝතලයක් සප්පායම් වෙමින් හිටියා,එදා මුද්දර මට දීපු බියර් බෝතලේ හරිම රසයි, මම ඕක කිව්වම අපොයි ඔය ජාතියෙන් බෝතල් දෙකතුනයි ගෙදර ඇත්තෙ කියපු මුද්දර දඩ බඩ ගාල වාහනේට නැගල ගිහිං ඒ ජාතියෙ බියර් පෙට්ටියක්ම ගෙනාවා,මොකද මුද්දරල බියර් වයින් එහෙම බොන්නෙ වතුර වෙනුවටනෙ, මමත් එහෙම කියල හිතන්න ඇති,බෙල්ජියමෙ ඉන්ටනැෂනල් බ්රෑන්ඩ් ඇරෙන්න ලෝකල් බියර් වර්ග හාර පන්සීයක් තියෙනව වයිනුත් එහෙමයි දවසකට එක වර්ගෙ ගානෙ අවුරුද්දක් බිව්වත් ටේස්ට් කරලා ඉවර කරන්න බෑ ...
අපි උදේට කහට තේ, කිරි එහෙම බොද්දි මුද්දර පෝට්වයින් ටිකක් බොනවා උදේ එළිවෙනකොට බේකරියට ගිහිං පාන්,කෘවසොන් එහෙම අරං ඇවිත් බටර් ගාගෙන හය වෙද්දී උදේට කනව, දවල් දොළහට දවල් කෑමත් හවස හයට රෑ කෑමත් ගන්නවා,හැම කෑම වේලකදිම හරි හරියට රෙඩ් වයින් බොනවා,අවුරුදු හැත්තෑ ගානක් වෙලත් තවම තරුණය වගේ ඉන්නෙ වාහන එළවන්නෙ එහෙම මුද්දරගේ කෑම වේලේ තියෙන ක්රමවත් භාවය නිසා කියලයි මට නං හිතෙන්නෙ...
ලංකාවට ගිය වෙලාවට මුද්දරට බොන්න වයින් හෙවිල්ල හරි අමාරුයි, ඒ රටේ යුරෝ දෙක තුනක් වෙන බාල වයින් බෝතලයක් වුනත් ලංකාවෙ රුපියල් දෙතුන් දාහක් වෙනවලු,මුද්දරට වයින් නැතුව කන්න බැරි නිසා ලොකු ගණන් දීල වයින් ගන්න වෙනවා...
ඉතිං මම කියාගෙන ආවෙ අපි දෙන්න බියර් බිබී හිටපු කතාවනෙ,ඔන්න අපි ඉඳන් හිටපු තැනට පොඩ්ඩක් එහයින් මුද්දරගෙ අර්තාපල් වගාව,අපේ රටේ අර්තාපල් වැව්වට මොකද හිටවන හැටි අල ගලවන හැටි එහෙම අපි කවදාවත් දැකල තියෙනවයැ,ඔය නුවරඑළිය වැලිමඩ පැත්තෙ ගියොත් අල පාත්තිවලට තෙල් ගහන හැටි දකිනව ඇරෙන්න...
ඉතිං මමත් නොදන්නාකම සහ කුතුහලය නිසාම මුද්දරගෙන් අල ගැන විස්තර ටිකක් ඇහුව,ගලවන්නෙ කොහොමද අර්තාපලුත් බතල වගේ මුලකින් සම්බන්ධවෙලා තියෙනවද ආදී වශයෙන් මෝඩ ප්රශ්න දෙකතුනක් ඇහුවා...
මුද්දර වචනයක්වත් කතා නොකර එතනම වැටට හේත්තු කරලා තිබුණු සවලත් අරගෙන අල පාත්තියට ගිහිං කොළ කහ පාට වෙලා තිබුණු අර්තාපල් පඳුරු දෙකක් සවල ගහල ගලවනකොට ලොකු බිත්තර ගෙඩි වගේ අර්තාපල් අල පොළොවෙන් මතුවුනා,එතනම අල කිලෝ තුනහතරක් තිබුණා,ටිකක් එවෙලෙම පොතුඇරලා පොඟන්න වතුර එකක දාල තියල චිප්ස් මේකර් එකෙන් කපල ප්රෙෂ් චිප්ස් බැදල කෑවා,ඉතුරු ටික අපි පහුවදා බ්රසල්ස් එද්දී අරං ආවා ...
මම තවදුරටත් විස්තර අහපුවම අර්තාපල් හෝ එළවලු වවන්න කිසිම රසායනික පොහොරක් හෝ බෙහෙතක් නොයොදන බවත් කන්නයක් වගා කරන්නට පෙර කොම්පෝස්ට් පෝර ට්රැක්ටරයක් ඉඩමට දාල පස පෙරලගන්න බවත් වතුර ඇරෙන්න වෙන කිසිම දෙයක් වගාවට නොදමන බවත් මුද්දර මට පැහැදිලි කරල දුන්නා...
අපේ රටේ එළවළුවලට පොළොවෙන් කොළේ උඩට ආදා ඉඳන් රසායනික පෝර සහ තෙල් බෙහෙත් දැම්මෙ නැතිනං වගාව පාළුවෙන බව මම කියපුවම මුද්දර ඇස් දෙකත් උඩ ඉන්දගෙන අහගෙන හිටියා...
ඇත්තම කතාව ඒකනෙ අපේ රටේ තෙල් බේත් ගහන්නෙ නැතුව හදන්නෙ මොනවද, පළා වර්ගවලට පවා කපන්න දවස් දෙකකටද කොහෙද කලින් තෙල් ගහනවලු,එහෙම බලපුවම මොන තරං විසක් අපි කනව ඇද්ද .කොහොමත් අපි පොලේ ගියාම පලා ජාති දෙක තුනක් ගන්නවා,තක්කාලි දාල උයන්න කියල බිරිඳ සාරණ මිටියක් ගන්නව,එතකොට මැල්ලුමක් කන්නයි කොළකැඳවලට දාන්නයි මම මුකුණුවැන්න මිටියක් ගන්නව,හදිසියෙ බයිට් එකක් එහෙම හදාගන්න ඕනෑවුනොත් කියල කංකුන් මිටියකුත් ගන්නව...
කංකුන් ගස් කීපයක් තෙල් දාල, බැදපු මස් හරි මාළු හරි කෑලි දෙක තුනක් උඩින් තියල දෙන බයිට් එකට නාරාහේන්පිට වලේ ඒ කාලෙ රුපියල් එකසිය පනහක්ද කොහෙද ගත්ත දැන් නං ඊට වැඩි ඇති...
අපි සිංගප්පූරුවෙ ඉද්දි දවසක්දා එහෙ ඉන්න ඒකනායක මාව හම්බවෙන්න හෝටෙලේට ආවා ඇවිත් බියර් එකක් ගහන්න යමු මචං කියල මාව එළියට එක්කරන් ගියා,අපි හිටපු හෝටෙලේ ලඟම තිබ්බ රෙස්ටුරන්ට් එකකට ගිහිං එළියෙ තියල තිබ්බ මේසෙක වාඩිවෙලා බියර් ඕඩර් කළා, බයිට්වලට මොනවද කන්නෙ කියල වේටර් කෙල්ල ඇහුවම ඒකනායක වෙජිටේරියන් නිසා කංකුන් ගේන්න කිව්වා...
මොනවද සෝස් වගේකින් තම්බල හදපු තෙල් නැති රසම රස කංකුන් බයිට් එකත් එක්ක අපි දෙන්න බඩ පැලෙන්න බියර් බොමින් ඉද්දි ෂොපින් ගිහිල්ල හිටපු බිරිඳ ඇතුළු කාන්තා කණ්ඩායම පස්සෙන් මිනිහෙක් එනවය හොරෙක්ද දන්නෙ නෑ වහාම එන්නය කියල මට කෝල් එකක් ආව නිසා ඒකනායකට ටැක්සියක ගෙදර යන්න කියල මම කාන්තා කණ්ඩායම හිටපු තැනට පයින්ම ගියා...
අපේ පොලේ පළා විකුණන ගෑනු පේලියෙ හිටපු එක කටකාර ගෑනු කෙනෙක් පළා විකුනලම අපිත් එක්ක හිතවත් වුනා,අපිට පළා ඕනැ නැති දාටත් මේ අම්මණ්ඩි කොහොම හරි පළා මිටියක් ඇඟේ ගහනව,ඈත එනව දකිද්දීම...
එන්න මැණිකෙ මොනවද ගන්නෙ...
ඔන්න ඔය විදියට පළා ගනුදෙනු සිද්දවෙද්දී තවත් දවසක අපි දෙන්න පොලේ ගියා,පළා අම්මණ්ඩි කෑ ගහනවා ...
එන්න මැණිකෙ,එන්න පැටියො මොනවද ඕනැ...
පැටියො කිව්වෙ මට, බිරිඳ මාවත් ඇදගෙන ශීග්රගාමී දුම්රියක වේගෙන් එතනින් ගියා,ඊට පස්සෙ නං කොළ ගන්න ඒ ගෑනු කෙනා ලඟට ගියෙ නෑ නමක් දාගත්ත විතරයි...
ඔයාට කොළ ගන්න ඕනැනං තව කොච්චර තැන් තියෙනවද පැටියගෙන්ම ගන්න ඕනැයි...
ඒ වුනාට අපි කෙහෙල්ගෙඩි ගන්න තැන ඉන්න අම්මයි දුවයි නං එහෙම නෑ ඒ ගොල්ල කාබයිට් ගහල ඉදෝපු කෙහෙල් ගේන්නෙත් නෑ,කොළ මිටි කොස්,දෙල්,වැල්අල ජාති, නාරන් කාමරංගා පොල් රඹුටන් කෙහෙල්මුහ ආදී නොයෙකුත් ජාති ගංගොඩෙන් හොයන් ඇවිත් මේ ගොල්ල විකුනනවා...
වැල්අල ජාතිවලිනුත් හිඟුරල මම ආසම අල ජාතියක්,බඩේ ඌෂ්ණේ නිසා දරුපල ප්රමාද වෙන කාන්තාවන්ටත් වෙද මහත්තුරු හිඟුරල කන්න කියනවලු, බඩ හීතල වෙන්න කියාපු බේත,ඔය අම්ම ගාව හිඟුරල නැති දවසටත් මම අහනව...
හිඟුරල ගලවන්න තව සතියක් දෙකක් යනව මහත්තයො මේ මාසෙ අන්තිමට ඉතර ඕං ගේන්න පුළුවනි...
එහෙනං ගෙනත් දෙන්නකො කිව්වහම මොකද මට නං නෙවෙයි මේ අපේ නෝනට කන්න දෙන්න...
මාව අල්ලගන්නෙ නැතුව ඔයාට ඕනෑ දෙයක් ගෙන්නගෙන කන එකයි...
ඔන්න බිරිඳ ගෝලු ගන්නව ...
හරි හරි මං මහත්තයට හිමිහිට අල ටිකක් ගෙනැත් දෙන්නන්කො...
අම්මත් හිනැහී හිනැහී කියනව,මම එතනට ගියාම එතන ඉඳන් ටිකක් වෙලා වෙළඳාම් කරලත් තමා පොලෙන් පිටවෙන්නෙ...
හිඟුරල කොච්චර රසවුනත් සුද්ද කරනකොට අත කසන නිසා බිරිඳ අල්ලන්නවත් කැමති නෑ,අතට සිලි කවරයක් දාගෙන හරි මම සුද්ද කරල දීල උයෝගෙන කනවා,කන්න ගෙනාපු හිඟුරල වල ඉහටිය කපල අළු ගාල තිබ්බම හිටෝන කාලෙ වෙනකොට දළු දාන්න ගන්නව,ගෙදර තිබ්බ අල ඉහටි ටික මම ගිහිං කොටුවෙ කොළ රොඩු පුච්චපු තැනක් කොටල යටකරල දැම්ම,වැල් දුවන්න කෝටුත් තිබ්බා,මාස ගානකට පස්සෙ වැල් මැරෙන්න ගත්ත, අල ගලවපුවම කිලෝ විසිපහකටත් වඩා අස්වැන්න තිබුණා,ඒ ගමන අපි ගෙදරත් කාල ඉතුරු හරිය යාළුවන්ටත් බෙදල දැම්මා...
ඊට පස්සෙ අල වාරෙ එතන කුකුළල හිටෙව්වා,දන්නවනෙ අර වටු බිත්තර වගේ පොඩි අලේ පොත්ත පිටිං තම්බල පොත්ත ඇරල කනවා,කොච්චර රස උනත් පොත්ත ගලවන්න ගියාම කම්මැලියි,කුකුළල තම්බපුවම අල බෙදපු පිඟාන බිරිඳට දීල තව පිඟානක් අරං මම එතන වාඩිවෙනව,බිරිඳ පොතු ගලෝ ගලෝ මගෙ පිඟානට දාන දාන අලේ පොලුත් එක්ක මම කනව,හරි ලේසියි හරි පහසුයි හරිම රසයි.
මාර්තු 31 වන දිනට යෙදෙන බිරිඳගේ විවාහ සංවත්සරය වෙනුවෙන් මේ කතාව ඇයට ආදරයෙන් පිළිගන්වමි.











