අපි හැසිරෙන්නෙ ක්‍රියාකරන්නේ අපට අවශ්‍ය ආකාරයටද එහෙම නැත්නම් අපේ ජීවිත හසුරුවන යම් කෙනෙක් හෝ බලවේගයක් ක්‍රියාත්මක වෙනවාද කියන කාරණය මට නිතරම කල්පනා වෙන දෙයක්,මොකද කිව්වොත් අපේ ජීවිත පාලනය කරන මෙන්න මේ දෛවය නමැති බලවේගය අදෘශ්‍යමානව අපේ ජීවිතවලට කරන බලපෑම මා මගේ ජීවිතයෙත් යම් යම් අවස්ථාවන්හිදී දැක අත්විඳ ඇති නිසායි...
ලෝකයේ ජීවත්වන හැමටම නියමවූ තැනක් තියෙනවය කියල කියනවනෙ,වඩා විස්තර සහිතව කිව්වොත් අපි කොපමණ කැමැත්තෙන් හිටියත් අපට ලැබෙන්නෙ අපි කැමති දේ නොව අපට ලැබෙන්නට නියම වෙලා තියෙන දේයි...යම් දෙයක් හෝ කෙනෙකුට අපි කොපමණ ආසාවෙන් හිටියත් එය අපට ලැබෙන්නට නියමිතව නොමැතිනම් අපි මොන තරම් උත්සාහ ගත්තත් ලැබෙන්නෙ නැහැ සහ අපට ලැබෙන්නට නියමිතව ඇත්නම් කිසිම උත්සාහයකින් තොරව එය ලැබෙනවා...ඔය වගේ වෙලාවට ලැබීමක් නෑ හෝ ලැබීම තමයි කියල අපි කතාවට කියනව...
ඒ වගේම කෙනෙක් අමාරුවක කරදරයක වැටෙන්නට යන වෙලාවක් ගත්තොත් එවැනි කරදරයකට අමාරුවකට වැටෙන්නට අපේ දෛවයේ ලියවිලා නොමැති නම් ඒ දේ කිසිසේත්ම සිද්ද වෙන්නෙ නෑ,ඔය කාරණේ අනික් පැත්තත් ඔය විදියමයි...මේ දේ මගේ ජීවිතයෙ කිහිප සැරයක්ම මම ඉතා හොඳින් අත්විඳල තියෙනව කිව්වොත් එය නිවැරදියි...මට හොඳින් මතක කාලයේ මම අත්දැකපු එක සිද්දියක් මා කියන්නම්,මේ කතාවට සෑහෙන අතීතයක් තියෙනව,ආ අතීතෙ කියනකොට මට තව දෙයක් මතක්වුණා...මම අතීතයෙ කතාවක් ලිව්වොත්,කියන්නකො 1940 ගණන්වල හෝ 50 ගණන්වල කතාවක් කියල ඔන්න එතකොට,
අප්පේ මේ හැලපය අපේ සීයටත් වඩා වයසනෙ,ආදී වශයෙන් මගේ සමහර පාඨකයින් කියන්න ගන්නව සහ ඒ අනුව තමන් හිරිමල් යොවුන් තරුණයෙක්ය කියල හිතමින් තරමක සොමියකුත් ලබාගන්නවා...ඒ ගැන මගේ කිසිම අමනාපයක් නෑ, නමුත් මගේ ප්‍රශ්නය නම් එවැනි පරණ කතා ලියන්නට මා එකල ජීවත්වෙලා සිටිය යුතුමද,එහෙම නොමැතිව කියැවූ හෝ ඇසූ කතා ලියන්නට බැරිද කියන එකයි...
මම කියාගෙන ආව කතාවට ආපහු යමු,කාලය 1980 වර්ෂය,හරියටම කිව්වොත් 80 ජුලි මාසය...1977 දී පත්වුනු ජේ ආර් ජයවර්ධනගෙ ආණ්ඩුව තම බලයේ උපරිමයෙ හිටපු සමය,විපක්‍ෂයේ වෘත්තීය සමිති ඉතාම මෝඩ තීරණයකට ඇවිත් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් කැඳෙව්වා...80 ජුලි වැඩ වර්ජනයත් එහි ප්‍රතිපලත් සියලුම දෙනා දන්නා නිසා මා ඒ ගැන විස්තර කරන්නට යන්නෙ නෑ,මේ වැඩ වර්ජනය යකඩෙන් ලෙයින් කඳුලෙන් මර්දනය කිරීම සඳහා ආණ්ඩුවට ඇති සියලුම බලය යෙදෙව්වා කියල විතරක් කියන්නම්...වර්ජනයට සේවකයන් පොළඹවන ඕනෑම කෙනෙක් අත්අඩංගුවට අරගෙන දින නියමයක් නොමැතිව රිමාන්ඩ් කරන්නට ආණ්ඩුව පොතේ නැති නීති පවා උපයෝගී කරගත්තා...
ඔය අද සිල් අරං ඉන්න යු ඇන් පියේ ලොකු ලොකු උදවිය එදා බලයෙන් මත්වෙලා කියපු කරපු දේවල් ඇහුවොත් බල්ලොත් බත් කන්නෙ නෑ,එච්චර හිරිකිතයි,කැස්බෑවේ මන්ත්‍රී ගාමිණී ලොකුගේ එදා වර්තමාන ජනාධිපතිවරයාගේ ඔලුවට පිස්තෝලෙ තියල තර්ජනය කළා...අද පිස්තෝලේ තියපු කෙනාටම දණ ගහල ඇමතිකම් අරගෙන රෙදි නැතුව ආණ්ඩුවට කඩේ යනව, විළි ලැජ්ජ නැතිකම ඇමතිකමටත් වඩා ලොකුයි කියනවනෙ...
ඔය මම වැලිසර ඉස්පිරිතාලෙ රාජකාරි කරන සමය,ඒ වෙද්දි මගෙ සේවය ස්ථිරවෙලා මාස ගානයි පරිවාස කාලය ගෙවමින් හිටියෙ...අපි සම්බන්ධ වෙලා හිටපු වෘත්තීය සමිතියත් වැඩ වර්ජනයට සම්පුර්ණ සහාය පළකර සිටියා,විපක්‍ෂයේ වෘත්තීය සමිති ක්‍රියාකාරිකයන් ඉස්පාසුවක් නැතිව වැඩ වර්ජනය සාර්ථක කරගන්න මහන්සි වෙද්දි ආණ්ඩුව පිස්සු බල්ලෙක් වගේ හරි හරියට වෘත්තීය සමිති ක්‍රියාකාරිකයන් මර්දනය කිරීම ආරම්භ කර තිබුණා...
වර්ජනයට දින දෙකකට විතර කලින් අපේ වෘත්තීය සමිතියෙ සභාපති වැලිසර ඉස්පිරිතාලෙට ආවා,ඔහු ආවෙ වර්ජනය කරන්න සුදානම් වෙලා හිටිය සේවකයන් දිරිගැන්වීමේත් වර්ජනය කරන්න සැකෙන් බයෙන් හිටපු අය විශේෂයෙන් කාන්තාවන්ගෙ බිය සැක නැති කිරීමේ අරමුණ ඇතුවයි...මේ සභාපතිවරයට අපි රණසිංහ කියමු ඔහු අද ඉන්න තත්ත්වය අනුව මට නියම නම කියන්නට බෑ...
රණසිංහ ඇවිත් කට්ටියට කතාකරල ඉවරවෙලා ඊළඟට රාගම ඉස්පිරිතාලෙට යන්න යොදාගෙන තිබ්බ නිසා රාගම යමුයි කියල හදිසියෙන්ම මටත් කතාකළා...
ඒ කාලය මගේ හදවත උණුසුම් කළ එක් සොඳුරු යුවතියක් එක්ක මම කුළුඳුල් ආදර ගීතය ගයමින් සිටි සමය මෙන්ම එදාම හවස දහඅටේ කනුවෙදී අපි දෙන්න මුණ ගැහෙන්නත් කටයුතු යොදාගෙන තිබුණා...එහෙම තියෙද්දි රණසිංහ රාගම යමු කියපුවම මම ලොකු ප්‍රහේලිකාවක පැටළුනා...
අද වගේ ආගිය අතේ ටෙලිපෝන් සහ මොබයිල් නොතිබුණු ඒ කාලෙ නොඑන බව දන්වා ඇයට පණිවිඩයක් දෙන්නට මොනම ආකාරකින්වත් හැකියාවක් තිබුනෙ නෑ...අපේ වෘත්තීය සමිති කටයුතු හෝ වර්ජන ගැන කිසිවක් නොදැන සිටි ඇය දහඅටේ කණුවට ඇවිත් මා බලාපොරොත්තුව සිටින බවත් තරුණියක් මහපාරෙ රස්තියාදු කිරීම නොකළයුතු දෙයක් බවත් මට කල්පනා වුනා...පස්සෙ කාලෙක ඇය මට කොකා පෙන්නල යන්න ගිය එක වෙනම කතාවක්...
මා පත්ව සිටි අපහසුතාව රණසිංහට කියපුවම මා හිතා සිටි විදියට ඔහු මට හිනාවුනේ නෑ,ඉතාම හොඳින් අවස්ථාව තේරුම් ගත්තා...
එහෙනං ගිහිං ඒ ළමයව පිටත් කරල කෙලින්ම රාගමට එන්න, අපි මෙහෙන් යන්නං...
ඒ එකඟතාව අනුව අපි මහබාගෙදී වෙන්වුනා,රණසිංහ රාගමට යනකොට මම මීගමුව බස් එකක නැගල කෙළින්ම දහඅටේ කණුවට ගියා...
කොච්චර ඉක්මනට එන්න ගියත් ආපහු රාගමට එද්දි පැය දෙක තුනක් ගතවුනා,රාගම ටවුමෙදි මට වැඩ ඇරිල ගෙදර යන ගුණේත් මුණගැහුන හින්දා මම ගුණේත් අඬගහගෙන රාගම ඉස්පිරිතාලෙට ගියා...
ගේට්ටුවෙන් ඇතුළට යන්න ලැබුනෙ නෑ වැඩ ඇරිල එන යාලුවෙක් පණිවිඩය දුන්නා...
රණසිංහත් යාලුවත් පොලිසියට අල්ලගෙන ගිහිං...
රණසිංහ රාගම ඉස්පිරිතාලෙ සහායකයත් එක්ක සේවකයන් වර්ජනයට පොළඹවන කතා කරමින් ඉද්දි ඉස්පිරිතාලෙ යු ඇන් පී සමිතියෙ උන් පොලිසියට පණිවිඩේ දීල පොලිසියෙන් ඇවිත් දෙන්නව අල්ලං ගිහිං...
ගුනෙයි මමයි යාළුවයි තුන් දෙනාම කෙලින්ම රාගම පොලිසියට ගියා...යනකොට රණසිංහයි යාළුවයි ඒ දෙන්නත් එක්ක කතා කරමින් හිටපු ලෙඩෙක් බලන්න ආපු මනුස්සයෙකුයි තුන් දෙනාම කුඩුවෙ ඉන්නව,ලෙඩා බලන්න ආපු මනුස්සය වර්ජනයක් ගැන අන්දෝ සංසාරයක් දන්නෙ නෑ ලෙඩාට කෑම එක දීල යන්න හවස ඇවිත් තිබුනෙ,වැඩේට අපටත් හිනා යන්න ආවා ඒ උනාට හොඳ නෑනෙ පස්සෙ තුන්දෙනාටම රෑට කන්න එහෙම ගෙනිහින් දීල අපි ගිහිං ගෙවල්වලට පණිවිඩේ දුන්නා...
වර්ජනය අසාර්ථක වෙන බව දැනගෙන සෞඛ්‍ය වෘත්තීය සමිති වර්ජනයට එක්වෙන්න තිබ්බ දවසට කලින් දවසෙ වර්ජනයට එක් නොවන බව කියා සිටි නිසා අපේ වැඩ පිළිවෙල එහෙම පිටින්ම අපතේ ගියා සහ ක්‍රියාකාරිකයන් දෙන්නකුත් කොහෙද නැති අහිංසකයෙකුත් හිරේ ගියා...
ඒ වෙලාවෙ රිමාන්ඩ් කරපු පාර රණසිංහ නොකරපු වර්ජනයකට එකතු වුනා කියල රස්සාවත් නැතිවෙලා දුක්විඳලා සෑහෙන කාලයක් ගිහිං මහන්සිවෙලා ආපහු රස්සාව හදාගත්ත,දිග කාලයක් නොසෑහෙන්න දුක් විඳලා අනුහතරෙ ආණ්ඩුව පෙරලිච්ච වෙලාවෙ රණසිංහලට තැනක් ආවා, මහරගම නගර සභාවෙ මන්ත්‍රීකමකටත් තේරුණා...දැන්නං අමාත්‍යංශයේ හොඳ තනතුරක ඉන්නෙ, දෛවයෙ සරදමකට වගේ අද ඔහු වෘත්තීය සමිති සටන් කඩාකප්පල් කරන්නට වැර වෑයම් කරමින් සතුටින් අමාත්‍යංශයේ රාජකාරි කරගෙන ඉන්නව...නියම නමින් ඔහුව හඳුන්වන්නට බැරි ඒ නිසයි...
ඉතිං මම කියන්නට ආවෙ එදා රණසිංහත් එක්ක මටත් රාගම ඉස්පිරිතාලෙට එන්න ලැබුන නම් මමත් ඔහුත් එක්ක අනිවාර්යයෙන්ම පොලිසියට අහුවෙලා රිමාන්ඩ් වෙනව සහ ඒ හේතුවෙන් රස්සාව නැතුව යනව,එහෙම උනානං මේ කතාව ලියවෙන්නෙ මීට හාත්පසින්ම වෙනස් ආකාරයකටයි...සමහර විට මටත් අමාත්‍යංශයේ ලොකු තනතුරක් ලැබෙන්නත් තිබුණා කාටද කියන්න පුළුවන්,දෛවය එහෙම තමයි එදා මම හිරේ යන්න නියමව හිටපු නැති නිසා මාව එතනට එවන්නෙ නැතුව වෙනතක යැව්වා...පස්සෙ කාලෙක මම සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් මාරුවෙලා වෙන තැනකට යන්නට ගියත් රණසිංහ දිගටම සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේම රැඳුනා...
අර මා සිත්ගත් සොඳුරු යුවතියත් එක්ක මම ගයන්නට පටන් ගනිපු ආදර ගීතය සම්පූර්ණයෙන්ම ගයන්නට ලැබුනෙ නෑ,මගක් ගයද්දී ඇය මා සමග ගැයුම ප්‍රතික්ෂේප කරල වෙන බයිලා ගායකයෙක් එක්ක ගයන්නට පටන්ගත්තා...මගේ ගැයුම ඇයට හරියන්න නැතුව ඇති,කොහොමහරි ඇය මා හැරගිය එදා සිට මෙදාතෙක් ඇයට මොනවා වුනාද කියල හාන්කවිසියක්වත් අද තව වෙනතුරු මම දන්නෙ නැතත් ඇය සදහටම මා අතහැර යන්නට ගිය දෙසැම්බරයේ සීතල සුළඟත් සමග දැවටී එන අතීත මතකයන් හදවත පාළු හැඟිමකින් පුරවන බව අවංකවම කිවයුතුයි...
ඒත් දෛවයේ නියමයමයි, මා කොපමණ ආසාවකින් හිමිකරගන්නට හිටියත් ඇය මට හිමි නැති යුවතියක් වෙන්න ඇති,පසුකාලීනව දෛවය මාහට ඉතාම කාරුණික වෙමින් ජීවිතය මා සමග බෙදාගන්නට පෙරුම්පුරාගෙන සිටි යුවතිය මට ලබාදුන් බවත් කිවයුතුයි...
ඒ අතුරු කතාවක්,ඊට පස්සේදීත් දෛවය අනුව කීප අවස්ථාවකදීම මෙවැනි සිදුවීම් සිදුවුනා...ඉතිං මම කියාගෙන ආව කතාවට ආයෙම ආවොත් මට වුනා වගේ දෛවයත් සමග ගනුදෙනු ඔබේ ජීවිතයෙත් තියෙන්නට පුළුවනි සමහර විට මීට වඩා රසවත් හෝ බියකරු වෙන්නටත් පුළුවන්,ඉතිං ඔබේ වටිනා අත්දැකීමත් දැනගන්නට තියේනං මා ඉතා සතුටුවන බව කියන්නට කැමතියි...