Sunday, February 23, 2014

117.වැඩ වර්ජනයක අතුරු කතාවක්


අපි හැසිරෙන්නෙ ක්‍රියාකරන්නේ අපට අවශ්‍ය ආකාරයටද එහෙම නැත්නම් අපේ ජීවිත හසුරුවන යම් කෙනෙක් හෝ බලවේගයක් ක්‍රියාත්මක වෙනවාද කියන කාරණය මට නිතරම කල්පනා වෙන දෙයක්,මොකද කිව්වොත් අපේ ජීවිත පාලනය කරන මෙන්න මේ දෛවය නමැති බලවේගය අදෘශ්‍යමානව අපේ ජීවිතවලට කරන බලපෑම මා මගේ ජීවිතයෙත් යම් යම් අවස්ථාවන්හිදී දැක අත්විඳ ඇති නිසායි...

ලෝකයේ ජීවත්වන හැමටම නියමවූ තැනක් තියෙනවය කියල කියනවනෙ,වඩා විස්තර සහිතව කිව්වොත් අපි කොපමණ කැමැත්තෙන් හිටියත් අපට ලැබෙන්නෙ අපි කැමති දේ නොව අපට ලැබෙන්නට නියම වෙලා තියෙන දේයි...යම් දෙයක් හෝ කෙනෙකුට අපි කොපමණ ආසාවෙන් හිටියත් එය අපට ලැබෙන්නට නියමිතව නොමැතිනම් අපි මොන තරම් උත්සාහ ගත්තත් ලැබෙන්නෙ නැහැ සහ අපට ලැබෙන්නට නියමිතව ඇත්නම් කිසිම උත්සාහයකින් තොරව එය ලැබෙනවා...ඔය වගේ වෙලාවට ලැබීමක් නෑ හෝ ලැබීම තමයි කියල අපි කතාවට කියනව...

ඒ වගේම කෙනෙක් අමාරුවක කරදරයක වැටෙන්නට යන වෙලාවක් ගත්තොත් එවැනි කරදරයකට අමාරුවකට වැටෙන්නට අපේ දෛවයේ ලියවිලා නොමැති නම් ඒ දේ කිසිසේත්ම සිද්ද වෙන්නෙ නෑ,ඔය කාරණේ අනික් පැත්තත් ඔය විදියමයි...මේ දේ මගේ ජීවිතයෙ කිහිප සැරයක්ම මම ඉතා හොඳින් අත්විඳල තියෙනව කිව්වොත් එය නිවැරදියි...මට හොඳින් මතක කාලයේ මම අත්දැකපු එක සිද්දියක් මා කියන්නම්,මේ කතාවට සෑහෙන අතීතයක් තියෙනව,ආ අතීතෙ කියනකොට මට තව දෙයක් මතක්වුණා...මම අතීතයෙ කතාවක් ලිව්වොත්,කියන්නකො 1940 ගණන්වල හෝ 50 ගණන්වල කතාවක් කියල ඔන්න එතකොට,

අප්පේ මේ හැලපය අපේ සීයටත් වඩා වයසනෙ,ආදී වශයෙන් මගේ සමහර පාඨකයින් කියන්න ගන්නව සහ ඒ අනුව තමන් හිරිමල් යොවුන් තරුණයෙක්ය කියල හිතමින් තරමක සොමියකුත් ලබාගන්නවා...ඒ ගැන මගේ කිසිම අමනාපයක් නෑ, නමුත් මගේ ප්‍රශ්නය නම් එවැනි පරණ කතා ලියන්නට මා එකල ජීවත්වෙලා සිටිය යුතුමද,එහෙම නොමැතිව කියැවූ හෝ ඇසූ කතා ලියන්නට බැරිද කියන එකයි...

මම කියාගෙන ආව කතාවට ආපහු යමු,කාලය 1980 වර්ෂය,හරියටම කිව්වොත් 80 ජුලි මාසය...1977 දී පත්වුනු ජේ ආර් ජයවර්ධනගෙ ආණ්ඩුව  තම බලයේ උපරිමයෙ හිටපු සමය,විපක්‍ෂයේ වෘත්තීය සමිති ඉතාම මෝඩ තීරණයකට ඇවිත් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් කැඳෙව්වා...80 ජුලි වැඩ වර්ජනයත් එහි ප්‍රතිපලත් සියලුම දෙනා දන්නා නිසා මා ඒ ගැන විස්තර කරන්නට යන්නෙ නෑ,මේ වැඩ වර්ජනය යකඩෙන් ලෙයින් කඳුලෙන් මර්දනය කිරීම සඳහා ආණ්ඩුවට ඇති  සියලුම බලය යෙදෙව්වා කියල විතරක් කියන්නම්...වර්ජනයට සේවකයන් පොළඹවන ඕනෑම කෙනෙක් අත්අඩංගුවට අරගෙන දින නියමයක් නොමැතිව රිමාන්ඩ් කරන්නට ආණ්ඩුව පොතේ නැති නීති පවා උපයෝගී කරගත්තා... 

ඔය අද සිල් අරං ඉන්න යු ඇන් පියේ ලොකු ලොකු උදවිය එදා බලයෙන් මත්වෙලා කියපු කරපු දේවල් ඇහුවොත් බල්ලොත් බත් කන්නෙ නෑ,එච්චර හිරිකිතයි,කැස්බෑවේ මන්ත්‍රී  ගාමිණී ලොකුගේ එදා වර්තමාන ජනාධිපතිවරයාගේ ඔලුවට පිස්තෝලෙ තියල තර්ජනය කළා...අද පිස්තෝලේ තියපු කෙනාටම දණ ගහල ඇමතිකම් අරගෙන රෙදි නැතුව ආණ්ඩුවට කඩේ යනව, විළි ලැජ්ජ නැතිකම ඇමතිකමටත් වඩා ලොකුයි කියනවනෙ...

ඔය මම වැලිසර ඉස්පිරිතාලෙ රාජකාරි කරන සමය,ඒ වෙද්දි මගෙ සේවය ස්ථිරවෙලා මාස ගානයි පරිවාස කාලය ගෙවමින් හිටියෙ...අපි සම්බන්ධ වෙලා හිටපු වෘත්තීය සමිතියත් වැඩ වර්ජනයට සම්පුර්ණ සහාය පළකර සිටියා,විපක්‍ෂයේ වෘත්තීය සමිති ක්‍රියාකාරිකයන් ඉස්පාසුවක් නැතිව වැඩ වර්ජනය සාර්ථක කරගන්න මහන්සි වෙද්දි ආණ්ඩුව පිස්සු බල්ලෙක් වගේ හරි හරියට වෘත්තීය සමිති ක්‍රියාකාරිකයන් මර්දනය කිරීම ආරම්භ කර තිබුණා...

වර්ජනයට දින දෙකකට විතර කලින් අපේ වෘත්තීය සමිතියෙ සභාපති වැලිසර ඉස්පිරිතාලෙට ආවා,ඔහු ආවෙ වර්ජනය කරන්න සුදානම් වෙලා හිටිය සේවකයන් දිරිගැන්වීමේත් වර්ජනය කරන්න සැකෙන් බයෙන් හිටපු අය විශේෂයෙන් කාන්තාවන්ගෙ බිය සැක නැති කිරීමේ අරමුණ ඇතුවයි...මේ සභාපතිවරයට අපි රණසිංහ කියමු ඔහු අද ඉන්න තත්ත්වය අනුව මට නියම නම කියන්නට බෑ...

රණසිංහ ඇවිත් කට්ටියට කතාකරල ඉවරවෙලා ඊළඟට රාගම ඉස්පිරිතාලෙට යන්න යොදාගෙන තිබ්බ නිසා රාගම යමුයි කියල හදිසියෙන්ම  මටත් කතාකළා...

ඒ කාලය මගේ හදවත උණුසුම් කළ එක් සොඳුරු යුවතියක් එක්ක මම කුළුඳුල් ආදර ගීතය ගයමින් සිටි සමය මෙන්ම එදාම හවස දහඅටේ කනුවෙදී අපි දෙන්න මුණ ගැහෙන්නත් කටයුතු යොදාගෙන තිබුණා...එහෙම තියෙද්දි රණසිංහ රාගම යමු කියපුවම මම ලොකු ප්‍රහේලිකාවක පැටළුනා...

අද වගේ ආගිය අතේ ටෙලිපෝන් සහ මොබයිල් නොතිබුණු ඒ කාලෙ නොඑන බව දන්වා ඇයට පණිවිඩයක් දෙන්නට මොනම ආකාරකින්වත් හැකියාවක් තිබුනෙ නෑ...අපේ වෘත්තීය සමිති කටයුතු හෝ වර්ජන ගැන කිසිවක් නොදැන සිටි ඇය දහඅටේ කණුවට ඇවිත් මා බලාපොරොත්තුව සිටින බවත් තරුණියක්  මහපාරෙ රස්තියාදු කිරීම නොකළයුතු දෙයක් බවත් මට කල්පනා වුනා...පස්සෙ කාලෙක ඇය මට කොකා පෙන්නල යන්න ගිය එක වෙනම කතාවක්...

මා පත්ව සිටි අපහසුතාව රණසිංහට කියපුවම මා හිතා සිටි විදියට ඔහු මට හිනාවුනේ නෑ,ඉතාම හොඳින් අවස්ථාව තේරුම් ගත්තා...

එහෙනං ගිහිං ඒ ළමයව පිටත් කරල කෙලින්ම රාගමට එන්න, අපි මෙහෙන් යන්නං...

ඒ එකඟතාව අනුව අපි මහබාගෙදී වෙන්වුනා,රණසිංහ රාගමට යනකොට මම මීගමුව බස් එකක නැගල කෙළින්ම දහඅටේ කණුවට ගියා...

කොච්චර ඉක්මනට එන්න ගියත් ආපහු රාගමට එද්දි පැය දෙක තුනක් ගතවුනා,රාගම ටවුමෙදි මට වැඩ ඇරිල ගෙදර යන ගුණේත් මුණගැහුන හින්දා  මම ගුණේත් අඬගහගෙන රාගම ඉස්පිරිතාලෙට ගියා...

ගේට්ටුවෙන් ඇතුළට යන්න ලැබුනෙ නෑ වැඩ ඇරිල එන යාලුවෙක් පණිවිඩය දුන්නා...

රණසිංහත් යාලුවත් පොලිසියට අල්ලගෙන ගිහිං...

රණසිංහ රාගම ඉස්පිරිතාලෙ සහායකයත් එක්ක සේවකයන් වර්ජනයට පොළඹවන කතා කරමින් ඉද්දි ඉස්පිරිතාලෙ යු ඇන් පී සමිතියෙ උන් පොලිසියට පණිවිඩේ දීල පොලිසියෙන් ඇවිත් දෙන්නව අල්ලං ගිහිං...

ගුනෙයි මමයි යාළුවයි තුන් දෙනාම කෙලින්ම රාගම පොලිසියට ගියා...යනකොට රණසිංහයි යාළුවයි ඒ දෙන්නත් එක්ක කතා කරමින් හිටපු ලෙඩෙක් බලන්න ආපු මනුස්සයෙකුයි තුන් දෙනාම කුඩුවෙ ඉන්නව,ලෙඩා බලන්න ආපු මනුස්සය වර්ජනයක් ගැන අන්දෝ සංසාරයක් දන්නෙ නෑ ලෙඩාට කෑම එක දීල යන්න හවස ඇවිත් තිබුනෙ,වැඩේට අපටත් හිනා යන්න ආවා ඒ උනාට හොඳ නෑනෙ පස්සෙ තුන්දෙනාටම රෑට කන්න එහෙම ගෙනිහින් දීල අපි ගිහිං ගෙවල්වලට පණිවිඩේ දුන්නා...

වර්ජනය අසාර්ථක වෙන  බව දැනගෙන සෞඛ්‍ය වෘත්තීය සමිති වර්ජනයට එක්වෙන්න තිබ්බ දවසට කලින් දවසෙ වර්ජනයට එක් නොවන බව කියා සිටි නිසා අපේ වැඩ පිළිවෙල එහෙම පිටින්ම අපතේ ගියා සහ ක්‍රියාකාරිකයන් දෙන්නකුත් කොහෙද නැති අහිංසකයෙකුත් හිරේ ගියා...

ඒ වෙලාවෙ රිමාන්ඩ් කරපු පාර රණසිංහ නොකරපු වර්ජනයකට එකතු වුනා කියල රස්සාවත් නැතිවෙලා දුක්විඳලා සෑහෙන කාලයක් ගිහිං මහන්සිවෙලා ආපහු රස්සාව හදාගත්ත,දිග කාලයක් නොසෑහෙන්න දුක් විඳලා අනුහතරෙ ආණ්ඩුව පෙරලිච්ච වෙලාවෙ රණසිංහලට තැනක් ආවා, මහරගම නගර සභාවෙ මන්ත්‍රීකමකටත් තේරුණා...දැන්නං අමාත්‍යංශයේ හොඳ තනතුරක ඉන්නෙ, දෛවයෙ සරදමකට වගේ අද ඔහු වෘත්තීය සමිති සටන් කඩාකප්පල් කරන්නට වැර වෑයම් කරමින් සතුටින් අමාත්‍යංශයේ රාජකාරි කරගෙන ඉන්නව...නියම නමින් ඔහුව හඳුන්වන්නට බැරි ඒ නිසයි...

ඉතිං මම කියන්නට ආවෙ එදා රණසිංහත් එක්ක මටත් රාගම ඉස්පිරිතාලෙට එන්න ලැබුන නම් මමත් ඔහුත් එක්ක අනිවාර්යයෙන්ම පොලිසියට අහුවෙලා රිමාන්ඩ් වෙනව සහ ඒ හේතුවෙන් රස්සාව නැතුව යනව,එහෙම උනානං මේ කතාව ලියවෙන්නෙ මීට හාත්පසින්ම වෙනස් ආකාරයකටයි...සමහර විට මටත් අමාත්‍යංශයේ ලොකු තනතුරක් ලැබෙන්නත් තිබුණා කාටද කියන්න පුළුවන්,දෛවය එහෙම තමයි එදා මම හිරේ යන්න නියමව හිටපු නැති නිසා මාව එතනට එවන්නෙ  නැතුව වෙනතක යැව්වා...පස්සෙ කාලෙක මම සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන්  මාරුවෙලා වෙන තැනකට යන්නට ගියත් රණසිංහ දිගටම සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේම රැඳුනා...

අර මා සිත්ගත් සොඳුරු යුවතියත් එක්ක මම ගයන්නට පටන් ගනිපු ආදර ගීතය සම්පූර්ණයෙන්ම ගයන්නට ලැබුනෙ නෑ,මගක් ගයද්දී ඇය මා සමග  ගැයුම ප්‍රතික්ෂේප කරල වෙන බයිලා ගායකයෙක් එක්ක ගයන්නට පටන්ගත්තා...මගේ ගැයුම ඇයට හරියන්න නැතුව ඇති,කොහොමහරි ඇය මා හැරගිය එදා සිට මෙදාතෙක් ඇයට මොනවා වුනාද කියල හාන්කවිසියක්වත් අද  තව වෙනතුරු මම දන්නෙ නැතත් ඇය සදහටම මා අතහැර යන්නට ගිය දෙසැම්බරයේ සීතල සුළඟත් සමග දැවටී එන  අතීත  මතකයන් හදවත පාළු හැඟිමකින්  පුරවන  බව අවංකවම කිවයුතුයි...

ඒත් දෛවයේ නියමයමයි, මා කොපමණ ආසාවකින් හිමිකරගන්නට හිටියත් ඇය මට හිමි නැති යුවතියක් වෙන්න ඇති,පසුකාලීනව දෛවය මාහට ඉතාම කාරුණික වෙමින් ජීවිතය මා සමග බෙදාගන්නට පෙරුම්පුරාගෙන සිටි යුවතිය මට ලබාදුන් බවත් කිවයුතුයි...

ඒ අතුරු කතාවක්,ඊට පස්සේදීත් දෛවය අනුව කීප අවස්ථාවකදීම මෙවැනි සිදුවීම් සිදුවුනා...ඉතිං මම කියාගෙන ආව කතාවට ආයෙම ආවොත් මට වුනා වගේ දෛවයත් සමග ගනුදෙනු ඔබේ ජීවිතයෙත් තියෙන්නට පුළුවනි  සමහර විට මීට වඩා රසවත් හෝ බියකරු වෙන්නටත් පුළුවන්,ඉතිං ඔබේ වටිනා අත්දැකීමත් දැනගන්නට තියේනං මා ඉතා සතුටුවන බව කියන්නට කැමතියි...

Sunday, February 16, 2014

116.මහතුන්ගේ ආපසු පැමිණීම.





අපේ හිතවත් මිත්‍රයෙක් වුනු මහතුන්ගෙ මරණෙ මට දැනගන්නට ලැබුනෙ ලංකාවට ගිය වෙලාවෙදියි...ඔහුගෙ සියදිවි නසා ගැනීම මගේ හිතේ දැඩි කම්පනයක් සේම විමතියක්ද ඇතිකරන්නට සමත්වුනා...මිත්‍රයා නැතිවුණු ශෝකය මා නිහඬවම විඳ දරා ගත්තෙ ඉඩ ලැබුණු මොහොතක විස්තරය සොයා ගන්නම් කියල හිතේ තියාගෙනයි...

රාජලගේ ගෙදරට පහළ පොඩි ගේක ජීවත්වුණු මහතුන් දරු දෙන්නෙකුගෙ පියෙක්,හරක් ඇතිකිරීමත් ගොයිතැන් බත් කිරීමත් ගස් කපන්නට අත් උදව් දීමත් මහතුන්ගෙ ජීවනෝපාය වුනා..රාජයි මමයි වෙල් වැඩ කරද්දි මහතුන් නොවැරදීම උදව්වට එනව විතරක් නෙවෙයි වැඩේ ඉවරවෙන කල්ම මහන්සිවෙලා වැඩ කරනවා, ගොවිතැන් කරද්දීත් මහතුන් අපට නොයෙක් උපදෙස් දෙනව...

මේ සැරේ කොහොමද ගොයං වැඩකරන්න ඉන්නෙ...

වැඩටික කුලියට දෙන්න තමයි හිතා ඉන්නෙ...

ඕනැ නෑ අපි කයියට කපමු...

එහෙම කියපුවම ඒ වැඩේ ඒ කියපු ආකාරයටම සිද්ද වෙනව,රාජ හරක් හදනව කිව්වට රාජගෙ  හරක් ඔක්කොම හැදුවෙ බලාගත්තෙ මහතුන්ගෙ හරක් එක්කමයි...මත්පැන් සහ  දුම්බීමෙන් වැළකිලා හිටපු මහතුන් හැම තිස්සෙම බුලත්විට නං හැපුවා,පන්සලේ හාමුදුරුවන්ගෙ හොඳම දායකයෙක්, අපේ ගෙදර පිරිත වෙලාවෙ රෑ එළිවෙනතුරු නිදිමරාගෙන පිරිත් මණ්ඩපේ ළඟ ඉඳගෙන හාමුදුරුවරුන්ගෙ අහත් පහත්   බොහොම කැපවීමෙන් කළා...

ඉතිං මේ වගේ චරිතයක් එක පාරටම සාහසික වෙනකොට  පවුලට කොටල මරන්න හදල තමනුත් බෙල්ලෙ වැල දාගන්න තරං හිත දරුණු වෙනකොට හොඳට හිටපු මනුස්සයට මොකද මේ වුනේ කියල ප්‍රශ්නාර්ථයක් අපේ හිත් වල ඇති වෙන එක සාධාරණයි...

රාජව තනිකරගෙන මහතුන්ගෙ මරණෙ විස්තර දැනගන්න තුරු මට ඉවසිල්ලක් නැතිවුනා,රාජව තනියම අල්ලගන්න එකයි වැඩියෙම අමාරු...ඔන්න ඔය කරුණු කාරනා සම්පුර්ණ වෙච්ච එක්තරා හැන්දෑවක රාජව මීවිතක් එක්ක අපේ ගෙයි ඉස්තෝප්පුවෙ තනිකරගන්න මට පුළුවන්කම ලැබුනා...

මොකද රාජා මහතුන්ට උනේ...

රාජ කටේ තිබ්බ බුලත් හපේ එළියට විසිකරල මිදුලෙ පයිප්පෙන් කටත් හෝදගෙන ඇවිත් වීදුරුව අතට ගත්තා...

මහතුන් පවුලට පොරොවෙන් කොටල බෙල්ලෙ වැල දාගත්ත...

ඔය ටික නං මාත් දන්නවනේ රාජා,මම අහන්නෙ මහතුන් එහෙම කරගත්තෙ මොකද කියලයි...

අනේ මන්ද ගෙදර ගෑනිත් කියනවනෙ කිසිම හේතුවක් දන්නෙ නෑ කියල...

ඒ වුනාට ඔහොම දෙයක් කරන්න නං ලොකුම හේතුවක් තියෙන්න ඕනැනේ...

හැබැයි පවුල ගැන අවිස්වාසයක් ඊරිසියාවක් නං තිබුණා...

රාජ කොහොමද දන්නෙ...

මොකෝ මම නොදන්නෙ මම අල්ලපු ගෙදර මිනිහ වෙච්චිකොට,සමහර දවස්වලට මහතුන් ගස් අස්සෙ අකුල් අස්සෙ ඉඳන් ගේ දිහා බලං ඉන්නව මම දැකල තියනව ,එතකොට පවුල වැඩට යනකොට ඒ බස් එක පස්සෙන් බයිසිකලේ පැදන් යනව...

ඉතිං ඇත්තටම එහෙම අවිස්වාස කරන්න හේතුවක් තිබුනද...

මේ වෙනකොට රාජා වීදුරු දෙක තුනක් ඉවරකරල හොඳ ගාණට පදං වෙලා හිටියෙ...

ඔය මහතුන්ගෙ පවුලගෙ නංගි කෙනෙක් දීගෙ අත ඇරිලා ගෙදර ඇවිත් දැන් ගාමන්ට් එකක වැඩට යනව ඒ නංගි ටිකක් සබ්ජෙක්ට් එකට බරයි,මහතුන්ගෙ පවුලත් නංගි එක්ක වැඩට  යනවා ඉතිං මහතුන්ට සැකයි...තවත් එක කාරණයක් තියෙනව ...

ඒ මොකක්ද...

මහතුන්ට ලබ්බ...

ඒකත් එහෙමද...

මෙච්චර උපාසකයෙක් වගේ හිටපු මහතුන් ඔය වගේ දෙයක් කරගන්න නං මීට වඩා පැහැදිලි හේතු තියෙන්න ඕනෑ කියල මට නිකමට වගේ හිතුණා සමහරවිට අපි නොදන්න මහතුන් විතරක් දන්න රහසක් තියෙන්න පුළුවන් වුනත් දැන් ඒ රහස මහතුන් එක්කම වල පල්ලට ගිහිං...මේ රහස එලිකරගන්න  එක තවත් විශාල ප්‍රශ්නයක්...

මහතුන් මැරිල වලලලත් ඉවරයි ඔයා ඔය මරණෙ අග මුල හෙව්වය කියල දැන් ඇති පලේ මොකක්ද,දැන් දවස් ගානක ඉඳල ඔයාට වෙන වැඩක් නෑ මහතුන් මැරිච්ච කතාව ඇරෙන්න...

බිරිඳ කියනව...

යන්න ඉස්සෙල්ල මට මේ ප්‍රශ්නෙ විසඳගන්න ඕනා...

කොල්ලො කට්ටිය අපේ ගෙදර නිදිමරන දවස්වල  දවසක් මහ රෑ එකට දෙකට විතර අපේ ගේ  ඉස්සරහ මඩුවෙ ඉඳන් පරණ කතා කිය කිය ඉන්නව...කැවුම් කොකිස් කෙසෙල්ගෙඩි එක්ක ගෙදරින් අපට කෝපි ගෙනත් දුන්නා...
ඒකයැ දන්නවද වැඩක් මහතුන් ආපහු එනවලු නෙ...

කොකිසක් කන ගමන් රාජ කියපු කතාවට මාව උඩගියා...

මොකක්ද මොකක්ද රාජ ඒ කතාවෙ තේරුම...

නෑ දෙතුන් දෙනෙක් මහතුන්ව රෑ දැකල තියෙනව...

මම රාජ ලඟින්ම ගිහිං වාඩිවුනා...මගෙ උනන්දුව උපරිමේටම නැගල...

කවුද රාජ ඒ කොහෙදිද දැකල තියෙන්නෙ...

අපේ ගෙවල් පහළ ඉන්න ගෑනු කෙනෙක් රෑ කඩේ ඉඳල එන ගමන් දැකල තියෙනව...

කොහෙදිද...

රාජගෙ මූණ භීතියෙන් විකෘති වුණා...

අපේ ගෙවල් ඉස්සරහ තියෙන වතුසුද්ද ගහේ මල් කඩ කඩා හිටියලු,හැමදාම හවසට මහතුන් බුදු පාන තියන්න ඔය ගහෙන් මල් කඩනවනෙ...ගෑණි බයවෙලා නෑ ගෙදර ගිහිං පිරිත් කියල තියෙනව...

වෙන කවුද...

අර බෙලි ගෙදර ගල් චුට්ටා, ඌත් දැක්කලුනෙ මහතුන් හරක් දක්කන් එනව... දැන් අපේ පවුල වැරදිලාවත් රෑ පානෙ තනියම එළියට අඩියක් තියන්නෙ නෑ...

එතනින් පටන් ගත්ත හොල්මන් ගැන කතාව විටෙක විහිලුකරමිනුත් විටෙක ශාස්ත්‍රීයවත් පාන්දර ජාමෙ වෙනතුරු ඇදිල ගියත් මගේ ඔලුවෙ හොල්මන් කලේම මහතුන් ආපහු එන කතාවයි...දැන් මගෙ ඔලුවට තවත් බරක් පැටවිලා, මහතුන් මළේ මොකද කියල විතරක් නෙවෙයි මහතුන් ආයෙ එනව කියන කතාව ඇත්තද කියලත් හොයල බලන්න ඕනැනෙ ...

දවසක හවස තුනට විතර රාජා ඉස්කෝලෙ ඇරිල ඇවිල්ල ඇති කියල හිතුන වෙලාවක මම රාජට කතාකළා...

ගෙදර ඉන්නවද බලන්න කතාකළේ...

ඇයි උවමනාවක්ද...

ඔව් පොඩ්ඩක් හම්බවෙන්න ඕනෑ...

හරි ,මම දැන් එන්නං...

නෑ නෑ රාජ එන්න ඕනෑ නෑ මම එන්නං...

කැමරාවත් සාක්කුවෙ දාගෙන මම කෙළින්ම රාජලගේ ගෙදරට යනකොට රාජ ගේ ඉස්සරහ ගහේ කජු අහුලනවා...

මේ ගිරව් එක්ක බේරන්න බෑනෙ ඔක්කොම කජු ටික විනාස කරල දානව මම මේ ඔයාට දෙන්න කජු ටිකක් අහුලගන්න ආවෙ...

රාජ මේ මට  මහතුන්ගෙ පවුලත් එක්ක පොඩ්ඩක් කතා කරන්න පුළුවන් වෙයිද...

පුළුවන් වෙයි අපි යමු බලන්න...

අපි දෙන්න මහතුන්ලගෙ  ගෙදරට යනකොට මහතුන්ගෙ පවුල ගෙදර හිටියා...ඇය කිව්ව දිග කතාව සාරාංශ කරල කිව්වොත් මෙහෙමයි...

මැරෙනතුරුම මහතුන් සහ බිරිඳ අතරෙ අඬ දබර තිබිල නැහැ,අහවල් කාරණයකට මහතුන් ඇයව මරන්න හැදුවද කියන එක ඇයට අදත් ප්‍රහේලිකාවක්...එක වැදගත් ප්‍රශ්නයක් හිතාමතාම මා ඇයගෙන් ඇහුවේ නෑ ඒ නම් ඔවුන් දෙපොළගේ ලිංගික සම්බන්ධකම් කොයි ආකාරයකට පවත්වාගෙන ගියාද කියන ප්‍රශ්නය,මේ කාරණය විසඳා ගැනීමේදී මේ ප්‍රශ්නය ඉතා වැදගත් බව මා හොඳින් දැන සිටියා,නමුත් ඇයව හොඳින් දන්නා අඳුනන මට ඇයගේ මූණ බලාගෙන ඒ ප්‍රශ්නය ඇසීම හරිම අපහසු කටයුත්තක්...ඇය මට කියූ විස්තරය අනුව මහතුන්ට මානසික ආබාධයක් තිබු බව ඉතා පැහැදිලියි...

කලින් දවසෙ රෑත් පන්සල් ගිහිං ආවෙ මට කිව්ව අද නං හරිම අමාරුයි කියල...

මහතුන්ට තිබු ආවේශවීම  නම් මානසික ආබාධය උත්සන්න වී තිබිල  තියෙන්නෙ...මීට කලිනුත් විටින් විට මහතුන් මේ අසනීපයෙන් පෙළෙමින් හිටි බව ඇය කිව්වා...

මම සැරයක් ඔය ඔළුවෙ අමාරුවලට බේත් කරන දොස්තර මහත්තයෙක් හම්බවෙන්න යන්න කොලේකුත් අරං ආව කැමතිවුනේ නෑ කොළේ විසි කරල දාල නිකං හිටිය...

ඉතිං ඔය සිද්දිය වුනේ කොහොමද...

එදත් වෙනද වගේම නිදාගෙන ඉඳල පාන්දර ඇහැරුණා,අද උයන්නෙ නැද්ද කියල අහපුවම අද ඉරිදනෙ උයන්නෙ මොකටද කියල මම කිව්ව...ආපහු මට එහෙම්මම නින්ද ගියා එක පාරටම මට ඇහැරෙනකොට නිකටෙන් වතුර ගලනවා වගේ තේරුණා එතකොටම තව පාරවල් ගණනක් වැදුණා මට එහෙම්මම සිහිය නැතිවෙලා...

මහතුන් එල්ල කළ පළමුවෙනි පොරෝ පහර ඇයගේ යටිහනුව කපාගෙන ගිහිං තිබුණා තවත් පාරවල්  හතක් බෙල්ලට කොටල තිබුනත් ඒ එක පාරක් වත් බෙල්ලට වැදිල තිබුනෙ නැත්තෙ ඇය එදා මැරෙන්න නියම වෙලා නොහිටපු නිසා වෙන්න ඇති, අතට වැදිච්ච දරුණු පහරට ස්නායු කැපිල තවම සමහර ඇඟිලි නවන්න බැහැ...

කෙටුවෙ මහතුන් ගස් කපන්න ගෙනියන පොරොවෙන්ද...

ඔව් ගස්වල අතු එහෙම කපන අත් පොරවෙන්,ඔය පොරොව ලෙව්ව වගේ රැවුල කපන්න ගානට මුවත් තියාගෙන නෙ හිටියෙ...

සද්දෙට දුවගෙන ආපු අපි මෙයාව ත්‍රීවීල් එකකදාල ඉස්පිරිතාලෙට පිටත්කළා,ත්‍රීවීල් එකට පොඩි මහින්දලගෙ කඩේ පහු කරන්න බැරිවෙන්න ඇති...

මෙන්නෝ මහතුන් ලිඳට පැන්නෝ...

අපි හිතුවෙ මහතුන් ලිඳට පැනල කියලයි මේ කලබල අස්සෙම මහතුන් ලිඳේ කඹේ බෙල්ලට දාගෙන පැනල තියෙන්නෙ...

රාජා විස්තරේ ඉතුරු හරිය සම්පුර්ණ කළා...

බලන්නකො ඔය කලබලෙත්  ගාණට ගැටේ එහෙම බුරුලෙන් ගහගෙන පැනල තියෙන හැටි...

 ඒ ලිඳ ගෙයි කුස්සිය පැත්තෙ තිබුණු බැඳල නැති පොඩි ලිඳක්,මහතුන්ගෙ මරණෙන් පස්සෙ ලිඳ වහල දාල...මහතුන්ගෙ පවුලගෙන් ඊට වඩා අහන්න දෙයක් තිබුනෙ නැති නිසා අපි දෙන්න ආපහු ආව...

රාජ දැන් අර මහතුන්ව දැක්කයි කියපු ගෑනු කෙනා හම්බවෙන්න යමු,විස්තරේ කියයි නේද ඇහුවට අප්සෙට් එකක් නෑනෙ...

යමු,තවම ගෙදර ඇති, ඔය මනුස්සය ගෙදර කෑම ජාති හදල රෑ කඩේට ගෙනියනවා කඩේට කෑම දීල මහ රෑ ගෙදර එන්නෙ, අර කුස්සියෙ ඉඳිආප්ප තම්බනව පේන්නෙ ගෑනි ගෙදර ඉන්නව...

අපි දෙන්න ගිහිං ඒ කාන්තාව හම්බවෙලා විස්තරේ ඇහුව...

රෑ එකොළහට එකොළහමාරට විතර ඇති වෙලාව මම පුතත් එක්ක කඩේ ඉඳල ත්‍රී වීල් එකේ ඇවිත් රාජලයි ගේ ඉස්සරහින් බැහැගත්ත...

පුතේ ඔයා යන්න මම මේ ටික වත්තෙන් පැනල යන්නං...

පුතාව පිටත් කරල මම ඒ ටික පයින් ඇවිදගෙන එනකොට මහතුන් අයිය එතන වතුසුද්ද ගහේ මල් කඩනව...


මොකක්ද ඇඳන් හිටියෙ ...

සුදු සරමකුයි කමිසෙකුයි...

මහතුන් කවදත් සුදු සරං කමිස ඇන්දෙ...

මම කල්පනා කළා යකෝ මහතුන් අයිය ගිය සතියෙ බෙල්ලෙ වැල දාගෙන මළානේ, දැන් මෙතන මොනව කරනවද කියල...

බය හිතුනද...


නෑ බයක් හිතුනෙ නෑ...

ඉතිං ඒ වෙලාවෙ මොකද කලේ...

රෑට කන්න අරං ආපු තෝසෙ පාර්සලේ මගෙ අතේ තිබුන,ඒකත් විසිකරල මම හොඳ කුණුහබ්බ දෙකක් හයියෙන් කිව්වා...එතකොට මහතුන් අයිය යන්න ගියා...

කොහොමද ගියෙ සාමාන්‍ය විදියට ඇවිදගෙන ගියාද...

නෑ පාවෙලා වගේ ලිඳ තිබ්බ පැත්තට ගියා,මම ගෙදර ඇවිත් බුදුන්ට පාන තියල පිරිත් කිව්ව, ඊට පස්සෙ නං අම්මෝ රෑට ඒ පැත්ත පළාතෙන් ගියෙ නෑ...

ඊළඟට මට අවශ්‍ය කළේ මහතුන්ව දැකපු අනික් මනුස්සය  හම්බවෙන්න...

රාජ කවුද ඔය මහතුන්ව දැකපු අනික් මිනිහ...

අර එහා පැත්තෙ ගල් චුට්ට කියල එකෙක් දවස තිස්සෙම බීගෙන ඉන්නෙ, මගෙ නෑනෙ ඌත් එක්ක පයුරු පාසානයක්...

රාජගෙ අකමැත්ත නිසා මට ගල් චුට්ටව හම්බවෙන්න විදියක් නැතුව ගියා,ගල් චුට්ට දැකල තියෙන්නෙ රාජගෙ මඤ්ඤොක්ක කෑල්ල අයිනෙන් මහතුන් හරක් දක්කගෙන එනකොටලු...
දැන් ඉතිං හොයාගන්න තියෙන කාරණා හොයාගෙන අවසානයි,තවත් එක දෙයක් කරන්නට ඉතිරි වෙලා තිබුණා...ඒ පුළුවන්කමක් තියෙනව නං මහතුන්ව බලාගන්න එකයි...

රාජ අපට බැරිද මහතුන් එනවද කියල බලාගන්න,හැබැයි මේක බොහොම රහසින් වෙන්න ඕනැ මහතුන්ගෙ පවුල දැනගත්තොත් එහෙම හොඳ නෑනෙ...

එහෙම නං ඔය අපේ ගේ ඉස්සරහ අකුලෙ ඉඳගෙන බලාගෙන ඉන්න ඕනෑ,එනව නං රෑ වෙලා එන්න...

රෑ වෙලා ගියාට මොකද මට තනියම කැලෙන් ඉඳගෙන ඉන්න ටිකක් බය වගේ හිතුණා, මහතුන් යාලුව තමයි ඒ වුනාට බැරිවෙලාවත් ඉස්සරහ මල් කඩන්න එන්නෙ නැතුව පිටිපස්සෙන් හරක් දක්කගෙන ආවොත් එහෙම,එතකොට මොකද කරන්නෙ...ඔය වාගෙ කල්පනා වෙනකොට මගෙ කකුල් දෙකත් එක්ක වෙව්ලන්න ගත්ත...

රාජා මම කියන්නද අපි දෙන්නම ගිහිං දෙපැත්ත බලාගෙන ඉම්මු...

ඒක හරියන වැඩක් නෙවෙයි, රංචු පිටිං ගියාට හොල්මං පේන්නෙ නෑ ...

එහෙම කිව්වට රාජත් මා එක්ක ආවා,ඒ මදිවට රාජ හොඳටම බීල හිටියෙ කතා කරනකොට ගන්ටාරෙ ගහනව වගේ සද්දෙ ඉතිං හොල්මං එයියැ, අපි ගිහිං එළිවෙන ජාමෙ වෙනතුරු ඉඳගෙන හිටියත් මහතුන්ගෙ ලකුණක් වත් දැක්කෙ නෑ,හොඳ සීරුවට මදුරුවො කවා ගත්ත විතරයි...වටින්ගොඩින් එලිය වැටීගෙන එද්දී රාජලගෙ  කුස්සියට ගිහිං කෝපිත් හදාගෙන බීල මම ගෙදර ගියා...

ඔන්න මම හොයාගත්ත කතාව ලිව්ව,මේ කතාව විශ්වාස කරනවද නොකරනවද කියන එක ගැන තීරණය ඔබ සතුයි,හැබැයි මම කතාකරපු එක්කෙනෙක් වත් බොරු කිව්වෙ නැති බව මට හොඳටම විශ්වාසයි.


Wednesday, February 12, 2014

115.කුරුළු කූඩුව සහ බබා ඇතින්න




අද ටිකක් සැහැල්ලු කතාවක් ලියන්න මට හිතුණා පහුගිය දවස්වල බර බර එව්ව ලියල ඔලුවත් ටිකක් බර ගතියයි,ඉතිං පහුගිය කාලෙ ලංකාවෙදි මම දැකපු දෙයක් අද  ලියන්නං...මහ ලොකු දෙයක් නෙවෙයි මේ කොණ්ඩ කුරුල්ලො යුවළක් ගෙයක් හදපු කතාවක්,මේ ගොල්ලන්ට මොන තරං මොළේ කල්පනා කරන්න පුලුවනිද කියල කිව්වොත් ගේ  හදන්න තෝරගත්තෙ අපේ ගෙදර සාලේ උඩ එල්ලී තියෙන ලාම්පුව...හේතුව මොකක්ද දන්නවද එතන කූඩුව හදල  බිත්තර දාපුවම බිත්තර ගිලින්න ගැරඬි එන්නෙ නෑ වෙන සිව්පා සත්තුන්ගෙන් කරදරයකුත් නෑ තමන්ගෙ පාඩුවෙ බිත්තර රැකල පැටව් පරිස්සං කරගන්නත් පුළුවනි අපා දෙපා සිව්පා කිසිම සතෙක්ගෙන් හානියක් නොවී...

මේ ගොල්ල අපේ ගෙදර කූඩු හදපු පළවෙනි වතාව මේක නොවෙයි,මීට කලින් කීප වතාවක්ම කූඩු හදල බිත්තර රැකල පැටව් ලොකු කරගෙන එක්කරන් ගියා...හැබැයි මේ අය ගෙයි කූඩු හදන එක ගැන අපේ ගෙදර කාගෙවත් කිසිම මනාපයක් නෑ,මොකද කිව්වොත් පළවෙනි කාරණේ බිත්තරෙන් පැටව් එලියට ඇවිත් තටු එහෙම ඉඳෙන කොට පැටවුන්ගේ ඇඟේ චූටි මැක්කො ජාතියක් වහනව ඒ මැක්කො බිම වැටිල ගෙයි හැමතැනමත් පැතිරෙනව...ආයෙම මහ කුරුල්ලන්ගේ බෙටියි ගේන රොඩු බොඩුයි ජරාව ඔක්කොම සාලේ පුරා,ඒ නිසා ඔය ලයිට් එකට රෙදි හිර කරල සිලි බෑග්වලින් වහල තියල තිබුණා...ඔය ටික අයින් කරපු ගමන්ම කුරුළු ජෝඩුව ඇවිත් ගේ හදන්න ගත්තනෙ,අම්මගෙ මරණෙ දවස් නිසා ඒ අයට විරුද්ධකම් පාන්න කවුරුවත් ඉදිරිපත් වුනෙත් නෑ ජෝඩුව බොහොම නිදහසේ ඒ කාලෙන් ප්‍රයෝජන අරගෙන හොඳට ගේ හදාගත්ත...කැලේ කූඩු හදනවට වඩා බොහොම ආරක්ෂිතයි විශ්වාසදායකයි කුරුළු ජෝඩුවගෙ  අදහසත් නරක නෑ...

ගහක කොළක අකුළක කොහෙ බිත්තර දැම්මත් ගැරඬි නැගල බිත්තර ගිලිනව මම අනන්තවත් දැකල තියෙනව ඔය මායක්කලගේ වත්තෙ එහෙම,අපේ මහගෙදර වත්තට අල්ලපු වත්තනේ,පොඩි කාලෙ චූටියල අපි සෙල්ලං කරනකොට නං වත්තෙ තිබ්බෙ පොල්ගස් විතරයි දැන්නං වත්ත ගණ කැලෑවකට හැරීගෙන එන්නෙ,මම ඒකට හරිම ආසයි ඒ නිසා වත්තෙ පින්තූර ටිකක් මම අරං ආව ,මායක්කත් අවුරුදු කීපෙකට කලින් හදිසියෙ මැරිල ගියානෙ...ගෙදර ඉන්නෙ මායක්කලගේ අම්ම විතරයි අපි කියන්නෙ දඩගමුවේ නැන්ද කියල ,නැන්දගෙත් ඔලුව හොඳටම හොඳ නෑ පිස්සු කියවන්නෙ හොඳටම වයසයිනෙ...


මායක්කට පිස්සු හැදුනෙ නං තරුණ කාලෙමයි  ගුණරත්න මාම මැරිච්ච දවස්වල මට හොඳට මතකයි අපි පොඩි කොල්ලො...ගුණරත්න මාම පපුවෙ අමාරුවක් හැදිල හදිසියෙම මලේ  හැත්තෑ ගණන්වල දවසක මහ රාත්තිරියක...ඔය වෙලාවෙ ගෙදර ළමයි නැන්ද එහෙම පොළොවෙ හැපී හැපී ඇඬුවට මායක්ක අඬන්නෙ නැතුව එතෙන්දි වෙන්න තියෙන කටයුතු හොයල බලල කළා...භූමදාන දවස වෙනතුරුම නිදි මැරුවා ඔක්කොම දේවල් බොහොම සාවධානව කරල දුන්න, හරියට මැරිල තියෙන්නෙ තමන්නෙ තාත්ත නෙවෙයි වෙන කෙනෙක් වගේ...

බෝම්බෙ පිපුරුවෙ හත්දවසෙ දානෙටත් පස්සෙ,මරණෙ වෙලාවෙ දවස් ගාණක් නිදිමරල දානෙටත් මහන්සිවෙලා හිටපු මට ඒ වෙනකොට හිටගෙන නින්ද යන ගානයි,මම ඒ වෙලාවෙ මායක්කලගේ ඉස්තෝප්පුවෙ පොඩි ඩෙස් එකක ඉඳගෙන බිත්තියට හේත්තු වෙලා නිදි කිරා වැටෙමින් හිටියෙ ,එක පාරටම ගේ  ඇතුලෙ මහා කලබැගෑනියක හඬ ඇහිල මාව ගැස්සිල ඇහැරුණා...සද්දෙ මොකක්ද බලන්න ගේ ඇතුලට යන්න හදද්දි උක්කුං මහත්තය මාව තල්ලු කරගෙන වගේ එළියට එක්කං ගියා...පස්සෙ ගේ පිටිපස්ස පැත්තෙන් ඇවිත් ජනේලෙකින් එබිකන් කරලා බැලුව...

මායක්ක පුටුවක් ඉඳගෙන ඇස්  ගෙඩි දෙකත් උඩ ඉන්දවගෙන ඔලුව කරකෝ කරකෝ කියෝනව...ගෑනු මායක්කව වටකරගෙන බලාගෙන ඉන්නව මැජික් එකක් දැක්ක වගේ...

ලොකු නංගීගේ අධ්‍යාපනය කඩාකප්පල් කිරීමට...

තාත්තගෙ මරණෙන් වැදුණු දරුණු පහරේ වේගය අඬා දොඩා අඩුකරගන්නට තිබුණත් ඇයට අඬන්නට බැරිවුනා,එකදිගට නිදිමරල වෙච්චි තෙහෙට්ටුවත් ඒ උඩට ගෙදරට හූනියං කරල තියෙනව කියන කතාවත් ඇයගේ ඔලුවට දරාගන්නට බැරිවුනා...මේ සියල්ලම එකතුවෙලා එළියට ආවෙ ඇය උමතු බවට පත් කරවමින්,මොන තරං බේත් හේත් ගුරුකං යන්තර මන්තර තොවිල් පවිල් කළත් පිස්සුව නිට්ටාවටම සනීප කරන්න බැරිවුණා...එදා ඉඳල මැරෙනකල්ම වරින්වර හොඳ වෙවී ආපහු අසනීප වෙවී හිටිය,මායක්කගේ පිස්සුව ගෙදර ඔක්කොටොම හූනියමක් වුනා ඒ නිසා ගෙදර කිසිම දරුවෙකුට හරි විදියකට මගුලක් කාල දීග යන්නවත් ගෑනියෙක් ගේන්නවත් ලැබුනෙ නෑ,ඒ කටයුතු ඔක්කොම සිද්දකළේ රටට ලෝකෙට හොරෙන් වගේ...පිස්සුවත් එක්ක ජීවිත කාලෙම ගතකරන්නට මායක්කට සිද්ද වුනා...

ඔන්න දවසක් මම උදෙන්ම වැඩට යනවා ඒ දවස්වල අපි ගෙදරින් පිටත්වෙලා මායක්කලගේ වත්තෙන් ගිහිං වෙලනියරට බැහැල කනත්තෙන් පාරට ගොඩවෙලා ටවුමට යන්නෙ...මම එදා මොකක්හරි වැදගත් වැඩකට ගිය දවසක්,හොඳට ඇඳගෙන කරගෙන ගෙදරින් පිටත්වෙලා මායක්කලගේ වත්තෙ අඩිපාරෙන් යනකොට මෙන්න මායක්ක මගෙ  ඇඟට කඩාපැන්න...

උඹල දැනගන්න ඕනෑ උඹලගේ හරක් බලාගන්න අපේ ගස් කොළන් පළිද...

මම උඩ ගියා මොකද්ද මේ කඩා පාත්වෙච්ච්ච මරාලෙ කියල,අපිට හරක් හිටියෙත් නෑ...ඒත් මම වචනයක්වත් නොකිය මගෙ ගමන යන්න ගියා,හවස ගෙදර ආපුවම ඔය උදේ කතාව ඒ ගෙවල් ළඟ කෙනෙක් එක්ක කියල මායක්ක සවුත්තුවට හිනාවෙලා තිබුණ...

අරූට මම උදේ කිව්ව රෙදි ගැලවෙන්න...

මට යකා ආවේස වුණා කෙළින්ම ගෙට ගිහිං කැත්ත අරං ඇවිත් අම්ම එපා කියල අඬා  අඬා පස්සෙන් එද්දී ගිහිං මායක්කලගේ කෙහෙල් පඳුරම පෙති ගහල දැම්ම,මට හිනාවෙලා තිබුනෙ නැත්නං මම ඒක එතනින් අමතක කරලා දානව හැබැයි කරපු වැඩේ ගැන පස්සෙ මට දුකත් හිතුණා...

ඊට පස්සෙ නං මායක්ක කවදාවත් මට මොකුත් කියන්න ආවේ නෑ බොහොම සුහදව කතාකළා පිස්සු නැති වෙලාවට...

පස්සෙ කාලෙකදී මායක්කයි නැන්දයි ගෙදර තනිවෙද්දී උක්කුං මහත්තය ඒ දෙන්නව බලාගන්න ගෑනියක් ගෙනත් නැවැත්තුව...කොට මහත පරුවතයක් වගේ ඇඟ,අපි එයාට කිව්වෙ බබා ඇතින්න කියල.බබා ඇතින්න ඇවිත් මායක්කලගේ ජීවිතේ එහෙමපිටින්ම අනික් පැත්ත පෙරලුව,ඒක වෙනම කිවයුතු කතාවක්...

ඒ වුනාට ඒක කියන්න ගියොත් මගෙ හොඳම යාළුවො දෙන්නෙක් මගෙත් එක්ක අමනාප වෙන්නත් පුළුවනි හැබැයි උන් දෙන්න නං බ්ලොග් තියා අන්තර්ජාලෙ කියන්නෙ කන දෙයක්ද බොන දෙයක්ද කියලවත් දන්නෙ නං නෑ...උන් දෙන්න කරපු වැඩ නං අම්මප මතක් වෙනකොටත් හිනා යනව,ලියන්න ගියොත් මේකට 18+ දාලත් මදි මට වෝනින් එකක් එන්නත් පුළුවනි,දැනටමත් වෝනින් දෙකතුනක් ඇවිල්ලත් තියෙන එකේ දැම්මම ඔව්ව ලියන්න හොඳ නෑ පස්සෙ හිමිහිට ලියමුකො...

මම ලියාගෙන ආවේ කොන්ඩ කුරුළු ජෝඩුව ගෙවල් හදල බිත්තර දාපු හැටිනෙ,ඔන්න මායක්කගේ කතාව කියල ඉවරවෙද්දි බිත්තර බිඳලා චූටි පැටව් දෙන්නෙකුත් ඇවිල්ල...කෑ ගහනව මොකුත් නෑ මහ හයියෙන් රෑහියෝ වගේ,අම්මගෙයි තාත්තගෙයි වැඩේ එක එක කෑම පණුවො පොඩි පොඩි කුරුමිණි පැටව් එහෙම ගෙනත් පැටවුන්ට කවනව ගෙට එනව යනව ගෙදර අපිව ගණන් ගන්නෙත් නෑ,කණ ගාවින් කිස් ගාල පියාඹගෙන යන්නෙ බොහොම හදිස්සියෙන්...
සැරයක් කිරිල්ලි පැටවුන්ට කවන පින්තූරයක් ගන්න මම පුටුවක් උඩට නැග්ග,මොකද බිම ඉඳල පින්තූරෙ ගන්නවට වඩා සමාන්තර උසකට ගිහිං ගත්තොත් ලස්සනයිනේ...අප්පට උඩු මෙන්න කිරිල්ලි මහ හඬ දීල කෑගහන්න ගත්ත කවන එක නවත්තල ඇවිත් පඩියක් උඩ වහල මගේ දිහා බලං හිටියනෙ, කිරිල්ලි හිතන්න ඇති මම පුටුවට නැග්ගෙ පැටවුන්ව අරගන්න කියල,දැන් මට බයයි කිරිල්ලි ඇවිත් මගෙ ඔලුවට කෙටුවොත් එහෙම...කිරිල්ලි දිහා බලාගෙන අරගත්ත පින්තූරෙත් සවුත්තු වුණා,බලපුවම ඔය ඩිස්කවරි,නැට් ජියෝ වයිල්ඩ් එකට එහෙම පිංතූර ගන්න අයට තෑගී දෙන්න වටිනව ඒ අය මොන තරං අමාරුවකින්,ඉවසිල්ලකින් ඔය වැඩේ කරනවද කියල හිතුවම, අපි ගෙදර පුටුවට වෙලා කකුල් දෙකත් උඩ තියාගෙන බලන සුව පහසුව ඒ අය පිංතූර ගන්නකොට නෑනෙ...

ආයෙනං කොන්ඩ කුරුළු ජෝඩුවට අපේ ලාම්පුවෙ ගෙවල් හදන්න දෙන එකක් නෑ ගෙදර කට්ටිය බලාගෙන ඉන්නෙ පැටව් දෙන්න ඉගිල්ලෝගන යනකං කූඩු හදන තැනට රෙදි කඩමලුවත් ඔබල දාන්න...




Saturday, February 8, 2014

114.රසබර මොහොතක මතකයන්.




අපේ සිත් තුල සැඟවිලා ගිලිලා තිබෙන රසවත් අතීත මතක සටහන් යම් යම් අවස්ථාවන්හිදී යම් යම් හේතු නිසා එළියට ඇවිත් අපව ඒ රසබර අතීතයට ආපහු ගෙනයන එක අපි කාටත් පොදුයි...පහුගිය දවස්වල මම ලංකාවෙ ඉද්දි අතීතයේදි ඇසූ මා හිත්ගත් ගී කීපයක් නැවත අසන්නට ලැබුණා.

මම සාමාන්‍යයෙන් ටී වී බලන චරිතයක් නොවෙයි, නමුත් ඒ දිනවල ටී වී එකේ ගිය ශ්‍රී ලංකා පකිස්තාන් ක්‍රිකට් තරග නොවරදවාම නැරඹුවා ...

ඔන්න මම ෂේප් එකේ මැච් එක බලාගෙන ඉන්නකොට බිරිඳ පහළ කෑගහනව ඇහෙනවා...

මේ ඔයා කොහේදෝ...

මම මෙහේ, මොකද බෙල්ල මිරිකුව වගේ බෙරිහන් දෙන්නෙ...

මෙන්න ඔයාට කෝල් එකක්,කෝල් එන එන ගානෙ මට උඩට නැග නැග පණිවිඩ කියන්න බෑ එක්කෝ ඔයා පහළට වෙලා ඉන්න නැත්නං මොබයිල් එක හදා ගන්න එතකොට මට කරදරයක් නෑ.ඇයි අප්ප තේ හැදුවත් කෑ ගහන්න ඕනෑ,කන්න බෙදලත් කෑ ගහන්න ඕනෑ මට වෙන වැඩක් නෑ...

මොබයිල් එකේ සිම් එක මාරු කරන්නෙ නැතුව එහෙමම තියෙන්න ඇරියෙ මාරුකළා නං තවත් කරදරයක් හින්දයි...මාරුකරගත්ත නං හොඳා කියලත් වෙලාවකට හිතෙනවා...

හාන්සි පුටුවට වෙලා මැච් එක බල බල ඉද්දි වෙලාවකට එහෙම්මම නින්ද යනව, ටිකකින් ඇහැරෙනකොට ඔන්න මැච් එක නවත්තල, එතකොට මම වෙන වෙන චැනල්වලට මාරුකරනව,ඔන්න ඔය විදියට චැනල් මාරු කරගෙන යද්දී නයි ටී ඇන් එකේ පරණ චිත්‍රපටයක් පෙන්නනව අහුවුනා,බලපුවම ලෙස්ටර් ජේම්ස් පීරිස් ශූරීන්ගේ රන්සළු(1967) චිත්‍රපටයයි...

මේ චිත්‍රපටය ගැන ගොඩක් අහළ තිබුනත් බලන්න ලැබිල තිබුනෙ නැතිනිසා මම බොහොම සාවධානව චිත්‍රපටය නැරඹුවා...නමුත් 1967  සරසවි සම්මානය ලබාගනිපු මේ චිත්‍රපටයේ මම බලාපොරොත්තු වෙච්ච තරම් ආශ්චර්යයක්  තිබුනෙ නැති බවත් චිත්‍රපටය අවසානයේ මගේ බලාපොරොත්තු කඩවුණු බවත් අවංකවම කිවයුතුයි...

කොහොමත් ලෙස්ටර් මහත්තයගෙන් මට ලැබිල තියෙන්නෙ බලාපොරොත්තු කඩවීමම මිසක් වෙන දෙයක් නෙවෙයි මා ඔහුගෙ මුල් යුගයෙ චිත්‍රපට එකක් දෙකක් ඇරෙන්නට අනික් චිත්‍රපට සියල්ලම නරඹා ඇතත් එකකින් වත් මට තෘප්තියට පත්වන්නට නොහැකිවුණා...

හැබැයි නියඟයකට වට වැස්සක් සේ මා ඉතා ප්‍රියකරන ඉමිහිරි ගීත දෙකක මුල් ගායනය නැවත අසන්නට භාග්‍යය ලැබීම මට අතිශයින් සතුටට කරුණක් වුනා...

ඒ ගීත දෙක සම්බන්ධයෙන් මගේ ළඟ කතා දෙකකුත් තියෙන නිසා ඉස්සෙල්ලම ගීත දෙක මොනවදැයි කියල ඉන්නම්...

බඳුන් පිරී  -නෙවිල් ප්‍රනාන්දු
සිරිපා පියුමේ -ඩබ්.ඩී අමරදේව

රන්සළු චිත්‍රපටයේ එන මේ ගීත ද්විත්වය මට නං කනේ මී වක්කරනාක් සේම ඉමිහිරි බව නැවතත් කිවයුතුයි...

කණ්ඩායම් සංගීතයේ ප්‍රමුඛයෙක් වූ නෙවිල් ප්‍රනාන්දු වැනි බටහිර ආරට ගී ගයන ගායකයෙක් සම්භාව්‍ය චිත්‍රපට නිර්මාපකයෙක් වූ ලෙස්ටර් ජේම්ස් පීරිස් ශූරීන් සමග සම්බන්ධ වූ ආකාරය හොයාගෙන ගිය මට හරිම රසවත් කතාවක් සොයාගන්නට ලැබුණා....

මේ කතාව දකින්නට ලැබෙන්නෙ තිස්ස අබේසේකරයන්ගේ අයාලේ ගිය සිතක සටහන් පොතෙයි.කතාව එහි ලියා තිබෙන ආකාරයටම මා මෙහි සඳහන් කරන්නම්...

''එහෙත් ඊට බොහෝ කලකට පසු 'දෙලොවක් අතර' චිත්‍රපටය සඳහා රාත්‍රී සමාජ ශාලාවලට උචිත ගීයක් අවශ්‍ය වූ විට,එය ගායනා කිරීමට එවකට ජනප්‍රියව සිටි කිසිදු ගායකයෙකු ගේ හඬක් වත් සුදුසු නැතැයි ඔහු කියා සිටියේය.එවැනි තැනකට රැස් වන පිරිස ගැන හිතනකොට ඔවුන් ඒ එක කටහඬකටවත් කැමති වන වර්ගයේ උදවිය වෙන්නට බැරි බව ඔහු ප්‍රකාශ කළේය.'චාරුලතා'චිත්‍රපටයේ සුමිත්‍ර චැටර්ජි පියානෝවක් වාදනය කරමින් ගයන ගීයේ පසුබිම් හඬ වගේ හඬක් මට ඕන'-ඔහු කීවේය.ඒ ගීය ගායනා කළේ කිෂෝර් කුමාර් ය.ඔහු බටහිර ඌරුව සහිත ගීත කදිමට ගායනා කළ හින්දි ගායකයකු විය.
'ඔහුට හොඳ මධ්‍යම පාන්තික කටහඬක් තියෙනවා'ලෙස්ටර් ප්‍රකාශ කර සිටියා මට මතකය.මේ කටයුත්ත  සඳහා නිර්දේශ කළ හැකි ගායකයෙකුසොයන්නට වූ මට විජය කොරයා විසින් නෙවිල් ප්‍රනාන්දු ප්‍රමුඛව 'ලොස් කැබලෙරෝස්'ගායක කණ්ඩායම විසින් පටිගත කළ ගීයක් අසන්නට සැලැස්වීය.ඔවුන් ගායනා කර තිබුණේ සී. ටී.ප්‍රනාන්දු ගේ ගීයකි.නෙවිල් ප්‍රනාන්දුට වූයේ ඉතා දුර්ලභ ගණයේ අතිශයින් සියුම් ලෙස ස්වර නිරූපණය කළ හැකි කටහඬකි.බටහිර සංගීතයේ මාත්තුව තිබුණද ඔහුගේ සිංහල උච්චාරණයද ඉතා නිවැරදි විය.
ඒ කටහඬ ඇසූ සැණින් ලෙස්ටර් එය පිළිගත්තේය.
'ගයන ගැයුම්-නටන නැටුම් 'ගීය සඳහා නෙවිල් ප්‍රනාන්දු ප්‍රමුඛ-'ලොස් කැබලෙරෝස්'ගායක කණ්ඩායම එක් වූයේ එලෙසය.''
(පිටු අංක 147-148 අයාලේ ගිය සිතක සටහන් 2007,තිස්ස අබේසේකර.)

'දෙලොවක් අතර'(1966) චිත්‍රපටයට නෙවිල් ප්‍රනාන්දුව ගායනයෙන් සම්බන්ධ කර ගත් ලෙස්ටර් එයින් නොනැවතී ඔහු ඊළඟ වර්ෂයේ අධ්‍යක්ෂණය කළ රන්සළු චිත්‍රපටයේ බඳුන් පිරී නම් වූ  රසාලිප්ත ගීතයද නෙවිල් ලවා ගායනා කරවූවා...

මේ ගීතයට අද වනවිට වයස අවුරුදු 48 ක් පමණ වෙනවා, ඒ වගේම අපට අහන්නට ලැබෙන්නේ තැනින් තැන කෑලි නොමැති ගීතයකුයි,සම්පූර්ණ ගීතයම තිබෙන්නේ චිත්‍රපටයේ පමණයි...

ශ්‍රී ලංකාවේ කණ්ඩායම් ගීත සංස්කෘතියේ ආරම්භකයා හෝ ආරම්භකයෙක් වූ නෙවිල් ප්‍රනාන්දු 1960 දශකයේදී ලොස් කැබලෙරෝස් කණ්ඩායම එලි දක්වමින්  ශ්‍රී ලංකා කණ්ඩායම් සංගීත වංශ කතාව ආරම්භ කළා.සිංහල ගීත සාහිත්‍යයට ඔහු සතු වූ අතිශය දුර්ලභ මිහිරි කටහඬින් ගීත 24 ක් පමණ දායාද කොට තිබෙනවා... සිංහල චිත්‍රපට ගීතාවලියේ තවත් අමරණීය මං සලකුණක් වන 'මාස්ටර් සර්' ගීතයද නිමල් මෙන්ඩිස්ගේ සංගීතයට කළුදිය දහර චිත්‍රපටයට ගැයුවේ නෙවිල් ප්‍රනාන්දු විසින්මයි.

1940 දශකයේ? මීගමුවේදී උපත ලද නෙවිල් ප්‍රනාන්දු ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රය හරහා ක්ෂණික විදුලියක් සේ එළිය පැතිරවූ ගායකයෙක් ලෙස මා  දකිනව,ඔහු ලියුකේමියා රෝගයට ගොදුරුවී 1976 අප්‍රේල් මස 23 දින මෙලොවින් සදහටම සමුගත්තා.(නෙවිල් ප්‍රනාන්දු ගායකයාණන් ගේ උපන් දිනය ඇතුළු පුද්ගලික විස්තර සොයන්නට මා ගත් උත්සාහයන් නිරර්ථක වීම කනගාටුවකි ) නෙවිල් ප්‍රනාන්දු මියයද්දී රුක්මණී දේවිය ජීවත්වූයේ  ඔහු සමග යයි කීම ඔහුටවත් රුක්මණී දේවියටවත් නිගරුවක් නොවනු ඇතැයි සිතමි.මගේ ඥාතිවරයෙක් වූ තවත් කලාකරුවෙක් සමග නෙවිල් මියගිය සමයේ රුක්මණී දේවිය ඇඬු කඳුලෙන් සිය හද පෙළන දැඩි ශෝකය ප්‍රකාශ කළ බව ඔහු මා සමග කියා සිටියා...


මෙවැනි සම්බන්ධයන් කලා ලොවට අමුතු දේවල්  නොවෙයි,ඕපාදූප හොයාගෙන ගියොත් මෙවැනි කතා ගණනාවක් සොයාගන්න පුළුවනි,මේ වගේ තවත් සම්බන්ධයක් ගැන රසවත් කතාවක් මගේ මතකයට නැගෙනවා... 

ඒ ජෝතිපාලත් ලතාත් එකට ජීවත් වූ සමයයි,නිහාල් සිල්වාගේ සාජන්ට් නල්ලතම්බි නාට්‍යයේ දර්ශනයක් එල්පින්ස්ටන් රඟහලේ පැවැත්වුනේ එවකට අගමැතිව සිටි ආර්.ප්‍රේමදාස මැතිතුමාගේ ප්‍රධානත්වයෙනුයි,එතුමා සමග කලාකරුවන් රැසක්ද නාට්‍යය බැලීමට පැමිණ සිටියා...

නල්ලතම්බි සිය හිතේ තිබෙන ආදරය කාන්තාවට ප්‍රකාශ කරන මොහොත...

මගේ ආදරේ රෝමියෝ ජුලියට්,රාමා සීතා,ලයිලා මජ්නු,ජෝති ලතා...

එකවරම ඇතිවුණු මහා සිනා රැල්ලකින් ශාලාව දෙදරුම් කෑවා...ඒ සමගම අසුනින් නැගිටගත් කාන්තාවක් මොන මොනවාදෝ මුමුනමින් වේගවත් ගමනින් ශාලාවෙන් පිටව ගියා,ඇය ලතා වල්පොලයි ...

ඊළඟ කතාව රන්සළු චිත්‍රපටයේ එන අනෙක් ගීතය වන සිරිපා පියුමේ ලියැවුනු ආකාරය ගැනයි,අමරදේවයන් ගයන මේ ගීතය පද රචනය කරන ලද්දේ  මහගම සේකරයන් විසිනුයි...ගීතය ලියූ ආකාරය සේකරයන් මියගිය පසු ප්‍රකාශයට පත්වූ ''මහගම සේකර නොපළ ගීත''නම් පොතෙහි සඳහන් වී තිබෙනවා...මා මේ පොත කියවා ඇතත් දැනට පොත මා ළඟ නොමැති නිසා ලියන්නට වෙන්නේ මතකයෙනුයි,එබැවින් මගේ මතකයත් පොතත් අතර යම් යම් අඩුපාඩු තිබෙන්නට පුළුවනි.

චිත්‍රපටයේ කතාව ඇසූ මොහොතේම සේකරයන්ට සිහිපත්ව ඇත්තේ ඔහු ඇමෙරිකාවට ගුවනින් ගිය ගමනකුයි,කඳු මුදුන් වසා පැතිර තිබු වලාකුළුත් ඒ උඩින් ගමන් කළ ගුවන් යානයත් ඔහුට මතක් වුනා,වලාකුළු උඩ ගුවන් යානය එකතැන නතරවී තිබෙන ආකාරයක් ඔහුට දැනුනා...

මහ රහතන් වැඩි මග ඔස්සේ...
වළා අතුල කඳුවැටි අතරේ...

යන පද ඒ අනුව ඔහු රචනා කළා,උදෑසනද, දුම්රියේදීද ගීතයේ ඉතිරි කොටස් ඔහු සම්පූර්ණ කළා...

 ගීතයට තනුව සකස් කරගැනීම  සඳහා  රන්සළු චිත්‍රපටයේ කතාව රචනය කළ හග්ගල්ලේ පී.කේ.ඩී.සෙනෙවිරත්නයන් මහගම සේකරයන් සහ අමරදේවයන්ව වරකාපොළ ප්‍රදේශයේ කඳු ගැටයක් උඩට කැඳවාගෙන ගොස් තිබෙනවා...

කන්ද උඩට පෙනුණු මනහර දර්ශනයෙන් මත්වූ අමරදේවයන් සර්පිනාව වාදනය කරමින් ගීතයට තනුව යොදා ඇති අතර අමරදේවයන්ගේ අදහස් අනුව ගීතයේ යම් යම් පාදවල දිග අඩුවැඩි කිරීමට සේකරයන් කැමතිවී තිබෙනවා...

ඒ ආකාරයට නිර්මාණය වූ සිරිපා පියුමේ ගීතය අදද රසිකයන් ඉතා අගය කරන ගීතයක්.

මේ ගීත හා චිත්‍රපට ගැන මගේ අදහස් දැක්වීම මෙය වුනත් මීට වෙනස් කියවීමක් සමහර විට ඔබට තිබෙන්නට පුළුවනි, අපි හැමගේම අදහස් එකාවන් විය යුතුයැයි මා අදහස් නොකරන නිසා මෙයටවෙනස් අදහසක් ඔබ දරනවා නම් මා එයටද  ඉතා ගරු කරන බවද කිව යුතුයි.

Tuesday, February 4, 2014

113.මැදියම් රෑ බලු මෙහෙයුම



අපේ ෂැඩෝ පැනල ගිහිං, නැගිටින්නකො...

දහසක් බුදුන් බුදුවන පාන්දර සැප නින්දක ගිලී හිටපු මම බිරිඳගෙ සද්දෙට අවදිවුනා...ඇස් පිහිදාල බලපුවම වෙලාව මහ පාන්දර හතහමාරයි...

නැගිටින්නකො අනේ ආයෙම හරිබරි ගැහිල නිදාගත්තෙ, මම තේත් හැදුවා බීල ගිහිං මූණ හෝදගෙන එන්නකො අන්න මං අඟුරු කෑල්ලකුත් ලිඳ ළඟ තියල ඇති...

මොන කරදරයක්ද මන්ද  නිදාගන්නවත් නෑ, බල්ලටත් මේ උදේ පාන්දරම පැනල යන්න ඕනැඋනානෙ...ඊයෙ අර බ්ලොග්කාරයො දෙන්න බලු කූඩුව ලඟට වෙලා බලාගෙන හිටිය නේද, ෂුවර් එකටම උන් දෙන්නට බයවෙන්න ඇති...

බයවෙලාද නැත්නං ඒ ගොල්ලන්ව හොයාගෙන ගිහින්ද දන්නේ නෑ අනේ උදේම...කෝකටත් දවල් වෙලා කෝල් එකක් දීල බලන්නකො...

අනේ මන්ද අප්පා තියන ලෙඩ මදිවට බල්ලොත් ලෙඩ දෙනවනෙ...

උදේට කන්න චූං පාන් අරගෙන පොල් සම්බෝලයක් තලල තිබුණා,කහ ත්‍රී වීල් එකේ ගෙනියන පාන් කොහොමත් හොඳයි...මිනිහ ගේන්නෙ දර පෝරණේ පුච්චන පාන්,අනික් උන් නං ඔක්කොම විකුණන්නෙ ගෑස් පාන්,පුම්බල විතරයි කාපු වෙලේ ඉඳන් බඩ දනවා...මම කුස්සියෙ ලිබ්බොක්කෙ ඉඳගෙන පාන් කන තැනට වෙලා බිරිඳ බල්ල ගැන කියවන්න ගත්තා...

අපේ සැළකිලි හොඳ නැති හින්දනෙ ගියෙ හොඳ තැනක් හොයා ගන්නෙ නැතැයි...මම නං හොයන්න යන්නෙ නෑ එනව නං ආපුදෙන් ඇයි අනේ අපි දරුවෙකුට වගේ මෙච්චර සලකද්දී කිසිම තැකීමක් නැතුව පැනල ගියානං ඒ වගේ ගුණමකු උන් ආයෙ මොකටද...දවසකුත් මට ඔහොම වැඩක් කලානෙ, ගේට්ටුවෙන් එළියට පැනල මාව වත්තෙ පාරවල් ගාණක ගෙනිහින්...මාත් ඉතිං මගඇරෙයි කියල පස්සෙන්ම ගියා මෙයා මගේ දිහා බල බලා දිව්වනෙ,කොච්චර කතාකළාද නැවතුනේ නෑනෙ,අන්තිමේදි ලෙස්බියන්ලගෙ ගේ ගාවදි අල්ල ගත්තෙ...

බිරිඳගේ නෝක්කඩු ඉවරයක් නෑ...උදේ බල්ලට දොස් කිය කියා හිටියට ඉර මුදුන් වෙද්දී ඇයගෙ කෝපය ශෝකයකට පරිවර්තනය වුනා...

බලන්ඩකො අනේ ෂැඩෝ තාම ආවේ නෑනෙ උදේ කිරි එක බීපු ගමන් දවස් දෙකකින් කෑම කෑවෙත් නෑ බත් එක හදල දුන්නම උඩින් පල්ලෙන් ඉවකරල නිකාහිටිය...වතුර ටිකක්වත් කවුරුවත් දෙන එකක්යැ...

දුන්නත් බොන්න දන්නවයැ ටැප් එකට කට අල්ලල වතුර බොන එකා...

අන්න අන්න අර පහළ පැත්තෙන් බල්ලො බුරනව ඇහෙනව අපේ එකාටද දන්නෙ නෑ ගිහිං බලන්ඩකො...

දැන් බලන්ඩ මේ පැත්තෙන් බල්ලො රැළ ලුණුමිරිස්ලගෙ කොස්ගහ ළඟ ඇම්බුෂ් එක දාගෙන ඉන්නව කිසිම පිට බල්ලෙකුට උන්ගෙ ඒරියල් එකට එන්න දෙන්නෙ නෑ බුරල එලෝනව...එතකොට ඉස්සරහ පැත්තෙන් ගුණසේකරලගෙ බල්ල ඇම්බුෂ් එක දාගෙන ඉන්නව උගෙ ඒරියල් එකේ...ඔය දෙක අතරෙ මාග හැම තිස්සෙම පැට්‍රෝල් යනව, ඔය බල්ලො ටික එකෙක් නෑර උන්ගෙ පොයින්ට්වල ඉන්නව...මම ගිහිං බැලුව, ෂැඩෝ කොහොම මුංගේ ඇස්වහල පැනගත්තද කියල මට හිතාගන්නවත් බෑ...
                                         පැට්‍රොල් යන මාගෝ

වෙලාවට අද පුතත් ක්ලාස් ගිහින්නෙ, ඒ ළමයි දෙන්න හිටියනං මෙලහකටත් බල්ලව හොයාගෙන ඇවිත්...පොතක් දිග ඇරගෙන ඉඳගත්තහම ඔයාටත් මෙලෝ සිහියක් නෑනෙ  ගිහිං බලල එන්ඩකො අහළ පහළවත්...

අව්ව ටිකක් බැස්සහම ගිහිං බලන්නං, කොහෙද මේ ගිණි අව්වෙ බල්ලො හොයනව තියා එළියට බහින්ඩවත් පුළුවන්යැ...

අනේ මට බය මේකා වාහනේකටවත් යටවෙයි කියල පුරුදු නෑනෙ මොන වයසක්ද, පෙනුමට හිටියට තවම පැටියනේ...අපේ ඔෆිස් එකේ විජේනායකගේ බල්ලත් ඔහොම පැනල ගිහිං හෙව්වට හෙව්වට හම්බවෙලා නෑ කොහොම හරි දවස් දෙකකට පස්සෙ කොහෙද ඉඳල ගෙදර ඇවිත්,හොඳටම අසනීපවෙලා, ඇවිදින් දවස් දෙකයි ජීවත් වෙලා තියෙන්නෙ වකුගඩු ආසාදනයක්ලු...

වකුගඩු ආසාදනයක්ය කියල ලැජ්ජාවට කිව්වට ඔය වෙන ආසාදනයක් වෙන්න ඇති...

වෙන කොහෙ ආසාදනයක් වෙන්නද...

ඔය එළියෙ තියෙන අවයව වල එහෙම, ඇයි එහෙම වෙන්න බැරිද ඌ පැනල ගියෙත් බැල්ලියොත් එක්ක කං සැප විඳින්ඩ නොවැ හොඳයි බොරුද...

ඔය කිව්වෙ ඔන්න කිව්ව,ඔයාලටත් ඉතිං කතාකළොත් ඔය අවයවේ ගැනම තමයි ,මං කියන්නෙ නෑ ඉතිං කොහෙන් පටන් ගත්තත් අන්තිමට ඔය අවයවේට ඇවිත් තමා නවතින්නෙ...

නෑ මං නිකමට වගේ කිව්වෙ මට නං ඉතිං ඔව්වයෙ එච්චර ගාණක් නෑනෙ ...

මිනිස්සු බල්ලව අල්ලගනීද දන්නෙ නෑ නේද අනේ, එහෙමත් කරනවලුනෙ...

එහෙනං, බල්ලො ඇතිකරන මනුස්සයෙකුට එහෙම අහුවුණොත් ඉතිං බඩුම තමයි අල්ලල බැඳගන්නවා...

ඒත් ඉතිං එහෙමත් බෑනෙ මෙයාගෙ කොළ ඔක්කොම අපි ගාවනෙ තියෙන්නෙ, මොන මොන බේත් විදලද මොනව විදල නැද්ද කියල අල්ලගත්ත මිනිහ කොහොමද දන්නෙ...

ඔයත් හරියට නස්රුදින්ගෙ මස්ටික කපුට ගෙනිච්ච කතාව වාගෙ එකක්නෙ කියන්නෙ...

ඒ මොකද්ද ඒ නස්රුදීන්ගෙ කතාව...

ඇයි අහල නැද්ද,නස්රුදින් දවසක් කඩෙන් මස් කුට්ටියක් අරගෙන ඔය මස් කුට්ටිය බොහොම රසට හදන හදන විදියත් කොලේක ලියාගෙන ගෙදර යනවලු, එකපාරටම කපුටෙක් මස් කුට්ටිය ඩැහැගෙන ගිහිං...නස්රුදින් කලබල වෙලා නෑ, මිනිහ කෑ ගහල කපුටට කිව්වලු...

හූ...උඹ මහලොකුවට මස් කුට්ටිය විතරක් අරං ගියාට වැඩක් ඇතැයි,රෙසිපි එක මගෙ අතේනෙ මෝඩ කපුටෝ...

බඩගිනිද...

බඩගිනිත් ටිකක් තියනව...

මම කෑම බෙදනකල් ඔයා නාල එන්ඩකො...

දවල්ට කන්න තිබුනෙ කතුරුමුරුංග මල් හොදියි බතුයි...

චැහ් අම්මප මේවත් කන්න පුලුවන්ද මනුස්සයෙකුට...

කෑම නං හරි නෑ තමයි, කොහෙද මේ බල්ලගෙ කරදරෙත් එක්ක මොකුත් උයාගන්න බැරිඋනානෙ,පපඩමක් බැදල දෙන්නද...

පපඩං හොඳයි පොඩි උන් රවට්ටන්ඩ,මහ ලොකු පපඩම...

තියෙන විදියට කන්ඩ අනේ,මේ අමාරු කාලෙ අපට දෙවේලක්වත් කන්ඩ ලැබෙන එක කොච්චර දෙයක්ද, රෑටවත් හොඳට උයල දෙන්නංකො...

උදේ හදපු පොල් සම්බෝලෙ ඉතුරු වෙලා තියනවනං ටිකක් දෙන්ඩකො ඒක එක්කවත් බත් ටිකක් කන්ඩ බලන්නං...

මට නං කන්ඩ පිරියකුත් නෑ බල්ල බඩගින්නෙ කියල මතක් වෙනකොට, හාමතේ  වේලිලා ඔහේ තැන තැන දුව දුවා ඇති කාගෙන්වත් ඉල්ලන්ඩ කියලයැ...අනේ ඇත්තට අපි මෙහෙ ගිණි පත්තුවෙලා ඉන්නව කියල මූට පොඩ්ඩක් වත් හිතෙන්නෙ නැති හැටි...

බල්ල පැනල ගිහිං  අපට මෙච්චර දුක නං දරුවෙක් පැනල ගියාම දෙමවුපියන්ට කොච්චර දුක ඇද්ද...

කොහෙහරි හොඳින් ඉන්නවනං හිත හදාගන්න බැරියැ, ඒ උනාට බඩගින්නෙ එහෙ මෙහෙ දුවනකොට වාහනේකටවත් යටවුනොත් කියලයි මට හිතේ ගින්දර...

ඔයවගේ අපි බෙන් එකේ ඉන්න කාලෙ බෙනට්ගෙ බල්ල පැනල ගියානෙ, අපි මාර ඔපරේෂන් එකක් කළා ඌව හොයාගන්න...

ඉතිං හම්බවුනාද...

හම්බවුනා නේන්නං පහුවදා...බල්ල පැනල ගිය වෙලාවෙ බෙනට් කෙලින්ම ආවේ අපිව හොයාගෙන...

මල්ලි අපේ රෝවර් පැනල ගිහිල්ලනෙ...

ඉතිං බෙනට් අයියෙ හෙව්වෙ නැද්ද...

හැමතැනම හොයල හොයල බැරිම තැන තමා මල්ලි මේ ආවේ...

ඉතිං දැන් මොකද කරන්න හදන්නෙ...

දැන් කරන්න තියෙන්නෙ මේකයි, උඹල කොළ ටිකක දැන්වීම් පහළොවක් විස්සක් ලියල මේ වටපිටේ අලවපල්ල වැඩිපුරම පැලවත්ත පැත්තෙ එහෙම...

අපි කට්ටිය  එකතුවෙලා දැන්වීම් ටික ලිව්වා...
                                           
                                               සොයාදෙන්න
                   රෝවර් නමැති කළු පැහැති බල්ලා(දුඹුරු කකුල්)පසුගිය 
                   බදාදා මඳ වැසි සහිත අඳුරු සැන්දෑවේ සිට අතුරුදහන්වී ඇත.
                   බෙල්ලේ  කළු පටියකි. දුටු කෙනෙක් ඇත්නම් පහත 
                   ලිපිනයට හෝ දුරකථනඅංකයට වහාම දැනුම් දෙන
                   ලෙස ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.
                   27,නාගහමුල්ල පාර,
                   පන්නිපිටිය පාර,
                   බත්තරමුල්ල.

ඒ කාලෙ මොබයිල් පෝන් තිබුණු එකක්යැ බෙනට්ගෙ ගෙදර නොම්මරේ යටිං ලිව්වා...

බෙනට් අයියෙ නිවැරදි තොරතුරක් දුන් කෙනෙකුට වටිනා ත්‍යාගයක් පිරිනමමි කියලත් යටින් ලියන්නද...

නෑ නෑ ඕනැ නෑ ඔය ලිව්ව ටික මදැයි,කෝ මෙහෙට ගනිං බලන්න...මොනවද මල්ලි උඹලගෙ සාහිත්‍යය, බල්ලව හොයන්නත් උඹලට සාහිත්‍යය නැතුව බෑ නේද...මද වැසි,අඳුරු සැන්දෑව ඕව මොන කෙහෙම්මලකටද...

අපි මුවින් නොබැණ දැන්වීම් ටික අරං  ගිහිං අලෝල ආවා...

පහුවදා මම වැඩට ගිහිං ආපහු එනකොට බෙනට් සිනා උතුරවමින් බෙන් ෆිල්ම්ස් එකට එනවා...

මල්ලි රෝවර් හම්බවුනානෙ...

කොහෙද හිටියෙ බෙනට් අයියෙ...

පාර්ලිමේන්තු පිට්ටනියෙ,අපේ දැන්වීම දැකපු කෙනෙක් මට පෝන් කළා ගිහිං බලනකොට මෙයා ඉන්නව බලු රැළක් එක්ක දුව දුවා...කතාකරපුවම දුවගෙන ආව කාරෙකේ දාගෙන කෙලින්ම ගෙදර ගෙනත් පැනඩෝල් දෙකක් දීල කිරිත් හදල බොන්න දීල කූඩුවට දැම්ම දැන් ඕන් නිදි...

දැක්කද බෙනට් අයියෙ අපේ දැන්වීමෙ වටිනාකම...

පැනඩෝල් දීල හරියන එකක් නෑ ඕකව වී ඩී ක්ලිනික් එක්ක ගියානං තමයි හොඳ,දැන් නිදියන්නෙ ඊයෙ රෑ තිස්සේ ඇහැරලා ඉන්න ඇති...

බෙනා ගියාට පස්සෙ අපි කතාවුණා...

ඒ වෙනකොට බල්ල නැතිවුණු එක අපේ ගමේ ඔක්කොම අයයි අහළ පහළ ගම්වල බාගයක් විතරයි දැනගෙන ඉවරයි,බිරිඳ ගේ ඉස්සරහ ඉඳගෙන පාරෙ යන ඔක්කොම දැනුවත් කරනවා...

අපේ බල්ල උදේ පැනල ගිහින්නෙ අනේ දැක්කොත් පණිවිඩේ කියන්න හොඳද...

ෂැඩෝ ගැන පළවෙනි ආරංචිය ලැබුනෙ හවස පහට විතර, ළඟ ගෙදරක පොඩි ගෑනු ළමයි දෙන්නෙක් ඉස්කෝලේ ගිහිං එද්දී  බල්ල කනත්තෙ ඉන්නව දැක්කලු...

අපි දැක්කෙ ඉස්කෝලේ ඇරිල එද්දි දෙකට විතර, බල්ල කනත්තෙ ගෙයි සිලි සිලි බෑග් එකක් එක්ක සෙල්ලං කර කර හිටිය, අපි දන්නෙ නෑනෙ මෙහෙ බල්ල නැතිවෙලා කියල නැත්නං ආපු වෙලාවෙම කියනව...

අනේ අපි යමු මාත් එන්නං...

ඇයි පයින්ම යන්නද...

ඔව් ඔය ටික පයිම්ම යමු...

අනේ මට නං ඔච්චර දුර පයින් යන්න බෑ චන්දනටවත් කතාකරගෙන යමු...

ඒ ගමන චන්දනටත් කතා කරගෙන ගිහිල්ල කනත්තෙයි ඒ අවට හැම තැනමයි හොයල බැලුවට ෂැඩෝ හිටියෙ නෑ...

මම ඔය කියන බල්ලව උදේ අටට විතර අන්න අර සර්විස් ස්ටේෂන් එක ළඟ ඉන්නව දැක්කනෙ,ඔයාලගෙ බල්ල කියල දන්නෙ නෑනෙ වාහනවලට හුරු නෑ නේද...

ඔව් ඔව්...

ඒක තමයි වාහන එද්දී එහාට මෙහාට පැන පැන හිටියෙ...

චන්දන කිව්වා...ඒ පැත්තෙ අයටත් පණිවිඩේ දීගෙන හිස් අතින්ම අපි ගෙදර ආවා...

හවස මගේ පණිවිඩේට ලොක්කයිය අපේ ගෙදර ආවත් ඒ අහිංසකයට ප්ලේන්ටියක්වත් දෙන්න විදියක් නැති නිසා මම ලොක්කට පස්සෙ එන්න කියල කිව්වා...

 ෂැඩෝ නැතුවම රාත්‍රිය ළඟාවුණා රෑටත් අපට හරියකට කෑමක් ලැබුනෙ නෑ, චූං පාන් අරගෙන කිරිහොදිත් එක්ක කෑවා...කිසිම කතාබහක් නැතුව කට්ටියම කල්පනා කර කර ඉඳල ගොළුවො වගේ නින්දට ගියා...නින්ද ගියා විතරයි බිරිඳගෙ මොබයිල් එක දිගටම නාදවෙන්න ගත්තා...

ට්‍රීන්...ට්‍රීන්  ට්‍රීන්... ට්‍රීන්  ට්‍රීන්...ට්‍රීන්

පෝන් එකට උත්තර දෙන බිරිඳගෙ ඇස් ප්‍රීතියෙන් දිලිසෙන්න ගත්තා...

 ෂැඩෝ ඉන්නවලු චන්දන කතාකළේ විනාඩි පහකින් එනවයි කිව්වා යන්න ලැස්තිවෙලා ඉන්නලු...පුතේ පුතේ ඉක්මනට ඇඳගෙන එන්න තාත්තත් එක්ක බල්ලව ගේන්න යන්න...

චන්දනත් එක්ක අපි පිටත් වුනා වේගයෙන් ගිය චන්දන විනාඩි දෙක තුනකින් අපේ වත්ත කෙළවරේ තියෙන පාරකින් ඇතුළට දාල කොත්තු විකුණන රෑ කඩයක් ළඟ නතර කළා...දවල් අපි පණිවිඩේ කියපු සර්විස් ස්ටේෂන් එකේ කෙනා එතන හිටියා,චන්දනට පණිවිඩේ දීල තියෙන්නෙ එයා තමයි...

උදේ ඉඳලම බල්ලෙක් මෙහෙ කැරකෙනව කොහෙ හරි ගෙදරක හදපු බල්ලෙක් කියල අපි දැනගත්ත,මම අල්ලන්නත් හදල නිකාහිටියෙ රෑටම බැඳල තියනව කියල හිතාගෙන...

කඩේ කොත්තු ගහමින් හිටපු කන්නාඩියක් දාගත්ත ප්‍රසන්න පෙනුමැති හීනි තරුණයා අපිට කිව්වා...

ඔන්න ඔය පැත්තෙ ඇති කතා කරන්නකො...

කතා කරපුවම පාරෙ ඈත කෙළවරේ ලයිට් කණුව ලඟින් මතුවුණු  ෂැඩෝ මොහොතකට ආපහු හැරිල ගිහිං ආයෙම වේගයෙන් දුවගෙන ඇවිත් අපිළඟ බිම නිදාගත්තා,මම දැක්කෙ හරියටම ෂැඩෝ අපි එනකං බලාගෙන හිටිය වාගෙයි...දංවැල දාගෙන ගෙනත් ත්‍රීවීල් එකට දාගෙන ගේන්න බලපුවම මෙයා චන්දනට ගොරවන්න ගත්තා...

එහෙනං ඔය දෙන්න ෂැඩෝව පයින් එක්කරන් එන්න...

එහෙම කියල චන්දනයි මමයි ගෙදර ආවා...බිරිඳ අපි එනතුරු නොඉවසිල්ලෙන් බලං හිටියෙ, විනාඩි කීපයකින් ෂැඩෝ එක්කගෙන පුතා ගෙදරට ළඟාවූනා...ආපු ගමන්ම දුන්න වතුර බීගෙන බීගෙන ගියා...

ඉන්න ඉන්න වතුර දෙන්න එපා මම කිරි ටිකක් හැදුවා...

ෂැඩෝ කිරි ටික  වේගෙන් බීල බාජනෙත් ලෙවකාගෙන ගියා...

පව් අනේ දවසෙම කන්නවත් බොන්නවත් නැතුව වේලිලා ඉඳල තියෙන්නෙ...
video

බිස්කටුත් කන්න දීල ෂැඩෝව කූඩුවට දැම්මා, මගෙ හිතේ තිබුනෙ නං පොල්ලකින් දෙකක් සළකන්නයි,ඒ උනාට ගහගන්න හම්බවුනේ නෑ...ෂැඩෝ ගෙදර ගෙනාවට පස්සෙ නං කේක්,කෙසෙල්ගෙඩි,බිස්කට් කෝපි ආදියෙන් සමන්විත සංග්‍රහයක් මදි නොකියන්න ඒ මහ රෑ  අපට ලැබුනා.

(ප.ලි . මාතෘකාව හෙන්රිගේ අනවසරයෙන් උපුටා ගත්තකි)







                                                                                                                                                       

Saturday, February 1, 2014

112.සංවත්සරය සහ ලොක්කයියා 18+

 
 



අලුත් අවුරුද්දෙ මාසෙකුත් ගතවුනා,පහුගිය මාසෙම වගේ ලංකාවෙ ගතකරපු නිසා ලියාගන්න ලැබුනෙ පෝස්ටු දෙකයි,අලුත් මාසෙට අලුත් යමක් ලියන්නත් ඕනෑ...මොනව ලියන්නද කියල කල්පනා කරමින් හිටියෙ.ලංකාවෙ හිටපු කාලෙ පෝස්ට් දෙකතුනක් ලියන්න දේ හොයාගත්ත කිව්වොත් නිවැරදියි...ඒත් මගේ හිතේ තිබ්බ හැටියටම කරුණු හොයාගන්න නං බැරිවුනා,ලංකාවේදී මම උත්සාහ කලේ ගමේ ඉන්න වයසක උදවිය අල්ලගෙන ඒ ගොල්ලන්ගෙන් පරණ කතා ටිකක් අහගන්නයි...නමුත් ඒ ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම අසාර්ථක වුණා.ඔන්න විස්තර කිව්වොත් මෙහෙමයි...

ගමේ මරණාධාර සමිතියෙ සංවත්සරෙත් ඒ දවස්වලම පැවැත්වුන නිසා මටත් සහභාගී වෙන්න හැකියාව ලැබුන...රැස්වීම ඉවරවෙද්දි දවල් එකත් පහුවුනා සංවත්සරේ නිසා කැවුම් කිරිබත් කෙසෙල්ගෙඩි දුන්නනෙ, ඒ හින්ද බඩගින්නක් නං තිබුනෙ නෑ...කැවුම් කිරිබත් දුන්න එකත්  ලස්සන කතාවක්, දවසක්දා රාත්‍රියෙ අපි කීප දෙනෙක් අපේ ගෙදර පොඩියට කර්තව්‍යයක් කරමින් හිටියා...මරණාධාර සමිතියෙ ලේකම් සහ භාණ්ඩාගාරික දෙපොලත් ඔය කට්ටිය අතරෙ හිටිය, දෙක තුන වැදිල කං පෙති එහෙම රතුවේගෙන එද්දී මේ දෙන්න සමිතියෙ සාර්ථකත්වය ගැන දිගින් දිගටම කතා කරන්න ගත්තා...

මේ සැරේ සංවත්සරෙත් එන ඉරිදා තියෙන්නෙ ඔයත් එන්නම ඕනෑ...

හරි හරි ඒක කියන්නත් දෙයක්යැ මම නොවැරදීම එනව...

අපට පුටු ටිකකුත් හම්බවෙන්න තියෙනව පළාත් සභා මන්ත්‍රී කෙනෙක්ගෙන් එයා එනකොට පුටුත් අරගෙනම එයි...එතකොට හුළඟට කැඩිල ගිය ඇස්බැස්ටස් තහඩු වෙනුවට අලුත් තහඩු අරන්දුන්න මන්ත්‍රීතුමා, එයයි දෙන්නම රැස්වීමට එනව කිව්වා...

මේ දවස්වල හිටපු පළාත් සභා මන්ත්‍රී තුමන්ලාගෙන් නං අපේ පැත්තට කිසි අඩුවක් නෑ...හිටපු මන්ත්‍රීතුමන්ලා තුමියල තුන් හතර දෙනෙක්ම අපේ අම්මගෙ මළගෙදරටත් සහභාගී වුණා, ඒ ගොල්ලො මේ කාලෙ මළගෙවල් හොයා හොයා යන්නෙ...

හොඳයිනෙ...ඒක නෙවෙයි මේ සැරේ සංග්‍රහයට ඔයාල මොනවද දෙන්න ඉන්නෙ...

ඔන්න දෙන්නම මූණෙන් මූණ බලා ගත්ත,ඒ වෙනකොටත් සංග්‍රහය ගැන කවුරුවත් කතාබහ කරල නැති බවත් රැස්වීම දවසෙ උදේ ටවුමෙන් මැලිබන් හරි මන්චි හරි ලොකු බිස්කට් පෙට්ටි දෙකක් ගෙනත් බෙදල දාල තේ හදල දීල ලේසියෙන්ම අත පිහිදාගන්න හදන බවත්  මට උන් දෙන්නගෙ මූණු දෙක බලපු ගමන් තේරුණා...කවුරුත් ලේසියට කරන්නෙ ඒකනේ.

මේ සැරෙත් බිස්කට් සහ තේ දීල ෂේප් වෙන්න නේද හදන්නෙ...හරි ලේසියිනෙ,ඒ හුකාමාට් මෙදා හරියන්නෙ නෑ කැවුම් කිරිබත් දීපල්ල...මතකනෙ අපි සමිති කරන කාලෙ හැම සංවත්සරේටම කිරිබත් දුන්න, ඒ කාලෙ සමිතියට එච්චර වත්කමක් තිබුනෙත් නෑ සමිතිය තියන්න හරිහමන් තැනක් තිබ්බෙත් නෑ ඒත් අපි කොහොමහරි කරගෙන ගියානෙ...දැන් එහෙමද හැම පහසුකමක්ම තියෙනව ඇතිවෙන්න සල්ලිත් තියනව බොලාගෙ කම්මැලිකමනෙ වෙලා තියෙන්නෙ...හැමදාම බිස්කට් ගෙනත් දෙනව ලේසියට, සාමාජිකයොයි කියන එකාලත් වචනයක් කියන්නෙ නෑ දෙනදේ කාල යන්න යනව, මෙදා සැරේ වැඩේ පිළිවෙලකට කරපල්ල...

ඔන්න ඔය විදියට කියපුවම අපරාදෙ කියන්න බෑ දෙන්නම ඊට විරුද්ධව වචනයක් වත්  කතා කලේ නෑ...පහුවදාම දුවල පැනල කැවුම් කිරිබත් හදන්න ඕඩරේ දීල රාත්තිරියෙ ආර්තිකේට ගිහිං ඉදිච්ච කෙසෙල්කැන් දෙකතුනක් ගෙනත් සංග්‍රහය ලෑස්ති කළා...රුපියල් හාර පන්දාහක් වියදම ගියා වාගෙද වැඩේ ලස්සනයිනෙ...අනික අර පිට මිනිස්සුත් එන එකේ කැත  නැතුව සංග්‍රහ කරන්න තියෙන්න එපැයි,මොකෝ ලස්සනට තිබුනම ගමටමනෙ ආඩම්බරේ...

ඉතිං ඔන්න ඔය ආකාරයට සංවත්සරය සහ සංග්‍රහය අති සාර්ථකව පැවැත්වුණා, හිටපු මන්ත්‍රීවරුත් ඇවිත් කතාබහ කරල සංග්‍රහ විඳල ගියා...කට්ටිය ඔක්කොම කිරිබත් කාලත් තවත් මහගොඩක් ඉතුරුත් උනා මම බිරිඳටත් කිරිබතුයි ලුණුමිරිසුයි ගිහිං දුන්න ඒ මනුස්සයත් කිරිබත් කන්ඩ බොහොම මනාපයිනෙ...සමිතිය අවසානයේ අස්සන් කරන පොත ළඟ ඔක්කොම රොක්වෙලා පොරකකා අස්සං කරනව,ලොක්කයිය මතකනෙ, පොරත් ඔය අස්සෙ අස්සං කරන්න වලිකනව...

මොකක්ද ලොක්කයියෙ තමුසෙත් ඔය ගෑනු ගොඩේ පොරකන්නෙ මහ ඈතක යන්න තියෙනව වගේ,පැත්තකට වෙලා ඉන්නවකො ගෑනුන්ට අස්සං කරන්ඩ දීල තමුසෙට කොයි වෙලාවෙ අස්සං කරගන්න බැරිද...

ජයතිස්ස ඔන්න ඔහොම කිව්වහම පැය ගාණක් එකතැන ඉඳගෙන ඉඳල හෙම්බත් වෙලා හිටපු වයසක ලොක්කයියට මාරය ආවේශ වුනා...

තොගෙ අම්මට අහවල් එක කරන්න වේසිගෙ පුතා මට පොරකන්න එපා කියන්න එනව,ජයසේකරයගෙ ගොනා ම්ම්ම්හ්...

උඹ මේ ලොක්කයියෙ අම්මට තාත්තට බනින්න එන්න එපා හරිද...

ඇයි තෝ මහ රජ්ජුරුවොද පල පකය යන්න හමන්නගන්නෙ නැතුව බලු වේසිගෙ පුතා ම්ම්ම්හ්...

ඉඳපිය පරය තොට මම කෙළවන්න...

ජයතිස්ස දුවගන එනකොට කට්ටිය ලොක්කව බිමට බස්සගෙන තල්ලු කරන් වගේ අරගෙන ආව ලොක්ක මෙලෝ සිහියක් නැතුව කුණුහරුප වපුරනවා...

වරකො තෝ අපේ ගේ ළඟින්, කපන එක කපනව පට්ට වේසිගෙ පුතා එහෙනං,බලන්ඩකො  අර ජයසේකරයගෙ ගොනා මට ගහන්ඩ අත උස්සගෙන ආවනෙ, ඕක දන්නැතුවයි මේ ලොක්කගෙ හැටි අම්මට හැමනෙන්ඩ පර බල්ල තෝ දැනගං මම අද පාරට වෙලා ඉන්නව තෝ කීයට හරි එනකං...ම්ම්ම්හ්

කට්ටිය එකතුවෙලා ලොක්කව ඇදගෙන වාගේ ගෙදර ගෙනිච්ච, ලොක්කත් ලවක් දෙවක් නැතුව කුණුහරුප දෙසමින් යන්න ගියා, ලොක්කගෙ ගේ තියෙන්නෙත් එතනම පාරෙ පහළ වංගුවෙ,අඩි දහයක්වත් දුර නෑ...

ඔන්න අද උඹට වැඩේ හරි...පණ බේරගන්න ඕනනං ලොක්කලගෙ ගෙවල් පැත්ත පළාතෙන්වත් යන්න එපා වෙන පාරකින් ගෙදර පලයන්...

අපි ජයතිස්සට විහිළු කළා, ඒ වුනාට රැස්වීමෙන් පස්සෙ කොල්ලො ටික අපේ ගෙදර ආවනෙ...උන් ආපහු යද්දී හවස හය හත උනා...

පහුවදා උදේ මම එගොඩහ කඩේට ගියෙ බුලත් රුපියල් දහයක ගේන්න,බුලතුත් අරං ආපහු එනකොට ලොක්කයිය ගේ ළඟ කොටයක් උඩ පවුලත් එක්ක වාඩිවෙලා ඉන්නව,ලොක්කගෙ අතක් බැන්ඩේජ් කරල...මාව දැකපු ගමන් ලොක්ක නැගිටලා පාරට දුවගෙන ආව...

ඔයාට ගෙදර යන්ඩ හදිස්සියක් නෑනෙ...හොඳයි ඔයා කියන්ඩ බලන්ඩ මම ඊයෙ අරූට බැන්න එක වැරදිද...

නෑ නෑ කිසි වැරද්දක් නෑ මම එහෙම නං ඌට ගහලයි පස්ස බලන්නෙ...

මමත් ලොක්කගෙ පැත්තටම කතා කළහම ලොක්ක තව ටිකක් චූන් උනා...

ආන්න ඔයාට තේරෙනව, ඕකට වටිනවද මට එහෙම කතාකරන්ඩ, ඔවුන් මොක්කුද හරක් වගේ කැලේට කොළේට හැදිච්චි උන්නෙ,හරියක් වැරද්දක් දන්නෙ නෑ මනුස්සයෙක් දන්නෙ නෑ...දැන් බලන්ඩ ඔයාට සමිතියෙන් හම්බවෙච්ච සල්ලි ඔයා ආපහු දුන්න, ඒ ඔයා එහෙම කරන්න පුළුවන් තත්වෙක ඉන්න හින්දනෙ...මටත් පුළුවන් ඒවගේ කරන්ඩ මගෙ ළමයත් රජයේ හොඳ රස්සාවක් කරන්නෙ මටත් මෙහෙම ඉන්ඩ ඕනෑ නෑ හොඳට ගේ දොර රෙපෙයාර් කරගෙන ඉන්ඩ පුළුවනි ඒ උනාට මොනවටද මේ ඉන්න ටික දොහට...ඔයාලගෙ අම්ම කැන්දන් ආපු වෙලාවෙ තාත්ත දවස් හතක් මගුල් කෑවා,ඔයාලගෙ අම්ම අපට කොච්චර නං කන්ඩ දීල තියෙනවද...

ඔන්න එතකොට මට පොඩ්ඩක් උනන්දුව ඇතිවුනා, මෙහෙම නං දෙඩෙව්වට ලොක්ක ලඟත් අපේ අම්ම තාත්තගෙ මගුල් ගෙදර ගැන එහෙම පරණ රසකතා ඇති පුළුවන් නං ඒ කතා ටික ඔක්කොම අහගන්නව කියන අදහස මට ආවා...

ලොක්කයියෙ මම එහෙනං යන්නං, මං තව උදේට කාලත් නෑ හවසට අපේ ගෙවල් පැත්තෙ එනවකො...මොකද ඔය අතට උනේ...

ආ ඒ වාහනේ දොරට අහුවෙලා, මහත්තය අත සනීපවෙනකන් මට නිමාඩු දුන්න...ගෙදර එන්නෙ කොහොමද බල්ල ඉන්නවනෙ...

ඒකනෙ වැඩේ ඕයි බල්ල අද උදේ පැනල ගිහින්නෙ...හිටියත් මොකද කූඩුවට දාන්න බැරියැ...

අපේ බල්ල උදේ පාන්දරම දොට්ට පිලට යන්න කූඩුවෙන් එළියට දැම්මහම දැල් වැටේ ගැලවිච්ච තැනකින් රිංගල යන්න ගිහිං...දවල් වෙනතුරුම ආපහු ආවෙ නෑ එයාව හොයන්න විශාල මෙහෙයුමක් කරන්න උනා.