Friday, June 20, 2014

139.අයියර් යුවළ සමග රුදුරු ජාතිවාදයේ බිහිසුණු ගිනිදැල් මැදින්.


අද ලියන්නට බලාපොරොත්තු වුනේ වෙනත් කතාවක් නමුත් මල්මි ලියල තිබුණු කතාවක් නිසා වාර්ගික කලබල සම්බන්ධව බලා තිබු චිත්‍රපට ගැන මගේ මතකයත් අවදිවුනා.වාර්ගික කලබල නිසාවෙන් මල්මි නරඹා තිබු චිත්‍රපට කීපයක් ගැන ඇගේ මතකයට ආ බව ඇය ලියා තිබුණා,ඒ චිත්‍රපට සියල්ලමත් එක්කම මා නරඹා තිබු තවත් අපූරු චිත්‍රපටයක් වෙත  මගෙ මතකය මා රැගෙන ගියා.

කාලය 2004 හෝ 2005 වර්ෂය විය යුතුයි.ඒ මා බ්‍රසල්ස් නුවර රාජකාරි කරමින් සිටි සමයයි.එක්තරා හවසක කාර්යාලයෙන් පිටවී ගෙදර යමින් සිටි මා සමග පෙරේරා මහතා එකතුවුනා.ඔහු අත තිබු ඩීවීඩී පට දෙකක් ගැන මා ඇසූ විට එකක් මට බලන්නට ලබාදුන්නා.ඒ මිස්ට ඇන්ඩ් මිසිස් අයියර් චිත්‍රපටයයි.ගෙදරදී මා චිත්‍රපටය නරඹන්නට ගත්තේ එතරම් උනන්දුවකින් නොවෙයි.නමුත් චිත්‍රපටය පටන්ගෙන ටික වේලාවකින්ම මා එයත් සමග ඒකාත්මික වුනා.මුලු හදවතින්ම චිත්‍රපටය සමග ජීවත් වෙන්නට වුනා.චිත්‍රපටයේ කතාව කෙටියෙන් කිව්වොත් මෙහෙමයි.

මීනක්ෂි අයියර් මහත්මිය ඇයගේ අතදරුවාත් සමග (බටහිර බෙංගාලයේ විය යුතුයි)කඳුකර නගරයක පිහිටි තම දෙමාපියන්ගේ නිවසේ සිට ඇයගේ සැමියා සිටින චෙන්නායි නුවරට යාම සඳහා කල්කටාවෙ දුම්රිය පොළට  බසයෙන් යන්නට බස්පොළට පැමිණීමෙන් චිත්‍රපටය ආරම්භ වනවා.බස් පොලේදී  සිය පියාගේ මිතුරෙකු විසින් එම බසයේම කල්කටාවට යන ඡායාරුප ශිල්පියෙකු වන රාජු චෞද්රී ඇයට හඳුන්වා දෙන්නේ ළදරුවාත් සමග තනිවම ගමන් කරන ඇයට උපකාරයක් අවශ්‍ය වුවහොත් ප්‍රයෝජනවත් වන බැවින්.ඉතා අලංකාර කඳුකර මාර්ගයක ගමන්කරන බස්රථය ගොම්මන් ඇඳිරිය කඩාවැටෙමින් පවතින මොහොතේ  එක් තැනක නතරවන්නේ මාර්ග තදබදයක් නිසාවෙනුයි.ඉදිරියේ හින්දු මුස්ලිම් වාර්ගික කලබල තදින් ඇතිවී ඇති බැවින් බසය ඉන් ඔබ්බට ගමන් කරවීම අපහසු බව කියැවෙනවා.මීනාක්ෂි අයියර් ඇයගේ නමින්ම කියවෙන ආකාරයට ද්‍රවිඩ බ්‍රාහ්මණ කුලයේ හින්දු කාන්තාවක් වන අතර රාජු චෞද්රී මුස්ලිම් තරුණයෙක්.කුරිරු ජාතිවාදයේ බිහිසුණු ගිනිදැල් මැදින් ඔවුන් දෙදෙන අතදරුවාත් සමග චෙන්නායි නුවරට යන ආකාරය චිත්‍රපටයට වස්තු විෂයය වනවා.

තිරකතාව ලියා මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ අපර්ණා සෙන්,ඇයගේම දියණිය වන කොංකෝනා සෙන්ශර්මා මීනාක්ෂි අයියර් ලෙසත් රාහුල් බෝස් රාජු චෞද්රී ලෙසත් අමතක නොවන අති විශිෂ්ට රංගනයක යෙදෙනවා.එය රංගනයක් යැයි හඳුන්වන්නටත් මා තරමක් මැලි වන්නේ ඔවුන් සිය චරිතයන්හි ඒ තරම් හොඳින් ජීවත්වන බැවිනුයි.එපමණක් නොවෙයි කුඩා ළදරුවාගෙන්ද ආකර්ශණීය රඟපෑමක් උකහා ගන්නට අධ්‍යක්ෂවරිය සමත්වී තිබෙනවා.සංගීතය උස්තාද් ශකිර් හුසේන් එමෙන්ම ගීත ගායනා කර ඇත්තේද උස්තාද් වරුන් පිරිසක් වීම විශේෂයි.

චිත්‍රපටයේ නම්වැල දෙස බලනවිට ඔබට පෙනීයන එක කාරණයක් නම් මේ නම් අතර සිනමාවේ එකම තරුවක් හෝ නොමැතිවීමයි.2002 ජුලි 19 වනදා ප්‍රථම වරට ඉන්දීය ප්‍රේක්ෂකාගාරයට පිවිසි ජනප්‍රිය තරු රහිත මේ චිත්‍රපටය අතිශය සාර්ථකව තිරගත වුනා පමණක් නොව ජාතික හා අන්තර්ජාතික සම්මාන කීපයක් ලබාගත් අතර භාෂා කීපයකටද නැගුණා.

වියරු ජාතිවාදයේ භයංකර ගිනිදැල් අතරට සීතල දියදහරාවක් එල්ල කරන අධ්‍යක්ෂවරියගේ සාර්ථක උත්සාහය ඔබේ රස වින්දනය සඳහා ලබාදීමට උචිතම මොහොත මෙය යැයි මට හැඟුණ නිසා කතාව මේ අයුරින් ඔබවෙත ගෙන එන්නට සිතුණා.හැකියාවක් ඇත්නම් ඔබේ වටිනා කාලයෙන් පැය දෙකක් වැයකර චිත්‍රපටය නරඹන්න.කාලයත් මුදලත් අපතේ ගියායි හිතෙන එකක් නෑ෴

                                  




84 comments:

  1. ෆිල්මය බලමින් ..ස්තුතියි හැලපේ

    ReplyDelete
    Replies
    1. බලල කටයි අනිකයි වහගෙන සද්ද නැතුව ඉන්න එපා,ගුණ පණ අපටත් කියන්න.

      Delete
  2. ජාතිවාදයේ අනිටු පලවිපාක ගැන කියවෙන චිත්‍රපටි කොපමණ ගණනක් ඉන්දියානු උප මහාද්වීපය තුල බිහිවී ඇද්ද? එහෙත් නූගත්කම නමැති තිමිර පටලයෙන් ඇස් වැසුණු ජනතාව තවමත් ඉන්දියාව තුළ මිනීමරාගන්නවා. මේ තත්වය, ඇලෙක්සැන්ඩර්, අශෝක, අධිරාජයන්ගේ පටන් මෝගල් යුගය දක්වාමත් ඉන්පසු අද දක්වාමත් දකින්නට ලැබෙනවා. මට දැන්නම් හිතෙන්නේ තවමත් අපේ මිනිස්සු හැඩ ගැහිලා තියෙන්නේ තද නීති වලින් පාලනයවීමට පමණයි කියලයි. ඒ තරමට නූගත්කම ඉහලයි.

    හොඳ චිත්‍රපටියක් ගැන ඔත්තුවක් දුන්නට ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. පැරිස් නගරයෙ රෝමා ජනතාවට මෙ දිනවල නැවත ජාතිවාදී ප්‍රහාර එල්ල වෙනවා. පහුගිය කාලේ යුරෝපයෙ බොහෝ රටවල ඩෙන්මර්ක් රටේ කාටුන් කාරෙයෙකු නබි නායක තුමා ගැන ඇඳපු කාටුන් නිසා ජාති වාදී ආගම් වාදී ගිනි දලු නගුනා. අමෙරිකාවෙ නම් ඔය ජාතිවාදී ප්‍රහාර දුසිමට දෙක ගනනේ. ණූගතුන් ට වඩා උගතුන් අතර තමාගෙ නොවෙන අන් අය නොරිස්සීම බොහෝ වැඩ්යි.
      මිනිස් කම කියන්නෙ දෙපල බෙදාගන්න බැරිව තම සහොදර සහෝදරියන් සමග කා කොටා ගන්න, අල්ලපු වත්තෙ ඉන්න උදවිය සමග බිම් අඟලට මිනී මරා ගන්න, වෙනත් ආගමකට ජාතියකට අයත් උදවිය සමග අරගලයට යන සත්වයො කොට්ටාශයක්. හැබැයි සමහර රටවල නීති රීති සහ සම්ප්‍රදාය මගින් එහි ජීවත් වන වැසියන් ඔවුන්ගෙ මෙවනි ප්‍රාතමික හැඟීම් නොපෙන්වා ඉන්න පුරුදු වෙලා ඉන්නවා... නමට නම් හිතෙන්නේ නූගතුන් අතර උගතුන් ට වඩා සන්හිඳියාවක් පවතිනවා කියලයි .

      Delete
    2. එහෙනං බලල කියන්නකෝ විචාරක තුමා.

      Delete
    3. @sa rasa
      ඇත්තටම මොකුත් නොදන්න අහිංසක මිනිස්සු අතරෙ ඔය මහා උගතුන්ට වඩා සංහිඳියාව ඉහළින්ම තියෙනවා.

      Delete
    4. This comment has been removed by the author.

      Delete
  3. ඔත්තුවට පිං හැලපේ.............. බලන්නම්..... ඒ වගේ ම මේ කාලයට ඉතාම උචිත ඔත්තුවක් කියලත් හිතෙනවා...............

    ReplyDelete
    Replies
    1. එහෙම හිතනවා කුරුටු ළමයි.බලල කියන්නකෝ.

      Delete
  4. මට මතක විදියට කොන් කොනා සෙන් ශර්මා චයිල්ඩ් ආර්ට්ස්ට් කෙනෙක් විදියට රගපෑවට පස්සෙ ඉස්සරෝම රගපෑවෙ බෙංගාලි චිත්‍රපට වල. ඔබ ඔය කියන චිත්‍රපටයට මට මතක විදියට ඇයව හොදම නිළිය සදහා වන ජාතික සම්මානයට පාත්‍ර වුණා.
    පට්ට ෆිල්ම් එකක්...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මහේෂ් මේ චිත්‍රපටයේ අලංකාරයට මා වශීවුනා.

      Delete
  5. ෆිල්ම් එක බලලා තියෙනවා. ඉතාමත් ආසාවෙන් බලපු එකක්. ප්‍රධාන නලු, නිලි දෙන්නා තරුම නොවුනත්, රඟපෑම ඉහල මට්ටමේ තියෙන, කවුරුත් දන්න දෙන්නෙක්නේ.

    මේ කාලේ බලන්ට වටින ෆිල්ම් එකක්.

    ReplyDelete
    Replies
    1. මා නම් මේ අය කලින් දැකල පුරුද්දක් නෑ පොඩ්ඩියෙ.රඟපෑම අතින් නම් ඉතින් කියන්න දෙයක් නෑ හරිම ඉහලයි.

      Delete
    2. රාහුල් බෝස් හොඳ ෆිල්ම් සෑහෙන ප්‍රමාණයක රඟපාලා තියනවා. Midnight's Children ෆිල්ම් එක බැලුවද? එකේත් හොඳ චරිතයක් කරනවා.

      Delete
  6. ෆිල්ම් එකේ කතාව කියෙවුවම නම් ආස හිතුනා.

    දැන්ම නම් බලන්න විදිහක් නෑ. මම වැඩ පලේ මේ කොටන්නෙත් ෆෝන් එකෙන්. හවසට බලන්නම්.

    මේ වගේ නිර්මාණ වලින් වත් අපේ ගිනිගන්න හිත් නිවන්න පුළුවන්නම්.…

    ReplyDelete
    Replies
    1. ඇත්තටම බැලිය යුතුම ෆිල්ම් එකක් ප්‍රියා ඒකයි මම දැම්මෙත්.

      Delete
  7. රාජු චෞද්රී වගේ නමක් මුස්ලිම් වෙන්නේ බෙංගාලය සහ බංග්ලාදේශ්වල පමණයි ද මන්දා? ආගම වෙනස් කළත් ඔවුන් තම සංස්කෘතික උරුමය එතරම් වෙනස් කර නොමැති බවයි මා දුටු සුළු සාම්පලයෙන් මට වැටහුනේ.

    ඩීවීඩී කඩයකට ගියාම මේ මූවි එක තියේදැයි බලන්න ඕනෑ. ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. මම ගිය අවුරුද්දෙ මේ ඩීවීඩී එක චෙන්නායි වලින් ගෙන්නා ගත්තා කකා.තිබිය යුතුමයි.

      Delete
    2. මේක දෙමලද? දෙමල ඩිවීඩිවල ඉංගිරිසි සබ්ටයිටල් නැති නිසා බලන්න බෑ අපිට හින්දි ඒවා වගේ.

      Delete
    3. දැනුයි දැක්කේ යූ ටියුබ් ලින්ක් එක. කලින් බ්ලොග් එක බැලුවේ ෆෝන් එකෙන් නිසාද කොහද ඒක ලෝඩ් වුනේ නෑ.

      පුදුමයි, ඉන්දියන් චිත්‍රපටියක් පැය දෙකක?

      Delete
  8. Mr and Mrs Smith මූවි එක නරඹලා තියෙනවාද? අන්න චිත්‍රපටි!

    ReplyDelete
    Replies
    1. ඒක නම් බලල නෑ කකා.

      Delete
    2. මෙන්න කාකාගේ චොයිස් එක (මි ටූ )
      https://www.youtube.com/watch?v=_V3jNIRYihE

      Delete
    3. හැබැයි මේකත් අර නිව්ටන් දිවි නසා ගන්න ජාතියේ එකක්!

      Delete
    4. Mr & Mrs Smith එක අපි සිංහලෙන් කියන්නේ Mr & Mrs Sumith නිකන් අර බ්‍රිට්නි පීරිස් වගේ :D

      Delete
  9. චිත්තරපටිය බලලම ඉමු එහෙනං

    ReplyDelete
    Replies
    1. හොඳා බලල කියන්නකො ප්‍රසන්න.

      Delete
  10. මේක මම බලලා නැ වගේ.

    දෙමළ චිත්‍රපටි නම් ගොඩක්ම කරන්නේ ජාතිවාදය,අවුස්සන එකයි,වෛරය වපුරන එකයි කියලයි මට හිතෙන්නේ.
    ලංකාවේ ලැයිම් වල සිල්ලර කඩේට අමතරව තියෙන එකම කඩේ,ඩිවිඩි කඩයක් ගොඩක් වෙලාවට.
    පොදුවේ ගත්තම ඒ අය වැඩියම බලන්නේ කෘෘරත්වයෙන් පිරි අපිට කියටවත් බලන්න නොසිතෙන,කසිකබල්යයි සිතෙන දෙමළ චිත්‍රපටි.
    මේ මිනිස්සුන්ට මෙච්චර රස මොකද කියලා බලන්නම මම ඒ චිත්‍රපටි බලනවා.කෘෘරත්වය මිස වෙන කිසි දෙයක් නැහැ.
    දෙමළ කථා කරන මුස්ලිම් අයත් ඇබ්බැහි වෙලා ඉන්නේ මේ චිත්‍රපටි වලට.
    කලාවෙන් උපදවන්නේ වෛරය නම්..!

    ReplyDelete
    Replies
    1. දන්නවද ඔය දෙමල ෆිල්ම් බලල තමයි නිවුටන් සියදිවි නසාගෙන තියෙන්නෙ.මිනිහ සොයාගත්තු නියමයන් ඔක්කොම බොරු වෙනවනෙ එවයෙ වෙන දෙවල් වලට.එකයි.ඔයෙස්

      Delete
    2. නිව්ටන් කිව්වේ හන්දියේ මාළු ලෑල්ලේ බුවාද...ඌයි දෙමළ ෆිල්ම්සුයි මොකක්ද අප්සෙට් එක...

      Delete
    3. මල්මිට මේ චිත්‍රපටය බලන්න ලැබිල නෑ කියල මට හිතෙනවා,බැලුව නං ඔබ මේක ගැනත් කියනවනේ.ලැයිම් වල අය හොයන්නෙ කලාත්මක දේ නොවෙයි එක්කෝ සැහැල්ලු විනෝදාස්වාදය එහෙම නැත්නං ක්‍රියාදාම චිත්‍රපට හවසට දෙකක් දාගෙන ඔය ජාතියේ කතා බලනවා.

      Delete
    4. දමිත් නිව්ටන් බෙල්ලෙවැල දාගෙන තියෙන්නෙ රැජිණිකාන්ත් ගෙ වැඩ සැට් එකක් දැකල කියලයි කතාව තියෙන්නෙ.

      Delete
    5. අරූ කොයි හන්දියෙද මචං කැළණියේද ගල්කිස්සේද.

      Delete
    6. දමි අයියා.. දෙමළ ෆිල්ම් වල පල්සර් බයික් තියනවා වැඩිමනක් යන්නෙ අහසෙං නෙ බං.. ට්‍රැපික් වෙලාවට වැඩට යන්න ටොප් භාන්ඩෙ ඈ.!!

      Delete
    7. මල්මිහි ගේ තකාවට තරමක් එකඟ වෙනවා.

      මං මේ ලඟදී සිංගප්පුරු එයාලයින් එකේ ගමනක් යද්දී දකුණු ඉන්දියානු දෙමල චිත්‍රපටියක් බැලුවා. මිනී මරන්නේ නිකං කෙසෙක් ගස් පෙති ගහනවා වගෙයි.

      චෙන්නායි එක්ස්ප්‍රස් එකේත් දකුණු ඉන්දියානු කෑලි මහා දරුණුයි නේද?

      Delete
    8. දකුණු ඉන්දියානු කෑලි ලස්සනයිනෙ කකා :D හරි හුරුබුහුටියි..

      Delete
    9. දකුණු ඉන්දියානු කෑලි ගැන දන්නෝ දනිති නේද පත්තරේ.

      Delete
    10. ආං හැලපයියට අතීතෙ මතක් වෙලා..

      ඔන්න ලෑස්ති වෙයල්ලා පට්ට කතා ෂැට් එකක් අහන්ඩ !!! වරේ වා !!!!

      Delete
  11. මේ දවස් වලනම් බලන්න වෙලාවක් නෑ. ඉඩක් ලැබුණු ගමන් බලන්න ඕන. ඉෂාක් සාදේ එකත් මේ වගේම එකක් නේද?

    ReplyDelete
    Replies
    1. හොඳයි බලන්න,ඔය කියන චිත්‍රපටය නම් මම බලල නැති එකක්.

      Delete
  12. ස්තුතියි හැලපතුමා

    ReplyDelete
    Replies
    1. පැමිණීම ගැනත් ස්තූතියි රෙහානි.

      Delete
  13. හැලපතුමා තැංකූ............ නිවාඩු පාඩුවේ බලන්න ඕන

    ReplyDelete
    Replies
    1. හොඳයි නිවාඩු පාඩුව බලන්නකො.

      Delete
  14. ජාතිවාදය වැපිරවිමේදි මාධ්‍ය සතු කාර්යභාරය “Mission Istaanbul “ මගින් දැක බලා ගත හැක.

    ReplyDelete
    Replies
    1. මේකත් බාගෙන බලන්න ඕනෑ.

      Delete
  15. මම දමිල චිත්‍රපටි බලන්නෙම නැහැ......
    උඹ කිව්ව නිසා බලන්න හිතුන.....

    ReplyDelete
    Replies
    1. මේක දෙමළ නෙවෙයි මචෝ ඉංග්ලිෂ්.

      Delete
  16. බලපු හොඳම ෆිල්ම් එකක්. කියන්න වචන නැහැ දොරේ. බස් එකේ එන වයසක ජෝඩුව මතකද...හරිම සංවේදී ෆිල්ම් එකක්*****

    ReplyDelete
    Replies
    1. අපොයි මචං මතක් කරන්න එපා හරිම දුකයි.

      Delete
  17. බලන්න ඕනේ .. ස්තූතියි ඔත්තුවට ..

    ReplyDelete
    Replies
    1. බලන්න තුශානි ස්තූතියි.

      Delete
  18. බාගෙනම බලන්න ඔන.ටැන්කිවු බොස්

    ReplyDelete
    Replies
    1. බලන්න දමිත්, ටැන්කිවූ වේවා.

      Delete
  19. බලල නෑ හැලපයියා..බාගෙන බලන්නම්
    බොහොම ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. නියමයි බලන්න එහෙනං.

      Delete
  20. බොරුවට හොයාගෙන බලන්නම් කියලා පලක් නෑ...චිත්‍රපට බලන්නෙම නැති අතලොස්සෙන් එකෙක් තමයි මම....

    ReplyDelete
    Replies
    1. හොයාගෙන බලන්න දෙයක් නෑ සිරෝ අර ගෙඩිපිටින්ම දාලා තියෙන්නේ ඔබේ බටේ ලින්ක් එක

      Delete
    2. ඒ මදිවාට මුළු කතාවම අපේ මව් බසින් (ඉංග්‍රීසි)

      Delete
    3. සිරා ෆිල්ම්ස් බලන්නෙ නැහැ කියල දන්නෙ නෑ නොව.

      Delete
    4. ඒක තමයි රාළේ ආයේ හොය හොයා ඉන්න දෙයක් නෑ නොව.නොතේරෙනව කියලයැ බලන ඒකයි තියෙන්නෙ.

      Delete
  21. බලලා නැහැ හැලපයියේ.මම බලපු හොඳ චිත්‍රපටියක් තමයි ශරුක්,කාජල් රඟපාපු "My Name Is Khan".
    වෙලා තියෙන්නේ චිත්‍රපටි බලලා,කතා කියවලා සංවේදී වෙන මිනිස්සු සමාජයේ මේ වගේ සිදුවීමක් වුණොත් සංවේදී වෙනවා වෙනුවට ප්‍රචණ්ඩත්වය තෝරා ගන්න එකයි.

    ReplyDelete
    Replies
    1. මේකත් බලල කියන්නකො මනෝජ්.

      Delete
  22. ඔත්තුවට ස්තූතියි හැලප් අංකල්!!

    ReplyDelete
  23. ෆිල්ම් එක බලන්න වෙලාවක් තිබ්බේ නෑ... ලින්ක් එක දා ගත්තා .. ස්තුතියි හැලපඅයියා.. මේක බලල ඇඩෙන්න විචාරයක් දෙන්නං...

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. සුපිරියි විදානයෝ.එහෙනං මං අඬන්න බලාගෙන ඉන්නංකො.

      Delete
    2. මචෝ විචාරෙ දැම්මම අපිටත් කියහං ඈ. අපි හරී ආසයි උඹේ විචාර බලන්ඩ :D

      Delete
  24. ෆිල්ම් එක බලලම කොමෙන්ටුවක් දාන්නම් කෝ

    ReplyDelete
    Replies
    1. හොඳයි බලල ඉන්නකෝ.

      Delete
  25. ඉන්දියාවේ ගොඩක් මේ වගේ අරගල ගැන තියෙන ෆිල්ම් හැදුනා.. මම හිතන්නේ ඒ රටේ ජාතින් අතර ප්‍රශ්ණ හැම තිස්සෙම වගේ තියෙන හන්දා වෙන්න ඇති.. එහෙනම් මේකත් බලන්න ඕන නිවාඩු පාඩු වෙලාවක...

    ReplyDelete
    Replies
    1. බලල කියන්නකො දිනේෂ්.

      Delete
  26. කාලෙකට ඉස්සර මේ ෆිල්ම් එක බැලුවා. අපේ රටේ ඔය වගේ ෆිල්ම් එකක්, අපි කියමුකෝ 'මිස්ට අන්ඩ් මිසිස් මුදියන්සේ' වගේ කියලා... එහෙනං අපේ වඳුරු සේනාව අද්‍යක්ෂකගේ ගෙවල් ගිනිතියලා, ඌට තඩිබාලා, ෆිල්ම් හෝල් වලට ත ගහලා රටම ගිනි තියනවා. දෙකක් නෑ.

    සංහිඳියාව උපරිමේටම තිබුන ගමටමොකද මේ උනේ????

    ReplyDelete
    Replies
    1. //සංහිඳියාව උපරිමේටම තිබුන ගමටමොකද මේ උනේ????//
      පටු දේශපාලනයේ සහ බලලෝබිත්වයේ පලවිපාක තමයි.

      Delete
  27. මට නම් ඔය ෆිල්ම එක බලන්න ඕන නෑ. සිහළ බෞද්ධයකු වීමේ පෙර පිනෙන්, 83 දී ලයිව් බැලුවා.. බොහොම ස්තූතියි හැලපේ..

    ReplyDelete
    Replies
    1. ලයිව් බලල දැන් අවුරුදු තිහක් ගතවෙලා නොවැ,ආයෙම බලපං.

      Delete
  28. මේ දවස්වල ටික ටික 'ලජ්ජා' කියවනවා.ඒකත් ඔය සීන් එක ගැනමනේ තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ලජ්ජා කතාවයි මේ කතාවයි වෙනස් කතා දෙකක් දිනුක.එකම වස්තු විෂයය වුනාට කතා වෙනස් නොවැ.

      Delete
  29. ෆිල්ම් එක බලල නෑ.. මට වැඩිය ඔය වගේ කතා බලන්න හිතෙන්නේ නෑ.. මොකද තියෙන්නේ එකම සංකල්පය නිසා.. සංවේදී කම දැනෙනවා වුණාට හේතුවත් පලයත් දෙකම කලින් ම හිතා ගන්න පුළුවන් නිසා වැඩිය උනන්දුවක් නෑ..

    මේක කියවනකොට මට මතක් වුනේ කුෂ්වන්ත් සිංග් ගේ train to pakistan පොත. එකේ තියෙන එක සීන් එකක් නිසා මට ඕව බලන්න එපා වෙලා තියෙන්නේ.. හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. කුශ්වන්ත්ගේ පොත සහ මේ චිත්‍රපටය හාත්පසින්ම වෙනස් පැතුම්.ඔබ බලන්න අකමැති නිසා නොවේනම් දෙකේ වෙනස හඳුනාගන්න තිබුනා.

      Delete
  30. ම්ම්ම්ම් මරු මේක...

    ReplyDelete

ඔබේ අදහස්