Tuesday, February 26, 2013

33.ඔලුව බේරුණු දා




අද මම කියන්න යන කතාව වගා සංග්‍රාමය කාලෙ සිද්දවුණු එකක්....වගා සංග්‍රාමය කිව්වම ඔයගොල්ලන්ට ඒ ගැන කිසිම නිච්චියක් නෑ කියල මම දන්නව.

ඔය සමගි පෙරමුණු ආණ්ඩුව කාලෙ(1970-1977) තමයි වගා සංග්‍රාමෙ පටන් ගත්තෙ...පිටරටින් ආහාර ද්‍රව්‍ය ගෙන්වීමේ වියදම වැඩියි කියල අවශ්‍ය ආහාර අපේ රටේම නිපදවා ගැනීම සඳහා ආහාර පිටරටින් ගෙන්වන එක නතර කළා....සමහර දේවල් ගෙන්වීම සීමා කළා.

ඒත් එක්කම වෙළඳපොලේ මේ සියළුම ආහාරවල දැඩි හිඟයක් ඇතිවුණා...රටතුළ ආහාර ප්‍රවාහනයේ සීමාවන් ඇතිකළා පොලු දාලා...හාල් පොලු මිරිස් පොලු ආදිය...මේ සියළුම දෙයින් අන්තිමට අමාරුවෙ වැටුණෙ ගෙදර කන බොන දේවල් සියල්ලම මුදලට ගත්තු අහිංසක පාරිභෝගිකයා.

මිනිස්සු පුදුමාකාර දුක් කන්දරාවක් වින්ද කෑම බීම,රෙදිපිළි ආදිය හොයාගන්න නැතුව...ඒ ගැන ලියනව නම් වෙනම ලිපියක් ලියන්න පුළුවනි.

ඒ කරපු වැඩේ හරි වැරැද්ද ගැන නෙවෙයි මම මේ කියන්න යන්නෙ...ඒ ටික ලිව්වෙ මගේ කතාවට ආරම්භයක් හැටියටයි.

ආහාරගෙන්වීම නතර කරපු ආණ්ඩුව ජයටම වගා සංග්‍රාමය පටන් ගත්තා...පත්තර වලින් රේඩියෝ එකෙන් උපදෙස් දෙනව වවන්න කියල...ඒත් ඉතිං කියපු තරමටම වවන්න මිනිස්සු උනන්දු වුණේ නෑ...අනික ඉතිං වවන්න ඉඩම් තියෙන්නත් එපෑ.

අපේ ගමේ තිබ්බ පෝටවත්ත කියන ඉඩමෙ පැත්තක් පාළුවට ඇරිල ඒකෙ තිබුණෙ කණාටු පොල්ගස් කීපයක් විතරයි ගමේ කට්ටිය කතාවෙලා අක්කර හතරක පහක විතර ඔය ඉඩම වවන්න ඉල්ල ගත්ත ඉල්ලගෙන එක එක්කෙනා කොටස් කරගෙන වවන්න ගත්ත.

 අපි කොල්ලො කට්ටිය ,අපිත් කෑල්ලක් ඉල්ල ගත්ත මඤ්ඤොක්ක වවන්න කියල...මඤ්ඤොක්ක තමයි ඒ දවස්වල ජනප්‍රියම වැවිල්ල....අපිත් කට්ටියම එකතු වෙලා අපට ලැබුණු ඉඩම් කෑල්ලෙ වල් සුද්ද කරල බිං කෙටුව...කාල වකවානුව හරියටම කිව්වොත් 1973.

1973 ඔක්තෝබර් මාසෙ.... මොකද අපි ඔය ඉඩමෙ බිං කොටමින් ඉද්දි තමයි අපි සිංදු අහන්න ගෙනිහිං තිබුණු පොකට් රේඩියෝ එකකින් ප්‍රචාරය වෙමින් තිබුණු වැඩ සටහන නවත්තල මිසර ඊශ්‍රායල් යුද්දය නැවතත් පටං ගත්ත කියල නිවේදනය කළේ.

මම මේක ලියද්දි  ගූගල් ගිහින් බැලුව කවදද ඒ යුද්දෙ පටන් ගත්ත දවස කියල...හරියටම 1973 ඔක්තෝබර් 8 වෙනිදා.

බිං කොටල ඉවර වුණාට පස්සෙ ලොකුම ප්‍රශ්ණය වුණේ හිටවන්න මඤ්ඤොක්ක දඬු කොහෙන්ද හොයාගන්නෙ කියල...මොකද ඒ කාලෙ දඬුවල ලොකු හිඟයක් තිබුණා...ඉල්ලුම වැඩියිනෙ....හැමතැනම ඇවිදල අපේ ඔය බෝලානෙ ඉන්න පුංචි අම්මලගෙ ගෙවල් පැත්තෙන් දඬු හොයාගෙන සයිකල්වල ගැට ගහල අරගෙන ආව.

 කාලෙ බලල දඬු යටකලා...කලට වැහිත් වැටිල දැන් අපි හිටවපු දඬු පැළවේගන එනව...නිල්පාටට හුළඟේ හෙලවෙන ළපටි මඤ්ඤොක්ක කොළ දකින අපට හරි සන්තෝසයි...අපි උදේට නොවරදවාම කරන වැඩක් තමයි අපේ ඉඩම් කෑල්ලට ගිහිං ළපටි මඤ්ඤොක්ක පැළ දිහාවෙ බලා ඉන්න එක.

දවසක්දා උදේ අපි කොටුවට යනකොට මඤ්ඤොක්ක පැළ කීපයකම දල්ල කපල දාල....අපි කතාවුණා මේක කාගෙ වැඩක්ද කියල...කිසිම විදියකට හොයාගන්න බැරිවුණා.

පහුවදාත් එහෙමයි..දිගටම පොඩි පැළවල දළු කපනව...සූක්ෂ්ම පරීකෂණයකින් පස්සෙ අපි තීරණයකට එළඹුණා.

දළු කපන්නෙ රෑට කොටුවට එන හාවො.

දැන් මොකද කරන්නෙ...කොටුව රකින්න එපායැ පැළ ලොකුවෙලා හාවුන්ට කන්න බැරි තරමට උස යනකල්වත්...

මොකටද බොරු කියන්නෙ...අපිනං මේ වැඩේට උඩින් කැමතියි...ඇයි රැට ගෙදරින් පැනල වත්තක් මුරකරනව කියන එක හෙන ජොලි වැඩක්නෙ.

මුරවැඩේ පහුවදා ඉඳන්ම පටන් ගත්ත..කළින්ම රෑ කෑම ටික කන අපි කෙළින්ම නවතින්නෙ මඤ්ඤොක්ක කොටුවෙ.

නිදිමරන ගමන් කන්න බොන්න කෑම බීම ජාති ගන්න තරම් කාසි මුදල් අපි කාගෙ අතේවත් තිබුණෙ නෑ....සමහර දවසක රෑ වැඩ ඇරිල ගෙදර යන බඩ මුණය අපේ ගිනිමැලේ දැකල කොටුවට එනව...එදාට නං බේකරියෙන් උණුපාන් ගෙනත් කන අපි කහට හැලියක් උණුකරල හකුරුත් එක්ක බොනව..ඒ කාලෙ සීනි බොහොම හිඟයි....බහුල වශයෙන් තිබුණෙ හකුරු....හකුරු කිව්වට ඒව පිරිසිදු හකුරු නෙවෙයි...ඔය තැන තැන හකුරු හදන උන් ඕකට පාන් පිටියි හුඹස් මැටියි නොදාන ජාතියක් නෑ.

කෑමට බීමට වියදම බඩ මුණය ගෙන්.

ඔය විදියට ඉතිං දුකසේ හරි හිත සතුටින් අපි මුර වැඩේ කරනව....දැන් රෑට හාවො එන්නෙත් නෑ....මඤ්ඤොක්ක පැළත් ටික ටික උස ගිහින්....

දවසක්දා මුරේට ඔක්කොම වගේ ඇවිදින් හිටිය...බඩ මුණයත් හිටියෙ එදා උගෙ දවල් වැඩ දවසක් වෙන්න ඇති...

කට්ටිය කතා කර කර ඉන්න ගමන් කතාවුණා අද මොකද කරන්නෙ කියල..

අන්නාසිවත් කඩමුද.....බඩා අහනව

බඩ මුණේගෙ යෝජනාව කාගෙවත් විරෝධයකින් තොරව සම්මත වෙලා අන්නාසි කඩන බලකාය අලවත්තට පැනල අන්නාසි කඩාගෙනත් ආව.

දැන් අන්නාසි කපන්න පිහියක් නෑ...ලොකු මහින්ද ඉදිරිපත් උණා

 මම ගිහින් පිහියක් ගේන්නං

ඌට තනියට මම ගියා...

යන ගමන් මහින්ද කියනව....

අන්නාසි කඩාගෙන ඇළෙන් පැනල එද්දි දාගෙන හිටපු තොප්පිය හැලිල කොහෙහරි...අපි ආපහු එනගමන් ඒකත් ඇහිඳගෙන එමු කියලා....

මහින්දලගෙ කුස්සියට ගිහින් පිහියකුත් තොප්පිය හොයාගන්න ටෝච් එකකුත් ගත්ත අපි පාර දිගේ ආපහු එනව ටෝච් එකත් පත්තු කර කර...

උණ පඳුර ගාවින් ඇළෙන් පැනල නියරට ගොඩවුණා...එතන තිබුන තොප්පියත් අහුලගෙන අපි ටෝච් එකත් ගහගෙනම වත්තට ගොඩවුණා...

මඤ්ඤොක්ක කොටුව පැත්තෙ හ්ම්ම් සද්දයක් නෑ...ගිණිගොඩත් නෑ අඳුරුම අඳුරුයි....ඇයි මේ...අපි දෙන්නට හිතාගන්නවත් බෑ.

හරිම අමුතුම හැඟීමක් මගෙ හිතට ආව...නිකං බයක් වගේ හරි මොකක් හරි අමුතු දෙයක් වෙන්න යනව වගේ හැඟීමක්.

අවස්ථාවෙ තිබ්බ ආතතිය දරාගන්න බැරිවුණු මටත් නොදැනිම සිංදු කෑල්ලක් කියවුණා.

ඒත් එක්කම පුදුමාකාර දෙයක් වුණේ

 අපි හිටිය තැනම තිබ්බ පොල්ගහක් අස්සෙන් අඳුරු රුවක් මතුවුණා...ඒ රූපය ටිකෙන් ටික අපි ළඟට එනකොට දැක්කෙ ඒ අපේ ආරි.

පොල්ලකුත් කරතියාගෙන අපි ඉස්සරහට ආපු ආරි හොඳ සීරුවට අපට බනිනව...

යකෝ...තොපි හරක්ද...බූරුවනේ

තව පොඩ්ඩෙන් මොකද වෙන්නෙ...ආරි වෙව්ලනව

අපට මේ මොකුත් හිතාගන්න බැරුව ගල්ගැහිල බලාගෙන ඉන්නව...

වරෙව් ඉතිං යන්න...ආරි අපිත් එක්ක කන්ද උඩට යනව....මට කලින් කියන්න අමතක වුණා වත්ත පොඩි කන්දක්...අපි හිටියෙ පල්ලමේ.

 අපි කතා කරන සද්දෙ ඇහිල තැනින් තැනින් එකා දෙන්න මතුවෙන්න ගත්ත...

ඊට පස්සෙ තමා සිද්ද වෙච්චි දේ අපට හරියටම දැනගන්න හම්බ වුණේ....

ටෝච් එළියක් අලවත්ත පාර දිගේ එනකොටමයි ආරිගෙ අවධානය ඒකට යොමුවෙලා තියෙන්නෙ...

කවුද මේ එන්නෙ....කට්ටිය කතාවෙලා...

එකත් එකටම ඔය එන්නෙ වත්තෙ මුරකාරයො... අන්නාසි කඩපු උං අල්ලන්න...එහෙම කිව්වෙ ආරි.

ආරි තමා කණ්ඩායමේ ආරක්ෂක උපදේශකය සහ ආරක්ෂක නිළධාරියා.....ආරක්ෂාව ගැන ආරිට උඩින් වචනයක් කතාකරන්න කාටවත් බෑ....ආමි එකෙත් ඉඳලනෙ ඇවිත් තියෙන්නෙ.
 


දැන් ඔන්න ටෝච් එළිය ඇළෙන් නියරටත් ගොඩවුණා...ආයෙ මොනව කතාකරන්නද...හොරු අල්ලන්නමයි එන්නෙ...කරන දෙයක් ඉක්මනට....ආරි ක්ෂනිකව තීරණය ගත්තා.

කඩල තිබුණු අන්නාසි ගොඩ වත්තෙ අගල් වලට දාල කොළවලින් වැහුව...ගිණිගොඩ නිමල දැම්ම.
මම පොල්ලත් අරං ඉස්සරහට ගිහිං හැංගිල ඉන්නව මුං එන පාරෙ...ආරි අතේ තියනව හොඳට මැදපු අන්දර පොල්ලක්....අගට යකඩ විල්ලක් හයි කරපු...

ගිහිං උන්ගෙ ඔලු කුඩුවෙන්න ගහන්නම්....උඹල හැංගිලා ඉඳපල්ල.

ඔහොම කියල ආරි පහළට ගිහිං පොල්ගහක් මුල හැංගිලා ඉඳල....

ඊට පස්සෙ තමා මම ඔය ඉස්සෙල්ල කියපු ටික සිද්දවුණේ.....

අන්තිමේ සෑහෙන වෙලාවක් ගතකරල විසිරිලා ගිය කට්ටිය හොයා ගත්ත....

බඩ මුණය ගෙදරම දුවල....

ආරි ගත්තෙ කොච්චර වැරදි තීරණයක්ද කියල තේරුම් කරල දෙන්න හැදුවට ඌට ඒක තේරෙන්නෙ නෑ.

තව පොඩ්ඩෙන් අපි කාගෙහරි ඔලුව කුඩුවෙනවනෙ...

ඒ නැතත් වත්තෙ මුරකාරයම ආව කියමුකො...උගෙ ඔලුවට පාර වැදිල මැරුණනම් පොඩි කොල්ලො වෙච්චි අපේ අනාගතයටත් ඔය සිද්දිය බලපානවනෙ...

කොහොම වුණත් එදා නූලෙන් බේරුණු හැටි මතක් වෙනකොට තාම ඇඟ හිරිවැටෙනව.

Sunday, February 24, 2013

32.ගමේ බූරු පොළේ විත්ති


අපි පොඩිකාලෙ අපේ ගමේ කොහෙහරි බූරුපොලක් නොතිබුණු දවසක් නැතිතරම්...ප්‍රසිද්ධම බූරුපොල තිබ්බෙ සැන්ටිං මුදලාලිගෙ කඩේ පිටිපස්සෙ....එතන එළිමහන් තැන පැත්තකින් වෙළ ඊට එහයින් ඇළ ඇළෙන් එහා පාර,පොලිසියෙන් එනවනං ඈතදිම පේනව....ඒ කාලෙ ගම යා කරල වෙල මැදින් පාරක් තිබුණෙ නෑ...නියර දිගේ ඇවිත් එහා ගොඩට ගොඩවෙන්නයි තිබුණෙ.

වෙද මහත්තයගෙ කෑල්ලෙ වැලි පසේ තණකොළ ගාණට වැවිල තිබුණ..ගල් බොරළු කටු පඳුරු මොකුත් නෑ...පළසක් එලුවා වගේ.ඔතන පැදුරු දෙකක් දාල තමා බූරු පිටිය හදල තිබුණෙ....අපේ ගමේ වාගෙම අවට ගම්වලිනුත් බූරු ක්‍රීඩකයො මෙතෙන්ට එනව.

අපේ ගමේ බූරු කාරයන්ගෙන් ජනප්‍රියම චරිතය තමයි ජයසේකර,ඊට අමතරව ජිනසෝම සුමනපාල  පොඩ්ඩෙ  මිකාඩාවත්තෙ ජිනදාස වාගෙ තවත් දක්ෂ අය හිටිය.

පසුකාලෙක ජයසේකරගෙ පුතා තිලකෙත් පොඩ්ඩෙගෙ පුතා ගුණදාස හෙවත් හාවත් ඉතාම දක්ෂ බූරු ක්‍රීඩකයො බවට පත්වුණා....රොසන්ටගෙ ලොකුපුතා බෝධියත් ඒ අයගෙම සමකාලීන දක්ෂ බූරු ක්‍රීඩකයෙක්.

අපේ බූරුපොලේ ඔට්ටු අල්ලන්නෙ අග මුල කියල....අග කියන්නෙ ඉල්ලන කෙනා මුල කියන්නෙ ගහන කෙනා ...දකුණු පළාතෙ නං ඉල්ලුව ගැහුව කියලනෙ සෙල්ලං කරන්නෙ.

බූරුපොලේ වාඩිවුණාම වෙලාව යනව තේරෙන්නෙ නෑ...කෑම බීම ගැන වගක් නෑ...අන්තිම සතේ දක්වාම සෙල්ලම් කරනව.ඊට පස්සෙ වටිනා දෙයක් ලඟ තියෙනව නං බූරු පොලටම උගස් කරනව...ඔය හවඩි...ඔරලෝසු...මාල....විතරක් නෙවෙයි පැදගෙන එන බයිසිකලේ පවා උගස් කරල බූරු ගහනව...ඔක්කොම පරාද උනාම ඉතුරුවෙන්නෙ ඉණේ තියන රෙද්ද විතරයි.

බූරුපොළට ආ හැටියෙම කාටවත් කුට්ටම කපන්න හම්බවෙන්නෙ නෑ....ඉස්සෙල්ල පිට ඔට්ටු අල්ලගෙන ඉන්න ඕනැ.....සෑහෙන වෙලාවක් ඔහොම හිටපුවාම තමා කුට්ටම කපන්න දෙන්නෙ...දක්ෂ බූරු කාරයන්ට කුට්ටමේ කොළ තියෙන හැටි කට පාඩම්....කොලේ පෙරලෙන හැටියෙන් දන්නව තමන් දිනයිද නැද්ද කියල....කොළ කීපයක් පෙරලෙනවා බලාගෙන ඉන්න බූරු ක්‍රීඩකයෙක්......

කොළේ ගියා......කියල හරි

හූදුව පරාදයි.....කියල හරි කියන්නෙ තමන් පරාදයි කියන එකට.

දවසක් ජයසේකර බූරුපොලේ වාඩිවෙලා සූදු කෙළිනව....එදා මිනිහගෙ දවස නෙවෙයි......ඉල්ලන ඉල්ලන කොළේ පරාදයි....අතේ සල්ලිත් ඉවරයි....අන්තිම පණං අටත් දාල ඉස්කෝප්ප ආසිය ඉල්ලුව...

ඒකත් පරාදයි....

සූදු පොළෙන් නැගිට්ට ජයසේකර සරම කරට උස්සගෙන වටයක් කැරකිලා....

මේං බලාගනියව් ඉස්කෝප්ප ආසිය....

කියල යන්න ගියෙ ....ගූ කප්පරක් කාපු එකාට පඩගඳත් ගඳක්ද යකෝ....කිය කියා.

ඒ කාලෙ ඔය කට්ටිය සූදු කෙළියෙ සත පණහට රුපියලට වගේ ගණං වලටයි....

මේ අටත් මුලට...

කියල ඔට්ටුව දාන්නෙ සත පණහ...අට කියන්නෙ පණං අට කියන තේරුමෙන් වෙන්න ඇති.

සූදුව නැගල යන වෙලාවෙ එක එක වාක්‍ය සූදු කාරයන්ගෙන් කියැවෙන්නෙ ඒ අවස්ථාවේ ඇතිවෙන ආතතිය සමනය කරගන්න වෙන්න ඇති....අටේ කොළේ ඉල්ලල තියෙන වෙලාවට ගහන්නෙ...

අට මට කිය කියා....

හේරා ඉල්ලුවොත්....

හේරෝ මා බේරෝ කියල ගහනව.

සූදු කාරයෙක් දිගටම දිනාගෙන යන වෙලාවල් තියෙනව...වාඩිවෙලා ඉන්න රවුමටම ගැහුවොත් කියන්නෙ රෝදයක් ගැහුව කියලයි...එහෙම වදිනකොට කුට්ටම අතැති ක්‍රීඩකය උත්සාහ ගන්නෙ හැකි තරම් වැඩියෙන් ඔට්ටු අල්ලල දිනන මුදල වැඩිකර ගන්නයි....එක දිගට හතර පස් වතාවක් හෝ රෝදයක් දිනපු සූදු කරුවෙකුට වෙද මහත්තය කියන්නෙ...

දැන් තෝමක් දාමු නේද...කියලයි

එතකොට දිනුම්කරුවා තෝං වශයෙන් මුදලක් වෙද මහත්තයට දෙනවා....මුදල තීරණය වෙන්නෙ සූදු කරුවා දිනපු ගණන අනුවයි.

මළගෙවල්වල සූදුව කෙරෙනකොට තෝං මුදල් දාන්නෙ හිස් අරක්කු බෝතලේකට.එතකොට සල්ලි ආපහු ගන්න බෑනෙ...ඒ මුදල් ඔක්කොම මලගෙදර වැඩ කටයුතු සඳහා යෙදවෙන්නෙ.මළගෙවල්වලට පොලිසියෙන් පනින්නෙ නෑ කියල කතාවක් තියෙනවනෙ...ඇත්තද බොරුද නං මම දන්නෙ නෑ...හැබැයි අද තව වෙනතුරු අපේ ගමේ මළගෙදරකට කවදාවත් පොලිසිය පැනල නෑ.

වෙද මහත්තයගෙ බූරු පොළට නං ඕනැතරං පොලිසිය පැනල බූරුකාරයො අල්ලං ගිහිල්ල තියෙනව....පොලිසියෙන් පනිනකොට බූරුකාරයො ඔලුව හැරුණු අතේ දුවන්නෙ හරියට පුවක් වල්ල පොළොවෙ ගැහුව වගේ.

 සමහරු නියර දිගේ වේගෙන් දුවගෙන ඇවිත් අපේ නාන ළිං මිදුලට පැනල නාන කෙනෙක්ගෙ බාල්දිය උදුරල අරං නාන්නෙ ඇඳන් හිටපු බැනියමවත් ගලවන්නෙ නැතුව.

පෙළක් උං ගෙවල්වල කුස්සියටම රිංගල බත් බෙදාගෙන කාපු වෙලාවලුත් තියෙනව..එතකොට ගෙදර අයට ආයෙ බත් උයාගන්න වෙනව.

කොහොම හරි සූදු කාරයො කීප දෙනෙක් අහුවෙනවා...අහුවෙන උන් පැදුරු ඔලුවෙ තියාගෙන පේළියට නියර දිගේ අරගෙන යන්නෙ ....

ආයෙ බූරු ගහන්නෙ නැතෝ...කියල කෑගස්සමින්.

අල්ලං ගියපු උං හවසට ඇප දීල එවනව නඩු දිනේට උසාවි වරෙල්ල කියල...උසාවියෙන් දඩ කාල ආවත් ආයෙත් කරන්නෙ බූරු ගහන එක තමා.

සැරයක් පොඩ්ඩෙලගෙ හාව වින්සන් එක්ක උසාවියට දැම්ම....ඇප දෙන්න කෙනෙක් මුං ගෙනිහිල්ල නෑ....පස්සෙදි සතියක් රිමාන්ඩ් කරල ඉඳපු දෙන්න ආපහු එනව මට ටවුමෙදි හම්බ වුණා.

දවසක් ගොම්මං වෙලාවෙ බෝධියා කුට්ටමකුත් අරගෙන තිලකෙට කතාකළා කපමු කියල....උං දෙන්න විතරයි මාත් ඔහේ බලාගෙන හිටිය.

බෝධියා අතේ තිබිච්චි ඔක්කොම පරාදයි.....තිලකය අන්තිමේදි බෝධියාට තෝං දුන්න...බොධිය තෝමත් ඔට්ටු අල්ලල කැපුව.... ඒකත් පරාදයි.

අම්මෝ ඇති යංතං......හෙට උදේට අරක්කු ටිකක් ගේන්නෙ කොහොමද කියල හිත හිතා හිටියෙ......... කියපු තිලකෙ සල්ලි ටිකත් එකතුකරගෙන යන්න පිටත් උනා...

අත සන්තකේ තිබ්බ සල්ලි ඔක්කොම පරාද වෙච්ච බෝධියත් පුකේ අත පිහදාගෙන ගෙදර ගියා...
බූරු කෙළියෙ හැටි ඔහොම තමයි.

අවුරුදු දවස්වලට බූරුපොළ හරි සරුයි....පිටින් හිට බූරු කාරයො එනව අපේ ගමේ පිටියෙ සෙල්ලම් කරන්න....අපරාදෙ කියන්න බෑ අපේ ගමේ ගෝරි බෝරි නං බොහොම අඩුයි.

ඉඳල හිටල ගෝරියක් නැත්තෙමත් නෑ....ගොඩක් වෙලාවට වලි කාරය ජිනසෝම,කටු අත්ත වගේ...බීපුවාම කාගෙ හරි ඇඟේ එල්ලෙන්නමයි බලන්නෙ.බූරු ගහල පරාද වුණාම දෙකක් දාගෙන කාත් එක්ක නමුත් පැටලෙන්න බලාගෙන ඉන්නව.

දවසක් මිනිහ අපේ ආරිත් එක්ක පැටලුනා.....ආරිනං බැනගෙන නිකං හිටියෙ නෑ...අතින් ඇදල අරන් උස්සල වීසි කලා අලමල්ලක් වගේ....නැගිටිනකොට කණට දෙකකුත් දුන්න....ජිනසෝම කවදාවත් කාල නෑ එහෙම කෑමක්.

ගුටිකාගෙන පාරදිගේ ගේ පැත්තට දිව්වෙ...

මම එනවා....මම එනවා....කඩුව අරගෙන මම එනවා යකෝ..... කියාගෙන.

හැබැයි තාම ආවෙ නං නෑ....

මම ආරිට කිව්වෙ වැරදිලාවත් කරුවල වැටුණයින් පස්සෙ ජිනසෝමගෙ ගේ ඉස්සරහ පාරෙන් යන්නනං එපා කියල....මොකද ඕකා හැංගිලා ඉඳලා කපන එක කපනවාමයි නොවැරදීම.

ආයෙම ඔය අපේ බක් මහ උළෙලක් දවසක....

අර බෝතලේට වලල්ල දාන තරගෙ තියෙනවනෙ.....ඔන්න ඔය තරගෙන් සෑහෙන මුදලක් එකතුවෙනවා...ඒත් මෙදා වලල්ල දාන අය කවුරුත් නෑ.....අපට හරි පුදුමයි.

ආරංචි කරල බැලුවාම මයියංගනේ ආරියලගෙ ගෙදර බූරුපොළක් දාල....ඔක්කොම එතන.

අපි කට්ටිය එකතුවෙලා ගිහිං බූරුපොළ කඩාකප්පල් කරලදාල ආරියටත් බැනල එන්ඩ ආව....බීලත් හිටපු ආරියට මේකට හොඳටම තදවෙලා අපිත් එක්ක කරාටි ගහගන්නත් ආව.

ප්‍රධාන පෙළේ බූරුකාරයො එකා දෙන්න මැරිල ගියායින් පස්සෙ බූරුපොළ එච්චර සකිලයක් තිබුණෙ නෑ....පොඩ්ඩ පොඩ්ඩ දියවෙලා ගිය බූරු පොළ අන්තිමට නැත්තටම නැතිවෙලා ගියා.
 

ඊට පස්සෙ බූරු ගැහුවෙ මළගෙදරක විතරයි...පස්සෙ කාලෙක මළ ගෙවල්වල බූරු ගැහිල්ලටත් ගෙවල්වල අයගෙන් බරපතල විරෝධයන් එල්ල වෙන්න පටන් ගත්ත...ඒ විරෝධයන් පිටිපස්සෙ නං හිටියෙ අපි....

මොකද පිට පළාත්වලින් වෘත්තීමය බූරුකාරයොත් මළගෙවල්වලට එන්න ගත්තු නිසා.
 

ඔන්න ඔය විදියට දිනෙන් දින පිරිහිලා ගිය අපේ ගමේ බූරු ක්‍රීඩාව දැන් ආසාවකටවත් දැකගන්න නෑ.
 

කොච්චර වුණත් ගමේ බූරු පිටියට ඒකෙ හිටපු සරල මිනිස්සුන්ට මගෙ හිතේ හරිම ඇල්මක් තිබුණා....ඒත් ඒ කාලෙ ආයෙ එන්නෙ නෑ නේද කියල මතක්වෙනකොට නං හීන් දුකක් හිතට කාන්දු වෙනවා.

Thursday, February 21, 2013

31.අපට වෙච්චි දේ


 අද පළකරන්න ලියාගෙන හිටියෙ වෙන කතාවක්,ඒත් හිරූගෙ පෝස්ටුවකට නිශ්ශබ්ද සහන් දාපු කමෙන්ටුවකට අපේ අටම් දීල තිබුණු පිළිතුර දැකපු මගේ හිතට ආව අදහස් ලියලදාන්න හිතුණ.

නිශ්ශබ්ද සහන් කියනව රෙඩ් ලේඩි ගස් දෙකතුනක් හිටවගන්න ඕනැය කියල....

ඒකට අටම් උත්තර දෙනව අනේ බං ගස්ලබු ගස් දෙක තුනක් හිටවගනිං කියල...

අටම් ගස්ලබු ගස් කියල එතන හැඳින්වූවෙ අපේ ගම්වල ඔහේ ඉබේ හැදිල පළගත්තු කහපාට රසම රස ගස්ලබු වලටයි...

නිශ්ශබ්ද සහන්ට ඒ ගස්ලබු ගැන අත්දැකීමක් නැතිව ඇති මගෙ හිතේ....

අපි ටිකක් මෑත අතීතයට යමු...අද පළතුරු කඩවලයි පොළවල්වලයි කඳු ගහල තියෙන රෙඩ් ලේඩි ගස් ලබු එන්න කලින් විකුණන්න තිබුණෙත් අපි කෑවෙත් ඔය ඉබේ හැදුනු ගස්වල තිබ්බ කහපාට රසම රස ගස්ලබු.

ඒ ගස්ලබු ගෙඩිය කැපුවාම තියෙන කලු මුතුඇට වගේ කලුම කලු පාටින් දිලිසෙන ගස්ලබු ඇට කන්දරාව මතකද.....

ඉදුනාම පොත්ත රැහැල කන්න පුලුවන් ගස්ලබු තියෙනව.....

ඒවට අපි කිව්වෙ වරක ගස්ලබු කියල....

පොත්ත පිටින්ම කපල ඇට ඇරල කන ගස්ලබු වලට කිව්වෙ වැල ගස්ලබු කියල....

ඒව කනකොට ඉස්ම නිකට දිගේ බේරෙනව මතකද....

දැන්නං ගස්ලබු කන්නෙ දීසියක තියාගෙන හැන්දකින්...ඒත් ඒ කෑම උලා කෑම තරං රහ නෑ.

මේ ඔක්කොම මම කිව්වෙ කතාවට ආරම්භයක් වශයෙන් ....අපි දැන් කතාවට බහිමු කෙළින්ම.....

අද කෝ ඒ ගස්ලබු......?

ඒ ගස්ලබු කොහෙ ගියාද නෑ නේද....හැමතැනම ආක්‍රමණය කරල තියෙන්නෙ රෙඩ් ලේඩි...කහපාටට ලස්සනට ඉදිල තියෙන ගෙඩියෙ රෝස පාට මදේ රසද.....

අනේ මන්ද...මට නං කිසිම රසක් නෑ....අල කනව වගේ....

ඇතුලෙ ඇටත් නෑනෙ...පුහු ඇට දෙකතුනක්නෙ තියෙන්නෙ....

ඉතාම සූක්ෂ්ම විදියට විදේශීය රෙඩ් ලේඩි අපේ රට ආක්‍රමණය කරල නේද....අපට මතකත් නෑ අපේ කහ ගස්ලබු වලට මොකද උනේ කියල....ඒව කොහෙද ගියෙ කියල.

ටිකක් හිතල බලන්න......

ඊළඟට මට මතක් වෙන්නෙ තක්කාලි....

ගොරක බික් වගේ රැළි ගැහුණු රතු පාටට කහ පාටට කොළපාටට තිබ්බ පළල් ගෙඩි වල ඇඹුල් රස මතකද....

ඒ තක්කාලි වලට හොඳට බොම්බයි ලූණු අමුමිරිස් දාල මිටි කිරි දාල හදල ගත්තු හොද්දත් එක්ක උණු උණු තැටි පාන් කාල තියෙනවද....

කොහොමද රස....

මට නං ඒ දවස්වල ඔය තක්කාලි හොද්දත් එක්ක උණු උණු පාන් ගෙඩියක් උණත් කාල දාන්න පුලුවනි...

අද කෝ ඒ තක්කාලි......?

කොහෙ ගිහිල්ලද නෑ නේද...තක්කාලි කියල දැන් තියෙන බල්බ් වගේ දිළිසෙන කහපාට පොත්ත ගණකම් ගෙඩිවල තියනවද ඇඹුලක්....

හොද්දක් හදල කෑවට අර මිහිරි ඇඹුල් රස දිවට දැනෙනවද....අල කනව වගේ නේද...

මම ලංකාවෙ ඉන්දැද්දි දවසක පොළේ තිබුණ ඔය ජාතියෙ බික් තිබුනු පළල තක්කාලි ගොඩක්...මම එතනට ගිහින් තක්කාලි ගන්න ගමන් වෙළෙන්දගෙන් ඇහුව කොහෙන්ද මේ තක්කාලි කියල...

මහත්තය මෙව්වට කියන්නෙ ගොරක තක්කාලි කියල.....

ඒ මනුස්සය කිව්වා.

අර කිසිම රසක් නැති තක්කාලි කඳු වලින් අපිත් අරගෙන යනව....අපට මතකත් නෑ අපේ තක්කාලි වලට මොකද උණේ කියල...

හිතල බලන්න.....

ඊළඟට වට්ටක්කා....

වට්ටක්කා ගැනත් කියන්න තියෙන්නෙ ඒ කතාවමයි...

අපි රසට කාපු කැලෑ වට්ටක්ක හෙවත් ගොඩේ වට්ටක්කා අද හොයාගන්න හරිම අමාරුයි...

ඒ වෙනුවට හැමතැනම කඳු ගහල තියෙන්නෙ රට වට්ටක්කා....

කැලෑ වට්ටක්ක ගෙඩියක් කපල සුදුලූණු ගම්මිරිස් පොල් එහෙම ගලේ අඹරල දාල හදන හොද්දෙ රස මතකද....ලා පැනි රසකුත් එක්ක එන සැර රස....මතක් වෙනකොටත් ආස්වාදජනකයි.

ඒත් දැන් තියෙන වට්ටක්කා වලින් හදන හොද්දෙ ඒ රහ තියෙනවද...කහ පාට මඩ ගොඩක් වගේ නේද...

 පොලේ වට්ටක්ක මුදලාලිගෙ වට්ටක්ක කන්ද ලඟට ගිහිං  ..

මුදලාලි මට කැලෑ වට්ටක්ක කිලෝ එකක් කියල ඉල්ලුවාම...

අනේ බඩු නෑනෙ මහත්තයො හොයා ගන්න....කියල මුදලාලි කිව්ව.

ඔන්න අපේ සම්ප්‍රදායික බෝගයක් වුනු වට්ටක්ක වලට වෙලා තියෙන දේ...

අපේ හිතේ හැටියට රසට වට්ටක්ක කන්න බෑ දැන්...වෙළෙන්දො දෙන දේ තමා කන්න වෙලා තියෙන්නෙ.

ඊළඟට කොමඩු.....

අපේ සම්ප්‍රදායික කොමඩු ගෙඩිය තමා ලා අලුපාට ඉරිගිය ලා කොළපාට ලොකු ගෙඩිය....බොහොම රසයි රෝස පාටයි කනකොට පැනි බේරෙනව...

කෝ ඒ කොමඩු තියෙනවද දැන්....

දැන් මොනවද තියෙන්නෙ...පොත්ත ගණකම තද කොළපාට ගෙඩියක්.ඇතුලෙ ඇට පිරිල මදේට වැඩිය...එක කටකට ඇට හැටක් විතර...හැමතැනම කඳු ගහල තියෙන්නෙ මේ කොමඩු ගෙඩි...අපේ කොමඩු කොහෙ ගිහින්ද....අපට මතකයක්වත් නෑ.

අපේ දේශීය දොඩම් වගාව නැතිකරල විනාශ කරල දැම්මෙ බොහොම කාලෙකට කලින්....දැන් අපි මාස ගණං පරණ රට දොඩම් කඩෙන් අරං කනව. 

තවත් දේවල් තියෙනව කියාගෙන ගියොත්.දැන් බලමු මොකද වෙලා තියෙන්නෙ කියල....

බොහොම සරලව කිව්වොත් ලංකාවෙ කෘෂිකර්ම ඒකාධිකාරය එක කොම්පැණියක් අතෙයි තියෙන්නෙ.ඒ අයට අවශ්‍ය දේ තමා අපේ රටේ සිද්ද වෙන්නෙ....ඉතාම සූක්ෂ්මව අපේ සාම්ප්‍රදායික බෝග වර්ග නැතිකරල ඒ අයට අවශ්‍ය කරන පරිසරය හදාගත්ත....මේ මහා විනාශය දැක දැකත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නෙවෙයි කටක් ඇරල වචනයක් කිව්වෙ.

 බහු ජාතික සමාගම්වලට බෝගවර්ගවල රස ගුණ ආදී දේවල් වැඩක් නෑ..ඔවුන්ගෙ එකම පරමාර්ථය මුදල්....

විවිධාකාර විෂ රසායන කෘමි නාශක ගහල ලස්සනට නිෂ්පාදනය කරපු බෝගවර්ග වෙළඳපොළට එවනව

අපේ සම්ප්‍රදායික එළවලු පළතුරු වර්ග වලපල්ලට යවන ගමන්.....දැනටමත් හානිය සිද්දවෙලා ඉවරයි.

ප්‍රධාන දේ තමා ඔවුන්ගෙ එක එළවලුවක පළතුරකවත් බීජයකින් පැළයක් හදාගන්න බැරිකම...ඔවුන් බීජ වෙනම නිෂ්පාදනය කරනව...ඒ බීජ කිලෝ එකක මිළ අපට හිතාගන්නවත් බැහැ...ඉලක්කම් පහක ගාණක්.....

කෙසෙල් වර්ගයක් නිෂ්පාදනය කරනව විදේශීය වෙළඳ පොලට....පැළය පවා ලබා ගන්නෙ පටක තාක්ෂණයෙන් ..හිටවපුදා ඉඳල විවිධ විෂ රසායනයන් ගහල කැන ලොකුකරගන්නව..

හරියට අපේ ආනමලු හෝ ඇම්බුන් ගෙඩිය වගේ කෙහෙල් ගෙඩිය.....ලෙල්ල හරිම සංවේදීයි....ඇඟිලි පාරක් වැදුණත් එතන තැලිල ඇතුල නරක් වෙනව.

ඒ කෙසෙල්ගෙඩිය තමා යුරෝපා වෙළඳපොළේ තියෙන එකම කෙහෙල්ගෙඩිය....අපනයනයේදී ප්‍රතික්ෂේප වෙන ගෙඩි ලංකාවෙ වෙළඳපොලේ මම දැකල තියෙනව.

 මේ කෙහෙල් ගහ දවසක අපේ සම්ප්‍රදායික කෙහෙල් ගස් ආක්‍රමණය කරල නැතිකරල දායිද කියල මට නිකමට හිතෙනව.

ප්‍රශ්න සහ උත්තර ඔන්න ඔහොමයි....

මේ කරගෙන යන ආක්‍රමණය දේශ හිතෛෂින්ටවත් අපේ දේ ගැන මැරෙන්න හදන අයටවත් එක එක සේනා වලටවත් මූලධර්මවාදීන්ටවත් පෙනෙන්නෙ නැහැ....පෙනුනත් සද්ද නැතිව ඉන්නව...මොකද මේ වාගෙ වැදගැම්මකට නැති දෙයක් මාකට් කරන්න බෑනෙ.

ඒත් මටනම් මේ සිදුවූ දේ ගැන තියෙන්නෙ දැඩි කම්පාවක් හා දුකක්...ඒත් තනි මට හඬක් නෑනෙ.

අඳුරට සාප කරමින් ඉන්නවට වඩා එක පහනක් හෝ දැල්වීම වැදගත් කියල තියෙනවනෙ.

මගෙ තියෙනව ඉතා කුඩා බිම් කැබැල්ලක්....වැඩියෙ නෙවෙයි පර්චස් පහළොවයි..ඕකෙ මම කෙහෙල් වගාවක් කරල තියෙනව...විකුණන්න සීනි කෙසෙල් නෙවෙයි..අපේ සම්ප්‍රදායික කෙහෙල් වර්ගවල එකතුවක්...මට ඔක්කොම කෙහෙල් වර්ග එකතු කරගන්න බැරිවුණා...ඒත් මම මගේ ශක්ති ප්‍රමාණයෙන් උත්සාහ කරනව හැකිතරම් වර්ග එකතුකරගන්න...එතකොට කා ලඟ නැතත් මගෙ ලඟ පැළයක් ඉතුරුවෙයිනෙ.

මේ දවස්වල මගෙ කෙහෙල්කොටුවෙ තත්වය දැනගන්න විදියක් නෑ....මම නැති නිසා වල් වැහිල ඇති....මම ඉන්නකොට නම් වල් ගලවල කපාපු ගස්වල කඳන් අල එහෙම ගලවල සුද්ද කරනව...පෝර දානව...ඒත් දැන් නං ඒව ගියදාක තමා බලල කරවන්න වෙන්නෙ.

ඔය නලීන්ල සිරාල එහෙම මාව බලන්න ආපුවාම මගෙ කොටුවට එක්ක ගිහින් නිල්වන් රඹපත් සිපගෙන  එන මද සුළඟේ පහස විඳිමින් බෝතලේ සප්පායම් වෙන්න දෙන්නයි මම හිතාගෙන ඉන්නෙ....හැබැයි වහීද දන්නෙ නෑ...පොඩියට පොල් අතු මඩුවක් ගැස්සුවොත් හොඳයි කියලත් හිතෙනව.

කියන්න අමතක වෙච්චි තවත් බෝගයක් තමා වී..අපි පොඩි කාලෙ තිබ්බ සම්ප්‍රදායික වී වර්ග වන මා වී, හැංගිමුත්තං වාගෙ වැඩිමල් වී වර්ග හොඳට වේලල ගත්තම අවුරුදු ගණං තියාගෙන කන්න පුළුවනි.

ඔය ජාති විතරක් නෙවෙයි..තවත් මට දැන් මතක නැති ගණං කරන්න බැරිතරම් වී වර්ග දැන් වඳවෙලා ගිහින්.

මගේ ලියැදි කෑල්ලෙ මම ගහන්නෙ ඔය දුර්ලභ වී වර්ග...හැබැයි බිත්තර වී හොයාගන්න තමා අමාරු...කෘමිනාශකවත් විෂ රසායන වත් මම වෙලට ගහන්නෙ නෑ...පෝර ටිකක් දානව ඇරෙන්න නැත්නං ගහ හැදෙන්නෙ නෑ.
 

ඔන්න ඔහොමයි මම කියාගෙන ආපු කතාව ඉවර වෙන්නෙ....
 

මම දන්නව මේ ගැන ඔයාලටත් අත්දැකීම් ඇති...කියන්න දේවලුත් ඇති...අඩු තරමින් අපි අපි අතරෙවත් මේ ගැන ප්‍රසිද්ධ කරල දැනුවත් කරන්න හැකිවුණොත් ඒකත් ලොකු දෙයක්නෙ නිකං ඉන්නවට වඩා.
 

මේ කතාවත් ලියපු කතා පැත්තකට දාල ලහි ලහියෙ ලියපු එකක්....
අනේ මන්ද ලියපු ටික දාගන්න වෙලාවක් තියෙයිද කියල මෙහෙම වෙනකොට


Monday, February 18, 2013

30.කතා දෙකක්



අදත් කලාවට සම්බන්ධ පොඩි කතා දෙකතුනක් කියන්නම්....මේ කතාව මට කිව්වෙ නෙවිල්..නෙවිල්ට කතාව කියල තියෙන්නෙ චිත්‍රපට කලා අධ්‍යක්ෂ ධර්මසේන හේමපාල ඔහු නෙවිල්ගෙ අසල්වැසියා.

කොළඹ මල් ශාලාවේ හිමිකරු වන චිත්‍රපට නිෂ්පාදක වයි.ඇම්.කරුණාතිලක මහතාගේ අලුත් නිවසට ගෙවැදීමේ උත්සවයට ධර්මසේන හේමපාලයන්ටත් ආරාධනාවක් ලැබිල.හේමපාලයන් මේ නිවසට යනකොට ඔහුගෙ මිතුරන් වුණු සුනිල් ආරියරත්න චින්තන ජයසේනත් සමග ඇවිදින් හිටියලු.

කරුණතිලක මහතා මේ අයව ආදරයෙන් පිළිඅරගෙන ගේ ඇතුළට එක්ක ගිහින් සිසිල් බීමත් දීල.
සැටියෙ වාඩිවෙලා ඉන්න ගමන් චින්තන සැටිය වටේට තට්ටු කරනවලු,ඉස්සරහින් තියෙන සෙන්ටර් ටේබල් එකට තට්ටු කරනවලු...

මොකද චින්තන.....කියල හේමපාලයන් ඇහුවලු..

නෑ මං බැලුවෙ මේ කජු ලීද කියල.....චින්තන ඇඟට නොදැනි කියල...

හිනාව තදකරගත් සුනිල් ආරියරත්නයන් චින්තනට බැන්නලු..

තැනකට ආපුවාමවත් හැකර කතා නොකිය ඉඳින්....කියල

 අසූ ගණන්වල මුල හරියෙ දවසක් මම කලින් ගෙදර එනවා..එදා මම බැස්සෙ අපේ ගමේ කෝච්චි පොළෙන්...එතනම එහා පැත්තෙ අපේ ඉස්කෝලෙ... කන්ද නැගගෙන උඩට ආවම මම දැක්ක පහළ ගේට්ටුව ගාව සෙනග ගොඩක් එකතුවෙලා ඉන්නව.ලංවෙලා බලපුවාම බැනර් එකක් ගහල තිබුණ

සම්මානනීය චිත්‍රපට කලා අධ්‍යක්ෂ
ධර්මසේන හේමපාලයන්ගේ කලා දිවියට
25 වසරක් පිරීම නිමිත්තෙන් ආදි ශිෂ්‍ය සංගමයේ උපහාරය....කියලා

අපේ ඉස්කෝලෙ ආදි ශිෂ්‍ය සංගමෙන් කරන්නෙ...කට්ටිය ගේට්ටුව ළඟ රැස්වෙලා ඉන්නෙ ධර්මසේන හේමපාලයන් පිළිගන්න.මාත් ගෙදර යාම පැත්තකට දාල ඔහෙ බලා හිටිය....අනික ගේ තියෙන්නෙත් වෙලෙන් එහා පැත්තෙනෙ....ඔන්න බිරිඳත් සමග ගේට්ටුව ළඟට ආපු ධර්මසේන හේමපාලයන් සාදරයෙන් පිළිගෙන ශාලාවට කැඳවාගෙන ගියා.දැන් අපිත් ශාලාවෙ වාඩිවෙලා ඉන්නව...කවුද ඇවිත් හේමපාලයන්ව එළියට එක්කරගෙන ගියා...අපටත් කතාකළා ගේට්ටුව ළඟට යමු කියලා.

මොකක්ද මේ වැඩේ කියල බැලුවම තමා ආරංචි වුණේ නැටුම් කණ්ඩායම ඇවිත් ගේට්ටුව ළඟ බලාගෙන ඉන්නව කියල...

අපි ගේට්ටුව ගාවට එනකොට රවීන්ද්‍ර,මාලිනී,අනෝජා,සුනිල් ආරියරත්න,නන්දා මාලිනී ආදී කලාකරුවන් මහ ගොඩකුත් එතන...ඔන්න දැන් අපේ ප්‍රධාන අමුත්තව දෙවෙනි වතාවටත් නැටුම් ගැහුම් සහිත පෙරහැරකින් ශාලාවට කැඳවාගෙන ගියා.

දැන් හෝල් එක අතුරු සිදුරු නැතිව පිරිල...වැඩිපුර හිටියෙ ඉස්කෝලෙ ළමයි..සෙල්ලම් කරන ළමයි අමතර පන්ති වලට ආපු ළමයි ඔක්කොම හෝල් එකට පිරුණ නළු නිළියො ආව කියල ආරංචි වෙලා.

නළු නිළියන් පිරිවරාගත්තු ධර්මසේන හේමපාලයන් වේදිකාවෙ වාඩිවෙලා ඉන්නව.

ඉස්කෝලෙ කොල්ලො කෙල්ලො කෑ ගහනව ....එකම ගෝසාවයි...සභාවෙ වැඩ පටන් ගන්න විදියක් නෑ සද්දෙ නිසා.

නිවේදකයා ඇවිත් නොයෙක් ආකාරයෙන් කිව්ව අපට මේ සභාවෙ වැඩ කරගෙන යන්න සද්දෙ නවත්තගන්න කියල...මොන පිස්සුද...ඒව ඇහෙයි උන්ට නං...සද්දෙ තවත් වැඩිවුණා..

අඩෝ රවීන්ද්‍ර...හෝඕඕඕ
අනේ මාලිනීඊඊ....ඊඊ.....එකම කම්බැල්ලෑවයි..

බැරිම තැන නන්දා මාලිනී නැගිටල මයික් එක ළඟට ඇවිත් කිව්ව දැන් මම ගීතයක් කියනව...ඔයාල නිශ්ශබ්දව අහගෙන ඉන්න කියලා....

බුද්ධානුභාවේන නෙත් සිත් පහන්වී...........කියල ගීතය පටන් ගත්ත....

මොන බුද්ධානුභාවයක්ද....මට සිංදුව ඇහුණෙත් නෑ....

අසරණ වෙච්චි නන්දා මාලිනී ආපහු ගිහිං වාඩිවුණා...

අන්තිමේදි සංවිධායකයො සාකච්චා කරල නළු නිළියො ටික ඔක්කොම වේදිකාවෙන් බස්සල පිටත් කළා.....

ඒත් එක්කම ඉස්කෝලෙ කොල්ලො කෙල්ලො ටික වක්කඩ කැඩුව වගේ ශාලාවෙන් එළියට ගියා.....ශාලාවෙ ඉතුරුවුණේ ඇත්ත වශයෙන්ම මේ උත්සවයට සහභාගි වෙන්න ආපු අයයි ආරාධිතයොයි විතරයි.ඔන්න ඊට පස්සෙ උත්සව සභාවෙ කටයුතු නිල වශයෙන් ආරම්භ වුණේ.

නන්දා මාලිනී ගීත ගායනා කළා.....

සුනිල් ආරියරත්නයන් උළෙලේ මුඛ්‍ය දේශනය පැවැත්වූවා...

එදා තමයි මට පැහැදිලි  වුණේ කලා අධ්‍යක්ෂණය නිර්මාණයකට මොන තරම් වැදගත්ද කියන එක.
 චිත්‍රපටයකදී එකතු කරගත් සුළු පිරිසකගෙන් ධර්මසේන හේමපාලයන් විශාල සේනාවක් මැවූ ආකාරය ආරියරත්නයන් විස්තර කළේ ඉතාම සිත්ගන්නා ආකාරයටයි.

ලැබුණු මද විවේකයකදී මා සුනිල් ආරියරත්නයන් ළඟට කිට්ටු කළේ ධර්මසේන හේමපාල උපහාර කලාපයට ඔහුගේ අත්සන ලබාගන්නයි.

සුහද සිනාවකින් මට සංග්‍රහ කළ ඔහු....

හරි වැඩේ නේද උනේ....කියමින් සමරු කලාපය අත්සන් තැබුවා.

අපේ විද්‍යාලයේ ආදි සිසුවෙක් වන ධර්මසේන හේමපාලයන්ගෙ ගම කුඹල් ඔලුවෙ.මේ සිද්දියට දශකයකට පමණ පසු බෙනට්ගේ තරු ටෙලි නාට්‍යයේ නිෂ්පාදන කණ්ඩායමට අර්ධකාලීනව සම්බන්ධවී සිටිය මට ධර්මසේන හේමපාලයන් ළඟින් ඇසුරු කිරීමේ අවස්ථාව ලැබුණා.

 රූගත කිරීම් අවසන්ව බෙන් ෆිල්ම්ස් ආයතනයට එන අපි නා කියා ගෙන රෑ බත ඉදෙනතුරු මීවිතක් ඇසුරු කරමින් දොඩමලු වූ අවස්ථා එමටයි...ඒ වෙලාවට ඔහුගේ මුවින් පිටවෙන කතා මටනම් ඉතාම රසවත්.

1960 දී සංදේශය චිත්‍රපටයේ සහාය කලා අධ්‍යක්ෂවරයෙකු වශයෙන් කලා ජීවිතය ආරම්භ කල හේමපාලයන් සම්මාන දිනූ චිත්‍රපට ගණනාවකම කලා අධ්‍යක්ෂණය කරමින් ජනාධිපති සම්මාන කීපයක්ද දිනාගත්තා.

ක්ෂේත්‍රයේ දැවැන්ත චරිතයක් වුවද ඔහු ඉතා නිහතමානී පුද්ගලයෙක්...බොහෝ විට ඔහු මට හමුවන්නේ ටවුමෙ එළවලු කඩේදීයි.

 කලා කටයුතුවලින් ඈත්වී සිටින මා ක්ෂේත්‍රය ගැන මගේ දැනුම යාවත්කාලීන කරගන්නේ ඔහුගෙන්.....ඔහු සතු කතා ගාණක් මිම්මක් නැතිතරම්.
 

ධර්මසේන හේමපාල වැනි දැවැන්තයන් ඉදිරියේ අප හිරු දුටු කණාමැදිරියන් සේ නොවේදැයි මේ ලියනවිටත් මට සිතෙනවා.

ප.ලි:ලියා අවසන්කල කතා කීපයකුත් බාගෙට ලියූ කතා කීපයකුත් තිබියදී පළවන්නේ ලහි ලහියේ ලියා නිමකළ කතාය.මෙයට හේතුව කාගෙන් හරි මා දැනගන්න කැමතිය.


Saturday, February 16, 2013

29.අවුරුදු විසිපහකට පෙර



අදට අවුරුදු 25 ක් ඒ කියන්නෙ 1988 පෙබරවාරි 16 වෙනිදා...මට හොඳට මතකයි එදා අපි හිටියෙ කහව අකුරළ ටෙලියක් ෂූට් කරමින්...හවස පණිවිඩේ ආවෙ..විජයට වෙඩි තියල මරල.

1985 දි හමුවෙලා හොඳටම හිතවත් වුණු මිත්‍රයෙක් තමයි දේශප්‍රිය....එක සමාන අදහස් තිබුණු නිසා ඉක්මනටම අපි දෙන්න අතරෙ තද මිත්‍රත්වයක් ඇතිවුණා.

පොත් නාට්‍ය චිත්‍රපටි ආදී කලා ක්ෂේත්‍රය අපි නිතර සාකච්ජා කල දේවල්....ජෝන් ද සිල්වා රඟහලේ රාජ්‍ය නාට්‍ය උළෙල පැවැත්වෙන හැම රෑකම අපි දෙන්න ගිහින් නාට්‍ය බලනව...ඒ මහ රෑ මට ගෙදර යන්න විදියක් නැති නිසා දේශලගෙ නාවල ගෙදර ගිහින් නිදාගන්නව.

දේශගෙ නම් කලාවට ඇල්මක් ඇතිවෙන්න ඇත්තෙ තාත්තගෙ ආභාෂයෙන්,තාත්තගෙ නම එච්.එස්.පේමේන්ද්‍ර....ඔහු පට්ටිය හන්දියෙ ටේලර් සාප්පුවක් පවත්තගෙන ගියා...වෘත්තිය මැසීම වුණත් ඔහු ඉතා හොඳ කලාකාමියෙක්....පසු කාලෙක සිනමා ලෝකය උඩු යටිකුරු කළ මහා සිනමාවේදීන් හැත්තැගණන්වල මුල් භාගයෙ දේශගෙ තාත්තගෙ ටේලර් සාප්පුවෙ රස්තියාදු ගහන්න පුරුදුවෙලා හිටිය.

සිංහල සිනමාවේ මං සළකුණු බඳු නිර්මාණයන් වන බඹරු ඇවිත්,එයා දැන් ලොකු ළමයෙක්,අහස් ගව්ව වැනි චිත්‍රපටි වල වස්තු බීජයන් බිහිවී පැළවුණේ ඔන්න ඔය ටේලර් සාප්පුවෙදියි.

සිංහල සිනමා කලාවේ හා පුවත්පත් කලාවේ විශ්ව කෝෂයක් බඳු චින්තන ජයසේනයන් ඔහු ලියූ චින්තන කතා නම් පොතේ මෙහෙම ලියනව.

"මේක ටේලර් සාප්පු කතාවකි.මේ ටේලර් සාප්පුව පිහිටා තිබුණේ කැළණිය පට්ටිය හන්දියේය.
ටේලර් ගේ නම එච්.එස්.පේමේන්ද්‍රය.ඔහු ටේලර් කෙනෙකුට වඩා සිනමා ශිල්පියෙකු වශයෙන් හොඳ සිනමාවකට උර දුන් දිරි දුන් අයෙකුය.

සිංහල සිනමාවේ ප්‍රවීණ, භාවාත්මක,සිනමාරූපී ශිල්පියෙකු වූ ධර්මසේන පතිරාජට ප්‍රථමයෙන් චිත්‍රපටයක් කරන්නටයැයි ඇරියුම් කළ දෙදෙනෙක් විය.පළමුවැන්නා එච්.එස්.පේමේන්ද්‍රය.අනික් තැනැත්තා පතිරාජ එල්. එස්.දයානන්දය.

ඔවුහු ධර්මසේන පතිරාජට චිත්‍රපටයක් කරන්නැයි ඇරයුම් කළේ දුකසේ උපයාගත් මුදලින් ගෙනගිය ගල් බෝතලයක් ද සමගය.

අහස් ගව්ව මෙම ඇරයුමේ ප්‍රතිඵලය විය"

 තවත් තැනක චින්තන මෙහෙම ලියනව,

"දැන් දැන් පතීලාගේ ටෂ්කන්ට් ගමන කිට්ටු වෙමින් එයි.දිනක් ධර්මසේන පතිරාජ,දයා තෙන්නකෝන්,ඩබ්ලිව්.ජයසිරි සමග මම ද පට්ටිය හන්දියට ගියෙමි.අප ගියේ පේමේන්ද්‍රගේ ටේලර් සාප්පුවට ටෂ්කන්ට් යෑම සඳහා පතීට සූට් එකක් මසා ගැනීම සඳහාය.පේමේන්ද්‍රගේ ටේලර් සාප්පුවේ සිදුවන විශේෂ සිද්ධියක් ඇත.ඇඳුමේ මෙෂමන්ට්ස් ගැනීමට පෙර ඔහු ගෙනැවිත් තබන්නේ කතුර හෝ ටේප් පටිය නොව අරක්කු බෝතලයක් හා වීදුරු කීපයකි.එම නිරන්තර චාරිත්‍රය එදිනද සිදුවිය.අපි බඩ කට පුරා බීවෙමු.ටේලර් සාප්පුවේ සියලුම සිංගර් මැෂින් අක්‍රීය වී ඇති අතර අපි පමණක් ක්‍රියාන්විත රාජකාරියේ යෙදුනෙමු. අවසනදී පතීට රට යන්නට ඇති දිනය කියා එදිනට සූට් එක පිළියෙල කර දෙන්නැ යි ඉල්ලීමක්,අණකිරීමක් සහ බැගෑපත්වීමක් කොට තව බෝතලයක් බීමට ප්‍රෙස් ක්ලබ් එකට ආවෙමු."

දේශගෙ අම්මා ටේලර් සාප්පුවට දවල් බත එවන්නෙ එතන ඉන්න යාලුවො ඔක්කොටොමත් එක්කයි.

ඔය තදයො ඔක්කොම අපේ අම්මගෙන් බත් කාපු උන්...

දේශා පස්සෙ කාලෙකදි කිව්වෙ ඒ නිසයි.ඉතින් දේශා කලාවට ඇල්මක් ඇත්තෙකු වීම පුදුමයක් නොවෙයි.

අපේ පවුලෙ නම් කලාවට සම්බන්ධ කිසි කෙනෙක් හිටියෙ නෑ...

1984 දී දේශා කතෝලික සිනමා පර්ෂදය හෙවත් ඕසීඅයිසී ආයතනයේ සිනමා සහ රූපවාහිනී පාඨමාලාව හැදෑරුව...ඔහුත් එක්ක හිටපු තව ශිෂ්‍යයෙක් තමයි සම්මානලාභී චිත්‍රපට සහ ටෙලිනාට්‍ය් අධ්‍යක්ෂ බෙනට් රත්නායක.
 1988 දී බෙනට් ඔහුගෙ ප්‍රථම ටෙලි නාට්‍යය නිෂ්පාදනය කරන්න සූදානම් වුණා....සහාය අධ්‍යක්ෂනය දේශප්‍රිය.

බම්බලපිටියෙ බාර් එකක බියර් බොන ගමන් දේශා මට විස්තරේ කිව්ව...

වරෙන් යන්න අපිත් එක්ක...මම බෙනට් අයියටත් උඹ ගැන විස්තරේ කියල තියෙන්නෙ....මූ මටත් කතා කරනව යන්න.

ඔය කාලෙ මම ටෙලියක් හදනව තියා වීඩියෝ කැමරාවක්වත් දැකල නෑ....

ඔහෙ ගිහින් මම මොනව කරන්නද..බං....

අපි කියල දෙන්නම්..උඹට කන්ටිනියුටි වත් බලන්න බැරියැ..

මම ඒ වචනෙවත් දන්න එකක්යැ...

 ඔන්න මම බෙනට්ට කියනව උඹත් හරියි කියල...හරිද..
මම මොකුත් නොකියා හිටියා....

මේ ක්ෂේත්‍රය මට අලුත්නෙ..කුතුහලයකුත් නොතිබුනාම නෙවෙයි..ඒත් ඉතින් දකුණු පළාතෙ දවස් 15 ක් විතර නැවතිලා ඉන්නත් එපායැ.

රස්සාවෙන් නිවාඩු ගන්න පුලුවන්වෙයිද දන්නෙත් නෑ..

ඔය ආදී විස්තර ඔලුවෙ තියාගෙන මම ගෙදර ගියා...

පහුවදා වැඩට ගිහින් හෝදිසි කරල බැලුව නිවාඩු ගන්න පුළුවන්ද කියල...

නිවාඩු සබ්ජෙක්ට් එක කළේ හික්කඩුව පැත්තෙ කෙල්ලෙක්...මම කිව්ව හික්කඩුවටෙයි යන්නෙ කියල...ඒ ගමන කෙල්ල කිව්ව...

ඔයා නිවාඩු දාන්න යන්න එපා...අසනීපයි කියල දන්වල එනකොට මෙඩිකල් එකක් අරන් එන්න....කියල

ඔන්න ඔහොම තමා ගමන සෙට් වුණේ..

නියමිත දවසෙ නළු නිළියොයි, කැමරා කණ්ඩායමයි,අපියි ඔක්කොම බඩුත් පටෝගෙන රෑ වෙද්දි අකුරළට ගිහින් මූද අයිනෙ තිබ්බ ගෙස්ට් හවුස් එකක නවාතැන් ගත්ත.

ඔය ටෙලියෙ කලා අධ්‍යක්ෂගෙ සහායට ආව අනුරාධපුරේ කොල්ලෙක් නිහාල් ගුණවර්ධන කියල,එතකොට දෙවෙනි සහය අධ්‍යක්ෂ රුවන් කොස්තා,රුවනුත් දේශලත් එක්ක ඕසීඅයිසී  එකේ එකට හිටපු කොල්ලෙක්,එතකොට වේෂ නිරූපණය කරපු සුරනිමල අපි ටික තමා එකට හිටියෙ.

රූපගත කරන්න ගමේ මිනිස්සු පුදුම සහයෝගයක් දුන්න..නිවාඩුවකට ස්විස් ඉඳල ඇවිත් ඒ ගමේ ගෙදරක උඩ තට්ටුවෙ කාමරයක් අරන් නැවතිලා හිටපු තරුණියක් මාරියා කියල අපි ගිය දවසෙ ඉඳන් මේ කෙල්ල අපේ පස්සෙන්මයි...අපි කොහේ ෂූට් කරන්න ගියත් ගෝල්ඩ් ලීප් පැකැට් දෙක තුනක් මල්ලකට දාගෙන ඇවිත් පැත්තක වාඩිවෙලා බලාගෙන ඉන්නව...අපිත් එක්කම කනව...ටෙලියෙ කෑල්ලකටත් මේ කෙල්ලව ගත්ත.

දවසක් දා අපි ෂූට් කරපු එක තැනක පහුවදා කරන්නත් වැඩ ඉතුරු වෙලා තිබුණු හින්දා ගෙනිච්චි බඩුවලින් වැඩිහරියක් එතන තියල ආව.ඒක නිකං වතුර උඩ ගහපු කබානා එකක් වගේ...රෑ අපි කවුරුහරි නවතින්නත් එපායැ.රුවන්ව හොටෙල් එකේ තියල අපි හතරදෙනා කබානා එකට ගියා...ඉස්සර සංචාරක ව්‍යාපාරය සමෘද්ධිමත්ව තිබ්බ කාලෙ හදපු තැනක්...දැන් පාලුවට ගිහින්.

ඉස්සෙල්ලම ගෙනිච්ච බෝතල් බීල කෑම ටික කෑවා...කාල බැලුවාම වතුර ගෙනත් නෑ.ඒ ගමන මමයි නිහාලුයි වතුර අරගෙන එන්න කියල රේල් පාර දිගේ ආව.ටිකක් දුර එනකොට අපට ඇහෙනව ගීත නාදයක්....බැලුවම මාරියා ඉන්න උඩ තට්ටුවෙ කාමරේ....පඩිපෙළ ගෙට පිටින් තියෙන්නෙ..අපි දෙන්නත් ගියා.

එතන තබ්ලා සර්පිනා මාස්ටර්ල දෙන්නෙක් සංගීතය කොල්ලෙක් සිංදු කියනව....මාරියා ගංජා සුරුට්ටුවක් බිබී සංගීතය රස විඳිනව...ඔන්න මාරියා අපිවත් පිළිඅරන් වාඩිකෙරෙව්වා..දැන් අපිත් සිංදු කියනව...නාට්‍ය ගීත නාඩගම් ගීත ශාස්ත්‍රීය ගීත ආදී වශයෙන් අපිත් ඇරියෙ නෑ.රස ගඟුලයි....දැන් පැයක් විතර ගියා අපිට වතුර මතක නෑ.

මම එගොඩහ යන්නෝ....කියල කට උඩට හරෝල ඕසෙ අදිනකොට තමා දැක්කෙ දේශයි සුරනිමලයි කාමරේට එනව....පැය ගාණක් ගිහිනුත් වතුර ගේන්න ගිය උං තාම නෑ කියල හොයන්න එනකොට කාමරේ සද්දෙ ඇහිල ෂුවර් එකටම මුං දෙන්න මෙතන ඇති කියල බලන්න ඇවිත්.

 ඔහොම තමා අපි රෑ මුර කෙරුවෙ..ඊට පස්සෙ මාරියා නිහාල් එක්ක ගොඩාක් හිතවත් වුණා...නිහාල් ඇගේ හිටපු පෙම්වතා වාගෙ කියල.

ඔන්න ඔහොම වැඩ කරගෙන යද්දි තමා විජයට වෙඩි තියල මැරුවෙ...ඒක කට්ටියටම ලොකු ෂොක් එකක් වුණා..වැඩ නවත්තල අපි ආපහු ආව.

මළගෙදර යන්නත් ඕනැනෙ...පහුවදා උදේ කණ්ඩායමක් කොළඹ ගියා....අපි හෝටලේ නිකං ඉන්න එකේ දවාලෙ ගංකරේ ඇතුළට ගිහින් ළිඳකින් නාගෙන එහෙම ආපහු ආව..එච්චර දවස් අපි කලේ උදේටයි හවසටයි මූදෙ පැනල ඇතිවෙන්න නාල පයිප්පෙන් ලුණු ටික හෝදගත්තු එකනෙ.

 බිලීබාන දැල්ගහන මිනිස්සු මාලුත් අරගෙන අපේ හෝටලේ පැත්තට එනව වැඩිමිළක් ගන්න බලාගෙන...එදත් මනුස්සයෙක් එවෙලෙ අල්ලපු මාලු කූරි තුන්දෙනෙකුත් අරන් ආව....එතන කිලෝ හය හතක මාලු තිබුණ..ඔක්කොටොම අපි ගෙව්වෙ රුපියල් පහළොවයි.

කෝකියට මාලු ටික දීල ඩෙවල් දාගෙන අම්බලන්ගොඩට කොල්ලෙක් යවල බෝතලුත් ගෙන්නගෙන රෑවෙද්දි පටන් ගත්ත...අද බොන්නෙ දුකටනෙ..සිංදුවක් කියන්නත් බෑ.

ටික වෙලාවක් ගියාම මාරියාත් ඔතෙන්ට ආවා...පොඩ්ඩක් බීපං කිව්වම බෑ කිව්ව...මලක් ගහල ඉන්න ඇති.ආපු වෙලේ ඉඳන් නිහාල් එක්ක කටු කුටු ගගා ඉඳල ටිකකින් ඌවත් ඇදගෙන යන්න ගියා...අපට නින්ද යනකම්ම ඌ ආවෙ නෑ.

 ටෙලිය ගහපු දවස් ගාන පුරාම නටපු පිස්සු ගැන කිව්වොත් මේ කතාව දික් ගැහෙනව...දිග කතාවක් කෙටියෙන් කිව්වොත් අපි ගිය වැඩෙත් කරගෙන ආපහු ආව.ටෙලිය විකුණගන්න බැරුව ගොඩක් කල් තිබිල අවුරුදු කීපෙකට පස්සෙ තමා පෙන්නුවෙ....එතකොට තිබුණෙත් ජාතික රූපවාහිනියයි අයි ටී එන් එකයි විතරනෙ.

ඊළඟ අවුරුද්දෙ බෙනට් ටෙලිනාට්‍ය හා වීඩියෝ නිෂ්පාදන ආයතනයක් ආරම්භ කළා..බත්තරමුල්ලෙ පන්නිපිටිය පාරෙ..දේශප්‍රිය මෙඩිකල් කොලෙජ් එකේ කරපු රස්සාවෙන් අයින් වෙලා එතන පූර්ණකාලීන වැඩට ආව.රුවනුත් ආව ප්‍රභාත් කියල අලුත් කොල්ලෙකුත් එක්ක..මමත් උන් එක්ක ටික කාලයක් ඔතන නැවතිල හිටියනෙ..මම එතකොට වැඩකලේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙ...අපි හිටපු බෙන් ෆිල්ම්ස් එකේ වෙච්චි රස කතා කියන්න ගියොත් හෙට එළිවෙයි.අපි ඔතන ඉද්දි බෙනට් තව ටෙලියක් ගැහුවනෙ ඒකෙ විස්තර ආයෙ කියන්නම්.

 දේශප්‍රිය දැන් චිත්‍රපට සහාය අධ්‍යක්ෂ වරයෙක්,රුවන් අද ලංකාවෙ ඉන්න නිර්මාණාත්මකම කැමරා ශිල්පියා වගේම දක්ෂ වාණිජ කැමරා ශිල්පියෙක්..ඌ දවසකට අය කරන ගාන ලංකාවෙ මනුස්සයෙකුගෙ මාසෙ පඩියටත් වැඩියි.නිහාල් දැන් ඉන්නෙ ඉතාලියෙ..ඌ එහෙදිත් කොමර්ෂල් හදනව නාට්‍ය රඟපානව.ප්‍රභාත් දැන් ස්වර්ණවාහිනියෙද කොහෙද...මම විතරයි කලාවට සම්බන්ධයක් නැති රස්සාවක් කරන්නෙ.

ඕව ඔහොම තමා නේද.

ඔය දවස්වල ගත්ත පින්තූරයක් තමා මම දාල තියෙන්නෙ...මේ පින්තූරෙ එල්සන් දිවිතුරුගමට පස්සෙ හිටගෙන ඉන්න රැවුල්කාරය මම...ඩෙනිම් ජැකට් එකක් ඇඳන් ඉන්නෙ නිහාල්...උඩට ෂර්ට් එකක් නැතුව ඉන්නෙ රුවන්...අනිකගෙ නම මට මතක නෑ.
 මගෙ ගාව මේක තිබ්බෙ නෑ නිහාල් එෆ් බී එකට දාල තිබිලයි මම ගත්තෙ.

Tuesday, February 12, 2013

28.ඩැනීගෙ කතාව



අපේ ගමට ඩැනී එනකාලෙ අපි පොඩි එවුං...ඩැනී අබේලගෙ තාත්තගෙ අය්යගෙ පුතෙක්..රෙදි මෝලෙ රස්සාව හම්බ වෙලා අබේලගෙ ගෙදරට ඇවිත් නැවතුනා වැඩට යන්න.

මම හිතන හැටියට ඔය කාලෙ 1968 විතර වෙන්න ඇති...අපේ ගේ කඩල එතන අලුත් ගෙයක් හදන නිසා අපි නැවතිලා හිටියෙ පාර අයිනෙ කුලී ගේක..ඔය කුලී ගෙයි හිටපු කාලෙ තමයි ඩැනියව ඉස්සෙල්ලම දැක්කෙ.

ඩැනී බොහොම උසයි...හරි කඩවසම් තරුණය... වැඩ ඇරිල අපේ ගේ ඉස්සරහින් යන්නෙ අපටත් විහිලු කර කර...ඩැනී කියන්නෙ නියම නම නෙවෙයි නියම නම ඊ විජේසේන....ගෙදරට කියන නම වෙන්න ඇති ඩැනී..කොහොම හරි විජේසේන කිව්වොත් වැඩපොලේ ඇරෙන්න ගමේ නම් කවුරුවත් දන්නෙ නෑ.


ඇවිත් අවුරුදු කීපයක් ගතවෙනකොට ඩැනී ගමේම කෙනෙක් බවට පත්වුණා..වැඩ ඇරිල ඇවිත් යාලුවො කට්ටිය එක්ක කයිය ගගහ ඉඳල රෑ වෙනකොට කුදාර් වෙන්නම බොන එක තමයි මිනිහගෙ එකම විනෝදාංශය වුණේ.

බීල අපේ ගේ ඉස්සරහින් පාරෙ යද්දි අපි ඩැනියට විහිලු කරනව..හැබැයි ටිකකින් අපිමයි බයිට් එක වෙන්නෙ.
ඩැනී දැන් නිසි වයස පිරුණු තරුණයෙක්...රස්සාවකුත් කරන නිසා පරස්තාවක් කරගන්නයි දැන් අදහස...කපුවන්ට කියල කෙල්ලො හොයනව,බලන්න යනව.

ඩැනිය මනමාලියො බලන්න යන එකත් අපූරු කතාවක්...ඔන්න කපුව කියනව අහවල් දවසෙ එන්න කියල කෙල්ලෙක් බලන්න යන්න...යාලුවට එක්කං යන්නෙ තේමිස්ව,ඩැනිය උදෙන්ම ඇඳගෙන තේමිස්ලගෙ ගෙදරට ඇවිත් තේමිසුත් එක්ක ගමන පිටත්වෙනව...අලවත්ත පාරෙ පල්ලමේදි තේමිස් කියනව..

මෙහෙම යන්ඩ බෑ බං...මට නං පොඩ්ඩක් ඕනැ ..කියල

ඒ ගමන ලොක්කයියලගෙ ගෙදරට තේමිස්ව එක්ක ගිහින් සුදුව කාලක් අරන් දෙනව...මනමාලයො බොන්නෙ නෑනෙ
ඒ වුණාට තේමිස් අසෝක වීදුරුවෙන් කට කපල එකක් රස කර කර බොනව දකින ඩැනියගෙ ඉවසීමේ සීමාවන් කඩාගෙන බිඳගෙන ගිහින්...

මටත් කාලක් දෙන්ඩ ....කියල ඌත් කාලක් බොනව.

ගමමැද පාරෙන් ගිහිං මිකාඩාවත්ත හරියට යනකොටතේමිසා කියනව..

වැඩක් නෑ බං අරූගෙ බඩු ඇල්වතුර වාගෙ....කියල

චික් විතරක් හැබෑට... කියන ඩැනියත් කෙළ ගහනව....

ඒ හරියෙමයි වතුරවලේ ඇඩ්ඩිංගෙ පොට් එක තියෙන්නෙ..දෙන්න එක්ක එතෙන්ටත් ගිහින් තව වීදුරුව වීදුරුව දාගන්නව...

ටවුමට ගියාම එතන තිප්පොලෙනුත් සප්පායම් වෙන්න දෙන්න අමතක කරන්නෙ නෑ.
මනමාලිගෙ ගෙදරට යනකොට මුං දෙන්නට හොඳ ගණං...වැනි වැනි යන්නෙ.

කවුද ඉතිං මුන්ට ගෑණු දෙන්නෙ..ඈ...දෙයි පිස්සො නං

 හැමදාම මනමාලියො බැලිල්ල ඔය විදියයි.

ඔහොම කාලය ගතවෙලා යද්දි ඩැනී එකපාරටම අසනීපෙන් වැටුණ....අසනීපෙ මොකක්ද කියන්න නම් මම
දන්නෙ නෑ..අපි පොඩියිනෙ...සෑහෙන කාලයක් ඉස්පිරිතාලෙත් හිටිය.

සනීප වෙලා ගෙදර ආවෙ ඉස්පිරිතාලෙට ගියපු ඩැනී නෙවෙයි...සරීරෙ වැහැරිලා..කුදු ගැහිලා..හරියට නගුලක් වාගෙ.
එච්චර කල් ඩැනිස්ටර් කිය කිය හිටපු එකාට එදා ඉඳන් කිව්වෙ කුඳ කියලයි.

දැන් ඩැනී ආපහු වැඩට යනව..හවසට බොනව..ඊට අමතරව රොසන්ටටත් සැට් වුණා.

 හෝව් හෝව් දැන් අහන්න එපා රොසන්ටා කියන්නෙ කවුද කියල....අපේ ගමේ හිටපු ඒ ශ්‍රේණියෙ ලර්නර්ස් එකක්.... අවුරුදු ගාණක පළපුරුද්ද...මම රොසන්ටා ගැන වෙනම පෝස්ට් එකක් දාන්නම්.

මේක මට හේමචන්ද්‍ර කියපු කතාවක්...

දවසක්දා රෑ හේමය රොසන්ටව ඒ ළඟ තිබුණු වලං මඩුවට උස්සල....දැන් ජෝඩුව වළං මඩුවෙ පෙම්සුව විඳිනව...

වැඩ ඇරිල නස්පුක් වෙන්න ගහල ගෙදර ආපු ඩැනියට තදබල විදියට රොසන්ටව ඕනැවෙලා හොයන්න ගියාට ඉඳල නෑ...රොසන්ටව සෙවීමේ ඒක පුද්ගල මෙහෙයුමක් දියත් කරපු ඩැනිය හැම පඳුරක් ගානෙමයි ගලක් ගානෙමයි රොසන්ටව හොයල නැතිතැන වළං මඩුවට ඇවිත්.

 පට්ට කරුවලේ වළං මඩුවට ආපු ඩැනිය පැලැල්ල ඇරගෙන ඇතුළට ආවට මූට මොකුත් පේන්නෙ නෑ....හැබැයි මඩුව ඇතුළෙ තුරුල්වෙලා හිටපු ජෝඩුවටනං මූව හොඳට පේනව....වැඩිය ඇතුළට යන්නත් බෑ
වෙරි මරගාතෙ බිම පත බෑවුණොත් කියල මඩුවෙ හැම අතටම කකුල දික්කර කර බලනව කවුරු හරි කකුලෙ වදීද කියල...රොසන්ටවත් වඩාගත්තු පේමය මූ පැත්තකට කකුල දානකොට අනික් පැත්තට පනිනව....හොයල හොයල බැරිතැන ඩැනිය යන්න ගිහිං.

හේමය මේ කතාව රසකර කර කිව්ව..එතකොට ඩැනිය කියනව...

මම ඒකි එනකං ගේ ළඟ රැකල හිටිය යකෝ....

මූ කොහොමහරි රොසන්ට එනකං රැකගෙන ඉඳල ...එනකොට අතින් අල්ලගෙන ආපහු මඩුවට එක්ක ගිහිං.

අපරාදෙ කියන්න බෑ...රොසන්ටත් හරිම හිත හොඳ ගෑණි..පුලුවන්කමක් තියනව නං කවදාවත් බෑ කියන්නෙ නෑ...අනික් කොච්චර උනත් ඩැනියත් ඩේලි කස්ටමර් කෙනෙක්නෙ....අනික තමයි ඩැනියගෙ තුන්වෙනි කකුල...අප්පට හුඩු..ඒකනෙ ගැජට් එක.

ඇස්වහක් කටවහක් වදින්ඩ නං එපා..හරියටම අතපය නැති පොඩි එකෙක් ඔඩොක්කෙ තියාගෙන ඉන්නව වගේ....ග්‍රාමසේවකට පෙන්නුව නම් ආහාර මුද්දරේකුත් ගන්න තිබුණ.

රොසන්ටම හින්ද ඔරොත්තු දෙනව...රෑ වෙනකම් ඕවර්ටයිම් කළත් පාඩුයැ රොසන්ටට ඕකෙන් හම්බවෙනව නං.

 ඩැනියත් එක්ක එකට බොන තව එකෙක් තමා රණතුංග...රණය වැඩ ඇරිල ඇවිත් මහ රෑ අබේලගෙ මිදුලට ගිහිං ඩැනියට කතාකරනව බොන්න යන්ඩ...

කුඳ...කුඳ...කියල...

ගෙදර නිදාගෙන ඉන්න අබේලගෙ තාත්තට ඇහැරිලා අහනව...හිමිහිට

කවුද මේ මහ රෑ...කුඳ...කුඳ,,කියන්නෙ කියල.

සැරයක් එහා ගමේ නටපු නාට්‍යයකත් ඩැනීට චරිතයක් තිබුණා...චරිතෙ හැටියට මූ පත්තරයක් කියවන්න ඕනැ එක තැනක...මේකා ආත්මෙකට අකුරක් කියවන එකෙක්යැ...පත්තරේ කියෙව්වෙ හරියට වෙස්සන්තර ජාතකය කියවනව වගේ...අපිට ඉළ නෑ හිනා.

ඔන්න ඔය විදියට කාලය ගතවෙමින් ළමා අපිත් ඉලන්දාරි බවට පත්වුණු කාලෙ දවසක්දා මම සැන්ටිං මුදලාලිගෙ කඩේට ගියෙ ගෙදරට මොනවහරි ගේන්න.

කඩේ බංකුවක් උඩ ඔලුව බිමට නමාගත්තු ඩැනිය වාඩිවෙලා ඉන්නව...වටේටම කට්ටිය වටවෙලා.
මාත් කිට්ටුකරල බැලුව මේ මොකක්ද වෙන්නෙ කියල...

නාරංවත්තෙ පාලු ගේකදි ඩැනිය මැරෙන්න වහ බොන්න ගිහිං කට්ටියට අහුවෙලා.

මූ මැරෙන්න බොන්න හදල තියෙන්නෙ රෙදි මෝලෙන් අරගෙන ගිය ඩයි කුප්පියක්..ඒක බිව්වට වමනෙ යනව මිසක් මැරෙන්නෙ නෑ...වහ කුප්පියෙන් ටිකක් බීල...ඒක බොන්න කළින් මූ හොඳටම කසිප්පු බීල ඉඳල තියෙන්නෙ මැරෙනකං බිම නිදාගෙන ඉන්නවලු...ලියුමකුත් ළඟ තිබිල තියෙනව.

ඩැනීවත් ඇදං කඩේට ආපු කට්ටිය මූට මඩ ගහනව..ආරියදාස ගෙනාපු ලියුම කියවනව...ආරියදාස තමයි මඩ කණ්ඩායමේ නායකය.

ඩැනිය නෙවෙයි වචනයක්වත් කතා කරන්නෙ..බිම බලාගත්වනමයි...

පොලිස් ස්ථානාධිපති තුමා වෙත..
මගේ කැමැත්තෙන්ම සියදිවි නසා ගන්නා බවත් මගේ මරණයට කිසි කෙනෙක් වග කිවයුතු නොවන බවත්....

ඈ ඕයි...මේවද මැරෙන වෙලාවෙ ලියන්න ඕනැ..ඈ

මගේ මරණයෙන් පසු මටලැබෙන යම් කිසි මුදලක් ඇත්නම් මගෙ ණය ටික ගෙවන්න කියල නේද...දැං බලනව ..තමුසෙ සැන්ටිං මුදලාලිට කීයක් දෙන්න තියෙනවද...කෝ මොනවද ඒ ගැන ලියල තියෙන්නෙ...එතකොට ලොක්කයියගෙන් කසිප්පු බීල කොච්චර ගෙවන්න තියෙනවද..ඕවනෙ ඕයි ලියන්න ඕනැ.
 තමුසෙ මේ කවදාවත් ඇහැටවත් දැකල නැති පොලිස් ස්ථානාධිපති කෙනෙකුට ලියනව...

මඩ වරුසාවයි...ඒව අහගෙන ඉන්නවට වැඩියෙ බෙල්ලෙ වැල දාගත්ත නං හොඳයි කියල ඩැනියට හිතෙන්න ඇති.
ඔය විදියට කාලය ගතවුණා..ඩැනීගෙ බීම වැඩිවුණා මිසක් අඩුවුණේ නෑ.

ඔය කාලෙ තමා රෙදිමෝලෙ වැඩකරපු අයට වන්දි අරගෙන අයින් වෙන්න ක්‍රමයක් මෝලෙන් සකස්කලේ...දැන් රස්සාව කලා ඇතියි කියල හිතපු ඩැනී අවුරුදු විසිගාණක් කරපු රස්සාවෙන් වන්දිත් අරගෙන අයින්වුණා....රස්සාව නැතිවුණාට ඩැනීට වෙන රස්සාවක් තිබුණෙ නෑ ජීවත්වෙන්න...අනික කුලී වැඩ බර වැඩ කරල පුරුද්දකුත් නෑ කරන්නත් බෑ අසනීපෙ නිසා.

වන්දි මුදලුයි අර්ථසාධක අරමුදලෙ මුදලුයි බැංකුවෙ දාල පරිස්සම් කරල දෙන්න නෑදෑයො හැදුවත් මූ ඒකට කැමතිවුණේ නෑ...සල්ලි ඔක්කොම අතේ තියාගෙන යාලුවො එක්ක බොන්නයි....එක එක පිස්සු වැඩ කරන්නයි වියදම් කළා..ණය ටිකත් ගෙවල දැම්ම.

ලැබුණු මුදල් ටික ඉක්මනටම දියවෙලා ගියා...ඩැනී අතේ සතේ නැති හිඟන්නෙක් ගාණට වැටුණා...සල්ලි අතේ තියෙනකොට වටේ හිටපු යාලුවො කවුරුවත් දැන් නෑ..අරක්කු ටිකක් බොන්න විදියක් හොයාගෙන පිස්සෙක් වාගෙ පාරවල් ගානෙ යන ඩැනිය ගමේ අයට සුපුරුදු දසුනක් වුණා.

 බීපුවාම මූ හදන්නෙ මැරෙන්නමයි...කීප සැරයක්ම කෝච්චියට පයින්න යනව කියල ගිය වෙලාවෙ කවුරු කවුරුහරි දන්න අය ආපහු ඇදගෙන ඇවිත් තිබුණා.

කොහොමටත් තමන් වැටිල හිටපු දුක්ඛිත තත්වයට  වඩා මැරෙන එක හොඳයි කියල ඩැනීටත් හිතෙන්න ඇති.
ඔන්න 1984 අවුරුද්දෙ මාසෙ මට හරියට මතක නෑ..එක හැන්දෑවක අබේලගෙ සුදු මල්ලි මාව හම්බවෙන්න දුව දුවගෙන ආවා...අබේ එතකොට පිස්සු හැදිල ඉස්පිරිතාලෙ.

බලන්නකො ඩැනී අය්ය කෝච්චියට  හැප්පිලාලුනෙ..සුදු මල්ලි විස්තරේ කියාගෙන ගියා...එයා දන්නෙ නෑලු දැන් මොකද කරන්න ඕනැ කියල...දැනුම් තේරුම් ඇති කෙනෙකුත් නෑනෙ මේව කියල දෙන්න...මට කතාකලා ඇවිත් උදව් කරන්න කියල.

 මාත් ඒ ගමන ලෑස්තිවෙලා සුදු මල්ලිත් එක්ක පොලිසියට ගිහින් පැමිණිල්ලකුත් දාල රාළහාමි කෙනෙකුත් එක්ක මල් ශාලාවෙ හර්ස් එකත් අරං ඩැනී කෝච්චියට හැප්පුනු තැනට යනකොට වෙලාව හවස තුනට තුනහමාරට විතර ඇති.

මළකඳ රේල්පාර අයිනෙ පොල් අත්තකින් වහල තිබුණා...ඔලුව පිටිපස්සෙන් යටට කඩාගෙන ගිය තුවාලයක් මිසක වෙන කිසිම තුවාලයක් ඇඟේ තිබුණෙ නෑ.

වෙලා තියෙන්නෙ මේකයි..කෝච්චියට පනින්න ආපු ඩැනී රේල් පාර අයිනට වෙලා ඉඳල.....කෝච්චිය එනකොට මූට පනින්න බය හිතිල එතනම පාත්වෙලා ඉඳගෙන...කෝච්චිය ගියා කියල හිතල නැගිටින කොට අන්තිම පෙට්ටියෙ පුට්බෝඩ් එක ඔලුවෙ වැදිල ඔලුව පිටිපස්ස කඩාගෙන ගිහිං....ඔන්න ඔහොමයි ඩැනීගෙ අවසානය වුණේ.

අරක්කු පොලේ එකට බොන ඩැනියගෙ යාලුවෙක් එතෙන්ට ඇවිත් කෑ ගහනව..

අනේ ඩැනියෝ උඹ මොකද මේ කරගත්තේ කියල...

පොලිසියෙ රාළහාමි අවශ්‍යකරන සටහන් ටික ලියාගත්තට පස්සෙ මළකඳත් හර්ස් එකට පටවගත්තු අපි ටවුමට ආව.

ඒ කාලෙ ටවුමෙ තිබුණනෙ මෝචරියක් මාතෘ නිවාසෙ...මාතෘ නිවාසෙයි නොමිලෙ බේත් දෙන ඩිස්පැන්සරියයි දෙකම එකතැන තිබුණෙ...ඔය මාතෘ නිවාසෙ තමයි මාත් ඉපදිලා තියෙන්නෙ....අපේ අම්මට මාව හම්බවෙන්න අමාරුවෙලා ඉස්පිරිතාල කීපෙකටම ගියත් හම්බවෙලා නෑ...අන්තිමට වෙන කොහෙවත් යන්න වෙලාවක් නැතුව මාතෘ නිවාසෙට ඇතුල් කලාම තමයි මාව හම්බවෙලා තියෙන්නෙ.

ඒ මාතෘ නිවාසෙයි ඩිස්පැන්සරියයි දෙකම මේ ළඟදි කඩල දැම්ම බස් ස්ටෑන්ඩ් එක හදන්න.

 අපිත් එක්ක වැඩකරපු කෙල්ලෙකුගෙ අක්කත් ඔය මාතෘ නිවාසෙ වැඩකලා..ඒ කෙල්ල නැවතිල හිටියෙත් අක්කට ලැබිල තිබුණු ක්වාටස් එකේමයි.

අපි දෙන්න අතරෙ ලාවට මෝදු වේගන ආපු සෙනෙහසක් ඒ දවස්වල තිබුණා දෙන්න කියාගත්තෙ නැතුවට...අක්ක මේ ගැන දැනගෙන හිටිය විතරක් නෙවෙයි..මුලු හදවතින්ම සහයෝගය දුන්න.
මම මෝචරිය ගාව එහෙට මෙහෙට දුව පනිනව දැකපු අක්ක අඬාගෙන මගෙ ලඟට දුවගෙන ආව....

අනේ..බුදු මල්ලියේ මේ මොකද වුණේ.... කියල

මම කිව්ව ...හා..හා..මෙතන කෑ ගහන්න එපා අක්කෙ..මේ යාලුවෙකුගෙ අයිය කෙනෙක් මැරිල...අක්කා කෑ ගහන්නෙ නැතුව ගිහිං වැඩ කරන්න ... කියල..

ආ එහෙනම් කමක් නෑ කියපු අක්ක ආපහු ගියා...

පහුවදා මරණ පරීක්ෂණය තිබ්බට පස්සෙ මිනිය ගෙනත් අපි අවසන් කටයුතු කළා.

සුදු මල්ලි පස්සෙ කාලෙක විවාහ වෙලා තෙලවල පදිංචියට ගියා...අර කෙල්ලත් එක්ක මගෙ තිබුණු ඇයි හොඳයියත් වැඩි දුර දිග යන්න කලින්ම නැතිවෙලා ගියා.

මම වෙන ඉස්පිරිතාලෙකට මාරුවෙලා ගියාට පස්සෙ මට ඒ කෙල්ලව අද තව වෙනතුරු දකින්න ලැබුණෙ නෑ.
ඕව ඔහොම තමයි නේද.....

Saturday, February 9, 2013

27.වලේ කට්ටිය




අද මම ලියන්න හිටියෙ දන්සැල් කතාවක්...නමුත් ඒ කතාව ලියන්න කාලය මේක නෙවෙයි කියල මට පස්සෙ හිතුන..

දන්සැල් කතා හරියන්නෙ වෙසක් මාසෙටනෙ...ඒ කතාව පස්සට තියල අද වෙන කතාවක් කියන්නම්.කතාවක් කිව්වට මේක කතාවක්ම නෙවෙයි..මොකක්ද කිව්වොත් මම සෑහෙන කාලෙක ඉඳල නිරීක්ෂණය කරපු අපේ ගමේ සිද්දවෙන අවමංගල චාරිත්‍ර කීපයක්.සමහරක් චාරිත්‍ර අපේ ගමටම අනන්‍ය වෙච්චි ඒව කියල මට නිකමට වගේ හිතුන නිසා තමයි ලියන්නෙ..ලියද්දි ටිකක් වටෙත් යයි...ගණං ගන්න එපා.

පළවෙනි එක තමයි පොත...මේ පොත කවුරු පටන් ගත්තද කොයි කාලෙ ඉඳන් පැවත එනවද කියල කවුරුවත් දන්නෙත් නෑ හොයන්න උත්සාහ කරලත් නෑ.

ගමේ මරණයක් උනහම මුළු ගමේම ගිහිං පොතට සල්ලි එකතු කරල අර මරණ ගෙදරට බාර දෙනව පොතත් එක්කම.
ඊළඟ මරණෙදි පොත ගෙදර තියෙන අය තමයි සල්ලි එකතු කරන්න ඕනැ..ඔය විදියට පොත ගමේ හැම තැනම යනව..දැන් පාවිච්චියට ගන්නෙ කීවෙනි පොතද කියල කවුරුවත් දන්නෙ නෑ.

ඊළඟ චාරිත්‍රය වල කැපීම හා සම්බන්ධ එකක්....මරණයෙ අවසාන කටයුතු කරන දවසෙ ටිකක් දවල් වෙන්න වගේ වල කපන අය කීප දෙනෙක් මරණ ගෙදරට යනව...ඒ යන අයගෙන් කෙනෙකුට මරණ ගෙදරින් බුලත් හෙප්පුවක් පිළිගන්වනව..ඒ බුලත් හෙප්පුව දීම තමයි වල කපල දෙන්න කියල කරන ආරාධනය....එතකොට හෙප්පුව ගත්තු කෙනා තමයි කනත්තෙත් වල කපන කණ්ඩායමෙත් නායකය.

 මරණ ගෙදරින් උදැල්ල යකඩ ඉන්න කැත්ත වාගෙ ආයුධත් එක්ක බුලත් පහේ මල්ලකුත් දෙනව ඔරේන්ජ් බාර්ලි බෝතල් දෙකතුනක් එක්ක...

ඉස්සර නම් ඔය මල්ලට කසිප්පු බෝතල් දෙකකුත් දාලයි දෙන්නෙ...ඒ වැඩිහිටියො වලවල් කපපු කාලෙ.
වලවල් කැපිල්ල වැඩිහිටියන්ගෙන් අපි අතට ආවට පස්සෙ අපි ඒ ජරා සිරිත නැවැත්තුව.

කනත්තට ගිහින් ඉස් ඉස්සෙල්ලම කරන වැඩේ තමයි වල අල්ලන එක.වල අල්ලනව කියන්නෙ වල කපන්න තැනක් හොයාගන්න එක.කලින් මිනියක් වල නොදාපු තැනක් හොයල එතන තමා වල ලකුණු කරන්නෙ.

 ඒක කරන්නෙ හොඳට පළපුරුද්ද තියෙන අය..මාත් ඕනැතරම් වලවල් බාර අරගෙන තියෙනව..ඒ වුණාට කරන්න නම් වුණේ කවුරු හරි කෙනෙක් පෙන්නන තැන වල ලකුණු කරල දෙන එක විතරයි.ඊට වැඩියෙ උදලු පාරක්වත් ගහන්න ලැබිල නෑ...ඇයි ඕනැතරම් කට්ටිය වැඩට ඉන්නවනෙ.

වල ලකුණු කරන්නෙ එකක් ඉස්සරහින් එකක් වශයෙන් උදලු පාරවල් තුනක් ඉස්සරහට කොටාගෙන යන එක.
ඊට පස්සෙ කට්ටියක් වල කපන්න ගන්නව තවත් කට්ටියක් වටපිට සුද්ද කරන්න ගන්නව..ඉතුරු ටික කනත්තට ඇතුල් වෙන තැන තොරණ ගහන්න ගන්නව.

වල කණ්ඩායමේ නායකයට තියෙන්නෙ අඩුපාඩු හොයල බලල සපයන එකයි කෑම බීම ගැන බලාගන්න එක වාගෙ දේවල් තමයි.වල බාර අරන් ඉන්නෙ සල්ලි කාරයෙක් නම් වල සරුයි....එතකොට කනත්තට මිනිස්සු එකතු වෙන්නෙ ගූ බෙට්ටට නිළ මැස්සො වහනව වගේ තමා....හැබැයි වැඩ කරන අය ටිකයි..වැඩිපුර එන්නෙ පිනට බොන්න එන අපතයො.

පළවෙනි පාර බෝතල් හය හතක්වත් ගෙන්නන්න ඕනෑ මොකද එක බෝතලයක් රවුමක් යන්නත් මදිනෙ.
ඔය වෙනකොට වාහන හත අටක්වත් කනත්තෙ පාර අයිනෙ නවත්තල තියෙනව..ත්‍රී වීල් සයිකල් අත් ට්‍රැක්ටර් ආදිය...ගමෙන් පිට පදිංචි වෙලා ඉන්න කොල්ලො මළගෙදරට ඇවිත් කතා කරල වාහනේට නැගල කෙලින්ම එන්නෙ කනත්තට.
 ඉර හැරෙන කොට බෝතල් දහයක් වත් හිස්වෙලා..වල කපනව නෙවෙයි වල මවනව.....එච්චර ලස්සනට වැඩේ කෙරෙනව.

ඔය අපේ අලවත්තෙ කනත්ත තියෙනව නේද..හරිම ෂෝක් පස නිකං පිටි වාගෙ..වලක් කපන්න උදැල්ලක් ඕනැ නෑ මන්නයක් තිබුණොත් ඇති.

අපේ තාත්තල ඉස්කෝලෙ යන කාලෙ ඔය කනත්තෙ රටකජු වැව්ව කියල මාත් එක්ක කියල තියෙනව.
හැබැයි වැහැල පස පොඟල දිය සීරාව අල්ලල තියෙන කාලෙට පාර අයිනෙ වලවල් අල්ලන්න හොඳ නෑ..වල කඩාවැටෙනව කොහොම හරි කපාගත්තත් වතුර උනනව.

වලක් කපන්න ගත්තයින් පස්සෙ මොනම හේතුවකටවත් ඒ වල වහල වෙන එකක් කපන්න හොඳ නෑලු..සැරයක් ඔය වයසක සැට් එක වලවල් කපාපු කාලෙ අල්ලපු වල කඩාවැටිල වෙන වලක් කපල තමයි මිනිය වලලල තියෙන්නෙ...ඔය වල කපපු සැට් එකේ හිටිය ආරච්චි කියල මනුස්සයෙක්..අපේ අට්ටගෙ සීය.

එදා මේකා කණමදය වාගෙ බීල ගෙදර ඇවිත් නිදි.

අපි කට්ටිය රෑ ගෙට පැන්න මූව බය කරන්න.

ආරච්චියො...ආරච්චියෝ...එකෙක් උගුර යටින් කෑ ගහනව මුගෙ ඇඳ ළඟට බඩගාගෙන ගිහිං.

මොකාද බොල හු xxxx පුතා..... මූ වෙරි පිට අහනව.

 මම ඩැනී තෝ අරගෙන යන්නයි මම ආවෙ..කියල තව එකෙක් කියනව..

ආරච්චිය කුණුහරුප ඉවර කරනව..බලු බැණුම්..ඒ මදිවට මූ පණබයේ ඇඳේ ගුලිවෙලා.

එදා මහ රෑ වෙනකම් අපි හොල්මන් කලා..

ඔන්න ආපහු වටේ ගියානෙ..කොහෙද පීලි පනින එක නවත්තන්න බැරි කොට.

මරණ ගෙදරට කෑම දෙන ගෙදරින්ම කනත්තටත් කෑම ගේනව...සැරයක් කනත්තට කෑම පාර්සල් හැත්තැපහක් ගේන්න වෙලා..ඒ පියදාස මුදලාලිගෙ පවුලගෙ මරණෙ වෙලාවෙ...හිතාගනිල්ලකො කනත්තෙ හිටපු සෙනග කොච්චරද කියලා.
 ඔය වැඩේට පියදාස මුදලාලි එක එක කතා කියල තිබුණ...කන්න දීල කතා කියනවට අපි කැමති නෑ.. වහාම ක්‍රියාත්මක වෙන පරිදි ඊළඟ මරන ගෙදර ඉඳල කෑම ගෙන්න ගන්න එක නතර කළා.

ඊට පස්සෙ අපි වල කපද්දි අහළ පහල දන්න ගෙදරකට බඩු ගෙනිහින් දීල පරිප්පු හොද්දක් හදවගෙන සම්බෝලයක් තලෝගන්නව...ටවුමෙ බේකරියට දෙතුන් දෙනෙක් ගිහින් උණු පාන් ගේනව..ඒක තමයි අපේ දවල් කෑම.

කෑමෙන් පස්සෙ ඉතින් කරන්න කියල එච්චර වැඩක් නෑ...වලත් සරසල තොරණත් ගහල ඉවරයි එක එක කතා කිය කියා මඩ ගහගෙන කාලෙ ගෙවාදානව.

ඔන්න දැන් අරගෙන එනව කියල ආරංචිය ලැබුණාම හය දෙනෙක් ඇතුල්වෙන තැන තොරණ ලඟට යනව දෙන බාරගන්න.

තොරණ ලඟදි දෙන බාරගත්තු කට්ටිය වල ලඟට දෙන ගෙනත් තුන් වටයක් පැදකුණු කරල වල උඩ තැන්පත් කරනව.ඊට පස්සෙ වලේ නායකය කතාවක් කරමින් දේහයට අවසාන ගෞරව දක්වන්න නොලැබුනු කෙනෙක් ඉන්නව නම් ඒ අයටත් වලේ වැඩ කරපු අයටත් අවසාන ගෞරවය දක්වන්න අවස්ථාවක් ගෙදර අයගේ අවසර ඇතිව ලබාදෙනව.

ඊට පස්සෙ දෙන බොහොම ගෞරවයෙන් වලේ තැන්පත් කරල ඔක්කොමල්ල අනිච්චාවත සංඛාරා කියමින් වලට පස් දානව.ඊටත් පස්සෙ උදලුවලින් ඉස්සෙල්ලම පස් දාන්නෙ මියගිය අයගෙ ලඟම ඥාතීන්...ඊටත් පස්සෙ තමා වලේ කට්ටිය උදලු අතට ගන්නෙ...

ලස්සනට පස්කන්ද ගොඩ කරල ඉහ උඩින් කුරුම්බෙ කපල තියනව...මැදින් පොල් මල විහිදවල ගහනව..පය හරියට පොල් ගෙඩි දෙක තියල ඉටිපන්දම් හඳුන්කූරු පත්තු කරනව.

පය පාමුලින් පොඩි පාරවල් තුනක් කපනව...තුන් පැත්තට වම් පැත්තට ගල්, මැදට මල් ,දකුණු පැත්තට කටු...මැද තියෙන මල් පාරෙලු මළගිය ප්‍රාණකාරය යන්න ඕනෑ.

කනත්තෙ වැඩ කටයුතු අවසන් වෙලා වලේ කට්ටිය ආයුධත් අරගෙන කෙළින්ම යන්නෙ මරණගෙදරට..මිදුලෙ තියපු මේසෙක බිස්කට්,සිසිල්බීම,බුලත්විට තියල සුදු රෙද්දකින් වහල වලේ අයට සං ග්‍රහයක් ලෑස්ති කරල තියෙනව...ඒ ගොල්ල සංග්‍රහය බුක්ති විඳිනකල් කිසි කෙනෙකුට සංග්‍රහ කරන්නෙ නෑ.

ඉස්සර නං ඔය මේසෙට බෝතල් දෙකකුත් තිබ්බලු..ඒ සිරිත අපි නැතිකරල දැම්ම.

ගෙදර කෙනෙක් ඇවිත් වලේ නායකයට ඇස්ස කපාපු කුරුම්බ ගෙඩියක් දෙනව පිහියකුත් එක්ක...එයා කුරුම්බ ගෙඩිය සිදුරු කරල කුරුම්බ වතුර උගුරක් බීල අනික් අයට දෙනව...හැම දෙනාම කුරුම්බ වතුර උගුර බැගින් එකම ගෙඩියෙන් බොනව...ඊට පස්සෙ තමා මේසෙට වාඩිවෙන්නෙ.

නායකය නැගිටල කියනව අපට භාරදුන්නු වැඩේ සාර්ථකව ඉෂ්ට කරලයි ඇවිත් ඉන්නෙ කියල..ගෙදර කෙනෙක් ඒ ගැන ස්තූතිය ප්‍රකාශ කරනව...ඊට පස්සෙ තමා සංග්‍රහය.

සංග්‍රහය අවසානයේ ගෙවල්වලට යන කට්ටිය දෙහි ගාල නාල පිරිසිදු වෙලා තමයි රෑට තියෙන මල බතට සහභාගි වෙන්න එන්නෙ.
 ඒ වෙනකොට ගෙදර සාලෙ අස් කරල හෝදල  කහ වතුර හෙම ඉහල තියෙන්නෙ....මරණෙ ගෙදරින් එලියට ගත්තු ගමන් දෙන තියල තිබුණු තැන ලිපක් බැඳල පොඩි මුට්ටියක බතක් උයනව....ඒ බත ගොට්ටකට දාල ගස් දෙබලක ගිහින් තියන්න ඕනැ කන්න ඉස්සෙල්ල.

මළ බතට වෑංජන හැටියට තියෙන්නෙ වට්ටක්ක,කරෝල හොදි,අලු කෙහෙල් මාලුව,පරිප්පු,කොළ මැල්ලුම් වගේ දේවල්....වට්ටක්කයි කරෝල හොදියි නම් අනිවාර්යයි.

බිම එලපු පැදුරුවල වාඩිවෙන කට්ටියගෙ ඉස්සරහින් කෙහෙල් කොළ එලල බත් මාලු පිණි බෙදනව.
 කන්න කලින් බත් පිඬක් අනල කෙහෙල් කොළයක් එලපු කුල්ලකට දානව..ඒක සත්තුන්ට කන්න.

හත් දවසෙ දානෙ වෙනකන් ගෙයි දොර ජනෙල් වහන්නෙවත් ගෙදර කට්ටිය තනිකරන්නෙවත් නෑ.

ඉවර කරන්න කළින් තව කතාවක් කියන්න තියෙනව....

වල කපන අය කනත්තෙ ඉඳන් කණ පැලෙන්න බොන එක ගැන මගෙ කිසිම මනාපයක් තිබ්බෙ නෑ...මුල ඉඳන්ම මගෙ අදහස උනේ මේ වැඩ කෙරෙද්දි හොඳ සිහියෙන් ඉන්න ඕනැ කියන එක.

දවසක් දා මම කොල්ලො කට්ටියට මේ ගැන කිව්වා..වලේ වැඩ ඉවර වෙනතුරු අපි නොබී වැඩකරමු...වැඩටික ඉවරකරලා බොන දෙයක් ගෙනල්ල බොමු කියලයි මම යෝජනා කළේ.

කිසිම විරෝධයක් පාන්නෙ නැතුව කට්ටියම එකඟ වුණා...ඊට පස්සෙ එළඹුණු මලගෙදර වල කපන වෙලාවෙ මට කට්ටියත් එක්ක යන්න වුණේ නෑ...පුතාගෙ ඉස්කෝලෙට ගිහිං එන්න වෙලා තිබ්බ හින්දා...මම ආපහු ගෙදර ඇවිත් කනත්තට යනකොට දවල් වෙලා තිබුණා.

යනකොටත් කට්ටිය අරක්කු ගෙනත් බීල විතරක් නෙවෙයි..පෙළක් උන් මාවත් විවේචනය කරලා...මම උන්ට නීති දැම්ම කියල.

මේක ආරංචි උණාම මට යකා නැග්ග...
 මම තොපිට දාපු ඇති මගුල් නීතියක් නෑ බොලව්..

තොපිම නේද මම කියපු දේට කැමති වුණේ ...කියල කේන්ති ගිය පාර මම සද්දෙන්ම කිව්ව.

උඹල කනත්තෙ බොනකං මම නෙවෙයි ආපහු වලවල් බාරගන්නෙයි...කනත්තට අඩියක් තියන්නෙයි කියපු මම ආපහු ගෙදර ආව.

එදා ඉඳල මම කනත්තෙ වලවල් කපන්න ගියෙ නෑ....මළගෙදරට සහභාගි වෙලා එතන වැඩ කටයුතු කරනව විතරයි..

කට්ටිය නම් සුපුරුදු විදියට කනත්තෙ බොනවලු...හැබැයි එච්චර සකිලයක් නෑලු....මොකද කලෙක්ෂන් එක වැටෙන්නෙ බොහොම ටිකලු...දවසක්දා එකෙක් කිව්වලු..

දැන් ඉතින් තෝරු මෝරු එකෙක්වත් නෑනෙ කියල.

 ඉතිං මම ඔය කිව්වෙ අපේ ගමේ අවමංගල චාරිත්‍ර කෙරෙන විදිහ බොහොම කෙටියෙන් ඔයගොල්ලොත් දැනගන්න ආසවෙයි කියල හිතුණු නිසා.
 

මේ චාරිත්‍ර ඔබේ පළාත්වලත් ඇති...සමහරවිට මීට වෙනස් චාරිත්‍රත් ඇති.
 

මේ ගැන සංවාදයක් ඇතිවෙනව නම් මම බොහොම කැමතියි..කාගෙත් දැනුම වැඩිකරගැනීම සඳහා.

Wednesday, February 6, 2013

26.දූපතේ නිවාඩුව



අද අපි ආපහු ලංකාවට යමු.....දිගින් දිගටම කිව්වෙ ඉන්දියාවෙ කතානෙ..හැබැයි තව ඉවර නෑ.
මේ කියන කාලෙ මම වැඩ කළේ වරායෙ ඔෆිස් එකක..දින වකවානු හරියටම කිව්වොත් අනූපහේ ජනවාරි මාසෙ.
ඒ දවස්වල අපේ ඔෆිස් එකේ සී සී හැටියට හිටියෙ ජී.ජී. ගුණසේන කියල මහත්තයෙක්..සංස්කෘතික දෙපාර්තමේන්තුවෙ ඉඳල මාරුවෙලා ආවෙ...ජාතික ඇඳුම ඇඳපු පොඩි මනුස්සයෙක් වුණාට ලොකු හදවතක් තිබුණා.
ඔය කියන ජනවාරි මාසෙ මට මතකයි එක දිගට නිවාඩු දවස් කීපයක් යෙදිල තිබුණ.ගුණසේන මහත්තය දවසක් මට කතාකරල ඇහුව නිවාඩුවට මොකද කරන්නෙ කියල.

විශේෂ යමක් නෑ...ඇයි සී.සී මහත්තය....කියල මම ඇහුව.

ඔන්න එතකොට මෙයා මටත් වාඩිවෙන්න කියල කතාවක් කිව්ව...කෙටියෙන් කිව්වොත් කතාව මේකයි.

ගුණසේන මහත්තයගෙ බිරිඳගෙ නංගි පදිංචි වෙලා ඉන්නෙ කොග්ගලලු.කොග්ගල කිව්වට ගමේ නෙවෙයි...කොග්ගල ඔය මැද දූපතක.

මෙදා සැරේ නිවාඩුවට ඒ ගොල්ල එහෙ යන්න හිතාගෙන ඉන්නෙ කිව්ව.මටත් කතාකළා යමුද කියල.

ඕකත් අහන්න දෙයක්ද...එයා මට කියපු විස්තරයේ ස්වභාව සෞන්දර්යයෙන් මම වශී වෙලා හිටියෙ.එන්න නොකිව්වත් බලෙන් හරි යන මානසිකත්වයක් එවෙලෙ මට තිබුණෙ.....මගේ උත්තරය මොකක්ද කියල කියන්න ඕනැ නෑනෙ.
 දකුණු පළාතටත් එහෙ මිනිස්සුන්ටත් මගෙ විශේෂ ලැදියාවක් කවදත් තියෙනව.මොකද මන්දා.

ඔය දවස්වල බිරිඳට බබා ලැබෙන්නත් දිනස්තර ලංවෙලා තිබුණෙ..ඒකෙ ගානක් නෑ උන්දැටත් ට්‍රිප් යන්න තියෙනව නං ඕනැ එකක්....එයත් යන්න කැමතිවුණා.

අපේ ඔෆිස් එකේ ක්‍රිස්ටෝපර්, ඌට අපි හුරතලේට කියන්නෙ කිටී කියල, කිටියත් ට්‍රිප් එකේ විස්තර දැනගෙන යන්න ඕනැ කිව්වම... හරි උඹත් වරෙන් කියල ඌට කිව්වා.

 ඔෆිස් එකේ අපිත් එක්ක වැඩකරපු කරු..කරුගෙ ගම හබරාදූවෙ. කරු කිව්ව අපි එනකොට හබරාදූවට ඇවිත් ඉන්නං කියල.

ඔන්න අපි ගමනට ලෑස්තිවුණා...නියමිත දවසෙ අපි කොටුවට කෝච්චියෙ ගියා මාතර එක්ස්ප්‍රස් එක අල්ලගන්න.ගුණසේන මහත්තයලයි කිටියයි බස් එකේ කොටුවට ඇවිත් හිටිය.

අපි කට්ටිය හත්දෙනයි..ගුණසේන යුවලයි,පුතයි දුවයි,කිටියයි,අපි දෙන්නයි.

උදේට කෑවෙ කෝච්චියෙදි...ගුණසේන මහත්තයල බටර් ගාපු පාන් පෙති රතු ලුණුමිරිස් එක්ක අරං ඇවිත් තිබුණා.පුදුම රසක්නෙ ඒක....අපි ගෙනිච්ච සීනි සම්බෝල පාන් ඒ ගොල්ලන්ට දීල අපි ලුණුමිරිස්ම කෑව.

 ඒ කෝච්චියෙ ගාල්ලට ගිහිං එතනින් හැමතැනම නවත්තන කෝච්චිය අල්ලගෙන අපි හබරාදූවට ගිහින් බහිනකොට උදේ එකොළහට විතර ඇති.

තද නිල්පාට සාගරයට උඩින් ඉර බැබළි බැබළි තිබුණා.කරු ඉස්ටේෂමට ඇවිත් හිටියා.

ගුණසේන මහත්තය සිල්ලර කඩේකට ගිහිං බඩු වගයක් ගත්ත නංගිලට..ඒවත් පටවගෙන කුලී වෑන් එකකට නැගගත්තු අපි කොග්ගල ඔය ළඟට ගිහිං එතන තිබුණු ඔරුවක් කතාකරගෙන ගුණසේන මහත්තයලගෙ නංගිල පදිංචි වෙලා ඉන්න ගං දූව බලා පිටත්වුණා.

 කොග්ගල ඔයේ දූපත් හතක්ද කොහෙද තියෙනව..කොත් දූව,ගං දූව,මඩොල් දූව ආදී වශයෙන්... එක දූවක භාවනා හාමුදුරුවරු ඉන්න ආරණ්‍යයකුත් තියෙනවලු.

අපි ගියපු ගං දූව අක්කර කීපයක් විශාලයි..ඒකෙ පදිංචි වෙලා ඉන්නෙ ගුණසේන මහත්තයලගෙ නංගියි එයාගෙ පොඩි පුතයි විතරයි.මහත්තය නෑ..ඒ ගොල්ල පදිංචි වෙලා හිටියෙ ටකරං වහපු පොඩි ගෙදරක.

දූපතේ පොල් වවල තිබුණට කිසිම සරුවක් නෑ...කණාටු කුරුඳු වගාවකුත් තැන තැන තිබුණා.සංචාරකයො දූපතට ආපුවම කුරුඳු තලන හැටි ඒ අයට පෙන්නනව..කුරුම්බත් කපල සංචාරකයින්ට බොන්න දෙනව.

පොල්ගස් වලින් කැඩෙන ගෙඩි ටිකෙනුයි සංචාරකයො දීල යන මුදලකිනුයි තමා ඒ අය ජීවිතේ ගැටගහගන්නෙ.

ගිය වෙලේ ඉඳන් අපි ඔයේමයි දිය බල්ලො වාගෙ..පොඩි එකා අපිවත් දාගෙන ඔරුව පදිනව මහ මිනිහෙක් වගේ.ගුණසේන මහත්තයටත් ටොප් එකට ඔරු පදින්න පුළුවනි..එතන තිබුණු පොඩි ඔරුවක් දියට දාල මම පැදගෙන ගියා..ටිකකින් මායි ඔරුවයි දෙකම නැවතුනේ ඔය පතුලෙ.

කොග්ගල ඔයේ සුන්දරත්වය මම වර්ණනා කරන්න යන එක විහිළුවක් මොකද මාර්ටින් වික්‍රමසිංහ වාගෙ ශ්‍රේෂ්ට නවකතාකරුවෙකුත් මේ ඔයේ සෞන්දර්යය වනල තියෙනවනෙ.මම කියන්නම්කො සාහිත්‍ය භෂාවෙන් වර්ණනා විෂයාතික්‍රාන්තයි කියල.

දවල් කෑමට ඔයෙන් අල්ලපු අලුත් මාලුත් එක්ක දකුණෙ රසවත් බත් වේලක් අපට ලැබුණා.

එදා ගුණසේන මහත්තයල දූපතේම නතරවුණා,අපිත් නවතින්නයි හැදුවෙ...ඒත් බබෙක් හම්බවෙන්න හිටපු බිරිඳට එහෙ සැප පහසුකම් මදි කියල කරු අපි දෙන්නවයි කිටිවයි එයාලගෙ ගෙදර එක්කං ගියා.කරුට හිටියා හුරතල් දුවෙකුයි ලැජ්ජාවෙන් මිරිකි මිරිකි හිටපු පොඩි පුතෙකුයි.

කරුලගෙ ගෙදර මීවිත රෑ කෑම සාද කතා අවසානයෙ අපි ඇඳට ගියෙ හුඟක් රෑ වෙලා. නිදාගන්න ගියාට මොන නිදාගැනිල්ලක්ද...

කණ පාත්වෙන්න බීල හිටපු කිටිය එහා කාමරේ ගොරවනව..ඒක මේ අපි උඹලගෙ ගෙරවිල්ල වාගෙ නෙවෙයි...හරියට ට්‍රම්පට් එකක් පිඹිනව වාගෙ.....අනේ උගෙ පවුලට නොබෙල් තෑග්ග දෙන්න වටිනව ඌත් එක්ක එක ඇඳේ නිදියනවට.

නිදාගත්තහම මාත් ගොරවනව මොකටද බොරු කියන්නෙ...ඒ වුණාට බිරිඳ බෙල්ල යටට කොට්ට එහෙම තියල ගෙරවිල්ල නවත්තගන්නව.

පහුවදා පාන්දරින්ම නැගිටල දූපතට යන්න පිටත් උනේ කොග්ගල ඔය ඉස්මත්තෙන් ඉර පායාගෙන එන සුන්දර දර්ශනයෙ පින්තූරයක් ගන්න මට ඕනැවෙලා තිබ්බ නිසා.

ගුණසේන මහත්තය ඔරුවත් අරගෙන තොටුපොළේ හිටිය..එයා ඇවිත් තියෙන්නෙ මාලුන්ට ඇං දදා...ඇම ඔය පතුළට ගියාම වතුරෙ උඩ ඉපියෙක් පාවෙනව....දූපතට ගිහිං අපි තේ බිව්ව.

එළිය වැටිල ටික වෙලාවකින් අපි දෙන්න ආයෙමත් ඔරුව අරං මාලුන්ට දාපු ඇං බලන්න ගියා.

ඇං කාල හිටපු මාලුත් ඔරුවට දාගත්තු අපි ආපහු එන්න හැරෙනකොට ඔයේ ඈත ඔරු පේළියක් යනව මම දැක්ක.
 ගුණසේන මහත්තය කිව්ව ඒ රෑ කකුළුවො අල්ලපු ඔරු ආපහු යනව...කියල

මම කිව්ව අපි කකුළුවො බලමුද... කියල

ඒ ගමන ගුණසේන මහත්තය හූවක් තිබ්බ....අර ඔරුවල ගමන නැවතුණා.

අපි ඉක්මණට හබල් ගහගෙන එතනට ගියා...තොප්පියක් දාගෙන හිටපු කෙට්ටු ඔරුකාරයෙකුගෙන් අපි කකුළුවො ගත්ත...ඒ පොදියෙ කකුළුවො තිහ හතළිහක් ඉන්නඇති....ඔරුකාරය අපෙන් ඉල්ලුවෙ රුපියල් අනූවයි.

එදා උදේ කෑමට අපි අල්ලගෙන ආපු මාලු ඇඹුලකුයි කඩපිම්මෙ තම්බපු පිට්ටුයි තමා තිබුණෙ....කාල බලන්න එපෑ ඒවයෙ රස.

දවල් බතට ලුණු ගම්මිරිස් දාල තම්බල ගත්තු කකුළුවො ගාපු පොල් එක්ක තියල තිබුණා.

අපි බත් කෑවෙ නෑ..තම්බපු කකුළු මාලු පොල් එක්ක හරිම රසයි.

හවස් වරුවෙ අපි ලොකු ඔරුවක් බාගෙන දූපත වටේ ගිහිං අනික් පැත්තෙන් දූවට ගොඩවුනා,
ඒ ගියෙ කිරළ කඩන්න...දූපතේ ඒ පැත්තෙ කිරළගස් පිරිල තිබ්බ..කිරළත් කඩොළාන වර්ගයක්නෙ...ගෙඩිය හරිම මිහිරි සහ තියුණු සුවඳයි.

අපි කඩාගෙන ආපු කිරළ මිරිකල කිරි හදල දුන්න...කිරළ කිරි හරිම සීතලයිලු.

ලෝකෙන් ඈත්වෙලා ගතකල ඒ දවස් හරියට හීන ලෝකයක් වගේ...සාමය සතුට හදවතේ රජකරපු දින තුනක්.

අන්තිම දවසෙ හැන්දෑවෙ දූපතේ අයගෙන් සමුඅරං ගොඩට ඇවිත් හබරාදූවෙ වෙරළටත් ගිහිං කරුලගෙ ගෙදර ඇවිත් නිදාගත්තා.

පහුවදා උදෙන් පිටත්වෙලා ගාල්ලට ඇවිත් කෝච්චිය අල්ලගෙන ගෙදර ආව.

මගෙ රීල් දාන කැමරාවෙන් ගත්තු ට්‍රිප් එකේ පින්තූර ගෙදර ඇල්බම් එකක තිබුණා...දැන්නම් මා ළඟ නෑ..තිබ්බනං එකක් දෙකක් දාන්න තිබුණා.

අපි ඒ ගමන ගිහිං පහුගිය ජනවාරියට අවුරුදු දහ අටක් පිරුණා.....මම ඒ ඔෆිස් එකෙන් මාරුවෙලා ගියායින් පස්සෙ ගුණසේන මහත්තයව ඇහැට දැක්කෙවත් කතාකරන්න ලැබුණෙවත් නෑ...ඒ දවස්වලම රිටයර් වෙන්න ඇති.
 කරුත් දැන් රිටයර් වෙලා ගෙදර ඉන්නෙ...කරුගෙ පුතයි පොඩි දුවයි දෙන්නම දැන් මෙඩිකල් කොලේජ් එකේ කියල දවසක් මම කතාකරද්දි කරු කිව්ව.

කිටියනං තාම ඒ ඔෆිස් එකේමයි වැඩ කරන්නෙ....මම ඒ ඔෆිස් එකට ඉඳහිට ගියාම කිටියව හම්බ වෙනව.

බිරිඳට පුතෙක් ලැබුණා ඒ අවුරුද්දෙම මාර්තු මාසෙ..අපි ගිය ට්‍රිප් එක ඒ විදියටම එයත් ගියානෙ අම්මගෙ බඩේ ඉඳගෙන...ලබන මාර්තුවලට පුතාට අවුරුදු දහ අට පිරෙනව එතකොට එයත් වැඩිහිටියෙක්.

පුතාට අවුරුදු දහ අටක් පිරෙන මාර්තු දහ අට වෙනිදට මොකක්ද කරන්නෙ කියල අපි තාම තීරණය කරල නෑ.

මොනව කලත් ඔයාලටත් මතක් කරන්නම්කො.

Tuesday, February 5, 2013

25.මතක සටහන්



අපේ තවත් නිදහස් දිනයක් ගෙවීගියා.නිදහස් දින උත්සවයට සහභාගි වෙලා ගෙදර ආපු මට අතීතයේ මාද කොටස්කරුවෙක් වූ නිදහස් උත්සවයන් නිතැතින්ම මතකයට ආවා.

මතක් කරල තලුමරන්න පුළුවන් නිදහස් උත්සවයන් පැවැත්වුණේ ඉන්දියාවෙ මදුරාසියෙ.

ජනවාරි මාසෙ මැදහරියෙ විතර තීන්ත බාස් කෙනෙක් එක්කන් එන කරුපා අපේ බිල්ඩිමේ තීන්ත ගානව.ඊට පස්සෙ තවත් මනුස්සයෙක්ව එක්ක ඇවිත් වත්තෙ තාප්පෙ අයිනෙ තිබ්බ පොල්ගස් තුන හතරෙ ගෙඩි කඩල අතු ටික කපල සුද්ද කරනව.

හරියට අපේ ගම්වල මගුල් ගෙවල් වගේ.

ඔන්න තුන්වෙනිද හැන්දෑව වෙද්දි කොචින්වලයි විශාකාපට්නම්වලයි ඉන්දීය නාවික කඳවුරුවල පුහුණුව ලබන ලංකාවෙ කොල්ලො ටිකයි තාම්බරම් සහ අවඩිවල ඉන්දීය ගුවන් කඳවුරුවල පුහුණුවෙන එයාපෝස් කට්ටියයි එනව.

ඒ අයට නිවාඩු ගන්න අපි ආරාධනා පත්‍ර යවන්න ඕනැ.නැත්නම් කඳවුරුවලින් නිවාඩු දෙන්නෙ නෑ.ආරාධනාව ලැබෙනතුරු කොල්ලො නොඉවසිල්ලෙන් ඉන්නෙ.දවසක් හරි පරක්කු වුණොත් කතා කරල කියනව ඉක්මනට ආරාධනා එවන්න කියල.ඔක්කොමල ඇවිත් නවාතැන් ගන්නෙ මහාබෝධියෙ කාමරවල.

එයිට අමතරව තමිල්නාඩුවෙ තැන් තැන්වල ඉන්න ලාංකිකයොත් නෙවැරදීම එකතුවෙනව.
එයාපෝස් කොල්ලො ටික තමයි ඇතුල්වෙන තැනම ගේට්ටුවෙ තොරණ ගහන්නෙ.

නේවි අය ස්ටේජ් එක හදල සරසනව.කොහොමටත් රෑ හත අට වෙද්දි තිහක් තිස්පහක් විතර වැඩ.

අපට වැඩක් කියල කරන්න දෙයක් නෑ.වැඩ කරන අයට සප්ලයි දෙන එක තමා අපට තියෙන්නෙ..අපි ගෙදර අයනෙ.
රෑ කැමට ඉඳිආප්ප ඕඩර් කරන්නෙ මාලු හොදියි පරිප්පුයි එක්ක.අපේ ගෙදරට කියල පොල්ගෙඩි පහක විතර සම්බෝලයක් හදෝගන්නව හොඳට උම්බලකඩ එහෙම දාල.ගලේ අඹරල දෙහි ටිකක් මිරිකල ගත්තම කන්න හිතෙන සුවඳක්නෙ එන්නෙ.
 රෑ අටහමාර විතර වෙද්දි රෝච් එයාගෙ වාහනේ එනව බෝතල් කීපයකුත් එක්ක...ඒ වෑන් එකේම අනික් පැත්තට ගිහිං ඉඳිආප්ප අරගෙන ආපහු එන ගමන් ගෙදරින් පොල් සම්බෝලෙත් මම අරං එනව.

ඔය ඇවිත් ඉන්න ළමයි ගෙදර හදන සම්බෝල කන්න හරි මනාපයි...ගෙවල්වලින් දුරස් වෙලා තනියම ඉන්න අයනෙ.කොහොමටත් රෑ දහයමාර එකොළහ වෙද්දි රෝච්ගෙ වාහනේ කීප සැරයක්ම එහෙට මෙහෙට යනව අඩුපාඩු ගේන්න.

පහුවදා නිදහස් උත්සවය පවත්තල ඉවරවුණාම රෑ වෙනකොට කට්ටිය එකතුවෙන්නෙ එග්මෝර්වල අපේ ගෙදර.ඊට කළින් අපි හිටියෙ නුන්ගම්බක්කම්වල.

 මුලදි ඒ අය එනකොට උයපු කෑම කඩෙන් අරගෙන ආව..ඒව ඉන්දියානු ක්‍රමයට හදපුවනෙ.
පස්සෙදි බිරිඳ කිව්වා... මල්ලිලා ඔයාල කෑම අරගෙන එන්න එපා...මෙහෙ උයාගන්න කියල.හොඳට උයන්න පුළුවන් කොල්ලොත් ඉන්නවනෙ..ඉතිං කට්ටිය කුස්සියටවෙලා හරි රසට කෑම හදනව.

ගානට පදම් වුණාට පස්සෙ තමයි සංගීතෙ පටන් ගන්නෙ.තබ්ලාවයි ගිටාර් එකයි කපිල අරගෙන එනව..
කපිල කියන්නෙ සිරිමා ශාස්ත්‍රී ගිවිසුම යටතෙ ඉන්දියාවට එන්න සිද්දවුණු පවුලක තරුණයෙක්.රස්සාවට කරන්නෙ වෑන් එකක් හයර් කරන එකයි දඹදිව යන ලාංකික වන්දනා නඩවලට මග පෙන්වන්නෙක් හැටියට කටයුතු කරන එකයි.නිතරම හිටියෙ මහාබෝධිය ළඟ.

 කොල්ලො ටික අපේ ගෙදර එන්නෙත් කපිලගෙ වාහනෙන්,ඔය පොඩි වෑන් එකේ විසිපස්දෙනෙක් විතර පටවගෙන එන්නෙ වාහනේ ගැන කිසිම ආසාවක් නැතුව.
 කොල්ලොත් එක්ක යන හයර් වලට කපිල සල්ලි ගන්නෙත් නෑ..මිනිහත් විනෝදකාමියනෙ.
පැදුරු සංගීතය රෑ දෙක තුන විතර වෙනතුරු ඇදිල යනව..සංගීතෙ ඉවරවෙලා කෑමට ලෑස්තිවෙද්දි දෙතුන් දෙනෙකුගෙම ඔලුව සාක්කුවෙ...කනව නෙවෙයි අනනව විතරයි.

කෑම බීම ඉවරවෙලා කට්ටිය පිටත්වෙද්දි මහ පාන්දර වෙනව..වැඩිවුණු අයත් වත්තං කරගෙන ආපහු වෑන් එකපිරිල ගෝසා කරමින් තමයි පිටත් වෙන්නෙ.හැම අවුරුද්දෙම පෙබරවාරි හතර වෙනිදට ඔහොම තමයි.

 ගෙවල් අයිතිකාරය හිටියෙ අපිට යට තට්ටුවෙ...ගේ කුලියට ගද්දිම මම කිව්ව අපේ ගෙදරට යාලුවො එහෙම නිතරම එනව සද්ද බද්ද තියෙයි කමක් නැද්ද කියල.මිනිහ කිව්ව ඒකට ප්‍රශ්නයක් නෑ කියල.කිව්ව වාගෙම අපි ගේ පෙරලුවත් මනුස්සය නෙවෙයි කටක් ඇරල මොකුත් කිව්වෙ අපි ගේ අත ඇරල යනකල්ම.

සැරයක් ඔය සංගීතෙට එකතු වෙලා හිටිය ලෙප්ටිනන්ට් කෙනෙක් එයා අපේ ගෙදර ආපු පළවෙනි වතාව යන්න ඉස්සෙල්ල කිව්ව බිරිඳත් දරුවත් තව මාස තුනකින් විතර එනව එතකොට නොවැරදීම අපේ ගෙදර එන්නම් කියල..ඒ ආපු කතාව ආයෙ දවසක කියන්නම්.

අපි නුන්ගම්බක්කම්වල හිටිය කාලෙ සෙනසුරාදට තමා මාකට් යන්නෙ...එළවලු මාකට් එකට මෙහායින් තිබුණෙ රෙදි කඩයක් ගනේෂ් ටෙක්ස්ටයිල්ස් කියල...ඒ දවස්වල හිටියෙ මහ මුදලාලිගෙ පුතා.. ඒ තරුණය අපිත් එක්ක හරි යාලුයි.

මාකට් යද්දි කඩේ එලියට තියෙන වීදුරු කවුළුවල ෂෝ එකට දාල තියෙන සාරි දිහාවෙ සමහර වෙලාවට බිරිඳ බලාගෙන ඉන්නව.

එතකොට මුදලාලි...මොකක්ද බලපු සාරිය කියල බිරිඳගෙන් අහල ඒක කවරෙකට දාල බිරිඳට දෙනව.
 සල්ලි නෑනෙ කියල කිව්වොත් ..ප්‍රශ්නයක් නෑ ආයෙ එනකොට ගෙනත් දෙන්න කියනව.සාරිත් එච්චර ගණන් නෑනෙ එකසිය පණහයි දෙසීයයි වාගෙ ගාණ.

ඔන්න ඔය විදියට කාලය ගතවෙලා අපටත් නොදැනීම ඉන්දියාව හැරදා යන කාලෙත් ආව.

අපි ලංකාවට ගියත් නිතරම මතක් වෙන්නෙ මදුරාසියෙ ජීවිතේ.අපි දෙන්න කතාවුණා ආයෙත් වෙලාවක ගිහිං යාලුවො බලල එමු කියල.හිතාගෙන හිටියට ආයෙත් අපිට ලංකාවෙන් පිට යන්න වුණු නිසා ගමන කල්ගියා.

අන්තිමේදි කොහොමහරි යන්න වුණේ 2007 අගහරියෙ.අපි දෙන්න විතරයි ගියෙ..තිරුපති කෝවිලත් වැඳගෙන එමු කියල.
 අපි ගිහිං නැවතුනේ මහාලිංගම්ලගෙ ගෙදර එහෙ ඉඩත් තිබුණා ජෝඩුව විතරයි හිටියෙත්.

ගියදාම හැන්දෑවෙ ඇවිදින්න ගිහිං ආපහු යනකොට අපූර්වා සංගීතා රෙස්ටුරන්ට් එකෙන් මසාල තෝසෙත් කාල ගියෙ පරණ පුරුද්දට.ගෙදර ගියාම මහාලිංගම් කන්න කතාකලාම අපි කිව්ව කාලනෙ ආවෙ කියල..මේකා අපේ ඇඟට කඩන් පැන්න කඩවල්වල ජරාව කන්න යනව කියල.යන දිහාක ගිහිං කෑමට ගෙදර එන්න කියල තදින්ම කිව්වා.

අපි තිරුපතිත් ගිහිං ආව ඒ ගමන ගැන ලිව්වොත් වෙනම ලිපියක් ලියන්න වෙයි.

ඒ සැරේ අපි කපිල බලන්නත් ගියා ..කපිලව දැක්කාම බඩ පපුව පත්තුවුණා...කොච්චර ලස්සනට හිටපු කොල්ලෙක්ද...මූණ විකෘති වෙලා වයසක මනුස්සයෙක් වාගෙ.
 බැලුවහම යාළුවෙක් එක්ක එයාපෝට් යද්දි වාහනේ දරුණු විදියට ඇක්සිඩන්ට්වෙලා සෙන් තෝමස් මවුන්ට් හරියෙදි.කපිලගෙ ඇහැක් එළියට පැනල දැන් ඒකට වීදුරු ඇහැක් දාලයි තියෙන්නෙ.

ගනේෂ් කඩේටත් ගියා බිරිඳට සාරි ගන්න ඕනෑ කියල...මුදලාලි කොල්ල දැන් ටිකක් වයසට ගිහිල්ල.රෙදි ටික දීල මට කියනව සල්ලි දැන් නැත්නම් පස්සෙ දුන්නට කමක් නෑ කියල.මම කිව්ව අපි තව දවස් දෙක තුනකින් ගියාම අල්ලන්න හම්බවෙන එකක් නෑ කියල...එතකොටත් මිනිහ පරණ පුරුදු විදියට හිනාවෙලා කිව්වෙ ප්‍රශ්ණයක් නෑ කියල.

අපි එග්මෝර්වල අපේ ගෙවල් අයිතිකාරයගෙ ගෙදරටත් ගිහිං එයත් බලලයි ආපහු ආවෙ.

ආයෙම අපි මදුරාසියට ගියෙ  2010 නොවැම්බර් මාසෙදි.ඒ සැරේ අපි දෙන්නයි පුතයි මස්සිනයි මල්ලිගෙ පුතයි අපි කට්ටිය පස්දෙනෙක් ගියෙ වේලන්කන්නි යන්නත් එක්ක.එතකොට මහා නෑ.මාරුකරල ඕමාන් වලට..අපි නැවතුනේ හෝටලේක.
 

මම ලංකාවෙන් යන්න කලින් රෝච්ට කතාකළා අපි එනව කියන්න....රෝච් කිව්ව හොඳයි හොඳයි ඔයාල එන දවස්වලටම මගෙ පුතාගෙ වෙඩින් එකත් තියෙනව කියල මගුලටත් සහභාගිවෙන්න අපිට ආරාධනා කලා.ඒ විස්තර ටික කියන්න වෙනම ලිපියක් ඕනැවෙයි.
 

අතීත කතා මතක්වෙනකොට හරිම ආස්වාදජනකයි.නොදැනුවත්වම දිගින් දිගටම ලියවෙනව.
 මේව ලියද්දි මට පණ බයයි...මොකද පොඩ්ඩ එහෙ මෙහෙ වුණොත් වදිනවනෙ කාඩ් එක නයි පටෝනව කියල.ඒකයි.
 

හැබැයි ඔයගොල්ල මොන විදියට දැක්කත් මම ලියපුව ඔක්කොම සම්පූර්ණ ඇත්ත කියල විතරයි මම දන්නෙ.