අනූහයේ ජනවාරි තිස් එක,ඒ කියන්නෙ අදට අවුරුදු දාහතකට ඉස්සෙල්ල ,කාලය කොච්චර වේගයෙන් ගෙවිල යනවද.....එදා දවස නම් ජීවිතේ තියෙනතුරු අමතක කරන්න බැරිවෙයි.
ඔය කාලෙ මම වැඩකලේ වරායෙ..අපේ කන්තෝරුව තිබුණෙ බණ්ඩාරනායක ජැටියෙ.ජනවාරි තිස් එක් වෙනිදත් සුපුරුදු විදියට වැඩට ගිය මට එදත් තවත් දවසක් විතරයි.
වෙලාව ගැන මට එච්චර මතකයක් නෑ(පස්සෙ සෝදිසි කරල බලපුවාම දවල් එකොළහට )මම තවත් යාලුවෙකුගෙ පුටුවක ඉඳගෙන හිටියෙ.
එකපාරටම තියුණු ශබ්ද තරංගයක් මගෙ එක කණකින් ඇතුල්වෙලා අනික් කණෙන් පිටවෙලා ගියා...මාව නිකං ඇලවෙලා ගියා වාගෙ.
ඒ සද්දෙ නං එච්චර හොඳ එකක් නෙවෙයි....ජුලියස් කියනව,
එතකොටම දොරෙන් එළියට ආපු මම දැක්කෙ ලංකා බැංකු බිල්ඩිමේ(පිට්ටු බම්බුවෙ )උඩම තට්ටුවල
ජනෙල්වල වීදුරු කෑලි එළියට වීසිවෙනව.
බෝම්බයක්ම තමයි.....කට්ටිය කතාවුණා..
අපි කට්ටියම එකවර ඒ පැත්තට යන්න පිටත්වුණා...
වරායෙ ලේඩන් බැස්ටියන් ගේට්ටුවෙන් අපි එළියට එනකොට පාර පිරිල සෙනග,යෝක් වීදියෙන් ජනාධිපති මාවත පැත්තට ඇදෙනව.
අන්තිමට වෙච්චි දේ ආරංචි වුණා...
මහ බැංකුවට බෝම්බ ගහල.....
මගෙ ඇඟ හීතල වෙලා ගියා,බිරිඳ උදේ වැඩට ආව නේද...
අපි අඩිය ඉක්මන් කරල ඒ පැත්තට ගියා,ඔරලෝසු කණුව පහුකරල වැඩිදුරක් යන්න වුණේ නෑ,පාර වහල....
මහ බැංකුවයි ඒ ඉස්සරහ තියෙන සෙලින්කෝ බිල්ඩිමයි හෝ ගාල ගිනි ගන්නව,ගිනි දළු බුර බුරා නැගෙනව.
ගිනි නිවන හමුදාවයි එයාපෝස් හෙලිකොප්ටර් වලිනුයි වතුර ගහනව,
ඇම්බියුලන්ස් රතු එළි පත්තුකරගෙන කෑගහනව,එකම කලබැගෑනියයි.
ඔන්න ඔය වෙලාවෙම වැස්සකුත් ඇදහැලුනා.
අති විශාල කම්පනයක් ඇතිවුණාම එහෙම වැහි වැටෙනව,
කවුරුවක්වත් දන්න කෙනෙක් හොයාගන්න නෑ,ආපහු යමු...අපි කතාවුණා.
ඉස්පිරිතාලෙට ගිහින් බලන්න...තව කවුද කෙනෙක් කිව්වා.
කට්ටියම ආපහු ඔෆිස් එකට ඇවිත් අපේ ලොක්කගෙ පරණ කැබ් එකේ නැගල ඉස්පිරිතාලෙට යන්න පිටත්වුණා.
මග දිගටම ට්‍රැපික්...හරිම අමාරුවෙන් විනාඩි හතළිස්පහකට විතර පස්සෙ පුංචි බොරැල්ලට ආව.
මම එතනින් බැහැල ඉස්පිරිතාලෙට යන්න පිටත්වුණා,ලොක්ක එයාගෙ ළමයි බලන්න නාලන්දෙට ගියා,එයාට ඉන්නෙ තුන් නිවුන් දරුවො,කොල්ලොම තුන්දෙනෙක්.
ඉස්පිරිතාලෙට යන්න ගියාට ලඟටවත් යන්න බෑ සෙනග සේනාව ඊස් මීස් නෑ.ඉස්පිරිතාලෙ ගේට්ටු ඔක්කොම වහල,ඇම්බියුලන්ස් කෑ ගහගෙන තුවාල කාරයින්ව ගේනව.ගේට්ටුව ලඟ නවත්තන ඇම්බියුලන්ස් වලට සෙනග කඩාවදිනව තමන්ගෙ ඥාතිය හිතවතා ඉන්නවද බලන්න.
ඔය අස්සෙ හිරවෙන්න බැරිනිසා මම පොඩ්ඩක් පැත්තකට වෙලා හිටියෙ,එතකොට තමයි නිමල් එනව දැක්කෙ,අපි දෙන්නම එකතුවෙලා ගේට්ටුව ලඟට ගියා.ගේට්ටුව ගාව ප්‍රියන්ත අඬ අඬා ඉන්නව ප්‍රියන්තගෙ බිරිඳත් වැඩ කරන්නෙ මහ බැංකුවෙ.
ඉස්සරහටම යනකොට පොඩි ගේට්ටුවක් ලඟ රාජපක්ෂ ඉන්නව.රාජා අපිත් එක්ක කෝච්චියෙ යන එන එකෙක්,වැඩ කරන්නෙ එම් ආර් අයි එකේ.
උඹල එනකං තමයි බලාගෙන හිටියෙ .....කියපු රාජා අපි දෙන්නව ඇතුළට ගත්ත.කොරිඩෝ දිගේ අපිව එක්කං ගියපු රාජා එක තැනක නැවතිලා කිව්ව,
ගෙනාපු බොඩීස් ඔක්කොම මෙතනයි තියෙන්නෙ,විකෘතිවෙලා නම් මූණෙන් අඳුනා ගන්න බැරිවෙයි.....උදේ ඇඳන් ආපු ඇඳුම මතකනෙ...එහෙමවත් අඳුනගන්න බලන්න....කියල.
නිමල් ගත් කටටම කිව්ව ..
අනේ.. මටනම් බෑ ඔයාම ගිහිං බලන්න කියල...
මටත් මොකද්ද වගේ,ඒත් මොනව කරන්නද...කවදද හිතුවෙ තමන්ගෙ ආදරණීයයන්ගෙ කැඩුණු බිඳුනු සිරුරු ඉස්පිරිතාලෙකදි හොයාගන්න වෙයි කියල...
මෙහෙම කාලකණ්ණි අවස්ථාවකට මම මූණ දුන්නමයි,ඉස්සර ඉස්පිරිතාලෙ වැඩ කරන කාලෙ නං කපල දාපු මළසිරුරක් පැත්තකින් තියාගෙන කෑම කන්න වුණත් පුලුවනි.එච්චරට හිත ගල්වෙලා තිබුණෙ,ඒත් කාලයාගේ ඇවෑමෙන් ආපහු හිත මෘදුවෙලා...
දැන් කරන්න දෙයක් නෑ...යථාර්ථයට මූණ දෙන්න එපායැ...මම හිත තද කරගෙන ඇතුළට ගියා.
අනේ සංසාරේ කියල මට හිතුණ...උදේ ගෙවල්වලින් සතුටින් පිටවෙච්චි අය නේද මේ...
කහපාට පොලිතීන් වලින් ඔතපු සිරුරු කෙහෙල් කඳන් වගේ බිම පෝලිමට දාල තියෙනව.
මළ සිරුරු එකක් නෑර මම හොඳින් බැලුව...ම්හ්..දන්න කවුරුවත් නෑ.
අපි එතනින් පිටත් වෙලා ඉස්පිරිතාලෙ ඔෆිස් එක ළඟට එනකොට ශ්‍රියාණි එතන ඉන්නව,
මාව දැකපු ශ්‍රියාණි කිව්ව...
පොඩ්ඩක් ඉන්න,තව ටිකකින් තුවාල කාරයන්ගෙ ලිස්ට් එක බෝඩ් එකට දානව කියල...
එයාම ඇතුළට ගිහිං ඒ ලිස්ට් එකත් අරගෙන ආව.
ඒකෙත් කාගෙවත් දන්න අයගෙ නම් නෑ...
අපිට දැන් ටිකක් හිතට හොඳයි...
ඔන්න එතකොට රූපෙත් අපි ඉදිරියට ආව,රූපය කියනව තව කට්ටියක් උඩ තට්ටුවෙ කොටුවෙලා ඉන්නවලු...ඒ ගොල්ලන්ව හෙලිකොප්ටර්වලින් බේරගන්න හදනව කියල.
අපිට මොකුත් හිතාගන්න බෑ,දැන් හවස හතරත් පහුවෙලා...උදේ එකොළහට පිටත් වුණු ගමනනෙ.
අපි ඇස්වාට්ටුවට ඇවිත් කොටුවට එන්නයි හැදුවෙ.බැලුවහම කොටුවට ඇතුල්වෙන්න බෑ..පාරවල් වහල
ඒ ගමන බස් එකක කොම්පඤ්ඤ වීදිය ඉස්ටේෂමට ගිහිං අපි වෙනදට යන කෝච්චිය අල්ල ගත්ත.
අපිත් එක්ක වෙනදට යන කට්ටිය ඔක්කොම කොටුවෙන් මරදානෙන් නැග්ගට වෙනද තියෙන සතුටු සාමීචි එදා තිබුනෙ නෑ.
සද්ද නැතුව ඇවිත් අපේ ඉස්ටේෂමෙන් බැස්සහම රැවුලා මාව උගෙ සයිකලේ දාගෙන ගෙදර එක්කං ගියා.
නිමල් බස් එකේ නැගල ගෙදර ගියා.
සයිකලේ වත්තට ඇතුල්වෙනකොටම මම දැක්කෙ සුන්දර දර්ශනයක්...බිරිඳ පුතත් වඩාගෙන මිදුලෙ ඉන්නව.
වෙච්චි විස්තරේ පස්සෙයි දැනගත්තෙ...
බැංකුවෙ බිරිඳ වැඩකරපු බැංකු සංවර්ධන දෙපාර්තමේන්තුව තිබුණෙ සෙලින්කෝ බිල්ඩිමේ තට්ටුවක, සිද්ධියට පැය බාගෙකට විතර කලින් ඇය බැංකුවට ගිහිල්ල තිබුණා මට අවශ්‍ය කරපු ලියවිල්ලක් හදාගන්නත් එක්ක.
ආපහු එනකොට බැංකුව ඉස්සරහ හිටපු ඇය අඳුනන ආරක්ෂක නිළධාරියෙක් එක්කත් කතා කරල පාර පැනපු ඇය ආපහු දෙපාර්තමේන්තුවට ඇවිත් තිබුණා.
ඊට මොහොතකට පස්සෙ අර ආරක්ෂක නිළධාරියව වෙඩි තියල මරල දැම්ම.ඔහු තමයි බැංකු බෝම්බයේ පළවෙනි බිල්ල.
බෝම්බය පුපුරද්දි බිරිඳ කොරිඩෝවක ගමන් කරමින් ඉඳල තියෙන්නෙ.බෝම්බෙත් එක්කම ඇය එතනම බිම ඇද වැටිල කොරිඩෝවෙ බිත්ති ඔක්කොමත් ඇයගෙ ඇඟ උඩට කඩන් වැටිල, ඒ පාටිෂන් හාඩ්බෝඩ් වලින් හදල තිබ්බ නිසා හානියක් නෑ.
ඇගේ අල්ලෙ වීදුරු කෑල්ලකට කැපුණු පොඩි තුවාලයක් තිබුණ එච්චරයි.හැබැයි ඒ වෙලාවෙ අංශයේ වැඩකරමින් හිටපු අයට නම් ගොඩක් හානි සිදුවෙලා,වැඩියත්ම සද්දෙ මොකක්ද කියල බලන්න ජනෙල් ලඟට ගිය අයගෙ ඇස් වීදුරු කෑලිවලට තුවාල වෙලා,පිපිරීම් දෙකක් සිද්ද වුණානෙ.
කට්ටියම එකතු කරගෙන තුවාල කාරයන්වත් වත්තන් කරගෙන පසුපස තිබුණු හදිසි දොරටුවෙන් පිටත් වෙනකොට ඒ හරියටත් ගින්න පැතිරෙමින් තිබුණලු.
ඉක්මණින් පහළට බැහැගත්තට බිරිඳට පෙනිල තියෙනව හිටපු එක්කෙනෙක් අඩුයි කියල.ඇය කෑගහල..අනේ..මැණිකෙ නෑනෙ කියල.
ඒ ගමන තවත් කීපදෙනෙක් එක්ක ආපහු ඇය උඩට නැගල බැලුවාම හොඳටම තුවාල වුණු මැණිකෙ ලේ පෙරාගෙන සුන් බුන් ගොඩක් මැද වැටිල ඉන්නවලු.කොහොමහරි ඇයත් අරගෙන කට්ටිය පහළට බැහැල තියෙන්නෙ ගිණිදැල් මැදින්.ඒකට නම් උඩට ගිය අයට වීරත්වයට පිරිනැමෙන සහතිකත් හම්බවෙලා තිබුණ.
කෙළින්ම ඉස්ටේෂන් එකට කට්ටියත් එක්ක ආපු ඇය තිබුණු කෝච්චියක නැගල ගෙදර ඇවිත්.
දැන් කට්ටිය කියයි ඇයි කෝල් එකක්වත් දෙන්න තිබ්බනෙ කියල,බෝම්බෙත් එක්කම පැත්තෙම ටෙලිපෝන් අවුට් ගියා,ජංගම දුරකතන කියන දේ ඒ කාලෙ අහල තිබුණ විතරයි ඒකත් සුඛෝපබෝගී භාණ්ඩයක්.
ඒ දවස් ටිකේම අපි මළගෙවල් වල ගියා.
බිරිඳ බලන්න ගෙදරට ආපු කට්ටිය කොච්චරක්ද කිව්වොත් හකුරුයි කහටයි විතරක් දුන්නත් රුපියල් දාස් ගානක් යනතරම්.
එදා නම් මට ජීවිතේ ගැන පුදුම කළකිරීමක් ඇතිවුනේ,ජීවත්වෙනව කියල අපි මොනවද මේ කරන්නෙ ඔක්කොම විහිළුවක් නේද කියලයි මට නම් හිතුනෙ.
එදා ඒ ඇතිවුණු කළකිරීම නැතිවුනේ නැහැ.
ජීවිතය දිහා මනුෂ්‍යයන් දිහා ඒ ගොල්ලො කරන නානාප්‍රකාර විකාර වැඩ දිහා අදටත් ඉතාම උපේක්ෂාවෙන් බලාඉන්න ඒ අත්දැකීම මගේ ජීවිතයට මහඟු පිටුවහලක් වුණා කියලයි මට නම් හිතෙන්නෙ.