අද අපි ආපහු ලංකාවට යමු.....දිගින් දිගටම කිව්වෙ ඉන්දියාවෙ කතානෙ..හැබැයි තව ඉවර නෑ.
මේ කියන කාලෙ මම වැඩ කළේ වරායෙ ඔෆිස් එකක..දින වකවානු හරියටම කිව්වොත් අනූපහේ ජනවාරි මාසෙ.
ඒ දවස්වල අපේ ඔෆිස් එකේ සී සී හැටියට හිටියෙ ජී.ජී. ගුණසේන කියල මහත්තයෙක්..සංස්කෘතික දෙපාර්තමේන්තුවෙ ඉඳල මාරුවෙලා ආවෙ...ජාතික ඇඳුම ඇඳපු පොඩි මනුස්සයෙක් වුණාට ලොකු හදවතක් තිබුණා.
ඔය කියන ජනවාරි මාසෙ මට මතකයි එක දිගට නිවාඩු දවස් කීපයක් යෙදිල තිබුණ.ගුණසේන මහත්තය දවසක් මට කතාකරල ඇහුව නිවාඩුවට මොකද කරන්නෙ කියල.
විශේෂ යමක් නෑ...ඇයි සී.සී මහත්තය....කියල මම ඇහුව.
ඔන්න එතකොට මෙයා මටත් වාඩිවෙන්න කියල කතාවක් කිව්ව...කෙටියෙන් කිව්වොත් කතාව මේකයි.
ගුණසේන මහත්තයගෙ බිරිඳගෙ නංගි පදිංචි වෙලා ඉන්නෙ කොග්ගලලු.කොග්ගල කිව්වට ගමේ නෙවෙයි...කොග්ගල ඔය මැද දූපතක.
මෙදා සැරේ නිවාඩුවට ඒ ගොල්ල එහෙ යන්න හිතාගෙන ඉන්නෙ කිව්ව.මටත් කතාකළා යමුද කියල.
ඕකත් අහන්න දෙයක්ද...එයා මට කියපු විස්තරයේ ස්වභාව සෞන්දර්යයෙන් මම වශී වෙලා හිටියෙ.එන්න නොකිව්වත් බලෙන් හරි යන මානසිකත්වයක් එවෙලෙ මට තිබුණෙ.....මගේ උත්තරය මොකක්ද කියල කියන්න ඕනැ නෑනෙ.
දකුණු පළාතටත් එහෙ මිනිස්සුන්ටත් මගෙ විශේෂ ලැදියාවක් කවදත් තියෙනව.මොකද මන්දා.
ඔය දවස්වල බිරිඳට බබා ලැබෙන්නත් දිනස්තර ලංවෙලා තිබුණෙ..ඒකෙ ගානක් නෑ උන්දැටත් ට්‍රිප් යන්න තියෙනව නං ඕනැ එකක්....එයත් යන්න කැමතිවුණා.
අපේ ඔෆිස් එකේ ක්‍රිස්ටෝපර්, ඌට අපි හුරතලේට කියන්නෙ කිටී කියල, කිටියත් ට්‍රිප් එකේ විස්තර දැනගෙන යන්න ඕනැ කිව්වම... හරි උඹත් වරෙන් කියල ඌට කිව්වා.
ඔෆිස් එකේ අපිත් එක්ක වැඩකරපු කරු..කරුගෙ ගම හබරාදූවෙ. කරු කිව්ව අපි එනකොට හබරාදූවට ඇවිත් ඉන්නං කියල.
ඔන්න අපි ගමනට ලෑස්තිවුණා...නියමිත දවසෙ අපි කොටුවට කෝච්චියෙ ගියා මාතර එක්ස්ප්‍රස් එක අල්ලගන්න.ගුණසේන මහත්තයලයි කිටියයි බස් එකේ කොටුවට ඇවිත් හිටිය.
අපි කට්ටිය හත්දෙනයි..ගුණසේන යුවලයි,පුතයි දුවයි,කිටියයි,අපි දෙන්නයි.
උදේට කෑවෙ කෝච්චියෙදි...ගුණසේන මහත්තයල බටර් ගාපු පාන් පෙති රතු ලුණුමිරිස් එක්ක අරං ඇවිත් තිබුණා.පුදුම රසක්නෙ ඒක....අපි ගෙනිච්ච සීනි සම්බෝල පාන් ඒ ගොල්ලන්ට දීල අපි ලුණුමිරිස්ම කෑව.
ඒ කෝච්චියෙ ගාල්ලට ගිහිං එතනින් හැමතැනම නවත්තන කෝච්චිය අල්ලගෙන අපි හබරාදූවට ගිහින් බහිනකොට උදේ එකොළහට විතර ඇති.
තද නිල්පාට සාගරයට උඩින් ඉර බැබළි බැබළි තිබුණා.කරු ඉස්ටේෂමට ඇවිත් හිටියා.
ගුණසේන මහත්තය සිල්ලර කඩේකට ගිහිං බඩු වගයක් ගත්ත නංගිලට..ඒවත් පටවගෙන කුලී වෑන් එකකට නැගගත්තු අපි කොග්ගල ඔය ළඟට ගිහිං එතන තිබුණු ඔරුවක් කතාකරගෙන ගුණසේන මහත්තයලගෙ නංගිල පදිංචි වෙලා ඉන්න ගං දූව බලා පිටත්වුණා.
කොග්ගල ඔයේ දූපත් හතක්ද කොහෙද තියෙනව..කොත් දූව,ගං දූව,මඩොල් දූව ආදී වශයෙන්... එක දූවක භාවනා හාමුදුරුවරු ඉන්න ආරණ්‍යයකුත් තියෙනවලු.
අපි ගියපු ගං දූව අක්කර කීපයක් විශාලයි..ඒකෙ පදිංචි වෙලා ඉන්නෙ ගුණසේන මහත්තයලගෙ නංගියි එයාගෙ පොඩි පුතයි විතරයි.මහත්තය නෑ..ඒ ගොල්ල පදිංචි වෙලා හිටියෙ ටකරං වහපු පොඩි ගෙදරක.
දූපතේ පොල් වවල තිබුණට කිසිම සරුවක් නෑ...කණාටු කුරුඳු වගාවකුත් තැන තැන තිබුණා.සංචාරකයො දූපතට ආපුවම කුරුඳු තලන හැටි ඒ අයට පෙන්නනව..කුරුම්බත් කපල සංචාරකයින්ට බොන්න දෙනව.
පොල්ගස් වලින් කැඩෙන ගෙඩි ටිකෙනුයි සංචාරකයො දීල යන මුදලකිනුයි තමා ඒ අය ජීවිතේ ගැටගහගන්නෙ.
ගිය වෙලේ ඉඳන් අපි ඔයේමයි දිය බල්ලො වාගෙ..පොඩි එකා අපිවත් දාගෙන ඔරුව පදිනව මහ මිනිහෙක් වගේ.ගුණසේන මහත්තයටත් ටොප් එකට ඔරු පදින්න පුළුවනි..එතන තිබුණු පොඩි ඔරුවක් දියට දාල මම පැදගෙන ගියා..ටිකකින් මායි ඔරුවයි දෙකම නැවතුනේ ඔය පතුලෙ.
කොග්ගල ඔයේ සුන්දරත්වය මම වර්ණනා කරන්න යන එක විහිළුවක් මොකද මාර්ටින් වික්‍රමසිංහ වාගෙ ශ්‍රේෂ්ට නවකතාකරුවෙකුත් මේ ඔයේ සෞන්දර්යය වනල තියෙනවනෙ.මම කියන්නම්කො සාහිත්‍ය භෂාවෙන් වර්ණනා විෂයාතික්‍රාන්තයි කියල.
දවල් කෑමට ඔයෙන් අල්ලපු අලුත් මාලුත් එක්ක දකුණෙ රසවත් බත් වේලක් අපට ලැබුණා.
එදා ගුණසේන මහත්තයල දූපතේම නතරවුණා,අපිත් නවතින්නයි හැදුවෙ...ඒත් බබෙක් හම්බවෙන්න හිටපු බිරිඳට එහෙ සැප පහසුකම් මදි කියල කරු අපි දෙන්නවයි කිටිවයි එයාලගෙ ගෙදර එක්කං ගියා.කරුට හිටියා හුරතල් දුවෙකුයි ලැජ්ජාවෙන් මිරිකි මිරිකි හිටපු පොඩි පුතෙකුයි.
කරුලගෙ ගෙදර මීවිත රෑ කෑම සාද කතා අවසානයෙ අපි ඇඳට ගියෙ හුඟක් රෑ වෙලා. නිදාගන්න ගියාට මොන නිදාගැනිල්ලක්ද...
කණ පාත්වෙන්න බීල හිටපු කිටිය එහා කාමරේ ගොරවනව..ඒක මේ අපි උඹලගෙ ගෙරවිල්ල වාගෙ නෙවෙයි...හරියට ට්‍රම්පට් එකක් පිඹිනව වාගෙ.....අනේ උගෙ පවුලට නොබෙල් තෑග්ග දෙන්න වටිනව ඌත් එක්ක එක ඇඳේ නිදියනවට.
නිදාගත්තහම මාත් ගොරවනව මොකටද බොරු කියන්නෙ...ඒ වුණාට බිරිඳ බෙල්ල යටට කොට්ට එහෙම තියල ගෙරවිල්ල නවත්තගන්නව.
පහුවදා පාන්දරින්ම නැගිටල දූපතට යන්න පිටත් උනේ කොග්ගල ඔය ඉස්මත්තෙන් ඉර පායාගෙන එන සුන්දර දර්ශනයෙ පින්තූරයක් ගන්න මට ඕනැවෙලා තිබ්බ නිසා.
ගුණසේන මහත්තය ඔරුවත් අරගෙන තොටුපොළේ හිටිය..එයා ඇවිත් තියෙන්නෙ මාලුන්ට ඇං දදා...ඇම ඔය පතුළට ගියාම වතුරෙ උඩ ඉපියෙක් පාවෙනව....දූපතට ගිහිං අපි තේ බිව්ව.
එළිය වැටිල ටික වෙලාවකින් අපි දෙන්න ආයෙමත් ඔරුව අරං මාලුන්ට දාපු ඇං බලන්න ගියා.
ඇං කාල හිටපු මාලුත් ඔරුවට දාගත්තු අපි ආපහු එන්න හැරෙනකොට ඔයේ ඈත ඔරු පේළියක් යනව මම දැක්ක.
ගුණසේන මහත්තය කිව්ව ඒ රෑ කකුළුවො අල්ලපු ඔරු ආපහු යනව...කියල
මම කිව්ව අපි කකුළුවො බලමුද... කියල
ඒ ගමන ගුණසේන මහත්තය හූවක් තිබ්බ....අර ඔරුවල ගමන නැවතුණා.
අපි ඉක්මණට හබල් ගහගෙන එතනට ගියා...තොප්පියක් දාගෙන හිටපු කෙට්ටු ඔරුකාරයෙකුගෙන් අපි කකුළුවො ගත්ත...ඒ පොදියෙ කකුළුවො තිහ හතළිහක් ඉන්නඇති....ඔරුකාරය අපෙන් ඉල්ලුවෙ රුපියල් අනූවයි.
එදා උදේ කෑමට අපි අල්ලගෙන ආපු මාලු ඇඹුලකුයි කඩපිම්මෙ තම්බපු පිට්ටුයි තමා තිබුණෙ....කාල බලන්න එපෑ ඒවයෙ රස.
දවල් බතට ලුණු ගම්මිරිස් දාල තම්බල ගත්තු කකුළුවො ගාපු පොල් එක්ක තියල තිබුණා.
අපි බත් කෑවෙ නෑ..තම්බපු කකුළු මාලු පොල් එක්ක හරිම රසයි.
හවස් වරුවෙ අපි ලොකු ඔරුවක් බාගෙන දූපත වටේ ගිහිං අනික් පැත්තෙන් දූවට ගොඩවුනා,
ඒ ගියෙ කිරළ කඩන්න...දූපතේ ඒ පැත්තෙ කිරළගස් පිරිල තිබ්බ..කිරළත් කඩොළාන වර්ගයක්නෙ...ගෙඩිය හරිම මිහිරි සහ තියුණු සුවඳයි.
අපි කඩාගෙන ආපු කිරළ මිරිකල කිරි හදල දුන්න...කිරළ කිරි හරිම සීතලයිලු.
ලෝකෙන් ඈත්වෙලා ගතකල ඒ දවස් හරියට හීන ලෝකයක් වගේ...සාමය සතුට හදවතේ රජකරපු දින තුනක්.
අන්තිම දවසෙ හැන්දෑවෙ දූපතේ අයගෙන් සමුඅරං ගොඩට ඇවිත් හබරාදූවෙ වෙරළටත් ගිහිං කරුලගෙ ගෙදර ඇවිත් නිදාගත්තා.
පහුවදා උදෙන් පිටත්වෙලා ගාල්ලට ඇවිත් කෝච්චිය අල්ලගෙන ගෙදර ආව.
මගෙ රීල් දාන කැමරාවෙන් ගත්තු ට්‍රිප් එකේ පින්තූර ගෙදර ඇල්බම් එකක තිබුණා...දැන්නම් මා ළඟ නෑ..තිබ්බනං එකක් දෙකක් දාන්න තිබුණා.
අපි ඒ ගමන ගිහිං පහුගිය ජනවාරියට අවුරුදු දහ අටක් පිරුණා.....මම ඒ ඔෆිස් එකෙන් මාරුවෙලා ගියායින් පස්සෙ ගුණසේන මහත්තයව ඇහැට දැක්කෙවත් කතාකරන්න ලැබුණෙවත් නෑ...ඒ දවස්වලම රිටයර් වෙන්න ඇති.
කරුත් දැන් රිටයර් වෙලා ගෙදර ඉන්නෙ...කරුගෙ පුතයි පොඩි දුවයි දෙන්නම දැන් මෙඩිකල් කොලේජ් එකේ කියල දවසක් මම කතාකරද්දි කරු කිව්ව.
කිටියනං තාම ඒ ඔෆිස් එකේමයි වැඩ කරන්නෙ....මම ඒ ඔෆිස් එකට ඉඳහිට ගියාම කිටියව හම්බ වෙනව.
බිරිඳට පුතෙක් ලැබුණා ඒ අවුරුද්දෙම මාර්තු මාසෙ..අපි ගිය ට්‍රිප් එක ඒ විදියටම එයත් ගියානෙ අම්මගෙ බඩේ ඉඳගෙන...ලබන මාර්තුවලට පුතාට අවුරුදු දහ අට පිරෙනව එතකොට එයත් වැඩිහිටියෙක්.
පුතාට අවුරුදු දහ අටක් පිරෙන මාර්තු දහ අට වෙනිදට මොකක්ද කරන්නෙ කියල අපි තාම තීරණය කරල නෑ.
මොනව කලත් ඔයාලටත් මතක් කරන්නම්කො.
සෙහ් නියමයි නේ.. ඔය කොග්ගල හරියේ තියෙනවාලු අමුතු ස්තානයක්.. මාර්ග පහක් තියෙනවාලු.. එකක් ගුවන් මාර්ගය, මහා මාර්ගය, දුම්රිය මාර්ගය, මුහුදු මාර්ගය හා ගුවන් මාර්ගය දෙපැත්තෙන් නිර්වාණ මාර්ග දෙකයි.. ඒ කියන්නේ ඔය හැලපේ කිව්ව ආරණ්‍ය දෙකට යන පාර.. ගුගල් එකෙන් බැලුවොත් මේක ඇත්ත විත්තිය බලාගන්න පුළුවන්... නියම කතාව
ReplyDeletemokakda desha me seen eka..?????
Deleteනිර්වාණ මාර්ග 2ක ගැනනම් හරියටම මතකයක් නෑ...
Deleteප්‍රවාහන මාර්ග 5ක් එක ළඟ
තියෙන ස්ථානයක් නම් තියෙනවා තමයි. හරියටම කොග්ගල ගුවන් හමුදා කඳවුර
ඉස්සරහ :)
ගුවන් පථය
දුම්රිය මාර්ගයක්
මහා මාර්ගයක්
පදිකයන් සඳහා මාර්ගය
සහ මුහුදු මාර්ගය
අඩේ බනින්න අමතක උනානේ.. යකෝ කොහේ ගියත් කරපට් වෙන්න බොන එක තමා මට අප්පිරිය... හිකිස්..
ReplyDeleteකරපට් වෙන්න බිව්වෙ නෑ යකෝ....කෑමට පෙර යමක් කරගත්ත විතරයි
Deleteමද පමණිං දේශකයෝ...
Deleteදී කිරට බළල්ලුත් සාක්කි
Deleteසොල්ලි වේල ඉල්ලෙ...හැක්
Deleteඔන්න ඉතින් අපිට ඉරිසියා හිතෙනව.
ReplyDeleteකොච්චර කියෙව්වත් හැලප කතා ඇති වෙන්නෙ නෑ. එකකට එකක් වෙනස් අමුතු රසයක් තියෙන්නෙ.
ඉරිසියයිද...මොනව කරන්නද..ආයෙත් යන්න තියෙනවනම් කියල මටත් හිතෙනවනෙ.
Deleteමටත් ඊරිසියයි... ඔය වගේ ගමන් යන්න කවදාවත් හම්බුවෙලා නෑ නේ...
ReplyDeleteඉතිං දැන් වුණත් යන්න බැරුවෑ අපේ මහත්තයත් එක්ක
Deleteපව් අනේ අපේ මහත්තයා ගිලිල්ලත් එක්කං ගියේ නෑනේ...
Deleteඅඩේ ඒ ගමනනං දිවියලෝකෙ ගියා වගේ තියෙන්න ඇති.
ReplyDeleteකියල වැඩක් නෑ..අමුතුම ලෝකෙක තමා හිටියෙ
Deletemehata apu palaweni dawsa..
ReplyDeletepost ekat eka mamat ea gamna giya wage.
Jayawewa
ස්තූතියි...නිතරම එන්න
Deleteසුන්දර මතකයක ලස්සන සිහිවටනයක්... එහෙනං දැං පුත්තරයත් ලොකුයි නේ...
ReplyDeleteඑහෙනං...දැන් ඉළන්දාරියෙක් නොවැ
Deleteඅම්මට සිරි.. අපේ වයසෙ ළමයිනුත් ඉන්නවද ?
ReplyDeleteකකුළුවොන්ගෙ මොනව කන්නද.. යන්තං සූප්පු කරන්න පුළුවං.. ඈක්කා..
කොග්ගල කකුලුවෝ දැකලා නැ ...මේන්න මෙච්චර විතර ඇති
Deleteඒ රැළ කකුළුවොනෙ නිකං කක්කුට්ටො වාගෙ යසිත්...බලන්න එපෑ ගල් කකුළුවො
Deleteහැලපයටත් තියෙන්නෙ මරු ආතල්නෙ..!
ReplyDeleteකියල වැඩක් නෑ වීයො..මගෙත් තියෙන ආතල් නං
Deleteමටනම් දූපත් අප්පිරියයි බං, නමුත් මේ විස්තරේ නම් යන්නහිතෙන විදියට ලියලා තියෙනවා.
ReplyDeleteහෙහ්...හෙහ්
Deleteඇයි ඩූඩො දූපත් වලට බය
Deleteබය නෙමෙයි මූට එපා වෙලා.. ලංකාවෙත් දූපත් මානසිකත්වය.. මාලදිවයිනෙත් ඒකම තමා.. නැත්ද ඩුඩෙ හෙහ්
Deleteabsof***inglutely,
Delete//අනේ උගෙ පවුලට නොබෙල් තෑග්ග දෙන්න වටිනව ඌත් එක්ක එක ඇඳේ නිදියනවට//
ReplyDeleteපවුල් සාමය වෙනුවෙන්ද
Love is blind but not deaf.
Deleteආදරය අන්ධ වුවද බිහිරි නැති නිසාද? :D
දැං දෙන්නගෙන් ගොරවන්නෙ නැති එකා අත උස්සපල්ල
Deleteඅප්පෝ මමනේ දන්නේ ඒ හරිය
Deleteඅටං පවුල
මේ වගේ ගමන් යන්න මාත් මාර ආසයි..
ReplyDeleteයමු නේද
Deleteඔය කියන කාල වකවානු එක්කනම් මම අවුරුදු 11ක ගැටයා. ඔය අපේ ඒරියල් එකේ වෙල්යායවල්වලිනුත් වටවෙලා තියෙන්නෙ දූවවල්. අපේ කොලු කාලෙම වෑවර, ගඩාගෙඩි, වලවල් හිස්කරකර මාළුබෑම්, ටිකක් ලොකුවෙනකොට රාපොලවල්, හොය හොයා පයින්, පාරුකෑලිවලින්, මීහරක්වලවලින් එගොඩවෙමින් ගියහැටි මතක්වුණා. අනේ අපේ පොඩිඑවුන්ට මේවගේ කාලයක් ජීවිතේට ලැබෙයිද?
ReplyDelete90 දශකෙ වුනත් අපි පයින්ම තමා ඔය තලාතුඩුවට එහෙම පෝයට කෙල්ලො බලන්න ගියේ.
යකෝ මාර බඩුවක් නේ.. ඔන්න නම මතක් උනා.. තලාතුඩුව ඒකේ කෙල්ලො නෑ බොල.. කැලෑ හාමුදුරුවෝ ඉන්නේ මාත් ගියා එන්න එපා කිව්වා ආයේ පත්තු පලාතේ.. හික්..
Deleteතෝ හොඳ උපාසකයෙක් කියල හාමුදුරුවන්ට තේරෙන්න ඇති
Deleteපෝයට පයින් වෑද්දුවට තලාතුඩුවට කොච්චර කෙල්ලො එනවද දේශක මාමෙ.
Deleteදන්නැද්ද 93 ඉදලා එහේ කලාපයක් තියනවා.
හැබැයි අම්මපා අපි බැලුවා.විහිළු කලා මිසක් හිරිගල් දේවාලෙ ඉස්සරහ බීච් ගිහිල්ලා නෑ
This comment has been removed by the author.
ReplyDeleteමට නම් ඊරිසියයි මේ ගමන් විස්තර අහනකොට... :D
ReplyDeleteතවත් විස්තර තියෙනව ඉරිසියා හිතෙන...තරූ..ඒව ඉදිරියෙදි ලියන්නම්කො
Deletejan wala katha 15ma daala neda...?
ReplyDeleteokkoma mis wela mata...innako mulaka indan balanna...
හොඳයි හොඳයි කොනක ඉඳන් කියවන්නකො
Deleteහරිම රසවත්... මම මේ කතාව කියෙව්වේ මගේ පොඩි කෙල්ලත් එක්ක... එයා කියනවා එයටත් මේ කියන දිහා යන්න ඕනෙලු...
ReplyDeleteහරියට හරි.එක්ක යන්න ඕනැ නේන්නං පොඩි ළමයින්ව ඔයවාගෙ ගමන්
Deleteහරි අගෙයි ,,
ReplyDeleteස්තූතියි
Deleteහැලප මාමේ.........මාත් ආවෝ.................^_^
ReplyDeleteලස්සන මතකයක් මටත් දකුණට පුදුම ආකර්ශණයක් තියෙන්නෙ ඇයි කියන්නනම් දන්නෙ නැහැ....ගාල්ල කියන්නෙ මගේ ගෙදර වගේ කියල දැනෙන්නෙ.... ඒත් මම එහෙ නෙමේ....
මල්ලි බබාගෙ උපන්දිනේ දවසෙ පුළුවන්නම් ආයෙමත් එහෙ යන්න බලන්න....^_^
අනේ වෙල්කම් අග්නි... ඉතාමත්ම උණුසුම්ව පිළිගන්නම්
Deleteඔබේ යෝජනාව හරිම අගෙයි....ඒත් මල්ලි බබා මේ අවුරුද්දෙ ඒ ලෙවෙල් කරන නිසා යැවෙන එකක් නෑ.
බොහෝවිට ඊළඟ අවුරුද්දෙ
ඔය ඉසව්ව සුන්දර බව යාන්තම් මතකයි. එක සැරයක් ගියා, හැබැයි මීට අවුරුදු 17කට විතර කලිං. තාමත් අඩුම තරමේ දූපත් වල සුන්දර බව, දියාශ්‍රිත සංස්කෘතිය එහෙමම තියෙයි කියල හිතන්න අමාරුයි. මාත් වැඩිපුර කැමති ඒ දූපතේම අඩුම පහසුකම් එක්ක ඉන්න. දැන් නම් හාමිනේ එක්ක ඒවා බෑ. කොහෙ ගියත් පහසුකම් හොයල තමා යන්නේ. මගේ දුවගෙත් උපන්දිනේ මාර්තු, හැලපෙගෙ පුතාගේ උපන්දිනයට දවස් දෙකකට පස්සේ...මොකෝ කියන්නේ දාමුද පැදුරු පාටියක්....
ReplyDeleteමොනවද කියන්නෙ පේට්‍රියට් දාමු දාමු
Deleteනියම ගමන.. ස්තූතියි අපිවත් එක්කන් ගියාට..
ReplyDeleteස්තූතියි සෙන්නා
Deleteමම නම් ජීවිතේට ඔය දූපත්වලට ගිහිල්ලත් නෑ, දැකලත් නෑ. හරිම ආසාවෙන් ඉන්නෙ කවදා හරි යන්න...
ReplyDeleteඅළුත්ගමට ටිකක් එහා පංචකාප දූව කියන දූපතටනම් ගිහින් තයෙනවා දවස් දෙකක් ඉදලත් තියෙනවා.
සුමිත් ඔය මම ගිය පැත්තෙත් ගිහිං එන්න.
Deleteපයිප වතුරම නාපු අපේ මායියත් ලංකාවේ ලස්සන දැකලා නෑ තවම හරියට. මමත් ඉඩ ලැබෙන වෙලාවල් වලදි කරන්නේ අම්මවයි දූවයි රටවටේ එක්කන් යන එක තමයි. මේ දේවල් වැදගත් වේවි මට ස්තුතියි ඔබට.
ReplyDeleteඔබත් කරන්නෙ ලොකු සත් කාර්යයක් සරත්.රට ලෝකෙ දැකල නැති අයට ඒව පෙන්නන එක කොච්චර දෙයක්ද.
Deleteමමත් ආසාවෙන් ඉන්නේ දුපතක රැයක් නතර වෙන්න.
ReplyDeleteඒක එච්චර අමාරු වැඩක් නෙවෙයි උත්සාහ කළොත්
Deleteජාතික රූපවාහිනියේ සෙනසුරාද රෑ 7.30 යන වැඩසටහනක සැරිසර කියල. ඒකෙදී මුහුදු වෙරළ ආශ්‍රිවත පාපැදියකින් ගමන් කරමින් තමා වැඩසටහන ඉදිරිපත් කෙරෙන්නේ. කොග්ගල ප්‍රදේශයේ අයියා කිව්ව විස්තර ටික ඔක්කෝම වගේ සජීවීවම දැකගන්න පුලුවන් වුණා
ReplyDelete