Thursday, February 21, 2013

31.අපට වෙච්චි දේ


 අද පළකරන්න ලියාගෙන හිටියෙ වෙන කතාවක්,ඒත් හිරූගෙ පෝස්ටුවකට නිශ්ශබ්ද සහන් දාපු කමෙන්ටුවකට අපේ අටම් දීල තිබුණු පිළිතුර දැකපු මගේ හිතට ආව අදහස් ලියලදාන්න හිතුණ.

නිශ්ශබ්ද සහන් කියනව රෙඩ් ලේඩි ගස් දෙකතුනක් හිටවගන්න ඕනැය කියල....

ඒකට අටම් උත්තර දෙනව අනේ බං ගස්ලබු ගස් දෙක තුනක් හිටවගනිං කියල...

අටම් ගස්ලබු ගස් කියල එතන හැඳින්වූවෙ අපේ ගම්වල ඔහේ ඉබේ හැදිල පළගත්තු කහපාට රසම රස ගස්ලබු වලටයි...

නිශ්ශබ්ද සහන්ට ඒ ගස්ලබු ගැන අත්දැකීමක් නැතිව ඇති මගෙ හිතේ....

අපි ටිකක් මෑත අතීතයට යමු...අද පළතුරු කඩවලයි පොළවල්වලයි කඳු ගහල තියෙන රෙඩ් ලේඩි ගස් ලබු එන්න කලින් විකුණන්න තිබුණෙත් අපි කෑවෙත් ඔය ඉබේ හැදුනු ගස්වල තිබ්බ කහපාට රසම රස ගස්ලබු.

ඒ ගස්ලබු ගෙඩිය කැපුවාම තියෙන කලු මුතුඇට වගේ කලුම කලු පාටින් දිලිසෙන ගස්ලබු ඇට කන්දරාව මතකද.....

ඉදුනාම පොත්ත රැහැල කන්න පුලුවන් ගස්ලබු තියෙනව.....

ඒවට අපි කිව්වෙ වරක ගස්ලබු කියල....

පොත්ත පිටින්ම කපල ඇට ඇරල කන ගස්ලබු වලට කිව්වෙ වැල ගස්ලබු කියල....

ඒව කනකොට ඉස්ම නිකට දිගේ බේරෙනව මතකද....

දැන්නං ගස්ලබු කන්නෙ දීසියක තියාගෙන හැන්දකින්...ඒත් ඒ කෑම උලා කෑම තරං රහ නෑ.

මේ ඔක්කොම මම කිව්වෙ කතාවට ආරම්භයක් වශයෙන් ....අපි දැන් කතාවට බහිමු කෙළින්ම.....

අද කෝ ඒ ගස්ලබු......?

ඒ ගස්ලබු කොහෙ ගියාද නෑ නේද....හැමතැනම ආක්‍රමණය කරල තියෙන්නෙ රෙඩ් ලේඩි...කහපාටට ලස්සනට ඉදිල තියෙන ගෙඩියෙ රෝස පාට මදේ රසද.....

අනේ මන්ද...මට නං කිසිම රසක් නෑ....අල කනව වගේ....

ඇතුලෙ ඇටත් නෑනෙ...පුහු ඇට දෙකතුනක්නෙ තියෙන්නෙ....

ඉතාම සූක්ෂ්ම විදියට විදේශීය රෙඩ් ලේඩි අපේ රට ආක්‍රමණය කරල නේද....අපට මතකත් නෑ අපේ කහ ගස්ලබු වලට මොකද උනේ කියල....ඒව කොහෙද ගියෙ කියල.

ටිකක් හිතල බලන්න......

ඊළඟට මට මතක් වෙන්නෙ තක්කාලි....

ගොරක බික් වගේ රැළි ගැහුණු රතු පාටට කහ පාටට කොළපාටට තිබ්බ පළල් ගෙඩි වල ඇඹුල් රස මතකද....

ඒ තක්කාලි වලට හොඳට බොම්බයි ලූණු අමුමිරිස් දාල මිටි කිරි දාල හදල ගත්තු හොද්දත් එක්ක උණු උණු තැටි පාන් කාල තියෙනවද....

කොහොමද රස....

මට නං ඒ දවස්වල ඔය තක්කාලි හොද්දත් එක්ක උණු උණු පාන් ගෙඩියක් උණත් කාල දාන්න පුලුවනි...

අද කෝ ඒ තක්කාලි......?

කොහෙ ගිහිල්ලද නෑ නේද...තක්කාලි කියල දැන් තියෙන බල්බ් වගේ දිළිසෙන කහපාට පොත්ත ගණකම් ගෙඩිවල තියනවද ඇඹුලක්....

හොද්දක් හදල කෑවට අර මිහිරි ඇඹුල් රස දිවට දැනෙනවද....අල කනව වගේ නේද...

මම ලංකාවෙ ඉන්දැද්දි දවසක පොළේ තිබුණ ඔය ජාතියෙ බික් තිබුනු පළල තක්කාලි ගොඩක්...මම එතනට ගිහින් තක්කාලි ගන්න ගමන් වෙළෙන්දගෙන් ඇහුව කොහෙන්ද මේ තක්කාලි කියල...

මහත්තය මෙව්වට කියන්නෙ ගොරක තක්කාලි කියල.....

ඒ මනුස්සය කිව්වා.

අර කිසිම රසක් නැති තක්කාලි කඳු වලින් අපිත් අරගෙන යනව....අපට මතකත් නෑ අපේ තක්කාලි වලට මොකද උණේ කියල...

හිතල බලන්න.....

ඊළඟට වට්ටක්කා....

වට්ටක්කා ගැනත් කියන්න තියෙන්නෙ ඒ කතාවමයි...

අපි රසට කාපු කැලෑ වට්ටක්ක හෙවත් ගොඩේ වට්ටක්කා අද හොයාගන්න හරිම අමාරුයි...

ඒ වෙනුවට හැමතැනම කඳු ගහල තියෙන්නෙ රට වට්ටක්කා....

කැලෑ වට්ටක්ක ගෙඩියක් කපල සුදුලූණු ගම්මිරිස් පොල් එහෙම ගලේ අඹරල දාල හදන හොද්දෙ රස මතකද....ලා පැනි රසකුත් එක්ක එන සැර රස....මතක් වෙනකොටත් ආස්වාදජනකයි.

ඒත් දැන් තියෙන වට්ටක්කා වලින් හදන හොද්දෙ ඒ රහ තියෙනවද...කහ පාට මඩ ගොඩක් වගේ නේද...

 පොලේ වට්ටක්ක මුදලාලිගෙ වට්ටක්ක කන්ද ලඟට ගිහිං  ..

මුදලාලි මට කැලෑ වට්ටක්ක කිලෝ එකක් කියල ඉල්ලුවාම...

අනේ බඩු නෑනෙ මහත්තයො හොයා ගන්න....කියල මුදලාලි කිව්ව.

ඔන්න අපේ සම්ප්‍රදායික බෝගයක් වුනු වට්ටක්ක වලට වෙලා තියෙන දේ...

අපේ හිතේ හැටියට රසට වට්ටක්ක කන්න බෑ දැන්...වෙළෙන්දො දෙන දේ තමා කන්න වෙලා තියෙන්නෙ.

ඊළඟට කොමඩු.....

අපේ සම්ප්‍රදායික කොමඩු ගෙඩිය තමා ලා අලුපාට ඉරිගිය ලා කොළපාට ලොකු ගෙඩිය....බොහොම රසයි රෝස පාටයි කනකොට පැනි බේරෙනව...

කෝ ඒ කොමඩු තියෙනවද දැන්....

දැන් මොනවද තියෙන්නෙ...පොත්ත ගණකම තද කොළපාට ගෙඩියක්.ඇතුලෙ ඇට පිරිල මදේට වැඩිය...එක කටකට ඇට හැටක් විතර...හැමතැනම කඳු ගහල තියෙන්නෙ මේ කොමඩු ගෙඩි...අපේ කොමඩු කොහෙ ගිහින්ද....අපට මතකයක්වත් නෑ.

අපේ දේශීය දොඩම් වගාව නැතිකරල විනාශ කරල දැම්මෙ බොහොම කාලෙකට කලින්....දැන් අපි මාස ගණං පරණ රට දොඩම් කඩෙන් අරං කනව. 

තවත් දේවල් තියෙනව කියාගෙන ගියොත්.දැන් බලමු මොකද වෙලා තියෙන්නෙ කියල....

බොහොම සරලව කිව්වොත් ලංකාවෙ කෘෂිකර්ම ඒකාධිකාරය එක කොම්පැණියක් අතෙයි තියෙන්නෙ.ඒ අයට අවශ්‍ය දේ තමා අපේ රටේ සිද්ද වෙන්නෙ....ඉතාම සූක්ෂ්මව අපේ සාම්ප්‍රදායික බෝග වර්ග නැතිකරල ඒ අයට අවශ්‍ය කරන පරිසරය හදාගත්ත....මේ මහා විනාශය දැක දැකත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නෙවෙයි කටක් ඇරල වචනයක් කිව්වෙ.

 බහු ජාතික සමාගම්වලට බෝගවර්ගවල රස ගුණ ආදී දේවල් වැඩක් නෑ..ඔවුන්ගෙ එකම පරමාර්ථය මුදල්....

විවිධාකාර විෂ රසායන කෘමි නාශක ගහල ලස්සනට නිෂ්පාදනය කරපු බෝගවර්ග වෙළඳපොළට එවනව

අපේ සම්ප්‍රදායික එළවලු පළතුරු වර්ග වලපල්ලට යවන ගමන්.....දැනටමත් හානිය සිද්දවෙලා ඉවරයි.

ප්‍රධාන දේ තමා ඔවුන්ගෙ එක එළවලුවක පළතුරකවත් බීජයකින් පැළයක් හදාගන්න බැරිකම...ඔවුන් බීජ වෙනම නිෂ්පාදනය කරනව...ඒ බීජ කිලෝ එකක මිළ අපට හිතාගන්නවත් බැහැ...ඉලක්කම් පහක ගාණක්.....

කෙසෙල් වර්ගයක් නිෂ්පාදනය කරනව විදේශීය වෙළඳ පොලට....පැළය පවා ලබා ගන්නෙ පටක තාක්ෂණයෙන් ..හිටවපුදා ඉඳල විවිධ විෂ රසායනයන් ගහල කැන ලොකුකරගන්නව..

හරියට අපේ ආනමලු හෝ ඇම්බුන් ගෙඩිය වගේ කෙහෙල් ගෙඩිය.....ලෙල්ල හරිම සංවේදීයි....ඇඟිලි පාරක් වැදුණත් එතන තැලිල ඇතුල නරක් වෙනව.

ඒ කෙසෙල්ගෙඩිය තමා යුරෝපා වෙළඳපොළේ තියෙන එකම කෙහෙල්ගෙඩිය....අපනයනයේදී ප්‍රතික්ෂේප වෙන ගෙඩි ලංකාවෙ වෙළඳපොලේ මම දැකල තියෙනව.

 මේ කෙහෙල් ගහ දවසක අපේ සම්ප්‍රදායික කෙහෙල් ගස් ආක්‍රමණය කරල නැතිකරල දායිද කියල මට නිකමට හිතෙනව.

ප්‍රශ්න සහ උත්තර ඔන්න ඔහොමයි....

මේ කරගෙන යන ආක්‍රමණය දේශ හිතෛෂින්ටවත් අපේ දේ ගැන මැරෙන්න හදන අයටවත් එක එක සේනා වලටවත් මූලධර්මවාදීන්ටවත් පෙනෙන්නෙ නැහැ....පෙනුනත් සද්ද නැතිව ඉන්නව...මොකද මේ වාගෙ වැදගැම්මකට නැති දෙයක් මාකට් කරන්න බෑනෙ.

ඒත් මටනම් මේ සිදුවූ දේ ගැන තියෙන්නෙ දැඩි කම්පාවක් හා දුකක්...ඒත් තනි මට හඬක් නෑනෙ.

අඳුරට සාප කරමින් ඉන්නවට වඩා එක පහනක් හෝ දැල්වීම වැදගත් කියල තියෙනවනෙ.

මගෙ තියෙනව ඉතා කුඩා බිම් කැබැල්ලක්....වැඩියෙ නෙවෙයි පර්චස් පහළොවයි..ඕකෙ මම කෙහෙල් වගාවක් කරල තියෙනව...විකුණන්න සීනි කෙසෙල් නෙවෙයි..අපේ සම්ප්‍රදායික කෙහෙල් වර්ගවල එකතුවක්...මට ඔක්කොම කෙහෙල් වර්ග එකතු කරගන්න බැරිවුණා...ඒත් මම මගේ ශක්ති ප්‍රමාණයෙන් උත්සාහ කරනව හැකිතරම් වර්ග එකතුකරගන්න...එතකොට කා ලඟ නැතත් මගෙ ලඟ පැළයක් ඉතුරුවෙයිනෙ.

මේ දවස්වල මගෙ කෙහෙල්කොටුවෙ තත්වය දැනගන්න විදියක් නෑ....මම නැති නිසා වල් වැහිල ඇති....මම ඉන්නකොට නම් වල් ගලවල කපාපු ගස්වල කඳන් අල එහෙම ගලවල සුද්ද කරනව...පෝර දානව...ඒත් දැන් නං ඒව ගියදාක තමා බලල කරවන්න වෙන්නෙ.

ඔය නලීන්ල සිරාල එහෙම මාව බලන්න ආපුවාම මගෙ කොටුවට එක්ක ගිහින් නිල්වන් රඹපත් සිපගෙන  එන මද සුළඟේ පහස විඳිමින් බෝතලේ සප්පායම් වෙන්න දෙන්නයි මම හිතාගෙන ඉන්නෙ....හැබැයි වහීද දන්නෙ නෑ...පොඩියට පොල් අතු මඩුවක් ගැස්සුවොත් හොඳයි කියලත් හිතෙනව.

කියන්න අමතක වෙච්චි තවත් බෝගයක් තමා වී..අපි පොඩි කාලෙ තිබ්බ සම්ප්‍රදායික වී වර්ග වන මා වී, හැංගිමුත්තං වාගෙ වැඩිමල් වී වර්ග හොඳට වේලල ගත්තම අවුරුදු ගණං තියාගෙන කන්න පුළුවනි.

ඔය ජාති විතරක් නෙවෙයි..තවත් මට දැන් මතක නැති ගණං කරන්න බැරිතරම් වී වර්ග දැන් වඳවෙලා ගිහින්.

මගේ ලියැදි කෑල්ලෙ මම ගහන්නෙ ඔය දුර්ලභ වී වර්ග...හැබැයි බිත්තර වී හොයාගන්න තමා අමාරු...කෘමිනාශකවත් විෂ රසායන වත් මම වෙලට ගහන්නෙ නෑ...පෝර ටිකක් දානව ඇරෙන්න නැත්නං ගහ හැදෙන්නෙ නෑ.
 

ඔන්න ඔහොමයි මම කියාගෙන ආපු කතාව ඉවර වෙන්නෙ....
 

මම දන්නව මේ ගැන ඔයාලටත් අත්දැකීම් ඇති...කියන්න දේවලුත් ඇති...අඩු තරමින් අපි අපි අතරෙවත් මේ ගැන ප්‍රසිද්ධ කරල දැනුවත් කරන්න හැකිවුණොත් ඒකත් ලොකු දෙයක්නෙ නිකං ඉන්නවට වඩා.
 

මේ කතාවත් ලියපු කතා පැත්තකට දාල ලහි ලහියෙ ලියපු එකක්....
අනේ මන්ද ලියපු ටික දාගන්න වෙලාවක් තියෙයිද කියල මෙහෙම වෙනකොට


59 comments:

  1. ඇයි නලින්ලා සිරාලා විතරක් ? අපිත් එනවා ඕන් !
    සහතික ඇත්ත අපි පොඩි කාලෙ වත්තෙ පිටියෙ වගා කරලා කාපු බීපු දේවල සහ අද වෙළඬපොලෙන් ගන්න දේවල් අතරෙ තියෙන්නෙ අහසට පොළව වගේ වෙනසක් !

    ReplyDelete
    Replies
    1. එන්න එන්න වෙනී,සාදරයෙන් පිළිගන්නව,අර දෙන්න දැනටමත් ඇපොයින්මන්ට් දාගෙන ඉන්න නිසයි කීවෙ

      Delete
    2. මරු කට්ටිය සෙට් වෙන්න යන්නේ... හි හි

      Delete
    3. පොඩි උනාට මමත් එනවලු බෝතලේට වග කියන්න :)

      Delete
    4. බොන්නැති අපි වගේ උංට බැරිද ඇවිල්ලා සැන්ඩියටයි බයිට් එකටයි වග කියලා කතා අහං ඉන්න ඈ....

      Delete
    5. දාපං අයියේ 5ක්... මංඤොක්කයක් පුච්චගෙන හීං කොචිචි අහුරක් කොලපොතේ කොටලා උණු අලු පල්ලේ දාල.. වග කියමු.

      Delete
    6. මාවත් ගනිං ඩෝ! රජාගෙ මොකක්ද දන්නෑ පොඩි.

      Delete
    7. අඩෝ මාත් ඉන්නව හරිය..!

      Delete
    8. බොලා තනියෙං සෙට්වෙන්න යන්නෙ අඩෝ අපිත් එනව ඩෝ.

      Delete
    9. හා...පෝයි,මාව කන්න හදන්න එපල්ලා.එන්න ආසා සියලු දෙනාටම විවෘත ආරාධනයයි

      Delete
    10. අෙජා්ව් අපි නැත්ද ඒතෙකාට... හැලපෙයා්...

      Delete
  2. අයියෝ අපේ ගෙදරනම් තියෙනවා නියම ගමේ ගස්ලබු... අපේ මල්ලි එහෙම කනවා පෙරාගෙන :)

    කෙහෙලුත් ඇත... හැබැයි අනිත් එකක්වත් නෑ :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. රජවරුන්ට ඉතින් පළතුරු අඩුවේවියැ
      එසේම වේවා

      Delete
  3. ඔය කිව්ව කෑලෑ වට්ටක්කත් දැකලා තියෙනවා.. ගස්ලබුත් කාලා තියෙනවා.. කොමඩුත් කාලා තියෙනවා... ඒත් අර ගොරකා තක්කාලි කියපු ජාතිය දැකලා නෑනේ....

    මට නම් ගස්ලබු කිව්වම ඕනේ එකක්... හැබැයි කිව්වත් වගේ රෙඩ් ලේඩි එක පහසුවට මිසක් රසට නම් වැඩක් නෑ... අර කහපාට ගස්ලබු වල තියෙන රස රෙඩ් ලේඩි එකේ නෑ තමයි... අනිත් එක කන විදිය.. මම නම් තාම ආස අර ඉස්සර කාපු විදියටම කන්න.. හි හි...

    ReplyDelete
    Replies
    1. ගොරකා තක්කාලි ඉතාම කලාතුරකින් පොලවල්වල දැකගන්න හැකි දෙයක්.මේ ලිපිය ලියන්න මග පෑදුනේ ඔබේ පෝස්ටුව නිසා,ස්තූතියි හිරූ

      Delete
  4. නැහැ හැලපයියේ මන් ඔය කියන ගස්ලබු දන්නවා..ඉස්සර
    අපි ඕව වවල තිබ්බ..කන්න කෙනෙක් නැතුව ඔහේ ගස් යට
    වැටිලා කුණු වෙලා යනවා..මාත් ඔහේ කනවා..මොකද මන්
    ඇර වෙන කෙනෙක් නැහැනේ ඕව කන්න..

    කොහොම හරි ඕව වන්දවෙලාම ගියා .පස්සේ මට ගස් ලබූ කියල
    ජාතියක් තියෙනවම නේද කියලත් මතක් උනේ කිලෝ එක 20 ට
    විකුනන්න තියෙද්දී ..හැබැයි ඒ රෙඩ් ලේඩි ..

    රෙඩ් ලේඩි කෑවා විතරයි මාත් එකෙම්ම ළඟ නැමුවා ..රෙඩ් ලේඩි රහට
    වත්තේ ගස් ලබ්බ පරාදයි ( මගේ මෙව්වා එකෙන් ) ..ඉතින් මන් ගස්
    ලබ්බ ඩිවොර්ස් කරලා ( මේකේ ඇනෝ බ්ලොක් නේද ? ) රෙඩ් ලේඩි
    සමග හාදකමක් පටන් ගත්ත..

    ඒ මිහිරි මතකය තමා හිරු ළඟ අවදි කරේ..

    ReplyDelete
    Replies
    1. ඔයාගෙයි මගෙයි හාදකම ගැන කියද්දී මන් කල්පනාවට
      වැටුණේ.." යකෝ මේ ලිඳට යන පාරට වැට ගැහුව එකට
      දුකෙන් ඉද්දි මන් ආව නේද කියල හොයන් ඔයා ලඟට "

      ඒ කාලේ මතකද හැලපයියේ ඔයාට, අපි ඇන තියන් හූල්ල හූල්ල
      හිටියා වැට ළඟට වෙලා ?

      Delete
    2. //මේකේ ඇනෝ බ්ලොක් නේද//

      අපිට තියන ප්‍රශ්න නේද බං

      Delete
    3. මතකයි මතකයි ළිඳේ කතාවෙන් හමුවුණු හැටි

      Delete
  5. //ඒ තක්කාලි වලට හොඳට බොම්බයි ලූණු අමුමිරිස් දාල මිටි කිරි දාල හදල ගත්තු හොද්දත් එක්ක උණු උණු තැටි පාන් කාල තියෙනවද....
    කියලා වැඩක් නෑ...
    පොඩි කාලේ දවසක් අනුරාධපුරේ ගිහිං එහෙ සීයා කෙනෙක් හදලා දීපු හොද්දක් එක්ක කෑවා කෑමක්...
    මං හිතන්නේ තැටි පාං එකහමාරකටවත් දෙන්නැති ගේම....

    ReplyDelete
    Replies
    1. තරියගෙත් හොඳ මතකයන් තියනව වගේ

      Delete
  6. අපට අහිමි කළ අපේ දේ ගැන දැන් ඇත්තේ මෙවන් සුන්දර මතකයන් විතරයි.. ගං ගස්ලබු පිටු මකුණු උවදුරෙන් නැත්තටම නැති වෙලා දැන් අපේ ගං වලත්..බොහොම කලාතුරකින් ගෙදරක තමා තියෙන්නේ.. මේ ගස්ලබු ගැටවලින් පොල් රා විනාකිරි දාලා හදන සිංහල අච්චාරුවේ රහ කොහොමද?

    ReplyDelete
    Replies
    1. අසීරුවෙන් අමතක කරල ඉන්න දේවල්වල රහ මතක් කරන්න එපා නලීන්,කට දිව තෙත් වෙනවා.

      Delete
  7. පුදුමාකාර ආක්‍රමණයක් තමයි අපෙ ගොවිතැන් වලට වෙලා තියනේනෙ....

    ReplyDelete
  8. උඹලගෙන් බැනුම් අහන්න හරි මේ දේත් කියන්න ඕනෙ.

    වැඩි වෙන ජනගහනයට සහ ඉල්ලුමට ප්‍රමාණයෙන් වැඩි නොවන සීමිත කෘෂි බිම් ප්‍රමාණයක වගා කරන්න නම් සම්ප්‍රදායික භෝග සහ සම්ප්‍රදායික ක්‍රම භවිතා කරලා බැරුව යනවා.

    ඔය පටක රෝපන වගේ ක්‍රම නොතිබුනා නම් අපිට ලෝක සාගින්න නිවන එක සිහිනයක්ම වෙනවා මචං.

    හා දැං බැනපල්ලා මට.

    ReplyDelete
    Replies
    1. කාබනික ආහාර ගන්න ලැබෙන එක එක්තරා ලක්ශරි එකක් නේද? හැමොටම ලැම්බෝගිනි වල යන්න බෑනේ

      ඉතින් සාමාන්‍ය ජනතාවට විද්‍යාත්මක ක්‍රම වල පිහිට තමයි

      Delete
    2. බනින්න දෙයක් නෑ ඩූඩ්ගෙ කතාව හරි.මම කිව්වෙ දේශීය බෝග රැකගැනීම ගැනයි.

      Delete
    3. කාබනික ආහාර තමයි චාමි මිළ අධිකම ආහාර

      Delete
    4. හෙන්රිත් එක්ක එකගයි, ඕක තමයි ඇත්ත....

      සාම්ප්‍රදායික සිංහල බෞද්ධයෝ වගේ ළමයි 6ක 7ක් හදාගෙන සාම්ප්‍රදායික බව භෝග වලින් යැපෙමින් ජීවත් වෙන්න අදහස් කරනව නම් ඊට වඩා මීහරකෙක් තවත් නෑ.
      ගහකොළ - සතා සිව්පාවුන් ඇළ දොළ ගංගා සාම්ප්‍රදායික ආහාර භෝග සමග නූතන සංවර්ධනයේ ප්‍රතිලාබත් ලබමින් තමන්ගෙම රටේ නිස්කලංක ජීවිතයක් ගෙවන්න කැමතිනම් ජනගහන වර්ධන‍ වේගය 0 ට හෝ (-) අංකයකට ගෙන්න සහය වෙන්න ඕන,හේවත් උපත් පාලනය අනිවාර්ය කරන්න එකග වෙන්න ඕන.

      Delete
  9. ඒක තමයි හැලපේ ළෝක ස්වාභාවය. අද ළෝකය වේගයෙන් වෙනස් වෙනවා. උඹ ඔය කියන හැම දේම තාමත් ගමේ තියෙනවා. මේ සැරේ අපේ ගමේ හාමුදුරුවෝ සුවදැල් වපුරලා තියෙන්නේ. කාලා තියෙනවා නේද..? අනික මම හිතන්නේ අපේ පොළොවෙ තියෙන සාරය. උඹ දන්නවා ඇති ඔය කෑමම යුරෝපයට වඩා මෙහේ පොඩ්ඩක් හරි රසවත් බව. උඹ කියපු එළවළු පළතුරු විතරක් නෙමෙයි හැලපේ ඉස්සර තිබුන මනුස්සකමත් දැන් නෑ. ඒකත් අර රෙඩ් ලේඩී ගස්ලබු වගේ තමයි. පෙනුම උපරිම. ඒත් රහක් නෑ. බොහෝම කළකිරීමක් මේ දවස්වල තියෙන්නේ. සෙට් වෙන වෙලාවක කියපන්. පුළුවන් උනොත් එන්නම්.

    ReplyDelete
    Replies
    1. දවසක් බිරිඳ සුපර් මාකට් එකකින් ගෙනල්ලා සුවඳැල් හාල්වලින් බත් උයලා දුන්නා.
      එනකොට දන්වන්නම්...නිසැකයෙන්ම හමුවෙමු

      Delete
  10. මිනිස් කම නැති මිනිසුන් නැති වෙද්දී ගස්ලබ්බේ රස කොහේ තියෙන්නද හැලප අයියේ.

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත අසරණයෝ

      Delete
  11. චෑ චෑ..තක්කාලි හොද්දත් එක්ක පාන් ගෙඩියක්.. බොහෝම සවුත්තු බඩගෙඩියක්නේ හැලපයියට තියෙන්නේ... තැටි පාන් ගෙඩිය මං රතු ළුණු ගෙඩි දෙකයි කලටි පොල් තීරුවයි එක්ක කනවනේ... තක්කාලි හොද්දත් එක්ක පාන් දෙකක්වත් කන්නේ නැත්තං ඒකත් බඩක්ද..? සික්..අහන්නත් ලැජ්ජයි...

    ගොරකා තක්කාලිනං දැන් හරි අඩුයි.. මේ ලගදී එයිට ටිකක් ළගින් යන වර්ගයක් කීල්ස් සුපර් එහෙක තිබිලා අහු උනා... ඒත් අරකනං නෙවෙයි... දැන් තියෙන්නේ කෘෂිකර්මෙන්ම හදුන්වලා දුන්න තිළිණ කියන වර්ගේ තමා හැමතැනම... ගොරකා තක්කාලි බොහෝම ඉක්මනට තැලෙනවා පොඩි වෙනවා නරක් වෙනවා වගේම පණු ගුල් එහෙමත් හිටිනවා. මේ වර්ගේ එහෙම නැහැ..පොත්ත හයියයි..පොඩි වෙනවා තැලෙනවා අඩුයි... පනුවෙක් බේතකට නැහැ... ඒත් ගොරකා තක්කාලි වල ලගින්වත් යන රහක් මේවෑ නැහැ... කැලෑ වට්ටක්කානං ඉද හිට තාමත් අහු වෙනවා... ගස්ලබුනං මං ඉස්සරත් ඒ හැටිම ආස කෑමක් නෙවෙයි..ඒ හින්දා ඒක ගැන ඒ හැටි කල්පනාවක් උනේ නැහැ... රෙඩ් ලේඩි එකත් නරකම නැහැ හරියට ඉඳුනොත්... වැඩේ තියෙන්නේ ගහේ ඉදෙන රෙඩ් ලේඩි නෙවෙයි මාකට් එකේ තියෙන්නේ... කාබයිඩ් වලින් ඉදෝපුවා..ඒවෑ තිත්ත ගතියකුත් හිටිනවා සමහර වෙලාවට...

    ReplyDelete
    Replies
    1. මාරයගෙ කෑමත් මාරම තමා,මාර බඩක්නෙ නේද

      Delete
  12. හැලපයියේ ඕන නං උඹට සුවදැල් කෙසෙල් පැලයක් දෙතහැකි.

    ReplyDelete
    Replies
    1. එනකොට අරං වරෙං මල්ලි,උඹට හිටවලම ගියෑකි.

      Delete
  13. කෙසෙල් වලින් මං ආසම කරපු කෙසෙල් ජාතියක් තිබ්බා. අපේ පැත්තෙ ඒවට කිව්වෙ ‘වතුපාළු‘ කියල. දැං ඒව හොයාගන්න නෑ. සීනි කෙසෙල් වලටයි ඇඹුල් කෙසෙල් වලටයි ඉඩ දීල ඒව නැත්තටම නැතිවෙලා ගිහිංද කොහෙද...

    ReplyDelete
    Replies
    1. වතුපාළු කියන්නෙ සීනි කෙසෙල් වලට නෙවෙයිද පරිකල්පන,මම හිතා හිටියෙ එහෙමයි

      Delete
    2. සීනි කෙහෙල් තාමා...වඳකරන්න බෑ ලෙසියට ,වැ‍ටුනු තැන පැලවෙනව.

      Delete
    3. සීනි කෙසෙල් නෙවෙයි. මං හිතන්නෙ ඔය පැත්තෙ ඒවට කියන්නෙ 'පූවාළු' කියලද කොහෙද. ටිකක් පිටි ගතිය වැඩි කෙසෙල් ජාතියක්...

      Delete
    4. ඒක හරි,පුවාළු හෝ රට හොඩරවාලු විය යුතුයි

      Delete
    5. වතුපාළු කියන්නෙ සුවදැල් වලම ප්‍රභේදයකට, රසයෙ වෙනසක් නෑ.පදුර විශාලව වැඩෙනවා.එහෙම විශාලව වඩුන කේඩෑරි කෙසෙල් පදුරු තියෙන ඉඩමෙන් ඉස්මතුව පේන්නෙ හරිම නිසරු පෙනුමක් වතු පාළු කියන්නෙ ඒ නිසා වෙන්න ඇති.
      පුවාළු කියන්නෙ කෝලිකුට්ටු වලට පිටි අධික වගේම මිළ අධික කෙසෙල් වර්ගය.

      Delete
  14. ගොරකා තක්කාලි නම් මමත් හොයනවා පොලේ යන දවසට. ඉඳලා හිටලා හම්බවෙනවා. ඒත් හේන් තක්කාලි එහෙමනම් හොයා ගන්නත් නෑ. අර පුංචි ගස් වල බල්බ් දැම්මා වගේ හැදෙන තද ඇඹුල් රස තක්කාලි. දැන් තක්කාලි විතරක් නෙවෙයි හුඟක් එලවලු වල කිසිම රසක් නෑ. හැම එලවලුවක්ම එකම රහ වේවි තව ඉදිරියෙදි..

    පලතුරු නම් ඉතින් ස්වාභාවිකව ඉදෙන පළතුරු විකුණන්න නැහැනේ, අර ඇඹුල් රසයි පැණි රසයි කලවම් උණ අපේ දෙළුම් හොයා ගන්නත් නැති තරම් දැන්. හැම තැනම තියෙන්නේ තද රතු පාට මැලේෂියන් දෙළුම් වර්ගයක්..රෙඩ් ලේඩි ගස් ලබු වල නම් මට මෙලෝ රසක් නෑ..

    ReplyDelete
    Replies
    1. ඒක තමයි,හැම එළවලුවකම පළතුරකම එයට ආවේනික රස නැතිවෙලා ගිහිං

      Delete
  15. ඇත්තටම ඔය කෘතිම ක්‍රම වලින් හදාගත්ත ගස්වල ගෙඩි අර ස්වාභාවික ඒව තරං කොහොමත් රස නෑ.

    ඔය කොම්පැනිවලින් හඳුන්වල දෙන බෝග වර්ග උංගෙ කෙමිකල්ස් ගහන්නැතිව වගාකරන්න බැරි වෙන්න වෙන්න ඇති හදල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒකම තමයි මම කියන්න උත්සාහ කළෙත් ප්‍රසන්න

      Delete
  16. අපේ දේශීය ගස්ලබු වලට ලෙඩක් ආවා.කොළ හැකිලිලා,ගෙඩිවලින් කිරි වෑස්සිලා,ඒ පලදාවෙන් වැඩක් නැතිව යනවා.අනිත් අතට කඳුකරේ ඉන්න අපට තියෙන ලොකුම ප්‍රශ්නේ රිලවුන්ගේ ආක්‍රමණය උන් එක්ක පැපොල් දල්ලක් වත් බේරාගන්න බැහැ.අපේ දේශීය දොඩම් වගාවක් අපේ ගෙදර කොන්ක්‍රීට් වහල මත සාර්ථකව කරනවා.ඒ විශාල සිමෙන්ති පෝච්චි වල.දැන් ඒ ගස් වල ගෙඩි පිරිලා තියෙනවා.අපේ ප්‍රදේශය දොඩම් වගාවට තෙත් වැඩි නිසයි වහල මත කර්කශ පරිසරයක වගාව කලේ.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි ඇනෝ,ඔය රෝග ජාතිත් විදේශ බෝගත් එක්කම රටට ආපුවා වෙන්නැති.

      Delete
  17. මාතලන් පෙන්නපු නිසා "නාකි වැලංටයිං"කියවල කොමන්ට් කලා.පස්සෙ බලද්දී දැක්ක වැලා නොකියම යන්න ගිහින් බව. ඔබගේ ලිපි සියල්ල කියවූව.ගැමි සුවද සමගින් ඔබ ලියා ඇති සත්‍ය සිදුවීම් කියවද්දී එවැනි අත්දැකීම් ලබා ඇති අයටත් රසවිදිය හැකි ලෙස ලිවීම නම් හරිම අපූරුය.
    ඇයි ඔබට අමතක උනාද අපි ඉස්සර කාපු වත්තෙ වැවෙන එක එක වර්ගවල "මැන්ගෝ".චූටි ගෙඩිය හොදට ඉදුනම ගෙඩිය මිරිකල පොඩ්ඩක් හිල් කරල ජුස් ටික බීල ඇටේ සුප්පු කරපු විදිය.

    ReplyDelete
    Replies
    1. ඇට සූප්පු කරන හැටි මාරයා ලියලා තිබුනා මැන්ගො වලටත් වඩා රහට

      Delete
    2. ස්තූතියි කෙන්ජි,අඹ ගැන මතක් නොවුනා නෙවෙයි,ලිපිය දිග වැඩිවන නිසාත් අඹ ගැන ලඟකදි මාරයා අඹ වලටත් වඩා රස ලිපියක් ලියල තිබ්බ නිසාත් මම ලිව්වෙ නෑ

      Delete
  18. වඩාත්ම හොද කෙසෙල්... 1.නේත්‍රපලම් 2.බිම් කෙසෙල් 3.ආනමාළු 4.රත් කෙසෙල් 5.සුවදැල් 6.පුවාළු 7.සීනි කෙසෙල් 8.අළු කෙසෙල්...
    එපාම කරපු එක ඇඹුල්.

    හැලපෙට සාම්ප්‍රදායික බිත්තර වී හොයාගන්න ඕන නම් මතුගම සෙනෙවිරුවන් මහතා සම්බන්ද කරගැනීමෙන් පුළුවන් වෙයි.
    සෙනෙවිරුවන් මහතාගේ බ්ලොග් එක

    ReplyDelete
  19. හැලපේ..ඕව ඔහොම තමා බං. දැන් බලපං අපේ ගමේ පොඩි එවුන් ඉන්නවා දැන් නමිනං ගෙඩියක් දැකල නැති. අනේ අනිච්චං. රෙඩ් ලේඩි හොදා...ඩෙංගු ලෙඩ්ඩුන්ට කොළ කොටල යුෂ දෙන්න. ගෙඩි අජූතයි. ගමේ ගස් ලබ්බක් (අපි කියන විදිහ ) කාපු එවුන්ට ඕව මොනවද...

    හැලපේ එක්ක සෙට් වෙන්න ඉන්න එවුන්ගේ හැටියට උඹට වත්ත ලොකු කරන්න වෙයි...(ඒ මටත් කියහංකෝ)

    ReplyDelete
  20. "ලා අලුපාට ඉරිගිය ලා කොළපාට ලොකු ගෙඩිය..."
    කියන්නත් ලැජ්ජයි දැකලවත් නෑ ඕයි...

    madda..

    ReplyDelete
  21. කුඩා කල සිටම ගස් ලබූ සහ වට්ටක්කා වලට ඇති අකමැත්ත නිසා මට ඒ පිලිබඳ වැටහීමක් නැත ... ගස්ලබු මෙන්ම ඔය පුස් සැලට් යයි කියනා ගස්ලබු අච්චාරු මට නං දිරවන්නෙම නැත ...

    නමුත් හැලපයියා කෙසෙල් සහ දොඩම් ගැන මතක් කල විට මොකුත් නොකියාම බැරිය ... මැදපෙරදිග තියනා ප්ලාස්ටික් වැනි කෙසෙල් සහ වතුර රහ දොඩම් අප්පිරියය ...

    එන පාර ලංකාවට ගිය වාරයකදීවත් ලංකාවේ දේවල් රහ බලන්නට ඕනෑය ... කෝලිකුට්ටු වලට වඩා මටනං දිරවන්නේ ඇඹුල් සහ ආනමාළු තමයි :)

    ඕමාන් වල වැවෙනා පළතුරු ආනයනික ඒවාට වඩා බොහොම රසයි කියා මම අහල තියනවා !

    ReplyDelete

ඔබේ අදහස්