Tuesday, January 8, 2013

13.රුධිර බලය...2


ටික වෙලාවක් කල්පනා කරමින් හිටපු මාස්ටර් නැගිටල ගෙට ගියා.

බලාපොරොත්තු සුං වෙලා ගියපු අපිත් එහෙට මෙහෙට විසුරුණා,ස්ටේජ් එක පැත්තෙ ගිය අපි දැක්කෙ තේමිස්ල බීල ස්ටේජ් එක උඩ සාජ්ජයක් දානව,අපිව දැකපු තේමිස් හුලා හුප් නැටුමක් නැටුවෙ සරමත් දෙපැත්තෙන් උස්සගෙන.

කොහොමහරි මම ගෙදර යනකොට මාස්ටර් අපේ ගෙදර,මහප්පට කතාව කියනව මහප්පත් වචනයකින්වත් බාධාකරන්නෙ නැතුව අහගෙන ඉන්නව.

 මහප්ප ගමේ ගොඩක් ජනප්‍රිය චරිතයක්,වැඩ ඇරිල ඇවිත් හැමදාම කඩේළඟ මිතුරු සමාගමට එකතුවෙන ඔහු රෑට ගෙදර එන්නෙ යාලුවොත් එක්ක අඩියකුත් ගහලයි,ගමේ ලොකු අය මහප්පට කිව්වෙ කෝටු මහත්තය කියලයි ඒ කෙට්ටු හින්ද වෙන්නැති,ඒ නැති තැන,ඉන්නකොටනං රාළහාමි කියලයි කිව්වෙ.මාස්ටර් ගෙ සංගීත කලා කටයුතු වැඩ හැටියට ලොකු උදවිය ගණං ගත්තෙ නෑ,ඒ ගොල්ල ඒවට කිව්වෙ සෙල්ලං වැඩ කියල,ඒ හින්දම මාස්ටර්ගෙ වැඩ කටයුතු ගැන මහප්පල එච්චර උනන්දුවක් තිබුණෙ නෑ.

මාස්ටර් කතාව කියල ඉවරකලා,මූණ අඳුරු වෙච්චි මාස්ටර්ගෙ ඇහැක ලොකු කඳුලක් දිලිසෙනව,මේ පුද්ගලය අසරණවෙලා තමන් ළඟට ඇවිත් පිළිසරණක් බලාපොරොත්තුවෙන් දුක කියනකොටනම් මහප්පගෙ පපුව පත්තුවෙලා ගිය බව මට පෙනුණා.මාස්ටර්ගෙ කතාව බොහොම සාවධානයෙන් අහගෙන හිටිය මහප්ප කිව්වෙ මෙච්චරයි.

රිචට්...උඹ ගෙදර පළයං...
 වෙනදට මාස්ටර්ට කතා කරනකොට තිබුණු කෙළිලොල් හඬ ඒ වචනවල තිබුණෙ නෑ.වචන බොහොම බරයි.

රිචඩ් මාස්ටර් එලියට බැහැල ගියා..දවල්ට කන්න බත් බෙදල තිබුණත් බත් කකා ඉන්න මහප්ප පරක්කු වුණේ නෑ,ඉස්තොප්පුවෙ තිබුණු හෙප්පුවෙන් විටකුත් ඒදල කටේ දාගත්තු මහප්ප එළියට බැස්ස.

 මිනිස්සු කණ්ඩායමකගෙම කටහඬවල් එකසැරේ ඇහුණෙ අම්ම බෙදල දීපු බත් එක කකා ඉද්දියි,සද්දෙ මොකද්ද බලන්න මම ඉස්තෝප්පුවට ගියෙ බත් කමින්මයි.

කැති පොරෝ කර තියාගත්තු කට්ටියක් නියර දිගේ ඇවිත් අපේ වත්තට ගොඩවෙනව,එගොඩහගොඩේ නන්දෝරිස්,ජයසේකර,සරං. එතකොට අපේ ගොඩෙන් දනියෙල් කරෝලිස් එක්ක වත්ත උඩිං එනවා,ටිකකිං බීරි කරෝලිස් ආවෙ කරත්තෙත් බැඳගෙන.
 වත්ත පහළ මහ ගොරොක්ගහ ළඟ තිබුණු උණ පඳුරෙන් කට්ටිය ගස් කපාගත්ත,ඊට පස්සෙ මහප්ප පෙන්නපු පුවක් ගස් දෙකතුනකුත් කැපුව,ගස්ටික ඔක්කොම කරතියාගත්තු කට්ටිය වෙළෙන් එගොඩවෙලා එගොඩහට ගියා.

අපේ අලුත්ගෙයි වහලෙ ගහන්න පලපු පරාල ටික ඔක්කොමත් බීරි කරොලිස්ගෙ කරත්තෙට පටොගෙන ගියා.

අපි කොල්ලො රැළත් එගොඩහට දුවගෙන ගියෙ වෙන්නෙ මොකක්ද බලන්නයි.

 ගමේම කට්ටිය එකතුවෙලා අපේ ටීටර් එක නටන්න ස්ටේජ් එකක් හදනවා.

ස්ටේජ් එක හැදුවෙ සැන්ටිං මුදලාලිගෙ කඩේ ඉස්සරහ තිබුණු වෙද මහත්තයගෙ හිස් ඉඩං කෑල්ලෙ,එතන හොඳට ඉඩ තියෙනව,ඇයි පහුගිය දොහක විජේබාහු විජේසිංහ මහත්තයත් ඇවිත් චන්ද රැස්වීමකුත් තිබ්බෙ ඔතනමනෙ,ඉඩ මදියැ.

කණාටු පොල්ගහක් කුට්ටි කරල බිම හිටෙව්ව,හරහට දැම්මෙ අපේ ගෙදරින් ගෙනාපු පොල් පරාල,උඩට දැම්ම අපේ අලුත් ගෙදර දොරපලු ටික.

 ගෑණු කට්ටිය එකතු වෙලා පොල් අතු වීය වටේ අහුරන්න,සැන්ටිං මුදලාලිත් කඩේ වතුර මුට්ටිය ඉවර වෙන්න ඉවර වෙන්න උණු කර කර තේ හැදුව කට්ටියට,හැබැයි පිරිමි ටික නං වෙද මහත්තයලගෙ ගෙවල් පැත්තට ගිහිං ආපහු ආවෙ කට ඇඹුල් කරගෙන හතර වටේට කෙල ගහ ගහ.

හවස පහමාර වෙද්දි ස්ටේජ් එක හදලත් ඉවරයි,රිචඩ් මාස්ටර්ගෙ මූණ මල් පොකුරක් වගේ පිපිල.ඔක්කොම වැඩ ඉවර කරල මාස්ටර්ට ළඟට අඬගහපු මහප්ප..
 ඕං රිචට්..ඇති පදං ඉඩ තියෙන්නෙ..නටාගනිංකො උඹගෙ ටීටරේ ඕනැ විදියකට...

කියල කිව්වෙ ජයග්‍රාහී විදියට හිනාවෙවී...

මහප්පගෙ අත් දෙකෙම්ම අල්ලගෙන හක හක ගාල හිනාවුණු මාස්ටර්ගෙ බොරු දත් කුට්ටම කීප සැරයක් බිම වැටෙන්න ගියා.

හවස හයහමාර විතර වෙද්දි ඇඳුම් පෙට්ටි,තිර පොට්ටනි එහෙම කර තියාගෙන ගෝලයොත් එක්ක ආපු සිඤ්ඤා අපි කට්ටියට ඇන්දෙව්වා.
 නියමිත දවසෙ නියමිත වෙලාවටම රුධිර බලය ටීටර් එක අපි ජයටම නැටුව.

ඉන්ටවල් එක වෙලාවෙ නන්දෝරිස් බම්බුවට ඇඳල නැටුවෙ..

ඉස්ටැයිල් බොහොම ගුඩ්ලක්
මං වාගෙ ඇද්ද තරුණන්
අද ජොලි පිට ජොලි කරමින් දිවි ගෙවනවා..

කියන සිංදුව කිය කියා....
 අපි ස්ටේජ් එකේ පෙනී හිටිය වෙලාවෙ ගෙදරින් කවුද ඇවිත් මගෙ ඇඳුමෙ ගැහුව පහේ කොළයක්,කාට කාටත් ඔය වාගෙ තෑගි ලැබුණා.

පහුවදා උදේ මට හම්බ වෙච්චි පහේ කොළේ ලස්සන බල බල ඉන්නකොට තමයි රිචඩ් මාස්ටර් අපේ ගෙදර ආවෙ මහප්ප හම්බවෙන්න,මාස්ටර්ගෙ අතේ බුලත් අතක්.

බොහොම ගෞරවයෙන් බුලත් අත මහප්පට පිළිගන්නපු මාස්ටර් එතනම පාත්වෙලා වඳින්නයි හැදුවෙ,ඒත් මාස්ටර්ගෙ උරහිස්සෙන් අල්ලගත්තු මහප්ප වඳින්න දුන්නෙ නෑ.
 ඔය ඇති බං...මහප්පටත් කතාකරගන්න බෑ.

කියන්න කතාවකුත් ලොකු ස්තූතියකුත් අරගෙන ආපු මාස්ටර්ට එක වචනයක්වත් කටිං පිටකරගන්න බැරිවුණා,මහප්පගෙ උරහිසට හිස වාරුකරගත්තු මාස්ටර්ගෙ ඇස්වලින් උල්පතකින් වාගෙ ගලාගෙන ආපු කඳුලු ධාරාව ඔහුගෙ කෘතඥතාව අපූරුවට කියාපෑව.

ඊළඟ සෙනසුරාද ටීටර් එකට වෙච්චි බාරයක් ඔප්පු කරන්න එහා ගමේ පුරාණ පන්සලේ දේවාලෙට මාස්ටර් අපිවත් ඉස්සර කරගෙන පයින්ම ගියේ රටක් ජයගත්තු රජෙක් වගේ.
 මේ සිද්දිය වෙලා ලබන අලුත් අවුරුද්ද වෙනකොට අවුරුදු 50 කුත් පිරෙනවා,එදා මෙදාතුර මෙහෙම දෙයක් අපේ ගමේ ආයෙත් සිද්ද වුණේ නෑ.මේ කතාව දන්න අයත් දැං ඉන්නෙ අපි කීපදෙනා විතරයි.

මේ කතාවට මුල්වෙච්චි චරිත ඔක්කොම වගේ මේ වෙනකොට ජීවතුන් අතර නෑ.

ඉමිහිරි මතකයන් ඉතිරිකර ජීවිත රඟමඩලෙන් සමුගෙන ගිය ඒ උදාර මිනිසුන්ට මේ ලිපිය උපහාරයක්ම වේවා.



25 comments:

  1. අනිවා උපහාරයක්ම වේවා...! ලස්සන අතීතයක්..!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වීයා

      Delete
  2. පුදුම තරම් සුන්දරයි....

    හිතට ගන්නවනම් මේක ආදර්ශමත් කතාවක්.....!!

    ReplyDelete
    Replies
    1. ඔය වගේ දේවල් ඉස්සර නිතරම වුණා

      Delete
  3. කියන්න දෙයක් නෑ.. හැලපෙ මාර රසයි...අඩු වැඩිය ගානට.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි,තවත් හැලප තියෙනව

      Delete
  4. නියම වැඩක්නෙ කරල තියෙන්නෙ. ඒ කාලෙ ගම්වල මිනිස්සුංගෙ තිබ්බ එකමුතුකම මේ කතාවෙං පේනව.

    'පිරිමි ටික නං වෙද මහත්තයලගෙ ගෙවල් පැත්තට ගිහිං ආපහු ආවෙ කට ඇඹුල් කරගෙන හතර වටේට කෙල ගහ ගහ.' ඒ කියන්නෙ වෙද මහත්තය මැජික් අරිෂ්ටෙ පෙරනවද?

    ReplyDelete
    Replies
    1. වෙද මහත්තය කිව්වට ප්‍රසන්න මිනිහ කරපු වෙදකමක් නෑ.අලුත් අවුරුද්දට නානුයි තෙලුයි හදල ගමටම බෙදපු එක තමා දන්න එකම වෙදකම.සුරුට්ටු කොටේකුත් කටේ ගහගෙන ඔය අරිෂ්ටෙ නම් දුන්න.

      Delete
  5. පුදුම මනුස්සකමක්.. මට ඉතිං මේවට ඇඬෙනවා.. ඒක අමුතුවෙන් කියන්න දෙයක් නෑ... හි හි

    ඇත්තටම ඒ වගේ මිනිස්සු අපි අදටත් මතක් කරලා පිං දෙන්න ඕනේ අය...

    ඒත් කෑල්ලක් හැලිලා කියලා හිතෙනවා.. ඇත්තටම තේමිස්ලා ආවේ නැද්ද ඕක බලන්න.... නැත්තම් ඒක පස්සේ කතාවකට අයිති දෙයක්ද....?

    ( මට හැමදාම පුරස්න.. හි හි)

    ReplyDelete
    Replies
    1. තේමිස්ලට එන්න පුලුවන්ද හිරූ රෙද්දකුත් ඇඳගෙන,තවත් එකක් අර කරණං පරෙයිය කියල එයාට කිව්වෙ අපේ අක්ක එහෙම
      මගෙ හිතේ ඇවිදිනකොට ටිකක් නැටුම් ගතියක් තිබුණා,විජේසිංහට නං අබ්දුල්ල කිව්වෙ කටට ආවට වෙන්න ඇති,පස්සෙ නම රෙජිස්ටර් වුනා.

      Delete
  6. කතාවේ කොටස් දෙකම කියෙව්වේ අද තමා..... හරිම රසවත්.... මම නම් කවදාවත් ටීටර් බලලා නෑ.... මේක කියවනකොට හරිම ආස හිතුනා....

    ඒ කාලේ මිනිස්සු හරි එකමුතුව වැඩ කරනවා නේද? දැන් කාලේ කොහෙද ඕවා. සමහර වෙලාවට එහා ගෙදර ඉන්න මනුස්සයවවත් අදුරන්නේ නැති කාලයක්නෙ.....

    ReplyDelete
    Replies
    1. ඒක නං සහතික ඇත්ත සමනළී,තවත් රස කතා ඉදිරියෙදි කියන්නම්කො

      Delete
  7. මගේ ඇස් වලටත් මාස්ටර්ට වගේම කදුලු ආවා... මට තියෙන දුක තමයි මේ වගේ අව්‍යාජ මිනිසුන් හිටිය සමාජෙක ජීවත් වෙන්න අපට අවස්ථාව නොලැබීම... කොච්චර ලස්සනද ඒ කාලෙ..අද වගේ සල්ලි හොයන රේස් දුවපු නැති නිවී සැනසිල්ලෙ තියෙන දෙයක් කාලා ජීවත් වෙච්ච කාලයක් නෙව....

    හැලප මාමෙ හැබෑටම වයස කීයද ?

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ ජීවත්වුණු අය ඔය ආතතිය කියන එක අහලවත් තිබුණෙ නෑ සිරෝ.
      මම නං නොදැවී අර්ධ ශතකයක් දැනටමත් ගහලයි තියෙන්නෙ.

      Delete
    2. මගේ ඇස් වලටත් මාස්ටර්ට වගේම කදුලු ආවා...

      ඇයි සිරා මට

      Delete
  8. හැලපේ ඔයා බ්ලොග් කලාවට අලුත්ම රිද්මයක් ගෙනෙනවා මේ කතා කලාවෙන්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නලින්,නව රිද්මය දිගටම පවත්වාගෙන යාම තමා අභියෝගය

      Delete
  9. . සුපිරියි....අපිට නෑනේ ඔය වගේ අතීතයක් ....මමත් කවදාවත් ටීටර් එකක් බලලා නෑ. ටීවී එකේ කතාවක් ගියා මතකද දන්නේ නෑ "සැරද සුගතන්" කියලා. එකෙත් තිබුනේ ටීටර් කතාවක් තමයි

    ReplyDelete
    Replies
    1. මම නම් ඒ කතාව බලලා නෑ පැතුම්,ඒත් ඔබට ටීටර් ගැන කියල දෙන්න ලැබීම සතුටක්

      Delete
  10. මේ හැලපයගෙ හැලප කතා නම් සුපිරියි..

    ReplyDelete
    Replies
    1. තව හොඳ කතා ඉදිරියට දෙන්නම් යසිත්

      Delete
  11. මරු මචං. තව හැලප තියෙනවා කියලා දැන ගත්ත එකත් ලොකු දෙයක්.

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  12. මහප්පා නම් සුපිරි ඩයල් එකක්

    ReplyDelete
  13. තේමිසා එක්ක පුදුම තරහක් එන්නේ .. වැරදි වැඩේ කරලා තව කරනම් ගහන්නත් එනවා

    ReplyDelete

  14. ඒ කාලේ මිනිස්සු හරි එකමුතුව වැඩ කරනවා නේද? දැන් කාලේ කොහෙද ඕවා. සමහර වෙලාවට එහා ගෙදර ඉන්න මනුස්සයවවත් අදුරන්නේ නැති කාලයක්නෙ..... 2

    ReplyDelete

ඔබේ අදහස්