අපේ කණ්ඩායම ඔන්න වැඩ පටන්ගන්න බදුල්ලට ගියා...ගියපු කණ්ඩායම මෙහෙමයි,අපේ ප්‍රධානියා, මමයි මගෙ ගෝලයයි තව අලුතෙන් ඔෆිස් එකට ආපු කොල්ලො දෙන්නෙකුයි, නම් කියන්න හොඳ නෑ දෙන්නම දැන් රජයේ ලොකු ලොකු තානාන්තරවල ඉන්නෙ, සරත් සහ උමගිළිය ඒ දෙන්න පින්තූර ගන්න ගියා, උමගිලියගේ ලොකු පුතත් ගමනට සහභාගී වුණා...අන්න කොල්ලො, තාත්ත ජේ ආර්ට කියල හදල දුන්න රජයේ රස්සාව පිස්සු කෙලල නැතිකරගත්තා, දැන් කන්න බොන්න දෙන්නෙත් සිගරැට් එක බොන්න පවා සල්ලි දෙන්නෙ තාත්තා... ඌට හෙන ජොලි, මොන කරදරයක්ද හැමදේම හම්බවෙනවනේ, අපි ඌට කිව්වෙ උමගිළිය ජූනියර් කියල පස්සෙ නිකම්ම ජූනියර් උනා...
එතකොට කණ්ඩායම ඔක්කොම අටයි නෙ, අපි කට්ටිය වාහන දෙකක ගිහිං දුන්හිඳ තියන පාරෙ කිලෝමීටර් දෙකතුනක් ගියතැන හම්බවෙන සරත්ගෙ යාළුවෙකුගෙ ගෙදර නවාතැන් ගත්තා...ගිය තැන දැන් ඇහුවට අයුරු කියන්න නං මට මතකක් නෑ ඉවාන්, හැබැයි ඒ ගෙදරට වාහන යන්න බෑ කන්ඩියක් උඩ තිබුනෙ...වාහන පාරෙ නවත්තල කපල තිබ්බ පඩිවලින් ගලෙන් ගලට නැගගෙන අපි ඒ ගෙදරට ගියෙ, පාරට පහලින් සීතලම සීතල සුදෝසුදු වතුර ගොබයක් ගලාගෙන ආපු පීල්ලක් තිබුණා, බොන්න වතුර ගන්නෙ නාන්නේ ඔක්කොම ඒ වතුර පීල්ලෙන් තමයි... පාරෙන් එහා පැත්තෙ කන්දෙ බඩ පිරෙනකන් බොන්න කිතුල් රා තිබුණා, ඔන්න ඉවාන් තැන මට එච්චරයි කියන්න මතක...
ඒ දවස්වල අපි රාජකාරියට ගියාම නවාතැන් ගත්තෙ ඔන්න ඔය විදියට...දැන් එවුන් නං හෝටල් නැත්නං යන්නෙ නෑ පහසුකම් මදි කියල, අපි ගිය පළාත්වල කිට්ටුව පාතක රජයේ ගොඩනැගිලි තිබ්බනං එවයේ නැවතුනා, නැත්නං කාගෙහරි යාලුවෙක්ගෙ තැනක ගජේ ගහනව, තෙල්දෙණියේ ජංගම සේවෙට ගිය වෙලේ නැවතුනේ පොල්ගොල්ලේ සමූපකාර විද්‍යාලෙ නේවාසිකාගාරවල, නුවර පදවිප්රාප්තියට ගිය වෙලේ නැවතුනේ ගන්නොරුවේ කෘෂිකර්ම විද්‍යාලෙ නේවාසිකාගාරවල, මයියංගනේ සාහිත්‍ය උත්සවයට ගියවෙලේ නැවතුනේ ඒත් ටවුමෙම තනියම හිටපු සරත්ගෙ යාළුවෙකුගෙ නිල නිවාසෙක, ඔයවගේ තමයි නවාතැන් කෑම බීම ගැන මහලොකුවට හෙව්වේ නෑ, රාජකාරිය හරියට කරන එක තමයි ඉතාම වැදගත් කොට සැලකුවෙ ...
නුවර තිබුණු ශ්‍රීමතාණන්ගේ පදවිප්රාප්ත සංවත්සරයට දෙපාර්තමේන්තුවෙන් නුවර බෞද්ධ මන්දිර ශාලාවෙ ඡායාරූප ප්‍රදර්ශනයක් තිබ්බා...අපි දෙසතිය කණ්ඩායම නුවරට ගියෙ දෙසැම්බර් තිස් එක්වෙනිදා හවස් වරුවෙ ශාලාවෙ අපේ දෙසතිය අළෙවිහල හදල නිදාගන්න ගන්නෝරුවෙ යනකොට රෑ දොළහත් පහුවුනා...
මුළු නුවර පළාතම අලුත් අවුරුදු වෙඩි හඬින් ගිගුම් දෙන නව අවුරුදු උදාව මොහොතෙ අපි ටික පාර අයිනෙ තිබුණු පෙට්ටි කඩේකින් සුදු ආප්ප ලුණුමිරිසුත් එක්ක කාල තේ බිව්වා, ඒ අපේ රෑ කෑම...
ලංකාවෙ හිටියත් ලෝකෙ කොහෙ හිටියත් ජනවාරි පළවෙනිදට අපි කිරිබත් කෑල්ලක් කනවමනෙ, ඒ ජනවාරි පළවෙනිදා තමයි මට මතක තියෙන කිරිබත් නැති එකම නව අවුරුද්ද...උදේ දහයට විතර අපි ගිහිං පෙට්ටි කඩේකින් වේලිච්ච ආප්ප කෑවා,මම ඕක මගේ ඩයරියෙත් ලියල තිබ්බා "කිරිබත් නැති ජනවාරි පළවෙනිදාවක්"කියල, ඩයරියේ ලිව්වා කියපුවම උඹල හිතන්න එපා මම ඩයරි ලියන සතෙක් කියල...මම ඩයරියක් තියාගෙන හිටියෙ අපි රාජකාරිවලට පිට යන දවස් වෙලාවල් එහෙම ලියාගන්නයි...නැත්නං සබ්සිස්ටන්ස් ක්ලේම් පෝම් එක ලියන්න ඇඹරෙන්න වෙනවනෙ දවස් මතක නැතුව...හැබැයි ඩයරි නොලිව්ව එක අපරාදයක් කියල දැන් නං හිතෙනව, ඒ දවස්වල විස්තර ඩයරිවල ලියල තිබ්බනං මං මේ පෝස්ට් ලියන්නෙ කජු කනව වගේ, නිකං කජු නෙමේ රටකජු...දැන් ඉතිං ලියන්නෙ මොළේ කොර වෙනතුරු කල්පනා කරකර, නැත්තං එක එකාට පෝන් කරකර බැණුම් අහගන්නව...
මචං අපි අර අහරෙ ගියෙ කවුරු කවුරුද ඒ කොයි කාලෙද...
තොගෙ ඔලුවෙ අමාරුව තාම හොඳ නැද්ද යකෝ...
ආ..මට විතරයි ඔලුවෙ අමාරුව තොට නෑ...තොට තියෙන්නෙ හොඳ වෙන ඔලුවෙ අමාරුවක් නෙමේනෙ,නාකි ගෑනියක් දැක්කත් තොට ඔලුවෙ අමාරුව හැදෙනවනෙ බොල...
මව් ගුණ ගායනාවලින් පස්සෙ බොහොම අමාරුවෙන් විස්තර අහගන්නෙ ඒ හින්ද මම මේ දැන් බ්ලොග් ලියන තරුණ ළමයින්ට දෙන එකම අවවාදය නම් ඔය විස්තර ලියල තියාගන්න, පස්සේදී හරිම වටිනව...ඩයරියක් නැත්නං කොපි පොතක හරි කමක් නෑ...අපි කොල්ලො කාලෙ එහෙමනෙ, අපට ආසාව තිබ්බට ඩයරි ලැබෙන්නෙ නෑ,දැන් නං දෙසැම්බර් මාසෙ ඉඳල අප්‍රේල් විතර වෙනකං ඩයරි ගෝනියක් විතර හම්බවෙනව, ඒ වුණාට දැන් ඩයරි ගැන කිසිම ආසාවක් නෑ, ආසාව තිබ්බ කාලෙ ලැබුනෙ නෑ, ඕව ඔහොම තමයි මම ඉස්පිරිතාලෙ වැඩකරන කාලෙ අපිත් එක්ක වැඩකරපු කෙල්ලෙකුගෙ මහත්තය මට ලස්සන ඩයරියක් දුන්න...
මමත්ඉතිං බොහොම සතුටෙන් ඔය ඩයරියත් අතේ තියාගෙන පොර වගේ ආඩම්බරෙන් දවස් දෙක තුනක් වැඩට එන්න ඇති ඕනැනං...ඒ දවස්වල මට ආලවන්තකම් පාපු අංගනාවක් ඔය ඩයරිය දැකල...
ආ මෙයා මේක මටත් හොරෙන් තියාගෙන හිටිය නේද මේක මට හොඳයි...
කියල මවු තුරුලෙන් දරුවෙක් ඇදගෙන යනව වගේ මගෙ ඩයරිය අරං ගියා, මොනව කරන්නද එපා කියන්නයැ එපා කිව්වොත් එහෙම...
තමුසෙට මට වැඩියෙ මේ කඩදාසි ටික ලොකුඋනා එහෙනං, ඔය මගුල තමුසෙම තියාගන්නව...මගෙ ගැන බලාපොරොත්තු තියාගත්තෙ නැතුවට කමක් නෑ...
ඔන්න ඔහොම කියල ඩයරියත් දමල ගහල යයි කියල මගෙ හිතේ බයකුත් නොතිබුනා නෙවෙයි...ගෑනු ඔහොමනෙ මගෙත් පළවෙනි කුළුඳුල් ආදරය නොවැ...ඉතිං මමත් ඒ දවස්වල සත්‍ය ප්‍රේම භෘංග රාජයා වගේ හිටියෙ...සත්‍ය ප්‍රේම භෘංග රාජය කියපුවම මට මතක් උනේ ඊට අවුරුදු හත අටකට පස්සෙ මට මුණගැහුණු භෘංග රාජයෙක්...
මෙයා බොහොම ලපටි කොල්ලෙක් රතුයි හරි ලස්සනයි,උපමාවකින් කිව්වොත් හරියට ජෝන් ඒබ්‍රහම් වගේ, ඒ දවස්වල නං ජෝන් ඒබ්‍රහම්ල බඩගාන කාලෙ වෙන්න ඇති...ඔන්න පොර රස්සාව හම්බවෙලා අපේ කන්තෝරුවට වැඩට ආව, ඒ දවස්වල සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට ගත්ත තරං ගත්තෙ දකුණෙන්නෙ, දකුණෙන් කිව්වට හරියටම කිව්වොත් බෙලිඅත්තෙන්, මොකද සෞඛ්‍ය ඇමති රංජිත් අතපත්තු බෙලිඅත්ත ආසනේ මන්ත්‍රී නොවැ ඉතිං මේ අහිංසක කොලුවට රූප ලස්සනේ උගත්කම ආදී හැම දෙයක්ම තිබුනට මොකද පොඩ්ඩක් පොෂ් මදි...
පොඩ්ඩක් කිව්වට ඉතිං දන්නවනෙ ගතිගුණ හැසිරීම් කතා විලාසය ආදිය ඔක්කොම ගිරුවාපත්තුවෙ...
අපිටනං ඔව්ව එච්චර ගාණක් නෑ ඌ මොනරාගල මධ්‍ය මහා විද්‍යාලයෙන් ආවත් එකයි රෝයල් එකෙන් ආවත් අපට එකයි...රෝයල් කිව්වම මතක් උනේ මගේ යාලුවෙක් හිටිය ඌ රෝයල්, හැබැයි ඉංග්‍රීසියෙන් වචන දහයක් ගැට ගහ ගන්න බෑ...මූ කීප දවසක් ඇඹරෙනකොට මම ඌට කිව්ව...
මචං උඹ කියපං උඹ තුම්පනේ මහා විද්‍යාලෙ කියල...මම රෝයල් කියපං එතකොට උඹේ නම්බුවත් බේරෙනව රෝයල් එකේ නම්බුවත් බේරෙනව...
ඔන්න ඔච්චරමයි මම කිව්වෙ මාතලන් මූට තදවුනානෙ...මාස ගානක් මගෙ මූණවත් බැලුවේ නෑ ඒ ඇයි බං අරූ...
ඔන්න ඉතිං අපේ අහිංසක කොල්ලත් සතුටින් සමාදානයෙන් කන්තෝරුවෙ රාජකාරි කරමින් ඉන්න අතරෙ අනංගය මූට වැඩේ දුන්න, කෙල්ල ඇවිල්ල අල්ලපු බිල්ඩින් එකේ රස්සාව කරපු කෙල්ලක්, පුල් පොෂ් කෙල්ල, ගමත් කොළොන්නාවෙ...
කොළඹ චිත්‍රපටි හෝල් ගානෙයි වික්ටෝරියා පාක් එකෙයි මේ යුවළගේ ආදර අන්දරය බාධාවක් නැතුව ගලාගියා...කොල්ලගේ පළවෙනි ආදර අන්දරය වුනාට කෙල්ල ආදරයට කෝඩුකාරියක් නෙවෙයි හොඳ පුරුදු කාරියක් ...කොල්ලගේ අඩුපාඩු, පසුබාන තැන් ඔක්කොම ඒ කාලය තුලදී කෙල්ල නෝට් කළා නෝට් කරල නිකං හිටියෙ නෑ වෙලාවට කලාවට දඩ බූට් එකකුත් දුන්නා...
දැන් මූ පිස්ස වගේ හැසිරෙන්නෙ, දවසක්දා මටත් උගේ කඳුළු කතාව කිව්වා...
මල්ලි ඕව ඔහොම තමයි හද පතුලෙන්ම කරපු ආදරයක් බිඳ වැටුනම දරාගන්න හරි අමාරුයි කාලයත් එක්ක ඔයාගෙ හදවතේ ඇතිවුණු තුවාල සනීපවෙයි, පස්සෙ කාලෙකදී ඒ ආදරේ මතකයක්ම පමණක් වේවි...කාලය හොඳම වෛද්‍යවරයා හැටියටත් හොඳම බෙහෙත හැටියටත් එකවර වැඩකරනවා, ඉවසගෙන ඉන්න...
මමත් සාහිත්‍යයෙන්ම දුන්නා, මූත් මගේ මූණ දිහා උණහපුලුව වගේ බලාගෙන අහගෙන හිටිය,අහගෙන ඉඳල එහෙම මේකා ගිහිං ඔෆිස් එකේම හිටපු අක්කෙකුට කඳුළු හල හලා මම කියපුදේ ගෙඩිපිටින්ම කිව්වා...
බලන්නකො අක්කෙ මට මෙයා මේ විදියට කිව්වනෙ...
කිව්වහම මොකද ඒ දවස්වල ඔය අක්කත් එක්ක මගෙත් පොඩි ඇයි හොඳයියක් තිබුණා...මමත් ඒ කාලෙ කුරුල්ලෙක් වගේ සැහැල්ලුවෙන් හිටපු තනිකඩ කොල්ලා,අක්ක කෙල්ලට ඊරිසියාවෙ බලාගෙන ඉන්න බැරුවද කොහෙද මට කොක්ක ගැහුවා, එදා ඉඳලම මෙයා හදන්නෙ මාවත් ඒ අයගෙ අර සම්ප්‍රදායික කොටුව ඇතුළට ඇදල හිරකරලා දාන්නයි...විරුද්ධ වුනොත් බැන්නොත් අඬනව, කඳුළු උපත අඬාගෙනම තමා කතාව පටන්ගන්නෙ...මට මේක විශාල හිසරදයක් වෙලා තිබුනෙ...
ඉතිං අපේ සත්‍ය ප්‍රේම භෘංග රාජය මල්ලි ගිහිල්ල අක්කට කතාව කිව්වට පස්සෙ අක්ක කෙල්ල ඇවිත් මට ගොඩක් දොස් කිව්වා ...
ඔයා මොනවද අර මල්ලිට කියල තියෙන්නෙ, බලන්න ඔහොම කියපුවම එයා ඔයා ගැන මොනවද හිතන්නෙ ඔයා හිතාගෙන ඉන්නෙ එයත් ඔයා වගේ ෂර්ට් මාරුකරන්නැහේ කෙල්ලො මාරු කරන කොල්ලෙක් කියලද...
අවලාද අපහාස ගෝනියයි...මමත් බැන්න
එතකොට ඔයා කියන්නෙ ඌ අඬනකොට මටත් ඌත් එක්ක අඬන්න කියලද ඔයාට ඕනැනං ගිහින් ඌත් එක්ක එකතුවෙලා අඬන්න, හැමදාම කරන වැඩේනෙ...හැබැයි ඌට කියනව මීට පස්සෙ උගෙ මගුල් මාත් එක්ක කියන්න එන්න එපා කියල...
තදවුණු වෙලාවට බලු බැණුම් බැන්නත් අක්ක කෙල්ලව අතඇරලා දාන්න හිතකුත් නෑ, හදිස්සියකට අසක්කුවකට රුපියල් සීයක් හමාරක් ඉල්ලගන්න ඉන්නෙත්, ඉන්ඩම බැරි අමාරුවකදී ලෝඩ් එකක් බාගන්නකල් කිසිම ආඩම්බරයක් නැතුව අල්ලන්නෙත් ඔය අක්ක කෙල්ලමනෙ..ඉතිං අත ඇරල කොහොමද අපිටත් ඒ කාලෙ අත මිට බොහොම හිඟයි නොවැ...
අක්ක කෙල්ල ගස්සගෙන යන්න ගියා...අරකගෙ(අරූ කියල ලියන්න හැදුවට බෑනෙ,අපේ අරූ ඉන්නවනෙ එතකොට හිතයි මේ ඌට කියන්නෙ කියල,අනේ අම්මප දාගන්න නං නැතුවට මුනුත් දාගන්න නං) හිත හදන්න යථාර්ථය කියල දුන්නට ඔන්න මට ලැබුණු තෑග්ග...ලියන්නම ඕනැනං අක්ක කෙල්ලගෙ කතාව මම පස්සෙ දවසක ලියන්නංකො...
ඉතිං කොහෙන්ද අපි නැවැත්තුවෙ ආ හරි ඩයරිය අරං ගිය යුවතිය නේද...ඔය යුවතිය හෙවත් මගේ පළමුවෙනි ආදර කතාව, ටික දවසකින්ම කිසිම හේතුවකින් තොරව ඇය මගේ ජීවිතයෙන් ඈත්වෙලා යන්නම යන්න ගියා...
හේතුවක් නැතුව කිව්වට ඒ මටනෙ, ඇයට ඕනෑ තරං හේතු තියෙන්න ඇති ඒ කාලෙ හිතන්න බැරි උනාට පස්සෙ කාලෙකදී නිවී සැනසිල්ලෙ කල්පනා කරද්දී මට ගොඩක් දේ වැටහුණා...හරියට ශතෝදීප් හිරගෙදරදී තමන් හිරේ වැටෙන්න හේතුව නොදැන හිටපු එද්මොන් දාන්තේට පාරියා පූජකවරයා හේතුව පහදලා දුන්න වගේ මම තනියම කරුණු කාරණා එකිනෙක ගැටගහනකොට කාරණේ මහ දවල් වගේ නිකම්ම පැහැදිලි වුණා...
කොහොම වුනත් ඇය අපේ ආදර කතාවෙන් සමුගත්ත එක මට වැදුන දරුණු පහරක් වුණා...හුදෙක් කෙල්ලක් නැතිවීමම පමණක් නොවෙයි...තරුණ වයසෙ මුල් හරියෙ ඉන්න කොල්ලෙක්ට කෙල්ලෙක්ගෙන් තමන් ප්‍රතික්ෂේප වුණා කියන එකම ලොකු අවමානයක් ලැජ්ජාවක්...අපි කවුරුත් කාගෙන්වත් ප්‍රතික්ෂේප වෙන්නට කැමති නෑ, ඒ අපේ අභිමානය සම්බන්ධ කාරණයක්...කෙනෙක් තමන්ට අත දික්කරල හිනාවෙනවට කවුද කැමති...ඒ වෙලාවට හිතෙන්නෙ ලෝකෙම බලනව ලෝකෙම මට හිනාවෙනව කියලනෙ...සනත් නන්දසිරි "මුළුලොව මගෙන් අසාවී'' කියල කිව්වෙ නිකංද...
ඉතිං නැතිවුණු අභිමානය සහ ඒ කොට මොඩල් කෙල්ල පයින් ගහල විනාශ කරල දමපු ආත්ම ශක්තිය නැවත ගොඩනගාගන්න සහ වැටුණු වලෙන් ගොඩ එන්න තවත් කෙල්ලෙක්ගෙ අතේ එල්ලෙන්නෙ නැතිවම බෑ...
ඔන්න ඔය වගේ වලේ වැටිල ඉද්දි, එන්න ඕනැවට රස්සාවට එද්දි දෙයියො දුන්න වගේ ස්වප්නට පත්වීමක් හම්බවෙලා අපේ ඉස්පිරිතාලෙ වැඩට ආවෙ...ස්වප්නා ගැන මම කලිනුත් ලියල තිබුනනෙ ඉතිං දිගම දිග කතාවක් කෙටියෙන් කිව්වොත් ස්වප්නගේ අතේ එල්ලිලා මම වැටිච්චි වලෙන් ගොඩ ආවා...ඒ කතන්දරෙත් පස්සට තියමු...ආපහු ප්‍රධාන කතාවට...
බදුල්ලෙ මම ඔය කියපු ගෙදර නවාතැන් ගත්ත අපි කණ්ඩායම උදේ නැගිටල තේ එකක් එහෙම බීල,අපි සීනි තේකොළ කිරි එහෙම ගිහිං දුන්නම ඒ ගෙදර හිටපු අයිය උදේට කට්ටියටම තේ ලෑස්ති කරල දුන්නා...අර සීතලම සීතල වතුර පීල්ලට ඔලුව අල්ලල නාගෙන,එහෙම උදේ නාන්නෙ නැතුව යන්න අමාරුයි, රෑ ඔලුව කරවෙන්නම ගහලනේ නිදාගන්නෙ,උදේ පාන්දර ඔය වතුර පීල්ලට ඔලුව අල්ලන එක තමයි වැඩේ කියන්නෙ...කුරුමානං අල්ලල අල්ලල දත් මිටි කාගෙන පීල්ලට ඔලුව අල්ලනව ඔලුව විතරක් නෙවෙයි මුළු ඇඟම ප්රීස් වෙනවා මැලේරියා ලෙඩා වගේ සීතලෙන් ගැහෙන්නෙ...අමාරුවෙන් හරි නාගත්තට පස්සෙනනං තියෙන සනීපෙ කියාගන්න බෑ...බදුල්ලෙ වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගනය හරියෙ තිබ්බ ශාලාවක අපේ වැඩේ ලෑස්ති කරල තිබුණා...
යන ගමන් කඩේකින් උදේට කාල එහෙම ශාලාවට ගිහිං අඩුපාඩු බලල හදනව, දවල් දහය විතර වෙද්දි ප්ලාස්ටික් බූලි දෙකක් දාගත්ත වාහනයක් අර මම කියපු ඉවාන්ලගේ ගෙවල් හරියෙ තියෙන කිතුල් මණ්ඩියට යවනවා...
ඩ්‍රයිවර්ලා දෙන්නම කොල්ලො, කිසි කරදරයක් නෑ අපායට පලයන් කිව්වත් යනව...දහයට විතර මම එකෙකුට කතාකරනව...
ආසිරි මෙහෙ වරෙන් කොල්ලො...උඹ ගිහිං මේ බූලි දෙක පුරෝගෙන වරෙන් තැන දන්නවනෙ රා බිබී එතන ටැක් ගැහෙන්න එපා මෙහෙ ඇවිත් බීපන්,මොකද අද දවල්වෙද්දී ලොකු මහත්තයත් කොළඹ ඉඳල එනව කිව්ව...
හරි හරි මහත්තය බයවෙන්න එපා මම වෙලාවට එන්නංකො...
කිතුල් රා බූලි දෙක ගෙනත් පිටිපස්සෙන් තිබ්බට පස්සෙ එක එකා තමන් කැමති පමනෙන් සප්පායම් වෙනවා උමගිළිය දිදාලයක් වගේ චූටි කෝප්පයක් කොහෙන්ද හොයාගෙන ඇවිත් ඒකෙන් විස්සක් විතර බොනව,තාත්ත මාරුවුණ ගමන් ජූනියර් ඇවිත් ලොකු වතුර බොන වීදුරුවකින් දෙකක් ගහල අරිනව ඇල්වතුර බොනව වගේ...බීල සිගරැට් එකකුත් පත්තු කරගෙන ලෝඩ් පකීර් වගේ ඉස්සරහින් පුටුවක වාඩිවෙලා හුළං වැදී වැදී ඉන්නව හරියට ගෙදරට ආපු අමුත්තෙක් වගේ,අපට වගේ නෙවෙයි ඌට මොන සැපද...
ඔය දවස්වල මම ඊළඟ අවුරුද්දට ගහන දෙසතිය කැලැන්ඩරේ මූලික වැඩ කටයුතු කරමින් හිටපු කාලෙ...ඉස්සෙල්ලම කැලැන්ඩරේටයි පොකැට් කැලැන්ඩරේටයි පින්තූර දෙකක් හොයාගන්න එපායැ,මගෙ අදහස තිබුනෙ පොකැට් කැලැන්ඩරේට කිතුලකට නගින රා මදින්නෙකුගේ පින්තූරයක් දාන්නයි...ඉතිං මේ ගමනෙන් ඒ වැඩෙත් කරගන්න පුළුවන් වෙයි කියල හිතපු මම හරිම සතුටින් හිටියා,ඇයි මල් කපන කිතුල් ගස් මංඩි කඳුවල වකාරෙට තියෙන්නෙ, වෘත්තීය මට්ටමේ පොටෝ කාරයෝ දෙන්නෙකුත් හොඳම කැමරා උපකරණත් තියනව,ඉතිං පොටෝද ගන්න බැරි...
සරත් මට පින්තූරයක් ඕනෑකරලා තියනව උදේ මල් කපන්න අර උපකරණ පෙට්ටියත් ඉනේ එල්ලගෙන කිතුල් ගහකට නගින මනුස්සයෙකුගෙ, ඒ මිනිහ උඩට කමිසයක් ඇඳල ඉන්න බෑ ...එතකොට නැගෙනහිර පැත්තෙන් ඉර එළිය තීරු තීරු ගස් අස්සෙන් පෙනෙන්න ඕනෑ...
ආදී වශයෙන් මම මගෙ අවශ්‍යතාව සරත්ට කියපුවම...
හරි මට තේරෙනව මම පින්තූර තුන හතරක් අරං දෙන්නං හොඳ එකක් තෝරාගන්න එකයි...ඒක නෙවෙයි හැමදාම මේ මගුල් රා බීල මගේ බඩ බුරුල්කරල,හරියට ටැප් එක ඇරිය වගේ බඩයන්නෙ ,අරක්කු කාලක් අමුවෙන් බිව්වනං බඩයන එක ගල ගැහුව වගේ නවතිනව...ගෙන්නමුද බෝතලයක්...
වැඩේ බාරදුන්න ගමන්ම මූ මගෙන් බෝතලයක් කැපුවා...මම කොච්චර බලාපොරොත්තු තියාගෙන හිටියත් පින්තූරෙ වැඩේ හරිගියේ නෑ,රා මදින මිනිස්සු පිට අයව ගස් මුලට ගෙනියන්නෙ නැහැලු රා ගේන්න බූලි දෙක අරං ගියත් බූලි දෙක ඉල්ලගෙන...
මම විගැහින් රා ටික අරං එන්නං මහත්තය ඔතනට වෙලා ඉන්ට...
කියල යන එකාව ගලක් උඩ වාඩිකරල කන්දට ගිහිං රා ටික ගෙනත් දෙනව මිසක් ආයෙ කාවවත් කන්දට එක්කං යන්නෙ නෑ...
අන්තිමේදී මම පොකැට් කැලැන්ඩරේට පින්තූර දෙකක් හොයාගත්ත,එකක් වී බිස්සක පින්තූරයක්, අනික කැලේ එළිමහන් මන්ඩියක අහුලගෙන කන වළි කුකුල්ලු රංචුවක්...දැන් මේ පිංතූරදෙක ලොක්කට පෙන්නල එකක් අනුමත කරවගන්න ඕනෑ...මම වඩා කැමතිවුනේ වී බිස්සේ පින්තූරෙ දාල පොකැට් කැලැන්ඩරේ ගහන්න, පින්තූර දෙකටම දෙසතිය කියල ලියවල ඩමි දෙකකුත් හදාගෙන ඒක ලොකු කරල ප්‍රින්ට් එකකුත් ගත්තා...දැකපු උන් නං නොයෙක් ජාති කිව්ව...
ඔන්න ඔය වී බිස්ස විසිකරපන් උඹලනෙ කරන්නෙ කෙලින්ම කුකුල්ලු ටික දාල ගහපං,ඒක තමයි හරියටම ගැලපෙන්නෙ ෂුවර් එකටම මම දන්නව ලොක්ක ඇප්රූ කරන්නෙ කුකුල්ලු ටික...
නෑ බං ලොක්කට පෙන්නන්න ඕනත් නෑ කෙලින්ම කැලැන්ඩරේ ගහලම පෙන්නපන් කුකුල්ලු ටික දැක්ක ගමන් ලොක්ක ඕ කේ කරනව...
ඔන්න ඔය වගේ මඩ වරුසා මැදින් මම පින්තූර දෙකත් අරං ලොක්ක හම්බෙන්න ගියා...
යනකොට ලොක්ක ගෝල් ලීෆ් එකකුත් බිබී පත්තරේ බලනව...වාඩිවෙන්න කියල මොකද කාරනේ ඇහුවා...
අර කැලැන්ඩරේ පින්තූර ටික පෙන්නන්න ආවෙ සර්...
කෝ බලන්න දෙන්න...
දැන් මොන පින්තූරෙද කැලැන්ඩරේට දාමු කියල කියන්නෙ...
වී බිස්සෙ පින්තූරෙ හොඳයි නේද ...
එතකොට වී බිස්ස දාන එකෙන් අපි අදහස් කරන්නෙ මොකක්ද...
අප්පට හුඩු...ලොක්ක දැම්ම නේද දුස්රාවක්, මෙහෙම දෙයක් අහයි කියල මම හිතුවෙම නෑ ...තප්පර දහයකට විතර මාව තුෂ්නීම්භූත වුණා, ඉක්මනටම යථා තත්වයට පත්වෙද්දිම දිය යුතු උත්තරය කටට ආවා...
සෞභාග්‍යයනෙ සර්...අපි මේ පිංතූරෙන් අපේ රට සෞභාග්‍යයෙන් පිරිල තියෙන බව ව්‍යංගාර්ථයෙන් කියනව...
ලොක්කට හිනාවක් ගියා මොකුත් නෑ කට කණේ...දැන් ඔය පොකැට් කැලැන්ඩරේ පලවෙනි එක ප්‍රේමදාස මහත්තයට පිලිගන්වනවනෙ,ඒ දවස්වල එහෙම තමා සාංඝීක දානෙක වුණත් අග්‍ර භාගය බුද්ධ පූජාවට තියනව වගේ කරන කියන හැමදේකම මුල් කොටස ප්‍රේමදාස මහත්තයට පූජා කරන එක සිරිතක්...
ඔය කැලැන්ඩර් පූජාවෙදි ප්‍රේමදාස මහත්තය ඇහුවොත් එහෙම මම ලොක්කට කියපු කතාව ලොක්ක ගෙඩිපිටින්ම ප්‍රේමදාස මහත්තයට කියල දානව... ඒ සුන්දර අවස්ථාව ලොක්කගෙ හිතේ මැවෙන්න ඇති...
ඔයයි ඔයාගෙ සාහිත්‍යයයි...කෝ ඕක දෙන්න මෙහාට...
කෙලින්ම වී බිස්ස අස්සන් කරල අනුමත කරල දුන්නා...
