Monday, October 7, 2013

94.කොන්දේසි සහිත ආදරය නළ දරුවෝ සහ වෙනත් කතා


  
 කොන්දේසි සහිත ආදරය 3
 කොන්දේසි සහිත ආදරය 2
 කොන්දේසි සහිත ආදරය 1 

ආදරයට ආදරය කරපු තනුජාට සිද්දවෙච්චි අකරතැබ්බය කෝච්චියෙ ගිය අපි කාගෙත් සිත් තුල තිගැස්මක් කම්පාවක් ඇතිකළා, වැඩියත්ම අකම්පාල වුණේ රැවුලා...

චිහ්...ඔය කෙල්ල හැංගෙන්නෙ නැතුව ඇවිත් අපට කතාව කිව්වනං අපි උදව් නොකර ඉන්නවද...අපරාදේ විහිං අමාරුවෙ වැටුනා මට කිව්වනං ඔය දරුවත් මම හදාගන්නවනෙ...

රැවුලා පොඩි දරුවන්ට පුදුම විදියට ආදරෙයි පොඩි එකෙක් දැක්කොත් මැරෙන්න හදනව,කරුමෙට ඌටම දරුවො නෑ...ඒ දවස්වල අපි කොහෙහරි ගමනක් ගියොත් ගමන යනකං එනකං අපේ පුතා යන්නෙ රැවුලගෙ අතේ...අතේ කිව්වට හරියටම කිව්වොත් කරේ...

ආ මගෙ චූටි පුතා එන්න පුතේ රැවුල් මාමගෙ අතට...

පුතා දැක්ක ගමන්ම එහෙම කියල අරගෙන කරේ තියාගත්තම කොල්ලත් අහිකුණ්ටිකයගේ කරේ යන රිළා පැටිය වගේ වට පිට බල බල යනව...

අපි චෙන්නායිවල ඉද්දි මම රැවුලට කියල එව්වා ඇවිත් දරුවෙක් හදාගනින් කියල...චෙන්නායිවල G Gහොස්පිටල් එකේ ඔය ටියුබ් බබාල හදල දෙනවනෙ...මම එහෙ ඉද්දි ලංකාවෙ කාන්තාවො හත් අට දෙනෙක්ම ඇවිත් දරුවො හදාගෙන ගියා...

GGකියන්නෙ ජෙමිණි ගනේෂන් කියන එක...ජෙමිණි ගනේෂන් කියන්නෙ හැට හැත්තෑව දශකවල ද්‍රවිඩ සිනමාවෙ හිටපු පතාක යෝධයෙක්(නොදන්න තරුණයින්ගේ දැනගැනීම පිණිසයි)ඉතිං ජෙමිණි ගනේෂන්ගෙ එක බිරිඳකට දරුවන් ඉඳල නැති නිසා දරුවන් නැතිව දුක්වෙන කාන්තාවන්ට පිහිටවෙන්න මේ රෝහල ආරම්භ කරලා තියෙනවා...රෝහලේ ප්‍රධාන වෛද්‍යවරියත් ජෙමිණිගෙ දුවෙක්...

ඔය ප්‍රතිකාර ගන්න ඉන්දියාවට එන්න ඉස්සෙල්ලා තමන් දන්න දන්න මාර්ගවලින් චෙන්නායිවල තියෙන සම්බන්ධකම් හොයනවනෙ... අන්න ඒ ආකාරයට කිසිදාක දැකලවත් කතාකරලවත් නැති ජෝඩුවලටත් උදව් කරන්න අපට සිද්ධවුනා, කොහොම කලත් පිංකමක්නෙ...

එක සැරයක් අපිත් එක්ක කෝස් එකක් කරපු කෙල්ලක් G G එකෙන් ප්‍රතිකාර ගන්න ආවා  අපි ඇයට වරුණි කියමු...

වරුණි වැඩකලේ රාජ්‍ය බැංකුවක බැඳල හිටියෙත් ඒ බැංකුවෙම වැඩකරන කොල්ලෙක්,  අපි ඔහුට රාමනායක කියල කියමු...

මේ දෙපොළට ඉඩ කඩම්,ගෙවල් දොරවල්,ධන ධාන්‍ය ආදී සියළුම වස්තුව අසීමිතව තිබුනත් ගෙදර පාළුව මකන්න දරුවෙක් හිටියෙ නෑ...දරුවෙක් අරන් හදාගමු කියල රාමනායක යෝජනා කලත් ඒකට වරුණි කිසිසේත්ම කැමති වුණේ නෑ...ඇයට අවශ්‍ය වුණේ ඇගේම කිරි දීල හදාගන්න ඇගේම ළමයෙක්...අන්තිමේදී චෙන්නායිවල GG රෝහලේ පිහිට සොයා යන්න මේ අඹුසැමි යුවළ තීරණය කළා...


ඒ අනුව වැඩ කරන බැංකුවෙන් නිවාඩු ගත්තු මේ යුවළ 1998 ග්‍රීෂ්ම සෘතුවෙ එක්තරා සැන්දෑවක චෙන්නායි නගරයට සම්ප්‍රාප්ත වුණා...

චෙන්නායිවලදී වරුණිව මට අහම්බෙන් හමුවුණා...මොකද අපි අර කෝස් එක කරල ඉවරවුනාට පස්සෙ අවුරුදු පහළොවකින් විතර හමුවෙලා තිබුනෙ නෑ...කොහේ ඉන්නවද මොකද කරන්නෙ ආදී කිසිම විස්තරයක් දැනගෙන හිටියෙ නැති නිසා ඔවුන් චෙන්නායිවලට එන බව මම කොහෙත්ම දන්නෙ නෑ...

වරුණිනං මාව දැකපු ගමන් අඳුනගෙන කතාකළත් මට ඇයව එකපාරටම අඳුනගන්න බැරිව ගියා ඒ දවස්වල පැන්සල වගේ හිටපු කෙල්ල පීප්පයක් වගෙ ආරලා...තෙල් මන්ද ඇවිත් වෙන්න ඇති...

දවස් කීපයකින් වරුණි GGඑකේ නැවතිලා මූලික ප්‍රතිකාර ආරම්භ කළා...ඊට මාසයකට විතර පස්සෙ නළයක සංසේවනය කල කළලය සුබ මොහොතින් වරුණිගෙ ගර්භාෂයේ තැන්පත් කළා...සුබ මොහොතින් කිව්වෙ ඇත්තෙන්ම ඒ සුභ මොහොතක්...උදෙන්ම හොඳින් නා පිරිසිදුවන ප්‍රධාන  වෛද්‍යවරිය රෝහලේ ඇති දේවාලයේ පැයක් විතර දෙවියන් නැමදල ස්තෝත්‍ර ආශීර්වාද මැදින් ශල්‍යාගාරයට පැමිණෙනවා...ඉන්පස්සෙ සිහිනැතිකරපු කාන්තාවගේ ගර්භාෂයේ සංසේවනය වූ කළල කිහිපයක් ඇගේ අතින්ම තැන්පත් කරනවා ...

බොහෝවිට කළල දෙකතුනක් තැන්පත් කරන්නෙ එකක් හරිනොගියොත් අනික් එක කියලයි...මේ නිසාම සමහර කාන්තාවන්ට නිවුන් දරුවන් ලැබෙන අවස්ථාද තියෙනවා...

පලවෙනි වතාවට වරුණිට කරපු ගැබ් ගැන්වීම අසාර්ථකයි...කාලෙ වැරැද්ද වගේම නොලැබීමත් වෙන්න ඇති... ග්‍රීෂ්ම කාලය කොහොමත් දරු පිළිසිඳ ගැනීම්වලට එතරම්  හිතකර නෑ...

සිහිය එද්දී මම ගොඩක් දඟලල තියෙනව...මොනව කරන්නද මගේ නොලැබීමට...

වරුණි බොහොම දුකින් කියාසිටියා...

එක පාරෙන් අධෛර්ය වෙන්න එපා ආයෙම උත්සාහ කරල බලන්න...

මම ඒ දෙන්නට කිව්වා...ඊළඟ අවුරුද්දෙ ආපහු එනව කියපු ජෝඩුව ලංකාවට ගියා...

ඔන්න ඔය දවස්වලම තවත් කාන්තාවක් දරුවෙක් ලබාගන්න චෙන්නායිවලට ආවා...ඇයත් කොහෙන් කොහෙන් හෝ මගේ සම්බන්ධකමක් හොයාගෙන ඇවිත් මට කතාකලා...

ඇය ලංකාවෙ හොඳ ඉහළ රැකියාවක් කරන කාන්තාවක්...විසිටින් කාඩ්එක බලපුවම නමට යටින් ඇය ලබාගත් උපාධි පේළියක්ම තියෙනවා...නම වගේ දෙගුණයක් උපාධි පේලිය දිගයි...

ඇයත් GGරෝහලට ඇතුල්වෙලා කළලය තැන්පත් කිරීම සාර්ථකව සිදුකරගත්තා...කළලය ස්ථිරව ගැබතුල පිහිටලා ඇතිබව දැනගන්නතුරු කාන්තාවන්ට ඇඳෙන් නැගිටීම තහනම්...අඩුතරමින් වැසිකිළියට යාමට පවා ඇඳෙන් නැගිටින්නට අවසර නෑ...කෑම් බීම් මළපහ කිරීම් ආදී සියල්ලම ඇඳේ දිගාවී සිටම කරගත යුතුයි...ඔය කටයුතු සියල්ලම තනියම කරගන්න අමාරු නිසා ඇගේ උදව්වට ලංකාවේ ඉඳන්ම කෙල්ලක් එක්කරගෙන ඇවිත් තිබුනා...

මේ කාන්තාව හරිම නපුරුයි,මොන තරම් නපුරුද කිව්වොත් ඇය ඇඳේ ඉඳගෙනම අර උදව්වට ආ කෙල්ලත් එක්ක රණ්ඩු කරන්නට පටන් ගත්තා...

සාමාන්‍යයෙන් දරු පිළිසිඳ ගැනීම් සිදුවෙද්දී කිසිම නපුරු සිතුවිල්ලකින් තොරව මෛත්‍රී  සහගතව සාමකාමී පිරිසිදු සිතින් යුතුව සිටිය යුතු වුනත් මේ කාන්තාව හැසිරුනේ ඊට හාත්පසින්ම වෙනස් ආකාරයකට...දවසක් උදව්වට සිටි කෙල්ලත් එක්ක රණ්ඩු කරගත්ත පාර ඇය ඇඳෙන් පැනල පුටුවක් උස්සල කෙල්ලට ගහගෙන ගහගෙන ගියා...ඒත් එක්කම අර සාර්ථකව තැන්පත් කරපු කළලයත් ආගිය අතක් නැතිව ගියා...

ආපහු ඇවිත් නිකං බොරුවට සල්ලි නාස්ති කරගන්න එපා...

ඇය ආපහු ලංකාවට යන්න සූදානම්වෙද්දී මම පොඩි අවවාදයක් දුන්නා...උපාධි ගෝනියක් තිබුනත් මොළේ නැත්නම් ඇති වැඩක් නෑනෙ...

කිව්වත් වගේම ඊළඟ අවුරුද්දෙ ජනවාරි මාසේ වරුණිල ආපහු ඇවිත් මාව මුණගැහුනා...

ඔන්න කාලෙත් හොඳයි දෙයියනේ කියල මේ පාරවත් වැඩේ හරියට කරගන්න,ඔච්චර වියදම් කරන එකේ ප්‍රතිපලයකුත් තියෙන්න එපැයි...

වරුණිත් රාමනායකත් රෑ කෑමකට අපේ ගෙදරට ආපු වෙලේ මම එහෙම කිව්වා...ඊට සති කීපයකට පස්සෙ වරුණිගෙ කළල තැන්පත් කිරීම සාර්ථකව සිද්ධ කළා...මේ ක්‍රමය ස්වභාව ධර්මයට පටහැනි ක්‍රියාවක් නිසා කළලය තැන්පත් කල මොහොතේ පටන් ගර්භාෂයෙන් කළලය ප්‍රතික්ෂේප වෙනවා...එය වලක්වන්න ගර්භය ස්ථිරව පිහිටන තුරුම හෝමෝන එන්නත් කිරීම දකින්නට පුළුවන්...බොහෝ වෙලාවට හෝමෝන එන්නත ලබාදෙන්නෙ තුනටියටයි,ඒ සිරින්ජරය ටෝච් කඳක් විතර මහත ඇති, කටුවත් සෑහෙන්න මහතයි...එන්නතේ ප්‍රතිපලයක් විදියට විදින තැන්වල ලොකු ගෙඩි මතුවෙනවා...ඒ ගෙඩිත් තවමින් නැවත නැවත එන්නත් ලබාගන්න කාන්තාවකට පුදුම ධෛර්යයක් අවශ්‍ය වෙනවා...

වරුණිගෙ ළඟ ඉන්න කාන්තාවකුත් මම එහෙන්ම හොයල දුන්නා, මාස හතෙන් සීසර් කරල දරුව ගන්නතුරු වෛද්‍ය සෝදිසිය පිට වරුණි චෙන්නායිවලම ඉන්න අවශ්‍යයි...

හැම දේම සාර්ථකව සිදුවෙලා වරුණි ගැබ්ගත් ලක්ෂණ පෙන්නුම් කරන්න වුනු අවස්ථාවෙ රාමනායක ලංකාවට යන්න සූදානම් වුණා...

මගෙ නිවාඩු ඉවරයි මචං මම යනව... වරුණිට අවශ්‍ය දෙයක් බලල කරල දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක්...

අපි දෙන්නට එහෙම කියපු රාමනායක ආපහු ලංකාවට ගියා...ඊට මාස කීපෙකට පස්සෙ විබාගෙකට වාඩිවෙන්න මටත් දවස් තුන හතරකට  ලංකාවට එන්න වුණා...කොළඹදී මාව මුණ ගැහුණු රාමනායක වරුණිට ගිහිං දෙන්න කියල මට පාර්සලයක් දුන්නා...බලපුවම පාර්සලේ කිලෝ විස්සක් බරයි...

ආපහු චෙන්නායි එන දවසෙ මම බඩුත් අරන් එයාපෝට් එකේ  බුකිං කවුන්ටරේට ගිහිං බෑග් දෙක තරාදියෙන් තිබ්බම කෙලින්ම කිලෝ හතළිහයි...ඒ දවස්වල එක මගියෙකුට ගෙනියන්න දෙන්නෙත් කිලෝ විස්සයි...

මාර උහතෝකෝටිකයක්, කවුන්ටරේ හිටපු කොල්ලට මම ටිකට් එකයි පාස්පෝට් එකයි දුන්නා...

අයිය චෙන්නායිවල ....... තැනද වැඩ කරන්නෙ...

ඔව් ඇයි මල්ලි...

මම තව සති දෙකකින් චෙන්නායි එනව මගේ පුතාගෙ ඔපරේෂන් එකකට, මොනවහරි උදව්වක් ඕනැ වුනොත් කරල දෙන්න පුලුවන්ද...

මෙන්න මගෙ කාඩ් එක...ඔයා ඕනැ වෙලාවක ඇවිත් මට කතාකරන්න ...

බෑග් වල බර ගැන වචනයක්වත් කතා නොකළ කොල්ල මගෙ බෝඩිං පාස් එක දුන්නා...

පහුවදා හවස අපි තුන්දෙනාම රාමනායක දීපු පාර්සලේ වරුණිට දෙන්න වරුණි හිටපු ගෙදරට ගියා...ටිකක් වෙලා කතා කර කර ඉඳල තේත් බීල අපි පයින්ම ආපහු එන්න පිටත්වුනා...ටිකක්දුර එනකොට අපිව පහුකරගෙන ගිය කාර් එකක් නවත්තල පස්සට ආවා, බලපුවම අපේ හිතවත් බෝස්ගෙ බිරිඳ ...

කොහෙද ගියෙ,නගින්න අපේ ගෙදර යමු මේ ළඟ ...

හැන්දෑවෙලත් වැඩියිනෙ අපි වෙන දවසක එන්නං...

බෑ බෑ ආයේ කවද එයිද කවුද දන්නෙ දැන් යමු නගින්න...

ඇය අපිවත් වාහනේ නග්ගගෙන ගෙදර ගියා...බෝස් කිව්වෙ ලංකාවෙ ඉඳන් ඉන්දියාවට ඇවිත් තමිල්නාඩුවෙ සාර්ථක හෝටල් ව්‍යාපාරයක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයෙක්...තමිල්නාඩුවෙ කීප පොලකම ඔහුගෙ සංචාරක හෝටල් පිහිටලා තියෙනවා...එක හෝටලයක් තියෙන්නෙ මහාබලිපූරම්වල,අපි මහාබලිපූරම්වල නටබුන් දේවාල එහෙම බලන්න ගියාම දවල්ට කෑම බෝස්ගෙ අයිඩියල් බීච් හෝටලෙන්...එදාට ඔහු ඉස්සො කකුළුවො බෙල්ලො සහිත සුපිරි මුහුදු ආහාර වේලක් අපට පිළියෙළ කරල දෙනවා සල්ලි ගන්නෙත් නෑ...අපි කට්ටිය පොන්ඩිචෙරි ට්‍රිප් එක ගිහිං එන ගමනුත් දවල්ට කන්න අයිඩියල් බීච් හෝටලේට ගියා එදානං සල්ලි ගන්න කියල අපි බලකරපු නිසා බිලෙන් සීයට පණහක් අඩුකරලා සල්ලි ගත්තා...

බෝස් නෝන අපිව ගෙදරට එක්ක ගිහිං හොඳට සැලකුවා...ඒ දවස්වල අපි වේලන්කන්නි පල්ලියට ට්‍රිප් එකක් යන්න ලෑස්තිවෙලා හිටියෙ කතාකරද්දී ඔය ගැනත් කියවුනා...

ඉතිං තන්ජාවූර් වලටත් ගිහිං එන්නකො අපේ හෝටලයක් එහෙත් තියෙනවනෙ මම මහත්තයට කියන්නං...

වේලන්කන්නි ගමන ලෑස්ති කලේ අපිත් එක්ක වැඩකළ භක්තිමත් කතෝලිකයෙක් වෙච්චි ටෙරන්ස්, ගමන යන්න සූදානම් වෙච්චි කට්ටිය මෙහෙමයි...

ටෙරන්ස් යුවළ සහ පොඩි පුතා ශානක,චානි අක්කා, එයා තනියම හිටියෙ මහත්තයයි පුතාලයි ඇවිත් නැති නිසා සහ අපි දෙන්නයි පුතයි,අසෝකන් ගමනෙ ගයිඩ් හැටියට ආවා...

කාලය 1999 අප්‍රේල්,මහ සිකුරාදාත් එක්ක යෙදිල තිබ්බ දීර්ඝ සති අන්ත නිවාඩුව අල්ලල ගමන සූදානම් කරගත්තා...ගමනෙ කාල සටහන මෙහෙමයි රාත්‍රී දුම්රියෙන් චෙන්නායි සිට නාගපට්නම්,නාගපට්නම් සිට වේලන්කන්නි,වේලන්කන්නි සිට තන්ජාවූර්,තන්ජාවූර් සිට රාත්‍රී දුම්රියෙන් චෙන්නායි...

ටෙරන්ස්ල කතෝලිකයො හැටියට පල්ලිය වන්දනා කරගන්න ගියා,චානි අක්ක එයාගෙ පුතාගෙ විභාගෙට බාරයක් වෙන්න ගියා,අපි බෞද්ධයො නිකං රට තොට බලාගන්න ගියා,අසෝකන් කතෝලිකය නමුත් ඌ දේවාල කෝවිල් ගානෙ යනවයි කියල ඌට පල්ලියෙන් සත්ප්‍රසාදය දීම නතර කරල තිබුනෙ...කොහොමත් අසෝකන්ට එක ආගමක් කියල නෑ හැම ආගමම අදහනවා....අපි චෙන්නායි ඉන්න කාලෙ ඕකා අයියප්පා අදහන්න සෙට්වෙලා සබරිමලේ හිටං ගියානෙ...

හැබැයි උඹ ප්‍රවේසමෙන් ඉඳපන් ඉස්ලාම් අදහන්න මොස්ක් එකට ගියදාට තොගෙ කොන කපල තමයි පල්ලිය ඇතුලට ගන්නෙ...

මේකා පොඩි එකෙක් නෙවෙයිනෙ,නාකින්ගෙ කොන නෙවෙයි බාගයක්ම කපල දානවා...

අපි අසෝකන්ට වදේ ගහනවා.

මතු සම්බන්ධයි....