පසුගිය කොටස
අපි දැන් ඉන්නේ සමුපකාරෙන් කූපන් හාලුත් අරගෙන මහතුන් එක්ක මාරි බිස්කට් කකා නාරන්වත්ත පාර දිගේ ගෙදර යන ගමන්ය. සමුපකාරෙන් දුන්නේ රතු හාල් නම් අපේ ගමන් මග මීට වඩා වෙනස්ය. ඒ රතු හාල් මෝලට දමා තරමක් පොලිෂ් කර ගෙනෙන්නට වෙන නිසාය. දෙවේලට තම්බන ලද කුඹුරු හාල් කන අපේ ගෙවල්වල රතු හාල ගන්නේ පිටි කොටා ආප්ප, ඉඳිආප්ප, පිට්ටු ආදිය හදන්නටත් රසකැවිලි හදන්නටත්ය. ඒ සඳහා තදම තද රතු හාල නොගැලපෙන බැවින් මෝලට දමා පාහා ගත යුතුය. එවිට හාල ලස්සන රෝස පාටක් ගනී.
සමුපකාරෙන් රතු හාල් අරගෙන අපි ඊළඟට යන්නේ මාටිං මාමාගේ වී මෝලටය. එය ඇත්තේත් සමුපකාරයට නුදුරිනි. අපි යද්දිත් මාටිං මාමා වී කොටනවා හෝ හාල් පාහිනවා නම් ටිකක් වෙලා බලා ඉන්නට සිදුවේ. මෝලේ කවුරුවත් නැතත් අපිට තව ටික වෙලාවක් බලා ඉන්නට සිදුවන්නේ එක්කෙනෙකුට පමණක් වී කොටන්නට මාටිං මාමා වී මෝල ස්ටාට් නොකරන බැවිනි. ඒ කාලයේ වී මෝල් අද වගේ විදුලියෙන් ක්ෂණිකව පණ ගන්වන්නට බැරි අති විශාල ඇන්ජිම් සහිත ඩීසල් වලින් ක්‍රියාකරවන මෝල්ය. දෙතුන් දෙනෙක් එකතුවූ විට මාටිං මාමා ඇන්ජිමට ලීවරයක් දමා මුළු ශරීරයේම වෙර යොදා අතින් කරකවයි. දෙතුන් වතාවක් කහින ඇන්ජිම අවසානයේ මහ හඬක් නගමින් දුම් දමා වැඩකරන්නට පටන් ගනී. ඈත තියෙන ඇන්ජිමේ රෝදයට සවි කර ඇති ගනකම් සහ දිග පටිය හෙවත් බෙල්ට් එක වී මෝලේ රෝදයට සවි කර ඇත. අද නම් වී කොටන්නේ මැෂින් තුනකිනි. මුල් මැෂිමෙන් වී ඇටයේ පොත්ත ගැලවී යයි. පොත්ත ගැලවුණු හාල් තවත් මැෂිමකට දමා පොලිෂ් කරගනී. ඉන්පසුව තවත් මැෂිමකින් ගල් වැලි හා කළු ඇට ඉවත් කරයි. මේ ළඟදී මෝලට ගිය මම දැක්කේ ඔය කාර්යයන් තුනම දැන් එකම මැෂිමකින් කරන තරමට මෝල දියුණුවී ඇති බවය.
හැබැයි ඒ මාටිං මාමාගේ මෝල නොවේ. අපේ ගමට එහා ගමේ ඇති මෝලකි. මාටිං මාමාගේ මෝල වැසී ගොස් සහ මාටිං මාමා පරලොව ගොස් දැන් බොහෝ කල් ගෙවී ගොස් ඇත. මාටිං මාමා ඔය කාර්යයයන් සියල්ලම කළේ එකම මැෂිමෙනි. නමුත් ඒ මෝලේ ගල් වැලි ඉවත් කිරීමක් නොවූ නිසා හැමදාම උයද්දී හාල් ගරා ගත යුතු විය. මාටිං මාමා පළමුව වී ටික මෝලේ බක්කියට දමා පොතු ගැලවී ගිය පසු නැවතත් හාල් ටික ආපසු බක්කියට දමා සුදු කර ගනී. ඔය වැඩ දෙකම ඔහු කළේ මැෂිමට සවි කර ඇති ඇණයක් වැනි උපකරණයක් තද කරමින් හා බුරුල් කරමිනි. සමහර වෙලාවට කොටද්දී හාල් ටික කුඩුවී යයි. එවිට මාටිං මාමා කියන්නේ වී ටික වේලිලා වැඩි බවය.
වී කොටද්දී ඉවත යන දහයියා ටික වෙනම කටකින් මෝලට පිටින් ඇති දහයියා ගොඩට වැටේ. ඒ දහයියා ගොඩ අවුස්සමින් දවල් දවස තිස්සේම අහුලා කන කුකුළු කිකිළියන් රෑනකි. උන් එහා වත්තේ පිස්කල්ගේ කුකුළු රංචුවය. උන්ට කන්න දෙන්නට පිස්කල්ට කිසිම වියදමක් දරන්නට වෙන්නේ නැත. ඔය වගේ තව කතාවක් මම කියවපු පොතක තිබුණා මට මතකය. ඒ රොඩ්නි ජොන්ක්ලාස් ලියූ වාලම්පුරි නම් පොතය. එහිද මුහුදෙන් ගොඩට ගෙනෙන හක්ගෙඩි කුණුවෙන්නට දමා තියෙන මඩුව යට කුකුළු රංචුවකි. උන් හක්ගෙඩි කුණුවී වැටෙන පණුවන් අහුලමින් ආහාරයට ගනිති. කුකුළු රංචුව වාඩියේ කෝකියාගේය. කුකුළු රංචුවට කෑම දෙන්නට සත පහක් වත් වියදම් නොකරන කෝකියා බිත්තර සහ සතුන් විකිණීමෙන් ලොකු මුදලක් සොයන බව කියැවිණ.
වී කෙටීමෙන් ලැබෙන මුදලට අමතරව පැත්තක එකතුවෙන වී කුඩු විකිණීමෙන්ද මාටිං මාමාට අමතර මුදලක් ලැබේ. සෙනග වී කුඩු ගෙනියන්නේ පුන්නක්කු සමග කලවම්කර හරකුන්ට කන්නට දෙන්නටය. මෝලට පාහින්නට දුන්න රතු හාල් ටික සුද්දකර ගත් පසු අපි දෙන්නා ගෙදර එන්නේ අලවත්ත පාර දිගේය. ඒ වගේ රතුම රතු හාලක් දවසක් මම මදුරාසියේ කඩේක දැක්කෙමි. ඒ මාටිං මාමාගේ වී මෝලේ හාල් කෙටිල්ලට කාලාන්තරයකට පසුව මම ඉන්දියාවේ හිටපු කාලයේය. ඒ රතු හාල් කිලෝ කීපයක් මිලට ගත් මම එතන ලඟම තිබුණු මෝලකට දී රෝස පාට වෙන්නට පොලිෂ් කරවාගෙන ගෙදර අරගෙන ගියෙමි. ඒවා කොටා පිටි කරගත් විට ඉඳිආප්ප හදන්නට අනර්ඝ බව පෙනීගියේය. එහෙම ඉඳිආප්ප හදන විට පිටි තම්බා ගෙන ඉඳිආප්ප සෑදිය යුතුය. හාල් පිටි වලින් ඉඳිආප්ප හදන ක්‍රම දෙකක් ඇත. එකක් නම් පිටි තම්බා ගෙන ඉඳිආප්ප හැදීමය. අනෙක පිටි බැදගෙන ඉඳිආප්ප හැදීමය. පාන් පිටිවලින් ඉඳිආප්ප හදනවා නම් බැදිල්ලක් නැත. තම්බා ගත යුතුමය.
බැදගත් පිටිවලින් හදන ඉඳිආප්ප වල පිටි තම්බාගෙන හදන ඉඳිආප්ප වල තරම් මෘදු සෞම්‍ය බවක් එන්නේ නැත. පිටි තම්බා සාදාගත් ඉඳිආප්පයේ රැල් බොහොම ලස්සනට රෝස පාටට දැක්ක දුටු ගමන් ඉඳිආප්පය කන්න හිතෙන විදියට පිරුණු බවක් සහිතව තිබේ. දවසක් අපේ ගෙදර රෑ කෑමකට ආපු කේමදාස මාස්ටර්ටද අන්න ඒ විදියට හදපු ඉඳිආප්ප කන්නට දුන්නෙමි. බොහොම සතුටින් ඉඳිආප්ප කෑ කේමදාස මාස්ටර් බොහොම කාලෙකින් රස ඉඳිආප්ප ටිකක් කෑවා කියමින් ඉඳිආප්ප වල අගය පාරට්ටු කළේය. ඔය කතාව මම මීට කලින්ද බ්ලොගේට ලියපු කතාවක ලිව්වෙමි. දැන් නම් ඒක සොයන්නට කම්මැලිය. අපේ නයා ප්‍රසන්නට නම් ඒ කතාව මතක ඇති බව මම සිතමි. දවසක් සුනිල් එදිරිසිංහත් මට කීවේ ඔහුත් රෝස පාට ඉඳිආප්පත් පොල් සම්බෝලත් කන්නට මනාප බවය. ඒ ඕමාන් වල රෑ කෑමකදී අපි හමුවුණු වෙලේය. එදා සුනිල් එදිරිසිංහ ඉඳිආප්ප සහ රතු පොල් සම්බෝලය බොහොම කැමැත්තෙන් අනුභව කළ බව මට මතකය. අපි බෙන් එකේ ටෙලි නාට්‍ය කරන කාලයේ දවසක් උදේ ඉඳිආප්ප කන ගමන් කැමරා ශිල්පී කේ.ඒ. ධර්මසේන කීවේ ඔහු තරුණ කාලේ ලෙස්ටර් මහත්තයාගේ ප්‍රොඩක්ෂන් වල වැඩ කරද්දී උදේට ඉඳිආප්ප හැට හැත්තෑවක් කන බවය. එහෙම නැතිව අලි පත යකඩ බාර්වල සවි කර ඇති විශාල ලයිට් උස්සන්නට බැරි බව ධර්මේ කියපු බව මට මතකය. මේ ළඟකදී ටී වී වැඩ සටහනකට සහභාගී වූ සචිත්ර සේනානායක කීවේ ඔහු මාරි පැකට් දෙකක ඔට්ටුවකට ඉඳිආප්ප හැත්තෑපහක් කෑ බවකි. මීටත් වඩා ලොකු ඉඳිආප්ප කෑමේ ඔට්ටුවක් ගැන මා කියවා ඇත. එදා ඉඳිආප්ප කෑමේ ඔට්ටුවේ කතානායක වරයා වන්නේ තුන්වරක් මෙරට අගමැති ධුරය දැරූ ඩඩ්ලි සේනානායක මැතිතුමාය. මේ කතාව 2018 ජුනි මාසයේ ලංකාදීප පත්රයකට නිහාල් ජගත්චන්ද්‍ර ලියුවක් බැවින් පත්‍රයේ තිබුණු පිළිවෙලටම උපුටා දක්වමි.
"මේ කාලයේ ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලයේ නේවාසිකාගාරයේ නතරවී සිටි සිසුන්ට සැපයුනේ බටහිර ක්‍රමයට පිසූ ආහාර පානය. එහෙත් ඒවාට එතරම් ප්‍රියමනාපයක් නොදැක්වූ ඩඩ්ලිගේ ප්‍රියතම ආහාරය වුයේ සිංහල ක්‍රමයට පිසූ බත් සහ මාළු පිණිය. එසේත් නැත්නම් ඉඳිආප්ප හෝ පිට්ටුය.
ඒ අනුව ඩඩ්ලි සහ ඔහුගේ සම වියේ මිතුරන් විසින් පවත්වන ලද උද්ඝෝෂණයක ප්‍රතිපල වශයෙන් ඔවුන්ගේ උදෑසන ආහාරයට ඉඳිආප්ප සහ පිට්ටුද එක්කිරීමට විදුහල්පතිවරයාගේ අනුමැතිය යටතේ නේවාසිකාගාර පාලකයා පියවර ගෙන තිබුණේය. එහෙත් බටහිර කෑම වර්ගද උදෑසන කෑම මේසයට එක්කර තිබුණේ බත් ඉඳිආප්ප හෝ පිට්ටු කෑමට ප්‍රියමනාපයක් නොදක්වන සිසුන් වෙනුවෙනි.
දිනක් නේවාසිකාගාර පාලකයා නිවාඩු ගොස් සිටි අවස්ථාවක උදෑසන ආහාර ගැනීම සඳහා කෑම ශාලාවට ගිය සිසුන්ට දකින්නට ලැබුණේ පෙර පරිදිම ඉඳිආප්ප,පිට්ටු සහ බටහිර ඌරුවට සකසන ලද කෑම වර්ග කීපයක් මේසය මත තිබෙන අයුරුය. එදින වෙනදාටත් වඩා වැඩි ඉඳිආප්ප ප්‍රමාණයක් එහි තිබෙන බවද ඔවුන්ට පැහැදිලිව පෙනෙන්නට තිබුණේය.
ඩඩ්ලිට මෙතන තියෙන ඉඳිආප්ප කොච්චර කන්න පුලුවන්ද? සීයක්...
ඩඩ්ලි එහි තිබූ වෙනත් කෑම වර්ග දෙසවත් නොබලා ඉඳිආප්ප තසිම අසලින් හිඳගත් අයුරු බලා සිටි ඔහුගේ මිත්‍රයෙකු එසේ කීවේ විහිළුවටය. තම මිත්‍රයා බොහෝ අවස්ථාවල දී ඉඳිආප්ප වැඩි ප්‍රමාණයක් කිසිදු අපහසුවකින් තොරව ගිල දමන අයුරු ඔහු කොතෙකුත් දැක තිබුණේය.
'බැරිකමක් නෑ. ඒත් මම ඒ තරම් ගණනක් කෑවොත් මගේ මේ මිත්‍රයා ඇතුළු වැඩි දෙනෙකුට බඩගින්නෙ ඉන්න සිද්ධ වෙනවා' යි කී ඩඩ්ලි සේනානායක ශිෂ්‍යයා තම මිත්රයින් පිරිස දෙස බලා උපහාසාත්මක සිනාවක් පෑවේය. 'නෑ...නෑ...ඒ ගැන ප්‍රශ්නයක් නෑ. ඔයා ඉඳිආප්ප සීයකට වඩා කෑවොත් අපි ඔයාට මවුන්ට් ලැවිනියා හොටෙල් එකේ ෆස්ට් ක්ලාස් ලන්ච් එකක් දෙනවා, ඒත් ඔයාට ඉඳිආප්ප සීයක් කන්න බැරිවුණොත් ඔයා අපිට මොනවද දෙන්නෙ?
ඩඩ්ලිට එම අභියෝගය ඉදිරිපත් කරමින් ඔහුගෙන් එසේ විමසන ලද්දේ උඩරට වතුකාර පවුලකට අයත් බ්‍රිතාන්‍ය ජාතික සිසුවෙකි.
'හරි ප්‍රශ්නයක් නෑ. මම පැරදුනොත් ඔයගොල්ලන්ටත් මවුන්ට් ලැවිනියා හොටෙල් එකේ ඒ ලන්ච් එකම දෙනවා'. යි කී ඩඩ්ලි මුලින් ඉඳිආප්ප පනහක් තම පිඟානට බෙදා ගනිමින් ඒ අසල තිබූ කිරිමාළු තසිම ලඟට ඇද ගත්තේය.
'හැබැයි මම කන්නේ අතින්, එහෙම නැතුව රස නෑ.' යි කී ඩඩ්ලි සේනානායක වතුර උගුරක්ද බී තම කාර්යය අරඹන ලද්දේ සෙසු සිසුන් පිරිස වටවී බලාසිටින අතරතුරය. අන්තිමේදී ඉඳිආප්ප එකසිය තිහක් ඉතා පහසුවෙන් ගිල දමා අවසන් කළ ඔහු දෑස් උඩ ඉන්දාගෙන තමන් දෙස බලාගෙන සිටි මිතුරන්ගේ අභියෝගය ජයගෙන හුනස්නෙන් නැගී සිටියේ තම සුරතේ ඇඟිලිද කටින් සූප්පු කරමිනි. "
ඉහත දැක්වෙන කතාව තරමක අතිශයෝක්තියක් බව මට නම් බැලු බැල්මට පෙනේ. ඉඳිආප්ප හැට හැත්තෑවක් කන එක වෙනම දෙයකි. ඒත් පාසැල් ශිෂ්‍යයෙක් ඉඳිආප්ප එකසිය තිහක් කෑවා යනු පිළිගන්නට ටිකක් අමාරු කාරණයකි. සාමාන්‍යයෙන් පත්තරවලට ලියන අයගේ කතාවල තාර බර ඇරගෙන විශ්වාස කරන එක හොඳය. ඩඩ්ලි සේනානායක මහතා හොඳට කාපු කෙනෙක් හැටියට නම් ප්‍රසිද්ධය. මම කියවපු තවත් කතාවකට අනුව ඩඩ්ලි සේනානායක මහතා අවේලාවේ ඇවිත් කහබත් කන්නට ඉල්ලන නිසා ඔහු මැති සබයේ ඉන්නාවිට පාර්ලිමේන්තු භෝජනාගාරයේ උදවිය නිතරම එයට සුදානමින් ඉන්න බවද ඔහු වරකට ලොකු කහබත් පිඟානක් සහ බැදපු කුකුලෙක් කන බවද පත්තරයකට කියා තිබුණේ ඒ කාලයේ පාර්ලිමේන්තු භෝජනාගාරයේ හිටපු සේවකයෙකි.
ඉස්සර අපේ ගෙවල්වල ඉඳිආප්ප හැදුවේ උදේ කෑමටය. දැන් නම් මේ කියන පරක්කුවට ගෙදර කන්නට ඉඳිආප්ප තම්බා ගැනීම සුළු දෙයක් වුණත් දැන් වගේ ගෑස් කුකර් සහ ස්ටීමර් නැති ඒ කාලයේ ගෙදරට කන්නට ඉඳිආප්ප තම්බා ගැනීම ලොකු වැඩකි. වංගෙඩියේ පිටි කොටා තම්බාගෙන මිශ්‍රණය තනාගත් පසු දර ලිපේ මැටි මුට්ටියට වතුර දමා පස්සා ඉඳිආප්ප වට්ටිවලට වක්කර ගත් පසු එකවර මුට්ටිය උඩ තියන්නට හැක්කේ ඉඳිආප්ප වට්ටි හතරක් හෝ වැඩිම වුනොත් පහකි. ඒ වට්ටි පහ මුට්ටියේ කට උඩ තබා ලොකු මැටි මුඩියකින් වැසිය යුතුය. ඉඳිආප්ප තැම්බී හුමාලය මුඩියෙන් පිටතට එන්නට පටන් ගත් පසු ඉඳිආප්ප බාන්නට පදම ඇවිත් බව දැනගනී. අනික ඒ කාලයේ හවසට රෙඩිමේඩ් ඉඳිආප්ප විකුණන කඩ ගැන අහන්නට වත් තිබුණේ නැති බවද කිව යුතුය. ඉඳිආප්ප විස්සක් තම්බා ගැනීමට හතර සැරයක් හෝ පස් සැරයක් ඔය විදියට තම්බාගත යුතුය. කොල්ලා කාලෙ වැඩිපුර කෑවත් දැන් නම් මට ඉඳිආප්ප පහළොවකට වඩා කන්නට අමාරුය. හොඳටම බඩගිනි තිබුණොත් විස්සකි. ඊට වඩා කෑවොත් බඩේ ගල් දැම්මා සේ දැනේ.
ඒ කතාව එහෙමය. ඔය මම කිව්වේ ගෙදර කොටාගෙන හෝ පිටි මෝලෙන් ගන්නා පිටිවලින් හදන ඉඳිආප්ප ගැනය. නමුත් කඩේ විකුණන්නට ඇති ක්ෂණික ඉඳිආප්ප පිටිවලින් හදාගන්නා ඉඳිආප්ප වලින් ඉඳිආප්පයේ ස්වභාවික රසය ගන්නට බැරිය. මන්දයත් ඒවා කල්තබා ගැනීමට හා පිටිවල සුදෝසුදු වර්ණය ලබා ගැනීමට රසායනික ද්‍රව්‍ය බෙහෙවින් මිශ්‍ර කරන බැවිනි. ඉඳිආප්ප කන්නට හදාගන්නා පොල් සම්බෝලයද ඔහේ ආගිය අතේ හදන්නේ නැතිව පිළිවෙලකට හදා ගත යුතුය. රතුලූණු ටිකක් වැඩිපුර දමා උම්බලකඩද ගම්මිරිස් ඇට කීපයක්ද යොදා ගලේ අඹරාගෙන දෙහි ඇඹුල් ටිකකුත් මිශ්‍ර කර සාදාගත් පොල් සම්බෝලය සමග හිතේ හැටියට ඉඳිආප්ප කන්නට හැක. පොල් සම්බෝලවලට අමතරව තිබ්බොටු සහ කුණිස්සන් මිශ්‍රකර සාදාගන්නා කහපොල් මැල්ලුමද ඉඳිආප්ප සමග නැගලා යයි. මේ ළඟකදී අපේ ගෙදර ආපු කොච්චියාටත් මම උදේට කන්නට දුන්නේ ඉඳිආප්පත් කහපොල් මැල්ලුමත්ය. මම කොච්චියාට උදේ කෑම වට්ටෝරු කීපයක්ම ඉදිරිපත් කළෙමි. ඉඳිආප්ප සහ කහපොල් මැල්ලුම්, හීල් බත් එක්ක පොල් සම්බෝල, පාන් සමග කිරිමාළු හොදිත් පොල් සම්බෝලත් ආදී වශයෙනි. කොච්චියා කීවේ හීල් බත් වලටත් කැමති නමුත් මෙදා ඉඳිආප්ප කමු කියලාය.
එදා කොච්චියා ඇවිත් තිබුණේ ජා ඇලින් රා කෑන් එකකුත් වල් ඌරු මසුත් අරගෙනය. මදිපාඩුවට මම ඩීඩී බෝතලයකුත් ගෙන්නෙව්වෙමි. රා බොන්නට නලින්ද අපිත් එක්ක එකතු වෙන්නට නියමිත විය. නලින් කිව්වේ පන්සලේ රැස්වීමකට ගිහින් දවල් වෙනවිට එන බවය. නමුත් රැස්වීමෙන් පසු හාමුදුරුවන්ගේ එක එක ගමන් වලට නලින්ව දවසම බුක් කරගෙන තිබුණු බැවින් නලින්ට වැඩේ මග හැරී ගියේය. වෙනදාට කොච්චියාත් එක්ක එන අයිවන්ටද අසනීප නිසා එදා එන්නට බැරිවිය. අයිවන් කියන්නේ අපිත් එක්ක ඕමාන් වල වැඩකරපු කෙනෙකි. හොඳ බොන්නෙකු, ගිටාර් වාදකයකු සහ නියම විනෝදකාමියකු වූ අයිවන් නැතුවම අන්තිමට අපි දෙන්නා වැඩේ පටන් ගත්තෙමු.
රා බොන ගමන් නියම අතීතකාමියකු වූ කොච්චියා කීවේ අපේ ගෙදර එද්දී ගමට ඇතුල් වුන වෙලේ සිට දැක්ක පිරිමින් ඔක්කොම මාදුවාදැයි ඔහුට හිතුන බවයි. එදා හොඳ වෙලාවට මාදුවලාගේ කුඹුරු යායේ ගොයම් කපන දවසය. කුඹුර තිබුණේ අපි බොන තැනට මීටර් සීයක් පමණ පහලිනි. දැක ගන්නට ඔච්චර ආසා එකේ දැම්මම ගිහින් මාදුවා හමුවෙමුය කියා රා බීම පැත්තක තබා අපි වෙලට ගියෙමු. අපි යනවිට මාදුවාගේ කුඹුරේ ගොයම් කපා ඉවරය. මාදුවා වී ගෝනි කුඹුරෙන් ගොඩට අදිමින් සිටියේය. අපි කතාකරමින් ඉන්න විට මාදුවා කොච්චියාව පෙන්වා ඇසුවේ මේ කවුද කියාය. මම නම් ඔයාව හොඳට දන්නවා යැයි කොච්චියා කී විට බ්ලොග් හෝ අන්තර්ජාලය ගැන මෙලෝ හසරක් නොදත් මාදුවා පුදුමයට පත්ව කීවේ ඒ කොහොමද? මම ඔයාව දැක්කෙත් අදනෙ! කියාය. කෙසේ හෝ උන් දෙන්නාගේ හතර බීරි කතා අසමින් මම ඇතිවෙන්නට සිනාසුනෙමි. මගේ කතාවල මාදුවාද එක් චරිතයක් බව ඌ නොදන්නා එක හොඳය. සුද්දාද එසේමය. මගේ කතාවල තමන්ද චරිතයක් බව සුද්දා නොදනී.
මේ දවස්වල සුද්දා නැවතත් බදු වත්ත වගාකරයි. අයිතිකාරයාගේ ඉල්ලීම අනුව අන්නාසි වගාවෙන් පසුව සුද්දා වත්ත නැවත ඔහුට බාර දුන්නේ අන්නාසි ගස් ගලවාදමා සුද්ද කර අගල් එහෙම කපලාය. ඊට අමතරව බද්දට හිලව්වක් ලෙස සුද්දා වත්තේ පොල් පැළද සිටුවා තිබුණේය. දැන් පොල් පැළද තරමක් ලොකුය. වත්ත ආපසු දුන් සුද්දා තමන්ගේ වැඩක් බලාගෙන සිටියේය. සුද්දා වත්ත ආපසු බාරදුන් පසු පොල් හොරුන් වැඩ පටන්ගෙන වත්ත සුද්ද කරන්නට පටන් ගත්තෝය. තමන්ට වගකීමක් නැති නිසා සුද්දා නිහඬව සිටියේය. ඊට පසු අයිතිකාරයා ආවේ පොල් කඩවන්නටය. වෙනදාට පොල් කඩවා ට්‍රැක්ටරයක පටවාගෙන යන අයිතිකාරයාට මෙදා ඉතුරුවී තිබුණේ ගෝනි කීපයක දාගෙන යාමට සෑහෙන පොල් ප්රමාණයකි.
දවස් දෙක තුනකට පසු සුද්දා හමුවන්නට ආ අයිතිකරු වත්ත නැවත බාරගෙන වගා කරන ලෙස සුද්දාගෙන් ඉල්ලා සිටියේය. ඔහු මුදල්ද රැගෙනවිත් සුද්දාට දී තිබුණි. මුදල් අනවශ්‍ය බව සුද්දා කී විට ඔහු කියා තිබුණේ මෙතෙක් කල් වත්ත රැක බලා ගත්තාට ඒ මුදල ගන්නා ලෙසයි. කෙසේ හෝ දැන් සුද්දා වත්ත නැවත වගා කරයි. මෙදා සුද්දා සිටවා තිබෙන්නේ කිරි අල සහ මඤ්ඤොක්කාය. වගා කරන්නට දඬු ලබා ගැනීමේ ප්‍රශ්නයක් සුද්දාට මතුවිය. පළවෙනි කොරෝනා සමයේදී මම වත්තේ මඤ්ඤොක්කා සිටෙව්වෙමි. ඒවායේ දැන් හොඳට අල බැහැලාය. හැබැයි අල ටික ඌරු මීයන්ගෙන් බේරාගන්නට බැරිය. ගෙදර කෑමට ගලවන ගමන් එකතු කළ දඬු ඔක්කොම මම සුද්දාට දුන්නේ මම ආපහු මඤ්ඤොක්කා නොහිටවන නිසා ඒ සමහර හොඳ දඬු වර්ග වඳ නොවී ආරක්ෂා කරගන්නටය. දඬු සියල්ලම සිටවූ සුද්දා මගෙත් එක්ක කීවේ පහුගිය වැස්සත් එක්ක දඬු ටික හොඳට පැළවී ඇති බවය. මම ගෙදර ප්‍රයෝජනයට මඤ්ඤොක්කා හිටෙව්වත් සුද්දා කරන්නේ වාණිජ වගාවකි. සුද්දා මඤ්ඤොක්කා ගැලවූ දාට දඬු ටිකක් ආපහු අරගෙන ඇවිත් වත්තේ හිටවන්නට මම හිතාගෙන ඉන්නෙමි෴
පොල් සම්බෝල/ මැල්ලුම් වලට කූනිස්සො දාන බව දන්නා නමුත්. තිබ්බටු දාන විදිහ දන්නෙ නෑ. මේ සාවියෙ කූනිස්සො, තිබ්බටු හොයා ගන්න අපහසු නෑ. ඒත් හරි හමන් පොල් මැල්ලුමක් හදාගන්න දන්නෙ නෑ. මේක කියෙව්වාම, පොඩිකාලේ කාපු ඉඳිආප්ප/මැල්ලුම් රස මතක්වෙලා තනි ඇහැට ඇඩෙනවා.
ReplyDelete-බස්සා-
හා , දැන් හැමෝම කෙමෙන්ට් දෙක ගානෙවත් කොටල යන්න. කියවල හොර බලල්ලු වගෙ ලුහුටල යන වාහෙලටයි එක්කයි මේ කියන්නෙ.
Deleteතිබ්බොටු පොල් මැල්ලුම් හදන එක මහ කාරියක් නෙවෙයි. වෙලාවක ඒකත් ලියන්නම්කො.
Deleteතැන්කු ඇනෝ!
Deleteඩඩ්ලි සේනානායක මහත්තයා ගැන හැලපතුමා කියල තියන කතා සමහරක් ඇත්තටම ඇත්ත. මම බැලුවේ අපේ බ්‍රැඩ්මන් වීරකෝන් මහත්තයාගේ අගමැති වරුන් සමග තිබ්බ අත්දැකීම් ගැන ගුණදාස ලියනගේ මහත්තයා ලියපු පොත. ඒකෙ කියන්නේ නං මෙහෙමයි...."ඔහු වැඩට මෙන්ම කෑමටද රුසියෙකු වූ බව කිව යුතුය. කන්නට ගිය විට රෝස් කරන ලද තඩි කුකුලෙකුත් බුරියානි කීපයකුත් අද බෑම ඔහුට සුළු දෙයක් විය. ඒ කන වෙලාවට සිටි සියලු දෙනාටමත් අත දිග හැර සංග්‍රහ කිරීමටත් ඔහු අමතක කලේ නැත...ඩඩ්ලි සේනානායක මහතාට අවේලාවට බඩගිනි වන බවද මම පළපුරුද්දෙන් දනිමි. පාර්ලිමේන්තු භෝජනාගාරයේ සේවකයන් පවා මේ ගැන හොඳ හැටි දැනගෙන සිටි නිසා අගමැති තුමා අවේලාවේ බත් ඉල්ලුවත් එය සූදානම් කර දීමට ඔවුහු නිතරම සැරසී සිටියෝය....හැබැයි පස්සේ කාලෙක බ්‍රැඩ්මන් මහත්තයාම අරලිය ගහ මැදුරේ ස්ඵන්දනය - 50 වසරක අත් දැකීම් හෙවත් Rendering Unto Caesar ලියන කොට මේ කතාව හලලා. සමහර විට අර ජ්‍යෙෂ්ට නායකයාට අගෞරවයක් වෙයි කියල හිතල වෙන්ඩැති. එහෙම නැත්තං 'ගුලි' පොඩි කුණු රහක් එකතු කරන්ඩ මේ කතාව හාරා අවුස්සලා එක්කහු කරාද දන්නේ නෑ... .ඒ කොහොම උනත් අද ඉන්න ලොන්තපෝල් ලාට වඩා ගවු සිය ගානක් රට වෙනුවෙන් වැඩ කරපු උත්තමයෙක්. හැලපේතුමාට මතක නැද්ද එතුමාගේ කාලේ? අපි නං ඉපදෙන කොටත් එතුමා සුර ලොව ගිහිං.
ReplyDeleteඑතුමාට අවසන් ගෞරව දක්වන්න මම පැය හයක් විතර පෝලිමේ හිටියා.
Deleteඩඩ්ලි සේනානායක මැතිතුමා මැරෙද්දි මම පොඩියි. ඒත් හොඳට මතකයි මරණෙ.
Deleteඅප්පා තිබ්බටු මැල්ලුම කූනිස්සන් මැල්ලුම මතක් වෙනකොටත් රස දැනෙනවා.පොඩි කාලේ මට මතකයි අපේ අම්මා ඉඳිආප්ප කන්න හදනවා කැබෙල්ල දළු මැල්ලුම. දැන් නම් කැබෙල්ල ගහක් දැකපු කාලයක් මතක නෑ. ඔය ඩඩ්ලි 100 කට වඩා කෑවේ කියන ඉඳිආප්ප අර ෆෑන් එකක් යට තිබ්බොත් හුළඟේ යන සයිස් එකේ ඒවාද දන්නේ නෑ. ජා ඇල කොහෙද වල් ඌරු මස්? අර කියනවා වගේ ගං ඌරෙකුට බ්ලූ ෆිල්ම් පෙන්නලා වල් කරපු එකෙද්ද?
ReplyDeleteඔන්න කුමාර කැබැල්ල දළු කතාවක් මතක් කළා. වෙලාවක කඩාගෙන ඇවිත් හදන්න ඕනෑ. අර මාදුවගෙ කුඹුර අද්දර ඇල අයිනෙ පත කැබැල්ල ගහක් තිබුණා. ඒ දවස්වල අපි අතුත් කපල අයින් කළා. ජා ඇල ඌරු මස් ගැන නම් කොච්චියගෙන් අහන්න ඕනෑ. එහෙට පිටින් ගේනවයි කියලයි කොච්චිය කිව්වෙ.
Deletehttps://helapakade.blogspot.com/2015/03/blog-post_0.html
ReplyDeletehttps://helapakade.blogspot.com/2014/03/123.html
ReplyDeleteඔන්න ඔහේගෙ ආසාව හින්ද උඩිං දැම්ම කේමදාස මාස්ටර්ගෙ ලිංක් එක.
ReplyDeleteමේක බලාගෙන ගියාම තනිකරම ඉඳියාප්ප මෙනූ එකක්නෙ.
තෑන්ක්ස් ප්‍රසා. ඔව්නෙ කතාවම ඉඳිආප්ප උනා.
Deleteඅර ඩීඩී බෝතලේටයි වල් ඌරටයි මොකද උනේ ඊට පස්සෙ.
ReplyDeleteආපහු ඇවිත් අපි දෙන්න බිව්වා.
Deleteහාල් පිටි ඉඳි ආප්ප කන්න අමාරුයි බං හැලපයියේ හොඳ හොද්දක් නැතුව,මම නම් එකට යෝජනා කරන්නේ හොඳ කිරි හොද්දක්,පොල් සම්බෝලෙට වඩා හොඳයි පොල් මැල්ලුම.හැබැයි එකත් තිබ්බටු දාලා කන්න බැහැ බං තිත්තයි.කුණිස්සෝ දාලා ගත්තොත් නියමයි.පොඩියට කැලි කපපු හරක් මස් එහෙමත් ඉඳි ආප්ප කන්න නියමයි.
ReplyDeleteරසට හදල ගත්තම ඔය කෝකත් හරියනවා මනෝජ්.
Deleteහාල්පිටි ඉදිආප්ප චොර
Deleteහාල්පිටි ඉදිආප්ප චොර
Deleteමාදුවගෙ ගොයම් කයියට නොගිහින් හා බිව්වා එහෙනම්.
ReplyDeleteදැන් කයියවල් නෑ කුමාර. භූතයා දාල කැපුවම වී තමයි එළියට එන්නෙ. ගෝනි වලට පුරවන්න එකෙක් හිටියනම් ඇති.
Deleteකිරි අල හිටවන්න කොහෙන්ද හොයාගන්න තියෙන්නේ?
ReplyDeleteසුද්දා තමයි දන්නෙ කොහෙන් ගෙනාවද කියල.
Deleteමඤ්ඤොක්කා ඉස්සර අපිට මතක විදිහට වර්ග දෙකක් විතර වගේ මතක්. එක වර්ගයක් කොලේ නැට්ට රතු පාට අනික සුදු පාට.මඤ්ඤොක්කා කොලේ නැට්ට කඩල හදන මාල සහ මඤ්ඤොක්කා බොඩ වලින් අත්වැඩ කරපු හැටි මතක්වෙනවා.
ReplyDeleteරතු පාට නැට්ට පේරාදෙනි එක. සුදු නැට්ට තුන් මස් එක.
Deleteඉදි ආප්ප පොල්සම්බෝලයි හොද්දකුත් එක්ක මරු...
ReplyDeleteඑහෙමත් රසයි.
Delete"ඉහත දැක්වෙන කතාව තරමක අතිශයෝක්තියක් බව මට නම් බැලු බැල්මට පෙනේ. ඉඳිආප්ප හැට හැත්තෑවක් කන එක වෙනම දෙයකි."
ReplyDeleteඑක ඉදි ආප්පේ හැටියට බලන්න ඕනෑ. කොලඹ සයන්ස් ෆැකල්ටි කැන්ටිමෙන් මම උදේට ඉදි ආප්ප 40ක් කනවා. ඊට වඩා කන එක පොකට් එකට අමාරු නිසයි, 40න් නවත්තන්නේ.
ඉදි ආප්ප වෙන්කරනේ එහෙම නෑ. 10යේ ගොඩ කටවල් දෙකයි. තනි ඉදි ආප්පයක් අතට ගන්න බයයි, හුලගට යයි කියලා :-)
ඒ කතාව නම් සහතික ඇත්ත. ඒ උනාට ආදී කාලෙ ඉඳිආප්පයක් ටිකක් ලොකුවට තියෙන්න ඇති නේද?
Delete50-60 දසකයේ (පසුව ප්‍රවීන නළු) අශෝකා පොන්නම්රුපෙරුම තමියි ඉදිආප්ප 70 ක් කෑමෙන් ආන්නදයේ හොස්ටල් එකේ වාර්තාවක් තියල තිබුනේ,
ReplyDeleteඅශෝක පොන්නම්පෙරුමගේ හැටියට 70 ක් කන එක සුළු දෙයක් කියල හිතාගන්න පුළුවනි. ඒ වාර්තාව තාම තියෙනවද?
Deleteමෙන්න මෙහෙම වෙඩි වගේ පෝස්ට් තමා අවශ්‍ය
ReplyDeleteස්තුතියි කුෂ්!
Deletecant stop reading ! love it
ReplyDeleteThanks Ano!
Deleteඉදි ආප්ප කියන්නේ මගෙත් ආසම කෑම. පොල් සම්බෝලයි අල හොදියි එක්ක කතහැකි බඩ පැලෙනකං
ReplyDeleteදැන් නම් එහෙම හම්බවෙන්නෙ නැතුව ඇති?
Deleteපෝස්ට් එකත් රහයි තමයි
ReplyDeleteඋඩ ෆොටෝව නම් නියමයි
කිරි හොද්දත් තිබ්බා නම්
කාගෙන යනවා සත්තයි!
පොටෝව දැක්ක ගමන් ආස හිතුණා නේද?
Deleteමක්කද දොඩන්නේ?
Deleteනියම පදමට පිටි අනලා, නියමම පදමට තම්බාගත්තු ඒවා!
මතකයිනේ, මාත් ඉඳියාප්ප තැම්බීමේ, විකිණීමේ පුරුදුකාරයෙක්නේ!
kathawa liyala thiyana widihath idi appa wagema rasay
ReplyDeleteස්තුතියි ඇනෝ!
Deleteඅනේ අප්පේ, අම්ම තාත්ත දැක්කා වාගේ, හැලප පොස්ට් දාලා තියනවා!
ReplyDeleteදවස් කීපෙකෙට කලින් දැක්කත් නිදහසේ කියවන්න ඕනේ නිසා වෙලාවක් එනකන් හිටියා. දැන් දැන් වැඩි දෙනෙක් බුකියේ ලිව්වත්, මට නම් වැඩිය රහ මේ වගේ බ්ලොගක් බලන එක. ඒක හරියට වේදිකා නාට්ටියක් බලනවා වගේ, ටෙලියක් බලනවට වැඩිය.
මමත් මේ හොය හොයා හිටියේ හාල් පිටි වලින් ඉඳිආප්ප හදන්නේ කොහොමද කියල. විප්‍රවාසේ ඉන්න අපිට හම්බ වෙන්නේ මාස ගණන් පරණ වෙච්ච ඉඳිආප්ප පිටි. සමහර දවස් වලට එව්වායේ පොඩි පුස් රහකුත් එනවා. හාල් ටිකක් ගෙදර කොටලා තම්බලා හදල බලන්නම්.
එහෙනම් හැලපේ, බොහොම සතුටුයි. දිගටම ලියත්වා!
ගම්මිරිස් දාපු පොල් සම්බෝලයක් එක්ක පරණ ඉඳිආප්ප පිටි වලින් හදපු ඉඳිආප්ප කන ගමන්...
ඔයා බොහොම කාලෙකින්. අපි නම් විප්‍රවාසෙ ඉද්දි හොඳ ඉඳිආප්ප කෑවෙ ගෙදර පිටි කොටලා.
Deleteඅද කෑවා ඉදිආප්ප කොච්චි පොල් සම්බල් සමඟ පරා පැටව් කිරි හොද්ද...
ReplyDeleteපරා පැටව් කිලෝඑකම 100/= යි
පෑලියගොඩ ගියාද උඹ පරා පැටව් ගන්න?
Deleteඅද කෑවා ඉදිආප්ප කොච්චි පොල් සම්බල් සමඟ පරා පැටව් කිරි හොද්ද...
ReplyDeleteපරා පැටව් කිලෝඑකම 100/= යි
හිඟුරල ගැන හොයන්න ගිහින් අහම්බෙන් මේ බ්ලොගේ මාට්ටු උනා. තවමත් මෙහෙම ලියන අය ඉන්නවා දකින්න ලැබීමත් සතුටක්. ඉතාම රසවත් ලිපියක්. අගක් මුලක් නැතිව කියෙව්වට වෙලා තියෙන හැටියට මම හෙමින් ලිපි ටික කියවන්නම්.
ReplyDeleteහිඟුරල වැල දිගේ ඇවිත් හොයා ගත්තා නේද? ස්තුතියි පැමිණීම ගැන. දිගටම එන්න.
Deleteනාත්තන්ඩියෙ රා රස බැලුවා ගිය සුමානෙ. (පොල්)
ReplyDeleteපෙබරවාරිවල වෙල්වැටිතුරයි (තල්)
කිතුල් අවුරුදු ගාණකට ඉස්සර තමයි
තල් රා හොඳ සීරුවට බිව්වා ගිය මාසෙ මන්නාරම් ගිහිං. කිතුල් තමයි හිඟ. බීපු කාලයක් මතක නෑ.
Deleteකලින් පොස්ට් එකට දාපු කමෙන්ට් එකත් යකා ගිල්ලා. මේකට එහෙම නොවේවා! අපේ ගමේ නිළමේ කියලා මදින අයියා කෙනෙක් හිටියා. මිනිහට මදින මාමා කියලා කවුරුත් කිවුවේ නැත්තේ එයා ගස් අයිති කෙනාගේ මස්සිනා නිසා. සුද්දෙක් වගේ සුදුයි. පී කටහඬක් තියෙන්නේ.ඒ කාලේ හොඳ බයිට් එකක් තමයි.
ReplyDeleteඅපේ පුංචි අම්මා සමූපේ මැනේජර් කෙනෙක්. ඒ කාළේ ලොකු ජොබ් එකක්. හැබැයි ගෝලයා මාටියා ගහන ඒවට පඩියෙන් භාගයක් ගෙවුවා.
හාල් මෝල් වල බෙල්ට් එකෙන් ඇඳලා ස්ටාර්ට් කරන ඒවා තිබුණා මතකද ?
Deleteදැන් තියෙන රතු හාල්නම් පාට කරපුවා. ලංකාවේ හතරදිග්භාගයේ රාජකාරි ගිය නිසා විවිධ කෑම වර්ග රසවිඳලා තියෙනවා. වවුනියාවේ තම්බපු හාලක් තියෙනවා. කොන්ඩ කඩල ඇටයක් තරම්.
Deleteනිහාල් ජගත්චන්ද්‍ර අතිශයෝක්තියෙන් තමයි ලියන්නේ. ඉඳි ආප්ප 12යි මගේ උපරිම. ඉස්සර මම ගිය ගම්බද ඉස්කෝලයක් ලඟ ආච්චි කෙනෙක් තේක්ක කොලවල ඔතලා සම්බෝලයි ඉඳි ආප්පයි ගේනවා. ඒ පුරුද්දට තාමත් එකක් දෙකක් සම්බෝල ගුලි කරලා
ගිලිනවා. මාලු හොදියි පොල් එක්කත් පාන්පිටි ඉඳිආප්ප රසයි.
++++++++++
ReplyDeleteමේක ලියලා මාසම තුනකට කිට්ටුයි.
ReplyDeleteපොස්ට් එක දැම්ම දවස්වලම කියෙව්වාට අද තමයි කොමෙන්ට් කරේ .
ReplyDeleteසුද්දා අවංක මනුස්සයෙක් . ඒවගේ මිනිස්සු අඩුයි .
හැලප අයියේ.. මම වේයන්නාගොඩ, නාරංවත්ත, වීර මාවතේ....... ඔයාගේ ලිපි ගොඩක් කියෙව්ව..... මරු....... පුස්තකාලෙ පන්සල ගැන එකේ විස්තර හොඳට මතකයි.... ඉතින් අඳුන ගන්න කැමතියි...
ReplyDeleteමට මේල් එකක් දාන්න.
Deleteshantakuruppu@gmail.com
යකෝ උඹ කෝවිඩ් හැදිල මැරිලවත්ද ? වයසත් 60 පැනපු එකේ ගෙදරනම් ඉන්නෙ, පොඩි අප්ඩේට් එකක්වත් දාපන්
ReplyDeleteහැලපෙට කැන්ද කොළ කැවිලා..
Deleteහායි හැලප අන්කල්. මාව මතකද දන්නෑ..
ReplyDeleteබඩගිනි පොස්ට්
ReplyDeleteHappa meka kiyawala badagini haduna
ReplyDelete