Saturday, February 28, 2015

යිටි වෙරළේ සැන්දෑව



අද සංචාරක සටහනක් ලියන්නට හිතුණා.කාලෙකින් එහෙම කතාවක් ලිව්වෙත් නෑනෙ.අපි අඳුනන ජෝඩුවක් දවල් කෑමකට ආරාධනා කළා.මේ දවල් කෑම ලෑස්ති කරලා තිබුනෙ මුදු වෙරළක, කෑම කිව්වට මුදෙ නෑමක් බාබකිව් එකක් සහිත දවල් කෑමක්.කෑම අවසන් කරලා ගෙදර එද්දි හවස හය විතර උනා.හරි මහන්සියි තෙහෙට්ටුයි රෑට පළතුරු මොනා හරි කාල ඉක්මනට නිදාගමු කියල කතාවෙලා ටී වී බල බලා ඉද්දි පරණ ෆිල්ම් එකක් තියෙනව දැකල බැලුවා.විරාගය කියන චිත්‍රපටය 1987 තිරගත උන එකක්.පට්ට නිදිමතයි ඒ උනාට තිබුන ආසාවටම ඉවර වෙනතුරු බැලුව.ඉවරවෙද්දි රෑ දොළහමාර විතර උනා.ඒ නිදාගත්ත ගමන උදේ නවය විතර වෙනකං නින්ද ගියා.නැගිටලා උදේට හදල තිබුන මු ඇට කිරිබත් සහ ලුණුමිරිස් කාල එහෙම තමා ඊයෙ ගිය ගමනෙ විස්තරේ ලියන්න පටන්ගත්තෙ.

මස්කට් අගනුවරින් කිලෝමීටර් 40ක් පමණ දුරින් පිහිටා තිබෙන යිටි කියන මුහුදු වෙරළ මේ රටේ තියෙන ලස්සන වෙරළ තීර වලින් එකක්.ගල් කඳු වැලි කඳු ගල් ගුහා වලින් පිරුණ ස්වභාවික ඒ වගේම කිසිම ආකාරයකින් වාණිජකරණයකට ලක් නොවුන ශාන්ත සුන්දර වෙරළක්.මුහුද පොඩ්ඩක්වත් සැර නැහැ.කොහොමත් මේ අරාබි මුහුද අපේ ඉන්දියන් සාගරය තරම් ප්‍රචණ්ඩ නැහැ.එපමණට ඉහළ යන්නෙ නැති රැල්ල අපේ දණක් තරම්වත් උස නැහැ.මේ දිනවල පවතින ඉතා තදබල සුළං ප්‍රවාහය හේතුවෙන් ඊයෙ නම් එක පිට එක රැළි ඉක්මනින් එනු දකින්නට ලැබුණා.
අපි යිටි වෙරළට යද්දි වෙලාව දවල් දොළහ විතර වෙන්නට ඇති.ඒ වෙද්දි අපේ සංග්‍රාහකයින් ඇවිත් වැඩ පටන්ගෙන හමාරයි.අපි ඉක්මනටම ගිහිං මුදට පැනල නාගත්තා.ඊට පස්සෙ පැළහු මස් මාළු සහ එළවලු පලතුරු වලින් සමන්විත දිවා ආහාරය.බයිට් එකට හුරුබුහුටි පොඩි උන් තුං හතර දෙනෙක් හිටියා.මේ අය අතර ගෙවුන දවස සැබවින්ම සුන්දරයි.ලියන්න එච්චර දෙයක් නෑ පිංතුර වලින්ම බලාගන්න.


 ඊටත් වඩා මගෙ හිත ගත්තෙ අපි හිටපු තැනට එහා පැත්තෙ වාහන කීපයකින් ආපු කණ්ඩායමක් පුටු මේස තියල භෝජන සංග්‍රහයකට සුදානම් වීමයි.ඔවුන් සීසන් කරපු එළුවෙක් එහෙම පිටින්ම ඊයම් කොළවල ඔතල පලහන්නට පටන් ගත්තා.මෙන්න මේ ආකාරයට.


මෙතන ඉන්න පිළිස්සීමේ විශේෂඥයා පිටුපස තිබෙන්නේ ඔවුන් බොන්නට ගෙනා ගඩුගුඩාවයි.එවැනි ගඩුගුඩා දෙකක් තිබෙනු මා දුටුවා.මේ අයගේ වැඩ කටයුතු දැක්ක මට මොවුන් කවුද මොන රටකද කෑම බීම පිළියෙළ කරන ආකාරය කෙලෙසදැයි විමසා බැලීමට විශාල කුතුහලයක් ඇතිවුනා.දෙතුන් සැරයක්ම යන්නට හදන විට 

ඔයා ඒ ගොල්ල අස්සට රිංගන්න යන්නෙ කොහොම මිනිස්සුද මොන රටේද කවුද දන්නෙ පිට අය යනවට ඒ ගොල්ල කැමති නැතුව ඇති බැනල එලවගනීද දන්නෙ නෑ යන්න එපා...

බිරිඳ විරෝධය පළකලා.නමුත් ඒ සියල්ලටම වඩා මගෙ කුතුහලය වැඩිවුනා.මේ ක්‍රියාවල සුලමුල දැනගන්නට මට තිබුන නොසංසිඳෙන ආසාව ඒ විරෝධය ඉක්මවා ගියා.

මොක්කු උනත් කමක් නෑ මේ ලෝකෙ මිනිස්සුනෙ.මම ගිහිං කතාකරනවා බැන්නොත් ආපහු එනවා...

කැමරාවත් අතට ගත්ත මම ඔවුන් සිටි තැනට ගියා.ගිහිං ඉතාම ආචාරශීලීව බාධාවක් කරනවා නං සමාවෙන්න කියල එහෙම මේ එළුවා පැලහීමේ විස්තරය අසා සිටියා.මා බලාපොරොත්තු නොවූ ආකාරයට ඔවුන් මා සමග ඉතා සුහදව කතා කළ අතර කීප දෙනෙක්ම මා ඇසු විස්තරය කියන්නට ඉදිරිපත් වුණා.ඔවුන කී ආකාරයට කුළුබඩු තුනපහ ලුණු ආදිය යෙදු එළුවා ඊයම් කොළවල ඔතා පැය තුන හමාරක් හතරක් පමණ පලහා ගන්නවා.මිරිස් යොදන්නෙ නැති බවත් ඒ වෙනුවට ගම්මිරිස් කූඩු පාවිච්චි කරන බවත් ඔවුන් වැඩිදුරටත් කියා සිටියා.

ඔවුන් මේ රටේ ජීවත් වන සිරියන් ජාතිකයන් පිරිසක්.මා දන්නා ආකාරයට සිරියානු ජාතිකයන් ඉවුම් පිහුම් වලට අති දක්ෂයන් පිරිසක්.සිරියානු ජාතිකයන් කීවිට පහුගිය අවුරුද්දෙ මා මුහුණ දුන් තවත් අත්දැකීමක් මට මතක් වුණා.ඒ අපි පහුගිය කරීප් සමයේ සලාලා වල කළ සංචාරය අතරතුරදී සිදුවූ දෙයක්.

දිනක් රාත්‍රියේ අප නතරව සිටි දොෆාර් හෝටලයට පැමිණි හිතවතුන් පිරිසක් සමග රෑ කෑමට පෙර බීමක් පාවිච්චි කරමින් සතුටු සාමීචීයේ යෙදන විට බීමට කටගැස්ම ගැන ප්‍රශ්නයක් ඇතිවුනා.කටගැස්ම හොයාගෙන එන්න එළියට බැස්ස කීපදෙනා සමග මාත් එකතුවුනා.බොහෝ අවන්හල් වසා තිබුන ඒ මහ රාත්‍රියේ විවෘත කර තිබු අවන්හල් සොයමින් අපි කිලෝමීටර් ගණනාවක් ඉදිරියට ගියා.අවසානයේ විවෘත කර තිබු එක් අවන්හලක සිටි සිරියන් ජාතිකයන් දෙදෙනෙක් අපේ ප්‍රශ්නයට විසඳුමක් දෙන්නට ඉදිරිපත් වුණා. අධි ශීතකරණයේ  ශුද්ධ කර පුරවා තිබු මාළු අතරෙන් කිලෝ දෙකක පමණ මාළු කුරියන් දෙන්නෙක් තෝරාගෙන අප ඔවුන්ට බාරදුන්නා.පලහන්නට පෙර කුළුබඩු ආදිය යොදන විට ඔවුන් අප කියූ ආකාරයට මිරිස් සාන්ද්‍රණය සහ ගම්මිරිස් අතවැඩියෙන් පාවිච්චි කළා.අවන් එකේ විනාඩි විස්සක් පමණ පුළුස්සා ගත් මාළු කුරියන් දෙදෙනා පාර්සල් කරන විට ඒ මාළුන්ගෙන් විහිදුන සැර ඔවුන්ගෙ දෑසට කඳුළු නංවන්නට සමත් වුණා.

මේ මාළු අපි කෑවොත් එහෙම කෙලින්ම මැරිල වැටෙයි...

හිනාවෙමින් එහෙම කියූ සිරියන් ජාතිකයන් දෙදෙනා අපට සමුදුන්නා.ඔවුන් කියපු ආකාරයටම මාළුවල සැර තරමක් වැඩියි. නමුත් ඉතාම ප්‍රනීත ලෙස ඔවුන් ඒ මාළු කුරියන් දෙදෙනා පුළුස්සා දී තිබුණා.ඔබට මෙතන ඒ මාළු පෙන්නන්නට තිබුන නං හොඳයි.නමුත් ඒ වෙලාවෙ කැමරාව මගෙ අතේ නොතිබුන නිසා පිංතුරයක් ගන්නට ක්‍රමයක් තිබුනෙ නෑ.හෝටලයට ආපුවමත් පින්තුරෙ ගන්න මතක් වෙද්දි ඉතුරු වෙලා තිබ්බෙ මාලුවගෙ කටු ගොඩ පමණයි.කොහොම උනත් ඒ කටු ගොඩේ පිංතුරයක් මම ගත්තා.
දැන් ආපහු සලාලා ඉඳන් යිටි වෙරළට ආවොත් මේ වෙනකොට අර එළුවා පදමට පළහලා හමාරයි.මෙන්න මේ ආකාරයට.

මෙතන එළුවා පදමට පිළිස්සී අවසන් වනවිට ඊටම එහායින් මේසයක තවත් උදුනක රත්කරගත් පිලව් බත් විශාල තැටියක් සුදානම් කර තිබුණා.ඒ සමග දෙආකාරයකට සැකසු කොළ සලාදද බැදගත් මස්ද මේසය මත තබා තිබෙනු දක්නට ලැබුණා.





අනතුරුව පළහාගත් එළුවා පිලව් බත් මත තබා කැබැලි කඩාගෙන ආහාරයට එකතු කරගත්තා.

අවසානයේදී මටත් එළුමස් සමග රසවත් විශාල බත් පිඟානක් ඔවුන් පිළිගැන්වූවා.ඉතිං මේ අත්දැකීම ඔබට ගෙන එන්නට මට සහයෝගය දුන් උණුසුම් හදවත් ඇති ඒ සිරියානු ජාතිකයන් පිරිසට මගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතරම මනුෂ්‍යත්වය ඉදිරියේ ජාතිය ආගම හෝ භාෂාව කිසිම වැදගත්කමක් නොමැති බව මා නැවත වරක් ඔවුන්ගෙන් ඉගෙන ගත්තා.අප හැමදාම ගරුකරන්නේත් හිස නමන්නේත් ලෝකය පුරා සීමා මායිම් නොමැති ඒ මනුෂ්‍යත්වයට බව මා පසක්කළ ඒ සැන්දෑව සැබවින්ම අතිශය සුන්දර සැන්දෑවක් වුණා෴

83 comments:

  1. මේක සංචාරක කතන්දරයක් නෙවේනේ, කෑම කතාවක් නේ, කටට කෙල උනනවා ඕයි

    ReplyDelete
    Replies
    1. සංචාරෙ ගියෙ කන්නනෙ.එකයි එහෙම උනේ.මොනා කරන්නද ඕයි.

      Delete
  2. නියම කෑම සංචාරයක්.
    ඇත්තටම අර සිරියන් කාරයො ඔය විදියට කතා කරල හැම දෙයක්ම විස්තර කළා කිවුවම පුදුමයි. මම හිතුවෙ එළු ගාතෙකිං හැලපෙගෙ ඔළුවට පාරක් වදී කියලයි.

    ලංකාවෙනං ඔය වගේ නිස්කලංකව වැඩක් කරගන්න පුලුවං මුහුදු වෙරලක් දැන් හොයාගන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. මාව පිළිගනී කියල ලාවට වගේ හිතේ තිබුණා.වැඩියෙ විශ්වාසෙකින් ගියෙ නෑ.

      Delete
  3. එළුව පුච්චල ඉන්න විදිය දැක්කමනම් සසර එපා වුනා.. ඒත් ඒක උන්ට රාජ බෝජනයක් වෙන්නැති.. අපි හරක් වගේ රසකර කර කොල කනකොට උන්ටත් වස අප්පිරියා ඇති..

    මෙතන ඉගෙන ගන්න තියෙන වැදගත්ම දේ තමයි අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාගේ සංස්කෘතීන්ට ගරු කරන්න ඒවා අනුමත කලත් නොකලත් ඔවුන්ගේ ඒ අයිතියට ගරු කරන්න අපි පුරුදු වෙන්නෝනි කියන එක..

    යිටි මුහුදු වෙරලේ හා අවට තව ෆොටෝ ටිකක් දාන්න තිබ්බනේ..

    ReplyDelete
    Replies
    1. එළුවෙක්February 28, 2015 at 6:21 AM

      අපේ ජීවත් වීමේ අයිතියට ගරු කරන්න ඕන නැද්ද?

      Delete
    2. ගරු කරන්නං, හැබැයි බොලත් අපිව නොකා අපේ අයිතීන් වලටත් ගරු කරහන් මුලිංම

      Delete
    3. එළුවෙක්March 1, 2015 at 6:38 AM

      ඕක කියපං මිනිස්සුන්ටත් එහෙනං. මිනිස්සු පලා ජාති කනවටත් විරුද්ද වෙයල්ලා එහෙනං. හඳ පෙන්නපුවම ඇඟිල්ල දිහා නොබලා සත්තු කියන්නෙත් පණ ගැහෙන ජාතියක් කියලා හිතං තණකොලයො.

      http://www.care2.com/causes/france-finally-acknowledges-animals-are-sentient-beings-not-furniture.html

      Delete
    4. යකෝඔහොම ගියාම මිනිස්සු වෙච්චි අපි කන්නේ මොනවැයි ?

      Delete
    5. එළුවා කියලා තියෙනවා කල්‍යාණ මිත්‍ර හෙවත් තණකොලයට රෙවෙන්න. දැං දීපංකො උත්තර.

      Delete
    6. AnonymousMarch 2, 2015 at 6:53 AM
      හෝව් හෝව්.. මේක වෙන දෙන්නෙක්ගේ සංවාදයක්.. මාව ගාව ගන්න එපා සුදූ.. මම තණකොලය උනානම් අර මුලින්ම දාල තියෙන කොමෙන්ටුව මීට වෙනස් වෙනවා.. ඒ කොමෙන්ටුවේ මට මිස් වෙච්චි දෙයක් තමයි ඔය එළුවා දාල තියෙන්නේ.. මමත් එකඟයි එළුවත් එක්ක.

      මගේ ප්‍රොෆයිල් එකෙන් මිස ඇනෝ හෝ වෙනත් නමකින් මේ තාක් කොමෙන්ට් කර නැති බව කරුණාවෙන් සලකන්න.

      Delete
    7. අපොයි මම මේ පොටෝ වැඩියි කියල විස්සෝප උනා.උඹ තව පොටෝ ඉල්ලනවා.

      Delete
  4. halape ayye hoda kathawak a wagema manussathwaye niyama aruthath pennuwa.....niyamai...Halape ayye aththatama man ahala na oya palahana wachane...hina nowee kiyala denna puluwanda a wachane theruma...hak..hak

    ReplyDelete
    Replies
    1. පළහනවා කියන්නෙ පුළුස්සනවා කියන එකටම තව වචනයක් වැව්.

      Delete
  5. සංචාරක කෑමක් සහ කෑම සංචාරයක්. අම්මපා මමත් ඔතන හිටියානම් ඔය එළුවාගේ වැඩේට හොට දානවා. පාඩු නෑනේ ඒ හොට දැමීමෙන්. ලියලා තියන විදිහ නිසා ඒ රස මටත් දැණුනා. අපේ ගෙදරත් හැම ඉරිදාම මුංඇට කිරිබත් සහ ලුණු මිරිස් වරදින්නේ නැහැ. මම ඉතාම ආසා කරන කෑමක්.

    ReplyDelete
    Replies
    1. අපේ ගෙදර එන දාට කියන්න මම හදල තියන්නං.හැබැයි මෙහෙ ආවත් දෙන්න පුළුවනි.

      Delete
  6. ලස්සණ මුහුදු වෙරළක්. එළුවා අඟුරු වෙලානේ. වියට්නාමේත් ඔහොම පුච්චනවා. හැබැයි ඌරෝ. පැටව් විතරක් නෙමේ. තඩි ඌරො . ඔතන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඒ ඌරො පුච්චන ආකාරයත් මම දැකල තියෙනව බින්දී.මෙතනදී ඔතල තියෙන්නෙ කුළුබඩු රස මසට කාවැදෙන්නයි.එළුවා අඟුරු වෙලා කියල මමත් හිතුවා නමුත් ඔය ගානට නැතුව ඇතුලෙ මස් පිච්චෙන්නේ නෑ.

      Delete
  7. බින්දි කිව්වා වගේ එලුවා අඟුරු වෙලානෙ. කොහොමද කෑවෙ? (මොනා උනත් ආහාර රුචිය වඩවන ලිපියක්)
    අවසානයේ දුන්නු පණිවිඩය ඉතාම වටිනවා, යමක් තේරුම් ගන්න කෙනෙකුට.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මදාවියෝ.ඒ පණිවිඩය මම කවදත් දෙන පණිවිඩයක්.

      Delete
  8. ෂිට් කෑම රුචිය කෙසේ වෙතත් සසර එපා වුණා අර එළුවා පිච්චිලා ඉන්න හැටි දැක්කම. මට මතක් වුනේ අර අසූ ගණන් වල ටයර් සෑ වල පිච්චිලා හිටපු මිනිස්සුන්ගෙ පින්තූර.
    මට පේන්නෙ අපි ශිෂ්ට වෙනවා කිව්වට එන්න එන්නම ගල් යුගේට යනවද කොහෙද.. බාබකිව් කියන්නේ ගල් යුගේ මස් පුච්චං කාපු එකේ මොඩර්න් වර්ෂන් එක නෙවෙයිද?

    ReplyDelete
    Replies
    1. //ෂිට් කෑම රුචිය//

      ඇත්තටම ෂිට් කන්න පොඩියට හෝ රුචියක් තියනව කියන්නෙ පට්ට සීන් එකක්

      Delete
    2. //බාබකිව් කියන්නේ ගල් යුගේ මස් පුච්චං කාපු එකේ මොඩර්න් වර්ෂන් එක නෙවෙයිද?//

      ඇත්තටම කිව්වොත් BBO සහ ග්‍රිල් කියන්නෙ ජාති දෙකක්.

      හරියට කිව්වොත් ඔය උඩ පුළුස්සල තියෙන වැඩේට කියන්නෙ ග්‍රිල්. BBQ වලදි ඔහොම කෙලිම්ම ගින්දර වදින්නෙ නෑ මසට. වෙන්නෙ ඉන්ඩිරෙක්ට් හීට් එකෙන් ගොඩක් වෙලා අරන් උයන එක :)

      Delete
    3. අතීතෙ කරපුදේ නැවත සිද්ද වෙනවා ඩිල්ෂාන්.

      Delete
  9. හැලපයියා කෑවේ මුහුදු මාළුද? මට නම් පෙනේනේ තිලාපියා වගේ වරල හැඩය අනුව. එළුවා ඔත්න්නේ ඇත්තේ ඇලුමිනයම් කොළ වල වෙන්න ඇති . ඊයම් වල එතුවොත් ඉත්න පිළාකා ෂුවර්.ඒක බැරලෝහයක්.
    ඔය උඩ ලියව මහත්තයා බිත්තර , කරවල ගන්නේ ගස් වලින් කඩලා වෙන්න ඇති. එක් එක්කෙනාගේ ආහාර සංස්කෘතීන් වෙනස් විත්ති මේ අති ශිෂ්ට මහත්වරු කවදනම් තේරුම් ගනීද මන්දා?

    ReplyDelete
    Replies
    1. මම බිත්තර කරවල කෝටුවල ගහලා පුච්චලා කන්නෙ නෑ මහත්තයෝ/නෝනේ... මිනිස්කමට නොගැලපෙන සංස්කෘතික ලක්ෂණ වෙනස් වුණොත් නරකද?

      Delete
    2. මහත්තයොෝ ඔයා නොකනවානම් නොක‍ා ඉන්න. මාළු බැඳලා, ඩෙවල් කරලා කන කොට ඔහොම වෙන්නේ නැතිව ඇති. ලංකාවේ සත්ව අයිතිවාසිකම් නැති සතා තමයි මාළුවා. පෝය දවස තියා නිදහස් දවසෙත් අල්ලන් කනවා. අපි නොකනවානම් නොකා ඉමු. අන්‍යයන්ව විචේචනය නොකර.
      KFC එකේ ක්‍රිප්සි චිකන් කියලා දෙන්නේ මේ ක්‍රමයේම එක වර්ෂන් එකක් තමයි. ලංකාවේ වැද්‍ෙදෝ ඉත්තෑමස් කන්නේ නැහැලු.සතුන් අතර පහත් සතෙක් කියලා. නමුත් සිංහල මිනිස්සු ඉත්තෑ මස් කනවා. ඒ කියන්නේ සිංහල මිනිස්සු වැද්දන්ටත් වඩා පහත් කියලාද? කරුණාකරලා කියනවාද මානුෂික විදිහට මාංශ කන විදිහ. හැමතිස්සේම ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශ හොයන්න බැහැනේ.එය මහත්තතයා බිත්තර කන්නේ බිත්තරකෝපි විදිහටද? ‍ොඩ්ඩක් කියනවාද දැනගන්නත් එක්ක මානුෂික විදිහ.

      Delete
    3. මම කාගෙවත් ආහාර සංස්කෘතීන් හෙළා දැකලා නෑ. මම කියන්නේ අර කරකුට්ටං වෙච්චි එළු කුණ දැක්කම මට ඇතිවෙච්ච අවංක හැගීම. කලිසං කමිස ඇන්දත් අභ්‍යන්තරික මස් වැද‍්දන්ට රිදුණට මට කරන්න දෙයක් නෑ

      Delete
    4. නැහැ තිලාපියා නොවෙයි ඒ ගල් මාළු වර්ගයක්.අර වැව්වල ඉන්න බට්ටො මතක්වෙනවා නේද.ඔව් ඔව් ඊයම් නෙවෙයි ඇලුමිනියම් කොළ.

      Delete
  10. අම්මපා මට මැවිලා පේනවා හැලපයියා කෙල ගිල ගිල එළුවා පුච්චන විස්තර අහන හැටි..... කට්ටියට බඩෙ ගාය හැදෙයි කියන බයට වෙන්න ඇති කෑම පුරවලා පිගානක්ම දුන්නේ.......
    මැලේසියානුවොත් පුච්චගෙන කන මස්ජාති වලට පුදුම මානාපයක් දක්වන්නේ....... ඒ පුච්චන ජාති කන්නම කජු, හකුරු, මිරිස්, වගේ අපි නොදාන දේවල් දාලා හදන සෝස් ජාතිත් එමටයි.. බලමුකෝ වෙලාවක ඒ ගැන විස්තරයක් ලියන්න

    ReplyDelete
    Replies
    1. ඇයි බං රාළෙ වෙලාවක මට ගෙවල් පැත්තෙ එන්න කියලා මොනා හරි පුච්චලා දුන්නොත් නරකද...

      Delete
    2. මකුළු දැල් කඩල මස් පුච්චන හැටි ලියපං.ඔය මිනිස්සු හැම මගුලටම සීනි හෝ පැණිරස දානව කියන්නෙ ඇත්තද?

      Delete
  11. හැළපෙ, මගෙත් අත්දැකීම සිරියන් මිනිස්සු බොහෝම සුදදයි කියන් එකයි. මේක මේ අපි දකින මිනිසුන්/පවුල් කිහිපයෙන් මනින එක වැරදියි වෙන්න පුලුවන් සමහරවිට!

    මම එකපාරක් ඩුබායි ගිය වෙලාවක මා එක්ක ගිය රියදුරා නියම සිරියන් කඩේකට ගියා දවල් කන්න. අපි පැය දෙකක් කෑව. ඒ තරම් රස, තෙල් නැති නියම කෑම ඒව.

    උඹ අන්තිමට කියල තියෙන //මනුෂ්‍යත්වය ඉදිරියේ ජාතිය ආගම හෝ භාෂාව කිසිම වැදගත්කමක් නොමැති බව මා නැවත වරක් ඔවුන්ගෙන් ඉගෙන ගත්තා// කියන කතාව බොහොම හරි, ඒත් අපි අපිම දාගත්තු සීම නිසා ඒ දේ තෙරුම් ගන්න එකෙන් ඈත් වෙනව. හරියට // ඔයා ඒ ගොල්ල අස්සට රිංගන්න යන්නෙ කොහොම මිනිස්සුද මොන රටේද කවුද දන්නෙ පිට අය යනවට ඒ ගොල්ල කැමති නැතුව ඇති බැනල එලවගනීද දන්නෙ නෑ යන්න එපා...// වගේ පූර්ව නිගමන නිසා.

    උඹෙ පින්තූර කතාවත් අර හෑල්ලක් තරම්ම රසයි!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බං.අපි මනුෂ්‍යත්වය පෙරදැරි කරගෙන යම් තැනකට යනවනං කිසිදවසක එතැනින් ප්‍රතික්ෂේප වෙන්නෙ නෑ.මගෙ අදහස ඒකයි.

      Delete
  12. කටට රසට පදමට ලියාපු පට්ට පොස්ටුවක්.
    \
    තාමත් කටට කෙල උනනවා..

    ReplyDelete
  13. මාළු නම් අරහෙම පුච්චලා කෑවත් වෙන මස් ජාතිනම් අච්චර අඟුරු වෙන්න පිච්චිලා කන්න හිතෙන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. ඊට අඩුවෙන් පුච්චලා මදි වෙන්න ඇති දිනේෂ්.

      Delete
  14. අනේ දෙයියනේ කෑම :( :( :(

    ReplyDelete
    Replies
    1. මොකෝ ඕමා හූල්ලන්නෙ.

      Delete
  15. චැහ් !!
    මුං එළුවා ගෙනාවට අරක්කු ගෙනැල්ල නෑ නෙවැ :D
    ඇස් පිහිදාලත් බැලුව ඒත් නෑ ……

    හීනයක් වාගෙ...මයෙ අම්මාපල්ල . ඕ යේස්!!

    ReplyDelete
    Replies
    1. ඒ තියා අච්චර සිරියාවන්ත සිරියානු කාන්තාවන්ගේ සමීප රූපයක් දාලා නෑ.

      Delete
    2. ආයිත් අහලා සෑර් .…
      හැලපයියෙ මේ .. බාගෙට පොටෝ ගහලා අපේ මූලික අයිතිවාසිකං උල්ලංඝනේ කරන්ඩෙපා ඈ

      යන එකත් යනවා මානව හිමිකම්. ඕ යේස් !!!!

      Delete
    3. උන් අරක්කු ගෙනැත් තිබ්බෙ නෑ බං.ගඩුගුඩා දෙකක් නං තිබ්බා.හැබැයි අපි ළඟ නං බඩු තිබුණා.

      Delete
    4. විචා,පත්තරේ.
      පිංතූර අරං මම මෙහෙම කතාවක් ලියනව කියල උන්ට කීවා.කාන්තාවන්ගෙ පිංතූර ප්‍රසිද්ධ කරන්නෙ නැතුව අනික් පිංතූර දැම්මට කමක් නෑ කියල ඒ අය කිවා.

      Delete
  16. "සිරියන්" කියනකොට හිතේ මැවෙන චිත්‍රේ වචනවලට පෙරලන්ට බෑ.

    ඔය විදියට ඌරෙක්ව පුච්චපු එකක් දැකලා තියෙනවා. ඒක කලේ වලක් ඇතුලේ අඟුරු ගොඩක් දාලා. ඌරා දාලා ඒක වහනවා. උඩින් අල ජාති දානවා. හරි රහයි වගේ තාම මතකයි.

    අද පෝස්ට් එක ස්ංචාරයට වඩා කන එකක්. ඒත් බලා ඉන්නකොට රහම රහයි. :D

    ReplyDelete
    Replies
    1. අද මම දාන දාන කමෙන්ට් එකේ වචන වැරදියට ටයිප් වෙලා අප්පා. සති අන්තයේ පාර්ටි දාලා බීපු බීමවලට වෙන්ට ඇති. :(

      Delete
    2. ඒ යුරෝප් සිස්ටම් එක පොඩ්ඩියෙ.

      Delete
    3. ගාණක් නෑ පොඩ්ඩි.පුරුදුවෙනකල් බොනකොට සීමාවක් ඇතුව බොන්න පුරුදුවෙන්න.

      Delete
  17. /* පරණ ෆිල්ම් එකක් තියෙනව දැකල බැලුවා.විරාගය කියන චිත්‍රපටය 1987 තිරගත උන එකක්. */

    මේක කොහෙන්ද හොයා ගත්තේ? ඩීවීඩී එකක්ද, නැතිනම් ටීවී එකේ ගිය වෙලේ වීඑච්එස් කරලා පස්සේ ඩිජිටල් කරපු එකක්ද?

    මං අහල තියෙන විිදියට මේ ෆිල්ම් එකේ පිටපත් ලංකාවේ නෑ. මේක තිස්ස අබේසේකර ගේ ක්ලැසික් එකක්.

    ReplyDelete
  18. හරක් පැටියෙක්ව කඳවල ගෙදර බාබකිව් කළාය කියලා ජෝන් කොතලාවලට විරුද්ධව මහා බලවේගයක් ගොඩ නැගුණාලු, අගමැති කාලේ!

    ReplyDelete
    Replies
    1. "වස්සා පුළුස්සා" කියල ඕකට කාටුන් එහෙමත් ඇඳල තිබ්බලුනෙ!

      Delete
    2. රසික,ඉන්දික.
      ඔය කතාව සම්පූර්ණයෙන්ම කාරියකරවනයන්ගෙ දසක සතක මතක පොතේ තියෙනව.

      Delete
  19. සිරියන් කාරයන්ගෙන් ෆොටෝ ඉල්ල ගත්තනම් බලන්න තිබ්බ කෙලපෙරාගෙන එළුවා දිහා බලාගෙන ඉන්න ශ්‍රී ලාංකික හැලපයෙක්.
    ටොප් ෆොටෝ ටික.

    ReplyDelete
    Replies
    1. වෙලාවට උන් අතේ කැමරා තිබ්බෙ නෑ.
      ස්තූතියි කම්මලේ.

      Delete
  20. සිරියන් බුවාලා හොඳ වුණත් හැලපයියා මේ දවස්වල සිරියාව එහෙම් පිටින්ම අපායක්.මිනිස්කම් දන්නේ නැති වුන් රට අපායක් කරලා.
    සිරියන් ගැණු හැඩයිනේ.:)
    බඩගිනියි බං මේක කියවලා හැලපයියේ.

    ReplyDelete
    Replies
    1. සිරියන් අය පිටරටවලට පනින්නෙ සිරියාවට වෙලා තියෙන දේ නිසා වෙන්න ඇති මනෝජ්.ඇත්ත තමයි සිරියන් ගෑනු හරි හැඩයි.

      Delete
  21. උඹ ඔය විනීතව කතා කරාම වෙන්ටැති මං හිතන්නෙ..

    මාර කෑමක් නේ බං.. උඹ ආයි ආපු දවසක අපි බොලාගේ ගෙදර එළුවෙක් පලහමු.. තැන්කුයි හොදේ කතන්දරේ ඉවර වෙනකම්ම දුන්නට..

    ReplyDelete
    Replies
    1. හරි පළහමු.උඹ එද්දි එළුවෙකුත් ඇන්න වරෙන්.

      Delete
  22. මෙයාගෙ කතා කිරීමේ විනීත කම හින්දම වෙන්න ඇති උන් ටික කෑම පිගානක්ම දීලා ඇග බේර ගෙන තියෙන්නෙ... හි හි

    ReplyDelete
    Replies
    1. හි හි .. හි හි... හි හි.. හි හි.. හි හි.. හි හි...
      හි හි .. හි හි... හි හි.. හි හි.. හි හි.. හි හි...

      Delete
    2. මගෙ කතාව ඒ අය වශී වෙලා අහගෙන හිටියා හිරු.

      Delete
  23. බාබකිවු එකට මස් මැරිනේට් කරද්දි ගෙදර හදාගත්ත ඇල්කොහොල්වල බස්සලා තියල ගත්තාම මරේ මරු

    ReplyDelete
    Replies
    1. හපොයි.. මස් ටිකක් දැක්ක ගමන් කොහේවත් ඉන්න බේබදුදෝ එන හැටි.. හැක්

      Delete
    2. පළතුරුවලින් පෙරාපු එකේ බැස්සල ගත්තනං ටොපට තියේවි නේද ඕනේ.වෙලාවක පලතුරු ටිකක් හදව ගන්න ඕනෑ.

      Delete
    3. ඇල්කොහොල් ටික වාස්ප වෙලා යන්නැද්ද බාබකිවු කරද්දි?

      Delete
  24. මමත් දැකල තියෙන සිරියන් කාරයෝ අනිත් උන්ට වඩා හොඳයි තමයි.
    කෑම සම්බන්ධවත් හැලපේ කියපු දේ හරි. අපිත් ඉස්සර කැමතිම සිරියන් කාරයෝ හදන "ඇරබික් ෂවර්මා" කන්න.
    මතක් වෙනකොටත් කටට කෙළ උනනවා.

    මේ ඔක්කොටම වඩා මගේ හිත ගත්තේ හැලපස්ලාගේ බාබකිව් සෙට් එක. ඒ වගේ හුරුබුහුටි එකක් හදවගන්න ඉන්නේ මමත් සුදු යකඩෙන්... කඩේ ගන්න තියෙන ඒවා ඒ තරම් හොඳ නැහැ

    ReplyDelete
    Replies
    1. මේ බාබකිව් සෙට් ඒකත් එච්චරම හයිය නෑ.බෙලෙක් වගේ.විවිධ ප්‍රමාන වලින් විකුනන්න තියෙනවා.මමත් එකක් ලංකාවට යැව්වා.හැබැයි සුදු යකඩෙන් හදනවනං ගොඩක් වියදම් යයි.

      Delete
  25. ලස්සන වෙරල තීරයක්... කෝ ඉතින් ඒ ගැන ලියන්න ඇවිත් කෑම ගැනනේ ලියලා තියෙන්නේ.. :(

    ReplyDelete
    Replies
    1. අනේ නෑ තුශානි,මම ආවෙම බාබකිව් සහිත දවල් කෑම ගැන ලියන්නනෙ.

      Delete
  26. සිරියාව කිව්ව ගමන් මගේ මතකයට ආවෙ ISIS ත්‍රස්තයො...මගේ ඥාතියෙක් ඉන්නවා මීගමු‍වෙ BBQ උපාංග සහිතව ඒ ආශ්‍රිත ව්‍යාපාරයක් කරන...එයා නිසාම අපි බොහෝ වර මීගමු වෙරළෙ බාබකියු රස විඳගෙන තියෙනවා. විලක්කුවක් දෙකක් වැල්ලෙ ගහලා මූදු හුළග අස්සෙ බෝතලයකුත් කඩාගෙන.....අයියෝ ඒ අතීතයත් කොච්චර රසද හැබෑට....

    ReplyDelete
    Replies
    1. මෙහෙත් නං කිසිම කරදරයක් නැතිව වෙරළේ බාබකිව් කරන්න පුළුවනි සිරෝ.

      Delete
  27. යිටි කියල ඇත්තටම තැනක් තියනවද? :O

    ReplyDelete
    Replies
    1. සර්ච් කර බලනු මැනවි කුමරුනි.

      Delete
  28. කෙලගිල ගිල තමා අන්තිම හරිය කියෙව්වේ

    ReplyDelete
    Replies
    1. යකෝ මෙන්න මූ!

      උඹ කොහෙද බං ගිහින් උන්නෙ? ගිය වීක් එනෙඩ් එකේ මායි දුමියයි සෙට් වෙච්ච වෙලෙත් කිව්ව උඹට වෙච්චි දෙයක් නෑ, කොහෙ ගෙහුන්ද දන්නෙ නෑ කියල!!

      Delete
    2. ඒක තමා අවුරුදු ගානකට පස්සෙ ඇවිත් කෙල ගිලිනවලු.කොහෙද බං ගිහිං හිටියෙ.

      Delete
    3. @ඉන්දික උපශාන්ත
      ෆේස් බුකියෙන් විතරයි නැත්තේ පණපිටින් ඉන්නවා තාම :-D

      @Helapa kade
      ටික දවසකට වහන් වෙලා ඉන්න කියලා හිතුවා :-D

      Delete
  29. මැදපෙරදිග උදවිය BBQ දාන්න රුසියෝ, හැබැයි අර කිව්වත් වගේ වැඩිය සැරට මැරිනේට් කරන්නේ නැහැ... ඒ නිසා අපේ දිවේ රහට මදි.

    වැරැද්ද එක නෙමෙයි, මේ අය බොහොමයක් වැඩේ ඉවර උනාම තැන නොතැන නොබලා කුණු දාල වන කරලා යන එක.

    එක නිසාම සමහර තැන් අපායවල් වගේ :(

    ReplyDelete

ඔබේ අදහස්