ඒ දවස්වල අපි ප්‍රථම වතාවට ලංකාවෙ පවත්වපු සාක් සම්මේලනයට පණ දාගෙන වැඩ කරනවා.වීරෙයි සුමනෙයි මමයි ඇතුළත් වෙලා තිබ්බෙ ෆුඩ් කමිටි එකට හෙවත් සාගිනි කමිටුවටයි.අපේ ප්‍රවාහන කටයුතු වලට සංස්කෘතික දෙපාර්තමේන්තුවෙන් ගනිපු පැජරෝ එකකුයි රියදුරෙකුයි වෙන්කරල තිබුණා.උදේ පාන්දර ඔය පැජරෝ එකේ කොළඹ යන අපි ගෙදර එන්නෙ මහ රාත්තිරියෙ යක්කු ගස්යන වෙලාවටයි.රෑ එකොළහට විතර කොළඹින් පිටත්වෙන වාහනේ ඉස්සෙල්ලම වීරෙව උඩුගම්පොලින් බස්සවල ඊට පස්සෙ මාව ගෙදරින් දාල අන්තිමට සුමනෙ බස්සන්න ඌරපොල යනවා.එදා වීරෙව බස්සල අපි ඇවිත් ටවුමෙ රෑ කඩෙන් සුදුආප්පයි ලුණුමිරිසුයි කෑවා.ඒ වෙනකොටත් අපි පාවිච්චි කරමින් ආපු බෝතලේ කාලකට පොඩ්ඩක් විතර අඩුවෙන් ඉතුරුවෙලා තිබුනට ආප්ප කෑමෙන් පස්සෙ ආපහු බොන්න කවුරුවත් කැමති උනේ නැති නිසා ඉතිරිටික අපේ පාරෙ ඇහැරලා ඉන්න කාට හරි දෙමු කියල එන්න පිටත්වුනා.
පාරෙ එක ගේකවත් එළියක් දකින්නට තිබුනෙ නෑ. ඒ මහ රාත්‍රියේ හෙවල්වල එළි නැතිවීම පුදුමයක් නෙවෙයි,ඊටමත් රාත්‍රියේ එන පැජරෝවක් ගම්වල මිනිස්සු දැක්කෙ මරණයේ පණිවිඩය රැගෙන එන වාහනයක් හැටියටයි.රට මහා අඳුරු සමයක් පසුකරමින් උන් ඒ අවදියේ මිනිසුන්ගෙ සිත් තුලට භීෂණයේ රුදුරු අත්දැකීම් තදින් කාවැදී තිබුණා.ඒ නිසා පැජරෝවක හඬ රාත්‍රියේ ඇහෙන විට තියෙන එළියත් නිවා දමන්නට මිනිසුන් පෙළඹීම පුදුමයක් නොවෙයි.
බලුකපුටෙක්වත් පේන්න නැති අන්ධකාර පාරදිගේ වාහනය වේගයෙන් ඇදී එද්දී ඉදිරියෙ ඇති වෙල අයිනෙ එළියක් දකින්නට තිබුණා.ඒ වෙන කවුරුවත් නොවෙයි,රෑ නිදිමරාගෙන වැඩකරන අමරෙගෙ වඩුමඩුවෙ එළියයි.
අන්න සුමනෙ අමරයද කොහෙද ඇහැරලා ඉන්නව ඉතුරුටික මිනිහට දෙමු...
කියමින් මම බෝතලේ ඉතුරු හරිය වීදුරුවට වක්කරද්දීම වාහනේ අමරෙගෙ වඩුමඩුව ළඟ ක්රාස් ගාල නැවැත්තුවා.
අමරේ...
කියල මම කතාකරද්දි ඕඕ කියමින් අමරෙ එක තප්පරෙන් වාහනේ ළඟ පෙනී සිටියා.
ආ..මේ .....මහත්තයනේ...
කියමින් ක්ෂණයකින් මාව අඳුනාගත් අමරෙට
මෙන්න මේක බීල දානවා...
කියල මගේ අතේ තිබුණ වීදුරුව දුන්නා.වීදුරුව අතට ගත් සැණින් ගුඩු ගුඩුස් හා වීදුරුවෙ තිබූ ටික එක උගුරට ගිලදැම්ම අමරෙගෙන් සමුගෙන අපි එන්නට පිටත්වුණා.මේ සිද්ධියේ පසුවදන හෙවත් අමරේ මෙය අර්ථකථනය කර තිබූ ආකාරය මට දැනගන්නට ලැබුණේ ඊටත් මාස ගාණකට පසුවයි.ඒ ගමේ තරුණයන් කීප දෙනෙක් සමග එක් සවසක සතුටු සාදයකට හවුල් වෙමින් සිටි අවස්ථාවෙයි.
අමරෙ අයියට මරු වැඩක් කලාලු නේද...
එක කොල්ලෙක් මගෙන් ඇහුවම මේ කිසිදෙයක් නොදැන සිටිය මම වැඩි විස්තර ඇහුවා.අමරෙ ඔහුට සිද්ධිය කියපු ආකාරයට කතාව මෙහෙමයි.
එදා රාත්‍රියේ පැජරෝව වඩුමඩුව ළඟ නවතද්දී අමරෙ හිතා සිටියේ එය ඔහුව මරන්න ගෙනයන්නට පැමිණි වාහනයක් බවත් ඒ රාත්‍රිය අමරෙගේ අවසන් රාත්‍රිය බවත්ය.වාහනය තුළ මා හිඳිනු දැකීම ඔහුට මහත් අස්වැසිල්ලක් සහ සැනසිල්ලක් වී තිබෙනවා.
වීදුරුවකින් පුරෝල එකක් දුන්න බං,තියෙන්නෙ මොනවද කියලවත් බැලුවෙ නෑ පණ බයට එක හුස්මටම ගිලල දැම්මා.එච්චරම තමා මතක ගිහිං ඇඳේ වැටුනා මතකයි ඇහැරුනේ පහුවදා...
මේ ආයෙම දවසක වෙච්ච දෙයක්.අපේ ගමේ එක අවුරුදු උත්සවයක හවස්වරුවේ පැවැත්වෙන කාන්තා කඹ ඇදීමේ තරඟය ජයටම පැවැත්වෙමින් තිබුණා.තරඟ විනිශ්චයට මාත් සම්බන්ධවී සිටි නිසා තරඟය පැවැත්වෙමින් තිබියදී දෙපැත්තෙම තරඟකාරියන් කඹ අදින ආකාරය පරීක්ෂාවෙන් බලාගෙන මම කඹේ එක කොණක ඉඳන් අනික් කොනට ඇවිදගෙන ආවා.එක පැත්තක වැර දමා කඹය අදින සායවල් ගවුම් අතරේ සරමක් දැක්ක මම උඩගියෙ නැතුවා විතරයි.බලපුවම සරමත් පිටපොට ගහගෙන වලිකමින් අමරය හොඳ සීරුවට කඹේ අදිනවා.
නීති විරෝධී බව හොඳටම දැන දැන අමරය කරන මේ වැඩේ දැක්කම මට කේන්ති ගියා,ඒත් එක්කම නවත්ත ගන්න බැරි හිනාවකුත් ආවා.එදා විතරක් නෙවෙයි ගෑනු ගොඩේ අමරය කඹේ ඇදපු ඇදිල්ල මතකවෙනකොට අදත් මට හිනාව නවත්ත ගන්න බෑ.හිනා ගියාට මු කරන වැඩේ නවත්තන්න එපායැ.මම විසිල් එක ගහන්න හදනකොටම පෙරළෙන රෝල්වෙන ගෑනු ගොඩ එක්කම අමරයත් අනිත් පැත්තට ඇදිල යන්න යනකොට පොර කඹේ අත ඇරල අහකට පැන්නා.ඒ නිසාම අප්සැට් එකක් නැතුව වැඩේ බේරගත්තා.පහුවදා හවස මීවිතකට හවුල් වෙන ගමන් මම මේ කතාව හිනාවෙවී අනික් කොල්ලන්ට කිව්වට උන් ඒක එච්චර ගාණකට ගත්තෙ නෑ.
ඔය යකා හැම අවුරුද්දෙම ඔය වැඩේ කරනවා.හැබැයි ඇදල දෙන්නෙ කොස්ගහ සයිඩ් එකට එන ගෑනුන්ට විතරයි.අනික් පැත්තෙ පිලට උගෙ ගෑණි ඇද්දත් අමරය කොස් ගහ පැත්තට එන පිලට අදිනවා,ඒ උගෙ හැටි ...
ඒකත් එහෙමද කියල මම නිකං හිටියා.අපි දන්නා කාලෙක ඉඳන් අපේ ගමටය කියල සෙල්ලං කරන්න පිට්ටනියක් තිබුනෙ නෑ.මුලදී අපි පොඩි කාලෙ නාරංවත්තෙ පිට්ටනියෙ සෙල්ලං කළා.ටිකක් දුර යන්න තියෙන නිසා පස්සෙ කාලෙක නාරංවත්තෙ පිට්ටනියට යාම නැවතිලා පෝටවත්තෙ සෙල්ලං කරන්න ගත්තා.අයිතිකාරයො පෝටවත්ත බෙදාගත්තට පස්සෙ සෙල්ලං කරන්න අවුරුදු උත්සව තියන්න තැනක් නැති අපට යන එන මං නැතිවුනා.එහෙමයි කියල අපි නිකං හිටියෙ නෑ ගොයං කපපු වෙලේ අවුරුදු උත්සව තිබ්බා.වෙලේ වතුර කාලෙට පාරෙ අවුරුදු උත්සව තිබ්බා.අපි පාරෙ වෙලේ එහෙම අවුරුදු උත්සව තියද්දි අමරය පුදුමාකාර සහයෝගයක් දුන්නා.වෙන්දේසිකාරයෙක් අලවත්ත ඉඩම අරගෙන කෑලි කඩල විකුණන්න සුදානං වුණේ ඔය කාලෙදියි.
බොහොම දිග කතාවක් කෙටියෙන් කිව්වොත් ලොකු අරගලයකින් පස්සෙ අපේ ගමට පිට්ටනියක් සඳහා ඉඩම් කෑල්ලක් අලවත්තෙන් ලැබුණා.ඡන්දයක් අත ළඟ තිබුණු නිසා බොහොම ඉක්මනට පස් කපල සමතලා කරල පිට්ටනියත් හදල දුන්නා.අලුතෙන් ලැබුණු පිට්ටනියෙ ගමේ කොල්ලො බොහොම සතුටින් ක්‍රීඩා කළා.ඔන්න ඔය විදියට කාලය ගෙවිල යද්දි රැකියාවෙ අවශ්‍යතාව අනුව මට විදේශගත වන්නට සිදුවුනා.පිටරට ගියත් නිවාඩුවට ගෙදර ආවහම පිට්ටනියට ගිහිං සෙල්ලං කරන්න මම අමතක කලේ නෑ.මේ වෙද්දි අපේ පිට්ටනිය අවටපිට බොහොම ජනප්‍රිය වෙලා තිබුණා වගේම සෙල්ලං කරන්න අහළ පහළ ගම්වලින් ළමයි එන්න පටන් අරගෙන තිබුණා.මැච් ගහන්න ටුනමන්ට් තියන්න මේ එන සෑම සියලු දෙනාම පිට්ටනියට ආවෙ අපේ ක්‍රීඩා සමාජයේ ආරාධනයෙන් හෝ එහි අනුදැනුම ඇතිවයි.
මෙන්න මේ පිළිගත් ආකාරයට විරුද්ධව පිට්ටනියෙ සෙල්ලං කරන්නට ආව කණ්ඩායමකුත් හිටියා.මේ අය ටවුමෙ පල්ලිය ආසන්නයෙ ටැප් එක ළඟ කියන සුප්‍රසිද්ධ තැන තිබුණ නගර සභා නිවාස හරියෙ පදිංචිවෙලා හිටපු කණ්ඩායමක්.(මෙතන ටැප් එක කිව්වෙ පාර අයිනෙ තිබ්බ පොදු ජල කරාමයක්.පැය විසිහතරෙම වතුර ගලාගෙන ගියපු මේ ටැප් එක ළඟ කාන්තා පාර්ශවය පැය විසිහතර පුරාම නෑවා සහ රෙදි හේදුවා.)චණ්ඩි උණ සෑහෙන්න ගහල තිබ්බ මේ අය ළඟ විකට් බැට් බෝල මොකුත්ම තිබුනෙ නැති නිසා ඒවා ඔක්කොමත් බලෙන් වගේ ගත්තෙ අපේ ක්‍රීඩා සමාජයෙනුයි.අනුන්ගෙ ක්‍රීඩා උපකරණ වලින් තමන්ගෙ වගේ අපේ පිට්ටනියෙ ඕනෑ ඕනෑ වෙලාවට ඇවිත් සෙල්ලං කරන මේ අයට විරුද්ධව අපේ ගමේ කවුරුවත් කිසිදෙයක් කියන්න නොගියෙ ටවුමෙ චණ්ඩි එක්ක හැප්පිලා අන්තිමේ ටවුමටවත් යන්න නැතිවෙයි කියල බයටයි.ඊට පස්සෙ මේ අය එක එක ටීම් වලට චැලේන්ජ් කරල මැච් ගහන්න අපේ පිට්ටනියට එක්කං එනවා.ඒ ඇවිත් මැච් ගහන්නෙත් අපේ බැට් බෝල වලින්මයි.ඒ මදිවට සයිකල් පැදගෙන පිට්ටනිය ඇතුළටම එනවා.අපි ඒ දවස්වල සයිකල් පදිනව තියා පිට්ටනියෙ සයිකලයක් තල්ලු කරන්නවත් දුන්නේ නෑ.
පිටරට රාජකාරි කාලය ඉවර කරල මම ලංකාවට එද්දී තිබුණ තත්වය ඔන්න ඔහොමයි.නමුත් මම මේ කාරණා කිසිදෙයක් දැනගෙන හිටියෙ නෑ.එක නිවාඩු දවසක උදේ මම කඩේ පැත්තෙ ගිහිං ආපහු ගෙදර එද්දි පිට්ටනියෙ බොහොම ජයට ක්‍රිකට් මැච් එකක් යනවා.අපේ අය මැච් එකක් ගහනව නං මම නොදැන ඉන්න විදියක් නෑ.අනික කණ්ඩායම් දෙකේම ඉන්න ක්‍රීඩකයන් දැකල පුරුදු අයත් නෙවෙයි.මේ වැඩේ මොකද්ද බලන්න මම පිට්ටනියට ගොඩවුනා.ගමේ කොල්ලො කීප දෙනෙක් පිට්ටනිය අයිනෙ ඉඳන් මැච් එක බලනවා.පිට්ටනිය අයිනෙ සයිකල් දහයක් විතර ගොඩගහල.
මේ මැච් එක මොකක්ද ටුනමන්ට් එකක්ද? මං ඇහුවා.
නෑ අර ටැප් එක ගාව කට්ටිය මැච් එකක් ගහනව...
මම වැඩිදුර විස්තර අහපුවම ඔය විස්තර ටික කියල ගමේ කවුරුවත් බය නිසා මේ වැඩේට විරුද්ධව කතා කරන්නෙ නැහැ බලාගෙන ඉන්නව ඇරෙන්න අපටත් වෙන කරන්න දෙයක් නෑ කියලත් කිව්වා.කොල්ලො කියාපු කතාවට මට දුක හිතුණා.ටැප් එක ළඟ නෙවෙයි අඟහරු ලෝකෙ ඉඳන් ආවත් වැරදි වැඩේ වැරදිමයි,ඒ නිසා මේ කරන නිග්‍රහය සහ මදිපුංචිකමට විරුද්ධව මමවත් කතා කරනව කියල හිතාගෙන ගිහිං ටැප් එක ළඟ ටීම් එකේ අයගෙන් මේ ගැන ඇහුවා.ටැප් එක ළඟ ක්‍රීඩකයන් සහ මා අතර ඇතිවුන සුහද සංවාදය මේ විදියයි.
තමුසෙ කවුද ඕයි පිට්ටනියෙ අයිතිකාරයද?
අපට මෙහෙ නෙමෙයි ඕයි ඕනැ තැනක ගිහිං මැච් ගහන්න කාගෙන්වත් අහන්න ඕනැ නෑ දන්නවද?
මේ ඕයි...මීට වඩා හොඳ පිට්ටනිවලට අපට එන්න කිව්ව හරිද අපි ගියෙ නැතුවට තමුසෙ දන්නවද?
ඇයි තමුසෙ අපට මොනව කරන්ඩද?
අඩෝ මේ...නිකං...දෙන්නෙ නැතුව පලයං යකෝ ආව මෙතන අපේ ....අරින්න ..
අපේ ආදරණීය සංවාදය උස් හඬින් දිගින් දිගටම ඇදී යනකොට පිට්ටනියෙ සෙල්ලං කරමින් හිටපු අයත් සංවාදයට එකතු වුණා.පන්දුවට පහර දෙමින් හිටපු පල්ලිය ගාව ත්‍රීවීල් එකක් එලවන ටැප් එක ළඟ තට්ටයා කියන සුරතල් නමින් හැඳින්වෙන ක්‍රීඩකයා බැට් එක දෝත බදල උස්සගෙන දුවගෙන ආවෙ කෙලින්ම මිඩ් විකට් හරහා ඇදී යනසේ මගේ ශීර්ෂයට දැවැන්ත හයේ පහරක් එල්ල කරන්නටයි.
අඩෝ දැනගනිං තොපි ලුණු කන්න හරි ටවුමට එන්න ඕනෑ හරිද එතකොට බලාගන්නං...
මොනවද ඩෝ එතකොට, බලාගන්න දෙයක් දැන් බලාගනිං...
මේ වෙනකොට පිට්ටනියෙ ගෝසාවට ගමේ ගොඩක් දෙනෙක් එතෙන්ට පිරුණා.දැන් වැඩේ නැගලම යනවා, වලිබර අමරයත් එතනම පහළ තියෙන වඩුමඩුවෙ ඉඳල කුරුල්ල වගේ පිට්ටනියට දුවගෙන ආවෙ දැඩි චිත්ත ප්‍රීතියෙන් යුතුවයි.මෙච්චර කල් බයට කවුරුත් කටවහගෙන හිටපු ටැප් එක ළඟ කණ්ඩායමට මම අභියෝග කිරීම ඔහුගෙ සිත අමන්දානන්දයට පත්කිරීමට හේතුවී තිබුණා.මම තියන අඩියක් ගානේ ධෛර්ය වඩවන වචන කියමින් හෙවනැල්ල වගේ අමරය මගෙ පස්සෙන්ම හිටියා.
කෙළල දාමු මහත්තයො ඔවුන්ට මොකට බයවෙන්ඩද? මම ටවුමට යනකොට නියන ඉනේ ගහගෙන යනව.වරෙන්කො ගහන්ඩ,ඇරල දාන්නෙ බොකු බඩවැල් එලියට එන්න...
කොහොමහරි අපිට කෙළගන්න ලැබුනෙ නෑ කට්ටිය වටවෙලා දෙගොල්ල දෙපැත්තට කළා.තවත් පැයක් විතර බැනගෙන ටැප් එක ළඟ කණ්ඩායම පහුබැහැල යන්න ගියා.ගහගන්න කොහොමත් බනින්න නං උන් හරි දස්සයි කියෝනව කියෝනව ගෑනු වගේ.මට බැනිල්ල බෑ එක්කො ගහනව නැත්නං ගුටිකනව එච්චරයි.පිට්ටනියෙ මම ගහගන්නව කියල ගෙදරට ආරංචි උනොත් ඊට හපන් බැනුම්.අන්තිමට වැඩේ ඉවර උනේ පොලිසියටත් ගිහිං.ඒක වෙනම කියන්න ඕනැ තව ලස්සන කතාවක්. ටැප් එක ළඟ ටීම් එක පොලිසියෙදි අපෙන් සමාව ගත්තා.පොලිසියෙ ඉඳන් ආපහු එද්දි අපි ටැප් එක ළඟ නැවතිල එතන තියෙන චෙරි ගහේ ගෙඩි කැඩුවෙ කන්න නං නෙවෙයි.ඔන්න ඔය විදියට ඒ වැඩේ ඉවර උනා.ඊට පස්සෙ ටැප් එක ළඟ ටීම් එක කවදාවත් අපේ පිට්ටනියට ආවෙ නෑ.හැබැයි අපි එන්න එපා කිව්වෙ නෑ. කිව්වෙ සෙල්ලං කරනවනං නිසි පරිදි අවසර ඇතුව සෙල්ලං කරන්න කියලයි.
ඊට පස්සෙ අවුරුද්දෙ මට ආපහු විදේශගත වෙන්නට උනා.ඒ ඇවිත් අවුරුද්දක් ගියෙ නෑ අමරෙ හදිසියෙන්ම මළා.මරණෙ සිද්ද උනේ මෙහෙමයි.යලට වපුරන්න ගෙවල් ළඟ කුඹුර කොටමින් හිටපු අමරෙට එක පාරටම උණ ගත්තා.පැනඩෝල් බිබී දවස් දෙකක් හිටියට උණ බැස්සෙ නැතිතැන ගිහිං බේත් ගත්තා.හවස බේත් අරං ගෙදර ඇවිත් බේත් ටික හෙට ඉඳල බොනව අද අරක්කු ටිකක් බොනව කියල කසිප්පු ගෙනත් බීල තියෙනව.මී උණට අරක්කු වහ වගේලු.පහුවදා උදේ හොඳටම අමාරුවෙලා ඉස්පිරිතාලෙ ගෙනිච්චා.ආපහු ගෙදර එන්න උනේ පෙට්ටියක.මට අමරෙගෙ වල කපන්නත් ලැබුනා෴