අද මේ කතාව ලියන්න හේතුව උනේ සහෝදර ලියපු වම කතාවයි.මම මේ කතාව ලියන්න ගොඩක් කල් ඉඳන් පෙරුම් පුරාගෙන හිටියට මොන මොන හේතූන් නිසා හෝ ලියවුනේ නෑ.ඒ නිසා කතාව ලියන්න මග පාදපු සහෝදරට මුලින්ම ස්තූති කලයුතුයි.
සහෝදර වගේම මාත් උපන් ගෙයි වමත් කාරයෙක්.හැබැයි සහෝදර ඉපදුනු කාලෙ වගේ නෙවෙයි මම ඉපදුන කාලෙ වමත් කාරයෙක් වෙලා ඉපදීම විශාල අපරාධයක්.පවුලෙ සියලුම දෙනා දකුණත් කාරයො වෙද්දී වමත් කාරයෙක් බිහිවීම පවුලට වස විළි ලැජ්ජාවක්.අනික් අය ඔක්කොම අගේට දකුණෙන් වැඩ කරද්දි මම විතරක් නුහුරට වැඩ කටයුතු කිරීම ගැන ගමේ රටේ වැඩිපුර ප්‍රචාරෙ වෙන්න කලින් වමත් කාරයව දකුණතට හරවන්න පවුලෙ දන්න කරන අය ඔක්කොම වගේ බොහොම වලිකෑවා.
මුලින් මුලින් හොඳින් කියල දකුණ හුරු කරන්න හැදුවා.අපේ සුදුමාම හිටියනෙ අම්මගෙ මල්ලි මේ මෑතකදී මළා.සුදු මාම කොල්ල කාලෙ ඒ කියන්නෙ රස්සාවක් නොකරන කාලෙ අපේ ගෙදර ආවොත් ආපු වේලේ ඉඳන් මට දකුණු අත හුරුකරන්න හදනවා.සුදු හුණු කෑල්ලක් අරං ගල්ලෑල්ලේ අකුරු ලියවනවා.
හා පුතා දැන් හුණු කෑල්ල අතට ගන්නකො,චී චී ඔය අතට නෙවෙයි දකුණු අතට ගන්න හා දැන් මෙන්න මෙහෙම ලියන්නකො...
මාත් ඉතිං දිවත් එළියට දාගෙන කට වටේට කරකව කරකවා මේ මහා අසීරු කර්තව්‍යය කරන්න හදනවා,දිව කරකෝනවා කීවහම ඔන්න මට මීහයිල් ෂෝලහොව්ගෙ පෙරලූ නැවුම් පස පොතේ ඒ ගැන තියෙන අපූරු කතාවක් මතක් වුනා ඒකත් කියලම ඉන්නං.
"නොයෙක් පැහැති හිස් ඩෙස් උඩින් පහත් කරගෙන ලියන ළමයින් දෙස බැලු ඔහුට ගැඹුරු සතුටක් ඇතිවිය.පෙදොත්කා ළඟ සිටි කුඩා දරුවා මෙන් තමාද කුඩා කල අකුරු ලියන අතර ඩෙස් එකේ ගෑවෙන තරමට හිස පහත් කොට,දිව දොට්ට දමා කරකැව්වේ ඉන් අකුරු ලිවීමේ අසීරු කටයුත්ත පහසු කළ හැකි වූවාක් මෙනි."(235 පිට,පෙරලූ නැවුම් පස ,2000 මාර්තු මුද්‍රණය)
දිව කැරකෙව්වට මට නං දකුණෙන් අකුරු ලියවුනේම නෑ.ලියන්න පුළුවනි අත දුවන්නෙ නෑ එක තැනමයි.වමතින් නං කිසි කිසි ගෑවිල්ලෙ ලියවෙනවා.
ඕං චුටි අක්කෙ මම පුළුවන් තරං දහිරිය දැම්ම ඒ උනාට මේ ළමය මක්කොරලවත් දකුණට හුරු කරන්න බැරිඋනානේ...
මොනව කරන්නද සුදු මල්ලියෙ ඒ ළමයගෙත් කරුමෙ අපෙත් කරුමෙ...
මම කොහෙහරි රටක ඉඳල නිවාඩුවට ගෙදර ගිහිං හිටපු දවසක සුදුමාම මාව බලන්න අපේ ගෙදර ආ වෙලේ අපේ අම්මට හොරෙන් සුදුමාමට විස්කි ෂොට් එකකුත් දීල එහෙම පරණ ගම්මැදි හෑලි කියා කියා ඉන්න අතරෙ මට දකුණතින් අකුරු ලියවන්න හදපු හැටි මතකද කියලත් මම සුදුමාමගෙන් ඇහුවා.එයාට ඒ වගක් මතක තිබුනෙ නෑ.ඒ වෙනුවට වෙන කතාවක් කිව්වා.
පුතේ මගෙ අතේ බැන්ද ඔරලෝසුව කැඩිල හුඟක් කල්, පුලුවන්නං එන වෙලාවක මට ඔරලෝසුවක් ගෙනත් දෙන්ඩකො...
ඊළඟ සැරේ ලංකාවට යද්දිං මම සුදුමාමට ඔරලෝසුවක් ගිහිං දුන්නා.ඔහොම දේවල් ඒ ගොල්ලන්ට හරි ලොකුයිනෙ රටින් ගෙනල්ල දුන්න එකක් කියල පුරාජේරුවත් කියන්න පුළුවන්නෙ.රටින් ඔරලෝසුවක් ගේනව කිව්වහම මට තව කතාවක් මතක් උනා ඒ කතාව තිබුණේ පී ඇම් ජයතිලක මහතා ලියූ බමර සර පොතෙයි.ඒකත් කියලම ඉන්නංකො.
"එදින රාත්‍රී මා හමුවීමට මගේ කාමරයටම පැමිනියේ විජේසිරිය.
'අන්න අරූ ඉකි ගගහ අඬනවා'
කව්ද?
'සත්‍ය ප්‍රේමයා...පේමරත්න ...' විජේසිරි උපහාසාත්මක සිනාවක් නගාගෙන කියාගෙන ගියේය.'කාරනේ බොහොම සීරියස්'
මම සයනයෙහි වාඩිගෙන සවන්දී සිටියෙමි.
'මිනිහට හම්බවෙච්ච තෑග්ග දන්නව නේද?අරගැජට් බැජට් දාපු අත් ඔරලෝසුව?රුසියාවෙද චීනෙද යාලුවෙක් එව්ව කීවෙ...'
'ඒක නැති වෙලාද?' මම විමසුවෙමි.
'නැති වෙලානන් ඌ ඔච්චර අඬන එකක් නෑ...මිනිහ ඒක බැඳගෙන ගිහිල්ල අද කෙල්ල බලන්න...ඉතින් කෙල්ලත් එක්ක පාක් එකේ ඉඳගෙන ඉන්නකොට ඌ කෙල්ලට කියල තියෙනවා...ඔයා දන්නවද ඩාලිං...මේක හරි පුදුම ඔරලෝසුවක්...කන්‍යාවක් මේක අතින් ඇල්ලුවොත් මේකෙ ලස්සන බෙල් එකක් වදිනවා...'
මගේ සිත පුරාද මහත් විශ්මයක් පැතිරින.
'ඇත්තමද විජේ...'
'හනේ හැබෑට උඹත් ඔච්චර බුරුවෙක්ද?පේමය කෙල්ලට එහෙම කියල තියෙන්නෙ විහිලුවට...එහෙම කියල ආදරේ උතුරා යන හැඟීමෙන් කෙල්ලට කීවලු ඔරලෝසුව අල්ලන්න කියලා...'
'ගොනී පැනල ඇල්ලුවද?'
'ආන්න වැඩේ අප්සෙට් ගිය තැන.කෙල්ල ඔරලෝසුව අල්ලන්නෙම නෑලු...එක පාරටම බොරු හදිසියක් දාල ආපහු යන්නම කතා කරනවලු.පේමයට දුකට වැඩිය කේන්තිය...අන්තිමට ඇහුවලු කෙල්ලගෙන්...ඔයා මේක අල්ලන්නෙම නැද්ද...කියලා.කෙල්ල ටක් ගාලා නැගිට්ටලු...වස කේන්තියෙන් පේමයත් නැගිට්ටලු...'
මට එම දර්ශනය මැවී පෙනින.
'කව්ද දන්නෙ ඕක කැඩිලද කියලා...කෙල්ල කීවලු...'
පුදුමය ප්‍රේමරත්න ඉකි බිඳිමින් වැලපීම නොව සත්‍ය ප්‍රේමයේ අල්තාරය අබියස මල් පහන් පිදු ඔහුගේ හදවත පැලී සුනු විසුනු නොවීමය."
(34 පිට,බමර සර,පී ඇම් ජයතිලක.1998)
ඉතිං ඔය ආකාරයට හොඳින් කියල තරවටු කරලා ගහල බැනල මොන විදියකින්වත් මම වමතින් අකුරු ලියන එක වෙනස් කරන්න බැරි තැන උඹ වමතින් බැරිනං කකුලෙන් අකුරු ලිව්වත් අපට මොකද කියල අත ඇරලා දාපු තැන ඉඳන් මම සදහටම වමත් කාරයෙක් උනා.
මම ගැන කිව්වොත් කන්නෙ දකුණු අතින් බෝල ගහන්නෙ එහෙමත් දකුණු අතට අනික් වැඩ කටයුතු ඔක්කොම වමතට.කුවින්ටස් අපේ චම්පික එහෙමනං කන්නෙත් වමතින් ඔන්න කුවින්ටස් උගෙ මගුල දවසෙ මංගල සභාව මැද වමතින් කන්න බෑ ලැජ්ජයි කියල බොහොම අමාරුවෙන් දකුණු අතින් කාල කෑම මේසෙන් එළියට ඇවිත් "කෑවෙ නෑ වගේ " කිව්වලු.වමතා කියල අපහාසෙට කිව්වට රජගෙදර මුළුතැන්ගෙයි උයන්න බඳවා ගත්තෙත් වමතින් ආයුධ හසුරුවන අයයි කියල මම කොහෙහරි දැකපු කවියක "වමතින් අවි දරන"කියල තිබ්බ මතකයි.ඉතිං වමත් කාරයෙක් වීමේ ගුණ අගුණ හෙවත් හොඳ සහ නරකත් සලකල බලමු.
හොඳ පැත්ත ගත්තොත් මට නං දකුණු අතින් කන නිසා කෑම කමින් ඉන්න වෙලාවක අතේ ඉඳුල් ගාගෙන හිටියත් වමතින් ලිපි කටයුත්තක් කරගන්න පුළුවනි අස්සනක් ගහනව වගේ.එතකොට කෑම මෙසෙකදී එහෙම කමින් හිටපු කවුරුහරි ඉඳුල් තැවරුන දකුණු අතින් බොහොම අමාරුවෙන් කෑම බෙදාගන්න උත්සාහ කරනවනං ටක් ගාල බෙදල දෙන්න මට පුළුවනි.ඊට අමතරව නං කිව යුතු හොඳක් නෑ.
නරක පැත්ත ගැන කිව්වොත් පේලියට ඉඳගෙන ලියන වෙලාවක මගේ අත ළඟ ඉන්න එකාගෙ ඇඟේ හැප්පීම,රටේ තියෙන තරං සෑම සියලු උපකරණයක්ම දකුණත් කරුවන් සඳහා නිර්මාණය කර තිබීම,මම අපේ අම්මලගෙ ගමේ ගිහිං හිටපු සංදියේ හරියට කුඹුරු වැඩ කළා.ගොයං කපන්න යද්දි දෑකැති ඔක්කොම දකුණු අතින් කපන අයට හදපුවා,එකම එක වමත් දෑකැත්තක් අපේ එගොඩහ මහප්ප ළඟ තිබුණා ලෙව්ව වගේ මුවත් තියාගෙන හිටපු ඒ දෑකැත්ත මහප්ප කාටවත් දෙන්නෙ නෑ.ගොයං කපද්දි මහන්සි ඇරගන්න මහප්ප ගොඩ ආපු වෙලාවට මම ඒ දෑකැත්ත අරං වෙලට බහිනවා.තණකොළ කපන දෑකැත්ත ඊටත් වෙනස්.ඒ දෑකැත්තෙ මිට ලඟින් යටට නැම්මක් තියෙනව ඊට පස්සෙයි වක.ඔය දෑකැත්ත නුහුරට අල්ලල තණකොළ කපන්න සෑහෙන මහන්සියක් ගන්න වෙනවා.ඔය නුහුරට හදපු දෑකැත්තයි ගෝනියකුයි කර තියාන වෙලේ නියරෙ එහෙම නැත්නං රෙදිමෝලේ වත්තෙ කරක් ගහල ගෝනිය පුරව ගත්තෙ නැත්නං රෑට වැස්සි බඩගින්නෙ,එහෙම උනොත් පහුවදාට කිරි අඩුයි.හරක් පට්ටිය ගැනයි කිරි ගැනයි ආයෙම දවසක කියන්නං,අද කතාකරන්නෙ වමතින් වැඩ කරන එක ගැන නොවැ.
පස්සෙ කාලෙක මම කම්කරු දෙපාර්තමේන්තුවෙ ටික කලක් වැඩ කළා,එහෙ නං වමතින් ලියන ගෑනු ළමයි දහ පාළොස් දෙනෙක්ම මාත් එක්ක වැඩ කරපු නිසා මං තනිවෙලා නෑ කියල හරි සතුටක් දැනුනා.ඕනැනං වමත් කරුවන්ගේ සංගමයකුත් පිහිටුවා ගන්න තිබ්බා.ඒ කාලෙ වමත් නිසා අපහාස උපහාස විඳින්න උනාට දැන් නං කෙනෙකුට එහෙම වෙන්නෙ නෑ.ඒ වෙනුවට වමත් කාරයෙක් දිහා යම්කිසි පැහැදීමකින් බලනව කියලත් කියන්න පුළුවනි.ඇත්තටම වෙන්නත් ඕනෑ එහෙමනෙ.හැම කෙනාටම වමතින් වැඩ කරන්නට බැහැනෙ නේද?෴
(ප.ලි :ඊළඟ පෝස්ටුව මම ලියන එකසිය පනස් වැන්නයි.එකසිය පනහට පස්සෙ ලියන පෝස්ටුවල මාතෘකාව නොම්මර කරන එක නවත්තන්න මම තීරණය කළා.ඊට පස්සෙ පෝස්ට් ගණන බලාගන්න පුළුවන් වෙන්නෙ මට පමණයි.එහෙම නැත්නං මේ ගැන උනන්දු වෙන කෙනෙකුට විතරයි.හරියට ප්‍රසන්න වගේ.ප්‍රසන්න මේ බ්ලොගේ ගැන කොච්චර උනන්දුද කිව්වොත් පෝස්ටුවල තියෙන කතා මට වඩා හොඳට මතකයි.ඒ නිසා මම කතා හෝ පොස්ට් ගැන මතක තියාගන්න උනන්දු වෙන්නෙ නෑ ප්‍රසන්නට කියපු ගමන් ටක් ගාල හොයල දෙනව)