Wednesday, November 13, 2013

102.ජාත්‍යන්තර කාන්තා දිනය, ඕ ටී වල සහ තවත් කතා


අපි ලියල ඉවර කරන්නෙ නැතිව මගින් නවත්තපු කතා කීපයක්ම තියෙනව නේද ඒව ටිකත් ඉක්මනට ඉවරකරන්න ඕනෑ...ඒත් එක්කම මේ මම ඊයෙ පෙරේද දැකපු දෙයක්,බ්ලොග් ලියන හිරිමල් තරුණයො අපි ලියන පරණ කතා කියවන්න කැමති නෑනෙ... ඒ අයට අපි ලියන කතා අල්ලල යන්නෙ නැතුව ඇති, මේ නාකි ටික මොන මගුලකට පරණ ගම්මැදි හෑලි ලිය ලියා දානවද කියලත් හිතනවා ඇතිනෙ, මොනා කරන්නද ඔව්ව ඔහොම තමයි, කලින් කලට පලින් පල කිව්වලුනෙ...

තවත් දෙයක් මම කල්පනා කළා ඒක මේ කකාගෙ අදහසක්...කකා කියනව මගෙ එක පෝස්ටුවක් කකාගෙ පෝස්ට් හතරක් විතර දිගලු, බලාගෙන ගියාම ඒකත් ඇත්ත,ඒ නිසා පෝස්ට්වල දිග අඩුකරන්නත් අදහසක් තියනව හැබැයි ඔයගොල්ලන්ගෙ ප්‍රතිචාර අනුව...

ආරම්භයක් හැටියට මම ඔය කතාව කිව්වෙ අදත් මට පරණ කතාවක් මතක්වෙච්චි නිසා...ඒ මම දෙසතිය බාරව වැඩ කටයුතු කරපු කාලෙ කතාවක්,ඒ කාලෙ අපි බුත්තල ගම් උදාවට ගිය හැටි  මම කලිනුත් ලිව්වනෙ...

ඔය කාලෙ කියන්නෙ ජනාධිපති ප්‍රේමදාස මහත්තය තමන්ගෙ බලයෙ උපරිමයෙ හිටපු කාලෙ...කොටින්ම කිව්වොත් එතුමගෙ ඉහට උඩින් කපුටෙක්වත් පියාඹන්නේ නෑ  බැරිවෙලා හරි පියාඹුවොත් එහෙම ඒ සැනින්ම වෙඩි තියල කපුටව බිම දාන්න තරං සුවච සහචරයන් රැසක් එතුමා වටේ සැදී පැහැදී හිටියා...

මම මෙතෙක් කල්ම විස්තර කිව්වෙ ප්‍රේමදාස ජනාධිපති තුමා ගැන විතරයි. ..නමුත් ආර්යාව ගැන නොකියා එතුම ගැනම කියන එකත් එච්චර හරි මදි, මොකෝ ආර්යාව ගැනත් රස කතා මහගොඩයි...ඔන්න ඔය බුත්තල ගම් උදාව පැවැත්වුණු සමයෙ එතුමිය ගායිකාවක් හැටියටත් මඩු බැහැල ශීග්‍රයෙන් ජනප්‍රිය වෙමින් හිටියා.

කොච්චර ජනප්‍රියද කිව්වොත් ගම් උදා භූමිය වටායි ගම් උදා භූමියෙ සිට බුත්තල ටවුම දක්වායි කණුවල හයිකරල තිබුණු සියගණන් යකඩ කටවල් වලින් හැම හවසකම ආර්යාවගෙ මධුර මනෝහර ගීත  ප්‍රචාරය වුනා...

ඔන්න අපි හවස්වෙලා ගම් උදාවෙ වැඩට යද්දී යකඩ කටෙන් ඇහෙනව...

මීළඟ ගීතය ගයන්නේ හේමා ප්‍රේමදාස මැතිණිය සමග බණ්ඩාර අතාවුද...

ආර්යාව ගායනයට පමණක් නොවෙයි පිහිනුම් නෙට්බෝල් ආදී ක්‍රීඩාවලටත් සහජ දක්ෂකම් පෑවා...එතුමිය තමයි නෙට්බෝල් කණ්ඩායමේ නායිකාව...ගහපු හැම තරඟයකින්ම එතුමියගෙ කණ්ඩායම උසස් ජයග්‍රහණ ලැබුවා...

ආර්යාව තරඟ කරන තරඟයකට ඉස්සෙල්ල සංවිධායකයින් ප්‍රතිවාදී පිලේ ක්‍රීඩිකාවන්ට තරඟ කොන්දේසි පහදලා දෙනවා ඒ කොන්දේසි මෙන්න මෙහෙමයි...

ආර්යාවගෙන් බෝලෙ ගන්න තහනම්.
ආර්යාවට හරස් කපන්න තහනම්.
ආර්යාවගෙ ඇඟේ හැපෙන්න තහනම්.
ආර්යාවගෙ ඉස්සරහට පනින්න තහනම්.
පිටියෙදි ආර්යාව අපහසුතාවට පත්වෙන කිසිම දෙයක් කරන්නට තහනම්.

ඔන්න ඔය ආකාරයට තරඟ කරද්දී හැම තරඟයකින්ම විශිෂ්ට දක්ෂකම් දක්වන්නට එතුමිය සමත් වුණා.

ආර්යාව පමණක් නෙවෙයි ප්‍රේමදාස ජනාධිපතිතුමා, එතුමත් ඊට දෙවෙනි නෑ හරිම දක්ෂ ක්‍රීඩකයෙක් ඔය සෝන්ඩර්ස් ගහපු පී ඩී සිරිසේනලගෙ සමකාලීන ක්‍රීඩකයෙක් නොවැ...එතුම ජනාධිපති උනාට පස්සෙත් පුට්බෝල් මැච් එකක් ගැහුවනෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කණ්ඩායමයි තවත් කවුද කණ්ඩායමකුයි එක්ක  ප්‍රේමදාස මහත්තය තමයි නායකයා, ඒ පුට්බෝල් මැච් එකේ තරඟ කොන්දේසි මෙහෙමයි...

එතුමා පස්සෙන් එලවන්න බෑ.
එතුමට වෙට්ටු දාන්න ස්ලිප් ෂොට් ගහන්න බෑ.
එතුමා බෝලෙ ගෙනියනකොට ගන්න බෑ.
එතුමා බෝලෙ ගන්න හදනකොට නොදී ඉන්න බෑ.

ඔය ආකාරයට ගහපු පුට්බෝල් මැච් එකෙන් ප්‍රේමදාස මහත්තයගෙ කණ්ඩායම ගෝල 1-0 ක දිනුමක් වාර්තා කළා...ජයග්‍රාහී ගෝලය වාර්තාකලේ කවුද... වෙනින් කවුරුවත් නොවෙයි නායක ප්‍රේමදාස ජනාධිපතිතුමා

එතුමා ගෝලය ගහද්දි ප්‍රතිවාදී පිලේ ගෝල් රකින්නා වුණේ බ්‍රිගේඩියර් ආනන්ද වීරසේකර ඒ දවස්වල පුනරුත්ථාපන කොමසාරිස්, ප්‍රේමදාස මහත්තය පෝවඩ් සෙල්ලං කලේ...ඔන්න දැන් එතුමා බෝලෙත් අරං ඊගහේ වේගෙන් දුවගෙන එනවා අහල පහළ ප්‍රතිවාදී ක්‍රීඩකයන් කිසි කෙනෙක් නෑ(පණට ආදරේ ඇති එකෙක් අහළ පහලක ඉඳීයැ)පෙනල්ටි කොටුවට බෝලෙ ගෙනාපු ප්‍රේමදාස මහත්තය මොහොතකට බෝලෙ නවත්තල ගෝලෙ ගහන්න කලින් වටපිට බැලුවා...

ප්‍රේමදාස මහත්තය ගහන පහර වලක්වන්නට ගෝලි බ්‍රිගේඩියර් ආනන්ද වීරසේකර බලාගෙන ඉන්නව...එතුමා ගෝල් එකේ දකුණු පැත්තට පහර එල්ල කරද්දී බ්‍රිගේඩියර් ආනන්ද වීරසේකර ගෝල් එකේ වම් පැත්තට ඩයිව් කරලා ඉගිල්ලුනා...

බෝලෙ කිසිම අවහිරයක් නැතිව දැල සිප ගත්තා...

මම ජාතික කණ්ඩායමෙත් දැල රැකලා තියෙනව, එවැනි ආකර්ශණීය පහරක් මගෙ ජීවිතේටම දැකල නෑ මාව අන්දුන් කුන්දුන් උනා...

තරඟයෙන් පස්සෙ බ්‍රිගේඩියර් ආනන්ද වීරසේකර පත්‍ර වාර්තාකරුවන් සමග පැවසුවා...උන්නැහේ පැන්ෂන් ගිහිල්ල පස්සෙදී මහණ වුණා දැන් බණ භාවනා කරගෙන ආරණ්‍යයකට වෙලා ඉන්නවලු...

හැබැයි ප්‍රේමදාස මහත්තයගෙ බෝල ගැහිල්ලෙන් එක හොඳක් නං වුනා,ඒක උනේ මෙහෙමයි...පුට්බෝල් මැච් එකේදි ප්‍රේමදාස මහත්තයට කකුලෙ අමාරුවක් හැදිල අඩිය තියාගන්න බැරුව ගියා...ඒ දවස්වල කැඩුම් බිඳුම් වලට නම් දරාපු සමර්ථම වෙදරාළ වුනු හොරිවිල වෙද මහත්තය ලඟට මෙතුමව එක්කරගෙන ගියා...

හොරිවිල හේරත්හාමි වෙදමහත්තයා ජීවකයෙක් වගේ වෙදෙක්, කපන්න ලෑස්ති වෙලා හිටපු අත් කකුල් කීයක්නං වෙද මහත්තය කපන්න නොදී  බේරගෙන තියෙනවද...ඉතිං වෙදමහත්තය ප්‍රේමදාස ජනාධිපති තුමාව පරීක්ෂා කරල...

ආ...මේක මේ කකුලෙ කණ්ඩරාව ඉරිලා හින්දනේ ටික දවසක් බේත් කරන්න වෙයි...

වෙද මහත්තයගෙ තෙල් බේත් පත්තු වලින් සති දෙකක් යද්දී ප්‍රේමදාස මහත්තයගෙ කකුල එතනම සනීප උනා...ප්‍රේමදාස මහත්තයට හරි සතුටුයි, ඊළඟට තියෙන්නෙ කළගුණ සැලකීම හෙවත් තෑගී බෝග දීම නොවැ,ජනාධිපති කෙනෙක් තෑගි දෙනකොට අපි උඹල තෑගි දෙනව වගේ සීයක් හමාරක් දීල බෑනෙ තෑග්ග හොඳ ලකේට තියන්න එපායැ...

වෙද මහත්තය බේත් කලාට සල්ලි ගන්නෙත් නෑ බුලත් අතේ කීයක් හරි තියල දුන්නත් ඒ දිහා බලන්නෙත් නෑ...

වෙද මහත්තයට මගෙන් කෙරෙන්න අවශ්‍ය ඕනෑම දෙයක් තියෙනවනං කියන්න...

ප්‍රේමදාස මහත්තය වෙද මහත්තයගෙ ළඟින් වාඩිවෙන ගමන්  කිව්වා...

අවශ්‍ය දේ නේද...

වෙදමහත්තය ප්‍රේමදාස මහත්තයගෙ මූණ දිහා බලල හප හපා හිටපු බුලත් හපෙත් එලියට වීසි කොරල එහෙම උගුරෙ රැල් බුරුල් ඇරල කතාකළා...

මෙහෙමයි...මට නං ඉල්ලන්න දෙයක් නෑ ජනාධිපතිතුමෝ...හැබැයි දුර ඉඳන් එන ලෙඩ්ඩුන්ට මෙහෙ එන්න හරි කරදරයි,හොරිවිලට කෝච්චිපොළක් ලැබුණොත් ඒ ලෙඩ්ඩුන්ට හරි පහසුවක්, ඔබ තුමාටත් පිං සිද්ධ වෙනවා...

වෙද මහත්තයගෙ ඉල්ලීම ඉස් මුදුනින්ම පිළිගත්තු ජනාධිපතිතුමා කොළඹ ආ ගමන්ම හොරිවිලට කෝච්චි ඉස්ටේසමක් දෙන්නයි කියල දුම්රිය බලධාරීන්ට නියෝග කළා...

අපේ කෝච්චි බලධාරීන් ඉන්නවා නේද හප්පා සුපිරිම වැඩකාරයෝ ටිකක්, මම මේ මගෙ නේත්තරා දෙකෙන්ම දැකපුවයි කියන්නෙ...ඔන්න සැරයක් රාගම ඉඳල කොළඹට තුන්වෙනි මාර්ගයක් අත්‍යාවශ්‍යයි කියල තීරණය කරල කෝච්චි පාර හදන්න පටන් ගත්තා,පටන් ගත්තෙ මට මතක හැටියට අසූ දෙකේ හරි තුනේ හරි, රාගම ඉඳල කොළඹට කිලෝමීටර් දහඅටයි නොවැ... 

ඔය ටික දුර පාර හැදුව අනූහතර විතර වෙනකං අනේ අම්මපල්ල මගේ දෑහින් උදේ හවස දැකපුදේ...ඒ හැදුවෙත් රාගම ඉඳල කැලණියට යනකල් විතරයි කැළණි ගඟට කෝච්චි පාලං දෙකක් විතරක් තිබුන නිසා එතනින් නැවතුනා... 

ඔන්න පස්සෙ කාලෙක කැළණි ගඟේ තුන්වෙනි දුම්රිය පාලම හදල රේල්පාරෙ ඉතුරු ටිකදුර හදන්න ගත්ත, ඔය කැලණියේ ඉස්ටේෂන් එක පහුකරපු ගමන් පොඩි බෝක්කු කෑල්ලක් දාන්න තිබ්බ...සී ජී ආර් එකේ ගෝලයො ඇවිත් මඩුවක් ගහන් වැඩ පටන්ගත්ත, දවසකට එක ගල ගානෙ බැන්දත් අවුරුද්දකින් බෝක්කුව හදන්න තිබ්බා... මුන් ටික අවුරුදු හතරකටත් වඩා වැඩේ ඇදන් ගියානෙ, කොහොමහරි මම රටෙන් පිටවෙද්දිවත් තාම බෝක්කුව හදල තිබුනෙ නෑ, දැන්නං හදලද දන්නෙ නෑ...

මම ඔය ගැන රේල්ලුවෙ වැඩකරපු මගේ යාලුවෙක්ගෙන් ඇහුවා...

ආ...ඔතෙන්ට කියන්නෙ ඕ ටී වල කියලනෙ...

යාලුව කිව්ව, පැය අටේ වැඩ මුරේට පස්සෙ ඉතුරු පැය දාසයම ඕ ටී ලු, වැඩේ ඉවරවුනොත් ඕ ටීත් ඉවරනෙ ඉතිං බෝක්කු හදයියැ...

දුම්රිය සුරැකීමේ කියල කට්ටියක් යාපනේට රේල් පාර හදන එක පිටරට සමාගමකට දුන්න කියල මහා ගෝසාවක් කොලානෙ,

දෙපාර්තමේන්තු සේවකයන්ට හදන්න පුළුවන්ලු...දුන්නනං එහෙම ලබන ආත්මෙ නෙවෙයි ඊළඟ ආත්මෙ විතර දෙයියන්නෙ පිහිටෙන් කෝච්චියෙ යාපනේට යන්න තිබුණා...

ඒ ගොල්ල ගැන කියන්න ගියොත් නං කියල ඉවරයක් නෑ...ඉතිං කොහොම හරි අන්තිමේදී හොරිවිලට කෝච්චි පොලක් ලැබිල තිබුණා....

මම කියාගෙන ආවෙ ඔව්ව නෙවෙයිනෙ,ඔන්න ඉතිං ඒ අවුරුද්දෙ ජාත්‍යන්තර කාන්තා දිනයත් ළඟ ලඟම එනව... කාන්තා දිනය මහ ඉහලින් උත්සවාකාරයෙන් සමරන්නට හේමා ප්‍රේමදාස මැතිණිය සූදානම් වුණා,

රාජ්‍ය අනුග්‍රහයෙන් උත්සවය බදුල්ලේදී පවත්වන්නට තීරණය කෙරුනා.

අපටත් වැඩ වැඩිවේගෙන එන කාලෙ, කාන්තා දිනයට සමගාමීව අපේ දෙපාර්තමේන්තුවත් බදුල්ලෙ වැඩ කටයුතු රාශියක් කරන්න ලෑස්ති වුණා...

ශ්‍රීමත් ජනාධිපතිතුමාගෙ  ඡායාරූප ප්‍රදර්ශනය.
ශ්‍රීමත් ජනාධිපතිතුමා ගැන චිත්‍රපටයක්.
දෙසතිය ප්‍රදර්ශනාගාරය සහ අළෙවිහල.

වහාම බදුල්ලට ගිහිං වැඩ පටන්ගන්න...අපට නියෝග ලැබුණා...





127 comments:

  1. ඕටී වලවල් හැම තැනම තියෙනවා අනික සිජීආර් එකේ අය උදේ 6 ට විතර වැඩ පටන් අරන් 10ට විතර නවත්තල ආයේ හැන්දාවට පැයක් දෙකක් තමා වැඩ කරන්නේ අව්ව නිසා...

    අර ආර්යාවයි එතුමියගේ ශ්‍රිමතානනුයි කරපු වැඩ දැං කරන්නේ නැහැ ඒවා මහ පුටු වල දරුවන්ට විතරයි අදාළ...

    ReplyDelete
    Replies
    1. අපේ තාත්ත මහප්ප දෙන්නම වැඩකලේ සී ජී ආර් එකේ,හැමදාම මහා පාන්දර කරුවලේ ගෙදරින් ගිහිං හවසට අඳුරත් අරගෙන ගෙදර එන්නෙ.මොන විදියට වැඩ කලාද කියල මා එක්ක නං කියල නෑ.

      Delete
  2. එතකොට දැන් රගර් වගේ.. ඉස්සර ෆුට් බෝල්ද අහ්???

    ReplyDelete
    Replies
    1. අපරාදේ කියන්නේ දැන් ටැකල් එකක් වත් දාන්න පුළුවන්..

      Delete
    2. ඒ ගොල්ල ගැහුවෙ පුට්බෝල්

      Delete
  3. මටත් මතකයි ආර් ප්‍රේමදාස මහත්තයාගේ ගම් උදා කාලේ සිදුවීම්. සමහරවිට ඒ කාලේ පත්තර වල රූපවාහිනියේ හිටියේ ඔය ආර්යාවයි ප්‍රේමදාස මහත්තයයි හින්දම විතරක් වෙන්නැති. දෙසතිය මැගසින් එක ඒ කාලේ නැගලම ගියා කියලත් මතකයි. මීට ටික කලකට කලින් මම කොළඹ කෑම කඩේකට ගියාම ප්‍රේමදාස ආර්යාවත් ඇවිත් හිටියා. අර ඉස්සර වගේ නෙමෙයි. බොහොම සාමාන්‍ය කාන්තාවක් වෙලා. මගේ රියදුරා නොකීවා නම් මම ඇයව අඳුනගන්නෙත් නෑ. මගේ යාළුවෙක් ප්‍රේමදාස මහත්තයාගේ ජීප් එක ගත්තා බොහොම අඩු ගාණකට. ඒත් මට තාමත් මට මතක ප්‍රේමදාස මහත්තයා අර උදාර ලීලාවෙන් ගම් උදාවේ ඒ ජීප් එකේ යන එක විතරමනේ.

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ ටී වී චැනල් ඔක්කොගෙම නිව්ස් ප්‍රේමදාස මහත්තය ගැන,ඒක නීතියක් හරියට විනාඩි විස්සක්වත් එයාගෙ කතාව දානව,රේඩියෝ එකෙත් එහෙමයි.
      දෙසතිය නැගල ගියෙ රංගි අපි කරන කාලෙ,බැහැලම වැඩේ කළානෙ.

      Delete
  4. හැලප අයිය ඔහොම හිතල පෝස්ට් එක කෙටියෙන්නම් ඉවර කරන්න එපා..මොකද එක් කෙනෙක් හරි කියවයිනෙ..දැන් කැළණියේ ඕ ටී වල ගොඩ කරලා තියෙන්නෙ..අලුත් පාලමත් පෙරුම් පුරලම හදල දැන් කොච්චිත් යනව..ඒ වුනාට පාලමේ තව එක පැත්තක් නිකන් තියෙන්නෙ..මමනම් හිතන්නෙ පරණ පාලම නඩත්තු කරන්න අලුත් පාලමේ දෙපැත්ත පාවිච්චියට ගත්තනම් හොදයි කියල.

    ReplyDelete
    Replies
    1. නෑ බං ඒ අදහස අත ඇරියා,බලපංකො විරෝධතා ව්‍යාපාරය බයේ බෑ.

      Delete
  5. එහෙව් ජෝඩුවගේ පුතාම ඉල්ලලා තමයි, අපේ හරක් නහින්න හදන්නේ.. රනිල්ලා චන්ද්‍රිකාලා ජනාධිපති තුමාගේ නෝනා ඒ අතින් දාහෙන් සම්පතයි..

    උඹට මතකද මන්දා.. පට්ටිය හංදියේ ඉඳන් සපුගස්කන්දට රේල් පාරක් දැම්මා, කොච්චිත් දෙකක් තුනක් ගියා.. සපුගස්කන්දට යනකන් ගියාද මන්දා.. හැබයි ගියාය කියලා තමයි කිව්වේ.. දැන් නම් ඒ පාරේ සිල්පර නෑ.. කොටි බංකර් හදන්න නෙමෙයි.. වෙන වෙන වැඩවලට අයිතිකාරයෝ ඒවා රගෙන යන්න ඇති..

    ඒවට වියදම් කරපු සල්ලිත් ප්‍රේමදාසගේ සල්ලි වෙන්ටෑ.. හැබයි ඔහොම රේල්පාරක් හැදෙන්න හීනෙකින්වත් හිතපු නැති කාලේක.. අපේ වැටට එහා වැටේ සියඹලා ගහ ගාවින් කෝච්චියක් යනවා මම හීනෙන් දැක්කා.. හරියටම කෝච්චිය ගියේ එතනින්.. එහෙම කලින්ඩ් දැකපු හීන බොහෝමයක අද ඇත්ත වෙලා තියෙනවා.. ඒක නම් හිතා ගන්න බැරි දෙයක්..

    තව සීන් එකක්. උඹට මතකද දන්නේ නෑ.. ගාළු පාරේ අළුත්ගම පාළම. අපි පොඩි කාලේ ඉඳන් මහ උන් වෙනකන් හැමදාම හදනවා.. ඔය අතරෙ තමයි ප්‍රේමදාස මහත්තයා කන්දෙ විහාරෙට සෙට් වෙන්නේ.. මස දෙකෙන් පාළම හදලා ඉවරයි...

    ප්‍රේමේ හිටියනම් චොගම් එකට කොළබ හදන්න දුන්න උන් මාර පරිප්පුවක් කනවා.. මුන් තාමත් ඩැකරේසොන් කරනවා..

    කකා කිව්වයි කියලා.. ආතල් එක කඩන්න එපා.. අපි කකාටත් ආදරෙයි.. හැලපෙටත් ආදරෙයි.. ඒ දෙන්නා දෙන්නෙක් නිසා... අනන්‍යතාවයක් තියෙන නිසා.. දෙක වෙනස් නිසා...

    ReplyDelete
    Replies
    1. //ඒ නිසා පෝස්ට්වල දිග අඩුකරන්නත් අදහසක් තියනව හැබැයි ඔයගොල්ලන්ගෙ ප්‍රතිචාර අනුව.//

      හැලපයියා හදන්නේ කාකා ඉස්සරහට දාලා එකෙන් හතරක් තලා ගන්ඩ , ඔන්න අපේ ප්‍රතිචාර දුන්නා , අපිට මෙහෙම හොදා

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. මට තව එකක් මතක් උනා හැලපේ.. ඉස්සර සෙලින්කෝ එකේ වැඩ කරන කාලේ ලලිත් කොතලාවල මහත්තයගේ අංගාරක්ෂකයට උන්නේ මයිකල් කියලා එකෙක්. කවුරුත් කිව්වේ මයිකල් බොසා කියලා. ලලිත් කොතලාවල ඇරුනම ඔක්කෝම බයයි ඌට.. බය නැති පොඩි උන් දෙන්නෙක් තුන් දෙනෙකුත් උන්නා. ඌ තමයි සැලින්කෝ ෆුට් බෝල් ටීම් එකේ කැප්ටන්.. ගහන්නේ ෆෝවර්ඩ්, අනික් උන් සෙල්ලම් දාලා බෝලේ ගෙනත් දුන්නම. මූ මැරඩෝනා වගේ කෙලලා අරිනවා ගෝලෙට. ගෝල් කීපර්ලත් අර බ්‍රෙගේඩියර් වගේ පනින්නේ අනිත් පඇත්තට..මොකෝ සතියකින් දෙකකින් උන්ට ජොබ් එකක් ෂුවර්.. ඌගේ ටීම් එකේ ගොඩක් උන්නේ සෝන්ඩර්ස් කොල්ලෝ.. එයාලා කාගෙද කියලා හැලපෙ දන්නවනේ..

      Delete
    4. මාතලන් අලුත්ගම පාලම හැදුවේ 95-97 අතර කාලෙක නේද. එතකොට ශ්‍රීමත් රනසිංහ ප්‍රේමදාස තුමා අපායෙත් සෙමෙස්ටර් දෙකක් විතර කරල මගෙ හිතේ.

      Delete
    5. සපුගස්කන්දේ කෝච්චිය මාසයක්වත් දිව්වා කියල මතකක් නෑ,ඇයි මිහින්තලේට රේල් පාර හැදුවෙත් ප්‍රේමදාස මහත්තයමනේ,අපරාදෙ මනුස්සය හිටියනං කතරගමටත් රේල් පාර හදල තමයි පස්ස බලන්නෙ,ඇයි ඉඩම් පවර ගන්න එහෙම කිසි කරදරයක් නෑනෙ නඩු නෑ විරෝධතා නෑ දෙන වන්දිය අරගෙන මිනිස්සු සද්ද නැතුව ඉඳී.
      නෑ නෑ මාතලන් කතා ලියන විදියවත් දිගවත් අඩුකරන්නෙ නෑ බැනුම් අහන්න බෑනේ බං.

      Delete
    6. @අටම්
      ප්‍රතිචාරෙට ස්තූතියි,එක හතර කරන්නෙ නෑ ඔන්න ඔහේ ගිය විදියටම ගියදෙන්

      Delete
    7. @අගුණ
      ඔබගෙ පළමු පැමිණීම,ආදරයෙන් පිලිගන්නවා

      Delete
    8. ඕක අලුත්ගම නෙවෙයි, මාගල් කන්දේ පාලමනේද?
      අපේ ගයිඩ් කෙනෙක් සුද්දෙකුට මෙහෙමලු කිව්වේ.
      සුද්දා: මම ගිය අවුරුද්දේ එනකොටත් මේ පාලම හදනවා. ඇයි මේක හදල ඉවර කරන්නේ නැත්තේ?
      ගයිඩ්: මේක තමයි ලංකාවේ පාලම් හදන්න උගන්වන තැන. හදල ඉවර කරල කෙහොමද?
      හැලපයිය දැකපු රේල්ලුවේ "වල"ත් ඒ වගේ උගන්වන තැනක් වෙන්න ඇති.

      Delete
  6. //මම ජාතික කණ්ඩායමෙත් දැල රැකලා තියෙනව, එවැනි ආකර්ශණීය පහරක් මගෙ ජීවිතේටම දැකල නෑ මාව අන්දුන් කුන්දුන් උනා...

    තරඟයෙන් පස්සෙ බ්‍රිගේඩියර් ආනන්ද වීරසේකර පත්‍ර වාර්තාකරුවන් සමග පැවසුවා...උන්නැහේ පැන්ෂන් ගිහිල්ල පස්සෙදී මහණ වුණා දැන් බණ භාවනා කරගෙන ආරණ්‍යයකට වෙලා ඉන්නවලු...//

    අන්දුන් කුන්දුන් උණු පාර මහණ උණාද දන්නේ නෑ.:)

    හැම නායකයෙක්ම ඔය දුම් රියපොලවල් වගේ අවශ්‍ය දේවල් තෑගි විදියට මහජනයට දෙනවා නම් නේද? :D

    ReplyDelete
    Replies
    1. නෑ පොඩ්ඩි එයා රස්සාව කරන කාලෙ ඉඳන් හිතාගෙන හිටපු දෙයක්ලු.
      ඉතිං දැන් නායකයෝ බලන්නකො මොන තරං විශ්මයජනක දේවල් මහජනතාවට දෙනවද.

      Delete
    2. ඒ උනාට අයියේ පේමදාස මහත්තා දෙමට ගෙඩ පාරෙන එහා පැත්තට කොලබට යන ‍කෝච්චි වලට ඉස්ටේසමක් දුන්න එක ඒ කාලේ කොච්චර වටිනවද

      Delete
    3. බ්‍රිගේඩියර් ආනන්ද වීරසේකර මහත්තය දෙවනි රතු කැරැල්ලට පස්සේ . තරුන සහෝදරවරු පුනුරුප්ථාපන කොමසාරිස් වෙලා ඉන්න කාලේ .පාසැල් ඇදුමින් පාරේ ගහගන්න කොට . කාර් එකෙන් බැහැලා ඇවිත් අපිට අවවාද කොරලත් ගියා. පස්සේ තමා දැන ගත්තේ එදා ඉස්කෝලේ තිබ්බ උත්සවයේ ආරාධිත අමුත්තා කියලා. මට එයාගේ අතින් තෑග්ගක් හිටං ලැබුනා;

      Delete
  7. මචං උඹ ලියන විදියට උඹ ලියාපං. උඹට මතකද මම උඹේ සියවෙනි පෝස්ට් එකට දාපු කමෙන්ට් එක? ඒක ආයෙ කියවපං. හැම එකාම එකම විදියට ලියන්න ඕනෙ නෑ. උඹ හැලපයා. උඹ ලියපං හැලප ස්ටයිල් එකට. මම ඩූඩ්. මම ලියන්නේ මගේ ඩූඩ් ස්ටයිල් එකට. මම උඹ වගේ වෙන්නවත්, උඹ මම වගේ වෙන්නවත් ඕනෙ නෑ.

    උඹ මේ තාක් යම් ජනප්‍රියතාවයක් ලැබුවා නම් ඒකට හේතුව උඹ ලියපු දේවල් සහ විදිය. ඒක වෙනස් කලොත් උඹ උඹේ ප්‍රේක්ෂක අපිට කරන්නේ ද්‍රෝහි කමක්.

    ReplyDelete
    Replies
    1. ඔව් යෑස් කඩේ අයියේ .

      Delete
    2. ප්‍රේක්ෂකයො නෙව ඩූඩ් අපි පාඨකයො. ප්‍රේක්ෂකයො වෙන්න තිබුන හැලපය්යා ටෙලියක් කලානම්

      Delete
    3. @ dud ayya & ediri +++++++++++++++++

      Delete
    4. නැග්ග පාර උඹට කතාවට කමෙන්ට් කරන්නත් අමතක උනා නේද,නෑ බං මම ලියන විදිය නං කොහෙත්ම වෙනස්වෙන එකක් නෑ,කොට කරන්න හැදුවට,දැන් ඒකත් කරන්නෙ නෑ.

      Delete
    5. @එදිරි,
      ඩූඩ්ට තදවෙලා පාඨක ප්‍රේක්ෂක වචනදෙක පැටලිලා,අපි ටෙලි කරපු කාලෙ ඉවරයි එදිරි.

      Delete
    6. ඇ හැලපයියේ ඇත්තටම බැරිද අපිට ටෙලියක් කොරන්ඩ

      Delete
    7. මමත් ඒ ගැන කමෙන්ට් එකක් කොටන්න හිතාගෙන පහලට එද්දි තමයි මගේ පාට්නර්ගෙ මේ කමෙන්ට් එක දැක්කෙ...බ්ලොග් අවකාශයේ කවුරුවත් පාලකයො...සුපවයිසර්ලා නෑ...තමන්ට කැමති විදියට ලියන්න තමන්ට නිදහස තියෙනවා...එක එකා කිව්වා කියලා ලියන්න යන්න අවශ්‍ය නෑ...බොලාගෙ ඉට්ටයිල් එකට බොලා ලියනු...හොදා....

      Delete
    8. @අටම්,
      බොට උත්තරේ ලියන්න මට ඊයෙ අතපසු වුණා,මෙහෙමයි ටෙලියක් කොරන්න පුළුවනි නමුත් අපි කරපු ටෙලියි දැන් කෙරෙන ටෙලියි අහසට පොලොව වගේ වෙනස්නෙ,ඇත්තෙන්ම එකඟවෙන්න පුලුවන් ටෙලියක් කරන්න මමත් කැමතියි.

      Delete
  8. ඉස්සර නං ටීවී එකේ ලොක්කයි ආර්යාවයි.. පුතෙක් හිටියද කියල නෑ... දැන් කී දෙනෙක්ද.. මැච් එකක් එහෙම තිබ්බොත් එක පිලක්ම තියතෑකි... අනිත් පිලට වෙන්නෙ පිට්ටනියෙන් එළියට වෙලා අප්පුඩි ගහන්න... හි හි...

    අපෙත් ගෙවල් පැත්තෙ ඔන්නොහොම පාලමක් තියෙනව... අවුරදු 5කට කලින්ද කොහෙද පටං ගත්තෙ හදන්න.. ඔන්න දැං යන්තං හදලා ඉවරයි.. ලබන අවුරුද්දෙ පාරම අලුතින් හදනවලු.. පාලමත් කඩන්න වෙයි.. මං දැක්ක විදියට නං පාර මාක් කරල තියෙන ගානට වඩා පාලම පොඩියි... ඔන්න ඔහොමයි අපේ වැඩ.. හි හි

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ ලොක්කයි ආර්යාවයි ටී වී එකේ රඟපාද්දී පුතා හිට්යේ කැලේනෙ හිරු.දැන් ක්‍රීඩකයෝ ඒ වගේ කැලේ රිංගන්නෙ නෑ පුල් පොෂ් එකේ ඉන්නවා මිසක.

      Delete
    2. පාලම් හදන්න උගන්වන තැනක් වෙන්න ඇති

      Delete
  9. ඔය මැතිණිගේ සාය උඩ යන ෆොටෝ එකක් ගත්තා කියලා පත්තරකාරයෙක්ව මැරුවා කියලත් ප්‍රසිද්ධ කතාවක් තියනවා නේද? මට මතකයි ආනන්ද වීරසේකර ටීවී එකට ඇවිත් ෆුට්බෝලෙ තනි අතින් (උඩ පැත්තෙන්) උස්සලා පෙන්නුවා... ඒක කරන්න පුළුවන් අය අඩුයිලු....

    ReplyDelete
    Replies
    1. ඇත්තටම තිසර ඔහු ජාතික මට්ටමේ පාපන්දු ක්‍රීඩකයෙක්,ඔය එදා පිස්සු කෙළියට.

      Delete
    2. ඔය මැරුවේ සුරේන්ද්‍ර කියලා මහත්තයෙක්ව.

      Delete
    3. ඔය පත්තර කාරයගේ කතාව දන්නේ බොහොම ටික දෙනයි...නම විමල් සුරෙන්ද්‍ර. ප්‍රසිද්ධියේ විස්තර කියන්ට බෑනෙ. නමුත් ඒකාලෙ පත්තර ලෝකයේ හොඳ වැඩකාරයෙක්..ඕන තැනක රිංගලා 'පැපරාසි' ටයිප් එකේ ෆොටෝ ගහගෙන එනවා. ...අපේ පවුලට (වයිෆරේට නෙවේ!) ඥාති සම්බන්ධයකුත් තියනවා!

      Delete
    4. මේ සිද්ධිය මට හොඳට මතකයි....එහෙමම යට ගැහුවා..

      Delete
  10. උඹ ලියන විදිය උඹට හොඳා. කකා ලියන විදිය කකාට හොඳා.
    ඔය මැච්එක තියන්න තිබ්බෙ හරිනං ප්‍රේමදාස මහත්තයයි නෝනයි අතරෙ. ප්‍රේමදාස මහත්තය ගාමන්ට් එකක් විවෘත කරන්න ඇවිල්ල කිව්ව මේ කවිය තාම මතකයි,

    හාවන්ට ගෝනුන්ට පැනයන්නමයි හිත
    මාලුන්ට කිඹුලන්ට පීනන්නමයි හිත
    ඌරන්ට මීයන්ට හාරන්නමයි හිත
    අලියන්ට ළමයින්ට නලියන්නමයි හිත

    ReplyDelete
    Replies
    1. ඔව් බං මම ලියන විදිය වෙනස් කරනව කිව්වෙ නෑ

      Delete
  11. "බ්ලොග් ලියන හිරිමල් තරුණයො අපි ලියන පරණ කතා කියවන්න කැමති නෑනෙ..." නිකං බොරු කියන්න එපා හැලපයියේ මම කවද්ද ඔයාට එහෙම කිව්වේ...:D

    මමත් ඉතින් බදුල්ලේ කොල්ලෙක්නේ .ඔය කියන කාලේමද ජංගම සේවේ තිබ්බේ බදුල්ලේ? ලාවට වගේ මතකයි ජංගම සේවෙ නම්. අපි ඉතින් ඒ කාලේ හුජ්ජ කොල්ලෝ ....

    හැලපයියේ දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයෝ අවතක්සේරුවට ලක් කරන්න එපා. මතකද සුනාමියෙන් විනාශ වුනු පෑරලිය දුම්රිය මාර්ගය රෙකෝඩ් තියලා දවස් හටකින්ද කොහෙද හැදුවේ. උන්ට අවශ්‍ය විභවය තියෙනවා ..... එත් ලොක්කොන්ගේ මස්තබාල්දු කම් නිසා තමයි මෙච්චර පිරිහිලා තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. විභවයත් අවංක කමත් එකක් නොව දෙකකි.

      හැලප තුමා මාස ගානෙ කතාව කිව්වම මටත් මතක් උනේ සුනාමිය තමා. හැබැයි මගෙ හිතේ ඒ වෙලාවෙ උනේ කාටත් පොඩි ජාතික කික් එකක් ඇවිල්ලා ඒ කික් එකෙන් හොර බොරු නැතුව වැඩ කරපු එක. මම දන්න ඩයල් එකක් හිටියා දුම්රිය කම්කරුවෙක්, මගෙ හිතේ අසූ ගනන් වල මැද 13,000-15,000 පඩියක් ගන්නවා. දවල් දවසෙන් බාගයක් පුද්ගලික වැඩ හැබැයි හිටු කියලා OT. පොර මම එක්ක කියල තියෙනවා පැය 2ක් මිනිස්සු දෙන්නෙක් ට යනවා කියල එස්ටිමේට් කරන වැඩේ උන් ගෙ ඉනොවේටිව් ක්‍රම සහ විදි වලින් විනාඩි 15න් කරලා (උන් ඇත්තටම දක්ෂ මිනිස්සු), ඉතුරු ටික අයිස් ගහන හැටි. "විභවය" ඔන්න ඔහොමයි.

      Delete
    2. හා හා කමක් නෑ උඹත් මගේ පිහිටෙන් හිරිමල් තරුණය වෙයන්කෝ,ජංගම සේවෙත් තිබ්බේ ඒ කාලෙම තමා මම ඒකත් ලියන්නන්කෝ මේත් එක්කම.
      ඉතිං බැලුවම කරන්න බැරි නෑනෙ සුනාමියට ගිය පාර දවස් හැට ගානකින් හැදුව,පොඩ්ඩෝ ලොක්කන්ගේ වැරැද්ද කියනව ලොක්කො පොඩ්ඩන්ගේ කම්මැලිකම කියනව.අන්තිමට ජාතික සම්පතක් විනාස වෙනවා

      Delete
  12. ඔය කොන්දේසි ඔක්කොම දාලා ක්‍රීඩා කරනවා කියන්නෙ ප්‍රතිවාදි ක්‍රීඩකයො ප්‍රේක්ශකයෝ ගානට වැටෙනවා කියන එකනෙ.
    මේ නොදන්න නිසයි අහන්නෙ අපේ දැන් ඉන්න කුමාර වරුත් රගර් ගහන්නෙ ඔය කොන්දේසිම දාලාද දන්නෑ.

    අර මුල්ම කතාවට නම් මං මගේ දැඩි විරෝධය එල්ල කරනවා හැලප අයියෙ. මොකද හිරිමල්ද නැද්ද දන්නෑ තරුණයෙක් විදියට මන් නම් කැමතීයි ඔයාලා වගේ අයගෙන් පැරණි සමාජය ගැන, අත්දැකීම් ගැන දැන ගන්න. 'ඕලඩ් ඊස් ගෝල්ඩ්' කියනවනෙ.
    අනික මේ ඊයෙ පෙරේදා බ්ලොග් ලෝකෙට පය ගහපු මට ලියන විදිය ගැන ඔයාට උපදෙස් දෙන්න කොහොමත් බැහැ. ඒත් ඔයා මෙච්චර පාඨකයො පිරිසක් පිරිවරාගෙන ඉන්නෙ ඔයාගෙ ලියන ස්ටයිල් එක නිසා.
    "සඳ සඳ වගේ...
    තරු තරු වගේ...
    මල් මල් වගේ...
    අපි අපි වගේ..." කියනවනේ. ඒ වගෙ ලියන විදියත් එකිනෙකාට වෙනස්නෙ. :-)

    ReplyDelete
    Replies
    1. කුමාරවරු ගැන කියයි ශානක පීටර්ස් ( ජී බොයිගේ පුතා ) හිටියනං

      Delete
    2. මම ලියන ස්ටයිල් ඒකට කැමති ගොඩක් දෙනෙක් ඉන්නවා කියල දැනගත්තා කොහොමත් ස්ටයිල් එක වෙනස් වෙන්නෙ නෑ ප්‍රියා

      Delete
  13. //මේ නාකි ටික මොන මගුලකට පරණ ගම්මැදි හෑලි ලිය ලියා දානවද කියලත් හිතනවා ඇතිනෙ// මෙසේ ලිවීමට පෙර ඔබගේ පරණ කොමෙන්ට් බලා සිටියා නම් තමයි හොද ... මං බ්ලොග් කියවන්න පටන් ගත්දා ඉදන් ඔබගේ බ්ලොග් එකත් කියෝනවා...ඔයාගේ අත්දැකීම් වටිනා නිසා, ඔහොම කතා කියන්න එපා ,,

    ReplyDelete
    Replies
    1. මගේ අත්දැකීම් ගැන උනන්දු වෙන එක අහන්නත් සන්තෝෂයි ඔමා,මීට පස්සෙ ඔහොම දේ නොකිය ඉන්නං

      Delete
  14. ඔය වයසට හිරිමල් තරුණයො කරන වැඩ කරන්න බෑනෙ බං. ඔන්න ඔය ලියන විදියට දිගටම ලියාපං උන්ගෙ ලණුකාල අර මැරතන් දුවපු අවුරුදු 72 සීයට වෙච්චදේ කරගන්නෙ නැතුව :D

    Love your style dude. Don't change it!

    ReplyDelete
    Replies
    1. ඔව් බං එහෙමවත් කරමු,අර සීයට වෙච්ච දේත් කිව්වනං තාම වටින්නෙ

      Delete
  15. ෆුට් බෝල්, නෙට් බෝල් කතා කිව්වහම මතක් වුනේම 'ද ඩික්ටේටර්' ෆිල්ම් එකේ ඇලඩින්වමයි.

    හැලපෙගේ කතා ලියල ඉට්ටයිල් එක මටනම් හොදටම හොදා. වෙනස් කරන්න එපා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පෙට්‍රියට්,ඉට්ටයිල් එක එලෙසම තියේවි

      Delete
  16. ඔන්න අප්පච්චිලා කියන කතාවක් මතක් උණා. ඔය කියන ජනාධිපතිතුමා එයාගේ දෙමව්පියන්ට ගම් හැදුවලු 'මවගම' සහ 'පියගම' කියලා. ඒ එක්කම නෝනට හැදුවලු එකක් 'නාඩගම' කියලා. :D

    මම කීව එකක් නම් නෙමෙයි ඕං...:D:D

    ReplyDelete
    Replies
    1. ඔය ගම් වලට නම් එවන්න කියලා කොම්පටිෂන් එකක් තිබුනා... ආවලු පට්ට නම්.. හැලපයා නම් දන්නවා ඇති ඒවා..

      Delete
    2. ඇයි පොඩ්ඩි අර සින්දුව..

      හේමා ආර්යාව - මට මුළු ලොවම ඔබයි
      ශ්‍රීමතා - ඉදහිට මමද ඔබයි

      Delete
    3. ඕවට කෝටු කැලි ගහලා හරියන්නේ නැ අර එඩ්වඩ් ජයෝකොදී ලඟට ගිහින් යටලීයෙන් ගහගනින්

      Delete
    4. ඔය වගේ රස කතා ඒ දවස්වල හරියට කියවුණා පොඩ්ඩියෙ,අර මාතලන් කියනවා වගේ ගම්වලට දාන්න නං ලැබුන ඉතිං නං කියන්න බැරි,කිව්වහම මොකද අපිත් විහිළු නං හැදුවා

      Delete
  17. පරණ කතා දැන ගන්නත් අකමැත්තක් නෑ අපේ. අපි ඒ කාලෙ ගැන වැඩිය දන්නෙ නෑ නෙ.

    ReplyDelete
    Replies
    1. පරණ කතා ගැන උනන්දුවෙන දිලිනිල මගේ බ්ලොගයට එන ඒකට මම බොහොම සන්තෝෂයි.

      Delete
  18. මේ ස්ටයිල් එක පට්ට. මම හිතන්නේ නෑ කකාවත් හැලප ස්ටයිල් එක මාරු කරනවට කැමති වෙයි කියල.
    මට මැවිලා පෙනුන ප්‍රේමදාස මහත්තය මැරඩෝන වගේ කිසි බාදාවක් නැතුව බොලේ අරගෙන යනවා. හැබැයි එච්චර චාන්ස් දීලත් එක ගෝල් එකක් නම් හොඳටම මදි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි උකුස්සෝ,
      මනුස්සය තව ගෝල ගහනව බං කරුමෙට අර කකුලේ අමාරුව නොහැදුනා නං, මොනව කරන්නද

      Delete
  19. හැලප තුමනි ලියන විදියට ලියන්න. කාටවත් අපහාස කරනව නෙවෙයි මට නම් ඇත්තටම කතන්දර තුමාගේ බ්ලොග් එකේ ඇවරේජ් ලිපියක එහෙමට කියවන්න දෙයක් පේන්නෙ නෑ. එක හේතුවක් වෙන්නත් ඇති ඔය වවාගෙන කන්න යන එක. මට නම් පුද්ගලිකව හිතෙන්නෙ ඒක ලියන ලිපියට අවංක නොවී පාඨක මෙව්ව එක (reader loyalty) මෙව්ව (exploit) කිරීමක් කියලා.

    හේමා මැතිණිය පෙම්දස් තුමත් එක්ක නොරොක් වුනු කාලත් තිබුන නේද. අපාගත වෙන කාලෙ වෙන කොටත් එතුමා නිදා ගත්තෙ සුචරිතේ කියලයි රට්ටු කිව්වෙ. මැතිණිට හම්බ වෙන ප්‍රෙස් කවරේජ් එකත් ඔය අනුව අඩු වැඩි උනා. ඒ කාලෙ ඇත්ත පත්තරේ යූනුස් ගෙ කාටුන් එකක් තිබ්බා මනුස්සයෙක් TV බලනවා, බිරිඳ ලඟ ඉන්නවා, "හැබෑට එයා නෑ තමයි" කියලා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අගුණ,මම උත්සාහ කරන්න මගේ පාඨකයන්ට වැඩිපුර කියවන්න යමක් ලියන්නයි.

      Delete
  20. ආර්යාවගෙන් බෝලෙ ගන්න තහනම්.
    ආර්යාවට හරස් කපන්න තහනම්.
    ආර්යාවගෙ ඇඟේ හැපෙන්න තහනම්.
    ආර්යාවගෙ ඉස්සරහට පනින්න තහනම්

    මේක නිකම්...මෙව්ව එකක් වගේනෙ හැලපෙ අයියෙ...හික්...එළකිරි මම නිතරම කියවන බ්ලොගක් උඹේ එක....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ජෙමෝ උඹ අපේ ගං පලාතෙ එකා නොවැ නිතරම එන්න බැරුවයැ

      Delete
  21. හැලපේ,

    මේ මං උඹට දාන පළමුවෙනි කමෙන්ට් එක.. ඉස්සරහට තව කමෙන්ට්ස් දායිද නැද්ද කියන්ට බෑ.. මගේ තියෙන ආඩම්බරකමකටවත්, ඔළුව ඉදිමිච්චකමකටවත් නෙවෙයි බං, ඇත්තටම බ්ලොග්වලට කමෙන්ට්ස් කරන්ට වෙලාවක් නෑ සමහරවිට.. අර පරණ පුරුද්දට ඉස්සර ඉඳන් කියවන තැන් දෙක-තුනක කමෙන්ට් එකක් දානවා ඇරුනහම.. ඒත් උඹේ බ්ලොග් එක බුක් මාක් කරගෙන නොවරදවාම රීඩර් එකෙන් කියවනවා.. අනිත් හැමෝම කියනවා වගේ මටත් කියන්ට තියෙන්නෙ උඹේ ශෛලිය වෙනස් කරන්ට එපා කියලා තමා.. මේ තරං පාඨකයො ගොඩක් උඹේ පිටිපස්සෙන් ඉන්නෙ උඹ ලියන කතාවලටයි උඹ ලියන ශෛලියටයි කැමැති නිසයි.. ඒ නිසා ඒක වෙනස් කරන්ට යන්ට එපා.. පෝස්ට් එකක් කොච්චර දිග වුනත් ඒක රහ නම් පාඨකයො කියවනවා.. කියවන්ට කැමැති නිසානෙ කට්ටිය බ්ලොග්වලට එන්නෙ.. :)

    ReplyDelete
    Replies
    1. පළමුවෙන්ම බුරාව ආදරයෙන් පිලිගන්නවා,ඔබ වැන්නෙකුගේ පැමිණීම මගේ බ්ලොගයට ආඩම්බරයක්,
      ලියන විදිය වෙනස් නොවී තියේවි.බලල අකුරු දෙකක් කොටලා යනවනං ඒකම ලොකු හයියක්.ස්තූතියි

      Delete
  22. පරණ කතා ලියන එක නවත්තන්නයි. පොස්ට් කෙටියෙන් ලියන්නයි හදන්න නම් එපා..

    අපි ඒවා කියවන්නෙ හුඟක් ආසාවෙන්...

    ReplyDelete
    Replies
    1. අපෝ නෑ තුශානි පරණ කතා නවත්තන්නෙවත් කෙටියෙන් ලියන්නේවත් නෑ කියවන්න ආසා ඔයා වැනි දරුවන් බ්ලොගයට ඒමත් මට හරිම සතුටක්.

      Delete
  23. හැලප අංකල්,
    මම පරක්කු වෙලා ඉපදුනු එකෙක්. අගක් මුලක් නැති සින්තටික් පරම්පරාවෙ එකෙක්. ඔයාල කියන කතන්දර නිසයි අපි ගොඩක් දේවල් දැන'කියා ගන්නෙ. අපි කිව්වෙ, මම වගේ අපිට ගොඩක් දේවල් මිස් වෙලා කියලා තේරෙන එවුං.
    අලුත් කොල්ලො පරණ කතා කියවන් නෑ කියලා අවුල් වෙන්න එපෝ... කියවන් නැති උං ඇති, but අපි නං හැමදාම බලනවා.
    අපිට අංකල්ගෙ ලිපි කියෙව්වට දාන්න comments නැත්තෙ අපේ ජීවිත ඔයාලට සාපේක්ෂව ගොඩාක් හිස් නිසයි.
    පුද්ගලිකව මට නං, මං කරන මගෙ වැඩ වලට ලොකු එලියක්, දැනුමක් ඔයාල වගේ වැඩිහිටි අය ලියන ලිපි වලින් ලැබෙනවා. ප්‍රොෆා'ලගෙ ලොකු ලොකු සාහිත්‍ය ටෝක් වලින් කෘතිම සාහිත්‍යමය ලෝකයක් ඇතුලෙ අතරමං වෙනවට වඩා අංකල්ලගෙ ලිපි හරි රහයි. සංවේදී කෙනෙකුට මේ ලිපි වල කියවෙන ජීවිත ඇතුලට කිඳාබහින්න පුලුවං. මට නං වැදගත්ම දේ ඒක...

    ReplyDelete
    Replies
    1. හැලප මාමේ තිලින කියනවා වගේ දාන්න තරම් කොමන්ටු නැත්තේ මාමාගේ ජිවිතේට සාපේක්ෂව අපේ ජිවිත හිස් නිසයි. කියවන්න එන්නේ නැති අය ගැන හිතන්න එපා ඔයා දිගටම ලියන්න.කොච්චර දිග උනත් හැම්දාම එන කට්ටිය ඇවිත් ඉදි..........

      Delete
    2. ඔව් මාත් තිළිණයා එක්ක එකගයි ඉදගෙන

      Delete
    3. තිලිණ,හදවතෙන්ම එන අදහස් දැක්වීමට මා ඉතා සංවේදී වුණා,ඇත්තටම ඔබ වැනි දරුවන් මගේ ලිවීම මෙතරම ප්‍රියකරන බව දන්නව නං මම මේ යෝජනාව කරන්නේවත් නෑ,ඇත්තටම ඔබ ඉතාම කලාකාමී හදවතක් ඇති දරුවෙක් බව කමෙන්ට් එකෙන්ම පෙනෙනවා .
      ඔබ වැනි බොහෝ දෙනෙකුගේ ඉල්ලීම අනුව බ්ලොගය පරණ පුරුදු ආකාරයටම ලියැවේවි.හොඳින් ඉගෙනගෙන මෘදු හදවතක් ඇති උතුම් පුද්ගලයෙක් වෙන්න.

      Delete
    4. @ශානු,අපූර්,
      ඔබටත් කියන්න තියෙන්නෙ තිලිණට කියාපු දේමයි,මගේ බ්ලොගය ගැන මෙතරම් උනන්දුවක් දැක්වීම ගැන මගේ හද පත්ලෙන්ම නැගෙන ස්තූතිය පිළිගන්න

      Delete
    5. තිලිණ,
      සින්තටික් පරම්පරාවත් "හිස්" නොවන බවට ඔබගේ කමෙන්ට් එකෙන්ම පෙනෙනවා. පෝස්ට් එක වගේම ඔබගේ කමෙන්ටුවත් හිතන්න දෙයක් ඉතුරු කලා.

      Delete
    6. තිලිණ,
      සින්තටික් පරම්පරාවත් "හිස්" නොවන බවට ඔබගේ කමෙන්ට් එකෙන්ම පෙනෙනවා. පෝස්ට් එක වගේම ඔබගේ කමෙන්ටුවත් හිතන්න දෙයක් ඉතුරු කලා.

      Delete
  24. දැන් පේනවා නේද හැලපේ.. ඔයා එක කතාවක් ඇතුලේ කතා කීයක් ලිවුවත් ගොඩ දෙනෙක් කැමතියි කියලා... ඉතිං ඔයාගේ අනන්‍යතාවය තියාගෙන ඒ විදියටම ලියන්න... :)

    මේ උඩ තියෙන විදියට ඕන කෙනෙක් සෙල්ලම් කරයි නේද..??

    //වෙද මහත්තයගෙ තෙල් බේත් පත්තු වලින් සති දෙකක් යද්දී ප්‍රේමදාස මහත්තයගෙ කකුල එතනම සනීප උනා...//
    මාරයි නේද කකුල තිබුණ තැනම සනීප වෙලා.. :)
    දන්නේ නැති විස්තර ටිකක් දැන ගත්තා මේ පෝස්ට් එකෙන්..

    ReplyDelete
    Replies
    1. ඔව් සඳා මේ අනන්‍යතාව තමයි ප්‍රශ්නේ වුණේ,
      ඔව් ඔව් ප්‍රේමදාස මහත්තයාගේ කකුල සනීප වුණේ එතනමයි,වෙන කොහෙවත් ගියෙ නෑ

      Delete
  25. sinhla kotanna ba halapyiyae.mae liyana vidiya hodayi.eka waenas karanna onae naha.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනෝජ්,වෙනස් කරන්නෙ නැහැ

      Delete
  26. උදේ බලන් කියල ඕපන් කලත් බලන් උනේ නැහැ මේක උඩින් පල්ලෙන් ගහල යන්න පුළුවන් පොස්ටුවක් නෙවෙයි නේ. බොහොම රසවත් මම නම් ලොකු ආසාවකින් තමයි මේ ඉස්සර කාලේ රසකතා අහන්නේ පොස්ට් කොට කරන්න ඉන්න එකට මාගේ බලවත් විරෝධය

    ReplyDelete
    Replies
    1. නෑ නෑ කෝරළේ මහත්තය මල්ලියෙ,පෝස්ට් කොට නොවී දිගටම දිගටම තියේවි.

      Delete
  27. මම කියන්න හිටපු එක ඉවාන් කියල.හැලපයියෙ උබ හැලපෙම වෙලා ඉදපන්.

    ReplyDelete
    Replies
    1. හැලපය හැලපයම තමයි දමිත් ඉදිරියටත්

      Delete
  28. හැලප මහත්තයත් ලංකාවේ රේටින් සිස්ටම් වල සිද්ධාන්තය අනුගමනය කරනවද... :)-
    කවුරුවත් කැමති නැති දෙයක් කැමතිද කියලා අහන එක...
    මම නම් කියන්නේ මේ විදියටම ලියන්න කියලා... ගොඩ දෙනෙක් කැමතියි මේ ලියන විදියට...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නාලි,මම නං නිකං ඔයගොල්ලන්ගෙ අදහස් ඇහුව විතරයි.

      Delete
  29. හැලපේ..හැලපේ...හැලපේ...හල්වා වගේ පෝස්ට් එකක්! කාලා ඉවරවෙන කම් දන්නේ නැහැ කොච්චර කෑවද කියලා. උඹේ උඩම ඡේදය කියවන කොට මාත් ටිකක් ගල් උනා. මගේ පෝස්ටුත් මාගල් නිසා. මගේ කතාව ඒ දිගට ලිව්වේ නැත්නම් ඉතුරු ටික අහගන්න වලදාපු කනත්තට එන්න වෙනවා. කමෙන්ට් එක දිගයි. සමාවෙයං. මුළු පෝස්ට් එකෙන්ම හේමාවෝ කියන චරිතය ගැන විතරක් යමක් කියන්නම්.

    මම ඔබරෝයි ඉන්න කාලේ තමයි ලොක්කි පීක් එකේ හිටියේ..ඇලෝසියස් පුත්තු වෙච්ච කීර්ති, සුදත්ල තමයි පරිවාර සේනාව හැන්ඩ්ල් කරේ. ඒවා පසුවට. ඔබරොයි ඉන්න කාලේ නිව්සිලන්ඩ් ටීම් එක ආවා. හිටියේ අපේ හෝටලයේ. ඒ කාලේ තමයි රිචඩ් හැඩ්ලී ෆෝබියා එක තිබුනේ. අර්ජුන ෆේල් වුනේ...ඒවා උඹ ලියපං. මැඩම්ට ඕන උනා හැඩ්ලි එක්ක ටෙනිස් ගහන්න. කැමරොන්ගේ ගෑණී සංගාට කිව්වොත් ගහමු ටෙනිස් කියලා..ඒ වගේ..මචෝ ඔබරෝයි ටෙනිස් කෝට් එක , හවුස් ගෙස්ට්ලාටත් එන්න බැරිවෙන්න වැහුවා. ඒක හෝටල් ට්‍රැඩිශන් එකට විරුද්ධයි. කෝට්ස් හතර පහම වැහුවා. නෝනයි හැඩ්ලියි ටෙනිස් ගැහුවා. (ලොක්කා ඒ කාලේ හෑන්ඩ් බෝල් ගහනවා වෙන්න ඇති ).හැඩ්ලිට ගහන්න ඕන තරම් පිංපොං බෝල ඔබරෝයි එකේ ලොබියට ස්වේච්ඡාවෙන් ආවා. ඒවත් පස්සට.

    ඊට පස්සේ මේ *ත්තමාවියට හෝටලේ පූල් එකේ වෝටර්පෝලෝ ගහන්න ඕනවුනා. අර හෝටල් රෙගුලාසිවලට පිටින් පූල් එක වැහුවා. ගොබ්බ බිකිනියට (සාය වගේ එක )යටිනුත් මකේ පුස් පේනවා. අප්‍රසන්නයි..ඒවා දැකපු එවුන්ගෙන් එකෙක් මම.

    නෙට්බෝල් තමයි අනිත් කෙලිය...ඔය රෝසිත් එක්කෙනෙක්..එයා බැඳලා හිටියේ මගේ බොසා අතුල සේනානායක. මගේ යාළුවෙක්ගේ නංගි කෙනෙකුත් හිටියා එලිෆන්ට් හවුස් වැඩ කරපු ඔය ජිල්පුක් ටීම් එකේ.ප්‍රැක්ටිස් කලේ ජෝන් ඩි සිල්වා එකට එහා පැත්තේ නොමෑඩ්ස් ග්‍රෞන්ඩ් එකේ. අර දයා සහබන්ධු ගැහුවේ. ඒවත් පස්සට.

    මචං...මම අරලියගහ මන්දිරයට ගියා මුන්ගේ ෆන්ක්ශන් එකකට. ඒකේ කෙටරින් ලොක්කා හිටියේ බොබි ඇඩම්ස් කියලා ලංකාවේ බුවෙක්. මම ඉතින් ඕක ඇතුලේ කරක් ගැහුවා. ඒවත් පස්සට.

    ඒකාලේ යාල ඇතුලේ හෝටලයක මැනේජර් වෙලා හිටියේ අරකිගේ අයියා. යාල පාක් එකට ඒකාලේ ටෙලිෆෝන් සිග්නල් නැහැ. කෝල්ස් එන්නේ හෝටලයට. ඔය නිසා අරකීලාට සහ අපේ දුවටත් මන්දිරයේ ඩිනර් එකක් ලැබුනා..ඒකත් පස්සට....ඔක්කොම පස්සට පස්සට දාලා.....මම පස්සට ඇර ගන්නද කොහෙද හදන්නේ...

    ඉතින් මචෝ අවසාන වශයෙන්....ප්‍රේමදාස ජනාධිපති තුමා එයාගේ පළවෙනි විදේශ සංචාරය ඉංදියාවට ගිය වෙලාවේ , එහේ හිටිය අරකිගේ තාත්තා තමයි තානාපති පරිවාර වැඩ බොහොමයක් කරලා තියෙන්නේ... ඒකත් පස්සට...මචෝ කකාගේ පෝස්ට් එකකට වඩා දිගයි මගේ කමෙන්ට් එක....සමාවෙයං!

    උඹ දෙසතිය කලා බව දැණගැනීම සතුටුයි. වින්සන් කුරුඹාපිටිය (නම පොඩ්ඩක් අමතකයි ඒ හොඳ මිනිසාගේ )දෙසතියද? කල්පනාද?

    යාර පෝස්ට් දාපුවාම බඹ කමෙන්ට්ස් තමයි ලැබෙන්නේ:DD

    ReplyDelete
    Replies
    1. යකෝ මෙතනම පෝස්ට් හත අටක්

      Delete
    2. දැන් ඔය හත අට දිග ඇරලා ලියන්නේ

      අරූද

      හැලපද

      Delete
    3. අටමෝ.................හැලප.

      Delete
    4. අරූ කතා ටික මතක් කලාට තැන්කියු මචං,ලියනවනං අර අටම කිව්ව වගේ මෙතනම පෝස්ට් හත අටක්.උඹගෙ ජීවිත කතාවෙ රස්සාවල් කරන හරියට එනකොට මේ ටික රහට ලියන්න පුළුවන් වෙයි.

      Delete
    5. අරූ මට මුලින් කියන්න අමතක වුනා දෙසතියෙ සහකාර සංස්කාරක වුණේ වින්සන්ට් පෙරියප්පෙරුම මහතා

      Delete
  30. සිරාවටම දැනුත් ඒ කාලේ වගේ තිබ්බානම් සුපිරියි නෙහ්... ^_^

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඒකනේ රජෝ දැන් තියෙන්නෙ ඒ දේවල්ම වෙනස් ක්‍රමයකට වෙනස් නමකින්.
      පැමිණීමට ස්තූතියි.

      Delete
  31. වෙලාවට අපි ඒකාලේ පුට් බෝල් ගැහුවේ නැත්තේ...

    ReplyDelete
    Replies
    1. බොලා හිටියෙත් නෑ ඒ කාලෙ මම හිතන හැටියට,හිටියත් චූ කොල්ලො.

      Delete
  32. ලොක්කා මේ පිස්සු නම් කෙලින්න එපා. බ්ලොග් වල දැනට තියන දිග හොදයි. ඕනේ නම් තව වැඩි කරන්න.
    දිග වැඩියි කියල කියන එවුන්ට නිවාඩුවක් දාලා දවස් තුන හතරකට කඩලා කියවන්න කියන්න.

    ReplyDelete
    Replies
    1. හරි හරි බොරුවල අදහස් දැක්වීමට ස්තූතියි,බ්ලොගයේ කිසිම වෙනසක් සිදු නොවන බව ඔබටම වැටහේවි.

      Delete
  33. budu aiye liyana widihanam wenas koranna epa.rase thiyenne me widihema thamaa

    ReplyDelete
    Replies
    1. නෑ බුදු මල්ලියේ ලියන විදිය වෙනස් වෙන්නෙ නෑ ඔබ සැමගේ රස වින්දනය වෙනුවෙන්.

      Delete
  34. ප්‍රේමදාස මහත්තයගෙ බල පරාක්‍රමේ නිසා ඔය ස්ටේෂන් එක දවසට දෙකට හැදෙන්න ඇති. එයැයි හිටියනං මේ වෙනකොට රත්නපුරේටත් කෝච්චිය එන්න තිබුණ.

    මේ හැලපෙ අංකල් මේක ලියන ක්‍රමේ වෙනස් කරන්න ගිහිල්ල මාව නරක මිනිහ කරගන්න එපා හරිය. ‍ඔන්න හොඳිංම කිවුව. :D

    ReplyDelete
    Replies
    1. යකෝ ප්‍රසන්නයට තද වුනු හැටි,ඔව් බං ප්‍රේමදාස මහත්තය හිටියනං බොලාට රත්නපුරේට කෝච්චි පාර දාල දෙන එක දෙනවා මයි.

      Delete
  35. //....කොටින්ම කිව්වොත් එතුමගෙ ඉහට උඩින් කපුටෙක්වත් පියාඹන්නේ නෑ බැරිවෙලා හරි පියාඹුවොත් එහෙම ඒ සැනින්ම වෙඩි තියල කපුටව බිම දාන්න තරං සුවච සහචරයන් රැසක් එතුමා වටේ සැදී පැහැදී හිටියා...//

    දැනුත් එහෙම තමා..නම විතරයි වෙනස්!

    ReplyDelete
    Replies
    1. දැනුත් එහෙම තමා යකෝ දැනුත් එහෙම තමා දැන් ඊටත් වැඩියි කියන්න

      Delete
  36. පරණ කතා අළුත් අයට ගොඩක් වටිනව. අනිත් අය කියන නිසා තමන්ට තමන්ව නැති කර ගන්න එපා මාමෙ.
    මොනව වුනත් ප්‍රේමදාස මහත්තයල දැං කට්ටිය වගේ පරම්පරාව වෙනුවෙන් මහ ලොකුවට කර ගත්තෙ නෑනෙ. එහෙම කරා නං ආර්යාවට ආයෙ සාමාන්‍ය කාන්තාවක් වගේ වෙන්න වෙන්නෙත් නෑ. ඒකට දැං කට්ටිය හම්බ කරන්නෙ පරම්පරා 7-8කට නෙමේ 20කට 30කටනෙ..

    ReplyDelete
    Replies
    1. මගෙ අම්මේ සිඟිතිත් දන්න දේවල්,ඔයාව මගේ බ්ලොගයට ආදරයෙන් පිලිගන්නවා,
      තමන්ට තමන්ව නැතිවෙන එකක් නෑ සිඟිති මම පරණ කතා ලියන එක නවත්තන්නෙ නෑනෙ.

      Delete
  37. මම සූටි එකා කාලෙ ගම්පහ තිබ්බ පාර්ලිමේන්තු තෙවර්ෂ පූර්ණ උත්සවයකදි එතුමා ලගටම ගිහිල්ලා ගායනාවක් ඉදිරිපත් කොරපු අපේ පාසලේ කණ්ඩායමේ සාමාජිකයෙක් වෙන්ට මට හැකි වුනා...අපේ ගීතය අහලා එතුමා බොහොම හොදා කියලා කිව්වා...මට තාම මතකයි...මූණ නම් සත 5 වගේමයි.

    ඔය ආර්යාව ටෙනිස් ගහනවා ෆොටෝ ගහලා ඒ හාදයට ජීවිතයත් නැති වුනා කියලත් කථාවක් මම අහලා තියෙනවා...පස්සෙ කාලෙක රූපවාහිනියට ගියාම ඒකෙ හිටිය බොහොම පැරණි කළමනාකරුවෙක් කිව්වෙ මගේ ජීවිත කාලෙටම මේ ආයතනයට ඒ තරම් බලපෑම් කරපු රාජ්‍ය නායකයකු හිටියෙ නෑ කියලා...

    ReplyDelete
    Replies
    1. ඔව් සිරා තිසරල අරූල උඩ කියල තියෙන්නෙ ඒ කතාව තමයි
      රූපවාහිනියට කරපු බලපෑම් ගැන නං කියන්න දේවල් බොහෝයි.

      Delete
  38. ඔබතුමාගේ ලිවීමේ ශෛලිය අපට ගොඩක් වටිනවා, කරුණාකර එම ශෛලිය දිගටම පවත්වගෙන යන්න.

    ReplyDelete
    Replies
    1. පැමිණීමට ස්තූතියි,ඔබව මගේ බ්ලොගයට ආදරයෙන් පිලිගන්නවා,ලිවීමේ ක්‍රමය ඒ විදියටම තියේවි.

      Delete
  39. හැලප්ස් ,

    උඹ දෙසතියෙ හිටියෙ ඩී.බී. වර්ණසිරි හිටපු කාලෙද?

    ReplyDelete
    Replies
    1. නැහැ රවී,මම ඉන්න කාලෙ දෙසතිය සංස්කාරක වෙලා හිටියෙ ගාමිණී විජේතුංගයන්.

      Delete
  40. ඊයේ රෑ තමයි දවස් 2 කට පස්සේ බොග පැත්තේ ආවේ.පසුව කියවනවා.

    ReplyDelete
    Replies
    1. ඔබ මුල සිට ආ ලෙසට ලියාගෙන යන්න හැලප.
      කකා නරකට යමක් කියන කෙනෙක් නෙමෙයි නේ.
      ඔහු කියන්න ඇත්තේ එක දිගට ඔබ ලියන සුපිරි විදිය ගැන උසස් අන්දමින් හිතල වෙන්න ඇති.
      උඹ දැන් කලකිරීමකින් කතා කරනවා වැඩියි.ඉස්සෙල්ල ලිපියෙනුත් මම දැක්ක.ඔහොම වෙලා බැහැ මචං.
      හැමෝටම ඕන විදියට අපිට යමක් දෙන්න බැහැ.
      ඔබ සමග අපි ඉන්නවා.

      Delete
    2. වචන ටිකට ගොඩක් ස්තූතියි කෙන්ජි,කොහොමත් මම දිගටම ලියන්න බලන්නං

      Delete
  41. හැලප අයියේ මේ අපි දන්න ඒ කාලේ සිදුවෙච්ච බොහොර රසවත් දේවල් ටිකක් නේ. ඔය සිංදු කිව්වේ චන්ද්‍රිකා සිරිවර්ධණ කියලත් රාවයක් තිබුණා නේද ඒ කාලෙම. මුන්නැහේ ගැන කියනවනං කතා තොගයක්ම තියේ. ආර්යාව ඒ දවස්වල හිටියේ මොන තරම් ඉහළින්ද? ඒත් ප්‍රේමදාස මහත්තයාගේ මරණෙන් පස්සේ චන්දෙට නාම යෝජනා එයාට නොලැබුණු දවසේ කොළඹ මහ දිසාපත්ගේ අත් දෙකේ එල්ලියා අඩපු හැටි දකිනකොට මට හිතුනේ සංසාරේ හැටි තමා කියන එක. වැන්දඹු ආර්යාව නාමයෝජනා නැතිව අඩපු වෙලේ මං ගත්තු පිංතුරය ඉරිදා ලංකාදිපයේ මුල් පිටුවේම ගියාම රටේම අවධානය අරගත්තා. රජකම් කළත් කළ කම් පළ දෙනවා

    ReplyDelete
    Replies
    1. චන්ද්‍රිකා සිරිවර්ධන එතකොටත් ජනප්‍රිය ගායිකාවක් නලින්,මේ ගීත කිව්වෙ ආර්යාවම තමයි මට කටහඬ හොයන්න පුලුවන්නෙ.

      Delete
  42. කොට කරන්නනම් එපා .... ඔන්න නොකිව්වයි කියන්න එපා..... ඇයි දන්නවද ගම්උදාවෙන් මිනිස්සුන්ට වෙන සේවය ගැන පැහැදුණු දෙවියෙක් ලොක්කට දුන්නලු වරයක්.... රටේ ජනාදිපති වෙච්චි කොට හැම දෙයක්ම තියෙන මේ උතුමා කිව්වලු මිනිස්සු වැඩියෙන්ම දකින තැනක එයාගේ රූපේ කොටන්න කියලා ...... ගෙදර නිදියන්න ගිය වෙලාවක තමයිලු රූපේ කොටලා තියෙන තැන දැක්කේ

    ReplyDelete
    Replies
    1. නෑ නෑ කොට කරන්නෙ නෑ රාළේ,අර පින්තූරෙ කොටපු තැන දැක්කෙත් අහම්බෙන්ලු නේද බං.

      Delete
  43. හැලපේ රස ටිකක් පරණ උනාමනෙ. ඒ වගේ තමයි පරණ කතාත්..

    වරායෙත් ඔය වගෙ ඕ ටී වලවල් බොහොමයි..ටග් බෝට්‍ටු අවුරුදු ගනන් කොට උඩ ඉන්නවා ඕටී වලට.. අන්තිමට ගිය ඕ ටී වලින් අළුත් එකක් ගන්න පුළුවන්..

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව්,සරත්ටත් වරායේ ඕ ටී වලවල් මතක් වුනා නේද.මටත් මතකයි ඔය සෙල්ලම වරායේ ඉද්දි.

      Delete
  44. හදල ඉවර කරල කෙහොමද? ඒ බෝට්ටු හදන්න උගන්වන තැනක් වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. උගන්නන තැනක් නං වහල කොහොමද,මේ ඔබේ ප්‍රථම පැමිණීම නොවේද මගේ බ්ලොගයට ආදරයෙන් පිලිගන්නවා,නිතරම එන්න.

      Delete
  45. /* තවත් දෙයක් මම කල්පනා කළා ඒක මේ කකාගෙ අදහසක්...කකා කියනව මගෙ එක පෝස්ටුවක් කකාගෙ පෝස්ට් හතරක් විතර දිගලු, බලාගෙන ගියාම ඒකත් ඇත්ත,ඒ නිසා පෝස්ට්වල දිග අඩුකරන්නත් අදහසක් තියනව හැබැයි ඔයගොල්ලන්ගෙ ප්‍රතිචාර අනුව..*/

    හැලපේ,

    නිවාඩුවකට ගොස් සිටි නිසා, මේ ලිපිය මා කියවූයේ අදයි.

    ඔබ මෙහි වරද දෙකක් කර තිබෙනවා.

    1. මා කියූ දෙය ගැන සඳහනක් කිරීමේදී එය නිවරැදිව උපුටා නොදැක්වීම.

    2. මා කියූ දෙය ඔබේ වචනයෙන් ලියා එයට ඔබේම අදහසක් ද එකතු කොට පල කර, එය ඔබේ පාඨකයින් වරදවා වටහා ගෙන ප්‍රතිචාර දැක්වීමේදී ඒවා නිවරද නොකිරීම.

    මෙන්න මා ඔබේ 100 වෙනි කතන්දරයට දැමූ ප්‍රතිචාරය ඒ ලෙසින්ම.

    =================================
    කතන්දර කාරයා November 5, 2013 at 1:41 PM

    මගේ සුබ පැතුම්.

    ඇත්තටම හැලපේ ඔබ මගේ මිම්මෙං නං කතන්දර 4x100 ක් ලියා තියෙනවා.
    (http://helapakade.blogspot.com/2013/11/100.html?showComment=1383687673846#c72894820557576051)
    ==============================

    මා මේ ඉහත කමෙන්ටුවෙන් අදහස් කලේ ඔබ ඔය 100 අංකයට වඩා ලොකු දෙයක් කර ඇති බවයි.

    ඔබේ කතා කෙටි කරන්නට යැයි මා කියා නෑ. කිසි ලෙසක අදහස් කලේ ද නෑ.

    නමුත් හැලපේ ඔබ මගේ කමෙන්ටුව කෙලින්ම උපුටා නොදක්වා, එය ගැන සඳහනක් සහ ඔබේ අදහසක් දක්වා, ම ලියූ දෙය ගැන වැරදි විදියට උපකල්පනය කරන්නට ඔබේ පාඨකයින්ට ඉඩ දීම ගැන නම් මගේ සතුටක් නෑ!

    ඔබේ මේ කතන්දරය කියවූ අය කතාවේ අන්තර්ගතයට ගැන අදහස් දක්වනවාට වඩා කාලයක් ගත කර ඇත්තේ "කකා විසින් හැලපේට දුන් උපදෙසක්" ගැන අදහස් දැක්වීමටයි. ඒවාට නැවත පිළිතුරු ලියන්න ඔබෙත් සෑහෙන කාලයක් මිඩංගු කර තියෙනවා.

    අපරාදේ කාගෙ කාගේත් වටිනා කාලය!

    ReplyDelete
    Replies
    1. කකා,ඔබේ අදහස් දැක්වීමට පිළිතුරු මම කාරතිව්වල කරෝල වාඩිය කතාවෙන් ලබාදී තිබෙනවා,සිදුවූ ප්‍රමාද දෝෂය ගැන නැවතත් මගේ කණගාටුව පිළිගන්න.

      Delete
  46. සාමාන්‍යයෙන් මම තාත්තා එක්ක දේශපාලන වාද විවාද කරනවා, මම මධ්‍යස්ථ මතයක හිටියට තාත්තා ඉතිං බයියා, ලඟදි දවසක මම තාත්තාට ඉතිං පහුගිය ආණ්ඩු වල පැටිකිරිය එක එක නිවුස්, photo එහෙම අන්තරජාලයෙන් හොයලා ඔප්පු කරලා පෙන්නුවා, අනෙ උඹ දන්න *බ්බ, ඒ කාලෙ ප්‍රේමදාස මෙහෙමයි කියල මේ post එකේ තිබ්බ වගේ ඒවා ටිකක් කියාගෙන ගියා, තෝ ඒවත් හොයාපිය කියල බැන්නා. මම ඉතිං ඒවා හොයද්දි තමයි මේක දැක්කෙ. මං මොනවකරන්නෙයි ඉතිං ප්‍රේමදාස මහත්තය මැරෙනකොටත් මට අවුරුදු දෙකයි. යකෝ හෙන ආතල් ටිකක් දීලනෙ ඒ පවුල

    ReplyDelete

ඔබේ අදහස්