Monday, January 30, 2017

පාන් කාඩ් පාන් පෝලිම් හාල් පොලු සමග සාගත සමය සහ ඉංග්‍රීසි දෙමළ පරිවර්තකයා.


අලුත් අවුරුද්දේ අලුත් කතාවක් ලියන්නට අවුරුද්ද පටන් ගත්ත දා ඉඳන් දත මැදගෙන හිටියත් ලියාගන්නට බැරිවිය.    ඒ වෙන මොකුත් නොව නොලැබීමය, නොලැබීම කොපමණද කිව්වොත් රටේ බොහොමයක් උදවිය අලුත් අවුරුද්ද ලබද්දී  බොහොම නිස්කලංකව සතුටින් නිවාඩු ගතකරන්නට රට තුළත් පිටරටත් ගිහිං අලුත් අවුරුදු උදාව විවේක ඇතුව විඳිනවිට සතුටින් කාලය ගතකරනවිට මෙහේ ඉන්න අපි අලුත් අවුරුදු උදාවට සතියක් තියා පටන්ගත් දුෂ්කර ක්‍රියා තවමත් ඉවරකරගැනීමට බැරිව ඉන්නෙමු.   පහුගිය කාලය තුළ හරියට එළිවෙනතුරු නිදාගත් දවසක් මතක නැත.   මහ රෑ දෙමන්දම යක්කු ගස් යන යාමයේ ගෙදර විත් නැවතත් බිමට එළිය වැටෙන්නට පෙර ගෙදරින් පිටත්වී ආයෙම එන්නේ මහ රාත්තිරියේය.    බොහෝවිට කෑම බීම ගැන ඇති ආසාව අත්හරිමිනි.    අපට ලැබුවාවූ සුබ අලුත් අවුරුද්ද අන්න ඒ ආකාරයය.  අලුත් අවුරුද්ද අපේ සමහරක් උදවිය ලියන්නේ අළුත් අවුරුද්ද කියාය, පහුගියදා අපෙන්  සමුගෙන ගිය හිතවත් ඩී.එෆ්.කාරියකරවනයන් හිටියානම් නිසැකවම අහන්නේ අවුරුද්දට අළු මොනවාටද කියාය.

කොහොමටත් මේ මාසයට එක සටහනක්වත් ලියන්නට උත්තේජනය ලැබුණේ රසික ලියු මේ පෝස්ටුවෙන් හා සුදීක ලියු මේ පෝස්ටුව යන පෝස්ට් දෙකෙනි.    පාන් කාඩ් අත දරාගෙන පාන් පෝලිමේ සිටි යුගය සුදීක මතක් කර තිබුණි.    එය කියවද්දී මටද මතක් වුනේ මේ කාලය අපිත් පසුකළා නොවේද කියාය.  ඒ සමගම පාන් කාඩ් පාන් පෝලිම් අතීත මතක අවදිවන්නට විය.    පාන් පෝලිම් පාන් කාඩ් දැක තිබුණත් මට අපේ ගමේදී පාන් පෝලිම්වල ඉන්නට සිදුවුණේ නැත.   ඒ කතාව මෙහෙමය.    අපේ ටවුමේ තිබිණු ගාමිණී හෝටලය සහ බේකරිය රසවත් පාන් ගැන අහල ගං පළාතේම නම් දරා තිබු තැනකි.   ගෑස් වලින් පාන් පිච්චීමක් ගැන අහලාවත් තිබුනෙ නැති ඒ කාලයේ උදේට හවසට ගාමිණි බේකරියේ දරපාන් පිච්චෙන  සුවඳට අපි වගේ කොල්ලන්ගේ මතු නොව ඒ සුවඳ විඳින කාගේත් රස නහර කිති කැවී යන්නේ නිරායාසයෙනි.   ඒ නිසාම ගාමිණියේ පාන් වලට අපේ පළාතේ අයගෙන් තිබුණු ඉල්ලුම හරිම ඉහළය.     මේ ආකාරයට පළාතටම රස පාන් දුන්න ගාමිණියට නරක කාලය ලැබුවේ හැත්තෑවේ පත්වුණු මැතිනිගේ ආණ්ඩුව ආනයන වලට තද සීමා පැනවීමත් සමගය.    ගෙදරට කෑමට තමන්ම වගාකරගන්නා සහ හාල් පොල් ඇතිවෙන්නට තිබුණු උදවියට මේ සාගතය කොහෙත්ම නොදැනුනත් තමන්ගේ කෑම බීම කඩෙන් මිළදී ගන්න අයට මේ සීමාවන් තදින්ම දැනුණු බව ඊට පසුකාලීනව ඇතිවූ සිද්ධීන් සමග හිතාගන්නට හැකිවිය.     පාන් පෝලිම් පාන් කාඩ් ආවේ මේ යුගයේදීය හාල්පොලු මිරිස් පොලු හඳුන්වා දුන්නේ මේ යුගයේදීය.

ගෙදර කන්නට හාල් පොල් තිබුණත් කඩ කෑමද  කන සිරිතක් තිබුණු අපේ ගෙදරට ඔය කියන පාන් කාඩ් තිබ්බ කාලයේ පවා සිතුසේ පාන් ගන්නට කරදරයක් නොතිබුණේ ගාමිණියේ මුදලාලි අපේ තාත්තලාගේ දීර්ඝ කාලීන යාලුවෙක් නිසාවෙනි.    මුදලාලි බෙන්තර සිට ඇවිත් අපේ ටවුමේ කඩේ පටන්ගත්ත කාලයේ පටන් ඇතිවී තිබුණු යාළුකම හේතුවෙන් මුදලාලි අපේ නැන්දාට විවාහ යෝජනාවක්ද කර තිබු බවත් මොනයම් හෝ හේතුවක් නිසාවෙන් ඒ මඟුල නොකෙරුණත් මුදලාලි සමග තිබු හිතවත්කම් ඒ විදියටම පැවතගෙන ඇවිත් තිබුණ නිසා පෝලිමේ සිට කාඩ් එකට පාන් ගත්ත කාලයේ පවා අපට ඒ සීමාවන් නොතේරුනි.    ඒ නිසා හවසට පාන් ගේන්නට ටවුමට යන මට අවශ්‍ය පාන් සීමාවකින් තොරව ගාමිනියෙන් ලබාගන්නට පුළුවන් විය.    මට පාන් පෝලිමේ ඉන්නට සිදුවුයේ අපේ ටවුමේ නොව නුවර ටවුමේය.    ඒ කතාව මෙහෙමය.  

හැත්තෑවේ ආණ්ඩු පෙරළියෙන් පසු යු.ඇන්.පී කාරයෝය කියා වරකාපොළ පොලීසියේ වැඩකරපු අපේ මාමාත් බෝතලේ ඉස්කෝලෙ උගන්නපු නැන්දාත් පැය විසිහතරෙන් මාරුකරනු ලැබිණි.    මාමාව මාරු කළේ නුවර පොලිසියටය.     නැන්දා තව කොහෙද ඈත පළාතකටය.    කෙසේ හෝ නුවර සිට යන්නට හැකි ආකාරයට නැන්දාගේ මාරුව පුජාපිටිය ඉස්කෝලයට මාරු කරගන්නට මාමාට හැකිවිය.   දඬුවමට මාරු කළත් එය ඔවුන්ගේ ජීවිතයට ආශීර්වාදයක්ම උනේ ගමේ ඉස්කෝලෙට ගිය ළමයින් නුවර ලොකු ඉස්කෝලවලට ඇතුල් කර උගන්නන්නට හැකි උන නිසාය.    පසුකාලීනව ඒ පැත්තේම මාරුවෙවී හිටපු නැන්දාත් මාමාත් ආපහු ගමට ආවේ රස්සාවෙන් පැන්ෂන් ගියාටත් පසුවය.   ඔය කාලයේ ගෙවල්වල අය නුවර නෑගම් යන්නේ ගමේ කොස් දෙල් අල බතල කුඹුරේ හාල් ආදිය පොදි බැඳගෙන නිසා ඒ අයට කෑමෙන් බීමෙන් කවදාවත් කරදරයක් නොතිබුණි.   ඕ ලෙවෙල් ඉවරකර ගෙදර හිටපු කාලයේ මමත් සෙල්ලමට වගේ මාමලාගේ ගෙදර ගියේ ඒ අයට හිටපු ක්වාටස් එකෙන් වෙනත් අලුත් එකකට මාරුවක් ලැබී තිබුණු නිසා ගෙවල් මාරුවට උදව් කරන්නටය.    හවසට පොලිසියට ඩියුටි යන මාමා මාවත් එක්කගෙන බේකරියට ගිහින් පාන් කාඩ් එක මගේ අතට දී පෝලිමේ තියන්නේ පහුවදා උදේට කන්නට පාන් ගෙනියන්නටය.    බේකරිකාරයා මාමා  පොලිසියේ නිසා මට පාන් ගෙඩි දෙකක්ම දුන් විට මම ඒවාත් අරගෙන ගෙදර යමි.    හවසට ක්වාටස් එකේ ලොකු කොල්ලන් එක්ක බෝල ගසා ඇඳිරි වැටුණු පසුව කට්ටියත් එක්ක නුවර ටවුමෙන් ප්ලේන්ටි බී සිකරැට් එකක්ද හොරෙන් ඇද හිමිහිට ගෙදරට රිංගමි.      ඒ වැඩේ වැඩිකල් කරගෙන යන්නට නොලැබුණේ නුවරට ආයුබෝවන් කියා ආපහු ඉස්කෝලෙ යන්නට ගෙදර එන්නට වූ බැවිනි.

පාන් පෝලිම්  සොමිය අපි ගත්තේ ඔන්න ඔය අකාරයටය.   පාන් පෝලිම් කෙසේ වෙතත් හාල් පොලු නිසාවෙන් ගෙවල්වල වී හාල් තිබුණු අයගෙ කරල පැහුණු බව මට මතකය.   ඒ සුළු පරිමාණ හාල් ජාවාරම හොරට කරගෙන යන අය ගෙදරටම ඇවිත් නොවටිනා මිල ගණන් කතාකර හාල් අරගෙන යන නිසාය.   එහෙම හාල් අරගෙන මොන උප්පරවැට්ටියක් හෝ දමා හාල් ටික පොල්ලෙන් පන්නාගෙන ගොස් සල්ලිකාරයන්ට ලොකු ගණන් වලට හාල් විකුණති.     ගෙවල්වල හාල් පොල් ඉවරවෙලානම් අහල පහල ගෙදරකින් හාල් සේරුවක් පොල් ගෙඩියක් ණයට ඉල්ලාගෙන එන එක ඒ කාලේ සුලබව දකින්නට තිබුණු සිරිතක් උනත් දැන් නම් ඒ සිරිත නැත්තටම නැතිවී ගොස් ඇති බව පෙනේ.   මේ ක්‍රමය ලංකාවේ පමණක් නොව ඉන්දියාවේද තිබෙන සිරිතක් බව මම අත්දැක ඇත්තෙමි.   එනම් අපි මදුරාසියේ පදිංචිවී සිටි කාලයේ අපේ ගෙදරට ඉස්සරහ ගෙදර උයන්නට හිටිය කෙල්ල ගෙදර බොම්බයි ලූණු තක්කාලි ආදිය නැති නම් අපේ ගෙදරට ඇවිත් ලූණු ගෙඩි තුන හතරක් තක්කාලි ගෙඩියක් දෙකක් ඉල්ලාගෙන යන්නට පුරුදුවී හිටපු නිසාය.    අල ලූණු තක්කාලි ආදිය කිලෝව රුපියලට දෙකට පාර අයිනේද මාරකැට්ටුවේද විකිනුනු ඒ කාලයේ ඉල්ලාගෙන ගිය දේවල් ආපහු ලැබුණාද නොලැබුනාදවත් කියා බලන්නට අවශ්‍යතාවක් නොවුනේ කෑම ජාතිද එළවළු පලාද එදා විකිණුනේ ඉතාම ලාබෙට නිසාය. 

මදුරාසියේ පාර අයිනේ එළවළු විකිණෙන හැටි කියපු විට මට තවත් කතාවක් මතක්විය.   ඒ අපි එග්මෝර්හි ගෙදරක පදිංචිවී සිටි කාලයයි.    දවසක්දා හවස මම පාගන බයිසිකලයේ නැගී මගේ  සුපුරුදු වීථි සංචාරය කරමින් සිටියෙමි.   මගේ හවස වීථි සංචාරයේ අරමුණු දෙකක් විය එකක් ව්‍යායාමයයි අනික ගෙදරට බඩු මිලදී ගෙන ඒමයි.     කොහේ රවුම ගැහුවද සංචාරය අවසන් වෙන්නේ එග්මෝර් හයි රෝඩ් එකේ මාරකැට්ටුවෙනි.   මාකට් එකේ ඉස්සරහ පඩිය උඩ තියාගෙන එළවළු පළා විකුණන වෙළෙන්දියන් එදවස මගේ හොඳම හිතවත් උදවිය වුහ.     ඒ අයට දෙමළ ඇරෙන්නට වෙන භාෂාවක් බැරි නිසා කතාකලේද බඩුවල ගණන් කීවේද දෙමළෙනි.     ඉතිං මටත් බඩු ගන්නවා නම් එයට අනුගත වනු හැරෙන්නට වෙනත් ක්‍රමයක් නොවුයෙන් මම අහුලාගත් කැඩිච්ච දෙමළෙන් උන් සමග කතාබහ කර ගනුදෙනු කළෙමි.      මම ලංකාවේ යැයි නොදන්නා ඒ අය මාව හැඳින්වුයේ මලයාලම් කාරයා වශයෙනි මා ඒ බව දැනගත්තේද අපූරු විදියකටය.     දවසක්දා එක් කාන්තාවක් ළඟ වරකා ගෙඩියක් කපා තිබුණේ විකුණන්නටය.    ඒ දුටු මම කොස් ඇට ටික මට දෙන්නටැයි කියා ගෙනියන්නට හවස එන බව කීවෙමි.    හවස කොස් ඇට ගන්නට ගිය විට වෙළෙන්දිය නොසිටි අතර එතැන වෙළඳාම කරමින් සිටියේ ඇයගේ පුතාය.     මම ගිහිං සිලි කවරයක බහා පැත්තක තබා තිබු කොස් ඇට ටික උගෙන් ඉල්ලුවෙමි.     ඌ ගත්කටටම කීවේ කොස් ඇට ටික මලයාලම් කාරයෙකුට විකුණන්නට අම්මා පොරොන්දු වී ඇති බැවින් මට කොස් ඇට දෙන්නට බැහැයි කියාය.    ඒ මලයාලම් කාරයා වෙන කවුරුවත් නොව මම්ම නොවේදැයි කී මම කොස් ඇට ටිකට මුදල් දී රැගෙන ආවෙමි.     මම කියන්නට ආපු කතාව මෙහෙමය.    සුපුරුදු පරිදි දවසක්දා හවස්වරුවේ සයිකල් සංචාරයෙන් පසු  මාකට් එකේ වෙළෙන්දියන් සමග මම ඕපාදූප කතාකරමින් සිටින විට එතැනට පැමිණියේ තවත් ඉන්දියානුවෙකි.     ඔහු උතුරු ඉන්දියානුවෙක් බව මට බැලු බැල්මට පෙනීගියේය.    ඔහුට අර්තාපල් කිලෝවක් ගන්නට උවමනාවී තිබුණු නමුත් ඔහු කතාකළ ඉංග්‍රීසිය වෙළෙන්දියන්ට තේරුණේ නැත.    උතුරු ඉන්දියානුවා හින්දිත් ඉංග්‍රීසිත් ඇරුනුවිට දෙමළ නොදනී.     වෙළෙන්දියන් මා දෙස බැලු විට ලංකාවේ මම ඉදිරිපත්වී ඉන්දියාවේ දෙන්නෙකුට පරිවර්තන කාර්යය කරදුන්නෙමි.

අපි පදිංචිවී සිටි බිල්ඩිමේ බිම් මහලේ එක ගෙදරක කමලා කන්නන් මහත්මිය සිය සැමියා සහ දුව සමග පදිංචිවී සිටියාය.     ඇය එවකට තමිල්නාඩු රජයේ ප්‍රධාන රස පරීක්ෂක වරිය වුවාය.     ප්‍රංශයේ පදිංචිව සිටින ඇගේ පුත්‍රයා ඉන්දියාවට ආවේ විවාහ වන්නටය.    ඒ මංගල්‍යයේ සිදුවූ දේවල් ගැන මා මීට කලින් පෝස්ටුවක ලියා ඇත්තෙමි.   ඇයගේ දුවත් රැකියාවක් කළාය.     ඒ බොහෝවිට වෛද්‍ය රසායනාගාර විද්‍යාඥවරියක් ලෙස විය හැකිය.    ඇය ගැනත් කියන්නට කතාවක් ඇති නමුත් ලියන්නට වෙලාව මඳකම නිසා ඒ කතාව ලිවීම පසුවට තබමි෴

100 comments:

  1. Replies
    1. මදැයි පොල්ලක් ගැන හරි ලියල ජනවාරිය ගොඩ දා ගත්ත.
      වෙලාවට අපි ඉපදිලා තියෙන්නෙ ‍පොල්ල ගැලඋනාට පස්සෙ.

      Delete
    2. මොකුත් නොලියා නම දාගෙන ගිහිං හරි පළවෙනිය උනා මදැයි. දැනුත් කරන්නෙ ඉතිං පොලු ගැලවෙන වැඩ නොවැ.

      Delete
  2. අදටත් ඔය පොලු යුගයට කැමැති අය ඉන්නවා. ජේආර් විරෝධියො.

    කොහොම හරි හැලපයියා ජනවාරි මාසෙ ගොඩ දාගත්තා එක පෝස්ට් එකක් දාලා.

    ReplyDelete
    Replies
    1. ඔව්නෙ, ජනවාරියට එකක් ලියාගන්න බැරිවේවි කියල මාර බයක් තිබුනෙ. අන්තිම මොහොතේ එකක් ලියාගත්තා මාර සැපක් දැනෙන්නෙ.

      Delete
  3. මැතිනියගේ පාන් පොලීම් කාලේ ඉපදිලා නම් නැතුවාට එයාගේ දුව චන්දිකාගේ කාලේ 3.50 ට පාන් ගන්නට ගල්කිස්සේ වසන්ත බේකරියේ පොලිමේ ඉන්නවුනා නම් මතකයි.

    ReplyDelete
    Replies
    1. හා ඔයත් වසන්ත බේකරියේ සාමජිකයෙක්ද?අපේ පොඩි කාලෙ ගල්කිස්සේ ඔය දැන් තියෙන අට අනූවක් ප්‍රේස්ට්‍රි ශොප් තිබුනේ නෑ වසන්ත එක තමයි කෝකටත් තිබුනේ.

      Delete
    2. දැන් නම් ඒක දැක්කාම තියෙන හැටි දැක්කාම දුක හිතෙනවා.

      Delete
    3. සොඳුරු සඳවතී කියලා තියෙනවා වගේ දැන් ගල්කිස්සේ නැති ප්‍රේස්ට්‍රි ශොප් එකක් නැහැ.හැබැයි ඉස්සර නම් පාන් කිව්වොත් වසන්ත බේකරියම තමයි.

      Delete
    4. ඔව් මනෝජ් ඒ කාලේ වසන්ත එකේ මාලු පාන් තමයි මගේ ෆේවරිට්

      Delete
    5. පාන් 3.50 ට දෙන එක චන්ද්‍රිකාගේ ප්‍රමුඛ මැතිවරණ පොරොන්දුවක් නේද? හැබැයි අවුරුද්දක්වත් දෙන්න බැරිව ගියා.

      Delete
    6. සොඳුරු සඳවතී සහ මනෝජ්,
      මගේ පේවරිට් මාළු පාන් ගෙඩිය තිබුණේ ඩොන් බේකරියේ, ගල්කිස්සෙ වසන්ත බේකරිය ගැන දැනීමක් තිබ්බෙ නෑ.

      Delete
    7. අපේ පැත්තේ(බෙන්තර) බේකරියක් කරපු කෙනෙක් හිටිය කොලොන්නේ කියලා. අපේ ගමේ මිනිහට කියන්නේ පොල් කොළොන්නේ. අමු ශ්‍රී ලංකා කාරයා. චන්ද්‍රිකා ආණ්ඩුව ඇවිත් අඩු කරන්නත් කලින්ම මිනිහා 3.50ට පාන් දුන්නා. අර බේකරිය කරපු ගාමිණි නානායක්කාරලා එහෙම නෙවෙයිනේ ?

      Delete
    8. සුදීක....තාත්තාගේ ගමේ හිටියා ඔය වගේම කැපුවත් නිල් පොරක්. ශ්‍රීලංකා ආණ්ඩුවක් කාලෙට, සීනි හිඟයක් එනවා කිව්වම, පොර ගෙදරට සීනි ගේන්නේ නැහැ. සීනි හිඟවෙලා ආන්ඩුව අපහසුතාවෙට පත්වෙයි කියලා. අහිංසක පිස්සෙක්. අහල පහල අයටත් සීනි අගුණයි කියලා ගේන්න එපා කියනවා.

      Delete
  4. මේ පෝස්ටුව පාන් වගේම හරි රහයි...පාන් කන්න මිසක් පාන් ගැන ඒ හැටි දෙයක් මමනන් දන්නේ නැත.

    ReplyDelete
    Replies
    1. අපිත් නං එහෙම තමා. දන්නෙ නැති උනත් දන්නව වගේ ලියනවා.

      Delete
  5. මාර වැඩේ නේ, දැන් අපි මොකද කරන්නෙ හිටං

    ReplyDelete
    Replies
    1. මොනා කරන්නද ඇනෝ,පාන් කෑල්ලක් කාගෙන ඉන්නව මිසක.

      Delete
  6. Replies
    1. මීට වඩා යමක් කියන්න තිබුනෙම නැද්ද ඈ.

      Delete
  7. කොහොමත් සිරි ලංකා කාරයන්ට රට කරන්න බෑ. අද අලි පාටියෙන් ගේන හොඳ යෝජනා සියල්ලටම අංචි අදින්නේත් ලේඩ දාන්නෙත් ඒ නිසාමය. සිරි ලංකා කාරයන්ගෙන් පවතින දෙයක් කලේ රාජපක්ෂවරු පමණමය. ඒ යුද්ධය අවසන් කිරීම හා යටි තල පහසුකම් දියුණු කිරීමය. ඒ ඇර උන්නැහේලාද ආර්ථිකය කාබාසිනියා කර දමා උන් හැදුනා මිස රටේ ආර්ථිකයට කිසිවක්ම කළේ නැත.

    ReplyDelete
    Replies
    1. හූඇම්පී කාරොයොන්ට විතරමයි රට කරන්න පුලුවන්..බලන්න ඒකෙත් හැටි නේද...?

      Delete
    2. අම්මප හැබෑව මහ බැංකුවයි ඊට්ෆ් එකයි දෙකම එක්සැරේම සුද්දකරන්න වෙන කාටවත් පුලුවන්ද?

      මාතලං වැනි මහා බුද්දිමතුන් මෙරට පහලවීම රටට ආඩම්බරයක්

      Delete
    3. අයියෝ මෝඩතලන් හරකෙක් වුන පලියට තප්පුලන්නා එපා බන් !!!!

      ඔය රනිලුත් කරන්නේ හයට හතට තිබුණු ආර්ථික වේගේ හතරට බස්සවලා !!!

      Delete
    4. බ්ලොග් ලෝකේ මහා මෝඩයා වූ මෝඩතලන්, මේ පොස්ට් එකේ මාතෘකාව "කොහොමත් සිරි ලංකා කාරයන්ට රට කරන්න බෑ" කියන එකද ? අපිට කියන්න තියෙන්නේ මාතලන්ට රනිල්ව ප්‍රොමෝට් කරනව ඇර වෙන මොකුත් හරියට කරන්න බැරි බවයි. ඒකෙනුත් ගූ නාන බවයි.

      Delete
    5. වේදනා දෙන්නේ නෑ...
      ඔබ හැර මා යන්නේ නෑ...

      Delete
    6. චෙෆාකි මහතාගේ මේ අදහස ඔහු විසින්ම පහත ස්තානයකදි කින්ඩියට ලක් කොට ඇත...

      Delete
    7. මචං විප්ලවයක්වත් කොරමුද...මේ කෙලිය මහ වාතයක් වෙලා දැන්...!!

      Delete
    8. මාතලන් නිතරම විග්‍රහ කරන ලිබරල්වාදී ආර්ථික න්‍යාය මගේද ප්‍රියතම එකක් වේ.නමුත් අපේ හෝ රටේ කරුමයට එය ප්‍රතිපලදායි ආකාරයෙන් ක්‍රියාත්මක කරන්නට ආණ්ඩුවට නොහැකිවේ. මෙවැනි රටක ඉපදී සිටීම අහවල් කරුමයක් පලදීමක්දැයි මම නිතරම සිතමි.

      Delete
  8. හයේ හතේ කාලේ පාන් කන්න හෙනම කැමතියි. දැන් නම් කිසි කික් එකක් නෑ පාන් කන්න.

    ReplyDelete
    Replies
    1. මම නං තාම දරවලින් පුච්චපු තැටි පාන් කන්න හරිම ආසයි.

      Delete
  9. පසුවට කල් දාල මිසක් මුකුත් ලියල නැහැනේ...

    ReplyDelete
    Replies
    1. ඔහොමවත් ලියාගත්ත මදැයි බං.

      Delete
  10. හැලපෙ ඇත්තද යාපන අර්ධද්වීපයේ කොස් කන්නේ පලතුරක් විදිහට පමණයි කියන්නෙ. තම්බල කන්නෙ නෑලු. තමිල්නාඩු කොහොමද?

    ReplyDelete
    Replies
    1. යාපනේ මාර්කැට්ටුවේ වරකා විකුනන්න තිබුනාට කොස් නෑ නේන්නං....යාපනේ වරකා මාර රහයි නේන්නං...!

      Delete
    2. ඒ මේ කොස් කිරන එක දෙමල සංස්කෘතියට ගැලපෙන්නැති නිසාලුනේ

      Delete
    3. ප්‍රා,
      ඔබේ කතාව ඇත්තයි. තමිල්නාඩුවේද කොස් තම්බා හෝ මැල්ලුම් හෝ කෑමක් නොමැත. ඔවුන් කොස් කන්නේ ඉදවා පළතුරක් විදියට පමණකි. වරක් මා තම්බන්නට පැසුණු කොස් ගෙඩියක් සොයාගන්නට පුරුසවල්කම් මාකට්ටුවේ කොස් කරත්ත පීරමින් සෙව්වෙමි. කොස් වෙළෙන්දන් මට කීවේ හෙට ඉදෙන ගෙඩි ඇති නිසා බය නැතිව අරගෙන යන්නටැයි කියාය. ඒ කාලයේ රස්නයට පොළොස් ගෙඩි පවා ඉදෙන බව දැනගත්තේ පසුවය.

      Delete
    4. කොස් කිරන එක පුරුස වල්කම් වලින් එකක්ද? හැක්

      Delete
    5. චෙෆාකි,
      තමිල්නාඩුවේද යාපනේ වගේමයි.

      Delete
    6. ඇණයා සහ කල්‍යාණ,
      කොස් කිරන්නට කිසිම ක්‍රමයක් නැත.

      Delete
  11. තිස්සෙම බයිසිකලයෙන් එහෙ මෙහෙ යනවා
    කොස් ඇට ගන්න මලයාලම්කරු වෙනවා
    බස් පරිවර්තනය කරමින් තුටු වෙනවා
    විස්තර එලය හැලපයියට තුති දෙනවා.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. මට කවි ලියන්න බැරි උනත් ඔබේ කවි නම් එල කියා කිව යුතුමය.

      Delete
  12. එතකොට මලයාලං කාරයා කියලත් අහගත්ත නේ. හෙහේ.
    මලයාලම් පිච්චර් නං ලස්සනයි. ඒත් ඒ බාසාව ලියන්න ගියාම නං පිස්සු කොර. ග්‍රීක් මොනවද කියල හිතෙනව.
    එහෙමෙයි කියල මං ග්‍රීක් නං ලියල නෑ ඉතිං.

    ;-)

    ReplyDelete
    Replies
    1. මලයාලම් බාසාව දැක්කමත් ඇස කොර වෙනවනෙ. හැබැයි මේ පලාතෙ මලබාරියෝ ඇති පදම් ඉන්නවා.

      Delete
  13. පාන් පෝලිම්වල ඇතිවෙනකම් හිටං ඉඳලා තියෙනවා. බේකරියක් ලඟ පාත නැත්නම් පාන් බෙදුවේ ඒ පලාතේ දේශපාලන හෙංචෙක්ගේ ගෙදර තියාගෙන. වාහන කට්ටක ඔබාගෙන පාන් ටික එතනට වඩමවන්නේ ධාතු වඩම්මනවා වගේ. පාන් **පාන් තමයි.

    ReplyDelete
    Replies
    1. තම්බල වගේ බාගෙට පිච්චුනු පාන් ඒ කාලෙ ගමේ කඩේට ගේනකොට මුදලාලිට සෙනග කොන්ට්‍රෝල් කරගන්න බෑ. ඉතිං අපි ඉදිරිපත් වෙලා පාන් ටික විකුණලා දෙනවා. මොනවද ඕන්නං විනාඩි දහයක් පහළොවක් යයි.

      Delete
  14. කොහොමද හාල් තියෙන මිනිස්සු බිස්නස් කලේ? එතකොට ඒවා වැටලුවේ නැතිද? අපි ඉපදිනකොට පරිප්පු කන්න තිබුනේ එහෙමත් කෙනෙකුටලු.
    දැන් නම් ලංකාවේ මාකට් වල කොස් ඉරිත් විකුණනවද කොහෙද?

    ReplyDelete
    Replies
    1. රංගි, හාල් තියාගන්න තහනමක් තිබුනේ නෑ..ට්‍රාන්ස්පොර්ට් කරන්නයි තහනම තිබුනෙ..හැබැයි සතියකට දවස්ගානක් වෙන් කරලා තිබුනා ආපනශාලාවල බත් විකිණීම තහනම් කරලා...අල බතල මඤ්ඤොක්කා තමයි ඉතින් අන්න තිබුනේ...!1977 ජේආර් පපී ඇවිත් දුන්නනේ ඇට අටක්ම කාලා වරෙල්ලාය කියලා...!!

      Delete
    2. /////1970 මෙරට පැවැති සංවෘත ආර්ථික පිළිවෙතේ තරම වර්තමාන පරම්පරාව දන්නේ නැත. 70 දශකයේ අප විසින් අත්විඳින ලද කටුක අත්දැකීම් සම්භාරය අතිමහත්ය. පාන් පෝලිම්වල සිට ලබා ගන්නා ගුල්ලෝ සහිත පාන් රාත්තල් දෙකත්, හාල් සේරු දෙකට වැඩිපුර නිවසේ තබාගතහොත් හෝ මිරිස් රාත්තල් දෙකට වඩා තබා ගතහොත් හිර ගෙදර ලැගීමට සිදු වීමත් එවක අත්දැකීම්ය. එමෙන්ම කූපන් පොතට එක් අයෙකුට දෙන ලද්දේ රෙදි යාර දෙකක් පමණි. රෙදි යාර දෙකකින් විළිවසා ගන්නට හැකිදැයි දැන් කෙනෙක් අසන්නට පිළිවන. මගුල් ඇඳුමට අවශ්‍ය රෙදි ගැනීමට විවාහ ගිවිස ගත් සහතිකය අවශ්‍ය විය. එමෙන්ම හන්දියක් හන්දියක් ගානේ පොලිස් මුරපොළවල් මෙන් හාල් පොළු හා මිරිස් පොළු විය. ඒ ත්‍රස්තවාදීන් ඇල්ලීමට නොව හාල්සේරු දෙකකට වඩා සහ මිරිස් රාත්තල් දෙකකට වඩා ගෙනයනවුන් ඇල්ලීම සඳහාය. හෝටල්වල සතියකට දින දෙකක් බත් විකිණීම තහනම් විය. තේ බොන්නට සීනි හැන්දක් හෝ රෝගියෙකුට කෑම ටිකක් දෙන්නට පරිප්පු ටිකක් උම්බලකඩ කෑල්ලක් කඩයක නොවීය.

      මෙම සංවෘත ආර්ථික පිළිවෙත අවසන් වුයේ 1978 හයෙන් පහක බලයක් සහිතව රජයක් පිහිටුවමින් ජේ. ආර්. ජයවර්ධන මහතා හඳුන්වා දුන් විවෘත ආර්ථික පිළිවෙත නිසාය. ////////

      මෙය උපුටා ගැනීමකි.

      මේ කතාව සම්පූර්ණ ඇත්ත බව හොඳින් මතකය.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. රතුළූනු ගෙඩියක්, වේලිච්ච මිරිස් කරලක්, උම්බලකඩ කෑල්ලක් නැතුව අවුරුදු හතක් අමුමිරිස් පොල්සම්බෝල කෑව හැටි මතක් වෙනකොට අම්මපා සිරිමාවෝ ....කියල වැඩක් නෑ බං...!!

      Delete
    5. ඇයි චෙෆා, ඒ කාලේ මැයි දිනේට පෙළපාලි ගියේ 'මිරිස් නැතුව හොදි කන්නං, සිනි නැතුව තේ බොන්නං' කියල.
      //පාන් පෝලිම්වල සිට ලබා ගන්නා ගුල්ලෝ සහිත පාන් රාත්තල් දෙකත්//. අම්මප ඒකවත් හරියට තම්බන්නේ නැතුවනේ දෙන්නේ . මැද්ද අමුයි, මැටි ගුලියක්
      වගේ. තව, බයිසිකලේට ටෑර් එක ගන්ඩ ගෙවිච්ච පරණ ටෑර් එක ගෙනියන්ඩ ඕනේ.

      Delete

    6. මිරිස් නැතුව හොදි කන්නං, සිනි නැතුව තේ බොන්නං'
      මැතිනි අපිට කියනවා නම්- හාල් නැතුව බත් කන්නම්....

      Delete
    7. හොඳ වෙලාවට ඒ කාලේ අපි නොහිටියේ... නැත්නම් මම දහයකටවත් ගහලා... මාත් ගුටි කාලා.
      පාන් ගැන උවමනාවක් නෑ ඒත් එහෙම ළුැණු ගෙඩියක්වත් නැතිව කන්න වුනාම මොන ජීවිතයක්ද අප්පා. ගම්වල මිනිසුන්ට නම් මොනවා හරි කනන් පුළුවන් වෙන්න ඇති. අපි අයත් වුනේ ඒ කොටසටනේ. ඒත් නගරවල? මට හිතාගන්නවත් බෑ.

      Delete
    8. දැන් ලංකාවෙ මාකට්වල කොස් ගෙඩියෙ පිට කට්ට ඇරෙන්න අනික් ඔක්කොම කපල විකුනනවනේ රංගි.

      Delete
    9. චෙපාකි,
      ගෙදර පොඩි උන්ට කිරි හදල දෙන්න සීනි නැතුව කිරිඑකට සීනිබෝල දියකරල දුන්න මතකයි.

      Delete
    10. මම පොඩි කාලේ පාන් නැතිව කකුල් කස-කසා වරු ගණන් අඬනවා. ඒ වෙලාවට මම මෙහෙම කියපු බව මගේ ඥාති මතක් කරලා දෙනවා
      "මම දන්නවා පාන් හදන්න. පිටි වලට වතුර දාලා ගුලියක් හදලා. ඒක ලිපේ තියනවා. උඩ පැත්ත කළු කරන හැටි මම දන්නවා. එහෙම කරන්නේ පැණි ගාලා"
      එහෙම කරන්න පිටි ඕන බව මම දැනගෙන හිටියේ නෑ.

      Delete
    11. අරුණ,
      සීනි නැතුව තේ බොන්නං- මිරිස් නැතිව හොදි කන්නං
      මැතිනි අපට කියනවනං - පිදුරු උනත් අපි කන්නං
      ඒ දවස්වල මැයි පෙළපාලියේ කිය කියා ගියෙ එහෙමයි.

      Delete
    12. හැට්ටර්,
      ඒ විතරද පාංසුකුලේ දෙන්න සුදු රෙදි කෑල්ලක් හොයාගන්න කොච්චර දුක් වින්දද.

      Delete
    13. චෙෆාකි,
      හාල් පොත වගේ දුරු මිරිස් ගන්නත් කාඩ් එකක් තිබ්බා මතකද.

      Delete
  15. රුපියල් පහේ ඉඳන් තමයි මට පාන් ගෙඩිය මතක අපි හෙන පොඩිඋන් :D

    ReplyDelete
    Replies
    1. මම දන්නෙ පාන් ගෙඩිය සත තිස්පහේ කාලේ ඉඳන්.

      Delete
    2. රාත්තල තිස්පහයි. පාන් කාලක් සත නවයයි.

      Delete
  16. චුට්ටයිනේ අප්පා

    ReplyDelete
    Replies
    1. ෂෝට් ඇන්ඩ් ස්වීට්.

      Delete
  17. එග්මෝර් වල සිංහල නොදන්න වෙළෙන්දොත් ඉන්නවද අප්පා,

    මමත් ඉංදියාවේ උන්ට ඔය තෝල්ක වැඩේ කරල තියනවා, අපි තුන් දෙනෙත් තමිල්නාඩු ගමක සතියක් හිටියා මමයි, අර ඉන්දියාවේ කෙලවරක පිහිටි නාග්ලන්ඩ් වලින් ආ නාග මිත්තරයයි, දෙමළ ඉංග්‍රිසි කලවමේ කතා කරන ඇසිස්ටනුයි, ඇසිස්ටන්කාරයා හිතා හිටියෙම නාග් කාරයා ජපනෙක් කියලා, උෟත් ඉංදියාවේම එකෙක් බව තේරුම් කරල දෙන්න බැරිමවුනා, ගමේ මිනිස්සුන්ට අඳුන්වල දුන්නෙත් ජපානෙන් ආව විදේශකයෙක් සහ රාමචන්ද්‍රන් අප්පා උපන්න කැන්ඩි වලින් ආව එකෙකුයි කියා.ඇසිස්ටන් කාරයා ගේ දෙමළ-ඉංග්‍රිසි, නාගයාගේ ඇමරිකන්-ඉංග්‍රීසි වලට සහ ආපහු හරවන එක තමයි මගේ අමතර තෝල්ක වැඩේ, අපූරුම වැඩේ වුනේ ආපහු එනිංගමං වෙන්නායි වලින් හිංදි ෆිල්ම් එකක් බලන්න ගියාමයි, ඇසිස්ටන්ට සිස්සත්තයක් පාස්වෙලා දිල්ලිවල ඉස්කෝලේ ගිය එකෙක් උන් දෙන්නටම හොඳට හින්දි පුළුවනි.

    ReplyDelete
    Replies
    1. එග්මෝර් ඉස්ටේෂම හරියෙ කඩවල වෙළෙන්දෝ බොහෝදෙනෙක් සිංහල කතාකරනවා. ඒ හරියෙ ලංකාවෙ වන්දනාකාරයෝ වැඩිනෙ. ආයෙම ටී නගර්වල සාරි කඩවල වෙළෙන්දනුත් බොහෝවිට සිංහල කතා කරනවා මම දැකල තියෙනවා.

      Delete
    2. මරුම කෑල්ල //වෙළෙන්දියන් මා දෙස බැලු විට ලංකාවේ මම ඉදිරිපත්වී ඉන්දියාවේ දෙන්නෙකුට පරිවර්තන කාර්යය කරදුන්නෙමි.// මට නම් මොන හේතුවකට හරි යන්තම් හරි ඉංග්‍රීසි ගැට ගහගන්න පුළුවන් ඉන්දියන් කාරයෝ හම්බවුනා.

      Delete
  18. ජනවාරිය ගොඩ දාගත්තනෙ කොහොම හරි.. ඒ මදැයි..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. පෙබරවාරියත් එහෙමම ගොඩ දාගන්න තමා බලන්නෙ.

      Delete
  19. සිරිමාගේ ආණ්ඩුව කාලේ කරුණු බොහෝ දෙනා කතා කරන්නේ මතු පිටින් පමණයි.

    හාල් පොලු දැමීම, පාන් කාඩ් වැනි දේ වෙනත් ප්‍රශ්න සඳහා දුන් පිළියම් මිස ක්‍රියාත්මක කළ ප්‍රතිපත්ති නොවේ!

    ReplyDelete
    Replies
    1. කොහොම උනත් වැඩේ අර්ථකථනය වුනේ වැරදි විදියටනෙ. ජේ. ආර් ට තමයි ඒකෙන් පින පළදුන්නේ.

      Delete
  20. අපි නිදහස් ආර්ථිකයක් එක්ක ඉපදිච්ච අය නිසා ඔය හැලපයියාලාට වගේ පෝලිම් වල අත්දැකීම් අපිට නැහැ.
    අවුරුදු 17 සිරි ලංකා එකට විපක්ෂයේ ඉන්නත් ඔය පෝලිම් හේතු වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම. හොඳ හිතින් කල වැඩක් උනත් දුන්න අර්ථය වෙනස්.

      Delete
  21. පාන් පෝලිම් ගැනනම් අපි ඇහුවේ තාත්තලගෙන් තමයි...ජනවාරිය ගොඩ දාගත්තා මෙන්ම මාසෙට දෙක තුනක් වත් ඉටිකිර් පෝස්ට් වැටේවා

    ReplyDelete
    Replies
    1. මගේද ප්‍රාර්ථනය එයමැයි.

      Delete
  22. ලංකාවේ මම ඉදිරිපත්වී ඉන්දියාවේ දෙන්නෙකුට පරිවර්තන කාර්යය කරදුන්නෙමි///// wow

    ReplyDelete
    Replies
    1. අපි එහෙමයි. උදව් කරන්න තියෙන තැන උදව් කරනවා.

      Delete
  23. හිංදි බෑ කියල ගහ ගන්න ර්හෙම ආපු උන් හිටියේ නැද්ද

    ReplyDelete
    Replies
    1. ඒ වගේ මෝඩයො ඉන්නෙ ඉන්දියාවෙ උතුරෙ.

      Delete
  24. අනේ අම්මප හැලපයියේ මෙහෙමත් පඳුරු තැලිල්ලක් ... පරණ ලිපි වලින් යාන්තම 2013 - අගෝස්තු වෙනකම් ඉවර කර ගත්ත මාස තුනක් තිස්සේ කියවල :) :) :)

    තව අවුරුදු පහක් විතර යයි ඉතිරි ටික ඉවර කරන්න :)

    ReplyDelete
    Replies
    1. කියවල තියන බව මමත් දැක්කා. ඔහොමම ඉතිරි හරියත් කියවමු.

      Delete
  25. කාලෙකින් හැලප කතා ටිකක්..

    පාන් පොලිම් කාලේ නම් අපි හිටියෙ නෑලු.. ඒත් තාත්තා ඒ ගැන කියනවා මම අහලා තියෙනවා.

    මාර්කටි ගිහින්ම වෙන්න ඇති දෙමල හොඳටම පුලුවන් වෙන්න ඇත්තේ නේද ;)

    ReplyDelete
    Replies
    1. මාර්කට් ගියොත් කැඩිච්ච දෙමළ කතා කරන්නම වෙනවා. තනියම මාකට් යන්න හැලපි හරිම හොර ඔය බාසා ප්‍රශ්නෙ හින්දයි.

      Delete
  26. දැන් ඉන්දියාවේ ඉන්න නිසා තේරෙනවා මෙහෙ භාෂා සංස්කෘති කොච්චර වෙනස්ද කියලා. අපි ඉන්න ආයතනයේ හැමෝටම ඉංග්‍රීසි පුලුවන්. නැත්නම් මෙයාලගේ ලෝකල් භාෂා එකකට එකක් වෙනස්.

    ReplyDelete
    Replies
    1. ඉන්දියාවෙ රජය පිළිගත්ත භාෂාවන් සිය ගානක් තියෙනවා. එසේ නැති භාෂාවන් ඊට වඩා ගොඩක් වැඩියි.

      Delete
  27. පැදුරු තලිල්ල නැතුව මේ කතාව හැලෙපේ ගේ එකක් නෙමයි වගේ
    පොලු යුගයේ අපි ඉපදිලා නැහැ ඒ නිසා ඔයලා කියන කතා වලින් තමයි ඒවා දැනගන්නේ

    ReplyDelete
    Replies
    1. හදිසියෙන් ලියපු කතාවක් මෙන්ඩෝ.

      Delete
  28. කතාව රසව්ත් + දුව ගැනත් ලියන්නො

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් දුව ගැනත් පසුව ලියන්නම්.

      Delete
  29. අදයි මෙහෙට ආවෙ...හරිම රසවත් මතකයන් නෙව...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ආදරයෙන් පිළිගනිමි. දිගටම එන්න.

      Delete
  30. මම හිතාගෙන ඉන්නේ ඒ කාලේ ලාවළු පරිප්පු රෙසිපිය දාන්න. ආසාවට වගේ කාලා බලන්න පුළුවන්නේ.

    සුදීක - මේල් එකේ මගේ නම වෙනස් කළා. ඊ මේල් යැවීමේ අවශ්‍යතාවකට.

    ReplyDelete
    Replies
    1. ආයෙම ඒ පරිප්පු කන්න ආසාවක් ඇතිවෙනවා. මේල් ඇඩ්රස් එක නෝට් කරගත්තා.

      Delete
  31. ආයමත් කම්මැලි වෙන්න එපා ...අලුත් එකක් ලියමු..
    මට බන්නින්න එපා මුට මොකද අපිනේ ලියන්න ඕනේ කියලා. අපි දැන් ගල් වල කොටලා තියන ලිපි හොයාගෙන #ක ඉරාගෙන ඒවා කියවලා අපේ ඉතිහාසය හොයන්න ට්‍රයි කරනවා වගේ දවසක ඔයාලගේ මේ බ්ලොග් පොස්ට් අනාගත පරපුර ප්රෝයෝජන්යට ගනී..එයලා දෙයක් මේවගෙන් ඉගන ගනී...අපි නැතත් ලෝකෙට දෙයක් ඉතුරු කරලා ගියා කියලා ඔයාලට සතුටු වෙන්න පුලුවන්

    ReplyDelete
  32. බනින්නෙ නං නෑ මෙන්ඩෝ මගේ බ්ලොග කියවන්න බොලාගෙ තියෙන උනන්දුව ගැන සතුටු වෙනවා මිසක. ඉතිරිවෙන යමක් ලියන්න තමයි මගෙත් බලාපොරොත්තුව.

    ReplyDelete
  33. කාලෙකින් මේ පැත්තේ ආවේ . ඔය පාන් කතාවක් මටත් තියනවා. අපේ ගෙදර ඒ දවස් වල පාන් කන්නේ නැහැ. (පස්සේ කන්න ගත්ත) ඉතින් අපට අයිති රාත්තල් 2 හෝ 3 (මතක නැහැ කීයද කියල) දුන්නේ ඉස්කෝලේ ප්‍රින්සිපල් ට. මට තමා ගිහින් දෙන රාජකාරිය වැටුනේ. දවසක් ඉස්කෝලේ ඇරිලා හෝ ඉරිදා ඒ පැත්තේ ගිය දවසක අප බංකු ඩෙස්ක් උඩ නට නටා ඉන්න කොට ගුරු නිවසේ හිටි ප්‍රින්සිපල් ඇවිත් මටය් යාලුවෙකුටයි ගැහුවා ඔළුවට. ඊළඟ දවසේ මම කලේ පාන් රාත්තල් තුන ඒ ළඟ දොළක වට්ටලා තෙමල දුන් එක. මම ලිස්සල වැටුන හරි මොඅකක් හරි කිව්වා. එදා ඉඳන් ප්‍රින්සිපල් ගේ පුතා ආව පාන් ටික ගෙනියන්න. 73 හෝ 74 වගේ කාලෙක.

    ReplyDelete
    Replies
    1. මේ දවස්වල නං වාටි කරවුණු තැටි පාන් කන්න පුදුම දොළදුකකින් ඉන්නෙ අජිත්.

      Delete

ඔබේ අදහස්