අපි වෙන වෙන කතා කිය කියා හිටිය මිසක් කිටිය ගැන අමතකම වෙලා ගියානෙ,මීට ඉස්සෙල්ල කතා කීපයකදීම මම කිටිය ගැන කිව්වට කියල ඉවරකරගන්න බැරිවුනා අදවත් ඉවර කරගන්න ඇහැක් වෙයිද කියල බලමුකො...
මම ඉස්සෙල්ලත් කියල තිබුන වගේ කිටිය හොඳ බෞද්ධයා, අපි වගේ නමට බෞද්ධ නෙවෙයි සාධුශීල ගුණෝපේත සුපේශල ශික්ෂාකාමී ඔරිජිනල් බෞද්ධයෙක්,පන්සිල් පද පහ ඉතාම හොඳින් ආරක්ෂා කරගෙන හිටියත් නිකං බොන්න හම්බවෙච්ච වෙලාවට නං එක පදයක් කඩාගන්නව,එතකොට අපි කොහෙහරි යාලුවෙකුගෙ ගෙදර බොන්න යන්න එහෙම දාගෙන නැත්නං එහෙම කිටිය නොවරදවාම පෝයට සිල් ගන්නව,ඒ වගේ හරිම ප්‍රතිපත්ති ගරුක සීලවන්ත බෞද්ධයෙක් අපේ කන්තෝරුවෙ ඉන්න එකම මදෑ කියල අපි කට්ටිය නිතරම හිනාවෙවී කතාවුණා...
ඔෆිස් එකේ වැඩ තියෙන වෙලාවටත් නැති වෙලාවටත් අපි අනුන්ට අපහාස කරමින් මඩ ප්‍රහාර එල්ල කරමින් සම්පප්‍රලාප කියවමින් හිටියත් කිටිය නං නිතරම ගාථාවක් කියමින් හරි ගැටළු සහගත ධර්ම කාරණයක් ගැන මෙනෙහි කරමින් හරි දෙලොවටම වැඩක් ඇති ආකාරයට දවස ගතකලා...
කිටියගේ ජීවිතේ උත්කෘෂ්ටම අවස්ථාව වෙලා තිබුනෙ තාවකාලිකව මහණවෙලා භාවනා ආරණ්‍යයක සතියක් ගතකිරීමයි,කිටිය නිතරම ඒ අත්දැකීම ගැන කියෙව්වා සිවුරු පොරෝපු හැටි භාවනානුයෝගීව දවස ගතකරපු හැටි කොච්චර කිව්වත් ඉවරවුනේ නෑ, අන්තිම දවසෙ සිවුරු ගලෝපු වෙලාවෙ කිටියට මොකද්ද උනාලු ...
ඇඟ රත්වෙලා මට කලන්තෙ වාගෙ හැදුනනෙ...
ආ එහෙම තමා නොම්බර එකේ බේබද්දන්ට සතියක් නෙවෙයි දවසක් නොබී හිටියත් ඔහොම වෙනවා, කිටී සතියක් හිටිය හොඳටම ඇති...
හේමාල් කියනකොට කිටිය රවල බලල එතනින් යන්න යනවා,ෂිපිං මාස්ටර් නං කිටියගෙ බෞද්ධ කමට කිසිම ගරුසරුවක් නැතුව අපහාසෙටමයි කතාකළේ...
ජස්ටින් අන්න අර හීරලුවට එන්න කියනව, අතෙන්ට වෙලා ගෑනුත් එක්ක බොරු පූච්චානං කියෝ කියෝ ඉන්නව...
මොකාද අම්මෙ හීරලුවා කියන්නෙ...
පොඩි කාලෙ දවසක මම අම්මගෙන් ඇහුවෙ අම්ම කාටද මන්ද හීරලුවා කියල කියපු වෙලාවකදියි...
සිවුරු ඇරපු උන්ටනෙ ළමයො...
එහෙම කිව්ව මිසක් හිරලුව කියන වචනෙ නිරුක්තිය අම්ම දැනගෙන හිටියෙ නෑ,සිරිල් මාමගෙ ලොකු පුතා පොඩි පංසලේ මහණවෙලා ඉන්නව මට මතක තිබුනෙ දහම් පාසැලට යන වෙලාවලදී කවි එහෙම හයියෙන් කියව කියව ආවාස ගෙයි ඉන්නව දැකල තිබුන නිසයි,දවසක්දා මං අපේ වත්තෙ උඩහ තිබ්බ කජු ගහ යට වැටිච්ච කජු අහුල අහුලා ඉද්දි වැටෙන් එහා පැත්තෙ සිරිල් මාමගෙ මඤ්ඤොක්‍කා කොටුවෙ කහ පාටට මොනවද මන්ද හෙල්ලෙනව මම දැක්ක,වැට අයිනට ගිහිං බලපුවහම හාමුදුරුවො කෙල්ලො දෙන්නෙකුක් එක්ක ඇවිත් පොටෝ අල්ලනවා මමත් ඉතිං ඔහොම එකක් ඊට කලින් දැකල තිබ්බ එකක්යැ කට ඇරගෙන බලං හිටියා,ඒ වුනාට හාමුදුරුවන්ට වැඩිකල් පොටෝ කෙරුවාව කරන්න උනේ නෑ සිවුර පංසලේ තියල කෙල්ලෙකුත් අරං යන්න ගියා,ඊට පස්සෙ හාමුදුරුවන්ට අපි කිව්වෙ සුදු අයිය කියල අපේ අම්ම එහෙම නං කේන්තියට කිව්වෙ හීරලුව කියලමයි හාමුදුරුවරු සිවුරු අරිනවට අම්මල හරි අකමැතියිනෙ.
77 ඡන්දෙට සුදු අයිය යු ඇන් පී එකට බැහැගෙනම වැඩකරපු නිසා වගා නිලධාරිකම ලැබුණා, පස්සෙදී වගා නිලධාරිකං අහෝසි කරල ඒ අය ඔක්කොමල ග්‍රාම සේවකල කරපු නිසා සුදු අයියටත් වසමක් ලැබුණා,සුදු අයිය දැන්නං පැන්ෂන් එයාලගෙ දරුවන්ගෙ දරුවොත් දැන් බඳින වයස මගේ හිතේ,අපේ ගේ ඉස්සරහින් සයිකලේ යද්දී මම හිටියොත් නවත්තල කතාකරල යනවා...
77 ඡන්දෙට සුදු අයිය යු ඇන් පී එකට බැහැගෙනම වැඩකරපු නිසා වගා නිලධාරිකම ලැබුණා, පස්සෙදී වගා නිලධාරිකං අහෝසි කරල ඒ අය ඔක්කොමල ග්‍රාම සේවකල කරපු නිසා සුදු අයියටත් වසමක් ලැබුණා,සුදු අයිය දැන්නං පැන්ෂන් එයාලගෙ දරුවන්ගෙ දරුවොත් දැන් බඳින වයස මගේ හිතේ,අපේ ගේ ඉස්සරහින් සයිකලේ යද්දී මම හිටියොත් නවත්තල කතාකරල යනවා...
අපේ පංසලේ ලොකු හාමුදුරුවන්ගෙ ගෝලයො ටික ඔක්කොමත් සිවුරු ඇරල ගියා හැබැයි එකක් තියෙන්නෙ ඒ අය ඔක්කොම හොඳට ඉගෙනගත්ත, ඉස්සෙල්ලම අරියසෝබන හාමුදුරුවො ඉගෙනගෙන ඩිග්රියකුත් අරං ඉස්කෝලෙකට පත්වීමකුත් ලැබුනට පස්සෙ සිවුරු ඇරල ගියා,ඊට පස්සෙ අනික් පොඩි හාමුදුරුවොත් ඩිග්රියක් අරං සිවුරු ඇරල ගියා ලොකු හාමුදුරුවන්ගෙ හිත හොඳටම නරක්වෙලා හිටියෙ වැඩිකල් යන්න මත්තෙන් තිබ්බ ලෙඩ වැඩිවෙලා ලොකු හාමුදුරුවො අපවත්වුනා,අන්තිමේදි පංසල පාලුවුනා පස්සෙ කරන්නම දෙයක් නැතිතැන අපවත් වෙච්ච ලොකු හාමුදුරුවන්ගෙ මුල් පන්සලෙන් හාමුදුරුනමක් පංසලට වැඩමෙව්වා ඒ ඔය දැන් ඉන්න ලොකු හාමුදුරුවෝ,ඒ හාමුදුරුවන්ටත් ගෝලයො පිහිටන්නෙ නැති විදියයි ඉස්සෙල්ලම ගෝලය බොහොම ලස්සන හුරුබුහුටි චුටි හාමුදුරුනමක්, පංසලේ ඉඳන් පිරිවෙනට ඉගෙනගන්න ගියා, මාත් එක්ක එහෙම හරි හිතවත් මමත් ඉතිං පංසලට යන වෙලාවට මොනව හරි කන්න දෙයක් අරං යනවා මහණවෙලා හිටියට පොඩි උන්නෙ,එනකොට ඉගෙනගන්න වැඩකට මේකත් තියාගන්න කියල රුපියල් හාරපන්සීයක් මගේ අතේ මිටේ තියන හැටියට හාමුදුරුවන්ගෙ අතේ තියල එනව ඔය විදියට හොඳට හිටිය...
මට චුටි හාමුදුරුවන්ව අන්තිමටම හම්බවුනේ සරත් අයියලගෙ අම්මගෙ තුන්මාසෙ බණ කියන්න ආපුදවසේ,බණ කියල ආපහු යද්දී වඳිනකොට මාව හම්බවෙන්න ඕනෑ කියල බොහොම ඕනැකමින් මාත් එක්ක කිව්වම මාත් හා හා හම්බවෙමුකො හාමුදුරුවනේ මම වෙලාවක එන්නංකො කියල කිව්වට ඒ කාලෙ මම යුඑස්ඒ යන්න සුදානමින් බොහොම අවිවේකයෙන් පසුවුන නිසා වැඩේ දවසෙන් දවස කල්ගියා,අන්තිමේ අවුරුදු කීපෙකට පස්සෙ ආපහු ලංකාවට ඇවිත් හෝදිසි කරල බලද්දි චුටි හාමුදුරුවො සිවුරු ඇරල ගෙදර ගිහිං,කියපු විදියට හාමුදුරුවන්ව මුණගැහෙන්න බැරිවුණු එක ගැන මට අදටත් හරිම කණගාටුයි එදා මාව හම්බෙන්න ඕනෑ කියල කිව්වේ මාත් එක්ක මොනව හරි ඔය ගැන කියන්න වෙන්නැති නේද සමහර විට කලකිරීමක් ගැන වෙන්නැති කියන්න කවුරුත් නැතුව,මොනව කරන්නද ...
මට චුටි හාමුදුරුවන්ව අන්තිමටම හම්බවුනේ සරත් අයියලගෙ අම්මගෙ තුන්මාසෙ බණ කියන්න ආපුදවසේ,බණ කියල ආපහු යද්දී වඳිනකොට මාව හම්බවෙන්න ඕනෑ කියල බොහොම ඕනැකමින් මාත් එක්ක කිව්වම මාත් හා හා හම්බවෙමුකො හාමුදුරුවනේ මම වෙලාවක එන්නංකො කියල කිව්වට ඒ කාලෙ මම යුඑස්ඒ යන්න සුදානමින් බොහොම අවිවේකයෙන් පසුවුන නිසා වැඩේ දවසෙන් දවස කල්ගියා,අන්තිමේ අවුරුදු කීපෙකට පස්සෙ ආපහු ලංකාවට ඇවිත් හෝදිසි කරල බලද්දි චුටි හාමුදුරුවො සිවුරු ඇරල ගෙදර ගිහිං,කියපු විදියට හාමුදුරුවන්ව මුණගැහෙන්න බැරිවුණු එක ගැන මට අදටත් හරිම කණගාටුයි එදා මාව හම්බෙන්න ඕනෑ කියල කිව්වේ මාත් එක්ක මොනව හරි ඔය ගැන කියන්න වෙන්නැති නේද සමහර විට කලකිරීමක් ගැන වෙන්නැති කියන්න කවුරුත් නැතුව,මොනව කරන්නද ...
පුස්තකාලෙ පංසලේ තරුණ හාමුදුරුනමක් හිටිය ඒ හාමුදුරුවො මම ඉස්සෙල්ලම දැක්කෙ අරුණගෙ මළ ගෙදරදි,අරුණ මී උණ හැදිල බොහොම කණගාටුදායක විදියට මැරුනේ 2003 දියි,ඒ හාමුදුරුවො එච්චර කඩවසම් කෙනෙක් නෙවෙයි කලුයි මිටියි කට ගන්ටාරෙ වගේ සද්ද වුනාට හැබැයි කටහඬ බොහොම මිහිරියි, එදා අරුණ මැරිච්ච සෝකෙන් හිටපු අපි ඔක්කොගෙම දුක් නිවාලන අනුශාසනාවක් හාමුදුරුවො කළා...
ඊට පස්සෙ මම හාමුදුරුවන්ව හමුවෙලා අඳුන ගත්තා කොහෙහරි යද්දිත් හාමුදුරුවන්ට කියල පිරිත් නුලක් ගැටගහගෙන ගියා,අවුරුදු කීපෙකට පස්සෙ ආපුවම හාමුදුරුවො පංසලේ හිටියෙ නෑ කාලයත් එක්කම මට හාමුදුරුවන්ව අමතක වෙලා ගියා,ඉතාම මෑත කාලෙකදී ඒ කියන්නෙ දැනට අවුරුදු තුන හතරකට උඩදී අපේ ඔෆිස් එකේ හිටපු සංජේ ගෙන් මට හාමුදුරුවො ගැන අලුත් විස්තරයක් දැනගන්නට ලැබුණා,සංජේත් අපේ පැත්තෙ කොල්ලෙක් අපි එයාපෝට් එකට යද්දී ඔය ගම් පළාතෙ විස්තර කියවමින් හිනාවෙන එක සිරිතක්,සුපුරුදු විදියට දවසකුත් කතා කරමින් යද්දී සංජේ පුස්තකාලෙ පංසල ගැනත් මොකද්ද මන්ද කිව්වා...
සංජේ මම අහන්නමයි හිටියෙ ඒ පංසලේ හිටපු අර මිටි හාමුදුරුවො දැන් කොහෙද ...
ආ ඒ හාමුදුරුවො සිවුරු ඇරල යන්න ගියානෙ...
ඒ මොකද බං හාමුදුරුවො හොඳට පංසල කරගෙන හිටියනෙ...
සංජේ හිනාවුනා...
හිටිය නං තමා ඒ වුනාට හාමුදුරුවන්ට සිල්ව සැට් වුනානෙ...
සිල්ව කියන්නෙ ලෝකෙ කාල වතුර බීල ඉන්න ආනාදියෙක්,කාව හරි අන්දවල මරාගන්න දත් ගලවන්න එහෙම හරි හපනා...
සිල්ව හාමුදුරුවන්ට ගෑනියෙක්ව සැට් කරල සල්ලි ගත්තනෙ...
මොකද්ද මොකද්ද බං ඒ කතාව...
මොකද්ද කතාව නං,ඔන්න ඔය රත්නපුරේද පැල්මඩුල්ලද පැත්තෙ සිල්ව දන්න ජෝඩුවක්ලු මිනිහට මොකක් හරි දුර්වලතාවක් ඇති,සිල්ව ඒ ගෑනු කෙනා ලඟට හාමුදුරුවන්ව ගෙනිච්චා මිනිහගෙත් විරුද්දයක් නෑලු,ඉස්සෙල්ලම දවසෙ රෑ පුරාම ගෑනිත් එක්ක කංසැප විඳපු හාමුදුරුවො උදේ යන්න සුදානම් වෙලා එළියෙ වාඩිවෙලා ඉද්දි ගෑනි ඇවිත් හාමුදුරුවන්ට දණගහල වැන්දලු ...
හා හා රෑ තිස්සෙ බණ දෙසුවට වෙන්න ඇති නේද...
එහෙනං,රෑ තිස්සෙ හාමුදුරුවො ගෑණි ළඟ දණගැහුව උදේ ගෑණි හාමුදුරුවො ළඟ දණගැහුව කියල කිය කිය සිල්ව හිනාවුනේ...
ඊට පස්සෙත් සිල්ව කීප සැරයක්ම හාමුදුරුවන්ව ඒ ගෑනු කෙනා ලඟට එක්ක ගියාලු, වැඩේ රහ වැටුණු පාර හාමුදුරුවො වැඩිකල් සිවුරෙ හිටියෙ නෑ...
අපරාදෙ බං ටොප් එකට බණ කියන්න පුළුවන් හාමුදුරු නමක්නෙ...
මොනව කරන්නද දැන් ඒ පංසලේ හාමුදුරුවරු කවුරුවත් නෑ...
හාමුදුරුවන්ගෙ සිවුරු හැර යාම ඔන්න ඔය විදිහයි,දහ දෙනෙක් මහණ කලාම නම දෙනෙක් සිවුරු ඇරල යනවා යන්නෙ ආසාවට නෙවෙයිනෙ ඉන්න බැරි නිසානෙ,බුද්ධ ශාසනේ චිරස්ථිතිය උදෙසා නෙවෙයි පාංශුකූලයක් පිරිමහගන්න මතක බණක් කියවගන්න ගමක පංසලේ හාමුදුරුනමක් නැත්නං ඒ ගමේ මනුස්සයො මොන අමාරුවක වැටෙනවද,ඒ නිසා හාමුදුරුවන්ගෙන් අපි අදාළ කටයුතු කරව ගන්නව වගේම හාමුදුරුවන්ට ඇති අඩුපාඩු හොයල බලන එකත් දායකයන් වන අපට තියෙන ප්‍රධාන වගකීමක් නේද ...
වළඳන්න දානෙ ටික වෙලාවට ලැබෙනවද අඳින්න සිවුරු පිරිකර ඇතිවෙන්න තියෙනවද ඉගෙනගන්න අඩුපාඩු මොනවද ආදී දේවල් දායකයො වන අපි සොයා බලන්න ඕනෑ,නමුත් ඒ දේවල් හොයනව බලනව වෙනුවට අපි බලන්නෙ හාමුදුරුවන්ගෙ සීලවන්ත භාවය,අපෝ ඒ හාමුදුරුවො සිගරැට් බොනව,බියර් බොනව,ගෑනු ළමයි එක්ක මුකුලුව,පංසලට සත පහක උදව්වක් නොකරන අය ඒ වගේ අඩුපාඩු නං හොඳට හොයල රස කරමින් කියනව බනිනව,හරි හාමුදුරුවො ඒ ඔක්කොමත් කරනව කියමුකො නමුත් වැදගත්ම දේ හාමුදුරුවො පංසලේ ඉන්න එකනෙ සිවුරෙ ඉන්න එකනෙ හාමුදුරුනමක් පංසලේ නැත්නං ඇතිවෙන තත්වෙ මොකද්ද...
වළඳන්න හරියට දානෙ ටික ලැබෙන්නෙ නැති අඳින්න එක සිවුරක් හරි දෙකක් හරි විතරක් තියන හාමුදුරුවරු ඉන්න පන්සල් කොච්චර තියෙනවද,දවසක්දා ටවුමෙ පිරිවෙනේ චූටි හාමුදුරුනමක් අපේ පංසලේ කටිනෙට අරං ආපු පාත්තරේ දැකල මගේ ඇස් වලට කඳුළු ආවා එච්චර කබලක්,ඉඩකඩම් වතුපිටි බවබෝග සම්පත් සහ යානවාහන තියෙන රජමහ විහාර නෙවෙයි, විහාර ගෙයයි ආවාසෙයි විතරක් තියෙන පන්සල් රැකගෙන බාගෙට බඩගින්නෙ වැරහැලි සිවුරු ඇඳගෙන කොච්චර හාමුදුරුවරු ඉන්නවද...
කවුරු මොනව කිව්වත් මමනං මට තියෙන විදියට මිල මුදලින් හරි වෙන ආකාරයකට හරි අපේ පංසලේ හාමුදුරුවන්ට උදව් කරනව,වෙන මොකටවත්ම නෙවෙයි පංසලේ ඉන්නවට සිවුරෙ ඉන්නවට ගරු කිරීමක් වශයෙනුයි...
සාසනේ බේර ගන්න පැන්ෂන් ගිය කාලෙක හරි මහණ වෙයං කියල අපි කිටියට කීවහම ඕකා මහනවුණු දාට සාසනෙයි පඬුහැලියයි දෙකම ඉවරයි කියල දසනායක මහත්තය කිව්වා,අපි කවුරු මොනව කිව්වත් කිටිය කයියනං නවත්තන්නෙ නෑ, දවසක්දා මමයි යසායි ඉන්න තැන කිටී කයිය ගහනව, ලංකාවෙ ඉන්න ලොකුම හාමුදුරුවරු ඕනෑම කෙනෙක් මම දන්නව කියල කිටිය කිව්වහම අපි දෙන්නත් ඉතිං ලංකාවෙ චිර ප්‍රසිද්ධ හාමුදුරුවරු දෙතුන් දෙනෙක්ගෙ නම් කියල දන්නවද ඇහුවා...
එතකොට කිටී මඩිහේ හාමුදුරුවො දන්නවද...
ඔව් දන්නව...
රේරුකානේ චන්දවිමල හාමුදුරුවො...
එයත් දන්නව...
කියන කියන හාමුදුරුවරු ඔක්කොම කිටිය දන්නවලු,එයත් දන්නව, එයත් දන්නවා,එච්චරයි කියන්නෙ කිටියගෙ මුණ පිපුණු මල් වට්ටියක් වගේ ...
යක්කඩුවේ හාමුදුරුවො කිටී දන්නවද...
කොහෙද යන ගමන හදිසියෙන් එතෙන්ට ආපු හේමාල් ඇහුවා...
දන්නව...
එතකොට යටිහරියේ චුල්ලවට්ටි හාමුදුරුවො...
බැරිමතැන මම ඇහුවා...
එයත් දන්නව...
මහහඬින් පුපුරපු හිනාවක් එක්ක යසා දුවල ගිහිං මේසෙට ඔලුව ඔබාගෙන හිනාවෙන්න ගත්තා...
එහෙමද ඒ හාමුදුරුවොත් දන්නව එහෙනං ඈ...
හේමාල් උඩ පැන පැන හිනාවුනා...
ඈ...
මොකද්ද වැරදුනේ කියල කිටී ටිකක් වෙලා කල්පනා කළා,එකපාරටම නැගිටල මටත් රවාගෙන වේගෙන් කෑම කන කාමරේ පැත්තට ගියා,ගිහිල්ල ටික වෙලාවකින් ආපහු එනකොටත් කට්ටිය ඒ ආකාරයෙන්ම හිනාවෙනවා...
මම දන්න ඇති වල්ලෙක් නෑ...
කිටිය අපි ලඟින් යන ගමන් රවාගෙනම කියනව අපට තවත් හිනා...
කවුද ඕයි වල්ලෙක් ගැන කිව්වෙ...
කිටියට එදානං පම්පෝරි කියවිල්ල එපාවෙන්න ඇති,ඔෆිස් එකේ කට්ටිය කාලයක් යනකං ඔය කතාව කිය කියා කිටියව බයිට් එකට ගත්තා.