අද නොවැම්බර් 11 වෙනිදා ඒ කියන්නෙ 11.11 විශේෂ දවසක් ,යුරෝපෙ නං නොවැම්බර් 11 ප්‍රසිද්ධ නිවාඩු දිනයක්...මම ඉස් ඉස්සෙල්ලම යුරෝපෙ රටකට ගියෙ නොවැම්බර් 10 වෙනිදාවක හවස, සීත කාලෙනෙ රෑ නිදාගෙන ඉඳල නැගිටින්න ගියාම එපාවුණත් වැඩට යන්න තියන නිසා කම්මැලි කමෙන්ම පහුවදා උදේ නැගිට්ටා...කිට මරාගෙන එහෙම යාලුව එනකං ඉද්දි මෙන්න පුල් කැෂුවල් ගහගෙන උදේට කන්නත් අරගෙන යාලුව ආවා...
ආ...මට ඊයෙ කියන්න අමතක වුණා අද නිවාඩුනෙ ...
අපරාදෙ ඊයෙ කිව්වනං අපි තව ටිකක් නිදාගන්නවනෙ...මට එහෙම හිතුනට කිව්වෙ නෑ...
මේ නිවාඩුව මොකක්ද කියල මම පස්සෙ හොයල බැලුවා...බැලින්නං යුද්දෙ සමාදාන වෙච්චි නිවාඩුව, යුද්දෙ කිව්වෙ පළවෙනි ලෝක මහා සංග්‍රාමය, සමාදාන වෙලා තියෙන්නෙ 1918 නොවැම්බර් 11 වෙනිදා උදේ 11.11 ට.කතාව ඔන්න ඕකයි.
ලෝක යුද්ද සමාදාන වුනත් බ්ලොග් අවකාසෙ ඇතිවෙන යුද්ද කවද සමාදාන වේවිද කියල හිතාගන්න අමාරුයි...ඒ යුද්ද නං කිසි වැඩකට ඇති යුද්දත් නෙවෙයි යුද්දෙන් දිනුවය කියල ලැබෙන දේකුත් නෑනෙ...
මෙහෙම කියමුකො, අපි කවුරුත් බ්ලොග් ලියන්නෙ අතින් වියදම් කරගෙනනෙ...මොකද බ්ලොග් ලිව්වය කියල සතපහකවත් ආදායමක් ලැබෙන එකක්යැ...අපි කවුරු කවුරුත් තම තමන්ගෙ ආත්ම තෘප්තියට,හිත නිදහස් කරගන්න,යමක් අනික් අයට කියල දෙන්න ආදී වශයෙන් විවිධාකාර හේතූන් නිසා බ්ලොග් ලියනව...ඒ වගේම මේ බ්ලොග් අවකාශය තුල විවිධාකාර දැනුමැති උගත් බුද්ධිමත් පිරිසකුත් ඉන්නව ඉතිං මොන තරං අපූරුවට සතුටින් සමාදානෙන් මේ වැඩේ කරගෙන යන්න පුළුවනිද...
දහසක් මල් පිපේවා කියල මාවෝ සේතුං කිව්වනෙ, පිපෙන පිපෙන මල පොඩිකරල හිරගෙවල්වල දැම්ම එක වෙනම කතාවක්, අන්න ඒ වගේ බ්ලොග් අවකාසෙත් දහසක් මල් පිපෙනව නං කොච්චර අපූරුද...
හරියටම කල්පනා කරල බැලුවොත් අපි මේ ගෝරි දාගන්න භාවිත කරන අවකාශය හෙවත් අපි අඩිය ගහගෙන ඉන්න තැනවත් අපේ නොවෙයිනෙ...අනුන් අපට දීල තියෙන තැනක ඉඳන් අපි ලියන්නෙ සහ ගෝරි දාගන්නෙ හරියට කුලී ගෙවල් පේළියක ඉන්න කට්ටිය රණ්ඩු වෙනව වගේනේද කියලත් මට නිකමට වගේ හිතෙනවා ...
අන්න ඒ නිසා පටු පරමාර්ථ වලින් දුරස්වෙලා කාටත් ප්‍රයෝජනවත් කාටත් රසවත් දැනුම දියුණුවෙන හිත ප්‍රීතියට පත්වෙන ආනන්දයෙන් ප්‍රඥාවට අපව ගෙනයන බ්ලොග් කලාවක් බිහිවේවා කියල හැලප කඩේට අවුරුද්දක් පිරෙන අද දවසෙ මම අවංකවම ප්‍රාර්ථනා කරනවා...
2012 නොවැම්බර් 11 වෙනිදා අලුතෙන් හදාගත්ත මගේ බ්ලොගයට පූර්විකාව කියන පෝස්ට් එක දමද්දී මගේ හිතේ මිශ්‍ර හැගීමක් තිබුණා, ඇත්තටම කිව්වොත් මෙවැනි තැනකට ඇතුල්වෙන්න මට හැකිවෙයිද කොයි ආකාරයට මාව පිළිගනීද මම ලියන ඒවට හිනාවෙයිද ආදී වශයෙන් හිතමින් ඊළඟ පෝස්ට් එක ලියන්න දෙසැම්බර් වෙන තුරුම කල්පනා කරමින් හිටියා...දෙසැම්බර්වල කතාවක් ලියල දාපුවම මා බලාපොරොත්තු නොවුණු විදියේ පිළිගැනීමක් බ්ලොග් ලෝකෙන් මට ලැබුනා...
දිරිගැන්වීම් අගය කිරීම් ප්‍රචාරය කිරීම් ආදිය නොඅඩුවම මට ලැබුනා...මුලදී මුලදී හිට්ස් කමෙන්ට්ස් අඩුයි තමයි ඒක කාටත් ස්වාභාවිකයි නොවැ, නමුත් පසුකාලීනව ඒ සියල්ල ඉතා හොඳ මට්ටමකට ළඟාවූ නිසාවෙන් බ්ලොගයට අවුරුද්දක් පිරෙන අද දවස වනවිට ඉතාම අපූරු මිතුරු මිතුරියන් පිරිසක් ඉන්න තෘප්තිමත් බ්ලොග්කරුවෙක් වෙන්න මට හැකියාව ලැබිල තියෙනව...
උදව් කල අය, මුලදී දිරිදුන්න අය නම් වශයෙන් කියන්න හිතුනත් කාරණා දෙකක් නිසා එහෙම නොලියන්න මම තීරණය කළා...එකක් නම් ලැයිස්තුව දිග වීම, එතකොට මට වෙනත් දෙයක් ලියන්න වෙලාවක් නැතුව යනව ,අනික එක නමක් හෝ මග ඇරුණොත් ඒක ආපහු හදාගන්නට බැරි විශාල වරදක් වීම...
එහෙම පුද්ගල නම් තියෙන ලිපියක තමන්ගෙ නමත් ඇතුල්වෙලා තියෙනව දකින්න කවුරුත් කැමතියි ඒ පෘථග්ජන ස්වභාවය, ඉස්සෙල්ලම බලන්නෙ මගෙ නම තියනවද ඒ කොතනද කියලනෙ...පින්තූරයක් ගත්තොත් ඉස්සෙල්ලම බලන්නෙ ඒ පින්තූරෙ තමුන් ඉන්නෙ කොතනද කියල...
අපි ජීවත්වන්නෙ ඉතාම තදබල ආකාරයට මමත්වයෙන් පිරුණු ලෝකයක...ඩේල් කානගී ලියූ How to win friends and influence people කියන පොතේ තියෙන ආකාරයට ලෝකයේ වැඩිපුරම ලියවෙන කතාකරද්දි කියවෙන වචනය ''මම'' කියන වචනයයි.
මෙන්න මේ ''මම'' කියන ආයතනයට පහරක් එල්ලවෙද්දී මදිපුංචිකමක් වෙද්දි අපි ඉතා තදින් කිපෙනවා පළි ගන්නවා, වැඩිදුරටත් කිව්වොත් අනුන්ගෙ අහංකාරකමට පොලු පහර දෙන්න නොපැකිලව ඉදිරිපත්වන අපි තවත් කෙනෙක් අපේ අහංකාරකමට පොඩි කටුවකින් ඇන්නත් ඉතාම දරුණු විදියට ප්‍රතිප්‍රහාර එල්ල කරන්නට පෙළඹෙනවා...
ඒ මනුෂ්‍ය ස්වභාවයයි ලෙඩක් නොවෙයි, බ්ලොග් ලෝකෙටත් ඔය ධර්මතාව ඒ ආකාරයටම පොදුයි...අනිත් අයගේ බ්ලොග් රෝල්වල අපේ බ්ලොගය තියෙනව දකින්න අපි හරි ප්‍රියයි, තිබුනෙ නැත්නං පුංචි කණගාටුවක් ඇතිවෙනව...එහෙම තමයි,මනුෂ්‍යයින්ගේ විවිධවූ ක්‍රියාවන් අර්ථ දක්වන්නට හරිම දුෂ්කරයි...
ඉතිං මෙන්න මේ මමත්වය පිරුණු තැන අනෙකාගේ අහංකාරකමටත් නිසි තැන දෙමින් අපේ ලිවිල්ල ඉතාම සීරුවට කලයුතු වෙන නිසාවෙන්ම අවශ්‍යයෙන්ම කිවයුතු අයගෙ වුනත් නම් නොලියා ඉන්න මම කල්පනා කළා...ඒ ගැන මගේ ඒ හිතවතුන් මට සමාවෙතැයි මා විශ්වාස කරනවා...
ඉතිං වසරක් පිරෙන මේ දවසේ මගේ බ්ලොගය කියවූ,උදව්කළ,කමෙන්ට් කල හා විවිධාකාරයෙන් මට දිරිදුන් ඔබ සියලු දෙනාටම මා හිස නමා මල් කළඹක් දී මගේ අවංක ආදර ස්තූතිය පිළිගන්වනවා...
ඒ වගේම බ්ලොග්කරණයෙදී මට උදව්කළ ලඟින්ම සිටි විවේචකයන් දෙන්න වුනු බිරිඳ සහ පුතා මේ වෙනකොට මාත් එක්ක නැහැ, ඔවුන් දැනට මාස දෙකකට විතර උඩදී ලංකාවට ගියා, ළඟ නැතිවුනත් ඒ දෙන්නටත් මගේ ස්තූතිය පිරිනමනවා...
ඉතිං අවුරුද්දක් පිරුණු කතාව කියන්න ගිහිං ගොඩක් වටේ ගියා මොනව කරන්නද, සියලුම බ්ලොග් හිතවතුන්ට හිතවතියන්ට ජය පතමින් නවතින්නම්.
ප.ලි.අලුත් ඇඳුම නිර්මාණය කරදුන්නේ හිරු ඩිසයින්ස්.බ්ලොගේ නිකම්ම තියෙනව පාලුයි වගේ කියල ඇයම හිතල මේ අලුත් ඇඳුම හදල එව්වා.
හිරුට ගොඩක් ස්තූතියි.