"අහස ගොඩක් ලොකුද මහත්තයා?"
බිසෝ රංජිත්ගෙන් එක්වරම ඇසුවේ රංජිත් ඇඳේ හාන්සිවී සිටිද්දීය. රංජිත්ට පිටුපා හිඳගෙන හැට්ට කටුවක් දත් අතර රඳවාගෙන කොණ්ඩය බැඳ ගනිමින් කතාකළ බිසෝගේ හඬ අව්‍යක්ත විය. දිගු ඝන වරලස පීරා උඩට බැඳගනිද්දී කොණ්ඩය පොල් ගෙඩියක් මෙන් විසල්ය. ඇගේ හිසකෙස්වලින් හමන තරුණ සුවඳ රංජිත්ගේ සිත මන්මත්කරයි. බිසෝගේ කොන්ඩයෙන් හැමුවේ කපා වේලී ඇති තණපත් වල සුවඳය. ඇය වැළඳගෙන සිටිද්දී බිසෝගේ වරලසෙහි හිස සඟවා ගන්නට රංජිත් ප්‍රියකලේ ඒ නිසාමය. බිසෝ සීරුවට කටු ගසමින් සෙමෙන් හැට්ටය ඇඳගනී.
"අපොයි ඔව් ලොකුයි කියන්නෙ කිසිම සීමාවක් නැහැ. අපි ඒ විශාල අවකාශයෙ පාවෙන පුංචි තිතක් විතරයි!"
"එතකොට දිවිය ලෝකෙ ?"
"මම දන්න හැටියට දිව්‍ය ලෝකෙයි අපායයි දෙකම තියෙන්නෙ අපි ජීවත්වෙන මේ ලෝකෙ!"
"ඉතිං බුදු බණේ තියෙන්නෙ එහෙම නෙවෙයිනෙ?"
"බුදු බණේ කොහොම තියෙනවද මම දන්නෙ නෑ. අපි ඉන්න මේ සෞරග්‍රහ මණ්ඩලේ නම් දිව්‍ය ලෝකයක් කියල ලෝකයක් දැනට හොයාගෙන නෑ. අපි ඉර වටේ කැරකි කැරකි යනවා තව ලෝක හත අටක් එක්ක!"
"එතකොට ඉර නෙවෙයිද කැරකෙන්නෙ? උදේට අර කන්ද පැත්තෙන් ඇවිත් හවසට වැව පැත්තෙන් බැහැල යන්නෙ එහෙනං?"
"ඒක තමයි. ඒ අපි කැරකෙනකොට පේන හැටි. ඉර කොහෙවත් යන්නෙ නෑ. එක තැන තියෙන්නෙ!"
"මං පොඩි කාලෙ අපේ අම්ම කිව්වා සූර්ය දිව්‍ය රාජයයි, චන්ද්‍ර දිව්‍ය රාජයයි මතු බුදුවෙන මෛත්‍රී බුදුහාමුදුරුවන්ගෙ අග සව්වො වෙලා උපදිනව කියල. අම්මට කිව්වෙ උපාසිකාරාමේ මෙහෙණින්නාන්සෙ කෙනෙක්ලු!"
රංජිත්ගෙන් කිසිම ප්‍රතිචාරයක් නොමැත්තේ බිසෝ ඔහු දෙස හැරී බැලුවාය. රංජිත් කොට්ටය මුහුණට තද කරගෙන සිටී. ඔහුගේ සිරුර එක දිගට ගැස්සෙයි.
"ඇයි මේ මහත්තය හිනැහෙන්නෙ?"
"නෑ ඉතිං, මෛත්‍රී බුදුහාමුදුරුවො බුදුවෙන්න කලින් අපි මැරෙන නිසා සතුටට හිනාගියෙ!"
"ඇයි එතකොටත් හිටියොත් මොකක්ද වැරැද්ද?"
"වැරැද්ද? වැරැද්ද තමයි ඉර නැතිවෙන එක. අපට ඉන්න වෙන්නෙ ඉර නැති ලෝකෙක."
"එතකොට හැමදාම රෑ නේද මහත්තය?"
"ඔව් ඉතිං, ඉර විතරයැ හඳත් නැතිවෙනවනෙ. දවල් එළිය තියෙන වෙලාවට ඉන්න ඉරට වඩා කරුවලේ ඉන්නකොට එළිය දෙන හඳ ගොඩක් වටිනව කියල කවුදත් කිව්වලු."
රංජිත් නැවතත් සිනහසෙන්නට විය.
"මට තේරෙන්නෙ නෑ මහත්තය කියවන ඒවා."
"කියවන දේවල් වල තේරුමක් තියෙන්නම ඕනැද බිසෝ? සමහර වෙලාවට මම කියවන ඒවා මටත් තේරෙන්නෙ නෑ. එහෙමයි කියල මම කියවන එක නවතිනවද?"
"මං දන් නෑ මහත්තය, කරුවලත් වැටීගෙන එනවා මම යන්නද?"
ඇඳේ පසෙක පොඩිවී තිබූ චීත්තය රැගෙන හැඳ ගනිමින් බිසෝ අසයි.
"මම ඉන්නය කිව්වත් බිසෝට ඉන්න බෑනෙ. යන්න එපායැ. එහෙම නේද?"
"මහත්තය ඉන්න කිව්වොත් මම ඉන්න කැමතියි. ඒත් මහත්තයට එහෙම කියන්න බෑනෙ. හා නැද්ද?"
"මේ ලෝකෙ අපි කැමති දේවල්ම කරන්න, අපි කැමති දේවල්ම කියන්න තියෙනව නම් ලෝකෙ කොච්චර ලස්සනද බිසෝ? අපි දෙන්නටම වෙලා තියෙන්නෙ ඒක නේද?"
"මහත්තයගෙ ප්‍රෙහේලිකා මට තේරෙන් නෑ. හැම දේම වෙන්නෙ අපි පතාගෙන ආපු හැටියට කියලයි මම දන්නෙ. අපි දෙන්නටත් මෙහෙම හම්බවෙන්න නියම වෙලා තියෙන්න ඇති."
"එහෙම හිතල හිත හදා ගමු."
"කොහොමත් මහත්තය ඉක්මනට පිළිවෙලක් වෙන එක හොඳයි. මේවා තව කොච්චර කල් නං වසං කරගෙන ඉන්නද? කොයි වෙලාවක හරි මේවා එලිඋනොත් ඉස්කෝලෙ ලොකු මහත්තයටත් ආරංචි වෙයි. එතකොටත් මහත්තයටමනෙ හොඳ නැත්තෙ. මට නං ඕනෑ එකක්."
රංජිත් නිහඬවම සිටියේය. ඔහුගේ අත ගෙන තදින් මිරිකා බිසෝ පිටත්ව ගියාය. එදා රාත්‍රිය රංජිත්ට බොහෝ දිගු එකක් විය. රෑ දෙගොඩහරියක් වෙනතුරු ඇඳේ ඒ මේ අත පෙරළෙමින් සිටි රංජිත්ට නින්ද ගියේ පාන්දර ජාමයේය.
*
"ඈ හාමිනේ, දැන් රංජිත් ම්හත්තේලගෙ ගෙදරින් ඇවිත් ගිහිල්ලත් සති දෙක තුනක් ගියා නේද?අපිටත් ඒ ගම් පලාතෙ ගිහිං එන්න කාලෙ හරි."
ජයතිස්ස ඉස්කෝලෙ මහත්තයා බිරිඳ සමග කතා කළේ රාත්‍රී ආහාරයෙන් පසු ඉස්තෝප්පුවේ හාන්සි පුටුවේ දිගාවීගෙනය. පියවතී හාමිනේ එතනම පුටුවක වාඩිවී සිටියේ පරණ සඟරාවක් පෙරලමින් මැහුම් පාඩමක් සොයමිනි.
"ඒක නං මටත් කීප දවසක්ම කල්පනා උනා මහත්තයො. දැන් පරක්කුත් එක්ක නේද? ඒ ගොල්ලො බලනව ඇති අපි නේන්නෙ මොකද කියල?"
"එහෙමනං අපිත් රංජිත් මහත්තයට කියලා එහෙ යන්න දවසක් වෙලාවක් දා ගම්මු."
සිකුරාදා සවස කුලියාපිටි ගොස් කෙල්ලන් දෙන්නා ගෙදර ඉඳිද්දී සෙනසුරාදා ජයතිස්ස මහත්තයගෙ මල්ලිගේ පවුලත් සමග ඒ අයගේ වාහනයෙන් රංජිත්ගේ ගෙදර ගිහිං ආපසු ඉරිදා ගල්ගමුවට එන්නට තීරණය විය.
ඒ සිකුරාදා පාසැල නිමවී රංජිත් ගෙදර ගියේ පහුවදාට යෙදී ඇති මගුල් ගමන නිසාය. පහුවදාට ගෙදර එන්න කියා අනුර මහත්තයට ආරාධනා කරන්නට රංජිත් යන ගමන්ම අනුර මහත්තේලාගේ ගෙවල් පැත්තෙන් ගියත් ගේ වසා තිබුණි. විස්තර සෝදිසි කළ රංජිත්ට දැනගන්නට ලැබුණේ අනුර මහත්තයා නෝනාත් එක්කම රට ගිහිං ඇති බවය. ආපහු එන්නට තව අවුරුදු තුන හතරක් ගතවන බවය. ඊට පේර එනවානම් නිවාඩුවකට ටික දවසකට ඇවිත් යන්නට ආවොත් පමණය. රංජිත්ගේ හිතට ඇති වුණේ පාලුවකි. මේ වෙලාවේ ලඟින් සිටිය යුතුම හිතවතා නැතිවීම මහත් පාඩුවක් බව ඔහුට සිතුණි.
දෙපැත්තේ විස්තර දෙගොල්ලම දැනසිටි නිසා රංජිත්ලාගේ ගෙදර පැමිණි ජයතිස්ස මහත්තයා ඇතුළු පිරිසට වැඩිපුර කතාබහ කර තීරණ වලට එන්නට දෙයක් නොවූ අතර තිබුණේ මගුලට දින තීරණය කරගන්නට පමණකි. ගෙදරට පැමිණි අලුත් නෑදෑයන්ට හැකි උපරිමයෙන් සංග්‍රහ සත්කාර කරන්නට රංජිත්ගේ මව උත්සුක වුණේ ගමේ කාන්තාවන් කීප දෙනෙක්ද ඉවුම් පිහුම් වැඩවලට අඬගහ ගනිමිනි.
"අපි මේ චාරිත්‍රේට ආව මිසක ආපහු බලන්න කරන්න දෙයක් ඉතුරු වෙලා නෑනෙ? "
පියවතී හාමිනේ කිව්වෙ රංජිත්ගේ මව සමගය.
"ඔව් ඉතිං, මේවා සිරිතට කරන දේ මිස ආයෙ මොනව හොයල බලන්නද?"
රංජිත්ගේ මව කීවාය. ඒ වුණාට කුස්සියේ වැඩ කරන ගෑණු දෙතුන් දෙනාට නම් රංජිත්ගේ මවගෙන් කටයුත්ත ගැන දැනගන්නට බොහෝ දේ වූ බව අහපු ප්‍රශ්න වලින්ම තේරුම් ගිය රංජිත්ගේ මව,
"ඉස්සෙල්ල ඔය කරන වැඩේ ඉවරයක් කරලා ඉඳිල්ලකො. ඔය අපේ ළමය උගන්නන ඉස්කෝලෙ ලොකු මහත්තයයි පවුලෙ අය නොවැ. මේ ළමයට ඔය මහත්තයගෙ ලොකු දුව කතා කරල තියෙන්නෙ ඒ ගොල්ලන්මයි. අපි පහුණු දවසක ගිහිං ඒ ගෙවල් දොරවල් බලල ආවත්නෙ."
"රස්සාවක් කරන ළමෙක්ද හාමිනේ?"
කටකාර සිරියාවතී ඇසුවාය.
"තාම එහෙම වයසක්වත් නෑ බං. ඉස්කෝලෙන් අයින් උනා විතරයි. ගෙයක් දොරක් බලා කියා ගන්නවත් දන්නෙ නැතුව ඇති."
රංජිත්ගේ මව කතා කළේ කටහඬ පහත් කරමිනි.
"එහෙනං ඒ ළමයගෙ කොටසත් කරන්න වෙන්නෙ හාමිනේටම තමයි."
කුසුමා කීවේ සිරියා වෙත නෙත් යවමිනි.
රංජිත් කුලියාපිටියෙන් ආ කට්ටිය එක්ක වත්තේ ඇවිදින්නට ගිහිං සෑහෙන වේලාවකි. ජයතිස්ස මහත්තයාත් ධර්මසේන ලොකු ඉස්කෝලෙ මහත්තයාත් එළියේ පුටු දෙකක වාඩිවී කතා කරමින් සිටි තැනට පියවතී හාමිනේද පැමිණියාය. ඉන්න ගෙයත් ඉඩමටත් අමතරව හංදියේ තියෙන කුලී ගෙයද, කුරුවෙවත්තේ ඉඩම් කෑලි දෙකක් සහ කුඹුරක්ද රංජිත්ට අයිති වන බව ධර්මසේන ලොකු ඉස්කෝලෙ මහත්තයා කියූ විට පියවතී හාමිනේගේ වත එළිය වැටිණි.
"මම ඔය දේපල ගත්තෙ පිරිමි තුන් දෙනාටමයි. ඒත් ඉතිං සිද්ද උනේ හිතපු දෙයක් නෙවෙයිනෙ. දැන් ඉතිං ඒ ටිකත් මේ ළමයටම තමයි."
ධර්මසේන ලොකු ඉස්කෝලෙ මහත්තයා කීවේ කණස්සල්ලෙනි.
"ඒ ගොල්ලො ගෙනාපු විදියට තමයි සිද්දවෙන්නෙ. මහත්තය දුක් වෙලා මොනවටද?"
ජයතිස්ස මහත්තයා කියන විට ධර්මසේන ලොකු ඉස්කෝලෙ මහත්තයා හිස වැනුවා මිසක මොකුත් කියන්නට ගියේ නැත. රංජිත්ලාගේ ගෙදරින් පිරිනැමුණු සත්කාර අවසානයේ මගුල එළඹෙන ජනවාරියේ කරන්නට දෙගොල්ලන් එකඟත්වයකට පැමිණුනි. නැකත් බැලීම ආදී ජ්‍යොතිෂ්‍ය වැඩ කටයුතු ධර්මසේන ලොකු ඉස්කෝලෙ මහත්තයා විසින්ම බාර ගැනුණි. හැන්දෑවේ ජයතිස්ස මහත්තයා ඇතුළු පිරිස රංජිත්ලාගේ නිවසින් පිටත් වුණේ බොහෝ සතුටිනි ෴