Sunday, August 19, 2018

ඩැනිස් ගේ සොමිය, සුනාමිය, පප්පාට වූ අකරතැබ්බය සහ අවසානය.

                                                 Photo : Google Images.
ඩැනිස් ගේ සොමිය 3
ඩැනිස් ගේ සොමිය 2
ඩැනිස් ගේ සොමිය 1

අපට ඩැනිස් ගේ සොමිය අවසානයක් කරන්නට බැරිවුණේ වෙන වෙන කතා ලියන්නට සිදුවීම නිසාය.  මම කලින් කතාවේ කිව්වත් වගේම ඩැනිස් ගේ මල්ලිගෙ දුවගේ මංගල්ලයට ගිය වෙලේ ඩැනිස් ගේ නෝනා මහත්තයා හෙවත් අක්කාත් දරුවනුත් මුණ ගැසිණි.  ඒ මුණ ගැසීම සිදුවුණේද කාලාන්තරයකට පසුවය.  අපි කට්ටියම එකතුවී ඒ දවස්වල ඩැනිස් එක්ක කරපු කියපු දේවල් මතක් කරමින් ඇති වෙන්නට සිනාසුනෙමු.

මඟුල් ගෙදරට අක්කාත් දරුවන් තුන් දෙනෙකුත් ඇවිත් සිටි අතර බාල දුව හෙවත්  එකල අපේ කුඩා සුරතලිය වූ මනෝ විවාහවී විදේශයක ජීවත් වන නිසා දකින්නට සිටියේ නැත.  බාලයා ඇවිත් නොහිටියේ රස්සාවේ ඉන්ටර්විව් එකක් නිසා කාර්යබහුල වී ඇති බැවින් යැයි කිව්වේ ලොකු දුවය.  මනෝ වැඩිවිය පැමිණුනේ ද අපි ඩැනිස් ගේ ගෙදර හිටපු දවසක රාත්‍රියේය.  " මගෙ කෙල්ලගෙ මඟුලට උඹල ඉන්නම ඕනෑ" යැයි එවේලේම ඩැනිස් නිවේදනය කර සිටියේ " යන එකෙක් එක්කවත් මීට පස්සෙ මගෙ කිසිම සම්බන්ධයක් නෑ" කියා තර්ජනයක් ද කරමිනි.  ඒ නිසා අකමැත්තෙන් වුණත් වැඩිපුර දවස් තුනක් කළුවාමෝදර නවතින්නට අපට සිදුවිය.

දවස් තුනක් ඉන්නට වුණේ සුබ නැකත යෙදී තිබුණේ දවස් තුනකට පසුව වීම නිසාය.  ඒ දවස් තුනේමත් හැම රෑකම ඩැනිස් මඟුලට පෙර මඟුල් කෑවේ අපිත් එක්කය.  බීගෙන වෙරිවන ඩැනිස් කාත් එක්ක හෝ කොක්කක් ඇදගෙන රෑට අපිව ගෙදරින් පිටමං කර පහුවදා උදේම ආපහු යාළුවෙයි.  අද ඩැනිස් ජීවතුන් අතර නැති බව මෙතෙක් මා ලියු දේවලින් ඔබ වටහාගෙන ඇතැයි සිතමි.  ඊළඟට ලියන්නට ඇත්තේ ඔහුගේ අවසානය ගැන කතාවයි.  මේ හරිය මට අත්දකින්නට නොලැබුණේ ඒ දිනවල මා විදේශගතවී සිටි බැවිනි.  අක්කාගෙන් හා ඩැනිස්ගේ මල්ලිගෙන් මා ඉතිරි හරිය පසුව අසා දැනගතිමි.

2004 දෙසැම්බර් වල සුනාමිය එන්නට කළින් පෙබරවාරියේදී ඩැනිස් යන්නට ගියේ හෘදයාබාධයක් හේතුවෙනි.  ඊට ටික කලකට පසුව ආ සුනාමිය ඩැනිස්ගේ ගෙදරත් අපි ඉතා ඇලුම් කළ ගෙස්ට් හවුසියත් ඒ ලඟින්ම ඩැනිස් සාදා තිබු කඩ පේළියත් බිලිගත්තේ ගෙදර අයට ඇඳි වත පමණක් ඉතුරු කරමිනි.  කොටින්ම ගෙදර කට්ටියත් බේරී තිබුණේ නුලෙන් කිව්වොත් නිවැරදිය.

ඩැනිස් මුදට කිට්ටුවෙන් අලුත් ගෙයක් හදද්දී අක්කාගේ මාමා කෙනෙක් අනාවැකියක් කියා ඇත.  මුහුදේ හැසිරීම ගැන අත් පොතක් බඳු පළපුරුදු තන්ඩලේ කෙනෙක් වන මාමා එදා මුහුදේ මැද ඇති ගලක් පෙන්වා කියා ඇත්තේ ඒ ගලට උඩින් වතුර දාපු දිනෙක මේ අලුතෙන් හදන ගෙටත් වතුර දාන බවයි.   ගලට උඩින් වතුර දානවා දුටුවොත් මොහොතක් වත් ගෙයි නොසිට පිටවී යන්නැයි සුනාමියක් ගැන හීනෙකින්වත් නොසිතු කාලයක මාමා නිවැරදිවම කියා ඇත.  ගෙදර හිටපු අය බේරුණේ ඒ අනාවැකිය පිළිපදිමින් ගෙදරින් හැකි ඉක්මනින් පිටවී ගිය නිසාය.

ඩැනිස් ට හෘදයාබාධය හැදුණේ අම්මාගේ මරණය ගෙයි තිබියදීය.  අම්මාගේ මිනිය ගෙදරට ගෙනැත් සාලයේ තැන්පත් කර පෙට්ටිය ඇරිය විට ඩැනිස් දැක්කේ පෙට්ටිය මිනියට වඩා අඟල් හයක් පමණ දිගින් වැඩි බවය.  වලියක් ඇදගන්නට ඔහුට ඒ හොඳටම ප්‍රමාණවත්ය.  මල් ශාලාවේ එකා මොන මොන දේවල් කිව්වත් වලියේ අවසානය වුණේ ඩැනිස් මල් ශාලාවේ අයිතිකාරයාට මිනියත් අරගෙන ආපහු යන්නටැ යි කියා ගුටි බැට දුන් පසුවය.  මළගෙදර දැම්ම වලියෙන් පසු ඩැනිස් ගෙදර ගියේය.  කලින් ඉඳන් ටික ටික ඇතිවී තිබුණු පපුවේ වේදනාව එදා තදින් දැනුණු නිසා අක්කාට ඒ ගැන කියූ ඩැනිස් ඇඳට ගියේය.  කලබල වුනු අක්කා ගෙදර අයටත් කතාකොට ඩැනිස්ව රෝහල්ගත කළාය.  රෝහලේ දවසක් ගතකළ ඩැනිස්ව පසුවදා ඩිස්චාජ් කරන ලදී.  දෙවෙනි ඇටෑක් එක ආවේ ගෙදර අයත් එක්ක රෝහලේ සිට ආපහු එන්න ලෑස්ති වෙමින් සිටියදීය.  එයින් ඔහුට ගැලවීමක් නොවූ අතර ගෙදර ගෙනාවේ ඩැනිස්ගේ නිසල දේහයයි.

ඩැනිස්ගේ හොඳම යාලුවා වූ පප්පා ඒ වන විටත් මෙලොව හැර ගොස් සිටි බව මට කලින් කියන්නට අමතක විය.  පප්පාගේත් ඩැනිස්ගේත් තවත් කතාවක් කියා ඩැනිස්ගේ සොමිය අවසාන කරන්නට කැමැත්තෙමි.

ගෙස්ට් හවුස් එක හදද්දී පප්පාත් ඩැනිසුත් අතර කොන්දේසි කිහිපයක් සම්බන්ධයෙන් එකඟත්වයක් ඇතිවිය.  පප්පා ඉදිරිපත් කළ කොන්දේසිය වුයේ ලංකාවේ ගතකරන කාලය තුළ ගෙස්ට් හවුසියේ තනි සම්බුද්දිය ඔහුට ලැබිය යුතු බවය.  ඩැනිස් ඒ කොන්දේසියට එකඟ විය.  ඩැනිස්ගේ කොන්දේසිය වුයේ ගෙස්ට් හවුසියට සබ්ජෙක්ට් ගෙනෙන්නට තහනම් බවය.  නොම්බර එකේ සබ්ජෙක්ට් කාරයෙක් වූ පප්පාට අකැමැත්තෙන් නමුත් එයට එකඟ වන්නට සිදුවිය.   වැදගත් විදියට ගමේ ජීවත් වන තමන්ට ලොකු මහත් වුනු දරුවන්ද සිටින නිසා එවැනි වැඩ තමන්ගේ තැන සිදුවීම තමන්ගේ නමට කැළලක් බව ඩැනිස් පප්පාට පැහැදිලි කර දුන්නේය.  සුරා සුදු ආදී හැම දුශ්චරිතයකම යෙදුනද ඩැනිස් සබ්ජෙක්ට් කාරයෙක් නොවූ අතර කොටු පැනීම ඔහුට අරහං විය.

කොන්දේසිය කෙසේ වුවද පප්පා තමන්ගේ පුරුද්ද අතහැරියේ නැත.  ඔහු ඩැනිස්ට හොරෙන් ගෙස්ට් හවුසියට සබ්ජෙක්ට් උස්සා ගෙන ඇවිත් සුක්ෂ්මව පිටත් කර හැරියේය.  දවල්ට කෑමෙන් පසු පැයක් දෙකක් නිදාගැනීම ඩැනිස්ගේ සිරිතයි.  පප්පා සබ්ජෙක්ට් උස්සා ගෙන එන්නේ ඒ වෙලාවටය.  මෙහෙම කරගෙන ගිය පප්පාගේ  හැංගිමුත්තන් සෙල්ලම දවසක් වැරදුණේය.  එදා පප්පා සබ්ජෙක්ට් එකක් උස්සාගෙන ගෙස්ට් හවුස් එකට ආවේ ඩැනිස් නැගිටින්නට පෙර වැඩේ අවසන් කර කෙල්ලව පිටත් කරන්නට හිතාගෙනය.  ඉස්සරහ දොරෙන් ගෙට ගත්තොත් ඩැනිස්ලාගේ ගෙදරට පෙනෙන නිසා සබ්ජෙක්ට් එක වැට ළඟ නවත්වා පප්පා ගෙස්ට් හවුස් එකට ආවේ පස්සා දොර හැර සබ්ජෙක්ට් එකව ගෙට ගන්නටය.

පප්පාගේ කරුමෙටදෝ එදා ඩැනිස් දවල් නින්ද නිදාගෙන නොසිටියේය.  එදා දවල් ගමේ මඟුල් ගෙදරකට සහභාගී වී හොඳට අනුමත වූ ඩැනිස් ආපහු ගෙවල් පාරේ වාහනය පදවාගෙන එද්දී දැක්කේ ගෙස්ට් හවුස් එකේ වැට ළඟ හොරගල් අහුලමින් ඉන්න කෙල්ලවය.  වහාම වාහනය නවතා ඔහු කෙල්ලගෙන් ප්‍රශ්න කරන්නට විය.  කෙල්ලට කියන්න දෙයක් නැති තැන ඩැනිස්ට යකා නැග්ගේය.  තිත්ත කුණුහරුපයෙන් බනිමින් වැටෙන් පොල්ලක් කඩා ගත් ඩැනිස් කෙල්ලට ආගිය අතේ නෙලන්නට වූ විට මෙලෝ සිහියක් නැතුව විලාප දෙමින් දිවගිය කෙල්ල ළඟ ගේකට රිංගා හැංගුණේ ඩැනිස්ගේ ප්‍රහාරයෙන් බේරෙන්නටය.  කෙල්ල බේරා ගන්නට ආ පප්පාටද ඩැනිස්ගෙන් පිට හරහට පොලු ප්‍රහාර  කීපයක්ම එල්ල විය෴

28 comments:

  1. ඩැනිස්ගේ සදාකාලික සමුගැනීමත් "ඩැනිස් ගේ සොමිය" කතා මාලාව මෙසේ අවසන් වීමත් වේදනා බර ය.

    කෙල්ල බේරා ගන්නට ආ පප්පාට ඩැනිස්ගෙන් පිට හරහට ලැබුණ පොලු ප්‍රහාර කීපයනිසා පප්පා නැවත ලංකාවට ආවේ නැතිද ?


    "හුදේ හැසිරීම ගැන අත් පොතක් බඳු පළපුරුදු තන්ඩලේ කෙනෙක් වන මාමා එදා මුහුදේ මැද ඇති ගලක් පෙන්වා කියා ඇත්තේ ඒ ගලට උඩින් වතුර දාපු දිනෙක මේ අලුතෙන් හදන ගෙටත් වතුර දාන බවයි. "

    මේ වගේ පුරුදු කාරයෝ ගොඩ දෙනෙක් එදා සුනාමියෙන් බේරුනේ පරිසරයේ වෙනස්කම් හොදට තේරුම් ගත්ත නිසා .

    ReplyDelete
    Replies
    1. සමුගැනීම කොපමණ වේදනාබර වුවත් අවසානයක් දැකිය යුතුය.
      පප්පා ඉන්පසුවද ලංකාවට පැමිණි අතර පසුකාලීනව ජීවිතයෙන් සමුගෙන ගියේය.

      Delete
  2. මෙහෙව් ඩයල් එකක් ගෙස්ට් හවුස් එකක් කලා කියන්නෙත් පුදුමයක්... කස්ට්මස්ලත් එක්කත් මරාගන්න ඇති :-)

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් වැඩිවුණු වෙලාවට කස්ටමර් කියල බලන්නෙ නෑ.

      Delete
  3. හලෝ හැලපෙ, ගොඩ දවසකින් කොමෙන්ට් එකක් දාන්නේ.

    හැලපගේ කතාවේ ඩැනිස් වෙලාවට ගහ බැන ගත්තට හිත හොද කෙනෙක් වගේ නේද හැලපෙ?

    ඉතිං හැලපෙ මොකද කරේ මේ ටිකේ? පහුගිය සතියෙම වහින නිසා ඇඟපත රත් කරගන්න කියපු දවස් ටික නේද?

    අද නං හැලපෙ මම ඔපිස්‌ ගියේ නෑ. අද බෑ හිතුනා යන්න.

    ඊට පස්සේ මම උදේ ගිහිං අපේ පොට් එකෙන් බෝතලයක් අරං අවා. දැන් නං භාගයක් විතර දාලා ඉන්නේ. ඔන්න මම පොටෝ එකකුත් ගත්තා හැලපට බලාගන්න එහෙම.

    තව දවල් වෙනකොට ඉතිරි ටිකත් ගහලා බත් ඩිංගක් කාලා හාන්සි වෙන්න ඕනි.

    පොටෝ එක මෙතනින්

    ReplyDelete
    Replies
    1. අම්මෝ ඇනෝ, වේල් දෙකට බෝතලයක් ගහනවද?

      Delete
  4. සිදුව තිබෙන අසනීපය ගැන සිතුවත්
    පපුව අමාරුවකින් ඔහු යන්න ගියත්
    නැතුව ඔහුගෙ මිතුදම් ඔහු සිහි වූවත්
    රතුව කඳුළු ගලනව තව දෙනෙත් වලත්....


    ජයවේවා!!!

    ReplyDelete
  5. හුග කාලෙකින් බ්ලොග් එක පැත්තේ ආවේ. ඩැනිස් කථා සීරියස් එක බලලාම කමෙන්ට් කරන්නම්

    ReplyDelete
    Replies
    1. හොඳයි. ඔබේ බ්ලොග් එක ගැනත් බැලුවොත් ගොඩක් හොඳයි.

      Delete
  6. අපරාදෙ ඩැනිස් ලොක්කා.......
    පොර ගිය තැනත් පොඩි අඩියක් ගහලා, වලියක් ඇදගෙන, පහුවදාට ආපහු යාලු වෙවී ඇති.....

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ගිය තැනත් මෙහෙ වගේම සොමියෙන් ඇති.

      Delete
  7. එක අතකින් ඒ වගේ යක්කු කොන්ද කෙලින් තියං ඉන්න එක ගැන ගරු කරන්න ඕන. ලියමන කෙටි වීම ගැන සාතිශ්‍ය සංවේගය.

    ReplyDelete
    Replies
    1. අවසාන කොටසනේ, ඉතින් කෙළින්ම ඉවර කළා.

      Delete
  8. මං මේ කල්පනා කලේ ඩැනිස් ගේ පුරුදු ගැන. මිනිහ සබ්ජෙක්ට් එකට නැති උනාට ඉදල තියන යාලුවො සබ්ජෙක්ට් එක්ස්පර්ට් ලා නේද?

    ReplyDelete
    Replies
    1. හම්බෝ, මඩ තලියයි ලොකු මල්ලි.

      Delete
  9. අපොයි අහිංසකයා , කලින්ම ගිහින්. අනවශ්‍ය කෝපය හොඳ නැහැ කියන්නේ ඕකයි. අහවල් වැඩේට සබ්ජෙක්ට් ගේනවා කියල අදමයි ඇහුවේ. හේ හේ

    ReplyDelete
    Replies
    1. ඔව් සබ්ජෙක්ට් කියල ඒ අයටත් කිව්වා.

      Delete
  10. ඩැනිස්ට වෙච්ච දේ ගැන කණගාටුයි. මුහුද විතරක් නෙමෙයි මොන පරිසරය ගැන උනත් අවධානයෙන් ඉන්නවනං ගොඩක් ජීවිත බේරගන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ, පාර ගැනත් අවධානයෙන් ඉන්නව නං පැපරාසින් ගෙන් බේරෙන්න ඇහැකි.

      Delete
  11. ඩැනිසුත් ස්වර්ගයේ ඉඳන් මේ පෝස්ට් කියවනවා ඇති! බඩ අල්ලාගෙන හිනා වෙවී.

    ReplyDelete
    Replies
    1. එකෙන්ම, යකෝ මු ලියන ඒවා කියා කියා හිනාවෙයි.

      Delete
  12. නියම කකුලක්. හිත හොඳ මිනිහෙක්. ඒ අයට වැඩිකල් ජීවත් වෙන්න ලැබෙන්නෑ .
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. එහෙමත් කියනව නේද. හිත හොඳ අය ඉක්මනට යනවලු.

      Delete
  13. ඩැනී බෝයි වෙනුවෙන් මල් වඩමක් වෙනුවට :


    Oh Danny boy the pipes the pipes are calling
    From glen to glen and down the mountain side
    The summer's gone and all the flowers dying
    'Tis you 'tis you must go and I must bide

    But come ye back when summer's in the meadow
    Or when the valley's hushed and white with snow
    'Tis I'll be here in sunshine or in shadow
    Oh Danny boy oh Danny boy I love you so

    But when ye come and all the roses falling
    And I am dead as dead I well may be
    Go out and find the place where I am lying
    And kneel and say an ave there for me

    And I will hear tho' soft you tread above me
    And then my grave will warm and sweeter be
    For you shall bend and tell me that you love me
    And I will sleep in peace until you come to me

    Songwriters: Frederick E. Weatherly

    ReplyDelete

ඔබේ අදහස්