අධි පොසොන් පෝය යෙදී තිබුණේ ද වෙසක් මාසයේය. ඔරිජිනල් පොසොන් පෝය වගේ උත්සවාකාරයෙන් අධි පොසොන් පෝය සැමරුවේ නැතත් තැන් තැන්වල දන්සැල් තිබුණු බව දැනගන්නට ලැබුණි. එහා ගමේ තමන් ඇතුළු කට්ටිය එකතුවී මඤ්ඤොක්කා දන්සැලක් දුන් බව මට කිව්වේ අපේ පැත්තට එන චූං පාන් කොල්ලාය. නුවර පාරේ තිබුණු කහබත් දන්සැලකට මටත් ආරාධනාවක් තිබුණත් නොගියේ දුර නිසා මෙන්ම කම්මැලිකම නිසාත්ය. ඒ වුණාට දන්සැලේ සංවිධාකයින් මටත් කහබත් පාර්සලයක් ගෙදරට එවන්නට කටයුතු කර තිබුණි. මෙලෝ රහක් නැති ඒ කහබත් පාර්සලය කාපු මට කහබත් කියන නමද එපාවුණා මෙන්ම දන්සැලට නොගිය එක මොනතරම් හොඳදැ'යි සිතුනි.
කොහොමත් අපේ පළාතේ වෙසක් උත්සවය මෙන් පොසොන් උත්සවය සරු නැත. ඒ වුණාට ටිකක් උඩහට වෙන්නට වැඩිපුරම සරු වෙසක් නොවැ පොසොන්ය. ඒ පළාතේ පොසොන් සැරසිලි මෙන්ම දන්සැල්ද පොසොන් පෝයට නොඅඩුව දක්නට ලැබේ. ලංකාවාසී අපට වඩා වැදගත් විය යුත්තේ වෙසක් පෝයද පොසොන් පෝයද යන කාරණය ගැන මම නිකමට වගේ කල්පනා කළෙමි. වෙසක් කියන්නේ සම්බුදු තෙමඟුලය. පොසොන් යනු ලංකාවට බුදුදහම ගෙන ඒම හෙවත් මහින්දාගමනයයි. එදා මිහිඳු හිමියන් ලක්දිවට බුදු දහම නොගෙනාවා නම් කෙතරම් උසස් වුවත් සම්බුදු තෙමඟුල ගැන ලංකාවාසීන්ට දැනගන්නට ලැබෙන්නේ නැත. ඒ නිසා අපි තර්කානුකූලව සිතුවහොත් ලංකාවාසී බෞද්ධයන් වූ අපට වඩා වැදගත් විය යුත්තේ මහින්දාගමනය යෙදුණු පොසොන් පෝය යැයි සිතිය හැක.
මහින්දාගමනයේ පළවෙනි කොටස ලංකාවේ ප්‍රදර්ශනය වුණේ වාර්තා තබමිනි. දවස් සීයක් නොවැ අවුරුදු දහයක්ම මහින්දාගමනය දිව්වේ කොහොම දිවිල්ලක්ද කියා අපි කතාකරන බාසාවෙන් කිව්වොත් බැඳගෙන දිව්වේය. මහින්දාගමනයේ පළවෙනි කොටස ප්‍රදර්ශනය වීමෙන් පසුව එය බැලු සංඛ්‍යාව ගැන රටේ ලොකු කතාබහක් ඇතිවිය. කට්ටියක් කිව්වේ බලපු අය වැඩියි කියා වුණත් තව කට්ටියක් නොබලපු අය වැඩියි කියා තර්ක කළෝය. මේ හාහෝව අවුරුදු තුනකටත් වඩා ඇදී යද්දී අන්තිමට බලපු අය වැඩියි යයි තර්ක කළ අය නිවැරදි බව පහුගිය පෙබරවාරි මාසේ හරියටම සොයා ගත්තේ නොබලපු අය වැඩියි කියපු උන්ට කට උත්තරත් නැති කරමිනි. දැන් අපි බලා ඉන්නේ මහින්දාගමනයේ දෙවැනි කොටස එනතුරුය. පළවෙනි කොටසේ තිබුණු ත්‍රිල් එකේ හැටියට දෙවැනි කොටසත් ෆුල් සීරියල් එකක් වෙන බව මට කටපුරාම කිව හැකිය.
ඒ කතාව පැත්තක තබා ආපහු ප්‍රස්තුතයට ආවොත්, මිහින්තලේ ගියවිට මිහිඳු හිමියන් වැඩ සිටි ගල දකින හැමදාම මට ඇතිවෙන ප්‍රශ්නයක් නම් මිහිඳු හිමියන් මේ ගල උඩට ආවේ කොහොමද කියන එකය. මිහිඳු හාමුරුවන් සහ අනෙකුත් හාමුදුරුවරුන් හතර දෙනා එර්දි බලයෙන් ගල උඩට වැඩියත් ඒ සමග ආ සුමන සාමණේර හාමුදුරුවෝත් අනික් උපාසකයාත් කොහොම ආවාද යන්න විවාදයට තුඩුදෙන කරුණකි. ප්‍රබන්ධ කතා පැත්තකට දමා තර්කානුකූලව සිතතොත් මගේ අදහස නම් මිහිඳු හිමියන් පළමුව නැව් මගින් ලංකාවට පැමිණ ඊට පසු මිහින්තලයට වැඩියා කියලාය. නැතිනම් මිහිඳු හිමියන් කිසිම සද්දක් නැතුව ගල උඩට වැඩීමත් එදාම දේවානම් පියතිස්ස රජතුමා මිහින්තලේ දඩයමේ යාමත් සිදුවන්නට ඇති සම්භාවිතාව ඉතා අඩුය. ඒ නිසා දුර්වල ප්‍රබන්ධයකට වඩා දේවානම් පියතිස්ස රජතුමාගේ මිතුරෙකු වූ ධර්මාශෝක රජතුමා දේවානම් පියතිස්ස රජතුමාගේ අනුදැනුමද ඇතුව සිය පුත්‍රයා ලංකාවට පිටත් කර එව්වාය කීම වඩාත් සත්‍යයට සමීප බව මගේ විශ්වාසයයි.
ඒ කොහොම වුණත් පොසොන් පෝයට අනුරාධපුරයත්, මිහින්තලයත් මහත් බැතියෙන්ද, උත්සවශ්‍රීයෙන්ද ඇලලී යන බව නම් අමුතුවෙන් කිව යුතු නැත. අසූව දසකයේ මුල් භාගයේ වගේ කොල්ලන්වූ අපි පොසොන් පෝයට අනුරාධපුරේ වන්දනාවේ යාම සිරිතක් වශයෙන් නොකඩවා කළ දෙයකි. එදවස වැලිසර ළය රෝහලේ රස්සාව කළ අපට අනුරාධපුරේ යෑම එච්චර වියදම් යන කටයුත්තක් නොවේ. ගමන් වියදම් අවශ්‍ය නොවන්නේ වොරන්ට් එකක් ලියාගත් විට නොමිලේම ගමනාගමන පහසුකම් සැපයෙන නිසාය. කෑම බීමෙන් ප්‍රශ්නයක් නොවන්නේ අනුරාධපුරේ බැලු බැලු අත ඇති නා නා ප්‍රකාර දන්සැල් නිසාය. නවාතැන් ගැන ගැටළුවක් ඇති නොවන්නේ අපිත් එක්ක වැලිසර වැඩකරපු ගුණේ ස්ථාන මාරු ලබා ඇවිත් අනුරාධපුරේ චෙස්ට් ක්ලිනික් එකේ වැඩකළ නිසාය. පෝයට අනුරාධපුරේ යන්නට විශේෂයෙන් මට තවත් උත්තේජනයක් වුයේ ඒ කාලයේ විජයපුර පැත්තේ හිටපු මගේ ක්‍රෂ් එකක් බලන්න යන්නටත් හැකි වෙන එකය.
පෝයට කලින් දවසේ උදේ කෝච්චියේ නැගී අනුරාධපුරයට එන අපි කෙළින්ම ගුණේට වාර්තාකර නවාතැන් සපයා ගන්නෙමු. ඊට පසුව අනික් උන් ටවුමේ ඇවිදින්නට යද්දී මම උන් ටික මග හැර බස් එකට නැගී විජයපුරට ගොස් කෙල්ලද බලා එහෙන් දවල්ට කෑමද කා හවස් වෙද්දී ටවුමට එමි. මේ යුවතිය ගැන වෙනම කතාවක ලියන්නට තරම් විස්තර ඇති නිසා ඒ ගැන වැඩි විස්තර මෙතැන ලියන්නට අදහසක් නැත. ක්‍රෂ් එක බලන්නට මම තනියම යන එක ගැන අනික් සගයන්ගේ කිසිම මනාපයක් නැති වුණත්, මම ඒ ගමන තනියම යන්නට නිතරම වග බලාගන්නේ අනික් උන් ටික එක්කරගෙන ගියොත් ලෝක ලෙඩක් වෙන නිසාය. එකම දවසක් විජයපුර යද්දී ගුණේව අඬගහගෙන ගියා මට මතකය. ගියාට එදා කෙල්ල කොහෙද ගමනක් ගිහින් ගෙදර හිටියේ නැත. ගියා වෙනුවට තේ එකක් බී අපි දෙන්නා ඊළඟ බස් එකේ ආපහු ආවෙමු.
පූජා නගරයේ සෙනගින් පිරුණු පාරවල් පුරා රස්තියාදු ගහන එකත් හරිම විනෝදජනකය. බැතිසිතින් වන්දනාවේ යන උවසු උවැසියන්ගෙන් මෙන්ම ජොලියට අනුරාධපුරේ ආපු කොල්ලන් කෙල්ලන්ගෙන්ද පාරවල් පිරී පවතී. අපගේ වැඩි උනන්දුව ඇත්තේ කිචි බිචි ගගා එහෙ මෙහෙ යන විසේකාර කෙල්ලන් ගැනය. මේ මම කියන කාලයට අවුරුදු අටකට පමණ පෙර සිට අපේ ගමේ කට්ටියක් සිසිල් පැන් දන්සැලක් දෙන්නට පටන් ගත්තේ ථුපාරාමය ඉදිරිපිටය. ටිකක් දවල් වෙද්දී ඒ දන්සැල ලඟට යන අපි දන්සැලේ කටයුතුවලට උදව් පදව් කරන්නට ඉදිරිපත් වෙමු. ඒ දන්සැල ඉස්සරහපිට තියෙන්නේ ගම්පහ බැන්ඩියමුල්ලේ සංවිධානයකින් දෙන ඩඩ්ලි සේනානායක අනුස්මරණ අලියා බීම දන්සැලය. අපි ඉන්න දන්සැලට වම් පැත්තේ ඇත්තේ පෑලියගොඩ කට්ටියක් දෙන බත් දන්සැලය. ඒ දන්සැල් වලින් කන්නට බොන්නට අපිට පෝලිමේ ඉන්නට සිදු නොවන්නේ දන්සැල් වල වැඩකරන අයට පෝලිමේ නොතබා කෑම බීම දෙන බවට දන්සැල් වල ඇති අලිඛිත එකඟතාව නිසාය. අලියා බීම දන්සැලෙන් ඇති පමණට බීම බොන අපි බඩගිනි වෙද්දී බත් දන්සැලට කිට්ටු කළ විට දන්සැලේ වැඩකරන අය "මේ දන්සැලේ මල්ලිලානේ" කියා පිටුපස දොරෙන් ඇතුළට ගෙන හොඳට කෑම ටික පිළිගන්වති.
දවල් කෑමෙන් පසුව මහන්සියක් ද නිදිමතක් ද දැනේ. ඒ වෙලාවට පාර අයිනේ ගහක් යට හෝ ගලක් උඩ සෙවන ඇති තැනෙක ගිමන් හරිද්දී සමහරවිට නින්ද යයි. නන්දා මාලිනී ගායනා කරන අතිශය ජනප්‍රිය ගීතයක් වූ "ප්‍රඥා ප්‍රදීප දල්වා" ගීතය මම මුලින්ම ඇහුවේ එක රාත්‍රියක ඔය විදියට ගල් බංකුවක් උඩ ඉඳගෙන ඉද්දිය. එදා රාත්‍රියේ ලංකා බැංකුව විසින් සංවිධානය කරන ලද භක්ති ගීත ප්‍රසංගයක් පැවැත්වුණේ මහමෙවුනා උයනේදීය. භක්ති ගීත කියන තැන සෙනග වැඩිය. සෙනග ගොඩේ තෙරපෙමින් ගීත රස විඳින්නට බැරි නිසා අපි හිටියේ ඈතින් ඉඳගෙනය. ළඟ නොහිටියාට ඉස්පීකර් හැමතැනම ඇති නිසා ගීත හොඳින් ඇසේ. නන්දා මාලිනී ගායනා කළේ භක්ති ගීත පුහුණුවූ ලංකා බැංකු සේවක සේවිකාවන් සමගය. මුලින්ම ඇය ගැයූ "බුදු සාදු බුදු සාදු" සහ "බුදු කරුණා" ගීත ගැයිණි. "බුදු සාදු" ගීතය නන්දා මාලිනි මුලින්ම ගැයූ ගීතයයි. මේ ගීතයේ පළවෙනි වර්ෂන් එකේ නොවැ දෙවැනි හෝ තුන්වැනි වර්ෂන් එකේදී "බුදු සාදු" පදය ගැයුනාට පසුව ඉතාම මිහිරි වයලීන් වාදනයක් වේ. ඒ වයලීන් වාදනය කෙතරම් මිහිරිද යත් අසා සිටිද්දී වයලීන් රාවය ඉවර වෙනවා තේරෙන්නේ නැත, වදින්නේ පපුවටය. මම කියන එක ඇත්තදැයි නිකමට අසා බලන්න. බුදු සාදු.
මේ වගේම ලගන්නා තවත් ගැයුමක් මගේ මතකයට එයි. ආරාධනා චිත්‍රපටයට අමරදේවයන් ගැයූ "ජීවිතයේ තනිමංසල" නම් ගීතයේ ගායකයා විසින් "ආරාධනා" යනුවෙන් ඇද පැද ගයන කොටසය. එතැනදීද ඔහු මොනතරම් රසට ගයනවාද කිව්වොත් ඒ කොටස කොතනින් කොහේ ගියාදැයි අහන රසිකයාට නොතේරේ. ආරාධනා
ඉතින් නන්දා මාලිනි කියූ ගීත කීපයකට පසුව ගැයුණේ ඇය විසින් ගයන ලද නවතම ගීතයකි. "ප්‍රඥා ප්‍රදීප දල්වා" ගීතය මුළු මහමෙවුනා උයනම නළවමින් ගැයෙද්දී මා ගීතය අසා සිටියේ වශී වූවාක් මෙනි. උසස් පද රචනයද සංගීතයද ගැයුමද ස්ථානයට මොන තරම් ඖචිත්‍යයකින් යුක්ත වුවාද කිවහොත් පොසොන් සඳපානේ සිහිල් සුළං රැළි වදිමින් ගීතය අසා සිටි මා එවේලේ මොහොතකට හිටියේ අමුතුම ලොවක බව මට අද මෙන් මතකය. එදා මා පළමුවරට ඒ ගීතය අසද්දී දැනුණ රසය ඒ ආකාරයටම විඳගන්නට ඊට පසු දහස් වර ඇසුවත් නොහැකිවිය. ප්‍රඥා ප්‍රදීප දල්වා
ඒ ගීත අතීතයයි. ගීතය පළමුවරට ඇසුවාක් මෙන්ම මම පළවෙනි වතාවට කොත්තු කෑවේද අනුරාධපුරයේ කඩ පනහේ කඩයකිනි. ඒ එක්තරා අවුරුද්දක අනුරාධපුරයේ පණ්ඩුලගම තිබුණු ගම් උදාව බලන්නට ආරිත් එක්ක ගිය දවසකය. ඒ කතාව ටිකක් දිග නිසා මෙතැනම ලියන්නට බැරිය. එන පොසොන් පෝයට ඒ කතාවත් විජයපුරයේ කතාවත් කියන්නට බලාපොරොත්තු වෙමි෴