Monday, July 25, 2016

කොස් දොළදුක, ජෙයරාජ්, සුද්දාගේ වෙලාව සහ සාගර ජලය.

අපේ ගෙදරින් පැහිච්ච කොස් ගෙන්වාගන්නට ගොස් වූ අකරතැබ්බය ගැන මම මගේ අනික් බ්ලොගයේ  ටිකක් ලීවෙමි.    දිගු කලක් විප්‍රවාසයේ ගතකරන විට මෙවැනි දොළදුක් ඇතිවීම සාමාන්‍ය දෙයකි.    කොහොම නමුත් ඒ බලාපොරොත්තුව සුන්වූ තැන බිඳුණු සිතැතිව සිටි මට කොස් ගැන බොහෝ දේ කල්පනා විය.    ඒ නිසාම මෙය කොස් කතාවක් ලෙස හඳුන්වන්නට කැමැත්තෙමි.

කතාව කොස්වලටත් ටිකක් ඉස්සරහට ගෙනියන්න වෙන්නේ අපේ ගම්වල කාන්තාවන් වැඩ පටන්ගන්නේ ගහේ ගෙඩි ඉඳෙන්න ගත්ත දවසේ ඉඳලා නිසාමය.   ඒ කියන්නේ ඒ අය ඉස්සෙල්ලාම වැඩ පටන් ගන්නේ පොළොස් ගෙඩියෙනි.   පොළොස් කිව්වට හැම ගහේම පොළොස් එකවගේ රහ නැත.   පොළොස් ඇඹුල උයපුවම එන රහ ගැන නම්දරාපු ගස් තිබේ.   ඒ ගස්වල පොළොස් හොඳට තෙල් පෑදෙන්ට උයපුවම පොළොස් කෑල්ලේ ඇතුළත රත් පැහැ ගනී, ගෑවිච්චි තැන කන්නට පුළුවන් තරම් රසය.   ගමේ කාන්තාවන් පොළොස් ඇඹුල උයන්නට ගන්නේ අන්න ඒ වගේ ගස්වල කොස්ය.   එහෙම ගස්වල හැදෙන පොළොස් ගැට  වැඩි හරියපොළොස් ඇඹුල් උයන්නටම  කඩන නිසා කොස් වෙන්නේ කඩන්නට බැරි තරම් උඩ හැදුණු ගෙඩිත් කොළවලට වහං වෙලා හැදුණු හේතුවෙන් ගමේ ගෑනුන්ගේ ඇස්වලට නොපෙනුණු ගෙඩිත් පමණය.

පොළොස් ගැටය කඩා ගෙනැත් දෙකට පලා කටු ටිකද වහල්ලද රැස දමා තරමක කෑලිවලට කපාගෙන වතුරට දමා සෝදාගනී.    පොළොස් කෑල්ලේ වහල්ල හරියේ කීස් කීස් ගා මන්නයෙන් ඉරි හත අටක් අඳින්නේ ලුණු ඇඹුල් හොඳට ඇතුළට කාවදින්නටය.   ඊට පසු හොඳට තුනපහ දමා අතගා පොල්කිරිද දමා ලිප තබාගනී.   පොළොස් ඉවිල්ලේ විස්තරය දවසක් සුරංග කියා තිබුණු නිසා මම ඒ හරිය කියන්නේ නැත.   ඒත් අපේ පළාත්වල නම් පොළොස් ඇඹුල උයද්දී පොළොස් කෑලි තම්බාගෙන උයන්නේ නැත.   එකවරම ඔක්කොම පහේ දමා ලිප තබයි.   පොල්කිරි දමද්දී හොඳට වේලුනු පොල්වල කිරි දමන්නේ හොද්ද ඉදෙන විට තෙල් පෑදෙන්නටය.   ලිපේ තබාගත් පොළොස් ඇඹුල හොඳින් ඉදුනාට පසුව ගින්දර ඇද දවසක් පමණ මඳ ගින්නේ තියෙන්නට හරින්නේ හොඳට පදම් වෙන්නටය.   එහෙම තබා ලිපෙන් බාගත් පොළොස් ඇඹුලේ රස ගැන ආයෙ කියන්නට දෙයක් නැත.  දවස් ගණනක් තියාගත්තද නරක් වෙන්නේ නැත.   පොළොස් ඇඹුලේ බොරය තියෙන ඇතිළියට බත් දංකුඩ සුරා දමා කළවම් කරගෙන එතැනම ඉඳගෙන වළඳන විට තියෙන රස දන්නේ එහෙම කාපු උන් පමණය.

ඊළඟට පොළොස් ගැටය ක්‍රමයෙන් මැල්ලුම් පොළොසයක තත්ත්වයට මෝරා එයි.   ඒ කියන්නේ ගෙඩියේ මදුළුද ඇටද ඉඳීගෙන එන කාලයයි.     මැල්ලුම් පොළොස් ගෙඩිය සිහින් කැබලි වලට කපාගෙන සුදුළූණු ගම්මිරිස් අවුමිරිස් පොල් ආදිය එකට අඹරා මුට්ටියක දමා මලවා ගත්  විට ඉතා රසවත් ආහාරයකි.   මැල්ලුම් පොළොස් ද මාලු පොළොස් මෙන්මය.   ඒ කියන්නේ හැම ගහේම පොළොස් මැල්ලුමට රස නැත.   මැල්ලුම් හදපු විට හාල් මෙන් හොඳට ඉදෙන  කොස් ගස්වල ගෙඩි මේ සඳහා ගනී.   කුඹුරුවල ඇඹුලට බොහෝවිට බත්ද පොළොස් මැල්ලුම්ද කරෝල හොදිද ගෙනයන්නේ ගොවියන් එම ආහාරවලට වඩාත් ප්‍රියකරන නිසාය.     කටවහරේ එන එහෙම වෙලාවට කියපු කවියක්ද මට මතකය.

සිරික්කන්ඩං
පොළොස් මැල්ලුං
බෙලෙක් හැන්දෙං
දෙකක් බෙදපං

මෙතැන සිරික්කන්ඩං කියා කියැවෙන්නේ හොදි උයාගත්කළ ඉතා රසවත් කරෝල වර්ගයකටය.   කුඹුරු වැඩවලදී යාදෙන්නේ එවැනි ආහාර වර්ගය.

ඊළඟට එන්නේ මැල්ලුම් පොළොසයේ මදුළුද ඇටද හොඳටඉඳී ඇතත් නොපැසුණු පොළොසයෙන් හදන මැල්ලුමය.   මේ මැල්ලුම කොස් මදුල ඉරිත් එක්ක දෙකට කපා සකසා ගනී.    මැල්ලුමක් වශයෙන් එපමණ ජනප්‍රිය නැතිවුණත් මේ විදියට හදන මැල්ලුමද බොහොමත්ම රසය.

කොස් ගෙඩිය ගම්වල කොච්චර පිරිමහින ආහාරයක්ද කියතොත් කොස් වාරයට පංසලේ හාමුදුරුවන්ගෙ සිවුරෙත් කොහොල්ලෑ ගෑවී තියෙනවා කියා කතාවට කියැවේ.    කොස් කාලයට ගමේ හැම ගෙදරකම කෑමට කොස් වරදින්නේ නැත.   තම්බපු කොස්,  උයපු කොස් හෙවත් කිරිකොස්,  කොස් මැල්ලුම් ආදී වශයෙන් විවිධ ආකාරයට කාන්තාවන් කොස් පිළියෙළ කරති.   ගමේ අයට කොස් කන්නට මුදල් වියදම් නොවුණත් කොස් ගස් නැති ටවුන්වල ජීවත්වෙන අයට කොස් කන්නට වෙන්නේ මුදලටය.   කොස් මදුළුද මැල්ලුමට ලියපු කොස්ද ආදී වශයෙන් ටවුමේ වෙළෙඳපොලේ කොස් මුදලට අලෙවිවේ.   ගමේ අය ටවුමේ වෙළෙන්දන්ට ගමේ ගස්වලින් කොස් කඩා ගෙනගොස් විකුණති.   මුළු ගහේම පැහුණු කොස් ටික කඩාගත්තත් ගහ අයිතිකාරයාට හම්බවෙන්නේ සුළු මුදලකි.   ගහේ කොස් ටික ඉදි ඉදී බිම වැටී කුණුවී යනවාට වඩා එහෙමවත් කෙනෙක් කන එක හොඳයයි සිතා ගස් අයිතිකාරයනුත් සද්ද නැතිව සිටිති.   ටවුමට ගෙනයන කොස් ගෙඩියේ කටු ටික ඇරෙන්නට අනික් සියල්ලම මැල්ලුම් කපා හෝ මදුළු ගලවා මුදලට අලෙවිවේ.

බැඳපු අලුත අපි කැන්දලියැද්දපාළුවේ ගෙයක් හදපු කාලේ ගස්වලින් කොස් කඩා එකතුකරන වයසක ජෝඩුවක් ඒ වත්තටත් ආවේ කොස් කඩා ගන්නටය.    ඒ දෙන්නා කොස් කඩද්දි එතන හිටපු ගමේ කොල්ලෙක් ඔවුන් කවුදැයි මට කීවේය.   ඒ ඊට අවුරුදු කීපයකට පෙර සාප් ක්‍රීඩා උළෙලේ රන් පදක්කම් දිනූ මැරතන් ධාවකයාගේ දෙමව්පියන්ය.   ඒ ක්‍රීඩකයා පදිංචිව සිටියේ වෙළෙන් එහා පැත්තේ කියා  ඔහු මට  වැඩිදුරටත් කීවේය.    කොස් කඩාගෙන ආපහු යද්දී ඒ තාත්තා බුලත් කහට බැඳුණු දසන් විදහා මගෙත් එක්ක අහිංසකව සිනාසුනු හැටි අදත් මට එදා වගේම මතකය.   ඒ දෙන්නා ජීවිකාව ගෙනයන්නට මුදල් සොයා ගන්නේ කොස් එකතුකර පෑලියගොඩට ගෙනගොස් විකිණීමෙන්ය.    ඊට කාලයකට පසු කොටි සංවිධානය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඇමතිවරයාව ඝාතනය කරද්දී මේ මැරතන් ශූරයාද ඒ  පිපිරීමට හසුවී මියගියේය.   ඒ ආරංචිය දැනගන්නට ලැබුනවිට එක්වරම මට මතක්වුයේ අර අහිංසක තාත්තාගේ මුහුණයි.    

කතාව ලියාගෙන යනවිට කාල වකවානු මතක්කර ගන්නට මම ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ ඝාතනයේ රූපපෙළ ආයෙත් නැරඹුවෙමි.   මට එක්වරම සිහියට නැගුනේ සුද්දාය.    සුද්දාද පදක්කම් දිනූ මැරතන් ධාවකයෙක් මෙන්ම ඔය මම කියන සාප් මැරතන් ශූරයාගේ සමකාලීනයෙක් සහ ලඟම මිත්‍රයෙකි.   එදා ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඇමතිවරයා මරන්නට කොටි සංවිධානය සාප් මැරතන් ශූරයා ඉත්තෙක් කොටගෙන සංවිධානය කර තිබු මැරතන් තරඟයේ සංවිධානයට සහ විනිශ්චයට සුද්දාටද ආරාධනා කර තිබූ බව ඌ මගෙත් එක්ක පස්සෙ දවසක කීවේය.   සුද්දාගේ මොකක් හෝ වාසනාවකට එදා ඉස්කෝලේ හදිසි රාජකාරියක් පැවරී තිබුණ නිසා ඌට මැරතන් එකේ වැඩේට යන්නට නොහැකිවිය.     වැරදිලාවත් සුද්දා එදා වැලිවේරියට ගියානම් අපට සුද්දාගේ කෑලි ගෙදර ගෙනෙන්නට වෙන්නේ කූඩයකට දාගෙනය.  

එදා මරාගෙන මැරෙන බෝම්බයෙන් සිදුවූ විනාශය ඒ තරමටම බලවත්ය.   වඩාත්ම අවාසනාව මැරුණේ කවුද කියා සොයාගන්නටවත් නොහැකිවීමය.    බොහොමයක් වෙලාවට ඔයවගේ පිපිරීම් වලින් මියගිය අය හඳුනා ගන්නට වෙන්නේ ශරීර කොටස්වල ඇති විශේෂ ලක්ෂණ වලින් කැළැල් ලප හෝ පච්ච ආදී සාධක වලින්ය.   පච්ච කියද්දී මගෙත් එක්ක යාලුවෙක් කියපු රස කතාවක් මතක්වේ.    එක මනුස්සයෙක්ව රෝහලට ඇතුල් කර තිබුණේ මොකක්දෝ හමේ රෝගයක් නිසාය.   රෝගයට ප්‍රතිකාර වශයෙන් එක්තරා ඖෂධයක් දිනපතා හමේ ආලේප කළ යුතු විය.    මේ පුද්ගලයාගේ තිබු විශේෂත්වය වූයේ මුළු සිරුර පුරාම පච්ච කොටා තිබීමයි.    ඒ පච්ච වලත් තිබුණේ ලංකාවේ තිරගතවූ චිත්‍රපට වල නම්ය.    දවසක්දා උදේ සාත්තු සේවකයෙක් මේ පුද්ගලයාගේ සිරුර පුරා බෙහෙත් ගල්වද්දී ලෙඩ්ඩුන්ට බෙහෙත් බෙදමින් එතැනින් යන්නට ආ තරුණ හෙදියකට ශරීරය පුරා පච්ච කොටා තිබු මේ රෝගියා පිළිබඳව ඇතිවුණේ මහත් කුතුහලයකි.    තමන් කරමින් සිටි රාජකාරිය ඉක්මනින් අවසන් කළ ඇය මේ රෝගියා වෙත පැමිණ ඔහුගේ ශරීරයේ ඉදිරිපස පෙනෙන්නට තිබූ පච්ච එකිනෙක හඬනගා කියවන්නට වුවාය.

යුගයෙන් යුගයට, හිත හොඳ චණ්ඩියා,  ජනේලය,  සත්‍යග්‍රහණය,  තාත්ති මං ආදරෙයි,  පොඩි විජේ,  මංගල තෑග්ග,  කිවුලෙගෙදර මොහොට්ටාල,  යුක්තියද ශක්තියද,  නොම්බර එකයි,  කවුළුව,  රජ වැඩකාරයෝ,  රන් දම්වැල්,  විරාගය,  ඔබටයි ප්‍රියේ ආදරේ,  අහිංසා,  රස රහසක්,  චණ්ඩින්ගෙත් චණ්ඩියා,  ගෙදර බුදුන් අම්මා,  සඳකඩ පහන,  අම්මෙ ඔබ නිසා,  අංගුලිමාල,  නැව ගිලුණත් බෑන් චූන්,  දුර්ගා,  සටන,  නැවත අපි එක්වෙමු,  කෝ හතුරෝ,  සාදා...ම්ම් මේ මොකක්ද අනේ මේ සාදා? 

ඇය පච්චය තිබූ අවයවය එහෙට මෙහෙට පෙරළමින් හොඳින් බැලුවේ මේ චිත්‍රපටය කුමක්ද කියාය.   එහෙත් සාදා කියා චිත්‍රපටයක් ගැන ඇයට සිතාගන්නට නොහැකි විය.   තරමක් විනෝදකාමී යුවතියක් වූ ඇය රෝගියාගෙන් කෙළින්ම ඒ පිළිබඳව විමසා සිටියාය.

"මේ මොකක්ද සාදා කියන්නෙ අපි නං එහෙම චිත්‍රපටයක් අහලවත් නෑ!"

" හරි හරි මිසී ඔහොමම තව ටිකක් ඉන්නකෝ, වෙලාවට නම ඒවි!" රෝගියා කීවේය. 

රෝගියා කී කතාව සහතික ඇත්තය.  මොහොතකින් චිත්‍රපටයේ නම ඇගේ දෑස් ඉදිරියේ දිගහැරෙන්නට විය.

" සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා"෴

Sunday, July 17, 2016

භීෂණය මැදින් ටෙලි නාට්‍ය සමග ජීවිතය 13 - ගමේ කාන්තාවන්ගේ උයමන, විසිදැල්කරුවා, අක්කා කෙල්ලගේ හතර මායිම සහ පස්ස දාච්ච බල්ලා.

අව්රැල්ලක් මුහුණට වැටීම නිසා හදිසියෙන් අවදි වූ  මම කොහේ සිටීදැයි වටහා ගැනීමට නොහැකිව මොහොතක් අන්දමන්ද වී සිට සිහි එළවා ගත්තෙමි.  ඉඳගෙන සිටි හාන්සි පුටුවෙන් නැගිටින්නට සිතක් නැත්තේ ඇඟට පණ නැති ගතියක් දැනෙන නිසාය.   සාලයේ දොරින් ඉස්තෝප්පුවට එබිකම් කළ ඉන්ද්‍රා අවදිවී පුටුවේ ඉඳගෙන ඉන්නා මා දුටුවාය.

" ඔළුව කඩා වැටි වැටි පුටුවට වෙලා දුක් විඳින්නෙ ගිහිං කාමරේ ඇඳෙන් නිදාගන්නවකො!" යි ඉන්ද්‍රා කීවාය.

"ඕනැ නෑ, ඕනැ නෑ නිදාගෙන ඉවරයි,ගෙදරට ආව මිනිහ ආපු වෙලාවෙ ඉඳන් නිදාගෙන ඉන්නව දැක්කොත් ගෙදර මිනිස්සු හිනාවෙයි!"

"ඒ අය හිනාවෙන එකක් නෑ,හිනාවුනත් එයා නිදිමරල ඇවිත් ඉන්නෙ කියල මම කියන්නංකො!" ඉන්ද්‍රාගේ දෑස්වල තැවරී තිබුණේ දැඩි සෙනෙහසකි.  

"මම එහෙම රැයක් නිදිමැරුව නං කවුරු එන්න කිව්වත් කොහෙවත් යන්නෙ නෑ  දවසම ගුලිවෙලා නිදාගන්නවා!" ඉන්ද්‍රා මට විහිළු කරන්නට වන්නීය.

"යාළුකම් ලොකුවට සලකන නිසා එහෙම කරන්න බැරි මෝඩයොත් ඉන්නවනෙ!". 

"නෑ අනේ,එහෙම කියන්න එපා! ආව එක කොච්චර දෙයක්ද? තමුසෙ එන්නෙ නැත්නං මොකුත් ඕන නෑ කියල මට හිතුණා!" ඉන්ද්‍රා කීවේ බිම බලාගෙනය.

මා රාත්‍රියක් පුරා නිදිවරා පැමිණ සිටින බව දන්නේ ඉන්ද්‍රා පමණකි.  කොපමණ නිදිමත තිබුණත් පිට ගෙදරක වැටුණු වැටුණු තැන නිදාගැනීම නොහොබිනා බව මම දනිතත් නිදිබරිත දෙනෙත් එය නොදනී.

"වැල්ලෙ රවුමක් ගහල ආපුවම ඔය නිදිමත ඇරිල යයි !"  කී ඉන්ද්‍රා මාත් එක්ක වැල්ලට යන්නට ඇගේ පොඩි මල්ලීව පංගරාත්තු කර දුන්නාය.  වතුර වීදුරුවක් ගෙන්වා ගෙන මුහුණේත් ඇස්වලත් තවරා ගත් මම මල්ලිත් සමග වැල්ලට යන්නට පිටත් වුනෙමි.

ගෙයි කුස්සිය පැත්තේ එළිමහනේ ඉන්ද්‍රාගේ අම්මා ප්‍රමුඛ කාන්තාවන් පිරිසක් ජයටම ඉවුම් පිහුම් කරන්නේ කොළඹින් එන යාළුවන් කණ්ඩායමට රසට උයා කන්නට දෙන්නටය.  සාමාන්‍යයෙන් ගම්වල හැටි එහෙමය,ගෙදරක කෑමට හත්අට දෙනෙක් එනවිට උයමනේ දක්ෂ කාන්තාවන් දෙතුන් දෙනෙකු උයන්නට අඬගසා ගැනීම සිරිතකි.  ඒ තනිවම උයන්නට බැරිකමකට නොව අමුත්තන්ට වඩාත් රසට ගුණට කෑම ටික හදා දෙන්නටය.   ඒ කාලයේ ගෙදර කෑමකට හත් අට දෙනෙක් එනවිට අපේ අම්මාත් අහළ පහළ කාන්තාවන් දෙතුන් දෙනෙක් උයන්නට අඬගහ ගනී.  ඒ එන අයද යම් යම් විශේෂිත දක්ෂතා ඇති කාන්තාවන් බව මම පසුකාලීනව නිරීක්ෂණය කර ඇත්තෙමි.

ඒ එන එක කාන්තාවක් හදන පොළොස් ඇඹුලට ගහන්නට පොළොස් ඇඹුලක් හදන්නට ගමේ කාටවත් බැරිය.  ගෑවුණු තැන කන්න පුළුවන් තරම් රසට අපේ ලොකුඅම්මා අංගුලු කරවල හොද්දක් හදයි.  ගම්මිරිසුත් ඉඟුරුත් පදමට මුසුකර කහත් පොලුත් සමග අඹරා එක කාන්තාවක් හදන කොස් මැල්ලුමේ පාරට්ටුව කොච්චරද කිව්වොත් කුස්සියෙන් හමන සුවඳ වත්ත පහළටම විහිදේ.   දැන්වුනත් අපේ ගෙදර ලොකු උයමනක් තිබුණොත් හැලපී කෑම උයන්නට අහළ පහළ කාන්තාවන් කීප දෙනෙකුට කතාකර ගනී.   අපේ ගෙදර බ්ලොග් කරුවන්ගේ සාදයක් තිබුණු වෙලේත් ඇය කාන්තාවන් කීප දෙනක් අඬගහ ගත්තේ කෑම ටික වඩාත් රසට උයා ගන්නටය. එදා අපේ ගෙදර ඇවිත් කෑම ඉවූ කාන්තාවන් කණ්ඩායමේ මුලිකත්වය ගෙන සිටි කාන්තාව මම පහුගිය දවසක ලියපු කතාවක ප්‍රධාන චරිතයක් වුවාය.   බිරිඳගේ ගමේ ඉන්න සහ ඇය රංජිගෙ පවුල යනුවෙන් හඳුන්වන කාන්තාව ඉඳිආප්ප කන්නට හදන පොල් සම්බෝලය තරම් රස පොල් සම්බෝලයක් මට වෙන කොහෙන්වත් කන්නට ලැබී නැත.

ඉන්ද්‍රලාගේ කුස්සිය පැත්තේ සතුටු සාමීචි කතාවේ යෙදෙමින් උයන කාන්තාවන් කණ්ඩායම පසුකරගෙන මම පොඩි මල්ලීත් සමග වෙරළ පැත්තට ඇවිද්දේ සැහැල්ලු සිතිනි.   අනවරත මුහුදු කෑම නිසා හෝ වෙනත් මොනයම් හේතුවක් නිසා හෝ මුහුදෙන් ඇතුළට නෙරා ආ කුඩා බොක්කක් වැනි නොගැඹුරු ජලතලයක් ඉන්ද්‍රලාගේ වත්තේ කොනකට වන්නට විය.   ඒ අපූරු සෞන්දර්යයෙන් යුත් මුහුදු බොක්කේ දර්ශනයෙන් පිනාගිය සිත් ඇති මා වෙරළට යන්නට පෙර මුහුදු බොක්ක බලන්නට ගියෙමි.  ඒ අයිනේ පස් කණ්ඩියක් උඩ හැඳ සිටි කමිසය ජටාවක් සේ හිසේ ඔතාගෙන සරම කැහැපොට ගහගෙන විසි දැලක්ද අතේ ඇතිව ඇනබාගෙන මුහුද දෙස බලා ඉන්නා මිනිසෙකි.   මාළු අල්ලනවා බලන්නට ඇත්නම් මට ඊට වඩා වෙන සැපතක් නැත.  මමත් එතැනම තිබූ කළුගලක් උඩ හිඳගෙන විසිදැල් කාරයා දෙස ඇසිපිය නොහෙලා බලාගෙන ඉන්නට වුයෙමි.

ටික වේලාවක් බලා ඉන්නා විට දියඹ දෙසින් පීනා ආ මාළුන් රංචුවක් එක්වරම හැරී බොක්කේ නොගැඹුරු ජලතලයට ඇතුළු වුහ.  මාළු රංචුව බොක්ක ඇතුළටම පීනා එනතුරු බලාසිටි විසිදැල් කරුවා වටෙන් ගොස් මුහුද පැත්තෙන් ජලයට බැස්සේය.  ඉන්පසු කැරළිකොට රඳවාගෙන තිබූ විසිදැල සහිත දකුණත ලතාවකට ලෙළවා කැරකෙමින් සිටි මාළුන් රංචුවට ගැසුවේය.  අනතුරුව මාළු රංචුව හොඳින් දැලේ බැඳෙන තුරු විසිදැල් ලණුවෙන් අල්ලා ගස්සමින් දැල එක්තැන් කොට ගොඩට අරගෙන ආවේ මනා පළපුරුද්දකින් යුතුවය.

දැල බේරා මාළු රංචුව බිමට හැලූ කළ බිමට වට විවිධ වර්ගවල මාළු රිදී පොලු මෙන් උඩ පනිමින් දඟලන්නට වුවෝය.   ඇහැට පෙනි පෙනී මෙතරම් අලුත් මාළු ලබාගන්නට වෙන අවස්ථාවක් කොයින්දැයි සිතූ මම අතට අහුවන ප්‍රමාණයේ සිටි ලොකු මාළු සියල්ලම දැල්කරුවාගෙන් මිළට ගත්තෙමි.   දෙපැත්තටම වාසි සහිතව ගණුදෙනුව සිදුවිය.  ලොකු මුදලක් ලැබුණා  යි දැල්කරුවා සතුටු වුවත් මගේ දැනීමේ හැටියට ඒ මාළු ටිකට මට වියදම් වුයේ සුළු මුදලකි.  සුද්ද කර තෙලෙන් බැද දෙන්නට කියා මාළු ටික මල්ලි අතේ එවෙලේම කුස්සියට පිටත් කළෙමි.

ගණුදෙනුව අවසන් කළ විසිදැල් කරුවා නැවතත් පස් කණ්ඩිය උඩ වාඩිගෙන ජලතලය දෙස බලා සිටින්නට විය.  අවට සැමතැනම නිසලය හිරු රැස් තීරු නාඹර නෙරළුතුරු මුදුන් අතරින් බිමට කඩාවදී.  අව් රශ්මිය සැර වුවත් මුහුද පැත්තේ සිට හමන තද සුළං ප්‍රවාහය හේතුවෙන් දාහය ඇඟට නොදැනේ.  අවටපිට බලමින් සිටි මා දුටුවේ නිවසේ සිට මුහුද පැත්තට සෙමෙන් පියමනින ඉන්ද්‍රාය.

"මෙතෙන්ට වෙලා මාළු බිස්නස් එකක් කරනවා කියල ආරංචි වෙලා මම ආවෙ!" මා සිටි තැනට ආ ඉන්ද්‍රා කීවේ වටපිට බලමිනි.

"කෝ අර කට්ටිය තාම ආවෙ නැද්දැ?"යි මම ඇසුවෙමි.

"තාම නෑ!" යි කී ඇය "කට්ටිය එකතු කරගෙන ළමයි ලෑස්ති කරගෙන ඒ ගොල්ලො එද්දි තව වෙලා යයි!" ඇදපැද කීවේ  බිම වැටී තිබූ පොල් කොටයක් උඩ වාඩි ගනිමිනි.   හරිබරි ගැසී වාඩිවූ ඉන්ද්‍රා බිම තිබූ ගල්කැට කීපයක් අතට ගෙන එකින් එක මා දෙසට විසිකරන්නට වුවාය.

"ඔය ගොල්ලන්ට ලොකු වත්තක් තියෙන්නෙ!" යි නිහඬතාව බිඳිමින් මම කීවෙමි.

"එච්චර ලොකුවක් නෑ අනේ, ඕන්නං අක්කර එකහමාරක් දෙකක් ඇති, ඔය ටික අපි කට්ටියට බෙදුනම එක්කෙනෙකුට ලැබෙන්නෙ පොඩ්ඩයි!"යි  ඇය කිවේ සිනාසෙමිනි.   "කොහොමත් ගමේ පදිංචි වෙන්න මගෙ අදහසක් නෑ!" යි කී ඇය බස්නාහිර පළාතෙන් සුදුසු දේපළක් මිළදී ගෙන පදිංචි වන්නට ඇය තීරණය කර ඇති බව කීවාය.

"කිව්වත් නැතත් දකුණෙ අය අන්තිමට නතර වෙන්නෙ බස්නාහිර පළාතෙ තමා !" යි මා කීවිට ඇය හඬනගා සිනාසුනාය.

ඉඩකඩම් ගැන විස්තර කතා කරනවිට මට එක්වරම සිනාගියේ පරණ කතාවක් මතක් වෙලාය.   ඒ මා  ක්‍ෂය රෝග මර්දන ව්‍යාපාරයේ රාජකාරි කරන සමයයි.  අක්කා කෙල්ලගේ සහෝදරයෙක් රිය අනතුරකින් හදිසියේ මියගියේය.  කාර්යාලයේ අපි ඔක්කොම වාහනයක් අරගෙන මළගෙදර ගියෙමු.   මළගෙදර තිබුණේ ගාල්ලේ සිට බද්දේගම පාරේ යද්දී හමුවන ගමකය.   අමරසූරියලාගේ රාජධානියක් වූ ඒ හරියේ තේ ද රබර් ද බහුලව වවා තිබෙනු අපට දැකගන්නට හැකිවිය.   අක්කා කෙල්ලගේ ගෙදරට පාරේ සිට කඳු පල්ලමක බැස යායුතු විය.   කන්ද පුරා තේ පඳුරු වවා තිබෙනු අප විසින් දක්නා ලදී.

අප දුටු අක්කා කෙල්ල කෑ ගසමින් බිම පෙරළෙමින් වැලපෙන්නට වන්නීය.  නිකං වැඩකට නැතුවත් මිනිහා මළාසේ කෑගහමින් අඬන්නට දක්ෂ අක්කා කෙල්ල අද නම් හැඬීමෙන් වාර්තා පිහිටුවනු ඇතැයි නිකමට වගේ කල්පනාවූ මට බකස් ගා හිනාවක් එළියට පැන්නේ නොදැනීමය.   අක්කා කෙල්ල සංසුන් කර ගත හැකි වුයේ බොහෝ අසීරුවෙනි.  ගෙදර අයට කතාබහ කිරීමෙන් පසු එළියට ගිය අපි එහි තබා තිබූ පුටුවල වාඩිගෙන දවල් කෑමට ආරාධනා කරනතුරු මළගෙයකට කොහෙත්ම නොගැලපෙන විදියේ නොයෙකුත් විකාර කතා කියමින් සිනාසෙමින් කාලය ගතකළෙමු..   මෙසේ කතාකරමින් සිටි අපිට එක්වරම තේරුණේ අපිත් එක්ක ආපු එකෙක් පේන්නට නැති  බවය.   කළුතර පැත්තේ පොල් සහ රබර් ඉඩම් හිමියෙකු වූ ඔහු ටිකක් ඉඩම් තණ්හා කාරයෙක් හැටියට කාර්යාලයේ ප්‍රසිද්ධය.

"ෂුවර් එකටම මේ ඉඩමෙත් හතර මායිම් හොයන්න යන්න ඇති!" යි කී කෙල්ලෝ කිචි කිචි ගා සිනාසෙන්නට වුහ.   කිව්වත් වගේම වත්තේ හතර මායිම පුරාම ඇවිදිමින් සිටි ඌ කෑමට ආවේ බොහෝ ප්‍රමාද වෙලාය.  පහුවදා උදේ ඊයේ ගමනේ විස්තර කතාවෙද්දී මු අක්කා කෙල්ලගේ ඉඩකඩම් වල විස්තරය කියන්නට ගනිත්ම කාර්යාලය පුරාම මහ හඬින් සිනාවක් පැතිර ගියේය. 

"තනියම හිනාවෙන්නෙ ඔළුව නරක් වේගන එනවදැ?" යි  ඉන්ද්‍රා මගේ සිනහව දැක ඇසුවාය.

"නෑ නෑ ඒ වෙන කතාවකට මට හිනාගියෙ!"

"මට තමුසෙගෙ ජීවිතේ ගැන වෙලාවකට ඉරිසියා හිතෙනවා!" යි ඉන්ද්‍රා කීවේ මා දෙස බලමිනි.

"ඒ මොකෝ බෙන් එකට වෙලා තනියම දුක් විඳින එකටද?"

"බලනව දැනුත් තමුසෙ ඉන්නෙ මොන තරම් සැහැල්ලුවෙන්ද? හිතුණු දිහාවක යනවා කැමති දෙයක් කරනවා මොන තරම් නිදහස්ද?"  ඉන්ද්‍රා කතාකරන්නේ ජලතලය දෙස බලාගෙනය.

"ඉතිං, තමුසෙටත් ඔය ඔක්කොම කරන්න බැරුවයැ? මොකෝ බෝඩින් වල කාට උත්තර කියන්න කියලද? ඩෙනිමක් ඇඳගත්ත ගියා!"

"ඩෙනිමක් ඇඳගෙන යයි!" ඉන්ද්‍රා කීවේ නොරිස්සුමෙනි.   "අපි කොහෙහරි තනියම ගියොත් කී දෙනෙකුට උත්තර කියන්න කියලද? ඔක්කොම බලාගෙන ඉන්නෙ අපේ ඇද හොයන්න, ඊළඟට එක එක කතා හදනවා.  කොටින්ම අපට පාඩුවෙ ඉන්නවත් දෙනවද? "

"ඒ ඉතිං මේ රටේ හැටි, ඒකට මම මොනව කරන්නද?" හැබැයි මම නං අනුන්ගෙ දේවල් හොයන්නෙ නෑ!"

"ඒකම තමයි මම තමුසෙත් එක්ක යන්නෙ එන්නෙ!" අනික එතකොට කාගෙන්වත් කරදරයක් නැතුව ඉන්න පුළුවනි!" ඉන්ද්‍රා කීවාය.

"ඒ මොකක්ද ඒ කතාව?"

මෙතෙක් වෙලා තිබූ සැහැල්ලු කෙළිලොල් ගතිය ඉන්ද්‍රාගෙන් පලා ගියා සේ විය.  බරවූ හඬින් ඇය කතාකළේ බිම බලාගෙනය.

"ෂූටිං,ෆිල්ම්,ටෙළි කිය කියා පස්ස දාච්ච බල්ල වගේ රැයක් දවාලක් නැතුව හැම තැනම දිව්වට තමුසෙ මොනවද දන්නෙ හැබෑට?" ඉන්ද්‍රා මගෙන් අසා සිටියේ උපහාසාත්මකවය.  මම කට ඇරගෙන ඇය කියනදේ අහගෙන  සිටියේ ඇත්තෙන්ම ඉන්ද්‍රා කුමක් කියන්නට යන්නේදැයි නොදන්නා නිසාය.   ඇය එතනදී මට මා නොදන්නා බොහෝ දේවල් කියා සිටියාය. ඉන්ද්‍රා කියපු කතාව කෙටියෙන් කියනවානම් මෙහෙමය.

කාර්යාලයේ කීප දෙනෙක්ම ඉන්ද්‍රා ගැන උනන්දුවක් දක්වන්නට වූයේ ඇය ආපු අලුතමය.   මේ අයගේ ලෙන්ගතුකම වැඩිකල් නොගොස් ඉන්ද්‍රාට හිසරදයක් වන තරමටම ආදරණීය තත්වයකට පත්වූයේ ඉන්ද්‍රා යන එන හැම තැනකම මුනුත් පෙනී සිටින්නට වීම නිසාය.   අපිත් එක්ක කන්න බොන්නට ගියාට ඉන්ද්‍රා මේ කතාවල් කීවේ නැති නිසා මම මේ කිසි දෙයක් නොදැන සිටියෙමි.   ඉන්ද්‍රා යන එන තැන්වලට මාවත් එක්කරගෙන යෑම මේ අයට මහත් හිසරදයක් වූවද මම දෙකටම නැති නාහෙට නාහන එකෙක් වීම හේතුවෙන් මුන් මට මොකවත් කියන්නට පසුබට වූ අතර හැකි හැම විටෙකම ඉන්ද්‍රාට දුෂ්ටකම් කරන්නට ද අමතක නොකළෝය.

"තමුසෙලට තියෙන ඔය ඉව අපට නෑනෙ, ඔය ටික මට කළින් කිව්වනං මක්වෙනවදැ?"යි  මම ඉන්ද්‍රාගෙන් අසා සිටියෙමි.

"මොනව කියන්නද?  දැනගන්න එපැයි ඒ ඔක්කොමල තමුසෙගෙ හොඳම යාළුවො වෙච්චිකොට!" ඉන්ද්‍රා නොනවත්වා කියාගෙන ගියාය.

"අනේ මන්ද ඕයි,මේව අහපුවම ඔළුවත් හොල්මන් වෙනවා!"

"හා හා දැන් හොල්මන් වෙන්න ඕනැ නෑ ගෙදර යමු,  තව ටිකකින් අර කට්ටිය ඒවි!" ඉන්ද්‍රා සිනාසෙමින් කීවාය.

අප දෙදෙනා ගේ දෙසට ඇවිදගෙන ආවේ සිනාසෙමිනි.  මොහොතකින් ඉන්ද්‍රලාගේ ගෙවල් පැත්තෙන් ගෝසාවක් ඇසුණෙන් නීතලා කණ්ඩායම සහ ලාල් ඇවිත් ඇති බව සිතාගන්නට හැකිවිය.   පොඩි උන්ගේ කෙළි සෙල්ලම්ද  ලොකු අයගේ සතුටු සාමීචිද  මැද දවස ගෙවී ගියා තේරුණේ නැත.  දහවල් ආහාරයද ජයටම සකස් කර තිබුණු බව අමුතුවෙන් නොකිවමනාය .    පිටත් වන්නටත් වෙලාව ලං ලංව එයි, බොහෝ වෙලාවක සිට ඉන්ද්‍රා මට කුමක්දෝ කියන්නට තතනන බව ඇගේ ඇස්වලින් මම තේරුම් ගෙන සිටියෙමි.  වතුර ටිකක් බොන්නට ගෙට ගිය වෙලාවේ ඉන්ද්‍රා මා තනිකොට ගත්තාය.

"අද කොළඹ යන්නම ඕනැද?" ඇය මිහිරි හඬකින් මා කණට කර විමසුවාය෴

Sunday, July 10, 2016

භීෂණය මැදින් ටෙලි නාට්‍ය සමග ජීවිතය 12 - රාජ්‍ය පරිපාලනේ කැන්ටිම,ඉන්ද්‍රාගේ කතාව ,ධර්මයාගේ නයිට් ෂූටිං එක සහ ඔෆිස් ට්‍රිප් එක.


අපි වැඩකළ ඒකාබද්ධ සේවා අංශය පිහිටා තිබුණේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ පස්වෙනි මහළේය.   කැන්ටිම තිබෙන්නේ හත්වන මහළේය මම ඉන්ද්‍රා සහ ලාල් උදේ සහ හවස දවසකට දෙවරක් තේ බොන්නට හත්වෙනි මහලට නැග්ගෙමු.   මටත් ලාල්ටත් දවල්ට කන්නටත් කැන්ටිමට යන්නට සිදුවේ.   හත්වෙනි මහලට එස් එස් සී ක්‍රීඩාංගනය ඉතා හොඳින් දර්ශනය වේ ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම් සමග ලංකාව තරඟ වදින දිනයක් නම් හත්වන මහලේ සිට තරඟය නරඹා සෑහීමකට පත් නොවූ අපි තරඟය නරඹන්නට කෑමෙන්පසු එස් එස් සී පිටියට යන්නෙමු.   ටෙස්ට් තරඟ බලන්නට ටිකට් අවශ්‍ය නොවේ ඒත් එක්දින තරඟ බලන්නට එහෙම බැරිය අනික එක් දින තරඟ තියෙන්නේත් සති අන්ත වලය.    මගෙත් ලාල්ගෙත් ක්‍රිකට් පිස්සුව ගැන ඉන්ද්‍රා කොතෙකුත් විහිළු කළත් අපේ වැඩ පිළිවෙල අපි නතර නොකළෙමු.    මම කලින්ද කියා ඇත්තාක් මෙන් මා මෙන්ම පොත් ලෝලියක් වූ ඉන්ද්‍රා නිතරම පොත් ගැන මා සමග කතා කළාය.   හවස වැඩ අවසාන වීමෙන් පසුව අපි බස් එකේ බොරැල්ලට යන්නට පුරුදුවී සිටියෙමු බොරැල්ලෙන් ඉන්ද්‍රා ඇය පදිංචිවී සිටි කැලණියට යන්නට බස් එකට නැගගත් අතර මම තලවතුගොඩ බසයට නැගී බෙන් එකට ගියෙමි.   ගාල්ලේ පදිංචිකරුවෙකු වූ ලාල් ගෙදර යන්නට ප්‍රමාද වූ දවස්වලට මගෙත් එක්ක බෙන් එකට ඇවිත් නවතින සිරිතක් විය.  තරුණ අපගේ දඟකාර වැඩ ඉන්ද්‍රා බෙහෙවින් ප්‍රිය කළ අතර අපි කළ තක්කඩි වැඩ ගැන කියනවිට ඇය අසා සිටියේ සිනාසෙමිනි.

දවසක් අපි කතාකරමින් සිටියදී ලාල් කීවේ නවයොවුන් වියේදී අහළ ගං පළාතේම අතිශය රූමතියකව සිටි ඉන්ද්‍රා ඒ පැත්තේ චණ්ඩියා වූ එඩ්වඩ් විසින් බලෙන්ම වාගේ විවාහ කරගත් බවයි.   විවාහයෙන් අවුරුදු දෙක තුනකට පසු සියළුම චණ්ඩින්ට හිමිවන ඉරණම් ගමන එඩ්වඩ්ටත් යන්නට වුනේ තවත් චණ්ඩියෙක් අතින්ය.  මේ සියළුම කලබැගෑනි දෙස අකම්පිතව බලා සිටි ඉන්ද්‍රා එඩ්වඩ් ගේ මරණින් පසු ආපසු තමන්ගේ ගෙදරට පැමිණ පදිංචිවී ඇත.  ඇයට රැකියාව ලැබුණේ ඒ සමයේදීය තම ජීවිතයට සිදුවූ බරපතල අසාධාරණය ගැන කම්පා නොවූ ඇය තනිකඩව රැකියාව කරගෙන සිටින බවත් ගාල්ලේ අවුරුදු දහයක පමණ සේවයෙන් පසු කොළඹට ස්ථාන මාරු ලැබී රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට පැමිණි බවත් ලාල් වැඩිදුරටත් මට කීවේය.    ඉන්ද්‍රාගේ කතාව ලාල්ගෙන් ඇසූ මට ඇය ගැන ඇතිවූයේ විමතියක් සහ අනුකම්පාවකි.    සිය ජීවිතයේ හිරිමල් වයසේදීම යුවතියකට දරාගන්නට බැරි තරම් දුක් කරදර විඳ සිටියදීත් ඒ ගැන කම්පාවට පත් නොවී සිය හිත මිතුරන් සමග සතුටින් විනෝදයෙන් රාජකාරි කාලය ගතකරන ඉන්ද්‍රාගේ විස්තර තවදුරටත් දැනගන්නට මට ඇතිවුණේ දැඩි කුතුහලයකි.   එහෙත් කෙනෙක්ගේ පුද්ගලික විස්තර අහන්නට මගේ තිබු අකමැත්ත හේතුවෙන් සිතේ තිබුණ කුතුහලය යටපත් කරගෙන හිඳින්නට සිදුවිය.

අපේ අංශයේ කට්ටියක් ඉන්ද්‍රලාගේ ගෙදර ට්‍රිප් එකක් යන්නට සුදානම් වුනේ මේ අතරය.   ගමන සංවිධානය කළේ නීතාය ඇය ගමන යන්නට කට්ටියද වාහනයක්ද ලෑස්ති කරගත්තාය.  මට ඒ ගමන ගැන එපමණ උනන්දුවක් ඇති නොවූයේ ඒ දිනවල මා බෙනට්ගේ ටෙළියත් සමග බෙහෙවින් කාර්ය බහුලව සිටි හෙයිනි.  ගමනට දින ළං ළංවීගෙන එද්දී දවසක් අපි දෙන්නා  කැන්ටිමේ තේ බොමින් සිටියෙමු.

"තමුසෙ අපේ ගෙදර එන්නෙ නැද්දැ?" යි ඉන්ද්‍රා එක්වරම මගෙන් ඇසුවාය.   හිතවත්කම වැඩිකමට ඇය මට කතාකළේ එහෙමය.

"මට එන්න වෙන්නෙ නෑ ඕයි!" කී මම ඒ දිනවල දිගටම  මට බෙනට්ගේ ටෙළියේ ෂූටිං වලට රැයක් දවාලක් නොමැතිව සහභාගී වන්නට සිදුවී ඇති බව ඇයට පැහැදිළි කළෙමි.  

මා ඇය සමග කීයේ සහතිකම ඇත්තය.   ඉන්ද්‍රා වේගයෙන් ඇසිපිය සලමින් මගේ කතාව අසා සිටියාය.  කරදරයක් වුවිට හෝ සිත කලබලයට පත්වූ විට ඇය තදින් ඇසිපිය සලන බව මම නිරීක්ෂණය කර තිබුණෙමි.   කතාවක් නොමැතිව මොහොතක් ගතවී ගියේය.   ඇගේ සිහින්  දෙතොල් වෙවුලන බව මම දුටුවෙමි.

"මමත් ගෙදර යන්නෙ නෑ ! " යි  ඇය හිමිහිට පැවසුවිට මම කරකවා අතහැරියාක් සේ වීමි.

"එතකොට කට්ටියගෙ ගමන?" මම ඇසුවෙමි.

"ගෙදර ප්‍රශ්නයක් හරි සනීප නෑයි හරි කියනවා!"  ඉන්ද්‍රා මුහුණ රතුකරගෙන සිහින් හඬින් කීවාය.   

"ඒක හරි සවුත්තු වැඩක් නේද? එතකොට අර කට්ටිය ලෑස්ති කර ගත්ත ගමන අපරාද නෙ! " යි මම කීවෙමි.

"ගමන අපරාදයක් උනොත් ඒ තමුසෙ නිසා!" යි  ඉන්ද්‍රා කීවාය.  "ඇත්තමයි මම දන්නව තමුසෙ හින්ද වෙලාවක මට පිස්සු හැදෙනවා! " යි බිඳුණු හඬින් ඇය කීවේ බිම බලාගෙනය.

කේන්ති ගිය විට ඈ බෙහෙවින් රූමත් යැයි මා කීවිට ඇය අත් බෑගය ඇද දුම්රියේ යන්නට ලබාදී තිබුණ සීසන් පෝල්ඩරයේ පිංතුරය මට පෙන්වූවාය.   එය ඊට අවුරුදු දහයකට හෝ පහළොවකට පෙර ගත්තක් වූ අතර එහි තිබුණේ මා ඉදිරිපිට ඉන්නා ඉන්ද්‍රාගේ දැයි හිතාගන්නටවත් බැරි අතිශය පියකරු උදේ පිපුණු මලක් මෙන් රූමත් යුවතියකගේ පිංතුරයකි.

"ඉතිං බලෙන් උස්සගෙන යන්නෙ නැතුව ඉඳීයැ !" යි මා කීවිට සිනාසුණු ඈ "හිනාවුණාට මගෙ කේන්තිය තවම ඇරුනෙ නෑ, තමුසෙ එනවද නැද්ද කියල හෙට හරියටම  කියනවා! " යි කීවාය.   අපි සිනාසෙමින් කැන්ටිමේ සිට ආපසු ආවෙමු.

ඉන්ද්‍රලාගේ ගෙදර යන්නට නියමිතව තිබුණේ ඒ සතියේ සෙනසුරාදාය.   සිකුරාදා මුළු රාත්‍රිය පුරාම ටෙළියේ ගීතයක් ගීතයක් රූපගත කරන්නට නියමිතව තිබුණේ රාජගිරිය පැත්තේ වලව්වකය.  එහෙයින් සෙනසුරාදා විවේක දිනයක් විය.   අවශ්‍ය නම් උදේම ඉන්ද්‍රලාගේ ගෙදරට පිටත් වෙන්නට හැකියාව තිබුණත් මුළු රැයක් නිදිවරා වෙහෙසවී වැඩකර එතැනින්ම හැතැප්ම පණහක් පමණ දුර යෑමේදී ඇතිවන මහන්සිය මෙතෙකැයි කියන්නට බැරිය.  ඉඳගත් තැන එහෙම නින්ද යයි දවල් ඉර එළිය වැටෙන විට ඇස් වලින් පිටවන්නේ බුදු රැස්ය.   මා මේ විස්තරය පසුවදා ඉන්ද්‍රාට කීවෙමි එන්නට හැකි නමුත් ගෙදරට ළඟාවන්නේ හොඳ පණ  ගිය එකෙක් බවත් එහෙම ඇවිත් පළක්  වේ නම් එන්නට හැකි බවත් මම වැඩිදුරටත් විස්තර කළෙමි.

" පණගිහිං හරි තමුසෙ එනව නං එච්චරයි!" යි ඇය සිහින් අනම්‍ය හඬකින් කීවාය.   ජයග්‍රහණයක සතුට ඇගේ දෑස් පුරා  දකින්නට තිබිණි.   ඒත් මට අනෙක් අය යන වාහනයේ යන්නට ලැබෙන්නේ නැත මම බස් එකේ එන්නම් කියා කීවේ ආපසු එනවිට වාහනයේ එන්නට හැකි බැවිනි.   ලාල් ගාල්ලේ සිට කෙළින්ම ඉන්ද්‍රලාගේ ගෙදර එන බව කිවේය.  ඉන්ද්‍රා සිකුරාදා දවල් වරුවක නිවාඩුවක් ගෙන ගෙදර ගියාය.

නියමිත පරිදි සිකුරාදා සවස අපි බඩු පොදි බැඳගෙන රාජගිරියට ගියේ නයිට් ෂූටිං වලටය.   ප්‍රධාන නිළිය ගීතය ගයන්නේ සාදයකය, සාදයේ සෙනගට පීරියඩ් විදියට ඇඳුම් අන්දවා බස් එකක පටවාගෙන එන්නට සිදුවිය.  ඊට පසුව ඒ නිවසේ සැරසිළි කරන්නට ද ගෙනා කට්ටියගේ කෑම බීම ආදී අවශ්‍යතා බලන්නටද මට සිදුවී තිබිණි.  ගිය වෙලාවේ පටන්ම වෙහෙස නොබලා වැඩකලත් මුල්ම ෂොට් එක ගන්නාවිට වෙලාව රෑ දොළහටත් ළංවී තිබිණි.  එතැන් සිට එක දිගට රූපගත කිරීම සිදුකළ හෙයින්  බලාපොරොත්තු වූ පරිදිම මුළු රාත්‍රිය පුරාවටම එක විනාඩියකට වත් ඇස් පියාගන්නට ලැබුණේ නැත.  ගීතයේ අන්තිම ෂොට් එක ගන්නට ඉතිරිවී තිබියදී උදා හිරු රැස් ක්‍රම ක්‍රමයෙන් පොළොව සිප ගන්නට වන්නේය.  කිචි ධර්මයා කෑ ගසමින් කාර්මිකයන් කණ්ඩායම මෙහෙයවන්නේ එළිය වැටෙන්නට කළින් ෂොට් එක ගන්නට නොහැකි වුණොත් අද රාත්‍රියේද නිදිවරන්නට වන බව කියමිනි.  ඒ රාත්‍රියේද නිදිවරන්නට වනවා යැයි ඇසෙන විට ඇඟ හිරිවැටේ.  කෙසේ වුවද කරදරයක් නැතිව අවසාන දර්ශනයද රූපගත කරන්නට ධර්මයා සමත්විය.   රූපගත කිරීම නිමකර ඩොලියෙන් බැසගත් ධර්මයා,

"මම නැත්නං වෙන වැඩේ බලන්න තිබුණා!" යි කියමින් බුලත් විටක් ඒදාගෙන හපන්නට විය.

එතැන් සිට මම ඉක්මන් වුයේ කොටුවේ බස්පොළට යන්නටය.  හවස එනවිට ගෙනැවිත් පැත්තක තබා තිබූ වෙනත් ඇඳුමක් ඇඳගත් මම ගේ ඉස්සරහින්ම කොටුව බස් එකකට ගොඩවී පිටකොටුවට ගොස් ගාලු යන ඒ සී බසයකට ගොඩවුනෙමි.   ටිකට් වලට කලින්ම මුදල් අතටදී මම කොන්දොස්තරට කීවේ මට අනිවාර්යයෙන්ම සීට් එකේ නින්ද යන බැවින් නියමිත තැනදී නොවරදවාම ඇහැරවන්නට කියාය.   බසය ගාලු පාරට ඇතුළු වන්නටත් පෙර මගේ හිස බරවී නින්ද යන්නට ඇත නැවත ඇහැරුණේ කොන්දොස්තර මල්ලී මා අවදිකරවා "මහත්තයා බැහැගන්න!" කියද්දීය.  

එහෙම කියද්දී මට මතක් වන්නේ රවී ලියා තිබූ කතාවකි.  එකල සති අන්තයේ කදුරුවෙල සිට ගෙදර එන රවී ඉරිදා හවස බසයේ ආපසු කදුරුවෙල යයි.  කටුගස්තොට සෙන්ට් ඇන්තනීස් කොලීජිය පසුවන විටම නින්ද යන රවිට නැවත ඇහැරෙන්නේ කදුරුවෙල දීය.   දවසක් අම්මා රවිගෙන් අසන්නේ "නුවර ඉඳන් කදුරුවෙලට කොපමණ දුරද පුතේ?" යි කියාය.   මඳක් කල්පනාකරන රවී "එච්චර නෑ අම්මේ,ඇන්තනීස් කොලේජ් එක පහුවුණ ගමන් කදුරුවෙල" යි පිළිතුරු දෙයි.   ඒ පිළිතුර අසා ඇරුණු  අම්මාගේ කට පැයක් පමණ වහගන්නට බැරිව තිබුණා යැයි රවී ලියා තිබිණි.

මට පාර වරදී යයි ඉන්ද්‍රා  අක්කගේ දුවලා දෙන්නාව පාරට එවා තිබුණාය.  බයිසිකලයක නැගගෙන පාරට ඇවිත් තිබු පොඩි කෙල්ලන් දෙන්නා මට කතා නොකරම මා හඳුනාගන්නට සමත්වුණු අතර බසයෙන් බැසගත් පුද්ගලයා නියම පාරට වට බව දැනගත් විගසම කෑ ගසාගෙන ආපසු ඉගිලුනෝය.   මට දී තිබු මග විස්තර අනුව පාර වරදවා නොගෙන ඉන්ද්‍රාගේ ගෙදරට ගියෙමි.  ඒ වනවිටත් යන්තම් උදේ දහයමාර පහුවුණා පමණකි.   කලින්දා රෑට  කාපු ආප්ප දෙක තුනට පසු කිසි දෙයක් කුසට  නොවැටුණු  මගේ කුසගින්න ලැව් ගින්නක් සේ නැගගෙන එයි.   සිනාසී ගෙන පෙරමඟට පැමිණි ඉන්ද්‍රා මා පිළිගත්තාය කොට සායක්ද බ්ලවුසයක්ද හැඳ දැරියක සේ සිටින ඇගේ දෑස් සතුටින් දිළිසෙයි.

"ඔය යස අගේට ඉන්නෙ, මම මේ මගට ආවෙ පණගිය මනුස්සයව  අරගෙන යන්න!" යි ඇය කීවේ සිනාසෙමිනි.

"ඉන්නව නං තමා ආපු හැටි දන්නෙ මම විතරනෙ!"

"මහන්සිද?" ඉන්ද්‍රා මගෙන් අසන්නේ මහත් සෙනෙහසිනි.  "ගෙදර නෙවෙයි නං මම තමුසෙව උස්සගෙන යන්නෙ!" ඇය  මගේ කණට කර රහසින් කීවාය.

"බඩගිනියි ඕයි, ඊයෙ රෑට කාපු ගමන්,පරක්කු වෙන නිසා මගින් කන්න හිටියෙ නෑ. බස් එකෙන් බැහැපු තැන හංදියෙ කඩේකින් කන්නත් කල්පනා කරල නිකා හිටියා!"

"ගේ පෙනි පෙනී  කඩේට කන්න ගියානං හොඳ වැඩක් කරනවා, යමු යමු, ගෙදර උදේට කන්න හදල ඇති!"

මුහුද අද්දර ඉතා පියකරු පරිසරයක පිහිටා ඇති පැරණි පන්නයේ නිවෙසක් වන ඉන්ද්‍රලාගේ ගෙදර කුස්සියේ දොරින් එළියට බැස්ස විට ඉදිරියට දිස්වන්නේ රැළි නඟන මහ මුහුදයි.ගෙදර හිටියේ ඉන්ද්‍රාගේ අම්මාත් නංගීත් පොඩි මල්ලිත්ය.  ඇගේ ලොකු මල්ලිගේ පදිංචිය ඔහුගේ බිරිඳගේ ගෙදරය.  නිතර සිනාසෙන කාරුණික කාන්තාවක වූ අම්මා මාව  කෑම කන කාමරයට එක්කරගෙන ගෙන ගොස් උදේට කන්නට දුන්නාය.  උදේට කන්නට ඇය සුදානම් කර තිබුණේ මිරිස් මාළු හොදිත් පොල් සම්බෝලත් සමග ඉඳිආප්පය.  දකුණේ තාලයට සැරට සකස් කර තිබු මිරිස් මාළු හොද්ද බෙහෙවින් රසවත් විය.  කෑමෙන් පසු කහට තේ කෝප්පයකි, සිගරැට් එකක්ද දල්වාගත් මා ඉස්තෝප්පුවේ තිබු හාන්සි පුටුවේ වාඩිවුනෙමි.  ඒ දිනවල මා බොහෝසේ දුම් පානය කළ අතර මගේ අනවරත දුම් පානයට ඉන්ද්‍රාගේ දැඩි විවේචන එල්ලවිය.  එනවා යැයි කියූ අනික් අය හෝ ලාල්වත් තවම එන පාටක් නැත.  මුදු හුළං වදිමින් හාන්සි පුටුවේ වාඩිවී සිටි මට එක්වරම නින්ද යන්නට ඇත෴

Thursday, July 7, 2016

පණ බේරූ සුරුට්ටුව,චූඩාගේ මොළය ,සුමනපාලගේ වැටමාර පොල්ල සහ ඇන්සාගේ වන්දනා ගමන.

අතීරණය මැද ගෙවීයන විනාඩිය පවා බොහෝ දිග යැයි චූඩාට සිතේ.   තමා ගෙවමින් සිටින්නේ ජීවිතයේ අවසන් විනාඩි කීපයදැයි ඔහු සිහි කළේ සංවේගයෙනි.   සිය ප්‍රාණය නිරුද්ධ වෙන්නේ තමා අතිශයින් ප්‍රිය කළ විෂයයක් හේතුවෙන් වීමත් දෛවයේ එක සරදමකැයි ඔහුට සිතේ.   හෙට අනිද්දාට විවාහ කරගන්නට සිටින තම සිත්ගත් යුවතිය මා ගැන මොනවා සිතයිද ආදී වශයෙන් කල්පනා කළ චුඩාගේ සිතේ අතීත මතක සටහන් රාශියක් මොහොතින් මොහොත රඟදෙන්නට වුයේ චිත්‍රපටයක දර්ශන පෙළක් මෙනි.   

මොකද බොල බලාගෙන ඉන්නෙ?

සුමනපාල නැවත බෙරිහන් දෙයි.   චූඩා හැරී බැලුවේය සුමනපාල කෑගහන්නේ පුටුවේ දිගාවීගෙනමය.   සුරුට්ටු කොටයද නොනවත්වා අදිමින් සුමනපාල කියන දේ එන්න එන්නම අපැහැදිලි වෙන බව චූඩා එක මොහොතකින් තේරුම් ගත්තේය.   බලාපොරොත්තුවේ සිහින් එළියක් චූඩා ගේ සිත තුළ දැල්වෙන්නට පටන් ගත්තේ ඒ මොහොතේය.   සුමනපාලගේ හිස විටින් විට පසෙකට බරවෙන හැටි චුඩාට පෙනේ.   ලොක්කයියලාගේ ගෙදරින් බීපු වීදුරු දෙක තුන උඩට ඇදපු සුරුට්ටුවේ මත සුමනපාලට ඔරොත්තු නොදෙන සෙයකි.    ඔහු හිස ඔසවා සිටීමට දැඩි ආයාසයක් ගත්තත් මොහොතින් හිස කඩා වැටෙන්නේ මුවින් අව්‍යක්ත හඬක්ද පිටකරමිනි.   තවත් සුළු මොහොතකින් සුමනපාල මතට සම්පූර්ණයෙන් පරාජය වෙමින් පුටුවේ නිදන්නට වුයේ ගොර අදිමිනි.   චූඩා සැනසිලි සුසුමක් හෙළුවේය පේමා තවමත් බීතවී ඉහළට ඇදගත් ගමන්මය.

පේමෝ රත්තරනේ මූ ඇහැරෙන්න කළින් මම යන්නං!

උඹ නං ගැලවිලා යන්න යයි ඊට පස්සෙ ඔක්කොම කරුමෙ ගෙවන්න වෙන්නෙ මට තමා උඹට මොකද, යන මඟුලක මාවත් එක්කං පළයන්!

නොරිස්සුමෙන් කියූ පේමා පොඩි එකාත් වඩා ගත්තාය.දැන් චුඩාගේ හිස මත කඩා වැටෙන්නට යන්නේ තිබුනාට වැඩි මරාලයකි.  සුමනපාලයා ඌව මැරුවා නම් ඒක එතැනින් ඉවරය පේමාත් අරගෙන ගියොත්  වෙන්නේ තව විනාසයකි පේමා මදිවාට තව පොඩි එකෙකුත්අරගෙන කොහේ යන්නද?   ගෙදර හැර ඌට යන්නට වෙන තැනක් නැත.   පේමාත් පොඩි එකාත් උස්සගෙන ගෙදර ගියොත් අම්මා තුන් දෙනාටම කොහු පහර දී එලවා දමනවා නිසැකය.   හෙට උදේ වනවිට සිදුවුන සියල්ලම මුළු ගමටම ආරංචි වෙන එක වළක්වන්නට කාටවත් බැරිය.   තව ටික දවසකින් චූඩාත් එක්ක දීග එන්නට අර කෙල්ල දින ගනිමින් සිටී ඒකිට මේ හරිය ආරංචි වෙනවාට වඩා වහ ටිකක් බොන එක සැපය.    චූඩාගේ හිස යකාගෙ කම්මල වගේය මොනවා උනත් මේ වෙලාවේ මොළේ කල්පනා කර වැඩකළ යුතු යැයි චූඩා තමාටම කියා ගත්තේය.     සුමනපාල ගොරවමින් නිදයි.

අනේ සුදෝ පොඩ්ඩක් කල්පනා කරල බලපංකො මම හෙට අනිද්දා පිළිවෙලක් වෙන්න ඉන්න එකා,මේ දේවල් අරකිට ආරංචි උනොත් එහෙම ඒකි ළිඳේ පැනල මැරෙයි.   අනික සුමනයට හෙට උදේ ඇහැරුනාම  ඌට මේ වෙච්ච දේවල් මතක තියෙයියැ, මතක් උනත් බීල ඉන්න වෙලාවෙ වගේ උඹව මරන්න හදන එකක් නෑ ඕන්නං ටිකක් බැනල නිකා ඉඳී!  මොකෝ ඌටත් උඹ නැතුව මේ ගෙදර දොරේ වැඩ ළමයින්ගෙ වැඩ තනියම කරගන්න පුළුවන් එකක්යැ.

උඹ හදන්නෙ මගෙ හිත හදල පැනගන්න ඊට පස්සෙ මාව මතකක් නෑ, මාව ආයෙ ඕනෑ වෙන්නෙ උඹට ආයෙම රුදාව හැදුනම, උඹලගෙ හැටි මම නොදන්නවයි අපි හැම දුකක්ම විඳගෙන ඉන්න ඕනෑ උඹලට ඒවා ගානක් නෑ,අපිව ඕනෑ වෙන්නෙ උඹලගෙ මෝල් අමාරුව ඇරගන්න විතරයි ඉහි ඉහි...

පේමා ඉකිබිඳීමින් හඬන්නට වන්නීය.   දෛවය තවත්වරක්  තමාට ඉතා කාරුණික වූ බව දුටු චූඩා පෑල දොරෙන් එළියට පැන අඳුරට මුසුවිය.

මෙසේ අවුරුදු ගණනක් ගෙවී ගියේය චූඩා තමා පෙම් කළ කෙල්ල ගෙදරට කැන්දාගෙන ඇවිත් පවුල් ජීවිතය ආරම්භ කළේය.  සුමනපාල සුපුරුදු පරිදි රස්සාව කරමින්ද දෙහි කපමින්ද හවසට ඒමිස් ගේ ගෙදර යමින්ද කාලය ගතකළේය.    ඒමිස්ගේ පුතා පිස්සු බලු විසෙන් මැරුණේ මේ අතරවාරයේය.   ඒ කතාව මම කළින් ලියූ පෝස්ටුවක ලීවේ මේ ආකාරයටය. 

 "ඒ ගෙදර ජෝඩුවට හිටියේ එක පිරිමි දරුවෙකි. අවුරුදු දොළහක් පමණ වයස මේ ළමයා උදේ හවස පාසල් යන්නේ පා ගමනිනි.  හදිසියේම ළමයා මළේය.   මැරුණේ පිස්සු බලු විෂෙනි.   පසුව හොයාගත් කරුණු කාරණා අනුව දවසක් ළමයා ඉස්කෝලෙ ඇරී ආපහු එනවිට කාලකණ්නි පෙනුමක් ඇති බල්ලෙක් හපන්නට පැනගෙන ඇවිත් ඇති ඇති අතර ළමයා දුවගොස් බේරුනේය.   නමුත් බල්ලාගේ නියපොත්තකට හෝ දතකට ළමයාගේ කකුල සීරී ඇත.මේ සිද්ධිය කවුරුවත් එපමණ ගණන් ගෙන නැති අතර තුවාලය නිකංම සනීපවිය.  නමුත් ශරීරයට ඇතුළු වුන පිස්සුබලු විෂ මාස කීපයකට පසු ක්‍රියාකාරී වීම හේතුවෙන් ළමයා මළේය.   තවත් මාස කීපයක ඇවෑමෙන් ගෙදර කාන්තාවට තව දරු සම්පතක් ලැබෙන ලකුණු පහළ විය.එය ඉතා හොඳ ආරංචියකි.  මන්ද යත් එකම දරුවා නැතිවූ ශෝකයෙන් සිටින දෙමව්පිය යුවළකට දරුවෙක් ලැබෙන ලකුණු පහළවීම කෙතරම් වාසනාවක්ද? නමුත් පොඩි කොස්සකට තිබුණේ ගෙදර මනුස්සයා අවුරුදු දෙක තුනකට පෙර රජයේ රෝහලකින් වාසෙක්තමි සැත්කම කරවා ගෙන රුපියල් පන්සීයක්ද අරං තිබීමය.   සිද්ද උනේ වෙන මිනිහෙක් නම් ළමයෙක් නැතිවීම පැත්තක තියෙද්දී ගෑනිට ගුටි ගසා ගෙදරින් එළවන තරමට කේන්ති ගන්නා විච්චුම්බරයක් වුවද මූ එකහඬින් කියා සිටියේ දරුවා උගේ බවය.   කවුරු මොන තර්ක ගෙනාවත් වචනය වෙනස් කරන්නට උගේ කැමැත්තක් නැත.   දරුවා උගේමය කියමින් පරසක්වළ ගසයි.   දෙන්න දෙමාල්ලන්ට  ප්‍රශ්නයක් නැත්නම් වෙන උන්ට ඇති පුකේ අමාරුව මොකක්ද කියා ගමේ උං සද්ද නැතිව සිටියෝය.   නමුත් මට ප්‍රශ්නයක් ඉතුරුවිය.  මේකා කියන ආකාරයට දරුවා උගේනම් වාසෙක්තමි සැත්කම අසාර්ථකය.  සැත්කම සාර්ථක නම් දරුවා කාගේද?"

ඇන්සා අවුරුද්දකට සැරයක් ගමේ අයත් ලෑස්ති කරගෙන වන්දනා ගමනක් යයි.  ඒ අවුරුද්දේ ඇන්සා ලෑස්ති වුනේ කතරගම යන්නටය.  ඇන්සාගේ නෑනාත් මස්සිනාත් වූ ඒමිස් ජෝඩුව ද වන්දනා ගමන යන්නට ලක ලෑස්ති වුහ.   නඩය පාන්දරින්ම වන්දනා ගමන පිටත් විය උදේ දහය විතර වෙද්දී ලැබුණු ආරංචිය වුයේ සුමනපාල හදිසියේ මළ බවය.   ඔහු වන්දනා ගමන නොගියද වන්දනා බස් එක පිටත් වන තුරු හන්දියට වී සිට ගෙදර ගොස් ටික වෙලාවකින් පපුවේ රිදිල්ලක් ඇවිත් ඇඳේ හාන්සිවී ඇත.   ඒත් පපුවේ කැක්කුම අඩු නැති නිසා රෝහලට ගෙනගියත් ජීවිතය බේරාගන්නට බැරි විය.   ගමට ලොකු සේවයක් කළ සුමනපාලගේ අවසන් කටයුතු ඉතා හොඳින් සිදුකරන ලදී.   සුමනපාලගේ හත් දොහේ දානයට පෙර බණ දවසේ රෑ අපි කොල්ලන් සියලුදෙනාම බණ ගෙදර ගියෙමු.   බණෙන් පසු රෑ කෑම ලෑස්ති වෙන තුරු අපි ඒ ළඟ ගෙදරකට වී කෑමට පෙර පොඩියට කර්තව්‍යයක් කරමින් ආගිය කතා බහේ යෙදෙමින් පසුවුනෙමු.   ටිකකින් එතනට ආවේ අපේ මස්සිනාය ඌ ඇවිත් ළඟ ළඟ දෙකක් නමා ගත්තේ එන්නට ප්‍රමාදවූ බව කියමිනි.   ටිකකින් ඌ මට කතාවක් කියන්නට වන්නේය.

ඕයි!

මොකද ඕයි!

ඔය සුමනපාල මැරුණ දවස මතකද?

හ්ම්...පහුගිය සෙනසුරාද නෙ!

ඔන්න එදා උදේ පාන්දර මම වැඩට යන්න යනවා, අලවත්තෙ පාරෙ පල්ලම බහිද්දි මම දැක්කෙ මට ඉස්සරහින් තව දෙන්නෙක් යනවා!

මූ කියන්නට යන්නේ රසවත් ඕපාදුපයක් බව උගේ මුනෙන්ම පෙනේ,මම හොඳින් සවන්දී සිටියෙමි.

කවුද බලපුවම ඒමිසුයි පවුලයි,දෙන්න ලොකු බෑග් දෙකකුත් කරගහගෙන වන්දනාවෙ යන්න බස් එක ළඟට යන්න යනවා!

ඉතිං?

පල්ලමේ බෝක්කුව ළඟට යද්දි නියර දිගේ ආපු එකෙක් උන් දෙන්න පස්සෙන් වැටුණා.  හෙන වැටමාර පොල්ලක් අතේ, කවුද බලපුවම සුමනපාල!

ඌ මොකද එතන කරන්නෙ?

අහගෙන ඉන්නවකො,මාත් ටිකක් කිට්ටුවෙලා මොකද වෙන්නෙ කියල අහගෙන පස්සෙන් ගියා, සුමනපාලය ඒමිස්ට බලු බැණුම් බනිනවා කුණුහරුප ඉවරයි!

මොනවද කියන්නෙ?

ඒමිස්ගෙ පවුලට කතරගම යන්න එපා කිව්ව,මගෙ ගෑණි තියල තෝ ඕනෑ මඟුලක පළ කිය කියාමයි පස්සෙන් ගියෙ!

ඉතිං ඒමිසා මොකද කළේ?

ඒමිසා වචනයක් කතා කලේ නෑ ඔළුව නමාගෙන ගියා,සුමනපාලය තිත්ත කුණුහරප කිය කියා ගහන්න වගේ පොල්ල උලුක් කළා!

මරුනෙ ඕයි තමුසෙත් ඔක්කොම අහගෙන පස්සෙන් ගියා?

උන්ට මං ඉන්නව කියල ගානක් තිබුණේ නෑ මමත් හංදියට යනකල් උන්ගෙ පස්සෙන් ගියා, සුමනපාලය කිව්වෙම ගෑණිව වන්දනා ගමන එක්ක ගියොත් ඒමිසාට ගහල මරනව කියලමයි.  හංදියෙ වන්දනා බස් එක නවත්තල තිබුණා උන් තුන් දෙනාම එතන නැවතුනා මම දිගටම යන්න ගියා!

අපි දෙන්නාගේ හිනාවට අනික් උන් හැරී බැලුවෝය.

මොනවද ඔයදෙන්න කිය කියා හිනාවෙන්නෙ,අපටත් ඇහෙන්න කිව්ව නං නරකද?

හරි එහෙනං එක තමයි වෙලා තියෙන්නෙ,අපරාදෙ දෙහි ගෙඩියක්වත් කප්පෝ ගන්න හිටපු එකා!

තමුසෙ ඔය කතාව දන්නෙ නැතුවට ගමේ ගොඩක් අය දන්නවා,සුමනපාල කොටුව පැනල තියෙන්නෙ ඒමිස්ගෙත් කැමැත්තෙන්මයි!  නැත්නං වඳ වෙන්න ඇටදෙක කපාගෙන හිටපු එකා ළමය තමන්ගෙයි කියාවියැ?

සුමනපාල ඉස්සෙල්ලාම ගියේය ඒමිස් ගියේ ඊට පස්සේය,ඒ මරණය වෙලේ මම ලංකාවේ නොසිටියෙමි.  චුඩා මලේ ඊළඟටය ඌ මගේ පාසැල් මිත්‍රයා උනත් මට කබල් වැඩක් කළේය.  ඒ මා ආදරයෙන් හැදු කුකුළු රංචුව හොරෙන් අරගෙන යෑමය.  එදායින් පසු මම ඌව කෙළින්ම කපා දැම්මෙමි උගේ මරණයට යන්නට වත් මට හිත දුන්නේ නැත.   පේමාත් ඒමිස්ගේ පවුලත් තාම හොඳට හිතවත්ය දෙන්නගේ ළමයිනුත් දැන් ලොකුය,අපේ අපේ අම්මාගේ දානේ ගෙදර ආපු පේමාත් ඒමිස්ගේ පවුලත් කදේ දාගෙන ඉන්නවා මම දවසක් දැක්කෙමි෴

Sunday, July 3, 2016

දෙහි කැපීම,ලෙන්ගතු සුමනපාල,චුඩාගේ කොටුව සහ දිවි ගැලවූ සුරුට්ටුව.

අද සුදානම් වන්නේ මීට අවුරුද්දකට පමණ පෙර කියනවා යැයි කියූ කතාවක්  කීමටය.   මා ලියු කතාවක තිබූ අතුරු කතාවක් ලියන්නට කියා කීප දෙනෙක්ම කිව්වත් මෙතෙක් ලියන්නට බැරිවිය.   විචාරක කීවේ මා ඒ කතාව ලියු විට ඔහුත් ඒ වගේ ඔහු දන්නා කතාවක් ලියන බවය.   ඒ වුනාට මොන ක්‍රමයකින් හෝ වැඩේ කල්ගිහින් මට කතාව ලියාගන්නට නොහැකි විය.   නමුත් පොරොන්දුවක් දුන්නා නම් කවදා හෝ එය ඉටුකළ යුතුය.   අද මා සුදානම් වන්නේ ඒ පොරොන්දුව ඉටු කිරීමටය.    කතාවේ මුල් කොටස මා කලින් කියා ඇත්තෙමි අද ඇත්තේ ඉතිරි හරිය කියන්නටය.   මගේ මතකය අනුව මේ සිද්ධිය සිදුවී අවුරුදු තිහකට වැඩි කාලයක් ගතවී ඇති අතර කතාවට මුලික වුනු පිරිමි චරිත දෙක තුනම මේ වනවිට ජීවතුන් අතර නොමැත.

අපි ඔහුට සුමනපාල කියා කියමු.   සුමනපාල කැලණිය පැත්තේ සිට ඇවිත් අපේ ගමෙන් පෙළවහක් කරගෙන බින්න බැස සිටි පුද්ගලයෙකි.   ඔහු රස්සාවට මේසන් වැඩ කරපු අතර යම් තරමක නක්ෂත්‍ර දැනුමක්ද තිබුණු නිසා ඉඳහිට ගුරුකම් අතේ වැඩද කළේය.  වැඩිපුරම කලේ දෙහි කැපිල්ලය ඒ කාලේ අපේ ගෙදර දෙහි කැපිලි වලින් අඩු නැති තැනකි කරදරයක් උනත් හොඳක් උනත් අපේ අම්මා සුමනපාලට කියා අපට දෙහි කැප්පෙව්වාය.   මම විභාගයක් පාස් උනත් රස්සාවෙන් උසස්වීමක් ලැබුවත් අසනීපයක් උනත් අම්මාගේ දෙහි කැපිල්ල වරදින්නේ නැත.    බැන්දට පසුව මේ දෙහි කැපිලි පෝලිමට එකතුවූ නව සාමාජිකයන් වුයේ හැලපිත් හැලපැට්ටාත්ය.   හැලපිට ඉස්සෙල්ලාම දෙහි කැප්පෙව්වේ මහ බැංකු බෝම්බය පුපුරා ගිය පසුවය ළදරු හැලපැට්ටාගේ ඇඟේ සැරව ගෙඩි වගයක් ආවිට සුමනපාල විසින් දෙහි කපන ලදී.    සුමනපාල ගේ දෙහි කැපිල්ලෙන් හොඳක් වෙනවාද කියා හරියටම නොදනිතත් සුමනපාල ඇවිත් දෙහි කපනවාට මා  කිසිම විරුද්ධත්වයක් නොදැක්වූ  බව කිව යුතුමය.   මන්ද යත් ගුරුකම් වැඩවල ප්‍රතිපල ගැන මගේ විශ්වාසයක් නැති උනත් සංස්කෘතිකාංගයක් වශයෙන් මම ඒ කලාවට ඉතාම ප්‍රියකරන බැවිනි.   ඒ නිසාම දෙහි කැපිල්ලේදී සුමනපාල කියන කවි ස්තෝත්‍ර යාදිනි කන්නලව් ආදිය මට මී මෙන් රසවත් විය.

ස්තෝත්‍ර කවි සහ යාදිනි සුමනපාල   ළයාන්විතව  ගීතවත් හඬින් ගයන විට මම ඇස් පියාගෙන සවන්දී සිටින්නෙමි.  අවට සියල්ලම නිශ්චලය ඇහෙන එකම හඬ සුමනපාලගේය.   ඒ හඬත් සමග ඒකාත්මික වන මගේ සිත ශෝකී ශාන්ත බවකින්ද පාළු මිහිරියාවකින්ද පිරීයයි.    කවි සහ යාදිනි ගායනා අවසානයේ හරියටම භාවනාවක් අවසන් කලාසේ නැවුම් බවක් සිතට දැනේ.   මම ඒතරම්ම සුමනපාලගේ දෙහි කැපිලිවලට කැමතිවුනේ ඔය හේතුව නිසාය.   දවසක්දා මම කැමරාවත් අතේ තියාගෙනම සුමනපාල ඉදිරිපිට පැදුරේ වාඩිවුණේ ඔහු කියන ගායනා සියල්ලම පටිගත කරගෙන  පසුව මට කැමති වෙලාවට අහන්නටය.   ඔහු කැමරාව දෙස හෙලුවේ එතරම් සුහද බැල්මක් නොවේ නමුත් පටිගත කරන්නට එපා කීවේද නැත.     සමහරවිට මට විරෝධය පාන්නට ඔහුට යම්කිසි පසුබෑමක් ඇතිවුණා විය හැකිය කෙසේ වුවද මම එදා සුමනපාලගේ ගායනා සියල්ලම අඩුවක් නැතිව පටිගත කරගත්තෙමි.     ඒ සියල්ල පරිගණකයට බාගත කරගෙන තිබියදී දවසක් හැලපැට්ටාගේ අත්වැරදීමකින්  සුමනපාලගේ ගායනා ටික ඇතුළු මගේ වටිනා පිංතුර හත් අටසීයක් මැකී ගියේය.   ඒවා ආපහු ලබාගන්නට කොපමණ උත්සාහ කළත් හරිගියේ නැත.   නැතිවී ගිය ඒ ගායනා වල වටිනාකම හොඳින් දැනෙන්නේ සුමනපාල නැති අද වැනි දවසකය.

අපේ අම්මාගේ පණිවිඩය ලබන සුමනපාල දවසේ වැඩ අවසන් කිරීමෙන් පසුව මහලිඳෙන් නාගෙන අලුත් සරමක් කමිසයක් ඇඳගෙන එගොඩහ කඩෙන් සිගරට්ටුවක්ද දල්වාගෙන නියර දිගේ ඇවිත් ඇලෙන් ගොඩවී අපේ ගෙදරට එයි.  ඒ වනවිට මල් බුලත් පුටුව හදන්නට අවශ්‍ය කළමනා සියල්ල අම්මා ලෑස්ති  කර ඇත.   පුටුවට කෙසෙල් කොළය එළා මල්ද බුලත්ද දෙහිද පහනක්ද තබා සකසා ගන්නා සුමනපාල නූළක්  කහ කෑල්ලකින් පාට කරගනී.   ආතුරයා තමන් ඉදිරිපස පැදුරක වාඩිකරවා ගෙන බුදුගුණ ගායනා කර නුලට මතුරා ගැට දමාගනී.  ඉන්පසුව මතුරන්නේ ආතුරයාටය මන්ද ළයෙන් ආරම්භවන මැතිරිල්ල ටිකෙන් ටික ශබ්දය වැඩිවී වේගවත්වේ මතුරන මන්තරද මහා දරුණු ඒවා බව කියවෙනා යක්කුන්ගේ නම් අනුව තේරුම් ගත හැක.දවසක් මෙහෙම මතුරන වෙලාවක ඒ කාලයේ යන්තම් ඇවිදින පොඩි හැලපැට්ටා  බකල ගසමින් ඇවිදගෙන ඇවිත් මගේ ඔඩොක්කුවේ වාඩිවිය මතුරමින් සිටි සුමනපාල වහාම කිව්වේ දරුවා අයින් කරගන්න කියාය.


සෙත් සාන්ති අවසානයේ තියෙන්නේ දෙහි කැපිල්ලය දෙහි ගෙඩියක් ගිරයට මැදිකරගන්නා සුමනපාල මන්තර කියමින් හිසේ සිට පාදාන්තය දක්වා ගිරය තබමින් අවශ්‍යතාව අනුව දෙහි ගෙඩි හතක් හෝ අටක් කපා කපන කපන දෙහි බෑ මිදුලේ බුබුළු දමමින් පැහෙන තෙල් තාච්චියට දමයි.   අවසාන දෙහි බෑ දෙකත් තාච්චියට දමන සුමනපාල පැහෙන තෙල් තාච්චියට අත දමා ආතුරයාගේ හිසේ තෙල් තවරයි මෙසේ දෙතුන් වරක් කළ පසු ශාන්තිකර්මය නිමාවේ.   දෙහි බෑ දැමීම නිසා තෙල් තාච්චියේ උෂ්ණත්වය බොහෝ පහළ බසින බැවින්ද  අල්ලේ සම ඝන බැවින්ද මෙසේ තෙල් තවරාගැනීම මට පුදුමයක් ගෙනදුන්නේ නැත.  එවැනි වෙලාවක සුමනපාලට පමණක් නොව මටත් අතේ තෙල් තවරාගැනීම සීරුවට කරන්නට පුළුවන.    ශාන්තිකර්මය අවසානයේ ගැට දැමු නුලද ආතුරයාගේ කරට දමා ගෙදරින් ලැබෙන තේ කෝප්පයද බොන සුමනපාල අම්මා බුලත් කොළයක තබා දෙන මුදල දෙස ඇස හැර බලන්නේවත් නැතිව බුලතය පිටින්ම දෙකට නවා සාක්කුවට ඔබාගෙන පල්ලම් බසී.

ඒ කාලයේ අපේ අම්මාද මැතිරිල්ලක් කලා මට මතකය.  ඒ මැතිරුවේ ඇඟ ඇතුළේ හැදෙන මුහුණත නැති ගෙඩි වලටය.  මතුරා නූලක් දැමීමෙන් පසුව අම්මා ලෙඩාට කියන්නේ තුන් වරුවක් යනතුරු ඇල්වතුර පාගන්නට එපා කියලාය.   මැතිරිල්ලේ ගුණ පණ කොහොමද කියා මම නොදනිතත් ගෙඩි තියෙන ලෙඩ්ඩු බොහොමයක් දෙනා ඇවිත් අම්මාගෙන් මතුරවාගෙන ගිය බව මට හොඳට මතකය.   අම්මාට ඒ මන්තරය දුන්නේ අම්මාගේ බාප්පා හෙවත් පුංචි සීයාය කියා අම්මා දවසක් මාත් එක්ක කිව්වා මට මතකය.

මන්තර ගුරුකම් අතේ වැඩක් නැති දිනවල හවස සුමනපාල යන්නේ ඔහුගේ හොඳම මිතුරාවූ රෙදිමෝලේ වැඩකරන ඒමිස් ගේ ගෙදරටය.   බොහෝවිට දෙන්නා එකතුවී ලොක්කයියාගේ ගෙදරින් සුදුවා වීදුරු තුන හතරක් සප්පායම්වී රෑ බෝ වනතුරු සිංදු කියමින් ද සමහර විට රණ්ඩු වෙමින්ද කාලය ගතකර බොහෝ රෑ වී ගෙදර යන්නේ කෑම ටික කා දමා ඇඳට වටෙන්නටය.    සුමනපාල නැති වෙලාව අල්ලා චුඩා සුමනපාලගේ පවුලට කොටුව පනී දිගින් දිගටම කෙරෙන මේ කොටු පැනිල්ල ටික දවසකින් සුමනපාලට ඉව වැටිණි.    දවසක්දා චුඩා ගෙදරට රිංගපු වෙලාවක් බලා ගෙදර ගිය  සුමනපාල ජෝඩුව අතටම අල්ලාගත්තේය.   එදා සිද්ද වෙච්චදේ ගෙඩි පිටින්ම චුඩා මට පස්සෙ දවසක කිවේ මම ඌට ලියුමක් ලියන තැන ඉඳගෙනය.   අකුරු ගලපා ලියුමක් ලියාගන්නට බැරි චුඩාට කෙල්ලට දෙන්නට කුලියට ලියුම් ලිව්වේ මමය ඌ මට කියන එක මම හොඳට ගලපා මගේ අතින්ද කෑලි දමා අලංකාර කර ලියමි. බොහොමයක් වෙලාවට මම ලිව්වේ ඌ කියපු දේවල් නොව මට හිතුන දේවල්ය ලියුම දී දවසකට දෙකකට පසු කෙල්ල මොනවද කීවේ කියා මම චූඩාගෙන් අසමි ඌටම හරියන ගොන් බඳින කණුවක් වූ කෙල්ලට ලියුමේ අන්තර්ගතය කුමක් වුවත් ගානක් නැත ඒකිද ලියුමක් ලියා චුඩාට දෙයි.   කොටු පැන්න කතාව චුඩා කියපු හැටියට මෙහෙමය.

ටිකක් රෑ වෙන්න ඇරලා වෙනද වගේ මම සුමනයලගේ ගෙවල් පැත්තට ගියා  ඒ වෙලාවට ගෙදර ඉන්නෙ පේමා විතරනෙ වැඩේ කියන්නෙ එදා පොඩි එකා එතකොටත් නිදි නෑ.   පේමා පොඩි එකා නිදි කරවනකල් මම පැත්තකට වෙලා ඉඳන් හිටියා කොහොමත් සුමනය එද්දී රෑ දහය එකොළහ වෙනවනෙ.   ඔහොම විනාඩි දහයක් පාළොහක් යන්න ඇති අප්පට සිරි මු කුස්සිය පැත්තෙන් ගෙට කඩා පැන්න නෙ.

කවුද?

කවුද අහන්නෙ... වෙන කවුද සුමනපාලය මිසක...

මළ මගුලයි ඉතිං උඹ පැනල දිව්වද?

මොන දිවිල්ලක්ද ඌ දොර පොල්ලක් උරුක්කරගෙනමයි ආවෙ, චූඩෝ තෝ දුවන්න නං ලෑස්ති වෙන්න එපා මේකෙම්ම ගහල ඔලුව පොඩිකරනව ඔහොමම ඉඳගං කිව්වා...

ඉතිං...

දුවනව කිව්වට මට දුවාගන්න විදියක් තිබුනෙත් නෑ කකුල් වෙව්ලනවා මාව  එහෙම්මම බිම ඉන්දවුනා..

ඉඳකිං  තෝ වෙනදටත් කොටු පනින්න ඔහෙට යනව නේද?

යනව නේන්නං ඒ වෙලාවට ඒ වැඩේ ගැන මිසක වෙන දේවල් කල්පනා වෙන්නෙ නෑනෙ,අනික මු යකා වාගෙ ගෙට කඩා පනී කියල කවුද හිතුවෙ...

ඉතිං ඉතිං ...

මම සද්ද නැතුව එහෙමම ඉඳගෙන හිටියා සුමනයත් ඇවිත් පුටුවක වාඩිවුනා.  වාඩිවෙලා මූ සාක්කුවෙන් මිටියක් අරං හෙමිං සීරුවෙ  සුද්ද කරල එහෙම සුරුට්ටුවක් එතුවා මෙන්න සයිස් කාලපන්දම වගේ කතාබහක් මොකුත් නෑ  ...

එතකොට ළමය නලෝ නලෝ හිටිය පේමා...

ළමය නිදි පේමත් බීත වෙලා හිටිදාරණේ බලං ඉන්නවා,  සුමනය කඩදාසි කොළයක් අරං ලාම්පුවෙන් අවුලෝගෙන සුරුට්ටුව පත්තුකරල දෙතුං සැරයක් ඇදල සුරුට්ටුව ජනෙල් පඩිය උඩින් නිවෙන්න තිබ්බා...

හුහ්  එහෙනං මේකයි සෙල්ලම,  තොපි හිතුවෙ මට ආරංචි වෙන එකක් නෑ කියල නේද බොල...

අනේ නෑ බං සුමනෙ මම ආවෙ උඹ ගෙදර ඇති කියල හිතාගෙන...

කට වහපිය පරය තෝ හිතුවෙ මම බබෙක් කියලද, මං ගෙදර නැති වෙලාවට තෝ මේකි ළඟට එනව කියල ගමම දන්නව බොල ...

මට කියාගන්න දෙයක් නෑ වෙන දෙයක් වෙච්චාවෙ කියල එකහිත් හිතාගෙන මම සද්ද නැතුව හිටියා, ඒ ගමන ඉඳා බීපිය කියල මූ සුරුට්ටුව අරගෙන මට දුන්නා මමත් බයටම සුරුට්ටුව ඇද්දා  සුමනය පුටුවෙ වාඩිවෙලා කකුල් දෙකත් ඉහළට අරගෙන මගෙ දිහෑ යකා වගේ බලාගෙන ඉන්නවා...

හරි දැන් ඕක මෙහෙට ගං...

මූ සුරුට්ටුව ඉල්ලගෙන ආපහු අදින්න ගත්තා  මමත් ඔහේ බලාගෙන හිටියා ...

රාත්‍රිය බොහෝ දිග යැයි චුඩාට සිතේ,පොළොව හාරාගෙන නොපෙනී යන්නට හැකි පණුවෙක් වෙන්නට තියේ නම් කොපමණ අගේදැයි චුඩාට වෙලාවකට සිතෙයි.   අතීරණයෙන් ගෙවී යන කාලය සිතට මහත් බරක් දනවයි සුමනපාලයා සුරුට්ටු මතෙන්දෝ ඇස් දෙක පියාගෙන පුටුවේ දපා හිඳී.  පේමා ඇස් ලොකු කරගෙන චූඩා දෙස බලා සිටින්නේ දැන් කුමක් කරමුදැයි අසන්නාක් මෙනි.   දරු තුන් දෙනෙක් වෙනතුරු කෑ දීගය මෙතනින් අවසන් වේදැයි ඇය සිතනවා විය හැකිය.   පුටුවේ දපා නිදිසේ සිටි සුමනපාල එක්වරම ඇස් හැර බලා ජනෙල් කණ්ඩිය උඩ තිබුණු සුරුට්ටු කොටය ගෙන දෙකක් ඇද චුඩාට කතාකළේය.

නැගිටපිය...

චූඩා නැගිට සිටියේ දුන්නක් දිග හැරුනාක් මෙනි.

දැන් තොපි දෙන්න කරන්න ලෑස්ති වුන වැඩේ මගෙ ඉස්සරහ කරපියව්...

ඈ...

ඈ නෙවෙයි මම එන්න ඉස්සෙල්ල තොපි කරන්න ලෑස්තිවෙලා හිටපු වැඩේ දැන් කරපියව් වැඩියකට තියෙන්නෙ මම මෙතන ඉන්න එක විතරනෙ බෑ කිව්වොත් මේකෙන් ගහල තොපි දෙන්නගෙම ඔළු පොඩි කරනවා...

දොර පොල්ල ලෙලවමින් සුමනපාල අවධාරණයෙන් කීවේය෴

ප.ලි. කතාව එක කොටසකින් අවසන් කරන්නට හැකිවේ යැයි සිතා සිටියද එසේ නොහැකි බව දැන් පෙනීයයි.  පාඨක ඔබගේ ප්‍රතිචාර අනුව ඉතිරි කොටස ලියන්නට බලාපොරොත්තු වෙමි.  

Friday, July 1, 2016

මම අලුතින් බ්ලොගයක් ආරම්භ කරමි



අද මම අලුතින් බ්ලොගයක් ආරම්භ කරමි.   එය නම්කර ඇත්තේ  ‘‘සිත්ගත් සාහිත්‍ය කලාකෘති‘‘  යනුවෙනි.  මගේ සුපුරුදු බ්ලොගයට අවුරුදු හතරක් සපිරෙන්නට තව මාස කීපයක් තියෙද්දී මෙවැනි අලුත් බ්ලොගයක් ආරම්භ කරන්නට සිත් වුන හේතුවක් ඇත.   බ්ලොග් ලිවීම මගේ විනෝදාංශයකි ඒ පමණටම මා ලොල් කරන තවත් විනෝදාංශයක් නම් පොත් පත් කියවීමයි.   මේ දෙකම  සමබරව පවත්වාගෙන යමි.   නමුත් බොහෝවිට මා සිත්ගත් පොතක් හෝ වෙන කලාකෘතියක් ගැන පාඨකයන්ට කියන්නට තැනක් නැත.  මන්ද යත් බොහෝ පාඨකයන් මගේ බ්ලොගයේ මා සුපුරුදු ලිවිසැරියෙන් බැහැරව ලියනවාට සිය අප්‍රසාදය ප්‍රකාශ කරන බැවිනි.   බ්ලොගය මගේ නිසා මා කැමති දෙයක් ලියමි යි කියා කියන්නට බැරි බ්ලොගයකට පාඨකයන් එතරම්ම වැදගත් නිසාය.   කොපමණ හොඳ බ්ලොගයක් ලිව්වත් එයට පාඨකයන් නොපැමිණේ නම් කමෙන්ට් නොකරයි නම් එයින් පලක් නැති බව මගේ විශ්වාසයයි.

 මගේ සිත්ගත් පොත්පත් චිත්‍රපට සහ වෙනත් කලාකෘති ගැන මේ බ්ලොගයේ ලියමි.   රස විඳින්නට ඔබටද ආරාධනා කරමි.  මගේ අනෙක් බ්ලොගයද සුපුරුදු පරිදි යාවත්කාලීන වනු ඇත.   වෙනම බ්ලොගයක් ආරම්භ කිරීමේ අදහස සිතට දැම්මේ හිතවත් ප්‍රාජේය.  ඉක්මනටම අරඹන්නට කිවේ හිතවත් මනෝජ්ය.  මට ඇත්තේ අත දිග හැර ලියන්නට පමණකි.   ඔබ දෙදෙනාටම මගේ ස්තුතිය පිරිනැමේ෴