
ඇය සම්බන්ධයෙන් කතා නොකරම භීෂණ සමයේ ක්ෂේත්‍රයේ මගේ මතක සටහන් අවසන් කරන්නට මෙතෙක් උත්සාහ කළද එය අසීරු කටයුත්තක් බව පෙනී යයි.අත්දැකීම් අතුරින් ඇය එළියට එන්නට තතනන්නේ මුල පටන්ම වුවද මෙතෙක් දවස් හිතාමතාම ඇයව මගහැර හෙවත් බයිපාස් කර ගියෙමි.මගේ ඒ ව්‍යායාමය සාර්ථක නොවන බව දැන් සිතෙයි.ඇය යනු අපේ අල්ලපු වැටේ කෙල්ලයි.අල්ලපු වැට යනු බෙන් ෆිල්ම්ස් එකට අල්ලපු වැටයි.මෙය ඉතා කෙටි පෙම් පුවතක් වුවද එයින් මා ලද අත්දැකීම් අතිවිශාලය.අක්කා කෙල්ල සමග පවත්වන්නට යෙදුන කෙටි කාලීන සම්බන්ධය අතහැර දැමු පසුව නැවතත් කෙල්ලන් සමග බැඳීම් ඇතිකර නොගනිමි'යි දැඩි අධිෂ්ඨානයක සිටියේ අක්කා කෙල්ලගෙන් මා ලද අමිහිරි අත්දැකීම් නිසාය.අක්කා කෙල්ල සමග මගේ හුටපටය ඇතිවුණේ මා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට එන්නට පෙර ක්‍ෂයරෝග මර්දන ව්‍යාපාරයේ ප්‍රධාන කාර්යාලයේ සේවය කළ සමයේදීය.එකල අප කාර්යාලය පිහිටා තිබුණේ ඩීන්ස් පාරේ ඇස්වාට්ටුව හන්දියේය.දැන් එය සුවසිරිපාය'යි නම්කර සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රධාන කාර්යාලය පිහිටුවා තිබුණත් එම ගොඩනැගිල්ල ජර්මන් රජයෙන් පරිත්‍යාග කර තිබෙන්නේ ලංකාවේ ක්‍ෂයරෝග මර්දන වැඩසටහනටය.බිත්තියටම ඔබ්බවා තිබු සමරු පලකය ඉවත්කර නැත්නම් තාම එහි එම විශේෂිත කාරණය සඳහන්ව තිබෙනු ඔබට දැකබලාගත හැක."ජර්මන් රජයෙන් ලංකාවේ ක්‍ෂයරෝග මර්දන ව්‍යාපාරයට පරිත්‍යාග කරනලද මෙම ගොඩනැගිල්ල සෞඛ්‍ය ඇමති එම් ඩී එච් ජයවර්ධන විසින් විවෘත කරන ලදී"යනුවෙන් දිනයද සහිතව එහි සඳහන්වේ.දිනය මට මතක නැත.ගොඩනැගිල්ල මට මතක හැටියට තට්ටු තුනකි.බිම් මහලේ ළය චිකිත්සාගාරයද පළවෙනි මහලේ ක්‍ෂයරෝග මර්දන ව්‍යාපාරයේ ප්‍රධාන කාර්යාලයද පිහිටා තිබු අතර විද්‍යාගාරයද වෛද්‍ය සංඛ්‍යා ලේඛන අංශයද සෞඛ්‍ය අමාත්‍යංශයේ අභ්‍යන්තර විගණන අංශයද ජලභීතිකා රෝග මර්දන ව්‍යාපාරය සහ ලාදුරු මර්දන ව්‍යාපාරයේ ප්‍රධාන කාර්යාලයද ඉතිරි කොටස්වල පිහිටා තිබුණි.එවකට සෞඛ්‍ය අමාත්‍යාංශය පිහිටා තිබුණේ කොටුවේ දේශීය ආදායම් ගොඩනැගිල්ලේ තුන්වන මහලේය.පසුකලෙක සෞඛ්‍ය බලධාරීන් විසින්ක්‍ෂයරෝග මර්දන ව්‍යාපාර ගොඩනැගිල්ලේ තිබු සියලුම ආයතනයන් තැනින් තැනට එලවා දමා ගොඩනැගිල්ල තනි සම්බුද්දියට ගෙන සුවසිරිපාය යනුවෙන් නමක්ද දමා තවමත් ප්‍රයෝජනයට ගනිමින් සිටිති.
මගේ මිත්‍ර වොලිබෝල් පිස්සෙකුවූ රත්තා මා සමග කලින් වැලිසර ළය රෝහලේ වැඩකරමින් සිටියදී වොලිබෝල් ගහන්නට නෝපේ ගොස් සේවය අත්හැරියා සේ සලකා ඉවත්කර සිටියදී මම ඌව අපේ ගමේ උපසේන විෂ වෙදමහතා ලඟට එක්කරගෙන ගොස් නයෙක් කෑවා කියා හොර වෛද්‍ය සහතික හදාදී නැවත රස්සාවට යන්නට සැලසුවෙමි.රත්තාට නැවත රස්සාව ලැබුණේ ජලභීතිකා මර්දන ව්‍යාපාරයටය.රත්තා මට සැරින් සැරේට පිස්සුබලු රෝගයට බල්ලන්ට විදින එන්නත් කුප්පි දෙකතුනක් හා සිරින්ජර දෙකතුනක් දෙයි.ඒ බේත් අධිශීත තත්වයේ තැබිය යුතු නිසා අල්ලපු ගෙදර ශීතකරණයේ තබමි.එක නිවාඩු දවසක උදේ මම අපේ ගෙදර ඉන්න ජිමියාටත් අල්ලපු ගෙදර බුලට්ටත් පිස්සු බලු එන්නත දුන්නෙමි.ටිකකින් සුමිත් කළු සුදු බුල් කඩා හැලෙන ලස්සන බල්ලෙක් අරං ආවේය.බැලු බැල්මට පෙනුනේ බල්ලාට එතරම් වයස නැති හැඩකි.මම ටිකක් කල්පනා කර ලොකු බල්ලන්ට දෙන මාත්‍රාවෙන් බාගයක් මේ බල්ලාට විද්දෙමි.බල්ලාට ප්‍රයෝජනයක් වුනාද නැද්ද නොදනිමි.මන්ද යත් මාත්‍රාව වැඩි වූණොත් වැඩේ හබක්ය.අල්ලපු ගමේ එකෙක් එන්නත් කුප්පි ගෙනැත් සිරින්ජර පුරවා බල්ලන්ට විද ඇත.ඌ විද්ද සියලුම බල්ලන් කොස්ගෙඩි වැටෙන්නාක් මෙන් මැරී වැටුනෝය.ඒ කතාව මම අසා තිබුණ නිසා නියමිත මාත්‍රාව අහගෙන ඇවිත් ප්‍රවේශමෙන් මාත්‍රාව මැන විදපු හේතුවෙන් එක බල්ලෙක් වත් නොමළ අතර මගේ නම්බුවද බේරුනි.සුමිත් බල්ලාව ආපසු ගෙනගොස් විනාඩි පහක් යන්නට ඇත.විවිධාකාර බල්ලන් පෝලිමක් මිදුලට පැමිණෙන්නට ගත්තෝය.වල් බල්ලන්ද රට බල්ලන්ද බූල් බල්ලන්ද කුරු බල්ලන්ද ආදී වශයෙන් ගමේ ඉන්න සියළුම බල්ලන් ලණු වලින් ගැට ගහගෙන ආවේ ගෑනු රොත්තකි.මිදුලේ එකම බලු පොරයකි.මේ සිද්ද වුන නස්පැත්තිය කුමක්දැයි මම තුෂ්නීම්භූතව බලා උන්නෙමි.ගෑනු ඇවිත් මට නොකියා කිව්වේ මම මගේ බල්ලා පරිස්සම් කරගත්තා වගේම ඔවුන්ට ඔවුන්ගේ බල්ලන්වද පරිස්සම් කර දෙන ලෙසය.දැන් කරන්නට දෙයක් නැත මට බල්ලන් කෑවත් ඉල්ලීම ඉෂ්ට කළයුතුය.බල්ලන් කෑම ගැන කියනවිට මට තව කතාවක් මතක්වේ.
දැන් අපේ ගෙට පාරෙන් ඉස්සරහ ගෙදර ඉන්න ලොකු මල්ලී පශු වෛද්‍යවරයෙකි.ඒ ගෙදරටද නිතරම බල්ලන්ද බළලුන්ද බේත් කරන්නට ත්‍රීවීල් වලින් අරං එනවා මම ගෙදර ඉන්නාවිට දකිමි.හරකුන්ට අසනීපවූ විට ලොකු මල්ලි කාරෙකේ නැගී හරක් බලන්නට යයි.ඌ බල්ලන්ට පණ බයය,එන්නත් දෙන හැටිද බලන්නට ලස්සනය.බල්ලා ගේ ඉස්සරහ ඇහැළ ගහේ ගැට ගසා අයිතිකාරයාටද ලඟින් ඉඳ අල්ලා ගන්නට කියා පිටිපස්සෙන් පැමිණ සිරින්ජරය දික් කරන්නේ අඩි දහයක් විතර ඈතින් ඉඳගෙනය.වැරදිලාවත් බල්ලා ආපහු හැරී බිරුවොත් මූ සිරින්ජරයත් අතැතිව පස්ස නොබලා දුවයි.ආපහු එන්නේ අයිතිකාරයාට බලු බැනුම් බනිමිනි.බලු අයිතිකාරයාද කුකුල් කේන්තිකාරයෙක් නම් ඌද බනින්නට ගනී.මේ වැඩේ බලා ඉන්නටම වටී හරියටම විනෝද සමය මෙනි.ගෙදර ඉන්නා බොහෝ දිනවල ඉස්තෝප්පුවේ වාඩිවන මා මේ නාටකවල රසය නොමඳව විඳගනිමි.මු විසින් කරන ලද ශල්‍යකර්මයක් ගැන මගෙත් එක්ක කිව්වේ උගේද මගේද බාප්පාගේ දුවය. දැන් ඇය පදිංචිවී සිටින්නේ අමෙරිකාවේය.දවසක් අපි ඇගේ ගෙදරට නෑගම් ගිය වෙලාවක ලංකාවේ ඕපාදුප කතා කරමින් සිටියදී ඇය හිනාවෙමින් මූ ඇගේ බැල්ලියට පැටව් හම්බ නොවෙන්නට කරන ලද සැත්කම ගැන කීවාය. සැත්කම සාර්ථකව සිදු කරන ලද නමුත් පොඩි පරහකට තිබුණේ බැල්ලියට ඊළඟ මුරයේ පැටව් හතර දෙනෙක් ලැබීමය.බැල්ලිගේ කතාව කියනවිට මීට සමාන තවත් කතාවක් මට සිහිවේ.ඒ කතාවත් එතැන ළඟ පාතම ගෙදරක සිදුවූවක් නිසා කතාවෙන් ටිකක් කියමි.
ඒ ගෙදර ජෝඩුවට හිටියේ එක පිරිමි දරුවෙකි. අවුරුදු දොළහක් පමණ වයස මේ ළමයා උදේ හවස පාසල් යන්නේ පා ගමනිනි.හදිසියේම ළමයා මළේය.මැරුණේ පිස්සු බලු විෂෙනි.පසුව හොයාගත් කරුණු කාරණා අනුව දවසක් ළමයා ඉස්කෝලෙ ඇරී ආපහු එනවිට කාලකණ්නි පෙනුමක් ඇති බල්ලෙක් හපන්නට පැනගෙන ඇවිත් ඇති ඇති අතර ළමයා දුවගොස් බේරුනේය.නමුත් බල්ලාගේ නියපොත්තකට හෝ දතකට ළමයාගේ කකුල සීරී ඇත.මේ සිද්ධිය කවුරුවත් එපමණ ගණන් ගෙන නැති අතර තුවාලය නිකංම සනීපවිය. නමුත් ශරීරයට ඇතුළු වුන පිස්සුබලු විෂ මාස කීපයකට පසු ක්‍රියාකාරී වීම හේතුවෙන් ළමයා මළේය.තවත් මාස කීපයක ඇවෑමෙන් ගෙදර කාන්තාවට තව දරු සම්පතක් ලැබෙන ලකුණු පහළ විය.එය ඉතා හොඳ ආරංචියකි.මන්ද යත් එකම දරුවා නැතිවූ ශෝකයෙන් සිටින දෙමව්පිය යුවළකට දරුවෙක් ලැබෙන ලකුණු පහළවීම කෙතරම් වාසනාවක්ද? නමුත් පොඩි කොස්සකට තිබුණේ ගෙදර මනුස්සයා අවුරුදු දෙක තුනකට පෙර රජයේ රෝහලකින් වාසෙක්තමි සැත්කම කරවා ගෙන රුපියල් පන්සීයක්ද අරං තිබීමය.සිද්ද උනේ වෙන මිනිහෙක් නම් ළමයෙක් නැතිවීම පැත්තක තියෙද්දී ගෑනිට ගුටි ගසා ගෙදරින් එළවන තරමට කේන්ති ගන්නා විච්චුම්බරයක් වුවද මූ එකහඬින් කියා සිටියේ දරුවා උගේ බවය.කවුරු මොන තර්ක ගෙනාවත් වචනය වෙනස් කරන්නට උගේ කැමැත්තක් නැත.දරුවා උගේමය කියමින් පරසක්වළ ගසයි. දෙන්න දෙමාල්ලන්ට ප්‍රශ්නයක් නැත්නම් වෙන උන්ට ඇති පුකේ අමාරුව මොකක්ද කියා ගමේ උං සද්ද නැතිව සිටියෝය.නමුත් මට ප්‍රශ්නයක් ඉතුරුවිය.මේකා කියන ආකාරයට දරුවා උගේනම් වාසෙක්තමි සැත්කම අසාර්ථකය.සැත්කම සාර්ථක නම් දරුවා කාගේද?මේ ආකාරයට අසාර්ථක සැත්කම් සිදුවන්නේ නම් පැමිණිලි කළ යුතුය.මාද එවකට සේවය කළේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ බැවින් මේ ප්‍රශ්නය මට පුද්ගලිකවද හොඳින් දැනින.නමුත් උත්තර නැත.ගමේ උංද කිව්වේ ඔන්න ඉස්පිරිතාලවල වැඩ 'යි කියාය.දරුවාගේ පියා යැයි කියන තැනැත්තාට මෙය විසඳාගන්නට කිසිම උවමනාවක් නොවීය.ප්‍රශ්නය ගෙඩි පිටින්ම ඉතුරුවුයේ මටය.මේ උහතෝකෝටිකය පසු කලෙක අහම්බෙන් වගේ අපට විසඳා දෙන ලද්දේද ඒ යුවළ සහ තවත් පින්වතෙකි. ඒ කතාවත් මී මෙන් රසවත් නමුත් ඉතා දිගය.එබැවින් ඒ කතාව කීම පසුවට තබමි.මේ මා කියූ දේවල් සිද්ද උනේ දැනට කාලයකට පෙර අසූ ගණන්වල වාගේය.දැන් ජීවතුන් අතර ඉන්නේ ඒ කාන්තාව පමණකි.ළමයාද රස්සාවක් කරයි.මම ලංකාවට ගොස් ආපහු එනවිට මට ගේන්නට දෙන්නට කැවුම් කොකිස් ආදී රසකැවිලි බිරිඳ පිළියෙළ කරවාගන්නේ ඒ කාන්තාවට කියාය.
නැවතත් අපේ කතාවට එමු.මිදුලේ පිරී සිටින බල්ලන් දුටුවිට බල්ලන්ට නොව මට පිස්සු නොහැදුනා පමණය. බල්ලෝ එකිනෙකාගේ මූණ බලාගෙන ගොරවා ගනිති.බෙල්ලේ මවිල් පුම්බති.බැල්ලියන්ව ඉවකරති.වටේටම මුත්‍රා කරති.ගෑනු නොඉවසිල්ලෙන් බලා සිටින්නේ ඉක්මනට බල්ලාව එන්නත් කරවාගෙන ගෙදර යන්නටය.දැන් ප්‍රශ්නයට මුහුණදිය යුතුය.අපි දෙතුන්දෙනා එකතුවී ආ පිළිවෙලට බල්ලන් පෝලිම් ගැස්සුවෙමු.මා ගෑනුන්ට කතාකර කිව්වේ බේත් ගෙනාවේ ගෙදර අහළ පහළ බල්ලන් කීපදෙනාට විදින්නට පමණක් නිසා බලු රංචුවටම විදින්නට බේත් මදි වෙන්නට හැකි බවත් විදින්නට බැරිවෙන බල්ලන්ට නැවත දවසක බේත් ගෙනැවිත් විදින බවත්ය.කොහොම නමුත් පෝලිමෙන් බාගයකට පමණ එන්නත් කරන විට එන්නත් අවසාන විය.ඊට මාස දෙකතුනකට පසු රත්තාගෙන් ආයෙමත් එන්නත් ඉල්ලාගෙන විත් අනික් බල්ලන්ට වූ පොරොන්දුව ඉටු කළෙමි.
මා වැලිසර රෝහලේ ඉන්නා නාහෙට අහන්නෙ නැති උංගෙන් එකෙක් යැයි කියා හැඳල ලාදුරු රෝහලට මට ස්ථාන මාරුවක් ලබාදෙන ලදී.තරුණ වයසේ සිටි මට වැලිසරද හැඳලද යනුවෙන් ප්‍රශ්නයක් නොවීය.කොහෙත් පඩිය ලැබේ.ලාදුරු රෝහලද වරදක් නැත.ඇලකන්ද හංදියට අතේ දුරය.ඇලකන්ද හංදියේ පොල් රාද ඉස්සෝ කකුලුවෝද හරක් මස් ඌරු මස් ආදී ගොඩ මස්ද මදි නොකියන්නට තිබුණි.මිනිස්සුත් සුහදය.නමුත් මට ගෙදර සිට රස්සාවට එන්නට තරමක් කරදරය.කෝච්චියේ එඬේරමුල්ලට පැමිණ බස් දෙකක එන්නට වෙයි.මම මාස දෙකක් වත් ඒ රෝහලේ නොසිටියෙමි. වැඩිදුර අධ්‍යාපනයට අදහසක් තිබෙන බවත් කරදරයක් නැතුව අධ්‍යාපන කටයුතු කරගන්නට කොළඹට මාරුවක් ලැබුණොත් හොඳ බවත් සෞඛ්‍ය අමාත්‍යංශයට පැමිණ කීවිට මට ස්ථාන මාරුව ලබාදෙන ලද්දේ ක්‍ෂයරෝග මර්දන ව්‍යාපාරයටය.ඒ කාර්යාලයේ අපි කොල්ලන් කෙල්ලන් විනෝදයෙන් විහිළු කරමින් සතුටින් රාජකාරි කරමින් සිටිනා සමයේ එය බලාසිටිනු නොහැකි අක්කා කෙල්ල අහිංසක මට කොක්ක ගැසුවාය.අක්කා කෙල්ලගෙ උපන් ගම දකුණේය.නමුත් රැකියාව හේතුවෙන් ඇය ඒ වනවිට නැවතී සිටියේ වැල්ලවත්තේ නෑදෑ ගෙදරකය.නෑදෑ ගෙදරක් වුවද ඒ ගෙදර තමන්ගෙ ගෙදරට වඩා ඇයට සැපපහසු විය.ගෙදර හිටියේ තරුණ ජෝඩුවක් සහ වැඩට ඉන්න කාන්තාවක්ය.අක්කා කෙල්ල උදේ නැගිට සුදානම් වී එළියට බසින විට කෑම පාර්සලය අතට ලැබේ.බෝඩින් ගාස්තු ආදී කිසිවක් නැත.වියදම් වන්නේ බස් එකට සහ ඇඳුම් පැළඳුම් වලට පමණය.මෙසේ සැම අතින්ම සැප පහසුව විඳිමින් සිටියද ඇය තවමත් අවිවාහකය.කොහොමින් කොහොමින් හෝ විවාහ වන තරුණ වයසද ගෙවීගොස් ඇත.දැන් ඇයගේ එකම බලාපොරොත්තුව මොකෙක් හෝ සමග විවාහය පොතේ ලියවා ගැනීමය.මා ඇයගේ කාර්යාලයට ස්ථාන මාරු ලබා පැමිණියේ ඔන්න ඔවැනි තත්ත්වයක් තිබියදීය ෴