Sunday, July 27, 2014

145.කළු උක් දණ්ඩ සහ වෙළෙන්දට ඇදුන සුවිප් එක.



අද ලයිබ්‍රරිය අවුස්ස අවුස්සා ඉද්දි පරණ පොතක් අහුවුනා,මාර්ටින් වික්‍රමසිංහයන්ගේ "කළුනික සෙවීම"(1951)මාතෘකාව දැක්ක ගමන් මට කළුනික ගැන පරණ කතාවක් මතක් වුනා.කළුනික වලින් කරන්න ඇහැක් හපන්කම් වගයක් අපේ සීයා ඒ කාලෙ මගෙත් එක්ක කීවා මට මතකයි.ඒ විතරක් නෙවෙයි කළුනික ගහක් අපේ වත්ත පහළ තියෙනව කියලත් කිව්වා.ඒ කාලෙ කළුනික ගහක් කියල හිතාගෙන හිටියට ඒ නික ගහක් කියල පස්සෙ දැනගත්තා ඒ කියන්නෙ කළු නැති නික.

අපි පුංචි කාලේ වේලිච්ච නික කොළ පාවට්ට කොලේක සුරුට්ටුවක් වගේ ඔතාගෙන දුං අදිනවා.පාවට්ට දුම නික දුම සරීරෙට අගුණක් නෑයි කියල කතාවකුත් තිබුණු නිසා වැඩිහිටියොත් මේ දුං ඇදිල්ල දැක්කට මොකුත් කිව්වෙ නෑ.මොන බේත උනත් දුං සැරේ එකම නිසා ටිහිකින් ඔලුව කැරකෙන්න ගන්නවා.අපේ බොන ලිඳ ළඟ තිබුණු කළු උක් පඳුර මතක් වෙන්නෙ එතකොටයි.උක් පඳුරෙන් ගහක් කපාගෙන ළිං මිදුලෙ ඉඳන් බරු ගහනකොට අම්ම කෑ ගහනවා.

ඔය උක් පඳුර විනාස කරන්න එපා ළමයිනේ,බේතකටවත් ගන්න ඔය ගස් දෙකතුන පරිස්සං කරගෙන හිටියෙ,ඒකත් කාල දාපල්ලා...

අම්ම එහෙම කියන්නෙ කළු උක්ගස් බේතට ගන්න හින්දයි.බේත් හේත් වලට කළු උක් හොයන අය අපේ ගෙදරට ඇවිත් කළු උක් ගස් කපාගෙන යනවා,අපි නිකං කාල දානවට වඩා එහෙම දුන්නම පිං සිද්දවෙනවලුනෙ.කළු උක් ගස් බේතට විතරක් නෙවෙයි දත් සුදුවෙන්නත් හොඳලු නේද.ඔය ගැන මම මෙන්න මෙහෙම කතාවකුත් අහල තියෙනවා.

ඔන්න එක ගමක හිටපු ඉලන්දාරියෙකුට මඟුලක් කතාකරල පහුවදා මනමාලි බලන්න යන්න සුජානම.ගංඔල ඉලන්දාරි කවුරුත් වගේ මේ ඉලන්දාරියත් තදෙන්ම විට හපපු නිසා දත් වහල්ලෙ බුලත් කහට බැඳිල බොහොම අජුවට තිබුනලු.ඒකෙ වගේ වගක්වත් නැතුව විට හපමින් ඉන්න කොල්ල දැකපු අම්මට යස්සය ආරූඪ වෙලා කොල්ලට ගෝලු ගත්තා...

ඈ බොල තෝ හෙට මනමාලගං යන්න ඉන්න එකා නේද, බලාපිය තොගෙ දත් වහල්ලෙ හැටි,රටඉඳි මෝල වගේ. ගෑනු බලන්න යන්නෙත් ඔහොමද බොල,අනේ අම්මපල්ල අඟුරු ගෝනියක් දාල ඇතිල්ලුවත් ඔය වහල්ල නං සුදුවෙන එකක් නෑ,ඉඳා මේ සතපහ අරං ගිහිං කළු උක්ගහක් වත් විකල බලපිය යන්තං හරි අව පාටක් ගහයිද කියල...

කොල්ල අම්ම දුන්න සතපහත් අරං කඩමණ්ඩිය පැත්තට පල්ලං බැස්සා,ගිහිං වරුවකින් ඉතර ආපහු ඇවිත් පිලේ ඉඳගෙන ඉන්නව අම්ම දැක්කා දත් වහල්ලෙත් වෙනසක් නෑ තිබ්බ විදිහමයි.

කෝ බොල කළු උක් ගහ?

උඹ කිව්වට කඩමණ්ඩිය පැත්ත පළාතක කළු උක් ගස් තිබුනෙ නෑ ඕං...

එතකොට තොට මම දීපු සතපහ කොයි?

උක්ගස් තිබුනෙ නැති හින්ද මං ඒ සතපහෙත් බුලත් විටක් හප හපා ආවනෙ එහෙනං...

මේ තව කළු උක්ගස් කතාවක්,මුස්ලිම් ජාතිකයො ලංකාවෙ වෙළඳාම පටන් ගත්තෙ අද ඊයෙ නොවෙයි ,පෘතුගීසින් ලංකාවට එන්නටත් පෙර ඔවුන් ලංකාවෙ වෙළඳාම් කටයුතුවල යෙදී තිබුණා.ඉතිහාසෙන් ගත්තොත් එහෙම මෙන්න මේ විදියට දැකගන්න පුළුවනි.

 "මුස්ලිම්වරු වාණිජ්‍යයෙහි අති දක්ෂ වුහ.ඔවුහු කුරුඳු,කුළු බඩු,පොල්,පොල්තෙල්,කළුවර, බුරුත, ඇතුන් ආදී ලාංකික ක්‍රයවස්තු විශේෂයනට උසස් මිල ගෙවූහ."
"සිංහලයෝ බොහෝ කලෙක සිට මුස්ලිම් වරුන් හා දැහැමෙන් ගනු දෙනු කළ පළපුරුදු කම් ඇති හෙයින් පරංගි සැහැසිකම් නොඉවසන්නෝ,නොයෙක්විට මුස්ලිම්වරුන්හටම බඩු සැපයීම කළහ."
(30 පිටුව,විජයබා කොල්ලය,ඩබ්ල්යු.ඒ.සිල්වා,2013,විසිපස්වෙනි මුද්‍රණය )
"අස්වැන්න කාලයට මේ ගම්වලට වරින් වර එන මරක්කල වෙළෙන්දෝ වගයක් වෙති.නොයෙක් වර්ගවල බඩුවලින් පිරුණු  ගෝනි දෙපැත්තේ එල්ලූ තවලම් ගොනුන්ගේ ගොන්බරු හෙවත් ගොන්මිණි හඬවමින් දෙදෙනා බැගින් එන මේ මරක්කල වෙළෙන්දෝ මේ ගම්මුන්ට වුවමනා හැම දෙයක්ම පාහේ ගෙන එති.පිහියා,පොරෝ,පිත්තල භාජන,පීරිසි කෝප්ප,වෙඩි බෙහෙත් ,කැප්*,පුවක්,දුම්කොළ,ලුණු,රෙදි පිළි,පබළු වර්ග වළලු මෙයින් සමහරකි.ඔවුහු මේවා ගම්මුන්ගේ මිරිස්,ඉරිඟු,කුරක්කන්,වියලි දඩමස්,ආදියට හා තහනම් ද්‍රව්‍යයක් වූ ගංජා වලටද හුවමාරු කර ගනිති."
(වන සරණ,ආර් ඇල් ස්පිටල් දෙවන මුද්‍රණය 1995,43,44 පිටු)
( *මෙහිදී කැප් යනුවෙන් සඳහන් වන්නේ කැප් තොප්පි නොව බේත් කොටන තුවක්කුවක වෙඩිල්ල කොටා එය පත්තුකිරීමට අත්‍යාවශ්‍යම දෙයක් වන කැප් එකය.වනාන්තරබද ගම්වල ගැමියන් සහ වැද්දන් මෙය ගිනිමල් යනුවෙන්ද හැඳින්වූහ.)

 "රබර් ජය කාලයේ නම් නිකිණියානට නිතර යන එන අමුත්තන්ගෙන් කිසි හිඟයක් නොවීය.එකල මෙහි අමුත්තෙකු දැක්මෙන් කිසිවෙකුට අමුත්තක්ද නොවීය.දැන් දැන් නම් මෙහි අමුත්තෙකු පැමිණෙන්නේ ඉතාම කලාතුරකිනි.ගොලෑ පුවක් ගන්නට එන තලතුනා මරක්කල මිනිහාත්,එළුවන් හා ගවයන් මසට ගෙනයන තරුණ මස්කඩ කාරයාත්,දුම්කොළ වෙළඳා හා රෙදි පොට්ටනි කාරයාත්,පිට මිනිසුන් වුවද මෙහි නිතර යන එන්නන් බැවින් අමුත්තන්සේ නොගැනෙති."
(කැලෑහඳ,ඩබ්ල්යු ඒ සිල්වා හත්වෙනි මුද්‍රණය1993,98,99 පිටු)

ඉතිං මේ විදියට කියවෙන්නෙ අනාදිමත් කාලයක හිටං මුස්ලිම් වෙළෙන්දන් හා සිංහල ගම්වැසියන් අතර තිබු අන්‍යොන්‍ය සහජීවනයයි.මේ උදවිය ඉතා පැහැදිලිවම තමන්ගෙ ජාතියෙන් පිට ගමෙන් පිට අය උනාට ගම්වල අය ඒ වෙළෙන්දන් පිට මිනිසුන් සේ සැලකුවෙ නැහැ. ඒ කාලෙ ගම්මු ගමෙන් පිටට යෑමක් තිබුනෙම නැති තරං නිසා තමන්ගෙ රෙදි පිළි ආදී වෙනත් අවශ්‍යතා පිරිමහගන්නෙත්  එකතු කරන බව බෝග ආදිය විකුණන්නෙ හුවමාරු කරගන්නෙත් මාස කීපෙකට වතාවක් ගමට එන මුස්ලිම් වෙළෙන්දන් එක්ක  ගනු දෙනු කිරීමෙනුයි.දිගින් දිගටම ගමට ඇවිදින් හිතවත් වුන මේ වෙළෙන්දන් එක්ක ගම්වැසියන් ණය ගණුදෙනු පවා කරන්නට තරම් සමීප වෙනවා.

ඔය විදියට කාලයක් තිස්සෙ ගමේ අයත් එක්ක බොහොම හොඳින් ගණුදෙනු කරපු එක මුස්ලිම් වෙළෙන්දෙක් හිටිය ගම්මුත් ඔහුට බොහොම හිතවත්,ඔන්න දවසක්දා දවාලෙ මේ වෙළෙන්දා තමන්ගෙ බඩු පොට්ටනියත් ඉහ තියාන වෙලේ මහනියර දිගේ ගමට එන්න එනවා.එක ලියැද්දක නියර කොට කොටා හිටපු ගොවියෙක් දැක්ක වෙළෙන්දා මොහොතකට නැවතුනා.

හා තම්බි කාලෙකට පස්සෙ නොවැ කොහොමද වාස දේස...

එහෙනං, අපි ගමේ ගිහිං එන්න තමයි ගියා අප්පුආමි,හප්පා අව් රස්නෙ හරි ෂරයිනේ දිව ගිලෙන්න එනවා තිබාසේ...

දැන් ටික දොහක ඉඳන් පෑවිල්ලක් අල්ලල දවල්ට අව් කාස්ටකේ,කොහෙද වතුර කොතලෙත් ඉවරයිනෙ ඔහොම්මම අපේ ගෙවල් පැත්තට ගොඩවුනා නං පිපාසෙ යන්න උක් ගහක්වත් කපාගෙන කන්න බැරුවය, මං කිව්වයි කියමුකෝ...

කියාපු විදියටම තම්බිත් වෙල්යාය කෙළවරේ තිබ්බ ගොවි ගෙදර මිදුලට ගොඩවෙලා කතාකරපුවම ගේ ඇතුලෙ හිටපු ගොවි බිරිඳ එලියට ආවා.

හානේ මේ තම්බිනෙ මං කවුද කියල බැලුව ඒත්,මදැයි දැකපු කල් කොහෙද අප්පේ ගිහිං හිටියෙ...

කට හද හදා කතාකරන ගොවි බිරිඳගේ රූ සිරියාවත් නට නටා ඉස්මතුවෙන නාරි ලාලිත්‍යයත් දිහැ ගල්බීත වෙලා බලාගෙන හිටපු තම්බිට ඇය ගැන පුදුමාකාර කෑදරකමක් ඇතිවුණා.කියන්න ආපුදේත් අමතකවෙලා කටත් ඇරගෙන බලාගෙන ඉන්න ගත්තා ගොවි බිරිඳ තාම කියවනවා.

මේ මොකැයි මේ බයවෙලා වගේ මගෙ දිහැ බලං ඉන්නෙ ගෙට  ඇවිත් ඈඳි ගන්නෙ නැතුවැයි...

ගොවි බිරිඳ දිහාවෙම බලං හිටපු තම්බිට මෙන්න මේ වෙලාවෙ පුදුමාකාර නුවණක් පහළ වුනා,නුවණක් කිව්වට තරමක කපටි හිතක්,හරිගියොත් එහෙමයි නැත්නං එහෙමයි කියල හිතපු තම්බි දෙසැරයක් හිතන්නෙ නැතුව තමන්ගෙ හිතේ තිබ්බ දේ යෝජනාවක් හැටියට කීවාම මේ සැරේ ගල් ගැහුනෙ ගොවි බිරිඳයි.

මොකක් මොකක් තම්බි හැබෑටම එයා එහෙම කිව්වද?

එහෙනං ආය මොනවද ඔනෑනං අහල බලන එකනෙ...

තම්බි එහෙම කිව්වම ගොවි බිරිඳ වත්තෙ කෙලවරට ගිහිං වෙලේ වැඩකරන ගොවියට කතාකලා...

මේ....ඇත්තදෝ...

මේක අහපු ගොවියත් හිතුවෙ තම්බිට කළු උක් ගහක් දෙන එක ගැනයි අහන්නෙ කියල.

අනේ  දීපාං...

ගොවිය එහෙම කිව්වම හිතේ තිබ්බ සැක සංකා පහවෙලා ගියපු ගොවි බිරිඳ අඟර දඟර ගමනින් ගේ ඇතුළට යද්දි තම්බිත් හිමිහිට ඒ පස්සෙන් ඇදුනා.ගේ ඇතුලෙ තිබුණු කබල් ඇඳේ හැතපුනු මේ දෙපොළගේ ප්‍රේමාලිංගනය තරමක් වෙලා යනතුරු දිගින් දිගට ඇදිලා ගියත් කොයි මොහොතක හෝ වෙලේ වැඩ ඉවරවෙලා ගොවියා ගෙදර ඒවි කියන බය මුල ඉඳන්ම දෙගිඩියාවෙන් හිටපු තම්බිගෙ හිතේ තිබුන නිසා ඇඳ මත කටයුත්ත ඔහු ඉක්මන් කළා.

මහ හදිසියකින් දාඩිය පොල්ල දාගෙන හැති හලාගෙන දඟලන තම්බිගෙ ඇඟේ වෙලිල හිටපු ගොවි බිරිඳට තරමක දුකකුත් හිතුණා.

අප්පොච්චියෝ මොකද්ද මේ හදිස්සිය ඇඳ කැඩෙයි තම්බි...

ගොවි බිරිඳ හුරතලේට කිව්වෙ  කටත් ඇරගෙන හැති හලමින් දඟලන තම්බිගෙ එළු රැවුලෙන් අදින ගමන්.

අඳ කඩිච්චදෙන් පොලු හලිච්ච්චදෙන් මා මරිච්චදෙන්...

හති දමමින් කියපු තම්බි හනි හනිකට රාජකාරිය අහවර කරල පුසුඹ සබන් කැටයකුත් ගොවි බිරිඳට දීල ඉක්මන් කරල ගෙදරින් පැනගත්තේ වෙලේ වැඩ ඉවරකරල ගොවියා ආවොත් එහෙම ඔලුව පලාගන්න වෙන්නෙ කියල හිතමිනුයි.

Sunday, July 20, 2014

144.දෙසතිය මතක.



 ඒ දෙසතිය සඟරාවේ ගාමිණී විජේතුංග යුගයයි.කාලය වසර විසිගණනකට පෙර මා දෙසතිය බෙදාහැරීම භාරව කටයුතු කළ වකවානුව විය.කොටුවේ ට්‍රාන්ස්වර්ක් මන්දිරයේ පළවෙනි මහළෙහි පිහිටා තිබු රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ එක් කොණෙක පිහිටි පාලන අංශයත් තවත් කොණෙක පිහිටි දෙසතිය අංශයත් අතර මා දෙසතිය භාරගන්නා විට තිබූ අන්‍යොන්‍ය සම්බන්ධතාව කිසිසේත්ම යහපත් එකක් නොවීය.

නීති රීති අණ පණත් චක්‍රලේඛ රෙගුලාසි වලින් හික්මී වැඩ කටයුතු කළ පාලන අංශයේ අයත් නිදහසේ ලිපි කටයුතු කරමින් සඟරාව සැකසු දෙසතියේ අයත් අතර තිබූ අනවබෝධය හේතුවෙන් වියයුතු පරිද්දෙන්ම ඇනුම්පද අපහාස උපහාස අංශ දෙක අතර නිදහසේ ගලාගියේය.මේ අයුරින් අංශ දෙක අතර අන්‍යොන්‍ය සම්බන්ධතාව ඉතාම පහළ මට්ටමක තිබූ කලෙක දෙඅංශයම  නිදහසේ ඇසුරු කරමින් දෙපිරිසම සමග මනා සම්බන්ධතාවක් ගොඩනගාගෙන සිටි එකම ජීවියා වූයේ මා පමණි.

බලාපොරොත්තු නොවුණු අවස්ථාවෙක දෙසතිය බෙදාහැරීම මුළුමනින්ම මාහට පැවරීම ලොකු වගකීමක් මෙන්ම සතුට ගෙනදෙන කරුනක්ද වුයේ දෙසතිය අංශය වැඩිපුර ඇසුරු කිරීමේ අවස්ථාව මාහට ලැබීම නිසාය.දෙසතිය මා ඉතා ප්‍රියකළ සඟරාවක් වූ අතර ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට පැමිණීමට පෙර සිටම මම දෙසතිය පාඨකයෙක් වීමි.නමුත් මා සඟරාවේ බෙදාහැරීම බාරගන්නා විට දෙසතියකට වරක් තබා පසුකලෙක පුවත්පත් මණ්ඩලය ඉදිරියේ පෙනී සිටීමට සිදුවූ අවස්ථාවෙක එවකට පුවත්පත් මණ්ඩලයේ සාමාජිකයෙක්ව සිටි කේ බී සුගතදාසයන් ඉතා නිවැරදිව සඳහන් කළ ලෙස හතර සතියකට වරක්වත් සඟරාවක් එළිදැක්වීම උගහට වී තිබිණි.

ජේ ආර් පාලන සමයේ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්ව සිටි ආචාර්ය සරත් අමුණුගම මහතා විසින් ආරම්භ කරන ලදුව ඔහු විසින්ම සඟරාවේ සේවයට බඳවාගත්තෙකු වූ ගාමිණී විජේතුංග එවකට දෙසතිය සංස්කාරක වරයා වූ අතර ඔහු දෙසතියේ තුන්වන සංස්කාරක බව මගේ මතකයයි.ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ වරයා නිල බලයෙන් දෙසතිය ප්‍රධාන සංස්කාරක විය.සහාය සංස්කාරක වුයේ නිහතමානී සිංහල පණ්ඩිතයෙකු වූ වින්සන්ට් පෙරියප්පෙරුම මහතාය.ප්‍රියංජන් සුරේෂ් ද සිල්වා පිටු සැකසුම් ශිල්පියා වූ අතර ප්‍රවෘත්ති අංශයෙන්ද පාලන අංශයෙන්ද දෙසතියට අනුයුක්ත කරනු ලැබූ තවත් හත් අට දෙනෙක් ඔවුනට විවිධ අයුරින් සහාය වීම පිණිස පත්කොට සිටියෝය.ඡායාරුප අවශ්‍ය වූ විටෙක දෙපාර්තමේන්තුවේ ඡායාරූප අංශයද එහි සේවය කළ ඡායාරුප ශිල්පීන්ද අවශ්‍ය ආකාරයට ප්‍රයෝජනයට ගත හැකි විය.

ගිරුවාපත්තුවේ දුෂ්කර ගම්මානයක සිට කොළඹට පැමිණ තර්ස්ටන් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා පුවත්පත් කලාවේදියෙක් වූ  ගාමිණී විජේතුංගයන් අති දක්ෂ ලේඛකයෙකු වූ නමුදු ලේඛනයේ අලසයෙක් වූ හේතුවෙන් ඔහුතුළ උතුරමින් තිබූ නිසග ප්‍රතිභාව අපතේ ගිය බව මගේ විශ්වාසයයි. ඔහු පාසල් යන සමයේ ලංකාවේ ප්‍රථම වරට පාසල් සිසුන් පිරිසක් විසින් තැනු සිංහල චිත්‍රපටය වූ නිම් වළල්ල ටද ප්‍රචාරක අංශයෙන් සම්බන්ධ විය.ලංකාවේ පළවූ වෙනත් සඟරාවන්ගෙන් වෙනස් අමුතුම ආකාරයක දෙසතියටම අනන්‍ය වූ බස් වහරක් නිර්මාණය කලේ ඔහුය.මෙවැනි දක්ෂතා නිසා ඔහු ගැන මාතුල වූ ප්‍රතිරූපය බෙහෙවින් විශාල වුවක් වීම හේතුවෙන් දෙසතිය අංශයේදී මා සමග ඉතා නිහතමානීව සිනාමුසු මුහුණින් කතා කරන ප්‍රියමනාප පුද්ගලයා ගාමිණී විජේතුංගයන් යැයි සිතීමට පවා මම මැලිවීමි.

මා ලේඛකයෙකු නොවුනද නිරන්තර කියවන්නෙකු වූ හෙයින් දෙසතිය අංශයේ අය සමග කතා කිරීමට මාතෘකා හිඟ නොවීය.මා මුලින්ම දෙසතියට ගියේද ඒ අංශයට ගෙනඑන පත්තර සහ ඔවුන්ට ලැබෙන පොත්පත් සඟරා කියවීමේ නොමැඩගත හැකි ආශාව නිසාමය.මට තිබූ කියවීමේ ආශාව දුටු ගාමිණී විජේතුංගයන් ඔහුගේ මේසය උඩ ඇති පොත්ද මගේ පරිහරණයට ලබාදුනි.මේ ආකාරයට වර්ධනය වූ අපගේ හිතවත්කම හේතුවෙන් දෙසතිය සඟරාවට ලිපි ලිවීමට මාහටද අවස්ථාව ලබාදීමට ගාමිණි විජේතුංගයන් නොමැළි විය.

කෙසේ වුවද නමින් කියවෙන ආකාරයට සඟරාව දෙසතියකට වරක් නිකුත් නොවූ අතර ලිපි සැකසීමේ ද ලිපි නොමැති හෙයින් පිටු සකස් කිරීමේද ප්‍රමාදවී මුද්‍රණයට භාරදෙන බැවින් රජයේ මුද්‍රණාලයේද බොහෝ සෙයින් ප්‍රමාදවී මාස දෙකකට එක් වරක් පමණ සඟරාවක් නිකුත් කිරීමට සිදුවිය.කරුණු මෙසේ සිදු වද්දී සඟරාව සිය නමට අනන්‍ය නොවන ඉබාගාතේ නිකුත්වන ප්‍රකාශනයක තත්වයට පත්වද්දී දෙසතිය අරඹා පහළොස් වසරක සංවත්සරය ලඟාවිය.ප්‍රේමදාස පාලන යුගය ආරම්භවී තිබු මෙම වකවානුවේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට නව ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයෙක් පැමිණි අතර විය යුතු පරිද්දෙන්ම ප්‍රේමදාස වාදියෙක්වූ ඔහු දෙසතියද ප්‍රේමදාසයන්ගේ ප්‍රචාරක උපකරණයක් කරගැනීමට උත්සුක විය.දෙසතිය බෙදාහැරීම මාහට භාරදීමද එම කටයුත්තේ එක් ප්‍රතිපලයකි.

දෙසතියට නව මුහුණුවරක් ලබාදුන් අතර හරියටම සති දෙකකට වරක් සඟරාවක් මුද්‍රණයෙන් පිටකිරීමට නියම විය.සඟරාව පිටවූ මොහොතේම බෙදාහැරීම ආරම්භකර රටපුරා ව්‍යාප්ත වන පරිදි බෙදාහැරීම් ජාලය ක්‍රමවත් කරන ලදී.අපි රෑ දහවල් නොබලා වැඩකලෙමු.අලස සුවය විඳිමින් ඉතා නිවී සැනසිල්ලේ වැඩ කළ ගාමිණී විජේතුංගයන් මේ අලුත් වෙනසට කෙසේ මුහුණ දුන්නාද යන්න සොයාබැලීමට හෝ අපහට අවස්ථාවක් නොවීය.කෙසේ වුවද මදිපාඩුව බාහිර ලේඛකයන්ගෙන් පිරිමසා ගෙන ලිපි කටයුතු සම්පූර්ණ කරගත් බව පසුව දැනගන්නට ලැබුණි.

රාජකාරිය ගැන බෙහෙවින් කලකිරී සිටි ගාමිණී විජේතුංගයන් හමුවට මා දිනක් ගියේ එවකට මවිසින් සංවිධානය කරමින් තිබුණු වෙසක් භක්ති ගීත සංදර්ශනයක් සඳහා අලුත්ම භක්ති ගීත කිහිපයක් ඔහු ලවා ලියවා  ගැනීමේ අධිෂ්ඨානයෙනි.බොහෝ කැමැත්තෙන් ඔහු එම කාර්යය බාරගත්තත් ගී පදමාලා අතට ලැබෙන තෙක් ඔහුගේ ලිවීම ගැන මාතුළ විශ්වාසයක් නොවීය.කෙසේ වුවද සති කීපයකට පසු භක්ති ගීත පදමාලා ඔහු මා අතට පත් කලේ මා විශ්මයට පත් කරවමිනි.ඊට ස්වල්ප දිනකට පසු ගාමිණී විජේතුංගයන් රැකියාවෙන් විශ්‍රාම ගත්තේ රාජකාරි කිරීමට බොහෝ කාලයක් ඉතිරිව තිබියදීමය.සේවයෙන් විශ්‍රාම ගෙන වැඩි කලක් ජීවත් නොවූ ඔහු වර්ෂ 2002 දී  ගුණ සුවඳ ඉතිරිකර ජීවිතය හැරගියේය.

නන්දා පතිරණ ගායිකාව ඇයගේ කුඩා බිලිඳා මියගිය සොවින් පසුවෙද්දී ගාමිණී විජේතුංගයන් ඇයට ලියා දුන් මල් වනේ ගීතය ඔහුගැන මා තුළ ඇති මතකය සුවඳවත් කරනු පිණිස මෙහි දක්වාලමි.

 


Sunday, July 13, 2014

143.ප්‍රබුද්ධ කතා.


අද ලියන්න හදන්නෙ ජන කතාවක්.අනුන්ගෙ කතා බ්ලොගේ දාල ප්‍රබුද්ධ වුනා වගේ මේ කතාව ලියපුවාම සුප්‍රබුද්ධ වෙන්න ඇහැක් වේවි කියල මට නිකමට වගේ හිතුණා.ඉතිං කවුරුත් එක්ක සාවධානව කතාව අහගෙන හිටියනං හොඳා.

ධීර වීර ගුණයෙන් හා තේජෝබල පරාක්‍රමයෙන් අනුනවූ, උඩරැටියන් විසින් "රාසිංදෙයියෝ"නමින් ආමන්ත්‍රණය කරනු ලැබූ දෙවන රාජසිංහ මිහිපති තුමා රුහුණු,මායා,පිහිටි යන ත්‍රිසිංහලයේම ඇවිද පුරුදු ඇත්තෙකි.නැගෙනහිරින් මඩකලපුව ත්‍රිකුණාමලය ආදී ප්‍රදේශවලද,දකුණින් ගාල්ල හා මාතර ආදී ප්‍රදේශවලද බටහිරින් කොළඹ පුත්තලම ආදී ප්‍රදේශවලද,උතුරෙන් දඹුල්ල අනුරාධපුරය ආදී ප්‍රදේශවලද මෙම රජතුමා සංචාරය කර ඇතිබව ජනකතාවලින් පමණක් නොව ලිඛිත ඉතිහාසයෙන්ද ඔප්පුවේ.

අද මෙන් ශීඝ්‍රගාමී වාහන වලින් ගමන් කිරීමක් එකල නොවීය.වරක් මඩකලපුව බලා යන ගමනකදී රජුගේ වාසස්ථානය සඳහා දුම්බර මහදිසාව විසින් මාඩුගොඩ අසල තලගුනේ නම් ගමෙහි දෙමහල් මාළිගාවක් සාදවන ලද බවත් එය දැනට දක්නට නැතත් එම ස්ථානයට දැනුදු දෙමහල් මාළිගාවත්ත නමින් ව්‍යවහාර කරන බවත් ඇසීමු.රජුගේ ජන්ම නගරය වන අලුත්නුවර ස්ථිර වශයෙන් මාළිගාවක් තිබුනේය.

රජතුමා දුර බැහැර ගමන්වලදී තමා ඉතා ඇලුම් කරන බිසවක් පරිවාර ස්ත්‍රීන් සමග කැටුව ගෙන ගිය බවද සමහර ගමන්වලදී කිසිම බිසවක් කැඳවා ගෙන නොගිය බවද ජනකතා අනුව සිතාගත හැකිය.එවැනි ගමන්වලදී අලුතෙන් සපයාගත් ගම්බද රූපසුන්දරියක බිසෝ තනතුරට කැඳවා ගෙන එන්නේය.අලුත් බිසෝවරුන් අන්තඃපුරයට වැඩිවෙත්ම පරණ සිටි අනියම් බිසෝවරුන් නිදහස්කොට තමාගේ හිතවත් නිළමේවරුන්ට පාවාදීම සිරිතක් වූයේය.අගබිසවට හෝ කිසිම නිලධාරියෙකුට මේ සිරිත් විරිත් ගැන විරුද්ධ වීමට ඉඩක් නැත්තේය.නමුත් "රන්දෝලිය"යයි නම්ලත් අගබිසව පමණක් ජීවිතාන්තය දක්වාම රජු සමග සිටින්නීය.ඇය අස්කිරීමට රජුට බලය ඇතත් චිරාගත සම්ප්‍රදායයක් කඩ කිරීමට වන හෙයින් කිසිම රජෙකු සිය අගබිසව අස්කළ බවක් දැනගන්නට නැත.

උපනගරවල වාසය කරන කල්හි දඩයමෙහි යාමත් තොරතුරු දැනගැනීමේ අදහසින් අප්‍රසිද්ධ වේශයෙන් ගම්බද හැසිරීමත් දෙවන රාජසිංහ රජුගේ සිරිතකි.මේ ගමන්වලදී රජුට නොයෙකුත් කරදරවලට මූණපාන්ට සිද්ධවේ.කරදර හිරිහැරවලින් පසුබට වන පුද්ගලයෙක් නොවේ රාජසිංහ රජු.සියලු හිරිහැර සුණු විසුණු කර ඉදිරියට කර ඉදිරියට යෑමේ බලයක් හා ධෛර්යයක් රාජසිංහයන් කෙරේ තිබුණි.දඩයමේ යනවිට දුන්න හා ඊතලද සිරියක්ද රැගෙන යතත් ගම්බද අප්‍රසිද්ධව හැසිරෙන විට නිරායුධාවම යන්නේය.

අලුත්නුවර වාසය කළ එක් කාලයක දිනක් උදයකාලයේ දඩයම් පිණිස රජු සොරබොර වැව ආසන්න මහ වනයට ගියේය.දහවල් වනතුරුම වනයෙහි ඇවිද්ද මුත් රජුට දඩයමක් කරගත නොහැකිවිය.ඒ බැවින් ආපසු ඒමට හැරුණු රජු කැලෑවෙහි මංමුළා විය.වනයෙහි ඒ මේ අත ඇවිද්ද මුත් නගරයට යායුතු පැත්තවත් පාරවත් රජුට සොයාගත නොහැකිවිය.මංමුලාව ඉබාගාතේ ඇවිදින රජ ඉරමුදුන් වේලෙහි එක් කුඩා වැවක වැව් ඉවුරට පැමිණියේය.වැවට බැස වතුර බී පිපාසය සංසිඳුවා ගත් රජු එහි ගසක් යට සෙවනේ හිඳ ගිමන් හරින්නට විය.

එසේ ගිමන් හරිමින් සිටි රජ බඩගින්නත් මහන්සියත් නිසා නොදැනීම නිද්‍රෝපගත වුයේය.ස්වල්ප වෙලාවක් නිදාසිට පිබිදුන රජු ඉදිරියෙහි ලබු කැටයක් අතින්ගත් එක් ශෝභමාන තරුණ කාන්තාවක සිටින බව දැක්කේය.මෙය සිහිනයක්දැයි සිතුන රජු ඇස පිසදමා නැවතත් බැලු විට හීනයක් නොවන බව දැනුනේය.රජු ඉදිරියෙහි සිටියේ 'දඹාන' නම් වැදිගමෙහි නායක වැද්දාගේ දියණිය වේ.වතුර ගෙනයාම පිණිස වැව්කොටුවට ආ ඈ,නිදාසිටිය අයෝමය වැනි අඟපසඟ යුත් හැඩිදැඩි පුරුෂ රූපය කෙරෙහි ආශක්තව ඇසිපිය නොහෙලා එදෙස බලමින් එහිම වශීකෘතව සිටියාය.

රජුද ඒ කාන්තාව දැක ඇගේ රූපය කෙරෙහි වශීවිය.නිරාවරණ ඌර්ධව කායයෙන්ද දණ දක්වා ඇඳි කිළුටු රෙදිකඩකින් ආවරණයවූ අධඃකායයෙන්ද යුත් මෙම කාන්තාවගේ ඇඳුමෙන් පැළඳුමෙන් විරහිත ස්වභාවයෙන්ම ලත් රූප සම්පත්තිය රජුගේ සිත බැඳ ගැනීමට සමත්විය.ඇගේ හස්ත පාදයන්හි මාංස පේශීහු වාත්තුකොට නිර්මාණය කළාක් මෙන් මටසිළුටු වූහ.ළමැද පුරාසිටි උස්වූ දැඩිවූ පයෝධරයෝ රජුගේ සිත් ඇද ගැනීමට සමත්වූහ.අලංකාර වස්ත්‍රාභරණයෙන් සැරසුවහොත් ඈ දිව්‍යාංගනාවක මෙන් බබලනු ඇතැයි රජු සිතීය.

රජු නින්දෙන් නැගිට ගසමුල හරිබරිගැහී වාඩිගත්තේය.නමුත් වැදි ලිය භයවීමක්වත් ලජ්ජාවීමක්වත් නොපෙන්වා මසෙකු මතුවෙනතුරු ජලාශයක් අසල ගසෙක නිශ්චලව බලාසිටිනා පිළිහුඩු කිරිල්ලියක සේ රජුගේ රූපකාය දෙසම බලාසිටියාය.රජුද එසේම ඇය දෙස බලාසිටියේය.මේ අවස්ථාවෙහි දෙදෙනාගේ අදහස් දෙදෙනාටම අවබෝධ විය.ඈ මඳ සිනාවකින් රජුට සංග්‍රහ කළාය.ඒ සිනාව අනංග ශර ප්‍රහාරයක් විය.රජු බාලකාලයෙදී බොහෝ සෙයින් අලුත් නුවර වාසය කළ නිසා වැදි භාෂාව දැන සිටියේය.එබැවින් රජු ඇයට ආදරයෙන් කථාකොට ඇය ගැන තොරතුරු විමසුවේය.ඈ ඒ අසළ දඹානේ ගම වැදිදෙටුවාගේ දියණිය බවත් වතුර ගෙනයාම සඳහා පැමිණි බවත් කීවාය.රජු ඇගේ සිත් ගන්නා පිණිස තමා වෙල්ලස්සේ නිල්ගල වැදිගමෙහි ප්‍රධානියා බවත්,මහනුවර බලා ගමන් කරන අතර පාර වැරදී වනයෙහි අතරමංවූ බවත් කීවේය.තමා අවිවාහක බවත් තමා ඇයට ඉතා ආදරය කරන බැවින් තමා හා විවාහ වීමට සතුටුද යන බවත් රජු ඇසුවේය.ඕ ඊට රජුගේ සිත ඇවිස්සී යන පරිදි මඳ සිනාවකින් පිළිතුරු දුන්නාය.

පසුව දෙදෙනාම ගස්සෙවනැල්ලේ වාඩිවී ප්‍රේම සාකච්ඡාවෙහි යෙදී සිටියෝය.ස්වල්ප වේලාවකින් පසු වැදි තරුණිය රජුගේ අත අල්ලාගෙන සිය පැල බලා පිටත්වූවාය.පැල අසල වනයෙහි රජු නවතා පැන ගිය තරුණිය සිදුවූ ප්‍රවෘත්තිය සිය දෙමාපියන් සමග කියා තමාගේ පුරුෂයා වශයෙන් ඔහු පාවා ගැනීමට අවසර ඉල්ලා සිටියාය.

වැදිදෙටුවා එම පුරුෂයා සිය පැලට කැඳවන ලෙස සිය දියණියට නියම කළේය.ඕ වහාගොස් රජු කැඳවාගෙන පැලට පැමිණියාය.රජු දුටු වැදිදෙටුවා සිය දියණිය විසින් තෝරාගත් පුරුෂයාගේ හැඩිදැඩි කාය විලාශය ගැන බෙහෙවින් ප්‍රසන්න විය.ඔහු දියණියගේ ඉල්ලීමට කැමැත්ත ප්‍රකාශ කළේය.රජු වැදි දෙටුවාට තමාද වැදි නායකයෙකු බවත්,ඇය තම භාර්යාව වශයෙන් ඉතා හොඳින් ආරක්ෂා කරන බවත් පවසා,හෙට දින ඇය කැඳවාගෙන යාම පිණිස සිරිත් ප්‍රකාර පැමිණෙන බවද දැන්වූයේය.වැදි දෙටුවා ඊට සතුටුවිය.ඉන්පසු වැදිදෙටුවා විසින් පෙන්වන ලද මග අනුව අලුත්නුවර මාළිගාව වෙත රජ පැමිණියේය.

පසුදින රජු වැදි තරුණිය කැඳවාගෙන ඒමට සූදානම් විය.ආලත්ති අම්මාවරුන් කීප දෙනෙකුන්ද දාසියන් කීපදෙනෙකුන්ද දෝලා දෙකක් හා බිසෝ වස්ත්‍රාභරණ සුවඳ ජල පිරූ කළ සොළොසක්ද ඇතිව පෙරහැරක් සූදානම් කරන ලෙස රාජ පුරුෂයන්ට නියෝග කළේය.වැදි  දෙටුවාට දීම පිණිස ඉතා අගය ඇති දුන්නක්ද ඊතල පිරවූ හියවුරක්ද වැදි  දෙමහල්ලන්ට වස්ත්‍රද ගෙන යාමට රජු අමතක නොකළේය."ආලත්ති අම්මාවරු"නම් බිසෝවරුන්ගේ ආරක්ෂක ස්ත්‍රීහුය.දැනුදු මහනුවර අසළ පෙරහැරේදී ගෙනයන රන්දෝළි සමග ආලත්ති අම්මාවරුන් නමින් ආරක්ෂක ස්ත්‍රීන් ගමන් කරනු දක්නා ලැබේ.

නියෝගය අනුව සුදානම්වූ පෙරහැර සමග ගිය රජ රාජපුරුෂයන් හා පෙරහැර දඹාන ගමට සැතපුමක් පමණ දුරින් නතර කරවුයේය.බිසෝ වස්ත්‍රාභරණද සුවඳ පිරූ ජල භාජනද රැගත් දාසියන් හා ආලත්ති අම්මාවරුන්ද සමග රජ දඹාන බලා පිටත් විය.දඹාන අසළ ස්ථානයක එම පිරිසද නතරකළ රජ පෙරදින ඇඳසිටි දඩයක්කාර ඇඳුමෙන් සැරසී දුන්න හා හියවුරද වස්ත්‍රද ගෙන දඹාන ගමට ගියේය.

තම පෙම්වතා එනතුරු නොඉවසිල්ලෙන් සිටි වැදි  තරුණිය රජු දුටු විගස ඉතා ආදරයෙන් පිළිගත්තාය.රජු තමා ගෙනගිය අගනා දුන්න හා හියවුරද වස්ත්‍රද වැදි දෙටුවාට පිළිගන්වා තරුණිය කැඳවාගෙන යෑමට අවසර ඉල්ලා සිටියේය.එවිට වැදි  දෙටුවා සිය දියණිය බලන්ට යෑම සඳහා මඟ තොරතුරු ඇසීය.තමාගේ හිතවතෙකු අලුත්නුවර රජමාළිගාවේ මුරසේවයෙහි යෙදී සිටින බැවින් එනවෙලාවකදී එහි පැමිණ ඔහු සමග තමාගේ ගමට පැමිණෙන ලෙස රජදැනුම් දුන්නේය.එසේ මග දන්නා කෙනෙකු නැතුව තමාගේ ගමට පැමිණීම අපහසු බවද රජ කීවේය.

මෙසේ ස්වල්ප සාකච්ඡාවකින් පසු රජු සමග යෑමට වැදි  දෙටුවා සිය දියණියට අවසර දුන්නේය.බෑණනුවන්ට හා දියණියට තෑගී පිණිස වැදී භාණ්ඩ කීපයක් පිරිනැමූ නමුත් රජ ඒවා පිළිනොගෙන තමාට ඒ සියල්ල අඩුවක් නැතිව ඇතිබව පවසා,දියණිය බැලීමට ආ දිනෙක ඕනෑ තරම් තෑගී බෝග ඔවුන්ට දීමට තමාට පුළුවන් බවද දන්වා සිටියේය.ඉන්පසු රජ වැදි තරුණිය කැඳවාගෙන පිටත්ව ආලත්ති අම්මාවරුන්ද දාසියන්ද නැවතී සිටි තැනට පැමිණියේය.

ඔවුන් දුටු වැදි  තරුණිය බියට පත්වූවාය.එවිට රජ ඇය සනසා තමා කවුද යන බව අඳුන්වාදී තමාගේ බිසෝ කරගැනීමට ඇය අලුත්නුවර මාළිගාවට කැඳවා ගෙන යන බව දැනුම් දුන්නේය.තම ආදරවන්තයා ලංකාවෙ රජු බව දැනගත් ඈ පුදුම වූවාය.ඇය තමාගේ ආදරය පුද කළේ රජෙකුට නොව වැදි  දෙටුවෙකුට නිසාද,රජ බිසවක වීමේ අදහසක් ඇයට නොතිබුණ නිසාද,මෙහිදී වැදි  තරුණිය කම්පනයට පත්වුවාය.ඈ ආපසු සිය පැලට පැන යාමට තරම් අදහස් කළාය.නමුත් සිය ඇල්ම රජුවෙත පුදකර සිටි බැවින් රජු දමා යාමද ඇයට කළ නොහැකිය.ඕ තම ආදරවන්තයා රජෙකු නොව වැද්දෙකුම වී නම් කොපමණ හොඳදැයි කල්පනා කළාය.ඇගේ මේ කම්පනය අවබෝධවූ රජු නොයෙක් පරිද්දෙන් කරුණු කියා ඇය සැනසුවේය.

ඉක්බිති දාසියන් විසින් සුවඳ ජලයෙන් ඈ නහවන ලද්දීය.ආලත්ති අම්මාවරුන් විසින් වස්ත්‍රාභරණ වලින් ඇඳ පළඳවනු ලද්දීය.අවුල්ව තිබු හිසකේ තෙල්ගා පීරා බැන්දෝය.මෙසේ සරසවනු ලැබූ පසු ඈ දිව්‍යාංගනාවක මෙන් බබලන්නට වුවාය.ඇගේ අගය කාහටත් පෙනී ගියේ වස්ත්‍රාභරණයන්ගෙන් සරසවනු ලැබුවායින් පසුවය.රජු සොයාගත් අලුත් වැදිබිසව රජුගේ අනෙක් බිසෝවරුන්ට වඩා රූපශෝභාවෙන් හා බිසෝ ලක්ෂණයන්ගෙන් අනූන බව ආලත්ති අම්මාවරුන්ට අවබෝධ වූයේය.

ඉක්බිති රජාභාරනයන්ගෙන් සැරසුණ රජතුමා එම පිරිසත් සමග පෙරහැර නතරවී සිටි ස්ථානයට පැමිණ රජතුමා එක් දෝලාවකද වැදිබිසව එක් දෝලාවකද නංවාගෙන රාජපුරුෂයන් සහිත රජ පෙරහැර පසඟතුරු නදින් යුක්තව අලුත්නුවර රජවාසල කරා සැපත්විය.

දඹාන වැදි  දෙමහල්ලෝ දින කීපයකට පසු තම දියණිය බැලීමට යාම සඳහා සුදානම් වූහ.දියණියට හා බෑනාට ගෙනයාම සඳහා තෑගි ද සූදානම් කළෝය.දඩමස්,මීපැණි,බඩඉරිඟු,කුරහන් ආදී දෙය ගෙනයෑම සඳහා එක්රැස් කරගත්හ.වැදි  ජනයාට වස්ත්‍ර සුලභ නොවේ.ඔවුන්ට උවමනා වස්ත්‍ර ප්‍රමාණයද ඉතා ස්වල්පයකි.පිරිමියෙකුට අමුඩයක් ගසාගැනීමට තරම් ප්‍රමාණවත් වස්ත්‍ර කැබැල්ලක්ද,ස්ත්‍රියකට දණ දක්වා ඇඳීමට හැකි වස්ත්‍ර කැබැල්ලක්ද සෑහේ.නමුත් ඒ ප්‍රමාණ වස්ත්‍ර කැබැල්ලක් පවා ලබාගැනීම ඔවුන්ට ඉතා අපහසුය.දඩමස් මීපැණි ආදී ද්‍රව්‍ය දී ගම්බද ජනයාගෙන් රෙදි කැබැල්ලක් ලබාගත යුතුය.එබැවින් වැදි  ජනයාට වස්ත්‍ර ඉතා අගනා වස්තුවකි.

දඹාන වැදිදෙටුවා තමා ළඟ ප්‍රවේසම් කරගෙන තිබු වස්ත්‍ර කැබැල්ලක්ද දියණියට සහ බෑණාට තෑගී දීම සඳහා ගෙනයාමට ගත්තේය.මේ සියල්ල කද බැඳගත් ඔවුන් දෙදෙන දිනක් උදයෙන්ම ගමනාරම්භ කළෝය.තම බෑනා ගැන ඔවුන් දන්නේ "නිල්ගල වැදිදෙටුවා"ය යන්න පමණකි. දුව කැඳවාගෙන යනදින තම අලුත් බෑණා අලුත්නුවර රජවාසලට ගොස් දොරටුපාලකයාට කථාකොට ඔහු සමග ඒමට කිව් බවද මතකය.එදා රජතුමා වැදිබිසව කැඳවාගෙන ආ විට දොරටුපාලකයා ගෙන්වා "යම්කිසි වැද්දෙකු ඇවිත් නිල්ගල වැදි දෙටුවාගේ ගමට යෑමට පාර ඇසුවොත් ඔහු තමා වෙත කැඳවාගෙන එව"යි නියම කර තිබුණේය.වැදි දෙමහල්ලෝ බෑණාගේ කියමන අනුව අලුත්නුවර රජ මාළිගාව කරා පැමිණ දොරටුපාලයා සම්මුඛව නිල්ගලට යාම සඳහා තොරතුරු විචාළෝය.

"නිල්ගලට යෑමට පෙර මහ රජතුමාගෙන් අවසර ගතයුතුය.එමනිසා ඔය බඩු මෙතන තබා මහ රජතුමාගෙන් අවසර ගැනුම සඳහා මා සමග එව"යි ඔවුන් දෙදෙන කැඳවාගෙන ගොස් රාජසභා ශාලාවේ පසෙක ඉඳගන්ට සැලැස්සු දොරටුපාලයා මාළිගාව ඇතුළට ගොස් රජතුමාට ඒ බව සැළකළේය.

ඒ වේලාව පෙරවරු නව පැයට පමණ ඇත.රාජසභාව රැස්වෙන්නේ පෙරවරු දස පැයටය.මේ අතර වරින්වර ප්‍රදේශාධිපති රදළවරු එකිනෙකා පැමිණ නියමිත අසුන්හි වාඩිගත්තෝය.දසපැය වීමට පෙර සියලු රාජසභාව සම්පූර්ණ විය.වැදි දෙමහල්ලෝ භයින්ද විස්මයෙන්ද යුක්තව හුන් අසුන්වලම සිටියෝය.ඔවුන්ට මෙය කවදාවත් දැක පුරුදු නැති දෙයකි.වරෙක මින් පිටවී යාමටද ඔවුන්ට සිත්විය.නමුත් එසේ කිරීමටද ඔව්හු භයවූහ.

රජතුමා එදින වැදිබිසව රාජකීය වස්ත්‍රාභරණයෙන් සරසවා රාජසභාවට කැඳවාගෙන යාමට සුදානම් කළේය.මේ දවස් කීපය තුළ ඇගේ වැදි කුලෑටි ගතිය මගඇරී ගොස් තිබුණේය.වැදිබිසව කැඳවාගෙන ආ රජු ඇය තිරයකට ආවරණව ඉඳින සේ සලස්වා සිංහාසනාරූඪ විය.නියමිත වෙලාවට සිංහාසනය ඉදිරියේ වූ තිරය ඉවත් විය.සභාවේ සිටි සියල්ලෝම නැගිට මුහුණින් හෙව රජුට ආචාර කළෝය.වැදි දෙමහල්ලෝ භයින් ත්‍රස්තව සිටිතැනම ගල්ගැහී සිටියෝය.

සිංහාසනාරූඪව සිටි රජ "දඹානෙන් පැමිණ සිටින වැද්දා සහ වැද්දී මෙහි කැඳවව"යි නියෝග කළේය.සභාරක්ෂකනිලධාරියා මුල්ලකට වී සිටි වැදී දෙමහල්ලන් රජ ඉදිරියට පැමිණවීය.රජු ඉදිරියට පැමිණි වැදි දෙටුවා වරින්වර රජුගේ මුහුණ දෙස බලන්ට විය.එදා තමාගේ දූ රැගෙන ගිය තම බෑනාගේත් රජුගේත් "මුහුණුවර එකවාගේ නොවේදැ"යි ඔහු සිතීය.මෙවේලෙහි රජතුමා "තොපි කුමක් සඳහා මේ රජවාසලට පැමිණියාහුදැ"යි කිසිවක් නොදන්නා ලෙස වැදි බසින් ප්‍රශ්න කළේය.

ඒ ඇසු වැදිදෙටුවා සියලු තොරතුරු දන්වා තම දුව ගෙනගිය වැදිදෙටුවාගේ කියමන පරිදි මෙසේ රජ වාසලට එන්ට සිදුවූ බව බයේ ගැහි ගැහි සැලකර සිටියේය.එවිට රජු "එම්බා වැදිදෙටුව!තා බය නොවව,මෙහිදී තොපට යහපතක් මිස අයහපතක් නොවන්නේය"යි කියා ඔහුගේ සිත සනසා ලූවේය.ඉක්බිති රජ තිරයෙන් පිටිපස සිටි වැදිබිසව කැඳවා තමා ළඟ ඉඳුවා ගත්තේය.එවේලෙහි වැදි  දෙමහල්ලන් පුදුමයට පත්ව "අහෝ!මේ කිමෙක්ද?මේ සිටින බිසව අපගේ දුව වාගෙම නොවේදැ"යි එකිනෙකා කොඳුරා ගත්තෝය.

ඉන්පසු රජු "එම්බා වැදිදෙටුව! මේ මාළඟ දැන් සිටින මේ බිසව තොපට ඇඳිනිය හැකිදැ"යි විචාළේය.එවිට වැදි දෙටුවා "අහෝ දේවයන් වහන්ස!මේ බිසවත් අපගේ දුවත් රුපාකාරයෙන් එක සමානය"යි භය සහිතව ප්‍රකාශ කළේය.වැදිබිසවට කථා කිරීම තහනම්ව තිබුණි.තම දෙමාපියන් දුටු ඈට ඇතිවූ චිත්ත ප්‍රීතිය නිම්හිම් නැතිවිය.නමුත් රජමාළිගාවටත් නවීන ශිෂ්ටාචාරයටත් හැඩගැසී රාජසම්පත්තියෙන් අනූනව සිට ඈ නැවත දුක් විඳීමට වනයට යාමට සතුටු නොවුවාය.ඈට උවමනාව තිබුණේ තම දෙමව්පියන්ටද තමා ලත් සැපත ලබාදීමටය.

එබස් ඇසු රජ "එම්බා වැදි දෙටුව!එසේනම් දැනගනුව,මින් දවස් කීපයකට පෙර තොපගේ දුව රැගෙන ආ ඒ නිල්ගල වැදි දෙටුවා නම් මම වෙමි.මේ මා සමග වාඩිවී සිටින්නී තොපගේ ආදරණීය දුව වන්නීය.තොපගේ දුව දැන් නිල්ගල වැදි දෙටුවෙකුගේ බිරිඳ නොව ත්‍රිසිංහලාධීශ්වර රහසිං දෙයියන්ගේ බිසව වී සිටින බව දැනගනුව"යි වදාළේය.

මෙසේ පැවසු රජ බිසවට කතාකර "නැගිට ගොස් දෙමව්පියන් වැඳ අවසර ගෙන එව"යි නියෝග කළේය.බිසව නැගිට ගොස් තම දෙමව්පියන්ට වැඳ ආපසු පැමිණියාය.වැදිබිරියට සිය දියණිය බදාගෙන සිපගන්ට සිතුණ නමුත් රාජාභරණයන්ගෙන් සුසජ්ජිත දියණියට අතගැසීමට පවා ඕ බිය වුවාය.

දෙමව්පියන්ට වැඳ ආපසු රජු ඉදිරියට පැමිණි බිසව රජුට නමස්කාර කර "දේවයන් වහන්ස!මම දැන් රජ බිසවක්ව සියලු සැපතින් අනූනව සුවසේ පසුවෙමි.නමුත් මා හදාවැඩු මව්පිය දෙදෙන වැදි ජීවිත ගතකරමින් දුක් විඳිති.එය මගෙ හිතට මහත් කණගාටුවෙකි.එක්කෝ මා ඔවුන් සමග දුක් විඳිය යුතුය.නැත්නම් ඔවුන් මා සමග සැප විඳිය යුතුය.ඔබවහන්සේට මා උවමනා නම් මා විඳින සැපක් මගෙ මව්පියන්ටද විඳීමට සැලැස්සුව මැනව"යි ආයාචනා කළාය.

රජු ඒ ඉල්ලීම පිළිගෙන බිසවගේ අදහස වැදිදෙටුවාට කියා ඔහුට යම්කිසි තනතුරක් දෙනතුරු දෙදෙනාම රජ මාළිගාවේ නතර වන ලෙස දැනුම් දුන්නේය.එබසට වැදිදෙටුවා "දේවයන් වහන්ස!අප දියණිය පෙර පින් කළ නිසා රාජමහේෂිකාවක් වූවාය.අපි එසේ පෙර පින් කළ නොවෙමු.එනිසාම වනයේ දුක්බර ජීවිතය අපට සැපය.අලුත් ජීවිතයකට බැසීම දැන් කළ නොහේ.අපේ ජීවිතය තව වැඩිකල් රඳා පවතින්නේද නැත.එබැවින් බිම්තැන්නේ මේ වනයේම අපගේ ඉදිරි ස්වල්ප කාලය ගතකිරීමට අවසර දුන මැනව"යි කීවේය.

"දියණියෙනි!ඔබගේ පින් මහිමයෙන් ලැබූ සැපත විඳිමින් මහ රජතුමාට පක්ෂපාතව උන්වහන්සේගේ අදහස් පරිදි වාසය කරනු මැනවි.මෙම අලුත්නුවර රාජධානියට මහරජතුමා සැපත්වන අවස්ථාවල දී ඒ සමග ඔබද පැමිණ අපට දැකගැනීමට අවස්ථාව සලසන ලෙස මහරජතුමාගෙන් අවසර ඉල්ලාගත යුතුය.අපි අපගේ පැලටම යන්නෙමු"යි වැදිදෙටුවා පැවසීය.රජු වැදිදෙටුවාගේ බස් අසා ඊට සතුටු විය.අලුත්නුවරට එන සෑම අවස්ථාවකදීම වැදි බිසව කැඳවාගෙන ඒමට පොරොන්දු වූ රජු එසේ ආවිට දියණිය දැකගැනීමට ඔවුන්ට අවස්ථාව සලසන බව දැනුම් දුන්නේය.

ඉක්බිති රජ බිම්තැන්න,වෙල්ලස්ස,පානම ඇතුළු මුළු ඌව ප්‍රදේශයේ වැද්දන්ගේ නායක පදවිය එම වැදි දෙටුවාට පැවරුවේය.එසේම තෑගි වශයෙන් රන්කම් කළ දුන්නක්ද,ඊතල රැසක්ද,ඔවුන්ගේ මුළු ජීවිත කාලයම ඇන්දත් නිමා නොවන රාජකීය වස්ත්‍ර රාශියක්ද පිරිනමා,අනතුරුව "රජුන් අතින් රන්දුනු ලත් ධනුශේකර මහ වැදි මුදියන්සේ"යන නම පටබැඳ ඔවුන්ට යන්ට අවසර දුන්නේය.වැදි දෙමහල්ලන් රජුට වැඳ යන්ට සැරසෙත්ම වැදිබිසව කඳුළු පිරි දෙනෙතින් යුක්තව ඇවිත් දෙමව්පියන් වැඳ මවගේ උරයෙහි එල්ලී ඇය වැළඳගෙන අඬන්ට වූවාය.

වැදිදෙටුවා දියණියට නතරවන සේ නියමකොට බිරිඳත් කැටුව දඹානේ සිය පැලට පැමිණියේය.ඔවුන්ට සියලු සැප පහසුවක්ම සලසනසේ රජු බිම්තැන්නේ මහදිසාවට නියම කෙළෙන් ඔවුන්ගේ ඉදිරි කාලය සැපවත් ලෙස ගෙවිණි.

(වැදි තරුණියක් රජුට බිසෝ වෙයි.මග දිගට ජනකතා1998, ඩී පී වික්‍රමසිංහ )

කතාව එපමණයි මේ කුඩා ඌන පූර්ණය මගෙන්.රාජසිංහ රජුට දාව වැදි බිසව පුත් කුමරෙක් බිහිකලා.බිසව ඒ පුත් කුමරා ඇය දන්නා වැදි  කවි කියමින් නලවා තිබෙනවා.ඇය පුත් කුමරා නලවමින් ගැයූ රසවත් වැදිකවි පෙළ කටින්කට පැවතෙමින් අවුත් පසුකාලීනව සඟරාවක පළවුණා.මෙම කව්පෙළේ රසවත් භාවය දුටු පණ්ඩිත් අමරදේවයන් මේ කව්පෙලට තනුවක් යොදා ගායනා කළා.එම ගීය මෙතනින් අසන්නට පුළුවනි


Tuesday, July 8, 2014

142.ෆිෆා සහ රහුමාන් මාස්ටර්.



අනුන්ගෙ මගුල් ලියනව ඇරෙන්න තොට වෙන දෙයක් ලියන්න බෑ කියල ඇනෝ පිංවතෙක් මේ ලඟදි දවසක මට පිං අනුමෝදන් කර තිබුණා.ලියපු එකේ අර්ථය ඒක වුනාට වචන නං වෙනස් වචන ටික මට දැන් මතක නෑ සහ ඒ කමෙන්ටුව දැන් සොයාගන්නට නැති නිසා ආපහු බලන්න විදිහකුත් නෑ.

ඉතිං පහුගිය සතිය පුරාම මම කල්පනා කලේ අරූට මෙහෙම වුනා මූට මෙහෙම උනා කියල නොලියා මටම පුද්ගලිකව වෙච්ච දේවල් ලියන්න නං කොච්චර කතා තියෙන්න උවමනාද කියල සහ එහෙම අනුන්ගෙ දේවල් ලියන්න බැහැ කියා නීතියක් හෝ රීතියක් මේ බ්ලොග් අවකාශේ තියෙනවද කියලයි.එහෙම හිතාගෙන මම කියවන බ්ලොග්වල පරණ කතා පවා බලපුවම ඒ බ්ලොග්වලත් අනුන්ගෙ කතා අපුරුවට ලියල තියෙනවා.ඒ නිසාවෙන් මම හිතාගත්තෙ මේ කතාව මට විතරක් කියාපු දෙයක් වෙන්න ඇති කියලයි.

ඇත්තම කිව්වොත් මට නං එච්චර ලියන්න පුද්ගලික අත්දැකීම් නැහැ මොකෝ ලියනව කියල පවුල කුස්සියට වෙලා මාළු උයන හැටි ලියන්ටයැ.ඔන්න ඔය කාරනාව ගැන හිත වෙහෙසවමින් මම පහුගිය සතියම ගතකල නිසා මොකුත්ම ලියාගන්නට බැරිවුනා.

ඊයෙ රාත්තිරියෙ නිදිමරාගෙන ෆිෆා සෙමි ෆයිනල්ස් බලද්දී මට කතාවක් මතක් වුනා.හැබැයි ඉතිං මේකත් අනුන්ගෙ කතාවක්. බැන්නත් මොනා කරන්නද, තරහ අවසර කියල ඒ කතාවත් ලියන්නං.

කින්නියාවෙ දර්ශනීය සෙල්ලං පිට්ටනිය හෙවත් ග්‍රවුන්ඩ් එක ෆෙරියට මීටර් හාර පන්සීයක් දුරින් පිහිටා තිබුණා.කින්නියාවෙ කොල්ලො කෙල්ලො ඔක්කොම සෙල්ලං කලේ තරඟ පැවැත්වුවේ මේ ග්‍රවුන්ඩ් එකෙයි.රහුමාන් මාස්ටර්ගේ ගේ පිහිටලා හිබුනෙත් ඒ කිට්ටුවමයි.

ඔන්න එදා තිබුන පුට්බෝල් මැච් එක කින්නියාවෙම පාපන්දු කණ්ඩායම් දෙකක් අතර නිසා තරඟය බලන්නට ගොඩක් දෙනා ඇවිත් හිටියා.සෙනග වැඩිවෙන්න තවත් කාරණයක් වුණේ කණ්ඩායම් දෙක අතර තිබුණු බද්ධ වෛරයයි.හරියට ඉන්දියාව සහ පාකිස්තානය ගහන මැච් එකක් වගේ මේ කණ්ඩායම් දෙකත් හමුවුන තැන්වල ගහමරා ගැනිලි ගෝරි බෝරිවලින් කිසිම අඩුවක් වුණේ නෑ.

ඉතිං මෙන්න මේ වගේ බොහොම භයානක ට්‍රැක් රැකෝඩ් එකක් තියෙන මේ කණ්ඩායම් දෙක අතර  පාපන්දු තරඟය කින්නියාවෙ පිට්ටනියේ උත්සවාකාරයෙන් ආරම්භ වුනා.පාපන්දු තරඟයේ විනිශ්චයකරු හෙවත් රෙෆ්රි හැටියට අපේ හිතවත් රහුමාන් මාස්ටර් කටයුතු කළා.රනිංෂෝටකුත් ටී ෂර්ට් එකකුත් ඇඳගෙන විස්ල් එකකුත් කටේ ගහගත්තු රහුමාන් මාස්ටර් තමන් දන්නා උපරිමයෙන්ම කැපවෙමින් විනිශ්චය කටයුත්ත කලේ පොඩ්ඩ බැරිවුනොත් ඇතිවෙන අවාසනාවන්ත තත්වය ගැන හොඳින්ම දන්නා නිසායි.

නමුත් කල් යල් බලා අවාසනාව පලදුන්නා. තරඟයේ දෙවෙනි භාගයේ එක කණ්ඩායමක ක්‍රීඩකයෙකුගේ නීති විරෝධී ක්‍රියාවක් හෙවත් ෆවුල් ප්ලේ එකක් හේතුවෙන් රහුමාන් මාස්ටර් අනික් කණ්ඩායමට ලබාදුන් දඬුවම් පහරින් ඔවුන් ගෝලයක් වාර්තා කිරීමත් එක්කම ක්‍රීඩකයන් තුල මතුවී ආ නොසන්සුන්තාවට ආධාරකරුවන්ගේ දැඩි විරෝධයද එල්ල වීම නිසා  ක්‍රීඩා පිටියට කඩා වැදුණු නරඹන්නන් සුළු මොහොතකින් තරඟය එකම යුද්ධයක් බවට  පරිවර්තනය කළා.

මේ කලබල අස්සෙන් රිංගල පිට්ටනියෙන් එලියට පැනගන්නට රහුමාන් මාස්ටර්ට හැකිවුනා.ඔහුගේ එකම අභිමතාර්ථය වුණේ ගෙදරට දුවගැනීමයි.නමුත් රහුමාන් මාස්ටර් පැනල දුවනවා දැකපු එක ආධාරකරුවෙක්...

අන්න අන්න රෙෆ්රියා පැනල දුවනවා අල්ලගනියව් ඕකා තමයි ඔක්කොම කලේ...

කියනවත් එක්කම කීපදෙනෙක් රහුමාන් මාස්ටර්ගේ පස්සෙන් එළවන්න ගත්තා,රහුමාන් මාස්ටර්ට ලංවුණු එකෙක් ඔහුගෙ ටී ෂර්ට් එකෙන් අල්ල ගත්තා මාස්ටර් දුවපු වේගෙට ටී ෂර්ට් එකේ පිට ගැලවිලා අල්ලගත්ත එකාගේ අතට ආවත් මාස්ටර්ව අල්ලගන්න ලැබුනෙ නෑ. 

ඇඳුම ඉරාගෙන කෑලි එල්ලී එල්ලී හැති දමාගෙන දුවන් ඇවිත් මාරාවේෂයෙන් ගෙට කඩාවැදුණු රහුමාන් මාස්ටර් දැකපු ගෙදර අය හොඳටම බයවුනා.

ඇයි ඇයි මේ මක් වුණාද...

බිරිඳ අහපුවම රහුමාන් මාස්ටර්... 

ෂ්ෂ්...සද්ද කරන්න එපා ඉක්මනට දොර වහන්න...

දොරත් වහගෙන රහුමාන් මාස්ටර් ගේ ඇතුළට වෙලා ඉද්දි එළවගෙන ආපු උන් එළියෙ රැකගෙන ඉන්නවා...

හරි තෝ කොයි වේලේ හරි එළියට බහීවිනෙ එතකොට අල්ලගන්නංකො...

එළියෙ ඉන්න උන් කියද්දී රහුමාන් මාස්ටර්ට පණ බයයි.මේ උගුලෙන් බේරෙන හැටි කල්පනා කරමින් හිටපු රහුමාන් මාස්ටර්ට හොඳ දීප්තිමත් අදහසක් හිතට ආවා.

ජනේලෙ ලඟට ගියපු රහුමාන් මාස්ටර් විස්ල් එක පිම්බම බලපු එකෙකුට මාස්ටර් අතින් කතාකළා.ඒ මනුස්සය ජනේලෙ ලඟට ආපු ගමන් රහුමාන් මාස්ටර් සාක්කුවෙන් රෙඩ් කාඩ් එක ඇදල අරං ඌට පෙන්නුවා.

Tuesday, July 1, 2014

141.කින්නියා කලපුවෙ ෆෙරිය සහ රහුමාන් මාස්ටර්ගේ කතා



අද රහුමාන් මාස්ටර්ගේ කතාවල ඉතිරි හරිය.ඊට ඉස්සෙල්ල කියන්න දෙයක් තියෙනව මම කලින් ලියපු රහුමාන් මාස්ටර්ගේ කතා පෝස්ට් එකට දාපු පින්තුරෙ සහ මේ පින්තුරෙත් පෙන්නන්නෙ කින්නියාවෙ වැසියන්ගේ ගමනාගමනය සඳහා තිබුණු ෆෙරිය හෙවත් පාලම්පාරුව කින්නියාවට ළඟාවන ආකාරයයි.මේ 2002 වර්ෂයේ කින්නියාවට ගිය වෙලාවෙ මම ගනිපු පින්තුරයක්.දැනට අවුරුදු කීපයකට  උඩදී කලපුව උඩින් පාලමක් දමපු නිසා දැන් ෆෙරි සේවය ක්‍රියාත්මක වෙන්නෙ නැහැ සහ එය දැන් අතීතයට එකතුවුණු දෙයක්.

කලපුව ගැන කියපු වෙලේ අපේ මාම කිව්ව කතාවක් මතක් වුනා.මාම කිව්වෙ අපේ අම්මගෙ ලොකු මල්ලි දැනට අවුරුදු දෙක තුනකට ඉස්සෙල්ල අපේ ගෙදර තිබ්බ පිරිතකට සහභාගිවෙන්න ඇවිත් හිටපු වෙලේ මහ රාත්තිරියෙ ඉස්තෝප්පුවෙ පුටු දෙකකට වෙලා අපි දෙන්න කතා කරමින් උන්නා.මාම පොලිසියෙ වැඩකරන කාලෙ අත්දැකීම් මගෙත් එක්ක කියමින් හිටියෙ කලපුවෙ කතාව මාම කිව්වෙ මෙහෙමයි.

'ඒ මම චීනවරාය පොලිසියෙ වැඩකරන කාලෙ මට මතක හැටියට පනස් ගණන්වල මුල වගේ මම රාජකාරියකට රාළහාමි කෙනෙකුත් අඬගහගෙන කින්නියා ගියා ඒ කාලෙ කලපුව හරහා යන ෆෙරිය තිබුනෙ නෑ අපි ඔරුවක් කතාකරගෙන කින්නියාවලට ගිහිං ගිය රාජකාරියත් කරගෙන ආපහු එන්න කලපුව ලඟට එද්දි අඳුර වැටිල තිබුණා.ආපහු එන්න ඔරුවෙ නැගල කලපුවෙ මැදක් එද්දී මොකක් හරි හේතුවක් නිසා ඔරුව පෙරලුනා.කරුවලයි මෙලෝ දෙයක් පේන්නෙ නෑ. කලපුව මැද තියෙන ගලට පීනගම්මු කියල අපි දෙන්න පීනන්න ගත්තා මම දාගෙන හිටපු ස්පෝර්ට් ෂූස් දෙකත් එක්ක පීනන්න අමාරුයි ඒ ගමන සපත්තු දෙක ගලවල දාලා කොහොමහරි ගලට පීනුවා.ගලට ගොඩවෙලා හූ කියන්න ගත්තා වැඩි වෙලා ඉන්න උනේ නෑ ගොඩ හිටපු අය ඔරුව පෙරළුණු ආරංචිය දැනගෙන ඔරු තුන හතරකින් අපිව හොයාගෙන ආවා.එදා අපි ආපහු පොලිසියට යද්දී මහ පාන්දර වුනා.'

ඔය විදියට මාම කතාව අහවර කළා.මම මේ කතාවට දාන්න පින්තුර හොයමින් ඉද්දි ඔය ගලේ පිංතූරෙකුත් මගේ කැමරාවේ සටහන් වෙලා තිබුණු නිසා ගල දකිද්දී මට මාමවත් මාම කියපු කතාවත් මතකයට නැගුණා.මාමා පහුගිය අප්‍රේල් මාසෙ මේ ලෝකෙන් සදහටම සමුගෙන යන්න ගිය නිසා මේ කතාවෙ ඉතිරි හරිය හෝ අඩුපාඩු අහගන්න දැන් පිළිවෙලක් නෑ.

ආපහු රහුමාන් මාස්ටර්ගේ කතාවලට ආවොත් ඔන්න මාස්ටර්ගෙ පොඩිදුව පස්සෙන් කොල්ලෙක් කැරකෙනව කියල රහුමාන් මාස්ටර්ට ඉව වැටිල තිබුනා. එක සති අන්ත නිවාඩු දවසක දවාලෙ රහුමාන් මාස්ටර් ඉස්තෝප්පුවට වෙලා පත්තරේ කියවමින් ඉන්නකොට මේ කොල්ල සයිකලේක නැගල එක සැරයක් ගේ ඉස්සරහින් ගියා අනික් පැත්තටත් ගියා.ආයෙම ගේ ඉස්සරහින් යද්දී රහුමාන් මාස්ටර් එළියට බැහැල පාරට ඇවිත් අප්පුඩියක් ගහල කොල්ලට කතාකලා.

ළමය පොඩ්ඩක් එන්නකෝ...

ඔන්න කොල්ලත් ආපහු හැරිල රහුමාන් මාස්ටර් ලඟට ආවා...

ළමයෝ අද අපේ දුව ගෙදර නෑ,ට්‍රින්කො වල පන්ති ගිහිං හැබැයි දැන් එන වෙලාව නං හරි.ෆෙරිය ළඟට ගියොත් මුණගැහෙන්න පුලුවන්වෙයි,මේ සාවියෙ කැරකිලා නං සත පහකවත් වැඩක් වෙන්නෙ නෑ...

කරකෝල අත ඇරිය වගේ වෙච්ච කොල්ල සිහි එළව ගන්නත් කලින් රහුමාන් මාස්ටර් ආපහු හැරිල ගෙට ගියා.

ආයෙම දවසක උදේ පාන්දර පල්ලි ගිහිං ආපහු එමින් ගමන කට්ටිය සුපුරුදු විදියට සම්බල්අප්පා මුදලාලිගෙ තේ කඩේට ගිහිං තේ බිබී කතා කර කර ඉන්නව.කඩේ පැත්තක තියෙන ෂෝ කේස් එකේ උදේට කන්න හදපු කෑම ජාති ගොඩගහල තියෙනව රහුමාන් මාස්ටර් එතනට ගිහිං...

මේ තෝසෙ කීයද?

එකක් රුපියල් දෙකයි මාස්ටර්...

එතකොට මේ සම්බෝල?

ආ ඒව නිකං දෙන්නෙ...

තේ බීල ගෙදර යද්දි රහුමාන් මාස්ටර් කට කපල පුරෝල තිබ්බ සම්බෝල කෝප්පෙ පිටිං අරං යන්න ගියා. සම්බලප්පා මුදලාලිට කර කියා ගන්න දෙයක් නැතුව රහුමාන් මාස්ටර්ගේ පස්සෙන් දුවල ගිහිං සම්බෝල කෝප්පෙ ඉල්ලුවා...

මාස්ටර් ඔය සම්බෝල කෝප්පෙ දීල යන්න මිනිස්සු තෝසෙ කන්නෙ මොනා එක්කද?

ඇයි ඕයි සම්බෝල නිකං දෙනව කිව්වෙ තමුසෙමනෙ, නිකං දෙන එක මං අරං ගියාම මක්වෙනවද?

ඊළඟට ආයෙම කෙනෙක්ව නෝන්ඩි කරන්න රහුමාන් මාස්ටර් හදල කියපු කතාවක් තියෙනව ඒක මෙහෙමයි.

ඔන්න රහුමාන් මාස්ටර් එයාගෙ වැඩ කරගන්න යකෙක් බැඳගත්තලු. දැන් බැඳගත්ත යකා වැඩකාරයෙක්ද නැත්නං වැඩකට නැති යකෙක්ද කියල ෂුවර් එකටම දැනගන්න මාස්ටර් යකාට වැඩ දෙකක් කරගෙන එන්න දුන්නලු.වැඩ දෙකම හරියට කළොත් යකාව තියාගන්නව නැත්නං යකාගෙන් වැඩක් නෑ කියල එලෝල දානවා.යකාව එහෙම පොරොන්දු කරගෙන රහුමාන් මාස්ටර්ගෙ වැඩ දෙක කිව්වලු.

පළවෙනි වැඩේනම් කොට්ටියාරම් බේ හෙවත් කොට්ටියාරම් බොක්කෙන් වැලි මිටක් ගෙනෙන එකයි.(ත්‍රිකුණාමලේ වරායෙන් පිට තියෙන කොට්ටියාරම් බොක්ක ඉතාම ගැඹුරු, රුදුරු දියසුළි දියවැල් වලින් ගහන භයානක තැනක්)

යකා පිටත්වෙලා ගිහිං ටිකවෙලාවකින්ම ආපහු ඇවිත් කොට්ටියාරම් බොක්කෙ වැලිමිටක් මාස්ටර්ට දුන්නලු.

දැන් ඊළඟ වැඩේ,  'ගිහිං මවුජුඩ් මාස්ටර්ගෙන් රුපියලක් ඉල්ලං වරෙන්.'
යකා පිටත්වෙලා ගියා ගියාමයි තාම ආවෙ නැතිලු.

'කොට්ටියාරම් බේ එකේ වැලිත් ගෙනාපු යකාට මවුජුඩ් ගෙන් රුපියලක් ගන්න බැරිවුනා.' ඔය කතාව මවුජුඩ් මාස්ටර්ට නෝන්ඩියට රහුමාන් මාස්ටර් තැන තැන කියන්න වුනා.

එන්න එන්නම රහුමාන් මාස්ටර්ගෙ නුහුගුණ ගතිය වැඩිවෙන්න ගත්තම ගෙදර අය නෑදෑයො එහෙම කතාවෙලා රහුමාන් මාස්ටර්ව අංගොඩ මානසික රෝහලට ඇතුල් කරන්න තීරණය කළා.ඔන්න ඉතිං ගමේ යමක් කමක් තේරෙන දෙන්නෙකුත් එක්ක රහුමාන් මාස්ටර්ව අංගොඩ යවන්නයි  සුදානම.දවසක ත්‍රිකුණාමලෙන් රෑ කෝච්චියෙ නැගල කොළඹ ආපු මේ තුන්දෙනා උදේ වරුවෙම අංගොඩ ඉස්පිරිතාලෙට ගිහිං දොස්තර මහත්තයෙක් හම්බවුණා.රහුමාන් මාස්ටර්ව ඉස්පිරිතාලෙට බාරදෙන්න ගියපු දෙන්න ගමේ පිළිගත් යමක් කමක් තේරෙන උදවිය උනාට සමාජෙ දැනීම භාෂා අතින් එහෙම දුර්වලයි ඒ ගොල්ලො කතාකරන්නෙ දෙමළ විතරයි.හැබැයි ඒකටත් එක්ක රහුමාන් මාස්ටර් නුහුගුණේ තිබ්බට බොහොම පොෂ් මනුස්සය භාෂා තුනම ව්‍යක්තව කතා කරනවා.

ඉතිං ඩොක්ටර් ලඟට ගිය ගමන් රහුමාන් මාස්ටර් ඩොක්ටට සුබ පතලා තමන්ව හඳුන්වල දීල එහෙම බොහොම ආචාරශීලී විලාශයෙන් ව්‍යක්ත ඉංග්‍රීසියෙන් කතාව පටන් ගත්තා.

ගුඩ් මෝනිං ඩොක්ට මේ දෙන්නට හොඳටම පිස්සු මම  නිවාඩුත් දාල මේ දෙන්නව ඇඩ්මිට් කරන්න එක්කගෙන ආවේ ඒකයි. මේ ගොල්ල මට පිස්සුය කියාවි ඩොක්ට ඒ ගොල්ල කියන දේවල් ගණන් ගන්න එපා පිස්සො එහෙමනෙ හැම තිස්සෙම අනුන්ට පිස්සුයි කියනවනෙ...

ඔහොම කියපුවම ඩොක්ටරුත් රහුමාන් මාස්ටර් කියපු දේ පිළිඅරන් අර දෙන්නව ඇඩ්මිට් කළා.ඇටෙන්ඩන්ට් ඇවිත් ඒ දෙන්නව වාට්ටුවට ගෙනියනකල් මොකද වුනේ කියල ඒ අහිංසක මිනිස්සු දෙන්න දන්නෙ නෑ.දෙන්නව ඉස්පිරිතාලෙ දාල රෑ කෝච්චියෙ නැගපු රහුමාන් මාස්ටර් ආපහු ගෙදර ගියා.

උදව්වට ගියපු උන් දෙන්න ඇඩ්මිට් කරලා රහුමාන් මාස්ටර් ගෙදර ආපු එක ගැන පහුවදා ගමේ හරි කලබල.අන්තිමේ ඒ අයගෙ ගෙවල්වල කට්ටිය එකතුවෙලා කොළඹ ඇවිත් බොහොම කරදර වෙලා ඉස්පිරිතාලේ අයට කන්නලව් කරලා වැඳල වාගෙ අර මිනිස්සු දෙන්නගෙ ටිකට් කපාගෙන ගමට එක්කරගෙන ගිහිං තියෙනව.

ඉතිං රහුමාන් මාස්ටර්ගෙ කතා ඔහොමයි දැනට අවුරුදු හතර පහකට ඉස්සෙල්ලා රහුමාන් මාස්ටර් ඔහුගෙ මැවුම්කරු හම්බවෙන්න ගියපු නිසා කතා කියන්න රහුමාන් මාස්ටර් ආයෙම අපට මුණගැහෙන්න ලැබෙන්නෙ නෑ.රහුමාන් මාස්ටර්ගෙ වැඩිමල්පුතා ජමාල්දීන් ඉන්නවනෙ පොරටත් තාත්තට වගේම නුහුගුණේ.මිනිහගේ කතා දෙකතුනකුක් තියෙනව෴