Saturday, March 14, 2015

රස්තියාදුකාර ජීවිතය බෝතලේ ගමන සහ රැවුලාගේ රාජධානිය.



අප කැමති වුවද අකමැති වුවද ජීවිතය අපට ලබාදෙන දේ අප බාරගත යුතුය.බොහෝ විට අපට ලැබෙන්නේ අප ආශාවෙන් බලාපොරොත්තු වී සිටි දෙය නොවුවද ඒ අපට හිමි දේය.ජීවිතය විප්ලවීය ලෙස වෙනස්වේ යැයි ද ඒ තුල ජයග්‍රාහකයෝ අප විය යුතු යැයි ද සිතා සිටි කාලයක් විය.ජීවිතය වෙනස් විය  ඒ අප සිතා සිටි ආකාරයට නොවේ.කැමති වුවද අකමැති වුවද ලැබුණේ අපට උරුම දේය.මේ ඒ ගැන මගේ මතකය අවදි කිරීමකි.

එය අපොස සාමාන්‍ය පෙළ අවසන් කර හිතේ කිසිම බරක් නොමැතිව ඉතා සතුටින් රස්තියාදු වූ කාලයයි.උදේ රස්තියාදුවට වැටෙන අප කණ්ඩායමට ආපසු ගෙදර එන්නට වෙලාවක් කලාවක් නොවීය.බොහෝ විට පසුදා මහ පාන්දර ගෙදර දොරට තට්ටු කළවිට දොර නොඇරෙන දවස්ද පැමිණිය විට රෑ වුන තැනක නිදාගන්නට පුරුදු වූයෙමු.කාලය වේගයෙන් ගලා ගියේය.මේ කියන කාලයේ අපේ ගෙදර නැවතී සිටි අමුත්තියක්ද විය.ඇය අපේ ලොකු අම්මා හෙවත් මවගේ වැඩුමල් සහෝදරියගේ දෙවෙනි දියණිය හෙවත් චූටි අක්කා යැයි අප විසින් අමතන ලද සොහොයුරිය වුවාය.මොරටුවේ වෙලෝනා ආයතනයේ කෙටිකාලීන පුහුණුවකට තේරී සිටි ඇයට පුහුණුව අවසානයේ කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුවේ රැකියාවක් ලැබෙන්නට නියමිතව තිබිණි.සිය උපන් ගම හෙවත් මගේ මවගේ සුන්දර ගම් පියස වූ බෝතලේ සිට දිනපතා උදේ පාන්දර මොරටුවට යන්නට පහසුකම් මඳ වුයෙන් ඇය අප නිවසේ නැවතී සිට  උදේ හවස දුම්රියේ මොරටුවට ගමන් ගත්තාය.කෙමෙන් කෙමෙන් ඇයගේ පුහුණු කාලය අවසන්ව ආපසු බෝතලේට යන්නට ලක ලෑස්ති වන විටත් අපේ රස්තියාදුව සරුවට කෙරෙමින් තිබුණි.දිනක් හවස සුපුරුදු රස්තියාදුව සඳහා මා නිවසින් එළියට බසින විට මිදුලේ සිටි චූටි අක්කා මට කතාකලාය.

මල්ලියෙ මං හෙට ආපහු යන්න කියල...

පුහුණුව අවසානයේ චූටි අක්කා ආපසු යන්නට නියමිත වූ නිසාවෙන් එය මට අලුත් ආරංචියක් නොවූ අතර ඒ ගැන මගේ කිසිදු සැළකිල්ලක්ද නොවීය.සිනාවකින් ඇගේ වචනය පිළිගත් මම මගේ ගමන යන්නට වීමි.

ගෙදර නිකං ඉන්න එකේ මල්ලිත් මගෙත් එක්ක ආවනං නරකද ...

නැවතත් ඇය අසයි.

කොහෙද බෝතලේද?

ඔව් ගිහිං ටික දවසක් ඉඳල එන්න බැරුවයැ...

චූටි අක්කලාගේ ගෙදරද අපේ ගෙදර මෙන්ම මට  පුරුදු තැනක් බැවින් බෝතලේ යෑම මට අමුතු  කාරියක් නොවීය.පසුවදා චූටි අක්කා සමග මා බෝතලේ බලා පිටත්වුයේ ඒ නිසාය.එහෙත් ඇයට මා කැටුව යන්නට කිසිදු විශේෂ අවශ්‍යතාවක් නොවූ අතර ඇයගේ ඉල්ලීම පිටුපස මගේ රස්තියාදු ගැසීමට සම්පූර්ණයෙන් විරුද්ධ වුවත් කිසි දෙයක් කරගැනීමට හැකියාවක් නැතිව සිටි අපේ අම්මාගේ උවමනාව තිබුණේයැයි පසු කලෙක මට තේරුම් ගියේය.කෙසේ වුවද මම කැමැත්තෙන්ම චූටි අක්කාත් සමග බෝතලේ ගියෙමි.

අපේ අම්මාගේ වැඩුමල් අක්කාවූ ලොකු අම්මාටත් මහප්පාටත් දරුවන් තිදෙනෙකි.ලොකු අක්කා චූටි අක්කා සහ චන්දරේ අයියා යනුවෙන් අපි ඔවුන් හැඳින්වුයෙමු.ගෙදරට වී සිටි ලොකු අක්කාට දීග යන්නට මනමාලයන් සෙවීම ඒ දිනවල ජයටම කෙරෙමින් තිබුණි.සෑම සති අන්තයකම පාහේ ලොකු අක්කා බලන්නට මනමාලයන් ගෙදරට එන්නට වූ බැවින් රසවත් කෑම බීමවලින් අපට කිසි අඩුවක් නොවීය.චූටි අක්කා මා පෙර කියූ පරිදිම කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුවේ රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටි අතර පවුලේ බාලයා වූ චන්දරේ අයියා කුඹුරු ගොවිතැන් සහ වත්ත පිටියේ ගොඩ ගොවිතැන් කළේය.මේ සියළු දෙනා පදිංචිව සිටි මහප්පලාගේ පවුලේ මහගෙදර අඩියක් පමණ පළල ඉතා උස බිත්තිවලින්ද කාමර දෙකකින් හා කරුවල කාමරයකින්ද මැද මිදුලකින්ද දික් ගේකින්ද සිංහල උළු සෙවිල්ලන ලද වහලකින්ද විශාල කණු හතරකින් යුත් ආලින්දයකින්ද සමන්විත පැරණි පන්නයේ නිවසකි.අපි ඒ ගෙදර එගොඩහ ගෙදර යනුවෙන් හැඳින්වුයෙමු.ඒ අපේ අම්මලාගේ මහගෙදර තිබුණේ වෙළෙන් එගොඩ බැවිණි.

මහප්පලාගේ ගෙදර අය බොහෝදුරට ස්වයංපෝෂිත ජීවිතයක් ගතකලෝය.අවුරුද්ද කෑමට පමණක් නොවැ විකිනීමටද වී කුඹුරුවලින් ලැබිණි.වත්තේ පොල් උවමනා පමණට තිබු අතර පොල් මුරය කොප්පරා කිරීම සඳහා පොල් මැස්සක්ද ගේ පිටුපස විය.ඔවුන්ට මුදල් ලැබුණේ වී විකිණීමෙන් සහ කොප්පරා විකිණීමෙනි.කෑමට එළවළු පළතුරු අල බතල ආදියද වත්තේ වගාවන්ගෙන් ලැබුණු අතර කඩෙන් මිලදී ගන්නට අවශ්‍ය වුයේ ලුණු තුනපහේ සහ කරෝල ආදී ද්‍රව්‍ය  ස්වල්පයක් පමණි.ගෙදර තුන් වේලටම අපට කන්නට ලැබුණේ බත්ය.කලාතුරකින් ගෙදර වංගෙඩියේ කොටන ලද පිටිවලින් සෑදු පිට්ටු හෝ රොටී කන්නට ලැබිණි.එසේ නොමැතිනම් කටදන  රතුපාට ලොකු ලුණුමිරිස් ගුලියක් සමග සුවඳ හමන කිරිබතකි.උදේට ලොකු බත් හැලියක් උයා කිරිහොදි හෝ පොල් සම්බෝල සමග කොතගසා බත් පිඟානක් අපට කෑමට ලැබුණි.අපේ ලොකු අම්මාට ඉතා රසට උයන්නට පුළුවන.දවල්ට එළවළු දෙකතුනක් මැල්ලුමක් සමග බත් ලැබුණි.ගෙදරදී නිතරම කන්නට ලැබුණු මස් මාළු හෝ බිත්තර මෙහිදී ඉතා කලාතුරකින් ලැබෙන දේවල් විය.ගමේ සමුපකාරයට කරෝල ලැබුණොත් ගෙදර අපටද කරෝල කන්නට ලැබේ.කොස් හෝ දෙල් වාරයට කොස් තම්බා හෝ මැල්ලුම් ද කිරිකොස්ද බතට සමෝසමේ කෑමට ලැබුණි.පදමට තුනපහ සහ පොල්කිරි දමා අබ කුඩුද ඉස ලොකු අම්මා පිළියෙළ කරන දෙල් වෑංජනය බත් බෙහෙවින් බඩට ඇදගන්නට සමත්වේ.මා වැඩිපුරම ආසාකලේ දෙල් ඉවූ ඇතිළිය බොරය පිසගෙන බත් කෑමටය.කිසි රසක් නැති පුහුල් පවා ඇය ඉවූ විට මස් මෙන් රසවත්ය.

අදද කොහේදී හෝ කිසිම ලුණු ඇඹුල් රසක් නොමැති වෑංජන අහාරයට ගනිද්දි ලොකු අම්මා සිහියට එන්නේ නිතැතිනි.මැල්ලුමක් නැතුව බත් කන්න අමාරුයි හෝ මැල්ලුමක් නැතුව බත් කෑවත් වැඩක් නෑ යනුවෙන් බොහෝවිට ඔවුන් පවසති.ඒ සිරිත මටද පුරුදුවී අද පවා මගේ ආහාරයට බත් සමග කුමන හෝ මැල්ලුම් හෝ කොළ වර්ගයක් ඇත්නම් ඉතා ප්‍රිය වෙමි.එබැවින්ම හැම වේලටම ගෙදර කෑමට මොනවා හෝ මැල්ලුමක් විය.ඒ කියන මැල්ලුම අද අප දකින කොළ මැල්ලුම පමණක්ම  නොවැ කොස්, දෙල්, කොස් මැල්ලුම්, පොලොස් මැල්ලුම් කොළ මැල්ලුම්,කොහිල ආදී විවිධාංගයන්ගෙන් සමන්විත විය.කොහිල දළු කඩාගන්නට ලිඳට පහළ කොහිල කොටුවක් විය.එසේ නොමැතිනම් මහප්පා උදේම  කුඹුරේ වටයක් ඇවිද එනවිට ඇළ අයිනේ සරුවට හැදී ඇති කොහිලදළු  මිටියක් කපාගෙන එයි.එසේ නොමැති නම් කමතෙන් පිදුරු හතු හෝ හීල් හෙවන ඇති තැන්වල හැදෙන ඉඳලෝලු හතු ගොඩක් කඩාගෙන එයි.මේ කොහිල හෝ කැලෑ හතු තෙල් පෑදෙන්නට උයා ගත්විට බතට දිව්‍ය ව්‍යංජන මෙනි.

අද නම් බොහෝ විට කන්නට ලැබෙන්නේ මහත කඳකින් යුත් රට කොහිල කියන වර්ගයයි.එහි එපමණ රසක් නැත.එහෙත් මේ මෑතකදී අපට හොඳ කොහිල ටිකක් කන්නට ලැබුණි.රැවුලා අපේ දානෙ ගෙදර එනවිට ඔහුගේ කොටුවෙන් කොහිල කිලෝ හතරක පහක මිටියක් අරගෙන ආවේය.එහි මට හුරු පැරණි රසය විය.එදා දවල්ට කෑම කනවිට මම රැවුලාගෙන් මේ ගැන ඇසුවෙමි.එදා අපට දවල් කෑමට කොහිලවලට අමතරව ගම්මිරිස් සහ ඉඟුරු මිශ්‍ර කහපොල් දමා සැරට සාදාගත් කොස් මැල්ලුමක්ද කරෝල හොදි සහ වැල්අල වැංජනයක් විය.අප කිහිප දෙනාටම මේ සරල ආහාරය ඉතා රසවත් විය.ලොකු කොහිල කොටු දෙකක් ඇති බවත් දළු කපා විකුණන බවත් ගස් මේරූ විට අල ගලවා ගැනීම සඳහා කොටු බදු දෙන බවත් රැවුලා අප සමග කීවේය.කොහිල පමණක් නොවැ කොම්පෝස්ට් පෝර සහ කොළ පෝර යොදා වැවු එළවළු කොටුවක්ද වැල්අලද ඇතිබවත් මේ සියල්ලම රසායනික පෝර හෝ තෙල් නොයොදා කාබනික ක්‍රමයටම වවන බවත් පසුගිය ගංවතුරට යටවී එළවළු කොටු විනාශවී ගිය බවත් අපේ කෑම මේසයේ සිටම රැවුලා විසින් නිවේදනය කරන ලදී.තවද වත්ත පහළ ඇති අක්කර හතර පහක කුඹුරද කාබනික ක්‍රමයට වවන බවත් රැවුලා වැඩිදුරටත් පැවසීය.

රැවුලා කියූ විස්තර ඇසු මොහොතේ සිටම එළවළු කොටුව බලන්නට යාමට අපට ආසාවක් පහළවිය.නමුත් ඒ සඳහා ඉතිරිවී තිබු දින ගණන ඉතා සීමිත විය.

මේ අපි වෙලාවක උඹේ කොටුව බලන්න එන්නදැ...යි ඇසූවිට

කලින් කියල ඕනෑ දවසක වරෙල්ලා...යයි රැවුලා කීවේය.

බොහෝ අමාරුවෙන් දිනයක් වෙන්කරගෙන අපි රැවුලලාගේ ගෙදර ගියෙමු.එදා උගේ කුඹුරේ ගොයම් කපන දිනයයි.

රැවුලාගේ පවුල උදේ ඇඹුලට හැදු  ඉඹුල් කිරිබත්ද හකුරු සමග කහට තේද අපට කන්නට බොන්නට දුන් අතර කෑමෙන් පසු කට පුරා විටක්ද හපා රැවුලා සමග එළවළු කොටුව හෙවත් රැවුලාගේ රාජධානියට ගියෙමු.රැවුලා අපට එලවළුද හිඟුරල ද කුකුළල ද දුන්නේය.රැවුලාගේ රාජධානියේ වැල්අලවලට අමතරව මෑ,දියලබු,බැටළු මිරිස් ආදිය වවා තිබුණි.සරුවට වැඩී තිබුන දියලබ්බක් අපට දෙන්නට රැවුලාට උවමනාව තිබුණත් අපිට වැඩක් නොමැති නිසා බාර නොගත්තෙමු.
හිඟුරල එපමණ අස්වැන්නක් නොමැතිවුයේ කළින් සිටවූ තැනම නැවතත් සිටුවා තිබු හෙයිනි.එහෙත් කුකුළල අස්වැන්න ඉතා සරුවිය.රා මදින ලද අතහැර දැමු කිතුලක්ද විය.පීදෙන්නට ඔන්න මෙන්න වූ තවත් කිතුලක් වූ අතර මල ඉඳුන පසු එයටද බෙහෙත් තබන බව රැවුලා පැවසීය.මම ලංකාවේ හිටියානම් රැවුලා මට කිරිබත් කන්නට උගේ කුඹුරේ අලුත් හාල්ද දෙයි.ඒවා කඩේ තියෙන පිදුරු හාල් මෙන් නොවැ තෙල් රසැති උයනවිට සුවඳ හමන හාල්ය.
කොහොමත් අපි කුඩා කාලයේ සිටම කෑවේ අපේ කුඹුරුවල පැසෙන හාල්ය.කුඹුරු වගා නොකරන අද පවා මම කඩේ හාල් කන්නට කැමැත්තක් නොමැති  අතර කන්නට කුඹුරු හාල් ටිකක් කොහෙන් හෝ සොයාගමි.බොහෝ විට අපට වී දෙන්නේ බිරිඳගේ ලොකු අයියාය.අයියා හොඳ ගොවියෙකි.ඉඳහිට එහි යන මට හරි ආදරේය.අයියාගේ ගේ පිටිපස වවා තිබු  මඤ්ඤොක්කා වගාව බෙහෙවින් සරුසාරය.මම එහි පිංතුරයක්ද ගත්තෙමි.මඤ්ඤොක්කා වගාවෙන් දානෙට තම්බන්නට ගලවා ගෙන ආ අල අපේ බත්කෙන්ද තරම මහත සරුවට බැස තිබු අල විය.දානෙන් පසුව කන්නට  මඤ්ඤොක්කා බෙදාගත්තද සීතලව තිබු  මඤ්ඤොක්කාවල කිසිම ප්‍රිය උපදන රසක් නොවීය.

 


 


මා මඤ්ඤොක්කා කන ආකාරය මෙයට වෙනස්ය. අලුත්  මඤ්ඤොක්කා තම්බා ගලේ තලන ලද පොල් සම්බෝල හෝ ලුණුමිරිස් සමග හෝ මිරිසට පිසන ලද ඌරුමස් හෝ හරක් මස් සමග උණු උණු මඤ්ඤොක්කා බෙහෙවින් ගිල දැමිය හැකිය.ඒ ආකාරයට මඤ්ඤොක්කා කන්නට මෙදා කිසිම අවස්ථාවක් ලැබුනේ නැත.එමෙන්ම රැවුලා මට දුන් කුකුළල පොදිය ලංකාවේදී කෑමට වෙලාවක් නැතිවිය.දමා එන්නටද නොහැකිය.අපි නැතිවිට අල ටික නරක්වී යනවා මිසක තම්බා කෑමට ගන්නා කෙනෙක් නැත.එහෙයින් අල ටික රැගෙන ඇවිත් තම්බා දවස් දෙකක් උදේට කෑවෙමි.කුකුළල තම්බන්නේ පොත්ත පිටින්ය.කනවිට පොතු ඇර කෑ යුතුය.අල කොපමණ රස උනත් පොතු ඇර ඇර කන්නට ටිකක් කම්මැලිය.ඒ නිසා තැම්බූ කුකුළල බාජනය බිරිඳට දුන්නෙමි. පිඟාන මා තබාගත්තෙමි.බිරිඳ පොතු ඇර ඇර මගේ පිඟානට දමන අල මම ගාපු පොල් සමග කෑවෙමි.එතකොට නම් කිසිම කම්මැලිකමක් නැත.තැම්බූ කුකුළල  දිව්‍යලෝක රසය෴

121 comments:

  1. සුන්දර අත්දැකීමක්..වස විස නැති කෑමක් දකින එකත් දැං දුර්ලභ වෙලා නෙව. මඤ්ඤොක්කයි,*කෙන් දුං විසිවෙන ලුණු මිරිසකුයි,මසුයි,රා යි,බීඩියි තමා මගෙ නම් නියම සුසංයෝගය.රා නැත්තම් ගල් බෝතලයයි බීඩි වෙනුවට සිගරට්.ඇලක් අයිනෙ වගේ සැට් උනාම දවසක් ගෙවෙනවා දැනෙන්නෙ නෑ..

    ReplyDelete
    Replies
    1. ගස් ලබ්බෝ,
      පුක යනු කුණුහරුපයක් නොවේ.පේටන්ට් අයිතිය කකා(වර්තමාන රසිකලොජිස්ට්)සතුය.

      Delete
    2. හි හි ඒ විතරක්ද නේ හැලපයියේ මේ බ්ලොගේ වම් පැත්තේ තියෙන්නේ තව එකක් කුනුහබ්බයක් නෙමේ කියලා :D

      Delete
    3. අපොයි ඔමා ඒක කුණුහරුපයක් වෙන්නෙ කොහොමද?එහෙනං ඔක්කොම ඉවරයි.ඔයාටත් දැන් තේරෙනව ඇතිනේ.

      Delete
  2. මේක තනිකරම කෑම පෝස්ට් එකක්නෙ.
    මොනව උනත් උඩ ටිකනං කටට කෙළ උනන විදියට ලියල තියෙනව.

    දැං ඉතිං බෝතලේ ගිහිල්ල මක්කැයි කරේ.

    ReplyDelete
    Replies
    1. කෙල ගිල ගිල ඉඳපන්.බෝතලේ ගිහිං කරපු දේවල් ඉස්සරහට කියන්නං.

      Delete
    2. වැදල කියන්නං අක්කපාල කතා නං ලියන්ඩ එපා ඔන්න හැක හැක

      Delete
    3. අටං,
      කවුද යකෝ අක්කපාල කතා ලිව්වෙ.පලප්ප කතා නොකිය ඉඳපං.

      Delete
    4. නැත්තං කමක් නැ ඉතිං . පලප්ප කියන වචනේ තේරුම මොකක්ද

      Delete
    5. හරියටම දන්නෙ නෑ බං.ඉස්සර අපේ අම්මල එහෙම කිව්වා.මාත් ලිව්වෙ ඒකයි.පුළුවන්නං පොඩ්ඩක් හොයපන්.හැබැයි කාරියකරවනට කතා කළා නං බඩු බනිස්.

      Delete
    6. ප්‍රලාප කියන එකද?

      Delete
  3. //එදා අපට දවල් කෑමට කොහිලවලට අමතරව ගම්මිරිස් සහ ඉඟුරු මිශ්‍ර කහපොල් දමා සැරට සාදාගත් කොස් මැල්ලුමක්ද කරෝල හොදි සහ වැල්අල වැංජනයක් විය.අප කිහිප දෙනාටම මේ සරල ආහාරය ඉතා රසවත් විය.//

    හම්මෝ රහාආආආආ....:O

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් දැන් නං මටත් ලෝබ හිතෙනවා.

      Delete
  4. ඔය හැලපෙගෙ කුකුලල කන සිස්ටම් එක මං හිතන්නෙ කලින් පෝස්ට් එකකත් ලියල තිබ්බ... හොඳා ඉතිං හැලපිම හින්ද.... හි හි

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ ඔය අල වර්ගෙ හැලපක්කත් එක්ක ගොඩක් සම්බන්ධයි වගේ. :D

      ඒක ලියල තියෙන්නෙත් හැලපෙගෙ විවාහ සංවත්සරේ වෙනුවෙන්.

      Delete
    2. අපොයි ඔව්.වෙන එකියක් නං කුකුළල හැලියත් මගෙ ඔලුවෙ නමල යන්න යයි.

      Delete
    3. ප්‍රසන්න,
      යකෝ ඒ වාගේම එකක් ආයෙම ලියන්න උනානෙ.ඊට හපන් ඒක මතක තියාගෙන හිටිය එකා.

      Delete
    4. මූට ඉස්කෝලෙ කියාදුන්න ඒව ඔහොම මතකෙ තිබ්බනම් අද මේක නාස එකේ!

      Delete
    5. අනේ බෑ ඉන්දික. ඔය රොකට් වල යනකොට මට වමනෙ යනව. වීදුරුව ඇරල එලියට දන්න කියලයි ඉතිං. :P

      Delete
  5. මොන දේවල් තිබ්බත් අන්තිමේට හැලපක්කනම් එනව නේද හැලපයියේ

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් කොල්ලො.ඔය ඉස්තිරියාව නැත්නං පෝස්ටුත් නෑ.

      Delete
  6. //අලුත් මඤ්ඤොක්කා තම්බා ගලේ තලන ලද පොල් සම්බෝල හෝ ලුණුමිරිස් සමග හෝ මිරිසට පිසන ලද ඌරුමස් හෝ හරක් මස් සමග උණු උණු මඤ්ඤොක්කා බෙහෙවින් ගිල දැමිය හැකිය.//
    හපොයි දෙයිය්යනේ.............. මයි ෆෙවරිට් ටූ............

    ReplyDelete
    Replies
    1. මොනා කරන්නද බං ලංකාවට යනතුරු ඉවසන්න වේවි.

      Delete
  7. මං දැන් අල, පාන් සහ බත් කෑම අඩු කළ නිසා මේ කතාවවලට කෙළවත් ගිලින්නේ නෑ!

    හැලපේ ගේ ලිපියේ එක වාක්‍යයක් ඉවර වී නැවතීමේ තිත තබා අනිත් වාක්‍යය පටන් ගන්න කලින් හිස් තැනක් නොතියන්නේ ඇයි?

    ReplyDelete
    Replies
    1. අරපිරිමැස්ම. :D

      Delete
    2. බාගෙට කරන නිරීක්ෂණ අවුලක් නැත. ඒවායින් නිගමන වලට ඒම නම් ඇන ගැනීමට හේතු වේ. උත්තරයක් නොවේ නිරීක්ෂණයකි.

      Delete
    3. මම හිස්තැනක් තියනව රසික.නමුත් මට පේන්නෙ එය ප්‍රමාණවත් නොමැති බවයි.ඔය කතාවම බිරිඳත් මට නොයෙක් වර කියා තිබෙනවා.

      Delete
  8. හොදට බොර පාටට හිටින්න උයපු ඌරු මස්, ගලේ තලපු කොච්චි මිරිස් ලුණුමිරිසක් එක්ක පොල් කෑල්ලක් එහෙම උලුප්පලා දාලා හොදට තම්බපු මඤ්ඤොක්කා කෑල්ලක් හපහපා අපි සෙට් එකක් දවසක් රා බිව්වා. බොල්ගොඩ ගඟ ලග තැනක ලැස්ති කරලා තිබුනේ. කියලා වැඩක් නෑ හැලපෙ.

    බයිට් එකට එහෙම මඤ්ඤොක්කා එක්ක වල් ඌරු මස්,හරක් මස් තරං යන දෙයක් නෑ. ඔය ටික තියෙනවා නං බෝතලයක් හිස් කරන එක මහා කජ්ජක් නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. කියනකොටත් ආසයි ඇනෝ.

      Delete
  9. "රසවත් " ලිපියක්.

    ReplyDelete
    Replies
    1. මදි මදි බින්දී හොඳටම මදි.

      Delete
  10. අම්මේ අහලා නැති අලත් තියෙනවා නොවැ................

    ReplyDelete
    Replies
    1. මෙතන ලියවුණේ අල වර්ග දෙකක් ගැන පමණයි.නමුත් තව බොහොමයක් නොලියවුන අල වර්ග තියෙනව කුරුටු ළමයි.

      Delete
  11. ඊලඟ සැරේ ආවාම මගේ කොටුවත් බලන්න වරෙන් හැලපේ..
    ඔය කියන ජාති ගොඩාක් මාත් වවනවා කොළඹයි දික්වැල්ලෙයි...
    අද දවල්ට (ඒ කියන්නේ මේ කමෙන්ට් එක දාන්නේ ඒ රහ කටේ තියාගෙන,) මඤ්ඤොක්කා තම්බලා, කොටුවෙන් කඩාගත්ත හෝ මිරිස් (කොච්චි ජාතියක්) වලින් පොල් දාලා තලපු සම්බලකුයි, එවලේ මිරිස් තුනපහ බැදලා අර අරූ කියනවා වගේ ලව් කර කර බොරේට හදපු අද උදේ මරපු ඌරු මස් කරියක් හදාගෙන කෑවා...එහෙම කාලා ඇවිත් මේක කියෙව්වාම හිතුනා හැලපේ බලාගෙනවත් හිටියාද කියලා..
    ඉතින් බෝතලේ එක්කගෙන ගිහින් චූටි අක්කා හැලපේට මොනාද කලේ...ලොකු අම්ම දුන්න ඒවා නම් කියෙව්වා..ඒත්......????

    ReplyDelete
    Replies
    1. මේ තව එකෙක්. ගමේ කෑම ගැන කියවන්න එපා හලෝ... අපි විප්‍රවාසින්

      Delete
    2. විප්‍රවාසියෙක් කියන්නෙ ඩයස්පොරාවේ එක්කෙනකුටද? දන්නෙ නැති නිසා අහන්නෙ,

      Delete
    3. හරි මචං,අපිව දික්වැල්ලට එක්කං පලයන්.මගෙ රෙසිපියම හදාගෙන කෑවා කියපුවම මටත් සතුටක් ඇතිවුනා.බෝතලේ කතා ටික සියල්ලම ඉදිරියට ලියැවෙනවා චෙපාකි.

      Delete
    4. හා … හා …

      අපේ එලෝලු කොටුව :D

      ඒ මංඥොක්කා ඩිංගයි ලුණුමිරිසයි අරක්කු ඩිංගයි නං ඉස්තරං.අම්මාපල්ල !! ඕ යේස්
      කොහෙද අර ඉවානයට බොන්ඩ තිබුණට පින තියෙන්ඩත් එපෑ..

      ආයෙ එන්නං ඈ

      Delete
    5. චෙපෑකි,
      මොනවද අප්පා මාත් කොහෙන්ද මන්ද අහුලගත්ත වචනයක්. විප්‍රවාසි වුනාම ඕවා තේරුම් කරන්න බෑ ගමේ කෑම සුවඳ මතක් වුනාම ඊට කලින් කඳුලු එනවා

      Delete
  12. කේම කියලා මෙහෙමත් කෑම ගැන ලියනවද?
    අවුරුදු ගාණකින් ගමේ යන්න බැරි වුනා. එහෙම් කොට හිත හදාගන්නේ අනේ දැන් ගමෙත් ඔය වගේ කෑම කන්න නෑ කියලා හිත හදාගෙන. මේ හැලපෙලා අඬන අපේ හිත් වලට කෝටු කෑලිවලින් අනිනවානේ තව.

    කුකුලල කියන්නේ කටු අල වලටමද? දැන් යෑම්ස් කියලා කෑවට පොඩි කාලේ මාත් ඔය අපෙ ඉඩම් වල වැල් අල පඳුරු අයිති කරන් හිටියා. අනේ කවදාවත් අලයක් නම් හාරන්න හම්බ වුනේ නෑ. මම කොහෙ හරි ගිය වෙලාවක හැමදාම කවුරු හරි අල ගලවලා තිබුනා. අපිටම කන්න තියලා තිබුනාට මම අල ගලෝපු නැති වැල් අල ගැන මර ඊර්ශ්යාවක් තිබුනා වෙන්න ඕනේ.
    හැලපේගේ ගමේ තවම මෙහෙම රසායණික පෝර නොයෙදු වගාවක් ගැන අහන්න ලැබුන එකත් සතුටක්. ළඟ පාතක නම් ගිහින් හරි ගන්න වටිනවා. බෝතලේ කියන්නේ නුවර පාරෙන් හැරිලා ගියාම මීරිගම පැත්තේ නේද?

    ReplyDelete
    Replies
    1. මගෙනම් ෆේවරිට් ඉන්නල.
      හිඟුරල රාජඅල වගේ දේවලුත් තියනවනෙ. මං අහල තිබුනට දැකලවත් නැති එකක් තමයි ගෝනල.. ගෝන අල

      Delete
    2. මම අල කන්න යන්නේ ගමේ කඩේට. කවදාවත් නොදැන හිටි වර්ගත් එතන තියෙනවා. එකම අවුල ඒ අය එක එක අල වර්ග ටේස්ට් කරන්න දෙන්න කැමති නෑ.( එයාලා විකුනන්න කැමති ෆුල් පෝසන්. ඒව කොහෙද මාත් එක්ක මට කෑලි දෙක හෝ එක ගානේ අල ඔක්කොම ඕනේ කීවම එහෙම දෙන්න බෑලු.) මම ඉතින් මගේ යකා පාට් එක දාලා මැනේජර්ටත් බැනලා හෙම තමයි ටේස්ටින් ප්‍රොසෙස් එක කරගන්නේ.
      ආයේ අවිස්සාවෙල්ල පාරේ තියෙනවා රබර් වත්තක් හරියේ අල විකුණන තැනක්. ප්‍රා ට්‍රැවල් කරන හින්දා එතනින් ගන්න පුළුවන්නේ.
      අපේ ගමේ වත්තේ දම්පාට අල තියෙනවා. ආයේ කටු අල කියල වැල් වර්ගයකුත් තියෙනවා. කැනාස් වගෙ අමල් වර්ගයක අල වර්ගේකුත් තියෙනවා. දැන් නම් කාලෙකින් මාත් කෑවේ නෑ. නිවාඩුවක් ලැබුනම යන්න ඕනේ අල කන්න. ඉන්නල කියන්නෙ රටල නොහොත් චයිනීස් පෝටෙටෝ නේද?

      Delete
    3. //කැනාස් වගෙ අමල් වර්ගයක අල වර්ගේකුත් //

      ඔයා කියන්නේ හුලංකීරිය අල ගැනද

      Delete
    4. @ අටම්..එහෙමයි..!

      Delete
    5. @බූරු..අවිස්සාවේල්ලට මෙහා කලුඅග්ගලයි ලෝ ලෙවල් එක පටන් ගන්න හංදියයි අතර කොලඹ ඉදන් යනකොට දකුනු පැත්තේ තියෙනවා ඔය අල කඩේ..ලංකාවේ වැවෙන ඕනිම අල ජාතියක් එතන ඇත.

      Delete
    6. මොකද කරන්නෙ බුරු.ලියවෙනකොට කෑම ගැනත් නිරායාසයෙන්ම ලියවෙනවා.අල ගැන මෙතන ගොඩක් කතාවේවි.මම දන්න ටික නොලියා ඉන්න එක වඩා හොඳයි.
      නුවර පාරෙ ගිහිං දන්ඕවිට හංදියෙන් හැරිල බෝතලේට යන්න පුළුවනි.එහෙම නැත්නං මීරිගම ඉඳන් දන්ඕවිට පාරෙ බෝතලේට එන්න පුළුවනි.

      Delete
    7. ප්‍රා,
      ඉන්නල කියන්නෙ රටලනේ.රටල කොස්ඇට දාල උයල කනවා.බොහොම රසයි.හැබැයි තම්බල කන්නෙ නෑ.හිඟුරල රාජාල වගේ අල අදත් ගම්වල තියෙනවා.හැබැයි ගෝනඅල හෙවත් ගෝනල නං හැදෙන්නෙ මහ කැලේ.අහල තියෙනව මිසක දැකල නෑ.

      Delete
    8. අටං,
      කැනාස් වගේ තව වර්ගයක් තියනව බං.ආටිචොක් නෙවෙයි වෙන හොඳ නමක් කියනව.පොඩ්ඩක් දම් පාටයි.අලේ නිකං කිරිඅලේ වගේ.නමුත් පොඩ්ඩක් පැණිරස ගතියක් තියෙනව වැඩියෙම නෙවෙයි බතල වගේ.මාර රහයි.මැතිනිගෙ සාගත කාලෙ අපිත් ඔය අල බෝතලෙන් ගෙනත් කෑවා.

      Delete
    9. @c-a
      හන්වැල්ලෙ කඩෙන් රාජාල අරන් තියනව. එකදවසක් මං ඇහුව කොහෙන්ද ගේන්නෙ කියල. කොට්ටාවෙන් කිව්ව. ත්‍රිල් එක නැතිවුනා. මං හිතුවෙ අඩුගානෙ රන්ගිගේ ගම් පලාතෙන්වත් වෙන්න ඇති කියල

      Delete
    10. බුරු. එකපාරක් යලුවොත් එක්ක ගිහින් වගා පාලුවක්ම කරා නේද?? හැක්

      Delete
    11. ප්‍රා, හොඳ වැඩේ උප්පැන්න සහතික හොයන්න යනවට... ;)
      මම හිතන්නේ දැන් ගම්වල මිනිස්සු ඔය වගේ අල වර්ග කනවා අඩුයි. ගමේ කඩවල් වල ඕවා හොයාගන්නත් නෑ. ඉරිදා පොළක වගේ නම් චාන්ස් එකක් තියෙයි.

      දේශකය, ඒක තේරුනේ නෑ නේ. මම යාළුවෝ එක්ක ඕනේ තරම් වගා ඉඩම් වලට ගිහින් තියෙනවා. ඒත් ඒවා නස්ති කරන්න නම් මගේ යාළුවන්ට ඉඩක් ලැබෙන්නේ නෑ. කොළඹ ඉන්න මගෙ අයාළුවන්ට ඕවා මැජික් වුනාට පොලවේ පය ගහලා ඉන්න බුරු බබාට මිනිසුන්ගේ ශ්‍රමය වටිනවා. කොහොමත් ගොවි මහත්වරු මට හරි ආදරෙයි.
      අපි හොඳ ළමයි කීවලු

      Delete
    12. හැක් හැක්..

      http://burubabe.blogspot.com/2012/11/blog-post_29.html

      Delete
    13. මේ බුරු බබා පැටියා කාලේ ඒවනේ. අපෝ අමතකම වෙලා තිබ්බේ ඒක...

      Delete
    14. //කැනාස් වගේ තව වර්ගයක් තියනව බං.ආටිචොක් නෙවෙයි වෙන හොඳ නමක් කියනව.// බුස්සරණ හෝ බුත්සරණ... වර්ග දෙකක් තියනව.

      Delete
  13. ගමේ කෑම වල රහ දැනෙන්න ඒවා නැති තැනකට යා යුතුය. හොස්ටල් එකේ අර්තාපල් එක්ක පොල් කුඩු සම්බෝල ගිලින මං ගමේ යනකං ඇඟිලි ගනින්නේ මේ නිසාය

    ReplyDelete
    Replies
    1. උඹට නං මොකද ගමේ යන ටික විතරනෙ.ඔක්කොම හොයාගන්න අමාරු කෑම ජාති ලැබෙනවා.

      Delete
    2. ගමෙත් හොයාගන්න අමාරුයි දැන් මේවා

      Delete
  14. අපේ කුඹුරු මතක් වුණා. නියමයි අපෙත් වත්ත පහල කොහිල කොටුවක් තියෙනවා අම්මා පරිප්පු එක්ක තෙම්පරාදු කරලා හදනව රසට අම්මෝ නියමයි .. තැන්ක්ස් මේවා ලියනවට

    ReplyDelete
    Replies
    1. මේ වගේ කතා ලියනව කියල ඔමා මගෙත් එක්ක ඔරොප්පු වෙලත් හිටියනෙ.

      Delete
    2. නෑ අනේ කෑම ජාති වල ෆොටෝයි ඒවල රසයි විස්තර කරන ඒවා දකිද්දී ආසයි. මං උයන්න දන්නවා ඒත් තනියම කන්න උයන එක ලේසි දෙයක් නෙමේ, තනියම ඉන්න කෙනෙක් දන්නවා ඒක. ආච්චි කන්නේ වෙනම කෑම ජාති සුදු පාටට. එයාට හුස්මගන්න බෑ මන් මොනාහරි තෙම්පරාදු කලොත් ඒකයි අප්පා

      Delete
  15. හැමදාම එකම රහට චයිනීස් කනකොට, ගෑස් අවන්වල හදපු එකම රහ තියෙන පාන් කනකොට තමා ඔව්වයෙ රහ මතක් වෙන්නෙ. ගමේ කෑම මේසෙක එකම රසින් දෙකක් නෑ. ඒ වුනාට දැන් මගුල් ගෙදරක ගියත් පරිප්පු, මාලු, මස්, බෝංචි ඔක්කොගෙම එන්නෙ එක වගේ රහක්.
    අදත් බොහොම ස්තූතියි හැලපයියේ සුන්දර මතකයන් කරා ගෙන ගියාට. මේවා හැලප වලට වඩා රහයි.

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි මදාවියෝ ඔය මිනිස්සු එකම බාජනේ ඔක්කොම උයල වෙන් කරල තියනවද මංදා කිව්වත් වගේ ඔක්කොම කෑම එකම රස.එපාවෙනවා නේද?
      අගය කිරීම ගැන ස්තූතියි.

      Delete
  16. මේ ජීවිතයට සමාන ජීවිතයක් මමත් 1980 දශකය පමණ වනතුරු අත්වින්දා. අදත් අපේ පුංචි ගෙවත්තේ සෑහෙන තරම් බවබෝග තිබෙනවා. (අපේ ඇත්තී කුරුසිකරුම ගුරු උපදේසිකාවක්නේ) කුකුළල කියන්නෙයි ඇඟිලි අල කියන්නෙයි එක වර්ගයක්ද? ඔය කියන ආකාරයේ ඉතා රසවත් අල අපේ ගෙවත්තෙත් තියනවා. අර දම්පාට වැල් අල තමයි බහුලව තියෙනේ. මම ඊයේ පෙරේදා ගෙනත් හිටවාගත්තා රතඹලා පැලයක් සහ නේත්‍රප්පලම් පැලයක්.

    අපේ මුල් කවදාවත් අපෙන් ගැලවෙන්නේ නැහැ.

    බොහොම ස්තුතියි අතීත මතක ගොඩක් ආපහු ඇවිස්සුවාට.

    ReplyDelete
    Replies
    1. යකෝ කෘෂිකර්ම දැනුමැත්තියක් ගෙදරම ඉන්න එක මොන තරං වාසනාවක්ද?ඔය බෝකරගත්ත වර්ග වඳ වෙන්න නොදී බලාගන්න.මුල් කවදාවත් ගලවගන්නත් එපා.
      අගය කිරීමට ස්තූතියි.

      Delete
  17. // මැල්ලුමක් නැතුව බත් කන්න අමාරුයි හෝ මැල්ලුමක් නැතුව බත් කෑවත් වැඩක් නෑ යනුවෙන් බොහෝවිට ඔවුන් පවසති.// ගෙදර ඉන්න දවසට නම් මමත් අනිවාර්යයෙන්ම බත් කන්නේ මැල්ලුම් එක්ක.

    කුකුළල නම් කාපු කාලයක් මතක නෑ.. :(

    ReplyDelete
    Replies
    1. ඔය පරණ කෑමවල රසත් ගුණාත් දෙකම තියෙනවනෙ.මට නං මේ සැරේ කුකුළල කන්න ලැබුනෙ අහම්බෙන්.

      Delete
  18. අපේ වත්තෙත් ඉස්සර හුලංකිරිය පැල තිබුන , තව හිඟුරල ද කොහෙදත් තිබුනා .. ඒ දවස් වල කෑවට පස්සේ දැන් නම් මතක ඇති කාලෙකින් කෑවේ නෑ ...

    උරුමසුයි මඤ්ඤොක්කයි ගැන නම් ඉතින් කතා කරලා වැඩක් නෑ ... සෑහෙන දේවල් මිස් වෙලා අප්පා මේ ගෙවිච්ච අවුරුදු 4-5ට.

    මම මේ කල්පනා කලේ හැලපටයි අර වාන්පතුල් රවී අයියටයි තියෙන මතකේ ගැන ...මට නම් ඔය ඉස්සර සිද්දි ගොඩක් දේවල් මතක නැති වෙලා නේ .. :(. තව නාකි වෙනකොට මොනවා වෙයි ද මන්ද .. :)

    අපේ තාත්තටත් ඔහොම මතකයක් තිබ්බ .. හැබැයි අම්මට එහෙම මතක හිටින්නේ නෑ .. මට තියෙන්නේ අම්මගේ වගේ මතකයක් .. යන්තම් සිද්දිය විතරක් මතකයි ...විස්තර කියන්න බෑ ...

    ReplyDelete
    Replies
    1. අපේ මහගෙදර වත්තෙත් ඉස්සර හුළංකීරිය හරියට වැවිලා තිබුණා නමුත් දැන් ඔක්කොම වඳවෙලා ගිහිං.මතකය ගැන එච්චර දුක් වෙන්න එපා වයසට යද්දි හරියයි එතකොට ලියන එකයි ඇත්තෙ.

      Delete
  19. අපේ වතුවල දැනටත් හිගුරල, රාජාල, ඉන්නල කිරිඅල වගේ දේවල් වවල තියනව ( අපි නෙමේ අම්ම ). ඒක හින්ද සතියකට දෙකකට සැරයක් හොද කද මල්ලක් ලැබෙනව.
    ගිය කන්නෙ සුවදැල්, තෙල් පෝර නොදා හදල තිබ්බ. අස්වැන්න අඩු උනත් බත් ලිපේ ඉදෙද්දි ගෙදරම සුවදයි.
    රැවුල වගේ ගොවියෙක් අපේ ස්ටෝරුවකට යන පාරෙ. දවසම කොටුවෙ සාත්තු කරමින් තමයි ඉන්නෙ. මමත් යන එන වෙලවට චැට් එකක් දානව. දවසක් මට දුන්න කෙකටිය අල ( මඩේ හැදෙන්නෙ ) පොලුත් එක්ක කෑව පුදුම රසයි.
    බොතලේ කියන්නෙ තාමත් ලස්සන විදිහට තියන ගමක් නේද?

    ReplyDelete
    Replies
    1. තැන තැන ඉඳහිට රැවුලලා දකින්න ලැබෙන ඒකත් වාසනාවක් කම්මලේ.බෝතලේ ගම තාමත් ඒ වගේම ලස්සනයි.ඉර එළිය ඉස්සෙල්ල කන්දට වැටිල පහළට ගලාගෙන එන ලස්සන තාම දැකගන්න පුළුවනි.හැබැයි මිනිස්සු නං එදාට වඩා ගොඩක් වෙනස්.

      Delete
  20. මේ සියල්ලම ඉතින් මගෙත් ෆේවරිට්... මමත් කොරටුවක් කරපු කොල්ලෙක් තමයි.. වවන එක මගේ ප්‍රියත්ම විනෝදංශයක්.. තව අවුරුදු කීපයකින් ආයිත් වැවිල්ල පටන් ගන්නවා ගමකට ගිහින්.. ඒ සරළ ජීවිතේ මීට වඩා බොහෝම රසවත්.. මස්සිනා අසනීම වෙලා මේ ටිකේ ගමේ උන්නේ.. වෙල් මාළු බොරට හදලා ගල් බෝතල් කීපයකට වග කිව්වා.. උඹ කියනවනේ අපි ගල් ගහන්නේ නෑ කියලා. ගමේ ගියාම ගහන්නෙම ඒක. ඔය අල ජාති වලට නම් එච්චර කැමත්තක් නෑ.. නමුත් ඉතින් අල බස්සන වැඩේට නම් මාර මනාපයි.

    ReplyDelete
    Replies
    1. අල බැස්සම තියෙන අමාරුව අපි නේ දන්නේ.. හැක්.. ඒක තමා මේ දවස් කුරුල්ලෙක් වගේ එහේ මෙහේ සැරි සරනවා කියල ආරංචි උනේ.. හැක්

      Delete
    2. උඹේ කොහිල කොටුවෙ කතාව මම කියවල තියෙනවා.වවන එක මටත් මහ පළවෙනි.වැවිල්ල පටන් ගද්දි අපටත් කියපං.අලයක් බස්සන්න උදව් කරන්න වත් බැරුවයැ.

      Delete
    3. දූසකයෝ,
      බොටත් අල බැහැල කියලයි මට ආරංචි උනේ.

      Delete
    4. දූසකයෝ,
      බොටත් අල බැහැල කියලයි මට ආරංචි උනේ.

      Delete
  21. කඩේ කෑම එක නම් නෙද්දකින්ය. උඹේ පොස්ට් එක කියවා උට බැන බැන දහවල් ආහාරය ගත්තෙමි

    ReplyDelete
    Replies
    1. මොනා කරන්නද බං.අපි එළවළුවක් දෙකක් මැල්ලුමක් කාල හිටියට උඹට එහෙම බෑනෙ.කෑම ටික ලේ රසට එපායැ.

      Delete
  22. හැලපෙගෙ කතා කියවනකොට මට මතක්වෙන්නෙ ඉස්සර නවයුගය සඟරාවෙ තිබ්බ ගමේ කොල්ලා කියන කොටස් වශයෙන් පල උන නව කතාව. ලිව්වෙ අමරලාල් එන් ගමගේ කියල මහත්තයෙක්. මං හරි ආසාවෙන් කියෙව්වෙ.

    ReplyDelete
    Replies
    1. මේ නවකතාව මට මතක නෑ සරත්.මොකද මම නවයුගයට ගොඩක් ඇබ්බැහි උනේ පත්තරයක් වශයෙන් තිබ්බ කාලෙදියි.එතකොට සඟරාව ඉවරයි.

      Delete
  23. මේවා කියවනකොට අමාරුවෙන් යටපත් කරගෙන ඉන්න කේන්තියක් පිට පනිනවා හැලපයියේ.. දැන් ඉන්න වෙලෙන්දෝ කියන හැතිකරේට හෙන ගහනව අපිට වස කවනවට.. හරියට ඉදිච්චි අඹ ගෙඩියක් කෙහෙල් ගෙඩියක් කන්න නැති උනානේ අපේ පොඩි උන්ට.. වවාගෙන කනව කියන එක හැමෝටම කරන්න පුළුවන් මගුලක් නෙවෙයිනේ.. දැන් පොඩි උන් දන්නවනම් උන් අපේ ළමා කාලෙට ඉරිසියා කරනවා..

    ReplyDelete
    Replies
    1. අපි මෙහෙන් එකපාරක් අඹ දීල පොඩි එකාට බඩයන්න ගට්ත නිසා අඹ කෑම නවත්තල තිබ්බෙ. මං හිතන්නෙ පෙස්ටිසයිඩ් සැරට. මොකද අඹ කියන්නෙ වැඩිපුඅරම බෙහෙත් ගහන ගෙඩියක්, එන්නෙත් පකිස්තානෙන් ඉන්දියාවෙන්නෙ. හැබැයි ලඟකදි වැඩේට් නියම විකල්පයක් ලැබුන. හැලපෙටත් ට්‍රයි කරන්න පුළුවන්.

      ලුලු ( සුපර්මාක්ට් එකකි ) එකේ තියෙනව උයන්න ගන්න කේරළ අඹ. ඒවගෙන් පැහිච්ච ගෙනත්, ඉදවල ගන්න. බෙහෙත් නෑ, නියම රස!

      Delete
    2. ඇයි ඉන්දික ලුලූ එකෙ තියෙන අල්පොන්සෝ..ලෝකේ තියෙන රසම අඹ ජාතිය. මම ඇට ගෙනල්ලා ගස් හයක් හදාගෙන තීනවා, තව අවුරුද්දකින් විතර පීදෙන උස...අපේ හිටියා ගුලාබ්සි කියලා අල් තුර්කි කියන කන්ස්ට්‍රක්ෂන් කම්පැනි එකේ චෙයාමන් බුවා, මිනිහාට තීනවා ඉන්දියාවේ මැන්ගෝ ඔචාර්ඩ් එකක්,,,හැම අප්‍රේල් වලටම අපිට ස්පෙෂල් ඩිලිවරි එකක් එනවා ඕමාන්වලට එකාට අඹ පෙට්ටිය ගානේ. එහෙම් ආපු සෙට් එකකින් තමයි මම පැල හැදුවේ...

      Delete
    3. අඹ මතක් කරන්න එපා අනේ. මම කාලෙකින් අඹ කෑවේ නෑ.

      මටත් ඉන්දියන් හෝ පකිස්තාන් අඹ හම්බවෙනවා කහපාට එකක්. චෙපෑකි කීව නම තමයි. එෆෝඩබල් ප්‍රයිස් වලට ඒවා මෙහෙත් ගන්නත් පුළුවන්.
      එක දවසක් අඹ කන්න අපි දඹුල්ලේ ගියා. ඇයි බෙහෙත් නොගහන අඹ එන්නේ එහෙන් කියලා කවුද කීව හින්දා. අනේ එහේ මිනිස්සු මට අඹ වික්කේ දෙසීයට ගෙඩියක්. සාමාන්‍ය සයිස් ගෙඩියක් 120ටද කොහෙද. ආයෙත් එදයින් එදා මම අඹ නිකම් දුන්නත් කන්නේ නෑ කියලා හිතාගෙන ඉන්නෙ. කොළඹ ඊට අඩුවෙන් හොයාගන්න පුළුවන් හොඳ අඹ.

      Delete
    4. අපේ (ෆාදර්) අල්පොන්සෝ ලගේ වත්තෙත් (පල්ලිය වත්තේ) තියෙනව පට්ට කොහු අඹ ගස් ටිකක්.. ලොවෙත් නෑ ගහේ ඉදිච්චි කොහු අඹයක් කනව තරං රහක් නං.. ඉස්සරනම් වැටෙන් පැනල ගිහින් පොලු ගහල කඩාගෙන එනව.. දැන් ඉතින් බෑනේ ලොකු මිනිස්සු නිසා.. ඉඳල හිටල ඇල්ල වැල්ලවාය පාරෙ ගෙවල් ඉස්සරහා එවෙලේ කඩපු අඹ ගෝනි විකුනන්න තියෙනවා දැක්කොත් ගෝනියක් දෙකක් දගෙන ඇවිත් සුමානයක් හමාරක් අඹම කනවා.. වෙන නම් විස්වාසෙට අඹ ගෙඩියක් කෙහෙල් ගෙඩියක් ගන්න තැනක් දැන් නෑ..

      Delete
    5. ඇත්තටම කමියෝ අපි කුඩා කාලෙ කාපු දේවලින් කීයෙන් කීයද අද පොඩි උන්ට කන්න තියෙන්නෙ.මම නං අඹ ගස් දෙකතුනක් වවාගෙන ඉන්නව එහෙම නැතුව බය නැතුව කන්න පළතුරක් අද කඩේ ගන්න නැහැනෙ.

      Delete
    6. ඉන්දික,
      ඔය උයන්න ගෙනා අඹ ලුලූ එකේ මම දැකල තියෙනවා.ට්‍රයි කරල බලන්නං.

      Delete
    7. චෙපාකි,
      අපි අනික් සැරේ ලංකාවට ආවහම චෙපාකිගේ අල්පොන්සෝ කන්න පුළුවන් වේවි.

      Delete
    8. චෙෆාකි,

      අර වැඩෙන් පස්සෙ කිසිම අඹපොන්සයෙක් දිහා බැලුවෙ නෑ බං භයටම. දන්නවනෙ ගෙදර උන්දැට මම නිකං කිව්වම, "ආ.. මේ අඹ හොඳයි පොඩ්ඩක් ට්‍රයි කරමුද" කියල.. "හරි ගන්න, සූදුරු බදින්න, ක්‍රිම්‍රාජ දියකරන්න හරි නැත්තන් ඉස්පිරිතාලෙ යන්න හරි උනොත් ඒවට ලුලූ එකේම අයට එන්න කියන්න කලිම්ම" කියනව. ඉතින් මොන අඹද.

      Delete
  24. හැලපයෝ... උඹ පොඩ්ඩක් දොත්තර කෙනෙක් ගාවට පලයං.. මොකද පහුගිය ටික දිනේක ඉදල උඹගේ මොලේ වයර් මාරු වෙලා.. නැත්නං අර යස අගේට කෑලි කෑලි පුට්ටු කරපු ඒවා නවත්තල එක දිගට කතාව දෙන්නෙ කෝමද?? හැක්..


    බොට කියන්න බං මම තාමත් ඔය වැංජන වල හට්ටි පතුලට බත් දාගෙන ගිලිනවා. අන්න ඒවා තමා දිව්‍ය ලෝක රහ නැතිව කුකුලළ නෙමෙයි.. හැක්..

    ReplyDelete
    Replies
    1. වයර් මාරුවෙලා වෙන්න ඇති බං.දැන් ලියවෙන්නෙ මේ විදිහටනෙ.
      උඹ ලිබ්බොක්කේ ඉඳගෙන හට්ටියේ අතුල්ලගෙන බත් ගිලිනවා මට මැවිල පේනවා බං.

      Delete
  25. අපේ වත්තෙත් තියනවා හුළංකීරිය. දම්පාට දන්දිල (මේකෙ සුදුපාට එකකුත් තියෙනවා). මම මේ ඉරිදා පොළෙන් ගත්තා කිරිඅල (ගහල) ග්‍රෑම් පන්සීය රුපියල් 100යි.

    ReplyDelete
    Replies
    1. හුළං කීරිය අපේ වත්තෙත් තිබුණා දැන් නෑ.දම්පාට ඒවට කියන්නෙ දන්දිලද?

      Delete
  26. කට අවුස්සන්න එපා බං හැලපයියේ.:(
    මැල්ලුමක් එක්ක බත් කන්න අපිත් මනාපයි.උරුමසුයි මඤ්ඤොක්කයි කිව්වාම මට වෙච්චි මරු කතාවක් මතක් වුණා.
    අනුරාධපුරේටත් එහා "සීප්පුකුලම"කියන ගමේ අපේ මාමා කෙනෙක් ඉන්නවා.ඒ වත්ත පුරාමත් මේ විදියට වවලා තියෙන්නේ.කිසිම රසායනිකයක්,තෙලක් ගහන්නේ නැහැ.ඒ නැවුම් එළවලු,පළතුරු වල පුදුම රසක් තියෙන්නේ.එව්වත් මතක් වුණා මේකෙන්.

    ReplyDelete
    Replies
    1. ඉතිං මනෝජ් මරු කතාව බ්ලොග් පෝස්ට් එකක් හැටියට ලිව්වනං නරකද?

      Delete
  27. අනෙ අම්මෝ බං හැලපයියෙ දැක්ක කල්... කාලෙකින් කියෙව්වෙ මාරම පෝස්ටුවක් තමා. ඒ කාලෙ අපේ උදවිය මොනව උනත් හොඳට කෑවා, නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඒක තමා මටත් කියන්න තියෙන්නෙ ඩ්‍රැකියෝ.කොහෙද අප්පා මෙච්චර කල් ගිහිං හිටියෙ.

      Delete
  28. කටට කෙල උනන පොස්ට් එකක් ....කිතුල් රා සමග අමුමිරිස් කරලක් තිබුනත් ඇති හැලපයියේ ...

    වැල් මී වැල් හිඹුටු වීර
    වැව් ඉවුරෙන් ඇස නොගැසේ
    නුඹ කොතැනේ මා කොතැනේ
    ගම කොතැනේ කියනු මැනේ...

    ගඟේ ඉහළ රිදී දියේ
    නුඹගේ බඳ තෙමී තෙමී
    හැමූ සුවඳ ගඟේ පහළ
    ඇලේ දොළේ ඉස්මතු වී
    රටින් පුයර නො ගෑ මුවේ
    හඳුන් කැටේ පිරිමැදුනේ
    ඒ රස යුවතිය ම නොවෙද
    රට හැර දා නොරට ගියේ...

    පැල් කවියේ රස තවමත්
    බුලතේ රස සමඟ නොයේ
    පන්සල් බිම ගඳකිළියේ
    ඒ නාමල් සුවඳ නොදේ
    උළු තියලා හදා මොටද
    අපෙ පොල් අතු ඉස්කෝලේ
    ගමේ සුවඳ ගමට හොරෙන්
    ඇයි දුරු රට අරං ගියේ...


    පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
    තනුව සහ සංගීතය : සෝමපාල රත්නායක
    ගායනය : එඩ්වඩ් ජයකොඩි

    ReplyDelete
    Replies
    1. අපොයි සින්දු ඇනෝ කියනකොටත් කට දිව තෙත් වෙනවා.අපි ඉතිං කිතුල් ගහනකොට මහලොකුවට බයිට් කෑවෙ නැහැනෙ.සිංදුවට බොහොම ස්තූතියි.

      Delete
  29. අර කොන්ක්‍රීට් දාපු ඇළ ගොවිජනසේවා එකෙන් හදාපු එකක්ද බං? නැත්තං වාරිමාර්ගෙන්ද?

    කුකුළල, රාජල, ඉන්නල ගැන කිව්වම මතක් වුනේ......උඩල උඹ කාල තියනවද?

    ReplyDelete
    Replies
    1. ඔන්න බලපන් මෙච්චර දේවල් තියෙද්දී උඹට පෙනුන එක.මම කතාවක් කියන්නං.
      දැනට අවුරුදු කීපෙකට උඩදී අපිත් එක්ක වැඩකරපු කොල්ලෙක්ගෙ නංගි කෙනෙක් මළා.මළගෙදර අපි කට්ටිය ඔෆිස් එකේ වාහනයකින් ගියා.මරණෙ තිබුනෙ පේරාදෙනියෙ කැම්පස් එක ඇතුලෙ ක්වාටස් එකක.එළි පහලියෙ වැඩි වෙලා ඉඳන් ඉන්න බෑ කූඩැල්ලෝ කකුලට ගොඩවෙනවා.උඹ මට වඩා හොඳට දන්නවනෙ.අපිත් එක්ක ගිය ඉස්තිරියාවකගේ මහත්තයෙක් ඒ හදිස්සියට ටකරමකින් වහල තිබ්බ එකක් පහුරු ගාල එහෙම මොනවද බලනවා.බැලුවෙ ගෙදරට වතුර දෙන ලයින් එකයි මීටරෙයි දිහාව.මූ ජල සම්පාදන මණ්ඩලයේ ඉංජිනේරුවෙක්.උඹත් අන්න ඒ වගෙයි.
      ඉතිං ඔය සාවිය මහවැලි යෝජනා ක්‍රමයට අහුවෙන්නෙ නැති නිසා ඇළ හදන්න ඇත්තෙ ගොවිජන සේවා හෝ වාරිමාර්ග එකෙන් කියල මට ෂුවර්.හම්බවෙච්ච වෙලාවක රැවුල ගෙන් අහන්නං.අනික බං ඔය පළාත අත්තනගල්ල ආසනයේ මැද චන්ද්‍රිකාගේ හොඳ හන්ටිං ග්‍රවුන්ඩ් එකක්.ඒ ඇත්ති බලයෙ ඉන්න සංදියේ ඇළ හදන්න ඇති.

      Delete
    2. ආ අමතක් උනා මම නං උඩල කාල නෑ.කොඬොල් නං කාල තියෙනවා.උඩල උඹ ගාව තියෙනවනං මටත් ටිකක් දීපං.

      Delete
  30. උඹ කුකුළල කන විදියෙන් කාන්තා අයිතිවාසිකම් උල්ලංඝනය වෙලා, පුරුෂාධිපත්‍යය රජ වෙලා හෙන ජංජාලයක් වෙන්නේ නැද්ද මචං?

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව මචං.මමත් මේ වනිතා හඬ වචනයක් කියනකං බලං ඉන්නේ බං.කෝ ඒ නෝනා ආගිය අතක් නෑනෙ.

      Delete
  31. සෙක් උබල බඩගිනි හැදෙන්නම නේ ලියන්නෙ.සම්පුර්න වැරදියි.ඔය හාල් ගන්න මොලට ගියාම අනික් වුන් පරන හාල් හොයද්දි මම හොයන්නෙ අලුත් හාල්.පරන හාල් නිකන් පිදුරු වගෙ.මෙලො රහක් නැ

    ReplyDelete
    Replies
    1. උඹ කියන කතාව සම්පූර්ණ ඇත්ත.පරණ හාල් කියල මෙතන අදහස් කරන්නෙ පරණ වර්ගවල හාල්.නැතුව වරද්දාගෙන පරණ ඉස්ටොක් කාල බඩේ අමාරු හදාගන්න එපා.

      Delete
  32. ඔන්න ඔව්වා ලියපන් බං හැලපේ... ටවුමට වෙලා ඉන්නකොට ගමේකම දැනෙන්න මේ වගේ ලිපියක් කියෙව්වම ආපහු ගමේ දුවන්න හිතෙනවා...
    ගිය සතියේ ගමේ ගිහින් වල් ඌරු මාංසය වේල් තුනක් කෑවා... හෙහ්...
    මම ගමේ යන්න කලින් දවසේ ගොයම් කපලා තිබුනා. වැහි බීරුමක් නිසා දවස් දෙකක්ම වී වේලා ගන්න බැරුව හෙන කට්ටක් කෑවා...
    ආපහු කොළඹ ආවට පස්සේ ඇඟේ පතේ අමාරුව ඔසෙට...

    අල වර්ග වලින් මමත් කුකුළල හිඟුරල වලට මනාපයි. හුළංකීරිය ඒවත් මරු...
    මම තව ආසම සීන් එකක් තමයි රෑ උයපු වල් ඌරා සමග කිරි බත්...
    පික්ෂු හැදෙනවා...

    ReplyDelete
    Replies
    1. අම්මෝ කොලදිමක් වැස්සට අහුවුනාම තියෙන සනීපෙ කියල වැඩක් නෑ බං.මොනවා උනත් ගමේ ගියාම තියෙන සතුට ලිවිල්ලෙන් පේනවා.ජයවේවා.

      Delete
  33. අයියෝ හැලප අයියේ.. ලියන ඉස්ටැයිල් එක මාරු කරන්න එපා. ඒක ඔබටම කොපි රයිට් තියෙන ඉස්ටැයිල් එක.

    කඩේ තියෙන කොහිල අල සම්පූර්ණයෙන් විෂ අල කියලා ලගදි කියෙව්වා. කුඹුරට හරි කොරටුවට හරි ගහන බෙහෙත් ඔක්කොම හෝදාගෙන ඇවිල්ලා එකතුවෙන වලේනෙ කොහිල හැදෙන්නේ.

    අද නම් ආර්පිකො එකෙන් හරි අරන් ගිහිල්ලා රෑට පෝර්ක් කරියක් සැරට හදනවමයි..

    ReplyDelete
    Replies
    1. අපොයි නෑ.ඉස්ටැයිල් එක මාරු කරන්න හිතුවේ නෑ.මේ නිකං චේන්ජ් එකකට.අර හැමදාම බුරියානි කන එකා චේන්ජ් එකකට රයිස් ඇන්ඩ් කරි කනවා වගේ.
      එහෙනං අපිත් මතක් කරලා පෝක් කරිය සප්පායම් වෙන්නකෝ.

      Delete
  34. අද සුද්දො තමන්ගෙ පරම්පරා කෑමක් වගේ කන, අපිටත් නැතුවම බැරි "අර්තාපල්" අල මුලිම්ම කාල තීන්නෙ පේරු රටේ ඉන්කා වරු. ස්පාඤ්ඤකාරයො තමා පන්සිය ගණන්වල ඕක යුරෝපෙට ගෙනාව කියන්නෙ. මගේ ප්‍රියතම අලයත් ඒ පොටේටො තමා. ඒත් එක්කො ජරුමන්, නැත්තන් සිරි ලංකන්. ඉන් පස්සෙ ආසම ඉන්නල. ඔය උඹ කිව්ව කුකුළල, උඩ අල යට අල ඉඳ හිට කෑවට කොහෙ හරි දිහාවකදි හම්බුවෙලා, එහෙමට මතක හිටින්න තරම් රහට කාලම නෑ!

    ඒක ඉතින් අපේ නරක වෙලාව මිසක් වෙන දෙයක් නෙමේ. නරක වෙලාව කිව්වම, මට හම්බුවෙච්චි කුඹුරු තීනව අම්මගෙ ගමේ. ඒව බිම්පංගුවට කරන්න කට්ටියකට දීල තියෙන්නෙ. නිවාඩුවට ගියාම වී ටිකක් ගේන්න යන්න හිතන් උන්නට අවුරුදු දෙකකින් පලාතෙ ගියෙ නෑ. අපි පොඩි කාලෙ කෑවෙම ඒ බත්. රතුම රතුයි, මාර කිරි රහ හාල්. එකපාරක් මම කිලෝ තිහක් විතර මෙහෙත් ගෙනාව. මේ පාරවත් ආයි යන්න බලන්නෝන.

    ReplyDelete
    Replies
    1. දැන් ගොයම් කපන කාලේ...දැන්ම ඕඩර් එක දාලා තියහන් ආවාම ගෙනියන්න...කිලෝ තිහක් ගෙනියනකොට එයාර්පොර්ට් එකෙන් එක්ස්පොර්ට් ටැකස් ගහන්නේ නැද්ද බං....

      Delete
    2. චෙපෑකි, මම අපේ මල්ලිට ඊයේ පෙරේදා කීවා මට රතු හාල් එවන්න කියලා. මේ දවස් වල මට දොස්තර කන්න කියලා තියෙන්නේ ඔක්කොම රෝ ෆූඩ්. මල්ලි ගත්ත ගමන් මට කියනවා ලැජ්ජ නැද්ද හලෝ හාල් කිලෝ එකක් දෙකක් එවන්න කියලා. ;)
      මම ලංකාවෙන් හැමදාම බෑගේජ් දාද්දි එයා ලයින් එකේ හැමෝම අහන දේ තමයි ඇයි පළතුරු විතරක් ගෙනියන්නේ කියලා. මගෙ කිලෝ තිහට අමතරව (මගේ ඇඳුනුයි සපත්තුයි දැම්මාම) ඉතිරි ඒවා මම ගේන්නේ පළතුරු හා තේ.
      දැන් ඉතින් නිවාඩු ආවේ නෑ නේ කාලෙකින්. මෙහෙට වෙලා චොර වෙවී ඉන්නවා :)

      Delete
    3. එහෙනං ඊළඟ සැරේ හරි පූසාට කටට රහට වැල් අල කන්නට ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.

      Delete
    4. ඇයි චෙපාකි ඕකා ෆැමිලි එක පිටින්ම යනකොට බැගේජ් එලවන්ස් එක කිලෝ 90-120 ක් ඉතර තියෙනවනෙ.

      Delete
    5. රංගි,
      ඉතිං මේ සැරේ ඇවිත් ඇරියස් ඔක්කොම අල්ලන්න.

      Delete
    6. චෙෆාකි, ගොයම් කපල දැන් කන්න හතරක විතර වී ගත්තෙ නෑ. මේපාරවත් ගිහින් ගේන්න ඕන. මෙහෙමනෙ, අපේ පවුලෙ හතරදෙනාගෙයි වැඩ කරන මනුස්සයගෙයි, සේරම එකතුව කිලෝ 150යි. ඒ හෑන්ඩ් ලගේජ් නැතුවනෙ බං. ඉතින් මොනාද කුරිඤ්ඤං කොලයි, බයිට් මුරුක්කුයි, තල ගුලි/බෝලයි, මෝනිස් රස්ක්නුයි, චීස් බට්න්ස්නුයි, හෝම් මේඩ් කළු දොදොළුයි, තව මෙකී නොකී දේශීය කෑම ජාති මහ ගොඩක් එක්ක හාල් 30 විතරයි නිකම්ම බහිනව...හෙහ්..හෙහ්..

      Delete
  35. මේ ලිපිය කියවද්දි අරූ අයියගෙ ශෛලිය තමයි මට මතක් උනේ...කිතුල් රා මුට්ටියක් දකිනකොටත්...මී මුරේ ගිහින් හොරෙන් බිව්ව රා තමයි මතක් වෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. මේ දවස්වල අරූ ලියන්නෙ නෑනෙ බං.මම ඒ අඩුපාඩුව පොඩ්ඩක් පිරිමහන්න බැලුවා.

      Delete

ඔබේ අදහස්