Sunday, November 3, 2013

100.කාරතිව්වල කරෝල වාඩිය සහ වාලම්පුරි



 අපි පොඩිකාලෙ තනියම එහෙ මෙහෙ යන්න හදද්දී දෙමව්පිය වැඩිහිටියො අපිව බයකරනව,බිල්ලො අල්ලං යයි එහෙම නැත්නං සන්නාසි ගෙනියයි කියල...

බිල්ලොයි සන්නාසියොයි පොඩි ළමයින්ව අල්ලගෙන යන්නෙ කරෝල වාඩිවලටලු එහෙම ගෙනියන ළමයින්ගෙන් වාල්ලුන්ගෙන් වගේ වැඩ ගන්නවලු වැඩ කලේ නැත්නං මඩු වලිගෙන් තලනවලු...ඔන්න ඔය වගේ කතා ඒ දවස්වල හරියට කියවුනා...මෙව්වා වැඩිහරියක් අතිශයෝක්තියෙන් යුතුව ගොඩනැගුනු කතා වුනත් ඉඳල හිටල කියවෙන කතාවක කිසියම් ඇත්තකුත් තිබුණා මොකද පොඩි ළමයින් පැහැරගෙන යාම රටේ සමහර  තැන්වලදී සිදුවෙලා තිබුණ නිසා ...

ළමයින්ව පැහැර ගැනීම පසුබිම් කරගෙන රොඩ්නි ජොන්ක්ලාස් මහතා වාලම්පුරි කියල නවකතාවක් ලිව්වා  ඒ පොතට වස්තු විෂය වෙලා තිබුනෙ කඳුකර ගමකින්  පැහැර ගන්නා කුඩා දරුවෙක්ව කරවල වාඩියකට විකිණීම ගැන සහ ඊට පස්සෙ සිදුවෙන දේවල් ගැන...

පසුකාලීනව අසූවෙ දසකයේදී වගේ මේ වාලම්පුරි නවකතාව ඒ නමින්ම චිත්‍රපටයකටත් නැගෙද්දී  විජය ගීතා දෙපොල ප්‍රධාන චරිත රඟපෑවා...

වාලම්පුරිය කියන්නෙ හක්ගෙඩියක්,සාමාන්‍යයෙන් හක්ගෙඩි දක්ෂිණාවෘතව කැරකිලා තියෙනව අපට දකින්නට පුළුවන්...නමුත් ඔය හක්බෙල්ලන් අතරේ දස දහස් ගණනකට එකක් විතර වාමාවෘතව කැරකිලා හැදෙනවා...ඇත්තෙන්ම ඒ ස්වභාව ධර්මයේ විකෘතියක් වුනත් හින්දු භක්තිකයන් මේ වාමාවෘත හක්ගෙඩිය වාලම්පුරි යනුවෙන් නම්කර පූජනීයත්වයෙන් සලකනවා...දක්ෂිණාවෘත හක්ගෙඩිය හඳුන්වන්නෙ එඩම්පුරි නමින්...
වාලම්පුරිය ඇති තැනට  සැප සම්පත් ධන ධාන්‍ය ආදී සියළුම දේවල් කිසිම ආයාසයකින් තොරව ලැබෙනවා යයි හින්දු භක්තිකයින් තදින්ම විශ්වාස කරනවා...

ඉතිං මේ වාලම්පුරි නවකතාවේදීත් කරවල වාඩියකට විකුණනු ලබන කුඩා ළමයා පසුව එයින් මිදිලා ගිහිං මූදෙ කිමිදිලා හක්බෙල්ලන්  ගොඩ දමන කණ්ඩායමකට එකතුවෙලා පසු කාලෙක වාලම්පුරියක් හොයා ගන්නා ආකාරය විස්තර වෙනවා...

කරෝල වාඩියක් ගැන මගේ හිතවතෙක් පහුගිය දවසක මට කියපු කතාවක් නිසා මට මේ වාලම්පුරි කතාව මතකයට නැගුනා...මගේ මිත්‍රයා ඇත්තෙන්ම කරෝල වාඩියක වැඩ කරපු කෙනෙක්, ඔහුව නං පැහැරගෙන ගිහිං නෑ, ඔහු විසින්ම කරෝල වාඩියට ගිහිං වැඩ කරපු හැටි ගැන කතා  කීපයක් මට දවස් කීපයකදී කිව්වා...ඒ කතා අහගෙන හිටපු මම කල්පනා කලේ ඔහු කියන දේවලින් මට ලියන්න යමක් හොයාගන්න පුලුවනිද කියන එක...

කතාව කියාගෙන යන්න මගේ මිත්‍රයට නමකුත් දෙන්න ඕනැනෙ අපි ඔහුට නෙවිල් පෙරේරා කියල කියමු...

නෙවිල් මට ඔය ටික ලියල දෙන්න බැරිද...

මට ඕවා ලියන හැටි තේරෙන්නෙ නෑ ඕනෑ නං ලියාගන්න...

හැත්තෑව දශකයෙ රට ගිණිගනිමින් තිබුණු එක් අවුරුද්දක නෙවිල් සාමාන්‍යපෙළ විභාගයට වාඩිවුනා, රටේ පැවතුනු තත්වය අනුව ප්‍රතිපල එනතුරු ඔහු ගෙදර නවතින එකට ගෙදර වැඩිහිටියන් කැමතිවුනේ නෑ...තරුණයන් දඩයම් කිරීම ඒ කාලෙත් ජයටම සිදුවුණු නිසා දෙමව්පියන්ගෙ අදහස උනේ නෙවිල්ව ගෙදරින් පිටකරන්නයි...

නෙවිල්ව වෙන කොහෙවත් යවන්න එපා මගෙ ලඟට එවන්න...

පමුණුගම ධනවත් ව්‍යාපාරිකයෙක් වූ ඔහුගෙ මාම කෙනෙක් එහෙම කියල එව්වා...ජෝන් ෆ්‍රෙඩ්රික් ක්ලැරන්ස් ජයමාන්න නම් වූ ඔහුගෙ ව්‍යාපාරවල අඬු බඬු රටේ කිහිප අතකටම විහිදිලා තිබුණා...එක ව්‍යාපාරයක් වුණේ කරවල වේලීම...මාමලගෙ ගෙදර ගිය නෙවිල්ව පහුවදාම කල්පිටියට එපිටින් මූද මැද තිබුණු දූපතකට අරගෙන ගියා...

කල්පිටිය අර්ධද්වීපයට එපිටින් ඇති දූපත් දාහතරෙන් එකක්වූ මේ දූපතේ නම කාරදූව හෙවත් කාරතිව්, මෙන්න මේ දූපතේ නෙවිල්ලගෙ  මාමට අයිති  මාදැලක් තිබුණා ඒ මාදැලට අමතරව තවත් මාදැල් තුනක් දූපතේ තිබුණා...

ඩේවිඩ් මුදලාලිගෙ මාදැල
ලියෝ තිසේරාගේ මාදැල
මට්ටකොටුවෙ රාළහාමිගෙ මාදැල

ඔක්කොම මාදැල් හතරයි නෙවිල් ගිය මාදැලේ ධීවරයො දහඅටක් විස්සක් විතර හිටිය ඒ ඔක්කොම අය පමුණුගම පැත්තෙන් ගියපු ධීවරයො...මාදැල් වාඩියේ වැඩකටයුතු බලාගත්තෙ ලියන මහත්තය කියල කෙනෙක්, නෙවිල්ට  දූපතෙන් කොළඹ එවන කරෝලවල  ගණන් හිලව් තබාගැනීමේ රාජකාරිය බාරවුනා...

ඒ හරියෙ තිබුණු විශාල දූපත් දෙක වෙච්චි බත්තලන්ගුණ්ඩුව හෙවත් ගුණ්ඩුව සහ පල්ලියවත්ත කියන දූපත්වල කරවල ව්‍යාපාරය මහා පරිමාණයෙන් කෙරෙන්නෙ නැහැ, ඒ දූපත්වල අල්ලන මාළු ඔක්කොම අයිස් දාල කොළඹ යවනව...

කාරදූව අක්කර විසිඅටක් විතර විශාලයි මාදැල් වාඩිවල වැඩකරපු අයට අමතරව මීගමු පළාතෙන් දූපතට පවුල් පිටින් ගිහිල්ල පදිංචිවෙලා මූදු රස්සාව කරපු පවුල් කීපයකුත් හිටියා...ඔවුන්ගෙ පොල් අතු ගෙවල් එක තැනක තියාගන්න අමාරුයි කාලෙන් කාලෙට දූපතේ දෙපැත්ත මූදු කන නිසා එක පැත්තක් මූදු කනකොට ගෙවල් අනික් පැත්තෙන් අටවගනිමින් ඔවුන් ජීවත්වුනා...

මේ ධීවර පවුල් සහ මාදැල් ධීවරයන් අතර හොඳ සහජීවනයක් ඇතිවෙලා තිබුණා මාදැලට බහුලව අහුනොවෙන මාළු ඒ කියන්නෙ එකා දෙන්න අහුවෙන මාළු මේ ධීවරයන්ට මාදැලෙන් ලබාදෙනවා ඔවුන් ඒ මාළු වේලල කරවල කරනව ඒ කරවල ගෙනියන්න මීගමුවෙන් කරවල මුදලාලිලා කාලෙන් කාලෙට දූපතට ඇවිත් යන එක සිරිතක් ...

දූපතට අරක්කු ගේන ඒ මුදලාලිල ධීවරයන්ට බොන්න දීල ඒ ගෙවල් වල  ගෑණු හරි කෙල්ලො හරි එක්කත් සැතපිලා කරෝලත් අරං යන එක සාමාන්‍ය දෙයක්...ඒ සහජීවනයම දැල්වාඩිවල ධීවරයනුත් භුක්තිවින්දා...අවස්ථාව අනුව හදිස්සියක්ම නං දොරමුල්ලේ හිටගෙන හරි සේවය සපයන්නට කෙල්ලන් පසුබට වුණේ නෑ...

දවස ගානෙ උදේට අපේ මාදැල  වටකෙරුවා...දැල එලාගෙන ගියාම දැල් අදින මිනිස්සුන්ගෙ පරතරේ කිලෝමීටරයක් විතර... දැල ගොඩ එනකොට පරතරේ ටිකෙන් ටික අඩුවෙලා එක තැනකට එනවා, දැල බලාගන්න මිනිහා මංඩාඩි දැල පස්සෙන් ඔරුවක එනව...මංඩාඩි දැලේ මඩිය මඩ කාගෙන නොයන්න උඩින් තියාගන්න ඕනෑ මඩිය මඩ යට ගියොත් මාළු අඩුයි...

වැඩිපුරම අපි වේලුවේ කට්ටා තෝරු පරව් හාල්මැස්සෝ කාරල්ලො, එක දැලකට හාල්මැස්සෝ කිලෝ සීය හමාර අහුවෙන දවස් තියෙනව...කෑමට ගත්තෙ බල කෙලවල්ලෝ වගේ රතු මාළු, තෝරු පරව් ගණන් ගත්තෙ නෑ... දැලේ පැටලිලා එන  ඉස්සො පොකිරිස්සෝ වගේ උන්  මට වෙනම හදල දෙනවා,තුන් වේලටම කන්න ලැබුනෙ බතුයි මාළුයි මොනම එළවලුවක්වත් නෑ මාළුවලට අමතරව පරිප්පු තිබුණා...මාළු නං මිරිසට උයල කිරට උයල බැදල තෙල්දාල වගේ හැම විදියකටම හදනව...
 
උදේට දැල ගොඩ ඇදල ඉවර උනාම වාඩියේ වැඩකරපු හැම කෙනාම මිරිසට උයපු මාළුයි කටදන්න හදල දෙහි ඇඹුල් දාපු පොල් සම්බෝලයි  එක්ක උණු උණුවෙ දුම්දමන සම්බ බත් මහ ගොඩක් හායි හූයි ගගා කනව, මම වෙන්න ඇති අඩුවෙන්ම කාපු එකා...

කෑම කාල ඉවරවෙලා ලොකු මාළු පලල ලුණුවතුර ඔරුවක දාල ලුණු අල්ලන්න ඇරල වේලෙන්න වැල්ලට දානව පොඩි මාළු නං ලුනුවතුරේ දාල එහෙම්මම වේලෙන්න දානව...ලුනුවතුර ඔරුවේ දාල ගත්ත කාරල්ලො වාඩියේ අය කිරට උයනව පුදුම රසක්...

අපේ වාඩියේ කරවල පැටෙව්වෙ කොළඹ කුමාරසිංහ මුදලාලිට, වේලපු කරෝල සිප්පම්  වලට බඳිනවා  කරෝල මිටිය වියාපු පොල් අතු වලින් ඔතල කොහු ලණු වලින් බැන්දම සිප්පම කියනවා...සිප්පමේ බර කිරල මුදලාලි එවල තියෙන කාඩ් එකක ඒ බර ලියල සිප්පමේ ගහනව...සිප්පම් කොච්චර පැටෙව්වද කියල වාඩියේ අයිතිකාරයටත් දන්වනවා...

වාඩියේ කෑමට හාල් පොල් පරිප්පු තෙල් එහෙම   එවනකොටම සිප්පම් ඔතන්න පොල් අතු කොහුලණු එහෙම කුමාරසිංහ මුදලාලි ලොරියෙ  පටෝල වාඩියට එවනවා අපි කරන්නෙ කරෝල සිප්පම් පටවල යවන එක විතරයි , මුදලාලිල දෙන්න ගණන් හිලව් බේරගන්නව...

නාගන්න ඕනෑවුනාම මූදට පැනල ඇතිවෙන්න නාගෙන ගොඩඇවිත් බෙලෙක් පිඟානකින් වැල්ලෙ වලක් හාරල උනන වතුර ටිකෙන් ලුණු හෝදගන්නව...බොන්න වතුර ගන්නෙත් එහෙමමයි වැල්ලෙ හාරන වලට උනන වතුර ගෙනත් උණුකරල ගන්නව...උණුකලාට බොන්න අමාරුයි හරිම කිවුල...

දූපතේ ගිනි අව්ව උනාට මූදු හුළං නිසා අව්ව ගානක් නෑ හැබැයි ගජරාමෙට කලුවෙනව,හවස ඉර බැහැගෙන යනකොට මම වැල්ලෙ ඇවිදින්න යනව ගෙවල්වල ඉන්න කෙල්ලො කීපදෙනත් වෙරළට  එන්නෙ ඒ වෙලාවට තමා...

වාඩියේ වැඩකරන අයට හැම සතියෙම පඩි බේරනවා ඒකට කියන්නෙ සුමාන කාසි ගෙවනව කියල...සුමානෙට කීයද ඉතිං ඒ දවස්වල රුපියල් හැටයි හැත්තෑවයි ඒකෙනුත්  ඒ මිනිස්සු  ලියන මහත්තයගෙන් බීඩි මිටි එහෙම ඉල්ල ගත්තු සල්ලිත් අඩුකරලයි ගණන් බේරන්නෙ...

ඔය සොච්චමත්  ඒ මිනිස්සුන්ව උදේ ඉඳන් රස්තියාදු කරලයි දෙන්නෙ, ඒ ගැනත් මට කළකිරීමක් තිබුණා...මම දූපතේ වැඩි කාලයක් හිටියෙ නෑ ඒ දවස්වල දූපතේ හිටියත් මගේ හිතේ තිබුනෙ ගෙදර එන්නෙ කවදද කියලයි,දැන් එහෙම නං වෙනසකටත් එක්ක ටික කලක් ඉන්න තිබ්බ...ඒත් මම කොල්ලනෙ, තරුණ ජීවිතේ පාලු දූපතක ගෙවල දාන්න මට කොහෙත්ම උවමනාවුනේ නෑ...රට සාමාන්‍ය තත්වයට එන්න පටන් ගත්තට පස්සෙ මම ආපහු ගෙදර ආවා...

ඉතිං නෙවිල් මගෙත් එක්ක සැරෙන් සැරේ කියපු කතා ටික එක කතාවකට ගොනුකරගත්තම කතාව ඕකයි...

අපි කෝච්චියෙ ගිය කට්ටිය සැරයක් ට්‍රිප් එකක් යන්න ලෑස්ති වෙද්දී කල්පිටියෙ යමු කියල නෙවිල් යෝජනා කළා, කල්පිටිය ඒ දවස්වල සංචාරකයන් ආකර්ෂණය කරගන්න තැනක් නොවුනත් වෙනසකටත් එක්ක අපි කල්පිටියෙ ගියා...නෙවිල් අපට කල්පිටි යන්න යෝජනා කළේ අර අපට තියෙන අතීත මතකයන් අතර අතරමං වීම කියන රෝගය ඔහුටත් වැළඳිලා තිබුණු නිසාද කියල මට අද හිතෙනව... කොහොම වුනත් අවුරුදු තිස්දෙකකට පස්සෙ නෙවිල් කල්පිටියට පය ගහපු වෙලාවෙ ඔහු නඩේ ගුරා වගේ අපිව කල්පිටියෙ තැන් තැන්වල එක්ක යද්දී ඔහුගෙ දෑස් දිළිසුනා මට මතකයි...වෙලාවකට ඒ දෑස්වල තෙතමනයක් තිබුණදෝ කියල මට දැන් හිතෙනව, එහෙමවුනත් ඒක පුදුමයක් නෙවෙයි...කොහොමහරි ඒ ගමන මම ගිය හොඳම ට්‍රිප්වලින් එකක් වුණා...

අපි එක දවසෙන් ගියාට ඒ ට්‍රිප් එක හරිනං දවස් දෙකක හරි තුනක හරි ට්‍රිප් එකක්...

නෙවිල් මේ ඊයෙ පෙරේදාවක මට කිව්වා...

එහෙමනං ඊළඟ ට්‍රිප් එක දවස් දෙක තුනකට දාගම්මු  හැබැයි කාරදූවටත් ගිහිං එන්නම ඕනෑ...

ඔක්කොටම ඉස්සෙල්ල අපි දෙන්නම එකසැරේ ලංකාවෙ ඉන්න වෙලාවක් හොයාගන්න එපායැ...

කොහොමවුනත් ගමන යන එක ගැන ප්‍රතිපත්තියක් වශයෙන් අපි දෙන්න එකඟ වෙච්චි නිසා කවදා හෝ අපි දෙන්න ලංකාවෙදි මුණගැහුණු දවසක ගමන යැවෙයි...

අපි එදා කල්පිටියෙ ගිය කතාව අද ලියන්න හිටියත් දැන් ලිව්වොත් මේ පෝස්ටුව ගොඩක් දික්වෙන නිසා වෙන දවසක ලියන්නං...

ප.ළි.
මේ මම ලියපු  සියවෙනි පෝස්ටුවයි අවුරුද්දකට විතර  කලින් මම මේ බ්ලොගය පටන් ගද්දි සීයක් ලියාගන්න හැකිවෙයිද එහෙම නැත්නං කොච්චර ලියනවද කියල කිසිම අදහසක් මට තිබුනෙ නෑ වගේම මම ලියන දේ  කියවයිද විවේචනය කරයිද කියන සැකයත් මට තිබුණා. ඒ වුනත් මගේ සැකය හිතලුවක්ම බවට පත්කරමින් මම බ්ලොගයට ලියපු ඕපාදූප ඔයගොල්ල ආදරයෙන් පිළිගත්තා...ඒ විතරක් නෙවෙයි අටම් මාතලන් දේශකයා වැනි සහෘදයින් ඔවුන්ගෙ බ්ලොග්වලින් මාව බ්ලොග් ලොවට හඳුන්වල දුන්නා, ඒ අයටත් නම් වශයෙන් සඳහන් කරන්නට නොහැකි මගේ බ්ලොගයේ පාඨකයන් වන ඔබ සැමටත්  මගේ හද පිරි ආදරය පිළිගන්වන්නට කැමතියි.

බ්ලොගයට අවුරුද්ද පිරෙන දවසට විස්තර ඇතිව ලියන්නම්,ඔබ සැමට ජයවේවා.

116 comments:

  1. Congrats for the century

    ReplyDelete
  2. සුබ පැතුම් හැලපයට...:)

    කරවල වාඩියේ විස්තර කීවාම බලන්ට යන්ටම හිතුනනේ. ඒ වෙනම ලෝකයක්. අපි ජීවත්වෙන මේ ලෝකේ ඇතුලේ ලෝක කීයක් තියනවාද කියන එක තමා ඔලුවට ආවේ කියවද්දි.

    //අවස්ථාව අනුව හදිස්සියක්ම නං දොරමුල්ලේ හිටගෙන හරි සේවය සපයන්නට කෙල්ලන් පසුබට වුණේ නෑ...//
    මෙහෙමත් වෙනවනේ නේද?

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩිට ස්තූතියි,
      හැබෑටම මටත් විස්තර අහපුවම බලන්න යන්නමයි හිතුනෙ,ඔව්වත් අපේ රටේ තියෙන උප සංස්කෘතීන් නොවැ,දොරමුල්ලේ කතාව එච්චර හිතන්න එපා ඒක මට කිව්වේ ඔයිට වඩා ලුණු ඇඹුල් ඇතුව මම සැර අඩුකරලා ලිව්වෙ.

      Delete
    2. පොඩ්ඩි & හැලපේ......කල්පිටියේ දොරමුල්ලේ සංස්කෘතිය ගැන කතා ඇත්ත. වතුරත් අඩු නිසා ඔය කතා තව ලුනු රහ වැඩියි. හැලපේ ලුනු අඩුකරලද කොහෙද,

      Delete
  3. සියය ට සුභ පැතුම්...!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කෙන්ජි,ලියන්න පටන්ගමු නේද

      Delete
  4. එහෙනම් සීයක් ලිව්ව..අපෙන් සුබපැතුම්..බ්ලොග් කරණයේ රජෙක් වෙන්න කියල සුබ පතනවා....

    ReplyDelete
    Replies
    1. සුබපැතුමටත් ප්‍රාර්තනයටත් ඔබට ගොඩක් ස්තූතියි

      Delete
  5. සියයට සුබ පැතුම්. වාලම්පුරිය ගැන මමත් අහලා තිබුනේ වමට කැරකුණු හක්ගෙඩිය කියලා. මම අහලා තිබුණු විදියට වාලම්පුරි කියන එකේ වචනාර්තයත් එක. නමුත් මම දැක්කා ලංකාවේ වාලම්පුරි විකුණන පොරක් TV එකේ කියනවා වාලම්පුරිය කියන්නේ දකුණට කැරකුණ හක්ගෙඩිය කියලා. කැරකෙන පැත්ත බලන්නේ මොන කෙළවරද මත වමාවෘත ද දක්ෂිනාවෘත ද කියන දේ වෙනස් වෙනවා නේ. ඔය දුපත් බලන්න මමත් කලෙක ඉඳන් හිතන් ඉන්නවා. තවම ඉඩ ලැබුනේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විශ්ව,ඔබේ අදහස හරි වාලම්පුරිය කියන වචනය අනුවම එය වාමාවෘත විය යුතුනේ.අපි ඔය දූපත් බලන්න මූදෙ මගක් ගිහිල්ලත් ආපහු ආවා.ආපහු යන අදහසක් තියෙනව

      Delete
    2. නැහැ.වාලම්පුරියක් දකුණු අතින් ගන්න බැහැ..ඒ නිසයි වාලම්පුරියක් කියන්නේ.. වාලම්පුරියකට අත දාලා ජප කරන්න පුළුවන් වම් අතෙන් විතරයි..ඇත්තටම නියමිත විදිහට බල පිහිටවපු වාලම්පුරියක හිමි කාරයෙක්ට බොහෝ දේවල් ලැබෙනවා... ධනය , බලය , නම්බු නාම , ස්ත්‍රී ලාබ ඇතුළු බොහෝ දේ...

      Delete
    3. ඔන්න වාලම්පුරිය ගැන නොදන්නා දේ ගොඩක් සහන්ගෙන් දැනගත්ත,දැන් නං මටත් වාලම්පුරියක් හොයාගන්න හිතෙනවා.

      Delete
    4. හැලපයෝ වාලම්පුරි කියල තියෙන ගොඩක් ඒවා බොරු. නහර පේනවා කියයි , මස් වැදැල්ල පේනවා කියයි මෙතනින් වක් වෙලා කියයි ; රටේ නැති දේවල්.. ඒ නිසා වාලම්පුරි ගන්න නම් එපා ලක්ෂ ගණන් දීලා...

      ඇත්තටම වාලම්පුරියක් හිමි කෙනෙක්ට ඒක විකුණන්න අවශ්‍යතාවයක් එන්නේ නැහැ ... ඔන්න කෙටියෙන්ම... හොරුන්ට අහු වෙන්න එපා..

      Delete
  6. හප්පා... හැලපත් වයසට ගිහින්නෙ... සීයයි කිව්වෙ... හි හි...

    පෝස්ට් සීයක් ලියාගන්නවා කියන්නෙ පිස්සු හැදෙන වැඩක්.. ඒත් මේකෙ පෝස්ට් සීයක් ලියවුනා කියලා මට නං දැනුනෙ නෑ... හැලපස්ගේ බ්ලොග් එක තාමත් අලුත් ගතිය තියෙන බ්ලොග් එකක් තමයි....

    ReplyDelete
    Replies
    1. චැහ්.. ඔන්න ඕකනේ බං කියන්න ආවේ. අන්තිමට කුනුහරුපයක් දෙසලා යන්න උනා මට...

      Delete
    2. සීයයි කිව්වට සීයෙක් නෙවෙයිනෙ හිරූ,ඇත්තමයි පෝස්ට් සීයක් ලිව්වා කියල මටත් දැනුනෙ නෑනෙ.ස්තූතියි හිරු.

      Delete
  7. ජය වේවා හැලප අයියේ......... මම ඔයාට සුභපතනවා 100ට සහ හෙන්රියාව පරද්දලා සෙන්චරිය ගැහැව්වා කියන දෙකටම...... ඉන්න මම හෙන්රියට හුවක් තියලා එන්නම් ..... නැත්නම් අපේ සිංහල ගතිය පෙන්නේ නැනේ .... මොකද අපේ ජාතිය දිනන කෙනාට සුභපතනවාට වඩා සතුටු වෙන්නේ පැරදුන කෙනාට නක්කිය දාලානේ

    ReplyDelete
    Replies
    1. මැලේසියාවේ හිටියට නියම සිංහලයෙක් ...:D

      Delete
    2. ස්තූතියි රාළේ,අර ඉවාන් කිව්වත් වගේ මැලේසියාවේ ඉන්න නියම සිංහලයෙක් තමා

      Delete
  8. සීයට සුබපැතුම් හැලපයියේ ..... මේ ජීවිතේ වැඩක් නෑ අප්පා , හිතුනොත් යනවා කාරතිව් කරවල වෙලන්න. (අර ගෑණුලමයි තාම ඉන්නවද දන්නේ නෑ..?...:D)

    ReplyDelete
    Replies
    1. ඒ ගෑනු ලමයිනුත් දැන් කරවල වෙලාලු...:D

      Delete
    2. අම්මප ඉවාන් ඔයවගේ ජොබ් කීයකට නං ගියාද මේ ටිකට,ඒ ගෑණු ළමයි ටික නං ඇති ඒ ළමයින්ගෙ ළමයිනුත් එක්ක තෑගිත් අරං යන එකනෙ ඇත්තෙ.
      සුබ පැතුමට ස්තූතියි.

      Delete
  9. වයසත් හරි , පෝසට් ගානත් හරි..

    ජය වේවා කියන්න තමා තියෙන්නෙ. හැලපයියාගේ ජීවන අත්දිකීම් අපේ එවුන් බදා ගනී කියල මට මුල් දවසෙ බ්ලොග් එකට ආවහම හිතුනා. ඒ වගෙම පොටෝ කෑල්ල දැක්කම මතක් වුනේ අපේ ඔබා මාමාව. ඔහුත් බ්ලොග් ලෝකෙ බොහෝම හිතහොද මිනිහෙක්.

    ජය වේවා.

    ReplyDelete
    Replies
    1. ඔන්න සෑමා මගේ වයසත් කියල,මගේ අත්දැකීම් නැගල යයි කියල මම හිතුවෙත් නෑ බං, ඔබාව ඇසුරු කිරීමේ ප්‍රීතිය නං මට ලැබුනේ නෑ.
      සුබ පැතුමට සතූතියි

      Delete
  10. සෙන්චරියට උණුසුම් සුභ පැතුම් හැලපේ..

    කරවල වාඩිවල වචන සැට් එක මාර වටිනවා.. කොහොමත් අපේ සමහර උන් ඉන්නවා කරවල කෑල්ලක් නැතිව බත් ටිකක් කන්න බැරි.. කුණු රසේ හොයනවා කියන්නේ ඕකට තමයි.. ඒ කාළේ ජිලිජෝනයි, වැන්දබෝනයි උන්න ලන්දේසි දූපතෙත් ඔය වගේ කතාවක්ම තම ගියේ.. මම නම් පාරේ තනියම ඇවිදලත් තියෙනවා, කරවල වාඩියකට උස්සන් පල කියලා.. ඒත් එහෙම ගෙනිච්චේ නෑ..

    ඔය බෝට්ටු කරවල, වාඩි කරවලට වඩා රහ කතාවකුත් තියෙනවා.. අපේ පවුලෙත් එකෙක් ඉන්නව ඔය ෆීල්ඩ් එකේ.. පොර කරවල මුදලාලි.. නැත්නම් කරවලයා.. කරවල ගඳ උනාට ඌගේ සල්ලි නම් ගඳ නැතිව ඇති.. පවුල් පහක් විතර නඩත්තු කරණවා, මහ පරිමාණෙන්ම..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මාතලන්,ඔබලාගෙ සහයෝගෙන් සෙන්චරියක් ගහගත්තා.හොඳ වෙලාවට කරෝල වාඩියකට උස්සං නොගියේ,ගියානං වාඩියත් ඉවරයි මුදලාලිත් ඉවරයි.ඔය ළමයින්ව අල්ලං යන උන්ටත් ළමයි ගැන හොඳ දැනුමක් තියෙනව අහිංසකය මොකාද ඇම්ඩ මොකාද කියල,මොකෝ බැරිවෙලාවත් ඇම්ඩ එහෙම ගෙනිච්චොත් ලැබෙන ගානටත් කෙළවෙන නිසා තමයි මාතලන්ව ගෙනිහින් නැත්තෙ.
      පවුල් පහක් මහ පරිමානෙන් නඩත්තු කරන්න නං කරවල බිස්නස් කාරයෙකුට ඇරෙන්න කුඩු කාරයෙකුට විතරයි පුළුවන්.අද කරෝලවල ගණන් බලපුවම.

      Delete
  11. හැලප සීයට ඔතපු කොලෙත් කෑවා.. යකඩෝ මේ වගේ හැපප කාලා බඩ පැලිල මැරෙන්නේ දවසක.. මටත් එඩම්පුරියක් දියං බං..

    ReplyDelete
    Replies
    1. බොලාගේ සහයෝගෙන් සීයක් ලියාගත්තා,හම්බවුනු වෙලාවක මතක් කරපං එඩම්පුරියක් දෙන්න.

      Delete
  12. මුලින්ම හැලපයියට 100 ට සුභපතනවා. සිරාවටම ඔය වාලම්පුරි කතාව නම් අමූලික කෙප්පයක්. යකඩෝ ඔයින් එකක් අපේ ගෙදරත් තියෙනවා මෙලෝ රහක් නැහැ කිසිම දෙයක් හම්බවෙන්නේ නැහැ. මම වැඩිපුර ප්‍රතිපල ගන්න මගේ කාමරේමයි තියං හිටියේ. වාසනාව කොහොම වෙතත් හිඟාකන්න වෙලා තිබුනේ ඒ දවස් වල

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද කෝරළේ මහත්තයො වාලම්පුරි ගැන මම අහල තිබ්බ කතාව තමා ලිව්වෙ,සුබ පැතුමට ස්තූතියි

      Delete
  13. හෙහ් හෙහ් උඹ සියක් ලියුවද මං තාම සීයක් ලියලා නැ බං

    ReplyDelete
    Replies
    1. බොලාගේ සහයෝගෙන් ලියාගත්ත, මම මුලදී මුලදී ආප්ප බානව වගේ පෝස්ට් ලිව්වනෙ බං ඇත්තටම මම හිතං හිටියේ උඹ මේ වෙනකොට දෙසීයක් විතර ලියල ඇති කියලයි.

      Delete
  14. කවදා හරි අර කාරදුවට යන ගමනෙදි ඉඩක් තිබුනොත් මටත් කතා කරහං හැලපයියේ...

    උඹ සීයක් ලිව්වා කියලා දැනුනෙත් නැහැනේ බං... කොච්චර ලිව්වත් කියවන්න අමාරුවක් නැති බ්ලොග් එකක් මේක.. තව තවත් ලියන්ට හැකියාව ලැබේවා..!

    ReplyDelete
    Replies
    1. ගමනට මාරෙත් එකතුවෙනවනන් සතුටුයි,යන්න ලෑස්තිවෙනකොට දන්වන්නම්
      සුබ පැතුමට ගොඩක් ස්තූතියි

      Delete
  15. ශතකය වෙනුවෙන් සුබ පැතුම් එහෙනම්!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිලිනි

      Delete
  16. මුලින්ම ශතකයට සුබපැතුම්. ඔබේ රචනා විලාශයෙන් නම් මා හිතුවේ ඔබ අවුරුදු ගණනාවක සිට බ්ලොග් ලියන කෙනෙකු කියායි. ඒ වගේම මේ කතාවත් බොහොම උනන්දුව දනවන සුළුයි. මන්නාරමේ මම සේවයේ යෙදී සිටියා එමෙන්ම කල්පිටිය ආශ්‍රිතවත් සේවයේ යෙදී සිටියා. කල්පිටිය තමයි එල්.ටී.ටී.ඊ. සංවිධානයට අවශ්‍ය ඖෂධ,බැටරි,දුරකථන,වැනි දේ සැපයු මධ්‍යස්ථානය. ඉන්දියාවෙන් අලුත්ම මෝටර් බයිසිකල් බෝට්ටු වලින් රෑට හොරෙන් ගෙනල්ල බානවා කල්පිටියට. සන්නාසි බිල්ලෝ ගැන අපේ ලමාකාලයේදී දැනගත් දේවල් මමත් ලියලා තියනවා

    ReplyDelete
    Replies
    1. මගේ බ්ලොගයට යන්තං අවුරුද්දක් සම්පූර්ණ වෙන්නෙ මේ මාසෙටයි විචාරක තුමා,
      කොටි සංවිධානයට සැපයීම් කිරීම ගැන ඔය පලාතෙ ධීවරයන් නාවික හමුදාවෙ උදහසට ලක්වෙලා හිටිය කියල මම කියවල තියෙනව බත්තලන්ගුන්ඩුව කියන පොතේ.

      Delete
  17. 100 ට උණුසම් සුභ පැතුම් හැලපේ... !!!! ... :)
    තව තව ලියන්න ලැබේවා... !!!! ... :)
    නොදන්න දේ ගැන දැනගත්තා මේ පොස්ටුවෙන්..

    ReplyDelete
    Replies
    1. සුබ පැතුමට ස්තූතියි සඳා

      Delete
  18. එහෙනම් 100කුථ් ගහලා ඈ! සුභ පැතුම් වේවා!!

    ReplyDelete
    Replies
    1. ගහගත්තනේ සීයක්,සුබ පැතුමට ස්තූතියි

      Delete
  19. 100 සුබ පතන්නයි ආවේ හැලපයියේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනෝජ්,පැමිණීම ගැනත් සතුටුයි.කලින් නං හැම පොස්ටුවකටම කමෙන්ට් කරන මනෝජ් දැන් වැරදිලාවත් මේ පැත්තෙ පෙනෙන්න නැත්තෙ ඇයි කියලත් මම කල්පනා කළා.

      Delete
    2. ලොකු විපතක් වුනා හැලපයියේ නාවේ ඒකයි.

      Delete
  20. මගෙනුත් සුබ පැතුම් කඩේ අයියේ .. තව දහස් ගණනක් ලියන්න ශක්තිය බලය ලැබේවී ,, වාලම්පුරි කතාව මාත් වෙනස් විදි වලට අහලා තියෙනවා ,තාමත් සත්‍ය දන්නේ නැහැ ,, නමුත් ඕකක් බෙල්ලේ බැදන් හිටියත් වැඩක් වෙයිද කිසි කමකට නැති මිනිස්සු

    ReplyDelete
    Replies
    1. සුබ පැතුමටත් ප්‍රාර්ථනාවටත් ගොඩක් ස්තූතියි ඔමා,ඔබ ඉතිං බ්ලොග් කණ්ඩායමේ උද්යෝගීමත් සාමාජිකාවක්නේ.

      Delete
  21. මේ ඔක්කොම අතැරලා දාලා දුපතක කරවල වෙලන්න ඇත්තන් කියලා හිතුන....දුක තමයි ඒත් ඒ දුක ඇතුලේ පට්ට රහක් තියේ නේ..... සිය වෙනි පොස්ට් එකට සුභ පැතුම් ඈ හැලපෛයේ ?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පැතුම්,බලාගෙන ගියාම දුකම සතුටක් වෙන අවස්ථාවන් තියෙනව නේද.

      Delete
  22. ජිවිතේ හුඟක් රසවත් අත්දැකීම් අපිටත් දැනගන්න ලස්සනට ලිව්වට මමත් හැලපතුමාට මුළු හදවතින්ම සුබ පතනවා...

    පෝස්ටු 100 කියන්නෙ මට නම් හීනයක් වගේ.. 200 වෙනි පෝස්ටුවටත් ඉක්මනටම සුබ පතන්න අපි බලාගෙන ඉන්නවා හොඳද ....

    පෝස්ටු ලියන්න දීපු අතහිතටත් ගොඩක් ස්තූතියි...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තුශානි,මමත් ලියන්න පටන්ගද්දි 100 ක් කියන්නෙ හීනයක්,නමුත් ලියාගෙන යද්දී හීනය සැබෑ කරගන්න පුළුවනි,ඉස්සෙල්ලම එකින් එක ලියල 50 ට යන්න ඔබට ජය.

      Delete
  23. මුලින්ම ශතකෙට සුබ පතලා වාඩි ජීවිතේ ගැන යමක් කියනවානම් එහෙම සැපක් සහ අත්දැකීම් තරුන කලමනාකරුවො ලැබිය යුතුමයි.
    මම හිටිය වාඩිය ලයිට් කනු වාඩියක් හැබයි ඉතින් නෙවිල් මහත්තයට ලැබුනු අත්දැකීම් නොඅඩුව ලැබුනා.(දොර මුලුවලනම් නොවෙයි)
    දෙමල වත්තකට තමා ලයිට් දුන්නෙ. උන්ගෙ ආගන්තුක සත්කාර ඉහටත් උඩින්.

    ReplyDelete
    Replies
    1. හපෝයි අත් දැකීම් විතරද? කකුල් දැකීම් හෙම නැත්ද?

      Delete
    2. ස්තූතියි අකලංක,නෙචිල්ට ලැබිච්චි අත්දැකීම් ඔබටත් නොඅඩුවම ලැබුණු එක සතුටක්.

      Delete
  24. හැලප 100 ක් කොලිටියට ඔතනවා කියන්නෙත් සෙල්ලන් කේස් එකක් නෙවි ... හැලප කඩේ සෙන්චරියට උණුසුම් සුභ පැතුම් ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සමීර,ඔහේ ලිව්වා නොදැනුවත්වම සීය වුනා

      Delete
  25. සෙන්චරියට සුභ පැතුම්...
    ලංකාවේ නම් වාලම්පුරි කියන්නෙ ඇමතිවරුන්ට. දැන් නම් ඉතිං ආණ්ඩුවේ මන්ත්‍රී කෙනෙක් කිව්වත් වැරදි නෑ. මොකද ඇමතිවරු නොවන මන්ත්‍රීවරු අතේ ඇඟිලි වලින් පෙන්නන්න පුළුවන්. ඔය බෙල්ලෝ තියාගෙන ඉන්න අයට වඩා ඒ අයට සරුයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි උකුස්සා
      අපොයි බෙල්ලො තියාගෙන ඉන්න අයට මොන සරුවක්ද අරගොල්ලන්ටනේ සරු

      Delete
  26. 100 යට සුබපැතුම් එහෙනම් ! තවත් සීයක් ගිය තැන ආයි සුබ පතන්නම් ඉක්මනටම ඒ දවස එන්න කියලා පතන්නම් !

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ මේකා ආයි එන්නේ දෙසීයටද???

      Delete
    2. ස්තූතියි වෙනී,දෙසීය වෙනකල් නෑවිත් ඉන්න එපා

      Delete
  27. 100 වෙනි පෝස්ට් එකට් සුබ පැතුම් හැලපයියේ ...මට තාම මතකයි ඔයා "නාන ළිඳට යන මංකඩ" වහපු දුකෙන් හිටපු හැටි... හැලපයයි මායි පටන් ගත්තේ එකම කාලේ වගේ... මන් හිතන්නේ මේ නොවැම්බර් වලට මගේ බ්ලොග් එකටත් අවුරුද්දක් වෙනවා... දිගටම ලියන්න එහෙනම් ... ජය වේවා ......

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි සහන්,මට මතකයි මම ලියන්න ගත්ත මුල් කාලෙ ඉඳලම සහන් මගේ බ්ලොගයේ කමෙන්ට් කළා,අපි පටන්ගත්තේ එකම කාලෙ නොවැම්බර්වල දැන් අවුරුද්දක් පිරෙන්න ලඟයි නේද

      Delete
  28. සියයට උණුසුම් සුබ පැතුම් !! හැලපයා සීයා කෙනෙක් වෙනකම්ම ලියන්න ලැබේවා !

    කරවල වාඩි කතානම් ඒ කාලෙ හොය හොය් කියෙව්වෙ. තාමත් ආසයි ඒවා කියවන්න..

    රොඩ්නි ජෝන් ක්ලාස් අන්තිම කාලේ අපේ ගමේ තමා හිටියෙ..

    ReplyDelete
    Replies
    1. සෙන්නට ගොඩක් ස්තූතියි,දැන් නාවත් කලින් ඔබත් මේ බ්ලොගයට නිතරම ආවා,රොඩ්නි ජොන්ක්ලාස් ගැන කතා මොකුත් තියනවනං ලියමුකො.

      Delete
    2. හැලපේ අහිතක් හිතන්න එපා, පහුගිය ටිකේ එන්න අතපසු වුනා වෙලා මදි වුන හින්දා.. දැන් ඉස්සර තරම් බ්ලොග්කරණය වෙනුවෙන් යොදවන්න කාලයක් නෑ.. කියවන්න වෙලාව හම්බෙනකොට කොටස් වශයෙන් ගිය කතාවක්ද කොහෙද ගිය නිසා මැද්දෙන් කියවන්න ගියේ නෑ.. අර රවියගෙ කවි කාරිගෙ කතාවත් කියවන්නෑ මැදදි මිස් වුන නිසා..

      වෙලා තියන විදිහකට ගොඩ වෙලා යන්න එන්නම්..

      ජෝන්ක්ලාස් ගැන ලියන්න මුකුත්ම නෑ... මම දන්නෙ උන්දෑ අපේ ගමේ හිටියා කියලා විතරයි.. අඩුම ගානෙ මම දැකලවත් නෑ.. අනික අපි පොඩි උන් කාලෙම එයා මිය ගියා...

      Delete
  29. කතාව කියවන්න කලින්, සීයට සුභපැතුම් හැලප මචං. අපිට පැල් බැඳගෙන කමෙන්ට් කරන්න තව තව රසබර ලිපි ලියවේවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචං.උඹත් ඊළඟට මේ කඩඉම පහුකරන්නනේ ඉන්නෙ මටත් ඒ ප්‍රාර්තනාවම තමයි කරන්න තියෙන්නෙ.

      Delete
  30. ඉස්සෙල්ලාම සියක් ගැහුවට සුබ පැතුම් අයියෙ.උබගෙ මුලු බ්ලොගම මම කාලෙකට කලින් කියවල දැම්ම(පරන එව ).මම අගොස්තුවෙ කල්පිටි ගියා.දැන් එහෙ සුද්දො සුද්දියො පිරිල කයිට් සර්ෆින් වලට.පරෙයි දුවට ද කොහෙද ගියා ටැට්ටරෙකින්.ඩ්‍රිවරය පට්ට පොරක්.මට හිතාගන්න බැ උ කොහොමද එක ගෙනිච්චෙ කියල.එ තරමට අමාරුයි.පාරක් නැ.
    ලමයි කරවල වාඩිවලට දාන සින් එකක් තියෙන ලමා නව කතාවක් කියෙවුව මතකයි පොඩි දවස්වල

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දමිත්,අපි කල්පිටි යන්න ලෑස්ති වෙද්දී මොන මොන පෙරලි සිද්දවෙලා තියේද දන්නෙ නෑ අප්පා

      Delete
  31. මං හොදට ඉගනගෙන අරක්කු මුදලාලි කෙනෙනක් වෙනව ඕං ..

    ReplyDelete
    Replies
    1. අන්න මොළේ ඇති ළමයෙක්,අපි එන්නම්කො ගනුදෙනුකාරයෝ හැටියට

      Delete
    2. හැබැයි මං අරක්කු විකුනන්නෙ කල්පිටි දූපතේ දීවර පවුල් වලට විතරයි ඕං :-)
      සුභ පැතුම් හැලපේ අයියේ ...!

      Delete
  32. සියවෙනි හැලපෙත් දාපු එකට සුබ පැතුම් ! තව දිගටම හැලප බාන්න හැකියාව ලැබේවා.

    පෝස්ට් එක කියවන්න හෙට එන්නං.

    ReplyDelete
    Replies
    1. නියම රසවත් අත්දැකීමක් තමයි නෙවිල්ට ලැබිල තියෙන්නෙ. මටත් ආසාවක් තියෙනව ඔය වගේ වාඩියක නැවතිලා ඒ අත්දැකීම ලබාගන්න. ඒත් දැං ඒකට පරක්කු වැඩියි.

      හැමදාම කරෝලයි බතුයි කනවයි කියන එකනං එපා වෙන්න ඇති. ඒත් ඉතිං වැඩ කරන මහන්සියත් එක්ක ඔය කෑමවල රස හොයන්න වෙලාවක් කොයින්ද.

      Delete
    2. ප්‍රසන්නට ගොඩක් ස්තූතියි,ඔබත් දිගටම මගේ බ්ලොගයට ආපු කෙනෙක්.
      කරෝල වාඩියකට යන්න ආස වුනත් දැන් අපේ වයසත් එක්ක ඒ සෙල්ලං කරන්න බෑ,පුලුවන්නං ගිහින් බලල එන්න බලමු,
      නෙවිල්ට නං කරෝලයි බතුයි කන එක තවම එපාවෙලා නෑ ප්‍රසන්න,ඉල්ලන්නෙම කරෝල තෙල් දාපුවා.

      Delete
  33. ශතකය පෙනෙන මානයේ සිට ශතකය වාර්තා කල ඔබට අක්මාවෙන්ම සුභ පතමි. මේ පෝස්ටුව බොහොම රසවත්ව හැපපයියා ලියලා තියෙනවා. කරෝල වාඩියක ජීවිතය ගැන චිත්ත රූපයක් මවාගන්න , නෙවිල් එක්කම කරෝල කෑල්ලක් එක්ක බත් ටිකක් කන්න...මටත් ලැබුනා ඔන්න...ජය !

    ReplyDelete
    Replies
    1. සිරාට ස්තූතියි,කිව්වහම මොකද නෙවිල් තවමත් කරෝල එක්ක බත් කන්න දෙයියා

      Delete
  34. සුභ පැතුම්. ඔබා මාමගේ අඩුව යම් තරමකට හෝ ඔබෙන් පිරිමැහෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රභාත්, දැනගන්න ලැබීම සතුටුයි.
      ඔබව මගේ බ්ලොගයට ආදරයෙන් පිලිගන්නවා

      Delete
  35. එහෙනං සීයයි ඈ????..සුබ පැතුම් මචං!!!

    කරෝල වාඩි කතාව අපි පොඩි කාලෙ ජයටම තිබ්බ. දයා රාජපක්ෂගෙ අනූපමා කතාවෙත් තිබ්බ ඔහොම සීන් එකක්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රවී,අනූපමා චිත්‍රකතාව මට හොඳට මතකයි,බෝට්ටුවක ගිහිං මූද මැද අතරමං වෙච්ච කතාවක් නේද.

      Delete
    2. නෑ නේද? අනුපමා එකේ එහෙම සීන් එකක් නම් මට මතක නෑ..ඔය කතාවෙන් 79 විතර සුනිල් ආරියරත්න ෆිල්ම් එකකුත් ගැහුව. ප්‍රධාන චරිතය අසිතට හිටියෙ විජේ..අනුපමාට සුවිනීතා ද කොහෙද? අසිතගෙ අම්ම මාර්තාට හිටියෙ මාලනී...ජෝතිපාලගෙ රාජ කිරුළු පලන්දාපු රජ්ජුරුවෝ සිංදුව තියෙන්නෙත් ඒකෙ.

      Delete
    3. සොරිම සොරි මචං මටයි වැරදුනේ ඒක මේ වෙන කතාවක්.අනුපමා ෆිල්ම් එක මමත් බැලුවනෙ

      Delete
    4. අනුපමා එකේ සුවිනීතා ස්කූල් යුනිෆෝම් ඇඳගෙන ඉන්න සීන් ටිකක් තිබුනා. එතකොටත් වයසයි. යුනිෆෝම් ගැලපුනේ නැහැ. මම ඉස්සර සුවිනීතාව හීනෙනුත් දකිනවා.සිහින විලේ නිලුපුලී කියලා ජෝති-ලතාගේ නියම සිංදුවක් තියෙනවා.

      Delete
  36. කතාව එපා... 100ට සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!! ^_^

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රජෝ,ඒ කියන්නෙ රජා කතාව බැලුවෙ නෑ කමක් නෑ කමක් නෑ තමන්ගේ කැමැත්ත නොවැ

      Delete
  37. කතා සීයට ජය වේවා. මේ බ්ලොග් එකේ කතා වලින් ඔබා මාමා නැති අඩුව මැකෙනවා. ඔබාගේ බ්ලොග් එකවගේ මම ආසාවෙන් කියවන එකක් තමයි මේක.

    ReplyDelete
    Replies
    1. ඔබටත් ස්තූතියි බොරළු,මගේ බ්ලොගයට ඔබව ආදරයෙන් පිලිගන්නවා.

      Delete
  38. මගේ සුබ පැතුම්.

    ඇත්තටම හැලපේ ඔබ මගේ මිම්මෙං නං කතන්දර 4x100 ක් ලියා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කකා,ඇත්තටම කතන්දරයක් කෙටි වුනාම මට නිකං ලිව්වා මදි මදි වගේ හිතෙනවා,ඔබ කියන කතාව නං ඇත්ත.

      Delete
    2. මේ කතන්දර 100 ඇතුලේ තව කතන්දර කියක් නම් ඇත්ද හැබෑටම... :)

      Delete
    3. මා මේ ඉහත කමෙන්ටුවෙන් අදහස් කලේ ඔබ ඔය 100 අංකයට වඩා ලොකු දෙයක් කර ඇති බවයි. ඔබේ කතා කෙටි කරන්නට යැයි මා කියා නෑ. කිසි ලෙසක අදහස් කලේ ද නෑ.

      නමුත් හැලපේ ඔබ මගේ කමෙන්ටුව කෙලින්ම උපුටා නොදක්වා, එය ගැන සඳහනක් සහ ඔබේ අදහසක් දක්වා, ම ලියූ දෙය ගැන වැරදි විදියට උපකල්පනය කරන්නට පහත වැකිය තුලින් ඔබේ පාඨකයින්ට ඉඩ දීම ගැන නම් මගේ සතුටක් නෑ!

      /* තවත් දෙයක් මම කල්පනා කළා ඒක මේ කකාගෙ අදහසක්...කකා කියනව මගෙ එක පෝස්ටුවක් කකාගෙ පෝස්ට් හතරක් විතර දිගලු, බලාගෙන ගියාම ඒකත් ඇත්ත,ඒ නිසා පෝස්ට්වල දිග අඩුකරන්නත් අදහසක් තියනව හැබැයි ඔයගොල්ලන්ගෙ ප්‍රතිචාර අනුව..*/
      (http://helapakade.blogspot.com.au/2013/11/102.html)

      Delete
    4. මම ඔබගෙ කමෙන්ටුව ඒ ආකාරයටම උපුටා නොදැම්ම එක වැරද්දක් තමයි මම වැරැද්ද පිලිගන්නවා,නමුත් කකා මම මේ ගැන මෙපමණ සංවාදයක් ඇතිවේවි කියා බලාපොරොත්තු නොවුන නිසයි ඒ විදියට ලිව්වේ,නමුත් පාඨකයො අවශ්‍ය තරමටත් වඩා ඒ ගැන කතාකලා.
      ඔබට ඇතිවූ අපහසුතාව ගැන මගේ අවංක කණගාටුව පිළිගන්න.

      Delete
  39. සීයක් ලියන්න කොයි තරම් අමාරුද කියන එක ඒ කඩයිම පසු කරපු/නොකරපු හැමෝම දන්නවා. සීයට උණුසුම් සුබ පැතුම් !!! මම නිතර මෙහෙ නොඑන කෙනෙක් විදියට නෝට් වෙලා ඇති. හේතුව සීමිත ඉඩකඩ හා මගේ බ්ලොග් රෝල අප්ඩේට් නොවීම. හැබැයි මම දවස් දෙකක් ඇතුලත් මේ සීයම කවර් කරනවා. බ්ලොග් රෝලේ වැඩෙත් ගොඩ දා ගන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. පැමිණීම ගැන ස්තූතියි සුදීක,එහෙම නෝට් කරගනිල්ලක් නං නෑ බ්ලොග් එක අනික් හැම බ්ලොග් රෝල් වලම අප්ඩේට් වෙනවා.
      සුබපැතුමට ගොඩක් ස්තූතියි.

      Delete
  40. සීයට සුභපැතුම්. සීය කිව්වෙ උඹට නෙවේ 100ට.
    මම පොඩ්ඩක් ආපස්සට ගිහිල්ල බැලුව. මමත් උඹේ මුල්ම පාඨකයෙක්. මම අදටත් කැමතිම පංති සටනට! නිකංම කතන්දරයකට වැඩි දෙයක් ඒකෙ තියනව.

    ReplyDelete
  41. ස්තූතියි බං, මම බැලුවත් එක්ක නැත්තෙ මොකද කියල.පන්ති සටන වගේ කතා දැන් ලියවෙන්නේ නෑ මෙන්න මේ වෙන වෙන බහුබූත ලියන්න පටන් ගත්ත හින්ද.

    ReplyDelete
  42. බලපං උඹ ලියපු දේවල්.
    බෝධිදාසගෙ සොමිය, පයිය යනු කුනුහරුපයක්ද, දහ අට ප්ලස්, විසි එක ප්ලස්....... ඉතිං හිට්වෙන එක අහන්නත් දෙයක්ද? :-)

    ReplyDelete
    Replies
    1. ඒක තමයි බං, මීට පස්සෙ වරත්තු පෝස්ට් ලියන්නෙ නැතුව සාන්ත දාන්ත එව්වා ලියනවා කියල මම හිතාගත්ත. උඹ ඉදල් ගැන ලිව්වනෙ මම ලියන්නං කොසු ගැන,පොඩ්ඩක් කියල දීපං ඈ මට නං ලියන්න තියෙන්නෙ කොසු පාරවල් කාපුව ගැන තමා.

      Delete
  43. සිය වෙනි පොස්ට් එකට අපෙනුත් සුභ පැතුම්.

    කෑම ගැන නම් කියද්දී කෙළ කිලෝ එකක් විතර ගිල්ලා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පුමා,ඉස්සරනං නිතරම ආවා දැන් තමයි පේන්න නැත්තෙ

      Delete
  44. 100 ta suba pathanawa halape ayyata.jaya wewaaa....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තාරක,පැමිණීම සතුටක් ඔබට ජය !!!

      Delete
    2. samada pamine.post 100 ma kiyawa atha.

      Delete
  45. හැලපේ 100 Not Out එකට බොක්කෙන් සුභ පැතුම්!!!!!!!!!!!!

    කල්පිටියේ සංස්කෘතිය කියවන්නත් අහන්නත් හරිම ආසයි.අලි බලනවා වගේ තමයි එපා වෙන්නේ නැහැ. මංජුල ගාව තියෙනවා කල්පිටි ගැන රසකතා. වෙලාවක සෙට් වෙයන්. මගේ මස්සිනා ගිය මාසේ වෙනකම් එහේ හෝටලයක ඉඳලා අයින්වුනා.

    එක දවසක් කෙල්ලෙක් අපේ කොල්ලෙකුට කට උල් කරල කියනවා එයා කොල්පිටි ගිහින් ආවාලු. අරූ කියනවා මොන බොරුද ඔච්චර ඉක්මනට ගිහින් එන්න බැහැනේ කියලා. කෙල්ල බයිට්. ඒකනෙ නංගී ....කොල්ලුපිටියට ගියා කියන්නකෝ .....මම හිතුවේ කල්පිටි ගියා කියලා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අරූ,මංජුල මට ලඟදි මුණගැහුනෙ නෑ ඉක්මනටම හමුවෙයි.තව පෝස්ට් එකකට තොරතුරු මංජුල ළඟ ඇති නේද.

      Delete
  46. මම අදයි මෙක දැක්කේ. 100ට මාත් සුභ පතනවා.
    ‍මේ පෝස්ට් කියවනකොට මට හිතුන දෙයක් තමයි අපි හැමකෙනෙකුගේම ජීවිතවල පුදුමාකාර අත්දැකීම් රාශියක් තිබෙන බව.
    තව 100ක් දුවන්න ශක්තිය ධෛර්ය ලැබේවා....

    ReplyDelete
    Replies
    1. සුබ පැතුමටත් පැමිණීමටත් ප්‍රසන්නට ස්තූතියි.
      ඔබව මගේ බ්ලොගයට ආදරයෙන් පිලිගන්නවා

      Delete
  47. Bathala gunduva kiyala novel akak thieyanva eke me samajaya gena hodata kiyala thiyenava

    ReplyDelete
    Replies
    1. ඔව් ඇනෝ මංජුල වෙඩිවර්ධනයන්ගෙ සම්මානනීය නවකතාව මම කියවා තියෙනව.

      Delete
    2. ඉතා හොඳ පොතක් ඒක හැලප අයියේ.....

      Delete
  48. පළමුව සුබ පැතුම් අයියේ. ලස්සන සටහනට දෙවනුව තුති. ඔය වාලම්පුරි ඉන්දියාවේ චෙන්නායි මරිනා වැල්ලේ තොග ගානට විකුණන්න තියනවා නේද? ඒවා සේරම කෘතිම ඒවා කියලයි එහි සිටින අපේ හාමුදුරුවන් කිව්වේ. මා හිතන්නේ ඒ ගැන ඔබ හොදටම දන්නවා ඇති.

    ReplyDelete
    Replies
    1. සුබ පැතුමට ස්තූතියි නලින් මල්ලි,මරීනා බීච් එකේ තරං වාලම්පුරි මූදෙවත් නෑ, ඔක්කොම හදපුව අපේ අය චෙන්නායි ගිහිං උස්සං එන්නෙ එව්වා තමයි.

      Delete

ඔබේ අදහස්