පළමුවෙනි කොටස
අහුන්ගල්ලෙ යන්න ගියපු මම මගින් හැරිල අතුරුගිරියෙ විමල්ලගෙ ගෙදර ගියානෙ...අද අහුන්ගල්ලෙ යමු.
කිව්ව වගේම මාව කොටුවට එක්කං යන්න විමල් වෑන් එක අරං ආවා...බලපුවම රෝදෙක හුළං බැහැලා...
මම බස් එකේ යන්නං බං...
නෑ නෑ ඉඳපං පට ගාල ටයර් එක මාරුකරගෙන යමු...
විමල් ටයර් මාරුකරනකල් මම හිටියෙ නෑ...කොටුව බස් එකකට නැග්ගා...
මුළු රෑම නිදිමරපු නිසා උදේ අව්ව වැටෙනකොට හරි අමාරුයි...ඇස්දෙකෙන් බුදුරැස් විහිදෙනව වගේ හිටගෙන නින්ද යනවා...උදේ හතහමාරට විතර කොටුවෙන් බැහැපු මම ගාල්ලෙ ඉන්ටසිටියකට නැග්ගා...
මල්ලි අහුන්ගල්ලෙදි කතාකරන්න මම අහුන්ගල්ලෙන් බහිනවා...
කොන්දොස්තර කොල්ලට කලින්ම කිව්වෙ ෂුවර් එකටම නින්ද යනව කියල දන්න නිසා...
ඔහොම කියද්දි මට ප්‍රයිවෙට් බස් කොන්දොස්තර කෙනෙක්ගෙ කතාවක් මතක්වෙනවා...මේක මේ ජයලත් මනෝරත්නයන්ට වෙච්චි වැඩක්...
දංකොටුවෙ පෙන්නන නාට්‍ය දර්ශනයකට මනෝරත්නයන්ට නාට්‍ය කණ්ඩායම ගියපු බස් එකේ යන්න බැරිවෙලා තියෙන්නෙ හදිසි පුද්ගලික වැඩක් යෙදිල තිබුණු නිසා...
මම පාරෙ බස් එකේ ඇවිත් වෙලාවට එන්නං මට තැන කියන්නකො...
මනෝ කිව්වා...
දංකොටුවෙ නෙළුම්මල උළුමෝල ළඟින් බැහැගන්න...එක්කංයන්න කෙනෙක් එතෙන්ට එවන්නම්...
ඔන්න හවස මනෝ දංකොටුව බස් එකකට නැගලා ටිකට් ගන්නකොට කොන්දොස්තර කොල්ලට කියල...
මල්ලි මාව නෙළුම්මල උළුමෝල ළඟ බස්සවන්න...
හරි හරි මහත්තයා...
නින්දකුත් ගහගෙන ගියපු මනෝට ඇහැරෙනකොට උළුමෝල් එක එක පහුවෙනවලු...
ටිකකින් කොල්ලට කතාකරලා...
මල්ලි නෙළුම්මල උළු මෝල තව දුරද...
වටපිට බලපු කොල්ල ඔලුවෙ අත ගහගෙන...
ෂහ්...නෙළුම්ම්මල උළුමෝල පහුවෙලානෙ...
ටිකක්වෙලා කල්පනා කරපු කොල්ලා...
මහත්තය,ඔය නෙළුම්මල උළු ගන්න එපා...මහ බාල උළු ජාතියක් මම මහත්තයව බස්සන්නංකො නියම උළු මෝලක් ළඟ...ලේනා ළකුණ දරණ උළු...අන්න නියම බඩු මේ ඉස්සරහ තියෙන්නෙ...
තවත් බස් කතාවක් මතක්වුණා ඒකත් කියල ඉන්නංකො...
පුතෙක් අම්මව බස් ස්ටෑන්ඩ් එකට එක්කං ඇවිත් නුවර බස් එකට නග්ගවල ගියාලු...අම්ම කොන්දොස්තරට කියල තියෙනව ...
පුතේ මට නින්ද ගියොත් කෑගල්ලෙදි කතා කරන්න...
දැන් බස් එක යනව අර අම්මටත් හොඳටම නින්ද ගිහිං...
කෑගල්ලෙදි අම්මට කතාකරන්න කොන්දොස්තරට අමතක වෙලා...කෑගල්ල පහුකරලත් කිලෝමීටර් දෙකක් විතර ගියාම තමා කොන්දොස්තරට අර නිදා ඉන්න අම්මට කතාකරන්න මතක්වෙලා තියෙන්නෙ...
දැන් මොකද කරන්නෙ...
වෙච්චි සිද්දිය ඩ්‍රයිවර්ටත් කියල දෙන්න කතාවෙලා තියෙනවා...
පව්නෙ අපි අම්මව ආපහු ගිහිල්ල දාමු...
බස් එකේ හිටිය අනික් අයත් කැමතිකරවගෙන බස් එක ආපහු හරවගෙන කෑගල්ලට ගිහිං අම්මට කතාකරල තියෙනව...
අම්මෙ අම්මෙ මේ කෑගල්ල...
හා පුතේ කියපු අම්ම ළඟ තිබුණු බෑග් එක ඇරල බේත් පෙත්තක් කටේ දමාගෙන බිව්වලු...
ඇයි අම්මෙ බහින්නෙ නැද්ද...
නෑ පුතේ මට දවල්ට ගන්න තියෙන බේත් පෙත්ත බොන්න වෙලාව කෑගල්ලට විතර එනකොට හරියයි කියල ගෙදර ළමයි කිව්වා...ඒකයි මම කෑගල්ලෙදි ඇහැරවන්න කිව්වෙ...
මට නං එහෙම මොකුත් කරදරයක් වුණේ නෑ...අහුන්ගල්ලට ළංවෙද්දි කොන්දොස්තර කොලුවා මාව ඇහැරෙව්වා...
මහත්තයා ඉස්සරහින් බැහැගන්න ...
බස් එකෙන් බැහැල වටපිට බලනකොට මට හැරිල එන්න කියපු පාර තියෙනව...පාරට හැරෙනකොටම පොඩි කෙල්ලො දෙන්නෙක් බයිසිකලේකුත් තියාගෙන ඉන්නව...
පස්සෙ දැනගත්ත විදියට ඒ චිත්‍රාගෙ අක්කගෙ දුවලා...මම ආවද පාර හොයාගත්තද නැත්නම් අතරමං වුණාද කියල බලල එක්ක එන්න තමා මේ දෙන්න ඇවිත් තියෙන්නෙ...ඒ වුණාට මම පාරට හැරෙනව දැක්ක විතරයි කෙල්ලො දෙන්න කෑ ගහගෙන හූ කියාගෙන සයිකලෙත් හරවගෙන යන්න ගියා...
චිත්‍රලගෙ ගේ පිහිටල තිබුණෙ බොහොම සුන්දර තැනක...වත්ත මායිම්වෙලා තිබුණෙ මුහුදට, මුහුදෙන් වත්තට නෙරල ආපු බොක්කක් වගේ කොටසක් ගෙයි කුස්සිය පිටිපස්සට වෙන්න තිබුණා...මම යද්දි අනිත් කට්ටිය ඇවිදින් තේ බොනවා...ටිකකින් අපි කට්ටියම එළියට බැහැල ඇවිදින අතරෙ අර නොගැඹුරු මුහුදු බොක්කට පැන්නෙ නිරායාසයෙන්මයි...
විටින් විට ඒ බොක්කට මුහුදෙන් මාළු රංචු එනවා...අපි ටිකක්වෙලා එතන දඟලද්දි වයසක මනුස්සයෙක් ඇවිත් මාළු රංචුවකට බරු දැලක් ගැහුවා...දැල බේරපුවම එතන කිලෝ දෙක තුනක කලවම් මාළු නිකං රිදී කෑලි වගෙ දඟලනවා...අලුත්ම බඩු නිසා බැදල බයිට් එකට ගන්න අපිත් මාළු කූරයියො කීපදෙනෙක් අරගෙන ආවා...
දවසම මූදෙ නටලා දවල්ටත් කාලා හවස ජයන්තලගෙ වාහනෙන් ආපහු පිටත්වෙන්න ලෑස්තිවෙනකොට රෑට කන්න ලොකු බත්මුලකුත් ලැබුණා...
මට ආපහු අහුන්ගල්ලෙ යන්න වුණේ ඊට අවුරුදු පහළොවකට විතර පස්සෙ හදිසියෙ මැරුණු චිත්‍රලාගෙ අක්කගෙ මළගෙදරට...ඒ කාලෙ වෙද්දි චිත්‍රා මීගමුව පැත්තෙන් ගෙයක් අරගෙන පදිංචි වෙලා හිටියෙ...චිත්‍රලාගෙ අම්ම ඊට කලින් මැරුණත් ඒ කාලෙ මම ලංකාවෙ හිටියෙ නෑ...
ඉස්සර මාව එක්කං යන්න ආපු පොඩි කෙල්ලො ඒ වෙනකොට ගොඩක් ලොකුයි...එකෙක් කොල්ලෙක් එක්ක පැනල ගිහින් ගෙදරට පයගහල තියෙන්නෙ අම්මගෙ මරණෙට...
මේ දෙන්න මතකද...මෙයා ලොකු හපන්කමක් කරලනෙ ඉන්නෙ...
චිත්‍රා මට කෙල්ලො දෙන්නව හඳුන්වලා දුන්නා...
2004 දී සුනාමියට චිත්‍රලගෙ ලොකු මල්ලි පදිංචි වෙලා හිටපු මහගේයි බාලම මල්ලි මුහුද අයිනෙ හදල තිබුණු ගෙස්ට් හවුස් ඇන්ඩ් රෙස්ටුරන්ට් එකයි කෑල්ලක්වත් ඉතුරු නොවී හෝදලම ගියා...
මම චිත්‍රාට කණගාටුව ප්‍රකාශකළා...
ජීවිත බේරුණු එකම මදැයි...එහෙමවත් හිත හදාගන්න...
නූල් පොටක්වත් ඉතුරු නොවී සකල සේසතම ගහගෙන ගියාට පස්සෙ ජීවිත බේරිලා ඇති වැඩේ මොකක්ද...හිටියත් මළා වාගෙ තමයි...
බලාගෙන ගියාම ඒ කතාවත් ඇත්ත කියල හිතෙනවා...
දකුණු වෙරළ තීරයේ පදිංචිවෙලා හිටපු මගෙ අනිත් යාලුවා ඩැනිස්ට නං මූද අයිනෙම පදිංචිවෙලා හිටියත් සුනාමියෙන් කරදරයක් වුණේ නෑ...
ඩැනිස් රෙදිමෝලෙ වැඩට ආවෙ හැත්තැ ගණංවල මුල්හරියෙ...නැවතිලා හිටියෙ පොඩි මහින්දලගෙ ගෙදර ඉස්තෝප්පු කාමරේ...රෙදිමෝලට එන්න කලින් ඩැනිස් යුද්ධ හමුදාවට බැඳිලා හිටියෙ...ඒ හැට ගණංවල එතකොට දැන්වගේ හමුදාව බල්ලට ගිය කාලයක් නෙවෙයි...බොහොම නම්බුකාර ආයතනයක් හැටියටයි තිබුණෙ...හමුදාවට බඳවගනිද්දි හත්මුතු පරම්පරාවකම විස්තර සොයා බලනවා...ගෑවිච්චි තැනක එකෙක් හරි උසාවියෙන් වැරදිකාරයෙක් වෙලා තිබුණොත් හමුදාව පැත්ත පළාතට ගන්නෙ නෑ...පස්සෙ කාලෙක නං හොරුයි මංකොල්ල කාරයොයි හැම එකාම හමුදාවට බන්ද ගත්තනෙ...ඒ ගද්දි බැලුවෙ අතපය හතර පණ තියෙනවද කියල විතරයි...
ඩැනිස් හමුදාවෙ ඉද්දි දුර දිවීමේ ශූරයෙක්...රෙදි මෝලෙ ඉන්නකම්ම ඩැනිස් අවුරුදු උත්සවයෙ ගම හරහා දිවීම තරඟය දිනුවා...ඩැනිස් දිව්වා විතරක් නෙවෙයි ගමේ පොඩි අයටත් දුර දුවන්න පුහුණු කලා...ඒ දවස්වල එහෙම දුවල ධාවන ශූරයන් වෙච්චි ගමේ කොල්ලොන්ට පසුකාලීනව ක්‍රීඩා උපදේශක තනතුරු පවා ලැබුණා...
කොච්චර වැඩකාරය වුණත් ඩැනිස් බීපු වෙලාවට නං වනේ...නිකං වනේ නෙවෙයි සාල වනේ...
ඩැනිස් රෙදිමෝලෙන් අස්වෙලා ගියාට පස්සෙත් අපේ යාළුකම ඒ විදියටම පවත්වාගෙන ගියා...විශේෂයෙන් ඩැනිස් රෙදිමෝලෙ වැඩට එක්කරං ආපු මල්ලි නැල්සන් අපේ ගමෙන්ම පිළිවෙලක් වීම ඒකට වැඩියත්ම හේතුවුණා...
අසූව දසකයෙ මැද බාගෙ විතර අපි කළුවාමෝදර ඩැනිස්ලගෙ ගමේ ක්‍රීඩා සමාජයට ක්‍රිකට් තරඟයකට ආරාධනාවක් කළා...
ඒ දවස්වල දැන්වාගෙ අපේ ගමට පිට්ටනියක් තිබුණෙ නෑ අපි සෙල්ලං කලේ නාරංවත්තෙ පිට්ටනියෙ...
නියමිත දවසෙ කළුවාමෝදර ක්‍රිකට් කණ්ඩායම වෑන් එකක් පුරවල අපේ ගමට ආවා...
මැච් එක ගහල ඉවරවෙලා දුර යන්නත් තිබුණු නිසා අපි මේ අයට ලෑස්ති කරල තිබුණෙ එක ඉනිමක තරඟයක්...ඊට පස්සෙ දවල් කෑම සහ පිටත්වීම...
ඒ වුණාට ආපු ඔක්කොටොම සෙල්ලං කරන්න ඕනැය කියල ඉල්ලීමක් කරපු නිසා ඉනිම් දෙකම ක්‍රීඩා කරන්න ලෑස්ති කළා...පලවෙනි ඉනිමෙ ගහපු අයව දෙවෙනි එකේ අයින් කරල වෙන අයට අවස්ථාව ලබාදුන්නා...
පළවෙනි ඉනිම සෙල්ලම් කරපු ඩැනිස් දෙවෙනි ඉනිම පුරාවටම තවත් යාළුවෙකුත් එක්ක ළඟ තිබුනු ගේක මිදුලෙ පුටුදෙකක් තියාගෙන හොඳට සප්පායම් වුණා...
ඉනිම් දෙකේ වැඩේ නිසා දවල් කෑම හොඳටම පරක්කුවුණා අන්තිමේදී තරඟය අපි දිනුවා...
ප්‍රමාදවෙලා දවල් ආහාරය ගත්ත කණ්ඩායම පිටත්වෙද්දි හොඳටම හැන්දෑවුනා...
ගමනෙ ඉතිරි කොටසෙ විස්තරය මට කිව්වෙ කණ්ඩායමත් එක්ක ගියපු නැල්සන්...
වෙරිමතේ හිටපු ඩැනිස්ගෙන් යනකන් කණ්ඩායමට බලු බැණුම්...ඩැනිස් බීලා බනින්න ගත්තම බනින්නෙ ආයෙ මූණ බලන්න නෙවෙයි...ක්‍රීඩා සමාජයත් ඉවරයි...කළුවාමෝදර ක්‍රිකටුත් ඉවරයි...
මග්ගොන හරියෙදි එකපාරටම ඩැනිස්ට බාප්ප කෙනෙක් බලන්න යන්න ඕනැවෙලා වෑන් එකත් හරවගෙන එහෙ ගිහින්...
බාප්පගෙ ගේ ළඟ වාහනේ නවත්තපුවම ඩැනිස් බාප්පට කතාකරනවා...
මගෙ බුදු බාප්පේ...
ඇයි මගෙ බුජු පුචේ...
බාප්පා උත්තර දෙනවා...
බුදු බාප්පේ...
මගෙ බුජු පුචේ...
මගෙ බුදු බාප්ප කොහෙද ඉන්නෙ බාප්පේ...
අනේ මගෙ බුජු පුචේ මට එළියට එන්න විදියක් නෑ මම හැංගිලා ඉන්නෙ...
බලපුවම පොර හොඳටම බීල ගිහිං එකෙක්ව කපල ඇවිත් හැංගිලා...
ඩැනිස්ගෙ පිස්සු කෙළි නිසා එදා කළුවාමෝදරට යද්දි පාන්දර ජාමෙ වුණාලු...
මම බඳිනකොටත් කලින්ම ගිහින් ඩැනිස්ට මඟුල් කිව්වා...අමතක වෙලා එහෙම පස්සෙ ආරංචි වුණොත් බලු බැනුම්නෙ...
ඩැනිස්ගෙ කෙළවරක් නැති බීම පසුකාලීනව ඔහුව හෘද රෝගියෙක් බවට පත්කළා...
ඒත් ඔහු බීමත් ඔහුගෙ ප්‍රියතම කෑමත් නැවැත්තුවෙ නෑ...
ඒත් ඔහු බීමත් ඔහුගෙ ප්‍රියතම කෑමත් නැවැත්තුවෙ නෑ...
බීමත් එක්කම ඔහු කෑමට ඉල්ලන්නෙ හරක් මස් සහ දෙල්...ඔහුට අගුණම ආහාර...
2006 අවුරුද්දෙ ඩැනිස්ට දෙවෙනි වතාවටත් හැදුණු හෘදයාබාධය නිසා රෝහල් ගතකලා...
රෝහලෙන් ගෙදර එන්න හදපු දවසෙ හැදුනු හෘදයාබාධයෙන් ඩැනිස්ට ගොඩ ඒමක් වුණේ නෑ...
රෝහලෙන් ගෙදර එන්න හදපු දවසෙ හැදුනු හෘදයාබාධයෙන් ඩැනිස්ට ගොඩ ඒමක් වුණේ නෑ...
අන්තිමට මම කළුවාමෝදර ගියෙ 2011දී...ඒ නැල්සන්ගෙ තවත් සොහොයුරෙක්ගෙ මරණ ගෙදරක...
අපි එදා ඇවිදපු පොල් රුප්පාවන් ගහකොළ රන්වන් වෙරළ තීරය දැන් ගොඩක් වෙනස් වෙලා...ඒ කාලෙ චූටියල අපි රෑට වැල්ලෙ ගුල්වලින් ගොඩට එන කකුළුවො අල්ලපු හැටි වැල්ලෙදි මතක්වෙන්නෙ නිරායාසයෙන්මයි...අද චූටියත් නෑ ඩැනිසුත් නෑ...එදා හිටපු තරුණයන් අද වයසට ගිහිං...කාලය නොදැනිම අපේ දෙපා යටින් ගලා ගිහින්...
අපි එදා ඇවිදපු පොල් රුප්පාවන් ගහකොළ රන්වන් වෙරළ තීරය දැන් ගොඩක් වෙනස් වෙලා...ඒ කාලෙ චූටියල අපි රෑට වැල්ලෙ ගුල්වලින් ගොඩට එන කකුළුවො අල්ලපු හැටි වැල්ලෙදි මතක්වෙන්නෙ නිරායාසයෙන්මයි...අද චූටියත් නෑ ඩැනිසුත් නෑ...එදා හිටපු තරුණයන් අද වයසට ගිහිං...කාලය නොදැනිම අපේ දෙපා යටින් ගලා ගිහින්...



