අපේ ගං පළාත්වල සත්තු හැදිල්ලක් කියල වැඩිපුරම කෙරුනෙ හරක් හැදිල්ලයි කුකුල් කොටුයි,එළුවො කීප දෙනෙකුත් තැන තැන නොහිටිය නෙවෙයි හැබැයි ඌරු කොටු නං අපේ ගම පැත්ත පළාතෙ තිබ්බෙ නෑ. මොකද ඌරො ඇතිකිරිල්ල හරක් හැදිල්ල වගේ නම්බුකාර රස්සාවක් හැටියට අපේ ගංවල අය සැලකුවේ නැති නිසාවෙන් එහෙම වුනා මිසක අපේ ගමට එහා ගමේ නං ඌරු කොටුවක් තිබුණා,ඒකෙ අයිතිකාරයට අපේ තාත්තල කිව්වෙ ඌරු පීතර කියලයි,මනුස්සය පස්සෙ කාලෙක මැරුණත් පවුලෙ අයට ඒ නම දිගටම භාවිතයෙ තිබුණා...
ඌරො හැදිල්ල පිළිකුල් කළාට අපේ ගංවල මිනිස්සු ඌරුමස් නං පිළිකුල් කලේ නෑ,අලුත් අවුරුදු කාලෙට ජා ඇල කඳාන පැත්තෙන් ඌරෙක් මරාගෙන ඇවිත් සැන්ටින් මුදලාලිගෙ කඩේ පිටිපස්සෙ ඉඩං කෑල්ලෙ තියාගෙන හුළුගාල හමගහල මස් ටික ගොඩවල් ගහල විකුණන්න තිබ්බදාට ගමේ හැම කුස්සියකම ඌරුමස් ඇතිලියක් ඉදුනා...
අපේ ගං පළාත්වල ඌරො හැදුවෙ නැතුවට රාගම කඳාන ජාඇල මීගමුව හලාවත වගේ කතෝලික ලයින් එකේ නං ඌරුකොටු වකාරෙට තිබුන විතරක් නොවෙයි ඌරු පාලනය පිළිකුල් සහගත දෙයක් හැටියට ඒ අය සැලකුවෙත් නෑ,හලාවත ගොඩ්ප්‍රි මතකනෙ,ඔන්න ඔය ගොඩ්ප්‍රිලයි ගේ පිටිපස්සෙත් ඌරු කොටුවක් තිබුණා. මම එහෙ ගිය වෙලාවට නිතරම දැකල පුරුදු දෙයක් නොවන නිසා ඔය කොටුවෙ ඉන්න ඌරො දිහාත් උන් කනබොන දිහාත් පැයගානක් බලාගෙන ඉන්න පුරුදුවෙලා හිටියා,දවසක්දා මම යද්දි කොටුවට අලුතින් ඌරු පැටව් රංචුවක්ම එකතුවෙලා හිටියා උන් ඒ වෙනකොටත් තරමකට වැඩුනු පැටව්,ඔන්න එදා මම මගෙ ජීවිතේ පළවෙනි වතාවට(සමහර විට අවසාන වතාවත් වෙන්න පුළුවනි)ඌරු පැටව් කප්පාදු කරන හැටි දැක බලාගත්තා...
ළමයො මේ ඌරු පැටව් ටික කප්පාදු කරගන්නත් කාලෙ හරි නොවැ, ගිහිං ඇන්ටනිව අඬගහගෙන වරෙංකො...
ගොඩ්ප්‍රිලගේ අම්ම නංගිට එහෙම කීවම ගොඩ්ප්‍රිලගෙ නංගි ගිහිං ඇන්ටනිව එක්කං ආවා,ඇන්ටනි ගොඩ්ප්‍රිලට වඩා ටිකක් වයස තරුණයෙක්, ඔහු එද්දි අලුත් බ්ලේඩ් එකක් නූල අමුනපු ඉඳිකටුවක් සහ කොහොඹ තෙල් කුප්පියක් අරගෙන ආවා...
ඇන්ටනි වැඩි වෙලා ගතකලේ නෑ ඌරු කොටුවට පැනල වැඩේ පටන් ගත්තා.කවදාවත් දැකපු නැති දෙයක් නිසා මාත් ඒ ළඟටම වෙලා කට ඇරගෙන බලං හිටියා,ගොඩ්ප්‍රි අරං දෙන ඌරු පැටියගේ ඇට කුට්ටම තදින් අල්ලගන්න ඇන්ටනි බ්ලේඩ් එකෙන් ඇට කුට්ටමේ හම උඩ ඉරක් වගේ කැපුමක් දාල මිරිකලා කොස් ඇටේ සිබිඩ්ඩෙන් එළියට පන්නනව වගේ ඇට කුට්ටම එළියට අරං වීසිකරනකොට වටේ බලාගෙන ඉන්න කපුටො ටික උඩදීම කුට්ටම අල්ලගෙන ගිලල දානවා...
ඌරුපැටියගෙ කපපු තැනට ඉඳිකටුවෙන් මැහුම් දෙකතුනක් දාල ලිපේ අළු ටිකක් එතන ගාල පැටියට කොහොඹ තෙල් ටිකක් පොවල බිම තිබ්බම ඌරු පැටව් කෑ ගගහ කොටුව පුරා දුවනව වේදනාවට වෙන්න ඇති,ඇන්ටනිගෙ සරල සහ රළු ශල්‍යකර්මය එතනින් ඉවරයි,ඌරු පැටව් ඔක්කොම ටික කප්පාදු කරන්න ඕනැනං විනාඩි පහළොවක් යන්න ඇති ,හැලි අරක්කු වීදුරුවකුත් බීල ගොඩ්ප්‍රිලගේ අම්ම දුන්න කීයක්දත් ඉනේ ගහගත්ත ඇන්ටනි යන්න ගියා...
දැක්කද වැඩේ, තාත්ත ඉන්න කාලෙ අපේ ඌරු පැටව් විතරක් නෙවෙයි අහළ පහළ පැටවුනුත් කප්පාදු කලේ අපේ තාත්තා...
ගොඩ්ප්‍රි මාත් එක්ක කිව්වා...
ඉතිං තාත්ත ගොඩ්ප්‍රිලට කප්පාදු කරන්න කියල දුන්නෙ නැද්ද...
නෑනෙ, ඊටමත් ඉගෙනගන්න අපේ උනන්දුවක් තිබුනෙත් නෑ...
ඒ වෙනකොට ගොඩ්ප්‍රිලගෙ තාත්ත සමාදානයෙ සැතපිලා අවුරුදු දහයක් විතර ඇතිලු,ඔන්න සමාදානයෙ සැතපෙනව කියද්දි මට කතාවක් මතක් වුනා අමතක වෙන්න ඉස්සෙල්ල එකත් කියල ඉන්නං...
හදිස්සියෙම මැරුණු ජෝකිං මුදලාලි ගමේ හිටපු ලොකුම පෝසතෙක් ඉඩකඩම් වතුපිටි කඩ සාප්පු ආදිය යමරෙට තිබුනත් ඔහුගෙ පවුල් ජීවිතේ නං සතුටුදායක එකක් වුනේ නෑ,එහෙම වුනේ වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම වදක බාරියාවක් වුනු ජෝකිං මුදලාලිගෙ පවුල ජෝකිං මුදලාලිට දෙන්න තියෙන දස වද ඔක්කොම දෙමින් කන් කරච්චලයක් වෙමින් ජෝකිං මුදලාලිගෙ මුළු පවුල් ජීවිතේම කටුක කටෝර අන්ත නීරස එකක් කරපු නිසයි,ජෝකිං මුදලාලි ඔච්චර ඉක්මනට මැරෙන්න හේතුවත් පවුල දීපු දස වද නිසාවෙන් කියලයි කරුණු කාරණා දන්න ඇත්තො කිව්වෙ...
බලාපොරොත්තු වුනේ නැති විදියට හදිස්සියෙම තමන්ට හිමිවුන මහා ධනස්කන්ධය ගැන සතුටින් ඉපිළිලා හිටපු ජෝකිං මුදලාලිගෙ පවුල ජෝකිං මුදලාලිගෙ අවමංගල්‍ය කටයුතු මහ ඉහළින් සිද්දකරල කනත්තෙ සොහොන් කොතකුත් බැන්දෙව්වා,සොහොන් කොතේ ලියල තිබුනෙ සත්ගුණවත් ජෝකිං මුදලාලි සමාදානයේ සැතපේවා කියලයි...
මුදලාලිගෙ පවුල ඔන්න ඔය විදියට සතුටින් ඉද්දි දවසක්දා දවාලෙ ටවුමෙ ඩයස් පෙරකදෝරුවගේ කාරෙක මුදලාලිගෙ වත්තට හැරෙව්වා,ජෝකිං මුදලාලිගෙ ව්‍යාපාර ආදියේ නීතිමය කටයුතු ඔක්කොම කරපු ඩයස් පෙරකදෝරුවව ජෝකිං මුදලාලිගෙ පවුල ඉස්තෝප්පුවට ගිහිං පිළිගත්තා...
හාමිනේ දන්නවනෙ මුදලාලිගෙ අන්තිම කැමැත්ත මගෙ ළඟ ලියල තිබ්බ වග...
එහෙනං,මොකෝ මං නොදන්නෙ දේපොළ ටික මට පවරල යන්නද මහත්තය ආවෙ...
නෑ නෑ මුදලාලි එයාගෙ අන්තිම කැමැත්තෙන් ඔක්කොම දේපොළ ටික අනාථ නිවාසෙට පවරල තියෙනව,අයිතිය බාරදෙන්න මම අනාථ නිවාසෙ කට්ටියව ලබන සුමානෙ එක්කං එනව, හාමිනේට එතකල් ගෙදර ඉන්න පුළුවනි...
එතකොට මට...
හාමිනේට නං තඹ සතේක දේපොළක් ලියල නෑ,එහෙනං හාමිනේ මම ගිහිල්ල එන්නං...
පෙරකදෝරුව යන්න ගියායින් පස්සෙ කේන්තියෙන් මල පැනල හිටපු ජෝකිං මුදලාලිගෙ පවුල සොහොන් කොතේ අකුරු කොටපු මනුස්සයට එන්න කියල පණිවිඩයක් යැව්වා...
මට සොහොන් කොතේ කොටපු එක පොඩ්ඩක් වෙනස් කරගන්න ඕනෑ ඒකයි ඔහෙට එන්න කිව්වෙ...
වෙනස් කරගන්න ඕනැ කරන්නෙ මොකද්ද හාමිනේ...
සමාදානයේ සැතපේවා කියන කෑල්ලට ඉස්සරහින් මං එනතුරු කියල කොටනවා...
අකුරු කොටන මනුස්සය අවශ්‍ය වෙනස්කම කරල ඉවරවුනාම ජෝකිං මුදලාලිගෙ පවුල තමන්ගෙ ඇඳුම් කැඩුම් ටිකත් බෑග් එකකට දාගෙන ගෙයින් එළියට බැහැල යන්න ගියා...
ඔන්න ඔහොමයි,සම්ප්‍රපලාප කිව්ව මදැයි ඊළඟට කියන්න තියෙන්නෙ නං අපි සියළු දෙනාගෙම හදවත් විතරක් නොවෙයි මුළු සරුවාංගෙම ප්‍රීති ප්‍රමෝදයෙන් කිළිපොලා යන ආරංචියකුයි,ඒ මොකද්ද කිව්වොත් අපේ ජාතියේ පිනට මෑතකදි දෙව්ලොව සිට මෙලොවට පහළවෙලා ඇති බොදු බල සේනාව ඔවුන්ගේ තේමා ගීතය නිකුත්කරල තියෙන බවයි,දැන් අපි සියලුදෙනාම මේ ගීතය හඬනගා ගායනා කරමු.ඔක්කොමල්ල වැඳගන්න,ඔහොම නෙවෙයි යකුනේ දොහොත් මුදුන් දී වැඳගනියව් මට කියල බෙල්ල කඩවගන්නෙ නැතුව,හා හරි...
බොනවද දහම් පැන්- නැත්නං පොවන්නද
මොනවද අඩෝ පන්සිල්- කණ පලන්නද
වෙනවද නිදුක් -නැත්නං දුක් නිවන්නද
යනවද නිවන් නැත්නං තෝ යවන්නද
සාදු කියන්න පිංවතුනි....
(ගීතය උපුටා ගැනීම ලංකා නිව්ස්වෙබ් වෙබ් අඩවියෙනි)
