Friday, April 11, 2014

125.බක්මහේ සිහිනය සහ මුංගුලි


අපි පොඩි කාලෙ අලුත් අවුරුද්දක් එනව කියන්නෙ ඉතිං සෑහෙන කාලෙකින් සිද්දවෙන දෙයක් නොවැ අවුරුදු හරි දිගයි,අලුත් අවුරුද්ද එන්න ගොඩක් කල් යනවා පොඩි අපි අලුත් අවුරුද්ද එනකල් නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නෙ වැඩියෙම රතිඤ්ඤ පත්තුකරන්නයි  බීරංග ගහන්නයි. එතකොට ඉස්සරහ අඹ ගහේ ඔංචිල්ලාවකුත් බඳිනවමයි...

අම්ම කුස්සියෙ ගොම මැටි ගාල ලිප් එහෙම අලුත්වැඩියා කරගෙන වංගෙඩියෙ පිටි වනක් කොටන්නෙ අවුරුද්දට රස කැවිලි හදන්නටයි,අතිරස,අලුවා,මුංගුලි වගේ රසකැවිලිත් ගස්ලබු පෙතිත් අමු මිරිසුත් පොල් විනාකිරිත් දාල හොඳට සැරට හදන ගමේ අච්චාරුවකුත් අම්මගෙ කුස්සියෙ වරදින්නෙ නෑ...

අම්ම හදන රසකැවිලි වලින් මම කන්න ආසම ජාතිය මුංගුලියි, බැදපු මුං පිටිත් පැනිපොලුත් තාච්චියෙ මලවල ගුලිකරල  ගුලි ටික පිටි මිශ්‍රණය තවරල බැදගත්තම හරිම රසයි...

මුංගුලි ගැන කියනකොට මට මුංඇට ගැන පොඩි කතාවකුත් මතක් උනා,ඒකත්  කියලම ඉන්නං...

ඔන්න  අනාගතේ ගැන හිතල  අලුත බැඳපු බිරිඳව තනිකරලා රට රස්සාවකට ගිය තරුණ සැමියෙක් අවුරුදු දෙක තුනකට පස්සෙ ආපහු සියරට ඇවිත් කාලෙකට පස්සෙ හම්බ වුනු තරුණ බිරිඳගෙ තුරුලෙ ඇයගෙ උණුසුමේ මිහිර විඳගනිමින් ඉන්න ගමන බිරිඳගෙ කොට්ටෙ යට කොලේක ඔතල තිබ්බ මුංඇට හයකුයි රුපියල් එකසිය විස්සකුයි  දැකල මේ මොනවද කියල ඇහුවලු...

ඒ අහපු ගමන මේ තරුණ බිරිඳගෙ ඇස්වලින්  දොඹගෙඩි සයිස් කඳුළු කැට වැක්කෙරෙන්න වුනා...

ඇයි ඇයි මොකද රත්තරනේ ඔයාට ගෙදර මතක් උනාද,අපි හෙට අනිද්දට ඔයාලගෙ ගෙදර ගිහිං එමුකො හා හා දැන් නාඩ ඉන්නකො...

ඒ වුනාට බිරිඳ  අඬන එකනං නැවැත්තුවෙ නෑ...

ඔයා මම නැතුව ගොඩක් දුකෙන් හිටිය කියල මම දන්නව රත්තරං,මම රට ගියෙ හිතකින් නෙවෙයි අපි දෙන්නගෙ අනාගතේ ගැන හිතලමයි...

ඒ ගමන ඇඬිල්ල වැඩිවුනා බිරිඳ ඉකි ගගහ අඬද්දී මනුස්සය කොහොම වාවගෙන ඉන්නද...

ඔයා අඬනකොට මටත් වාවන්නෙ නෑ,මම කොහොම ඉවසගෙන ඉන්නද...

නෑ අනේ මම කොහොමද ඔයාට මේවා කියන්නෙ මගෙ පපුව පැලෙන්න එනවා,මට වාවගන්න බෑ අනේ මට මැරෙන්න ඕනෑ මට මැරෙන්න ඕනෑ ඈඈ ඈ...

හා හා නාඩා කියන්නකො මොකද මොකද මේ...

එහෙනං මම කියන්නද ඔයා මාත් එක්ක කේන්ති ගනීද දන්නෙ නෑ අනේ මට බයයි...

අපොයි  මොකට කේන්ති ගන්නද ඔයා කියන්නකො...

ඔයා රට ගියාම මට තනියම ඉන්න බෑ පාලුයි දුකයි තනිකම කියාගන්න කෙනෙක් නෑ මම හැමදාම රෑට කොට්ටෙ තෙමෙනකල්ම අඬනව,මම ඔහොම දුකෙන් ඉන්නව දැකපු අර හංදියෙ කුලී ගෙදර ඉන්න අයිය මගෙන් ඇයි දුකෙන් ඉන්නෙ කියල විස්තර අහල මගේ පාලුවයි තනියයි මකාගන්න එයා උදව් කරන්නං කිව්ව,ඉතිං ඊට පහුවද ඉඳන් ඒ අයිය හැමදාම රෑට ඇවිත් ඔයා නැති තනිය මැකුවා...

ඉතිං  ඒකෙයි මේ මුං ඇට වලයි තියෙන සම්බන්දෙ මොකක්ද...

ඒ අයිය මාව බලන්න එන හැමදාම මතක්වෙන්න කියල මුංඇටේ ගානෙ අරං ආවා  ඔය මුංඇට එව්ව තමා...

තමන්ගෙ බිරිඳගෙ අවංක කමටයි ඇත්තම කීව එකයි ගැන  මේ තරුණයට දුක හිතුණා...

ස්වාමි පුරුෂයෙකුට අහන්නට අමාරු කතාවක් උනත් ඔයා අවංකව ඇත්තම කියපු එකට මම හරි කැමතියි,සමාව දෙන්න බැරි වැරද්දක් මේ ලෝකෙ නෑ කියනවනෙ,මටත් ඔයාට සමාව දෙන්න බැරිකමක් නෑ අනික ඒ මනුස්සය ඇවිත් තියෙන්නෙත් දවස් හයනෙ, එතකොට මේ රුපියල් එකසිය විස්ස මොනවද... 

එකතුවෙලා තිබ්බ මුං ඇට කිලෝ දෙකක් ගිය සුමානෙ මම හංදියෙ සිල්ලර කඩේට දීල සල්ලි ඉල්ල ගත්ත,ඔය තියෙන්නෙ ඒ සල්ලි තමයි...

හුටා මම කියන්න ආවේ වෙන කතාවක්නෙ ළමයි, දැන් මොනව කරන්නද ඉතිං ලියපු එකත් ඔහොමම තිබ්බදෙන්...

කලින් අවුරුදුවල වගේම මෙදා සැරෙත් සයිබරයේ සිහින බක්මහ උළෙල මහ ඉහලින් පවත්වන්නට කටයුතු සියල්ලම  සුදානම්  කර තියෙන වග මේ සිහින බක්මහ උළෙල වගේම සයිබරයේ වෙනත් එකමුතු වලටත් පණ දාගෙන මහන්සිවෙන නලින් මටත් දැනුම් දීල තියෙනවා...

මෙදා උත්සවය පැවැත්වෙන්නේ අප්‍රේල් 20 වෙනිදා බත්තරමුල්ල පැලවත්තේ  බුද්ධදාස ක්‍රීඩාංගනයේදීයි, එතනට යන විදිහ මෙන්න මෙහෙමයි යන පාර... 

පැමිණීම තහවුරු කිරීමේ පෝරමය මෙන්න මෙතනින් ගිහිං පුරවන්න,වැඩිදුර විස්තර දැනගන්න අවශ්‍ය අයට ඒ සියල්ලම බ්ලොග් අවකාශයේ මිතුරෝ වෙබ් අඩවියෙන් බලාගන්නට පුළුවනි...

ඉතිං අප්‍රේල් 20 වෙනිදා උදෙන්ම පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයට ගිහිං සයිබරයේ සිහින බක්මහ උළෙලට සහභාගී වෙලා වසරකට වරක් පවත්වන මේ සිහින බක්මහ උළෙල සාර්ථක කරගන්නට ඔබේ සහයෝගය ලබාදෙන්න කියා බ්ලොග් ලියන කියවන සියලු දෙනාගෙන්ම මා ඉතා ආදරයෙන් ඉල්ලා සිටිනවා...

1980 අවුරුද්දේ ලංඩනයේ පැවැත්වුණු ප්‍රසංගයකදී පණ්ඩිත් අමරදේවයන් ගැයූ මේ රස වෑහෙන ගීතය අලුත් අවුරුද්දෙ ඔබේ රස වින්දනයට එකතුකරගන්න...


පින්තුර බලා සෑහීමකට පත්වෙන්න මට සිද්දවුනත් සයිබරයේ සිහින බක්මහ උළෙලේ සියළුම කටයුතු සාර්ථක වේවායි මේ අලුත් අවුරුද්දේ ඉත සිතින් ප්‍රාර්ථනා කරමු.