tag:blogger.com,1999:blog-84324154277424623252024-03-17T20:04:00.176-07:00හැලපයා helapayaහැලපය කඩේ දාපු තැන් වල මතක .....හැලපයාhttp://www.blogger.com/profile/14910441607831391629noreply@blogger.comBlogger306125tag:blogger.com,1999:blog-8432415427742462325.post-36953458478878374782022-07-03T18:11:00.003-07:002022-07-03T18:14:25.570-07:00සේනගේ කතාව, ලණුවේ පටලැවිල්ල, නිළමේගේ සංග්‍රහය, ගුරාගේ කොටුව සහ නඩු විභාගය.

https://helapakade.blogspot.com/2020/07/blog-post.html

අපි අන්තිමට සේනගේ කතාව කියෙව්වේ 2020 අවුරුද්දේය. කතාව තව ටිකක් කියන්නට ඇත. අද ලෑස්ති වෙන්නේ ඉතුරු ටික කියන්නටය. ඉවර කරගන්නට හැකිවේදැයි නොදනිමි.

සේනත් මමත් නිළමේගේ රා පොළෙන් රා කටු දෙක තුනක්ද සප්පායම් වී කයියක්ද ගසමින් සිට ආපහු ඩැනිස්ගේ කාමරයට ආවේ සෑහෙන්න ප්‍රමාද වෙමිනි. අපි එනවිට ඔහු නින්දෙන් නැගිට උදේට කා බී සිගරට්ටුවක්ද උරමින් කොට බිත්තිය උඩ වාඩිවී සැහැල්ලුවෙන් සිටියේය.

"අම්මට සිරි! මේ සේන නේද? මොකද මේ හදිස්සියෙ?" ඩැනිස් ඇසුවත් සේන හදිස්සියෙන් ආවේ ඇයි කියන එක ඔහු හොඳින් දැන සිටි බව ඔහු මට ඇසකින් ඉඟි කරන විටම තේරුම් ගියේය.

"නිකං ඇවිත් යන්න ආව සිල්වා රාළහාමි." ඩැනිස්ට ගමේ කවුරුත් කතා කළේ සිල්වා රාළහාමි යනුවෙනි.

"යමු ඇතුළට දෙන්නම." කියමින් ඩැනිස් අපව කාමරය තුලට කැඳවාගෙන ගියේය.

කාමරයට ගොස් ඇඳක හිඳගත් වනම සේනගෙන් ඩැනිස්ට ප්රශ්නය යොමුවිය.

"ඇත්තද රාළහාමි මේ මෙයා කියන්නෙ?"

"මොකක්ද?"

"රාළහාමි රොටියත් එක්ක සම්බන්ධකමක් තියෙනව කියල?"

"ඉතිං මොකක්ද ඒකෙ ඇති වැරැද්ද?" සේනයාව මඩවන්නම හිතාගෙන ඩැනිස් සැහැල්ලුවෙන් උත්තර දෙයි. ඒ චෝදනාව ඩැනිස් තරයේ ප්‍රතික්ෂේප කරනු ඇතැයි සිතාසිටි සේන ඩැනිස් චෝදනාව වැඩි බරක් නැතුවම පිළිගැනීම ගැන මවිතයට පත්වෙයි. එන්න එන්නම සේනගේ ස්වරය හැඬුම්බර වෙයි.

"ඉතිං රාළහාමි බැඳලනෙ?"

"හරි මගුලක්නෙ. බැඳපු මිනිහෙකුට කෙල්ලක් යාළු කරගන්න තහනම් කියල නීතියක් මොකක්හරි තියෙනවද? මම ඇහුවා ඒකිත් කැමති උනා එච්චරයි."

"ඒ උනාට රොටියා මගෙත් එක්කනෙ යාලුවෙලා හිටියෙ."

"ඒ කලින් වෙච්ච දෙයක්නෙ. යාලුඋනා නම් කෙල්ලව පරිස්සම් කරගන්න තමුසෙ දැනගන්න ඕනෑ. කෙල්ලව ගෙදර දාල කැලෑ හතේ රස්තියාදුවෙ ගියාම කෙල්ලො වෙන අතක් බලාගන්නව තමයි. ඒකට උන්ට දොස් කියල හරියන් නෑනෙ."

"යකෝ ඕකිමනේ මට කිව්වෙ, අනාගතයක් තියෙන්න ඕනෑ, ගමේ රස්තියාදු ගගහ ඉඳල හරියන් නෑ. රස්සාවකට ගිහිං යමක් කමක් හම්බ කරගන්න කියල. ඒක හින්දනෙ මම ගියෙ. ගිහිං මාසයක් උනේ නෑ ඕකි මට මෙහෙම කළානෙ."

බිම බලාගෙන හිසේ අත් ගසාගත් සේන හඬන්නට විය. සේනයා අඬන හැටි ඩැනිස්ට බලාගෙන ඉන්නට බැරිවිය. ජොලියට ලණුවක් දුන්නත් එය එහෙම පිටින්ම ගිල කතාව නොසිතූ පැත්තකට හැරේවි යයි අප බලාපොරොත්තු වුණේ නැත.

"ඔය විලාපෙ නවත්තගන්නව සේන. අපි තමුසෙව රවට්ටන්න බොරුවක් කළේ. යාලුවන්ට අපි එහෙමත් සවුත්තු වැඩ කරනවද මනුස්සයො."

ඩැනිස් හොඳින් කතාකර සේනගේ හිත හැදුවේය. කඳුළු පිසදාගත් සේන අප දෙස බලා සිනාසුනේ සතුටිනි. එදා හවස සේනත් රොටියාත් දෙහි ගහ යටටවී පෙම් බස් දොඩනු අප දෙදෙනා බලා සිටියේ සිනාසෙමිනි. සේන පහුවදා පාන්දරම ගඩොල් වාඩියට යන්නට පිටත් වුණේ දවස් දෙකක් වැඩ පාඩු උනා යයි මට දොස් කියමිනි.

"අහිංසකයට පව් බං." ඩැනිස් කීවේය.

ගුරාද ඩැනිස්ගේ කාමර සගයෙකි. නුවර දෙයියන්නෙවෙලින් පැමිණි ගුරාත් අලුත්ගම කළුවාමෝදරින් පැමිණි ඩැනිසුත් එක කාමරයක එකතුවුනේ රෙදි මෝලේ රස්සාව නිසාය. ඔය වගේ රටේ විවිධ පළාත්වලින් පැමිණ එකට නැවතීගෙන කමින් බොමින් රස්සාව කරපු සිය ගණනක් ඒ කාලයේ අපේ ගම සිය තාවකාලික වාසස්ථානය කරගෙන සිටියහ(එමෙන්ම සමහරක් පසුකාලීනව තාවකාලික වාසස්ථානය සදාකාලික කරගත්හ) රටේ හැම පැත්තකින්ම පැමිණි විවිධ ජනවර්ග වල අයගේ ප්‍රාදේශීය භාෂා ව්‍යවහාරයන්ද විවිධාකාර විය. බිබිලේ දුෂ්කර ගම්මානයකින් පැමිණ රස්සාව කළ රසාක් කැඩි කැඩී සිංහල කතා කළේය. බදුල්ල පළාතෙන් පැමිණි තරුණයෙක් වූ කරුනාසිංහත් ගිරුවා පත්තුවේ වීරකැටියටත් එහා ගමකින් පැමිණි පාලත් බෙහෙවින් ප්‍රිය කළේ රා බීමටය. කොටින්ම එකල අපේ ගම මුළු ලංකාවේම හරස්කඩක් වුයේ රෙදිමෝල නිසාය. මොන ජාතියක වුවත් රටේ කොයි පළාතක වුවත් නිවාඩු ඇති හැම වෙලාවේම කට්ටිය එක් රැස් වුණේ පොඩි මහින්දලාගේ ගේ ඉස්සරහ තිබුණු කොට්ටං ගහ යටටය. වැඩුමල් වුනත් බාල උනත් පිටින් පැමිණි සියළු දෙනාම කරන දෙයක් කරන්නේ ගමේ කොල්ලන් වූ අපේ අනුදැනුම පිටය. ඔය මම කියන්නට යන දවසේද අඩු තරමින් හත් අට දෙනෙක්වත් කොට්ටං ගහ යට එකතුවී කතා කරන්නට වුණේ අද කුමක් කරමුද කියාය. මාසයේ අග දවස් නිසා ඊළඟ මාසයේ පඩි ලැබෙනතුරු රස්සාව කරන උන් අතේ මුදල් නැත. රස්සාවල් නැති කොල්ලන් වූ අපේ අතේ කවදාවත් මුදල් ගැවසුණේ නැත. හොර කුරුම්බා කැඩීම, අලවත්තේ අන්නාසි හොරෙන් කඩා කෑම, මාළු වලවල් ඉසීම, දෙල් හෝ මඤ්ඤොක්කා තම්බාගෙන කෑම සහ කොළ කැඳ හැදීම එකල අප අතර ජනප්‍රියම අංග විය. එදා ඒ එකකටවත් කාගේවත් කැමැත්තක් නොතිබුණි. අවසානයේ තීරණය වුයේ නිළමේ බලන්නට යෑමටය. එයට සියළු දෙනාම එකඟ වුයේ මහත් සතුටිනි. නිළමේ බලන්නට යාම යනු වෙන වචනයකින් කිව්වොත් රා බොන්නට යෑමය. ඒ නිළමේ රාවලින් දේශීය නිෂ්පාදනයක් පෙරන්නට ගත් අලුතමය. කැමති අයට කැමති දෙයක් බොන්නට ලැබෙන නිසාත් සත පහක්වත් වියදම නොයන නිසාත් හැම දෙනාම නිළමේ බලන්නට යන්නට බොහෝ මනාපය.

තීරණයක් ගත් පසු ප්‍රමාද වෙමින් සිටීමේ තේරුමක් නැත. ඔක්කොමල්ලා ඒ වනවිට මගට බැස හමාරය. නිළමේ සිය වාඩිය තනාගෙන සිටියේ අපේ ගමට එහා ගමේ කෙළවර පියාගෙන් ලැබුණු ඉඩම් කැබැල්ලකය. පාරෙන් යනවා නම් වාඩියට යන්නට කිලෝමීටර් දෙකහමාරක් තුනක් යන්නට ඇත. අපි ගියේ කොට පාරවල් වලින් වතු උඩින් පැන ගනිමින් නිසා ඉක්මනටම වාඩියට යන්නට හැකිවිය. අපි යනවිට අතුරේ ගසින් ගසට යමින් මල් කපමින් සිටි නිළමේ අපේ පැමිණීම දුරතියාම දැක අතුරෙන් බැස වාඩියට ආවේය. සුළු කතාබහකින් පසු තව ගස් ටිකක් කපා ඉවරකරන්නට ඇතැයි කියා ඇල අසල බඩවැටියට ගිය නිළමේ තමන් ආපසු එනතුරු බොන්නටැයි කියා පිරී තිබු හතේ කෑන් එකක් ගෙනැත් තිබ්බේය. බඩු වැඩිපුර කළවම් කර නොමැති නිසා සැර ඇතැයි කියූ ඔහු කළවම් කරගෙන බොන්නැයි අවවාදයක් කළ නිළමේ බයිට් එකට සැර ගමේ අච්චාරු මුට්ටියක්ද ගෙනැත් තබා ආපහු ගස් නගින්නට ගියේය. අවවාද අනවශ්‍යය. අපේ උන් නිළමේ ගහ ලඟට යන්නටත් කලින් වක්කරගෙන බොන්නට පටන් ගත්හ. මෙච්චර කොහොම බොන්නටදැයි විමතිය පළකරමින් පටන් ගත්තත් කෑන් එක කෙමෙන් කෙමෙන් අඩුවන්නට විය. මුලින්ම වැටුනේ අබයාය. ඌව වියපු පොල්අත්තක තබා තව පොල් අත්තකින් වැසුවේ අව් සැර වැටෙනවාටය. තවත් දෙතුන් දෙනෙක් වැටෙද්දී කෑන් එකේ පතුල පෙනෙන්නට විය. වත්තම් කරගෙන යන්නට පුළුවන් උන්වත් රැගෙන අපි ආපහු ආවෙමු. එදා බීපු බීමේ සැරට මගේ උගුර පිච්චි දවස් කීපයක් කෑම කන්නද බැරිවිය.

මෝලේ වැඩකරපු සැට් එකේ ඉන්න වැඩි හරියක් බීමට කප් ගහපු උන්ය. කෑම නැතත් කොහෙන් හෝ බීම සොයාගනිති. බීමට පසු ප්‍රමුඛත්වය ලැබෙන්නේ මෝලටය. බීවාට පසු මෝල් අමාරුව හැදෙන උන්ද බීවද නොබීවද නිතරම මෝල් අමාරුව ඇති උන්ද ඉන්න අතර මේ අය නිතරම අමාරුව සුව කරගන්නට තැන තැන සැරිසරති. දවසක්දා හවස ඇඳිරි වැටීගෙන එන වෙලාවේ නාකියාගෙන එහෙම කාමරයට ආ ගුරා යාළුවෙක්ට කතා කළේය.

"ඒයි, එනව ගමනක් යන්න!"

"කොහෙද ඕයි?"

"තමුසෙට ඒකෙන් වැඩක් නැනෙ. එනවකො යන්න!" කී ගුරා කඩිමුඩියේ ලොකු සිමෙන්ති කඩදාසි කවරයක් ගෙන ඌ පුට්බෝල් ගහනවිට ඇඳ අයින් කර දමා තිබු පරණ ජර්සි වගයක් කවරයට පුරවන්නට විය. ජර්සි කවරයට පුරවා ලොකු පාර්සලයක් ඔතාගත් ගුරා යාළුවාත් එක්ක දෙවැට පාර දිගේ පල්ලම් බහින්නට විය. එකල අපේ ගම වෙන්වී තිබු කුඹුරු යාය හරහා වැටුණු පාර තිබුණේ නැත. කවුරු කවුරුත් දෙවැට දිගේ වැටී තිබු අඩිපාරෙන් ගොස් වෙල නියර දිගේ එගොඩ ගොඩට යන්නට පුරුදුවී සිටියහ. දෙවැට පාරේ මඳක් දුර ගොස් ගෙදරක කම්බි වැට අයිනේ නැවතුණු ගුරා බලා සිටින්නට විය. ටික වෙලාවකින් ගේ පිටුපසින් කාන්තාවක් එළියට ආවාය. ඇය ඉක්මන් ගමනින් කබල් වැට අයිනේ සිටි ගුරා ලඟට විත් නැවතුනාය.

"රෙදි ගෙනාවද?" කාන්තාව කසු කුසුවෙන් ඇසුවාය.

"ඔව් මේ !" ගුරා පරණ ජර්සි පාර්සලය ඇයට පෑ විට කාන්තාව එය අතට ගත්තාය. යාලුවා එතැනම පොල් මුලක් උඩ වාඩිවී බලා සිටී. ගුරා ඌව ගෙනැවිත් ඇත්තේ ඔත්තු බලන්නටය.

"එන්න!" ගුරා කීවේ රහස් හඬකිනි.

කාන්තාව වැට පැන එන්නට අදි මදි කරයි. ගුරාද වැට පැන ඇතුළට යන්නට කැමති නැති සෙයකි. දෙදෙනා මඳ වෙලාවක් කසු කුසුවෙන් සාකච්ඡා කර අන්තිමේ දෙදෙනාටම එකඟ විය හැකි විසඳුමකට පැමිණියහ. කාන්තාව සිය හැඳිවත උනා දෙකට නැවී මළකඩ කාච්ච කම්බි දෙපොටක් අතරින් සිය විසල් පශ්චාත්භාගය එළියට දමා දණගසා ගත්තාය. ගුරා කාන්තාව ලඟට කිට්ටු වුණේ තොළකට ලෙවකමිනි. විනාඩි දෙක තුනක් ගතවන්නට ඇත. දෙවැට පාරේ කන්ද උඩින් ගිණි පුපුරක් සෙලවෙනු යාලුවා දුටුවේය. ගිණි පුපුර වරෙක දීප්තිමත් වෙයි. නැවත එළිය අඩු වෙයි. යාළුවා විමසිලිමත් විය. ගිණි පුපුර තරමක වේගයෙන් කන්ද බසී. කවුරුන් හෝ දුම්වැටියක් දල්වාගෙන කලුවරේම එන බව පැහැදිළිය. ගුරාට සංඥාවක් කළ යාළුවා පහළට දුවන්නට විය. ගුරාද ඔහු පසුපස ඉගිළුනේය. යාළුවා වෙල නියර පසු කරමින් ගොස් නැවතී බලා සිටියේය. ගුරා ආගිය අතක් නැත. දුම්වැටිය දල්වාගත් පුද්ගලයාද යාළුවා පසුපසම ඇවිද ඇවිත් මහ නියරට ගොඩවී අනෙක් අතට යන්නට විය. දුමවැටිය උරමින් ඇවිත් තිබුණේ නිළමේ බව යාළුවා දුටුවේ එවිටය. හැමදාම උයාගෙන කන වාඩිබත එපාවුණු විට නිළමේ අම්මාගෙන් බත් කන්නට සතියකට වතාවක් දෙකක් ගෙදර යයි. එදාද නිළමේ ගෙදර ගිය දවසකි. ටික වෙලාවක් බලා සිට ගුරා නැති තැන යාළුවා ගෙදර ගියේය.

කාන්තාව රෙදි ඉල්ලීම ගැන කතාවද පැහැදිලි කළ යුතුය. රෙදි මෝලේ වැඩ කරන අයට අලුත් අවුරුද්දට රෙදි සලාකයක් හිමිවේ. දෙන ප්‍රමාණය ගත් කළ සේවකයාගේ පවුලටම සෑහෙන රෙදි ප්රමාණයකි. රෙදි සම්බන්ධයෙන් යම් යම් සීමා පැවති මේ සමයේ මෝලෙන් දෙන රෙදිවලට රෙදි සාප්පු කාරයන් සහ කලුකඩකාරයන් ඇස ගසාගෙන ඉන්නේ රෙදි හැකි ප්‍රමාණයක් මිළට ගන්නටය. මෝලේ වැඩකරන බොහෝ තනිකඩයන් තම රෙදි කොටස විකුණා අරක්කු බොති. එක්කෝ හොරපොලේ ණය බේරති. රෙදි ටික ගෙදර ගෙනයන්නේ පවුල් කාරයන්ය. ඒත් ගෙදර ගෑනිගෙන් බේරෙන්නට හැකියාව ඇත්නම් උනුත් රෙදි විකුණති. ගුරා කාන්තාව සමග ගනුදෙණුව කතා කරද්දී ඇය ඉල්ලුවේ රෙදිය. මෙය එකල ග්‍රාමීය දුගී කාන්තාව මුහුණදී සිටි දරිද්‍රතාවේ එක් පැතිකඩකි. බොහෝ කාන්තාවන් තම දරුවන්ට අවුරුද්දට අලුත් ඇඳුමක් මසා දෙන්නට නොහැකිව ලතවී සිටිති. ඇගේ ස්වාමිපුරුෂයා උපයන මුදල බොහෝවිට යන්තම් ආහාර සඳහා සෑහෙන ප්රමාණයකි. එහෙමත් නැත්නම් මනුස්සයා බේබද්දෙකි. සිය පවුලට කෙසේ හෝ රෙදි ටිකක් ලබා ගැනීමේ අටියෙන් කාන්තාව රෙදි ලබා දිය හැකි කෙනෙකුට සිය සේවය ලබාදෙයි.

කලින්දා සිදුවුන දේ ගැන සංවාදයක් ඇතිවුනේ පහුවදා ගුරාගේ කාමරයේදීය.

"ෂික් යකෝ, පටන් ගත්තා විතරයි!" ගුරා විස්සෝප වෙයි.

"කවුද දන්නෙ එන්නෙ නිලමයා කියල?" යාලුවා කියයි.

"ඒකනෙ, නැත්නං ෂේප් එකේ එහෙමම හැංගිල ඉන්න තිබ්බ බං!"

"ආයෙ ඉතිං එහෙ ගිහිං ඉවරයි නේද?"

"ඇයි ඒ?"

"නෑ ඉතිං රෙදි කියල ගෙනිච්ච කඩමාලු දැක්කම ආයෙ ඒ ගෑනි උඹේ මුණවත් බලයිද?"

"එහෙමම නෑ. හැබැයි මීට පස්සෙ හම්බෙන්නෙ අත්පිට මුදලට!" ගුරා කොටු පැනීම් ගැන විශේෂඥයෙකි.

"තමුසෙට තිබුනෙ අර පාර්සලෙත් අරං පනින්න!"

"කොහෙ ගන්නද? පාර්සලේ උඩනෙ ඒකි අත් දෙක තියං හිටියෙ!"

"ඒ ඇයි එහෙම?" යාලුවා අසන්නේ මෝඩකමටය.

"ඇයි ඕයි වැලමිටි දෙකේ ගල් කෑලි නිදිකුම්බ කටු එහෙම ඇනෙන හින්දනෙ!" ගුරා පණ්ඩිතයෙක් සේ කියන්නේ යාළුවාගේ මෝඩකම ගැන හිනාවෙමිනි.

ගුරාත් සේනත් හොඳම යාළුවන්ය. දෙන්නාම එකම උස මහතය. ගුරා උගේ ඇඳුම් සේනයාට අන්දවා චිත්‍රපටි රඟපෑම් කරවයි. එහෙම නැත්නම් සිංදුවලට නටවයි. සේන ගමේ නොහිටි නිසා මේ සෙල්ලම් ටික කලකට නතරවී තිබුණි. ගඩොල් වැඩපොළේ වැඩ ඉවර කර සේන ගෙදර ආවේ මේ අතරය. ආපහු වැඩකට යන්න නොසිතු සේන සුපුරුදු රස්තියාදුවට වැටුනේය. වැඩියත්ම රොටියා සමග තිබූ පලහිලව්ව නැති වේ යයි බියෙන් පසුවුණු සේනයා හැමවිටම රොටියා ලඟින් සිටීමට වග බලාගත්තේය. දෙහි ගහ යටත් මහලිඳ ලඟත් උන් දෙන්නාගේ ප්‍රේම ජවනිකාවන් නිතරම රඟ දැක්වෙන්නට විය. බෝම්බය පුපුරා ගියේ උන් දෙන්නාම නොසිතූ වේලාවකය. සේනත් රොටියාත් ගැන ගමේ පැතිරුණු කටකතා මුලින්ම රොටියාගේ නැන්දා හෙවත් පොඩි මහින්දලගේ අම්මා විශ්වාස නොකළත් දිගින් දිගටම ඒ ගැන නොසිතා ඉන්නට බැරි තැනට වැඩ කටයුතු සිදුවන්නට වූයෙන් රොටියාට බැන වැදුණු ඇය මේ කතාවල ඇත්ත නැත්ත විමසුවාය. මුලින් සේනත් සමග සම්බන්ධයක් තිබුණු බව ප්‍රතික්ෂේප කළත් නැන්දාගේ දැඩි ප්‍රශ්න කිරීම හමුවේ ඇය සත්‍යය පිළිගත්තේ වෙන කරන්නට දෙයක් නොමැති තැනය. නැන්දාගේ පහළ උසාවියේ ඇසුණු නඩුව තවදුරටත් විභාග කිරීම සඳහා ඉහළ උසාවිය හෙවත් පොඩි මහින්දලාගේ තාත්තා හමුවට පැමිණවීමට ඇය කටයුතු කළාය.

දවසක් හැන්දෑවේ අපි සුපුරුදු රස්තියාදුවට ඩැනිස්ගේ කාමරයට යද්දී සාලයේ වෙනදා නැති අමුතු දර්ශනයකි. සේනත් රොටියාත් පුටු දෙකක වාඩිවී සිටිති. පොඩි මහින්දලාගේ තාත්තා සහ අම්මා තවත් පුටු දෙකකය. බිම බලාගෙන නළලට අත තබාගත් රොටියා නොනවත්වාම ඉකිබිඳිමින් හඬයි. සේන නිශ්ශබ්දව බලාසිටී.

"මේ ගොන් හරකිට මිනිස්සු නැතුවද ඈ? මේ කොහෙවත් නැති නිකමෙක් අල්ලගත්තෙ." පොඩි මහින්දලෑ අම්මා රොටියාට දිගින් දිගටම දොස් කියයි.

"එහෙම කතා කරන්න එපා, කාටද නිකමා කිව්වෙ මටද? මම නිකමෙක් නෙවෙයි. මම ඇවිල්ල මට ඕනෑ වෙලාවක ඕනෑ ගාණක් හම්බ කරන්න පුළුවන් පොරක් හරිද!" සේන වහාම ඔහුට එරෙහිව නැගුණු චෝදනාවට විරුද්ධ වෙයි.

"අනේ උඹයි මමයි කරන හම්බ කිරිල්ල. යකෝ පවුලක් කනව නං යමක් කමක් හම්බ කරගෙන තියෙන්න ඕනෑ. තොට තියෙන්නෙ ඉනේ වස්තරේ විතරයි. කසාද බැඳල ගෑනිට කන්න දෙන්නෙ තොගෙ ලබ්බද?" පොඩි මහින්දලෑ අම්මට හොඳටම කේන්ති ගිහින්ය.

"දැන් ඔය රණ්ඩුව නවත්තගන්නව. තමුසෙ අගේට ගෙදර වැඩපල කරගෙන හිටපු ළමයට බොරු කියල රවට්ට ගත්තනෙ!" මහින්දලෑ තාත්තා කීවේය.

"වැරදියි. මම රවට්ට ගත්තෙ නෑ හරිද? අපි දෙන්න කැමති වුණා. ඊට පස්සෙ ලව් කළා. ඇයි මොකද වැරදිද?" සේනයා ආක්‍රමණශීලීය.

"මම දැක්කනෙ තමුසෙ ලියල දීල තිබුණු බොරු ගොඩ!"

සාලයේ කැබිනට් එක උඩ ලියුම් මිටියකුත් ලේන්සු කීපයකුත් කොණ්ඩා කටු වගයකුත් තබා තිබුණේ නඩු භාණ්ඩ වශයෙනි. ඒවා සේන විසින් රොටියාට තෑගීදී තිබියදී සොයාගත් බව නඩු විභාගයේදී හෙළි වුනි. නඩුව රෑ බෝ වෙනතුරු දිගින් දිගටම ඇදී ගියේය. සේන පුරාජේරු කියවයි. රොටියා දිගටම හඬයි. මහින්දලගේ අම්මා ජෝඩුවටම දෙස් දෙවොල් තබයි. ඉවරයක් නැත. කම්මැලි නිසා අපි යන්නට ගියෙමු. පහුවදා උදේ අපි එද්දී තීන්දුව ලබා දී දඬුවම ක්‍රියාත්මක කරලාත් ඉවරය. සේනයාට කිසිම දඬුවමක් නැත. ඇත්තටම ඌට දඬුවම් දෙන්නට විදියකුත් නැත. අහිංසක රොටියා වහාම ක්‍රියාත්මක වන පරිදි ගෙදර පිටත් කරලාය. ඊට පසු කවදාවත් මට රොටියා දකින්නට ලැබුණේ නැත. හොඳින් පවුල් ජීවිතයක් ගෙනයමින් ඉන්නවා කියල නම් දැනගන්නට ලැබුණි. පොඩි මහින්දලෑ කාමරය හිස්විය. මුලින්ම යන්න ගියේ ඩැනිස්ය. ඔහු රස්සාවෙන් අස්වී ගෙදර ගියේය. ඊට පසු ගුරා ගියේ මාදුවාගේ ගෙදර කාමරයකටය. පසුකාලීනව අපි සෙට් උනේ එතැනය. එතකොට මාදුවලා චූ කොල්ලන්ය. අපිටත් එක එක්කෙනාට රස්සාවල් ලැබෙන්නට වූ පසු කාමරේ එකතුවී පිස්සු නැටිල්ල අඩුවී ගියේ වැඩ වැඩිකම නිසාය. කොහොමින් කොහොමින් හරි මට සේනව ගොඩක් මග ඇරුණේය. පසුකලක ආරංචි වුණේ සේන වීරඟුලේ පැත්තෙන් කසාදයක් කරගෙන එහෙටම බින්න බැස ඉන්නවා කියලාය. පහුගිය අවුරුද්දේ වගේ මට අහම්බෙන් සේනව හමුවුණේ සේනලාගේ මහගෙවල් පැත්තේ මලගෙදරකදීය. මම යනවිට ආපහු එමින් සිටි සේනව දුටුවිට කතාකළෙමි. සේන කීවේ ඔහු කලකට ඉහතදී දරුණු ලෙස අසනීප වූ බවත් දැනටත් බේත් බොමින් සිටින බවත්ය. ඉතින් සේනගේ කතාව අවසන් වෙන්නේ ඔය විදියටය෴
හැලපයාhttp://www.blogger.com/profile/14910441607831391629noreply@blogger.com103tag:blogger.com,1999:blog-8432415427742462325.post-19574602883143883112021-12-24T03:23:00.000-08:002021-12-24T03:23:10.419-08:00අම්මාගේ බත් ගෙඩිය, දර ලිපේ ඉවීම,පෙමයියා, දරමඩුව, මාළු විකිණීම සහ වැල් අල .

අපේ අම්මා බත් බඳින හැටි බලන් ඉන්නට අපූරුය. ඇය බඳින්නේ අද මෙන් බත් මුල් හෝ බත් පාර්සල් නොව බත් ගෙඩිය. හැලපි නම් අපි වැඩට යන කාලෙ බත් බැන්දේ ලන්ච් ෂීට් එකක් කඩදාසිය උඩ එලා ඒ උඩට බත්ද බත් උඩින් වටේටම මාළු පිණිද තබා හතර වටෙන් නමා කඩදාසියේ එතීමෙනි. ඒත් අපේ අම්මාගේ බත් එතීම වෙනම විදියක්ය. ඇය තාත්තා වැඩට යන කාලයේ අවුරුදු විසි ගණනක් පමණ හැමදාම හිමිදිරි උදේ තාත්තාට බත් ගෙඩිය සකස් කර දුන්නාය. ඊට පසු මම විවාහ වන තුරුම මට වැඩට ගෙනියන්නට බත් මුල ඔතා දුන්නාය. රස්සාව ලැබෙන්නට ප්‍රථම වුවද අපි කොහේ හරි ගමනක් යතොත් දවල්ට කන්නට අම්මා බත් මුලක් බැඳ දෙයි. ගෙදර කෑම හැමදාම කන මම ඒ දවස්වල හෝටලේකින් කන්නට හරි ආසවෙන් සිටියෙමි. ඒත් අම්මාගේ බත් එකත් එක්ක හෝටලයකින් කෑමේ සිහිනය බොඳවී යයි. අම්මා දුන්න බත් මුලේ වටිනාකම තේරුණේ පසු කලෙක එක එක හෝටල්වලින්ද කැන්ටින් වලින්ද මෙලෝ රහක් නැති වතුරයි බතුයි වගේ කෑම කනවිටය. එතකොට අම්මාගේ බත් එකේ රස මතක්වී ඇහැට කඳුලක් උනයි. මම අපේ අම්මා ගැන බ්ලොගයේ වැඩිපුර ලියා නැත. අම්මා මරණාසන්නව ඉද්දීද ඇය මියගිය පසුද ඒ ගැන පෝස්ටු දෙකක් ලිව්වා මිසක ඇය ගැන විස්තර ඇතුව ලියා නැත.

පටන් ගත්තේ අම්මා බත් බඳින හැටි කියාගෙන නිසා මුලින්ම ඒ විස්තරය බලමු. උදේ පාන්දර නැගිට බත් මාළු පිණි උයා ඉවරකරන අම්මා වත්තට ගිහිං කෙහෙල් අගිස්සක් කපාගෙන එයි. ගෑස් කුකර් ගැන අහලාවත් නොතිබුණු ඒ කාලයේ ඇය දර ලිපේ දුම් කාගෙන උයපු බව අමුතුවෙන් කිව යුතු නැත. දර ලිප්වලට අමතරව තිබුණා නම් තිබුණේ බුමිතෙල් ලිප්ය. ඒවා ගම්වල තිබුණේ නැත. අම්මා ඇය ගෙනා කෙසෙල් කොලය ලිපට අල්ලා හොඳින් තවාගනී. තවාගෙන කොළයේ නාරටිය එහෙම ඉරා දමා වට්ටියක් උඩ එලු කඩදාසියක උඩින් කෙසෙල් කොලය තබයි. ඊළඟට ඇය මුට්ටියේ ඇති බත් තව වට්ටියකට නිවෙන්නට දමයි. වට්ටියට දැමූ බත් ගානට නිවෙන විට බත් හැඳි කීපයක් කෙසෙල් කොළය උඩට දමයි. ඉන්පසු හිඳෙන්නට උයාගත් මාළු පිණි බත උඩින් තබා ආයෙම බත් හැඳි කීපයක් ඒ උඩට දමා මාළු පිණි එළියට නොඑන්නට අතින් සකසයි. ඉන්පසුව කෙසෙල් කොළයේ දෙපැත්ත උඩට කර එය සුරුට්ටු කර උඩින් නවා දෙපැත්තද නවා ඇතුලේ ඇති බත් තදවෙන්නට දෙපැත්ත වට්ටියේ තට්ටු කර කඩදාසියේ ඔතාගෙන ගෝණි ලණුවකින් බත් ගෙඩිය ගැටගසා වැඩේ ඉවර කරයි. දවල්ට කන්නට බත් ගෙඩිය දිග අරින විට එන සුවඳ නම් ඉවසන්නටම බැරිය. බත් එක ලෙහා ගත් පසු ඇත්තේ තනිකරම ගල වගේ බත් ගෙඩියකි. එය පැත්තෙන් කඩා ඇතුලේ ඇති මාළු පිණි සමග කන්නට හැක.

මුට්ටිය කියනකොට මට මතක් වුණේ තවත් මුට්ටියක කතාවකි. ඊට මමත් සම්බන්ධය. ඔන්න දවසක් මම කොහේ හෝ ගිහිං අවේලාවේ ගෙදර ආවේ හොඳටම බඩගිනි වෙලාය. මම කන්නට එතැයි බලාපොරොත්තුවෙන් නොසිටි නිසා ගෙදර මට කෑම තබා තිබුණේ නැත. හොදි මාළු පිණි ටිකක් තිබුණත් බත් නැත. මම කන්නට ඉල්ලපු වෙලේ අම්මා පොඩි මුට්ටියකට හාල් ගරා දමා ලිපේ තබා මට බලාගන්න කියා නාන්නට පහල ලිඳට ගියාය. මම ලිප ළඟ ඉඳගෙන සිටියෙමි. බත ඉදවන විදිය මම දන්නේ නැත. බත් මුට්ටියට මොනවා කරන්නදැයි නොදන්න මට මේ වැඩේ පවරා ගිය අම්මා එක්ක මට දැන් හරි තරහය. මම දන්නේ ලිපට දර කෑලි ඔබන්නට පමණය. දැන් නම් දර ලිපේ බතක් පිස ගැනීම මට සුළු දෙයකි. මම දර ලිපේ ඉවීම පුරුදු වුණේ හැලපිගෙනි. ඇයට දර ලිපේ කෑම ඉවීම ගැන මනා පළපුරුද්දක් ඇත. ගෑස් අර්බුදය එන්නට පෙර සිටම රයිස් කුකර් එකක් තිබුණත් අපි දර ලිපේ බත සහ අනෙකුත් මාළු පිණි උයන්නට පුරුදුව සිටියෙමු.

දර ලිපට අවශ්‍ය දර සොයා දර මඩුව හෙවත් දර ගොඩ තරකිරීම තනිකරම මගේ වැඩකි. අපි හදාගෙන තියෙන පොල් ගස් දෙක තුනේ වැටෙන පොල් අතු ගෙන ඒම , ගස් කපපු තැන්වලින් ඉතුරු කොට සහ දඬු අරගෙන ඒම, ඒවා පලා වේලා ගැනීම ආදිය මම කරමි. දර පැලීම නොමිලයේම ශරීරයට හොඳ ව්‍යායාමයක් ලැබෙන වැඩකි. ගේ ඉස්සරහ පාර අයිනේ මම දර කොට පලනවිට පාරේ යන උන් මට හිනාවෙවී යති. මොකදැයි ඇසූවිට ගෑස් එකක් තියාගෙන මොකට නහිනවාදැයි කියති. දර පැලීමේ සොමිය උන් දන්නේ නැත. අපේ පැත්තේ ඒ කාලයේ දරමඩු කීපයක්ම තිබුණා මට මතකය. එකක් තිබුණේ පෙමයියාටය. පෙමා හෙවත් පෙමයියා කියූ ඔහුගේ නම පෙමානිස් විය යුතුය. පෙමයියා පරණ රබර් ගස් ගලවපු වතුවලින් ලොකු කොට මිලට ගෙන ලොරියක දමාගෙන දර මඩුවට ගෙන එයි. ඒ කොටන් ඔහු සිය පුතාවත් හවුල් කරගෙන බණ්ඩි කියතකින් එක සමාන විදියට කුට්ටි කරනවා එතනින් වැඩට යන මම දකිමි. කුට්ටි කළ කොට ඔහු ගොඩ ගසා තබයි. ඒ කුට්ටි පලන්නේ දර ඕඩරයක් ආපු විටය. කලින් පලා තිබ්බොත් අව්වට වේලී දරවල බර අඩුවෙයි. ලොකු පොරවකින් පලා කුඤ්ඤ ගසමින් පලු කරගන්නා දර කුට්ටි අත් පොරවකින් කැබලි කර හොන්ඩර ගණනට කිරා අත් කරත්තයක අහුරාගෙන අවශ්‍ය තැනට ගෙනගොස් බාරදීම සිදුවේ. වැඩිපුරම දර ඕඩර් ලැබෙන්නේ ටවුමේ අයගෙනි. ගම්වල දර මිලට ගැනීමේ සිරිතක් නැත. පෙමයියා දර රාජකාරිය කරන්නේ හැන්දෑ වරුවේය. උදේ වරුවේ ඔහු මාළු විකුණයි.

උදේ පාන්දරම පාගන බයිසිකලයකින් මීගමු යන ඔහු මාළු මිලදී ගෙන බයිසිකලයේ බැඳ ඇති පෙට්ටියේ දමා උඩින් වෙලෙන් කඩා ගන්නා හබරල කොළවලින් වසා ගෙනැවිත් ගෙවල් ගානේ ගොස් මාළු විකුණයි. දවල් වෙනවිට අව්වට මාළු ටික වියලි ස්වභාවයක් ගනී. එවිට ඔහු අලවත්ත අයිනේ ඇති ඇලට බැස මාළු සෝදා හුරුල්ලන් සාලයින් වැනි කුරින්ගේ වැලි තවරා මාළු ටිකට අලුත් මුහුණුවරක් දී නැවතත් බයිසිකලය තල්ලු කරගෙන ගෙවල් ගානේ යයි. දැන්නම් පෙමයියාගේ දරමඩුව තිබුණු තැනක්වත් නැත. පෙමයියාගෙන් පසු දරමඩුව අභාවයටම ගියේය. එපමණක් නොව ටවුමේ තිබුණු දරමඩුද වැසී ගොසිනි. අපේ පැතිවල තිබුණේ දර යාර ගණනට හෙවත් ගමේ කියපු විදියට දර ජාර විකිණීමය. ගස් කැපුවිට දර කොටන් යාරයක් දිගට කපා යාරයක් උසට යාරයක් දිගට ගොඩගසා ගත් විට එය දර යාරයක් හෙවත් ජාරයකි. බොහෝ විට යාර කපා විකුණන්නේ කජු, කොට්ටං, කැන්ද වැනි කොට වර්ගය. යාරවලට අමතරව පිට පළාත්වල තියෙන ලී මඩුවලින් කැපෙන පිට පලු ලොරියක පටවා ගෙනැවිත් බාගත් කළ ඒ ටික අවුරුද්දකට හමාරකට සෑහේ.

අපේ ගමට ළඟ ලොකු පොල්වතු දෙකක් තිබුණි. එකක් බැවුන්වත්තයි. අනික හිග්ගොල්ල වත්තයි. ඒ වතුවලින් වැටෙන පොල්පිති කපා ගෙන ඒම ගමේ අය දර සපයා ගන්නා තවත් ක්රමයකි. වත්තේ මහත්තයා කලින් හමුවී පොල්පිති කපා ගන්නට තුණ්ඩුවක් අරගෙන ඉරිදා දවසක වත්තට ගිය විට මුරකාරයා පොල්පිති කපා ගන්නට ඉඩ දෙයි. වරුවක් යනතුරු ගස් යට වැටී ඇති පොල්පිති කපා එක තැනකට ගොඩගසා තබති. පොල්පිති අරගෙන යන්නට කරත්තයට එන්නට කියා කලින් පණිවිඩය කියා ඇත. කරත්තය ආවිට පොල්පිති පටවාගෙන ගෙදර එන්නේ හැන්දෑ කළුවර වැටෙන විටය. ඔය පෙමයියලාගේ ගෙවල් හරියේ ගෑණු දහයක් පහළොවක් පමණ හැමදාම ඔය වතුවලට ගොස් පොල්අතු මිටි බැඳගෙන එන සිරිතක් තිබුණි. පොල් අතු එකතුකර මිටි බැඳගෙන හිසට රෙදි කෑල්ලක් තබා දර මිටිය හිසට ගෙන හැතැප්ම දෙකක් පමණ ඇවිදගෙන එන ගෑණු පෝලිම පොල් අතු මිටිය බිම තබන්නේ අපේ ගෙවල් හරියේදීය. පොල් අතු මිටි ගස්වලට හේත්තු කර විඩා නිවා ගන්නා ගැහැණු නැවතත් එක එක්කෙනාගේ හිසට දරමිටිය අල්ලාදුන් විට අවසන් දර මිටිය හිසට ගන්නට නියරේ යන කාගේ හෝ උදව් ඉල්ලති. ගෑණු ගෙනයන දරමිටි ඇතුලේ වත්තේ වැටී ඇති පොල් ගෙඩි කීපයක්ද සුක්ෂමව දමාගෙන එන බව කවුරුත් දනිති. හැමදාම මේ දරමිටි පෝලිම නියර දිගේ යන නිසා දර ගෙනියන්නේ වැඩි කොටස විකුණන්නට විය යුතුය. ඒ කාලයද අවසන්වී දැන් බොහෝ කල්ය. ලොකු වතු ටිකද කෑලි කඩා විකුණා ඇත.

ගෑස් සැපයුම අඩපණවී දැන් නැවතත් පුළු පුළුවන් අය දරවලට හුරුවෙමින් ඉන්න මේ කාලයේ දර ලිපේ බතක් උයාගන්නා හැටි පුරුදුවීම කාලෝචිතය. මුලින්ම දර ලිපේ උයන්නට හුරු වෙන අයට මෙය ටිකක් අමාරු කාරියකි. විශේෂයෙන්ම දර ලිපේ ගින්දර පාලනය කරගැනීම ටිකක් අමාරු වැඩකි. අනික් කාරණය විවිධ හාල් වර්ග විවිධ උෂ්ණත්වයේ ඉදෙන ඒවාය. වැරදුනොත් කර වෙයි, අඩිය අල්ලයි, බත බෙරි වෙයි ආදී නොයෙකුත් අකරතැබ්බය. මුලින්ම හාල් සෝදා ලිපේ තබා ගිණි අවුළුවා ගත යුතුය. ඉස්සර නම් හාල් හෝදලා මදිය. ගරන්නත් ඕනෑය. ඒ කාලේ අද මෙන් ගල් වැලි ඉවත්කළ හාල් තිබුණේ නැත. ඒ නිසා බත උයන්නට පෙර හාල් ටික දෙසැරයක් වත් ගරා ගත යුතුය. නැති නම් බත් කනවිට ගල් හැපේ. ස්වාමිපුරුෂයා යාලුවනුත් එක්ක බත් කනවිට ගල් හැපුනොත් එය බිරිඳට හොඳ නැත. ඒ නිසාම හාල් ගරාගෙන බත උයද්දී අපේ අම්මලා එහෙම බොහොම පරිස්සම් වූහ. බත උයාගන්නා ක්‍රම දෙකක් ඇත. එකක් නම් මුට්ටියට වැඩිපුර වතුර දමා හාල් ටික තැම්බුණු පසු වතුර පෙරා ඉවත් කිරීමයි. ආදී කාලයේ සිටම බත් ඉව්වේ එසේය. නමුත් දැන් බත පිසෙන්නට හරියන ප්‍රමාණයට වතුර තබා බත ඉදවති. බොහෝ විට රයිස් කුකර් වලින් උයද්දී වතුර පෙරන්නට බැරි නිසා මේ ක්‍රමය යොදාගන්නට ඇත. බතට වතුර තියන්නට කියන්නේ මැද ඇඟිල්ලේ පුරුක් දෙකක ගණනටය. එහෙම උනත් ඊට වඩා වතුර තියන්නට පුළුවන් හාලුත් ඇත. එය තමන්ගේ පළපුරුද්ද අනුව ගණන් බලා කල යුතුය. අපේ අම්මා බත් උයද්දී සමහර විට බත් මුට්ටිය වහන නෑඹිලියට වතුර ටිකක් දමයි. බත ඉදෙද්දී නෑඹිලියේ වතුරත් රත්වෙයි. එහෙම කරන්නේ බතට වතුර මදි වුනොත් නෑඹිලියේ ඇති වතුර ටික මුට්ටියට දමන්නටය. වතුර මදිවෙලා ඇල්වතුර දැම්මොත් එහෙම එය ප්රශ්නයකි. බත බෙරිවෙන්නට එහෙම නැත්නම් ඇට්ටකුණා වෙන්නට පුළුවන.

ඉතිං දැන් අපි දර ලිපේ හාල් මුට්ටිය තබා ඇත. දැන් තියෙන්නේ ගින්දර දැමීමයි. මුලින්ම මුට්ටියේ වතුර පැහෙන්නට ඇර ඊට පසු හාල් දමන්නටද පුළුවන් අතර කෙළින්ම හාලට වතුර දමා ලිපේ තබන්නටද හැකිය. එය සිදුවෙන්නේ හාල අනුවය. දැන් අපි මඤ්ඤොක්කා වැල් අල එහෙම තම්බද්දී නම් අල ටික අනිවාර්යයෙන්ම පැහෙන වතුරට දැමිය යුතුය. ඉදිරියට එන්නේ වැල් අල ගලවන කාලයයි. අප්‍රේල් මාසය වෙනතුරු වැල් අල ගලවා ගන්නට හැකිය. වැල් අල ගලවා එවෙලේම කෑමට ගන්නට පුළුවන් උනත් එතනදී වැල් අලයේ නියම රස අපට ගන්නට ලැබෙන්නේ නැත. අලය ගලවා සතියක් හෝ දෙකක් හුළං වදින්නට තබා තිබිය යුතුය. ඒ අලයේ ඇති වතුර ගතිය අඩුවෙන්න්ටය. කඩවල්වල එහෙම දැන් විකුණන්නට තියෙන වැල් අල අව්ව හුළං එහෙම වැදී නියම ගණනට වේලී තියෙන නිසා ඒවා තම්බන්නට කදිමය. මමත් මෙදා සැරේ අල වැල් දහයක් දොළහක් හදා ඇත. ඒවාද දැන් කොළ මැරී තියෙන නිසා ගලවන්නට කාලය හරිය. ගිය සැරේ මම අවුරුදු දෙකක් පමණ ගතවූ වැල් අලයක් ගැලෙව්වෙමි. ඒ අලය රාජ අල වල පාටට පොඩ්ඩක් අඩු පාටක් ඇති උතුරේ එහෙම බහුලව ආහාරයට ගන්නා අලයකි. වැඩිය පොළොව යටට බහින්නේ නැතිව වට්ටක්කා ගෙඩියක හැඩයට උඩ පැතිරී යන අලය කෑමට කදිම රසක් ඇති අලයකි. ගැලෙව්ව පසුව අලය මට තනියම උස්සගෙන එන්නට බැරි නිසා විල්බැරෝවක දමාගෙන ගෙදර ගෙනත් බලනවිට බර කිලෝ තිහක පමණ ප්‍රමාණයක් විය. සාමාන්‍යයෙන් අලය වැඩිලා මදිය කියා හිතනවා නම් ගලවන්නේ නැතිව එහෙමම තබන්නට හැකිය. එතකොට ඊළඟ අවුරුද්දේ තවත් ලොකුවී අලය හැදෙයි. මගේ අල වැල් ටික නම් එක සැරේ නොගලවා ළඟදී එනවාය කියන සාගතයට මුහුණ දෙන්නට තබාගන්නට හිතාගෙන සිටිමි.

සාමාන්‍යයෙන් වැල් අල ලොකු වෙන්නේ වැල යන උස අනුවය කියාද කතාවක් ඇත. වැල ඉහළ යන්නට යන්නට අලයේ ප්‍රමාණය වැඩිවේ. ඒ නිසා වැල් අල හදන විට වැල උස ගහකට යවන්නට හැකිනම් හොඳ ප්‍රතිපලයක් ගන්නට හැකිය. අපේ මිත්‍ර රැවුලාද උගේ වත්තේ අල වැල් ගොඩක් වවා ඇත. මමත් අල වවන්නට ගුරු හරුකම්ද හිටවන්නට අලද ගත්තේ රැවුලාගෙනි. අල වාරයට අපි අල කන්නට රැවුලාගේ ගෙදර යෑම සිරිතකි. ඌත් අපටම කියා අල වැලක් දෙකක් වෙන්කර තියාගෙන සිටී. අපි ගිය විට රැවුලා ලොකු අලයක් ගලවා සුද්ද කර කෑලි කපා තම්බන්නට පවුලට දෙයි. අල හැලිය තැම්බෙන තුරු අපි පොඩ්ඩක් රහමෙර පානයේ ගැලී සිටින්නෙමු. රැවුලාත් එකතු කරගෙන රහමෙර පානය කරනවාට රැවුලාගේ පවුල නම් පොඩ්ඩක්වත් කැමති නැත. ඒ වුණාට අපි යනවිට ඇයගේ කුස්සියට සෑහෙන බඩු ප්‍රමාණයක් ගෙනියන නිසා ඇයව ෂේප් කර ගත හැක. නැත්නම් මොකුත් නොබී අල විතරක් කන්නට වුනොත් ඒක මහා කරුමයකි. කොහොම වුණත් අපි වාර්ෂිකව කරගෙන ගිය මේ සත්කාරය පහුගිය අවුරුදු දෙකේ ඇනහිටියේ කොරෝනා වසංගතය හේතුවෙනි. ඒත් දැන් ගෙදරකට යන්නට තරම් තත්වය ෂේප් නිසා මම රැවුලාට කතා කළේ මීට දවස් කීපයකට පෙරය. අපට කන්නට අල තියාගෙන ඉන්නවා යයි කියූ රැවුලා හැකි ඉක්මනින් එන්නැයි ආරාධනා කළේය. නත්තල් පහුවෙලා එන්නෙමි කියා මම කීවෙමි.

මෙදා සැරේ නත්තල් සිරිය කොහොම වේදැයි නත්තලට පෙරදින වන අදත් කියන්නට බැරිය. කොහොමත් අපේ පළාතේ නත්තල සමරන අය අඩුය. නමුත් ටවුමේ කඩවල් නම් නත්තලට සුදානම් වී සිටින අයුරු මම දුටුවෙමි. මෙදා නත්තල් කොහොමදැයි මම කතෝලික මිත්රයෙකුගෙන් නිකමට ඇසුවෙමි. කංකුන් මිටිය රුපියල් හැත්තෑ පහක් වෙන රටේ කොහොම නත්තල් කන්නදැයි ඔහු පෙරළා මගෙන් ඇසුවේය.

සීත සුළං රැළි මැදින් මේ ගෙවී යන්නේ අවුරුද්දේ අවසන් දින කීපයයි. අලුත් අවුරුද්ද ලබන්නට පෙර තවත් පෝස්ටුවක් ලියැවේ යයි සිතන්නට බැරිය. මේ අවුරුද්දේ පෝස්ටු ලියවුණේ කීපයකි. එනම් මේ පෝස්ටුවත් සමග පහකි. නමුත් පහුගිය අවුරුද්දට වඩා වර්ධනයක් ඇත. පහුගිය අවුරුද්දේ ලීවේ පෝස්ටු හතරකි. එළැඹෙන 2022 වර්ෂයට කෙසේ ලියවේදැයි අපි බලමු. ලබන්නාවු අලුත් අවුරුද්ද මගේ පාඨකයන් වන ඔබ සියළු දෙනාටත් ඔබේ පවුලේ අයටත් දුකෙන් තොර සැපෙන් බර වසංගත රෝග, සාගත ආදියෙන් විනිර්මුක්තවූ සුවබර, පින්බර, කිරි උතුරන්නාවූ සුඛිත මුදිත අලුත් අවුරුද්දක් වේවායි පතන්නේ ඔබට ඉතා හිතවත් හැලපයා, හැලපී සමග හැලපැට්ටාය෴
හැලපයාhttp://www.blogger.com/profile/14910441607831391629noreply@blogger.com68tag:blogger.com,1999:blog-8432415427742462325.post-74502604192860105292021-12-16T22:28:00.001-08:002021-12-16T22:28:28.188-08:00කුඹුරු කතා, හාල්, බත් සහ කිරිබත්.

අපේ රටේ අයගේ ප්‍රධාන ආහාරය බත්ය. බත් ලැබෙන්නේ හාල් වලිනි. හාල් ලැබෙන්නේ වී වලිනි. වී ගන්නට කුඹුරු වපුරා වී වැවිය යුතුය. කුඹුරෙන් නිපදවෙන වී ඇටය ගෙදර බත් මුට්ටියට එන ගමන නම් බත් තරම් රසවත් නැත. අද කියන්නට හදන්නේ ඒ කතාවෙන් ටිකකි. සාමාන්‍යයෙන් ගම්වල උදවිය තුන් වේලටම බත් කති. ඒත් අපේ මහගෙදර නම් බත් ඉව්වේ දෙවේලකි, දවල්ට සහ රෑටය(අපේ ගෙදර දැන් නම් එක වේලකි, ඒ තාක්ෂණික ප්‍රශ්න නිසාය) දෙවේල බත් ඉව්වේ මා කුඩා කාලයේය. උදේට අනිවාර්යයෙන්ම වෙන මොනවා හෝ කෑමකි. ගෙදරට වී ගන්නට අපේ කියා කුඹුරු තිබුණේ අක්කරයකි. අවුරුද්දට එක කන්නයක් වැපුරූ ඒ කාලයේ කුඹුරෙන් ලැබෙන අස්වැන්න ගෙදර අයට අවුරුද්දම කන්නට නොසෑහේ. ඒ කාලයේ වැපුරුවේ මාවී නමැති හයමස් වියකි. ගොයම් ගස තරමක බට ගසක් සේ උඩට වැවෙන ඇට කුඩා සම්බා හාලේ විය අවුරුද්දකට දෙවරක් වපුරන්නට කල් මදිය. අස්වැන්නද ටිකකි. නමුත් වී ගෙට ගෙන හොඳට වේලා ඉපියන්, ගුල්ලන් එනවාට දෙහි කොළ එහෙම දමා ගබඩා කරගත් විට අවුරුදු හතරක් පහක් කිසි ප්‍රශ්නයක් නැතිව තබාගත හැක. දැන්නම් ඒ හයමස් වී වර්ගය දකින්නටවත් නැත. අපේ මිතුරු රැවුලා පහුගිය කාලයේ උගේ කුඹුරකට ඔය හයමස් විය ගසා තිබෙනු මම දැක්කෙමි. කාලෙකින් නොකෑ නිසා ආසාවටවත් ටිකක් කන්නට මම උගෙන් වී ටිකක් ඉල්ලූ විට දෙන්නම්ය කියා කීවත් පහුගිය කාලේ රට වසා තිබූ නිසා ගේන්න යන්නට බැරිවිය.

වී වලට තරම් නම් ගොඩක් ඇති වෙනත් ධාන්‍ය වර්ගයක් නැති තරම්ය. උදාහරණයකට කුරක්කන් ගතහොත් වපුරන්නේ කුරක්කන්ය. හැදෙන්නේ කුරක්කන්ය. කපන්නේ කුරක්කන්ය. කන්නෙත් කුරක්කන්ය. එහෙත් වී වල වී වැපුරූ විට හැදෙන්නේ ගොයම් ගස්ය. ගොයම් කපද්දී ඒවා උප්පිඩි වෙයි. කමතේදී බැතය. වී වලින් ලබාගන්නේ හාල්ය. හාල් තැම්බූ විට බත්ය. අපේ අම්මා වී ඇට වලට කිව්වේ වියැට ගෙඩි කියලාය. හාල් වලට හාට ගෙඩි කියා කිව්වාය. දැන්නම් එහෙම වචන ඇහෙන්නේ නැතිය.

ඉතිං අපට තිබුණු කුඹුරු අක්කරයට අමතරව රේල් පාර අයිනේ තිබුණු සී ජී ආර් රිසිවේෂන් එක හෙවත් දුම්රිය රක්ෂිතයට අයිති කුඹුරු කෑලි කීපයක්ද සීයා වැඩ කළේය. නියමය තිබුණේ අස්වැන්නෙන් කොටසක් දුම්රිය දෙපාර්තමේන්තුවට දෙන්නටය. නමුත් අස්වනු කපාගත් පසු දෙන්නට කෙනෙක් නැත. දෙපාර්තමේන්තුවේ කවුරුත් ගන්න එන්නෙත් නැත. ඒ නිසා ඒ වී කොටසද ගියේ අපේ ගෙදරටමය. සීයා වෙල් මුලාදෑනියා නිසා යායේම කුඹුරු වලින් සීයාට බුසල දෙක වශයෙන් කොටස ලැබේ. අපට අවුරුද්ද කන්නට ඇති තරම් වී ලැබුණේ ඔය විදියටය. වී දමන්නට අපේ ගෙදර අති විශාල පෙට්ටියක් තිබුණි. ඒ පෙට්ටිය අපේ මහගෙදර කෑම කාමරයෙන් හරි අඩක් අහුරා තිබුණි. දැන්නම් ඒ වී පෙට්ටිය ගලවා දමලාය. කෙනෙකුට පෙන්නන්නට වටින තරම් විශාල ඒ වී පෙට්ටියේ පිංතුරයක් මට කලින්ම ගන්නට නොහැකිවීම ගැන මම අදටත් කණගාටුවෙමි. වී පෙට්ටියේ කාමර දෙකකි. ඔය කාමර දෙකම පිරෙන්නට අස්වැන්න ලැබුණු වාරවල අම්මා සතුටු වෙයි. වී පෙට්ටියේ දෙපැත්තම පුරවා ඉඩ මදිවී ගෝනිවලත් පුරවා ගොඩ ගසා තබන්නට තරම් වී ලැබුණු විට අම්මා වඩාත් සතුටු වෙයි.

වී පෙට්ටියට නිකම්ම වී දමන්නේ නැත. ඒකටත් ක්‍රමයක් ඇත. අස්වැන්න ගෙදරට ගෙනා පසු සතියක් විතර අව්වේ දමා හොඳින් වේලාගත යුතුය. ඊට පසු වී පෙට්ටිය සුද්ද කර පරණ වී තිබේ නම් අයින් කර සුබ දවසක මුලින්ම දෙවියන්ගේ කොටස වෙන්කරනු ලබයි. දෙවියන්ගේ කොටස දමන්නේ කොළපත් ගොටුවලය. කොළපතට වී දමා පැණි මුල් වගේ හදන ගොටු දෙක කට බැඳ එකක ප යන්නද අනිකේ වි යන්නද අඟුරු කැටයකින් ලියා වහලේ බාල්කයක එල්ලීම සිදුකරයි. ප ගොට්ට පත්තිණි දෙවියන්ටය. වි ගොට්ට විෂ්ණු දෙවියන්ටය. කොහොම වෙන්කලත් ඔය ගොටු දෙකම ගෙනියන්නේ දෙවාලේ කපුවාය. අස්වනු කපාගත් පසු දෙයියන් වඳින්නට ගෙවල් ගානේ යන දෙවාලේ කපුවා වී දමන්නට ගෝනිත් උස්සාගෙන යන්නට ගෝලයනුත් රැගෙන එයි. එකතු කරගන්නා වී ගෝනි ටික අපේ ගෙදර තබා ගෙදර යන කපුවා දවසකින් දෙකකින් කරත්තයකුත් අරගෙන ඇවිත් වී ගෝනි රැගෙන යයි. දෙයියන් වඳින තුරු පිටි කොටන්නට හෝ කැවුම් කොකිස් ආදී කැවිලි හදන්නටත් තහංචිය. කපුවා දෙයියන්ට යාතිකා කර තහංචිය අයින් කර දමා සීයා දෙන කිතුල් රා බෝතලයද බී යන්නට යයි.

වී අස්වැන්න ගෙට ගෙනෙන්නට පෙර සුබ දවසක වී ටිකක් ගෙට ගැනීමේ චාරිත්‍රයක්ද ඇත. මට එය කලින් කියන්නට අමතක විය. එය මෙහෙමය. සුබයි කියන දවසක කුඹුරෙන් වී ටිකක් ගෙට ගෙනේ. සුබයි කියන්නේ නැකත් බලා නොවේ. බොහෝ විට බදාදා හෝ බ්‍රහස්පතින්දා දවසකය. අඟහරුවාදා නම් වී සම්බන්ධ කිසිම වැඩක් නොකෙරේ. වී ටික ගෙට ගෙනෙන්නේ වයිතාලයෙන්ම පොළොවට එළිය වැටෙන්නට පෙරය. වී ටික ගෙට ගන්නේ හොඳ යයි කියන කෙනෙක්ගේ අතිනි. හැම කන්නයකම මේ වැඩේට අහුවෙන්නේ මාවය. අපේ තාත්තා උදේ පාන්දර වැඩට යනවිට මාවත් ඇහැරවා ගෙන එක්ක යයි. තාත්තා අතේ දෑකැත්තක්ද ඇත. මම සුදු රෙදිකඩක් හිසේ ඔතාගෙන නිදිමරගාතේම තාත්තා පසුපස යමි. අපේ කුඹුරු තියෙන්නේ ගෙදරින් ටිකක් දුරය. තාත්තා මාව කරුවලේ එපමණ දුර එක්ක යන්නේ නැත. ගෙවල් ලඟපාතම කුඹුරකින් බොහෝවිට අපේ නෑදෑයෙක්ගේම කුඹුරකින් පැසුණු ගොයම් මිටක් කපන තාත්තා එය සුදු රෙදිකඩක ඔතා මගේ හිසමත තබයි. "හා දැන් ගෙදර යන්න" කියා දෑකැත්ත මගේ අතට දී තාත්තා එහෙමම වැඩට යයි. ගොයම් මිට හිසමත තබාගෙන මම ගෙදර එමි. ගෙදර ආපසු සීයා ගොයම් මිට කෙසෙල් පට්ටයකින් බැඳ බාල්කයේ එල්ලයි. ඊළඟ කන්නයේ ගොයම් මිට ගෙදරට එනතුරු එය එසේම බාල්කයේ එල්ලී සිටී.

ගොයම කපා අස්වැන්න ගෙටගත් පසු සතියක් දෙකක් යනතුරු කරන්නට තියෙන්නේ වී ටික වේලා ගැනීමය. ගෙයි තිබෙන ගෝනි වලින් එළියේ මාගලටත් ආයෙම හවසට මාගලෙන් ගෝනිවලට දමා ගෙටත් අදින්නට ඇති වී වේලීම පණ යන වැඩකි. හොඳට වේලාගත් වී ටික පෙට්ටියේ ගබඩා කිරීම ඊළඟ කාරියයි. මම ඉස්සෙල්ලා කිව්වාසේ හොඳට පිරිසිදු කරගත් වී පෙට්ටියට වී ටික පුරවන්නෙත් සුබ දවසකය. වී පුරවන විට දෙහි කොලද වීත් එක්කම දමන්නේ කෘමි සතුන්ගෙන් වෙන හානි වලක්වා ගන්නටය. මීට අමතරව තවත් කෙම් ඇත. වී දමන විට පෙට්ටියට බෙල්ලෙකුත්, කොහොඹ ලෑල්ලකුත්,දෑකැත්තකුත් දැමීම සිරිතකි. ඒ වී තනිවෙනවාට සහ ආරක්ෂාවටය. එහෙම නැත්නම් කොහොඹයා වී අදිනවා කියා කුඩාකල මට අම්මා කියා ඇත. වී පෙට්ටිය ගැලෙව්වායින් පසුව පැත්තකට දමා තිබු බෙල්ලා සහ කොහොඹ ලෑල්ල මම ගෙදර ගෙනාවෙමි. පිංතුරයේ තියෙන්නේ ඒ දෙකය. මේවාට වයස නම් මේ වන විට අවුරුදු සීයක් හමාරක් හෝ ඊටත් වැඩි වෙන්නට පුළුවන.

හයමස් වී වලට පසු වෙනත් වී වර්ග වපුරන්නට පටන් ගත්තේ හයමස් වියේ අස්වැන්න ප්‍රමාණවත් නොවන නිසාත් ගතවෙන කාලය වැඩි නිසාත්ය. ඊට පසු හැංගිමුත්තන් කියා වී වර්ගයක් ගොවීන් අතර ජනප්‍රිය විය. මාස තුන හමාරේ හෝ හතරක් වයස වීය ඉස්සාම බාල කන්නයට තුන්මස් වියක් ගසා කන්න දෙකක් කරදරයක් නැතිව වැපිරිය හැක. හැංගිමුත්තන් කියන්නේ පැහුණු වී කරල පහළට වැටී කොළ අතරේ නොපෙනී යන නිසාය. පසුකාලීනව වී පර්යේෂණ ආයතනය විසින් වැඩි දියුණු කරන ලදුව ගොවීන්ට ලබාදුන් එච් 4 , එච් 8 වැනි බිත්තර වී ගොවීන් අතර බොහෝ ජනප්‍රිය වුයේ අඩු මාසෙන් වැඩි අස්වැන්නක් ලබාගත හැකි නිසාය.

ආණ්ඩුවෙන් නොමිලේ ලබාදුන් හාල් සේරු දෙකක් කෙනෙකුට ලැබුණු මේ කාලයේ චීනයෙන් හෝ බුරුමයෙන් ගෙන්වන ලද අපේ ගමේ කාන්තාවන් මින්චාට් කියා හැඳින්වූ මිල්චාඩ් සහල ගම්වල බොහෝ ජනප්‍රිය විය. සුදු හෙවත් තරමක බොර පාට මිල්චාඩ් හාලේ බතට සැරට අඹරාගත් පොල් සම්බෝලයක් එකතු කරගත් විට ඇති සුවඳ සහ රසය අදත් මතක් කල හැක. මිල්චාඩ් වලට අමතරව සමුපකාරයේ තිබුණේ සුදු කැකුළු හාල සහ රතුම රතු රතු කැකුළු හාලයි. තැම්බූ සම්බා හාලේ බත්වලට පුරුදුව සිටි අපේ පළාතේ අයට කැකුළු හාල උවමනා උනේ කිරිබතක් හදාගන්නට පමණි. අදටත් රතු කැකුළු බත් පමණක්ම කෑමට පුරුදුවී සිටින දකුණු පළාතේ අය කෙසේ වුවත් අපේ පැත්තේ නම් රතු බත් කෑමක් තිබුනේම නැත. අපේ කාර්යාලයේ සිටි දකුණේ වැසියෙකු වූ විමලයා වරක් කීවේ රස්සාව ලැබී කොළඹට එනතුරු සුදු බත් කියා ජාතියක් තියෙනවාදැයි වත් ඔහු නොදැන සිටි බවයි. ඒ සියල්ල දැන් අතීතයයි.

දේශීය හාල් වර්ග සිය ගණනක ලැයිස්තුවක් මම දවසක් මුහුණු පොතේ තිබෙනවා දැක්කෙමි. ඒ වගේම දෙමළ චිත්‍රපටියක් බලද්දී එහි ප්‍රධාන නළුවා සහල් වර්ග සිය ගණනාවක නම් කටපාඩමෙන් කියාගෙන ගියේය. කෙසේ වුවත් ඉන්දියාවේ සිටිද්දී අපි අතර ජනප්‍රිය සහල් වර්ගයක් වුණේ පොන්නි සම්බා හාලය. වතාවක් කේරළයේ සංචාරයකදී හෝටලයකින් කන්නට ලැබුණු පබළු ඇට මෙන් ඇට ලොකු රවුම් හාලේ බත ඊට පසු කිසි දිනෙක කන්නට නොලැබුණි. මට්ටා හෙවත් මෝටා නම් තැම්බූ රතු හෙවත් දුඹුරු පැහැති හාල්වල බතද කෑමට බෙහෙවින් රුචිකරය. මැද පෙරදිග ඉද්දී දවසක් සුපර් මාකට් එකකින් ගත් ඉඩ්ලි රයිස් ටිකක් මම ගෙදරට ගිහිං දුන්නේ කිරිබත් හැදුවොත් රසට තියේවි කියා හිතලාය. හිතුවා වගේම ඒ හාලෙන් හදපු කිරිබත ගෙදර පමණක් නොව අපේ යහළුවන් අතරත් නැගලා ගිය බව තේරුණේ ඒ ව්දියට කිරිබත් හදාදෙන ලෙස ඉල්ලමින් උන් අපේ ගෙදර එන්නට වූ විටය. ලුණු මිරිසකුත් මාළු හොද්දකුත් එක්ක ඉඩ්ලි හාලේ කිරිබත අපූරුය.

කිරිබත් කන්නට අපි බොහෝ දෙනෙක් මනාපය. අපේ රටේ හන්දි ගානේද තොග පිටින් කිරිබත් උයා කාපු හැටිද පහුගිය දවස්වල දැකගන්නට ලැබුණි. ඒවා නම් රැල්ලට කන කිරිබත් උනත් මට හිටපු යාලුවෙක් කිරිබත් කෑමේ රුසියෙකි. කිරිබත්ව්ලට ඔහු කොච්චර කැමතිද කිව්වොත් ලැබෙනවා නම් තුන් වේලම හරි කිරිබත් කයි. ඔය අපි විප්‍රවාසයේ හිටපු කාලයේය. ඔහු වැඩකළ කොම්පැනියේ තුන් වේල කෑම තිබුණත් ඉන්දියන් කෝකියන් උයන කෑම කන්නට ඔහු මනාප නැත. කාමරේ ලංකාවේ විදියට මොකුත් හදාගෙන කන්නට ඔහු උයන්නට දන්නේ නැත. හැම සති අන්තයකම පාහේ ඔහු අපේ ගෙදර එන්නේ ලංකාවේ විදියට කන්නටය. එළු මස් ගාතයක් හාල් එළවළු ආදී අඩුම කුඩුම රැගෙන එන ඔහු අඩියක්ද ගසා කාබී සතියට හරියන්නට කෑමද හදාගෙන යයි. ගෙනියන්නට වැඩිපුර ඉල්ලන්නේ කිරිබත්ය. ඒවා ෆ්‍රිජ් එකේ තබාගෙන කනවිට මයික්‍රොවේව් එකේ රත්කරගෙන කන බව ඔහු කීවේය.

අපේ ලොකු අම්මා හෙවත් අම්මාගේ අක්කා රතුම රතු ලුණුමිරිස් තලියකුත් එක්ක හදා දෙන කිරිබත අදටත් මගේ සිතේ නොමැරෙන මතකයක්ය. ලොකු අම්මලාගේ ගෙදර තුන් වේලටම කෑම බත්ය. උදේට කුඹුරු හාලේ සම්බා බත කන්නට රස කිරි හොද්දක් හෝ පොල් සම්බෝලයක් ලැබේ. කොච්චර කැමති උනත් කිරිබත් කන්නට ලැබෙන්නේ ඉඳහිටය. සුද්දා වෙසක් එකට දෙන කිරිබත් දන්සලත් ගමේ කිරිබත් උයන ගෑණු උදවිය වැඩ පෙන්වන තැනකි. සුද්දා ඔවුන්ට තමන් කැමති විදියට තනි තනිව කිරිබත උයන්නට දෙයි. එතනදී අපටද විවිධාකාර රසයේ කිරිබත් කන්නට වාසනාව ලැබේ. කොහොම උනත් සුද්දාගේ දන්සැලේ කිරිබත උයා කෙසෙල් කොළයට දමා පොල්තෙල් ගාන ලද කෙසෙල් කොළයකින් තුනී කරන විට එන සුවඳ නම් කියා නිමකරන්නට බැරිය. එහෙම කියාගෙන යනවිට මට තවත් කිරිබතක් මතක්වේ. ඒ අපි රත්නපුරේ මහ සමන් දේවාලයට ගිය දවසකය. අපි ගිහිං දේවාලයේ චාරිත්‍ර වාරිත්‍ර බලා හැම තැනම රවුමක් ගසා එළියට එන්නට පිටත් උනා විතරය. බන්දේසියක කිරිබත් ගොඩක් තබා එය අපේ පැත්තට දික් කරගෙන ඉන්න කෙනෙක් එතන විය. බාරයක් ඔප්පු කරන්නට ආ කෙනෙක් විය යුතුය. ඒ කිරිබත් කෑල්ලක ප්‍රමාණය කිව්වොත් ගඩොල් ගෙඩියකට වඩා ටිකක් ප්‍රමාණයෙන් අඩුය. ලා රතුපාට කිරිබත් කැටය බැලු බැල්මට එහෙම රස පාටක් නොපෙනේ. කෝකටත් කියා අපි කිරිබත් කෑල්ල බැගින් අරගත්තෙමු. රස බැලුවේ වාහනයට ගිහින්ය. ඒ කිරිබත් කෑල්ල කොච්චර රසද කිව්වොත් ආපහු ගිහිං තව කෑලි කීපයක් ගන්නට තිබුණා නම් හොඳයි කියා අපි කතාවුනේ සිනාසෙමිනි.

ඉතිං කුඹුරුත් හාලුත් කිරිබතුත් ගැන කතාව නොදැනීම දික්විය. කුඹුරු ගැන කියපු වෙලේ මම මෑතකදී කියවපු කවියක් මතක් විය. මේ කවියේ මුල් පද තුන කෙසේ වෙතත් අවසන් පදය නම් අදද නිතරම පාහේ කියැවෙන එකකි. කවිය කෙතරම් නිර්ව්‍යාජද අවංකද කිව්වොත් එයින් නැගෙන ශෝකී රසය මා සිත බෙහෙවින් තැවුලට පත්කළේය. සති ගණනක් මගේ හිතේ රැව් පිළිරැව් දුන්නේ ඒ නිර්නාමික කවියාගේ ශෝකී චිත්තයයි. සරල කවියක් වුවද එයින් කියැවෙන ලොකු විස්තරය මසිත සැබවින්ම කම්පාවට පත්වන තරම ප්‍රබල එකක් විය. කවිය විවරණය කරන්නට අර්ථ නිරූපනය කරන්නට තිබුණා නම් හොඳ වුවත් එසේ නොකර මා නිකම්ම කවිය මෙහි ලියන්නේ එහි රසය ඔබට කැමති ආකාරයට ඔබේ ආරයට විඳ ගන්නටය. ඔබට මෙයින් දැනෙන යම් රසයක් වේ නම් ලියා තබන්නට යැයි මා ඉල්ලා සිටින්නේ කවදා හෝ මේ කවියට මම දෙන අර්ථ නිරූපණය ලියන්නට මා සිතා සිටින හෙයිනි. මා සිත් සසල කළ ඒ කවිය මෙසේය.

පින්ඇති අතපත්තු මට කරපු කාරියා

මා වැඩකළ කුඹුර වපුරන්ට නෑරියා

ගස්මුල් ගලවන්ට මා කරපු වීරියා

නඩු නැති රටට මොට පායාද සූරියා෴

හැලපයාhttp://www.blogger.com/profile/14910441607831391629noreply@blogger.com60tag:blogger.com,1999:blog-8432415427742462325.post-7894149052206172452021-11-30T21:40:00.001-08:002021-12-02T21:55:38.593-08:00කොරෝනා පස්සෙන් ඒම සහ අපේ මන්නාරම් සංචාරය.

අද වන විට ලිවීම පමණක් නොව කියවීමද බොහෝ දුරට අඩු වී ඇති බවද තේරෙන්නේ මිළදී ගත් නමුත් නොකියවා හෝ බාගෙට කියවා දැමු පොත් මේසය උඩ ගොඩගැසෙන විටය. ලියනවා නම් කාලය බොහෝ ඇතත් ලිවීමට අවශ්‍ය මානසික විවේකය බොහෝ ඈතය. එයට හේතුව නම් මගේ අඩුපාඩුවක් හෝ ගෙදර දොර ප්‍රශ්නයක් නොව දැනට රටේ පවතින වාතාවරණයයි. ගෙදරට කොටුවී සිටීමම අතිශය වෙහෙසකාරී ක්‍රියාවකි. අපි සාමාන්‍යයෙන් මාස දෙක තුනකට වරක්වත් කොහේ හෝ ඇවිදින්නට යන්නට පුරුදුවී සිටියේ ඒකාකාරිත්වය නැතිකර ගැනීමට සහ ගෙදරටම වී සිටීමේ ආතතිය අඩු කර ගන්නටය.

කොරෝනා පස්සෙන් ඒමක් අපට සිදුවූ බවද ලියා තැබීම වැදගත්ය. ඒ කතාව මෙහෙමය. වසංගතය ලංකාවට එන්නට පෙරාතුව නමුත් විදේශයන්හි ශීඝ්‍රයෙන් පැතිරී ගිය පහුගිය අවුරුද්දේ මාර්තු මාසයේ මුල දවසක මම හැලපිත් එක්ක නුවර යන්නට කතා කර ගත්තේ අපේ පරණ යාලුවෙක් වූ ටෙරන්ස්ලගේ ගෙදරය. ඒත් එක්කම සිටි බන්දු සහ මමද යන තුන්දෙනා අතර පැවතුනේ අතිශය සමීප මිත්‍රත්වයකි. ඒ කාලයේ ඉන්දියාවේදී අපේ පවුල් අතරද ඉතා කිට්ටු සම්බන්ධතාවක් පැවතුණි. අපි ඔක්කොම වගේ ඉන්දියාවේ සේවා කාලසීමාව අවසන් කර ලංකාවට ආවේ 2001 වසර වනවිටය. ආයෙම අපට එකට පිටරට වැඩ කරන්නට නම් අවස්ථාවක් නැතිවූ නමුත් මිත්‍රත්වය නොනැසී පැවතුණි. ලංකාවට ආ පසු අපි තිදෙනා ආයෙමත් එක එක රටවල්වලට මාරුවීම් ලබා ගිය අතර සේවා කාල අවසන් කර ලංකාවට ආ විටද හමුවීම උගහට වුණේ එකෙක් එනවිට තවෙකෙක් රට යෑම නිසාය.

අප එන බව අසා ටෙරන්ස් සහ ඔහුගේ බිරිඳත් මහත් සතුටට පත්වුණේ ආපහු අප මුණ ගැහෙන්නේ අවුරුදු විස්සකට පමණ පසුව නිසාය. බන්දුට යෙදී තිබූ ගෙදර වැඩක් නිසා ඔහුට අපිත් එක්කම යන්නට බැරිවුනත් එදා රෑ කෝච්චියෙන් බන්දු එන බව කියා සිටියේය. අපිත් එක්ක ගිය අනික් සාමාජිකයා අපේ හිතවත් අසෝකන්ය. දවස මට මතක හැටියට මාර්තු 9 වනදාය. එදා රෑ වනවිට ටෙරන්ස් ගේ නිවසේ අප එකතු වුණේ බොහෝ කාලයකට පසුව නිසා මහ රෑ වෙනතුරු කතා කරන්නට ඕනෑ තරම් දේවල් විය. දවස් දෙකක් ටෙරන්ස් ගේ ආගන්තුක සත්කාර ලබමින් සිට දොළොස් වෙනිදා පිටත් වනවිට අපට ලැබුණු ආරංචිය උනේ ලංකාවේ පළමු කොරෝනා රෝගියා හමුවී ඇති බවය.

ඊට පසු ගෙවී ගිය පළමු කොරෝනා සමය, රට වසා ඇඳිරි නීතිය යටතේ ගතකල කාලය රෝගීන් වාර්තා නොවුණු අපේ පළාත්වලට නම් කලකින් ලද නිවාඩු සමයක් විය. එකම ප්‍රශ්නයකට තිබුණේ වයින් ස්ටෝරු වසා තිබීමය. නමුත් විකල්ප බීම ගම පුරා පැතිර ගියෙන් බොන්නන්ට එපමණ ප්‍රශ්නයක් උද්ගත වුණේ නොමැති බව කිවයුතුය. ඒ කෙසේද කිව්වොත් පෙරන්නට දන්නා හැම එකාම පෙරන්නට පටන් ගත්හ. පෙරන්නට බැරි උන් දන්නා අයට කියා තමන්ගේ පාවිච්චියට පෙරවා ගත්හ. අපේ ගෙට පහළ තිබූ පුරන් වෙල් යායේ මාදුවාට අයත් කුඹුරු කෑල්ල වැඩ කරන්නට මම මාදුවාව බොහොම අමාරුවෙන් කැමති කරවා ගත්තේ කම්මැලිකමට කරන්න වැඩක් නැති නිසාමය. ඒ වැඩේ හරියටම හරිගිය නිසා මාදුවා ඉන් පසු දිගටම තම කුඹුර වැඩ කරයි. ඊට අමතරව සිය පළතුරු බිස්නස් එකද කුඹුරේ සිටම කරගෙන යන්නට හැකිවූ නිසා මාදුවාගේ අතේ සල්ලිද නොඅඩුව තිබුණි. ඒ කතාව මම කලින් ලියා ඇත.

කොරෝනා දෙවෙනි රැල්ල නම් පටන් ගත්තේ දෙපා මුලින්මය. ඒ කතාව කොහොමද කිව්වොත් එක දිගට මාස ගාණක් ගෙදරට කොටුවී හිඳ වසංගතය සෑහෙන්නට මර්දනය වී ගමන් තහනමත් ඉවත්වී සාමාන්‍යකරණය වුණායින් පසුව අපි දෙන්නා එනම් හැලපිත් මමත් නුවරඑළි ගියේ සතියක් පමණ එහේ ගතකර එන්නටය. අපේ ඥාති දුවෙක් බොරලන්දේ ඉන්න නිසා නවාතැන් හෝ කෑම ප්‍රශ්නයක් ගැන කරදර නොවී කැමති දවසක් ගතකරන්නට පුලුවන් නිසාය. අපි ගිය දවස්වලත් තරමක වැස්සක් තිබුණත් එය එපමණ කරදරයක් නොවීය. එළවළු කොටු ගානේ ඇවිද අලුත් එළවළු හොයාගෙන එන්නටත්, ලඟපාත බලන්න ඇති තැන්වල ඇවිදින්න යන්නටත් කාලය ගතවෙනවා නොදැනේ. ඒත් එක්කම තවත් සිත්ගන්නා කරුණක් වුණේ අපි ඇවිත් ඉන්න නිසා අහල පහල ඇති ද්‍රවිඩ නිවෙස් වලින් එවන රසවත් ආහාර නිතරම පාහේ ලැබීමය. ඔය විදියට ගතවුනේ යන්තං දවස් තුනකි. ආයෙම වසංගතය හිස ඔසවන බවක් පෙනෙන්නට ඇති නිසා වහාම ගෙදර එන්නට යයි ගෙදරින් තර්ජනාත්මක දුරකථන පණිවිඩයකි. ඒ ගමන කරගෙන ගිය වැඩ සියල්ල අතහැර දමා ආපහු ගෙදර ආවෙමු.

දෙවෙනි රැල්ල ආවේ ඔක්තෝබර් වලය. ඒ සුප්‍රසිද්ධ බ්‍රැන්ඩික්ස් රැල්ලයි. ඒ ගාමන්ට් එකේ අපේ ගමේ තරුණ තරුණියන් සැහෙන පිරිසක් වැඩකරති. රැල්ල පටන් ගන්නට දවස් දෙකකට කලින් අපි ගමේ පිට්ටනියේ එල්ලේ තරඟාවලියක් පැවැත්වූයේ අලුත් අවුරුද්දට වත් මොකුත් කරගන්න බැරිවුණු නිසාය. වැඩේ හොඳට ගියත් කට්ටියටම දෙලෝ රත්වුනේ තරඟ වලට ආපු ගාමන්ට් එකේ වැඩකරන කොල්ලන් කෙල්ලන් ආසාදනය වන්නට වූ විටය. ඒ කාලයේ ආසාදනය වුවන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වලටත් ගෙවල්වල අය නිරෝධායන මධ්‍යස්ථාන වලටත් ගෙනගිය නිසා ගමේ රැල්ල එතැනින්ම නතරවුණේ කාගේත් වාසනාවකටය.

දෙවෙනි රැල්ල හොඳටම පාලනය කර ගමනාගමන කටයුතු දුම්රිය ආදී සේවාවන් නැවත ආරම්භ වූ පසු අපි ලෑස්ති වුණේ කලින් යන්නට හිතාගෙන හිටියත් කල්ගිය ගමනකි. ඒ මන්නාරම් ගමනය. මීට කලින් එක් වතාවක් මම මන්නාරමට ගොස් ඇත. ඒ 2002 සාම ගිවිසුම ක්‍රියාත්මක වුන කාලයේය. එදා වැඩේ ලෑස්ති කළේ අසෝකන්ය. උගේ යාලුවෙක් මන්නාරමේ සිටී, මමත් අපේ ඔෆිස් එකේ හිටපු සිරිත්, අසෝකනුත් එදා මන්නාරම් ගියේ රෑ බස් එකේය, මොකද කිව්වොත් එකල කෝච්චි තියා කෝච්චි පාරවත් තිබුණේ නැත. එළිවෙන පාන්දර මන්නාරම බස් නැවතුම් පොලෙන් බැසගත් අපව රැගෙන යන්නට අසෝකන්ගේ හිතවතා වූ තවරාසා ඇවිත් තිබුණි. එදා මන්නාරම් බස්පොල නිකම්ම නිකං තනි මඩුවක් තිබූ සහ බිම රතු දුවිල්ලෙන් නැහැවී ගිය තැනක් විය. පොඩි පොඩි මඩු කුඩාරම් වැනි කුඩා කඩ කීපයක් හැරෙන්නට නගරයක් කියා දෙයක් නොතිබුණු තරම්ය. අසෝකන්ගේ මිතුරු තවරාසා සමග ඔහුගේ ගෙදරට ගිය අපට නවතින්නට දුන්නේ ඔහුගේ දුවට දෙන්නට අංග සම්පුර්ණව ඉදිකර තිබුණත් තාම පදිංචියට නොගිය අලුත්ම නිවසකය. ඒ ගෙදර ඉඳගෙන තවරාසාගේ බිරිඳ හදාදෙන රසවත් කෑම කමින් හැමතැනම ඇවිදිමින් ගතකළ දවස් තුන ජීවිතයේ නොමැකෙන මතකයක්ය. අපි නියම ද්‍රවිඩ සිරිතට කන්නේ බිම එරමිණිය ගොතාගෙන ඉඳගෙන කෙසෙල් කොලයට බෙදන බත් මාලුය. කෑමට පෙර බඩ පිරෙන්නට තල් රා පාරකි. තල් රා කෑන් එකක් රැගෙන එන්නේ ළඟ පාත තිබුණු රා පොලකිනි. රා ගන්නට ගිය විට ප්‍රශ්නයක් මතු වුණේ ළඟ පාත හමුදා කඳවුරේ සොල්දාදුවන්ගෙනි. දැන් කියන හැටියට කිව්වොත් රණ විරුවන්ගෙනි. රණ විරුවන් ජීප් එකේ ලොකු බූලි පටවාගෙන එන්නේ රා පොලේ තියෙන රා ටික ඔක්කොම ගෙනියන්නටය.(නිකම් නොව මුදලටය) නමුත් ඒ වැඩේ නිසා රා බොන්නට බලාගෙන රා පොලට එන ගම්වැසියන්ටද අපි වගේ සංචාරයට ආපු අයටද වෙන්නේ දැඩි අසාධාරණයකි. ගමේ අය මේ වැඩේට විරුද්ධව වචනයක්වත් කතා නොකරන්නේ බයටය. ආමි එකට විරුද්ධව කතා කළොත් රේල් පාරේ යකඩ කෑවා සේ වෙන බව ගමේ අය දනිති. අපට එහෙම ප්‍රශ්නයක් නැති නිසා දෙවෙනි දවසේ කෙළින්ම ආමි එක කරන මේ වැඩේට විරුද්ධව කතා කෙරුවෙමු. අපි ගමේ අය නොවන නිසාත් සිංහලෙන් කතා කළ නිසාත් රණ විරුවන් අපි කියපු දේවල් සලකා බලන්නට කැමති වූහ. ඒ අනුව ගමේ මිනිස්සුන්ටත් අපටත් සෑහෙන්නට රා ප්‍රමාණයක් ඉතුරු කර ඉතුරු හරිය ගෙනියන්නට ඔවුන් කටයුතු කළ අතර ගමේ මිනිස්සු අතර අපට ලොකු ජනප්‍රියත්වයක් ඇති වීමට එම කාරණය හේතුවිය.

රා පොලෙන් පසුව මුහුදු වෙරලටය. වෙරළේ දැල් කීපයක් ඇත. දැල් අදින අයගෙන් අපට අලුත්ම කලවම් මාළු ලැබේ. එයද ඉතාම අඩු මිලකටය. මාළුත් රාත් අරගෙන ගෙදර ගියවිට තවරාසාගේ බිරිඳ ඒ මාළු නොයෙක් ආකාරයට රසවත්ව පිසින අතර තියෙන මාළු ගොඩ අපට කාගන්නට බැරි තරමය. ඇය දම්පාට වැල් අල නොහොත් දන්දිල තම්බා පොඩිකර පොල්කිරිද සීනිද දමා හදන ඉතා රසවත් කැඳ වර්ගය මම බිව්වේ පළමුවරටය. සිංහල වචනයක් වත් නොදන්න කියන හැම දේටම සිනාවෙන ගෙදරට ආ කවදාවත් නොදුටු ආගන්තුකයන්ට උපරිමයෙන් සත්කාර කළ ඒ කරුණාවන්ත කාන්තාවගේ රුව කිසිදා මගේ සිතින් ගිලිහී නොයයි. ගේ ගෙදරින් උදේට කෑම එපා යයි අපි කීවේ ඒ ගෙවල් ළඟ පාරේ ඇති කඩයේ හදන ඉන්දියන් කෑම වලට අපි වහවැටී සිටිය නිසාය. කඩේ තියෙන තෝස, වඩේ, ඉඩ්ලි ආදී සයිවර් කෑම ඉන්දියාවේ ගතකළ කාලය සිහිගන්වයි.

මන්නාරමේ ඇවිදිමින් දවස් තුනක් ගතකලද තලෙයිමන්නාරමට යන්නට බැරිවිය. ඒ ගමනින් අවුරුදු දාහතකට පමණ පසු ආයෙමත් මන්නාරම් ගියොත් හොඳයි කියා මම කල්පනා කළෙමි. අසෝකන්ද ලංකාවේ හිරවී සිටි නිසා වැඩේ තවත් ලේසි විය. ගමනේ අරමුණු වුයේ තල් රා බීම, ඇතිවෙන්නට අලුත් මාළු කෑම සහ තලෙයිමන්නාරමට යාමයි. කලින් ගිය ගමනේ මෙන් නොව දැන් කෝච්චිද දුවයි. ගමන යන්නට කතාවුනේ මමත්, බන්දුත්, අසෝකනුත් පමණකි. ගමන ගැන හැලපිට කී විට ඇය එක්වරම මාත් එනවා යයි කීවාය. ඊට පසු හැලපි ඇගේ නංගීත් සමග කතාකරද්දී මෙහෙම ගමනක් යන්නට හිතාගෙන ඉන්නවායි කියා ඇත. නංගි එක්වරම කියා ඇත්තේ අපි දෙන්නත් එනවා කියාය. ආයෙ කවදා යන්නට ලැබේදැයි නොදන්නා නිසා ඒ දෙන්නාවත් එක්ක යන්නට කියා ඇත. ඊට අමතරව හැලපි බන්දුගේ බිරිඳටද කතා කර ඇයවත් ගමනට එක්කාසු කර ගත්තාය. තුන්දෙනා යන්නට හිටි ගමනට දැන් හත් දෙනෙකි. අසෝකන්ට මම කීවේ පරණ යාලුවාටම කතාකර නවාතැන් සොයාගන්නට කියා උනත් අසෝකන් කීවේ උගේ තවත් යාලුවෙක් ඉන්න බවත් කලින් තැනට වඩා හොඳ තැනක් යාළුවාට ඇති නිසා මේ ගමන එහෙ යමුයි කියලාය. අසෝකන් ඒ පළාත දන්න කාරනාකාරයෙක් නිසාත් පහුගිය ගමන අසෝකන් සොයා දුන්න තැන හොඳටම හොඳ නිසාත් මම ඒ කතාවට එකඟ උනෙමි.

ඊළඟට තියෙන්නෙ ගමන යන එකය. උදේ කෝච්චිය තිබුණේ නවයකුත් ගානටය. බන්දුත් බිරිඳත් ගම්පහින් කෝච්චියේ නැග ආ අතර අසෝකන් එක්ක අපි දෙන්නා ගොඩවුණු පසු නංගීත් මහත්තයාත් මීරිගමින් ගොඩවුනි. කෝච්චිය බාගෙට එක්ස්ප්‍රස්ය. මන්නාරමට යද්දී හවස පහත් කිට්ටුවී ඇත. අසෝකන්ගේ යාළුවා වන සෙල්වරාජා නොහොත් සෙල්වා ඉස්ටේසමට ඇවිත් සිටියේ අපව එක්කරගෙන යන්නටය. යාළුවාගේ වාහනයේ යනවා යනවා කෙළවරක් නැත. කිලෝමීටර් විස්සකට කිට්ටුවෙන්නට ගිහින් සෙල්වාගේ ගෙදරට සැපත් වුනෙමු. එය ලොකු වත්තක පිහිටි ගෙයකි. හිටියේ යාළුවාත් බිරිඳත් දරු දෙන්නාත් ආච්චිත්ය. වත්ත ලොකු උනාට ගෙයි නම් අසෝකන් කියපු සැප පහසුකම් මොකුත්ම තිබුණේ නැත. සැප පහසුකම් තබා මුලික පහසුකම්වත් තිබුණේ නැත. ගේ බලා ගෑණු ටික මුනු ඇඹුල් කරගන්නා හැටි මම දැක්කෙමි. මමත් බන්දුත් කතා කර තීරණය කළේ වහාම වෙන තැනක් සොයා ගමුය කියාය. ඒ ගැන සෙල්වාට කීවිට ඔහු අපිවත් අපේ ගමන් බඩුත් ආයෙම වාහනයට පටවාගෙන එක හෝටලයකට අරගෙන ගියේය. එය ලොකු හෝටලයකි. කාමරයකට දවසකට රුපියල් පහළොස් දාහක් ගනී. ඒක හරියන්නෙ නෑ කියූ පසු ඔහු තව තැනකට අපව අරගෙන ගියේය. එතන අයිතිකරු සුහදශීලී මනුස්සයෙකි. සාධාරණ මුදලකට ඔහු අපට නවාතැන් දෙන්නට කැමති විය. කොහොමත් ඒ කාලයේ පිටරට තියා ලෝකල් සංචාරකයන්වත් නැති නිසා අපව අත හැරගන්නට ඔහු කැමති නොවන්නට ඇත. ප්‍රශ්නයක් කියා තිබුණේ එතන කෑම නැති එකය. හෝටල් කුස්සියේ අලුත්වැඩියාව ඒ වන විටත් ඉවරවී නැත. එය ප්‍රශ්නයක් නොවුනේ එතන ඉස්සරහම පාරෙන් එහා පැත්තේ හෝටලයක්ද මීටර් සීයක් පමණ දුරින් කෑම කඩ කීපයක්ද තිබුණු නිසාය. ඒ වන විට අඳුරත් වැටී තිබුණු නිසා ගෙනගිය පානයක්ද පාවිච්චි කර ඉස්සරහ කඩෙන් රෑ කෑම කා නිදාගතිමු.

අපි නවාතැන් ගත් හෝටලයේ සිට පේසාලේ ටවුමට පයින් යන දුරය. හෝටලය පිටුපස මුහුදු වෙරළය. වැල්ල දිගේ දිගටම යනවිට මාළු වාඩි හමුවේ. අපට උවමනා කර තිබුණේ ඉස්සන් සහ කකුළුවන් මිලට ගන්නටය. උදේම මාළු වාඩි වලට ගිහිං ඉස්සන් සහ කකුළුවන් අරගෙන ඇවිත් උයන්නට දුන්නේ ඉස්සරහ කඩේටය. පේසාලේ ටවුම පසුකර ටික දුරක් යනවිට තල් රා කඩයක් ඇත. ඒ කඩේට ගිහිං රාද අරගෙන ආවෙමු. එදා දවස ගතවුනේ තිරුකේතීශ්වරම් කෝවිලට යන්නටත් බයෝබැබ් ගහ බලන්නට යන්නටත් මන්නාරම් ටවුමේ රස්තියාදුවක් ගසා කාන්තාවන්ට අවශ්‍ය රෙදි ආදිය හා කරෝල මිලදී ගන්නටත්ය. රා වලට වඩා සැර මත්පැනක් අවශ්‍ය නම් මන්නාරමෙන් ගත යුතුය. පේසාලේ වයින් ස්ටෝස් නැත. එහි ඇත්තේ රෙස්ටුරන්ට් එකක් පමණකි. රෙස්ටුරන්ට් එකේ මත්පැන් වයින් ස්ටෝස් එකට වඩා ගණන් වැඩිය.

මමත් අසෝකනුත් පේසාලෙන් රාත් අරගෙන ආපහු හෝටලයට ආ ත්‍රීවීල් එක හෝටලය ඉදිරියේ අපව බස්සා ආපහු යන්නට හැදුවා පමණකි. පාරේ ගිය මනුස්සයෙක් කෑ ගසා කීවේ නවත්තන්න කියාය. ඔහු ත්‍රීවීල් එක ලඟට ඇවිත් නායි නායි කියා ත්‍රීවීල් එක යට පෙන්නුවේය. බැලුවාම චූටිම චූටි බලු පැටියෙක් ත්‍රීවීල් එකේ රෝදය ළඟ හිඳගෙන සිටී. ඌව එළියට ගත්විට අප පස්සෙන් වැටී හෝටලයට ආවේය. හැලපිලා ඌට කෑම දී සාත්තු කලවිට බලු පැටියා බඩ තිත්ත ලබ්බ වගේ වෙන්නටම කෑම කා නිදාගත්තේය. එවෙලේම අපි බලු පැටියාට පොඩි නායි කියා නම තැබුවේ ලොකු නායිලා කීප දෙනෙක්ම හෝටලය වටේ රස්තියාදු ගසමින් සිටි නිසාය. පොඩි නායි හවස් වෙද්දී හෝටලයට ආ කාන්තාවක් පස්සෙන් ගිය බව හැලපි මට කීවේ පොඩි නායි කොහෙද කියා මම විපරම් කලවිටය.

අපි රෑට කෑම කන විටද බල්ලන් කීප දෙනෙක් අවට සැරිසරමින් සිටියෝය. එක බැල්ලියක් මගේ ලඟින්ම සිටි නිසා මම කන ගමන්ම ඌටද කෑම දුන්නෙමි. පහුවදා උදේ අපි තලෙයිමන්නාරමට යන්නට පාරට ගිය විට බැල්ලියක් ඇවිත් මාව ඉවකර දඟලන්නටත් බිම පෙරලෙන්නටත් පටන් ගති. බැලුවාම කලින්දා රෑ මම කෑම දුන්න බැල්ලියය. මේ පිංතුරයේ ඉන්නේ මගේ යාළු බැල්ලිය. බස් පරක්කු නිසා පෙසාලේට ගියෙමු. ඒ වනවිට අපි උදේට කෑම කා නොතිබුණු නිසා කාටත් බඩගිනි දැනෙමින් තිබිණි. පේසාලේ කඩවලින් කෑම කන්නට බැරි උනේ බස් එකක් කොයි වෙලේ ඒදැයි නොදන්නා නිසා බස් එක මග ඇරුණොත් තවත් පැයක් විතර ඉන්නට වෙන නිසාය. ලාබෙට තිබුණු පුවාළු කෙසෙල් ඇවරි කීපයක් මිලදීගෙන බඩගින්න තරමකට සමනය කරගත්තේ තලෙයිමන්නාරමේ කඩේකින් හොඳට කන්නට හිතාගෙනය. සෙනග පිරුණු බස් එකක නැගී තලෙයිමන්නාරමට යාගත්තෙමු. බැස්ස ගමන් අපි කෑම කන්නට තැනක් සෙව්වමුත් තිබුණේ පොඩි කඩයක් පමණය. ඒකෙත් තෝස ආදී කෑම ඉවරවී ඉතිරිව තිබුණේ පරෝටා පමණකි. ඒ විදියටවත් කන්නට තැනක් ලැබුණු එක ලොකු දෙයක් කියා පරෝටා පරිප්පුත් මාලුහොදිත් සමග කා තේ බිවු විට ඇඟට පණක් ආවේය.

ඊට පසු ළඟදී ඉදිකළ තලෙයිමන්නාරම දුම්රිය පොළ පසුකර පරණ පෙරිය තිබුණු වෙරළටය. එක්දාස් නවසිය හැත්තෑ ගණන් වෙද්දීත් තලෙයිමන්නාරම රාමේස්වරම් පෙරී සේවය ක්‍රියාත්මක වෙමින් තිබුණි. කෝච්චියේ තලෙයිමන්නාරමට ඇවිත් ආගමන විගමන කටයුතු නිමකර ටිකක් එහායින් තියෙන ජැටියේ නවතා ඇති නැවෙන් රාමේශ්වරමට යාගත හැක. අද ආගමන විගමන කටයුතු කළ ගොඩනැගිල්ල නටබුන් වී ඇත. දිරාපත් ජැටිය නේවි කෑම්ප් එක ඇතුලේ නිසා එතනට යන්නට දෙන්නේ නැත. නටබුන් ගොඩනැගිලි හා ජැටිය දුටු අසෝකන්ගේ සිත අතීත ස්මරණයන්ගෙන් පිරී යන්නට විය. ඉන්දීය පියකුගේ සහ ලාංකික මවකගේ දරුවෙක් වශයෙන් ලංකාවේ උපන් අසෝකන්ට සිය පවුල සමගම ආපසු ඉන්දියාවට යන්නට වුණේ සිරිමා ශාස්ත්‍රී ගිවිසුම අනුවය. ඉන්දීය පුරවැසියෙක් වුවත් අසෝකන් අදටත් මගේ රට කියන්නේ ලංකාවටය. අසෝකන් විවාහ වුනෙත් ලාංකික තරුණියක් සමගය. මගෙ කෙල්ල ඉන්දියාවෙ එකෙක්ට දෙන්නෙ නෑ කියා එකම දුව දීග දුන්නෙත් ලංකාවේ කොල්ලෙකුටය.

1972 වර්ෂයේ එක් සැන්දෑවක කෝච්චියෙන් තලෙයිමන්නාරමට ඇවිත් තාත්තාගේ අතේ එල්ලී නැවට නගින්නට ගිය හැටි අසෝකන් ඒ තැන් පෙන්වමින් අපට විස්තර කළේය. අසෝකන් තාත්තාගේ අත අල්ලාගෙන ජැටියට යද්දී අම්මා මල්ලීව වඩාගෙන ආ බවත් නංගී ඒ වනවිට ඉපදී නොසිටි බවත් අසෝකන් කීවේය. අසෝකන්ගේ පියාවූ මනවෙයිතම්බි වෘත්තීය සමිති ක්ෂේත්රයේ ටිකක් කලබල කාරයෙක් වූ නිසාම ඔහුව පිටත් කිරීම ඉක්මන් වූ බවත් තාත්තාත් ලංකාවේ ඉන්නවාට වඩා ඉන්දියාවට යන්නට කැමැත්තෙන් සිටි බවත් අසෝකන් කීවේය. රාමේශ්වරමට නැවෙන් ගෙනගිය අසෝකන්ලා පදිංචි කළේ මනපාඩ් නම් වෙරළාශ්‍රිත ධීවර ගම්මානයේය. මනපාඩ් ඉන්දියාවේ උල් කෙළවර වූ කන්‍යාකුමරි සිට කිලෝමීටර් හැත්තෑ ගණනක් දුරින් පිහිටි සුන්දර ගමකි. අපි ඉන්දියාවේ ඉද්දි අසෝකන් වතාවක් මනපාඩ් ගමට අපිවද එක්කරගෙන ගියේය. ඒ කතාව මම මීට කලින් බ්ලොගයේ ලියා ඇත්තෙමි.

අසෝකන්ලා සමගම ඉන්දියාවට යැවූ මනවෙයිතම්බිගේ මල්ලි හෙවත් අසෝකන්ගේ බාප්පා මනපාඩ් ගම්මානයේ පදිංචිවී ධීවර රැකියාවේ යෙදුනත් මනපාඩ් හි නිදිමත ජීවිතය රටේ තොටේ දේශපාලන චරිත සමග ගැවසුන සටන් කරුවෙකුවූ අසෝකන්ලාගේ පියාට ඇල්ලුවේ නැත. ඒ නිසා ඔහු වැඩිකල් නොයවාම මනපාඩ් වලට සමුදී මදුරාසියට සංක්‍රමණය වුණේ සිය පවුලද සමගිනි. මදුරාසියේ පදිංචිවූ මනවෙයිතම්බි සිය ජීවන වෘත්තීය වශයෙන් ප්‍රින්ටින් ප්‍රෙස් එකක් දාගත්තේය. දන්නා අඳුනන දේශපාලකයන් මාර්ගයෙන් වැඩ හොයා ගත්ත නිසා ප්‍රෙස් එකද මනවෙයිතම්බිට සුපුරුදු දේශපාලනයද කරගැනීමට ලැබුණි. ප්‍රෙස් එක නැගලා යනවිට මනවෙයිතම්බි ට්‍රැවල් ඒජන්සියක්ද පටන් ගත්තේය. ඒ වන විට පාසල් ජීවිතය අවසන් කර සිටි අසෝකන්ව ට්‍රැවල් ඒජන්සියේ වැඩට පුරුදු කර එය බාරදුන්නේය. ඉන්දියාවෙන් ලංකාවට එන්නට වීසා අවශ්‍ය වූ ඒ කාලයේ අසෝකන්ට හොඳට වැඩ ලැබුණි. මම ඉන්දියාවේ රස්සාවට ගිය අලුත මදුරාසිය ගැන කිසිම දැනීමක් නොමැතිව සිටි මට ගෙයි පදිංචිවී වැඩ කටයුතු කරගෙන යාමට සහයෝගය දුන්නේද අසෝකන්ය. ඔහු ඒ තරමට ලංකාවටත් ලක් වැසියන්ටත් ආදරය කරන චරිතයකි. ඒ නිසාම ඇනගත් අවස්ථාද බොහොමය. කෙසේ වුවද අසෝකන් පසුකාලීනව අපි දෙතුන් දෙනාගේ ගෙදර චරිතයක් වගේම කිට්ටුවෙන් සිටියේය. අදටත් එය එසේමය. පසුගිය කෝවිඩ් වසංගතය කාලයේ අසෝකන් බිරිඳ ප්රමිලාත් එකක්ම හිටියේ ලංකාවට ඇවිත් දුවගේ ගෙදරය. රට වසා දැමීම සහ ඉන්දියාවේ දරුණුවට පැතිරුණු වසංගතය නිසා අසෝකන්ට අවුරුද්දක් හමාරක් ලංකාවේ කොටුවී සිටින්නට සිදුවිය. ආපහු මදුරාසියට යන්නට ඔහුට ඉඩ ලැබුණේ මේ ඊයේ පෙරේදාය. ඉන්දියාවේ සිට මට කතාකළ අසෝකන් කීවේ ඔහු පදිංචිවී සිටි ටී නගර් වල නිවස අතහැර පුරුසවල්කම් වල මහල් නිවාසයකින් අලුත් ගෙයක් ගත්තා කියලාය. මට ගෙයි පිංතුර වගයක්ද එව්වේය. ඇත්තටම අසෝකන් හිටපු ගෙදරට වඩා අලුත් ගේ හොඳය. දවස් දෙකතුනකට පෙර අසෝකන් ආයෙම මට කතාකලේ ආපහු ලංකාවට ඇවිත්ය. අලුත් ගේ ගත්තේ කොහොමද කියා මම අසෝකන්ගෙන් අහුවෙමි. සාමාන්‍යයෙන් මදුරාසියේ එහෙම ගෙයක් හොයාගන්නට සෑහෙන අමාරුය. ඔහු කීවේ සිය පියාගේ මිතුරෙක් වූ කරුණානිධිගේ පුත්‍රයා වූ නගරාධිපති ස්ටාලින් ගේ හොයා දෙන්නට උදව් කළ බවය.

ආයෙම කතාවට ආවොත් අපි දැන් පේසාලේ හි දවස් දෙකක් ගතකර හමාරය. කරන්නට හිතේ තියාගෙන ආ ආසාවන් ඉටු කරගෙනය. පසුවදා රෑ කෝච්චියෙන් ආපහු ගෙදර එන්නට ලෑස්ති වී දවල්ට සෙල්වා රැගෙන ආ කෑමත් කා ඉන්නවිට ලැබුණු ආරංචිය වුණේ නිරෝධායන මධ්‍යස්ථානයකින් හොරෙන් පැනගත් රෝගියෙක් මන්නාරම ස්ටේෂන් එකේ සිට හමුවූ බවත් එතැන් සිට මන්නාරම ස්ටේෂන් එක වසා කාර්ය මණ්ඩලය නිරෝධායනයට යැවූ බවත්ය. කොහොමත් අපි කෝච්චියට නගින්නට ලෑස්ති වී සිටියේ පයින් ඇවිදින දුරක තිබුණු පේසාලේ ස්ටේෂන් එකෙන් නිසා එය අපට ප්‍රශ්නයක් නොවීය. එදා රෑ කෝච්චිය ආවේ මන්නාරම ස්ටේෂන් එකේ නවත්වන්නේ නැතුවය. කොරෝනා පස්සෙන් ආවේ ඒ ආකාරයටය.

ආපහු එන දවසේ දවල් අතේ මුදල් ඉවරවී තිබුණ නිසා මට මුදල් ටිකක් ගැනීමේ අවශ්‍යතාවක් විය. පේසාලේ ඒ ටී එම් එක පයින් යන දුරක තිබුණත් දැඩි අව් රශ්මිය නිසා මම හෝටලයට එහායින් තිබු බස් ස්ටෑන්ඩ් එකට වී සිටියේ බස් එකේ පේසාලේ හන්දියට යන්නටය. මම එහෙම ඉන්නවිට සරමක් කමිසයක් හැඳගත් කළු උස වැඩි වයසක් නැති තරුණයෙක් එතැනට ආවේය. ටිකකින් ඔහු මා සමග සිනාසී කතාකරන්නට විය. කතාව දෙමළෙනි, ඔහුට සිංහල වචනයක් වත් බැරිය. සාමාන්‍යයෙන් ඒ පැත්තේ අය හරිම සුහදශීලිය. කවදාවත් දැක නැති අමුත්තන් සමග පවා හොඳට කතාකරති. කොච්චර සුහද වෙනවාදැයි කිව්වොත් අමුත්තන් සමග ගෙදර දොරේ පුද්ගලික තොරතුරු පවා කිසිම අඩුවක් නැතුව බෙදාගනිති. අමුත්තාගේ තොරතුරුද අසති. තරුණයා මගෙන් ඇසුවේ කොහේ යනවාදැයි කියාය. පේසාලේ හන්දියට යන්නෙමැයි මම කීවෙමි. මේ පැත්තෙ නෙවෙයි නේද ගම කොහෙදැයි ඊළඟට ඇසුවේය. මම පිළිතුරු දුන්නෙමි. එතකොට දෙමළ කතා කරන්නෙ කොහොමදැයි ඊළඟට ඇසුවේය. ටික ටික ඉගෙන ගත්තා කියා මම කීවෙමි. ෂිහ් මට සිංහල වචනයක් වත් බෑනෙ, ඔහු කනස්සළු විය. ඔහු තලෙයිමන්නාරමේ පදිංචි කරුවෙකු බවත් පේසාලේ මාළු වාඩියක වැඩ කරන බවත් උදේ පාන්දර බස් එකේ ඇවිත් වැඩ ඉවර කර ගෙදර යන බවත් මම අසන්නේ නැතුවම ඔහු කීවේය෴

"හැලප කඩේ බ්ලොගයට අවුරුදු නවයක් පිරුණේ පසුගිය 12 වෙනිදාය. බ්ලොගය ආරම්භ කළේ 2012 නොවැම්බර් 12 වෙනිදාය. මේ වන විට මම බ්ලොගයට පෝස්ට් 305 ක් ලියා ඇත්තෙමි. මම බ්ලොගය අරඹන කාලයේ සිංහල බ්ලොග් ලියු බොහෝ දෙනෙක් දැන් ලිවීම අතහැර දමා ඇත. කමෙන්ට් කරන අයද එසේමය. කෙසේ වුවද මෙපමණ කලක් බ්ලොගය පවත්වාගෙන යාමට හැකිවීම ගැන මට ඇත්තේ සතුටකි. ඒ සතුට ඔබ සියලුම දෙනා සමග බෙදාගැනීම මගේ යුතුකමක් බැවින් ඒ ගැන මෙසේ සඳහන් කළෙමි."

හැලපයාhttp://www.blogger.com/profile/14910441607831391629noreply@blogger.com84tag:blogger.com,1999:blog-8432415427742462325.post-26505057648064742362021-10-31T23:54:00.000-07:002021-10-31T23:54:53.761-07:00ත්‍රිකෝණය 6 (අවසන් කොටස)

ත්‍රිකෝණය 5

අඩවන් වූ කවුළුවෙන් ගලා ආ සඳරැස් තීරුවක් කාමරයට වැටී ඇත. අඩ නින්දේ සිටි රංජිත් ඇඳෙන් බැස වෙලාව බැලුවේය.

"දොළහත් වෙලා " රංජිත් තමාටම කියා ගනිමින් වතුර වීදුරුවක් වත්කරගෙන බොන්නට විය. අගෝස්තු මාසයේ දවාලට ඇති දාහය දරාගන්නට නොහැකි තරමය. නිදාගන්නට ඇඳට ගියද සියොළඟින් ගලන දහඩිය නිසා බොහෝ වෙලාවක් යනතුරු නින්ද නොඑයි. ගිය සතියේ දවසක සවස රංජිත්ගේ කාමරයට ආවේ ජයතිස්ස ඉස්කෝලෙ මහත්තයාය. ඔහු ආවේ වැදගත් කතාවකට බව රංජිත් එක්වරම තේරුම් ගත්තේය.

"රංජිත් මහත්තය වැඩක්ද?"

"නෑ මම මේ පරණ පත්තරයක් බල බලා හිටියෙ. මහත්තය වාඩිවෙන්න."

පසෙක තිබූ පුටුව ඇදගත් ජයතිස්ස ඉස්කෝලෙ මහත්තයා එහි වාඩි ගෙන කතා කරන්නට විය.

"දැන් මහත්තය අපේ කටයුත්තත් ළඟ ලඟම එනවනෙ."

රංජිත් නිහඬවම අසා සිටී.

"ඉතිං මම කල්පනා කළේ දැන් මහත්තයට ගෙවල් ළඟ පාතකට මාරුවක් ගත්තොත් නරකද කියල. බැඳල දෙන්න එකතැන් උනාට පස්සෙ ආයෙම මේ කැලේට එන එකේ තේරුමක් නෑනෙ. මහත්තයගෙ දුෂ්කර සේවා කාලෙත් දැන් ඉවර වෙලානෙ. හෙට අනිද්දම ලියුමක් ලියාගෙන අධ්‍යාපන කාර්යාලෙට යන්න. මම නිර්දේශ කරන්නම්. අධ්‍යාපන කාර්යාලෙ ඒ ඕ මහත්තය මම දන්න කෙනෙක්. උන්නැහැ මහත්තයට උදව් කරයි."

මාරුවක් ලබාගැනීම නරකම නැතැයි රංජිත් සිතුවේය. ඒත් අවුරුදු කීපයක් සිටි තැන එක්වරම දමා යන්නට හිත හදාගන්නේ කෙසේද? ඔහු ආසාවෙන් කළ ගොවිකම, කුඹුරු, හේන. ඒ ඔක්කොටොමත් වඩා බිසෝ?

"මහත්තය මොනවද කල්පනා කරන්නෙ?"

ජයතිස්ස මහත්තයගේ හඬින් රංජිත්ගේ කල්පනා දැහැන බිඳ වැටුණි.

"තමන් කාලයක් ආදරෙන් හිටපු ඉඩකඩම් දාල යන්න හිත හදාගන්න එක අමාරු තමයි. ඒත් අපි කවුරුවත් හැමදාම මේ තැන්වල ඉන්න ඇවිල්ල නෑනෙ. මහත්තය හිත හදාගෙන ගමට යන්න. මට නම් ඉතිං ආයෙ වෙන තැනකට යන්න කාලයක් ඉතුරු වෙලා නැහැ. ඔන්න ඔය ඉතුරු අවුරුදු කීපෙත් මෙහෙටම වෙලා ඉඳල විශ්‍රාම අරගෙනම ගමට යනවා. මහත්තයල ජීවිතේ පටන් ගත්ත විතරයි. හිත හදාගෙන ගිහිං අලුත් ජීවිතයක් පටන් ගන්න."

"නෑ ඉතිං, මට ඔය මාරු වැඩවල පළපුරුද්දකුත් නැහැනෙ. නැතුව ගමට යන්න තියෙන අකමැත්තකට නෙවෙයි."

"අමුතු පළපුරුද්දක් ඕනෑ නෑ මහත්තය. මම කියනවට අධ්‍යාපන කාර්යාලෙට යන්නකො. ඉතුරු හරිය මම බලාගන්නම්."

ජයතිස්ස මහත්තයාගේ බලකිරීම නිසාම රංජිත් ඊට පසු දිනෙක නිවාඩු දමා අධ්‍යාපන කාර්යාලයට ගොස් පරිපාලන නිලධාරියා මාර්ගයෙන් අධ්‍යාපන අධ්යක්ෂ මුණ ගැසුනේය. ඔහු කියා සිටියේ හදිසියේම රංජිත්ට මාරුවීමක් ලබා දෙන්නට නොහැකි වන්නේ ඔහු වෙනුවට පාසැලට අනුප්‍රාප්තිකයෙකු ලබාදීමට හැකියාවක් නොමැති නිසා බවය. ඒත් ඊළඟ අවුරුද්දේ මුල භාගයේ පැමිණීමට නියමිත නව ගුරු පත්වීම් වලින් කෙනෙක් රංජිත් වෙනුවට එවිය හැකි බව ඔහු කියා සිටියේය. ඒ ක්‍රියාමාර්ගය හොඳටම සෑහෙන බැවින් රංජිත් ආපසු ආවේ ගිය ගමන සපල වීමේ සතුටිනි.

එදින සවස ජයතිස්ස ඉස්කෝලෙ මහත්තයලාගේ ගෙදරදී රංජිත් ඇතුළු දිලිනිගේ පවුලේ සැවොම ඒ ගැන කතා කළේ සතුටිනි. වඩාත්ම සතුටට පත්ව සිටියේ දිලිනිය. නව ජීවිතයකට ඇතුල් වන්නට නියමිත ඇය සිය අනාගතය මෙනෙහි කළේ බිය මුසු සතුටකිනි. තම ජීවිතයේ ඉදිරියට යන්නට අතුරා ඇති මාවත කුමන අයුරක එකක් වේවිදැයි ඇය සිතුවාය.

රංජිත් ජයතිස්ස ඉස්කෝලෙ මහත්තයලාගේ නිවසේ සිට කල් වේලා නොගෙන කාමරයට ආවේය. ඔහු සිටියේ දෙගිඩියාවකය. සිය ජීවිතයේ තවත් එක් කඩඉමක් නොබෝ දිනෙකින් එළඹෙයි. තමන් ගත් තීරණය බිසෝ කෙසේ පිළිගනීද? ඇයගේ ප්‍රතිචාරය කුමක් විය හැකිද? රංජිත් කාමරයට ආවේ සිතුවිලි දාමයක සිත පටලවාගෙනය.

ඊයේ සවස බිසෝත් එක්ක ඇතිවුණු කතාබහ රංජිත්ට සිහිවිය. බිසෝ කෑමත් රැගෙන කාමරයට ආවේ හතර වටින් අඳුර ගලා එද්දීය. රංජිත් සුපුරුදු ලෙස ඇයව යහනට ගෙන ගියද බිසෝගේ ප්‍රතිචාරය ඇල්මැරුණු එකක් විය. ඇය රංජිත්ගේ අකීකරු දෑත පසෙකට කළේ සිනාවෙමිනි.

"ඇයි මේ?"

රංජිත්ගේ ප්‍රශ්නයට උත්තරයක් දෙනු වෙනුවට ඇය රංජිත්ගේ මුවට සිය ඇඟිල්ල තබා කියා සිටියේ නිහඬ වන ලෙසය.

"හැමදාම මහත්තය කතා කරනවා මම අහගෙන ඉන්නවා. අද මම කතා කරන්නම් මහත්තය අහගෙන ඉන්න."

බිසෝ කීවාය. බිසෝගේ ගතින් හමන තුරුණු සුවඳ රංජිත් මන්මත් කරවයි. ඔහු බිසෝව ලඟට ඇද ගත්තේය.

"ඔය ඉතිං, කියන දේ තේරෙන්නෙ නෑනෙ. ඔහොම ඉන්න."

බිසෝ ඇඳෙන් නැගිට අසල තිබූ පුටුවේ වාඩිවූවාය. රංජිත් නිසලව බලාසිටියේ බිසෝ කරන්නට යන දේ ඔහුට නොතේරුණු හෙයිනි.

"දැන් ඉතිං මහත්තය අලුත් ජීවිතයක් පටන් ගන්න ලඟයිනෙ. අපි සෑහෙන දවසක් කිට්ටු වෙලා හිටියට මහත්තයට මගෙ ළඟ හැමදාම ඉන්නත් බෑ මටත් එහෙම බෑ, කොහොමත් දවසක අපට වෙන් වෙන්නම වෙනවා. මට මහත්තයව දාල යන්න ලෝබ හිතුනට කරන්න දේකුත් නෑ. පහුගිය කාලෙම මම හිතුවෙ ඔය ගැනමයි. කොහොම හරි පහුගිය මාසෙ මට අර අසනීපෙ හැදුනෙ නෑ. මට එහෙම වෙන්නෙත් නෑ වෙනදට. ඉතිං මම කල්පනා කළා දරුවෙක් වත්ද කියල. කෝකටත් කියලා මම විල්සන් එක්ක රණ්ඩු කළා මට හැමදාම මෙහෙම ඉන්න බෑ දරුවෙක් ඕනැය කියල. විල්සන් එච්චර ගනන් ගන්නෙ නැතුව උඹට දරුවො ලැබෙන්නෙ නැත්නං මම මොනව කරන්නද කියල ඇහුවා.

රංජිත් නිහඬව අසා සිටී.

"ඒ ගමන මම කිව්ව නෑ නෑ කියල හිටියට හරියන්නෙ නෑ මොනව හරි යමක් කරල බලමු එහෙමවත් හරියයිද කිව්වම විල්සන් කැමති උනා. ඒ ගමන මම විල්සන් එක්ක බටුකොළයායෙ නුගේ දේවාලෙට ගිහිං පාන් පත්තු කරල බාර උනා. විල්සන්ල ඔය දෙවාලේ හාස්කම් හරියට විස්වාස කරනවනෙ. ඉතිං දැන් මට බයක් නෑ. විල්සන් අවිස්වාස කරන්නෙත් නෑ මට මහත්තයගෙන් දරුවෙකුත් ඉන්නවා. ඒක මට හැමදාම මහත්තය මගෙ ළඟ ඉන්නව වගේ. මම දරුවත් හදාගෙන මෙහෙ මගෙ ජීවිතේ ගෙවන්නම්. මහත්තය ගමට ගිහිං අලුත් ජීවිතේ හොඳින් ගතකරන්න. කොහොමත් අපි ඉතිං මේ කැලෑ ගම්වල හැදිල ජීවත්වෙලා මෙහෙ කැලෑගම්වලම මැරෙන්න නියම වෙච්ච අයනෙ. මහත්තයල දැන උගත් රට රාජ්ජවල ගියපු අය. අපි දෙගොල්ල කොහොමත් පෑහෙන්නෙ නෑ. මට මහත්තය ගැන කිසිම තරහවක් නෑ, ආදරයක් මිසක. කොහොමත් ආදරේ කරපු කෙනෙකුට වයිර කරන්න මට බෑ. මහත්තය හිත හදාගෙන ගමේ යන්න. ජීවිතේ ආයෙ දවසක වැරදිලා හරි මේ පැත්තෙ එවුනොත් අපිවත් බලන්න එන්න.

බිසෝ බරව ගිය කටහඬකින් කීවාය.

"මම දැනගෙන හිටියෙ නැතුවට බිසෝ හරි හරි දේවල් කරල තියෙනවනෙ පහුගිය දවස්වල."

"ඔව් ඉතිං ගෑණු අපටත් අර ඉව කියල දෙයක් තියෙනවනෙ, නැතුව අපි මහලොකු උගත් අය නෙවෙයිනෙ. ඉතිං ඒ ඉව හරි වෙලාවට පාවිච්චි කරන්න දැනගන්න ඕනෑ, ඉතිං මම යන්නං මහත්තය, අපි ආයෙම මුණ ගැහෙයිද දන්නෙ නෑ. ඒ කෝක උනත් මෙහෙම ගෑනියක් මහත්තයට කවද හරි ආදරෙන් හිටිය කියල මතක තියාගත්තොත් මට ඒ ඇති."

බිසෝ අඩ අඳුරේ නිසොල්මනේම පිටත්ව ගියාය . කල්පනාවෙන් බරවූ රංජිත් නිහඬවම බලා සිටියේය.

෴ සමාප්තයි ෴

පසු සටහන.

කතාව ලියන්නට ආරම්භ කරද්දී මා බලාපොරොත්තු වුණේ කොටසකින් හෝ දෙකකින් කතාව නිම කරන්නට වුවත් නොසිතු ලෙස කොටස් හයක් දක්වා කතාව දිගුවිය. මෙය මා අත්දුටු සිදුවීමක් පරිකල්පනය ඔස්සේ විකාශනය කර ලියන ලද්දකි. රංජිත්ගේත් දිළිනිගේත් විවාහයෙන් පසු සිදුවූ සිදුවීම් සමුදාය වඩාත් විචිත්‍රවත් බව මට සිතේ. කවදාක හෝ ඒ කතාවත් මගේ සිතේ හැදී වැඩී ලියැවෙනු ඇත. රංජිත්ද දිලිනිද දෙතැනක හෝ අදටත් මේ රටේ ජීවත්වෙති. බිසෝගේ පසුකාලීන ජීවිතය පිළිබඳව දැනගන්නට නැතත් ඇයද සිය දරුවා සමග කොහේ හෝ ජීවත්වනු ඇත. ජයතිස්ස ඉස්කෝලෙ මහත්තයා මෙලොව හැර ගියේ දැනට දසකයකට පමණ පෙරය. මමද කුලියාපිටියේ පැවති ඒ අවමගුලට සහභාගී වුණෙමි. ධර්මසේන ලොකු ඉස්කෝලෙ මහත්තයා ඊටද පෙර සිය දිවි ගමන නිමාකළේය. සියල්ලන්ටම පසු රංජිත්ගේ මව දිවියෙන් සමුගත්තාය. අනුර මහත්තයා දැන් ලංකාවට පැමිණ සුපුරුදු ලෙස දිවි ගෙවයි.

බ්ලොග්කරණයේ දීර්ඝ විරාමයකට පසු නැවතත් ලිවීමට මට කතා කරමින් බල කළේ තට්ටයගෙ කොලම ලියන අපේ සහෘදයාය. ඔහුට මගෙ ස්තුතිය පිරිනමමි. එමෙන්ම 2015 වර්ෂයේ ආරම්භ වූ මේ කතාව වසර හයක් තිස්සේ ඉවසීමෙන් කියැවූ මගේ බ්ලොග් පාඨකයන්ටද ලොකු ස්තුතියක් කිරීමටද මෙය අවස්ථාව කරගනිමි.
හැලපයාhttp://www.blogger.com/profile/14910441607831391629noreply@blogger.com57tag:blogger.com,1999:blog-8432415427742462325.post-16324804457734928052021-10-11T04:30:00.000-07:002021-10-11T04:30:30.233-07:00ත්‍රිකෝණය 5

ත්‍රිකෝණය 4

"අහස ගොඩක් ලොකුද මහත්තයා?"

බිසෝ රංජිත්ගෙන් එක්වරම ඇසුවේ රංජිත් ඇඳේ හාන්සිවී සිටිද්දීය. රංජිත්ට පිටුපා හිඳගෙන හැට්ට කටුවක් දත් අතර රඳවාගෙන කොණ්ඩය බැඳ ගනිමින් කතාකළ බිසෝගේ හඬ අව්‍යක්ත විය. දිගු ඝන වරලස පීරා උඩට බැඳගනිද්දී කොණ්ඩය පොල් ගෙඩියක් මෙන් විසල්ය. ඇගේ හිසකෙස්වලින් හමන තරුණ සුවඳ රංජිත්ගේ සිත මන්මත්කරයි. බිසෝගේ කොන්ඩයෙන් හැමුවේ කපා වේලී ඇති තණපත් වල සුවඳය. ඇය වැළඳගෙන සිටිද්දී බිසෝගේ වරලසෙහි හිස සඟවා ගන්නට රංජිත් ප්‍රියකලේ ඒ නිසාමය. බිසෝ සීරුවට කටු ගසමින් සෙමෙන් හැට්ටය ඇඳගනී.

"අපොයි ඔව් ලොකුයි කියන්නෙ කිසිම සීමාවක් නැහැ. අපි ඒ විශාල අවකාශයෙ පාවෙන පුංචි තිතක් විතරයි!"

"එතකොට දිවිය ලෝකෙ ?"

"මම දන්න හැටියට දිව්‍ය ලෝකෙයි අපායයි දෙකම තියෙන්නෙ අපි ජීවත්වෙන මේ ලෝකෙ!"

"ඉතිං බුදු බණේ තියෙන්නෙ එහෙම නෙවෙයිනෙ?"

"බුදු බණේ කොහොම තියෙනවද මම දන්නෙ නෑ. අපි ඉන්න මේ සෞරග්‍රහ මණ්ඩලේ නම් දිව්‍ය ලෝකයක් කියල ලෝකයක් දැනට හොයාගෙන නෑ. අපි ඉර වටේ කැරකි කැරකි යනවා තව ලෝක හත අටක් එක්ක!"

"එතකොට ඉර නෙවෙයිද කැරකෙන්නෙ? උදේට අර කන්ද පැත්තෙන් ඇවිත් හවසට වැව පැත්තෙන් බැහැල යන්නෙ එහෙනං?"

"ඒක තමයි. ඒ අපි කැරකෙනකොට පේන හැටි. ඉර කොහෙවත් යන්නෙ නෑ. එක තැන තියෙන්නෙ!"

"මං පොඩි කාලෙ අපේ අම්ම කිව්වා සූර්ය දිව්‍ය රාජයයි, චන්ද්‍ර දිව්‍ය රාජයයි මතු බුදුවෙන මෛත්‍රී බුදුහාමුදුරුවන්ගෙ අග සව්වො වෙලා උපදිනව කියල. අම්මට කිව්වෙ උපාසිකාරාමේ මෙහෙණින්නාන්සෙ කෙනෙක්ලු!"

රංජිත්ගෙන් කිසිම ප්‍රතිචාරයක් නොමැත්තේ බිසෝ ඔහු දෙස හැරී බැලුවාය. රංජිත් කොට්ටය මුහුණට තද කරගෙන සිටී. ඔහුගේ සිරුර එක දිගට ගැස්සෙයි.

"ඇයි මේ මහත්තය හිනැහෙන්නෙ?"

"නෑ ඉතිං, මෛත්‍රී බුදුහාමුදුරුවො බුදුවෙන්න කලින් අපි මැරෙන නිසා සතුටට හිනාගියෙ!"

"ඇයි එතකොටත් හිටියොත් මොකක්ද වැරැද්ද?"

"වැරැද්ද? වැරැද්ද තමයි ඉර නැතිවෙන එක. අපට ඉන්න වෙන්නෙ ඉර නැති ලෝකෙක."

"එතකොට හැමදාම රෑ නේද මහත්තය?"

"ඔව් ඉතිං, ඉර විතරයැ හඳත් නැතිවෙනවනෙ. දවල් එළිය තියෙන වෙලාවට ඉන්න ඉරට වඩා කරුවලේ ඉන්නකොට එළිය දෙන හඳ ගොඩක් වටිනව කියල කවුදත් කිව්වලු."

රංජිත් නැවතත් සිනහසෙන්නට විය.

"මට තේරෙන්නෙ නෑ මහත්තය කියවන ඒවා."

"කියවන දේවල් වල තේරුමක් තියෙන්නම ඕනැද බිසෝ? සමහර වෙලාවට මම කියවන ඒවා මටත් තේරෙන්නෙ නෑ. එහෙමයි කියල මම කියවන එක නවතිනවද?"

"මං දන් නෑ මහත්තය, කරුවලත් වැටීගෙන එනවා මම යන්නද?"

ඇඳේ පසෙක පොඩිවී තිබූ චීත්තය රැගෙන හැඳ ගනිමින් බිසෝ අසයි.

"මම ඉන්නය කිව්වත් බිසෝට ඉන්න බෑනෙ. යන්න එපායැ. එහෙම නේද?"

"මහත්තය ඉන්න කිව්වොත් මම ඉන්න කැමතියි. ඒත් මහත්තයට එහෙම කියන්න බෑනෙ. හා නැද්ද?"

"මේ ලෝකෙ අපි කැමති දේවල්ම කරන්න, අපි කැමති දේවල්ම කියන්න තියෙනව නම් ලෝකෙ කොච්චර ලස්සනද බිසෝ? අපි දෙන්නටම වෙලා තියෙන්නෙ ඒක නේද?"

"මහත්තයගෙ ප්‍රෙහේලිකා මට තේරෙන් නෑ. හැම දේම වෙන්නෙ අපි පතාගෙන ආපු හැටියට කියලයි මම දන්නෙ. අපි දෙන්නටත් මෙහෙම හම්බවෙන්න නියම වෙලා තියෙන්න ඇති."

"එහෙම හිතල හිත හදා ගමු."

"කොහොමත් මහත්තය ඉක්මනට පිළිවෙලක් වෙන එක හොඳයි. මේවා තව කොච්චර කල් නං වසං කරගෙන ඉන්නද? කොයි වෙලාවක හරි මේවා එලිඋනොත් ඉස්කෝලෙ ලොකු මහත්තයටත් ආරංචි වෙයි. එතකොටත් මහත්තයටමනෙ හොඳ නැත්තෙ. මට නං ඕනෑ එකක්."

රංජිත් නිහඬවම සිටියේය. ඔහුගේ අත ගෙන තදින් මිරිකා බිසෝ පිටත්ව ගියාය. එදා රාත්‍රිය රංජිත්ට බොහෝ දිගු එකක් විය. රෑ දෙගොඩහරියක් වෙනතුරු ඇඳේ ඒ මේ අත පෙරළෙමින් සිටි රංජිත්ට නින්ද ගියේ පාන්දර ජාමයේය.

"ඈ හාමිනේ, දැන් රංජිත් ම්හත්තේලගෙ ගෙදරින් ඇවිත් ගිහිල්ලත් සති දෙක තුනක් ගියා නේද?අපිටත් ඒ ගම් පලාතෙ ගිහිං එන්න කාලෙ හරි."

ජයතිස්ස ඉස්කෝලෙ මහත්තයා බිරිඳ සමග කතා කළේ රාත්‍රී ආහාරයෙන් පසු ඉස්තෝප්පුවේ හාන්සි පුටුවේ දිගාවීගෙනය. පියවතී හාමිනේ එතනම පුටුවක වාඩිවී සිටියේ පරණ සඟරාවක් පෙරලමින් මැහුම් පාඩමක් සොයමිනි.

"ඒක නං මටත් කීප දවසක්ම කල්පනා උනා මහත්තයො. දැන් පරක්කුත් එක්ක නේද? ඒ ගොල්ලො බලනව ඇති අපි නේන්නෙ මොකද කියල?"

"එහෙමනං අපිත් රංජිත් මහත්තයට කියලා එහෙ යන්න දවසක් වෙලාවක් දා ගම්මු."

සිකුරාදා සවස කුලියාපිටි ගොස් කෙල්ලන් දෙන්නා ගෙදර ඉඳිද්දී සෙනසුරාදා ජයතිස්ස මහත්තයගෙ මල්ලිගේ පවුලත් සමග ඒ අයගේ වාහනයෙන් රංජිත්ගේ ගෙදර ගිහිං ආපසු ඉරිදා ගල්ගමුවට එන්නට තීරණය විය.

ඒ සිකුරාදා පාසැල නිමවී රංජිත් ගෙදර ගියේ පහුවදාට යෙදී ඇති මගුල් ගමන නිසාය. පහුවදාට ගෙදර එන්න කියා අනුර මහත්තයට ආරාධනා කරන්නට රංජිත් යන ගමන්ම අනුර මහත්තේලාගේ ගෙවල් පැත්තෙන් ගියත් ගේ වසා තිබුණි. විස්තර සෝදිසි කළ රංජිත්ට දැනගන්නට ලැබුණේ අනුර මහත්තයා නෝනාත් එක්කම රට ගිහිං ඇති බවය. ආපහු එන්නට තව අවුරුදු තුන හතරක් ගතවන බවය. ඊට පේර එනවානම් නිවාඩුවකට ටික දවසකට ඇවිත් යන්නට ආවොත් පමණය. රංජිත්ගේ හිතට ඇති වුණේ පාලුවකි. මේ වෙලාවේ ලඟින් සිටිය යුතුම හිතවතා නැතිවීම මහත් පාඩුවක් බව ඔහුට සිතුණි.

දෙපැත්තේ විස්තර දෙගොල්ලම දැනසිටි නිසා රංජිත්ලාගේ ගෙදර පැමිණි ජයතිස්ස මහත්තයා ඇතුළු පිරිසට වැඩිපුර කතාබහ කර තීරණ වලට එන්නට දෙයක් නොවූ අතර තිබුණේ මගුලට දින තීරණය කරගන්නට පමණකි. ගෙදරට පැමිණි අලුත් නෑදෑයන්ට හැකි උපරිමයෙන් සංග්‍රහ සත්කාර කරන්නට රංජිත්ගේ මව උත්සුක වුණේ ගමේ කාන්තාවන් කීප දෙනෙක්ද ඉවුම් පිහුම් වැඩවලට අඬගහ ගනිමිනි.

"අපි මේ චාරිත්රේට ආව මිසක ආපහු බලන්න කරන්න දෙයක් ඉතුරු වෙලා නෑනෙ? "

පියවතී හාමිනේ කිව්වෙ රංජිත්ගේ මව සමගය.

"ඔව් ඉතිං, මේවා සිරිතට කරන දේ මිස ආයෙ මොනව හොයල බලන්නද?"

රංජිත්ගේ මව කීවාය. ඒ වුණාට කුස්සියේ වැඩ කරන ගෑණු දෙතුන් දෙනාට නම් රංජිත්ගේ මවගෙන් කටයුත්ත ගැන දැනගන්නට බොහෝ දේ වූ බව අහපු ප්‍රශ්න වලින්ම තේරුම් ගිය රංජිත්ගේ මව,

"ඉස්සෙල්ල ඔය කරන වැඩේ ඉවරයක් කරලා ඉඳිල්ලකො. ඔය අපේ ළමය උගන්නන ඉස්කෝලෙ ලොකු මහත්තයයි පවුලෙ අය නොවැ. මේ ළමයට ඔය මහත්තයගෙ ලොකු දුව කතා කරල තියෙන්නෙ ඒ ගොල්ලන්මයි. අපි පහුණු දවසක ගිහිං ඒ ගෙවල් දොරවල් බලල ආවත්නෙ."

"රස්සාවක් කරන ළමෙක්ද හාමිනේ?"

කටකාර සිරියාවතී ඇසුවාය.

"තාම එහෙම වයසක්වත් නෑ බං. ඉස්කෝලෙන් අයින් උනා විතරයි. ගෙයක් දොරක් බලා කියා ගන්නවත් දන්නෙ නැතුව ඇති."

රංජිත්ගේ මව කතා කළේ කටහඬ පහත් කරමිනි.

"එහෙනං ඒ ළමයගෙ කොටසත් කරන්න වෙන්නෙ හාමිනේටම තමයි."

කුසුමා කීවේ සිරියා වෙත නෙත් යවමිනි.

රංජිත් කුලියාපිටියෙන් ආ කට්ටිය එක්ක වත්තේ ඇවිදින්නට ගිහිං සෑහෙන වේලාවකි. ජයතිස්ස මහත්තයාත් ධර්මසේන ලොකු ඉස්කෝලෙ මහත්තයාත් එළියේ පුටු දෙකක වාඩිවී කතා කරමින් සිටි තැනට පියවතී හාමිනේද පැමිණියාය. ඉන්න ගෙයත් ඉඩමටත් අමතරව හංදියේ තියෙන කුලී ගෙයද, කුරුවෙවත්තේ ඉඩම් කෑලි දෙකක් සහ කුඹුරක්ද රංජිත්ට අයිති වන බව ධර්මසේන ලොකු ඉස්කෝලෙ මහත්තයා කියූ විට පියවතී හාමිනේගේ වත එළිය වැටිණි.

"මම ඔය දේපල ගත්තෙ පිරිමි තුන් දෙනාටමයි. ඒත් ඉතිං සිද්ද උනේ හිතපු දෙයක් නෙවෙයිනෙ. දැන් ඉතිං ඒ ටිකත් මේ ළමයටම තමයි."

ධර්මසේන ලොකු ඉස්කෝලෙ මහත්තයා කීවේ කණස්සල්ලෙනි.

"ඒ ගොල්ලො ගෙනාපු විදියට තමයි සිද්දවෙන්නෙ. මහත්තය දුක් වෙලා මොනවටද?"

ජයතිස්ස මහත්තයා කියන විට ධර්මසේන ලොකු ඉස්කෝලෙ මහත්තයා හිස වැනුවා මිසක මොකුත් කියන්නට ගියේ නැත. රංජිත්ලාගේ ගෙදරින් පිරිනැමුණු සත්කාර අවසානයේ මගුල එළඹෙන ජනවාරියේ කරන්නට දෙගොල්ලන් එකඟත්වයකට පැමිණුනි. නැකත් බැලීම ආදී ජ්‍යොතිෂ්‍ය වැඩ කටයුතු ධර්මසේන ලොකු ඉස්කෝලෙ මහත්තයා විසින්ම බාර ගැනුණි. හැන්දෑවේ ජයතිස්ස මහත්තයා ඇතුළු පිරිස රංජිත්ලාගේ නිවසින් පිටත් වුණේ බොහෝ සතුටිනි ෴
හැලපයාhttp://www.blogger.com/profile/14910441607831391629noreply@blogger.com88tag:blogger.com,1999:blog-8432415427742462325.post-71934310226083409882020-10-14T20:50:00.000-07:002020-10-14T20:50:04.740-07:00සමුපකාරේ රතු හාල සහ මදුරාසියේ රතු හාල, මාටිං මාමාගේ වී මෝල, ඉඳිආප්ප කතා, කොච්චියාගේ රා සප්පායම, මාදුවා හමුවීම සහ සුද්දාගේ වගාව.

පසුගිය කොටස

අපි දැන් ඉන්නේ සමුපකාරෙන් කූපන් හාලුත් අරගෙන මහතුන් එක්ක මාරි බිස්කට් කකා නාරන්වත්ත පාර දිගේ ගෙදර යන ගමන්ය. සමුපකාරෙන් දුන්නේ රතු හාල් නම් අපේ ගමන් මග මීට වඩා වෙනස්ය. ඒ රතු හාල් මෝලට දමා තරමක් පොලිෂ් කර ගෙනෙන්නට වෙන නිසාය. දෙවේලට තම්බන ලද කුඹුරු හාල් කන අපේ ගෙවල්වල රතු හාල ගන්නේ පිටි කොටා ආප්ප, ඉඳිආප්ප, පිට්ටු ආදිය හදන්නටත් රසකැවිලි හදන්නටත්ය. ඒ සඳහා තදම තද රතු හාල නොගැලපෙන බැවින් මෝලට දමා පාහා ගත යුතුය. එවිට හාල ලස්සන රෝස පාටක් ගනී.

සමුපකාරෙන් රතු හාල් අරගෙන අපි ඊළඟට යන්නේ මාටිං මාමාගේ වී මෝලටය. එය ඇත්තේත් සමුපකාරයට නුදුරිනි. අපි යද්දිත් මාටිං මාමා වී කොටනවා හෝ හාල් පාහිනවා නම් ටිකක් වෙලා බලා ඉන්නට සිදුවේ. මෝලේ කවුරුවත් නැතත් අපිට තව ටික වෙලාවක් බලා ඉන්නට සිදුවන්නේ එක්කෙනෙකුට පමණක් වී කොටන්නට මාටිං මාමා වී මෝල ස්ටාට් නොකරන බැවිනි. ඒ කාලයේ වී මෝල් අද වගේ විදුලියෙන් ක්ෂණිකව පණ ගන්වන්නට බැරි අති විශාල ඇන්ජිම් සහිත ඩීසල් වලින් ක්‍රියාකරවන මෝල්ය. දෙතුන් දෙනෙක් එකතුවූ විට මාටිං මාමා ඇන්ජිමට ලීවරයක් දමා මුළු ශරීරයේම වෙර යොදා අතින් කරකවයි. දෙතුන් වතාවක් කහින ඇන්ජිම අවසානයේ මහ හඬක් නගමින් දුම් දමා වැඩකරන්නට පටන් ගනී. ඈත තියෙන ඇන්ජිමේ රෝදයට සවි කර ඇති ගනකම් සහ දිග පටිය හෙවත් බෙල්ට් එක වී මෝලේ රෝදයට සවි කර ඇත. අද නම් වී කොටන්නේ මැෂින් තුනකිනි. මුල් මැෂිමෙන් වී ඇටයේ පොත්ත ගැලවී යයි. පොත්ත ගැලවුණු හාල් තවත් මැෂිමකට දමා පොලිෂ් කරගනී. ඉන්පසුව තවත් මැෂිමකින් ගල් වැලි හා කළු ඇට ඉවත් කරයි. මේ ළඟදී මෝලට ගිය මම දැක්කේ ඔය කාර්යයන් තුනම දැන් එකම මැෂිමකින් කරන තරමට මෝල දියුණුවී ඇති බවය.

හැබැයි ඒ මාටිං මාමාගේ මෝල නොවේ. අපේ ගමට එහා ගමේ ඇති මෝලකි. මාටිං මාමාගේ මෝල වැසී ගොස් සහ මාටිං මාමා පරලොව ගොස් දැන් බොහෝ කල් ගෙවී ගොස් ඇත. මාටිං මාමා ඔය කාර්යයයන් සියල්ලම කළේ එකම මැෂිමෙනි. නමුත් ඒ මෝලේ ගල් වැලි ඉවත් කිරීමක් නොවූ නිසා හැමදාම උයද්දී හාල් ගරා ගත යුතු විය. මාටිං මාමා පළමුව වී ටික මෝලේ බක්කියට දමා පොතු ගැලවී ගිය පසු නැවතත් හාල් ටික ආපසු බක්කියට දමා සුදු කර ගනී. ඔය වැඩ දෙකම ඔහු කළේ මැෂිමට සවි කර ඇති ඇණයක් වැනි උපකරණයක් තද කරමින් හා බුරුල් කරමිනි. සමහර වෙලාවට කොටද්දී හාල් ටික කුඩුවී යයි. එවිට මාටිං මාමා කියන්නේ වී ටික වේලිලා වැඩි බවය.

වී කොටද්දී ඉවත යන දහයියා ටික වෙනම කටකින් මෝලට පිටින් ඇති දහයියා ගොඩට වැටේ. ඒ දහයියා ගොඩ අවුස්සමින් දවල් දවස තිස්සේම අහුලා කන කුකුළු කිකිළියන් රෑනකි. උන් එහා වත්තේ පිස්කල්ගේ කුකුළු රංචුවය. උන්ට කන්න දෙන්නට පිස්කල්ට කිසිම වියදමක් දරන්නට වෙන්නේ නැත. ඔය වගේ තව කතාවක් මම කියවපු පොතක තිබුණා මට මතකය. ඒ රොඩ්නි ජොන්ක්ලාස් ලියූ වාලම්පුරි නම් පොතය. එහිද මුහුදෙන් ගොඩට ගෙනෙන හක්ගෙඩි කුණුවෙන්නට දමා තියෙන මඩුව යට කුකුළු රංචුවකි. උන් හක්ගෙඩි කුණුවී වැටෙන පණුවන් අහුලමින් ආහාරයට ගනිති. කුකුළු රංචුව වාඩියේ කෝකියාගේය. කුකුළු රංචුවට කෑම දෙන්නට සත පහක් වත් වියදම් නොකරන කෝකියා බිත්තර සහ සතුන් විකිණීමෙන් ලොකු මුදලක් සොයන බව කියැවිණ.

වී කෙටීමෙන් ලැබෙන මුදලට අමතරව පැත්තක එකතුවෙන වී කුඩු විකිණීමෙන්ද මාටිං මාමාට අමතර මුදලක් ලැබේ. සෙනග වී කුඩු ගෙනියන්නේ පුන්නක්කු සමග කලවම්කර හරකුන්ට කන්නට දෙන්නටය. මෝලට පාහින්නට දුන්න රතු හාල් ටික සුද්දකර ගත් පසු අපි දෙන්නා ගෙදර එන්නේ අලවත්ත පාර දිගේය. ඒ වගේ රතුම රතු හාලක් දවසක් මම මදුරාසියේ කඩේක දැක්කෙමි. ඒ මාටිං මාමාගේ වී මෝලේ හාල් කෙටිල්ලට කාලාන්තරයකට පසුව මම ඉන්දියාවේ හිටපු කාලයේය. ඒ රතු හාල් කිලෝ කීපයක් මිලට ගත් මම එතන ලඟම තිබුණු මෝලකට දී රෝස පාට වෙන්නට පොලිෂ් කරවාගෙන ගෙදර අරගෙන ගියෙමි. ඒවා කොටා පිටි කරගත් විට ඉඳිආප්ප හදන්නට අනර්ඝ බව පෙනීගියේය. එහෙම ඉඳිආප්ප හදන විට පිටි තම්බා ගෙන ඉඳිආප්ප සෑදිය යුතුය. හාල් පිටි වලින් ඉඳිආප්ප හදන ක්‍රම දෙකක් ඇත. එකක් නම් පිටි තම්බා ගෙන ඉඳිආප්ප හැදීමය. අනෙක පිටි බැදගෙන ඉඳිආප්ප හැදීමය. පාන් පිටිවලින් ඉඳිආප්ප හදනවා නම් බැදිල්ලක් නැත. තම්බා ගත යුතුමය.

බැදගත් පිටිවලින් හදන ඉඳිආප්ප වල පිටි තම්බාගෙන හදන ඉඳිආප්ප වල තරම් මෘදු සෞම්‍ය බවක් එන්නේ නැත. පිටි තම්බා සාදාගත් ඉඳිආප්පයේ රැල් බොහොම ලස්සනට රෝස පාටට දැක්ක දුටු ගමන් ඉඳිආප්පය කන්න හිතෙන විදියට පිරුණු බවක් සහිතව තිබේ. දවසක් අපේ ගෙදර රෑ කෑමකට ආපු කේමදාස මාස්ටර්ටද අන්න ඒ විදියට හදපු ඉඳිආප්ප කන්නට දුන්නෙමි. බොහොම සතුටින් ඉඳිආප්ප කෑ කේමදාස මාස්ටර් බොහොම කාලෙකින් රස ඉඳිආප්ප ටිකක් කෑවා කියමින් ඉඳිආප්ප වල අගය පාරට්ටු කළේය. ඔය කතාව මම මීට කලින්ද බ්ලොගේට ලියපු කතාවක ලිව්වෙමි. දැන් නම් ඒක සොයන්නට කම්මැලිය. අපේ නයා ප්‍රසන්නට නම් ඒ කතාව මතක ඇති බව මම සිතමි. දවසක් සුනිල් එදිරිසිංහත් මට කීවේ ඔහුත් රෝස පාට ඉඳිආප්පත් පොල් සම්බෝලත් කන්නට මනාප බවය. ඒ ඕමාන් වල රෑ කෑමකදී අපි හමුවුණු වෙලේය. එදා සුනිල් එදිරිසිංහ ඉඳිආප්ප සහ රතු පොල් සම්බෝලය බොහොම කැමැත්තෙන් අනුභව කළ බව මට මතකය. අපි බෙන් එකේ ටෙලි නාට්‍ය කරන කාලයේ දවසක් උදේ ඉඳිආප්ප කන ගමන් කැමරා ශිල්පී කේ.ඒ. ධර්මසේන කීවේ ඔහු තරුණ කාලේ ලෙස්ටර් මහත්තයාගේ ප්‍රොඩක්ෂන් වල වැඩ කරද්දී උදේට ඉඳිආප්ප හැට හැත්තෑවක් කන බවය. එහෙම නැතිව අලි පත යකඩ බාර්වල සවි කර ඇති විශාල ලයිට් උස්සන්නට බැරි බව ධර්මේ කියපු බව මට මතකය. මේ ළඟකදී ටී වී වැඩ සටහනකට සහභාගී වූ සචිත්ර සේනානායක කීවේ ඔහු මාරි පැකට් දෙකක ඔට්ටුවකට ඉඳිආප්ප හැත්තෑපහක් කෑ බවකි. මීටත් වඩා ලොකු ඉඳිආප්ප කෑමේ ඔට්ටුවක් ගැන මා කියවා ඇත. එදා ඉඳිආප්ප කෑමේ ඔට්ටුවේ කතානායක වරයා වන්නේ තුන්වරක් මෙරට අගමැති ධුරය දැරූ ඩඩ්ලි සේනානායක මැතිතුමාය. මේ කතාව 2018 ජුනි මාසයේ ලංකාදීප පත්රයකට නිහාල් ජගත්චන්ද්‍ර ලියුවක් බැවින් පත්‍රයේ තිබුණු පිළිවෙලටම උපුටා දක්වමි.

"මේ කාලයේ ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලයේ නේවාසිකාගාරයේ නතරවී සිටි සිසුන්ට සැපයුනේ බටහිර ක්‍රමයට පිසූ ආහාර පානය. එහෙත් ඒවාට එතරම් ප්‍රියමනාපයක් නොදැක්වූ ඩඩ්ලිගේ ප්‍රියතම ආහාරය වුයේ සිංහල ක්‍රමයට පිසූ බත් සහ මාළු පිණිය. එසේත් නැත්නම් ඉඳිආප්ප හෝ පිට්ටුය.

ඒ අනුව ඩඩ්ලි සහ ඔහුගේ සම වියේ මිතුරන් විසින් පවත්වන ලද උද්ඝෝෂණයක ප්‍රතිපල වශයෙන් ඔවුන්ගේ උදෑසන ආහාරයට ඉඳිආප්ප සහ පිට්ටුද එක්කිරීමට විදුහල්පතිවරයාගේ අනුමැතිය යටතේ නේවාසිකාගාර පාලකයා පියවර ගෙන තිබුණේය. එහෙත් බටහිර කෑම වර්ගද උදෑසන කෑම මේසයට එක්කර තිබුණේ බත් ඉඳිආප්ප හෝ පිට්ටු කෑමට ප්‍රියමනාපයක් නොදක්වන සිසුන් වෙනුවෙනි.

දිනක් නේවාසිකාගාර පාලකයා නිවාඩු ගොස් සිටි අවස්ථාවක උදෑසන ආහාර ගැනීම සඳහා කෑම ශාලාවට ගිය සිසුන්ට දකින්නට ලැබුණේ පෙර පරිදිම ඉඳිආප්ප,පිට්ටු සහ බටහිර ඌරුවට සකසන ලද කෑම වර්ග කීපයක් මේසය මත තිබෙන අයුරුය. එදින වෙනදාටත් වඩා වැඩි ඉඳිආප්ප ප්‍රමාණයක් එහි තිබෙන බවද ඔවුන්ට පැහැදිලිව පෙනෙන්නට තිබුණේය.

ඩඩ්ලිට මෙතන තියෙන ඉඳිආප්ප කොච්චර කන්න පුලුවන්ද? සීයක්...

ඩඩ්ලි එහි තිබූ වෙනත් කෑම වර්ග දෙසවත් නොබලා ඉඳිආප්ප තසිම අසලින් හිඳගත් අයුරු බලා සිටි ඔහුගේ මිත්‍රයෙකු එසේ කීවේ විහිළුවටය. තම මිත්‍රයා බොහෝ අවස්ථාවල දී ඉඳිආප්ප වැඩි ප්‍රමාණයක් කිසිදු අපහසුවකින් තොරව ගිල දමන අයුරු ඔහු කොතෙකුත් දැක තිබුණේය.

'බැරිකමක් නෑ. ඒත් මම ඒ තරම් ගණනක් කෑවොත් මගේ මේ මිත්‍රයා ඇතුළු වැඩි දෙනෙකුට බඩගින්නෙ ඉන්න සිද්ධ වෙනවා' යි කී ඩඩ්ලි සේනානායක ශිෂ්‍යයා තම මිත්රයින් පිරිස දෙස බලා උපහාසාත්මක සිනාවක් පෑවේය. 'නෑ...නෑ...ඒ ගැන ප්‍රශ්නයක් නෑ. ඔයා ඉඳිආප්ප සීයකට වඩා කෑවොත් අපි ඔයාට මවුන්ට් ලැවිනියා හොටෙල් එකේ ෆස්ට් ක්ලාස් ලන්ච් එකක් දෙනවා, ඒත් ඔයාට ඉඳිආප්ප සීයක් කන්න බැරිවුණොත් ඔයා අපිට මොනවද දෙන්නෙ?

ඩඩ්ලිට එම අභියෝගය ඉදිරිපත් කරමින් ඔහුගෙන් එසේ විමසන ලද්දේ උඩරට වතුකාර පවුලකට අයත් බ්‍රිතාන්‍ය ජාතික සිසුවෙකි.

'හරි ප්‍රශ්නයක් නෑ. මම පැරදුනොත් ඔයගොල්ලන්ටත් මවුන්ට් ලැවිනියා හොටෙල් එකේ ඒ ලන්ච් එකම දෙනවා'. යි කී ඩඩ්ලි මුලින් ඉඳිආප්ප පනහක් තම පිඟානට බෙදා ගනිමින් ඒ අසල තිබූ කිරිමාළු තසිම ලඟට ඇද ගත්තේය.

'හැබැයි මම කන්නේ අතින්, එහෙම නැතුව රස නෑ.' යි කී ඩඩ්ලි සේනානායක වතුර උගුරක්ද බී තම කාර්යය අරඹන ලද්දේ සෙසු සිසුන් පිරිස වටවී බලාසිටින අතරතුරය. අන්තිමේදී ඉඳිආප්ප එකසිය තිහක් ඉතා පහසුවෙන් ගිල දමා අවසන් කළ ඔහු දෑස් උඩ ඉන්දාගෙන තමන් දෙස බලාගෙන සිටි මිතුරන්ගේ අභියෝගය ජයගෙන හුනස්නෙන් නැගී සිටියේ තම සුරතේ ඇඟිලිද කටින් සූප්පු කරමිනි. "

ඉහත දැක්වෙන කතාව තරමක අතිශයෝක්තියක් බව මට නම් බැලු බැල්මට පෙනේ. ඉඳිආප්ප හැට හැත්තෑවක් කන එක වෙනම දෙයකි. ඒත් පාසැල් ශිෂ්‍යයෙක් ඉඳිආප්ප එකසිය තිහක් කෑවා යනු පිළිගන්නට ටිකක් අමාරු කාරණයකි. සාමාන්‍යයෙන් පත්තරවලට ලියන අයගේ කතාවල තාර බර ඇරගෙන විශ්වාස කරන එක හොඳය. ඩඩ්ලි සේනානායක මහතා හොඳට කාපු කෙනෙක් හැටියට නම් ප්‍රසිද්ධය. මම කියවපු තවත් කතාවකට අනුව ඩඩ්ලි සේනානායක මහතා අවේලාවේ ඇවිත් කහබත් කන්නට ඉල්ලන නිසා ඔහු මැති සබයේ ඉන්නාවිට පාර්ලිමේන්තු භෝජනාගාරයේ උදවිය නිතරම එයට සුදානමින් ඉන්න බවද ඔහු වරකට ලොකු කහබත් පිඟානක් සහ බැදපු කුකුලෙක් කන බවද පත්තරයකට කියා තිබුණේ ඒ කාලයේ පාර්ලිමේන්තු භෝජනාගාරයේ හිටපු සේවකයෙකි.

ඉස්සර අපේ ගෙවල්වල ඉඳිආප්ප හැදුවේ උදේ කෑමටය. දැන් නම් මේ කියන පරක්කුවට ගෙදර කන්නට ඉඳිආප්ප තම්බා ගැනීම සුළු දෙයක් වුණත් දැන් වගේ ගෑස් කුකර් සහ ස්ටීමර් නැති ඒ කාලයේ ගෙදරට කන්නට ඉඳිආප්ප තම්බා ගැනීම ලොකු වැඩකි. වංගෙඩියේ පිටි කොටා තම්බාගෙන මිශ්‍රණය තනාගත් පසු දර ලිපේ මැටි මුට්ටියට වතුර දමා පස්සා ඉඳිආප්ප වට්ටිවලට වක්කර ගත් පසු එකවර මුට්ටිය උඩ තියන්නට හැක්කේ ඉඳිආප්ප වට්ටි හතරක් හෝ වැඩිම වුනොත් පහකි. ඒ වට්ටි පහ මුට්ටියේ කට උඩ තබා ලොකු මැටි මුඩියකින් වැසිය යුතුය. ඉඳිආප්ප තැම්බී හුමාලය මුඩියෙන් පිටතට එන්නට පටන් ගත් පසු ඉඳිආප්ප බාන්නට පදම ඇවිත් බව දැනගනී. අනික ඒ කාලයේ හවසට රෙඩිමේඩ් ඉඳිආප්ප විකුණන කඩ ගැන අහන්නට වත් තිබුණේ නැති බවද කිව යුතුය. ඉඳිආප්ප විස්සක් තම්බා ගැනීමට හතර සැරයක් හෝ පස් සැරයක් ඔය විදියට තම්බාගත යුතුය. කොල්ලා කාලෙ වැඩිපුර කෑවත් දැන් නම් මට ඉඳිආප්ප පහළොවකට වඩා කන්නට අමාරුය. හොඳටම බඩගිනි තිබුණොත් විස්සකි. ඊට වඩා කෑවොත් බඩේ ගල් දැම්මා සේ දැනේ.

ඒ කතාව එහෙමය. ඔය මම කිව්වේ ගෙදර කොටාගෙන හෝ පිටි මෝලෙන් ගන්නා පිටිවලින් හදන ඉඳිආප්ප ගැනය. නමුත් කඩේ විකුණන්නට ඇති ක්ෂණික ඉඳිආප්ප පිටිවලින් හදාගන්නා ඉඳිආප්ප වලින් ඉඳිආප්පයේ ස්වභාවික රසය ගන්නට බැරිය. මන්දයත් ඒවා කල්තබා ගැනීමට හා පිටිවල සුදෝසුදු වර්ණය ලබා ගැනීමට රසායනික ද්‍රව්‍ය බෙහෙවින් මිශ්‍ර කරන බැවිනි. ඉඳිආප්ප කන්නට හදාගන්නා පොල් සම්බෝලයද ඔහේ ආගිය අතේ හදන්නේ නැතිව පිළිවෙලකට හදා ගත යුතුය. රතුලූණු ටිකක් වැඩිපුර දමා උම්බලකඩද ගම්මිරිස් ඇට කීපයක්ද යොදා ගලේ අඹරාගෙන දෙහි ඇඹුල් ටිකකුත් මිශ්‍ර කර සාදාගත් පොල් සම්බෝලය සමග හිතේ හැටියට ඉඳිආප්ප කන්නට හැක. පොල් සම්බෝලවලට අමතරව තිබ්බොටු සහ කුණිස්සන් මිශ්‍රකර සාදාගන්නා කහපොල් මැල්ලුමද ඉඳිආප්ප සමග නැගලා යයි. මේ ළඟකදී අපේ ගෙදර ආපු කොච්චියාටත් මම උදේට කන්නට දුන්නේ ඉඳිආප්පත් කහපොල් මැල්ලුමත්ය. මම කොච්චියාට උදේ කෑම වට්ටෝරු කීපයක්ම ඉදිරිපත් කළෙමි. ඉඳිආප්ප සහ කහපොල් මැල්ලුම්, හීල් බත් එක්ක පොල් සම්බෝල, පාන් සමග කිරිමාළු හොදිත් පොල් සම්බෝලත් ආදී වශයෙනි. කොච්චියා කීවේ හීල් බත් වලටත් කැමති නමුත් මෙදා ඉඳිආප්ප කමු කියලාය.

එදා කොච්චියා ඇවිත් තිබුණේ ජා ඇලින් රා කෑන් එකකුත් වල් ඌරු මසුත් අරගෙනය. මදිපාඩුවට මම ඩීඩී බෝතලයකුත් ගෙන්නෙව්වෙමි. රා බොන්නට නලින්ද අපිත් එක්ක එකතු වෙන්නට නියමිත විය. නලින් කිව්වේ පන්සලේ රැස්වීමකට ගිහින් දවල් වෙනවිට එන බවය. නමුත් රැස්වීමෙන් පසු හාමුදුරුවන්ගේ එක එක ගමන් වලට නලින්ව දවසම බුක් කරගෙන තිබුණු බැවින් නලින්ට වැඩේ මග හැරී ගියේය. වෙනදාට කොච්චියාත් එක්ක එන අයිවන්ටද අසනීප නිසා එදා එන්නට බැරිවිය. අයිවන් කියන්නේ අපිත් එක්ක ඕමාන් වල වැඩකරපු කෙනෙකි. හොඳ බොන්නෙකු, ගිටාර් වාදකයකු සහ නියම විනෝදකාමියකු වූ අයිවන් නැතුවම අන්තිමට අපි දෙන්නා වැඩේ පටන් ගත්තෙමු.

රා බොන ගමන් නියම අතීතකාමියකු වූ කොච්චියා කීවේ අපේ ගෙදර එද්දී ගමට ඇතුල් වුන වෙලේ සිට දැක්ක පිරිමින් ඔක්කොම මාදුවාදැයි ඔහුට හිතුන බවයි. එදා හොඳ වෙලාවට මාදුවලාගේ කුඹුරු යායේ ගොයම් කපන දවසය. කුඹුර තිබුණේ අපි බොන තැනට මීටර් සීයක් පමණ පහලිනි. දැක ගන්නට ඔච්චර ආසා එකේ දැම්මම ගිහින් මාදුවා හමුවෙමුය කියා රා බීම පැත්තක තබා අපි වෙලට ගියෙමු. අපි යනවිට මාදුවාගේ කුඹුරේ ගොයම් කපා ඉවරය. මාදුවා වී ගෝනි කුඹුරෙන් ගොඩට අදිමින් සිටියේය. අපි කතාකරමින් ඉන්න විට මාදුවා කොච්චියාව පෙන්වා ඇසුවේ මේ කවුද කියාය. මම නම් ඔයාව හොඳට දන්නවා යැයි කොච්චියා කී විට බ්ලොග් හෝ අන්තර්ජාලය ගැන මෙලෝ හසරක් නොදත් මාදුවා පුදුමයට පත්ව කීවේ ඒ කොහොමද? මම ඔයාව දැක්කෙත් අදනෙ! කියාය. කෙසේ හෝ උන් දෙන්නාගේ හතර බීරි කතා අසමින් මම ඇතිවෙන්නට සිනාසුනෙමි. මගේ කතාවල මාදුවාද එක් චරිතයක් බව ඌ නොදන්නා එක හොඳය. සුද්දාද එසේමය. මගේ කතාවල තමන්ද චරිතයක් බව සුද්දා නොදනී.

මේ දවස්වල සුද්දා නැවතත් බදු වත්ත වගාකරයි. අයිතිකාරයාගේ ඉල්ලීම අනුව අන්නාසි වගාවෙන් පසුව සුද්දා වත්ත නැවත ඔහුට බාර දුන්නේ අන්නාසි ගස් ගලවාදමා සුද්ද කර අගල් එහෙම කපලාය. ඊට අමතරව බද්දට හිලව්වක් ලෙස සුද්දා වත්තේ පොල් පැළද සිටුවා තිබුණේය. දැන් පොල් පැළද තරමක් ලොකුය. වත්ත ආපසු දුන් සුද්දා තමන්ගේ වැඩක් බලාගෙන සිටියේය. සුද්දා වත්ත ආපසු බාරදුන් පසු පොල් හොරුන් වැඩ පටන්ගෙන වත්ත සුද්ද කරන්නට පටන් ගත්තෝය. තමන්ට වගකීමක් නැති නිසා සුද්දා නිහඬව සිටියේය. ඊට පසු අයිතිකාරයා ආවේ පොල් කඩවන්නටය. වෙනදාට පොල් කඩවා ට්‍රැක්ටරයක පටවාගෙන යන අයිතිකාරයාට මෙදා ඉතුරුවී තිබුණේ ගෝනි කීපයක දාගෙන යාමට සෑහෙන පොල් ප්රමාණයකි.

දවස් දෙක තුනකට පසු සුද්දා හමුවන්නට ආ අයිතිකරු වත්ත නැවත බාරගෙන වගා කරන ලෙස සුද්දාගෙන් ඉල්ලා සිටියේය. ඔහු මුදල්ද රැගෙනවිත් සුද්දාට දී තිබුණි. මුදල් අනවශ්‍ය බව සුද්දා කී විට ඔහු කියා තිබුණේ මෙතෙක් කල් වත්ත රැක බලා ගත්තාට ඒ මුදල ගන්නා ලෙසයි. කෙසේ හෝ දැන් සුද්දා වත්ත නැවත වගා කරයි. මෙදා සුද්දා සිටවා තිබෙන්නේ කිරි අල සහ මඤ්ඤොක්කාය. වගා කරන්නට දඬු ලබා ගැනීමේ ප්‍රශ්නයක් සුද්දාට මතුවිය. පළවෙනි කොරෝනා සමයේදී මම වත්තේ මඤ්ඤොක්කා සිටෙව්වෙමි. ඒවායේ දැන් හොඳට අල බැහැලාය. හැබැයි අල ටික ඌරු මීයන්ගෙන් බේරාගන්නට බැරිය. ගෙදර කෑමට ගලවන ගමන් එකතු කළ දඬු ඔක්කොම මම සුද්දාට දුන්නේ මම ආපහු මඤ්ඤොක්කා නොහිටවන නිසා ඒ සමහර හොඳ දඬු වර්ග වඳ නොවී ආරක්ෂා කරගන්නටය. දඬු සියල්ලම සිටවූ සුද්දා මගෙත් එක්ක කීවේ පහුගිය වැස්සත් එක්ක දඬු ටික හොඳට පැළවී ඇති බවය. මම ගෙදර ප්‍රයෝජනයට මඤ්ඤොක්කා හිටෙව්වත් සුද්දා කරන්නේ වාණිජ වගාවකි. සුද්දා මඤ්ඤොක්කා ගැලවූ දාට දඬු ටිකක් ආපහු අරගෙන ඇවිත් වත්තේ හිටවන්නට මම හිතාගෙන ඉන්නෙමි෴
හැලපයාhttp://www.blogger.com/profile/14910441607831391629noreply@blogger.com64tag:blogger.com,1999:blog-8432415427742462325.post-83094564300686406922020-10-01T23:38:00.003-07:002020-10-02T20:37:30.872-07:00ඩැනිස්ගේ ලණුව, සේනගේ සංවේගය,නිලමේගේ වගතුග, කූපන් පොත් සහ කරෝලිස් අයියගේ සමුපකාරේ කූපන් හාල්.

අද වනවිට හැලපකඩේ බ්ලොගය වල් වැදී මකුළු දැල් බැඳී නන්නත්තාරවී ඇත්තේ මාස ගණනාවකින් මොකුත්ම ලියාගන්නට නොහැකිවීම නිසාය. එයට මුලිකම හේතුව වුයේ තාක්ෂණික දෝෂයකි. තාක්ෂණික දෝෂය නිවැරදි කරගත් පසුව වුවද මොකුත් නොලිව්වේ කම්මැලිකම නිසාය. ලිවීම අතපසුවූ කාලයේ මට කතාකරමින්ද ඊ ලිපි එවමින්ද නොලියන්නේ මන්ද යැයි ඇසු සියළුම පාඨකයින්ට මගේ ස්තූතිය පිරිනමමි.

ලිවීමට කම්මැලිකම ඇතිවන්නට තවත් වැදගත් හේතුවක් වුණේ බ්ලොගය කියවන කමෙන්ට් කරන අයගේ කැපී පෙනෙන අඩුවීමය. මහන්සි වී පෝස්ටුවක් ලියු විට ප්‍රමාණවත් පාඨක පිරිසක් එය නොකියවන්නේ නම් ලිවීමට වඩා නොලියා සිටීම යෙහෙකි යැයි සිතේ. කෙසේ වුවද සමස්තයක් වශයෙන් ගත්කල බ්ලොග් ලිවීම සහ කියවීම බොහෝ දුරට අඩුවී ඇති බව පිළිගත යුතු සත්‍යයකි. බ්ලොග් ලියනවාට කියවනවාට වඩා බුකියේ සැරිසැරීම වඩා ආතල් බව බ්ලොග් කරුවන්ද සිතනවා විය යුතුය.

මා විසින් ලියන්නට පුරන ලද අවසන් නොවූ කතා දෙකක් ඇත. එනම් සේනගේ කතාව සහ ත්‍රිකෝණය කතාවයි. කෙසේ හෝ එම කතා ද්විත්වයද අවසන් කළ යුතුය. බ්ලොගයේ මෙතෙක් ලියු පෝස්ටු ප්‍රමාණය 296 ක් වන අතර 2019 අවසන් වනවිට පෝස්ටු 300 ක් සම්පූර්ණ කරන්නට සිතා සිටියද එය කළ නොහැකි විය. කෙසේ වුවද අදත් මා ලියු සේනගේ කතාව කියවමු.

සේන කුඹුක්ගැටේ ගඩොල් වාඩියේ ගඩොල් කපන්නට ගොස් සති තුන් හතරක් ගතවිය. අපිත් සුපුරුදු ලෙස ඩැනිස්ගේ කාමරයේ ඔහුටද වාතයක් වෙමින් රස්තියාදු ගැසීම කරගෙන ගියෙමු. ඉඳහිට කට්ටිය සේනයා මතක් කළේ උගෙන් කිසිම තොරතුරක් නොමැතිවීම නිසාය. විස්තර අසා ලියුමක් ලියන්නටද බැරි ඉන්නා තැනක ලිපිනයක් නොදන්නා නිසාය. ඔය කාලයේ ආරිගෙ අයියා වන නිළමේ අපේ ගමට එහා ගමේ අතුරක් මදින්නට පටන් ගත්තේ ඔහුට අයත් ඉඩමකය. මදින්නට පටන් ගෙන ටික දවසකින්ම නිලමේගේ රා අතුර ප්‍රදේශවාසී ජනතාව අතර බෙහෙවින් ජනප්‍රිය තැනක් බවට පත්විය. නිළමේද ගෙදර එන එක අතහැර දමා ඒ ඉඩමේම වාඩියක් හදාගෙන පදිංචි විය. වැඩ නැති වෙලාවට ඉඩම අයිනේ තිබුණු කුඹුර අස්වැද්දු නිළමේ ගොඩ හරියේ එළවළු වගාවක් දැම්මේය.

අතුරෙන් බාන රා ටික ගහ යටදීම බොන්නට ගමේ අප්පුහාමිලා සැදී පැහැදී සිටි නිසා නිෂ්පාදනය විකුණා ගැනීමේ කිසිදු අපහසුවක් නොවීය. පොඩි අවුලක් තිබුණේ අපේ ගමේ කොල්ලන්ගෙන් හෙවත් අපෙනි. සතියකට දවසක් දෙකක් අපේ කට්ටිය අතුරට ගිහිං රා කල සියල්ලම හිස්කර පැමිණීම ඒ අවුලය. සල්ලි දෙන්නේ අතේ තිබුණොත් විතරය. නැත්නම් රා සියල්ලම බොන්නේ පිනටය. රා නැතත් නිලමේගේ වාඩියට යෑමම සිතට සතුට දනවන කාරණයකි. නිලට නිලේ ලස්සනට හැදී ඇති ගොයම පීරාගෙන කුඹුරු යායෙන් හමා එන මඳ සුළඟ, සරුවට පීදී ගෙඩි, කරල් බරව ඇති මෑ බණ්ඩක්කා වම්බටු පිරි වගාව දකින විටත් සිතට සොම්නස දනවයි. නිලමේගේ වාඩියේ ලී මැස්සට වී කයියක් ගහමින් ඉන්නා අපට බොන්නට රා කලයක් දෙකක් නිලමේගෙන් ලැබෙයි. රා බිස්නස් එක නිසා අතමිට සරුවී ඇති නිළමේට කලයක් දෙකක් පිනට දෙන එක මහ කජ්ජක් නොවේ.

නිළමේගේ වෙලේ ගොයම් කපනදා හරියටම මහ මුදලිගේ බල්ලා මැරුණු දා වගේමය. ඒ ගමේත් අපේ ගමේත් අයගෙන් කුඹුරු යාය පිරී යයි. ඉන්න සෙනගගේ හැටියට වැඩට ගියත් අපට කරන්නට වැඩක් නැත. ඒ නිසා නිළමේ කුඹුරට තේ කහට, බුලත්විටද උදේ දවල් ඇඹුල ද අරගෙන යෑම අපට පවරයි. එදාට බොන්නට දෙන්නේද රා නොව නිළමේ විසින් රා වලින් දේශීයව නිෂ්පාදනය කරන ලද සුමිහිරි පළතුරු පානයකි. ගමේ අය කුඹුරු වැඩට වහ වැටෙන්නේද ඔය කියන පානයේ රස දන්නා නිසාමය. සතුටු සිනහවෙන් කුඹුරු යාය ඉපිලී යද්දී නිළමේ රජෙකු මෙන් නියර උඩ සිට සිනහවෙයි.

මීට පසු වාඩියට පැමිණි අය ඉල්ලා සිටියේ රා නොව නිලමේගේ නව නිෂ්පාදනයයි. නිෂ්පාදනය කුඹුරු වැඩට පමණක් කළ බව කීවත් ඔවුන්ගේ පෙලඹවීමෙහි අඩුවක් නොවීය. ඒ ඉල්ලුම යාචක ඉල්ලුමක් නොව ආර්ථික විද්‍යාත්මක ඉල්ලුමක් බව නිළමේද වටහාගත්තේය. ඉන්පසුව මදින ලද රා වලින් වැඩි හරිය පෙරන්නට යොදාගත් නිළමේ රා වලට කලයක් දෙකක් පමණක් වික්කේය. ටික දවසකින්ම නිළමේගේ අතට සල්ලි ගලන්නට විය. අපි රා බොන්නට එන දාට නිළමේ රා කලයට ස්ප්රිට් බෝතලයක් කළවම් කරයි. වෙනදාට රා කල දෙකතුනක් බොන අය එදාට එක කලයෙන්ම කට් වෙයි. තමන්ගේ ගමේ කොල්ලො සෙට් එක නිතරම තම අඩවියේ ගැවසීම නිළමේගේ හිතටත් හයියකි. දවස් තුන හතරකින් ඒ පැත්තේ නොගියොත් නිළමේ පණිවිඩ එවා අපව ගෙන්වා ගනී. ඒ ගමේ කොල්ලන්ටත් අප්පුහාමිලාටත් පෙනෙන්නටය. ඉඳහිට හෝ මොකුත් බොන්නට අතේ සතේ නැතිව සිටි අපට නිළමේ ගේ මෙම ත්‍යාගශීලීබව බොහෝ සැනසුම් ගෙන දෙන්නක් විය.

මෙහෙම කල දවස ගෙවෙද්දී දවසක් මට ලැබුණු ලිපියකි. ලිපිය ලැබුණේ මගේ නමට සහ පොඩි මහින්දගේ ගෙදර ලිපිනයටය. එය අමුත්තක් නොවන අතර අපේ කොල්ලන් සියල්ලන්ටම පාහේ ලියුම් එන්නේ ඒ ආකාරයටය. ලියුම් බෙදන්නාගෙන් ලියුම අරගත් ඩැනිස් ලියුම කාමරයේ තබා තිබු අතර මම ගිය වෙලාවේ ලියුම මට දුන්නේය. මමත් ලියුම එතනදීම කඩා කියවුයෙමි. ලියුම සේනගෙනි, ඔහුගේ විස්තර ලියා අවසානයේ රොටියා ගැනද අසා තිබුණි. වැදගත්ම කාරණය වුයේ සේනයා අසා තිබුණේ "රොටියාගේ අලුත් පෙම්වතා කවුද?" යන්නයි. මම ලිපිය කියවුයේ ඩැනිස්ටද ඇහෙන්නටය. සිනාවෙමින් අසා සිටි ඩැනිස්,

"මූට අපි හොඳ වැඩක් කරමු!" යි කීවේය.

"ඒ කිව්වෙ?

"උඹ ලියපං දැන් රොටියා මගෙත් එක්ක යාළුවෙලා කියල!"

"කමක් නැද්ද?"

"උඹ ලියල දාපංකෝ මොකද වෙන්නෙ බලන්න?"

මමත් ඩැනිස් කී පිළිවෙලටම ලියුමක් ලියා සේනයාට තැපැල් කළෙමි. ටික දිනකින් අපි දෙදෙනාටම ඔය ලියුම් පලහිලව්ව අමතකව ගියේය. සතියක් ගතවන්නට ඇත. දවසක් උදේ නින්දෙන් නැගිට නිදිගැට කඩමින් එළියට එනවිට සේනයා අපේ මිදුලේය.

"මොකද සේන මේ පාන්දර?"

"ඊයෙ රෑ ආවේ, උදේම ඔයා බලන්න ආවා. යමුද පොඩ්ඩක් එලියට?"

"මම තව මුණ හෝදලත් නෑ, උදේට කන්නත් ඕනෑ. සේන යන්න මම ටිකකින් එන්නම්."

සේන පිටත්වී ගියේය. ඊට පැය බාගයකට පමණ පසු සුදානම් වී මම යද්දී සේනයා පොඩි මහින්දලාගේ ගෙයි කොට බිත්තිය උඩ ඉඳගෙන කකුල් හොල්ල හොල්ලා සිගරැට් එකක්ද අදිමින් සිටියේය. මාව දැකපු ගමන් සිගරැට් පැකට් එක මට දික්කළේය. මමත් එකක් අරගෙන දල්වාගතිමි. කොච්චර ලකේට හිටියත් සේනයා පසුවෙන්නේ ලොකු හිතේ අවුලකින් බව බැලු බැල්මටම පෙනීයයි. ඩැනිස් රෑ වැඩමුරය අවසන් කර ඇවිත් කාමරයේ හොඳටම නිදිය. ආයෙ ඇහැරෙන්නේ දවල් කෑමටය. සේනයාට හදිස්සිය කොච්චරද කිව්වොත් ඩැනිස්ව ඇහැරවමුද කියා මගෙන් අසයි.

"පිස්සුද බං? ඔය මනුස්සයගෙන් බැණුම් අහන්න ඕනැද? පොර නැගිටිනකම් අපි රවුමක් ගහල එමු."

අපි දෙන්නා කෙළින්ම ගියේ නිළමේගේ පොට් එකටය. ඒ යනවිටත් නිළමේ අතුරෙන් බැස නැත. ලී මැස්ස උඩ හිඳගත් අපි කයියක් ගහමින් ඉන්නවිට, කොටම කොට කොට කලිසමක් ඇඳගෙන මල් කපන මන්න ඇතුළු ආයුධ සෙට් එක තියෙන "උගේ" ඉනේ රඳවාගත් නිළමේ ලොකු මුට්ටියකුත් එල්ලාගෙන ගෙට ගොඩවුනේය.

"මොකද එළිවෙනකොටම මේ පැත්තෙ?" නිළමේ අසයි.

"නිලමේ අයියව බලල යන්න කියල ආවා!"

"ආ..හොඳයි හොඳයි, සේන කවද්ද ගෙදර ආවෙ? " නිළමේ මුට්ටියේ ඇති රා ටික මටුල්ලකින් කළයකට පෙරයි.

"ඊයෙ රෑ, පොඩි නිමාඩුවක් අරන් ආවා."

"එහෙනං දෙන්නත් එක්ක තව ටිකක් ඔහොමම ඉන්නවද, මට තව ගස් දෙකතුනක් තියෙනවා කපල එනකල්?"

නිළමේ ආපහු එළියට බැස්සේය. උදේ පාන්දර කොට කලිසම ඇඳගන්නා නිළමේ කොට කලිසම ගලවා සරමක් ඇඳගන්නේ රෑ නින්දට යනවිටය. ඔය විදියටම ඒ කාලේ අපේ මහප්පෙකුත් හිටියේය. මහප්පා උදේට ඇඳගන්නා අමුඩය ගලවා සරමක් අඳින්නේ මහ රෑටය. කුඹුරට යන්නට,හරක් බඳින්න යන්නට,කඩේ යන්නට ආදී වශයෙන් දවල් දවසේ ගම මුලුක්කාදියේ ඇවිදින්නේ ඔය අමුඩය පිටින්ය. අද කාලෙ වගේ නොව ඒ කාලයේ ගැමියන් දවාලේ අමුඩයෙන් සැරසී ගමන් කිරීම කාහටත් අරුමයක් නොවීය. මහප්පාගේ නම ජයලත් රාළලාගේ පුංචි බණ්ඩාරය. එක වතාවක් හාල් පොත් ලියද්දී එතෙක් ලියැවුණු ජේ.ආර් පුංචි බණ්ඩාර කියන නම වෙනුවට අලුත් ග්‍රාම සේවක හාල් පොතේ අමු හිංගලෙන්ම ලියා තිබුණේ ජ.රා පුංචි බණ්ඩාර කියලාය. මහප්පාගේ පමණක් නොව ගෙදර අක්කලා අයියලාගේද නම් ජ.රා ලෙස වෙනස් කර තිබුණි. හාල් පොත් බැලු මහප්පා "මොකා මේවා ලියනවද මං දන්නෑ" කියමින් සිනාසුනේය.

ඒ කාලේ හාල් පොත අද ජාතික හැඳුනුම්පත වගේය. හාල් පොතෙන් නොයෙකුත් ප්‍රයෝජන ගත්තා මෙන්ම නැති බැරි අමාරුවකදී හාල් පොත් උකස් තබා මුදල් ලබාගන්නා අයද එමට සිටියෝය. හාල් පොතේ නිල නාමය හාල් සලාක පත්‍රය විය. කොටස් දෙකකින් යුතු හාල් පොතේ මුල් කොටස රෙදි කූපන් වලටද දෙවෙනි කොටස හාල් කූපන් වලටද වෙන්වී තිබුණි. කූපනයකට මුලදී හාල් සේරු දෙක බැගින් ලැබුණු අතර පසුව එය එක් සේරුවකට කපා දමන ලද්දේ 65 ඩඩ්ලි සේනානායක ආණ්ඩුවේ මුදල් ඇමතිවරයාව සිටි ජේ.ආර් ජයවර්ධන විසිනි. ඔහුගේ එම ක්‍රියාව 70 යු.ඇන්. පී ආණ්ඩුවේ පරාජයට හේතුවූ තීරණාත්මක සාධකයක් විය. 70 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ තුන් හවුලේ ප්‍රධානතම ඡන්ද පොරොන්දුව වුණේ කපා දැමු හාල් සේරුව නැවත ලබා දෙන බවය. "අපෙ අම්මා ළඟ එනවා - හාල් සේරු දෙක දෙනවා" යනුවෙන් උදාන පාඨයක්ද තුන් හවුල් ඡන්ද වේදිකාවේ නිරන්තරයෙන් ගැයුණි. හාල් ගේන්නේ කොහෙන්දැයි යු.ඇන්. පී යෙන් නගනලද ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් එක් ඡන්ද රැළියකදී සිරිමා බණ්ඩාරනායක මැතිණිය කියා සිටියේ හඳෙන් හරි හාල් ගෙනැත් දෙන බවය. හඳෙන් හාල් දෙන බව කියා බලයට ආවත් තමන් දුන් පොරොන්දුව ඉටු කිරීමට මැතිනියටද නොහැකි විය.

පොතට හාල් සේරු දෙක දුන් කාලයේ හාල් පොත් ටික පන් මල්ලකට දමා ගෝනියක් ද අතට දී සමුපකාරේ හෙවත් අපේ අම්මලා කියූ පරිදි සමාගම් කඩේට හාල් ගේන්නට අම්මා මාව පිටත් කර හරී. මම සමුපකාරෙට යන්නේ සිරිල් මාමලාගේ ගෙදර හිටපු මගේ යාළුවා වන මහතුන්ද කැටුවය. කඩේ අපේ ගෙදර සිට හැතැප්ම දෙකක් පමණ දුර නිසා ඒ දුර හාල් බර මට තනියම කරගහගෙන එන්නට නොහැකි බැවින් මම මහතුන්ද අඬගහගෙන හාල් ගේන්නට යමි. ඒ වෙනුවට මහතුන් හාල් ගේන්නට යන දවසට මම ඌත් එක්ක උදව්වට යමි. අපේ සමුපකාරේ කළමනාකරු හෙවත් මැනේජර් හැටියට මට මතක ඇතිදා පටන් වැඩකලේ කරෝලිස් අයියාය.

කඩේ ගෝල වැඩේටත් කොල්ලෙක් සිටි අතර දැන් මට ඔහුගේ නම අමතකය.

හාල් පොත් ටික අතට ගන්නා කරෝලිස් අයියා පොතකින් කුපනය බැගින් කතුරෙන් සීරුවට කපා ඉවත්කරගෙන කූපන් ටික ඔහුගේ මේස ලාච්චුවේ ඇති පෙට්ටියකට දමයි. ඒ පෙට්ටිය පිරී ඇත්තේ කූපන් වලිනි. ඉන්පසුව ඒ කපාගත් කූපන් ප්‍රමාණයට ලැබෙන හාල්වලට බිල ලියා අතට දෙයි. හාල් වලට අමතරව තවත් දේවල් ගන්නට ඇත්නම් ඒ අවස්ථාවේම කියා බිල ලියවාගත යුතුය. අපි ගන්නේ අම්මාගෙන් ඉල්ලා ගත් සත දහයට මාරි විස්කෝතුය. ඒ අපි දෙන්නාට ගෙදර එනගමන් කකා එන්නටය. බිල් ලියමින් ඉන්නා කරෝලිස් අයියා එක්වරම පුටුවෙන් නැගිට ගොස් කටේ ඇති බුලත්හපය පෘෂ් ගා ඉවතට විසිකර නැවත පැමිණෙයි. බුලත් හපය කිව්වාට හපමින් සිටි බුලත් කොලයද පුවක් කෑල්ලද දුම්කොළ කෑල්ලද මුලින් කටේ දමාගත් ආකාරයටම වීසි කරන විටද තිබෙනු දැකිය හැකිය. එහෙම වෙන්නේ කරෝලිස් අයියාගේ කටේ ඉස්සරහ දතක් ඇරෙන්නට අනිත් දත් සියල්ලම හැලී ගොස් ඇති නිසාය.

බිල අතට ගන්නා අපි ඒ බිල කඩේ අනික් කොටසේ ඉන්න බඩු කිරන ගෝලයාට දුන්න විට ඔහු අර විශාල තරාදියට පඩි දමා හාල් දමා කිරා අපි ගෙනගොස් ඇති ගෝනියට ඇල කර දමයි. එතන ඇත්තේ අමුතුම සුවඳකි. හාල්ද භුමිතෙල්ද කරෝලද සුවඳ එකතුවී එන ඒ අපූරු සුවඳ අදද මට හිතින් ආඝ්‍රාණය කළ හැක. හාල් හැටියට නිතරම පාහේ සමුපකාරයෙන් ලැබෙන්නේ මිල්චාඩ්, රතුම රතු රතු කැකුළු හාල් සහ ඉටිහාල් යනුවෙන් අපේ අම්මලා හැඳින්වූ සුදු හාල් වර්ගයකි. සුදු කැකුළු හාල් ලැබුණේ කලාතුරකිනි. මේ හාල් වලින් අපි වඩාත්ම කන්නට කැමති වුණේ මිල්චාඩ් වලින් පිසූ බතටය. දිග ඇටයකින් යුත් මිල්චාඩ් හාල් පිසෙන විට අමුතුම සුගන්ධයක් හමා එයි. හොඳ පොල් සම්බෝලයකුත් තනා ගත් විට ඒත් එක්ක ලොකු බත් පිඟානක් කිසි අපහසුවකින් තොරව කන්නට පුළුවන. අවුරුද්ද කන්නට ඇතිවෙන්නට වී ටික කුඹුරු වලින් අපට ලැබුණත් සමුපකාරයේ නොමිලේ දෙන හාල් ටික ගේන්නේ කැවිලි වලට පිටි කොටාගන්නටත් වැහි කාලයට වී තම්බාගන්නට බැරිවූ විට ප්‍රයෝජනයට ගන්නටත්ය.

සමුපකාරෙන් ගත්ත හාල් ගෝනියත් කරතියාගෙන මහතුන් එක්ක කැලෑ වැදෙමි. කැලෑ වැදීම කියන්නේ අපි ගෙදර එන ආකාරයයි. ආපහු ගෙදර එන්නට පාරවල් තුනක් ඇත. ඔය පාරවල් තුනෙන් වැඩිපුරම පාවිච්චි වෙන්නේ අලවත්ත පාරත් ගම මැද පාරත්ය. නමුත් අපි දෙන්නා ගෙදර එන්නේ වෙනම පාරකිනි. පාර වන්නේ සමුපකාරය ඉදිරියෙන්ම ඇරඹි අපේ ගම කිට්ටුවටම දිවයන නාරංවත්ත පාරයි. නාරංවත්ත දෙවෙනි ලෝක යුද්ධය කාලයේ මිත්‍ර පාක්ෂික හමුදාවල ලංකාවේ තිබූ විශාල කඳවුරකි. යුද්ධය අවසානයේ විදේශ හමුදාවන් ලංකාවෙන් ඉවත්වූ පසු කඳවුර පාළුවට ගියේය. නාරන්වත්තේ තිබු හොඳින් තාර දැමු පාරවල්, කැලෑ වැහුණු ජල පොකුණු ආදිය බලන්නට අපි කැලේ රිංගා ආපහු එන්නේ කන්නට මොනවා හරි ගඩා ගෙඩිත් අරගෙනය. මහතුන් එක්ක මම ආපහු ගෙදර ආවේ ඔන්න ඔය කියන නාරංවත්තේ තිබු තාර දැමු නමුත් දෙපස වල් වැහුණු පාරදිගේය෴

හැලපයාhttp://www.blogger.com/profile/14910441607831391629noreply@blogger.com81tag:blogger.com,1999:blog-8432415427742462325.post-54769471149510613772020-05-27T22:43:00.000-07:002020-05-28T03:03:47.994-07:00මාදුවාගේ කුඹුරු අස්වැද්දිල්ල, පොඩි මාදුවා දුටු හොල්මන, සුමනදාස මහත්තයගේ ඡන්දය සහ කොරෝනා කතා.

අපි මාදුවලෑ කුඹුර අස්සද්දන්නට කතා කර ගත්තේ කොරෝනා වසංගතය පැතිරෙන්නට හිතලවත් නැති කාලයක හෙවත් ජනවාරි මාසේ මුල වගේය. ඔය අදහස මගෙ හිතේ තිබුණේ කාලයක සිට වුණත් අදහස මාදුවාට කියන්නට තැනක් වේලාවක් හරියටම සෙට් වුණේ නැත. ඔන්න ඔහොම තියෙද්දී ගමේ පොඩි මඟුලකදී අපි කට්ටියටම එකට එකතුවී කතා කරන්නට ඉඩ ප්‍රස්තාව සැලසුණි. මදු විතකින් ගත සිත ප්‍රබෝධමත් වී සිටියදී මම මාදුවාට පැත්තකට කතා කර අදහස කිව්වෙමි. මාදුවා එයට එක්වරම කැමැත්ත පළකළේය. එවිටම එතනට පැමිණි ගමේ කෘෂි නිලධාරියාද කතාවට සම්බන්ධවී වැඩේ බොහොම ඉහළයි කියා ඔහුගේ පැත්තෙන් කළහැකි හැම උපකාරයක්ම කරන බවද කීවේය. වෙල්යායේ මාදුවලාගේ කුඹුර ලඟට එනතුරු ඒ වනවිට කුඹුරු වැඩකර තිබුණ අතර මගේ කුඹුර තියෙන්නේ මාදුවලාගේ කුඹුරට තවත් එකකට පහළින්ය. මේ වන විට ගණ සැරේට කැලේ වැවී ඇති වෙල්යායේ ඒ කොටසේ වැඩ පටන් ගන්නවා නම් මාදුවලාගේ කුඹුරට නොබැස පහළ ඒවා සුද්ද කරන්නට බැරිය. මාදුවලාගේ කුඹුරෙන් වැඩ අල්ලන්නට අපි කල්පනා කළේ ඒ නිසාය.

ඉස්සෙල්ලාම කරන්නට තිබුණේ වෙල්යායේ නිරීක්ෂණ චාරිකාවක යෙදී වැඩ පටන්ගත යුතු ආකාරය ගැන යම් කිසි වැටහීමක් ඇතිකර ගැනීමය. අපේ ගෙවල් ලඟින් යන හැම විටෙකම එන්නං එන්නං කියා කීවත් සති කීපයක් යනතුරුම මාදුවා වෙල බලන්නට ආවේ නැත. ඔන්න ඔහොම තියෙද්දී එක දවසක හවස් වරුවේ අපේ ගෙදරට ආ මාදුවා කුඹුර බලන්නට යමු කීවේය. අපි දෙන්නා වෙල්යායට ගිහින් බැලූවිට අඩියක් තියන්නටවත් බැරි තරමට ගණ සැරේට කුඹුරු කැලෑ වැහිලාය. උගේ තණකොළ කපන මැෂිමෙන් දවස් කීපයකදී කුඹුර කැලෑ එලිකරගන්නට හැකි යැයි මාදුවා කියපු අතර හෙට සිට වැඩ පටන්ගමුය කියා කතා කර ගත්තෙමු. ඒ වුණාට පහුවදා මාදුවා දකින්නටවත් හිටියේ නැත. උඹට එපා නම් මට මොකද කියා මමත් සද්ද නැතුව සිටියෙමි. තවත් සතියකට පමණ පසු දවසක මහ හැන්දෑවේ තණකොළ කපන මැෂිමත් කරතබාගෙන ආ මාදුවා මගෙත් එක්ක කුඹුරට ගිහිං වැඩ පටන් ගත්තේය. එදා එහෙම කැපුවාට උගේ පැමිණීමේ කිසිම පිළිවෙලක් තිබුණේ නැත. වැඩ කරන්නට එන්නේ ඉර බහින වෙලාවටය. හැමදාම වගේ පහුවදා උදෙන්ම වැඩ පටන් ගනිමුයි කියා කතාකර ගත්තත් එහෙම සිදුවෙන්නේ නැත.

වැඩේ තියෙන්නෙ මාදුවාට වැඩ වැඩිකමය. උගේ ප්‍රධාන ආදායම් මාර්ගය ත්‍රී වීල් එකක් හයර් දිවීමය. ඊට අමතරව මැසිමකින් තණකොළද කපයි. ඊටත් පස්සෙ මාදුවා පළතුරු වෙළඳාමක් පටන් ගත්විට කලින් කීව දෙකටම වඩා නැගලා ගියේ පළතුරු බිස්නස් එකය. ඉතිං කුඹුර කැපීම සිද්ද උනේ අවාරෙට අඹ වැටෙන්නා සේය. කොරෝනා වසංගතය ආවේ ඔන්න ඔය කම්මැලි විදියට වැඩ කරගෙන යද්දීය. මාදුවාගේ ත්‍රී වීල් හයර් දිවීමද තණකොළ කැපීමද එක් වරම නතර වූ අතර පළතුරු ව්‍යාපාරය මහ ඉහළින් නැගලා යන්නට වූවා සේම වෙලේ වැඩ කරන්නට මාදුවාට ඇති තරම් කාලයද ලැබිණි. එදා සිට හැමදාම උදේට මාදුවා පළතුරුත් සයිකලයේ පටවාගෙන තණකොළ කපන මැසිමද වතුර බෝතල්ද බුලත්විටද ආදියෙන් සන්නද්ධව කුඹුරට පැමිණෙයි. ටික වෙලාවක් වැඩ කරන විට මාදුවාගේ පළතුරු පාරිභෝගිකයින් එකා දෙන්නා මාදුවා හොයාගෙන කුඹුරට එන්නට පටන් ගනී. මාදුවා තණකොළ කැපීම නවතා පාරිභෝගිකයන්ට සේවය සලසන්නට පටන් ගනී. සමහර පාරිභෝගිකයින් පළතුරු රැගෙන යන අතර සමහරු නියරේ ඉඳගෙනම අහල පහළ ගස්වල ඇති වෙරළුද කොට්ටං ද හපමින් පළතුරු පාවිච්චි කරති. මාදුවාගේ මොබයිලය මගේ අතට දී තිබුණේ තණකොළ කපනවිට පෝන් එකේ සද්දය ඇහෙන්නෙ නැති නිසා කෝල් වලට උත්තර දෙන්නටය. පෝන් එකටද නිවනක් නැතුව පාරිභෝගිකයන්ගේ කෝල් එයි. මම හැම ඇමතුමකටම උත්තර දෙන්නේ මාදුවාගේ උපදෙස් අනුවය.

කොරෝනා වසංගතය හේතුවෙන් කොච්චර වැඩ තිබුණත් පොලීසිය මත් ද්‍රව්‍ය ඇල්ලීමට කඩා පනින එක නතර කර තිබුණේ නැත. මාදුවාගේ ව්‍යාපාරය අල්ලන්නටද පොලිසියෙන් ඇවිත් හොයන බවට කටකතා කීපයක්ම පැතිරී තිබුණත් පැන්නේ නම් නැත. ඒ වුණාට ආපු ආරංචි වලින් බොහෝ කලබලයට පත්වූ හැලපී වහාම ක්‍රියාත්මක වන පරිදි කුඹුරට යෑම මට තහනම් කළාය.

"ඇඳිරි නීතිය කඩල පොලිසියට අල්ලගෙන යන එක වෙනම කතාවක්. ඒ උනාට වෙලේ ඉඳල මාදුවත් එක්ක බෙල්ලෙන් අල්ලගෙන පොලිසියට අරන් ගියොත් විලි ලැජ්ජාව. ඔය කුඹුරු අස්වැද්දිල්ලෙන් කාරියක් නෑ. ඔයා ගෙදර ඉන්න!" හැලපි තදින්ම අවවාද කළාය.

"මම නොගියොත් ඕකා ඔය කුඹුරු කිරිල්ල අත් අරිනවා. මගේ වදේටනේ පටන් ගත්තෙ. මෙච්චර කරල අත ඇරල දැම්මොත් අපරාදෙනෙ. ඔහෙ එන ඇති පොලිසියක් නෑ. ඔයා බය නැතුව ඉන්න!" මම ෂේප් එකට කතා කළෙමි.

"ඕනෑ එකක් කරගන්න එකයි ඇත්තෙ. ඔයාල ඉතිං පණ්ඩිතයොනෙ. කියන දෙයක් කණකට ගන්නෙ නෑ. මොනව හරි උනොත් ඔන්න මම ආයෙ කියන්නෙ නෑ."

හැලපි බැන්නාට මම කුඹුරට යාම අත්හැරියේ නැත. එතන වෙනම විනෝදයකි. ඒ දවස්වල තිබුණු දැඩි පෑවිල්ල නිසා වැඩ කරන්නට ලේසිය. කුඹුරු යායට තද සුළඟක් ද හමයි. කලින් දවසේ මාදුවා කපා වේලී තිබුණු තණකොළ ගොඩවල් ගසා ගිණි තැබීමද ගස්වල අතු කැපීමද ආදිය කරන විට මහන්සියක් නොව ඇතිවෙන්නේ සතුටකි. අපි කුඹුරට බැස්ස විට එතෙක් පාළුවී තිබූ කුඹුරේ සරුවට වැවී තිබුණු කංකුන්, මුකුණුවැන්න, ගිරාපලා ආදිය කඩන්නට ගමේ ගෑණුන්ද, ළමයින්ද කුඹුරට එන්නට පටන් ගත්ත නිසා කම්මැලිකමක් ඇත්තේම නැත. රොඩු ගොඩවල් ඇද මහන්සි වූ විට නියරට ගොඩවී ලැවරියාවක්, වඩේ එකක් කා තේ කහට ටිකක් බී විටක් හැපීමද කාලෙකින් නොලද ආස්වාදයකි. වැඩේ දිගටම යද්දී මාදුවාගේ ව්‍යාපාරයද එයට සමගාමීව ජයටම ක්‍රියාත්මක විය. පළතුරු ගන්නට අතේ මිළ මුදල් නොමැති වූ කීප දෙනෙක්ද ඇවිත් කුඹුරේ වැඩකර එයට හිලව්වට පළතුරු බීම ටිකක් ඉල්ලා සිටිති. උන් එදිනෙදා කුලියක් මලියක් කර දවසේ වියදමට කීයක් හරි සොයාගන්නා උදවියය. දැන් ඒ අයගේ අදායම් මාර්ගද එහෙම පිටින්ම ඇහිරී ඇත. නැති එකාට උදව් කිරීම පිංකමකි. අපේ කුඹුරු අස්වැද්දීමේ ව්‍යාපෘතිය නිසා දවසේ ගතමනාව සොයාගන්නට බැරිව ඉන්න අය කීප දෙනෙකුට හෝ උදව් කරන්නට ලැබීම එහි අමතර ඵලයකි.

කුඹුරේද කුඹුරට ගොඩ පාළු වත්තේද රැඳී ඉන්න අයගේ අඩුවක් නැත. සමහරු පාළු වත්තේ ගස්වල පොල් කඩා ගෙදරටම ගෙනිහින් දමති. සමහරු නියරේ පාළු කුඹුරේ කෙටල ගාල් එක්ක කාලයක් තිස්සේ හරි හරියට වැවී තිබූ කොහිල පඳුරු වල දළු කඩති. දැවැන්ත කොහිල අල ගලවා සුද්ද කරති. කොරෝනා වසංගතය හැමෝටම කලකින් පසු දිග විවේකයක් ලබා දීලාය. අපි වගේ සොක්කන්ට පමණක් නොව බොහෝ වැඩ කටයුතු ඇති අවිවේකී තදයන්ට පවා කොරෝනා වසංගතය තමන්ගේ අවිවේකී කම ගැන නිවී හැනහිල්ලේ හිතන්නට ඉඩ ලබා දුනි. පාරේ ට්‍රැෆික් එකේ විනාඩියක් දෙකක් නවත්වා ගෙන ඉන්නට බැරුව නලා සද්ද කරන, විනාඩියක් දෙකක් යාලුවෙක් එක්ක කතා කරන්නට බැරි තරමට වැඩ කටයුතු ඇති, යාලුවෙක්ගේ ඇමතුමක එක විනාඩියක් හමාරක් රඳවා ගන්නට බැරි තරමට ඉස්පාසුවක් නැති සෑම සියළු දෙනාම ඇහැට නොපෙනෙන ක්ෂුද්‍ර වයිරසයක් ඉදිරියේ චකබ්ලාස් වී ගොසින්ය. මම පෙබරවාරි මාසයේ මගේ යාලුවෙක්ට දුරකථන ඇමතුමක් දුන්නෙමි. යාලුවෙක් කීවාට යාලුවාව කවදාවත් දැක නොමැති සේම කතා කර තිබුණේද නැත. ඉතින් බොහොම අමාරුවෙන් අංකයද ලබාගෙන කතා කළේ කිසිම වැඩකට නොව කතා කරන්නට තිබු ආසාවටය. අපි විනාඩියක් වත් කතා කරන්නට ලැබුණේ නැත. යාළුවාට හදිස්සියක් ඇතිවිය.

"මචං, මම උඹට තව ටිකකින් ගන්නම්!" ය කිවූ ඔහු ඇමතුම විසන්දි කළේය.

මේ වනවිට මැයි මාසයත් ඉවර වෙන්නට ළඟ වුනත් තව ටිකකින් දෙන ඇමතුම තවම ලැබුණේ නැත. ඉතින් මනුස්සයන්ට තිබුණු හදිස්සිය ඔය වගේය. ඉස්පාසුවක් නැතිකම තරඟයට දිවීම වැනි දේවල් කිසිම වැඩකට නැති පුහු ඒවා බවට අප සියළු දෙනාටම පසක් කළේ මේ කොරෝනා වසංගතයයි.

ආයෙම අපේ කතාවට ආවොත් මාදුවා පොඩි කාලේ සිටම ඇම්ඩෙකි. මාදුවාගේ සීයාට ගමේ පොඩි තේ කඩයක් තිබුණි. අපි කොල්ලො කාලේ රස්තියාදු ගැහුවේ ඔන්න ඔය කියන ඇල්බින් මුදලාලිගේ තේ කඩයේය. අපි කඩේ කයියක් ගහගෙන ඉන්නවිට පොඩි මාදුවා පොල් ගෙඩියක් උස්සාගෙන කඩේට එයි.

"සීයෙ, මේ පොල් ගෙඩිය අරං පාන් කාලක් දෙන්න!" යි කියා පාන් අරගෙන යයි.

තව ටිකකින් තවත් පොල් ගෙඩියකි.

"යකෝ, මූට පැය දොළහට පාන් කාල් දොළහක් කන්න එපැයි! "කියන ඇල්බින් මුදලාලි පොල් ගෙඩිය පොල් ගොඩට විසිකරයි.

සීයා නොදන්න මාදුවා පමණක් දන්නා රහස වුණේ පළවෙනි පොල් ගෙඩිය ඇරෙන්නට ඉතුරු පොල් සියල්ලම මූ ගල් කරන්නේ සීයාගේ පොල් ගොඩෙන් බවය. අවුරුදු ගෙවී ගොස් දෙමව්පියන් විසින් චූටි මාදුවාව ගමේ ඉස්කෝලේ හෝඩියේ පන්තියට ඇතුළත් කරන ලදී. දවසක් උදේ ඉස්කෝලෙ යන්නට සුදානම් වෙන චූටි මාදුවාට උගේ තාත්තා වන සුමනදාස මහත්තයා වැදගත් උපදේශයක් දුන්නේය.

"කොල්ලො, උඹ එහෙම දවල්ට ඔය මිනී කනත්ත පැත්තෙ යන්න එපා!" ගමේ මිනී පිට්ටනියද තිබුණේ ඉස්කෝලෙට පේන දුරින්ය.

"ඒ මොකද? චූටි මාදුවා ඇසුවේය.

"ඒ මොකද කියන්නෙ? කනත්තෙ හොල්මන් තියෙනවා. උඹ ඕවා දන්නෙ නෑනෙ. ඒකයි කිව්වෙ. වැරදිලාවත් ඒ පැත්තෙ යන්න එහෙම එපා!" සුමනදාස මහත්තයා කීවේ ඇස් දෙකත් ලොකු කරගෙනය.

එදා ඉස්කෝලෙ ගිය මාදුවා ඉස්කෝලෙ ඇරුන ගමන් කනත්තට ගියේ තාත්තා කියූ හොල්මන් බලන්නටය. පැය කාලක් විතර සොහොන් ගලක් උඩ ඉඳගෙන බලා හිටියත් දඩාවතේ යන බල්ලෙක් දෙන්නෙක් ඇරෙන්නට හිටපු හොල්මනක් නැත. දැන් මාදුවාට කේන්තිය. ඊටත් වඩා බඩගිනිය. පරණ මිනී වලක් උඩ තිබුණු මල් ගැලවී ඇටසැකිලි වී ගිය මල් වඩමක් ද ගත් මාදුවා තරහෙන්ම ගෙදර ගියේය. පාරෙන් හැරී ගෙට ළඟාවන විටම ඉස්සරහට එන්නේ තාත්තාය. මාදුවාට මල පැන්නේය.

"කෝ යකෝ කියපු හොල්මන්? මම කනත්තෙ කොච්චර වෙලා බලං හිටියද? තෝ නං කොකෙක්ම තමයි."මල හොඳ එකෙන්ම පැන තිබු මාදුවා තාත්තාට ගෝලු ගත්තේය. (සුමනදාස මහත්තයාට ගමේ අය පටබැඳ තිබු හුරතල් නම කොකාය)

"අපූරු කම්බි ටික බොළ, මේක හොඳයි මගෙ බුලත් වැල්වල පන්දලම බඳින්න." කියූ සුමනදාස මහත්තයා රැඹිටිවී තිබුණ මල් වඩමද උස්සාගෙන වත්ත පහළට ගියේය.

මාදුවාගේ තාත්තා ගැන මතක් කරපු වෙලාවේ ඔහු ගැන තව කතාවක්ද මගේ මතකයට එයි. මේ සිද්දිය සිද්ද වී තිබුණේ අපි ඉපදෙන්නටත් පෙර කාලයකය. මට කතාව කිව්වේද එකල වැඩිහිටියෙකි. කතාව මෙහෙමය. මාදුවාගේ තාත්තලා ගමේ වතු පිටි කුඹුරු ඉඩකඩම් බොහොමයක් තිබුණු ගමේ යමක් කමක් ඇති පවුලකි. රස්සාවක් නොකළාට සුමනදාස මහත්තයා හොඳට ඉගෙනගත් කෙනෙකි. ඉංග්‍රීසි උගතෙකි. ගමේ කලිසම් ඇඳපු දෙතුන් දෙනාගෙන් එක්කෙනෙකි. ඒ කාලයේ කලිසමක් ඇන්දේ ඉංග්‍රීසි උගතෙකි. ඉතින් ඔහොම යද්දී ගම්සභා ඡන්දයද ළඟ ළඟ එන ලකුණු පහළවිය. ගමේ වැඩිහිටියන් සියළු දෙනාම තීරණය කළේ දැන උගත් පුද්ගලයෙක් වූ සුමනදාස මහත්තයා ගමෙන් ඡන්දෙට ඉදිරිපත් කරන්නටය. පුරප්පාඩුව තිබුණේ අත ලකුණෙනි. අලියා ලකුණෙන් ගමේ එහා කෑල්ලේ කෙනෙක් දැනටම තරඟයට ඉදිරිපත්වී සිටියේය. පොඩි අවුලකට තිබුණේ සුමනදාස මහත්තයා මෙන්ම පවුලේ සියලු දෙනාම කැපුවත් කොළ ජාතියේ යු.ඇන්. පී කාරයින් වීමය. ගමේ ඔක්කොම පාහේ අතට ඡන්දය දෙන නිසා ඒ පොඩි අඩුපාඩුව ගණන් නොගෙන අපක්ෂකයා වශයෙන් සුමනදාස මහත්තයා ඉදිරිපත් කළේ ගමේ සියළු දෙනාගේ ආශීර්වාදයද ඇතුවය.

ගමේ අපේක්ෂකයා වූ සුමනදාස මහත්තයා වෙනුවෙන් ගමේ වැඩිහිටියන් බොහොම මහන්සියෙන් ගෙයක් ගෙයක් පාසා කැන්වසින් ගොස් ඡන්ද ව්‍යාපාරයද ජයටම කළෝය. ඡන්දය දවසේ හවස ඡන්ද මධ්‍යස්ථානයේම ප්‍රතිපල ගණන් කොට කියන විට ඡන්ද හතරකින්ද කොහෙද සුමනදාස මහත්තයා පරාදය. සුමනදාස මහත්තයා වෙනුවෙන් දාඩිය මහන්සියෙන් වැඩ කළ වැඩිහිටියන්ට ඒ ප්‍රතිපලය අදහන්නටත් අමාරු වුනත් දැන් කරන්නට දෙයක් නැත. කට්ටියම ගමට ගොස් ඇල්බින් මුදලාලිගේ කඩයේ එකතුවී ඡන්දය පිළිබඳ පශ්චාත් පරීක්ෂණය පවත්වන්නට වූහ.

"ෂික් අම්මප, මම නං හිතුවෙ නෑ පරදියි කියල, ඡන්ද හතරෙන් නෙ ගහල ගියෙ." එක වැඩිහිටියෙක් කීවේය.

"මොනව කරන්නද ඉතිං, වෙච්ච දේ උනා." සුමනදාස මහත්තයා පුටුවක වාඩිවී කම්මුලටත් අත තියාගෙන බලා සිටී.

තර්ක විතර්ක සියළු දේ අවසානයේ සුමනදාස මහත්තයා හෙමිහිට කටහඬ අවදි කළේය.

"කිව්වහම මොකද මමත් කතිරෙ ගැහුවෙ අලියට තමයි."

සුමනදාස මහත්තයගේ කතාව පිස්සන් කොටුවට බෝම්බ දැම්මාක් මෙන් විය.

"තොගෙ මෝ ගන්ඩ, මොකක්ද බූරුවෝ ඒ කරපු අලුගුත්තේරු වැඩේ?

"අනේ ඉතිං මට අතට කතිරෙ ගහන්න හිත හදාගන්න බැරිවුනානෙ. මං මොනව කරන්නද?"

"තොට මම කියන්නෙ නෑ වල් පරය, අපරාදෙ අපි මේකව දිනවන්න මහන්සි උනේ."

"තමන්ටම විරුද්ධව ඡන්දෙ දාගන්නව අම්ම මුත්ත කාලෙකවත් අහල තියෙනවද? ඉතිං මූට මොනව කළත් හිත් වදීද?"

ආදී වශයෙන් පිරිස ඇල්බින් මුදලාලි ඉදිරිපිටම සුමනදාස මහත්තයගෙත් මව් දෙමව්පියන්ගෙත් පතුරු අරිද්දී ඇල්බින් මුදලාලි කතා කළේය.

"අනේ ඕකට බනින්න එපල්ලා බං, ඕකා ගොනා."

"මාමෙ මේ, උඹත් හොඳවයින් දෙකක් අහගන්නෙ නැතුව ඉන්නවද? ගොනා, අරං ගිහිං උඹේ කරත්තෙ බැඳගන්න එකයි තියෙන්නෙ."

හොයා බලද්දී සුමනදාස මහත්තයා ඇතුළු ගෙදර ඡන්ද පහ හයම වැටී තියෙන්නේ අලියාටය. පිරිස සුමනදාස මහත්තයගේ මැරිච්ච අම්මා ඇතුළු සනුහරේටම පිං අනුමෝදන් කරමින් යන්නට ගියහ.

පහුගිය ජනාධිපති ඡන්දය වෙලේ පොහොට්ටුවේ කට්ටියක් එක්ක මාදුවාද අපේ ගේ ඉදිරිපිටින් ඇති පාරේ කැන්වසින් යනවා දුටුවෙමි. මම එවෙලේ හිටියේ මිදුලේය. මම මිදුලේ ඉන්නවා දැක මාදුවා ටිකකට නැවතුනේ මගෙත් එක්ක කතා කරන්නටය.

"මොකෝ බං, අනික් පැත්ත ගහල කවදාවත් නැතුව?"

"මම මේ ගොල්ලොත් එක්ක කැන්වසින් යනවා. කන්න දෙනවා, බොන්නත් දෙනවනෙ. මාත් ජොලියෙ යනවා. නැතුව මම නං ඔවුන්ට ඡන්දෙ දෙයි."

"උඹත් තාත්තගෙම පුතා තමයි." මම කිව්වෙමි.

"යන්නං." කියා මාදුවා අඩිය ඉක්මන් කර ගියේ පිරිසට එකතු වෙන්නටය.

මට දිගටම කුඹුරට යන්න බැරි උනත් මාදුවා කුඹුරේ වැඩ දිගටම කරගෙන ගියේය. ට්‍රැක්ටරයක් දමා හාගන්න කියා මම කිව්වත් ඌ කීවේ වැස්ස ගමන් කුඹුර කොටවන බවය. පළතුරු ළඟ තියෙනතුරු වැඩ කරන්න ඉන්න කට්ටියගේ අඩුවක් නැත. සෑහෙන මුදලක් යටකර තිබුණ නිසා මාදුවාට ආපහු හැරෙන්න බැරි බව මම දැන සිටියෙමි. ඊටත් වඩා වගාව ගැන මාදුවාගේ හිතේ උනන්දුවක් ඇතිකිරීම වඩා වැදගත් දෙයයි. කෙසේ හෝ කුඹුර හොඳට මඩ කරගත් මාදුවා කුඹුර වපුරා වී ඉස්සේය. මෑ ඇට පොඟවා ගෙනත් නියරවල් වල හිටෙව්වේය. පහුගිය දවසක අපේ ගෙදර ඇවිත් කුඹුර පෙන්නන්නට මාව එක්කරගෙන ගියේය. වී පැළවී ලස්සනට නිල්ල ගසා ඇත. මෑ ඇට පැළවී ඇත. මෑවැල් යන්නට කෝටු හිටවන්නට එන්නය කියා මම කිව්වත් මාදුවා තවම ආවේ නැත. කුඹුරේ පැළ ගොයමේ පින්තුරයක් පෙන්නන්නට තිබුණා නම් හොඳ වුනත් ගිය වෙලාවේ පින්තුරයක් ගන්නට අමතක විය ෴

හැලපයාhttp://www.blogger.com/profile/14910441607831391629noreply@blogger.com48tag:blogger.com,1999:blog-8432415427742462325.post-16163722735851238232020-01-30T23:29:00.000-08:002020-01-30T23:29:29.405-08:00ත්‍රිකෝණය - 4

ත්‍රිකෝණය -3

අගෝස්තු පාසල් නිවාඩුවේ එක් සති අන්තයක කුලියාපිටියේ දිලිනිලාගේ ගෙදර යන්නට දින නියම විය. ගමන යන්නට සුදානම් වුණේ රංජිත්, අම්මා, තාත්තා හැරෙන්නට රංජිත්ගේ අක්කාත්,ලොකු මස්සිනා හෙවත් අක්කාගේ මහත්තයාත්ය. අක්කලාගේ වාහනයෙන් ගමන යන්නට තීරණය කර තිබුණු අතර ගමන යන පිරිස ඔත්තේ ගණනක් වීම නිසා රංජිත්ගේ අම්මා කෙඳිරි ගාන්නට වුයේ මනමාලියන් බලන්නට යන පිරිස ඉරට්ටේ ගණනක් විය යුතු බව කියමිනි. ඒ නිසාම ගමනට එකතු වෙන්නට කිසිම සුදානමකින් නොසිටි රංජිත්ගේ පොඩි නංගිවත් ගමනට එක්කර ගන්නට අන්තිමේදී තීරණය විය.

නියමිත දින උදෑසන කුලියාපිටියේ දිලිනිලාගේ නිවසට පැමිණි ධර්මසේන ලොකු ඉස්කෝලෙ මහත්තයා ප්රමුඛ මනමාල පාර්ශ්වයේ පිරිස ජයතිස්ස මහත්තයා ප්රමුඛ මනාලියගේ පාර්ශ්වයේ ඇත්තන් විසින් ආදරයෙන් පිළිගන්නට යෙදුණු අතර කල් වෙලා නොඉක්මවා, පිළියෙළ කර තිබු තේ මේසයට කැඳවාගෙන යන ලදී. දහවල් කෑම මේසය සුදානම් වන තුරු ධර්මසේන ලොකු ඉස්කෝලෙ මහත්තයාටත් ජයතිස්ස ඉස්කෝලෙ මහත්තයාටත් කතාකරන්නට පැරණි කතා බොහෝ විය. දිලිනි,නයනිත් එක්ක රංජිත්ගේ නංගිව අඬගහගෙන ගියේ වත්ත පහළින් ගලා ගිය ඔය පෙන්වන්නටයි. රංජිත්ගේ අම්මාටත්, දිලිනිගේ අම්මාටත් කදේ වැටෙන්නට ඉඩදී රංජිත්, මස්සිනා සහ දිලිනිගේ මස්සිනා වූ කමල් සමග වත්තේ ඇවිදිමින් සිටියේය.

"රංජිත් අයිය එනකොට බෝතලයක් හමාරක් වාහනේ දාගෙන ආවෙ නැද්ද?" කමල් විහිළු කරන්නට විය.

"අරක්කු කොහෙ ගන්නද බං? අම්මයි තාත්තයි ඉද්දි, උඹේ ළඟ මොනාහරි තියෙනව නං ෂේප් එකේ ගහල දාමු!" රංජිත් පිළිතුරු දුන්නේය.

"ඒ ගැන නං මොනව හරි කරගන්න පුළුවනි, එත් මේ වැඩෙයි දවසයි එක්ක වැරදිලාවත් ලොකු අයට අපි බිව්ව කියල ආරංචි වුනොත් හරි නෑ, ඒ හින්ද අදට වැඩේ අල්ලල දාමු." කමල් දැනමුත්තෙකු ලෙස කියා සිටියේය.

තේ මේසය අවසන්වී කෑම මේසය සුදානම් වන තුරු තිබෙන පැය කීපය සාමාන්‍යයෙන් ගතවෙන්නේ මනමාලිගේ පැත්තේ ගම් බිම්වල දිග පළල වගේම බල පුළුවන්කාරකම් ද දැනගන්නටයි. ගමේ ගෑණු ටිකක් ඇවිත් කුස්සිය බාර අරගෙන කෑම සුදානම් කරන නිසා දිලිනිගේ අම්මාට ඒ ගැන කරදරයක් තිබුණේ නැත. ඒ නිසා ඇයට රංජිත්ගේ අම්මාත් එක්ක ඕනෑ තරම් කතා කරන්නට කාලය තිබුණි. රංජිත්ගේ අම්මාට තදින්ම උවමනාව තිබුණේ දීග යන දිලිනිට ගෙදරින් ලැබෙන දේවල් ගැන දැනගන්නට වුණත් ඒ ගැන කටක් හොල්ලන්නට එපාය කියා ධර්මසේන ලොකු ඉස්කෝලෙ මහත්තයා මෙන්ම රංජිත්ද කළින්ම ඇයට අවවාද කර සිටි බැවින් දෑවැදි ගැන කතා නොකලත් ලැබෙන්නේ මොනවාදැයි වටින් ගොඩින් හෝ හෙළිකරගන්නට ඇය උත්සාහ දරුවාය.

ඇගේ කුතුහලය වැඩි වෙලාවක් නොතිබුණේ කතා කරමින් ඉන්න ගමන්ම දිලිනිට ගෙදරින් ලැබෙන දේපළ ගැන දිලිනිගේ අම්මා ඇයට කිවූ නිසාය.

"ඉන්න ගේයි වත්තයි පොඩි දුවගෙ නමට ලියන්න හිතාගෙන ඉන්නෙ, කොහොමත් වයස යද්දී අපිව බලාගන්න ඉන්නෙ ඒ ළමයිනෙ. ලොකු දුවට කුඹුරු අක්කර දෙකකුයි පරගස්වැව පොල් ඉඩමයි ලියනවා. ඔය තියෙන හැම දෙයක්ම ඔය දෙන්නටනේ!" දිලිනිගේ අම්මා කීවාය. දිලිනි සතුව ඇති කණ කර ආභරණ වලට අමතරව ඇයට ගෙදරකට අවශ්‍ය සියළුම දේවල්ද ලැබෙන බව දිලිනිගේ අම්මා කීවේ රංජිත්ගේ මවගේ සිත සතුටින් පුරවාලමිනි. කුලියාපිටියේ කටයුත්ත බොහොම හොඳ බව ධර්මසේන ලොකු ඉස්කෝලෙ මහත්තයාගේ මෙන්ම ගෙදර අනික් අයගෙත් ඒකමතික තීරණය විය. ඔවුන් කුලියාපිටියේ සිට ආපසු ගෙදර ආවේ බොහෝ සතුටිනි.

නිවාඩුවේ ඉතිරි දවස් කීපයද ගෙදර ගතකළ රංජිත් පාසල් ආරම්භයට දිනකට පෙර ආපසු ගල්ගමුවට ගියේය. සුපුරුදු ගුරු නිවාසයට ආපසු පැමිණි රංජිත් බලන්නට බිසෝ එදා හවස ආවේ රෑ කෑමත් රැගෙනය. කලකට පසු ආ රංජිත්ට කියන්නට බොහෝ දේවල් බිසෝ ලඟ තිබුණත් කලකින් නොලද බිසෝ ගේ රස පහසට ලොබ බැඳී රංජිත් බිසෝ තරයේ වැළඳගෙන ඇඳට රැගෙන ගියේ බිසෝට කතාකරන්නටවත් ඉඩ නොතබමිනි.

"තව කී කාලෙකටද?" බිසෝ කීවේ රංජිත්ගේ මුව සිය මුහුණින් ඉවත් කරමිනි.

"ඇයි?"

"ඇයි කියන්නෙ? නිවාඩු කාලෙ ඔක්කොම කටයුතු කතා බහ කරගත්තලු නේද?"

"ආ, ඔව් ඔව් අම්මල තාත්තල කිව්වෙ මේවා කල් දදා ඉඳල බැහැයි කියලා, නැතුව මම හදිස්සි කළේ නෑ!"

"කොච්චර ලෝබ හිතුණත් මහත්තයව මට අයිතිකර ගන්න බෑ කියල මම දන්නවා, ඒත් මහත්තය වෙන කෙනෙකුට අයිති වෙනවා බලාගෙන ඉන්නත් මට බෑ!"

"ඕව ඔහොම තමයි බිසෝ, අපි කොච්චර කැමති වුනත් ආදරය කරන දේවල් අත් අරින්න වෙලාවකුත් එනවා, ඒකට සතුටින් මුහුණ දෙන්න හිත හදාගන්න වෙනවා."

"ජීවිතේ පළවෙනි වතාවට මම මහත්තයටයි ආදරේ කළේ!"

"එතකොට විල්සන්?"

"විල්සන්ට ආදරේ කරන්න මට වෙලාවක් තිබුනෙ නැහැ, අම්මල තාත්තල කියපු නිසා එයත් එක්ක ගියා මිසක. එදා ඉඳන් ජීවිතේ ගැට ගහගන්න දැඟලුවා මිසක ආදරේ වගේ සොඳුරු දේවලට හිතේ වෙලාවක් තිබ්බෙ නැහැ. එත් මගෙ මිනිහ හැටියට විල්සන්ට මම ආදරෙයි. මහත්තයටත් ඒ වගේම ආදරෙයි!"

"එක සැරේ දෙන්නෙක්ට එක වගේ ආදරේ කරන්න පුළුවනිද බිසෝ?"

"ඇයි බැරි? ඒත් ඒ දෙවිදියක ආදරයක්!"

"ම්ම්, බිසෝ කියන එකෙත් හිතන්න දෙයක් තියෙනවා!"

"තව ටික දවසකින් මහත්තයව මට නැතිවෙනව කියල හිතෙනකොට දුකකුයි කේන්තියකුයි එනවා, ඌයි හැපුව නේද? මහත්තය නිවාඩුවට ගිහිං ටික දවසක් යනතුරු මගෙ ඇඟේ රතු පැල්ලම් මැකුණේ නෑ. එතකොට මට මහත්තයව මතක් වුණා. හොඳ වෙලාවට එළියට පේන තැන්වල පැල්ලම් නැතිවුණේ."

"මම බැන්දයින් පස්සෙ බිසෝට මගෙ ගැන වෛරයකුත් ඇති වෙයි නේද?"

"කොහොම වේවිද කියන්න බෑ, වැඩි ආදරේ එකක්ම වෛරෙකුත් එනවා මම හිතන්නෙ!"

"අඩු තරමින් වෛරක්කාරයෝ නොවී ඉන්නවත් බලමු!"

"මොකෝ හැති හලන්නෙ?ගෙදර ගිහිං කම්මැලිකමට නිකම්ම හිටිය නේද?"

"ගෙදරදි මොනවා කරන්නද? කුඹුරු කොටන්න කියලයැ?"

"ඔව් ඉතිං තිබ්බ කුඹුරු කෑල්ලත් මෙහෙ කොට!" බිසෝ අතින් කට වසාගෙන සිනාසෙයි.

"බිසෝ හරි හරි දේවල් දන්නව නොවැ!"

"ඇයි බොරුද? මම කිව්වෙ මහත්තයගෙ බදු කුඹුර ගැන!"

"මෙදා යලේ මොනවා කරන්නද මන්දා, වතුරත් නැතුව?"

"අම්මෝ මහත්තය,හොඳටම කරුවල වැටිලා! මම යන්න ඕනෑ, විල්සන් ගෙදර ඇවිත්ද මන්දා?" බිසෝ කීවේ ඇඳුම් ටික ලංකර ගනිමිනි.

"රංජිත් මහත්තය අපේ ගෙවල් පැත්තෙ එන්නෙ එහෙම නැද්දැ"යි ජයතිස්ස ඉස්කෝලෙ මහත්තයා ඇසු විට නිවාඩුවට ගෙදර ගිහිං ආවාට පසු ඒ පැත්තෙවත් ගියේ නැති බව රංජිත්ට මතක්විය.

"එන්නං එන්නං, කොහෙද පහුගිය ටිකේම එක එක වැඩ යෙදුනනෙ!" රංජිත් පිළිතුරු දුන්නේ හැකි ඉක්මනින් ඒ පැත්තේ යන්නට හිතාගෙනය. ඊට පසුවදා දහවල් ඉස්කෝලෙ ඇරී නාගෙන කෑම ගැනීමෙන් පසුව රංජිත් ජයතිස්ස ඉස්කෝලෙ මහත්තයලගේ ගෙදර ගියේ දිලිනිට තෑග්ගක්ද රැගෙනය.

"අම්මෝ, රංජිත් මහත්තයව දැකපු කල්!" පියවතී හාමිනේ රන්ජිත්ව පිළිගත්තේ සිනාසෙමිනි.

"එච්චර කලක් ගියැයි? සුමාන දෙකක් ඇති ඕනනං!කෝ අපේ ඉස්කෝලෙ මහත්තය එහෙම නැද්ද?"

"එයා කඩේට ගිහිං එන්න ගියා, බඩු ගේන්න ගියාට මොකද කඩේ ළඟ ඉන්න අයත් එක්ක කයියක් ගහල එහෙමනෙ එන්නෙ.වෙලාව යනවා එයාට තේරෙන්නෙ නෑ! ඉන්නකො මම දුවට කතා කරන්න!" ඇය ගෙතුළට ගියේ රංජිත්ට බොන්නට යමක් ගෙන එන්නටය.

තවත් මොහොතකින් දිලිනි එළියට ආවේ ලැජ්ජාව මුසු සිනාවක් මුවග රඳවාගෙනය. රංජිත් සහ අම්මා අතර කෙරුණු කතාබහ ඇය ගෙයි සිට අසා සිටියාය.

"මොකෝ දිලිනි මේ මුණත් රතුකරගෙන? කුස්සියෙද හිටියේ?" රංජිත් ඇසුවේ විහිළුවටය.

දිලිනි සිනාසුනා මිසක උත්තරයක් දෙන්නට ගියේ නැත. ඇය රංජිත්ද අඬගහගෙන මිදුලේ මල් ගස යටට ගියාය.

"දැන් ඔයා මොකද කරන්නෙ ප්‍රතිපල එනතුරු?" රංජිත් ඇසුවේය.

"ගෙදර නිකං ඉන්නත් කම්මැලි නිසා ඉංග්‍රීසි ක්ලාස් එකකට යනවා මේ දවස්වල!"

"ඒකෙත් වරදක් නෑ, හැමදාම ක්ලාස්ද?"

"නෑ, සතියට දවස් තුනයි. සර් ඇයි හැමදාම එන්නෙ නැත්තෙ?"

"මොකද මට සර් කියන්නෙ? මේ ඉස්කෝලෙ නෙවෙයිනෙ?"

"නම කියල කතාකරල මට පුරුදු නෑ, ඒ දවස්වල අපි සර්ට හරි බයයි, ඇයි බනිනවනෙ! මටත් කොච්චර බැනල ඇද්ද?"

"එහෙම තමයි, නැතුව කොල්ලො කෙල්ලො ආම්බාන් කරන්න පුළුවනැයි?"

"සර් එන බව කලින් දන්නව නම් රෑට කෑම ලෑස්ති කරන්න තිබුණ කියල අම්ම කිව්වා!"

"අයියෝ, මොකට කරදර වෙනවද?මට කෑම තියෙනවනෙ."

"සර් කෑම කන්නෙ විල්සන් ලගෙ ගෙදරින්ලු නේද?"

"ඔව් මම ආපු දවසෙ ඉඳල කෑවෙ එහෙං."

"කෑම රසට තියෙනවද?"

"වරදක් නෑ, මහ ලොකු ජාති නැතත් කන්න පුළුවන් විදියට තියෙනවා."

"ඉතිං දැන් මොකටද එහෙන් කන්නෙ? අපේ ගෙදර ඇවිත් කෑම කාල යන්න පුළුවන්නෙ?"

"මොකට කරදර වෙනවද? මම ඔය වෙනද විදියටම කන්නං!"

"ඒක නෙවෙයි සර් වැඩක් දන්නවද?"

"ම්හ්හ්."

"අපේ වැඩේ ඉක්මන් කරන්න ඕනයි කියල තාත්ත පෙරේද අම්මට කියනව මම අහගෙන හිටිය!"

"ඉතිං දිලිනි එහෙම කැමතිද?"

"මගෙ කැමැත්ත අකමැත්ත ඒ ගොල්ලන්ට ප්‍රශ්නයක් නෑනෙ, කාරණා කටයුතු ඔක්කොම සම්පූර්ණ නං තවත් කල්දාන්නෙ ඇයි කියලයි තාත්ත කිව්වෙ. ඇත්තනෙ ඉතිං, අද කෙරුණත් හෙට කෙරුණත් එකට ජීවත්වෙන්න යන්නෙ අපි දෙන්නනෙ.මට නම් කවද කෙරුණත් එකයි!"

"ජයතිස්ස මහත්තය මට කියයි එහෙනං,මම කියන්නම්කො මගෙත් විරුද්ධයක් නෑ කියල."

දිලිනිගේ මුව එළිය විය. ඇය රංජිත්ගේ අතින් අල්ලාගෙන ඇඟේ වෙලුනේ ආදරයෙනි. දිලිනිගේ මුදු පහස හමුවේ සිය ගත උණුසුම් වනු රංජිත්ට දැනුණි. යෞවනියෙකුගේ පහස කෙතරම් සිත් ඇදගන්නා සුළු දැයි රංජිත්ට සිතුණි. ඔහු දිලිනිව අල්ලා තුරුළු කරගත්තේය. සතර වටින් අඳුර ගලද්දී දිලිනි වැලක් මෙන් රංජිත්ගේ ගතේ වෙලුනේ ආදරයෙනි. රංජිත් දිලිනිව සිප ගත්තේ ප්‍රථම වතාවටය. ආදරයෙන් මුසපත්වූ දිලිනි රංජිත්ට නොමඳව ප්‍රතිචාර දක්වන්නට වුවාය.

"අපි ගෙට යමු! අම්මලත් බලාගෙන ඇති." දිලිනි සිය කොණ්ඩය අතින් සකසා ගත්තාය.

දෙදෙනා ගේ පැත්තට පිය මැන්නේ දෑත් පටලවාගනිමිනි. ගෙට එන යුවල දෙස පියවතී හාමිනේ බලාසිටියේ දැඩි ආදරයකිනි෴

හැලපයාhttp://www.blogger.com/profile/14910441607831391629noreply@blogger.com35tag:blogger.com,1999:blog-8432415427742462325.post-1937699939666946072019-08-12T20:42:00.002-07:002019-08-12T21:36:13.314-07:00ගින්නෙන් උපන් සීතල, 82 ජනාධිපතිවරණය , 83 ජනමත විචාරණය, දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය, අපේ දේශපාලනයේ නිමාව සහ උපයාගේ අවුල..

Photo Credit: Google Images.

ගින්නෙන් උපන් සීතල...1

අලුත් ජනාධිපතිවරයෙක් තෝරා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ පවත්වන පළමුවන ජනාධිපතිවරණය දැන් ළඟ ලඟමය. ජ.වි.පෙ ක්‍රියාකාරිකයින් මීමැස්සන් සේ කාර්ය බහුලවී සිටිති. රැස්වීම් හැම තැනම පැවැත්වේ. මහා ජනතා රැළිද කුඩා රැස්වීම් හෙවත් පොකට් මීටින් ද හන්දියක් ගානේ පැවැත්වෙයි. සුනිල් සහෝදරයා මේ හැම තැනටම දුව පනිමින් සංවිධාන කටයුතුවලට උරදෙයි. ලොකු රැස්වීම් අමතන්නේ ජ.වි.පෙ නායක විජේවීර, උප නායක උපතිස්ස ගමනායක, ලයනල් බෝපගේ, මහින්ද පතිරණ, වාස් තිලකරත්න ඇතුළු පක්ෂයේ පළමු පෙළ නායකයින් වන අතර කුඩා පොකට් මීටින් වල බොහෝවිට ප්‍රධාන කථිකයා වන්නේ වාස් තිලකරත්න හෝ මහින්ද පතිරණය. ඔවුන්ට අමතරව ශාන්ත බණ්ඩාර, ගුණරත්න වනසිංහ ඇතුළු දෙවෙනි පෙළ නායකයින් පොකට් මීටින්වල කතාකරති. පසුකලෙක ජනතා විමුක්ති පෙරමුණේ නායකයා බවට පත්වූ සෝමවංශ අමරසිංහ හෙවත් සිරි අයියා ලොකු හෝ කුඩා රැස්වීම් කිසිවක කතා කරනවා මා දැක නැත. බලන්නට ළඟ පාතක ඇති රැස්වීම් සියල්ලම නැරඹීම අපි පුරුද්දක් ලෙස කරගෙන ගියෙමු. ගම්පහ දිස්ත්‍රික්කයේ හොඳම රැස්වීම් නරඹන්නන් සිටින්නේ වත්තල ආසනයේ බව ඔවුන් කළ සමීක්ෂණයකින් හෙළිවූ බව දවසක් සුනිල් සහෝදරයා අපට කීවේ සිනාසෙමිනි. ශාන්ත බණ්ඩාර රැස්වීම් වල කතාකරනවා කොතෙකුත් දැක ඇති නමුත් මට ඔහුව මුහුණට මුණ ගැසී නොතිබුණි. දවසක් බටුවත්තේ තිබුණු කුඩා රැස්වීමක් බලන්නට දුම්රියේ එද්දී අප සිටි මැදිරියේම ශාන්ත බණ්ඩාරද සිටියේය. ඔහුත් බටුවත්තේ රැස්වීමේ කතාකරන්නට යමින් සිටියේය. පැහැපත් මිටි තරබාරු සිරුරක් හිමි ශාන්ත බණ්ඩාර සමග මම එදා දුම්රියේදී කතා කළෙමි.

දවසක් සුනිල් සහෝදරයා අපට කීවේ ගම්පහ දිස්ත්‍රික්කයේ ආසන බල මණ්ඩලය පිහිටුවීම වත්තල පුරහලේදී විජේවීර සහෝදරයාගේ ප්‍රධානත්වයෙන් ළඟදීම සිදු කරන බවත් එය සංවිධානය කිරීම වත්තල දිස්ත්‍රික්කයේ ක්‍රියාකාරීන්ට පැවරී ඇති බැවින් ජනාධිපතිවරණයටද සහයෝගයක් ලෙස එය ඉහළින් පැවැත්වීමට පක්ෂය තීරණය කර ඇති නිසා වෙනත් සියළු වැඩ කටයුතු පසෙක ලා මෙතැන් සිට ඒ සඳහා කටයුතු කළ යුතු බවය. වියදම් සඳහා මුදල් පක්ෂයෙන් නොලැබෙන බැවින් මුදල් සොයාගැනීමට කැට ව්‍යාපාරයක් සංවිධානය කිරීමට තීරණය කර ඇති බවද ඔහු කීවේය. කැට ව්‍යාපාරය ඊළඟ සෙනසුරාදාට පැවැත්වෙන නිසා ආසනයේ සියලුම සාමාජිකයින් සහ හිතවතුන් එයට සම්බන්ධ කරවිය යුතු බවටද ඔහු නියම කළේය. දෙනෝදාහක් සෙනග යනෙන මහ පාරේ හිඟන්නන් සේ කැට හෙල්ලීම කෙසේ කළ හැකිදැයි අපිට ප්‍රශ්නයක් විය. දන්නා හඳුනන අයද, රෝහලේ වැඩ කරන අයද අනන්තවත් ඔය කොළඹ මීගමු පාරේ යන එන බැවින් අපි කැට හොල්ලමින් සිටිනවා ඔවුන්ට සිනාවට කාරණයක් විය හැකිය. අපේ ප්රශ්නය ගැන අපටද පෙර සුනිල් සහෝදරයා සිතා ඇත. ඔහු අපිට කීවේ රෝහල ළඟ පාතක නොව දුරින් ඇති හැඳල හන්දිය හරියේ කැට සොලවන ලෙසටයි. අපි නියමිත දිනයේ උදේම හැඳල හන්දියට ගියේ සුනිල් සහෝදරයාත් සමගය. අපි කණ්ඩායම මුළින්ම හෝටලයකට ගොස් උදේට කෑවෙමු. පූර්ණකාලිකයන් වූ සුනිල් සහෝදරයලා ළඟ මුදල් නැති නිසා සියළු දෙනාගේම බිල අපි මුදල් එකතුකර ගෙව්වෙමු. ඊට පසු සුනිල් සහෝදරයා අප එකිනෙකා කැට සෙලවිය යුතු පාරවල් පෙන්නා යන්නට ගියේය. කැට ව්‍යාපාරය අප සිතූ තරමට අපහසු කාරියක් නොවූ අතර කැටවලට අප බලාපොරොත්තු වූවාටත් වඩා වැඩියෙන් මුදල් වැටෙන්නට විය. කෑ ගසමින් කවි කීවොත් මුදල් වැටෙනවා වැඩිය. එකතු කිරීමට නියමිත මුදලක් නොවූ අතර එකිනෙකා පරයා වැඩිපුර මුදල් එකතු කරගන්නට උත්සාහයක්ද නොවීය. කෙසේ හෝ එදා හවස කැට ව්‍යාපාරය නතර කරනවිට සියලුම දෙනාගේ කැට පිරී තිබුණු බව මට මතකය.

පසුවදා සුනිල් සහෝදරයා මහත් සතුටින් සිටියේ කැට ව්‍යාපාරයෙන් බලාපොරොත්තු වූවාටත් වඩා මුදලක් ලැබී ඇති බැවින් කිසිම අපහසුවකින් තොරව ආසන බල මණ්ඩලය පිහිටුවීමේ වැඩට වියදම් කළ හැකි නිසාය. හඳුනන අය මුණ ගැසෙතිය කියා බයෙන් සිටියත් එසේ නොවූ නිසා අපිත් සිටියේ සතුටිනි. ඊට පසු සතියේ ඉරිදාවක ජ.වි.පෙ ගම්පහ දිස්ත්‍රික්කයේ ආසන බල මණ්ඩලය පැවැත්වුණේ වත්තල පුරහලේදීය. එදා අපට එම රැස්වීම සාර්ථක කරගැනීමට බොහෝ වැඩ කටයුතු පැවරී තිබු හෙයින් කණ්ඩායමම බෙහෙවින් කාර්ය බහුලවී සිටියෙමු. මුලික වැඩ කටයුතු අවසන් වූ පසුව අපිත් නගර ශාලාව ඇතුළට ගොස් රැස්වීම බලන්නට වූයෙමු. යෝජනා කිරීම්, ස්ථිර කිරීම් ආදී කටයුතු කෙරුණේ කලින් සාදාගත් න්‍යාය පත්රයකට අනුව බව මට පෙනීගිය කරුණක් විය. නමක් යෝජනා වූ පසු එය ස්ථිර කළා මිසක වෙනත් යෝජනාවන් කිසිවක් නොවීය. මම සිතුවේම මෙය කලින් පුහුණු කළ නාට්‍යයක් වේදිකාවේ රඟ දක්වනවා මිස කිසිම ස්වභාවික ගතියක් නොවූ රැස්වීමක් බවමය. සාමාන්‍යයෙන් කොමියුනිස්ට් වරුන්ගේ රැස්වීම් කලින් යොදාගත් පිටපතකට අනුව කිසිම විරෝධයක් නොමැතිව ගල් රෝලකින් තලන්නාසේ කරගෙන යන බව මම පසුව දැනගතිමි.

නිලධාරී මණ්ඩලය පත්වීමෙන් පසු ඉදිරිපෙළ නායකයන්ගේ කතා දෙකකින් අනතුරුව නායක විජේවීර සමුළුව ඇමතීම සඳහා නැගී සිටියේය. නගර ශාලාව පිරී උතුරන්නට සිටි සාමාජිකයින් සියල්ල මීයට පිම්බාක් මෙන් නිහඬව ඔහුගේ කතාව අසමින් සිටිනතුර ශාලාවේ පසුපසට විජේවීරගේ කතාව පැහැදිලිව නොඇසෙන සුළු තත්ත්වයක් හටගත්තේ ශබ්ද විකාශන පද්ධතියේ අඩුපාඩුවක් නිසා විය හැකිය. අපහසුවට පත් පක්ෂ සාමාජිකයින් අතර සිටි එක තරුණයෙක් නැගී සිටියේය.

"ඇහෙන්නෙ නෑ සහෝදරයා!" ඔහු ශබ්ද නගා කීවේය.

"වාඩිවෙන්න!" විජේවීර ගුගුළේය. "ඔහොම කෑගහනකොට ඇහෙන ටික ඇහෙන්නෙත් නෑ!" භීතියට සහ අපහසුතාවට පත් ඒ තරුණයා සැණෙකින් නොපෙනී ගියාසේ විය.

සමුළුව අවසානයේ පැමිණ සිටි පක්ෂයේ නායකයින්ට තේ පැන් සංග්‍රහයක් විය. එය සුදානම් කර තිබුණේ සුනිල් සහෝදරයාගේ ප්‍රධානත්වයෙන් බැවින් අපි කණ්ඩායම එම සංග්‍රහය භාරව සිටියෙමු. සමුළුව සාර්ථකව අවසන් වීම සහ පැමිණ සිටි විශාල පිරිස ගැන තෘප්තියෙන් සිටි විජේවීර තේ බොන්නට ආවේ සිනහසෙමින් සැහැල්ලු සිතකිනි. ඔහු ළඟ සිටි අය සමග සුහද කතාබහක යෙදෙමින් සංග්‍රහය භුක්ති වින්දේය. සංග්‍රහයේ මුලිකත්වය ගෙන කටයුතු කළ සුනිල් සහෝදරයා දෙස ඔහු පරීක්ෂාවෙන් බලා සිට විස්තර ඇසුවේ ශාන්ත බණ්ඩාරගෙනි. ශාන්ත බණ්ඩාර සුනිල් සහෝදරයාවද ඔහුට සහාය වූ අපවද වුජෙවීර ලඟට කැඳවා හඳුන්වා දුන්නේය. සුනිල් සහෝදරයා බොහෝ ගරුසරු ඇතිව විජේවීර ට කීවේ අප සියල්ලම රැකියා කරන අය බවත් මෑතකදී සිට පක්ෂයට සම්බන්ධව වැඩ කරන බවත්ය. ඉන්පසුව විජේවීර අප එකිනෙකා ගෙන් කරන රැකියා ඇතුළු විස්තර අසා සිටියේය.

"ඔය අයට පක්ෂෙ වෘත්තීය සමිති මට්ටමෙන් සම්බන්ධ වෙලා ගොඩක් වැඩ කරන්න ඇහැකි නේද?" කියමින් ඔහු සමුගෙන ගියේය. ඒ මා විජේවීර සමග කතාකල පළමු සහ අවසාන අවස්ථාවයි. ඊළඟ අවුරුද්දේ විජේවීරට යටිබිම්ගත වීමට සිදුවූ හෙයින් ඊට පසු විජේවීරව කාහටත් දැකගැනීමට හැකිවුයේ නැත. එසේ යටිබිම්ගතවූ ඔහු 1989 දී ඝාතනය කෙරෙන තෙක් එළි පහළියට පැමිණියේ නැත.

අඩි විස්ස පාරේ ජේ.වී.පී කාරයින්ද ජනාධිපතිවරණ පොකට් මීටිමක් තිබ්බේ මඟුල් පොකුණ හන්දියේය. එයට නම් කැපවී වැඩ කරන්නට අපටද සිදුවිය. වාස් තිලකරත්නගේ ප්‍රධානත්වයෙන් පැවති ඒ රැස්වීම සාර්ථක අන්දමින් පවත්වාගැනීමට හැකිවීම කාගේත් සතුටට හේතුවක් විය. දයාසිරිගේ තාත්තා එදා රැස්වීමේදී වාස් තිලකරත්නට බුලත් හුරුල්ලක් දී පිළිගෙන ජේ. වී. පියට එකතුවීම ගමේ අයගේ විමතියට හේතුවක් වුණේ ඔහු කැපුවත් කොළ වර්ගයේ දරුණු යු. ඇන්. පී කාරයෙක් වීම නිසාය. එදා රැස්වීම අවසානයේ රැස්වීම අමතන්නට පැමිණි නායකයන්ට රාත්‍රී ආහාරය ඒ ළඟ හිතවතෙකුගේ ගෙදරක සුදානම් කර තිබු අතර නායකයන් කෑම කෑමෙන් අනතුරුව පිටත්ව යන තෙක් අප බලාසිටියේ යමක් සප්පායම් වී කෑම ගැනීමට වුවත් ඔවුන් තනිවම කෑම කන්නට කැමතිවුනේ නැත. "නෑ නෑ ඔය සහෝදරවරුත් එන්න, කට්ටියම එකට කෑම කමු!" යි කියා වාස් තිලකරත්න කියා සිටි හෙයින් යමක් බීමට සිටි අපේ බලාපොරොත්තුව එදා බිඳ වැටුණි.

පක්ෂයේ අවසන් මහා රැස්වීම හැඳල හන්දියේ පැවැත්වුණේ පක්ෂ නායක විජේවීරගේ ප්‍රධානත්වයෙනි. සුපුරුදු ලෙස ඒ රැස්වීම බලන්නට අපිත් සහභාගී වූ අතර රැස්වීමට පෙර මුළු වත්තල ප්‍රදේශයම සෝදා ගෙන ධාරාණිපාත මහ වර්ෂාවක් කඩා හැලුණි. විජේවීර එන විට වැස්ස පායා තිබුණි. "මෙදා සැරේ රට හෝදලම අපට භාරදෙන්නයි හදන්නෙ!" කියා විජේවීර සිය කතාවේදී කීවේය.

ඊට දින දෙකකට පසු පැවැත්වූ ශ්‍රී ලංකාවේ පළමු ජනාධිපතිවරණය ජේ. ආර්. ජයවර්ධන මහතා ජයගත්තේ විජේවීර ඇතුළු හතර දෙනකුගේ ඇප ද රාජසන්තක කරමිනි. විජේවීර ඡන්ද දෙලක්ෂ හැත්තෑ තුන්දහස් ගණනක් ලබාගත්තේ අපේක්ෂකයන් අතර තුන්වෙනි තැන ලබාගනිමිනි.

ජනාධිපතිවරණය පහසුවෙන් ජයගැනීමත් සමග සතුටින් උදම්වූ ජේ. ආර් මහ මැතිවරණයක් නොපවත්වා පාර්ලිමේන්තු බලය තවත් අවුරුදු හයකට ලබාගැනීමට ජනමත විචාරණයක් පැවැත්වුයේ 1982 දෙසැම්බර් මාසයේදීය. එය ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවැත්වුණු එකම ජනමත විචාරණය වූ අතර යු. ඇන් පියට අවශ්‍ය වුණේ කෙසේ හෝ ජනමත විචාරණය ජය ගැනීමටය. ඒ අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා පැවති මැතිවරණ වලින් අන්ත දූෂිත, වංචාව සහ සහ බලහත්කාරයෙන් පිරුණු ජනමත විචාරණයෙන් යු. ඇන් පිය ජයගත්තේය. ජනමත විචාරණයේදී යු. ඇන් පියට විරුද්ධව වැඩ කලේ ජ.වි.පෙ පමණකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු අනෙකුත් පක්ෂ දියාරු පිළිවෙතක් අනුගමනය කරමින් තැන තැන කතා කළා මිසක යු. ඇන් පියට විරුද්ධව කිසිම ක්‍රියාකාරී වැඩ පිළිවෙලක් ගෙනගියේ නැත. ජේ.ආර් ඒ වනවිටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෑලි ගලවා දෙතුන් කඩකට බිඳ දමා තිබු හෙයින් ඔවුන්ට ඒ සඳහා ශක්තියක් ද නොවීය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජ්‍ය නායකයා වූ මෛත්‍රීපාල සේනානායක මහතාද යු. ඇන් පී වේදිකාවේ පළමු වරට කතාකලේ මෙම ජනමත විචාරණයේදීය.

ජනමත විචාරණය කෙතරම් දූෂිත එකක් දැයි මැතිවරණ කොමසාරිස් චන්දානන්ද ද සිල්වා මහතා සිය නිල වාර්තාව මගින් හෙළිදරව් කර තිබුණි. කෙසේ වුවද මෙම ජනමත විචාරණයේ සිදුවූ දුෂණ ගැන සිය පක්ෂ ක්‍රියාකාරීන්ගෙන් වාර්තා ලබාගත් විජේවීර මැතිවරණ කොමසාරිස් වරයාට විරුද්ධව අභියාචනාධිකරණයේ නඩු පැවරූ අතර කරුණු සලකා බැලු උසාවිය විසින් නඩුව විභාග කිරීමට තීරණය කර නඩුව කල් තබන ලදී. තීන්දුව කුමක් වුවත් කරපු කියපු වැඩ ටික උසාවියේ හෙළිවන නිසා නුදුරේදීම ජේ. ආර් රෙදි ගලවාගැනීමට නියමිත විය. අසූ තුනේ කළු ජුලිය ආවේ නඩුව පොරොත්තු ලේඛනයේ තිබියදීය. ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගත් ජේ.ආර් කළු ජූලියට ජ. වි. පෙ සම්බන්ධ බව බුද්ධි අංශ වාර්තා කළ බව කියමින් ජනතා විමුක්ති පෙරමුණ තහනම් කළේය. එදා සිට විජේවීර ඇතුළු නායකයින් ආගිය අතක් නැතිවූ අතර නඩු කියන්නට පැමිණිලිකරුවන් නැතිවීම හේතුවෙන් නඩුවද කැලේ ගියේය. ජේ.ආර් ගේ එම තීරණය මෙරට මෙරට තරුණ තරුණියන් හැට දහසකගේ පමණ ජීවිත බිලිගත් එකක් බව අමුතුවෙන් කිව යුතු නැත.

යටිබිම්ගතවූ ජනතා විමුක්ති පෙරමුණ නැවත මතුවුයේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය යනුවෙන් අලුත් නමකිනි. ඉන්පසුව උදාවුයේ ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවති අඳුරුතම යුගයයි. මතක් කරන්නට පවා අප්‍රසන්න එම කාලයේ නොසිදුවිය යුතු බොහෝදේ සිදුවූ බව පමණක් ලියා තබමි. කටින් කතාකරන ප්රජාතන්ත්රවාදී දේශපාලනය පමණක් ගරුකළ අපි බෝම්බයෙන් තුවක්කුවෙන් කතාකළ මිනීමරු දේශපාලනය පිළිකෙව් කළ බැවින් මුලදීම ජ.වි.ප යෙන් ඈත්වී අපේ වැඩක් බලාගෙන සිටියෙමු. ඔවුන්ගේ වැඩවලට සම්බන්ධ වන ලෙස ක්රියාකාරිකයන්ගෙන් කොතෙකුත් ඉල්ලීම් ආවත් අප නෑසු කන්ව සිටියේ ඔවුන් කළ කී දෑ පිළිකුල් සහගත බැවිනි.

දේශපාලනයෙන් ඈත්වීම අපි එකිනෙකාට විවිධාකාරයට බලපෑවේය. අලුත් වෙනස ස්වප්නා පිළිගත්තේ සාදරයෙනි. මෙතෙක් කල් එක එක දේශපාලන වැඩට කාර්යබහුලවී සිටි මා එයින් මිදී ඇය ගැන වැඩි සැලකිල්ලක් දක්වන්නට කාලය ලැබීම ඇය ප්රහර්ෂයට පත්කළ කරුණක් විය. දයාසිරි තම විවාහ මංගල්‍යය ඉහලින්ම පවත්වන්නට කටයුතු කළ අතර ඔහුගේ යහළුවන් වූ අපටද බොහෝ වැඩ රාජකාරි විය. බිරිඳ විදේශගතවීම නිසා පාළුවෙන් සිටි උපසිංහ සමරනායක ස්කීම් එකේ කෙල්ලෙක් ගැන උනන්දු වෙන්නට වුයේ පාළුව මකා ගැනීම සඳහාය. ඒ දවස්වල උපයාගේ ගෙදර නැවතී වත්තල පුද්ගලික ආයතනයක වැඩට යමින් සිටි උපයාගේ මල්ලී කොටුවක් පනින්නට පටන් ගත්තේ මේ අතරය. ක්වාටස් එකේ උපයාගේ අල්ලපු ගෙදර සිටියේ ගුණරත්නය. දවසේ වැඩ අවසන් කර ඌ ගෙදර එන්නේ බීගෙන හතර ගාතෙන්ය. ආපු ගමන් පවුලටත් බැන බැන පෙරේතයා පොළොවේ ගැහුවා සේ නිදාගන්නා ගුණයා ඇහැරෙන්නේ පහුවදාටය. ගුණයා මළ පෙරේතයෙකු වගේ හැසිරුණාට ගුණයාගේ පවුල හැඩ වැඩ ඇති සුදු ලස්සන රුවැත්තියකි. උපයාගේ මල්ලි ඇයට බැල්ම දමන්නට ගත්තේ මේ අතරය. ගුණයාගේ වැඩවලින් පීඩාවට පත්ව සිටි ඇයද උපයාගේ මල්ලිට ධනාත්මක ප්‍රතිචාර දක්වන්නට වුවාය.

රෑට උපයලා නින්දට ගිය පසු පොලු නැති පිටුපස ජනේලය ඇරගන්නා උපයාගේ මල්ලී එතැනින් එහා ඇති ගුණේලාගේ පිටිපස්සෙ දොරට තට්ටු කරයි. ගුණේගේ පවුල කුස්සියේ දොර ඇරගෙන එළියට එයි. වැඩේ යන්නේ එහෙමය. දවසක් රාත්‍රියේ හොඳටම බීමත්ව නින්දට ගිය උපයා මහ රෑ අවදි වුණේ වතුර තිබහක් ඇවිත්ය. නැගිට්ට ගමන් ඌ දැක්කේ ගෙයි පිටුපස ජනේලය ඇර දමා ඇති අන්දමය. ගෙයින් පිට කසු කුසුවකුත් ඇසේ. උපයා කාරණය තේරුම් ගත්තේය. ඊට පසු ඌ පත්වුණේ මහත් උහතෝකෝටිකයකය. එක පැත්තකින් මල්ලිය, අනික් පැත්තෙන් තමාගේ යාලුවා වන ගුණයාය. කරන දෙයක් කරන්නට වෙන්නේ දෙපැත්තම අමනාප නොවන්නටය. බිරිඳ නිවාඩුවට ළඟදී ගෙදර එන නිසා ළමයිනුත් ආවිට ගේ ඉඩ මදිවන බව කියූ උපයා මල්ලිට ළඟ තැනකින් බෝඩිමක් සොයා දුන්නේය. ඊට පසු ඌ මොනවා කරගත්තත් තමන්ට වගකීමක් නැති බව උපයා අපට කීවේය.

මෑත දවසක මම අටමලාගේ ගෙදර ගිය වෙලාවක අඩි විස්ස පාර පැත්තට ගියේ දන්න කියන කවුරුත් හෝ ඉන්නවාදැයි බලන්නටය. පරණ කිසි කෙනෙක් හමු නොවූ අතර අඩු තරමින් දයාසිරි ලාගේ ගේ වත් මට සොයාගන්නට බැරි තරමට ඒ පැත්ත වෙනස් වෙලාය. බලාපොරොත්තු කඩවූ මම හිස් අතින් ආපසු ආවෙමි ෴

හැලපයාhttp://www.blogger.com/profile/14910441607831391629noreply@blogger.com31tag:blogger.com,1999:blog-8432415427742462325.post-65819743074026266402019-06-16T05:54:00.000-07:002019-06-16T05:54:57.298-07:00ත්‍රිකෝණය - 3

Photo: Google Images.

ත්‍රිකෝණය

ත්‍රිකෝණය 2

ඈත කඳුවැටියේ ඉහළට අව් රැල්ලක් පායා තිබෙනු දිලිනි දුටුවාය. ඇය මේ දැන් දිය නාගෙන ආ ගමන්ය. කෙස් වැටියේ තෙත වියලෙන්නට තුවායක්ද ගැට ගසාගත් දිලිනි සේදු ඇඳුම් රෙදි වැලේ වනන්නට වුවාය. විටින්විට ඇගේ සිතට නැගෙන්නේ අද උදේ අම්මා කියපු කතාවය. ගුරුවරයෙක් ලෙස මෙතෙක් කල් ගෞරවය මුසු බියකින් සැලකු රංජිත් මහත්තයාට බිරිඳ වීම කරන්නට හැකි දෙයක්ද? කොහොම වුණත් රංජිත් මහත්තයාගෙත් වරදක් නැත. අම්මලා තාත්තලා දරුවන්ට වැරද්දක් වෙන්නට ඉඩ තියන්නේ නැත. ඔන්න ඔහේ එන දේකට මුණ දෙනවා යැයි දිලිනි කල්පනා කළාය.

"ඈ ළමයො!" දිලිනි කල්පනා ලෝකයෙන් මිදුණේ මවගේ කටහඬිනි.

"අර උදේ මම කියපු දේ ගැන කල්පනා කලාද?"

"අනේ මංදා අම්මෙ, මට මොකුත් හිතාගන්න බැරුව ඉන්නෙ!"

"මොනව හිතන්නද ළමයෝ, රංජිත් මහත්තය නරක මනුස්සයෙක් නොවෙයි නෙ, යමක් කමක් හම්බ කරගෙන තියෙනවා, ඉන්න තැන තියෙනවා,ගෙදර වෙන කවුරුවකුත් නෑ,සතුටින් ඉන්න වෙන මොනවද ගෑනියෙකුට ඕනෑ කරන්නෙ?"

දිලිනි මුවින් නොබැන නිහඬවම සිටියාය.

"එහෙනං අපි ඒ වැඩේ තීන්දු කරගන්නව හොඳද?" අම්මා කීවේ කතාව නවතමිනි.

" දැන් ඔය කට්ටිය කොයි පළාතෙද? ධර්මසේන ලොකු ඉස්කෝලෙ මහත්තයා ඇසුවේ සිය බිරිඳගෙනි. තද ගති පැවතුම් ඇති ධර්මසේන ලොකු ඉස්කෝලෙ මහත්තයා සිය දූ දරුවන්ද පාලනය කළේ පාසලේ ළමයින්ව පාලනය කරනවා මෙනි. රංජිත් පැත්තකට වී හිටගෙන සිටි අතර කතා කළේ ඉස්කෝලෙ මහත්තයගේ බිරිඳය.

"කුලියාපිටිය පැත්තෙ කට්ටියක්, තාත්ත ඉස්කෝලෙ ප්‍රින්සිපල්, දුවල දෙන්න විතරයි, ලොකු ළමය තමයි මෙයාට කතාකරල තියෙන්නෙ, අපේ අයමයි!" ඇය විස්තරය දිගින් දිගටම කියාගෙන ගියාය.

"එහෙනං ඉතිං ඒ පැත්තෙ ගම් බිම් බලන්න දවසක් යොදාගමුකො, වචනයක් කියන්න වෙන්නෙ ඒ අය කවුද කියල හොයල බැලුවට පස්සෙනෙ!"

"එහෙනං ළමයො ඒ ගොල්ලන්ටත් කියල කුලියාපිටි යන්න දිනයක් දාගත්ත නං!"

අම්මාගේ කතාවට කිසිත් නොකියූ රංජිත් නිහඬවම සිය කාමරයට වැදුණේය. දවසම ගෙවීගියේ වස කම්මැලිකමකිනි. ටවුම පැත්තෙ ගියානං ඇඟ රත්කරගන්නට තිබුණා නොවේදැයි ඔහුට කල්පනා විය. ඒත් තනියම ටවුමට යන්නට කම්මැලිය. වෙනදාට තමා මුණ ගැසෙන්නට එන අනුර මහත්තයාද අද ආවේ නැත. ඔහු හිටියා නම් දෙන්නත් එක්ක බාගයක් බෝතලයක් ඉවරකරන්නට තිබුණි. සැබෑ විනෝදකාමියකු වූ අනුර මහත්තයා එක්ක බොන්න පටන් ගත්විට කාලය ගතවෙනවා නොදැනේ. තමන්ට ලැබී ඇති විවාහ යෝජනාව ගැනද අනුර මහත්තයාට කියන්නට මෙය හොඳ අවස්ථාවක් නොවේදැයි සිතු රංජිත් කලිසමක් කමිසයක් හැඳගෙන අනුර මහත්තයා මුණ ගැහෙන්නට යන්නට එළියට බැස්සේය.

"මේ හැන්දෑවෙ කොහෙ යන්නද ළමයෝ!" අම්මා ඇසුවේ රංජිත් ගෙදරින් එළියට බසිද්දීය.

"මං පොඩ්ඩක් එහා ගොඩට ගිහිං එන්නම්!" යි කියූ රංජිත් පාරට බැස්සේය.

"කොහෙ ගියත් කමක් නෑ රෑ වෙන්න කලින් ගෙදර වරෙන්, ඉඳල ඉඳල ගෙදර එනවා කොයි මොහොතකවත් ගෙදර නෑ, ගමනෙමයි! කියාගෙන අම්මා ගෙට ගියාය.

"ආ රංජිත්, කාලෙකට පස්සෙ, එන්න, එන්න. මාත් මේ කම්මැලිකමේ හිටියෙ!" අනුර මහත්තයා එසේ කියමින් ගෙට ගොඩවන රංජිත් පිළිගත්තේය.

දෙකක් වැදුණු පසු රංජිත්ට මතක් වුණේම බිසෝවය. නොසිතු මොහොතක හදිසියේ හමුවූ ඇය පහුගිය දවස්වලදී තමන්ට කෙතරම් සමීප වුයේදැයි ඔහුට මතක්විය. බිසෝ මතක් වනවිට රංජිත්ගේ ගත සිත දෙකම උණුසුම් වෙයි. මේ ඊයෙ පෙරේදා දවසක යහන්ගතවී අවසානයේ දෙදෙනා ඇඳ උඩම හුළං වදිමින් නිවී සැනසිල්ලේ කතා කතා බහේ යෙදී සිටියේ උපන් ඇඳුමෙනි.

"හෙට අනිද්දා වෙද්දී නං අපිව ඕනෑ නැතිවෙයි මහත්තේලට!" බිසෝ කීවේ එකවරමය.

"ඒ කිව්වෙ?" රංජිත් ඇසුවේ කතාවේ අගක් මුලක් නොතේරුණ නිසාය.

"හෙට අනිද්ද ලස්සන පොඩි කෙල්ලෙක් කසාද බැඳ ගත්තම අපිව මතක් වෙන එකකුත් නෑ, ඇයි මහත්තයට ලොකු ඉස්කෝලෙ මහත්තයගෙ ලොකු දුව කතා කරල තියෙනව නේද?" බිසෝ කීවේ බිඳුණු හඬින්ය.

තමන්ට ගෙන ආ විවාහ යෝජනාව ගැන මේ ඉක්මනට බිසෝ දැනගත්තේ කෙලෙසදැයි රංජිත් මවිතයට පත්විය. එහි අමුත්තකුත් නැත්තේ මෙවැනි කුඩා ගම්වල ආරංචිවලට තටු ලැබී එක දවසෙන් ගම පුරාම ඉගිල යෑම සාමාන්‍ය දෙයක් වීම නිසාය.

"බිසෝට කවුද කිව්වේ?" රංජිත් ඇසීය.

"කවුරු කිව්වහම මොකද මහත්තය,කතාව ඇත්තනෙ!"

"තාම කතා කරල විතරයි බිසෝ, තීරණයක් නෑ!" රංජිත් කීවේය.

බිසෝගේ වත එළිය විය. ඇය රංජිත්ට තුරුළුවුනේ දැඩි ආදරයකිනි. බිසෝගේ නග්න සුමට සිරුරේ මෘදු ස්පර්ශය රංජිත් මුසපත් කරවන සුළු විය. ඇයගේ අතොරක් නැති සිපගැනීම් හමුවේ සිය කය නැවතත් අවදි වනු රංජිත්ට දැනුණි. මහත් ආයාසයකින් රංජිත් සිය මුව බිසෝගේ මුවින් මුදවාගත්තේ බිසෝව සිය සිරුරට යටකරගනිමිනි.

"මහත්තය!" ඇය කතාකළේ තදින් හුස්ම ගනිමිනි.

"ම්, ඇයි!"

"මහත්තය මගේ, මගෙමයි, මහත්තයව වෙන කෙනෙකුට අයිති වෙනව මට බලාගෙන ඉන්න බෑ, ඒත් මට කරන්න දේකුත් නෑ!" ඇය වැරෙන් රංජිත්ගේ උරහිස සැපුවාය.

"ඌයි"

"ඇයි රිදුනද?"

"රිදෙන් නැද්ද කොටි දෙන වගේ හපද්දී ?"

"ඒ ආදරේට අනේ, මට දුකයි මහත්තයව මට නැති වෙයි කියලා!"

"තාම නැති වුණේ නැහැනෙ, අපි දැන් ඔය කතාව නවත්තමු!" රංජිත් කීවේ හැති හලමිනි.

රංජිත්ගේ ආදරය පෑම හමුවේ රිදුම් දෙන සිරුරින් වුවද බිසෝ ගෙදර ගියේ හිත සැහැල්ලුවෙනි.

"මොකෝ රංජිත් තනියම හිනාවෙන්නෙ? ඉස්කෝලෙ කෙල්ලෙක් වත් මතක් වුණාද?" අනුර මහත්තයා ඇසුවේ සිනාසෙමිනි.

"ඒ වගේ එකක් තමා, හැබැයි ඉස්කෝලෙ කෙල්ලෙක් නෙවෙයි."

"ආ,එහෙනං ෂුවර් එකටම ගමේ කෑල්ලක්!" අනුර මහත්තයා කීවේ බැදපු කුකුල් අඬුවක් සපමිනි.

"ඒකම තමයි ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ!" රංජිත් වීදුරුවට තවත් එකක් වක්කර ගත්තේය.

"කියමුකො බලන්න අපිටත් දැනගන්න එක්ක!"

බිසෝ සමග ඇතිවූ සම්බන්ධයත් ඒ සමගම දිලිනි ගැන ඇගේ පියා ගෙන ආ යෝජනාවත් ගැන කතාව රංජිත් අනුර මහත්තයා සමග කීවේය.

"ඉතිං, මොකක්ද ඔතන තියෙන ප්‍රශ්නේ, කෙල්ල හොඳනම් බැඳගන්න!"

"එතකොට බිසෝ?" රංජිත් එක්වනම අසා සිටියේය.

"හා,හා, මට තේරෙනවා, එතකොට කෙල්ලව බඳින්නත් ඕනෑ ගමේ ගෑණි අමතක කරන්නත් බෑ, එහෙම නේද?"

රංජිත් නිහඬවම අසා සිටියේය.

"රංජිත්, ඔයා බැන්දම ඒ ගෑණු කෙනා වෙන කවුරු හරි හොයාගනී, තව මිනිහෙක් ඕනෑම නං? රංජිත්ට ඒ කෙනාම ඕනෑ නං ඉඳහිට ඇයි හොඳයියක් පවත්තන්නත් බැරුවයැ." අනුර මහත්තයා කීවේ හක හක ගා සිනාසෙමිනි.

"අනේ මංදා, ඕවා දිගදුර ගියාම නෙ පවුල් ආරවුල් හිට ඇතිවෙන්නෙ, ඒවට කොහොම මුණ දෙන්නද කියල මට නං හිතාගන්නවත් බෑ." රංජිත් කීවේය.

"මේ බලන්න රංජිත්, මේ ලංකාවෙ ඔය ප්‍රශ්නෙ ඇතිවුණු පළවෙනි එක්කෙනා ඔයා නෙවෙයිනෙ, මිනිස්සු ඕනෑ තරම් ඕවගේ ප්‍රශ්නවලට මුණ දෙනවා, දැන් බලන්න මිනිස්සු ප්‍රසිද්ධියෙම ගෑණු දෙතුන් දෙනා තියාගෙන ඉන්නෙ, සමහර ලොකු ලොක්කන්ට දවසට එකා ගානෙ ගෑණු ඉන්නවා, ඇයි අහල නැද්ද දෙමළෙන් දෙවැනි ගෑණිට ඒ කියන්නෙ අනියම් බිරිඳට කියන්නෙ සින්න වීඩ, දෙමළ භාෂාවෙ වීඩ හරි වීඩු හරි කියන්නෙ ගෙදර, පළවෙනි ගෑණි පෙරිය වීඩ ඒ කියන්නෙ ලොකු ගෙදර, දෙවැනි ගෑණි සින්න වීඩ ඒ කියන්නෙ පොඩි ගෙදර, කොච්චර නිර්මාණාත්මකද බලන්න. ලස්සන දෙමළ සිංදුවකුත් තියෙන්නෙ "චින්න වීඩ චිත්තිරා පෙරිය වීඩ කත්තිරා කියල."

අනුර මහත්තයා දෙමළ ගීතයක කොටසක් ගැයුවේ හිඳ සිටි පුටුවේ ඇන්දට අතින් තට්ටු කරමිනි.

"ඇයි චින්න චින ආසෙයි කියලත් එකක් තියෙන්නෙ!" රංජිත් පැවසුවේය.

"අන්න හරි, ටික ටික ආසයි, මරු සිංදුනෙ අප්පා!" වෙරිමත සමග අනුර මහත්තයා තුළ සිටින කලාකරුවා අවදිවෙයි.

"රංජිත් ඕමාර් ඛයියාම්ගෙ රුබය්යාට් කියවල තියෙනවද?" අනුර මහත්තයා එක්වරම ඇසුවේය.

"නම අහල තිබුණට ඛයියාම් ලියපුවා කියවල නෑ!"

"ෂැක්, ජීවිතෙන් බාගයක්ම අපතේ, ඒවනෙ කියවන්න ඕනෑ, ඕමාර් ඛයියාම් මීට අවුරුදු දාහකට විතර කලින් පර්සියාවෙ,ඒ කියන්නෙ ඉරානයේ හිටපු ගණිතඥයෙක්, තාරකා විද්‍යාඥයෙක්, ඒ ඔක්කොමටත් වඩා කවියෙක්, ලෝකේ කොච්චර නම් කවියෝ ඇතිවෙලා නැතිවෙලා ගිහින් තියෙනවද? නමුත් ඛයියාම් එයාගෙ නිදහස් කවි ආර නිසා අදටත් ලෝකය පුරාම ප්‍රසිද්ධයි. එයාගෙ ප්‍රතිමා කීයක් ලෝකයේ ඉදිවෙලා තියෙනවද? ඛයියාම් අමුතු දෙයක් කිව්වෙ නැහැ. ඛයියාම් රුබය්යාට් පොතේ කිව්වේ ජීවිතය කියන්නෙ මීවිතත්, සංගීතයත්, ගැහැණියත්ය ඒ නිසා අපි ජීවත්වෙන මේ පොඩි කාලෙ ජීවිතය විඳින්නය කියලයි. මොන තරම් සොඳුරු සිතුවිල්ලක්ද? ඛයියාම්ගෙ කවියක් සිංදුවක් කරලා අමරදේවත් කිව්වේ, මම හිතන්නෙ ඒ සිංදුව ලිව්වෙ සේකර."

ඔබ මා තුරුළේ ගී ගයනා වේලේ

මේ වන රොද මට ස්වර්ග රාජ්‍යයයි

මේ වන රොද මට ස්වර්ග රාජ්‍යයයි

සුරංගනාවියනේ ඒ ඒ

සුරා විතයි ගී පොතයි අතින් ගෙන

තුරු වදුලේ නිල් සෙවනැල්ලේ

අද අප ජීවිත සුමිහිරි වේනම්

මළ ඊයේ ගැන ඇයි ලතැවෙන්නේ

අද අප ජීවිත සුමිහිරි වේනම්

නූපන් හෙට ගැන ඇයි වෙහෙසෙන්නේ

යළි කිවයුතු නෑ කාලය යනවා

දෙපා යටින් රිංගා

ගෙනෙනු මැනවි මට පමා නොවී දැන්

ඔබේ සුරා විත පුරවාලා

ඔබ මා තුරුළේ .....

අනුර මහත්තයා වෙරිමතින් ගයන්නේ දෑස පියාගත්වනමය.

"දැක්කද? මොන තරම් අලංකාර සිතුවිල්ලක්ද? මේ වගේ කවි ලියන්න පුළුවන් ඛයියාම්, ඒ වගේම කවිය ගීතයක් කළ සේකර වගේ සුන්දර මනුස්සයින්ටම තමයි!" ගීතය අවසන් කළ අනුර මහත්තයා කීවේ වීදුරුවට තවත් එකක් පුරවාගනිමිනි.

"මහගම සේකර කියන්නෙත් අප්‍රමාණ මිනිහෙක් රංජිත්, ගීත රචකයෙක්, කවියෙක්, නවකතා කෙටිකතා රචකයෙක්, චිත්‍රපට අධ්යක්ෂ වරයෙක්, චිත්‍ර ශිල්පියෙක් මේ ඔක්කොම හැකියාවන් එක වගේ තිබුණු කලාකාරයෙක්. මේ හැම හැකියාවක්ම එකට තිබුණු සේකර වගේ කෙනෙක් ආයෙ බිහිවෙන්නෙ නෑ රංජිත්." අනුර මහත්තයා කීවේ තවත් කතාවකට මුල පුරමිනි.

"අපේ රටේ මිනිස්සු සේකරට සලකපු හැටි ගැන මම කතාවක් කියන්නම් රංජිත්."

"සේකර රදාවානෙ ඉපදිලා හැදිල වැඩිල රදාවානෙ ඉස්කෝලෙට ගියාට පස්සෙන් පහු රස්සාව හම්බවෙලා කසාද බැන්දට එහෙම පස්සෙ හිටියෙ ගම්පහ ගෙයක් කුලියට අරගෙන. සේකරටයි එයාගෙ නෝන මහත්තයටයි වැඩට යන්න එන්න එතකොට ළමයින්ට ඉස්කෝලෙ යන්න එහෙම හැම දේටම පහසු නිසා ගම්පහ පදිංචි වුණාට පස්සෙ සේකර රදාවානට ආවෙ ගියෙ කලාතුරකින් ගමේ විශේෂ අවස්ථාවක් වුන වෙලාවට විතරයි. ඒක සේකරම කවියකින් කියල තියෙනවා."

කලාතුරකින් දිනෙක මා ගෙදරට යන කලට

අපේ ගමේ ඉස්කෝලය පෙනෙයි මට

සිංහල උළු සෙවිළි කළ ඒ වහල යට

සඟවා තිබෙයි මගෙ ජීවිතයෙහි සතුට

"ඒ වුණාට සේකර මැරුණට පස්සෙ ආදාහනය කළේ රදාවානෙ තුංමං හන්දියෙ. ආදාහනය කරලා සේකරගෙ අළු කලෙත් තියල සොහොනකුත් තුං මං හන්දියෙම හැදුවා. සොහොන හදල ගතවුණේ දවස් දෙක තුනයි ඒ පැත්තෙ අය සොහොනත් කඩල අළු කලෙත් බිඳල දාල තිබුණා. ඒ වැඩේට හේතුව හොයද්දි එලි වුණේ මෙහෙම කතාවක්. රදාවාන ගැන ලියල ජනප්‍රිය වුණාට ගමේ හිටියෙවත් නැති, ඔච්චර නමක් තියෙන ලොකු ලොකු සම්බන්ධතා තියෙන මිනිහෙක් වුණාට ආණ්ඩුවට කියල ගමේ පාරකට තාර ටිකක් දාල දුන්නෙ නැති, ගමට පාලමක් බෝක්කුවක් හදල දුන්නෙ නැති මිනිහෙකුගෙ සොහොනක් විතරක් තුංමං හන්දියට මොකටද කියලයි සොහොන කඩල දාල තියෙන්නෙ."

"ඔන්න බලන්න රංජිත්, රදාවාන, තුංමං හන්දිය, ගමේ ඉස්කෝලෙ අමරණීය කරපු මනුස්සයට ගමේ මිනිස්සු සලකපු හැටි? ඒ මනුස්සයගෙ වටිනාකම තාර ටිකකට පාලමකට බෝක්කුවකට සීමා කළා. ඔය භෞතික දේවල් කාලෙකදී කැඩිල බිඳිල නැතිවෙලා යනවා. ඒ වුණාට සේකර ලියපුවා හැමදාම පවතිනවා. ඔය ටික තේරුම් ගන්න බැරි මිනිස්සුනෙ ඉන්නෙ රංජිත්!"

"තව ජොලි කතාවක් තියෙනව රංජිත් ඒකත් අහන්නකො!"

"ඔය හැත්තෑවෙ මැතිනිගේ ආණ්ඩුවෙ සංස්කෘතික ඇමති වුණේ ඇස්. ඇස් කුලතිලක.හිටපු නඩුකාරයෙක්,හැබැයි සුන්දර මිනිහෙක්. ඇමතිකම ගත්තට පස්සෙ මිනිහ කෙළින්ම කිව්වා මම දන්න ඇති සංස්කෘතියක් නෑ ඇමතිකම දුන්න නිසා ගත්ත කියල. ඉතිං ඔය සේකරල එහෙම කලාකාරයො එකතු වෙලා පිහිටුවා ගත්ත කලා සංගමේකින් ඇමතිගෙන් සාකච්ඡාවක් ඉල්ලුවා ඒ ගොල්ලන්ට තියෙන ප්‍රශ්න, අවශ්‍යතා එහෙම ඇමතිට කියන්න. ඉල්ලපු ගමන්ම සාකච්ඡාව ලැබුණා. ඉතිං නියමිත දවසෙ කලාකාරයො ටික අමාත්‍යංශයට ගියා සාකච්ඡාවට. ඇමතිත් එයාගෙ ලේකම් එච්. එස්. ප්‍රේමවර්ධන එක්ක නියමිත වෙලාවටම සාකච්ඡාවට ආවා. දැන් සාකච්ඡාව යනවා, සේකර නැගිටලා ඒ ගොල්ලන්ගෙ අවශ්‍යතා,ප්‍රශ්න එහෙම ඇමතිට පැහැදිලි කරනවා. ඇමැතිත් නිකටෙ අත තියාගෙන බොහොම වුවමනාවෙන් අහගෙන ඉන්නව වුණාට එයාගෙ ඇහැ තිබුනෙ ජනේලෙන් එළියෙ තිබුණු ගස්ලබු ගහක. සේකර බොහොම උද්වේගයෙන් කතාකරන අතරෙ එක පාරටම ඇමති ගස්ලබු ගහ පෙන්නල ලේකම්ගෙන් අහනව,

"ප්‍රේමවර්ධන, අර ලංසි පැපොල් ගහක්ද?" කියල.

"සේකරට යක්ෂය ආරූඪ වුණා, ඇයි අප්පා, මෙච්චර වෙලා කියවපු දේවල් එකක්වත් මේ මනුස්සය අහගෙන ඉඳල නෑනෙ."

"මේ ඇමතියට කතා කරපු ටික බීරෙකුට කිව්වනං මීට වඩා හොඳයි, මෙන්න මෙහෙ වරෙල්ලා යන්න කියල සේකර අර කලාකාරයො ටිකත් ඇදගෙන එළියට බැහැල ආවලු!"

සංගීතය, චිත්‍රපටි, කවි හෝ ගීත ගැන කතාව පටන් ගත්තොත් අනුර මහත්තයාට වෙලාව ගතවෙනවා නොතේරේ. ඔහුගේ ගීත ගායනය නැවතුනේ අනුර මහත්තයාගේ නෝනා ඇවිත් කතාකළ නිසාය.

"දැන් සිංදු කිව්ව මදැයි, දෙන්නත් එක්ක කෑම කන්න එන්න!"

"මට නම් ගෙදර කෑම තියෙනවා, අම්ම කිව්ව මම එද්දී කෑමට ගෙදර එන්න කියලා!" රංජිත් කීවේය.

"රංජිත්ට ගෙදර කෑම තියෙනව කියල මම නොදන්නවැයි? අපේ ගෙදරින් කෑම කාල ගියාට අම්ම මොකුත් කියන එකක් නෑ, අනික රංජිත් ගියාම කී කාලෙකට පස්සෙද ආයෙ හම්බවෙන්නෙ? යමු යමු, කන්න ඉස්සෙල්ල තව චූටි එකක් දාගම්මු නේද?" අනුර මහත්තයා රංජිත්ව කෑම මේසයට කැඳවාගෙන ගියේය.

රංජිත් එදා මහ රෑ ගෙදර ගියේ අනුර මහත්තයලගේ ගෙදරින් කෑම ගැනීමෙන් අනතුරුවය.

"ආපහු ගිහිල්ල මොකද වුණේ කියල විස්තරේ මටත් දන්වල එවන්න!" කියමින් අනුර මහත්තයා රංජිත්ට සමුදුන්නේය. රංජිත් අනුර මහත්තයලගේ ගෙදරින් පිටව ගියේ බොහෝ සැහැල්ලුව ගිය සිතිනි෴

Unknownnoreply@blogger.com35tag:blogger.com,1999:blog-8432415427742462325.post-46581280242307605642019-06-09T21:19:00.000-07:002019-06-09T21:19:44.122-07:00ගින්නෙන් උපන් සීතල, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගමනක අවසානය , 82 ජනාධිපතිවරණය , දයාසිරිට වැදුණු කොක්ක, උපසිංහ සහ සුනිල් සහෝදරයා.

අනුරුද්ධ ජයසිංහ නිර්මාණය කළ ගින්නෙන් උපන් සීතල මා නැරඹුයේ මීට මාස කීපයකට පෙරදීය. එම සිනමා නිර්මාණයේ විජේවීර ලෙස රංගනයේ යෙදෙන කමල් අද්දරආරච්චි තම චරිතය රඟපෑමේදී විජේවීර ගේ ඉරියව් සියුම් ලෙස අධ්‍යයනය කර තිබුණත් විජේවීරගේ කතා විලාසය ගැන අධ්‍යයනයක් කර නොතිබූ බව නම් පැහැදිලිව පෙනෙන්නට තිබුණි. මන්ද යත් විජේවීර ව්‍යවහාර කළ දකුණේ භාෂා ඌරුව කමල්ගේ වචන භාවිතයේ දකින්නට නොතිබුණ නිසාය. කෙසේ වුවද එම සිනමා නිර්මාණයේ තිබු චරිත අතුරින් වඩාත්ම මගේ සිත් ගත්තේ විජේවීරගේ බිරිඳ ලෙස සුවිශේෂී රඟපෑමක නිරතවූ සුලෝචනා වීරසිංහ ගේ රංග කෞශල්‍යයයි . වැඩිපුර දෙබස් නොතිබූ එම චරිතය මුහුණින් ද ඉරියව් වලින් ද හැඟීම් ප්‍රකාශ කරමින් ඇය කළ රංගනය අතිශය ස්වභාවික විය. මෙම පෝස්ටුව කිසිසේත්ම ඒ චිත්‍රපටය ගැන විචාරයක් නොවන අතර මේ සුළු කොටස ලියැවුණේ ද කතාවට ආරම්භයක් වශයෙනි.

ගින්නෙන් උපන් සීතල නැරඹු මට කල්පනා වුණේ ජනතා විමුක්ති පෙරමුණ හා එහි නිර්මාතෘ රෝහණ විජේවීර ගැන මාහටද යම්කිසි මතක සටහනක් ඇති බවය. යම් කිසිවකුගේ තරුණ අවධිය අති ධාවනකාරී වූද විප්ලවවාදී වූද මෙන්ම හදවතේ හැඟීම්වලට මුල්තැන දෙන සමයක් බව අවිවාදිතය. එකල තරුණ අවධිය ගෙවමින් සිටි අපද ජේ.වී.පීය විසින් අරඹා තිබූ අති ධාවනකාරී මෙන්ම සිත් ඇදගන්නා සුළු දේශපාලනයට නැඹුරු වුයේ නිරායාසයෙන්මය.

කාලය අසු ගණන්වල මුල් භාගයයි. කතාව පුරන්නට ටිකක් ඈතට යා යුතුය. 1971 සිට බන්ධනාගාරගතව සිටි විජේවීර නිදහස් වන්නේ 1977 වර්ෂයේදීය. 1977 දී ජේ. ආර්.බලයට පත්වීමෙන් පසු විශේෂ කොමිෂන් සභා සහ ඒවායේ තීන්දු අහෝසි කිරීම හේතුවෙන් විජේවීරටද නිදහස ලැබිණි. නිදහසින් පසු නැවත පක්ෂය ප්‍රතිසංවිධානය කරගන්නා විජේවීර ආයුධ සන්නද්ධ දේශපාලනය අතහැර දමා ප්රජාතන්ත්රවාදී දේශපාලන ප්රවාහයට අනුගත වන අතර දේශපාලන රැළි පවත්වමින් මහජනයාගේ ආධාර ඉල්ලා සිටින්නේ පක්ෂය ශක්තිමත් කරන්නටය. ඔහුගේ සුප්‍රසිද්ධ ටවුන් හෝල් රැළියේදී පක්ෂයට ආධාර කරන ලෙස කළ ඉල්ලීමට දැවැන්ත ජනතා ප්‍රතිචාරයක් ලැබුණු අතර ඇතැම් කාන්තාවන් සිය කණකර පවා ගලවා පක්ෂයට පරිත්‍යාග කළ බව මට මතකය. ව්‍යක්ත කථිකයෙක් වූ විජේවීර ගේ සිත් ඇදගන්නා කතා විලාසයට ජනතා ආකර්ෂණය විශේෂයෙන්ම තරුණ තරුණියන්ගේ ආකර්ෂණය නොඅඩුවම ලැබුණු බව දක්නට තිබුණි. ඉතා උසට ඉදිකරන ජ. වි. පෙ විවෘත වේදිකාවේ අවසන් කථිකයා වන විජේවීර පැයක් හෝ පැය එකහමාරක් පුරා දිය ඇල්ලක් ගලා හැලෙන්නා සේ සිය චතුර කතාව පවත්වයි. එකල ඔහු සිය කතාව අවසන් කරන්නේ කවියකිනි. ඔහු කියන්නේ එම කවිය මිනීමරු ධනපති ආණ්ඩුවේ ගහලයන්ගේ වධ බන්ධනයට ලක්වී සිටි ජ.වි. පෙ. සොහොයුරෙක් සිය අවසන් මොහොතේ අඟුරු කැබැල්ලකින් බිත්තියක ලියූ එකක් බවයි.

කුසට සාගිනි සිතට සෝගිනි ඉණට වැරහැලි කැබලි එල්ලා

සතුට සැනසුම අහිමි කරවූ අඳුර දිනු කාලය ගිහිල්ලා

නොසිට මැරි මැරි සතුරු පා යට වකුටුවී අතපය හකුල්ලා

නැගිටපල්ලා නැගිටපල්ලා උඹලගේ කාලය ඇවිල්ලා

එම කවියෙන් සිය කතාව අවසන් කරන විජේවීර සමුද්‍රඝෝෂයක් සේ නැගෙන ජය ගෝෂා මධ්‍යයේ වේදිකාවෙන් බැස යයි. එවකට පක්ෂය සතුව වාහන නොතිබූ අතර සියළුම නායකයන් රැස්වීම් වලට පැමිණෙන්නේ පොදු ප්‍රවාහන පහසුකම් උපයෝගී කරගෙනය. පසුව විජේවීරගේ ගමන් පහසුව සඳහා රතු පැහැති කොරොල්ලා රථයක් මිළට ගෙන තිබු අතර එයට දේශපාලකයින් දැඩි සරදම් එල්ලකළේ නිර්ධන පංති විප්ලවය ගැන කතාකරන නායකයින් ගමන් යන්නේ සුඛෝපභෝගී වාහන වල බව කියමිනි. එයටද විජේවීර වේදිකාවේදීම පිළිතුරු බැන්දේ තමන්ට මහජන රැළි සහ පක්ෂයේ වෙනත් කටයුතු සඳහා වෙලාවට යන්නට වාහනයක් අවශ්‍ය බවත් බරකරත්ත වල ගොස් දේශපාලනය කළ කාලය දැන් අවසන්වී ඇති බවත් හැකියාවක් ඇත්නම් ගමන් යන්නට හෙලිකොප්ටරයක් වුවද පාවිච්චි කිරීමට නොපැකිලෙන බවත් කියමිනි.

හැත්තෑ ගණන් වල අග භාගයේ සිට විජේවීර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කෙළින්ම ප්‍රහාර එල්ල කරන්නට පටන් ගත්තේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගමනක අවසානය යනුවෙන් නම්කර තිබු රැළි සහ දේශන ඔහු රට පුරා යමින් පවත්වන්නට වූ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයින් චෝදනා කළේ ශ්‍රී.ල.නි.ප යට පහර දීමට ජේ. ආර්. විසින් විජේවීරව නිදහස් කළ බවටය. පසුකාලීනව මම එයට හේතුව සුනිල් සහෝදරයා ගෙන් ඇසුවිට(සුනිල් සහෝදරයා කතාවේ පසුවට එන චරිතයකි) ඔහු කීවේ රේස් එකක තුන්වෙනි තැනට දුවන විටදී දෙවැනියා පසු නොකර පළමුවැනියා පසුකරන්නට බැරි බවය.

ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන නියමිත කාලයට පෙර ජනාධිපතිවරණයක් ප්‍රකාශ කරන්නට යෙදුණේ 1982 වර්ෂයේදීය. ජ.වි.පෙ සිය දේශපාලන සහ ප්රචාරක කටයුතු වේගවත් කළේ ජනාධිපතිවරණයට සිය පක්ෂයෙන්ද අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමේ බලාපොරොත්තුවෙනි. නාම යෝජනා භාරදීමේදී විජේවීර ද ජ.වි.පෙන් නාම යෝජනා භාර දුන්නේ සිය පක්ෂයට රටේ ජනතාවගේ කැමැත්ත කෙතරම්දැයි මැනගැනීමේ අප්රකාශිත අරමුණ සහිතවය.

ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණකාලිකයකු වූද වත්තල ආසනයේ වැඩ කළාවුද සුනිල් සහෝදරයා දයාසිරිට කොක්ක ගැහුවේ ඔය අවධියේදීය. අඩි විස්ස පාරේ පදිංචිව සිටි දයාසිරි අප සමග හිතවත් වන්නේ අපිත් එක්ක රෝහලේ වැඩකළ උපසිංහ ගේ මාර්ගයෙනි. එවකටද විවාහවී දරු දෙදෙනෙකුගේ පියෙක්ව සිටි උපයා විවාහවී සිටියේ දයාසිරිලාගේ ඥාති සොයුරියක සමගිනි. ඔවුන් පදිංචිව සිටි රෝහල් නිල නිවස තිබුණේ දයාසිරිලාගේ ගෙවල් වලට ඉදිරිපිටින්ය. උපසිංහ බීගත් දවසට ගෙදර ඇවිත් රෝහිණීට සැර දමා ගෝරියක් පටන්ගනී. ගෝරියේ සද්දය ඇහුණු ගමන්ම දයාසිරිලාගේ මුළු පවුලම උපයාට ගහන්නට කැති පොලු අරගෙන දුවගෙන එන බව ඌ කියන්නේ සිනාසෙමිනි. ඔහු මාතර කිතලගම සිට ඇවිත් වැලිසර පදිංචිවී සිටි අතර අසරණ සරණ කිතලගම ශ්‍රී සීලාලංකාර හිමි හෙවත් දිඹුලාගල නායක හාමුදුරුවෝ නෑකමට උපසිංහගේ බාප්පාය. අවුරුද්දකට වතාවක් බාප්පා බලන්නට දිඹුලාගල යන උපයා හාමුදුරුවන්ගෙන් ලැබුණු තෑගි ගොඩක්ද අරගෙන ආපසු එයි.

දයාසිරිලාගේ පවුලේ දරුවන් පස්දෙනෙකි. දයාසිරි වැඩිමලා වූ අතර ඊළඟට සිටි ලොකු නංගී අපි ප්‍රේමා යනුවෙන් හඳුන්වමු. සිත් ඇදගන්නා සුළු රූ සපුවක් හා පැහැපත් සිරුරක් ඇති කෙල්ලෙක් වූ ප්‍රේමා දුටු කෙනෙක් දෙවරක් බලන්නට පෙළඹෙන තරම් සිත මන්මත් කරවන යුවතියකි. අපි දයාසිරිලාගේ ගෙදරට යන්නට එන්නට පටන් ගත් පසු ඇය මගෙත් එක්ක පොඩි පහේ පටලැවිල්ලක් හදාගත් නිසා නම කියන එක හොඳ මදිය. ඊළඟට සිටි ලොකු මල්ලි නන්දාය. ඔහුගේ නම නන්දසිරි හෝ නන්දන හෝ වෙන්නට ඇති වුණත් පවුලේ ඔක්කොම ඌට නන්දා කියපු නිසා අපිත් එහෙමම කතාකළෙමු. ඔහු ඒ දවස්වල උසස් පෙළ පංතියේ උගත් අතර අමතරව ඉංග්‍රීසි පංතියකටද සහභාගී විය. පවුලේ බාල දුව වූ චූටි අවුරුදු දොළහක් දහතුනක් පමණ වයසැති පාසල් දැරියකි. අන්තිමයා වූ සුදු අවුරුදු හතක් අටක් පමණ වයසැති දඟකාර කොල්ලෙකි. බාල දෙන්නාට අපත් චූටි සහ සුදු යනුවෙන් කතා කළ නිසා මම අදටත් උන් දෙන්නාගේ නම් නොදනිමි. දයාසිරි කඳානේ පුද්ගලික කර්මාන්ත ආයතනයක සේවය කළ අතර එම වැඩපොළේම කෙල්ලෙක් සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගියේ ඇය විවාහ කරගැනීමේ බලාපොරොත්තුවෙනි.

දයාසිරිලාගේ තාත්තා වරායේ වැඩ මුලිකයෙකි. ඔහු රෑ වැඩ දවස්වලට දවල්වරුවේ ගෙදර සිටි අතර දයාසිරිත් එක්ක ගෙදර යන අප සමග බොහෝ හිතවත් වුණේය. ගෙදර ගෘහිණිය වූ දයාසිරිලාගේ අම්මා කුඩා සිරුරක් ඇති කාන්තාවක් වූ අතර නිතර සිනාමුසු මුහුණින් ඉන්නාඇය අපටද තමන්ගේම දරුවන් ලෙස ආදරයෙන් සැලකුවාය. දයාසිරිලාගේ ගෙදර පවුල් ප්‍රශ්න හෝ ආර්ථික ප්‍රශ්න නොතිබූ අතර විහිළුවක් තහළුවක් කරගෙන සිනාවෙමින් හොඳ සමගියෙන් ඔවුහු දවස් ගෙවුහ. දයාසිරිලගේ අම්මා උදේට හදන ආප්ප, ඉඳිආප්ප වැනි කෑම අපිත් මිළට ගන්නේ උදේ කෑමටය. ඉඳිආප්ප කන්නට ඇය පොල් සම්බෝල හදා මාළු මිරිසට උයයි. හොඳට තුනපහ ලුණු ඇඹුල් දමා ඇය හදන මාළු හොද්ද කොච්චර රසද කීවොත් කතාවට කියන හැටියට ගෑවුණු තැන කන්නට හැකිය.

උදේ වැඩට යන ගමන් ඉඳිආප්ප ගන්නට දයාසිරිලාගේ ගෙදර මා යන බොහෝ දවස්වලට ගෙදර ඉන්නේ ප්‍රේමාත් අම්මාත් විතරය. අම්මා කුස්සියේ ඉඳිආප්ප තම්බමින් සිටින අතර ප්‍රේමා ගේ දොර අස්පස් කර අතුගාමින් සිටින්නේ හැඳ සිටින ගවුමට උඩින් රෙද්දක්ද පටලවාගෙනය. අම්මා ඉඳිආප්ප තම්බන තුරු ප්‍රේමා මගෙත් එක්ක කතාවට වැටේ. ඇය මගෙන් රැකියාවේ විස්තරද රෝහලේ තොරතුරුද අසන්නීය. ඉඳිආප්ප පාර්සලය මගේ අතට දී ආපසු කුස්සියට යන අම්මා අපි දෙන්නා කොපමණ වේලා කතා කළත් ඒ ගැන කිසිම අකමැත්තක් නොදැක්වූ බව මට හොඳට මතකය.

1982 වර්ෂයේ ලංකාවට ටෙස්ට් තත්ත්වය ලැබුණු පසු ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ දිගින් දිගටම ලැබෙන්නට විය. දැඩි ක්‍රිකට් ලෝලියෙකු වූ දයාසිරිලගේ තාත්තා වහාම ටීවී එකක් මිළට ගත්තේය. අඟල් 14 කළු සුදු රූපවාහිනී යන්ත්‍රයක් වූ එය ගත්තායින් පසුව ඒ ගෙදරට අපේ ගමන් වැඩිවුණේ නිතරම මැච් බලන්නට යෑම නිසාය. දයාසිරිලගේ තාත්තාද අපිත් එක්ක ඉඳගෙන සජීවී විස්තර ප්‍රචාරයක්ද කරමින් මැච් බලන්නේ කරන්නට ඇති වැඩ සියල්ලම අමතක කරමිනි. ඔය කාලයේ ශ්‍රී ලංකා පිලට ක්‍රීඩා කළ උවයිස් කර්නයින් ඩී. එස්. සේනානායක විද්‍යාලයෙන් බිහිවූ දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වූ අතර හොඳ හිටර් කෙනෙකි. ඔහුගේ දස්කම් වලට වශීවී සිටි දයාසිරිගේ තාත්තා කර්නයින් හැඳින්වුයේ කරලැයින් යනුවෙනි. දවසක්දා අපි මැච් එකක් බලන්නට සුපුරුදු විදියට සාලයේ රුපවාහිනිය ඉදිරිපිට වාඩිවී සිටියෙමු. කුමක් හෝ හේතුවක් නිසා එදා ශ්‍රී ලංකා පිලට කර්නයින් ක්‍රීඩා කළේ නැත. සිය ප්‍රියතම ක්‍රීඩකයා කණ්ඩායමේ නොමැතිවීම තාත්තා බොහෝ නොසන්සුන් කළ සිද්ධියක් විය. ඔහු කේන්තියෙන් සාලයේ ඇවිදිමින් අප දෙසට තර්ජනාත්මකව දබරැඟිල්ල දිගු කරමින් "කෝ කරලැයින්?" යැයි විටින් විට ඇසුවේ අපි කර්නයින් හංගාගෙන ඉන්නවා වගේය. මේ සිද්ධිය මුල සිටම බලා සිටි නන්දා "කරලැයින් මළා කියන්නැ"යි අපට කීවේ සිනාවෙමිනි. "කරලැයින් කියන්නෙ අපේ ආච්චි, තාත්තගෙ අම්මා!" නන්දා වැඩිදුරටත් කීවේය. ආයෙම තාත්තා කරලැයින් ගැන ඇසු විගසම අපි නන්දා කී විදියට කීවෙමු. ටිකක් වෙලා විමතියෙන් මෙන් බලා සිටි ඔහු වහාම අප කළ විහිළුව තේරුම් ගනිමින් අපත් සමග සිනාසෙන්නට විය. ක්‍රිකට් මැච් බලන තාත්තාට සියල්ලම අමතක වෙනවා සේ රස්සාවට යන්නටද අමතක වෙයි. එක්කෝ හිතාමතාම අමතක කරයි. ක්‍රිකට් බලන තාත්තා රස්සාවට නොයෑම චූටි නොසන්සුන් කළ සිද්ධියක් විය. "මෙහෙම නිවාඩු ගත්තොත් නෝ පේ යන්නයි වෙන්නෙ!" යි තාත්තාට කෑ ගසන ඇය ටී වී එක වසා දමා තාත්තාව රස්සාවට පිටත් කරයි.

දයාසිරිගේ ප්‍රේම සම්බන්ධතාව තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණියේ කෙල්ලගේ දෙමාපියන් කෙල්ලට මනමාලයින් සොයන්නට වූ නිසාය. කළයුත්තේ කුමක්දැයි දෙදෙනා අතර බොහෝ සාකච්ඡා ඇතිවූ අතර අන්තිමට තීරණය වුණේ දයාසිරි කෙල්ලගේ ගෙදර ගොස් දෙමව්පියන්ට දෙදෙනාගේ සම්බන්ධය ගැන දැනුම්දී විවාහ වෙන්නට අවසර ඉල්ලීමටය. කෙල්ලගේ ගෙවල් තිබුණේ ගම්පහ පැත්තේ වූ අතර තමන් තනිවම මනමාලගම් යන්නට දයාසිරි තීරණය කර ගත්තේය. තනිවම කෙල්ලගේ ගෙදර ගිය දයාසිරි කෙල්ලගේ තාත්තා හමුවී කතාකර වැඩේ ගොඩදාගෙන තිබුණි. උපන්ගෙයි විහිළුකාරයෙක් වූ උපසිංහට දයාසිරි කෙල්ලගේ පියා හමුවී කළ කතාව හොඳ බයිට් එකක් විය. දයාසිරි, උපසිංහ සහ මා එකතුවූ තැනකදී උපයා ඔය කතාව දයාසිරිගෙන් අසයි. දයාසිරිත් රසකර විස්තරය කියන්නේ කෙල්ලගේ පියා තමාට තැඹිලි ගෙඩියක් කපා බොන්නට දී සංග්‍රහ කළ බවත් කියමිනි. කෙල්ලව විවාහ කරගන්නට ඇසු විට තාත්තා තවත් තැඹිලි ගෙඩියක් කපා දයාසිරිට බොන්නට දුන් බව උපයා කියන්නේ සිනාසෙමිනි.

විස්තර අවසානයේ දැන් ආයෙම කතාවේ මුලට යා යුතුය. ඔය කාලය වනවිට සුනිල් සහෝදරයා දයාසිරිලාගේ ගෙදර නිතරම දකින්නට හැකි චරිතයක් වූ අතර දයාසිරි සුනිල් සහෝදරයාව උපසිංහට මුණගැස්වීමේ හේතුවෙන් උපයා ද ජනතා විමුක්ති පෙරමුණේ අනුගාමිකයෙක් විය. සුනිල් සහෝදරයා අපවද මුණගැසෙන්නට රෝහලට පැමිණ දීර්ඝ සාකච්ඡා පවත්වන්නේ පවතින යූ. ඇන්. පී ආණ්ඩුවේ දුර්දාන්ත පාලනය ගැන දිගින් දිගටම විවේචනය කරමිනි. රැකියාවේ කටයුතු හේතුවෙන් පක්ෂයකට බැඳී දේශපාලනය කිරීම ප්‍රතික්ෂේප කළත් දයාසිරි සහ උපසිංහ අපේ මිත්‍රයන් වීම හේතුවෙන් ඔවුන් කරන කියන දේවල් වලට උදව් කිරීම නම් නොඅඩුව සිදුවිය. මේ කාල වකවානුව වනවිට අඩි විස්ස පාරේ ජනතා විමුක්ති පෙරමුණේ ශාඛා සමිතියක් පිහිටුවා ගන්නා තරමට සාමාජිකයන් සංඛ්‍යාවක් එකතුවී සිටියේ සුනිල් සහෝදරයාගේ කාර්යක්ෂම ප්රචාරක කටයුතු හේතුවෙනි.

පක්ෂයේ කටයුතු වෙනුවෙන් දවස පුරා වෙහෙසෙන සුනිල් සහෝදරයා රැකියාවකුත් නොමැතිව පක්ෂයෙන් මුදලක්ද ලබා නොගෙන ජීවිතය ගෙන යන්නේ කෙසේදැයි ඊට පෙර පක්ෂ පූර්ණකාලිකයෙක් දැක නොතිබූ අපට ප්‍රශ්නයක් විය. ඒ ප්රශ්නය දවසක් සුනිල් සහෝදරයාගෙන් ඇසු විට ඔහු කීවේ පූර්ණකාලිකයා යනු පන්සලේ හාමුදුරුවන් මෙන් වූ චරිතයක් බවයි. හාමුදුරුවන්ට දායකයන් සිව්පසය සපයනවා සේම පූර්ණකාලිකයාද පක්ෂ සාමාජිකයන්ගේ ආධාරවලින් ජීවිතය ගෙනයන බව ඔහු කීවේය. සුනිල් සහෝදරයා කෑම බීම ලබාගන්නේ කවුරුන් හෝ හිතවතෙකුගේ ගෙදරිනි. ඔහු රෝහලට පැමිණි දිනෙක නම් ඔහුගේ කෑම වේල අප විසින් සපයනු ලබයි. ගමන් බිමන් සඳහා වියදම්ද සපයා ගන්නේ ඒ විදියටමය. රැකියාවෙන් ලැබෙන වැටුප ජීවත්වන්නට නොසෑහෙන බව නිතරම කියන අපට සුනිල් සහෝදරයා ගෙනයන අල්පේච්ඡ ජීවිතය මහත් ආස්වාදයක් සැපයුවා සේම ආදර්ශයක්ද විය.

මේ වනවිට ජනතා විමුක්ති පෙරමුණ සිය ජනාධිපතිවරණ ප්රචාරක කටයුතු වේගවත් කර තිබූ අතර රටේ සෑම තැනම පාහේ විශාල ජනතා රැළි මෙන්ම කුඩා රැස්වීම් හෙවත් පොකට් මීටිං ද පැවැත්වුණි. ගම්පහ දිස්ත්‍රික්කයේ ලොකු රැස්වීමක් ළඟ පාතක තිබේ නම් රැස්වීම බලන්නට උපයා අපවද ඇදගෙන ගියේ තමන්ගේම වියදමෙනි. රැස්වීම අවසානයේ මහ රෑ ආපසු එන අපි නිදාගන්නේ උපයලාගේ ගෙදරය. ඒ වනවිට උගේ බිරිඳ රෝහිණී විදේශ රැකියාවකට ගොස් සිටි අතර දරු දෙදෙනා හිටියේ රෝහිණීලාගේ මහ ගෙදර නිසා උපයා ගෙදර ජීවත්වුණේ තනිවමය෴

හැලපයාhttp://www.blogger.com/profile/14910441607831391629noreply@blogger.com33tag:blogger.com,1999:blog-8432415427742462325.post-81669733840757813452019-05-12T19:17:00.000-07:002019-05-12T19:17:07.907-07:00මහාබෝධියේ වගතුග, රාජා, කපිල සහ ධර්මසිරි ගමගේ ගේ සංවේගය, ධම්මදින්න පොඩි හාමුදුරුවන්ගේ රථ ගාය සහ එග්මෝර් හි ට්‍රැෆික් පොලිස් නිලධාරියා.

මහාබෝධියේ වෙසක් උත්සවය, ධම්මදින්න පොඩි හාමුදුරුවන්ගේ ස්තුති කතාව,සංඝානන්ද හාමුදුරුවන්ගේ අවුල, කිලර්, සමන් සහ අඳුකොළ.

ආයෙම ලිවීම අමාරු වැඩක් බව තේරෙන්නේ ලියන්නට පටන් ගත් විටය. වැඩියත්ම අමාරු කතාවක් ආරම්භ කිරීමය. ඇරඹුවාට පසුව නම් ආයාසයකින් තොරව ලියැවෙයි. කතා කීපයක්ම ලියන්නට තිබුණත් සේනගේ කතාවෙන් පටන්ගෙන භික්ෂු පරිච්ඡේදයක් කරා ළඟාවූ කතාවම ලියා ඉවරයක් කරන්නට සිතුවෙමි.

මහාබෝධිය කියන්නේ මහා අමුතු ස්ථානයක් බව මම කලින්ද කියා ඇත්තෙමි. විවිධාකාර පුද්ගලයන් ගැවසෙන සහ විවිධාකාර කටයුතු සිද්ධවෙන මෙතැන දවසක් ගතකරන්නට ලැබීමම අපූරු අත්දැකීමකි. මහාබෝධියේ මුළු දවසම ගත කරන තවත් කණ්ඩායමක් වනුයේ මහාබෝධියෙන්ම සිය ජීවිකාව සරි කර ගන්නා පිරිසයි. මේ අය මහාබෝධියට එන ශ්‍රී ලාංකික වන්දනාකරුවන්ට විවිධාකාරයෙන් උදව් උපකාර කරමින් මුදලක් උපයා ගනිති. රාජා ඔය කියන කණ්ඩායමේ ඉන්නා කැපී පෙනෙන පුද්ගලයෙකි. ඔහු සාමාන්‍යයෙන් වන්දනා නඩ සාප්පු සවාරි ගෙනයෑම වැනි සිල්ලර වැඩ කරන කෙනෙක් නොවන අතර වන්දනා නඩ භාරව පැමිණෙන අය සමග ගණුදෙනු කරමින් ඔවුන්ගේ වන්දනා චාරිකාව සාර්ථක කරගන්නට අවශ්‍ය සේවා සහ පහසුකම් සපයන කෙනෙකි. උදාහරණයක් ලෙස කිවහොත් වන්දනා නඩ වලට මග පෙන්වන අය, උයන්නට අරක්කැමියන්, යන්නට රථ වාහන ආදිය සපයා දී මුදල් ලබා ගනියි. වන්දනා සමයේදී ඔහු බොහෝ කාර්ය බහුල වන අතර වන්දනා නඩ නොඑන ඕෆ් සීසන් එකේදී රාජා වාහන බ්‍රෝකර් වැඩ කරයි. අතේ මිටේ හොඳින් මුදල් ගැවසෙන කේරළ වැසියකු වූ රාජා අතට මුදලක් නොලැබේ නම් වැඩකට අත නොගසන කෙනෙකි.

මහාබෝධියෙන්ම ජීවිකාව සරි කර ගන්නා තවත් තරුණයෙක් වූ කපිල රාජාට වඩා හාත්පසින්ම වෙනස් චරිතයකි. කපිලලා සතුව ගෙස්ට් හවුස් එකක් ඇත. මහාබෝධියේ කාමර පිරී ඇතිවිට නවාතැන් සොයා එන ශ්‍රී ලාංකිකයන්ට කපිල සිය ගෙස්ට් හවුසියේ නවාතැන් සපයා දෙයි. ඊට අමතරව වාහනයක් තබාගෙන හයර් දුවන කපිල සිය හිතවතුන්ගේ වැඩවලට මුදල් නොබලා කැපවී වැඩ කරයි. සාමාන්‍යයෙන් අපි වුණත් අපේ අමුත්තෙක් ලංකාවේ සිට එනවිට ඒ වැඩේ භාර දෙන්නේ කපිලටය. ගුවන් තොටුපොළෙන් අමුත්තාව පිළිගැනීමේ සිට පිටත්ව යන දවස දක්වා අමුත්තාට අවශ්‍ය සියළුම දේවල් කපිල අතින් නොඅඩුව සිදුවෙයි. දෙන මුදලක් ගන්නවා මිසක මුදල් ගැන කේවල් නොකරන කපිල අපේ විනෝද සවාරි, සාද, සාජ්ජ වැනි වැඩවලට සිය සේවය සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙයි. ඊට ඊට අමතරව දකුණු ඉන්දියාවේ පුහුණුව ලබනා ලංකා නාවික හමුදාවේ කොල්ලන්ද නිවාඩුවට මදුරාසියට ඇවිත් මහාබෝධියේ නවාතැන් ගත් විට ඔවුන්ගේ ද සබ්බ සියලු උවමනා සහ ගමන් බිමන් ද කරගන්නේ කපිලගේ උදව්වෙනි.

වතාවක් අපි කළ නිදහස් දින උත්සවයක ගීත ගයන්නට ජමුණා රාණිට සහ ජික්කිට ආරාධනා කරන්නට මම ගියේ කපිලත් එක්කය. මගේ සගයෙකු සහ පැරණි ගීත ලෝලියකු වූ ටෙරන්ස් ද මා සමග ගමනට එක්විය. ඒ කාලයේ සිංහල චිත්‍රපට වලට ගීත ගැයුවාට මේ ගායිකාවන් දෙදෙනාටම සිංහල කතා කරන්නට නොහැකිය. ආරාධනාව ගැන බොහෝ සතුටට පත්වූ මේ ගායිකාවන් දෙදෙනා එවෙලේම ඔවුන්ගේ පැරණි ගීත ගායනා කළ අතර යුග ගීත වලට ටෙරන්ස් ද එකතු කර ගත්හ. රෑ මැදියමක් තිස්සේ පැවති අපේ ගීත සාජ්ජයෙන් බොහෝ සතුටට පත් කපිල ගමනට අපෙන් කිසිම මුදලක් ගත්තේ නැත. මෙතැනදී මට තවත් කතාවක් මතක්වේ.

දවසක්දා මම කාර්යාලයේ වැඩ කරමින් සිටියදී මට ලැබුණු දුරකථන ඇමතුමකි. කතා කලේ ශ්‍රී ලංකාවේ ප්‍රවීණ කලාකරුවකු වූ ධර්මසිරි ගමගේ මහතාය. ඔහුගේ පුද්ගලික අවශ්‍යතාවකට චෙන්නායි වලට පැමිණ මහාබෝධියේ නැවතී සිටි අතර ඔහුට මගෙන් උදව්වක් අවශ්‍යවී තිබුණි. ගමගේ මහතා මට කතාකර කීවේ කලකට පෙර ඔහුත් සමග පුවත්පත් කලාවේ නියැලී සිටි මිතුරියක් වූ මේජර් රමණී කාංගරආරච්චි සිය දියණියගේ අසනීපයකට ප්‍රතිකාර ගැනීමට චෙන්නායිවලට පැමිණ නැවතී සිටින බවත් ඇය මුණ ගැසී දියණියගේ සුවදුක් විමසීමට ඔහුට අවශ්‍ය බවත්ය. ගමගේ මහතාට තිබු ප්රශ්නය වුයේ ඇය නවාතැන් ගෙන සිටි ස්ථානය ඔහු දැන නොසිටීමයි. ඇයගේ ලිපිනය සොයාගෙන බලන්නට යන්න උදව්වක් කළ හැකි දැයි ඔහු කාරුණිකව මගෙන් අසා සිටියේය.

උදව්ව ලෙහෙසි වගේම අමාරු කාර්යයකි. දරුවා බලන්නට ඔහු රැගෙන යෑම ගැන කිසි ප්‍රශ්නයක් ඇති නොවුණත් ඔවුන් සිටින ලිපිනය සොයා ගැනීම කළ හැකිදැයි මට සැකයක් ඇතිවිය. මිලියන හතකට කිට්ටු ජනගහණයක් ඇති අති විශාල චෙන්නායි පුරවරයේ කිසිම හෝඩුවාවක් නොමැතිව කෙනෙක් සිටින තැන සොයා ගැනීම පිදුරු ගොඩකට වැටුණු ඉඳිකටුවක් සොයා ගැනීම මෙන් අමාරු කාර්යයකි. කෙසේ වුවද උදව්වක් ඉල්ලූ එක්වරම බැහැයි කියා ප්‍රතික්ෂේප නොකොට යම්කිසි සොයා බැලීමක් කිරීමට මම සිතුවෙමි. ලිපිනය සොයාගැනීම තරමක් අමාරු කාර්යයක් බව ගමගේ මහතාට දැන්වූ මම ලිපිනය සොයාගන්නට උත්සාහ කර ප්‍රතිපලය හවසට දන්වන්නෙමියි වැඩිදුරටත් කීවෙමි. කෙසේ වුවද මගේ කිට්ටුම මිතුරන් කීප දෙනෙකුගේ උදව්වෙන් එදින සවස් වෙද්දී මට ලිපිනය සොයාගැනීමට හැකිවිය. එය නගරයේ අප සිටි පෙදෙසින් බොහෝ ඈතට වන්නට තිබු ස්ථානයකි. මම මේ විස්තරය ගමගේ මහතාට දන්වා සවස කපිලගේ වාහනයේ අපේ ගෙදරට එන ලෙස කීවේ ගමනට මමත් සහභාගී වන්නට සිතාගෙනය.

කපිලත් සමග අපි එදා පිටත්වන විට සවස හය විතර වෙන්නට ඇත. සන්ධ්‍යාවේ නගරයේ ඇති අති විශාල වාහන තදබදය මගහරිමින් කපිල නගරයේ බොහෝ ඈතට ගමන් කර පැයකට පමණ පසු ලිපිනයේ සඳහන් තැනට අප ගෙන ගියේය. එය ඇපාර්ට්මන්ට් එකක බිම් මහලේ තිබු කුඩා ඇනෙක්ස් එකක් විය. රමණී වෛද්‍ය ප්‍රතිකාර ලබනා සිය දියණියත් සමග නැවතී සිටියේ එම ඇනෙක්සියේය. ඇය අපට දියණියගේ රෝගයේ විස්තර කීවේ දෑස කඳුලින් පුරාගෙනය. හඬා වැටෙන්නට තරම් වේදනාවක් තිබුණත් දියණිය ඉදිරියේ හඬන්නට ඇය අකමැති වුවාසේය. ටිකකින් අපට පිළිගන්වන්නට බන්දේසියක තබාගෙන තේ ගෙන ආ දියණිය දැකීමෙන් මගේ පපුවද දා ගියාක් මෙන් දැනිණි. ඇය අවුරුදු දාහතරක් පහළොවක් පමණ වයසැති අහිංසක සුන්දර දැරියකි. මෙපමණ කැකුළු වයසකදී ජීවත්වීම අවිනිශ්චිත තත්ත්වයක සිටි ඇයගේ ඉරණම ගැන සිතන විට සිතට දැනුණේ අතිශය වේදනාවකි. මගේ සිතුවිල්ලම ධර්මසිරි ගමගේ මහතාටත් ඇතිවී තිබුණු බව ඔහුගේ වේදනාත්මක මුහුණ දෙස බැලු මට පෙනුණි. මවත් දියණියත් සමග කතා බහ කරමින් සිට අපි එන්නට පිටත්වුනේ පපුවේ ගලක් හිරවුනාක් වැනි හැගීමක් සහිතවය. උස මහත හැඩිදැඩි සිරුරක් තිබුනද සිතින් දැඩි සංවේදී පුද්ගලයෙක් වූ ධර්මසිරි ගමගේ මහතාට සිය මිතුරියගේ දරුවාට අත්ව ඇති ඉරණම දරාගත නොහැකි වේදනාවක් ගෙනදී ඇති බව පෙනෙන්නට විය. අපේ සිත් අමාරුව තේරුම් ගත් කපිලද නිහඬවම රිය පදවන්නට විය. හිතේ අමාරුව යන්නටත් එක්ක අපේ ගෙදර ගොස් අඩියක් ගහමු යැයි මා කළ යෝජනාවට ගමගේ මහතා නිහඬවම එකඟත්වය පළකලෙන් තවත් ටික වේලාවකට පසු අපි තුන්දෙනා අපේ ගෙදර සැටියේ බෝතලයක්ද ඉදිරියෙන් තබාගෙන වාඩිවී සිටියෙමු.

ඒ වන විට හොඳටම රෑ බෝවී තිබු අතර කලින් නොදන්වා අමුත්තන් ගෙදරට කැඳවාගෙන ඒම වැනි මගේ අරුම පුදුම වැඩවලට හොඳින් හුරුවී සිටින හැලපිත් කිසි අමුත්තක් නොපෙන්වා අපට හපන්නට අඩුම කුඩුම ආදිය සපයාදීමෙහි යෙදුණාය. අපි නිහඬවම කර්තව්‍යය ආරම්භ කළෙමු. ටික වේලාවකින් ගමගේ මහතා කියන්නට ගත්තේ රමණීත් සමග වැඩකළ කාලය ගැනය.

"රමණි දැක්කම මගෙ පපුව හෝස් ගාල පත්තු වෙලා ගියා මල්ලි! කොහොම හිටපු කෙල්ලක්ද?"

යුද හමුදාවට බැඳෙන්නට පෙර සිටම පුවත්පත් වලට ලිපි ලියු ඇය හමුදා සේවයේ යෙදී සිටිනා අතරතුරද හිතවතුන් බැලීමට පැමිණි බව ගමගේ මහතා කීවේය.

"යුනිෆෝම් එක ඇඳලා කන්තෝරුවට එනකොට තිබුණු ලස්සන, තේජස අද ඒ ඔක්කොම නැතිවෙලා හුඹහෙන් ඇදල දාල වගේ දිරල ගිහින් ඉන්නකොට හිත වාවන්නෙ නෑ. ජීවිතේ හැටි බලන්නකො."

දෙක තුනක් වදිනවිට ධර්මසිරි ගමගේ මහතාගේ කවි සිත අවදිවන්නට විය. මගෙන් ගෙදර විස්තර ඇසු ඔහු අපට කුඩා පුතෙක් සිටින බව දැනගෙන නිදා සිටි හැලපැට්ටා ද ඇහැරවා උගෙන් කොළද පෑනක් ද ඉල්ලාගෙන හැලපැට්ටා ගැන කවි ලියන්නට පටන් ගත්තේය. ඒ දවස්වල අපිත් එක්ක සිටි අපේ අම්මාද සද්දයට ඇහැරී එළියට ආ විට ඔහු අම්මා ගැනද කවි ලියා කියෙව්වේය. හදිසියේ පිළියෙළ කළ රාත්‍රී ආහාරයද අපේ ගෙදරින් ගත් ගමගේ මහතා කපිලත් එක්ක පිටත්ව ගියේ පාන්දර යාමයේය. ගමනට වියදම කීයක් දැයි ඇසු විට ඒ ගැන කරදර නොවන්නැයි කපිල කියා සිටියේය. ඊට පසුදා අපේ මිත්‍ර බන්දු ගමගේ මහතා වෙනුවෙන් දුන් රෑ කෑමට ඉන්දියානු මිතුරන් කීප දෙනෙක්ද පැමිණ සිටියහ. කතාබහ කරමින් සිටින අතර අපි මහත් ගෞරවයකින් සළකන ගමගේ මහතා ලංකාවේ කවුදැයි දැනගන්නට ඔවුන්ට වුවමනා විය. අර්ජුන ඔවුන්ට දුන්නේ කෙටි සහ අර්ථපූර්ණ පිළිතුරකි.

"මේ තමයි ලංකාවෙ කන්නදාසන්!"

මම ලංකාවට පැමිණි පසු මගේත් කපිලගේත් සම්බන්ධය තරමක් දුරස් වුවත් ඉඳහිට වගේ චෙන්නායි වලට ගිය විටෙක අනිවාර්යයෙන්ම කපිල හමුවන්නට අමතක නොකළෙමි. ඒ වගේ වෙලාවල් වලදී සෙට් වෙන්නට කපිල මාව එක්ක යන්නේ ඔහු දන්නා පොඩි ක්ලබ් එකකටය. මමත් එතැනට යන්නට බොහොම කැමති වෙන්නේ ඒ ක්ලබ් එකේ තියෙන වටු මස් බයිට් එක රස වැටී සිටි නිසාය. මීට ටික කලකට පෙරත් ඔය වගේ චෙන්නායි ගිය වෙලාවක මහාබෝධියට ගොස් කපිල ගැන විපරම් කළෙමි. මේ දැන් කපිල සිටි බව කී හාමුදුරුවෝ, ආ කියනකොටම ඔය එන්නෙ කියමින් මට කෙනෙක්ව පෙන්වූ සේක. වැහැරී ගිය සිරුරක් හා රැළි වැටී තිබුණු මුහුණක් ඇති කෙනෙක් සිනාසීගෙන මදෙසට පැමිණියේය. ඒ නම් මා දන්නා කපිල නොවේ.

මගේ ලඟට පැමිණි ඔහු මගේ අතින්ද අල්ලාගෙන සුවදුක් විමසන්නට විය. ඒ ඉන්නේ කපිල යැයි මගේ සිත පිළිගත්තේ ගොඩක් ප්‍රමාද වෙලාය. විස්තර කතාකරද්දී කපිල තමන්ට සිදුවූ දෙය කීවේය. ඔහු ගුවන් තොටුපළට අමුත්තෙක් ගෙනෙන්නට යද්දී දරුණු රිය අනතුරකට මුහුණ පා තිබේ. අනතුරේ ප්‍රතිපලයක් ලෙස ඇසක්ද අහිමිවී රෝහලේ කාලයක් ප්‍රතිකාර ගන්නට සිදුවී ඇත. දැන් කපිල ඉන්නේ බොරු ඇසක් සවිකරගෙනය. විස්තරයෙන් පසු වෙනදා අපි හමුවුන විට කරන පිළිසඳර සතුටු සාමීචි ආදියේ යෙදෙන්නට තරම් නිරවුල් මනසක් මට නොතිබුණෙන් නිහඬවම මා ආපසු නවාතැනට ආවේ බරවුණු සිතකිනි.

තමන්ටම වාහනයක් මිලදී ගත්තොත් නරකදැයි රාජා ධම්මදින්න පොඩි හාමුදුරුවන්ට වචනය දමා දැන් ටික කලක් ගතවී ගොසින්ය. වාහනයක් ගැනීම ගැන හාමුදුරුවෝ කල්පනා කරමින් සිටියදී රාජා කීවේ තමන් සතු වාහනයක් විකිණීමට ඇති බවත් කොටස් වශයෙන් මුදල් ගෙවීමේ ක්‍රමයට ඒ වාහනය හාමුදුරුවන්ට විකිණීමට කැමති බවත්ය. එයට හාමුදුරුවන්ද කැමති වූ නිසා රාජා තමන් සතුව තිබු තරමක් පැරණි පැජරෝ ජීප් එක සෑහෙන ලාබයක් සහිතව හාමුදුරුවන්ට වික්කේය. වාහනය ගන්නට පෙර සිටම අනුන්ගේ වාහනවල රවුම් ගැසූ ධම්මදින්න පොඩි හාමුදුරුවන්ට වාහනයක් ලැබීම අස්සයාට තටු ලැබීමක් මෙන් වුයේය. ඊට පසු පැජරෝ එකේ නැග එග්මෝර් අවට පාරවල්වල සැරිසරන ධම්මදින්න පොඩි හාමුදුරුවන් දකින්නට ලැබීම සුලබ දර්ශනයක් විය. හාමුදුරුවන්ගේ වාහනයෙන් වැඩිපුරම වගේ ප්‍රයෝජනය ලැබුණේ මහාබෝධියේ ඉන්නා කෙල්ලන්ටය. දිල්ලි විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නා ලංකාවේ කෙල්ලන් නිවාඩුවට ගෙදර ගොස් ආපසු එන්නේ දිල්ලි යන දුම්රියට දවසක් හෝ දෙකක් කල් ඇතුවය. ඒ දවස් දෙක තුන ඔවුන් මහාබෝධියේ නතරවී සිට ටී නගර් වල ෂොපින් යෑම සිරිතක් වශයෙන් සිදුකරති. හාමුදුරුවන් වාහනය ගත්තාට පසු කෙල්ලන් ටී නගර් වලට ෂොපින් ගියේත් දිල්ලියට යන තමිල්නාඩු එක්ස්ප්‍රස් දුම්රියට නගින්නට සෙන්ට්‍රල් ස්ටේෂමට ගියේත් හාමුදුරුවන් පැදවූ පැජරෝ එකේ නැගගෙනය.

ඔය ආකාරයට කුඩුවෙන් මුදාහල කුරුල්ලෙක් සේ වාහනයේ නැගී රවුම් ගහමින් සිටි හාමුදුරුවෝ දවසක් කරදරයක පටලැවුනි. එක දවසක හැන්දෑවේ කෙල්ලන් රංචුවකුත් වාහනයේ දමාගෙන ටී නගර් වල ෂොපින් ගොස් ආපසු එන හාමුදුරුවෝ එග්මෝර්හි ඇල්බට් සිනමා ශාලාව ඉදිරිපිට පාර මැද වාහන හසුරවමින් සිටි ට්‍රැෆික් පොලිස් නිලධාරියාව පැජරෝ එකේ හප්පා වදාළ සේක. එතැන ඉන්නා ට්‍රැෆික් පොලිස් නිලධාරියා අපි හැමදාම උදේ සවස දැක පුරුදු ඇති සහ රියැදුරන් අතර බොහෝ ජනප්‍රිය චරිතයකි. උදේට අපි කාර්යාලයට යද්දී හොඳට මැදපු පිරිසිදු නිල ඇඳුමකින් සැරසී වැඩ පටන්ගන්නා ඔහු සිය සංඥාව අනුව නැවතී සිටින රියැදුරන් සමග වචනයක් දෙකක් සිනාවක් හුවමාරු කරගෙන සිනාසීගෙන සැහැල්ලුවෙන් රාජකාරි කළ කෙනෙකි. මුළු දවල් දවසම එතැන සිට වාහන හසුරුවන ඔහු හවස අපි ආපසු එද්දී වාහන දුමෙන්ද, දුවිල්ලෙන්ද, දහඩියෙන් ද නැහැවී කළු කපුටෙක් මෙන් පෙනී සිටින්නේ සුපුරුදු සිනහවද මුවෙහි සහිතවය.

තරමක් වේගයෙන් රථය පදවාගෙන ආ ධම්මදින්න පොඩි හාමුදුරුවන්ට වේගය පාලනය කර ගැනීමට නොහැකිව රථය ට්‍රැෆික් පොලිස් නිලධාරියාව යටකරගෙන වැඩම කළේය. වහා එතැනට රැස්වූ පිරිස විසින් ට්‍රැෆික් පොලිස් නිලධාරියාව රෝහල් ගත කරන ලදී. ඔහුගේ කකුලේ බත්කෙන්ඩ අඟල් හයක් පමණ ඉරී ගොස් තිබුණු අතර ඇලපත තැලී වම් අතේ වැලමිටට පහළින් ඇටය පුපුරා තිබුණි. මුහුණේ තුවාලයකට වුයේ නාසය බිඳී තිබීමයි. එතැනට ආ පොලීසිය රථයද හාමුදුරුවන්ද අත් අඩංගුවට ගෙන එග්මෝර් පොලීසියට රැගෙන ගියහ. අනතුර බරපතල එකක් වුවත් සිවුරු හා ලෝගු හැඳ සිටින පුජක පක්ෂයට දකුණු ඉන්දීය වැසියන් දක්වන ගෞරවය නිසා පොලීසිය හාමුදුරුවන්ව රිමාන්ඩ් කළේ නැත. රතනජෝති ලොකු හාමුදුරුවෝද, අපේ ලොක්කාද ඇතුළු සෑහෙන උදවිය කීප දෙනෙක් චෙන්නායි හි පොලිස් කොමසාරිස් වරයා හමුවී කරන ලද ඉල්ලීම නිසා පොලීසිය වැඩේ ගොඩින් බේරාගන්නට කැමති විය. අනතුරට ලක්වූ පොලිස් නිලධාරියාට වන්දියක් ලබාදෙන්නට ධම්මදින්න පොඩි හාමුදුරුවෝ කැමති වුණු අතර වලංගු රියැදුරු බලපත්‍රයක් නොමැතිව මීට පසුව වාහනයට ගොඩවෙන්නට වත් එපා යැයි ලැබුණු තදබල අවවාදයද සහිතව පොලීසිය විසින් හාමුදුරුවන්ව නිදහස් කර වදාරන ලදී෴

හැලපයාhttp://www.blogger.com/profile/14910441607831391629noreply@blogger.com42tag:blogger.com,1999:blog-8432415427742462325.post-46858548351992323122019-05-02T01:58:00.001-07:002019-05-02T01:58:58.029-07:00නිහැඬියාව.

අන්තිමට පෝස්ටුවක් ලීවේ අදින් මාස දෙකකට පමණ පෙරදී එනම් පෙබරවාරි මාසයේය. ඊට පසුව පෝස්ටුවක් ලියන්නට කොතෙක් උත්සාහ කළත් ලියැවුණේම නැත. ඊටද විවිධාකාර හේතු තිබිණි. එකක් රටේ තිබු දරුණු ඉඩෝරය ය. ඒ කාලේ තිබු රස්නය කොතරම්දැයි කිව්වොත් මම බ්ලොග් ලියන කාමරය පෝරණුවක් මෙන් විනාඩි පහක් එකතැන ඉඳගෙන ඉන්නට බැරි තරම් රත්වී තිබු අතර එදිනෙදා බලන දේවල් බැලුවේ කියෙව්වේද හරිම අපහසුවකිනි.

මාස ගණනකට පසු වහින්නට ගත්විට එතෙක් තිබු දැඩි රස්නය මග හැරී ගියත් මගේ පරිගණක රාජයා ලෙඩ දෙන්නට ගත්තේය. කර කියාගන්නට දෙයක් නැතිව ඉන්නා විට උදව්වට ආවේ අපට කෝකටත් තෛලය ලෙස ඉන්නා අටමාය. පරිගණකය හදාගන්නට බැරි වුණත් ස්ක්‍රීන් එකේ දෝෂයක් නිසා බලන්නට බැරිව පැත්තකට දමා තිබු ලැප් ටොප් එක ගත්ත අටමා ලැප් එක ඩෙස්ක් ටොප් එකේ මොනිටරයට සම්බන්ධ කර තාවකාලික වශයෙන් පිළියමක් කරදී ලියාගන්නට හැකි තත්ත්වයකට පත්කර ඩෙස්ක් ටොප් එක හදන්නට රැගෙන ගියේය. ඉතින් දැන් නම් මාස කීපයකට පසු යමක් ලියාගන්නට හැකි තත්ත්වයක් ඇතිවී තිබේ.

එහෙයින් හැකි ඉක්මනින් පෝස්ටුවක් ලියන්නට බලාපොරොත්තුවෙන් සිටින බව දන්වමි. එමෙන්ම පසුගිය මාස දෙක ඇතුළත මගේ නිහැඬියාව ගැන සොයා බැලු සහ ලියන්නේ නැතිදැයි අසා මේල් එවූ සියළුම හිතවතුන්ට ස්තුතිවන්ත වෙමි෴

හැලපයාhttp://www.blogger.com/profile/14910441607831391629noreply@blogger.com39tag:blogger.com,1999:blog-8432415427742462325.post-51528986745033895392019-02-19T18:40:00.001-08:002019-02-19T18:40:12.807-08:00මහාබෝධියේ වෙසක් උත්සවය, ධම්මදින්න පොඩි හාමුදුරුවන්ගේ ස්තූති කතාව, සංඝානන්ද හාමුදුරුවන්ගේ අවුල, කිලර්, සමන් සහ අඳුකොළ.

අවුරුද්දකට වරක් මහාබෝධියේ පැවැත්වෙන ලොකුම උත්සවය වූ වෙසක් මංගල්‍යය ඒ අවුරුද්දේ මහ ඉහළින් පැවැත්වුණේ විශාල ජනකායකගේ සහභාගිත්වයෙනි. කෙනට් පාර පටන් ගන්නා තැන සිට ආරම්භ වූ පෙරහැර නැටුම් ගැයුම් වලින් අලංකාර විය. මහාබෝධිය දක්වා පෙරහැර ගමන් කිරීමේදී පොලිසියෙන් ඉතා හොඳ සහයෝගයක් ලැබිණි. ආගමික කටයුතු අවසානයේ උත්සව සභාව පැවැත්විණි. කලින් සකස් කළ වැඩ සටහනට අනුවම උත්සවය පැවැත්වුණු නිසා වෙනදා පැය දෙකහමාරක් තුනක් කතාකරන ආචාර්ය සිද්ධාර්ථන් ගේ කතාවට ලැබී තිබුණේ විනාඩි පහක කාලයකි. කෙසේ වුවද පැය කාලක පමණ කතාවකින් පසු ආචාර්ය සිද්ධාර්ථන් ව නවතා ගැනීමට සංවිධායකයන්ට හැකිවිය. මේ සියලු උත්සව කටයුතු විටින් විට ලක්හඬ ගුවන් විදුලියෙන් ප්‍රචාරය විය. උත්සවයේ අවසන් කතාව වන ස්තූති කතාව කරන්නට සිටියේ ධම්මදින්න හාමුදුරුවෝ ය. උත්සවය සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන් පැවැත්වෙන නිසා ස්තුතී කතාවද කළ යුත්තේ ඉංග්‍රීසියෙනි. ඉංග්‍රීසියෙන් ස්තුතී කතාව කරන්නට ධම්මදින්න හාමුදුරුවෝ දත මැදගෙන හිටියත් පොඩි පරහකට තිබුණේ ධම්මදින්න හාමුදුරුවන්ට ඉංග්‍රීසි බැරි වීමය.

ඉංග්‍රීසි බැරිය කියා ධම්මදින්න හාමුදුරුවන් පසුබැස්සේ නැත. උන්වහන්සේ ගේ කතාව සකස් කරදීම අපට පැවරිණි. අපි උත්සවයට සතියකට පෙර සිට ධම්මදින්න හාමුදුරුවන්ගේ කතාව හදන්නට පටන් ගත්තෙමු. මුලින්ම අපි කළේ මහාබෝධියට ගොස් ධම්මදින්න හාමුදුරුවන්ගේ කතාව සිංහලෙන් ලියා ගැනීමය. ලියාගෙන අවසන් වන විට තරමක් රෑ වෙලාය. "මහත්තුරුන්ට මහන්සිත් ඇති නේද?" කියන හාමුදුරුවෝ තේ ගෙනෙන්නට ගෝලයෙකුට කියන විට "තේ නම් ඕනෑත් නෑ හාමුදුරුවනේ" කියා අපි ඇද පැද කිව්වේ තේ එපා නිසාම නොවේ. "එහෙනම් වෙන මොකුත් ගෙන්නන්නකෝ" කියන හාමුදුරුවෝ විස්කි බෝතලයක් ගේන්නට මුදල් දෙති. විස්කි බෝතලය අවසානයේ අපි සතුටින් නිවෙස් බලා විසිර යන්නෙමු. පහුවදාද අපි මහාබෝධියට එකතුවෙන්නේ හාමුදුරුවන්ගේ සිංහල කතාව ඉංග්‍රීසියට පරිවර්තනය කිරීමටය. ප්‍රසිද්ධ සභාවක් මැද කෙරෙන කතාවක් නිසා ඒ කතාව බොහෝ ප්‍රවේසමෙන් පරිවර්තනය කර අවසන් කළ යුතු බැවින් අපට එදාද කතාව සම්පූර්ණයෙන් පරිවර්තනය කර ගැනීමට නොහැකිව හාමුදුරුවන්ගේ ආගන්තුක සත්කාරය ලබා විසිර යන්නට සිදුවේ. කෙසේ හෝ අපි සතියක පමණ කාලයක් හාමුදුරුවන්ගේ කතාව සඳහා ගතකල අතර අවසානයේ කතාව පරිවර්තනය කර ශුද්ධ කර අලංකාර කර බලන විට ඉතිරිවී තිබුණේ හාමුදුරුවන් අපට කියපු සිංහල කතාවට හාත්පසින්ම වෙනස් කතාවකි. කතාව හාමුදුරුවන්ට බාරදුන් විට ප්‍රීතියෙන් පිනාගිය උන්වහන්සේ අපට බොහෝසේ ස්තුතී කළහ.

ස්තුතිය අවසානයේ අපි හාමුදුරුවන්ගෙන් ඉතා බැගෑපත්ව ඉල්ලා සිටියේ කතාව එක්වරක් නොව දහවරක් පමණ කියවා වචනවල උච්චාරණය පුහුණු වෙන්නට කියාය. ඊටද හේතුවක් තිබුණි. ඊට කලින් අවුරුද්දේ සමිත හාමුදුරුවන්ට අපි හදා දුන් කතාව උන්වහන්සේ සභාවේදී කියවන්නට ගොස් වරද්දා ගත්තේය. වචන උච්චාරණය එහෙම පිටින්ම වැරදිය. නවත්වන්නට අවශ්‍ය තැන නවත්වන්නේ නැත. වාක්‍යවල මැදදී නවත්වයි. ඊට පහුවදා ලොක්කා අපට කතාකළේය.

" මොනවද අයිෂේ අර හාමුදුරුවො ඊයෙ කියපු කුණුහරුප? කවුද ඔය කතාව හදල දුන්නෙ?"

අපි මුවින් නොබැන සිටි තැන කතාව අප විසින් හදා දෙන ලද්දක් බව ලොක්කා ප්රත්යක්ෂ කරගත්තේය.

" කතා හදල දෙන එකේ වැරද්දක් නෑ, ඒ වුණාට කියවන හැටිත් පුරුදු කළා නං තමයි හොඳ." කියා කතාව හමාර කළේය. ධම්මදින්න හාමුදුරුවන්ටද අපි බැගෑපත් වුණේ කතාව වැරැද්දුවොත් එහෙම ඒ වැරද්දත් අපි පිට පැටවෙන නිසාය. කෙසේ වුවද ප්‍රතිපලයේ වෙනසක් වුයේ නැත. අපි ලියාදුන් කොළය එකවරක් වත් කියවන්නට කරදර නොවූ ධම්මදින්න හාමුදුරුවෝද කතාව වැරද්දු අතර අන්තිමේදී කළේ සෙවරල් කොන්ක්‍රීට් වැනි කතාවකි.

කෙසේ වුණත් ඉතා අලංකාරව පැවති වෙසක් උත්සවය සතුටින් අවසන් වූ අතර උත්සවය අවසානයේ ආරාධිතයින් සඳහා තේ පැන් සංග්‍රහයක් විය. කාන්තාවන්ට තේ පැන් සංග්‍රහයට සහභාගී වෙන්නට කියා අපි දෙතුන් දෙනෙක් සමන් සමග ඔහුගේ කාමරයට ගියේ සමන් ලංකාවෙන් එනවිට ගෙනැවිත් තිබූ විස්කි බෝතලයක් හිස් කරන්නටය. වැඩේ පටන්ගන්නා විටම සංඝානන්ද හාමුදුරුවෝ කාමරයට වැඩම කළහ. ඊට ටික කලකට පෙර මහාබෝධියට පැමිණ සිටි සංඝානන්ද හාමුදුරුවෝ ඉතා අලංකාරව බෝධි පූජා පැවැත්වීමෙහි සමතෙකි. උන්වහන්සේ අහගෙන ඉන්න උපාසක අම්මලාට අඬන්නට බෝධි පූජා කවි ගායනා කරයි. හාමුදුරුවෝ විස්කි බොන්නේද අමුවෙනි. ඔහු ආපු ගමන්ම කට කපා වීදුරුවක් වක්කරගෙන ගිල දැම්මේය. තව එකක් වදින විට උන් හිටි තැන්ද අමතකවූ හාමුදුරුවෝ පිස්සු කියවන්නට වූයෙන් කාමරයෙන් එළියට වැඩම කරවුයේ බොහෝ අසීරුවෙනි.

හාමුදුරුවන් කාමරයට එන විට අපි කතා කරමින් හිටියේ ඊට අවුරුදු කීපයකට පෙර සමන් කළ වැඩක් ගැනය. මහරගම ජාතික තරුණ සේවා සභාවේ යොවුන් සම්මාන උළෙලක නිවේදකයා වුයේ සමන්ය. ප්‍රධාන ආරාධිතයා ජනාධිපති ප්‍රේමදාස මහතාය. සමන් සිය සුපුරුදු වාග් චාතුර්යයෙන් සභාව මෙහෙයවමින් කථිකයන් හඳුන්වා දුන්නේ එක් එක් කථිකයා ගැන වර්ණනාවක් ද සමගිනි. අවසානයේ ජනාධිපති ප්‍රේමදාස මහතා සභාව ඇමතීමේ වාරයද පැමිණියේය. මයික්‍රපෝනය ඉදිරියට ගිය සමන් කථිකයා හඳුන්වන්නට පටන් ගත්තේ ප්‍රේමසිරි කේමදාසයන්ගේ කිලර් කැසට් පටයේ එන ගීතයක කොටසකිනි.

"කළුවර දළු කඩාගෙන කෑ මහ රෑට

ගිණි මල් පිපීලා හඬ දෙයි විටින් විට

කඳු කවුළුවෙන් ලා හිරු එබෙනා පැයට

රැකගත් යෞවනය ගිනිගත් ටයර යට"

වනමල්ය වනමල්ය (ගීතය මෙතැනින් අසන්න)

"දැන් ඔබ අමතන්නේ ශ්‍රීමත් ජනාධිපති රණසිංහ ප්‍රේමදාස!!"

මා මේ උත්සවය රූපවාහිනියෙන් නැරඹු නිසා මේ ගැන සමන්ගෙන් අහන්නට සිත්විය. සමන් සිනාසෙමින් කීවේ මෙවැනි කතාවකි.

" සමන් ඉවරයි කියල ඔක්කොම කිව්වා. අහගෙන හිටපු චරිත රත්වත්ත(එවකට ජාතික තරුණ සේවා සභාවේ සභාපති) ඔළුවෙ අත ගහගත්තා. ඒ වුණාට මට කිසිම ප්‍රශ්නයක් ආවෙ නෑ ප්‍රේමදාස මහත්තය මැරෙනකල්ම."

" ප්‍රශ්නෙ තියෙන්නෙ ඇයි ප්‍රේමදාස මහත්තය ඉස්සරහ තියාගෙන එහෙම කිව්වෙ කියලා?"

" අනේ මංදා බං, කිව්වද කියවුණාද කියල මට අදත් හිතාගන්න බෑ."

අපි සිනාසෙද්දී සමන් තවත් කතාවක් කීවේය. අඳුකොළ සමන් අධ්‍යක්ෂණය කළ ටෙලි නාට්‍යයක් වූ අතර එය 1989 දී පමණ රූපවාහිනියෙන් විකාශය විය. එයද මා ඉතා ප්‍රියකළ ටෙලි නාට්‍යයක් වූ අතර අද අඳුකොළ ටෙලි නාට්‍යයේ කොටසක් හෝ අන්තර්ජාලයේ කිසිම තැනකින් සොයාගන්නට නොහැකිවීම කණගාටුවට කරුණකි. මේ ටෙලියේ ප්‍රධාන චරිත වසන්ත කොටුවැල්ල සහ අරුණි දේවරාජා රඟ පෑ අතර ජෝ අබේවික්‍රම, මානෙල් ජයසේන, ජී.ඩබ්ලිව්.සුරේන්ද්‍ර සහ දයා තෙන්නකෝන් සහාය චරිත රඟපෑහ(අරුණි දේවරාජා රඟ පෑ ප්‍රථම සහ එකම ටෙලි නාට්‍යය අඳුකොළ විය. මහාචාර්ය ලෝනා දේවරාජා මහත්මියගේ දියණිය වූ අරුණි රාජ්‍ය සේවයට බැඳීමෙන් පසු රඟපෑමෙන් ඉවත් වීම නිසා ක්ෂේත්රයට දක්ෂ නිළියක් අහිමි වූ බව මගේ විශ්වාසයයි) සමන් කී කතාව මෙයයි.

" අපි අඳුකොළ ෂූට් කරන කාලෙ ජේ වී පී කලබල තදටම තිබුණා. කතාවෙ හැටියට ජෝ මහත්තයට තුවක්කුවක් තිබ්බා. මිනිහ ඇවිදින්න යන්නෙ ඕකත් කරගහගෙන. දවසක් ජෝ මහත්තය අරුණිත් එක්ක ඇවිදින්න යද්දී පැත්තක තියලා තිබ්බ තුවක්කුව දැකල ආසාවට තුවක්කුව අතට ගන්න අරුණි කොකා ගස්සනවා. වෙඩිල්ල පත්තු වෙද්දි තුවක්කුව ආපහු විසිවෙන සැරට අරුණි විසිවෙලා වැටෙනවා. තුවක්කුව තව පැත්තකට වීසි වෙනවා. ඒ වෙලාවෙ ජෝ මහත්තය අරුණිට කරපු වැඩේ ගැන දොස් කියනවා. ඔන්න ඔය සීන් එකයි ගන්න තිබ්බෙ. ඒ කාලෙ වැඩේට තුවක්කුවක් හොයා ගත්තෙත් හරි අමාරුවෙන්, මුලදි මුලදි තුවක්කුව බලාගන්න වෙනම ගෝලයෙක් දාල හිටියත් ෂූටිං කෙරීගෙන යද්දී ඒ උනන්දුව නැතිවෙලා ගියා, ඊට පස්සෙ ගස්වලට, ගල්වලට, බෝක්කු කණුවලට තුවක්කුව හේත්තු කරල තිබ්බ මිසක බලාගන්න වෙනම කෙනෙක් හිටියෙ නෑ. ඔන්න දැන් අපි ෂූට් එකට ගියා, අරුණි තුවක්කුව අරගෙන කොකා ගැස්සුවට තුවක්කුව පත්තු වුණේ නෑ. ඊට පස්සෙ අරගෙන තුවක්කුව සුද්ද කරල ආපහු පතුරමක් දාල ආයෙ ගැස්සුවත් පත්තු වෙන්නෙ නෑ. දැන් ලොකු ප්‍රශ්නයක් සීන් එක කරගන්න බෑනෙ. ඔය වෙලාවෙ තමා පැත්තකට වෙලා ෂූටිං බලාගෙන හිටපු කොල්ලො දෙන්නෙක් මගෙ ලඟට ආවෙ.

" ඇයි සමන් අයියා ප්‍රශ්නයක්ද? මේ කොල්ලො මගෙන් ඇහුවා."

" ඒකනෙ මල්ලි තුවක්කුව පත්තු වෙන්නෙ නැතිව ගියානෙ."

විනාඩි පහක් ඉන්න සමන් අයියෙ කියල කොල්ලො දෙන්නා සයිකලේ නැගල යන්න ගියා. මේ දෙන්න ටිකකින් ආපහු ආවෙ තුවක්කු හතරක් අරගෙන. "මෙන්න සමන් අයියෙ ඔයාට ඕනැ තුවක්කුව තෝරලා ගන්න" කියල තුවක්කු ටික මගෙ අතට දුන්නා. මම ජෝ මහත්තය ළඟ තිබ්බ තුවක්කුවෙ පෙනුමට හරියන එකක් තෝරගෙන ආපහු ටේක් එකට ගියා. එක ටේක් එකෙන්ම ෂොට් එක ඕකේ වුණා. වැඩේ ඉවරවුණාට පස්සෙ තුවක්කුව ඉල්ලගත්ත කොල්ලො දෙන්නා සයිකලේට නැගල යන්න ගියා. ආයෙම උන් ඒ පැත්තෙවත් ආවෙ නෑ."

" දේශප්‍රේමියෝ දෙන්නෙක් වෙන්න ඇති." අපි කීවෙමු.

" වෙන කවුද, කොච්චර වුණත් උන් දෙන්නා වෙලාවට එතන හිටියෙ නැත්නං මම ලොකු අමාරුවක වැටෙන්නෙ." සමන් කතාව අවසන් කළේය.

ඉලන්දාරිකම හොඳටම ඔලුවට ගසා තිබූ නිසා ධම්මදින්න හාමුදුරුවෝ මහාබෝධියේ කාලය ගතකලේ සැහැල්ලුවෙනි. නිතරම මහාබෝධියේ ඉන්න කපිල, රාජා වැනි අය සමග හිතුණු හිතුණු වෙලාවට වාහනවල නැගී ඇවිදින්නට ද ධම්මදින්න හාමුදුරුවෝ පුරුදු වුණේය. ඔහොම ටවුමේ ඇවිදින ගමන් රෑ බෝ වුන වෙලාවට අපේ ගෙදරට ගොඩවෙන්නේ රෑ දානය සොයාගෙනය. අපේ අම්මාත් අපේ ගෙදර ඇවිත් හිටපු දවසක පොඩි හාමුදුරුවෝ අපේ ගෙදරදී අපිත් එක්ක මේසයේ වාඩිවී රෑ දානය වළඳනවා දුටු අපේ අම්මාගේ කට අප්පල්ල වගේ හායි ගා ඇරුනේ මෙහෙම දෙයක් කවදාවත් දැක නැති නිසාය.

හැමදාම අනුන්ගේ වාහනවල නොයා තමන්ටම කියා වාහනයක් ගත්තා නම් නරකදැයි දවසක් රාජා හාමුදුරුවන්ට කියූ පසුව හාමුදුරුවෝත් වාහනයක් මිලදී ගැනීම ගැන උනන්දු වන්නට වූහ ෴

Unknownnoreply@blogger.com40tag:blogger.com,1999:blog-8432415427742462325.post-15576240261609579132019-02-06T21:02:00.001-08:002019-02-06T21:02:37.504-08:00සමිත හාමුදුරුවන්ගේ වෛද්‍ය සායනය, අඹ වෙළෙන්දාගේ ගසා කෑම,මහාබෝධියේ වෙසක් උත්සවය,ලොක්කාගේ විස්කි පානය සහ කරුපාගේ සැළකිලි.

අපි ලියමින් හිටපු සේනගේ කතාව මැදට භික්ෂු පරිච්ඡේදයක් ආව නිසා සේනගේ කතාව ඉවර කරන්නට නොහැකි විය. හාමුදුරු කතා ටික මේත් එක්කම ලියා අහවරයක් කරන්නට හිතුවේ ඊට පසු සේනගේ කතාව ලියන්නට සිතාගෙනය.

සමිත හාමුදුරුවෝ මහාබෝධියේ ඉන්න කාලේ අවුරුදු පතා කළ සමාජ සත්කාරයක් වූයේ කාංචිපුරම් පැත්තේ දුප්පත් ගමක වෛද්‍ය සායනයක් පැවැත්වීමය. සායනය කළේ ඒ ගමේ ඉන්න හාමුදුරුවන්ගේ හිතවතෙකු වූ බෞද්ධ මහත්මයකුගේ ගෙදරය. ඒ අවුරුද්දෙත් හාමුදුරුවෝ සායනය පවත්වන්නට කටයුතු සුදානම් කරගෙන කාංචිපුරම් යන්නට මටත් ආරාධනා කළහ. වාහන දෙකක්ම යන නිසා ඉඩ තියෙන බැවින් සිය පවුලම කැටුව පැමිණෙන්නැයි වැඩිදුරටත් කීහ. කාලය මට මතක හැටියට 1999 හෝ 2000 වසරේ ග්‍රීෂ්ම කාලයයි. ඔය කියන ග්‍රීෂ්ම කාලය දකුණු ඉන්දියාවට කොයි තරම් තදින් බලපවත්වන්නේද කිව්වොත් පාරේ තාර පවා උණුවෙන තරමට රස්නය තදය.

ඉතින් එක නිවාඩු දවසක අපි කට්ටියම කාංචිපුරම් ගියේ හාමුදුරුවන්ගේ මුලිකත්වයෙනි. වෛද්‍යවරයා වුණේ ඇපලෝ රෝහලේ වැඩකරන අපේ හිතවත් ජෝශප් තරුණ මහතාය. වාහන දෙකේම බෙහෙත් ද්‍රව්‍ය සහ ඒ ගමේ ළමයින්ට දෙන්නට පාසැල් උපකරණ පටවා තිබුණි. උදේම පිටත්වුණ අපි උදේ දහයටත් පෙර කාංචිපුරම් වලට ලඟා වූයෙමු. ගමේ අය විසින් වෛද්‍ය සායනය පවත්වන්නට ගිය අයව ආදරයෙන් පිළිගන්නා ලදුව කල් වෙලා නොහැර සායනය ආරම්භ විය. මටත් බෙහෙත් ගැන සුළු දැනීමක් තිබුණු නිසා ඒ පැත්තෙන් වෛද්‍යවරයාට උදව් කරන්නට හැකිවිය. හාමුදුරුවෝ සිය හිතවතුන් සමග සතුටු සාමීචියේ යෙදී ඉන්නා අතර තල් අතු හෝ පොල් අතු සෙවිළි කළ කුඩා ගෙවල් ඇති ඒ ගමේ සුන්දරත්වයෙන් වශීවූ හැලපිත්, හැලපැට්ටාත් ගමේ අය සමග එකතුවී ගෙයක් ගෙයක් ගානේ ඇවිදින්නට වූහ.

දවල් කෑමට සම්ප්‍රදායික දකුණු ඉන්දියානු ක්‍රමයට ආහාර පිළියෙල කොට තිබුණු අතර අපි ඒ කෑම කෑවේත් ඒ අයගේ පිළිවෙලට බිම ඉඳගෙන කෙහෙල් කොළවලට බත් මාළුපිණි බෙදාගෙනය. හවස දෙක දෙකහමාර වෙද්දී සියළුම රෝගීන්ට ප්‍රතිකාර කොට සායනය අවසන් කරන ලදී. අපි ආපසු එන්නට වුයේ අව්ව නිසා පරිසරය හොඳටම ගිනියම් වී තියෙද්දීය. කුඹුරු මැදින් ගම් මැදින් වැටී ඇති පාරේ ආපහු එද්දී එක තැනක තල් වලු කීපයක් තියාගෙන සිටි මනුස්සයෙක් දැක හාමුදුරුවෝ වාහන නතර කළහ. තල් කුරුම්බා ග්‍රීෂ්ම දාහයට දිව ඔසුවක් සේය. තල් කුරුම්බා විකුණන මිනිහා කපාදුන් කුරුම්බා ලොඳ හිතේ හැටියට කවුරුත් සප්පායම් වුණේ වෙලාවේ හැටියට ඒවා අපූරු කෑමක් නිසාය.

එන ගමන කාංචිපුරම් ටවුමේ ටිකකට වාහන නතර කළේ ගෙවල්වල ගෙනයන්නට අලුත් එළවළු පළතුරු ටිකක් ගන්නටය. අඹ කඳු පිටින් ගොඩගසා තිබුණේ අවටපිට සුවඳින් පුරවමිනි. හැලපි එළවළු තෝරද්දී මම අඹ විකුණන වෙළෙන්දෙක් ලඟට කිට්ටු කළේ අඹ ටිකක් ගන්නටය. ලොකු අඹයක් මට මතක හැටියට පයිසා පනහක් හෝ හැටක් මිළ විය. මම උරයක් පුරා අඹ මිලදී ගත්තෙමි. මගෙත් වෙළෙන්දාගේත් අතර වූ ගණුදෙනුව දොස්තර ජෝශප් මුල සිටම අසා සිටි බව මම දැන නොසිටියෙමි. සල්ලි බේරද්දී දොස්තර ජෝශප් වහාම එතැන පෙනී සිටියේය.

" අඹ ගෙඩියක් කීය ගානෙද ගත්තේ?" දොස්තර ජෝශප් අසා සිටියේය. මම මිළ කීවෙමි.

" මේ අඹයක් එච්චර වටින්නෙ නෑ! මේ මිනිහ වැඩිපුර සල්ලි අරගෙන." කී දොස්තර ජෝශප් වෙළෙන්දා ලඟට ගොස් ඔහුට බැන වදින්නට විය.

" මෙයා විදේශිකයෙක් බව දැනගෙන උඹ වැඩිපුර සල්ලි ගසා කෑවා නේද? මනුස්සයින්ව ඔය විදියට ගසා කන්න උඹට ලැජ්ජා නැද්ද? වහාම වැඩිපුර ගත්ත සල්ලි ආපහු දීපං."

වියදම් වුණේ සුළු මුදලක් නිසා වැඩේ අතහැර දාන්නැ'යි මම දොස්තර ජෝශප්ට කිව්වත් ඔහු එයට කැමති වුණේ නැත.

" නෑ නෑ එහෙම අත ඇරියොත් මෙයා තව අයට ඔය වැඩේ කරනවා'යි" කියූ දොස්තර ජෝශප් ගේ ගෝරනාඩුවට බයවූ වෙළෙන්දා වැඩිපුර ගත් මුදලට තවත් අඹ ගොඩක් මට ලබාදීම නිසා ප්රශ්නය සමථයකට පත්විය.

මහාබෝධියේ බලය වෙනත් කණ්ඩායමක් අතට පත්වුණේ ඔය වකවානුවේදීය. ලංකාවේ ආණ්ඩු බලය විවිධ දේශපාලන පක්ෂවලට මාරු වෙනවා මෙන්ම මහාබෝධියේ පාලන බලය සංවත්සරයේදී එක් එක් කණ්ඩායම් වලට මාරුවෙයි. එවර මහාබෝධියේ බලය අල්ලාගත්තේ බානගල උපතිස්ස හාමුදුරුවන්ද තිනියාවල පාලිත හාමුදුරුවන්ද ඇතුළු කණ්ඩායමකි. සමිත හාමුදුරුවෝ සහ ජයතුංග මහතා සේවය අවසන් කර ලංකාවට පිටත් කර හරින ලදී. මහාබෝධිය පාලනය කරන්නට අලුතින් පත්වුණේ රතනජෝති හාමුදුරුවෝය. උස මහත ඇති කාර්යශූර හිමිනමක්වූ රතනජෝති හාමුදුරුවන්ගේ සහායට ටික දිනකින් තවත් තරුණ හාමුදුරු නමක් පත්කර එවන ලදී. වයස අවුරුදු විසි ගණන් වල සිටි උපසම්පදාව වත් ඒ වනවිට ලබා නොසිටි පොඩි හාමුදුරුවන්ව අපි ධම්මදින්න යනුවෙන් හඳුන්වමු.

රතනසාර හාමුදුරුවන් වැඩිපුර කැමතිවුනේ පුජා වත්පිළිවෙත්, දාන මාන, දරුවන් පැවිදි කිරීම ආදී ආගමික කටයුතු වලට වුවත් ධම්මදින්න පොඩි හාමුදුරුවෝ වැඩිපුර ඇලුම් කළේ පෙරහැර, උත්සව පැවැත්වීම් ආදී ලොකු ප්‍රචාරයක් ලබාදී කරන මහා පරිමාණයේ වැඩවලටය. හාමුදුරුවරුන් දෙන්නාගේ ක්‍රමය දෙවිදියක් වුණත් පොඩි හාමුදුරුවන්ගේ වැඩවලට ලොකු හාමුදුරුවෝ බාධා කරන්නට නොගියේ ප්‍රශ්න ඇතිවන නිසා මෙන්ම බානගල හාමුදුරුවන්ගේ ගෝලයෙක් වූ ධම්මදින්න පොඩි හාමුදුරුවන්ට වැඩි බලයක් තිබුණු නිසාත්ය. හාමුදුරුවරු දෙන්නාගේ කෑම පුරුදුද එකිනෙකට වෙනස්ය. ලොකු හාමුදුරුවෝ කොළ කැඳ වළඳන්නට, බත් මාළුපිණි, එළවළු, කරෝල, මැල්ලුම් වලට වැඩි මනාපයක් දක්වද්දී පොඩි හාමුදුරුවෝ වළඳන්නට කැමති වුණේ ප්‍රයිඩ් රයිස්, ප්‍රයිඩ් චිකන් ආදී පොෂ් කෑම වර්ගය. ඒ නිසාම දෙන්නාට දානය හදද්දී අපට කෑම දෙවිදියකට හදන්නටද සිදුවිය. කොහොම වුණත් හාමුදුරුවරු දෙදෙනාම මගෙත් එක්ක ඉතා හොඳ මිත්‍රකමක් පවත්වාගෙන ගිය නිසා මට නම් කිසිම අවුලක් ඇතිවුණේ නැත.

හැම මාසයකම අවසානයේ මහාබෝධියේ මාසික ගිණුම් තුලනය කොට විස්තරය කොළඹ මහාබෝධියට යැවීම අනිවාර්ය කාර්යයකි. කලින් මේ රාජකාරිය කළේ ජයතුංග මහත්තයා වුණත් ජයතුංග මහත්තයා ලංකාවට ගිය පසු ඒ රාජකාරිය කරන්නට වුණේ රතනජෝති හාමුදුරුවන්ටය. ගිණුම් හදන්නට නොදන්නා රතනජෝති හාමුදුරුවෝ ඒ රාජකාරිය කරවාගත්තේ මට කියලාය. මාසයකට වවුචර විස්සක් වත් නැති මහාබෝධියේ ගිණුම හදන එක මට කජු කන්නා වගේ වැඩක් වුණත් හාමුදුරුවන්ට එය ලොකු වැඩක්වූ නිසා මහාබෝධියට යන එන වෙලාවල්වලට හාමුදුරුවෝ මට තෑගිත් දෙන්නට පුරුදු වුණේ කරන උදව්වටය. තෑගි වශයෙන් ලැබුණේ දඹදිව වන්දනාවේ යන බැතිමතුන්ගෙන් හාමුදුරුවන්ට ලැබෙන තේ කොළ පැකට්, සිද්ධාලේප කුප්පි, පොත් ආදී දේවල්ය. මට දුන්නාය කියා හාමුදුරුවන්ට අඩුවක් නැත්තේ හාමුදුරුවන්ට ලැබෙන දේවල් කාමරයක් පුරවා ඇති බැවින්ද ලංකාවේ තේ කොළ අපට නිතරම නොලැබෙන නිසා ඒවා අපට වටින බැවින්ය. මම වඩා කැමති වුණේ හාමුදුරුවන්ට ලැබෙන පොත් මට දෙන එකටය.

ඔන්න ඔය විදියට කාලය ගතවෙද්දී ඒ අවුරුද්දේ වෙසක් මාසයද උදාවිය. වෙසක් එකට උත්සව පවත්වන්නට ධම්මදින්න පොඩි හාමුදුරුවන් ලැස්ති වුණේ මාස ගණනකට පෙර සිටය. මෙවර වෙසක් උත්සවය අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීම පොඩි හාමුදරුවන්ගේ අභිප්‍රාය විය. වෙනදාට පන්සිල් අරන් රැස්වීමක් තියා තේ බොන්නට දී ඉවර කරන වෙසක් උත්සවය වෙනුවට නව අංගෝපාංග සහිත වෙසක් උත්සවයක් පොඩි හාමුදුරුවෝ සුදානම් කළහ. කෙනට් පාරේ සිට එන පෙරහැරකට පසු නැටුම් සංදර්ශනයක්ද මහා පිංකමක් හා රැස්වීමක්ද එම වැඩ පිළිවෙලට අයත් විය. මුළු වැඩ සටහනම සජීවීව ලක්හඬ ගුවන් විදුලියෙන් ප්‍රචාරය කරන්නටද කටයුතු යොදා තිබිණි. ඊට අමතරව මහාබෝධි පරිශ්‍රයම වෙසක් කූඩු වලින් හා විදුලි බුබුළු වලින් අලංකාර කරන ලද්දේ විශාකපට්නම් වල හා කොචින් වල පුහුණුව ලබන නාවික හමුදාවේ කොල්ලන් විසිනි. නේවි එකේ කොල්ලන්ට මාස තුනකට වරක් ලැබෙන දීමනාව ලබාගන්නට එන්නේ මගේ ලඟට නිසා උන් මාත් එක්ක ගොඩක් හිතවත්ය. ඒ නිසාම හවසට කට්ටියම සැට් වෙන්නේත් අපේ ගෙදරය. නේවි කොල්ලෝ එන්නේ හිස් අතින් නොවේ, උන් කෑමද බීමද ඇතිවෙන්නට අරගෙන එති. නමුත් ප්රශ්නය වී තිබුණේ ඒ හෝටල්වල හදන මස් මාළු ලුණු මිරිස් රහක් හෝ සැරක් නැති එකය. ඒ නිසාම හැලපි කීවේ අපරාදෙ සල්ලි වියදම් කර කඩෙන් මෙලෝ රහක් නැති කෑම ගේන්නට අවශ්‍ය නැති බවය. "අපට ලුණු මිරිස් සැරට පොල් සම්බෝලයක් තිබුණත් ඇති අක්කේ" කියා කොල්ලන් කීවත් "පව්, ලංකාවෙ කොල්ලොනේ" කියන හැලපි හැමදාම ලොකු බත් හැලියක් උයා කොල්ලන්ට කන්නට දෙයි.

වෙසක් උත්සවය සාර්ථක කරගන්නට අපටත් විශාල දායකත්වයක් දක්වන්නට සිදුවී තිබුණි. වැඩට ඇවිත් හිටපු අයගේ කෑම බීම, ඊට අමතරව නෑම( ග්‍රීෂ්ම කාලයේ මහාබෝධියේ නල ළිං වලින් එන්නේ ලුණු වතුරය. ඒ නිසා මහන්සි වී දාඩිය පෙරාගෙන වැඩකරන කොල්ලන් ගෙවල්වලට එක්කරගෙන ගොස් නෑමේ පහසුව සලසන්නටද සිදුවිය) ආදී සැම දෙයක්ම සොයා බලා කළ යුතු විය. පොඩි හාමුදුරුවන් පේන්න නැති වෙලාවට මගහැර ගෙදර ගියත් ටිකකින් පොඩි හාමුදුරුවෝ ගෙදරට කතා කර වහාම එන්නැයි අණ කරති. වෙසක් උත්සවයේ සුදානම දැන් පිමි පනිමින් ඉදිරියට යයි. අපේ කාර්යාලයටත් අලුතින් ලොක්කෙක් ආවේ ඊට මාස කීපයකට පෙරය. අලුත් ලොක්කාද මේ වගේ මහ පරිමාණයේ උත්සව වලට බොහෝ කැමැත්තක් දැක්වූ අයෙක් වීම නිසා පොඩි හාමුදුරුවන්ගේ වැඩ පිළිවෙලට ඔහුගේ පූර්ණ සහයෝගය ලැබිණි. වැඩ සටහන ලක්හඬ ගුවන් විදුලියෙන් ප්‍රචාරය කරන්නට එන නිවේදකයාට ගුවන් ටිකට්පත් ලබාදීම ප්‍රශ්නයක් වී තිබියදී ලොක්කා වහාම ඒ සඳහා අනුග්‍රහය දෙන්නට ඉදිරිපත් විය.

අපේ හිටපු ලොක්කා ඉතා හොඳ මහත්මයෙකි. ඒ වුණාට වැලට සිගරැට් බොයි. නිදියගන්න කාලය ඇරෙන්නට අනික් හැම වෙලාවේම සිගරැට් එක කටේ ගහගත්තු ගමන්මය. උදේට කාර්යාලයට එන්නේ සිගරැට් බන්ඩල් එකකින් බාගයක් අරගෙනය. දවල් කෑමට ගෙදර යන්නේ ඒ ඔක්කොම බීලා ඉවර කරලාය. හවසට සිගරැට් බන්ඩලයේ ඉතිරි බාගය අරගෙන එයි. නිල නිවසේ තනිවම ජීවත්වූ අලුත් ලොක්කා වඩා කැමති විස්කි බොන්නටය. පරණ ලොක්කා සිගරැට් බොනවා වගේම අලුත් ලොක්කා නිදාගන්න කාලය ඇරෙන්නට අනික් හැම වෙලාවේම විස්කි බොයි. ඒ බොන්නෙත් අපි වගේ වීදුරුවකට වක්කරගෙන සෝඩා කලවම් කරගෙන නොවේ, රෙඩ් ලේබල් බෝතලය කටේ තියාගෙනය. දවසක් අපේ මහජන සම්බන්ධතා නිලධාරියා වූ නාගේශ්වරන් කාර්යාලයේ ගෝලයා වූ කරුපයියාට කතාකළේය. දෙමළෙන් කළ කතාවේ සිංහල පරිවර්තනය මෙහෙමය.

" කරුපා, ලොකු මහත්තය හැමදාම හවසට බෝතලේ කටේ තියාගෙන විස්කි බොනවා, අද හවසට ගිහිං මහත්තය බොන තැන සෝඩා බෝතලයක්, වතුර බෝතලයක්, වීදුරුවක් එහෙම තියපන්. ඔහොම අමුවෙන් විස්කි බොන්න හොඳයැ."

" හොඳයි ෂර්" කියා කරුපා පිටත්ව ගියේය. මේ කතාව මමත් අහගෙන හිටපු නිසා පහුවදා වැඩට ගිය විට කරුපාට කතාකර විස්තරය ඇහුවෙමි.

" ඈ කරුපා, ඊයෙ ගිහිං ලොකු මහත්තයට සෝඩා, වීදුරු එහෙම දුන්නද?"

" අයියෝ ෂර්, හරි වැඩේනෙ උනේ."

වෙච්ච දේ මට හිතාගත හැකිය. පැලෙන්නට හිනාව ආවත් අමාරුවෙන් තදකරගෙන හිටියේ විස්තරය කරුපාගේ කටින්ම අහගන්නටය.

" ඇයි, මොකෝ ලොකු මහත්තය සෝඩා එපා කිව්වද?"

" නෑ නෑ මම ගිහිං එළියෙ ස්ටූල් එක උඩ වීදුරු, සෝඩා, වතුර බෝතල් එහෙම තියල බලාගෙන හිටියා. ලොකු මහත්තය විස්කි බෝතලේකුත් අරන් උඩ ඉඳල පහළට බැස්සා. මමත් ඈතට වෙලා බලාගෙන හිටියා. අර මම තිබ්බ වීදුරු,බෝතල් දැක්ක විතරයි කෑ ගහන්න ගත්තා. වට් ඊස් දිස්, හූ කෙප්ට් දිස් ෆකින් ග්ලාසස් ඇන්ඩ් සෝඩා, ත්‍රෝ දීස් බ්ලඩි බොට්ල්ස් අවේ, කියල අර වීදුරු,බෝතල් ඔක්කොම වීසි කරල විස්කි බෝතලේ කඩල කටේ තියාගෙන චූස්, චූස්, ගාල බීගෙන බීගෙන ගියා.( ලොක්කා බෝතලේ කටේ තියාගෙන බීපු ආකාරය කරුපා රඟපා දැක්වීය) මම හෙමිහිට කුස්සිය පැත්තෙ ගේට්ටුවෙන් එළියට පැනගත්තා."

මට හිනාව නවත්වා ගන්නට බැරිවිය.

" හිනා තමයි, තව පොඩ්ඩෙන් මමත් ගුටි කනවා, ආයෙ නම් නාගේෂ් මහත්තයගෙ ලණු කන්නෙ නෑ"යි කියමින් කරුපා යන්නට ගියේය.

මහාබෝධියේ වෙසක් උත්සව කමිටුව අපේ අලුත් ලොක්කාගේ ප්‍රධානත්වයෙන් සතියකට වරක් රැස්වී වැඩවල ප්‍රගතිය සාකච්ඡා කරයි. ආදී කාලයේ පටන් ලොක්කාගේ හොඳම හිතවතෙකු වූ අර්ජුන කමිටුවේ ලේකම්ය. එක රැස්වීමකදී අර්ජුන කීවේ මුළු උත්සවයම රූපගත කොට වැඩ සටහනක් ලෙස ප්‍රචාරය කරන්නට රූපවාහිනී සංස්ථාවට යැවිය යුතු බවය. ලොක්කා ඒ වැඩේටත් එක පයින් කැමැත්ත දුන්නේය. දැන් වෙසක් උත්සවය ළඟ ලඟම එයි. වෙසක් එකට දින දෙකකට පමණ පෙර හාමුදුරුවෝ ලෑස්ති කර ගත් නැටුම් කණ්ඩායමද, ලංකා මහාබෝධියේ නියෝජිතයා ලෙස සමන්ද, ලක්හඬ ගුවන් විදුලියෙන් රවිමල් හඳුවලද චෙන්නායි නගරයට පැමිණ මහාබෝධියේ ලැගුම් ගත්හ෴

Unknownnoreply@blogger.com50tag:blogger.com,1999:blog-8432415427742462325.post-70495823289900933702019-01-30T22:32:00.000-08:002019-08-13T03:02:43.486-07:002019 අලුත් අවුරුද්ද ආරම්භ වූ හැටි.

අලුත් අවුරුද්දේ අලුතින් යමක් ලියාගන්න කියා දෙසැම්බර් මාසෙ ඉඳන්ම කුරුමානම් ඇල්ලුවත් අකුරක්වත් ලියැවුණේ නැත. ඒත් කමක් නැහැ කියා ජනවාරි වල ලියන්න හිටියත් කම්මැලිකම හරහට හිටියේය. ඊට පස්සේ පරිගණකයේ ඇතිවුණු තාක්ෂණික දෝෂයකි. ඒක හදාගන්නත් දවස් ගණනක් ගතවිය. ඉතින් ඔයින් මෙයින් සිදුවුණේ වෙනදා වගේ අලුත් අවුරුද්දට සුබ පතා පෝස්ටුවක් ලියාගන්නට බැරි වීමයි. කොහොමත් දැන් බ්ලොග් පෝස්ට් කියවන අය කමෙන්ට් කරන අය හුඟක්ම අඩුය. ඒ මදිවාට ලියන අයත් අඩුය. අපි ලියන්න පටන්ගත්ත කාලේ ඉඳපු අයගෙන් බ්ලොගය යාවත්කාලීන වෙන්නේ කීපදෙනක්ගේ පමණය. අනික් අය ඔක්කොම වගේ ලිවීම නවත්තලාය. ඒ නිසාම බ්ලොගය බුකියේ ගෘප් එකක් හැටියට දාමු කියා යෝජනා කළේ අටමාය. කීමෙන් නොනැවතී දවසක් අපේ ගෙදර ආ අටමා ගෘප් එක හදා දුන්නේය.

පහුගිය දවස්වල යාළුවන් කීපදෙනෙකුගේ ගෙවල්වල යන්නට ද සුපුරුදු පරිදි අපි වේලාව සොයාගත්තෙමු. ඒ ගෙවල් ටික නම් වශයෙන් කීවොත් අනික් ගුණේ ලගේ ගෙදරත්, ඩේවිඩ් ලගේ ගෙදරත්, රාණි ලාගේ ගෙදරත් ය. ඊට අමතරව දානෙ ගෙදරක්ද, මඟුල් ගෙයක්ද තිබුණු නිසා මාස දෙකක් ගතවුණේ කාර්ය බහුලවය. ඒවායේ විස්තර හෙමිහිට ලියන්නට සිතා සිටිමි.

සුද්දාද මේ දවස්වල බොහෝ කාර්ය බහුලවී සිටින්නේ ගේ කඩාගෙන අලුත්වැඩියාවක් කරන නිසාය. සුද්දාගේ අන්නාසි කොටුවේ හැදෙන අන්නාසි ගැට ඔක්කොම ඉත්තෑවන් කා දමන නිසා ඌ ඉන්නේ ඒ ගැන හිත් අමාරුවෙනි. ඉත්තෑවන්ට බැනවදින සුද්දා උන් අල්ලන්නට උගුල් අටවන බව කියා ඉත්තෑ මස් කන්නට බලාපොරොත්තුවෙන් ඉන්නට කීවත් තවම ඉත්තෑ මස් ලැබුණේ නම් නැත.

ඉතින් මේ මාසයට පෝස්ටුවක් දමන්නට අවශ්‍යම නිසා කඩිනමින් මේ ටික ලීවෙමි. කතා ටික ඔක්කොම ලබන මාසයේ සිට පිළිවෙලට ලියන්නට සිතා සිටින බැවින් පෝස්ටුව කෙටි වීම ගැන සමාව බාජනයකට දමා දෙන ලෙස ඉලා සිටිමි෴

Unknownnoreply@blogger.com52tag:blogger.com,1999:blog-8432415427742462325.post-33625046804976004032018-12-19T19:29:00.001-08:002018-12-19T19:29:31.056-08:00සේනගේ කතාව, අපේ ලොකු හාමුදුරුවෝ, සෝභිත හාමුදුරුවෝ, සමිත හාමුදුරුවෝ සහ බුද්ධ පූර්ණිමා.

අපට සේනගේ කතාවේ අවසානයක් දකින්නට බැරි වුණේ ඒ මැදට හාමුදුරු කතාවක් ආපු නිසාය. එය මගේ භික්ෂු පරිච්ඡේදය දැයි ඇනෝ හිතවතෙකුත් අසා තිබිණ. ඒ ගැන කල්පනා කරන මට මතක් වුණේ පරිච්ඡේදයක් ලියන්නට තරම් නැතත් භික්ෂු කතා කීපයකුත් මගේ ළඟ තියෙනවා නොවේද කියාය. ඒ ටික ලියා ගන්නට මේ තරම් හොඳ වෙලාවක් ආයෙම එයිදැයි කියන්නට බැරි නිසා ඒ කතා ටිකත් මේත් එක්කම ලියා ඉවරයක් කරන්නට සිතුවෙමි.

ලංකාවේ භික්ෂු කතා ගත්තොත් අරක්කු ටිකක්, මලක් ගහන එකක්, කොටු පැනිල්ලක් වගේ සිල්ලර වැඩ ඇරෙන්නට සොමි කතා අඩුය. ඒ මදිවට ඔය ටික ලියපු එකාව බෞද්ධයෝ ඇවිත් මරාගෙන කන්න හදයි. ඔහොම කියනකොට ඔක්කොමල්ල වගේ හිතන්නේ මම ලියන්නේ හාමුදුරුවන්ගේ වැරදි විතරයි කියලාය. නමුත් බොහෝම හොඳ හාමුදුරුවරුන්ගේ කතාත් මගේ ළඟ තිබේ. එයින් ඉහළින්ම ඉන්න හාමුදුරු කෙනෙක් වෙන්නේ අපේ පංසලේ වැඩ සිට අපවත්වූ ලොකු හාමුදුරුවෝය. සිල්වත්කම අතින් නම් මහපළවෙනිය. අවුරුදු තිහ හතළිහක් තිස්සේ අපේ ගමේ තියෙන බණට, පිරිතට, දානෙට, මළගෙදරට ආදී හැම තැනටම ලොකු හාමුදුරුවෝ කකුල් ගෙවෙනවා නම් ගෙවෙනකල්ම වැඩියේ පයින්මය. අද ඉන්න අයට නම් වාහනයක් පන්සල් මිදුලේ නොතිබුණොත් පන්සලෙන් එළියට බහින්ටවත් බැරිය. ගහකොළට ඇති ඇල්මත් ඒ වගේමය. පංසල මල්වත්තක් වගේ තියාගෙන සිටි හාමුදුරුවෝ ගහක අත්තක්වත් කාටවත් කඩන්නට දුන්නේ නැත. හැබැයි ඉතින් ඇටේට පොත්තට නැත. බනින්නට ගියාම රෙදි ගැලවෙන්නටම බනිනවාය. කුඩා කාලයේ පටන්ම ශ්‍රී රාහුල දහම් පාසලේ ඉගෙනගත් ශිෂ්‍යයින් වූ අපි ගැන පසුකාලීනව හාමුදුරුවෝ මහා ඉහළින් කතාකළේ මගේ ගෝලයන්ය කියාය.

වෙනුජත් ලොකු හාමුදරුවන්ගේ හොඳම ගෝලයින්ගෙන් එක්කෙනෙකි. මට වෙනුජව හදිස්සියේම මතක් වුණේ වෙනුජ ලොකු හාමුදුරුවන් ගැන හිනාවෙවී කියපු කතාවක් මතක්වෙලාය. ලොකු හාමුදුරුවෝ සාමාන්‍යයෙන් තමන්ගේ දායක දායිකාවන් වෙනත් පන්සල් කරා යනවාට බොහෝසේ අකමැතිය. එහෙම ගිහිං අහුවුනොත් එහෙම බනින්නේ බලු බැනුම්ය. අපේ දුප්පත් පංසල වෙනුවට පොෂ් පන්සල් වලට යන දායිකාවන්ට හාමුදුරුවෝ දොස් කියන්නේ "අමුතු බුදුන් හොයාගෙන යනවා" කියලාය. කේන්තිය හොඳටම තද නම් "වෙන පන්සල් වල නිදි වදින්න යනවා"ය කියලාත් බනී.

එක දහම් පාසැල් දවසක වෙනුජගේ පංතියේ කෙල්ලන් අතරේ කතාබහක් ඇතිවුණේ බොහෝම හොඳ යෝගියෙක් ක්වාටස් වල ගෙදරක වැඩ සිටින බවත් ගිහිං බලන්නට වටිනා බවත්ය. විවේකය වෙලාවේ කෙල්ලන් තනියට එක්ක යන්නට වෙනුජටද පෙරැත්ත කර කතා කරගෙන ක්වාටස් වල ගෙදරක හිටපු යෝගියා බලන්නට ගියහ. ටිකක් පරක්කු වෙලා ආපහු ආ වෙනුජගෙන් කොහේ ගියේදැ'යි ලොකු හාමුදුරුවෝ ඇසු සේක. වැඩේ බරක් පතලක් නොදන්නා වෙනුජත් ඇත්තම විස්තරය කියා ඇත. කතාව අහපු ලොකු හාමුදුරුවන්ගේ ඉරියව් වෙනස් වෙන්නට ගතවුණේ තප්පර ගණනකි. ඉඳගෙන හිටපු පුටුව උඩට එකවරම පැන සිටගත් ලොකු හාමුදුරුවෝ "ගියාද නිගන්ටයන්ගෙන් බණ අහන්න" කියා පැය කාලකට වැඩි වෙලාවක් කණ පිරෙන්නටම බැන වැදුණු බව වෙනුජ කීවේය.

ඒ කාලයේ චූ කොල්ලෙක් වූ වෙනුජ පසුකාලයේදී ලොකු මහත්තයෙක් වූ පසුවත් සිය ගුරුවර ලොකු හාමුදුරුවන් ගැන උනන්දුවෙන් සොයා බැලුවේය. ඒ වනවිට ලොකු හාමුදුරුවෝ හිටියේ බොහොම අසනීප තත්ත්වයකිනි. ලොකු හාමුදුරුවන්ට වෛද්‍ය පරීක්ෂණ වගයක් ගම්පහින් කරගන්නට ඇති නිසා එක්ක යන්න එන්න කියා පොඩි හාමුදුරුවෝ වෙනුජට කියා ඇත. ඒ කාලයේ ලොකු හාමුදුරුවන්ගේ පළවෙනි ගෝල නම සිවුරු හැර ගොස් සිටි නිසා හිටියේ වෙනත් පොඩි හාමුදුරු කෙනෙකි. වෙනුජත් ලොකු හාමුදුරුවන් ගම්පහ රැගෙන ගොස් ඒ වැඩ ටික බොහොම උනන්දුවෙන් කරදී ආපහු පන්සලට රැගෙන ආවේය. පන්සල්වත්තේ කාරෙක නවත්තන්නට තැනක් බැලු වෙනුජ උඩ බලනවිට දැක්කේ පංසලේ තැඹිලි ගස්වල ගෙඩි පැහී වේලිලා ඇති බවය. "අවසර, ගස්වල ගෙඩි පැහිල වේලිලා නේදැ"යි වෙනුජ ඇසුකල ලොකු හාමුදුරුවන් දුන්නේ අපූරු පිළිතුරකි.

"කාට කියන්නද වෙනුජ, ඔය ගොල්ලන්ගෙ කාලෙ වගේ නෙවෙයි දැන්. දැන් කොල්ලො ඔය ගඩා ගෙඩි දිහා බලන්නෙවත් නෑ. ඔය ගොල්ලො දහම් පාසැල් ආපු කාලෙ නං මම දෙසැරයක් බුද්ධ පූජාව තිබ්බා" යි ලොකු හාමුදුරුවෝ වදාළ කල්හි වෙනුජ උඩ ගොස් බිම වැටුණේ ලොකු හාමුදුරුවන්ට හොරෙන් කරනවාය කියා සිතාගෙන කළ දේවල් ඔක්කොම උන් වහන්සේ දැන සිටි බව අවුරුදු විසි ගණනකට පසු දැනගන්නට ලැබුණු අවස්ථාවේය.

ගමට බොහෝ ඈතින් තිබුණු ගලේ පංසල හෙවත් ශෛලබිම්බාරාමය හැරපියා අළුතෙන් ලැබුණු ඉඩමේ කටුමැටි ගසා හදාගත් පන්සලට වැඩිය ලොකු හාමුදුරුවෝ පංසල හොඳට හදාගන්නට සෑහෙන දුක් මහන්සි වුවෝය. එතකොට හාමුදුරුවන්ට හිටියේ එක ගෝල නමකි. ඒ පොඩි හාමුදුරුවොත් ඒ කාලයේ සරසවි සිසුවෙකි. පංසල ලස්සනට හදාගන්නට පොඩි හාමුදුරුවන්ට තිබුණේ ලොකු හාමුදුරුවන්ටත් නැති තරමේ වුවමනාවකි. ඒ කාලයේ හැම සති අන්තයකම අපි ශ්‍රමදාන දැම්මේ පංසලේ ඉදිකිරීම් වලටය. ඉදිකිරීම් කරන්නට ශ්‍රමය විතරක් මදිය, මුදලුත් අවශ්‍ය වේ. මුදල් ටිකක් හොයාගන්නට සල්පිලක් කරන්නට පොඩි හාමුදුරුවෝ අපිව උනන්දු කරවූහ. සල්පිලක් කළාට මදිය ජනතාව ද ගෙන්නාගත්තේ නැත්නම් සල්පිල අසාර්ථකය. පොඩි හාමුදුරුවන් කීවේ බණක් කියවමු කියලාය. ඒ කාලයේ අද වගේ ජනප්‍රිය බණ කියන හාමුදුරුවරු සිය ගණනක් හිටියෙ නැත. කාලීන ධර්ම දේශනා කළේ මාදුළුවාවේ සෝභිත හිමියන් විතරය. සෝභිත හිමියන් ට ආරාධනා කර කැඳවා ගන්නට පොඩි හාමුදුරුවන් බාර දුන්නේ මටය.

වැලිසර රෝහලේ වාට්ටු අලුත්වැඩියා කර විවෘත කරන වෙලාවට නවලෝක මුදලාලි විසින් වැඩමවා ගෙන එන ලද සෝභිත හිමියන් සමග කතාබහ කර තිබුණද එතරම් හිතවත්කමක් උන්වහන්සේ සමග මගේ තිබුණේ නැත. කෙසේ වුවද කෝට්ටේ නාග විහාරයට ගොස් උන්වහන්සේට ආරාධනා කරන්නට තීරණය කරගත්තායින් පසුව නාග විහාරයට යන්නේ කෙසේදැයි නොදැන සිටි අපට පාර කියාදුන්නේ රෝහලේ සිටි කරුණාරත්න පෙරේරා විසිනි. ඉතින් එක් සුන්දර උදෑසනක ආරිත් මමත් කරුණාරත්න පෙරේරා කිව් මග සලකුණුවලට අනුව කෝට්ටේ නාග විහාරයට ගියේ ආරිගේ සයිකලයෙනි.

මග වරද්දා නොගෙන නාග විහාරයට ගිය අපි ටිකක් වෙලා බලාසිටිය විට සෝභිත හිමියන්ගේ කැඳවීම ලැබුණි. ඒ කාලයේ නාග විහාරය අද වගේ ලොකු සහ පොෂ් විහාරයක් නොවුණු අතර වැඩිපුර සෙනග ගැවසෙන තැනක්ද නොවීය. හාමුදුරුවෝ අපෙන් විස්තර අසා පන්සලෙන් ගෙනගිය ලියුමත් බලා ආරාධනය පිළිගත්තෝය. ඔය කියන කාලය වන විට රටේ විධායක ජනාධිපතිවරයා වූ ජේ.ආර් බොහෝ බලසම්පන්න තත්ත්වයක සිටි අතර ඔහුට කරන්නට අවශ්‍ය දේවල් හොඳින් හෝ නරකින් කරගන්නට කිසිසේත්ම පසුබට නොවීය. පාර්ලිමේන්තුවේ හයෙන් පහක බහුතර බලයත් ප්‍රබල විධායක ජනාධිපති බලතලත් සහිතව රට පාලනය කළ ජේ. ආර් කීවේ ඔහුට බැරි ගැහැණියක් මිනිහෙක් කරන්නට පමණය කියාය. 1980 ජුලි වැඩ වර්ජනය අතිශය අමානුෂික ලෙස මර්දනය කළ ඔහු කීව්වේ තවම අලියා නැට්ට හෙලෙව්වා පමණයි කියාය. එහෙම ජනාධිපතිවරයෙක් ගෙන් ගේම ඉල්ලූ හාමුදුරුවරු දෙදෙනෙක් එකල වැඩ විසුහ. එක හිමිනමක් මාදුළුවාවේ සෝභිත හිමියන් වූ අතර අනෙක් හිමිනම වුයේ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ය. මේ ගැන වැඩිදුර විස්තර පසුවටය.

අපේ පංසලේ පැවැත්වුණු සෝභිත හාමුදුරුවන්ගේ බණට ආපු තරම් සෙනගක් මම ඒ පංසලේ අද වෙනතුරු දැක නැත. පන්සල් වත්ත උතුරන්නට හිටි සෙනග නිසා බණට පසුව පැවැත්වුණු සල්පිලද ඉතාම සාර්ථකව පවත්වා ගන්නට හැකිවිය. සෝභිත හාමුදුරුවන් එක්ක කතාබහ කරන්නට හා හිතවත් කමක් ඇතිකරගන්නට මට ඉඩ ලැබුණේ මෙන්න මේ බණ කීමෙන් පසුවය. එදා ඇතිවූ හිතවත්කම දැනට අවුරුදු දෙකකට කලින් සිදුවූ උන්වහන්සේ ගේ අපවත්වීම දක්වාම එක දිගට ඇදී ගියේය. 2015 අවුරුද්දේ උන්වහන්සේ ඕමානයට වැඩම කළ ගමන ඒ හිමියන්ගේ අවසාන විදේශ සංචාරය යැයි සිතමි. එදා හමුවුනේද මා ඊට අවුරුදු තිස් ගණනකට පෙර දැක තිබූ අල්පෙච්ඡ සහ නිහතමානී යතිවරයාණන් මය.

මම චෙන්නායිවලට මාරුවක් ලැබී ගිය කාලයේ ඒ නගරයේ තිබූ බෞද්ධ සිද්ධස්ථානය වුණේ මහාබෝධියයි. එය චෙන්නායි පමණක් නොව දකුණු ඉන්දියාවටම තිබූ එකම පන්සලයි. චෙන්නායිහි මහාබෝධිය පන්සලක් වශයෙන් මෙන්ම නවාතැන් පොලක් වශයෙන්ද සිය සේවය ලාංකිකයන්ට ලබාදුන්නේය. දඹදිව වන්දනාවේ යන බැතිමතුන්ගේ හුවමාරු නැවතුම් පොලක් වශයෙන්ද, ලෙඩට බේත් ගන්නට චෙන්නායිහි රෝහල් කරා එන ලාංකිකයන්ගේ මෙන්ම වෙනත් වෙනත් කටයුතු සඳහා එන අයගේ නවාතැනක් වශයෙන්ද මහාබෝධිය ජනප්‍රිය මධ්‍යස්ථානයක් විය. එම පංසල යැපුනේද එහෙම නවතින්නට එන අයට කාමර කුලියට දී ලබාගන්නා මුදලිනි. මම යන කාලයේ පංසලේ හිටියේ සමිත හාමුදුරුවන්ද පංසලේ පරිපාලන වැඩ ටික කරන්නට ජයතුංග මහත්තයා ද යන දෙදෙනාය. ආවතේව, පිරිසිදු කිරීම් සහ උයන පිහන කටයුතු කෙරුණේ දකුණු ඉන්දීය කම්කරුවන් කීප දෙනෙකු අතිනි. මුරට වයසක මුරකාරයෙක්ද විය.

මහාබෝධියේ පැවැත්වුණු ප්‍රධාන බෞද්ධ උත්සවය වු බුද්ධ පූර්ණිමා යනුවෙන් ඉන්දීය ජාතිකයන් හැඳින්වූ වෙසක් උත්සව සැමරුම ඒ කාලේ කිසිම විදියකින් සිත් ඇද බැඳ නොගන්නා සහ මහම කම්මැලි උත්සවයක් වූ බව මට මතක තිබේ. එදාට පන්සලට නොගිහින් ඉන්නට බැරි නිසා ගියා මිසක ඒ උත්සවයට කට්ටිය ගියේ කිසිම කැමැත්තකින් නොවේ. පළමු කොටම පන්සිල් සමාදන් වීමෙන් පසුව උත්සවය ඇරඹේ. ඊට පසු තියෙන්නේ කතා වාරයයි. ආරම්භක කතා කීපයකට පසු මුඛ්‍ය දේශනය පවත්වන ආචාර්ය සිද්ධාර්ථන් සිනහ වෙමින්ද තමාගේ කතාව ගැන තමන්ම සතුටුවෙමින්ද අඩුම වශයෙන් පැය දෙකක්වත් කතා කරන්නේ අහගෙන ඉන්න අසරණයින් ගැන තඹයකටවත් මායිම් නොකරමිනි. තේරෙන කතාවක් නම් අහගන ඉන්නටවත් හැකි වුවත් ඔහු මුළු කාලය පුරාවටම කතා කරන්නේ සම්පූර්ණයෙන්ම දෙමළ භාෂාවෙනි. යන්තම් කතාව ඉවරවුන විට හැමෝම සතුටුවෙන්නේ එතනදීම නිවන් ගියා වගේය. ඊළඟට සමිත හාමුදුරුවෝ ඉංග්‍රීසියෙන් කොළයක ලියාගත් ස්තුතී කතාවක් කියවයි. උත්සවයේ වැඩ අවසන් වෙන්නේ වඩේ, මුරුක්කු සහ බොන්නට අඹ ජුස් පැකට් එකක්ද වශයෙන් ඇති සංග්‍රහයකිනි. තියෙන හිතේ අමාරුවේ හැටියට අපට නම් අඹ ජුස් බීලා හිත හදාගන්නට බැරි නිසා කොහේ හෝ කාමරයකට වී විස්කි ටිකක් නොබී බැරිය ෴

Unknownnoreply@blogger.com39tag:blogger.com,1999:blog-8432415427742462325.post-28503007334487171292018-11-11T18:02:00.000-08:002018-11-11T18:02:28.555-08:00ගුණේගේ කතාව, නන්දකුමාර, ගුණසේකර, පණ්ඩුලගම ගම් උදාව, කොත්තු, ගුණේගේ තුන් මාසෙ දානෙ ගෙදර සහ එරික්ගේ ගෝරනාඩුව.

Photo: Google images

අපේ හිතවත් ගුණේ යන්නම යන්න ගියේ අපි කවුරුවත් බලාපොරොත්තු නොවූ වෙලාවකය. බලාපොරොත්තු වුණේ නැතැයි කීවේ ගුණේට වැළඳී තිබු අසනීපය නිසා ඔහු යන බව අපි දැන සිටියත් මෙච්චර ඉක්මනට යාවි කියලා නම් තුන් හිතකවත් තිබුණේ නැත. ඒ කියන්නේ අපි කට්ටිය ගුණේගේ සැප දුක් බලන්නට ගිය වෙලාවෙත් කිසිම අපහසුවක් නොපෙන්වා බොහොම හොඳට අපිත් එක්ක කතා බහ කරමින් සිටිය නිසාය. ගුණේ අසනීප වූ වෙලේ අපි කට්ටියම ගුණේ බලන්නට ගිය කතාව  මම මීට කලින් පෝස්ටුවක ලීවෙමි. ඒ ගියේ ජූනි මාසයේ අග සතියේ වගේය. එදා අපි යද්දී ලලනිත්, එරිකුත් අපි යන්න කලින් ගුණේලාගේ ගෙදර ගිහිං හිටියේ අපට සළකන්නටය. උන් දෙන්නාට ගුණේ මස්සිනා වී ඇත්තේ ගුණේගේ පුතා ලලනිලාගේ දුව බැඳපු හේතුවෙන්ය. එදා අපි කට්ටිය කතාකරමින් සිටියදී ඊළඟ මාසයේ ලලනිලාගේ ගෙදර යන එක ගැනද කතාකරද්දී ගුණේ අපට කීවේ ඌ ඊළඟ සතියේ ආපහු ඇඩ්මිට් වෙන බවත් ඒ ගිහින් එනතුරු ලලනිලාගේ ගෙදර යෑම පමා කරන්නට කියාත්ය. අපි ඒකටත් හා කීවෙමු. නමුත් සතියක්වත් ගතවුණේ නැත. හදිසියේම මට කතාකරපු එරික් ගුණේගේ අවසානය ගැන දැන් වුයේය.

සාමාන්‍යයෙන් රෝහල්වල වැඩ කරන අයට මරණය එපමණ සංවේදී කරුණක් නොවේ. මිනිහෙක් මැරෙන එක ඔවුන්ට ඉතාම සාමාන්‍ය දෙයකි. රෝහල් රස්සාව කරන කාලයේ මටත් ඔය කියන මරණයට සංවේදී නොමැතිකම තිබුණු නිසා මරණ ගැන ඉතාම අඩු ලංසුවට ගණන් ගැනීම හේතුවෙන් අපේ අම්මාගෙන් බැණුම් අහන්නට සිද්ද වුනු වෙලාවල් ද අඩු නොවීය. කොහොම වුණත් රෝහල් රස්සාවෙන් අයින්වී සෑහෙන කාලයක් ගතවන විට මගේ සිත ආපසු මරණයට සංවේදී වන තත්ත්වයට පත්විය. ඉතින් අපි කට්ටියම ගුණේගේ මරණ ගෙදර ගිහින් ගෙට පහළ වත්තේ ජම්බෝල ගහ යට තියාගෙන බෝතල් කීපයක්ද හිස්කර ගුණේටද සමුදී ආපහු ආවෙමු.

ගුණේ ගියායින් පසුව මට දැඩිව දැනෙන්නට වුයේ මට ගුණේව අති විශාල ලෙස මිස් වී හෙවත් මග හැරී ඇති බවයි. එදා ගුණේ බලන්නට ගිය වෙලේ විහිළු කරමින් හිටියා මිසක අපේ පරණ විස්තර කතාබහ කරමින් රස විඳින්නට බැරි වුණේ එදා කට්ටිය වැඩි වූ නිසාය. කොහොම වුණත් මම ඒ ගැන එච්චර ගණන් නොගත්තේ ආයෙම දවසක හමුවූ විට කතා කරන්නට හැකි නොවේදැයි සිතමිනි. නමුත් බලාපොරොත්තු නොවූ තරම් ඉක්මණින් ගුණේ මෙලොව හැර යෑම මගේ හිතට ඇති කළේ දුකකටත් වඩා මහා හිස් බවකි. කතා කරගන්නට තිබූ දේවල් දැන් ඉතින් කාත් එක්ක කතා කරන්නටද? ආයෙම ගුණේ හමුවුණොත් හමුවන්නේ මාත් ගුණේ ගිය තැනටම ගිය දාකය. ඒත් අහම්බෙන් හමුවුණොත් විතරය. නැත්නම් මළවුන් සමග මෙලොවදී කෙසේ කතා කරන්නද?

ආර්. කේ. නාරායන් විසින් රචිත ඔහුගේ ජීවිත කතාව වූ My Days පොතේ එහෙම කතාවක් කියැවේ. විවාහ වී අවුරුදු දෙකක් වැනි කෙටි කාලයකදී බිරිඳ මියයෑම නාරායන් මහත්සේ කම්පාවට පත්කළ සිදුවීමක් විය. බිරිඳ ගේ මරණයෙන් පසු ඔහු කා සමගවත් ආශ්‍රය නොකොට දැඩි හුදෙකළා දිවියක් ගත කරද්දී මිතුරෙකුගේ මාර්ගයෙන් මළවුන් සමග කතා කරන තැනකට යයි. වීදුරුවක් ආශ්රයෙන් තමන්ට අවශ්‍ය මළවුන් ගෙන්වාගත් විට පැන්සලක උදව්වෙන් කතා බහ කළ හැක. නාරායන් බිරිඳ සමග අදහස් හුවමාරු කර ගත්තේ එහෙමය. ඒත් ගුණේ එක්ක නම් හිස් වීදුරුවකින් කතා කරගන්නට බැරි බව මට සිතේ. වීදුරුව පුරවා තිබුණේ නම් සමහර විට ගුණේ එන්නට පුළුවන.

අවසන් වරට මගෙත් එක්ක කතා කරද්දීත් ගුණේ කීවේ " අරක්කු,සිගරැට් බීල හැදෙන ලෙඩක් හැදුන නං දුක නෑ මචං" කියාය. අපි එදා යද්දිත් ඌ හිටියේ සැටියේ දිග ඇදී සිගරැට් එකකුත් අදිමින් කකුල් ටීපෝව උඩ තියාගෙන ටීවී එකේ ගිය පරණ හින්දි චිත්‍රපටයක් බලමිනි. තමන්ටය කියා ඉන්නට ගෙයක් හදාගත් පසු ගුණේ බොහෝ සතුටින් සහ සැහැල්ලුවෙන් ජීවත්වූ බව මට කීවේ ලලනිය. අවුරුදු තිස් ගාණක් රස්සාව කළත් ගුණේට ගෙයක් හදාගන්නට බැරිවිය. සාමාන්‍යයෙන් රජයේ සේවකයන් වූ අප හැම දෙනාගේම ඉරණම එයයි. ලැබෙන වැටුප මාසය කන්න අඳින්නටවත් මදිය. ඒ මදිවාට ගත්ත ණයවලට වැටුපෙන් සෑහෙන කොටසක් අඩුවේ. ඉතින් රජයේ සේවකයෙකුට ඉඩම් කෑල්ලක් මිළට ගෙන ගෙයක් හදා ගැනීම බොහෝ දුරට සිහිනයක්ම පමණය. ගුණේත් රස්සාව කරනතුරුම ජීවත්වුණේ අනුන්ගේ තැන්වලය. පසුකලෙක ගුණේගේ පුතා පිටරට රස්සාවකට ගිහින් හම්බ කළ මුදලින් ගුණේට අයිති ඉඩම් කෑල්ලක ගෙයක් හදන්නට පටන් ගත්විට බොහෝ සතුටුවූ ගුණේ ගේ හදන්නට මුළු සිතින්ම උනන්දු විය. අවසානයේ අංග සම්පූර්ණ නූනත් පදිංචි වෙන්නට හැකි තරමට ගේ හදාගන්නට ඔවුන්ට හැකිවිය.

ඒ ගෙදර තියෙන්නේ තරමක කන්දක බෑවුමේ ය. වාහනයක් ගෙදරට ගන්නට අමාරු තරම්ය. පාරෙන් හැරී තරමක නැග්මක් සහිත කොන්ක්‍රීට් පාර එක්වරම මහගිරි දඹය සේ කෙළින් ගමන් කරයි. බර වාහන වූ රානිලා, ස්වප්නලා ඔය ටික අදින්නේ කෙඳිරි ගාමිනි. බොහෝ වෙලාවට උන්ව ඇදගෙන යන්නට සිදුවේ. ගුණේට නම් පුරුදුවෙලාද කොහෙද ඒ කන්ද එච්චර ගාණක් නැත. අපි අමාරුවෙන් උඩට නගින විට ඌ හිනාවෙයි. ගුණේ ඔහුගේ ජීවිතය ගතකලේද අමාරු ලේසි කිසි දෙයක් ගණන් නොගෙන හිනාවෙමිනි. අපි ඔක්කොම වැලිසර ඉද්දි ගුණේ මාරුවක් ඉල්ලාගෙන අනුරාධපුරේට ගියේ කොහෙ ඉන්නද, කොහොම කන්නද ආදී කිසි දෙයක් නොසිතා සැහැල්ලුවෙනි.

අනුරාධපුරයේදී ගුණේගේ සද්ධි විහාරිකයා වුයේ තවත් ගුණේ කෙනෙකි. ඔහු ගුණසේකර නම් ගුණේට වඩා තරමක් වැඩිමහල් පවුල් කාරයෙකි. ගම අනුරාධපුර පළාතේම කලත්තෑවයි. බිරිඳ අතහැර දමා, ලොකු මහත්වූ දුවත් සමග ඔහු පදිංචි වී සිටියේ රෝහල ඉදිරිපිටම තිබුණු වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ පොම්ප හවුස් එක සතු නිල නිවසකයි. සෞඛ්‍ය දෙපාර්තමේන්තු සේවකයෙක් වූ ඔහුට වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිවසක් කොහොම ලැබුණා දැයි කවුරුත් නොදනී. ගුණසේකර ගුණේටත් වඩා ජොලියට බර කෙනෙක් විය. අපි ගුණේ මුණගැහෙන්නට අනුරාධපුරේ ගිය විට ගුණේ නොහිටියත් හිටියාටත් වඩා හොඳට ගුණසේකර ආගන්තුක සත්කාර කරයි. පසුකාලීනව ගුණේ ගුණසේකරගේ දුව එක්ක විවාහ වු විට එතෙක් කල් මචං කියාගෙන සිටි ගුණසේකර ගුණේගේ මාමණ්ඩියා බවට පත්විය. විවාහය සිදුකර ගන්නට 1983 කළු ජූලිය වෙලේ නගරය පුරා නැගුණු දුම්රොටු හා ගිණිදැල් මැදින් කච්චේරියට ගිය බව ගුණේ මගෙත් එක්ක පස්සෙ දවසක කීවේය. විවාහයෙන් අවුරුදු දෙක තුනකට පසු කඳාන රෝහලට මාරුවක් ලබාගත් ගුණේ දරු පවුලද සමග ආපහු ගමට ආවේය. ඒ වනවිට ඔවුන්ට පුතෙක්ද ලැබී තිබුණි.

කෙසේ වුවද ඒ විවාහය වැඩිකල් පැවතුණේ නැත. ටික කලකින්ම දෙන්න දෙමාල්ලන් අතර අඬ දබර ඇතිවන්නට විය. එහෙම අඬ දබර වැඩිවී ගුණේගේ බිරිඳ අපේ අනික් ගුණේලගේ ගෙදර ඇවිත් නැවතුන බව මට කීවේ අනික් ගුණේය. එහෙම අඬ දබර කරගන්නට හේතුව මම කවදාවත් සොයා නැතත් මේ කතාව ලියන්නට හිතපු වෙලේ මම අනික් ගුණේගෙන් ඒ ගැන ඇහුවත් සාමාන්‍යයෙන් කතා බහ අඩු පුද්ගලයෙක් වූ ඔහු කීවේ ඒ ගැන වැඩි දෙයක් ඌ නොදන්නා බවත් ගුණේගේ බිරිඳ ඇවිත් මාසයක් දෙකක් සිට යන්නට ගිය බවත්ය. ගෑනු පටලැවිල්ලක් වෙන්නට බැරිදැයි මම ඇසුවිට අනික් ගුණේ කීවේ එහෙමත් වෙන්නට බැරි නැත කියාය. මම එහෙම ඇහුවේ අපේ කණ්ඩායමේ සිටි ලස්සනම තරුණයා වූ ගුණේට කාන්තා ආකර්ෂණය අඩු නැතිව තිබුණු නිසාය. ගුණේ එක්ක කතාකරන්නට ලැබුණත් මම ඔය ප්රශ්නය උගෙන් අහන එකක් නැති වෙන්නට පුළුවන. කොහොම උනත් ගුණේගේ පවුල් ජීවිතය එතැනින් නිමාවුණු අතර ඔහු ආයෙම කසාදයක් කරගන්නට හිතන්නේ නැතිව පුතාත් සමග ජීවිතය ගෙනගියේය.

ඊට බොහෝ පසු කලකදී මම හැලපිත්, හැලපැට්ටාත් සමග අනුරාධපුරයට ගිය ගමනකදී ගුණසේකර සොයාගෙන ඔහු පදිංචිවී සිටි ගෙදරට ගියෙමි. ඒ වන විට එතැන ගෙවල් තිබුණේ නැත. ඔක්කොම කඩා බිමට සමතලා කරලාය. ඒ ළඟ ගෙදරක හිටපු කෙනෙකුගෙන් විස්තර ඇසුවිට ඔහු කීවේ ගුණසේකර විශ්‍රාම ගෙන කලත්තෑවේ ඔහුගේ ගමට ආපසු ගිය බවත් ඊට පසු තිබුණු ගෙවල් නගර සභාවෙන් කඩා දැමු බවත්ය. විස්තරයක් දැන ගන්නට වෙන කෙනෙක් නොසිටි නිසා මම කඩවුණු බලාපොරොත්තු ඇතිව ආපසු ආවෙමි.

ඒ කාලයේ නම් ගුණේගේ තව යාලුවෙක් රෝහලේ සිටියේය. ඒ රෝහලේ ලැබ් එකේ වෛද්‍ය කාර්මිකයෙකු ලෙස වැඩකළ නන්දකුමාර් නම් ද්‍රවිඩ තරුණයෙකි. හිතවත් වූ විට අපි ඔහුගේ නම නන්දකුමාර විදියට සිංහලට හරවා ඇමතුයෙමු. හොඳ බොන්නෙකු වූ නන්දකුමාර, අපි ගුණේව හමුවන්නට ගියවිට ඔහු එවේලේ නොසිටියොත් අපිට ආගන්තුක සත්කාර කරන්නට එක්කරගෙන යන්නේ හොරපොලකටය. ඒ කාලයේ අනුරාධපුරේ නව නගරයේය පුජා නගරයේය කියා වෙනසක් නැතිව හොරපොලවල් සිය ගාණක් තිබුණු බව මට මතකය. සමහර හොර පොළවල් ලයිසන් අරගෙන අරක්කු විකුණන තැන්වලට වඩා හොඳ තත්ත්වයෙන් පවත්වාගෙන ගිය අතර අඩුවකට තිබුණේ ලයිසන් එක පමණි. හෝටලවලද ඉස්සරහ කොටසේ කෑම තේ ආදිය විකුණන අතර පසුපස කොටස තනිකරම බාර් එකක් ලෙස පවත්වාගෙන යන ලදී. මේ හොරපොලවල් සියල්ලම නන්දකුමාර හොඳින් දන්නා හඳුනන තැන් වූයේ ඔහු ඒවායේ නිරන්තර පාරිභෝගිකයකු නිසාය.

එක පොසොන් සමයක දෙවෙනි දවසේ හවස වගේ මමත්, ගුණේත්,නන්දකුමාරත් රෝහල ඉදිරිපිට වාඩිවී කතා කරමින් සිටියෙමු. කලින් දවසේ අනුරාධපුර පූජා නගරය පුරා ඇවිද්ද අපිට එදා පූජා නගරයේ ඇවිදින්නට කම්මැලිය. කුමක් කරන්නද කියා සිතමින් සිටියදී මිහින්තලේ යන්නට යෝජනා කළේ නන්දකුමාරය. යෝජනා ස්ථිර වී මිහින්තලේ යන්නට මගට බැස්ස නන්දකුමාර ඉස්සෙල්ලාම ගියේ හොර පොළකටය. එතැනින් අසෝකා වීදුරුවක් පුරා ලැබුණු කලවම් අරක්කු උගුර බඩ පපුව පුච්චාගෙන යන තරමට සැර විය. ඊට පසුව බස් එකකට නැගී මිහින්තලයට ගොස් බැසගතිමු. මිහින්තලේ එදා අඩිය තියන්නට බැරි තරමට ඊස් මීස් නැතිව සෙනග පිරී තිබුණි. පඩිපෙළ නැග උඩට යනවා තබා හිතන්නටත් බැරිය. ටිකක් වෙලා එහේ මෙහේ ඇවිදිමින් හිටියත් මොනා කරන්නදැයි සිතා ගන්නට බැරිය. දන්සැලකින් රෑට කෑම කා ආපහු යමු කියා අපි කතා කරගත්තෙමු. හැම තැනම තිබුණු දන්සැල් වලින් එකක පෝලිමේ ඉන්නවිට නන්දකුමාරට උවමනා වුණේ තවත් ෂොට් එකක් දාගන්නට වුණත් ඔහු මිහින්තලේ හොර පොළවල් ගැන ඔහු නොදැන සිටීම හේතුවෙන් එම අදහස අතහැර ගන්නට සිදුවිය. පෝලිමේ දන්සැල ඇතුළට ටික ටික ගමන් කළෙමු. ඒ දන්සැලේ කෑමට දුන්නේ කහබත්, පරිප්පු සමග සීනි සම්බෝලය. දැඩි කුසගින්නෙන් සිටි අපට ඒ කෑම දිව්‍ය භෝජනයක් මෙන් රසවත් විය. එදා අපි කාපු කෑමේ රස අදත් මට සදා නොමැකෙන මතකයක්ය. අද නන්දකුමාර කොහේ සිටිනවාදැයි නොදනිතත් 83 කළු ජූලියේ අනුරාධපුර හැර දමා පලාගිය ඔහු අද සිටිනා තැනක ද හිතවත්කමේ සුවඳ නොඅඩුව හමනු ඇති බව මම හොඳින් දනිමි.

අනුරාධපුරේ පණ්ඩුලගම ගම් උදාව තිබුණේ 1984 වර්ෂයේ බව මගේ මතකයයි. ගම් උදාව බලන්නට ඔපමණ දුර යන්නට මගේ අදහසක් තිබුණේ නැත. අපේ හිතවත් පොඩි මහින්දට කටුපොත පැත්තෙන් මනමාලියක් බලා මඟුල තීන්දු කරගෙන තිබුණේ ඔය කාලයේය. අපි කට්ටියත් පොඩි මහින්ද කෙල්ල බලන්නට වරින්වර කටුපොත යද්දී ඒ පැත්තේ යන්නට පුරුදුවී සිටියේ හොඳට කා බී ඔයෙන් නාගෙන දවසක් ගතකිරීමේ සොමිය ලබාගන්නටය. කටුපොත උදවිය ගම් උදාව බලන්නට බස් එකකින් අනුරාධපුරේ යන බවත් තමාටත් ඒ එක්ක යන්නට කතා කර ඇති බවත් පොඩි මහින්ද අපිත් එක්ක කීවේ මේ අතරය.

" අපිත් ගම් උදාව බලන්න යමු." ආරි මගෙත් එක්ක කීවේ දවසක් කතා කරමින් ඉද්දීය.

" කෝච්චියෙද?" මම ඇසුවෙමි.

" නෑ, අපි සයිකලේ යමු. ගත්තට පස්සෙ තවම දුර ගමනක් ගියෙත් නෑනෙ."

ඒ ආරි අලුතෙන් 185 සයිකලයක් ගත්ත කාලයේය. සයිකලයේ හොඳ නරක බලාගන්නත් එක්ක ඉස්සෙල්ලාම අනුරාධපුරේ යන එක හොඳ බව ආරි සිතන්නට ඇත. තීරණයක් ගන්නට හිතන්න කාලයක් අවශ්‍ය නොවූ නිසා එතනදීම ගමන යන්නට කතිකා කර ගෙන අපිත් එදාටම අනුරාධපුරේ යන්නට එන බව පොඩි මහින්දටත් කීවෙමු. අපි එන බව මම ගුණේටත් දන්වුයෙමි. ගමනේ කාලසටහන වුණේ පොඩි මහින්දලා යන බස් එකත් එක්කම අනුරාධපුරේ ගිහින් අටමස්ථානයත් වැඳ පුදාගෙන රාත්‍රියේ ගම් උදාව බලා පසුදා ආපසු ඒමය. අපි දෙන්නා රාත්‍රියේ ගුණේත් සමග නවතින අතර පොඩි මහින්දලාගේ බස් එක ඒ රාත්‍රියේම ආපසු ඒමට නියමිත විය.

නියමිත දවසේ එනම් 1984 ජූනි මාසයේ අග හෝ ජුලි මුල අපි ගමන පිටත්වුනෙමු. ඉන්න තැන දැනගන්නට අද වගේ ජංගම දුරකථන නොතිබුණත් අපි දෙන්නා කෙසේ හෝ පොඩි මහින්දලා ගිය බස් එක අල්ලාගෙන ඒ පසුපස අනුරාධපුරයට ලඟා වන විට හවස්වී තිබිණ. අටමස්ථානය බලා කට්ටියම තිසා වැවට ඇවිත් නාන්නට පටන් ගත්හ. මමත් ආරිත් එතැනදී කට්ටියගෙන් කැපී කෙළින්ම රෝහලට ගියේ ගුණේ හමුවන්නටය. ගුණේ අපි එනතුරු මග බලා සිටියේය. එදා රෑ පණ්ඩුලගම ගම් උදාව බලන්නට අපි දෙන්නාත් සමග ආවේ ගුණේත්, ගුණසේකරත්, නන්දකුමාරත්ය. සුපුරුදු විදියට ගම් උදාවට යන්න කලින් නන්දකුමාරගේ මෙහෙයවීමෙන් බෝතලයක් දෙකක් හිස්වුණු අතර ගම් උදාවට අපි ගියේ බමරු වගේය. ගම් උදාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තු ප්‍රදර්ශන කුටියට ඇතුල්වන මග දෙපසම ඉතා අලංකාර එළවළු වගාවක් විය. පළ බරින් පිරුණු බණ්ඩක්කා ගස් සහ මෑ වැල් යන එන අයගේ ඇඟේ දැවටේ. පෝලිමේ ඉන්නා ගුණසේකරත්, නන්දකුමාරත් දළු බණ්ඩක්කා කරල් සහ මෑ කරල් කඩාගෙන චර චර ගගා කන්නට වුයේ මරු බයිට් එක කියමිනි. මගේ ඇඟ සීතල වුණේ කවුරුවත් දැක්කොත් කියා උනත් උන් දෙන්නාට ඒ ගැන වගේ වගක් නැත. කරල් කඩ කඩා කන්නට කියා අපි දෙතුන් දෙනාටද දෙති.

ගුණසේකරගේත්, නන්දකුමාරගේත් පිස්සු වැඩ එක්ක ගම් උදා භුමියේ රවුම් ගැසූ අපි එළියට බැස්සේ රෑ දහයට විතරය. දැන් කට්ටියට හොඳටම බඩගිනි දැනේ. ඒ ගමන අපි කඩ පනහේ තිබුණු රෑ කඩයකට ගොඩවුණේ රෑට කෑම කන්නටය. ගුණසේකර ඇණවුම් කළ කෑම වර්ගය මම ඊට කලින් කා තිබුණේ නැතුවාක් මෙන්ම දැක තිබුණේද නැත. ඒ කොත්තු කියන කෑම වර්ගය බවත් මස් හොදිත් කලවම් කරගෙන හැන්දෙන් කෑ යුතු බවත් කියා දුන්නේද ගුණසේකරය. මම නමෝ විත්තියෙන්ම කොත්තු කෑවේ එදා ඒ කඩ පනහේ කඩයෙනි. ඊට පසුව නම් විවිධාකාර විවිධ රසයෙන් යුත් කොත්තු සිය ගණනක් කන්නට ලැබී ඇතත් අද වනවිට නම් හරියාකාර කොත්තුවක් කන්නට තැනක් හොයාගන්නට නැත. හැම තැනම ඇත්තේ නානා ප්‍රකාර රසකාරක පුරවා රසය මරා හදන කොත්තුය. සමහර ඒවායේ හොදි පුරවා ලුණු වැඩිකර ඇත. ඉඳිආප්ප කොත්තු කොච්චර ගහනවාද කීවොත් ඉඳිආප්ප රැලක්වත් දකින්නට නැත. කාලෙකට ඉස්සර කොත්තු මහින්ද ටවුමේ රේල් ගේට්ටුව ළඟ කොත්තු කරත්තයක් දාගෙන ඉන්න කාලයේ ඌ ගහන කොත්තුව හොඳම ප්‍රමිතියෙන් තිබුණා මට මතකය. මොකක්දෝ හේතුවකින් ඒ කරත්තෙත් නැතිව ගිය පසු කොත්තු මහින්ද කුමාරිගේ රෑ කඩේ කොත්තු ගැහුවේය. කොත්තු ගහන අතරම මල් ව්‍යාපාරයක්ද කරගෙන යන්නට ගොස් පොලිසියෙන් අල්ලන් ගිය කොත්තු මහින්ද අද දකින්නටවත් නැත.

ගුණේගේ හත් දවසේ දානය ඒ සතියේම යෙදී තිබුණත් කට්ටිය එකතු කරගන්නට අමාරු නිසා එදාට එන්නට බැරි බව මම එරික්ට කළින්ම කීවෙමි. ඒ වුණත් තුන්මාසේ දානෙට කට්ටියම එකතුවී එන බව වැඩි දුරටත් කීවෙමි. තුන් මාසයේ දානය යෙදී තිබුණේ පහුගිය මාසයේ මුල දවසකය. අපි කට්ටියම එකතුවී ගුණේ වෙනුවෙන් පූජා කරන්නට පිරිකරත් අරගෙන දානෙ ගෙදර ගියෙමු. එදා චන්දරේට එන්නට නොහැකි වුණේ උගේ රස්සාවෙන් නිවාඩු ගන්නට බැරිවූ නිසාය. ඩේවිඩ් ආවේ අපි කට්ටියට බොන්නට විස්කි බෝතලයකුත් අරගෙනය. දානයේ වැඩ කටයුතු හොඳින් අවසන් විය, අපේ කට්ටිය වෙනුවෙන් දානය දෙන්නට උදව් කළේ අනික් ගුණේය. අපි පැත්තක ඉදිකර තිබු මඩුවකට වී වල්පල් කතා කරමින් සිටියෙමු. හාමුදුරුවන්ගේ දානය අවසන් වී දානය කන්නට ගිහියන් වූ අපටත් ආරාධනා කරන ලදී.

පිංකම අවසානයේ කරන්නට තුබූ කාරිය වුණේ අපි අරගෙන ගිය විස්කි බෝතලය හිස්කිරීමය. ඒ කටයුත්ත ගෙදර කරනවාට ගුණේගේ පුතා කැමති නොවෙනු ඇති බව කී එරික් බෝතලයත් අරගෙන පහළ ගෙදරට යන්නට යෝජනා කළේය. අපි එනතුරු බලා නොසිට කන්නට කියා රාණිටත්, ස්වප්නා ටත් කීවත් තවම කන්නට බැරිය කියූ උන් දෙන්නා අපි එනතුරු ඉන්නම්ය කී නිසා අපි කට්ටියම පහළ ගෙදරට පල්ලම් බැස්සෙමු. කාන්තාවක් විතරක් ඉන්න ඒ ගෙදර අපි මීට කලින්ද බොන්නට ගිහින් පුරුදු තැනකි. ගෙදරට ගිය අපිව ආදරයෙන් පිළිගත් ඒ කාන්තාව අපට වීදුරු ද ලෑස්ති කරදී " මහත්තයල ඉන්න එහෙනං, මම දානෙ ගෙවල් පැත්තෙ යනවා" යි කියා යන්නට ගියාය.

බෝතලය කඩා වීදුරුවලට දාගත්තා පමණය, හපන්නට මොනා හරි ගේන්නම්ය කියා ගිය එරික් දුවගෙන ආවේය.

" ඒයි, අන්න බං අරහෙට එන්නලු." එරික් හැති දමමින් කීවේය.

" නෑ බං, මෙහෙ හොඳයි, කවුරුත් නැති තැනනෙ. අනික එහේ හරියට කවර් වෙච්චි තැනකුත් නෑනෙ." කියා මම කීවෙමි.

" අනේ මංදා, මෙහෙ බොනටට උන් නං කැමති නෑ වගේ." කියූ එරික් එකෙල මෙකෙල වෙමින් හිටියා මිස බොන්නට පටන් ගත්තෙත් නැත.

ටිකකින් ගුණේගේ පුතාත්, උගේ බිරිඳවූ ලලනිගේ දුවත්, ලලනිත් යන තුන් දෙනාම අපි හිටපු තැනට ආවේ අපිවත් බෝතලුත් අත් අඩංගුවට ගෙන උඩ ගෙදරට ගෙන යන්නටය. කරන්නට දෙයක් නැති නිසා අපි හතර දෙනාටත් උන් එක්ක ආපහු දානෙ ගෙදරට යන්නට සිදුවිය. එහේ අපට ලෑස්ති කර තිබුණේ ගෙට ඇතුල්වෙන තැනම තිබුණු ගබඩා කාමරයක් වගේ කුඩා කාමරයකි. තැඹිලි වලුද, කෙසෙල් කැන් ද, හාල් ගෝනිද, බිස්කට් පෙට්ටිද ගොඩගසා තිබු ඒ කාමරය උඩ වහළයට ගසා තිබු ඇස්බැස්ටස් තහඩු රත්වී පෝරණුවක් මෙන් ගිනියම්ව තිබුණි. ඒ මදිවාට කාමරය තිබුණේ ගෙට ඇතුල් වෙන දොර ලඟම නිසා එතැනින් යන එන අය සියල්ලන්ටම ඇතුලේ ඉන්න අයව පෙනේ. අනික් ගුණේත් මමත් කාමරයට යෑම කෙළින්ම ප්‍රතික්ෂේප කළෙමු.

" එතකොට උඹල එන්නෙ නැද්ද?" එරික් ඇසුවේය.

" බෑ බං, ඔතන බොනවට වඩා සාලෙ තියාගෙන බොන එක හොඳයි." අනික් ගුණේ කීවේය.

එරික් කොච්චර කිව්වත් ගෙරි මාලු කෑවත් බෙල්ලෙ එල්ලගෙන කන සිරිතක් නැතැයි කියූ අපි එළියට වී රාණිත්, ස්වප්නාත් එක්ක කතා කරමින් සිටියෙමු. ඩේවිඩ් ද එක්කරගෙන දෙකක් දාගෙන ආපු එරික් අපි දෙන්නාට බනින්නට විය.

" තොපි යාළුවොද? යාළුවො නෙවෙයි තොපි මරුවො. තොපි මාව කෑවනං මීට වඩා හොඳයි. ගෙදර හිටියනං ඉවරයි. මීට පස්සෙ මම නෙවෙයි තොපිත් එක්ක බොන්න එන්නෙ."

එසේ අපට බැන්න එරික් ඊළඟට බනින්නට ගත්තේ ලලනිටත්, ගුණේගේ පුතාටත්, උගේ පොඩි දුවටත්ය.

" ඔවුන් තුන්දෙනා තමයි ඔක්කොම කෙරුවෙ. අගේට අරෙහෙ ඉඳන් කරගන්න තිබ්බ වැඩේ. මුන්ට මෙතෙන්ට ගේන්න ඕනෑ වුණා. ඕකව මට අල්ලන්නෙම නෑ, මගුල ගන්න හිටිය ඒකටත් බෑ කිව්වනෙ."

කියමින්ව ගුණේගේ පුතාට බැනවදින එරික් වරින්වර කාමරේ ඇතුළට ගොස් වෙරිය අලුත් කරගෙන එයි. අපි කතා නොකර හිටියේ කතාකළා නම් උගේ බැනිල්ල වැඩිවෙන නිසාය.

" මම නානගේ කඩෙන් කෑම එකක් අරං ගෙදර යනවා. තමුසෙ එහෙම මට කෑම ගේන්න එපා, ගෙනාවොත් වීසි කරනවා."

කියා ලලනිට ගෝරනාඩු කළ එරික් දවල්ටත් නොකා යන්නට ගියේය. ටිකකින් විතර දවල්ට කෑම ගත් අපි පිටත්වී ආවෙමු. පහුවදා මට කතාකළ එරික් සිදුවූ දේ ගැන කණගාටුව ප්‍රකාශ කර සමාවෙන්න යැයි කියා සිටියේය.

" සමාවෙන්න දෙයක් නෑ බං, උඹ කරපු වැඩක් නෙවෙයිනෙ. අපි ඒක එතැනින් අමතක කළා."යි මම කීවෙමි.

පසුව මම ලලනිට කතා කළ විට ඇය කීවේ එදා රාත්‍රියේ හොඳටම බීගත් එරික් ඇයට පලු පැලෙන්නම බැන වැදුණු බවය. ඊළඟට අපට හමුවන්නට නියමිතව තිබුණේ ඒ මාසයේම අග අනික් ගුණේලාගේ ගෙදරදීය෴

Unknownnoreply@blogger.com43tag:blogger.com,1999:blog-8432415427742462325.post-46541517502895198992018-11-04T18:27:00.000-08:002018-11-04T18:27:05.345-08:00ගඩොල් වාඩිකරුවන්ගේ කතා, ගඩොල් පිච්චීම සහ වලං පිච්චීම, පුස්තකාලෙ පන්සල, සර්වඥ ධාතු ප්‍රදර්ශනය, ගිලන්පස පූජාව, සිල්වාගේ වැඩ සහ හාමුදුරුවන්ට දෙසු කාමසුත්රය.

අපේ ගම කාලාන්තරයක සිටම දක්ෂ ගඩොල් බාස්ලා සිටින ගමක් හැටියට නම්දරා ඇති ගමකි. ගඩොල් කොන්ත්‍රාත් කරුවන් හෙවත් මුදලාලිලා යම්කිසි ඉදිකිරීම් වැඩබිමකට ගඩොල් සැපයීමේ කොන්ත්‍රාත්තුවක් ලබාගත් විට මේ ගඩොල් බාස්ලාට පණිවිඩයක් යවා ගෙන්වා ගෙන අවශ්‍ය ගඩොල් කප්පවා ගැනීමට කටයුතු යොදාගනිති. සේන ගියේත් මෙන්න මේ වගේ ගඩොල් කොන්ත්‍රාත්තුවක වැඩ කරන්නටය. පස්සෙ දවසක සේන මට කීවේ ඒ දවස්වල පටන්ගෙන තිබුණු දඹුල්ල උසාවියේ ඉදිකිරීම් සඳහා තමන් කැපු ගඩොල් යොදාගත් බවය.

ගඩොල් වාඩියක ජීවිතය දුෂ්කරය, කර්කශය. ගඩොල් වාඩිකරුවන්ට නවාතැනක් ද ගඩොල් කපන්නට අවශ්‍ය මැටි, දහයියා ආදියද වෙනත් ආම්පන්න ද කොන්ත්‍රාත් කරුවා විසින් සපයනු ලැබේ. නවාතැන බොහෝවිට අත්හැර දැමු ගෙයක් හෝ පොල්ලතු මඩුවක් වේ. වාඩිකරුවන් මෙහි පදිංචි වී වැඩ පටන්ගනිති. උදේම අවදිවන වාඩිකරුවන් දවාලටත් එක්ක කෑම උයාගනිති. ඔවුන්ගේ අහාරය නිතරම පාහේ කැකුළු බතක්, කරෝල කටු හොද්දක් සමග පොල් සම්බෝලයකින් සමන්විතය. මේ දළ ආහාරය උදේ කෑමට ගෙන ඔවුන් ගඩොල් පොළට ගොස් වැඩ ආරම්භ කරති.

ගඩොල් කැපීමේදී එක්වරම මැටි අනා ගඩොල් කපාගන්නා සිරිතක් නැත. අද ගඩොල් කපන්නේ ඊයේ සවස හොඳින් පාගා පදම් වන්නට තබාගත් මැටි වලිනි. දවස අවසානයේ ද පසුවදාට අවශ්‍ය මැටි ප්‍රමාණය පාගා පදම් වන්නට තැබීම ඔවුන්ගේ සිරිතයි. අද මෙන් අති විශාල ගඩොල් කැට නොකපන ඒ කාලයේ ඔවුන් කැපුවේ ඉංජිනේරු ගල් කියා කතාවට කියැවුණු කුඩා ප්‍රමාණයේ ගඩොල්ය. එමෙන්ම ඒ ගඩොල් කැපුවේද වරකට එක බැගින්ය. දැන්නම් එකවර ගඩොල් හතරක් කපන ගඩොල් අච්චු තිබුණත් එදා බාස්ලා තනි අච්චුවෙන් ගඩොල් කපා ගත්හ.

ගඩොල් පොළේ පදම් කළ මැටි ගොඩ ළඟ වාඩිගන්නා ගඩොල් බාස් අච්චුව වතුරේ පොඟවා මැටි දමා අතින් සකසා ගඩොල ඉදිකරන විට ඔහු ළඟ ඉන්නා සහායකයා එම ගඩොල තමන් අතේ ඇති ලෑලි කැබැල්ලකට ලබාගනී. දහයියා ඇතිරූ එම ලෑලි කැබැල්ලේ තබන ගඩොලට උඩින්ද දහයියා ඉස පැත්තකට ගෙනගොස් වියලෙන්නට තබයි. දහයියා ඉසින්නේ ගඩොල් පැලීම සහ එකිනෙක ඇලීම වළක්වා ගන්නටය. පෝරණුවේ දී මේ දහයියා පිළිස්සී යයි. එක ගඩොලකට පසු අනෙක කපන්නට බාස් ගතකරන්නේ විනාඩියකටත් අඩු කාලයකි. ගඩොල කපා අවසන් වන විට සහායකයා එතැන පෙනී නොසිටියේ නම් ඌට ලැබෙන්නේ කුණු බැණුම් ය.

වාඩිකරුවන් තරමක් හොඳ ආහාරයක් සකසා ගන්නේ රාත්‍රී කෑමටය. අත හැර දමා ඇති හේන්වල කැලේට වැවී ඇති අමුමිරිස්, කැකිරි, පුහුල්,කරවිල ආදිය ඔවුනට සොයාගන්නට ලැබේ. අතේ මිටේ ඇති නම් ගමේ නිෂ්පාදනයක් වන හොර අරක්කු බෝතලයක් ද රෑ කෑමට පෙර හිස්කරති. මුදලාලිගෙන් ගඩොල් බාස්ට සුමාන කාසි ලැබෙන්නේ සතියට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ටික මිළදී ගන්නටය. ඔය තොරතුරු සොයාගන්නට මම අපේ ගමේ පරණ ගඩොල් බාස්ලා දෙතුන් දෙනෙකුට කතා කළෙමි. එක බාස් කෙනෙක් මගෙත් එක්ක කීවේ කිරිවෙහෙර හදද්දී ඒ ඉදිකිරීමටද තමන් ගඩොල් කැපු බවය. " මොනවද ඉතින්, ඒ කාලේ අපට හම්බුනේ ගඩොල් දාහකට රුපියල් පහළොවයි. බඩු ගණන් අඩු නිසා ඒක ජීවත්වෙන්න ඇති." ඔහු වැඩිදුරටත් කීවේය.

අවශ්‍ය ගඩොල් ප්‍රමාණය දහදාහ හෝ පහළොස් දාහ කපා අවසන් කර වියලා ගත් පසු ගඩොල් පෝරණුව පිළිස්සීමට කාලය එළඹේ. ගඩොල් පෝරණුව පොල්ලතු වැසූ උස මඩුවකි. පිළිස්සීම සඳහා දර දමන්නට උදුන් කටවල් තබා ගඩොල් පෝරණුව පිළිවෙළට සකස් කරන්නේ පළපුරුදු ගඩොල් බාස්ලා විසිනි. පිටත ගඩොල් අතර ඇති කුඩා ඉඩවරය හෙවත් කුස්තූරු මැටි අනා හොඳින් ගා වසා දැමු පසු ගඩොල් පෝරණුව පුළුස්සන්නට සුදානම්ය. ගඩොල් පුළුස්සන්නේ ද වලං පෝරණුවක් පුළුස්සන ආකාරයටමය. වෙනස ඇත්තේ වලං පෝරණුව පුළුස්සද්දී ඒ සඳහා පොල්ලෙලි පමණක් යොදාගන්නා අතර ගඩොල් පිළිස්සීම සඳහා දර පාවිච්චි කිරීමය.

වළඳක් ඉදිකර නිමාකර ගැනීමද කර්මාන්තයකට වඩා කලාවක් බව එය බලාසිටීමේදී පෙනීයයි. කාන්තාවන් වලඳක මුලික හැඩය සකපෝරුවේ සකස් කරගෙන අතින් තලා හැඩ වැඩ දමා වළඳ නිමාකර ගන්නා ආකාරය බලන්නට ලස්සනය. මුට්ටි, ඇතිලි, කොරහ, මැටිකෝප්ප, වසන මූඩි ආදී සියල්ල නිමැවෙන්නේ කාන්තාවන්ගේ දෑතිනි. වෙසක් සමය එළැඹෙන්නට පෙර මේ කාන්තාවන් යුහුසුළු වන්නේ මැටි පහන් තැටි සාදා ගැනීමටය. පදම් කරන ලද මැටි ගොඩක් සකපෝරුව මත තබා කරකවමින් එකක් පසුවට එක බැගින් වතුර යහමින් පාවිච්චි කරමින් පහන් තැටිල්ලේ හැඩය මතුකර ගන්නා ආකාරය බලා සිටීමට ලස්සනය. හැඩය මතුකර ඇඟිල්ලෙන් පැත්තක් ඇද කර කෙන්දකින් යටින් කපා පහන් තැටිල්ල ඉවතට ගනිති. වෙසක් එළැඹෙන්නට පෙර හැමතැනම පෝරණු වල පිළිස්සෙන්නේ පහන් තැටිලි ය.

මේ මෑතකදී අපේ ගෙදර විශාල මැටි කොරහක් එළියට අරගෙන තිබෙනු මම දුටුවෙමි. අද මෙන් ආගිය අතේ ප්ලාස්ටික් බේසම් නැති ඒ කාලයේ කුඩා දරුවන් නාවන ලද්දේ මැටි කොරොස් වලය. කුඩා කාලයේ අපේ අම්මා මාවද නාවන්නට ඇත්තේ ඒ කොරහේ වෙන්නට ඇති බව මට සිතුණේ කොරහ එච්චරටම පැරණි නිසාය. කොපමණ පරණ වුවත් ඒ කොරහ මේ වන විටත් ඉතා හොඳ තත්ත්වයෙන් ඇත.

වලං පුළුස්සන්නට සුදානම් වන විටද ගඩොල් පිළිස්සීමේදී මෙන්ම ගින්දර දමන්නට කටවල් තබා වලං අඩුක් කර මුළු පෝරණුවම වැසෙන්නට මැටි ආලේප කරගනී. හරියටම අති විශාල පාත්තරයක් මුනින් අතට නැමුවා මෙන් මැටි ආලේප කර අවසන්වූ වලං පෝරණුව දිස්වේ. විශේෂයක් වන්නේ එසේ මැටි ආලේප කිරීමේදී මැටිවලට පිදුරුද මිශ්‍ර කර ගැනීමය. පෝරණුව උඩ වලං නමා ඒ උඩින් පිදුරු තට්ටුවක් අතුරා මැටි ගා ගනිති. පිදුරු මිශ්‍ර කිරීමෙන් වියලීමේදී ඇතිවන පැලුම් සිදුවීම වැළකේ. ඉන්පසුව ඇත්තේ ගිණි දැමීමයි. මා මුලින් සඳහන් කළාක් මෙන් මේ සඳහා තනිකරම පාවිච්චි කරන්නේ පොල්ලෙලිය. ගිණි දැමීමෙහි දීද ඒ සඳහා ක්‍රමයක් ඇත. පෝරණුවට එක්වරම ගින්දර දමන්නේ නැත. මුලින්ම කරන්නේ අමු පොල්ලෙලි ගිනිතබා ගිණි පිටවීමට නොදී පෝරණුව දුම් ගැස්සවීමයි. එක්වරම ගිණි තිබ්බොත් ගිණි සැරට වලං සියල්ල පැලී විනාශවී යයි. මුලින් දුම් ගස්සන්නේ පැලීම වළක්වා ගැනීමටය. මෙයට වලං තැම්බීම යනුවෙන් ව්‍යවහාර කරනු ලැබේ. පැය ගණනක් මෙසේ දුම්ගසා තම්බාගත් වලං වලට දුම්ගැසුණු පදම හරිගිය බව දැනුණු පසු ක්‍රමයෙන් වේලුනු පොල්ලෙලි දමා ගින්දර රශ්මිය වැඩිකරයි. පදම හරිගිය බව පළපුරුදු වලං විශේෂඥයින් දැන ගන්නේ පෝරණුවෙන් හමන සුවඳිනි. රාත්‍රියේ පටන්ගන්නා මේ පිළිස්සිල්ල මහ පාන්දර වනතුරු එක දිගට ඇදීයයි. පෝරණුවේ වලං සියල්ල හොඳින් පිළිස්සී ඇති බව සැක හැර දැනගත් පසු ගින්දර දමන කටවල් වසා පෝරණුව නිවෙන්නට හරී.

ගඩොල් පිළිස්සීමද මේ ආකාරයටම සිදුවේ. දුම්ගසා ගඩොල් තම්බා ගත් පසු දරදමා ගින්දර වැඩිකරමින් ගඩොල් හොඳින් රත් පැහැයට හැරී පිළිස්සෙන තුරු දවසක්ම පුළුස්සා ගනිති. ගඩොල් පෝරණු වලට දමන්නේ පොල්ලෙලි නොව දර කොටය. බොහෝ විට මේ සඳහා පොල් ගස් කැපු විට පරාල පැලීම සඳහා මුල් කුට්ටි ගෙන ඉතිරිවෙන අග කොටස යොදාගනී. මේවා ව්‍යවහාරයේ පෝරන් කොට යනුවෙන් හැඳින්වෙන්නේ ඒ නිසාය. මෙසේ ගඩොල් කොන්ත්‍රාත් කරුවාට අවශ්‍ය ගඩොල් ප්‍රමාණය නිෂ්පාදනය කර දීමෙන් පසු බාස්ලා මුදලාලි හමුවී ගණන් හිලව් බේරාගෙන සිය ගම් බිම් බලා පිටත්වෙති.

මේ විදියට සේන ගඩොල් වාඩියට ගොස් මාසයක් පමණ ගතවිය. අපි කට්ටිය සුපුරුදු විදියට ඩැනිස් ගේ කාමරයේ රැස්වී ගුරාත් සමග පිස්සු නටමින් කාලය ගතකළෙමු. චිත්‍රපටි, සංගීත සංදර්ශන,නාට්‍ය, ටීටර්, සල්පිල්, කටින පිංකම් ආදී අහල පහළ ඇති සියලුම උත්සව වලට අතේ සල්ලි නැතත් අපේ සහභාගිත්වය අනිවාර්ය වූ එකක් විය. අපේ ගමට අල්ලපු ගමේ තිබුණු පුස්තකාලෙ පන්සලේ පිංකමක් පටන් ගත්තේ මේ කාලයේදීය. පුස්තකාලෙ පන්සල පටන්ගෙන ඒ වනවිට වැඩිකලක් ගතවී තිබුණේ නැත. පුස්තකාලෙ පන්සලේ නායක හාමුදුරුවන් වූ විපුලසිරි හාමුදුරුවෝ කලින් වැඩ වාසය කළේ ටවුමේ පන්සලේය. ටවුමෙ පන්සලේ නායක හාමුදුරුවන් වූ මණ්ඩාවල හාමුදුරුවන් එක්ක ආරෝවක් ඇතිකරගත් විපුලසිරි හාමුදුරුවෝ පන්සලෙන් එළියට වැඩමකර වදාළෝය. උන්වහන්සේට ඉන්නට ඉඩක් දුන්නේ එවකට රටේ අගමැතිනිය වූ සිරිමා බණ්ඩාරනායක මැතිණියයි.

ඒ වනවිට ඉඩම් නැති අයට නොමිලේ බෙදාදෙමින් තිබුණු ඉඩමක මහපාර අයිනේ අක්කර කාලක් මැතිණිය හාමුදුරුවන්ට දුන්න නිසා හාමුදුරුවෝ ඒ ඉඩමේ පන්සලක් හදාගෙන පදිංචි වූහ. පන්සලක් කිව්වාට එය යන්තම් ගඩොලින් බැඳගත් කාමර දෙකකින් යුත් තැනකි. වැඩ වාසය කරන්නට තැනක් ඇත්නම් ඉතිරි හරිය කරගන්නට දන්නා වීරියවන්තයකු වූ විපුලසිරි හාමුදුරුවෝ නිකම් බලා නොසිට තමන් දන්නා හඳුනන අහල පහළ අය අල්ලාගෙන මොන මොනවා හෝ පිංකම් ආදිය කරමින් මුදල් එකතුකර පන්සල වැඩි දියුණු කරන්නට උත්සාහවන්ත වුහ. අවුරුදු දෙක තුනක් ගතවෙන විට පන්සලට තට්ටු දෙකකින් සමන්විත බුදු මැදුරක්, සංඝාවාසයක් හා බණ මඩුවක්ද එකතු කරගන්නට හාමුදුරුවන් සමත් විය. බුදු මැදුර මුල් කර ගනිමින් නිතරම පාහේ පිංකම් පැවැත්වූ අතර බණ මඩුව පංති පවත්වන්නට ප්‍රයිවෙට් ටියුෂන් කාරයන්ට කුලියට ලබාදෙන ලදී. සංඝාවාසයේ කොටසක පන්සලට එන ළමයින්ගේ ප්‍රයෝජනය සඳහා පුස්තකාලයක් ආරම්භ කරන ලදී. ලස්සන නමක් තිබුණත් අද පවා ඒ පන්සල පුස්තකාලෙ පන්සල කියා හඳුන්වන්නේ ඔය පුස්තකාලය නිසාය. ඒ වන විට විපුලසිරි හාමුදුරුවෝ කුඩා දරුවන් දෙන්නෙක්ද ගෝලයන් වශයෙන් පන්සලේ මහණ කරගන්නට සමත් වුහ.

මේ හාමුදුරුවන් දෙදෙනාටම එනම් විපුලසිරි හාමුදුරුවන්ට සහ මණ්ඩාවල හාමුදුරුවන්ට තිබුණු මහා පොදු සාධකය වශයෙන් දැක්විය හැක්කේ අගමැතිනිය වූ සිරිමා බණ්ඩාරනායක මැතිනිය සමග තිබූ ඉතා කිට්ටු හිතවත්කමයි. කොටින්ම මේ දෙදෙනා අත්තනගල්ල ආසනයේ බණ්ඩාරනායක මැතිණියගේ අග සව් දෙනම මෙන් කටයුතු කළහ. ඒ නිසාම මේ පන්සල් දෙකේ තිබුණු කුඩා පිංකමකට වුවද අගමැතිනියගේ සහභාගිත්වය නොවරදවා දැකිය හැකි විය. එක පන්සලක පිංකමකට සහභාගිවී අනික් පන්සලේ පින්කමට වැරදිලාවත් යන්නට බැරිවුණොත් එහෙම අගමැතිකම පැත්තක තබා කුණු බැණුම් අහන්නට වෙන බැවින් අගමැතිනිය වරද්දන්නේ නැතුවම පන්සල් දෙකේම පිංකම් වලට නොවරදවා සහභාගී වුවාය.

අගමැතිතුමිය දවසක් පුස්තකාලෙ පන්සලේ කටින පිංකමට ආපු වෙලාවේ වෙච්ච සිද්දියක් මගෙත් එක්ක කොල්ලෙක් කීවේය. එහා ගමේ කොල්ලෙක් වූ ඔහු අපේ ගමෙන් කසාද බැඳගෙන පදිංචිවී සිටියි. ඌ නාන්නට එන්නේ අපේ ලිඳටය. කතාව කිව්වේ මමත් නාන්න ගිහින් හිටපු වේලාවේය.

' ඊයෙ අපේ පන්සලේ කටින පිංකම නෙ, මමත් ගිහිං හිටියෙ, මැතිනිත් ඇවිල්ල හිටිය. පිංකම වෙලාවෙ බණ මඩුවෙ මැතිනිට වාඩිවෙන්න මෙට්ට දාල ලෑස්ති කරලා තිබුණේ. වැඩේ කියන්නෙ මැතිනිට බිම වාඩිවෙලා ඉඳල නැගිටගන්න බෑ, වයසයිනෙ දණිස් අමාරුවක්. විපුලසිරි හාමුදුරුවො මේක දැකල මට කතාකරල කිව්වා ගිහිං මැතිනිව නැගිට්ටවන්න කියල. කිව්වහම නොගිහිං බෑනෙ, මම මැතිනි ඉඳගෙන ඉන්න තැනට ගියාට මොකද මැතිනිගෙ ඇඟට අත තියන්න බයයි, ඇයි අප්පා රටේ අගමැතිනි නොවැ, අපි මොක්කුද? මාව වෙව්ලනවා. මැතිනි මේක දැක්කා, 'මොනවද ළමයො බලාගෙන ඉන්නෙ, අල්ලන්න මට නැගිටින්න'. මැතිනි හිනාවෙලා එහෙම කිව්වම මගෙ හිතෙත් තිබුණු බය නැතිවෙලා ගියා. කිහිළි දෙක අස්සෙන් අත දාල එක පාරටම මැතිනිව නැගිට්ටෙව්වා, මටත් වෙන වැඩ'. ඌ කීවේ සිනාසෙමිනි.

එදා සැරේ පුස්තකාලෙ පන්සලේ තිබුණු පිංකම වුණේ සර්වඥ ධාතු ප්‍රදර්ශනයකි. පිංකම සතියක් පුරා පැවැත්වීමට නියමිත විය. ධාතු ප්‍රදර්ශනයක් යනු ලංකාවේ කොහෙ පන්සලක තිබ්බත් මුදල් ගලා එන උල්පතකි. පිංකම් සංවිධානය කිරීමේ ලා විශේෂඥ දැනුමක් ඇති විපුලසිරි හාමුදුරුවෝ මේ පිංකමද කිසිම අඩුපාඩුවක් නොමැතිව කරන්නට වග බලාගත්හ. පිංකමේ පළවෙනි දවසේ විවෘත කිරීම අගමැතිනියගේ ප්‍රධානත්වයෙනි. අපි කට්ටියත් පිංකම පැවැත්වුණු හැම දවසකම නොවරදවාම පන්සලට ගියේ ධාතු කොහොම වෙතත් ධාතු බලන්නට එන කෙල්ලන් බලන්නටය. ධාතු ප්‍රදර්ශනය කෙරුණේ බුදු මැදුරේ උඩ තට්ටුවේය. පඩිපෙළ දිගේ උඩට යන බැතිමතුන්ට ධාතු වන්දනා කර පහළට එන්නට අනිත් පැත්තෙන් තාවකාලික තරප්පු පෙළක් ඉදිකර තිබුණේ එකම පඩිපෙළින් සැදැහැවතුන් උඩට පහළට යන්නට ගියවිට සිදුවන අවහිරය මග අරින්නටය.

පිංකම පැවැත්වුණු දෙවෙනි හෝ තුන්වෙනි දින රාත්‍රියේ අපි කණ්ඩායම සියලුම දෙනාගේ සාක්කු පීරා සොයාගත් මුදලින් මිළට ගත් සිගරැට් දෙකක් සාමූහිකව උරමින් පන්සල ඉදිරිපිට තණබිස්සේ වාඩිවී සිටියෙමු. සිගරැට් දෙකට වියදම් කළ මුදල වන සත හතළිහ හෝ පනහ සොයන්නට සියල්ලන්ගේම ආධාර වුවමනා වීම නිසාම එවකට අප කණ්ඩායම සතුව තිබූ ආර්ථික ශක්තිය ගැන යම් අදහසක් ඔබට ලබාගන්නට හැක. ඉතින් එදා රාත්‍රියේ අවංකවම කිවහොත් අපි හිටියේ දැඩි කුසගින්නෙනි. කඩේකින් කන්නට තබා බොන්නට අලියා බීම බෝතලයක් වත් මිළදී ගැනීම සිහිනයක් පමණක්ම වූ ඒ රැයේ අපි කතාකළේ කුමක් හෝ බඩට දා ගන්නේ කෙසේද කියාය. පන්සලේ රාත්‍රියට දානය නැත. තිබුණ එකම විසඳුම වුණේ ගිලන්පස ටිකක් වැළඳීමයි.

නිකංම බුදුගෙයි ගිලන්පසට තබන නිවිච්ච තේ මෙලෝ රහක් නැත. නමුත් ධාතුන් වහන්සේලාට පුදන අෂ්ඨපාන පූජාව නම් පාන වර්ග කීපයකින් විසිතුරු විය. ලොකු වීදුරු පුරවා අලියා බීමද, තේ, කිරිතේ, කෝපි, දොඩම් යුෂ, පළතුරු යුෂ ආදී පානයන්ගෙන් සමන්විත වූ අෂ්ඨපාන බන්දේසිය සුදු රෙදි කඩකින් වසාගෙන උඩට ගෙනගොස් පුජාකළ බැතිමතියන් ආපසු එනතුරු අපි බලාගෙන සිටියෙමු. ඒ කාලයේ තිබුණු ආනයන සීමාවන් නිසා ඇපල් සහ මිදි ලංකාවේ දකින්නටවත් නොතිබුණු නිසා නොවන්නට ඇපල් යුෂ සහ මිදි යුෂද එදා ඔය බන්දේසියට එකතුවන බව මට නොඅනුමානව කිව හැකිය. සෙනග අඩුවූ වෙලාව අල්ලා අපිත් උඩට නැග්ගෙමු. අපට තිබූ එක වාසියක් වුණේ උඩ ධාතූන් වහන්සේලාට එළිය දෙන්නට සවිකර තිබූ අති විශාල වෝල්ටීයතාවකින් යුතු ලොකු විදුලි බල්බය රත්වූ විට ස්වයංක්‍රීයව විනාඩියක් දෙකක් නිවී තිබී නැවතත් පත්තු වීමය. අපි කතාකරගෙන තිබුණේ උඩ අඳුරුවූ සැණින් අතට අසුවන වීදුරුව අරගෙන ගිල දමා එළිය පත්තු වෙන්නට පෙර අනෙක් පැත්තෙන් බිමට බසින්නටය. අපි ටික උඩ අඳුරු වෙනතුරු එකෙල මෙකෙල වෙමින් සිට අඳුරුවූ සැණින් අෂ්ඨපාන බන්දේසිය සිං සිං ගා හිස්කර බිමට බැස ගතිමු. කවුරුවත් මාට්ටු වුණේවත් කලබලයක් ඇතිවුණේවත් නැතිවුණත් පොඩි අවුලකට තිබුණේ අනික් උන් රසවත් පානයන් බොද්දී මට අසුවී තිබුණේ වතුර වීදුරුව වීමය.

අද වන විට පුස්තකාලෙ පන්සල ලොකු ගොඩනැගිලි කීපයකින්ද චෛත්‍යයකින්, බෝධියකින් හා එය වටකළ රන්වැටකින් ද, ඉදිරිපස මකර තොරණකින් හා වටේටම ලයිට් සවිකළ ගාම්භීර තාප්පයකින්ද සැදුම්ලත් ලොකුම ලොකු විහාරයකි. විපුලසිරි හාමුදුරුවන් අපවත්වී අඩු තරමින් දැනට අවුරුදු විස්සක් විසිපහක් වත් ගතවී ඇති අතර ධාතු ප්‍රදර්ශනයන් නම් දැනටත් පැවැත්වේ. මීට මාස කීපයකට පෙර තිබුණු සර්වඥ ධාතු ප්‍රදර්ශනයට ධාතූන් වහන්සේලා වැඩම කෙරෙව්වේ චොපර් එකකිනි. අපේ ඉස්කෝලෙ පිට්ටනියට බාන ලද චොපරයෙන් ගෙන ආ ධාතු මනාව සැරසු රන්සිවි ගෙයක තබා පන්සලට ගෙනෙද්දී චොපර් එක උඩ කැරකෙමින් මල් ඉස්සේය. විශාල සද්දයක් සහිතව ධාතු ප්‍රදර්ශනය හාමුදුරුවන් විසින් ආරම්භ කළත් පොඩි පරහකට තිබුණේ බලාපොරොත්තු වූ තරම් ජනකායක් ධාතු වඳින්නට නොපැමිණීමය. මම ධාතු වඳින්නට නොගියත් ඒ දවස්වල එතැනින් යද්දී එද්දී ධාතු වඳින පෝලිමේ විස්සකට තිහකට වැඩි පිරිසක් සිටිනවා මම එක දවසකවත් නොදුටුවෙමි. මම හිතන විදියට මෙදා සැරේ ධාතු ප්‍රදර්ශනයෙන් නම් හාමුදුරුවන්ට අතින් පාඩුය.

ආපහු අතීතයට ගියොත් ඔය නොදන්නාකමට කොල්ලො කාලෙ කළ පන්සල් පාළු කිරීම් ආදී වහුටු වැඩ අතහැර දමා රස්සාවක් කරමින් පිළිවෙලක් වී ජීවිතය ගත කරමින් ඉන්නා කාලයේත් මම පුස්තකාලෙ පන්සල ඇසුරු කළෙමි. විපුලසිරි හාමුදුරුවන්ගේ අපවත් වීමෙන් පසු පන්සලේ භාරකාරීත්වය පිටින් ගෙනාපු හාමුදුරු නමකට පැවරුණේ විපුලසිරි හාමුදුරුවන් පැවිදි කරගත් ගෝලයින් දෙන්නාම හොඳට ඉගෙනගෙන රස්සාවල් සොයාගෙන සිවුරු හැර ගිය බැවිනි. අලුත් නායක හාමුදුරුවෝ කළුය, කොටය, සිවුර හැරෙන්නට දුටු පමණින් හාමුදුරු ගතියක් නොපෙනේ, නම කියන්නටද බැරිය. දවසක්දා ඒ හාමුදුරුවෝ අපේ ගමේ මලගෙදරකදී කළාවූ අනුශාසනාවක් ඇසු පමණින් මම හාමුදුරුවන් කෙරෙහි පැහැදුනු සිත් ඇත්තෙක් වීමි. එය එතරම්ම ඖචිත්‍යයෙන් යුක්තය, කර්ණ රසායනය,ශෝකී සිත් නිවී සැනසී යයි. හාමුදුරුවන්ට කතාකළ මම එතැන් සිට ලැබෙන හැටියට පුස්තකාලෙ පන්සලට යන්නට එන්නට පටන් ගත්තේ හාමුදුරුවන් සමග කතා කරමින් සිත් පහදවා ගන්නටය.

මීට අවුරුදු දහයකට පමණ කළින් මම රස්සාව කරන්නට පිට රටකට යද්දී යනවාය කියා කියන්නට හාමුදුරුවන් මුණ ගැහෙන්නට ගිය වෙලේ පිරිත් ටිකක් කියා මට සෙත් පැතු හාමුදුරුවෝ පිරිත් නූලක්ද මගේ අතේ ගැටගසා ගමනට ආශීර්වාද කළහ. ඊට අවුරුදු හතර හමාරකට පමණ අපසු මම ආපහු ලංකාවට ඇවිත් බැලු කළ හාමුදුරුවෝ පන්සලේ සිටියේ නැත. අහන්නට කෙනෙක්ද නැත, දන්නා කරන අයගෙන් ඇසුවිට කිව්වේ හාමුදුරුවන් පන්සල හැරගොස් ඇති බවය. වෙච්ච දේ ගැන හරි විස්තරයක් කියන්නට කවුරුවත් ඉදිරිපත් වුණේත් නැත.

සංජේ කාර්යාලයේ අපේ බ්‍රාන්ච් එකට යොදවා සිටි අලුත් රියැදුරාය. ඔහුද අපේ ටවුමේ කොල්ලෙක් වගේම අති පණ්ඩිතයෙකි. අපේ පැත්තේ වෙන හැම දෙයක්ම සංජේ දනී. සංජේ ගේ පියාද කාලයක සිටම මගේ හිතවතෙකි. ඔහුට ටවුමේ කොණ්ඩ කපන ලොකු සැලුන් එකක් ඇත. හැලපි වරින් වර කොණ්ඩය කපාගන්නට යන්නේ මේ සැලුන් එකටය. කොණ්ඩ කපන්නේ ගෝලයන්ය. සැලුන් එකේ අයිතිකාරයාවූ සංජේ ගේ තාත්තා කොණ්ඩ කපන්නේ නැත. ඒ ඔහුට සතියේ ආර්ථික විග්‍රහය, වර්තමාන දේශපාලන විශ්ලේෂණය වැනි බොහොම වැදගත් වැඩ කරන්නට ඇති නිසාය. හැලපි ඇතුලේ කෙල්ලන් කොණ්ඩය කපන පැනට ගොස් කොණ්ඩය කපාගන්නා තුරු සංජේ ගේ තාත්තා මගෙත් එක්ක කතාවට වැටේ. කතාවක් කිව්වාට ඇත්තටම වෙන්නේ ඔහු කියවන දේ මම අහගෙන ඉන්නා එකය. සංජේත් තාත්තා වගේම එකෙකි. ඌත් නොදන්නා දෙයක් හෝ නොදන්නා කෙනෙක් නැත.

වාහනයේ යන ගමන් මම සංජේත් එක්ක ගමේ රටේ වෙන දේවල් ගැන කතාකරන්නට පුරුදුවී සිටියේ අපේ පැත්තේ සිද්දවෙන දේවල්වල අගමුල ගැන විස්තර දැනගන්නට ඌට වඩා හොඳ කෙනෙක් නැති නිසාය. දවසක්දා මම නිකමට වගේ පුස්තකාලෙ පන්සලේ හාමුදුරුවන් ගැන සංජේගෙන් ඇහුවෙමි.

" සංජේ, අර පන්සලේ අවුරුදු කීපෙකට කලින් හිටපු කළු හාමුදුරුවන්ට මොකද උනේ බං? ඒ හාමුදුරුවො දැන් නෑනෙ."

" ඔය කියන්නෙ අර කොට හාමුදුරුවොද? ඒ හාමුදුරුවන්ට මරු වැඩේනෙ වුණේ, ඔයා ඒක දන්නෙ නැද්ද? සංජේ සිනාසෙන්නට විය.

" නෑනෙ, මම රට යද්දී හිටියා, ගිහිං ඇවිත් බලනකොට නෑ. එච්චරයි මම දන්නෙ."

" හාමුදුරුවො බොහොම හොඳට පන්සලත් දියුණු කරගෙන හිටියා, ලස්සනට බණ කියන හින්දා සෙනගත් හොඳට ආවා, සල්ලි බාගෙනුත් අඩුවක් තිබුනෙ නෑ. ඔන්න ඔහොම ඉද්දි තමා සිල්වා පන්සලට කිට්ටු කළේ."

සිල්වා ඕල් රවුන්ඩර් කෙනෙකි. ඔහු නොකරන වැඩක් නැත, ඉඩකඩම් දේපොළ විකුණාදීමේ බ්‍රෝකර් වැඩ, ගෙවල්වල ඉන්න කොල්ලන්ට රස්සාවල් සොයාදීම, කෙල්ලන්ට මඟුල් කතා කිරීම, ගෑණුන්ට මැද පෙරදිග රස්සාවල් හදා දීම, ළමයින්ව ඉස්කෝලවලට දැමීම, රස්සාව නැතිවූ අයට රස්සාව හදා දීම ආදී මෙකී නොකී සියළු කටයුතු දවසෙන් දෙකෙන් කරදීම සඳහා එදිනම ඇඩ්වාන්ස් එකක් ඉල්ලා ගන්නා සිල්වාව ඊට පසු දකින්නට වත් ලැබෙන්නේ නැත.

" සිල්වා පන්සලට ගියෙ පන්සල හදන්න වෙන්න ඇති." මම කීවෙමි.

" පන්සල හදයි ඕකා, පන්සල හදන්න නෙවෙයි ඌ හැදෙන්න ගියෙ. ඕකා පන්සලට ගිය ගමන් මම දැනගත්ත මූ හාමුදුරුවොත් විනාශ කරල පන්සලත් විකුණල තමයි පස්ස බලන්නෙ කියල."

හාමුදුරුවන්ට හිතවත් වී ටිකෙන් ටික හාමුදුරුවන්ගේ ඔළුවට වල්පල් දමමින් හාමුදුරුවන්ව නොමග යවන්නට සිල්වාට ගතවී ඇත්තේ සුළු කාලයකි. කොටින්ම හැම සුත්රයම දත් හාමුදුරුවන් නොදන්නා සුත්‍රය වූ කාමසුත්රය සිල්වා හාමුදුරුවන්ට දේශනා කර ඇති අතර සිල්වාගේ කාමසුත්‍ර දේශනාවට වශීවූ හාමුදුරුවෝ සිල්වා කියන කරන හැම දෙයක්ම හිස් මුදුණින් පිළිගත්හ. මෙසේ සුක්ෂ්මව වැඩ කටයුතු කළ සිල්වා ටික දවසකින්ම හාමුදුරුවන්ට ස්ත්‍රී පහස ලබාදෙන්නට කටයුතු කළේ හාමුදුරුවන්ටත් හිතාගන්නට බැරි ආකාරයටය. සිල්වා ඊට පසු හාමුදුරුවන්ගේ ප්‍රධාන උපදේශකයා බවට පත්විය. මෙන්න මේ විදියට කාලය ගතවෙද්දී දවසක් සිල්වා හාමුදුරුවන්ට යෝජනා කළේ මේ නිකංම පොඩි පොඩි තැන්වලට යනවාට වඩා පිට පළාතකට ගිහිං දවසක් ගතකර සොමියක් අරගෙන එන්නටය. හාමුදුරුවෝත් යෝජනාවට එක පයින්ම කැමති වූහ.

" ඔන්න ඔය රත්නපුර පැත්තෙ ගෑනියෙක්ලු, ඒ ගෑනිගෙ මිනිහත් දැනුවත්වයි වැඩේ කෙරෙන්නෙ කියල සිල්ව කිව්වෙ, කොහොම හරි හාමුදුරුවොත් සිල්ව එක්ක ඒ ගෙදරට ගිහිං."

කාන්තාවත් සමග යහන්ගත්වූ හාමුදුරුවෝ තමන් අනුදත් කාමසුත්‍ර පාඩම් රෑ තුන්යමක් වෙනතුරු කාන්තාව සමග ප්‍රායෝගිකව රඟදක්වා අවසන පසුදා උදේ පිටත්ව එන්නට සුදානම් වුහ.

" උදේ හාමුදුරුවෝ ආපහු එන්න ලෑස්ති වෙලා එළියෙ පුටුවක ඉඳගෙන තේ එකක් බිබී ඉද්දි අර ගෑනි ඇවිත් හාමුදුරුවන්ට දණගහල වැන්දලු. ඒ වැන්දේ හාමුදුරුවො පෙන්නපු වැඩ ගැන ගෑනි සතුටුවෙලා හිටපු හින්ද කියලයි සිල්ව හිනාවෙවී කිව්වෙ."

" කොහොමහරි ඒ ඇවිත් වැඩිකලක් හාමුදුරුවො පන්සලේ හිටියෙ නෑ. පන්සලට ආපු කෙල්ලක් යාළු කරගෙන සිවුරත් ගලෝල දාල ඒකිත් අරගෙන අතුරුදහන් වුණා."

සංජේ කතාව හමාර කළේය. ඊට ටික දිනකට පසු ස්ථාන මාරුවක් ලැබූ මම ඕමාන් රටේ සේවයට ගියෙමි. සංජේ ද පත්වීමක් ලැබී ස්වීඩනයේ ස්ටොක්හෝම් වල සේවයට ගිය බව මම පසුදිනෙක දුටුවෙමි. සංජේ රස්සාව අවසන්කර ලංකාවට ඇවිත් ඉන්න බව ආරංචිවී මම ඌ ගැන තොරතුරක් දැනගන්නට සංජේ ලාගේ තාත්තගේ සැලූන් එකට ගියෙමි. සංජේලගේ තාත්තා මියගොස් ටික කලක් ගතවී ඇති බව කියූ සැලුන් එකේ කොල්ලන් සංජේ ඉන්න තැනක් ගැන විස්තරයක් නොදන්නා බව කීහ. පන්සලට නොගියත් දැන් පුස්තකාලෙ පන්සලේ ඉන්න ලොකු හාමුදුරුවෝ ද මාත් එක්ක හිතවත්ය. දානයකදී පිංකමක දී හමුවුණාම කතා බහ කරනවා ඇරෙන්නට ඊට වඩා ලොකු හිතවත්කමක් අපි අතරේ නැත෴

( ප. ලි සේනගේ කතාව අවසන් කරන්නට තව කොටසක් පමණ ලියන්නට ඇත. පෝස්ටුව දික්වෙන නිසා ඒ කොටස ආයෙමත් ලියන බව දන්වා සිටිමි)

Unknownnoreply@blogger.com54tag:blogger.com,1999:blog-8432415427742462325.post-62455574306988607712018-10-18T00:06:00.000-07:002018-10-18T00:06:14.882-07:00ඩැනිස්ගේ කාමරයට ආ අලුත් සාමාජිකයා, සේනගේ නළුකම, ක්ලින්ට් ඊස්ට්වුඩ් සහ රොටියාගේ ලව් එක.

අද ලියන්නට හදන කතාවේ ද ඩැනිස් හිටියත් මේ ඩැනිස් ගේ කතාවක් නොවේ වෙනත් කෙනෙක්ගේ කතාවයි. සුපුරුදු පරිදි මේ කතාවටද පසුබිම් වන්නේ සෑහෙන ඈත කාලයක අපි ගතකළ ජීවිතයයි. අනාදිමත් කාලයක් ගතවී තිබුණත් කිසිම මල කෑමක් නොමැතිව මේ කතා මගේ හිතේ සටහන් වී තිබෙන්නේ එකල අප ගතකළ ජීවිතයේ තිබු රසවත්කම නිසාමය. ඩැනිස් පොඩි මහින්ද ලාගේ ගෙදර ඉස්සරහ කාමරේ නවාතැන් ගෙන සිටි සමය අපි තරුණ අවදියේ ගතකළ සුන්දරම කාලය ලෙස සිතේ නොමැකෙන ලෙස සටහන් වී ඇත. කරන්නට වැඩකුත් නැතිව අතේ සතේ නැතිව අපතයන් ලෙස ඩැනිස්ගේ කාමරයට වී විනෝදයෙන් ගතකළ ඒ අවදියේ හත් අට දෙනෙකුගෙන් යුත් අපේ කොල්ලන් කණ්ඩායම ඩැනිස්ගේ කාමරය බදු අරගෙන වගේ දවසම කාමරයේ ගතකරද්දී කාමරයට තවත් නව සාමාජිකයෙක් එකතුවී සිටියේය. ඒ ගුරාය. නුවර දෙයියන්නේවෙල පදිංචිකරුවෙකු වූ ගුරා ටික දවසකින්ම ඩැනිස්ටත් වඩා අපට හිතවත් වුණේ ඒ වනවිට ගුරාද අපි වගේ අවිවාහකයෙක් වීම හේතුවෙනි. සිංහල භාෂාවට අමතරව ඉංග්‍රීසිත් කතාකළ හැකි එකෙකු වූ ගුරා ඉතා චතුර ලෙස දෙමළ භාෂාවද හැසිරවිය. ඒ ඔහු පදිංචි වී සිටි ප්‍රදේශයේ විසූ මුස්ලිම් අයගේ ආශ්‍රය හේතුවෙනි. උගේ යහළුවන් වූ සිද්දික් හා මොහොමඩ් නිතරම ගුරා හමුවන්නට පැමිණ දින දෙක තුන කාමරයේ නැවතී සිටින බැවින් ඒ අයද ඉතා ඉක්මනින් අප සමග හිතවත් වූහ.

ඔය කාලයේ අපේ ප්‍රධාන විනෝදාංශය වී තිබුණේ චිත්‍රපටි නැරඹීමය. ටවුමේ චිත්‍රපටි හෝල් එකට එන හැම චිත්‍රපටියක්ම සිංහලද, ඉංග්‍රීසිද, දෙමළද, හින්දිද කියා වෙනසක් නොමැතිව බලන්නට යෑම කට්ටියගේ සිරිත විය. අතේ සතේ නැතිව සිටියත් චිත්‍රපටියක් බලන්නට නම් කෙසේ හෝ මුදල් සොයාගන්නට කවුරුත් සමත්කම් දැක්වුහ. ගෙදරින් චිත්‍රපටි බලන්නට සල්ලි නොලැබෙන විට හාල් ටිකක්, පොල් හෝ අන්නාසි ගෙඩි කීපයක් විකුට අවශ්‍ය මුදල් සොයාගතිමු. සල්ලි අතේ නැති එකෙකුට හෝ ගානට අඩුවෙන් මුදල් තියෙන එකෙකුට වැඩිපුර සල්ලි තියෙන එකෙක් අනුග්‍රහය දක්වයි. මේ අනවරත චිත්‍රපට නැරඹීම හේතුවෙන් අපට සිදුවූ එක යහපතක් වුණේ පසුකාලීනව හොඳ හා කබල් චිත්‍රපට වෙන් වශයෙන් හඳුනා ගැනීමට හැකිවීමයි. චිත්‍රපටයක් නැරඹු පසු ඒ චිත්‍රපටය එහෙම පිටින්ම පහුවදා ඩැනිස්ගේ කාමරයේ රඟ දැක්වීම සිරිතක් විය. ඒ වැඩට යන නිසා චිත්‍රපට බලන්නට නොලැබෙන ඩැනිස්ගේ හා ගුරාගේ වින්දනයටය. සිංහල චිත්‍රපටයක් නම් සම්පූර්ණ චිත්‍රපටය රඟ දක්වනු ලබන්නේ පැටියා විසිනි. චිත්‍රපටයේ දෙබස් කියමින් හා ගීත නිසි තැන්හි ගායනා කරමින් පැටියා චිත්‍රපටය අපූරුවට රඟපා පෙන්වයි. සමහර වෙලාවට අපේ චිත්‍රපට රඟ දැක්වීම නිසා කාමරයේ ඇතිවන කන් කරච්චලය ඉවසා ගනු නොහැකි ඩැනිස්

" පලයව් පලයව්, එළියට ගිහිං කරන මඟුලක් කරගනියව් මට ටිකක් නිදාගන්න දීලා." කියමින් අපව කාමරයෙන් පිටුවහල් කරයි.

කලින්දා බැලුවේ ක්‍රියාදාම සපිරි ඉංග්‍රීසි චිත්‍රපටයක් හෝ කව්බෝයි චිත්‍රපටයක් නම් චිත්‍රපටය රඟ දක්වන්නට නළුවන් බොහෝ වෙති. ගොපළු චරිත රඟ පෑ ක්ලින්ට් ඊස්ට්වුඩ්, රොජර් මුවර් වැනි නළුවන් අපේ ලෝකයේ වීරයන් වූ ඒ සමයේ කව්බෝයි චිත්‍රපටයක් නරඹා දින කීපයක් ගතවෙන තුරු අපි පාරේ යන්නේ පවා සිතින් මවාගත් ගිනි අවියක් ඉණේ රඳවාගෙනය. සතුරෙකු දුටු සැණින් වෙඩි තැබීම එහි අරමුණයි. සතුරන් නොමැතිවූ හෙයින් ඉදිරියට පැමිණෙන මිතුරෙකුට හෝ එක්වනම වෙඩි තැබීමට අපි පසුබට නොවීමු. කාලය වේගයෙන් ගෙවී යද්දී එක්කෙනෙක් දෙන්නෙක් රස්සාවල් හොයාගෙන සිටි බැවින් රස්තියාදු ගහන්නට කාලය නොතිබුණත් තවත් හත් අට දෙනෙක් කණ්ඩායමේ ඉතිරිවී සිටියහ.

සේන අපේ කණ්ඩායමට එකතු වෙන්නේ ඔන්න ඔය කාලයේදීය. අපේ ගමේ කොල්ලෙක් වුණත් සේන පොඩි කාලයේ සිටම සිටියේ ගමෙන් පිටය. පාසැල් අධ්‍යාපනය කඩාකප්පල් කරගෙන ගමෙන් පිට ගොස් වත්තල පැත්තේ මන්ත්‍රී වරයෙකුගේ ළඟ සෑහෙන කාලයක් වැඩ කළ සේන ඡන්දයෙන් මන්ත්‍රීට ආසනය අහිමි වූවායින් පසුව තවත් රස්සාවල් දෙක තුනක් කරමින් සිට ඒ කාලය වන විට මොකුත් නැතිව ගමට ඇවිත් සිටියේය. ටිකින් ටික අපේ ඇසුරට වැටුණු සේනයා පුරාජේරු කතාවෙහි ගජ සමතෙකි. තමන් කිසිසේත් සම්බන්ධ නොවූ ලොකු ලොකු වැඩ ඌ කළා යයි අල්ලේ පැල කර කියමින් ද අඳුනන ලොකු ලොකු අය ලවා ඔනෑම වැඩක් කරදෙන්නට ඌට හැකිය කියමින්ද රස්තියාදු වෙමින් කාලය ගත කළ සේන අපිත් එක්ක කීවේ ඌ අහිංසක කලාකරුවෙක් බවය. සේනයා දන්නා වෙන කලාවක් නැති වුණත් ගොක් කොළ කලාවෙහිදී ඌ විශිෂ්ටයෙකි. ගමේ මඟුලක් හෝ පිරිතක් ඇති සෑම අවස්ථාවකදීම පෝරුව ගහන්නටත්, පිරිත් මණ්ඩප්පය සරසන්නටත් සේන නැතිවම බැරි චරිතයක් විය. සේනයා ජිනාත් එක්ක කරාටි ගැසූ පේමයා ගේ බාල සහෝදරයෙක් නිසා අපේ කණ්ඩායමට එකතු වෙන්නට ඔහුට වෙනත් චරිත සහතික අවශ්‍ය නොවීය.

චිත්‍රපට නළුවෙක් වීම සේනගේ එකම සිහිනය සිහිනය වූ අතර ටෙලිනාට්‍ය තබා රුපවාහිනිය වත් ලංකාවට හඳුන්වා දී නොතිබූ ඒ කාලයේ සේනයාට නළුවෙක් වීම සිහිනයක්ම විය. නළුවෙක් වෙන්නට ඇත්නම් සේනයා නොකරන දෙයක් නැති තරම්ය. උගේ මේ සිහිනය හොඳින් අධ්‍යයනය කළ ගුරා තේරුම් ගත්තේ චිත්‍රපටි කලාව මුලට තබා ගත් විට සේනයා ඇන්දිය හැකි බවය. දවසක් සේනට කතාකළ ගුරා කීවේ උගේ යාලුවෙක් වූ සිද්දික් චිත්‍රපටි නිෂ්පාදකයින් හා අධ්යක්ෂ වරුන් හොඳින් දන්නා කියන එකෙක් නිසා ඒ මාර්ගයෙන් සේනට චිත්‍රපටයක රඟපාන්නට අවස්ථාවක් ලබාදෙන්නට තමන්ට හැකි බවයි. නමුත් ඊට පෙර සේනට ඇත්තටම රඟපාන්නට පුලුවන්ද යන්න සොයා බැලිය යුතු බව කී ගුරා තමන් ඉදිරියේ චිත්‍රපට කොටස් රඟපා දැක්වීමට සේනයාට යෝජනා කළේය. ඊට පසු ගුරා කාමරයේ සිටි හැම දිනෙකම සේනගේ රඟපෑම් අපි සියල්ලන්ටම බලා ගත හැකි විය.

දවසක්දා සේන අපි සියලු දෙනාම ඉදිරියේ 'පැන පැන එන සඳේ' ගීතය ගයමින් නැටුම ඉදිරිපත් කළේ ගුරාට පෙනෙන්නටය. මට මතක තියෙන ආකාරයට චිත්‍රපටයේ එම නැටුම ඉදිරිපත් කළේ සුමනා අමරසිංහය. සේන ඇය නැටු ආකාරයටම දෑත් එකට තබා ඉණේ ඒ පැත්තටත් මේ පැත්තටත් තබමින් කාමරයේ සිට නටාගෙන එළියට එනවිට කුස්සියේ සිට සාලය පසුකර එළියට යන්නට ආ පොඩි මහින්දලාගේ අම්මාගේ ඇඟේ හැපුනි. පොඩි මහින්දලාගේ අම්මා කෝපි ඇට වනක් කොටාගෙන කුල්ලක දා ඉණේ තබාගෙන එළියට යන්නට ගියේ කෝපි ටික අව්වේ වේලෙන්නට දමන්නටය. සේනයා නටාගෙන ඇවිත් ඇඟට පැනීම හේතුවෙන් කුල්ල බිම වැටී කෝපි ටික බිම විසිරී ගියේය.

" මගෙ ඇඟට පැන්නෙ මූට මදන යකා ගහල ද" කියමින් පොඩි මහින්දලගෙ අම්මා සේනයාට දෙස් දෙවොල් තබන්ට වූ අතර ඌට සිදුවුණේ නැටුම පැත්තක තබා කෝපි ඇට අහුලා දීමටය. අපි කාමරයට වී ඇතිවෙන්නට සිනාසුනෙමු.

තවත් දවසක කව්බෝයි චිත්‍රපටියක කෑල්ලක් රූපගත කරන්නට ගුරා යෝජනා කළේය. සේන ප්‍රධාන චරිතය වූ ක්ලින්ට් ඊස්ට්වුඩ් ය. දැන් සේනයාව කව්බෝයි කෙනෙකුට ඇන්දිය යුතුවිය. දෙන්නාම එකම උස මහත නිසා ගුරාගේ කලිසමකුත් කමිසයකුත් සේනට හරියටම හරිගියේය. ඩෙනිම් ජැකට් එකක් අන්දවා පළල් පටියක් ඉණට දමා පොඩි මහින්දගේ සෙල්ලම් පිස්තෝලයකුත් පටියේ එල්ලූ අතර කව්බෝයිට තොප්පියකුත් අවශ්‍යමය. ඩැනිස්ට සුද්දෙක් දීපු ලස්සන දුඹුරු පාට තොප්පියක් ඔහුගේ පෙට්ටියේ විය. එයත් අරගෙන සේනගේ හිසට දමා සුපිරිම කව්බෝයි කෙනෙක් හැටියට සේනව හැඩ ගන්වන ලදී. චිත්‍රපටයේ අධ්යක්ෂ වරයා වූ ගුරා සේනට දර්ශනය විස්තර කර කිව යුතු ඉංග්‍රීසි දෙබස් ද කියා දුන්නේය.

දර්ශනයේ හැටියට අස්සයා පිටේ ඇවිත් බහින කව්බෝයි අස්සයා පොඩි මහින්දලගෙ මිදුලේ ඇති අඹ ගහේ ගැට ගසයි. ඊට පසු ඔහුගේ මිතුරන් දෙදෙනෙක් එතනට එන්නේ කව්බෝයිව හමුවී එක්කරගෙන යන්නටය. මිතුරන් දෙදෙනා සමග වචන කීපයක් හුවමාරු කරගන්නා කව්බෝයි ඔවුන් දෙදෙනා සමග පිටත්ව යයි. දරශනය එහෙමය. අධ්යක්ෂ ගුරා 'ඇක්ෂන්' කීමත් සමගම දර්ශනය රූගත කිරීම ආරම්භ විය. සේන පාරේ සිට අස්ප ගමන ආරම්භ කර පොඩි මහින්දලාගේ මිදුලට ඇවිත් අස්පයාගෙන් බැස අස්පයා අඹ ගහේ ගැට ගැහුවේය. වටපිට බලනවිට එතැනට ආවේ ඔහුගේ සහචරයන් දෙදෙනෙකි. සහචරයන් දෙදෙනා කිට්ටුවන විටම ඉණේ තිබූ පිස්තෝලය ඇදගත් සේනයා ඩිෂුම් ඩිෂුම් කියා උන් දෙන්නාටම වෙඩි තබා පිස්තෝලයේ බටයෙන් පිටවන දුමට කටින් පිඹ ආපහු පිස්තෝලය ඉණේ ගසාගත්තේය.

" කට් කට්, කෑවා කෑවා, යාළුවො දෙන්නට වෙඩි තිබ්බෙ මොන මඟුලකටද? " අධ්යක්ෂ ගුරා කේන්තියෙන් මෙන් කෑ ගැසුවේ පුපුරන්නට තතනන සිනහව ආයාසයෙන් නතර කර ගනිමිනි. අපි කට්ටියම හූ කියමින් සිනාසෙන්නට වීම නිසා රූපගත කිරීම එතැනින් නවත්වන්නට සිදුවිය. දර්ශනයේ දී කියන්නට ගුරා උගන්වා තිබු ඉංග්‍රීසි වාක්‍යය ඌට අමතකව ගොස් තිබිණි. වෙනත් මොකුත් කියන්නටත් නොහැක්කේ සේනයා ඉංග්‍රීසි මළපොතේ අකුරක්වත් නොදන්නා නිසාය. සහචරයන් කතාකළොත් තමන් නෝන්ඩි වෙන නිසා කළින්ම උන් දෙන්නාට වෙඩි තබා දැමු බව සේන මට පසුව කියා සිටියේය.

ගෙදර වැඩත් කඩේ වැඩත් ආදී සියල්ලම තනියෙන් කරගන්නට පොඩි මහින්දලාගේ අම්මාට තිබු අපහසුතාව නිසා උදව්වට පොඩි මහින්දලාගේ අම්මාගේ මල්ලීගේ දුවෙක් ඇය ගෙදරට ගෙන්වාගත්තේ මේ අතරතුරේදීය. ලාලනී නම්වූ ඇය උස රතු ලස්සන කෙල්ලෙකි. ඉතා කඩිසරව ගෙදර වැඩත් වත්ත පිටියේ වැඩත් කරන ලාලනී ගේ පැමිණීම නිසා පොඩි මහින්දලාගේ අම්මාගේ වැඩ කන්ද බාගෙකින්ම අඩුවිය. ඇවිත් ටික දවසකින්ම ලාලනී උදේට උදේට හදා කඩේ තැබූ පොල් රොටී කඩේට තේ බොන්නට එන අය අතර බෙහෙවින් ජනප්‍රිය විය. මේ නිසාම අපි කට්ටිය රොටියා කියා ඇයට නම් තැබුවෙමු. ඒ නමට රොටියාගේද අකැමැත්තක් නොවූ අතර අලුත් නම ඇය පිළිගත්තේ සුපුරුදු පරිදි මඳ සිනහවකිනි.

අනික් අය මෙන් නොව ආ දා පටන්ම සේන රොටියා ගැන බොහෝ උනන්දු විය. හැමදාම උදේට වෙන කාටත් පෙර පොඩි මහින්දලාගේ ගෙදරට වාර්තා කරන සේන නිතරම සිටියේ රොටියා පේන මානයේය. පොඩි මහින්දලාගේ ගෙයි ඉස්තෝප්පුවේ තිබුණු කොට තාප්පය උඩ අපි කට්ටිය පාරට මුහුණ ලා වාඩි වෙද්දී සේනයා ගෙට මුහුණ ලා වාඩි වෙන්නට වග බලා ගත්තේය. ටික දවසක් මේ විදියට කොකම් පාමින් සේන උත්සාහ කළේ කෙසේ හෝ රොටියා එක්ක හුටපටයක් පටන් ගන්නට ය. කකුල් අමාරුව නිසා පොඩි මහින්දලාගේ අම්මා ඇඳට ගිහිං නිදියද්දී තනියම කුස්සියේ වැඩ කරන රොටියාට උදව් කළේ සේනයාය. රොටියාද ළූණු ටිකක් සුද්ද කරගන්නට, පොල් ගෙඩියක් ලෙලි ගසා ගන්නට සේනගෙන් ලැබුණු උදව්ව ප්‍රතික්ෂේප කළේ නැත. මෙහෙම වැඩ කර දෙන ගමන් සේනයා දෙන නැව් ටෝක් වලට මුගේ කපටිකම් දන්නේ නැති කෙල්ලද ටික ටික රැවටුනාය. ටික දවසකින්ම රොටියා සේනගේ පෙම්වතිය බවට පත්වුණේ කාටත් හොර රහසේය. ඒ කාලයේ සේනයා දවසෙන් වැඩි කොටසක් පොඩි මහින්දලාගේ ගදර ගත කළ අතර කෙනෙකුට ඌව හොයාගන්නට නම් උන්ගේ ගෙදර නොව පොඩි මහින්දලාගේ ගෙදර යායුතු විය. දවල් දවසේ රොටියාට ආදර බස් කියමින් ඇගේ වටේ කැරකෙමින් ඉන්නා සේනයා හවස් කල අඳුරට මුවාවී පොඩි මහින්දලාගේ ගේ පිටුපස ඇති දෙහි ගහ යටටවී රොටියාත් එක්ක හාදු හුවමාරු කරගන්නට පුරුදු විය.

මේ විදියට මාස කීපයක් ගෙවී යද්දී සේන නිතරම කතාකරන්නට වුණේ රස්සාවක් හොයාගෙන කීයක් හරි හම්බ කර ගැනීම ගැනය. රස්සාවක් හොයාගන්නට එතෙක් කල් තිබුණේ නැති උනන්දුවක් සේනට හදිසියේ ඇතිවීම පිටුපස රොටියාගේ බලකිරීමක් තිබෙන්නට ඇතැයි මට නිකමට වගේ සිතුණි. සේනයාත් එක්ක ආදර බස් මුමුණමින් ඉන්නා අතරේ ඇය සමහර විට " හැමදාම මේ විදියට රස්තියාදු වෙවී ඉඳල හරියයිද? අනාගතේ ගැන බලන්නත් එපායැ, ඔයා ඒ ගැන ටිකක් කල්පනා කරන්නැ"යි කියන්නට ඇත. කොහොමින් කොහොමින් හරි රොටියාගේ ඉල්ලීම පලදරා සේන සල්ලි හම්බ කරන්නට වැඩක් හොයාගන්නට සමත් විය. සේන හොයාගත් වැඩේ වුණේ ගඩොල් කැපිල්ලය. අපේ ගමේ ගඩොල් බාස් ලා කීප දෙනෙක් සමග සේන කුඹුක්ගැටේ ගඩොල් වාඩියකට යන්නට නියමිත විය. යන්නේ ගඩොල් කපන්නට වුණත් සේන රොටියාට කීවේ ඌ ඇලහැර මැණික් ගරන්නට යනවා කියාය. ගඩොල් කැපිල්ලට වඩා මැණික් ගැරිල්ල ටිකක් පොෂ් බව සේනයා සිතන්නට ඇත. ඉතින් සේනයා සිය ආදරවන්තිය වූ රොටියාටද ආදර බස් කියා සිප සනසා කුඹුක්ගැටේ ගඩොල් වාඩියට පිටත්ව ගිය අතර රොටියාද ඇඬු කඳුළින් සේනයාට සමුදුන්නේ ඌ යන්නේ දෙන්නාගේ අනාගතය ගැන සිතා නොවේදැයි සිත සනසාගෙනය෴

( සේනගේ කතාව තව ටිකක් ලියන්නට ඇතත් පෝස්ටුව දිග වැඩිවන නිසා තවත් කොටසකින් හමුවෙමු)

Unknownnoreply@blogger.com35tag:blogger.com,1999:blog-8432415427742462325.post-71592205843733575032018-10-09T19:14:00.000-07:002018-10-09T19:14:49.083-07:00සුද්දාගේ අන්නාසි සොමිය, අලුත් අවුරුදු උත්සවය, මාදුවාගේ දිවා භෝජන සංග්‍රහය, ඔපරේෂන් ත්‍රීවීල් සහ අවලංගු කළ ප්‍රහාරය.

අපට නිතරම සොමිය දෙන සුද්දා ගේ කතාවක් ආයෙම ලියන්නට සිතුණු නිසා ත්‍රිකෝණයේ ඊළඟ කොටස මඳක් පමාකොට සුද්දාගේ කතාව ලියමි. සුද්දා පහුගිය දවස්වල හිටියේ තරමක් අවුලෙනි. හේතුව වුණේ සුද්දාගේ පොඩි පුතා අසනීප වීමයි. පොඩියට හිටියට සුද්දා දරු පස් දෙනෙක්ගේ පියෙකි. පළවෙනි කසාදයේ දුවයි පුතයි සහ දැන් කසාදයේ පුත්තු දෙන්නයි දුවයි වශයෙනි. පොඩි දුවයි පුතයි දෙන්නා නිවුන්නුය. ඒ කියන්නේ විනාඩි ගණනකින් අක්කා සහ මල්ලිය. දැන් උන් දෙන්නාට වයස අවුරුදු දෙක හමාරක් පමණය. අපිව නිතරම සුද්දලාගේ ගෙදරට අදින කාන්දම වෙන්නේ මුන් දෙන්නාගේ හුරතල්ය.

පහුගිය දවසක පොඩි කොල්ලා තරමක හෙම්බිරිස්සා ගතියකින් සිටි නිසා සුද්දාගේ පවුල කොල්ලාට පැනඩෝල් පෙත්තකින් බාගයක් කපා බොන්නට දී පැනඩෝල් කාඩ් එක මේසය උඩ තබා කුස්සියේ වැඩකට ගියාය. කොල්ලා ඒ ටිකට පුටුවකට නැගගෙන මේසයට ගොඩවී පැනඩෝල් කාඩ් එක ගත්තේය. ඌ සාමාන්‍යයෙන් බේත් බොන්නට බොහොම කැමතිය. පැනඩෝල් පෙති පහ අම්මා දෙනවාක් මෙන් දෙකට කපා ටැප් එක ලඟට අරගෙන ගිහිං ඔක්කොම ගිල දැම්මේය. ඌ පෙති බොන අතරේ එතනට ආ අක්කාටද කොල්ලා පෙති බොන්නට කතාකළත් බේත් බොන්නට හොර කෙල්ල ගිහිං අම්මාට කියා ඇත. අම්මාට දෙලෝ රත්වී අහල පහළ අයට කතාකර කොල්ලාත් අරගෙන ගිහිං රෝහලේ නැවතුනාය. කොල්ලාව ඉස්පිරිතාලෙන් ආපහු එව්වේ දවස් තුනකට පසුය. අතට කැනියුලාවක් සවිකර සේලයින් දීමත් උදේ හවස අත්දෙක විද පරීක්ෂණ සඳහා ලේ ගැනීමත් නිසා ඉස්පිරිතාලය එපාවී සිටි කොල්ලා ආයෙම රෝහල මතක තියෙන තුරු හොරෙන් පෙති බොයි කියා හිතන්නට අමාරුය.

කොල්ලා ඉස්පිරිතාලෙ හිටපු කාලය පුරාවටම සුද්දාගේ තනිකම ද දුක ද තුනී කරන්නට අපි සුද්දා එක්කම ගතකළෙමු. කොල්ලා ගෙදර එක්කරගෙන ආවයින් පසුව මට සුද්දාගේ ගෙදර යන්නට වුණේ එක දවසක් පමණකි. සුද්දා දැන් ප්‍රකෘති තත්ත්වයෙන් කල් ගතකරන නිසා මම එය ප්‍රශ්නයක් කර නොගත්තත් නොඑන එක ගැන සුද්දා මට කතාකර දොස් කීවේය. අවස්ථාවක් ලද විගසම එන බව කියා සිටියත් එක එක වැඩ නිසා සුද්දා බලන්නට යන එක කල් ගියේය. ඊට පසු ආයෙම දවසක මට කතාකළ සුද්දා හවස එන්නට කියා කීවේ හොඳ බඩුවක් හම්බ වෙන්නට තියෙනවා කියමිනි. මම හවස සුද්දලාගේ ගෙදර යද්දී සුද්දා සිටියේ අන්නාසි කොටුවේ වල් ගලවමිනි. සුද්දාට මේ දවස්වල පළතුරු යහමින් ලැබෙන්නේ මීගමු පැත්තෙනි. ඔහු මට කතාකලේද පළතුරු බෝතලයකට වග කියන්නටය. අපි දෙන්නා පළතුරු බොමින් කතා බහේ යෙදී ඉන්නා තැනට මාදුවාද ටිකකින් ආවේය.

මාදුවා ගැන කියන විට ඌ පහුගිය දවසක කළ වැඩක් ගැන නොකියාම බැරිය. දවස හරියටම කිව්වොත් පහුගිය අප්‍රේල් පහළොස්වෙනිදාය. පිට පළාත්වල පදිංචිවී සිටින අපේ ගමේ අය සාමාන්‍යයෙන් අලුත් අවුරුද්දට ගමේ එන්නේ පහළොස් වෙනිදාටය. ඊට හේතුව වී ඇත්තේ හිසතෙල් ගාන අවුරුද්ද බොහොමයක් අවුරුදුවල පහළොස් වෙනිදාට යෙදීමත් අපේ ගමේ අලුත් අවුරුදු උත්සවය හෙවත් බක්මහ උළෙලද එදාට යෙදී තිබීමත්ය. එදාත් සුපුරුදු පරිදි සුද්දාත් මමත් බක්මහ උළෙලේ කාර්ය බහුලව සිටිද්දී වෙනුජ එතැනට ආවේය. වෙනුජ සිය දරු පවුලත් සමග ගමේ ඇවිත් තිබුණේ මහ ගෙදර අවුරුදු කන්නට හා දෙමව්පිය වැඩිහිටියන්ට බුලත් දෙන්නටය. ටිකක් වෙලා කතා කරමින් සිටි වෙනුජ දවල් කෑම වෙලාවේදී මුණ ගැහෙමුයි කියා පිටත්ව ගියේය.

අපේ බක්මහ උළෙලේ දවල් කෑම විවේකය සෑහෙන දිග එකකි. දවල් කෑමට විසිර යන උන් ඥාති මිත්‍රාදීන් සමග එකතුවී සතුටු සාමීචියේ යෙදෙමින් බෝතල්ද හිස් කරමින් කතා කර කර ඉන්නවා මිසක කෑම ගෙන ආපහු පිට්ටනියට යන්නට හිතන්නේ වත් නැත. බොහෝ අය එහෙමම නිදාගනිති. ඉතින් සුද්දාත් මමත් කෑමට පිටත් වෙද්දී ක්‍රීඩා සමාජයේ කොල්ලන් කීවේ හවස නෑවිත් නොසිට අනිවාර්යයෙන්ම එන්නට කියාය. අපි දෙන්නා අපේ ගෙදරට ඇවිත් ටික වේලාවකින් වෙනුජද අපේ ගෙදරට ආවේ වොඩ්කා බෝතලයක් ද අරගෙනය. මගේ ලඟද වොඩ්කා බෝතලයක් තිබුණු අතර මට ඒ බෝතලය එවා තිබුණේ සඳා ය. ඉස්සර අපිත් එක්ක වැඩකළ සඳා දැන් වැඩ කරන්නේ රුසියාවේය. ඇය රුසියාවට ගිය යාළුවෙක් අත මට හොඳ සැර රුසියන් වොඩ්කා බෝතලයක් එවා තිබුණාය.

අපි තුන්දෙනා වොඩ්කා අඹ ජුස්ද සමගින් පානයට පටන් ගෙන ටික වේලාවක් යන විට මාදුවා ස්කූටියක නැගී අපේ ගෙදරට ඇවිත් බොන්නට විය. ඌ ඒ වනවිටත් සිටියේ තරමක බීමතිනි. දෙකක් දාගත් මාදුවා අපේ වහලයට පාත්වී තිබු රට අඹ ගහේ අතුවල තිබුණු ඉදුණු අඹ කඩා පිහියක් ගෙනැත් කපමින් අපට කන්නට දුන්නේය. බැලුකොට තිබුණු වෙන බයිට් වලට වඩා අඹ බයිට් එක සුපිරිය. අද ගෙදර යන්නේ නැද්දැයි වෙනුජගෙන් මම ඇහුවේ සාමාන්‍යයෙන් වාහනය පදවන්නට තිබෙන විට වෙනුජ බොන්නේ නැති නිසාය. අද හවස යන්නට ඕනෑය කියූ වෙනුජ ලොකු දුව වාහනය පදවන නිසා ප්‍රශ්නයක් නැතැයි කීවේය. මේ වෙනවිට මාදුවාටත් වෙනුජටත් හොඳටම වැදිලාය. බෝතල් දෙකත් ඉවර වෙලා තිබෙන වෙලේ අපි ලෑස්ති වුණේ දවල් කෑමට යන්නටය. එදා අපට දවල් කෑම ලෑස්ති කර තිබුණේ අපේ නංගිලාගේ ගෙදරය. මම හිතාගෙන හිටියේ වෙනුජත් සුද්දත් එක්ක එහෙන් කෑම කා ආයෙම අවුරුදු උත්සවයට යන්නටය. මාදුවා එක පාරටම වෙනුජට කෑම දෙන්න ඕනෑය කියා උගේ ගෙදර යන්නට කතාකළේය. වෙරි වැඩිකමට කෑමට කතාකළත් ගෙදර අමුත්තෙකුට දෙන්නට කෑම ලෑස්ති කරනවා තබා දවල්ට උයලාවත් තියෙනවා දැයි ඌ නොදනී.

තියෙන දෙයක් කා කට්ටියම විසිර යමු කියා මම කිව්වත් වෙරිමතින් වෙසමුනියා සේ සිටි මාදුවා දිගින් දිගටම කියන්නේ වෙනුජ උගේ ක්ලාස් මේට් නිසා කෑමට එක්කරගෙන යන්ට ඕනෑමය කියාය. ඒ ගමන කට්ටියම පාරට බැසගත් විට වෙනුජ මාදුවාගේ ස්කූටිය ස්ටාට් කරගත්තේ ඒකෙ යමු කියලාය. මාදුවාද පස්සෙන් ගොඩවිය. දැන් ස්කූටිය ගැරඬියා යනවාසේ පාර පුරා යයි. මෙහෙම ගියොත් දෙන්නාම නවතින්නේ පාර පල්ලමේ ඇති වෙලේ නිසා බොහොම අමාරුවෙන් දෙන්නා බස්සවාගෙන අපේ නංගිගේ පුතාට කතාකර උගේ කාර් එකට මේ දෙන්නා ඇද දැම්මේ ගිහිං බස්සවා එන්න කියලාය. වෙනුජ ඇතුල් කර මාදුවා කාරෙක ඇතුළට දානවිට අනික් පැත්තෙන් වෙනුජ දොර ඇරගෙන බැහැගනියි. අමාරුවෙන් වෙනුජව ඇතුල් කරනවිට මාදුවා බැහැගනී. හරියට පොල්කට්ටට ගෙම්බන් එකතු කරනවා වගේය. ඒ අස්සේ මාදුවා මගේ අතින් අදින්නේ මටත් කෑමට යන්න එන්න කියලාය. ටිකක් වෙලා මෙහෙම දඟලමින් ඉන්නවිට සුද්දා පරක්කු වෙනවාය කියා පිට්ටනියට ගියේ කෑම කන්නේවත් නැතුවය. අන්තිමේ බොහොම අමාරුවෙන් දෙන්නාව කාරෙකට දමා පිටත් කර ඇරියෙමි.

කොල්ලා කාරකෙන් පනින්න හදන උන් දෙන්නාව බොහොම අමාරුවෙන් ගිහිං බස්සවා ආපසු ආවේය. පහුවදා මාදුවා මට කිව්වේ වෙනුජව එක්කරගෙන ගියාට ඔහු ගෙට ගොඩවුණේ වත් නැතුව යාළුවෝ කට්ටියක් පාරේ ඉන්නව දැක ඒ අය එක්ක කතාකරමින් යන්න ගිය බවය. උඹේ වැඩකට නැති දැඟලිල්ල නිසා වෙනුජට දවල්ට කන්නත් නැතිවුණා කියා මම මාදුවාට කීවෙමි.

ආයෙම කතාවට ආවොත් සුද්දාත් මමත් මාදුවාත් පළතුරු බෝතලය බොන ගමන් කතාකළේ උන් දෙන්නා දවස් දෙකකට ඉස්සර කරපු වැඩක් ගැනය. සුද්දා ගෙදර තිබුණු කැඩිච්ච ත්‍රීවීල් එක හදන්නට ගැරේජ් කාරයෙකුට බාරදුන්නේ ඒ ගැරේජ් එක මාදුවාගේ මස්සිනා හොඳට දන්නා කරන තැනක් නිසාය. ත්‍රීවීල් එක හදනවාට ගාස්තුව හැටියට සුද්දා ගෙදර පැත්තකට දමා තිබු අත් ට්‍රැක්ටරයක් ගැරේජ් කාරයාට දුන්නේ හදාගන්නට කියාය. සති දෙකක් ඇතුළත ත්‍රීවීල් එක හදා දෙන්නම් යැයි කියූ ගැරේජ් කාරයා වාහන දෙක අරගෙන යන්නට ගියේය. දැන් වාහනය බාරදී මාස හයකටත් වඩා ගතවී ඇති නිසා සුද්දාත් මාදුවාත් ගැරේජ් එකට ගියේ වෙලා තියෙන්නේ මොකක්දැයි බලන්නටය. උන් දෙන්නා ගිහිං බලනවිට ගැරේජ් කාරයා අත් ට්රැක්ටරය හොඳට හදා වැඩට අරං තිබුණු අතර ත්‍රීවීල් එකේ රෙපෙයාර් එකක් හැටියට කර තිබුණේ හොඳ තත්ත්වයේ තිබුණු ටයර් තුන ගලවා වෙන ත්‍රීවීල් එකකට සවිකර තිබීම පමණකි.

ගැරේජ් කාරයා කර තිබු වැඩේට යකා නැග්ග සුද්දාත් මාදුවාත් ඌට හොඳටම බැනවැදී ගහන්නට යනවිට ගැරේජ් එකේ උන් එහෙට මෙහෙට මාරුවී ගිය බව මාදුවා කීවේය. ඊට පසුව කතාවුණ ටික මේ විදියය.

මාදුවා: "මේ වැඩේ හරියන්නෙ නෑ, අපි ත්‍රීවීල් එක අරගෙන එමු."

සුද්දා: "කැඩිච්ච එක අරගෙන එන්නෙ කොහොමද?"

මාදුවා: "කැඩිච්ච එක නෙවෙයි හොඳ එකක් අරං එමු. අපේ එක දෙනකල් ඒක දෙන්නෙ නැතුව ඉම්මු."

මම: "ඉතින් ඕවා කරනකල් ගැරේජ් එකේ උන් නිකං බලා ඉඳීද?"

සුද්දා: නෑ නෑ උන්ගෙ ප්‍රශ්නයක් නෑ, අපි කට්ටිය ගේමට බැස්සහම උන් නිකංම සරෙන්ඩර්."

මාදුවා: " අපි අත් ට්‍රැක්ටරෙත් අරගෙන එමු."

සුද්දා: "ඔව් ඒකත් ගේමු, ඔන්න ඔයත් එන්න ඕනෑ මම හෙට අපේ මස්සිනාගෙ වාහනේ අරං එන්නම්"

පහුවදා ගැරේජ් එකේ උන්ගෙන් යකඩ පොලු පාරවල් කන්නට ලැබෙන එක ෂුවර් වුණත් සුද්දාගේත් මාදුවාගේත් දෑත් ශක්තිමත් කිරීම යුතුකමක් නිසා හෙට උදේ නවයට මම ලෑස්ති වී ඉන්නම් ය කියා උන් දෙන්නාට පොරොන්දු වුණෙමි. සුද්දා තවත් එකක් කට කපා දාගත්තේය. දැන් හෙට උදේ ඔපරේෂන් ත්‍රීවීල් ක්‍රියාත්මක කරන්නට සියල්ල සුදානම්ය. ටිකකින් සුද්දා කෝල් එකක් ගන්නවා දැක්කෙමි.

" මේ ඔය ගැරේජ් එකේ මල්ලි නේද?"

" මේ මම අර ත්‍රීවීල් එක හදන්න දුන්නෙ, අපි ඊයෙ ඇවිත් ගියෙ."

" තව පොඩ්ඩයි කිව්වට මොකුත් හදල තිබ්බෙ නෑනෙ."

"ඕවා කියල හරියන්නෙ නෑ මට ත්‍රීවීල් එක ඕනෑ. ඔයා ටයර් තුනත් ගලෝල වෙන එකකට දාල."

"ඔයාගෙ බයිලා මට වැඩක් නෑ, ඔන්න අපි හත් අට දෙනෙක් හෙට උදේ එනවා. ඔයා අපට ත්‍රීවීල් එක දුන්නෙ නැත්නම් අපි ඉතුරු ටික බලාගන්නම්."

"නෑ නෑ ඕව මම මෙච්චර කල් අහගෙන හිටිය, මට තවත් කල් දෙන්න බෑ. අපි ආවොත් එහෙම ටිකක් වැඩේ දුරදිග යයි හරිද? ඔයාගෙ වාහන ටිකත් උස්සගෙන යන්නත් එක්කයි අපි එන්නෙ. මට කරන්න දෙයක් නෑ බලාගෙන ඉඳල ඉඳල තමයි මෙහෙම කරන්නෙ."

" ඔව් ඔව් තරහ වෙන්න එපා, ඔයා වෙලාවට වැඩේ කළා නං ඔහොම වෙන්නෙ නෑ."

කතාව අවසන් කළ සුද්දා ජයග්‍රාහී ලීලාවෙන් වටපිට බැලීය. මාදුවා බඩ බදාගෙන සිනාසෙයි.

"එහෙනම් ඔක්කොම හරි, හෙට උදේ යමු" යි සුද්දා කීවේය.

"හා හා උදේ ගිහිං? " මාදුවා ඇසුවේය.

" ගිහිං වාහනේ අරං එමු"

" අරං එයි වාහනේ, හෙට උදේ අරූගෙ නැට්ටවත් අල්ලන්න හම්බෙන්නෙ නෑ."

"මොකද එහෙම කියන්නෙ?" කෝපාවිෂ්ට වූ සුද්දා ඇසුවේය.

" එහෙම කියන්නෙ? ඇයි යකෝ ඔක්කොම විස්තර ටික ඌට කිව්වම ඌ ගැරේජ් එක පැත්ත පලාතක ඉඳීවියැ"

"ඉතිං උඹ මට කියන්න එපායැ"

"කියන්නෙ මොනවද, එකපාරටම ඔක්කොම කියල දැම්මහම?"

ප්‍රහාරයට එන භට සංඛ්‍යාව, ආයුධ ප්‍රමාණය හා ප්‍රහාරය සිදුකරන්නට නියමිත වෙලාව කළින්ම සතුරාට දැනුම් දී ප්‍රහාරයට යෑම සුද්දාගේ අලුත්ම යුද උපක්‍රමයකැයි මම සිතුවද මොකක් හෝ වැරදී ඇතැයි සිතුණේ මාදුවා දිගින් දිගටම සුද්දාට බැන වදිද්දීය. පහුවදාට නියමිත ප්‍රහාරය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කළ අතර මාදුවා සුද්දාට බලු බැණුම් බනිමින් ගෙදර ගියේය. සුද්දාට අත්වන්නට තිබු තවත් සුවිශේෂී ජයග්‍රහණයක් නූලෙන් මගහැරී ගියේ ඒ විදියටය෴

Unknownnoreply@blogger.com42tag:blogger.com,1999:blog-8432415427742462325.post-51787624994476066802018-09-18T19:38:00.000-07:002018-09-18T22:24:22.377-07:00ත්‍රිකෝණය - 2

අද ලියන්නට සුදානම් වෙන්නේද කලින් ලියු කතාවක ඉතිරි කොටසයි. මේ කතාව මා ලියා තිබුණේ මීට අවුරුදු තුනකට පමණ පෙර වුවත් ඉතිරි කොටස ලිවීම දිනෙන් දින අතපසු විය. අවුරුදු තුනකට පසු හෝ මේ කතාවේ තවත් කොටසක් ලියාගැනීමට හැකිවීම සතුටකි.

ත්‍රිකෝණය

ඇස් දෙකත් ලොකු කරගෙන ගල් බීතවී බලා සිටි ජයතිස්ස ඉස්කෝලෙ මහත්තයා දුටු රංජිත්ට සිනාගියත් ඉස්කෝලෙ මහත්තයාගේ විස්මය පහවුණේ නැත. පොලීසියේ යමපල්ලන් ඇවිත් මල්ලිලා දෙන්නා පැහැරගෙන ගිය දවසේත් රංජිත් ගෙදර නොසිටියේ ඔහු ඒ කාලයේ මීගමුව පැත්තේ ඉස්කෝලෙක උගන්වමින් ගුරු නිවාසයක නැවතී සිටි නිසාය. වෙච්ච සිද්දිය සහමුලින්ම දැනගන්නට ලැබුණේ ගෙදර අයගෙන් සහ යාළුවෙක් වුන සුමින්ද ගෙනි.

මල්ලිලා දෙන්නා රාජ්‍ය විරෝධී සංවිධානයකට සම්බන්ධවී වැඩකරන බව රංජිත්ට කණින් කොනින් ආරංචි වී තිබුණත් පැහැරගෙන යන්නට තරම් දේවල් ඒ දෙන්නා අතින් සිදුවී නොමැති බව රංජිත් සිතා සිටියේය. එහෙත් සංවිධානයේ කාගේ අතින් හෝ නම කියැවුණු පමණින් වුවත් තරුණයින් පැහැර ගෙන යන්නට පොලීසිය සැදී පැහැදී සිටි බව රංජිත් නොදැන සිටි කරුණක් විය.

පොලීසිය රංජිත්ලාගේ ගේ වටකළේ රෑ දොළහත් පහුවී ගෙදර සියල්ලන්ම නින්දේ සිටිද්දීය. වයස විස්සක තරුණයෙක් වූ ලොකු මල්ලීත් අවුරුදු දාසයක යව්වනයෙක් වූ පොඩි මල්ලීත් ඒ වෙලාවේ නිදි සුව විඳිමින් සිටියහ. පොලීසිය ගේ වටකර දොරට ගහද්දි කලබලයෙන් පිබිදුණු මේ දෙදෙනා වෙලා තිබු දේ මොහොතකින් වටහාගෙන සිවිලිම උඩට නැග සැඟවී ගත්හ. පොලීසිය දොර ඇරවාගෙන බොහෝ වේලාවක් ගේ සෝදිසි කර යන්නට හැරෙද්දී උඩ සැඟවී සිටි එකෙකුගේ කරුමෙටම සිදුවූ චලනයකින් සිවිලිම සද්ද විය. සද්දය වටහාගෙන මාරාවේෂ වූ පොලිස් ලොක්කා සිය භටයන් මෙහෙයවා උඩ සැඟවී සිටි දෙදෙනා බෙල්ලෙන් අල්ලාගෙන පහළට බස්සවා ගත්තේය. එදා දෑත් බැඳ ගෙනගිය අයිය මලෝ දෙදෙනාගේ හාංකවිසියක් ඉන්පසු දැනගන්නට නොවීය.

රංජිත්ගේ මල්ලිලා අල්ලාගෙන යනවා බලාසිටි තවත් එකෙක් ගමේ සිටියේය. ඒ සුමින්ද නම් රංජිත්ගේ මිතුරෙකි. ඔහුගෙන් රංජිත්ට දැනගන්නට ලැබුණු විස්තරය මෙහෙමය.

රාජ්‍ය විරෝධී වැඩ කළත් නැතත් රෑ පානේ පාරේ ඉන්නා කොල්ලෙක් දැක්කොත් අරගෙන ගිහින් අතුරුදහන් කරන සමයක් වූ ඒ කාලයේ සුමින්ද ජීවත්වුණේ කොයි වෙලාවේ තමන්ව අල්ලාගෙන යයිද කියා පණ බයෙන්ය. රෑ නිදාගන්නට ගියත් නින්ද නොඑන්නේ බයටමය. ඒ වෙලාවට සුමින්ද ගේ ඉස්සරහ තියෙන පාලු වත්තට ගිහින් සැඟව ගනී. ටිකක් වෙලා වත්තේ හිටියත් එතනදීත් කවුරුවත් දකීදෝ සැකයෙන් ආපහු ගෙදර කාමරයට එයි. නිල නොලත් භීෂකයින් සහ නිල ලත් භීෂකයින් සැඟවී සක්මන් කරන රාත්‍රිය අතිශයින් බිහිසුණුය. ආණ්ඩුවේ පාර්ශවයේ නිල ලත් භීෂකයින් එන වාහන වල එන්ජින් සද්දෙ ඈතට ඇහෙනවාට සුපිරියටම ටියුන් කර තිබේ. කොහොමත් ඔවුන් ගොදුරු සොයා යන්නේ වාහන ඈත නවත්වලාය. රංජිත්ගේ මල්ලිලා ගෙනගිය දා රාත්‍රියේද ඔවුන් වාහනය නවත්වා තිබුණේ සුමින්ද ලාගේ ගෙට උඩින් කන්දේය. රාත්‍රියේ බල්ලන් බුරා හැලෙද්දී වාහනයෙන් බැස පයින්ම රංජිත්ලාගේ ගෙදරට ගිය ඔවුන් මල්ලිලා දෙන්නා දෑත් බැඳ රැගෙන එද්දී ද සුමින්ද සිටියේ ගේ ඉස්සරහ පාළු වත්තේ මහ කොස් ගහේ අත්තක් උඩ හැංගිලාය.

කොල්ලන් දෙදෙනා ඉස්සර කරගෙන ඔවුන් වාහනය තියෙන තැනට එක පෝලිමට එන හැටි සුමින්ද දැක්කේ හඳ එළියෙනි. රංජිත්ගේ ලොකු මල්ලී කතා කරනවාත් සුමින්ද අසාගෙනය. ඔහුගේ කටහඬ භීතිය නිසාම උස් ස්වරයක් ගෙන තිබු බව සුමින්දට මතකය. ඔහු කතා කරනවා අවසන් වරට අසා සිටියේත් ඔවුන් අවසන් වරට දුටුවේත් සුමින්දය.

ජයතිස්ස ඉස්කෝලේ මහත්තයා රංජිත්ගේ කතාව හුම් සද්දයක් නැතිව අහගෙන හිටියේ ඇස් දෙකත් උඩ ඉන්දවාගෙනය. ඉස්කෝලෙ මහත්තයා ගෙදර ගිහින් පියවතී හාමිනේට කතාව කියද්දී දිලිනිත් කතාව අසා සිටියේ දොර ළඟ ඉඳගෙනය. කවදාවත් නොදුටු කොල්ලන් දෙන්නෙක් ගැන ඇතිවූ සියුම් ශෝකයකින් ඇගේ සිත පිරී ගියේය.

" ඕවා ඉතිං තම තමන් ගෙනාපු ආවුස හැටියට නොවැ සිද්දවෙන්නෙ හාමිනේ!" ඉස්කෝලෙ මහත්තයා කීවේ කතාව කෙළවර කරමිනි.

" එතකොට දැන් රංජිත් මහත්තය විතරයි ගෙදරට ඉන්න කොල්ලා?" පියවතී හාමිනේ ඇසුවේ ඉස්කෝලෙ මහත්තයාගෙනි.

" එහෙමලු! අක්කයි නංගියි දෙන්නත් දීලලුනේ!"

ඉස්කෝලෙ මහත්තයාට තවත් කිට්ටු වුනු පියවතී හාමිනේ කතා කළේ කටහඬ පහත් කරමිනි.

" එහෙනම් මහත්තයො වෙලාවක රංජිත් මහත්තයගෙන් අහල බැලුවොත් නරකද?"

" බලමුකො, මේ දවස්වල මිනිහ අල්ලගන්න නං එක්කො කුඹුරට එක්කො හේනට යන්න වෙනවා."

ගල්ගමුවේ සිට කිලෝමීටර් විස්සක් පමණ දුරින් පිහිටි පාසැලේ උගන්වමින්ද නිවාඩු වෙලාවට කුඹුරු, හේන් ගොවිතැන් කරමින්ද රංජිත් ගතකළේ සැහැල්ලු දිවියකි. පවුල් බරක් හෝ වගකීම්ද නොතිබුණු රංජිත්ට මිළ මුදලින්ද අඩුපාඩුවක් නොවීය. පාසැලට පහළින් තිබු ගුරු නිවාස කාමරයක පදිංචි වී සිටි රංජිත් ට පාළුව මකන්නට උපකාරී වුණේ ගල්ගමුවේ සිට එන බසයෙන් ගෙන්වා ගන්නා අරක්කු බෝතලයයි. සමහර දිනෙක රංජිත්ට බෝතලය හිස් කරන්නට උදව් කරන්නට හවස් අතේ කාමරයට එන්නේ තැපැල් මහත්තයාය. සතියේ දිනවල කන්තෝරුවේ වැඩකරන තැපැල් මහත්තයා සති අන්තයේ අඹු දරුවන් බලන්නට ගමේ යයි.

රංජිත්ට දෙවේලේ බත සැපයෙන්නේ ළඟ පාත තිබු ගෙයක් වූ විල්සන් ලාගේ ගෙදරිනි. රෑ බත පිඟානකට බෙදා මැටිකෝප්පයකින් වසාගෙන රංජිත්ගේ නවාතැනට රැගෙන එනු ලබන්නේ විල්සන්ගේ බිරිඳ බිසෝමැණිකා විසිනි. ඇයට කවුරුත් ඇමතුවේ බිසෝ යනුවෙනි. රංජිත්ගේ රෑ කෑම වේලද රැගෙන මඳ අඳුරේ ඇය එනවිට කාමරය ඉදිරිපිට ඇති රුක්අත්තන ගහ යට බංකුවේ රංජිත් හිඳගෙන සිටින්නේ මීවිතකින් පදම්වී ගීතයක් මුමුණමිනි. පිරිපුන් අඟ පසඟින් හෙබි රුවැත්තියක් වූ බිසෝ ඇතුළට ගොස් කෑම පිඟාන කාමරයේ තබා දහවල් හිස්වූ භාජන ද රැගෙන නිතඹ නළවමින් යනු දකින රංජිත්ගේ සිතේ ඇතිවන්නේ කෑදරකමකි.

ජයතිස්ස ඉස්කෝලෙ මහත්තයාගේ ලොකු දුව වන දිලිනිව රංජිත්ට යෝජනා කළේ ඉස්කෝලෙ මහත්තයාමය. මෙය රංජිත් බලාපොරොත්තු වුවක් නොවූ නිසා ඔහුගේ සිතේ ඒ ගැන ඇතිවුයේ විස්මයකි. මොනවා කරන්නදැයි සිතා ගන්නට නොහැකිව සිටි රංජිත්ගෙන් ඉස්කෝලෙ මහත්තයාම දිනක් ඒ ගැන විමසුවේය.

" අපේ යෝජනාව ගැන මහත්තයගෙ අදහස මොකක්ද?" ජයතිස්ස ඉස්කෝලෙ මහත්තයා අසයි.

සිහින් සිරුරක් ඇති රූමත් දඟකාර කෙල්ලක වූ දිලිනිට අකමැති වෙන්නට හේතුවක් රංජිත්ට නැත. හොඳින් අධ්‍යාපනය හදාරා ඇති දිලිනි පාසැලේ වොලිබෝල් කණ්ඩායමේ නායිකාවයි. දීප්තිමත් දෑසක් ඇති ඇගේ සිරුරෙන් තරුණකම නට නටා ඉස්මතුවේ. ලාබාල කම හැරෙන්නට පවුලක් වෙන්නට වෙනත් කිසිම නුසුදුසු කමක් දිලිනිගෙන් රංජිත්ට නොපෙනේ.

" මගෙ නම් අකමැත්තක් නෑ මහත්තයා, ඒත් ඉතින් මේ වගේ දේවල් අපේ ගෙවල් වලිනුත් දැනුවත්ව කෙරෙන්න ඕනෑ නේද? "

" බොහොම හොඳයි, බොහෝම හොඳයි, වෙන්නත් ඕනෑ එහෙම්ම තමයි. මහත්තයගෙ කතාවට මම බොහොම මනාපයි. එහෙම නම් ගෙදරටත් කියල ඒ ගොල්ලන්ගෙත් කැමැත්ත ඇතුව දිනයක් යොදාගෙන අපේ ගෙදර ඇවිල්ල යන්නකො."

" ඊළඟ සතියෙ ඉස්කෝලෙ නිවාඩු දීල වෙලේ ගොයම් කැපුවට පස්සෙ මම ගෙදර යනවා. ගිහින් අම්මලටත් කියල මහත්තයට දිනයක් කියල එවන්නම්. එහෙම හොඳයි නේද?"

" එහෙම හොඳයි, අපි කට්ටියත් නිවාඩුවට ගෙදර යනවා. එහෙනම් මහත්තයලට කුලියපිටියෙ අපේ මහගෙදර එන්න පුළුවනි."

" ඔව් එහෙම එන්න තියෙනව නම් අපටත් ලේසියි."

ඊළඟ සිකුරාදායින් එළඹුණු වසර මැද පාසැල් නිවාඩුවට ජයතිස්ස ඉස්කෝලෙ මහත්තයා සිය පවුලත් සමග ගමේ යන්නට පිටත්විය. රංජිත් සිය කුඹුරේ ගොයම් කපන්නට යොදාගෙන තිබුණේ සෙනසුරාදාය. සරුවට සැදී පැසී තිබුණු කුඹුරේ අස්වැන්න රංජිත් බලාපොරොත්තු වුනාටත් වැඩියෙන් තිබිණි. ගමේ යද්දී කොටාගෙන යන්නට වී ගෝනි දෙකක් ඉතුරුකරගෙන ඉතිරි වී තොගය විකුණා දැමු රංජිත් හවස් අතේ කාමරයට ආවේ සැහැල්ලු සිතිනි. හිතේ බුබුළු දමමින් නටන සතුට බෙදාගන්නට කවුරුවත් නැති එක ගැන රංජිත්ට දුකසිතුනේ බෝතලයෙන් වීදුරු දෙකක් හිස්වුන පසුවය. "හෙටම ගෙදර යනවා" යි රංජිත් සිතුවේය.

" මහත්තය තනියම කරුවලට වෙලා බර කල්පනාවක වගේ!"

හිතුවෙවත් නැති වෙලාවක පිටුපසින් ඇසුණු හඬින් රංජිත් කල්පනා ලොවින් මිදුණි. ඒ බිසෝ රෑ කෑම පිඟාන රැගෙන එන වෙලාවයි. ඇය කඩිනම් ගමනින් තමන්ට පිටුපා ගෙට ඇතුල්වනු ඔහු බලාසිටියේ බමන දෑසිනි. සවස දිය නාද්දී ගාන ලද සබන් වර්ගයක සුවඳ ඇය පසුපසින්ම ඇදෙනු ඔහුට දැනිණි. රංජිත් බංකුවෙන් නැගිට්ටේත් ගෙට ඇතුල්වුනේත් නිරායාසයෙන් මෙනි. කෑම පිඟාන කාමරයේ මේසය උඩ තැබූ බිසෝ සිහිනිඟ නළවමින් කාමරයෙන් එළියට එයි. එක්වරම තමන් ඉදිරියේ පෙනීසිටි රංජිත් දුටු ඇය මොහොතකට තිගැස්සුනත් ඉදිරියට එන බිසෝගේ අතකින් අල්ලා ලඟට ගත් රංජිත් ඇයව තරයේ වැළඳ ගත්තේ කිසිදු කතාබහකින් තොරවය.

" අප්පේ, මේ මොකද මහත්තය, අත අරින්න අනේ, කවුරුවත් ආවොත් එහෙම?" කලබලයෙන් කතාකරන බිසෝ ගේ විසල් නෙත් යුගලේ රැඳී ඇත්තේ විස්මයකි.

" කවුරු එන්නද බිසෝ, මෙච්චර වෙලා මම තනියම හිටියෙ, මාව බලන්න කවුරුවත් ආවෙ නෑ, ඔයාවත් ආපු එක කොච්චර දෙයක්ද?" දෑස් පියාගත් රංජිත් කියන්නේ අසිහියෙන් මෙන් කියවයි.

" ඉතින් මම ආවනෙ මහත්තය බලන්න, කෝ මට දැන් යන්න දෙන්නකො, කරුවලත් වැටිලනේ."

ඇය එහෙම කිව්වත් රංජිත්ගේ ග්‍රහණය ඇයට කරදරයක් නොවන බව ඇගේ මුහුණේ ඇඳී ඇති මඳ සිනහවෙන් පෙනේ. රංජිත් එක්වරම වැලඳ ගනිද්දී ඇය මඳක් තිගැස්සුනත් ක්ෂණයකින් යථා තත්ත්වයට පත්වූවාය. තවමත් ඇයව තරයේ වැළඳගෙන සිටින රංජිත් බිසෝගේ මුහුණත් ගෙලත් තොරතෝංචියක් නැතිව සිපගන්නේ වියරුවෙන් මෙනි.

සිය සිරුර තරයේ බැඳගෙන සිටි රංජිත්ගේ දෑත් සීරුවෙන් ඉවත්කළ බිසෝ ඔහුගෙන් මෑත් වී යන්නට සැරසුනේ " තියෙන විසේ නං ලේසි පාසු එකක් නෙවෙයි" කියමින් ඔහුගේ පිටට සෙමෙන් පහරක් ද ගසමිනි. නැගිට ගන්නට වාරු නැතුවාක් මෙන් රංජිත් පුටුවේ දිගාවී සිටිද්දී එළියට බැසගත් ඇය අඳුරට මුසුවී නොපෙනී ගියාය.

රංජිත්ගේ අනපේක්ෂිත ආලිංගනයෙන් සිය ගත පිබිදී ඇති බව බිසෝට දැනුණි. ආයෙමත් ඔහුගේ තුරුලට යන්නට තරම් ඇගේ සිතුවිලි උණුසුම් වී තිබිණි. දවස පුරා මහන්සි වී සිටි රංජිත් ඒ වනවිටද පුටුවේ තද නින්දකට වැටී සිටි අතර අවදි වුණේ පසුදා උදයේය.

පසුවදා රෑට කෑම ගෙන ආ බිසෝගේ අතකින් අල්ලාගත් රංජිත් ඇයව යහනට රැගෙන ගියේ වැඩි පෙරැත්තයකින් තොරවය. රංජිත්ගේ පහසින් ප්‍රබෝධමත් වූ ඇය ඔහු හැරදා යන්නට මැලිව මෙන් බොහෝ වෙලා රංජිත්ව තදින් වැළඳගෙන සිටියාය. කලකට පසු සුකුමාල කාන්තා පහසක් ලද තෘප්තියෙන් රංජිත් දෑස් පියාගෙන බිසෝගේ සුරතල් ඉවසා සිටියේය.

" මේවා කොහෙන් කොහෙන් කෙරවල් වෙයිද අනේ මන්දා?" ඇය කියන්නේ ලිහී ඇති වරලස උඩට කර බැඳ ගනිමිනි.

" ඇයි බිසෝට බයද? රංජිත් අසන්නේ ඇඳේ හාන්සිවී සිටිමිනි.

" ඒකත් එකක් තමා! " ඇඳුම් හැඳගත් බිසෝ යන්නට සුදානම් වෙයි.

" ගෙදර මනුස්සය ඉද්දී බිසෝ බයවෙන්නෙ ඇයි?"

"පිස්සුද මහත්තය, ඒ මනුස්සය මාස ගාණකින් මගෙ ඇඟට අතක් තියල නෑ."

" ඒ මොකද?"

" වැඩක් නෑලු, මට ළමයි නෑ කියන්නෙ!"

" එහෙම වෙන්නත් පුළුවනි, ඒකෙ අනික් පැත්ත වෙන්නත් පුළුවනි, බිසෝ දන්නවද?"

" කාට කියන්නද මහත්තය ඔව්වා!" ඇය කෙළිලොල් අන්දමට සිනාසෙමින් පිටව ගියාය.

බිසෝගේ මුදු මොළොක් පහස රංජිත්ට අවාරයේ පලගත් මී අඹයක් මෙන් රසවත් විය. ඇගේ සුමුදු නග්න සිරුරට ආසක්ත වී සිටි රංජිත් නිවාඩුවට ගෙදර ගියේ ඊටත් පහුවදාය෴

( මේ කොටස දිග වැඩිවන නිසා මෙතෙකින් නවත්වමි. කතාව අවසන් කරන්නට තව කොටස් දෙකක් හෝ තුනක් ලිවිය යුතු බව සිතමි.)

Unknownnoreply@blogger.com39tag:blogger.com,1999:blog-8432415427742462325.post-75162451963367825762018-09-09T19:45:00.003-07:002018-09-09T19:45:39.734-07:00දෙසතිය මතක - රාජ්‍ය සාහිත්‍ය උත්සවය, හංවැල්ලේ ගමන, ප්‍රේමාගේ රාත්‍රී භෝජන සංග්‍රහය සහ හරක් මස් වර්ජනය, ඌරු මස් කෑම.

රාජ්‍ය සාහිත්‍ය උත්සවය, මාස්ටර් සහ සංඝානන්ද.

අද ලියන්නට යන කතාව මීට කලින් මා ලියන්නට පටන් ගත් කතාවක ඉතිරි කොටසයි. විශේෂය වන්නේ මම මේ මුලින් ලින්කුව දී ඇති කතාව ලියා තිබෙන්නේ මීට අවුරුදු හතරකටත් පෙර එනම් 2014 මාර්තු මාසයේ වීමයි. ඉතින් කතාවේ ඉතිරි කොටස ලියන්නට මේ සාහිත්‍ය මාසය තරම් සුදුසු වෙන කාලයක් නැති බව සිතුනු නිසා අවුරුදු හතරකට පසුව වුවද ඉතිරි හරිය ලියන්නට කල්පනා කළෙමි.

හංවැල්ලේ රාජසිංහ මහා විද්‍යාලයේ එම වසරේ රාජ්‍ය සාහිත්‍ය උත්සවය පැවැත්වීමට නියමිතව තිබුණි. දැන් අප යමින් සිටින්නේ දෙසතිය ප්‍රදර්ශන කුටියට වෙන්කරදී ඇති ඉඩ ප්‍රමාණය භාරගැනීමටය. රාජලාගේ ගෙදරින් උදේට කෑම ගැනීමෙන් පසුව රාජසිංහ මහා විද්‍යාලයට ගිය අපට නියමිත රාජකාරිය ඉවර කරගැනීමට විනාඩි පහළොවක් වත් ගත නොවීය. විද්‍යාලයට පැමිණ සිටි සංස්කෘතික දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විද්‍යාලයේ ගොඩනැගිල්ලක උඩුමහලේ කාමරයක් පෙන්වා එහි යතුර මට භාරදුන්නේ අපේ දෙසතිය ප්‍රදර්ශන කුටිය එම පන්ති කාමරයේ පිහිටුවා ගන්නට කියාය. සාහිත්‍ය උත්සවය ගැන කියනවිට එදා තිබු රාජ්‍ය සාහිත්‍ය උත්සව සහ අද පැවැත්වෙන රාජ්‍ය සාහිත්‍ය උත්සව ගැන පොඩියට වුණත් යමක් කිව යුතුමය.

රාජ්‍ය සාහිත්‍ය උත්සවයේ සංවිධානය සංස්කෘතික දෙපාර්තමේන්තුවේ වගකීමකි. ඒ කාලයේ දෙපාර්තමේන්තු බලධාරීන් රාජ්‍ය සාහිත්‍ය උත්සවය දෙපාර්තමේන්තුව මගින් පවත්වන වසරේ ලොකුම උත්සවය ලෙස සලකා ඒ උත්සවය මහ ඉහළින් පවත්වන්නට හැකි සෑම උත්සාහයක්ම දැරූ බව සඳහන් කළ යුතුය. කොළඹින් පිට සමහර විට බොහෝ ඈත පලාතක විද්‍යාලයක් ලබාගෙන දිවයිනේ සිටින සියළුම පොත් ප්‍රකාශකයින්ට ආරාධනා කර පමණක් නොව රජයේ දෙපාර්තමේන්තු සංස්ථා ආදියේ සහභාගිත්වයත් ලබාගෙන ඉතා උත්කර්ෂවත් අන්දමින් සංස්කෘතික දෙපාර්තමේන්තුව විසින් රාජ්‍ය සාහිත්‍ය උත්සවය සංවිධානය කරන ලදී. බී.එම්.අයි. සී. එච් එකේ පැවැත්වෙන පොත් ප්‍රදර්ශනය අරඹා නොතිබූ ඒ කාලයේ පොත් ප්‍රදර්ශනය කෙරුණේද සාහිත්‍ය උත්සවය පැවැත්වෙන තැනදීමය. සාහිත්‍ය උත්සවය සතියක කාලයක් අදාළ විදුහලේදී පවත්වනු ලැබූ අතර සංස්කෘතික ඇමතිවරයා විසින් පළවෙනි දිනයේ විවෘත කිරීමෙන් පසු සෑම දිනෙකම ප්‍රධාන ආරාධිතයා ලෙස ඇමතිවරයෙක් පැමිණි අතර අවසාන දිනයේ ඒ වසරේ තෝරාගනු ලැබූ හොඳම පොත්වලට අදාළ සම්මාන පිරිනමනු ලැබුයේ ජනාධිපතිවරයා විසිනි.

සාහිත්‍ය උත්සවයේ ආරම්භක දිනයේ සිට අවසන් වනදා දක්වා හැම දිනකම උදේ කාලයේ සිට සවස් වනතුරු සාහිත්‍ය සාකච්ඡා, සම්මන්ත්රණ, දේශන, කවිමඩු ආදී සාහිත රස වෑහෙන වැඩසටහන් ද රාත්‍රියේ දේශීය සංගීතාංග ද, නැටුම් ගැයුම් ද, බලි තොවිල් ආදී ශාන්තිකර්ම ද වශයෙන් බලන්නට අහන්නට බොහෝ විශේෂාංග විය. කොටින්ම රාජ්‍ය සාහිත්‍ය උත්සවය පැවති කාලය අදාළ පෙදෙසේ ජනතාව සාහිත්‍ය රසයෙන් මුසපත් කරන කාලයක් වූ අතර මුළු සතිය පුරාම ප්‍රදේශවාසී ජනතාව සාහිත්‍ය උත්සව භූමියට පොදි කමින් පැමිණියහ. උදේ කාලයේ විශේෂයෙන්ම පාසැල් සිසු සිසුවියන් වැඩිපුර පැමිණි අතර රාත්‍රියේ ගැහැණු පිරිමි බාල මහලු ළමා ළපටි ආදී සියලුම දෙනා එකසේ පැමිණියේ සාහිත්‍ය උත්සව බිමේ අසිරිය විඳිමින් ගීයක් අසා නැටුමක් බලා සිත සැහැල්ලු කර ගන්නටය. ජනාධිපති ප්‍රේමදාස මහතාද සද්ද බද්ද ඇතිව අලංකාරයට මහ ඉහලින් පැවැත්වෙන උත්සව වලට සහභාගීවීමට බොහෝ ප්‍රිය කළ නිසා උත්සවය සුළු හෝ අඩුපාඩුවක් නොමැතිව පවත්වන්නට සංස්කෘතික දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැපවී වැඩකළ බව කිව යුතුය.

එහෙත් අද නම් ඒ කාලයේ මෙන් රටවටා සාහිත්‍ය උත්සව ගෙනගොස් පවත්වන්නට කටයුතු නොකරන අතර පොත් ප්‍රදර්ශනය අවසානයේ බී.එම්.අයි.සී.එච් එකටම රාජ්‍ය නායකයා ගෙන්වා නැටුමක් ගැයුමක් පෙන්වා සම්මාන ප්රදානය සිදුකරයි. අවුරුදු විසි ගණනකට පසු අපේ රාජ්‍ය සාහිත්‍ය උත්සවය වැටුණු තැන එහෙමය.

නැවතත් අපේ කතාවට ආවොත් රාජසිංහ මහා විද්‍යාලයේ කරන්නට යෙදුණු රාජකාරිය කළින්ම ඉවරවීම නිසා අපි එතැනින් එළියට බැස්සේ උදේ එකොළහ වෙන්නටත් පෙරදීය. ඊළඟට යොදාගෙන තිබුණු කටයුත්ත වුණේ රම්‍යාගේ ගෙදර ගිහින් දවල්ට කෑම ගැනීමයි. නමුත් එහේ යන්නට කල් වැඩි බව අපි සියලු දෙනාගේම මතය විය. තවම රම්‍යලාගේ අම්මා දවල්ට උයන්නට හාල් ගරනවා ඇති යැ'යි අපි කතාකළේ සිනහසෙමිනි. කාලය ගත කරන්නට තිබුණේ එකම දෙයකි. වයින් ස්ටෝර්ස් එකකින් බෝතලයක් ගෙන මගදී දුටු අලංකාර රබර් වත්තක් අයිනේ ගලක් උඩ හිඳගෙන බෝතලය ටික ටික හිස් කළේ කාලය ගතවෙන තුරුය. එක එක්කෙනා තම තමන්ට රිසි පමණින් පානය කළ බෝතලය හිස්වෙන්නට වැඩි වේලාවක් ගියේ නැත. ඊට පසු තවත් බෝතලයකි. දැන් සංවාද, සාකච්ඡා මණ්ඩප ජයටම පැවැත්වෙයි. වැඩේ ඉවර වනවිට එකත් පහුවුණු නිසා ඉක්මන් කර රම්‍යා ගේ ගෙදරට යන්නට පිටත් වුණෙමු.

රම්‍යලාගේ ගේ තිබුණේත් රබර් වත්තකය. පාරෙන් වම් පැත්තේ කන්දක් නැගගෙන ගෙදරට ගිය අපි එනතුරු රම්‍යා ගෙදර අයත් එක්ක මග බලා සිටියේ සරුසාරයට දවල් කෑමත් පිළියෙළ කරගෙනය. කෑමෙන් පසු ආපහු එන්නට පාරට බැස්සත් මග දිගට බාර් ගානේ නවත්වමින් රස්තියාදු වෙවී කොළඹට එනවිට රෑ නවයත් පහුවෙලාය. හේරත් ව කළුතර බස් එකකට ගොඩකරවා මමත් කුමාරත් පීරිසුත් කොටුව ස්ටේෂමට ගියේ නවයහමාරේ කෝච්චිය අල්ලා ගන්නටය. කෝච්චියට ගොඩවුණු සැණින් කුමාරත් පීරිසුත් ගොරවමින් නිදන්නට වුහ. දැන් මටත් නින්ද ගියොත් එහෙම තුන්දෙනාම නවතින්නේ පොල්ගහවෙල කියන එක හොඳටම ෂුවර් ය. බොහෝම අමාරුවෙන් ඇස් ඇරගෙන සිට කුමාරව ගනේමුල්ලෙනුත් පීරිස් බෙම්මුල්ලෙනුත් බස්සවා මම ගෙදර එනවිට රෑ දොළහටත් කිට්ටුවෙලාය.

සාහිත්‍ය උත්සවය පටන් ගන්නට පෙර අපට කරන්නට තිබු වැඩක් වුණේ දෙසතිය කුටිය ලස්සනට හදා ගන්නා කාරියයි. චිත්‍රපට අංශයේ බාස් ලා දෙන්නෙක් ලී වැඩවලට සහ අලංකාර කටයුතුවලට සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ සහකාර කතිකාචාර්ය කෙනෙක්ගේ උදව්වෙන් සාහිත්‍ය උත්සවය පටන්ගන්නට දින කීපයකට පෙර කුටිය ලස්සනට සාදා නිමකර ගත හැකිවිය. සාහිත්‍ය උත්සවයට සහභාගී වෙන්නට අපි හංවැල්ල බලා පිටත්වුණේ උත්සවය පටන් ගන්නට පෙරදින හැන්දෑවේ ය. අපේ කණ්ඩායම වුණේ මමත්, මගේ සහායක රාජාත්, ගෝලයාවූ සෝමපාලත්ය. උත්සවය ආවරණය කරන්නට රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් යවන නිල ඡායාරූප ශිල්පියා වූ සරත් ද අප සමගම එක්විය. රියැදුරු වුයේ මොළේ සුනිල් හෙවත් මොළයාය. රියැදුරන් සම්බන්ධ සෑම කාර්යයකදීම හැම දෙනාම උපදෙස් ලබාගන්නේ ඔහුගෙන් නිසා සුනිල් හඳුන්වනු ලැබූයේ මොළයා කියාය.

කණ්ඩායමේ සියළුම දෙනා අනවශ්‍ය ප්‍රශ්න ඇති නොකරන විනෝදයෙන් ඉන්නට කැමති අය වීම නිසා මම සිටියේ සතුටිනි. එමෙන්ම ඉතාම සුන්දර සතියක් ගතකරන්නට ලැබෙන බවද මම දැන සිටියෙමි. හංවැල්ල රාජසිංහ මහා විද්‍යාලයයට ගිය අපි අපේ දෙසතිය කුටියේ ස්ථානගතවී පසුවදා උත්සවයට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ගත්තෙමු. අපේ නවාතැන වුයේද එම කුටියමය. ඡායාරූප ශිල්පියාවූ සරත් අපේ දෙපාර්තමේන්තුවෙන් ගියද ඔහු අයත් වුයේ මාධ්‍යවේදීන් ගණයට නිසා සරත්ට වෙනම නවාතැන් සහ කෑම බීම සංස්කෘතික දෙපාර්තමේන්තුවෙන් ලබාගත හැකිවිය. ඒත් ඔහු වඩා කැමතිවුනේ අපිත් එක්කම එකට නවතින්නටය. අපිත් එක්ක එකට ඉන්නවිට තියෙන සොමිය පිට අය එක්ක වෙනම ඉද්දි ලබාගන්නට බැරිවීම ඔහු නවතින්නට හේතුවූ ප්‍රධාන කාරණය බව මම දැන සිටියෙමි. කෙසේ වුවද සරත් ඉතා සුන්දර සහ වටිනා ගමන් සගයෙක් වීම නිසා ඔහු අපත් සමග නැවතීම සියළුම දෙනාගේ සතුටට කරුණක් විය. පසුදා සිට සාහිත්‍ය උත්සවය ඉතා අලංකාරයෙන් සහ උත්කර්ෂවත් අන්දමින් ආරම්භ විය. අපිද දෙසතිය කුටියේ වැඩ කටයුතු ඉතා සතුටින් කරගෙන ගියෙමු.

සාහිත්‍ය උත්සවයේ පළමු දිනයේ උදේ වරුව වෙන්වන්නේ දේශන වැඩමුළු සාකච්ඡා සහ සම්මන්ත්රණ සඳහාය. මෙවැනි තැන්වලදී එකතුවෙන ආචාර්ය මහාචාර්ය වරු සහ පණ්ඩිතයන් බොහෝ කරුණු කාරණා ගැන මත පළකරමින් සහ වාද විවාද කරගනිමින් සාකච්ඡා කරති. එවැනි එක් තැනක මුළු උදේ වරුවම ගතවුණේ හංවැල්ල යන නමේ නිරුක්තිය සෙවීම සඳහාය. එවැනි තැන්වලදී කියැවෙන බොහෝ වටිනා කරුණු කාරණා මට නම් මී මෙන් රසවත් විය. පණ්ඩිතයන් ගම්වල නම් පමණක් නොවැ කතාකරන පඬිවරයාගේ නමේ නිරුක්තිය පවා විචාරති. හංවැල්ල නම හැදුණු හැටි හොයන්නටම මේ පණ්ඩිතයන්ට වරුවකටත් වඩා ගතවූ බව මට හොඳට මතකය. දෙසතිය කුටියේ වැඩ කටයුතු රාජාටත් සෝමපාලටත් පවරා මම මුළු උදේ වරුවම මේ සාකච්ඡා සම්මන්ත්රණ වල ගතකරන්නට පටන් ගත්තේ ඒවා ඒ තරම්ම රසවත් වීම නිසාය. රසවත් වීම පමණක් නොව මා ඒවායින් අපමණ දැනුම් සම්භාරයක් ලබාගත් බවත් කිවයුතුමය. හවස් වරුව එක එක ප්‍රකාශකයන්ගේ වෙළෙඳ කුටි වෙත ගොස් ලාබෙට විකුණන්නට ඇති පොත් සොයමින් ගතකලෙමි. රාත්‍රියේ මාව කුටියේ තබා අනික් දෙතුන් දෙනා කඩචෝරු කමින් සංගීතාංග සහ නැටුම් ගැයුම් බලන්නට ද ඒවා බලන්නට එන ගමේ කෙල්ලන් පස්සෙන් යන්නටද පටන් ගනී. එය මට කිසිම කරදරයක් නොවුණේ රෑට වෙළෙඳ කුටිවලට එන අය අඩු නිසාත් පහළ කෙරෙන සියලුම දේවල් උඩ තට්ටුවේ ඉන්නා මට හොඳින් පේන නිසාත්ය.

මේ අතර මොළේ සුනිල් වාහනයේ හංවැල්ල ටවුමට ගොස් රෑට කන්නට සහ විශේෂයෙන්ම බොන්නට අවශ්‍ය දේවල් රැගෙන එයි. ඇවිදින්නට ගිය උන් මහන්සිවී ආපහු දෙසතිය කුටියට එන්නේ බොන්නත් කන්නත් බලාගෙනය. දෙකක් තුනක් දාගත් පසු ගිය ගමන්වල විස්තර ගැන කෙරෙන කතාබහද මඩ ගහ ගැනිලි ද අඩුවක් නැත. ඔක්කොම වැඩ ඉවරවී අපි නිදාගන්නේ මහ පාන්දරය. උදේ අවදිවී කට්ටියම වාහනයට නැගගෙන නාන්නට යන්නේ හංවැල්ල ටවුමට කිට්ටුවෙන් කැළණි ගඟේ තියෙන තොටුපොලකටය. රාත්‍රියේ බීපුවායේ අමාරුව යන්නත් එක්ක හොඳට ගඟෙන් නාගෙන පාරෙන් තැඹිලිත් බී කුටිය විවෘත කරන්නට කල්වේලා ඇතිව ආපහු එන්නේ උදේට කන්නට බලාගෙනය. උදේ කෑමට වියදම් කරන්නට අවශ්‍ය නොවුණේ සරත් ඔහුට දෙන කෑම අපටත් එක්ක ඇතිවෙන්නට අරගෙන එන නිසාය. මේ විදියට කටයුතු වෙද්දී කාලය ගතවෙනවා නොදැනේ. ඇත්තටම රාජ්‍ය සාහිත්‍ය උත්සවයේ ගතකරපු මුළු කාලයම අපට නම් එකම විනෝදයක් විය.

දවසක් දා රාත්‍රියේ (එය මට මතක හැටියට සිකුරාදාවක් විය) අපේ කාර්යාලයේ වැඩකරපු ප්‍රේමා හෙවත් ප්‍රේමක්කා ඇගේ මහත්තයා සහ දරු දෙදෙනා එක්කරගෙන සාහිත්‍ය උත්සවය බලන්නට ආවාය. එතැනදී අප හමුවූ විට ඇගේ සතුට නිම් හිම් නැතිවිය. ඒ ගැනත් කතාවක් ඇත. ප්‍රේමක්කා අපේ කාර්යාලයේ වැඩට ආවේ හංවැල්ලේ ඉඳලාත් කිලෝමීටර් තුන හතරක දුර ගමක සිටය. දරුවන්ගේ වැඩත් එක්ක ගමනාගමනය අපහසු නිසා වෙලාවට කාර්යාලයට යන්න එන්න තිබුණු කරදර නිසාවෙන් ඇය ගමට ළඟ තැනකට ස්ථාන මාරුවක් ඉල්ලා අවුරුදු කීපයක් ගතවී තිබුණත් ස්ථාන මාරුව නොලැබුණු නිසා ඇය සිටියේ ඒ ගැන සිත් කරදරයෙනි. මම ප්රවෘත්ති දෙපාර්තමේන්තුවට මාරුවී ආවේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ සිට නිසා ඇය ඒ ගැන මට කීවේ පුළුවන් කමක් ඇත්නම් වැඩේ කරදෙන්න කියාය. රාජ්‍ය පරිපාලනේ හිතවත් අයගේ මාර්ගයෙන් ප්‍රේමාගේ ස්ථාන මාරුව ලබාදෙන්නට මට ගතවුණේ සති දෙකක් වැනි සුළු කාලයකි. ස්ථාන මාරුව ලබාගත් ප්‍රේමක්කා මට මුව නොසෑහෙන සේ ස්තුති කර සතුටින් ගම් පළාතට ගියාය. ප්‍රේමා හංවැල්ලේ ඉන්නවාය කියා ඒ වන විට අපටද අමතක වී ගොසින්ය. අපි කට්ටිය දුටු පමණින්ම ප්‍රේමක්කා සතුටු වුණේ ඒ හින්දාය. කතාබහ කර සාහිත්‍ය උත්සවයද බලා ආපසු යන්නට ලෑස්ති වෙන ප්‍රේමක්කා අපට ආරාධනාවක් කළාය.

" මල්ලියෙ, ඔන්න ඔක්කොම කට්ටිය එක්ක හෙට රෑ අපේ ගෙදර කෑමට එන්න!"

අපි ආරාධනාව සතුටින් පිළිගත්තෙමු. පහුවදා උදෙන්ම රාජකාරියට ගිය සරත් දවල් වෙද්දී අපේ කුටියට ආවේ සිනාසෙමිනි.

" උඹල දන්නවද වැඩක්, මම අද ටවුමට ගිය වෙලාවෙ ප්‍රේමගෙ මහත්තය හම්බුණා නෙ."

" ඉතිං."

" ඉතිං තමයි, පොරගෙ සයිකලේ පිටිපස්සෙ ලේ පෙරෙන ඌරු ගාතයක් ගැට ගහල තිබ්බනෙ."

සරත් සිනාසෙමින් කියයි. එදා රාත්‍රියේ ප්‍රේමා ගේ ගෙදර රෑ කෑමට ඌරු මස් පිළියෙළ කොට තිබුණාදැයි මට මතකයක් නැතත් සරත් එහෙම කිව්වේ අපටද සිනාසෙන්නටය. ඒ කාලයේ අද මෙන් නොව ඌරු මස් ටිකක් ලේසියෙන් හොයාගන්නට තිබුණේ නැත. අද නම් හන්දියක් හන්දියක් ගානේද පාර අයිනේද ඌරු මස් තට්ටු ඕනෑ තරම් ඇත. හෝටල බොහොමයකද බෝඩ් එල්ලා තිබෙන්නේ ඌරු මස් සමග බත් කන්නට තියෙනවා කියලාය. හැබැයි හරක් මස් ටිකක් කඩේකින් හෝ හෝටලයකින් වැරදිලාවත් හොයාගන්නට නැතිවීම පුදුමයකි. අද කියැවීම අනුව ඌරන් මැරීම පව් සිදුවන දෙයක් නොවෙන නමුත් හරකුන් මැරීම ආනන්තරිය පාප කර්මයකි. ඒ නිසාදෝ ඉඳහිට හරි කොහේ හෝ තැනක හරක් මස් විකුණනවා නම් ඒ කරන්නේත් හොරන් හොරෙන් කේ ජී විකුණනවා වගේ පුද්ගලයා හොඳට හඳුනා ගැනීමෙන් පසුවය. නමුත් මට මතක ඈත කාලයේ නම් හරක් මස් නිදහසේ විකුණුන අතර අරන් යන අයගේද අඩුවක් නොවීය. කොටින්ම අද සුලභව කෑමට ඇති කුකුල් මස් වල තැන එදා තිබුණේ හරක් මස් වලටය. මම මේ කියන කතාවේ යටිපෙළ තේරුම් ගැනීම ඔබ සතු කාර්යයකි.

මේ ළඟදී දවසක මම ලේ පරීක්ෂණයක් සඳහා උදේ නිරාහාරව ගොස් පරීක්ෂණයට ලේ දුන්නෙමි. ලේ දීමෙන් පසු කෑම කා පැයකට පසු නැවතත් ලේ ගැනීමට නියමිත විය. ඊට පසු මම ටවුමේ හෝටලයකට ගියේ උදේට කෑම කන්නටය. මට කෑම ගෙනැත් තියපු මනුස්සයා කීවේ පාන් කන්නට වෙනත් වෙනත් හොදි වර්ග සමග ඌරු මස් හොදිත් තියෙනවා කියලාය. මම ඔහුගෙන් හරක් මස් පීරිසියක් ඉල්ලුවේ නැති බව දැන දැනම උනත් උදේම පොඩි සොමියක් ගන්නට හිතලාය.

" හරක් මස් නෑ!" ඌ කීවේ මුහුණද හපුටු කරගෙනය.

" මම හිතුවෙ ඌරු මස් තියෙන එකේ හරක් මසුත් ඇති කියලා!" මම අහිංසක ලෙස කියා සිටියෙමි.

" නෑ නෑ අපි හරක් මස් ගේන්නෙ නෑ!" ඔහු තදින්ම කියා සිටියේය.

හරක් මස් ආහාරයට ගන්නවාට විරුද්ධව මෙතරම් විරෝධයක් තියෙද්දී හරක් මස්ම කන්නට ඉල්ලන මේකා මහ මිථ්‍යා දෘෂ්ටිකයෙක් ම විය යුතුයැයි ඔහු නිසැකවම සිතන්නට ඇත.

අපිත් එක්ක එකට ඉන්දියාවේ සිටි ටෙරන්ස් කතෝලිකයෙකි. සතියකට දෙතුන් වේලක් හරක් මස් ආහාරයට ගැනීම ටෙරන්ස්ලා සිරිතක් වශයෙන් කරන දෙයකි. ඒ දවස්වල අපි හවස වැඩ ඇරී ගෙදර යද්දී එග්මෝර් ටවුමේ හරක් මස් පොට් එකකට ගිහින් මස් මිළදී ගත් අතර එතැන මස් ඉවර නම් අන්නා නගර් වල තැනකින් මස් ගන්නට පුරුදුවී සිටියෙමු. දැන් ටෙරන්ස්ගේ පදිංචිය ලංකාවේය. ළඟදී දවසක අපි ටෙරන්ස් ලාගේ ගෙදර කෑමකට ගිය වෙලාවක දවල් බතට සුපුරුදු පරිදි හරක් මස් ඉස්ටුවක් ද විය.

" මේ පැත්තෙ නම් මස් ගන්න එච්චර අමාරුවක් නෑ වගේ."

මම කීවිට ටෙරන්ස්ට මල හොඳ එකෙන්ම පැන්නේය.

" පිස්සුද බං, මස් ටිකක් හොයාගන්න තියෙන අමාරුව අපියි දන්නෙ. දැන් හැම කඩේකම වාගේ හරක් මස් විකුණන එක නවත්තලානේ. මස් ටිකක් හොයාගන්න හෙන ඈත යන්න වෙනව. ඇයි යකෝ ඉන්දියාවෙදි වත් මෙහෙම අමාරුවක් තිබ්බෙ නෑනෙ මස් ටිකක් හොයාගන්න."

ඒ කතාව එහෙමය. සාහිත්‍ය උත්සවය ගැන කියන්නට තියෙන දේ කියා අහවර බව සිතමි. හංවැල්ල සාහිත්‍ය උත්සවයේ දී සිදුවූ මතක හිටින තව දෙයක් වුයේ කරුණාරත්න දිවුල්ගනේ හමුවීමයි. සාහිත්‍ය උත්සවයේ තිබු සංගීතයක ගීත ගයන්නට ඇවිත් සිටි ඔහු වෙලාව එනතුරු උත්සව භුමියේ ඇවිදිමින් සිටින අතර දෙසතිය කුටියටත් ගොඩවුණේ එක දෙසතියක ඔහු ගැන ලිපියක් පළවී තිබීම හේතුවෙන් එය මිළදී ගන්නටය. කාලය සම්බන්ධව අපි දෙදෙනාටම ප්‍රශ්නයක් නොතිබූ බැවින් අපි දෙදෙනා ටිකක් වෙලා කතා කරමින් සිටියෙමු. එවකට ඔහු ගැයූ ජනප්‍රිය ගීත කිහිපයක්ම අපේ කතාවට බඳුන් වූ අතර කතාව අවසන් කරන්නට වුණේ ඔහුට ගී ගයන්නට යායුතු වෙලාව පැමිණීම නිසාය෴

Unknownnoreply@blogger.com35