Monday, March 4, 2013

34.පෑන් හොරා






 අපි ඉන්දියාවෙ පදිංචි වෙලා හිටපු කාලෙ තමා මේ සිද්දිය වුණේ.

ඔයාලට මතකද දන්නෙ නෑ හැත්තැ ගණංවල තිබුණා ක්‍රිකට් තරගාවලියක් ගෝපාලන් කුසලානය කියල...තමිල්නාඩුවෙ ක්‍රිකට් ටීම් එකයි ලංකාවෙ ඒ ටීම් එකයි තරග කරන....අවුරුද්දක් මදුරාසියෙ අවුරුද්දක් ලංකාවෙ ආදී වශයෙන් තමා තරග පැවැත්වුණේ.

මේ තරගාවලියෙ දක්ෂකම් දක්වපු ගෝපාලන් කියන ක්‍රීඩකයගෙ නමින් තමයි තරගාවලිය නම් කරල තිබ්බෙ.
පස්සෙ කාලෙක ලංකා කණ්ඩායමේ නමගිය ක්‍රීඩකයන් වුණු බන්දුල වර්ණපුර,අනුර රණසිංහ,අජිත් ද සිල්වා වාගෙ අය මේ තරගාවලියෙ දක්ෂකම් පෙන්නල උඩට ආපු අය.

අසූ ගණන්වල පටන්ගත්තු යුද්දය නිසා මේ තරගාවලියට ඉමහත් බාධා ඇතිවුණා...වසර කීපයකට වරක් වශයෙන් කැඩි කැඩි පැවැත්වුණු තරගාවලිය අන්තිමේ නතරම වුණා.

අපි මදුරාසියෙ හිටපු කාලෙ තත්වය ඕකයි.

මේ තරගාවලිය නැවත පටන්ගන්න අපට ගොඩක් ඕනැකම තිබුනා...මාස ගණනක් තමිල්නාඩු ක්‍රිකට් බලධාරීන් එක්කයි ලංකාවෙ බලධාරීන් එක්කයි සාකච්චා පවත්වලා අන්තිමේදී කොහොමහරි තරගාවලිය නැවත පටන් ගන්න තත්වයට ගෙනෙන්න හැකියාව ලැබුණා...මුල්ම තරගය ලංකාවෙ පැවැත්වෙන්නෙ...ලංකාවට යන තමිල්නාඩු ක්‍රිකට් කණ්ඩායමත් නම් කලා.

උත්සාහය හරිගිය එක ගැන අපට හරිම සතුටුයි...දැන් ඉතින් ජයග්‍රහණය සමරන්න එපායැ.

ලංකාවට යන තමිල්නාඩු කණ්ඩායම වෙනුවෙන් අපි රාත්‍රී භෝජන සංග්‍රහයක් ලෑස්ති කලා...ඔයකාලෙ මගෙ හිතේ 2000 දි විතර...නියමිත දවසෙ කණ්ඩායම සහ කළමනාකාරිත්වය පාටි එකට ආව...කණ්ඩායමත් එක්ක ඇවිත් හිටිය කාලයක් ඉන්දීය ජතික කණ්ඩායමේ ආරම්භක ප්‍රවේගකාරී පිතිකරු සහ නායකයා වුණු පස්සෙදි ඉන්දියන් ක්‍රිකට් තේරීම් කමිටුවෙ සභාපති වෙච්චි ක්‍රිෂ්ණමාචාරී ශ්‍රීකාන්ත් සහ ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක රොබින් සිං යන ක්‍රිකට් තරුත්.

ක්‍රීඩකයො මත්පැන් බිව්වෙ නෑ...අපි එක උඩට එක බැගින් විස්කි ගිලිද්දි ඒ අය බිව්වෙ පිරිසිදු වතුර.

තරගාවලියට සෙල්ලම් කරපු ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයෙක් වුණු ගෝපාලන් මහතාටත් අපි ආරාධනා කලා...එතුමා දැන් ගොඩක් වයසයි ඒත් තව කෙනෙකුගෙ වාරුවෙන් එතුමත් ඇවිත් හිටියා.

 කෑම සැපයුවේ ජෝශප්ගෙ හෝටලෙන්.. විවිධ ශ්‍රී ලංකා කෑම අතර එවෙලෙ හදල පිරිනමපු ආප්පත් තිබුණා.
ශ්‍රීකාන්ත්ගෙ ආප්ප කෑමත් ඔහුගෙ පිති ප්‍රහාරය වාගෙම වේගවත්...ආප්පෙ දෙකට කඩාගෙන පරිප්පු හොද්දෙ පොඟවල කටවල් දෙකට කන්නෙ පට පට ගාල....ශ්‍රීකාන්ත්ගෙ මේ වේගවත් කෑමේ විලාසය දෙස බලා ඉඳීම මට හරිම ආස්වාදජනක වුණා.

දැන් මට ඕන කරන්නෙ ඔහු කන හැටි පින්තූරයක් ගන්නයි...කියන්න අමතක වුණා පාටියෙ පොටෝ ගත්තෙත් මමයි...මගෙ රීල් දාන කැමරාවත් අතේ තියාගෙන මම ශ්‍රීකාන්ත් ලඟට වෙලා බලාගෙන හිටියා..ඔහු කටඇරල ආප්ප කෑල්ලක් කටට දාගන්න කොටම මම චකස් ගාල කැමරාව ක්‍රියාත්මක කළා....ප්ලෑෂ් එක වදිනකොටම ශ්‍රීකාන්ත් මගෙ දිහා බැලුව බැලිල්ලක්....මාව කූල් වෙලා ගියා මොකක් හරි කියයි කියලා...හොඳවෙලාවට මොකුත්ම කිව්වෙ නෑ.

ඔය පාටියටම ඇවිත් හිටිය ශ්‍රී ලාංකීය මාධ්‍යවේදීන් කණ්ඩායමක්..ඒ ගොල්ලො මාධ්‍යවේදීන්ගෙ සම්මේලනයකට කර්ණාටක ප්‍රාන්තයට යනව පහුවදා...වෙනම සංග්‍රහයක් ලෑස්ති කරන්න වෙලාවකුත් නැතිනිසා ඒ අයටත් මේ පාටියටම ආරාධනා කලා.

ඔය මාධ්‍යවේදීන්ගෙ කණ්ඩායමේ නායකය හැටියට කටයුතු කළේ දැනට ලංකාවෙ ඉන්න ජ්‍යෙෂ්ඨතම මාධ්‍යවේදියා....මේ අවුරුද්දට වයස 91 ක්....තාම ලියනව සිළුමිණ පත්තරේට එහෙම....නම කියන එක හරි නෑ මම මේ කියන්න යන කතාවෙ හැටියට.

ඔය කාලෙත් එතුමට ඇවිදින්න එහෙම අමාරුයි...අල්ලගෙන තමා යන්නෙ එන්නෙ...වෙන මොකුත් අමාරුවක් නෑ හොඳට ඩ්‍රින්ක් එක දානව කනව.

 ඒ දවස්වලම එතුමගෙ ජීවිත කතාව ලියල තිබුණ දශක සතක මතක කියල...මම ඒ වෙනකොටත් ඒ පොත ලංකාවෙන් ගෙන්නගෙන කියවල තිබුනෙ....පොත හරිම රසවත්....ඉතාම නිවැරදි ඉහළමට්ටමේ අක්ෂර වින්‍යාසය හා ව්‍යාකරණ කියවන්න ආස හිතෙනව.

මේ පොත කියවල එතුමා ගැන පහන් සිතුවිලි ඇතිකරගෙන හිටපු මට එතුමා දැක්ක ගමන් කතා කරන්න ආස හිතුණා...එළියෙ තිබ්බ පුටු පේළියෙ වාඩිවෙලා වීදුරුවකුත් අතේ තියාගෙන සප්පායම් වෙමින් හිටපු එතුමා ලඟ තවත් කළු උස මනුස්සයෙක් වාඩිවෙලා හිටියා...පුටුවක ඉඩක් ආපු වෙලාවෙ කැමරාවත් කරේ එල්ලගෙන හිටපු මම ගිහින් එතන වාඩිවුණා

මම කොහෙද කින්ද මන්ද කියල අහපු මේ දෙන්න එක එක ප්‍රශ්ණ වලින් මට දමල ගැහුව...සතුටු සාමීචියකට ආපු මට මේ වැඩේ ඇල්ලුවෙ නෑ...ඒ මදිවට අර කළු එකා පොඩි රෙකෝඩරයකුත් ඔන් කරල මගෙ ඉස්සරහින් අල්ලගෙන....මම ආවෙ කතාබහක යෙදෙන්න මිසක් ඉන්ටව් එකකට නෙවෙයිනෙ....මම නැගිටලා ආව එන්න.

පින්තූර ගන්න වෙලාවෙ මම එතුමට කතාකලා....වෙච්ච දේ ගැන කණගාටුවෙලා එතුමා කිව්ව...
අර අමනයෙක් ලඟ හිටියනෙ ....කියලා..

මම කිව්වා එතුමගෙ පොත කියවල තියෙනවය කියල...විස්තර අහල කෙලින්ම කිව්ව මේක සංසාරගත බැඳීමක් කියල..

ඔන්න ඔය විදියට එදා අපි වෙන්වුනේ ආයෙත් හමුවෙමු කියල ගිවිසගෙන..

ඊළඟ අවුරුද්දෙ මැද හරියෙ මට කෝල් එකක් එනව ගෙදරට එතුමගෙන් මම එන සතියෙ ඔහෙ එනව....මොනවද එනකොට ගේන්න ඕනෑ කියලා..

මම කිව්ව ඇවිත් මට කතාකරන්න කියල...

 ඔන්න දවසක්දා හවස මේ ගොල්ල ඇවිත් මාස් හෝටලේ නතරවෙලා මට කතාකළා...මම එවෙලෙම හෝටලේට ගියා....මාව දැකපු එතුමා බොහොම සතුටු වෙලා ලංකාවෙන් ගෙනාපු බෝතලයක් කඩල මට සංග්‍රහ කලා....ඒ ගොල්ල පස් දෙනෙක්ද කොහෙද...මහ ජෝඩුවයි දුවෙකුයි තව දුවලගෙ දරුවො දෙන්නෙකුයි....ගෝවා යන්න ඇවිත් තිබුණේ.

ඊට පහුවදා සති අන්තය...මම දවල් හෝටලේට ගියා මේ අයට එදා රෑ කෑමට ආරාධනා කරන්න...බොහොම සතුටින් ආරාධනාව පිළිගෙන මගෙන් ඇහුවා ආයෙ කවුද එන්නෙ කියල...මම කිව්ව සමන් අතාවුදහෙට්ටි මේ දවස්වල ඇවිත් ඉන්නව එයා එයි එච්චරයි කියල....එතුම කිව්ව සමන්ගෙ තාත්තව එතුමා හොඳට අඳුනනවය කියල.

මගෙන් ගෙදර ඇඩ්‍රස් එක අහපුවාම එතුමගෙ කෝට් සාක්කුවෙ තිබ්බ පෑන අරගෙන ඇඩ්‍රස් එකත් ලියල දීල මම ගෙදර ආව.

බිරිඳයි මමයි සුපුරුදු විදියට මාකට් ගිහින් බඩුත් අරන් ගෙදර ආවෙ දවල් එකට විතර...ටිකකින් මාධ්‍යවේදී තුමාගෙන් කෝල් එකක්....

මට ඇඩ්‍රස් එක ලියන්න දුන්න පෑන නැහැයිලු.....

වැරදීමකින් හරි පෑන සාක්කුවෙ දාගෙන ආවද බලන්න කියල එතුම කියනව....ඒක සාමාන්‍ය පෑනක් නෙවෙයිලු...එතුමා ලේක් හවුස් එකෙන් විශ්‍රාම ගන්නකොට තෑග්ගක් හැටියට ලැබිච්ච රත්තරං ගාපු පෑනක්ය කියලත් වැඩිදුරට කිව්වා.

මට හොඳට මතකයි ඇඩ්‍රස් එක ලියල මම පෑන ආපහු එතුමට දුන්න..ඉතිං මම කිව්ව මම ගෙනාවෙ නෑය කියල...කාමරේ කොහෙහරි වැටිල ඇති බලන්න කියල කිව්ව.

 එතකොට එතුමගෙ ස්වරය වෙනස් වුණා.....කතා කළේ තද ස්වරයකින්

බලන්න තියෙන හැම තැනම බලල තමා කෝල් කළේ....

මම ඊට වඩා මොකුත් කියන්න ගියෙ නෑ...ආපහු ගියා හෝටලේට..කාමරේ මුළුවසන් බැලුවත් පෑන තිබ්බෙ නෑ....

එතුමගෙ බිරිඳ හරිම නිවිච්ච කාන්තාවක්....ඇය කිව්ව

ඔව්ව ගණං ගන්න එපා වයස නිසා දැන් හරියට කේන්ති යනව...

හැබැයි අනික් කට්ටියම පොඩි ළමය පවා මට කතා කළේ පෑන හොරෙන් අරගෙන ගිය එකා හැටියට...
මොනව කරන්නද....මම ආපහු ගෙදර ආව.

ගෙදර ආව විතරයි ආයෙත් කෝල් එකක්...

අසනීප නිසා රෑ කෑමට එන්න විදියක් නෑ.....

සමන්ල එහෙම කෑමට ආව....ඇහුවාම මම ඒ අයටත් වෙච්චි දේ කිව්ව.

බිරිඳට හරිම කේන්තියි....නොකල වරදකට මාව වැරදිකාරය කළා කියල...

ඊට පස්සෙ මාධ්‍යවේදී තුමා මට කතා කළේ නෑ....ලංකාවට යන්න ඇති.

සති දෙකකට විතර පස්සෙ මට ලිපියක් ලැබෙනව මාධ්‍යවේදී තුමන්ගෙන්...එතුමගෙ අත් අකුරු හරිම ලස්සනයි...පණ්ඩිතයෙකුගෙ වගේ ලිපියෙ ගැලපීම එහෙම ආයෙ අහන්න දෙයක් නෑනෙ කියවන්න ආසයි...ලිපිය මෙහෙමයි.

අර නැතිවුණු පෑන ඉතාම පුදුමාකාර විදියකට හම්බ වුණා......

ආදී වශයෙන් ලියල තිබුණෙ පෑන කෝට් එකේ මැහුමක් අස්සට ගිහිල්ල තිබිල....හැබැයි ක්ලිප් එක විතරයි  තිබිල තියෙන්නෙ පෑන හැලිලලු.

ඒ කෝට් එක ඩ්‍රයික්ලීන් කරන්න මම කෙනට් වීදියෙ තියෙන ලොන්ඩරියටත් දුන්න...හැකිනම් එතනටත් ගිහින් බලන්න...

කියලත් ඉල්ලීමක් කරල තිබුණා.

එපා යන්න ඔය කියන කියන තැන්වලට...

බිරිඳ සැරදැම්මා....

ඔයා හොරෙක් නෙවෙයි කියල දෙයියො පෙන්නල දුන්නා....ඔයාට කරපු අපහාසෙට දඬුවමක් හැටියට තමයි පෑනෙ කඳ නැතිකරල ක්ලිප් එක ඉතුරුකරල තියෙන්නෙ....

බිරිඳ තීන්දුව දුන්නා.

බිරිඳ මොනව කිව්වත් මම ගිහින් ලොන්ඩරියෙනුත් අහල බැලුවා...ඒ මිනිස්සු හිනාවුණා..දවසකට ඇඳුම් සිය ගානක් අපි හෝදනව මදිනව පෑනක් කොහොම හොයන්නද කියල.

 සිද්දිය එතනින් ඉවර වුණාට එතුමා ඊට පස්සෙ මගෙත් එක්ක දැඩි මිත්‍රකමක් ඇතිකර ගත්ත.

මම ලියනකොට සිංහල භාෂාවෙ අක්ෂර වින්‍යාසය ගැන ව්‍යාකරණ ගැන සැකමුසු තැන්වල සැක හැර ගන්නෙ එතුමන්ට ටෙලිපෝන් කරල.

මම එක්සත් ජනපදයෙ රාජකාරි කරද්දි එතුමගෙ උපන් දිනයකට කතාකරල සුබ පැතුව...මගෙ ලිපිනය ඉල්ලගත්තු එතුමා තමන්ගෙ අලුත්ම පොතේ පිටපතක් මට තැපෑලෙන් එවල තිබුණෙ තැපැල් ගාස්තුව හැටියට රුපියල් දෙදහස් ගණනක් ගෙවමින්.

අයි ටී එන් එකේ එතුමත් එක්ක කරපු සම්මුඛ සාකච්ජාවකදී ලොව වටා ඉන්න එතුමන්ගෙ පාඨකයන් ගැන කියද්දි පොතේ තැපැල් ගාස්තුව ගැනත් එතුමන් මතක් කරල තිබුණා මගෙ නමත් කියල.

ඒක අහගෙන හිටපු යාලුවන්ගෙන් මට සෑහෙන මඩ තොගයකුත් වැදුණා.

දැනුත් මම ඉඳහිට එතුමට කතාකරල දුක සැප අහනව....මගෙ නම කිව්වාම කවුද........කියල මතක් කරගන්න හදනකොටම මම....

මේ පෑන් හොරා කතා කරන්නෙ කියනව......

එතකොට නං ටිකක් කේන්ති යනව...ඇයි එහෙම කියන්නෙ ඒ පෑන හම්බ වුණානෙ.... කියල කියනව.

 ලංකාවට ආපුවාම එතුමව බලන්න එන්න කියල කතාකරන හැමදාම කියනව...දැන්නම් ඇඳෙන් නැගිටින්නවත් බෑ.

මේ සිද්දියට පස්සෙ එතුමන් තම ජීවිත අත්දැකීම් ගැන පොත් කීපයක්ම ලියල පළකලා.....මම හිතුවා මේ කතාව ඔය එක පොතක හරි ලියයි කියල...ම්ම්හ්හ්  ලිව්වෙ නෑනෙ.....ඒ නිසා ඔන්න මම ලියල තිබ්බ.

ගිය දවසක යන්න ඕනැ එතුමන්ව බලල එන්න.