Saturday, December 27, 2025
Monday, December 1, 2025
පළතුරු,කුණු මාලු සමග මාදුවාගේ කොටු පැනීම.
photo. google images
මාදුවා දැන් පළතුරු විකිණීම අතහැර රස්සාවක් කරයි. ඒත් පළතුරු බොන එක නවත්වා නැත. උගේ යාලුවා වන බෙරයාත් සමග උදේම ෂොට් එකක් දාගනී. කලින් නම් මාදුවා පළතුරු පොට් එකට ගොස් බඩු අරගෙන එයි. නමුත් වැඩේ පොලිසියට මාට්ටු වූ පසු මාදුවා පළතුරු ගෙනෙන්නට යන්නේ නැත. ඒ වෙනුවට පළතුරු විකුණන පොර බඩු පැකට් අරගෙන සයිකලෙන් උදේම මාදුවලෑ හන්දියට එයි. ඌ එනතුරු නොඉවසිල්ලෙන් බෙල්ල දිගු කරගෙන බලා සිටින කීප දෙනෙක් හන්දියේ සිටිනු උදේට දැකගත හැක. ටික කලක් මේ වැඩේ කරගෙන යද්දී අපේ යාලුවන් කීප දෙනෙක් එකතුවී පළතුරු කාරයාට තර්ජනය කළ පසු උගේ ගමන නැවතුනි. ඊට පසු මාදුවාද උගේ යාලුවන් දෙදෙනාද පළතුරු කාරයා එන තැනට පා ගමනින්ම යනු දකින්නට ලැබුණි.
ත්‍රීවීල් හයර් කරන කාලේ මාදුවා උදේ පාන්දරම මාලු ලෝඩ් එකක් පටවාගෙන ගාමන්ට් එකකට යයි. ඒ ගාමන්ට් එකේ වැඩ කරන කෙල්ලන්ට දවල්ට කන්න දෙන කෑම එකට උයන්නටය. මාලු ගෙනියන ගමන් ඌ කිලෝ එකක් හමාරක් පන්නයි. ඒක විකුණා උදේට බොයි. සමහර වෙලාවට මටත් විකුණන්න හදයි. කොච්චර ලාබ උනත් ඒවා මාකට් එකේ විකුණන පරණ කෙලවල්ලන්ය. සත්තුන්ට දෙන්නවත් හොඳ නැතිය. අපේ මාකට් එකේ විකුණන තරමක් පරණ මාලුය. ගොඩක් වෙලාවට ඒවා නරක් වෙලාය. මාලු විකුණන උන් මොන මොනව හෝ කියා නරක් වෙච්ච මාලු ගෑණුන්ගේ ඇඟේ ගසයි. ගෙදර ගෙනිහින් උයල කන්න බැලූවිට අල්ලන අතද කසන්නට ගනී. පෙළක් වෙලාවට ගෑණු මාලු හට්ටි පිටින් උස්සගෙන ආපහු මාකට් එකට ගෙනෙන බව කියන්නේ මාදුවාය. මාලු කාරයෝ ටික ගෑනුන්ට මොනව හරි කියා ෂේප් කර පිටත් කර හැර මාලු අල්ලපු අතත් කසනවා කියා හිනාවෙන බවද කියන්නේ මාදුවාය. ඉතිං දැන දැනම ඔය කුණු මාලු ගන්නට බැරිය. මාකට් එකේ මාලු විකුණන උන් කොච්චර දැන අඳුනනවා වුනත් මූණ බලාගෙන දෙන්නෙම කුණු මාලුය. ඊට පස්සෙ කාලෙක ධීවර සංස්තාවෙන් ටවුමේ මාලු වෙළඳසැලක් විවෘත කරන්න යනවිට මාලු විකුණන කට්ටිය ඒකට විරුද්ධව ලොකු උද්ඝෝෂණයක් කලේ ඒ වැඩෙන් උන්ට කෙලවෙන බව හොඳින් දන්නා නිසාය. නමුත් ඒකෙන් වැඩක් උනේ නැති නිසා අද ටවුමේ මාලු කෑල්ලක් ගන්නට තැනක් තිබේ.
මාදුවාගේ ලදරං ෆෝන් එක කැඩිලා හදන්නට බැරුව තැන තැන කිය කියා හිටියේ කොහොම හරි ෆෝන් එකක් හොයාගන්නට ඕනෑය කියලාය. තියෙනවා නම් පරණ ෆෝන් එකක් දෙන්න කියා මගෙනුත් ඉල්ලුවේය. ඒ මම අලුත් ෆෝන් එකක් ගන්න හිතමින් සිටි කාලයේය. මම අලුත් එකක් ගත්තාම දැන් තියෙන එක උඹට දෙන්නම් කියා මම කීවෙමි. එදා ඉඳන් කොයි වෙලේ බැලුවත් මාදුවා අපේ ගේ ඉස්සරහය. පේන්න හිටියොත් එහෙම ෆෝන් එක ගත්තාදැයි අසයි. කෙසේ හෝ අන්තිමට මම අලුත් ෆෝන් එකක් ගත්තෙමි. එදා සිට මාදුවා අපේ ගෙදර පදිංචි වෙලා වගේය. මගේ කම්මැලිකමට පරණ ෆෝන් එකේ තිබුණු දත්ත ටික අලුත් එකට මාරු කරගන්නට තවත් මාසයක් විතර ගතවිය. ඒ කාලය මාදුවා ගතකලේ උපරිම අසහනයකිනි.
"ඔය නොම්මර ටිකයි පින්තුර ටිකයි කොපි කරගන්න එක එච්චර දෙයක්ද? ඒකට පැය කාලක් වත් යන්නෑ කියල අපේ කෙල්ලත් කිව්වා."
විටෙක මාදුවා සිය අසහනය පිටකරයි. කොහොමහරි අන්තිමේ ෆෝන් එක දෙන දවස වනවිට මාදුවා මට ෆෝන් ගැන මා නොදත් බොහෝ දේවල් උගන්වා තිබුනි. පෝන් එක ලැබුනු මාදුවා සතුටු උනේ ඔටුන්නක් පැලඳ ගත් රජෙක් වගේය. හැම තැනම ගිහින් පෝන් එකේ වරුණාව කියයි.
"මේ බලපං, මේක හීරිලාවත් නෑනෙ"
කොහොමත් ඒ පෝන් එක තිබුණේ ඉතාම හොඳ තත්ත්වයෙනි. මම පෝන් එක මාරු කළේ මට මදි නිසා මිසක පෝන් එකේ අවුලක් නිසා නොවේ. ඒකේ කැමරාවෙන් ගත් පොටෝ වල කොලිටියට මාදුවා වශී විය. සතියක් විතර යනතුරු ඌ හැම වැඩක්ම පැත්තකට දමා තැන තැන ගොස් පින්තූර ගනිමින් කාලය ගතකළේය. වැඩ කරන පැක්ටරියේද පින්තූර ගන්නට ගොස් කාර්‍යාලයට කැඳවා අවවාද කර ඇත.
දවසක් මාදුවා මට හමුවුනු වෙලේ ඌ කිව්වේ ලඟදිම බෝතලයකුත් අරගෙන මාව හම්බවෙන්න එන බවය. ඒ උගේ කෘතගුණය පලකිරීමටයි. නමුත් මාස ගණනක් ගතවන තුරුම පොරොන්දුව ඉටු කර ගන්නට නොලැබීම මාදුවාට සිතට දුක ගෙන දෙන කරුණක් විය. මට බෝතලය මතක නැති උනත් හමුවන හැම තැනකම මාදුවා ඒක මතක් කරයි. මේ දවස්වල ඇති මුදල් අපහසුකම් කියයි. සමහරවිට පොකැට් එක ඇද ඒටීඑම් රිසිට් එකක් පෙන්වයි. මම බෝතලයක් නොඉල්ලූ බවත් බෝතලය ලැබුණත් නොලැබුණත් මට ප්‍රශ්නයක් නැති බවත් මම ඌට කිව්වෙමි. පසුබසින්නේ මාදුවා නොවේ. ඔන්න දවසක අපි හත් අට දෙනෙක් පිට්ටනිය ලඟ කතා කරමින් ඉද්දී මාදුවා උගේ ට්‍රේල් බයිසිකලයේ එතැනට ආවේය.
කියන්න අමතක විය මාදුවාට දැන් ට්‍රේලක් තිබේ. උගේ ත්‍රී වීල් එක විකුණලාද නොදනිමි, කාලෙකින් ඒකද දැක්කේ නැත. මාදුවා දැන් හැම තැනම රවුම් ගසන්නේ ට්‍රේලෙනි. බොන්නට යන්නේද, පළතුරු ගෙනෙන්නට යන්නේද,වැඩට යන්නේද ආදී වශයෙන් ට්‍රේලෙන් මූ නොයන තැනක් නැත. හැබැයි මූට ලැයිසන් නැත, ට්‍රේලට ලයිසන් ඉන්ෂුවරන්ස් මොකුත් නැත. පොලිසියෙන් අල්ලනවාත් ඉවරයක් නැත. බීල ගිහින් උසාවි දානවාද දඩ ගහනවාද ඉවරයක් නැත. හැබැයි ආයෙම පහුවදා සිට ට්‍රේලෙන් රවුම් ගහයි. මේ ලඟදි දවසක හොඳටම බීගෙන ගියා විතරක් නෙවෙයි පළතුරුත් එක්ක පොලිසියට මාට්ටු විය. ඊට දවස් කීපෙකට පස්සෙ පොලිසියෙන් ෂේප් එකක් දාගන්න යනවා කියා ගියේය. ආපහු ඇවිත් කිව්වේ බීල ට්‍රේලෙ ගිය එක වෙනුවට ලයිසන් ඉන්ෂුරන්ස් නැතුව ගිය හැටියට හදාගත්ත බවයි.
ඉතින් මාදුවා උගේ ට්‍රේලෙ එනවිට මා දැක ලඟට ඇවිත් කතා කලේය.
"ආ අද අර වැඩේ කරන්න පුලුවන්. අද මගෙ අතේ සල්ලි තියනවා" යි කියමින් බෝතලයක් ගේන්න හදයි. මාදුවා බෝතලයක් ගෙනාවොත් එතන ඉන්න හත් අට දෙනාට කණේ වක්කරගන්නවත් මදිය. උන් ගේන්න සල්ලි දෙන්නෙත් නැත. දෙන්න සල්ලි ඇත්තෙත් නැත. තියෙන එවුන් දෙන්නෙත් නැත. අන්තිමට ඒකටත් කරගහන්න වෙන්නේ මටමය. මාදුවාට මේවා තේරෙන්නෙ නැත.
ඔය සල්ලි එකතුකර බෝතල් ගෙනෙන එක ගැන කප් ගසා ඇති එකෙක් ඔය සැට් එකේ ඇත. හැමදාම බොන්නට සෙට් උනොත් සල්ලි එකතු කරන්නේ ඌය. සමහරු දාහක් දෙති තවත් එවුන් පන්සීයක් දෙති. තවත් අය සීයෙ කොළ දෙකක් සමහරු පණහත් දික්කරන වෙලාවල් හිඟ නැත. එකතු කරන එකාට ඒවායේ ගාණක් නැත. දෙන සල්ලි ඔක්කොම ගනී, විස්සක් දුන්නොත් ඒකත් ගනී. අන්තිමට උගෙ අතින් සතපහක් වත් නොදා බෝතලුත්, බයිටුත්, ඌට සිගරැටුත් ගෙන්නාගෙන කණ පැලෙන්නටම නොමිලේ බොයි. බෝතල් ඉවර වෙනකොට ආයෙම ගෙන්නයි, මෝරා වෙන්නේ කවුරුහරි එතන ඉන්න අහිංසකයෙකි.
මාදුවාට බීගත්තාම මෙලෝ කල්ලිතාවක් නැත. ගොඩක් වෙලාවට ඌට මෝල් වෙයි. ඒ වෙලාවට ඉතිං අදින්නේම සබ්ජෙක්ට් එකටය. දවසක් මරු වැඩක් විය. ආ, ඊට කලින් කියන්නට කතාවක් ඇත. ඒ මාදුවාගේ අවයවයේ සයිස් එක ගැනය. කිව්වට ඇස්වහක් කටවහක් නැත ඒක නම් නොම්බර එකේ අවයවයකි. බබා ඇතින්න එහෙම ඒ කාලේ මාදුවාට වශී වෙලා හිටියේ ඒකෙන් කාපු නිසාය. ඒ කතාව මම කලිනුත් ලියා ඇත. වැඩේ පටන් ගත්තේ අපි ගොයම් පාගන්නට ගිය දවසකය. අපි කිව්වේ මමත් සුද්දාත් මාදුවාත්ය. අපි මායක්කලෑ වත්තේ ගොයම් පාගනවාට එරෙහිව බබා ඇතින්න ගේම ඉල්ලුවාය. මමත් හරහට කතා කරගෙනම හිටියෙමි. සුද්දා මාව පැත්තකට කර බබා ඇතින්නව ෂේප් කර ගත්තේය. ගොයම් පාගා ඉවරවී ආපහු එන ටිකට සුද්දා මාදුවාත් එක්ක බබා ඇතින්නව ටෝක් කරගෙන තිබිණි. දවස් දෙකකට පස්සේ මුං දෙන්නා බබා ඇතින්නව ඉස්සුවෝය. ඉස්සුවේ සුද්දාගේ ගෙදරටයි. ඒ සුද්දා පවුල දාලා ගිහින් ගෙදර තනියම හිටපු කාලයයි. බබා ඇතින්න හාපුරා කියා මාදුවාගෙන් කෑවේ එදාය. කාපු කෑම කොච්චරද කිව්වොත් බබා ඇතින්න මාදුවාට වශී වුනාය. ඊට පස්සේ මාසෙකට දෙතුන් සැරයක් බබා ඇතින්නට ඉවසා ගන්න බැරි දරුණු බඩේ අමාරුවක් හැදෙයි. බඩේ අමාරුව වැඩිවී බබා ඇතින්න බෙරිහන් දෙන්නට පටන් ගනී.
"බුදු අම්මෝ, මට ඉන්න බැරියෝ, මාදුවට එන්න කියපියෝ!!"
මාදුවාට එන්න කියන්නේ ත්‍රීවීල් එකේ බේත් ගන්න යන්නටය. කොහොමහරි මාදුවා ඇවිත් බබා ඇතින්නව ත්‍රීවීලයේ පටවාගෙන යයි. බේත් දී ආපහු මාදුවා එක්ක එද්දී අර තිබුන අමාරු මොකුත් නැත. හිනාවෙවී එයි. ඇඟේ මහන්සිය යන්නට මාදුවාට අරක්කුත් අරගෙන දෙයි. ටික දවසකින් ආයෙම ඒ ලෙඩේම හැදෙයි. ඔය මම කිව්වේ අවුරුදු දහයකට පහලොවකට පමණ පෙර වෙච්චි කතාවකි. දැන් බබා ඇතින්න ඉන්නවද මැරිලාද නොදනිමි. මුගේ වැඩ කටයුතු ගෙදරටත් ආරංචි නොවී තියෙන්නේ නැත. බීමත්කමත් වලත්ත වැඩත් නිසා ඌව ගෙදරින් අතඇරලා වගේය. මේ නිසාම මාදුවා ජීවත් වන්නේ දැඩි පොර සෝකයකිනි. කොටුවක් පැනගන්නට ක්‍රමයක් සොයමින් සිටිනා මාදුවාට රස්සාවට යන්නත් බෑ බෑ වගේ හිතෙයි. රස්සාවට නොගියොත් අතට මුදලක් එන එකත් නවතී.
මාදුවා මනුස්සයෙක් වගේ හිටපු කාලයේ ඌට ටෝක් උන කෙල්ලෙක් සිටී. ඒ වෙනින් කවුරුවත් නොව උගේ එකට බොන හොඳම යාලුවාගේ පවුලය. ඉන්නෙත් ගෙවල් ළඟමය. ටෝක් වී සිටි කාලයේ දවසක් මාදුවා මේ කෙල්ලට වචනයක් දැම්මේ නිකමට වගේය. ඒක වැඩ කළේය. යාලුවා ගෙදර නැති රැයක මූට එන්න යැයි කොළ එළිය පත්තු විය. නියමිත දිනයේ මාදුවා කෙල්ල බලන්නට රාත්‍රියේ ගියේය. ගියේ හිස් අතින් නොව කෙල්ලට තෑග්ගකුත් අරගෙනය. තෑග්ග චිකන් කොත්තුවකි. ගේ ඇතුළට ගොස් සැටියේ තුරුල් වී හිඳගෙන චිකන් කොත්තු කවාගනිමින් සිටි ජෝඩුවට එකවරම ගැහුවේ නොසිතූ හෙණයකි. කෙල්ලගේ ගෙට අල්ලපු වැටේ ඉන්නා ඒකිගේ අම්මා එකපාරටම දොර ඇරගෙන ඇතුල්විය. කෙල්ල තනියම ඉන්න නිසා ආවද නැත්නම් මාදුවා ආපු එක දැක ආවාදැයි නොදනිතත් වැඩේ සිද්දවී මාදුවා තක්කු මුක්කු විය. කොහොමහරි එදා මාදුවාට පසුබැස යන්නට විය.
ඊට පස්සෙ දවසක් දා හොඳටම බීගත් මාදුවාට මෝල් අමාරුව තදේටම ඇතිවිය. ඌට එක්වරම මතක් උනේ උගේ කෑල්ලවය. කෙල්ලගේ අම්මා මාස කීපයකට කලින් පරලොව ගිහින් නිසා මෙදා සැරේ ඒ කරදරයත් නැතිය. දෙසැරයක් නොහිතා මාදුවා කෙල්ල බලන්න යන්නට පිටත් උනේය. හැබැයි මෙදා සැරේ කලින් දාගත් ඇපොයින්මන්ට් වත් කෙල්ලට තෑගිවත් මොකුත් නැත. රා බීපු නාලාගිරියා මෙන් කෙලින්ම ගෙදරට කඩා වැදුනේය. කෙල්ලට හොල්මන්ද පොල්කොළ උනේ එකපාරට මාදුවා ගෙට පැන්න එකටය. කිසිම එකඟතාවක් හෝ දැනුම් දීමක් නොමැතිව මාදුවා ආපු විදිහ ගැන කෙල්ලට ඇතිවුනේ අප්‍රසාදයකි. කෙල්ල ඌට හොඳින් කිව්වේ මේ වෙලාවේ ඌට මුහුණ දෙන්නට බලාපොරොත්තුවකින් නොසිටි නිසා ආපහු යන්නට කියලාය. නමුත් මාදුවා හිටියේ ඒ වගේ ඉල්ලීම් වලට කන් දෙන තත්ත්වයක නොවේ. ඌ කෙලින්ම තර්ජනය කරන්නට විය. කෙල්ලට තද උනේ මාදුවාගේ හිතුවක්කාර කමටය. කෙල්ලත් තරමක් නහට නාහන එකියකි. හොඳින් බැරිනම් නරකින් කියා ගෙයි තිබුණ යකඩ පොල්ලක් ගත් ඇය මාදුවාගේ කකුල් වලට පළමු ප්‍රහාරය එල්ල කළාය. කෙලින් ඉන්නවත් බැරි ගණනට බීමත්ව සිටි මාදුවාට පළමු ප්‍රහාරයම ඔරොත්තු නොදෙන එකක් විය. "බුදු අම්මෝ" යි මරහඬ තලා දුවන්නට සැරසෙන මාදුවාගේ පිට හරහට දෙවැනි ප්‍රහාරය පතිත විය. ඒත් සමගම අඩපන වූ මාදුවා කෙලින්ම බිම පතිත විය. මාදුවාව එලියට ඇද දැමූ කෙල්ල දොර වසා දැමුවාය.
දවස් කිහිපයක් එකතැන්ව සිටි මාදුවාට උගේ වැඩපොලෙන් හදිසි අනතුරු නිවාඩු අරන් දෙන්නට උගේ යාලුවන් කීප දෙනෙක් කටයුතු කලහ.
Thursday, September 18, 2025
නිහඬතාව, හැලපැට්ටාගේ වගතුග, දික්ඔය සිට අක්කරේපත්තුවට, හැක්වීම සහ අලුතෙන් ලැබුණු තෑග්ග.
![]() |
අපේ බ්ලොග් ලිවීම නැත්තටම නැතිවී ගොසින් දැන් අවුරුද්දකටත් කිට්ටුවේගන එයි. ඒ කියන්නේ මම අන්තිමට පෝස්ටුවක් දැම්මේ පහුගිය අවුරුද්දේ දෙසැම්බර්ය.ඒ නිසාවෙන් අදත් එදත් අතර කාලය තුල සිද්ද වුනු දේ ටිකක් කතාකලොත් හොඳයි කියා සිතේ.
පහුගිය දෙසැම්බරයේ පෝස්ටුව දැම්මායින් පසු මම හිතා සිටියේ දිගටම ලියන්නටය. නමුත් අවාසනාවකට මෙන් ලෙඩ දිදී තිබුනු ලැප්ටොපය අවසන් ගමන් ගියේ මගේ බලාපොරොත්තු සුන් කර ලමිනි, අවුරුදු හය හතක් පරණ එකක් වූ ඒ ලැප්ටොප් එක ආපහු හදනවා නම් ලොකු මුදලක් යන බවත් එහෙම හැදුවත් වැඩි කලක් වැඩ ගන්නට බැරි බවත් කියූ කොම්පියුටර් කාර්මිකයා නොකියා කියන්නේ හදලා වැඩක් නැති බව යැයි මට තේරුම් ගියේය. ඉතින් අකැමැත්තෙන් වුවත් බ්ලොග් ලිවීමට සමුදෙන්නට සිදුවිය. පෝන් එකෙන් බ්ලොග් බලන්නට හැකි උනත් ලියන්නට බැරිය. ඉතින් ඔය විදියට ඊයේ වෙනතුරු කටයුතු සිදුවිය.
හැලපැට්ටා ගැනත් යමක් නොකිව්වොත් පෝස්ටුවේ අග මුල ගැට ගහගන්නට බැරිය. දික්ඔය සනීපදායක සීතලේ වැඩ කරමින් සිටි හැලපැට්ටා ගිය අවුරුද්දේ අගෝස්තු මාසයේ සිට ගිණිගහන අව් රශ්මිය ඇති අක්කරේපත්තුවට මාරු කළේය. තනියෙන් නෙවෙයි යුවලමය. කියන්නට අමතක විය හැලපැට්ටා දැන් තනියම නොව ජෝඩුවකි. ඌ විවාහ උනේ ගිය අවුරුද්දේ මුලය. ඉතින් දෙන්නාම දික්ඔය සිට අක්කරේපත්තුවට පැමිණ පදිංචි වූහ. ඒ නිසාම අපි දෙන්නාටත් දෙතුන් සැරයක්ම අක්කරේපත්තු යන්නට ලැබිණි. මෙහෙම ඉද්දී ගිය අවුරුද්දේ දෙසැම්බර් වල හැලපැට්ටාගේ බිරිඳ(තවම බ්ලොග් සහෘදයන් නමක් දමා නැති නිසා නමක් නැත) අසනීප විය. රෝගය පපුවේ සෙම වැනි තත්ත්වයකි. අවටපිට බහුලව ඇති දුහුවිලි නිසා විය හැකිය. කෙසේ හෝ රෝහලේ නවත්වා බේත් දුන්නද අඩුවක් නැති තැන නිව්මෝනියා තත්ත්වයෙන් කොලඹට මාරු කරන්නට යෙදුනි. දෙසැම්බර් අග අසනීප වූ රෝගියාට ජනවාරි අග වෙනතුරු කොලඹ මහ රෝහලේ දැඩි සත්කාර ඒකක තුනක නැවතී ප්‍රතිකාර ගන්නට තරම් රෝගය දරුණු විය. බොහොම අමාරුවෙන් සනීප කරගත් පසු රෝහලෙන් අවවාද කළේ දුර ගමන් වලිනුත් දුහුවිලි සහිත පරිසරයෙනුත් ඈත්වී සිටින ලෙසය. දැන් ඉතින් ආපසු අක්කරේපත්තුවට යන්නට බැරිය. බොහොම අමාරුවෙන් තත්ත්වය සෞඛ්‍ය අමාත්‍යාංශයට කරුණු කාරණා පැහැදිලි කළ පසු මාස හතරක තාවකාලික මාරුවක් කොලඹ මහ රෝහලට ලැබුණි.
දැන් හැලපැට්ටා අක්කරේපත්තුවේ තට්ට තනියමය. මාසෙකට දෙවතාවක් පමණ ගෙදර එයි. මාස දෙක තුනකට සැරයක් අපි දෙන්නාත් එහෙ ගිහින් සතියක් දෙකක් නැවතී ගේ සුද්දකර හැලපැට්ටාට කෑම හදාදී ආපසු ඒම සිරිතක් කර ගත්තෙමු. අක්කරේපත්තුවට යන එකම පට්ට කට්ටකි. එය පැය 10 ක පමණ ගමනකි. උදේ හතට මඩකලපු කෝච්චියට නැග මඩකලපුවට යන විට හවස හතර පහුවෙයි. මඩකලපුවෙන් බස් එක අක්කරේපත්තුවට යනවිට හයහමාරත් පහුවෙයි. ආපසු ඒම නම් කිසි අවුලක් නැත, රෑ අටට කොළඹ සුඛෝපභෝගී ඒසී බස් එකට නැගගත් විට පාන්දර තුනහමාරට පමණ නිට්ටඹුවෙන් බැසගත හැක. බස් එක කුරුණෑගලින් හයිවේ නොදා ආවොත් හතර විතර වෙයි. මගක් එද්දී එන නිදිමතට නින්ද ගියවිට ආපහු ඇහැරෙන්නේ රෑ දොළහට විතර කදුරුවෙල හරියේ කෑමට නැවැත්තුව විටය. ආයෙම යන නින්ද කැඩෙන්නේ නිට්ටඹුවේදී කොන්දොස්තර ඇහැරවන විටය. පැය හය හතක ගමනක් ආවද කියාවත් නොදැනේ.
අක්කරේපත්තුව මරු ටවුමකි. රශ්නය ඇරෙන්නට අනෙක් හැම අතින්ම, කෑම බීම අතින් ඉන්න මිනිස්සු අතින් බැලුවම සුපිරිය. ඔනෑතරම් අලුත් මස් මාලු අපි මෙහෙ ගන්න ගණන් වලට සාපේක්ශව හරි අඩුවට ගත හැක. කඩ කෑමද ඒවගේමය. හැලපැට්ටා පදිංචිවී සිටියේ ටවුමේමය. හරියටම කිව්වොත් පල්ලිය ලඟය. ගෙවල් අයිතිකාරයා වන නිසාම් වයස නැතත් වයසයි වගේ පේන ලොකු බඩක් ඇති හොඳ මනුස්සයෙකි. පල්ලිය ලඟ ඇති බිල්ඩිම ඔහුගේය. බිල්ඩිමේ පහල තට්ටුව හාඩ්වෙයාර් එකකට සහ තව කඩ කීපයකට බදු දී තිබේ. උඩ තට්ටුව ගෙවල් දෙකකි. එකක හැලපැට්ටාය, අනිකේ තවත් දොස්තර කොල්ලෙකි. කොච්චර ඉල්ලගෙන ආවත් දොස්තරලාට ඇරෙන්නට වෙන කාටවත් ඒ ගෙවල් දෙක කුලියට නොදෙන බව නිසාම් කියයි. ඊට අමතරව නිසාම් කුඹුරු වවයි.
"මටත් කුඹුරු ටිකක් තියනවා" දවසක් නිසාම් මගෙත් එක්ක කතා කරමින් ඉද්දී කීවේය.
"කොච්චරක්ද?" මම ඇසුවේ කුඹුරු සබ්ජෙක්ට් එක මගෙත් ප්‍රියතම එකක් නිසාය.
"පොඩ්ඩයි, අක්කර විස්සක් විතර"
"හොඳ පොඩ්ඩ"
"ඔව් පොඩ්ඩ තමයි, මෙහෙ අයට අක්කර සීය හමාර තියනවා" නිසාම් කීවේය.
අක්කරපත්තුවේ සිට කල්මුණේට යද්දී පාර දෙපැත්තේ පේන තෙක් මානයේ විශාල වෙල් යායකි. වෙල් යාය පහුකල ගමන් විවිධ නම්වලින් ඇති හාල් මෝල් ය. ගොයම් කපන කාලයට අස්වැන්න පාරේ වේලන දර්ශනය අක්කරපත්තුවේ සිට සම්මන්තුරේට යනතුරු පාර අයිනේ දැක බලාගත හැක. රත්න සහල් මෝලේ විශාල කන්ටේනර් ලොරි පාර අයිනේ නවත්වා වී කිරයි. සම්මන්තුරේ හරියේද අනික් පැත්තට පොතුවිල් පහුකරගෙන ආරුගම්බේට යනතුරුම වී කිරනවා මම දැක්කේ රත්න ලොරි විතරය. නිසාම්ලා වැනි කුඹුරු හිමියන් වෙල්වල දඟලන්නේ නැත. වෙලට යන්නේ වී විකුණා සල්ලි ගන්නට විතරය. ඉතුරු වැඩ සියල්ල කරන්නේ කුඹුර වැඩ කරන්නට දී ඇති ගොවියාය.
අක්කරේපත්තුවට ගිහින් ඉද්දි අවම වශයෙන් මම දවසකට තුන් සැරයක් වත් ටවුමට යමි. උදේම යන්නේ උදේට කෑම ගේන්නය. උදේට කන්නට කිරි ආප්ප හෙවත් පාල් අප්පම් ද වණ්ඩු ද තෝසේ ද ඉඳිආප්පද පරෝටා සහ පොල් රොටීද පිට්ටු හෙවත් පුට්ටුද ඇත. අපි වඩා කැමති පාල් ආප්පම් සහ වණ්ඩු වලටය. වණ්ඩු යනු අපි මෙහෙ කන වණ්ඩු නොවේ. ලා පැණි රසකුත් එක්ක ඇති මේ වණ්ඩුව හරියටම අණ්ඩ නැති සුදුපාට කෝප්පයක් මුනින් අතට නැමුවා මෙනි. අනික පාල් ආප්පම්ය, හරියටම සුදු ආප්පය වුණත් බොහෝ කිරි රසය. දෙකක් එකට අලවා ඇත. එතකොට එක කියන්නේ දෙකකි. මම මුලින්ම මේවා ගද්දී දහයක් ඉල්ලා ගෙනාවිට විස්සක් ලැබී දවසම කිරි ආප්ප කන්නට සිදුවිය. උදේ ගමනින් පසු දවල් දහයට එකොළහට පමණ ආයෙම ටවුමට යන්නේ දවල්ට උයන්නට එළවලු මාලු හෝ මස් ගෙනෙන්නටය. හවස බොහෝවිට යැවෙන්නේ මොකුත් ගෙදර නැතිනම් පානයට අරගෙන එන්නටය. ඒ එන ගමන රෑකෑමටත් යමක්ගෙ නෙන්නට සිදුවෙන්නේ රෑටත් ගෙදර ඉවීමක් සිදු නොකරන බැවිනි.
මම ටවුමේ යනවිට බොහෝ දෙනෙක් මා දෙස බලන්නේ මම පිටස්තරයෙක් බව බැලූ බැල්මටම ඔවුන්ට පෙනීයන බැවිනි. සාමාන්‍යයෙන් එහේ උදවිය ටී ෂර්ට්, ෂෝට් ඇඳගෙන පාරට බසින්නේ නැත. මාත් එක්ක මුලින්ම හිතවත් උනේ කුකුල් මස් කඩේ කොල්ලාය. ඌ කඩේ ඉස්සරහ ඉඳගෙන සිටින අතර කුකුලන් රංචුවක් කඩේ ඇතුලේ වී ඇට ඇහිඳිමින් සිටිති. ඕඩරය ලැබුණු විට එකෙකුට ආගම කියා කටට වතුර ටිකක් වත්කර ෂොට් එක දෙනු ලැබේ. ඒ දර්ශනය බලන්නට මම අකමැති නිසා කොල්ලාට ඇඟිල්ලෙන් එක පෙන්නා මම මාකට් එකට යමි. ආපසු එන විට මස් ටික තරාදියට දමා ලෑස්ති කර තිබේ. හරක් මස් හෝ එළු මස් කඩවල ඒ ප්‍රශ්නය නොමැත. ඒවා රෙඩිලි ඇවේලබල්ය. ඌරු මස් කඩ කොහෙවත් නැති බව කියන්නට අවශ්‍ය නොවේ.
කඩේට ගිහින් මස් කිරවා ගන්නා අතරේ කොල්ලා මගෙත් එක්ක කතාවට වැටෙන්නේ උගේ කුතුහලය සංසිඳුවා ගන්නටය.
"අයියා කොහෙද ඉන්නෙ?"
"ම්ම් පල්ලිය ලඟ, නිසාම්ගෙ ගේ දන්නවද, අන්න ඒ ගෙදර උඩ තට්ටුවෙ" මම කියමි.
"ඔව් ඔව්, මෙහෙ මොකද කරන්නෙ?"
"පුතා බලන්න ආවෙ. ඒ ගෙදර පුතාල ඉන්නෙ"
"දිගටම ඉන්නවද?"
"නෑ නෑ සතියක් විතර ඉන්නවා"
මම දිගටම හිටියොත් උගේ බිස්නස් එකටත් හොඳ බව උපන්ගෙයි බිස්නස් කාරයන් වන උන් දනිති. රොටී ගන්නට හෝටලයකට ගියත් සල්ලි ගන්න එකා මගෙන් ඒ ප්‍රශ්නයම අසා විස්‍තර දැනගනී. සාමාන්‍යයෙන් ඒ තොරතුර වටේටම පැතිරී යන නිසා බොහෝ අය ඊට පසු මාව දැනගනී. වයසක මුස්ලිමුන් නිතරම පාහේ සිංහල කතාකළත් කොල්ලන්ට බොහෝවිට සිංහල බැරිය. විශේෂයෙන් කොල්ලන් ගණන් කියද්දි උන්ට සිංහලෙන් කියන්නට බැරිව හිරවී සිනාවෙමින් මා දෙස බලයි. "සොල්ලුංග තම්බි" කියා මම කියද්දී ඌ ටක් ගා ගණන දෙමලෙන් කියයි. සමහර කොල්ලන් එච්චර දඟලන්නේ නැතුව ගාන කැල්කියුලේටරයේ හදා මට පෙන්වා මුදල් ගනී.
ජූලි මාසය අන්තිමේ හැලපිත් මමත් හැලපැට්ටා බලන්නට ගියේ ඔහුට අගෝස්තු සිට කොලඹට මාරුවක් ලැබී ඇති නිසා ගෙයි බඩු අස්කරගෙන එක්ක එන්නටය. ගෙදර තිබුනේ බඩු ටිකක් උනත් අහුරන්නට කාඩ්බෝඩ් පෙට්ටි කීපයක් අවශ්‍ය වුනේය. පෙට්ටි කීපයක් ගන්නට තැනක් නිසාම්ගෙන් විපරම් කළෙමි.
"සල්ලිවලට ගන්න ඕන් නෑ, මගෙ ෆාමසියට බේත් එන පෙට්ටි තියනවා. මම හොයල දෙන්නම්" නිසාම් පොරොන්දු විය.
පෙට්ටි ගෙනෙන්නට නිසාම් මගෙත් එක්ක ෆාමසියට ගියේය. බෙහෙත් තොග බාන්නේ ගබඩාවකටය. ෆාමසියේ බේත් අඩුවෙන විට ගබඩාවෙන් බේත් ගනෙයි. ඒ සඳහා ගබඩාවේ කෙල්ලන් දෙන්නෙක් සිටී. උන්ට සිංහල තේරෙන්නෙ නැත.නිසාම් උන් එක්ක කතාකර පෙට්ටි ඉල්ලා ගත්තේය. අපි පෙට්ටිත් අරගෙන ආපහු එන ගමනේ නිසාම්ගෙන් මෙදා සැරේ අස්වැන්න ගැන ඇහුවෙමි.
"මට හොඳයි, මේ සැරේ වී මිටියක් හත්දාහ ගානෙ වික්කා" නිසාම් කීවේය.
ටවුමේ සිට ඔරලෝසු කණුව පසුකර අම්පාර පැත්තට ටික දුරක් යද්දී වයින් ස්ටෝස් එක පිහිටා තිබේ. බියර් එකක්වත් බොන්නට කියා මම වයින් ස්ටොස් එකට ගියෙමි. අක්කරපත්තුව සහමුලින්ම වාගේ මුස්ලිම් ටවුමක් නිසා බාර් එක පාලුවට ගොස් ඇතැයි මම සිතා සිටියත් බාර් එකේ තිබුනු පෝලිම් දෙකේම සෙනග පොදිකමින් සිටියහ. පහුවදා උදේ හැලපිගේ නංගී ඇතුලු තුන්දෙනා පැමිණුන අතර එදා රෑ බස් එකෙන් මම ගෙදර ආවෙමි. අනික් කට්ටිය එදා නැවතී පහුවදා උදෙන් කාර් එකෙන් පිටත් වීමට නියමිත විය.
හැලපැට්ටා අගෝස්තු මුල නව සේවා ස්ථානයට වාර්තා කළේය. අක්කරේපත්තුවේ ඉද්දී ඌ අඩුම වශයෙන් මාසෙට දෙවතාවක් ගෙදර ඇවිත් ගියේය. කොලඹට ආ පසු ගෙදර එන්නෙම නැත. එන්නට නිවාඩු නැත කියයි. සෙනසුරාදාත් වැඩ කියයි. මගේ තර්ජනාත්මක ඉල්ලීමකට අනුව ලැප්ටොපය එකලස් කර දෙන්නට ගිය සතියේ ආවේය.
තව කතාවක් කියන්නට අමතක විය. පහුගිය ජනවාරි මාසේ මගේ යාලුවෙක්ගේ මෙසේජ් එකක් මෙසෙන්ජර් වලට ආ අතර මම එයට ප්‍රතිචාර දැක්වූයෙමි. ඒ ටිකකින් මට මතක් වුණේ එය යම්කිසි හැකරෙකුගෙන් ලැබුනු එකක් වෙන්නට බැරිද කියාය. ඒ නිසා ඊට පසු ලැබුනු ඉල්ලීම් වලට ප්‍රතිචාර නොදක්වා සද්ද නැතුව සිටියෙමි.මොහොතකින් ඒ කාලකණ්නි බල්ලා මගේ එෆ්බී එක හැක් කළේය. ටික දවසකින් එය නැවත යථා තත්වයට පත්කර ගත්තත් එෆ්බී ආයතනය මට තහනමක් දමා තිබුණේ එහි නීති වලට පටහැනිව පෝස්ට් දමනවා කියලාය. හැකරාගේ වැඩ නිසා මට දවස් 180 ක තහනමක් වැටුණි. ආපසු පහුගිය මාසේ එෆ්බී එක හදාගත්තත් ඒ අලුත් එකක් විදියට නිසා මගේ අවුරුදු දහයක පමණ තිබූ පැරණි වටිනා පින්තූර ඔක්කොම නැතිවිය.
ඉතින් මේ මාසයේ හැලපිත් හැලපැට්ටාත් එකතුව මට අලුත් ලැප්ටොප් එකක් අරගෙන දුන්නේ මම ලියන්නට නැතුව කම්මැලි කමින් ඉන්නවා කියලාය.ඔක්කොම පරණ වැඩකෑලි ටික හැලපැට්ටා ආපහු දමා දුන්නේ මගේ ඉල්ලීමටය. මම ලියන්නට ගත්‍තේ එහෙමය.
ඉතින් මගේ බ්ලොග් මිතුරු කැල ආදරයෙන් මතක් කරමි. පහුගිය කාලයේ මම නොලිව්වත් ඔබලා බ්ලොගයට ගොඩ වැදී යාමම ලොකු දෙයකි. බලාපොරොත්තු වෙන්නේ පරණ කතන්දර ටිකක් නැවත ලියන්නටය. එක කේස් එකක් ඇත. ඒ මට හැලපයා නමින් කමෙන්ට් කරන්නට බැරිකමය. වදින්නේ ඇනෝ කමෙන්ට්ස්ය. ආපහු එය හදා ගන්නේ කෙලෙසදැයි මම නොදන්නවා උනත් එයත් කෙසේ හෝ හදාගත යුතුමය.
Monday, December 2, 2024
භීෂණය මැදින් ටෙලිනාට්‍ය සමග ජීවිතය 20 . ෆිල්ම් යුනිට් එකේ ජිවිතය, අලුත් ටෙලි නාට්‍යය, ඉන්ද්‍රාගේ සහ රේනුකාගේ පලහිලව් සමග අනුරට වූ හදිය.
"අන්ර , වරෙන් ප්ලේන්ටියක් ගහන්න යන්න!"
හිස හරවා බලන අනුර දුටුවේ සිය මේසය අසළ සිටින ලාල්ය. ඔහු පසුපසින් ඉන්ද්‍රාද විය.
"යමු,යමු!" කියමින් අනුර නැගිටිද්දී ලාල් පෙරමුණ ගත්තේය. තට්ටු හතකින් සමන්විත වූ අමාත්‍යංශයේ ආපන ශාලාව පිහිටියේ හත්වන මහලේය. අනුරලාගේ ශාඛාව පස්වන මහලේ පිහිටි හෙයින් පඩිපෙළ නැග ආපන ශාලාවට යෑම ඔවුන්ගේ පුරුද්දය. ඉන්ද්‍රා ආපන ශාලාවට යන්නේ තේ පානය සඳහා පමණක් වුවද අනුරත් ලාලුත් උදේ සහ දවල් ආහාරයද ආපන ශාලාවෙන් ගැනීම සිරිත විය. ශාඛාවේ අනික් අය දිවා ආහාරය නිවසින් රැගෙන ආවත් ස්වයං පිටුවහලෙක් වී සිටින අනුරට එවන් වාසනාවක් නොමැති හෙයින් ඔහුට කැන්ටිමේ දිය රසැති බතට හුරුවෙන්නට සිදුවුයේ නිරායාසයෙනි. උදේ කෑම නම් කෙසේ හෝ කාගත හැකි වුවද මෙලෝ රසක් නැති දවල් කෑම පිඟාන කනවිට ඔහුට අම්මා බෙදා දෙන රසැති බත්පත මතක්වී දෑස කඳුලෙන් පිරේ.
"ඔයාල යන්න, මම ලයිබ්‍රරියට ගිහිං පොතකුත් අරන් එන්නම්!"
ඉන්ද්‍රා කීවේ තේ බී අවසන්ව මුව පිසදා ගනිමිනි.
"මටත් පොතක් නම් ගන්න ඕනෑ, ඒ උනාට මම කාඩ් ගෙනාවෙ නෑනෙ!"
අනුර කීවේය. ඉන්ද්‍රා මෙන්ම අනුරද පොත් කියැවීමේ රුසියන් වූ අතර ගතවූ මාස හත අට තුල ඔවුන් දෙදෙනා පුස්තකාලයේ තිබු කතා පොත්වලින් බාගයකටත් වඩා කියවා අවසන් කර තිබුණි.
"එන්න, මගෙ කාඩ් එකක් දෙන්නම්!"
ඉන්ද්‍රා කීවීට අනුර අසුනෙන් නැගී සිටියේය. ලාල් නිහඬවම නැගිට්ටේ ආපසු යන්නටය.
"ඔයා ගෙනිච්ච පොත් දෙක කියවල ඉවරද?"ඉන්ද්‍රා ඇසුවේ අනුර පසුගිය සතියේ ගෙනගිය පොත් ගැනය.
"ඒ දෙක දවස් දෙකෙන් ඉවරයි. අද ගේන්න හිටිය අමතක උනානෙ!"
"ආපහු දෙන්න කලින් මටත් කියවන්න දෙන්න!"
පුස්තකාලයෙන් පොත් තෝරාගත් දෙදෙනා ආපසු ශාඛාවට යන්නට පියගැට පෙළ බසින්නට පටන් ගත්හ. අනුර හිතාමතාම ඉන්ද්‍රාට පසුපසින් ගියේ ඇගේ සිහින් සිරුරේ ලාලිත්‍යය නරඹමිනි. ඉන්ද්‍රා ඇය පසුපසින් එන අනුර දෙස විටින්විට හැරී බැලුවේ ලජ්ජාවෙන් සිනාසෙමිනි.
අනුර සිය පළමු රැකියාවෙන් උසස්වීමක් සමග මීට අවුරුද්දකට පමණ පෙර මෙම කාර්යාලයට මාරුකර තිබූ අතර ලාල් අනුර සමග ආ කණ්ඩායමේ සගයෙකු විය. දකුණු පළාතේ උපන් අයෙක් වූ ඉන්ද්‍රා ගාල්ල කච්චේරියේ සිට මාරුවී ආයේ මාස හත අටකට පෙරය. අසාර්ථක විවාහයකින් පසු තනිවම ජීවත්වන යුවතියක් වූ ඇය කැලණිය පැත්තේ නිවසක නතරවී සිට සේවයට පැමිණෙයි. ලාල්ද ගාල්ලේ අයෙකු වූයෙන් ගමේ කමට ඉන්ද්‍රා සමග ඉක්මනින් හිතවත් විය.
එය රටේ නොසන්සුන් කාරී වාතාවරණයක් පසුපසින් භීෂණය හිස ඔසවාගෙන එන සමයක් විය. සතියේ වැඩකරන දින පහෙන් දෙක තුනකම කාර්යාල ගොඩනැගිල්ලේ කුමන හෝ මහලක තිබී හමුවන ලියුම් කැබැල්ලක් නිසා විනාඩි ගණනාවකින් මුළු කාර්යාලයම හිස්ව යයි. සේවය නිමවී ගෙදර යන්නට ප්‍රවාහන සේවා නැත. ඉඳහිට එන දුම්රියක හිරවී තෙරපී ගෙදර යන දවස් මෙන්ම බස් එකක නැගී ගොස් වැලි ලොරිවල ගොඩවී ගෙදර ගිය දවස්ද තිබුණි. ඒ මදිවාට රෑට ගම් වටලා කෙරෙන සෝදිසි කිරීම්ය. දවසක් අනුර උදේ පාන්දර නැගිට වැඩට යන්නට ගෙදරින් පිටත්විය. ඒත් හමුදාවෙන් ගමෙන් පිටවෙන්නට ඇති පාරවල් ඔක්කොම වසා තිබුණේ කිසි කෙනෙකුට පිටවෙන්නට නොදී සෝදිසි කරන්නටය. පාරවල් වැසුවාට හමුදාව නොදන්නා කෙටි පාරවල් ඕනෑ තරම් දන්නා අනුර ඒ පාරකින් ලේසියෙන්ම දුම්රිය පොළට ගියේය. ගමනාගමනයේ කරදර නිසාම රස්සාවද එපාවූ අනුර තමන් මුහුණදෙන අසීරුතාව සිය සගයෙකු වූ විමල්ට කීවේය.
"ඉතිං ඇවිදින් අපේ ෆිල්ම් යුනිට් එකේ නැවතියන්. ඒකෙ දෙන්නයි ඉන්නෙ, හොඳට ඉඩකඩත් තියෙනවා!"
විමල් කීවේය. කල්පනා කර බලා විමල්ගේ යෝජනාව පිළිගැනීම පහසු මෙන්ම තර්කානුකුල බවට තීරණය කළ අනුර පසුදා විමල් හමුවී තමන් ලබන සතියේ සිට පිල්ම් යුනිට් එකේ නවතින්නට එන බව දැනුම් දුන්නේය. ෆිල්ම් යුනිට් එක සාලයක් කාමර තුනක් සහ කුස්සියක්ද සහිත තරමක විශාල නිවෙසකි. එක කාමරයක කැමරා උපකරණ සහ විදුලි ආලෝක සැපයීමේ උපකරණ ගොඩගසා ඇති අතර ඊට යාබද කාමරය යුනිට් එකේ වැඩකරන නුවන් සහ ප්‍රසාද්ගේ නිදන කාමරය විය. කලින් සිටි කාර්යාලයේදී හඳුනාගත් විමල් සමග ටෙලි නාට්‍යයක නිෂ්පාදන අංශයට එකතුවූ අනුර එහිදී නුවන් හඳුනාගෙන සිටි අතර ප්‍රසාද් නුවන්ගේ ගමේ සිට ඔහු කැඳවාගෙන ආ කොල්ලෙකි. ඊළඟ ඉරිදා සවස අනුර ඇඳුම් බෑගයත් රැගෙන ෆිල්ම් යුනිට් එකේ පදිංචියට පැමිණි අතර ඔහු එන බව විමල් නුවන්ලාට දන්වා තිබූ නිසා ඔවුන් දෙදෙනා ඔහු එනතුරු බලා සිටියහ. ඉඳහිට ගෙදර ඉන්නට ලැබෙන නිවාඩු දිනයක දවල් කෑම කුස්සියේ පිළියෙළ වුනත් ඔවුන් වැඩිපුරම කෑම ගත්තේ පිටිනි. චිත්‍රපටයක හෝ ටෙලි නාට්‍යයක වැඩ ලැබුණු විට නුවන්ද ප්‍රසාද්ද බඩුත් පටවාගෙන පිටව ගිය පසු අනුර ගෙදර සිටින්නේ තනියමය. අලුත් තැන සිට කාර්යාලයට බස් දෙකක යායුතුය. වැඩ ඇරී හෝටලයකින් ගන්නා කෑම පාර්සලයක්ද රැගෙන ගෙදර එන අනුර නින්දට යන තුරු පොත් කියවමින්ද රුපවාහිනිය නරඹමින්ද කාලය ගතකරයි.
අමාරුම කාරිය උදේට බස් එකක් අල්ලාගන්න එකය. ගේ ඉදිරිපිටින් බස් ධාවනය වුවද ඒවායේ පොල් පැටවුවාසේ පිරී ඇති සෙනග නිසා ගොඩවන්නට බැරිය. බොහෝ බස් නොනවත්වාම ධාවනය වේ. සන්නද්ධ කල්ලිය විසින් ඇඳිරි නීතිය පනවන ලද දිනකදී නම් දුවන්නේ බස් දෙක තුනකි. නුවන් ගෙදරින් ගෙනත් යුනිට් එකේ තබාගෙන සිටි චැලිය එවන් දිනවලට අනුරට ගමන් පහසුව සැලසුවේය. වාහනත් අඩු පාරේ චැලියේ ගමන පහසුය. බොහෝ දිනවල කාර්යාලය ඇරී ආපසු එනවිට ඉන්ද්‍රාද අනුර සමග බොරැල්ලට ඇවිත් බැසගනී. පොත් කියවීමෙන් පටන් ගත් අනුරගේද ඉන්ද්‍රාගේද හිතවත්කම මේ වනවිට තම තමන්ගේ පුද්ගලික තොරතුරු පවා හුවමාරු කරගන්නා තරමට වැඩි දියුණුවී තිබුණි. දිනක් ඉන්ද්‍රා අනුරට කීවේ කාර්යාලයේ සමහර පිරිමි තමන්ට කරදරයක් වන තරමට හිතවත් වීමට තැත් කරන බවය.
"ඉතිං කියන්න එපායැ, මම ඔය කතා දැනගෙන හිටියෙ නෑනෙ!"
"මොනව කියන්නද? ඔයා ෂූටිං, ෆිල්ම්,කොමර්ෂල් කිය කියා තැන තැන යනව මිසක ඔව්ව දන්න එකක්යැ. අනික ඒ අය ඔයාගෙ ලඟම හිතවත්තු!"
"හරි බලමුකො, මීට පස්සෙ එහෙම උනොත් කියන්නකො!"
"මං හිතන්නෙ නෑ ආයෙ එහෙම වෙයි කියල. මම ඔයා එක්ක යන්න එන්න ගත්තට පස්සෙ ඒ ගොල්ල මගෙ පස්සෙන් එන එක නවත්තල!"
"එහෙනං ඒකෙනුත් හොඳක් වුණා!"
"කොහොමත් ඔයා අනුන්ගෙ දේවල් හොයන්නැති පොතක් පතක් බලාගෙන පාඩුවෙ ඉන්න කෙනෙක්නෙ. ඒකයි මම ඔයා එක්ක යන්න එන්න ගත්තෙත්!"
"යමු යමු තේ එකක් බීල එන්න!"
ඉන්ද්‍රා නිහඬවම නැගී සිටියාය. එදිනද කාර්යාලයේ වැඩකරන අය අඩු දිනයකි. ලාල්ද පැමිණ නැත්තේ ගමනාගමන අපහසුතාව නිසා විය යුතුය. කිසිකෙනෙක් ගමන් නොකරන නිසාවෙන් තරප්පු පෙලද පාළු ස්වභාවයක් ගෙන ඇත. ඉදිරියෙන් යන ඉන්ද්‍රාගේ ගතින් විහිදෙන තාරුණ්‍යය සහ ලලනා ලාලිත්‍යය අනුරගේ සිත මන්මත් කරවයි. ඇගේ අතින් අල්ලා ලඟට ගත් ඔහු ඉන්ද්‍රාව සිප ගත්තේ ඇය තදින් තුරුළු කර ගනිමින්ය. එවැනි දෙයක් බලාපොරොත්තු නොවූ නිසාදෝ ඉන්ද්‍රා සිය විසල් දෑස් දල්වා අනුර දෙස බලා සිටියාය. විමතියක් මෙන්ම සෙනෙහසක්ද ඒ දෑස්තුළ විය. ඇගේ දෙතොල් යාන්තමින් වෙවුලයි. "යමු!" ඇය කීවේ අනුරගේ අතකින් අදිමිනි. තේ පානය කරද්දී මෙන්ම ආපසු එද්දීද ඉන්ද්‍රා කිසිම වෙනසක් නොමැතිව සුපුරුදු සිනහවෙන් සිටීම දෙගිඩියාවෙන් සිටි අනුරට සහනයක් විය.
සති අන්තයේ නුවන්ලා සහභාගී වෙන රූපගත කිරීම් ලඟ පාතක ඇත්නම් එහි යන අනුර ඔවුන්ට උදව් වෙමින් කාලය ගෙවා දමයි. නුවන්ලා පිට පළාතකට ගොස් ඇති දිනවල ඔහු ෆිල්ම් යුනිට් එකේ කාලය ගත කරන්නේ කම්මැලි කමිනි. සෙනසුරාදා දිනවල කොටුවේ ඕ සී අයි සී හි පැවැත්වෙන සිනමා සහ ටෙලි නිෂ්පාදන පාඨමාලාවකට සහභාගී වන්නට අනුරව උනන්දු කළේ විමල්ය.
"ෆීල්ඩ් එකට කැමති නම් ඒකෙ මූලික දැනීමක් වත් තියෙන්න ඕනෑ. උඹ ඕ සී අයි සී ගිහිං ඉගෙනගනින්!"
කියූ විමල් අනුරට පාඨමාලාවට සම්බන්ධ වන්නට කටයුතු සලසා දුන්නේය. විමල් ඊට අවුරුදු කීපයකට පෙර පාඨමාලාව අවසන් කර තිබුණි. පාඨමාලාව අනුරට බෙහෙවින් රසවත් වූ බැවින් ඔහු ඊට සහභාගී වුයේ ඉමහත් උනන්දුවකිනි. උදේ නවයට ආරම්භ වන පන්තිය දවල් එක වෙද්දී අවසන්ය. සමහර දිනවල පන්තියට උගන්වන්නට එන ආරාධිත දේශකයින් කෙටි චිත්‍රපට හා ටෙලි නාට්‍ය කොටස් පෙන්වා ඒවා උදාහරණයට ගනිමින් පවත්වන දේශන වලට අනුර ඉතා ප්‍රියකළේය. .
මංගල උත්සව උපන්දින සහ වෙනත් සාදයන් වීඩියෝ කර දීමටද යුනිට් එකට ඇණවුම් ලැබේ. වී එච් එස් කැමරාවකින් ඒවා රූපගත කරන්නේ නුවන්ය. නුවන්ලා පිට වැඩකට ගොස් ඇතිවිට යෙදී ඇති උත්සව සඳහා අනුරට අනිවාර්යයෙන්ම සහභාගී වීමට සිදුවේ. කැමරාව හැසිරවීම ගැන අනුරට දැනුමක් තිබුණද ලොකු මුදලක් අයකරගන්නා උත්සව රූගත කිරීම් අනුරට දෙන්නට යුනිට් එකේ අයිතිකරු මැලි වේ.
"අයි ටී එන් එකෙන් කවුරුහරි අඬගහගෙන පලයන් මල්ලි!" ඔහු කියයි.
අයි ටී එන් එකේ කැමරා ශිල්පීන් සියලු දෙනාම අනුර හොඳින් හඳුනන අයයි. තමන්ගේ වැඩ සඳහා කැමරා උපකරණ රැගෙන යන්නටද ආයතනයෙන් තමන්ට ලැබිය යුතු මුදලක් ලබාගන්නටද ඔවුහු යුනිට් එකට පැමිණෙති. යුනිට් එකේ සිට පයින් යන දුරක වූ අයි ටී එන් ආයතනයට ගොස් හමුවුනද ඇමතුමක් දී දැනුම් දුන්නද කැමරා ශිල්පියෙක් සොයාගත හැක. විවාහ මංගල උත්සව වීඩියෝ කරන්නට අනුර කැමැත්තෙන්ම ගියේ එහිදී හොඳ කෑම වේලක්ද වැඩේ අවසානයේ අතට මුදලක්ද ලැබෙන නිසාය. තරු පංතියේ හෝටල්වල මෙන්ම සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන ඉහළ පෙලේ මගුල් වලදී කෑමෙන් බීමෙන් සන්තර්පණය වූ ආරාධිතයන් නැටුම් භූමියට අවතීර්ණ වනවිට සේකරගේ ප්‍රබුද්ධ කාව්‍යයෙහි පදපෙළක් මතක්වී අනුරට සිනා යන්නේ නිතැතිනි.
බඩ මහත දැඩි පිරිමි
සෙම බරිත තඩි ගැහැණු
කය පුබුදුවී අවුත්
මස සසල කොට නටත්.
සමහර මාසවල මගුල් ගෙවල් හතර පහක්ම වීඩියෝ කරන්නට ලැබෙයි. සතියේ දිනවලට යෙදෙන මගුල් වලට කාර්යාලයෙන් නිවාඩු ලබාගෙන ගියත් පාඩුවක් නැත. අනුර සාමාන්‍යයෙන් නිවාඩු ලබා නොගන්නා නිසා ඔහුගේ නිවාඩු ඉතිරිව ඇති අතර ලබාගැනීමේ අපහසුවක්ද නැත. මගුල් වැඩිපුර ලැබුණු මාසවල අනුරගේ ආදායම ඔහුගේ වැටුපද ඉක්මවා යයි. ලැබෙනා වැටුපෙන් මාසය ගතකිරීමේ අසීරු කාර්යයක යෙදී සිටි අනුරට මෙසේ ලැබෙන අතිරේක ආදායම මහත් සහනයක් විය. මේ නිසාම ඔහුගේ ආර්ථිකය කාර්යාලයේ අනික් අයට සාපේක්ෂව හොඳ තත්වයක පැවතුණි. එක් දවසක ගිය මංගල්‍යයක උත්සවය අවසානයේ ආපසු එන්නට බඩු ටික එක්රැස් කරමින් සිටියදී මනමාලියගේ ඥාති නැන්දා කෙනෙක් වටපිට බලමින් සිට අතේ තිබූ ලොකු කඩදාසි බෑගයක් අනුර අතට දුන්නේ "මේක ඔය ළමයා අරන් යන්න!" කියමිනි. බෑගය ඇර බැලූ අනුර දුටුවේ එය පුරවා ඇති වෙඩින් කේක් ගොඩකි. ඒවා මගුලට ගෙනා වෙඩින් කේක්වල ඉතිරි හරිය වෙන්නට ඇතැයි අනුර සිතුවේය. බෑග් එක රැගෙන ආ අනුර පහුවදා එය කාර්යාලයට රැගෙන ගොස් දවල් වෙද්දී එය ලාල්ට දුන්නේය.
"මෙන්න මේ ටික ඔෆිස් එකේ ඔක්කොටොම බෙදල දාපං!"
" මේ මොනවද බං!"
"ඔය වෙඩින් කේක් වගයක්, ඊයෙ වැඩකට ගිය වෙලාවෙ මට ලැබුණා. ඉතිං මං අරගෙන ආවා!"
"යකෝ මෙතන වෙඩින් කේක් බර ගාණක් තියනවනෙ!" යි කියූ ලාල් කාර්යාලයේ සියළු දෙනාටම වෙඩින් කේක් බෙදන්නට විය.
"වෙඩින් කේක් කොහෙන්ද ලාල්!" කෙනක් අසයි.
"අපේ අන්රයගෙ වෙඩින් එක ඊයෙනෙ තිබුනෙ. ඔය උඹලට!"
"ඒයි අනුර මේව හරියන් නෑ. අපිට බෝතල් පාටියක් දියන් මගුලත් නොකිව්ව එකේ!"
"හරි හරි බෝතල් පස්සෙ දෙන්න බැරියැ. දැන් ඔව්ව කාපල්ලකො!" අනුර කීවේය. කාර්යලයේ සැමටම වෙඩින් කේක් බෙදූ පසුවද තවත් කීපයක් බෑගයේ ඉතිරිව තිබිණි.
"මේ ටිකට මොකද කරන්නෙ බං!" ලාල් ඇසුවේය.
"ඔය ටික උඹ කාපං!" අනුර කීවේ සිනාසෙමිනි.
"එහෙනං මම තව දෙකක් ගන්නව වයිෆ්ටයි දුවටයි!" කියූ ලාල් වෙඩින් කේක් දෙකක් ගත්තේය.
"ලාල් එහෙනං මටත් තව එකක් දෙන්නකො නාලිට දෙන්න!" කියූ ඉන්ද්‍රා වෙඩින් කේක් කෑල්ලක් ගත්තාය. නාලි යනු ඇයත් සමග කාමරයේ එකට පදිංචිවී සිටින තරුණියයි.
"එකක් නෙවෙයි ඔයා ඔය ටික ඔක්කොම අරන් යන්න!" අනුර කීවේය.
"අනේ උඹට හැමදාම වෙඩින් වීඩියෝ කරන්න යන්න ලැබේවා!" ලාල් කීවේ සිනහ වෙමිනි.
කොළඹ නගරයේ සිනමාහල්වල කලාත්මක චිත්‍රපට තිරගත වේ නම් විමල් අනුර සමග ඒවා බලන්නට යයි. එක් සතියක ඉංග්මාර් බර්ග්මාන්ගේ චිත්‍රපට සතිය එල්පින්ස්ටන් සිනමා ශාලාවේ නැරඹු ඔවුන් ඊළඟ සතියේ රාජ්‍ය නාට්‍ය උළෙලට ප්‍රදර්ශනය කරන නාට්‍ය නරඹන්නට ජෝන් ද සිල්වා රඟහලට ගියහ. රාජ්‍ය නාට්‍ය උළෙල වෙනුවෙන් මරාසාද් රඟදැක්වූ දිනයක ජෝන් ද සිල්වා රඟහල ඇතුළට යන අනුර සහ විමල් දුටුවේ නාට්‍යයේ නිෂ්පාදක සුගතපාල ද සිල්වා මහතාය. කොරිඩෝවේ පැත්තක තිබු පඩියක වාඩිවී සිගරැට්ටුවක්ද උරමින් නාට්‍යය බලන්නට යන ප්‍රේක්ෂකයන් දෙස ඔහු බලා සිටියේය. විමල් අනුරත් සමග ඔහු ලඟට ගොස් කතා කළේය. එදා විමල්ට අනුර සමග සුගතපාල ද සිල්වා මහතා ගැන කියන්නට බොහෝ කතා විය. චිත්‍රපට හෝ නාට්‍ය බලා බම්බලපිටියේ අවන්හලකට වැදී බියර් බොමින් ඒ ගැන වැඩිදුර කතා කිරීම විමල්ද අනුරද පුරුද්දක් වශයෙන් කළහ. බියර් බීමෙන් පසුව හෝටලයකින් රාත්‍රී ආහාරය ගෙන අනුර ගෙදර එන්නේ මහ රෑ මැදියමේය.
රට පුරා ක්‍රියාත්මක වෙන රාජ්‍ය විරෝධී ව්‍යාපාරය ඒ වනවිට උච්චස්ථානයකට පැමිණ තිබු අතර ඊට සමාන්තරව රජයෙන් දැඩි ලෙස මර්දනය ක්‍රියාත්මක විය. අනුරලාගේ යුනිට් එක හරියේ එපමණ ප්‍රශ්න නොමැති වුනත් ඒ හරියේද තැන තැන යම් යම් දේවල් සිදුවෙමින් පැවතින. හෝකන්දරදී පොලිස් ජීප් රථයක් බිම් බෝම්බයකට හසුවී පුපුරා ගිය අතර කිඹුලාවල හරියේ වෙලකට තරුණ මළසිරුරු කීපයක් ගෙනැවිත් දමා තිබුණි. දවස පුරා හමුදා වාහන ගේ ඉදිරිපිටින් එහා මෙහා යයි. දිනක් අනුර ගේ ඉදිරිපිට සිටියදී පාරේ පාපැදියකින් යමින් සිටි තරුණයෙක් අසල ජීප් රථයක් ක්රාස් ගා තිරිංග තදකරමින් නැවතුණි. ඊලඟ මොහොතේ සයිකල් කරුවාව ජීප් රථය තුලට ඇද දමාගත් කීප දෙනෙක් එහි දොර වසා මහ හඬින් රෝද කෑ ගස්සවමින් පිටත් වූහ. මුළු ක්‍රියාවටම ගියේ විනාඩියක් හෝ දෙකකි. අනුර පාරට ගොස් බලන විටත් බිම පෙරලී තිබූ පාපැදියේ රෝද කැරකෙමින් තිබුණි. අනුර ගමේ සිටියදී සිදුවූ එවැනි දෙයක් ඉතා හොඳින් ඔහුගේ මතකයේ තැන්පත්වී ඇත. එදා අනුර නගරයට ගියේ පයින් ඇවිදගෙනය. අල්ලපු ගමේ කන්ද බසින විට සයිකලයක් පැදගෙන කෙනෙක් ගිය බව අනුර දුටුවේය. මොහොතකින් ඇසුණු වෙඩි ශබ්දයක් සමග කපුටන් කෑ ගසමින් ඉගිල ගොස් මොහොතකින් හාත්පස දැඩි නිහඬතාවක ගිලෙනුද ඊළඟ මොහොතේ මිනිසුන් කෑ ගසමින් එදෙසට දිවයනුද අනුර දිටීය. පය ඉක්මන් කර ගිය ඔහු දුටුවේ ටිකකට පෙර සයිකලයේ ගිය මිනිසා බිම වැටී සිටින ආකාරයයි. වගා නිලධාරියෙක් ලෙස දේශපාලන පත්වීමක් ලැබීමෙන් පසුව ග්‍රාමසේවක තනතුරක් ලැබූ මියගිය පුද්ගලයා කුඩා දරුවන් සිටින අහිංසකයෙකි. ගල්කටස් තුවක්කුවකින් වෙඩි තබා ඔහුට ජීවිතය අහිමි කර තිබුණේ සන්නද්ධ කල්ලියයි. මියගිය මිනිසාගේ හිස පසාරු කරගෙන ගිය උණ්ඩයෙන් සෑදුනු විවරයෙන් තාර පාරද දර්ශනය වනු භීතියෙන් තැතිගෙන සිටි අනුර දුටුවේය.
අනුර තනිවම ගෙදර සිටි දිනක රාත්‍රියේ දොරට තට්ටු කරන හඬක් ගොස් බැලු විට සිටියේ අල්ලපු ගෙදර සිටින තරුණියකි. ඇය සමග ඇගේ කුඩා නැගනියද වූ අතර දැඩි භීතියක් ඔවුන්ගේ මුහුණුවල තිබු බව අනුර දුටුවේය. විස්තර අසන විට ඇය කීවේ මේ දැන් පැමිණි තරුණයින් කීප දෙනෙක් සිය පියාට ලිපියක් දී ගිය බවයි. ඇගේ අතේ තිබු ඒ ලිපියෙන් කියා තිබුණේ ඔහු මාතෘ භූමියට ද්‍රෝහියෙක් බවත් වහාම දේශපාලනයෙන් ඉවත් නොවුණහොත් මරණය නියත බවත්ය. කුමක් කරන්නදැයි නොදැන අනුර සොයා ආවේ උපදෙසක් ලබා ගන්නට බව ඇය කීවාය. පහුගිය මහ ඡන්දය කාලයේ ආණ්ඩු පක්ෂයේ ඡන්ද අපේක්ෂකයන් බොහෝ දෙනෙක් ඒ පැත්තේ කැන්වසින් යන්නට පටන් ගත්තේ ඔවුන්ගේ නිවසට රැස්වී බවත් පක්ෂයේ ප්‍රබල අනුගාමිකයෙකු වූ ඔවුන්ගේ පියා ඡන්ද අපේක්ෂකයන්ට සිය නිවසේ සංග්‍රහ පැවැත්වූ බවත් අනුරට මතක් විය. කෙසේ වුවත් හඬන්නට ඔන්න මෙන්න කියා සිටින දේශපාලනයේ හයක් හතරක් නොදත් කෙල්ලන් දෙන්නෙකුට ඔවුන්ගේ පියාට ලිපිය දුන් හේතුව කියා දෙනවාට වඩා ඔවුන්ගේ හිත හදන එක වැදගත් බව අනුර සිතුවේය.
"කෝ දැන් ද්‍රෝහියා?" අනුර ඇසූවිට කෙල්ලන් දෙදෙනාට බකස් ගා සිනා ගියේය. ලිපිය කියැවූ ද්‍රෝහියා එය පැත්තකට විසිකර අරක්කු බොන්නට හොරපොලට ගිය බවත් අරක්කු බීගෙන ආයෙමත් ලිපිය දුන් කොල්ලන්ට බැන වදින බවත් ඒවා ඔක්කොම කොල්ලන්ගේ කනට යන බවත් තරුණිය කීවාය.
"අනේ මොකද අයියෙ අපි කරන්නෙ?" තරුණිය ඇසුවාය.
මඳක් කල්පනා කළ අනුරට පරණ සිදුවීමක් මතක් විය. අනුර ගෙදර සිටි කාලයේ ඔහුගේ අල්ලපු ගෙදරටද ඔවැනි ලිපියක් ලැබී තිබුණි. ඔවුන් කළේ දැන්වීම් කීපයක් ලියා වැටේද ගේට්ටුවේද ඇලවීමයි. ඉන්පසු මරණ තර්ජන නැවතුණි. දැන්වීම් අලවන්නට අනුරද සහභාගී වූ නිසා එහි ලියා තිබූ දෑ ඔහුට හොඳට මතකය.
"හරි, අපි වැඩක් කරමු. මං හිතන්නෙ බොහෝ දුරට ඒක හරියයි. හැබැයි තාත්තගෙ කට වහල තියාගන්න වෙයි. නැතුව තැන තැන බැන අඬගහන්න ගියොත් එහෙම බඩු හම්බවෙයි !" අනුර කීවේය.
"අනේ අපි කාමරේට දාල වහල හරි තියාගන්නම්, මොකක් හරි කරන්න!" තරුණිය කීවේ බයාදු හඬකිනි.
කොලයක් සහ පෑනක් ගත් අනුර එහි දැන්වීමක් ලීවේය. මින්පසු කිසිදිනෙක දේශපාලන කටයුතුවලට මැදිහත් නොවන බවත් ආණ්ඩු පක්ෂයේ අය සමග ඇති සියළු සම්බන්ධතා ඒ මොහොතේ සිට අතහරින බවත් එහි සඳහන් විය.
"හරි, දැන් ගිහිං මේක ප්ලැටිනම් පෑනකින් ලස්සනට කොළ දෙකක ලියාගෙන එන්න. මගෙ අකුරු එච්චර හරි නෑ!"
කියූ අනුර කොලය කෙල්ලන් දෙදෙනාට දුන්නේය. කොලය රැගෙන ගිය කෙල්ලන් දෙදෙනා තවත් විනාඩි දහයකින් පමණ අනුර ඉදිරියේ පෙනී සිටියේ කොළ දෙකක්ද අතැතිවය.
"ලිව්වද?" අනුර ඇසුවේය.
"ඔව්, හැබැයි තාත්තට කියල අස්සන් කරගන්න විදිහක් නං නෑ. එයාට මේක දුන්නොත් ඉරල වීසිකරයි!" තරුණිය මදක් පැකිලෙමින් කීවාය.
"නෑ එහෙම අස්සන් කරන්න කියල විශේෂ ඕනැකමක් නෑ. යටින් තාත්තගෙ නම ලියන්නකො, ඒ ඇති!" අනුර කියා සිටියේය.
දැන්වීම තමන් ලියු පරිදිම ලියා ඇද්දැයි දැනගන්නට එය කියවා බැලු අනුර කොළ දෙක තරුණියට ආපසු දුන්නේය.
"දැන් දෙන්නම ගිහිං කොළ දෙක මල් වැටේ එල්ලන්න!"
ගේට්ටුවෙන් එළියට ආ අනුර පාර අයිනට වී නැවතුණි. ඈතින් දැල්වෙන පහන් කණුවේ එළිය ඔවුන් සිටින සාවියට වැටෙන්නේ යාන්තමිනි. ඔහු කෙල්ලන් දෙදෙනා අඩ අඳුරේ දැන්වීම් එල්ලන ආකාරය බලා සිටියේය. වැඩුමල් තරුණිය තරමක් මහත කැපී පෙනෙන අඟපසඟ ඇති කැරලි කොණ්ඩය කොල්ලෙකුගේ මෙන් කොටට කැපු යුවතියකි. දැන්වීම් ඇලවීම අවසන් කොට ඔවුහූ අනුර ලඟට පැමිණියෝය.
"අනේ බොහෝම ස්තූතියි අයියෙ කරපු උදව්වට, අපි හොඳටම බයවෙලා හිටියෙ නේද නංගි?"
"ආ, දැන් බයවෙන්න දෙයක් නෑ. ආයෙම තාත්තට තර්ජන එන එකක් නෑ. මම කියපුව මතකනෙ. තාත්තව බලාගන්න, හරිද?"
"මතකයි මතකයි මම අම්මටත් කියන්නංකො!"
"කෝ,අල්ලපු වැටේ හිටියට මම ඔය ගොල්ලන්ගෙ නම්වත් දන්නෙ නෑනෙ!"
"මම රේණුකා!" වැඩුමල් තරුණිය කීවාය.
"එතකොට මෙයා?"
පොඩි කෙල්ල ලජ්ජාවෙන් ඇඹරෙමින් සිටියා මිසක කතා කළේ නැත.
"එයා ප්‍රියානි!" තරුණිය කීවාය.
"එතකොට නෝනා කියන්නෙ කවුද?" අනුර අසා සිටියේ නෝනා කියා ඒ ගෙදර අය කාටදෝ කතා කරනු ඔහුට ඇසී තිබුණු බැවිනි. විළියෙන් ඇඹරුණු පොඩි කෙල්ල අතින් කට වසාගත්තේ සිනාසෙමිනි.
"ආ.. ඒත් මෙයාට තමා, ගෙදරට කියන නම!" රේණුකා කීවාය.
"එතකොට ඔයාට නැද්ද ගෙදරට කියන නමක්?"
"එයාට කියන්නෙ බබා කියල!" ප්‍රියානි ඉදිරියට පැන කීවාය.
"එතකොට රේණුකා මේ වැඩේට මාවම හොයාගෙන ආවෙ ඇයි? මම ඇවිල්ලත් වැඩි කාලයක් නෑනෙ?"
"අම්ම කිව්වෙ..අයිය කොළඹ කන්තෝරුවක වැඩ කරන්නෙ, කිව්වොත් මොකක් හරි කරලා දෙයි ඒ ගොල්ල ඕව ගැන දන්නවනෙ කියල!"
"එහෙනං බබයි නෝනයි දැන් ගෙදර යන්න. තව මොනව හරි උනොත් මට කියන්නකො!" අනුර කතාව අවසන් කරමින් කීවේය.
රේණුකා ප්‍රියානිගේ අතින් අල්ලාගෙන නිවස දෙසට පියමැන්නේ අනුරට නැවතත් ස්තුති කරමිනි. ගේට්ටුව වැසූ අනුර ගෙතුළට නොගොස් එළියේ පඩිය උඩ වාඩිවිය. රට තුළ මහත් භීෂණයක් ඇති කරන සන්නද්ධ කල්ලිය ගැන අනුරට තිබුණේ මිශ්‍ර හැඟීමකි. ඔවුන්ගේ පක්ෂය තහනම් වීමට පෙර ආයුධ සන්නද්ධ විප්ලවය පසෙක දමා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පිළිගත් පක්ෂ නායකයා ජනාධිපති මැතිවරණයට තරග කරන සමයේ අනුරද පක්ෂ ක්‍රියාකාරිකයෙකු ලෙසින් කටයුතු කළේ එකල තරුණ තරුණියන් අතර පක්ෂය ජනප්‍රිය වීමත් සමගය. 83 කළු ජුලිය මුවාවෙන් ජනාධිපතිවරයා පක්ෂය තහනම් කරනවාත් සමගම නායකයන් සියළු දෙනා යටිබිම් ගතවුහ. රහසේ සංවිධානය වූ පක්ෂය වසර කීපයකට පසු වෙනත් නමකින් පෙනී සිටිමින් රජයේ දේපොළ විනාශ කරන්නටද බස් සහ දුම්රිය ගිණි තබන්නටද මිනී මරන්නටද පටන් ගත් කළ කලකිරීමට පත් අනුර පක්ෂයේ වැඩවලින් ඉවත්ව තමන්ගේ වැඩක් බලාගෙන සිටියත් සන්නද්ධ කල්ලියේ මිනීමරුවන් අනුරට ඉව අල්ලන්නට පටන් ගත්හ. ඊට පසුව පොලීසිය අනුර සොයා පැමිණියේය. ඔවුන් සමග කළ හැංගිමුත්තන් සෙල්ලමෙන් හෙම්බත් වූ අනුරට ගෙදර හැර යාම මිස වෙනත් විකල්පයක් නොතිබුණි. කර්කශ දේශපාලන කටයුතු හැරපියා ෆිල්ම් යුනිට් එකට පැමිණි පසු ඔහු ප්‍රියකළ විනෝදාංශවල නිදහසේ නිරත වීමට අවස්ථාව ලැබීම අනුරට ගෙන දුන්නේ ඉමහත් සහනයකි. කල්පනාවේ ගැලී සිටි අනුරට කාලය ගතවෙනු නොදැනිණ. කෙල්ලන් දෙන්නා සමග දැන්වීම් ලියන්නට වරුවක් ගතවූ හෙයින් රෑ කෑම අමතක වුවත් දැන් ඔහුට කුසගින්නක් දැනේ. ගෙට ගොස් මුදලක් සාක්කුවේ දමාගත් අනුර දොර වසා ගෙයින් පිටවුයේ හන්දියට යන්නටය.
කාර්යාලයේ සගයෙකු රඟපාන වේදිකා නාට්‍යයක පුහුණුවීම් ඡයාරූප ගතකර දෙන්නැයි ඔහු අනුරගෙන් ඉල්ලා සිටියේ දින කීපයකට පෙරදීය. ඊළඟ ඉරිදා දින නුවන්ගේ කැමරාවත් ඉල්ලාගත් අනුර රාජගිරියේ හේවාවිතාරණ විද්‍යාලයට ගියේ පුහුණුවීම් ඡායාරූපගත කරන්නටය. ඡායාරූප ගැනීම අවසන් වීමෙන් පසුව ඔහු බස් නැවතුම්පලට ගියේ ආපසු යන්නටය. ඔහුට ඉදිරියෙන් ගමන් කළ තරුණිය දැක පුරුදු කෙනෙකැයි අනුරට සිතුණි. අනුර යනවිට බස් නැවතුම් පොලේ සිටියේ රේණුකාය. ඇය සිනාසී අනුර ලඟට පැමිණ කතාකලාය.
"අයිය කොහෙද මෙහෙ?"
"මම පිංතුර වගයක් ගන්න ඉස්කෝලෙට ගියා, ඔයා?"
තමන් රාජගිරියේ ඡායාරූප ශාලාවක වෙළඳ සේවිකාවක් ලෙස වැඩ කරන බවත් එදා නිවාඩු දිනයක් නිසා වේලාසනින් ගෙදර යන බවත් ඇය කියා සිටියාය. ඊළඟට පැමිණි බස් රථයේ නැග ඔවුන් දෙදෙනා ගෙදර ගියේ කතා කරමින්ය. එසේ ඇරඹුණු ඔවුන්ගේ කතාබහ කිරීම උදේට එක බසයේ වැඩට යෑම දක්වා දිගදුර ගියේය. රේණුකා මෙන්ම ගෙදර අනිත් කෙල්ලන්ද නෑවේ අනුරලාගේ ලිඳෙන්ය. දිනක් සවස කළුවර වැටෙන යාමයේ අනුර කුස්සියේ සිටියේ උයමනක් කරමිනි. කවුදෝ ලිඳේ නාන හඬ ඇසී එළියට විත් බැලු කල නාමින් සිටියේ රේණුකාය. කුස්සියෙන් පිටවෙන දොරකඩ ඉහළින් ඇති විදුලි පහන නිවුවිට අඩවන් වූ දොරෙන් පිටතට එන එළිය තීරුවක් හැරෙන්නට හාත්පස අඳුරුය. ඔහු දොරකඩට වී බලා සිටියේය. දියනෑම අවසන්ව කෙටි රෙදිකඩක් ද හැඳගත් රේණුකා එතැනින් පියමනිත්ම දුටුවේ එළියේ බලා සිටින අනුරවය.
"අම්මෝ මේ අයියනෙ, මම බයවුණා!" රේණුකා කීවේ අනුර දෙස බලමිනි.
වචනයක්වත් නොදොඩා ඇය වෙත ගිය අනුර රේණුකාගේ අතේ තිබූ බාල්දිය ගෙන බිමින් තබා ඇගේ අත ගෙන බිත්තිය අයිනට ආවේය. රේණුකා ආයේ පසුපසට අදිමිනි. රත්වූ කය රේණුකාගේ සිසිල් සිරුරට තද කරගත් අනුර ඇගේ මුව සිප ගන්නට වුයේ අතොරක් නැතිවය. වචනයක් වත් නොදෙඩුවද රේණුකා දැඟලුයේ ඔහුගේ ග්‍රහණයෙන් මිදෙන්නට වුවත් හැඳ සිටි ලිහිල් රෙදිකඩ කඩා වැටෙන්නට ඇති අවදානම හමුවේ ඇය මඳක් පසුබෑවාය. ලද අවසරයෙන් රෙදිකඩ මෑත් කළ අනුර ඇගේ පුළුල් ළමැදේ මුහුණ ඔබා ගත්තේය. රේණුකා ගැහෙන්නට වුයේ දියෙන් ගොඩ දැමු මාළුවෙකු මෙනි.
"ඊයා අයියේ!" රේණුකා කසුකුසුවෙන් කීවාය.
"ඇයි!"
"මට ලැජ්ජයි!"
"මොකට ලැජ්ජ වෙන්නද?"
"දැන් අතාරින්නකො මට යන්න ඕනෑ. ගෙදර අය හොයාගෙන එයි .අනික කවුරුවත් දැක්කොත් එහෙම?"
රේණුකා එක දිගට කියාගෙන ගියේ පහත් හඬිනි. අනුරට සිනාගියේය. රේණුකාගේ සිරුරෙන් මෑත් වූ ඔහු ඇගේ පිට අතගෑවේ ආදරයෙනි. ඇගේ හැසිරීම අනුරගේ සිත පහන් කර තිබුණි.
"හිනා තමයි. දාඩිය දැම්ම පාරට තව ටිකෙන් මට ආයෙ නාන්න වෙනවා!"
කියමින් රෙදිකඩ සකසාගත් රේණුකා පිටව ගියේ අනුරගේ නිකටට සෙමෙන් පහරක් ගසමිනි. අනුර සෙමෙන් ගෙතුළට පිය මැන්නේ රේණුකාගේ සියුමැලි ගතේ මුදු සුමුදු පහසින් ගිනියම්ව ගිය සිරුරිනි. ඉන්පසු ගෙදර කවුරුත් නැති සැන්දෑවල පිටුපස දොරෙන් ගෙතුළට ගත් රේණුකාව අනුර ඔහුගේ කාමරයට කැඳවාගෙන ගියේය. ඔවුන් දෙදෙනා රාජගිරියේත් බොරැල්ලේත් නිතරම හමුවුහ. අනුර ඇය සමග චිත්‍රපටයක් බලන්නට ගිය දවසක රේණුකාගේ නැන්දා කෙනෙක් ඔවුන් දෙදෙනා දැක ඇගේ ගෙදරට දන්වා තිබුණි. ඊට පසු රේණුකා නිතරම අනුරට කියා සිටියේ ගෙදරට කතා කොට ඉක්මනින් ඔවුන්ගේ විවාහය සිදු කළ යුතු බවයි. එහෙත් ඒ තරම් හදිසියෙන් විවාහයක් කර ගන්නට අනුරගේ කැමැත්තක් නොතිබුණි. කුටුම්බයක් තුළ සිරවීම ගැන සිතන විටත් ඔහුට අපහසුවක් දැනුන අතර විවාහ ජීවිතයක් ගෙන යන්නට අවශ්‍ය ආර්ථික ශක්තිය තමන් තවම ලඟා කරගෙන නොමැති බව ඔහු කල්පනා කළේය. රේණුකාගේ රැකියාවද ස්ථාවර ආදායමක් ලැබෙන එකක් නොවූ හෙයින් ගෙදර වියදම් අනුරට තනිවම දරා ගන්නට සිදුවේ. ඔහුට අවශ්‍ය වුයේ තාරුණ්‍යය විඳින්නටත් තව ටිකක් ඉගෙනගෙන ආර්ථික ස්ථාවරත්වයක් ලඟා කරගන්නටත් මිසක සාම්ප්‍රාදායික කුටුම්බයක සිරවී දරු මල්ලන් ලොකු මහත් කරමින් ජීවන අරගලයට කර ගහන්නට නොවේ. මේ සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා අතර ඇතිවූ කතාබහ බහින්බස් වීම් දක්වා දුරදිග යන්නට වූ අතර බුම්මාගත් මුහුණින් අනුරව හමුවන රේණුකා නිතරම සිටියේ හඬාගත් ගමන්මය. උදාවූ තත්ත්වය හමුවේ දැඩි කළකිරීමකින් සිටි ඔහු හැකි හැමවිටම ඇයව හමු නොවී සිටින්නට උත්සාහ දැරුවේය. දිනක් අනුරගේ කාර්යාලයට පැමිණි රේණුකා ඔහුට පණිවිඩයක් එවා තිබුණි. අනුර පහළට ගොස් රේණුකා පිටතට කැඳවාගෙන ගියේ කාර්යාලයේදී ඇය හඬන්නට වුවහොත් ඔහුට මුහුණ පාන්නට සිදුවන අපහසුතාව ගැන සිතමිනි. ඔවුන් දෙදෙනා ලඟම පිහිටි අවන්හලකට ගියහ. පුටුවක වාඩිගත් රේණුකා අනුර දෙස බලා සිනාසුනාය. සිරිපොද වැස්සක් සමග සුළඟක් පිටතින් හමායද්දී රේණුකාගේ සිරුර කිළිපොලා යනු අනුර දිටීය.
"මොකද මෙහෙ ආවෙ?" ඔහු ඇසුවේ නොරිස්සුමෙනි.
"මෙහෙ ආවෙ ඔයාව හම්බ වෙන්න වෙන විදියක් නැති නිසා!" රේණුකා කතාකලේ බිම බලාගෙනය.
"හරි දැන් හම්බවුනානෙ!"
"අද ආවෙ ඔයත් එක්ක රණ්ඩු වෙන්න නෙවෙයි. හැමදාම රණ්ඩු වෙලා මට ඇතිවෙලා තියෙන්නෙ. මම මෙච්චර දවස් ඔයාට කියපු දේවල් ගලකට කිව්වා නම් ගලත් උණුවෙනවා. ඔයාගෙ හිත ගලකටත් වඩා තදයි. උදේ කොච්චිකඩේ පල්ලියට ගිහිං මම මේ ආවෙ. දැන් මගෙ හිතට හොඳයි!"
අනුර නිහඬව පාර දෙස බලා සිටියේය. පාරේ වතුර එකතුවූ තැන් උඩින් ගමන් කරන වාහනවලට හසුවන ජලය විටින් විට වතුර මල් මෙන් විසිරෙන්නේ සරාස් හඬ නගමිනි.
"ඔයාගෙ අදහස වෙනස් වෙන්නෙ නැත්නම් දිගින් දිගටම ඔයා වෙනුවෙන් බලා ඉන්න එකේ තේරුමක් නෑ. මම මේ තීරනේ ගත්තෙ ගොඩක් කල්පනා කරලයි!"
රේණුකා කීවේ සිය හිතවතියක මාර්ගයෙන් ඉතා ඉක්මනින් විදේශගත වීමට තමන් තීරණය කර ඇති බවය. තවත් ටික වෙලාවක් අනුරට නෝක්කාඩු කියූ ඇය අවන්හලෙන් පිටව ගියේ සමුගැනීමකින්ද තොරවය. ඉන්පසුව ඔහුට රේණුකා මුණ නොගැසුණ අතර ඒ ගැන උනන්දුවක්ද අනුරට නොතිබුණි. කෙටි එහෙත් සිදුවීම් බහුල සම්බන්ධයක නිමාව ගැන ගැන සිතනවිට තම ආත්මාර්ථය වෙනුවෙන්ම කටයුතු කළා මිසක රේණුකාගේ පැත්ත ගැන නොසිතුවේ යයි සිතුනත් ඒ ගැන අනුර කනස්සළු නොවීය.
එක් සිකුරාදා දිනෙක උදයේ ඉන්ද්‍රා කාර්යාලයට පැමිණියේ තරමක් ලොකු ගමන් මල්ලක්ද ඔසවාගෙනය.
"ආ.. නෝනා වීක් එන්ඩ් එකේ ගෙදර යන්න වගේ!" ලාල් කීවේ ඉන්ද්‍රා සිය අසුනේ වාඩි ගනිද්දීය.
"නෑ ලාල්, දැන් කාලෙකට වීක්එන්ඩ් එකේ ගෙදර යන්න වෙන්නෙ නෑ ක්ලාස් නිසා. මේ නාලිගෙ ඇඳුම් වගයක්. හදන්න දීල තිබිලා මම උදේ ගත්තා,ආයෙ ගෙදර යන්න වෙන්නෙ එග්සෑම් පහුවෙලා තමයි!" ඉන්ද්‍රා කීවේ ලිපිගොනුවක් දිගහැර ගනිමිනි.
පරිපාලන සේවා සීමිත තරග විභාගයට පෙනීසිටීම සඳහා තමන් බොරැල්ලේ පැවැත්වෙන උපකාරක පන්තියකට යන බව ඉන්ද්‍රා අනුරට කලින්ම කියා තිබුණාය. තමන්ද සෙනසුරාදා දිනවල පන්තියකට යන බව අනුර ඉන්ද්‍රාට කීවේ කැන්ටිමේදීය.
"මොකක්ද ඔය ක්ලාස් එක?" ඉන්ද්‍රා ඇසුවාය.
"ඒක මේ ෆිල්ම් ඇන්ඩ් ටෙලි ගැන උගන්වන එකක්, කොටුවෙ ඕ සී අයි සී එකේ තියෙන්නෙ!"
"දැන් ළමය ඒ ෆීල්ඩ් එක පැත්තට බර වැඩියි වගේ, නිවාඩු දාගෙනත් ඒවට යනව නේද. ඔව්ව කර කර ඉන්නෙ ඇයි ක්ලාස් ටූ කරන්න කල්පනාවක් නැද්ද?"
"නෑ නෑ ඒකට තව කල් තියෙනවනෙ, අනික මේ කෝස් එක මාස හයයි. ඊට පස්සෙ විභාගෙට ලෑස්ති වෙනවා!"
"කමක් නෑ, බාහිර දේවල් කරල රාජකාරි විභාග අමතක කරන් නැත්නම්!"
"ඒක නෙවෙයි හෙට ඔයාට ක්ලාස් ඉවර වෙන්නෙ කීයටද?"
"දෙකට. ඇයි?"
"නෑ, මමත් දෙකට ඉවරයි. ක්ලාස් ඉවරවෙලා කොටුව පැත්තෙ එන් නැද්ද?"
"ඒ මොන පිස්සුවකටද? මට යන්න බොරැල්ලෙන් බස් තියෙනවා!" ඉන්ද්‍රා කීවේ දඟකාර සිනාවක් පාමිනි.
"හා කමක් නෑ එහෙනං, ඔයා බොරැල්ලෙන් යන්නකො!"
"මොකක්ද අනේ කියන්නකො ක්ලාස් ඉවරවෙලා කොටුවට එන්න කියල. එහෙමනෙ කොල්ලො. හරි කොටුවෙ කොහෙටද එන්න ඕනැ?" ඉන්ද්‍රා කීවේ නෝක්කාඩු ස්වරයකිනි.
"ඔයා කොටුවෙ ස්ටේෂන් එක ලඟට එන්න. මම එතන ඉන්නං!"
"හ්ම්ම්, හැබැයි මම එද්දී ඔයා ඉන්න ඕනෑ හරිද? ස්ටේෂන් එක ඉස්සරහට වෙලා ඈනුම් ඇර ඇර බලාගෙන ඉන්න මට බෑ!" ඉන්ද්‍රා තරවටුවක් කළාය.
පසුදා පන්තිය අවසන්වූ විගසම අනුර දුම්රිය පොළ ඉදිරියේ ඇති බස් නැවතුමට වී බලා සිටියේ ඉන්ද්‍රා පැමිණෙන තුරුය. ටික වේලාවකින් බස් නැවතුම පසුකර නැවැත්වූ බස් රථයකින් බැසගත් ඉන්ද්‍රා වට පිට බලා බස් නැවතුමේ අනුර සිටිනු දැක ඉදිරියට ආවාය. සුපුරුදු ලෙස කරේ දමාගෙන සිටි අත් බෑගයට අමතරව සටහන් කොළ පිරවූ ඉටි මල්ලක්ද ඇගේ අතක විය. අනුර සමග සිනහසෙමින් ඇය එදෙසට ආවේ උරිස්සෙන් පහළට වැටෙන්නට තතනන සාරිපොට අතකින් නිසිලෙස සකස් කරමිනි.
"ඔයා ඇවිත් ගොඩක් වෙලාද?"
"වැඩි වෙලා නැහැ. පැයක් විතර ඇති!"
"යන්න අනේ බොරු නොකියා. ඔයා ඉවරවෙන්නෙත් දෙකටනෙ!"
"හ්ම්ම්..අපි යමුද?"
"කොහෙද?"
"ඔයා දවල්ට කෑම කෑවද?"
"ඔව්, දොළහට ලන්ච් ඉන්ටවල් එක දෙනවනෙ. ඔයා?"
"නෑ... බඩගින්නකුත් තාම නෑ. අපි මොනව හරි බොන්න යමු!"
ඔවුන් සිසිල් බීමක් පානය කළේ දුම්රියපොළ ඉදිරිපිට ඇති හෝටලයකිනි. බීම බඳුන අවසන්කළ ඉන්ද්‍රා අනුර දෙස බැලුවාය.
"ඇයි?"
"දැන්?" ඉන්ද්‍රා ප්‍රශ්නාර්ථයක් දෑසේ දල්වා ගෙන ඇසුවාය.
"කොහෙ හරි යමු!"
"කොහෙද?"
"ෆිල්ම් එකක් බලන්න යමුද?"
"පරක්කු වෙයිද?"
"පරක්කු උනත් කමක් නෑනෙ. බෝඩිමට කීයට ගියත් මොකෝ කවුරු අහන්න කියලද?"
ඔවුන් දෙදෙනා බීමහලෙන් එළියට බැස්සේ සිනහසෙමිනි. අනුර ඉන්ද්‍රාද කැටුව ගියේ රීගල් සිනමාහලටය. එහිදී ඉන්ද්‍රා තරමක අපහසුතාවට පත්වුවාක් මෙනි.
"අයියෝ... මේක පාර කටේනෙ. කී දාහක් මෙතනින් යනව එනවද? දන්න කවුරුහරි දැක්කොත් එහෙම?"
"එහෙනං එන්නකො යන්න!" කියූ අනුර ඉන්ද්‍රා සමග පාර පැන බසයකට ගොඩවී ඉබ්බන්වල හන්දියෙන් බැසගත්තේය. එතැන සිට එම්පයර් සිනමාහලට ඇත්තේ පයින් ඇවිදින දුරකි.
"මේ කොහෙද?" ඉන්ද්‍රා ඇසුවාය.
"එම්පයර් එක. කලින් දැකල නැද්ද?"
"කොහොම දකින්නද? මීට කළින් මම කොළඹ පදිංචි වෙලා හිටියෙ නෑනෙ. ඔයාට නං මේ තැන් හොඳට පුරුදුයි වගේ නේද. කෙල්ලො එක්ක කලින් ඇවිත් පුරුදු නැතෑ!" ඉන්ද්‍රා කීවේ සිනහසෙමිනි.
ඉන්ද්‍රා එක්වරම ඇසු ප්‍රශ්නයට අනුරට සිනාගියේ රේණුකා මෙන්ම ඔහුගේ පළමු පෙම්වතිය වී සිටි කමණි සමගද එම්පයර් සිනමාහලේ චිත්‍රපට නැරඹු බව මතක් වීමෙනි. එහෙත් ඔහුට ඒ ගැන ඉන්ද්‍රාට කියන්නට අවශ්‍ය නොවීය.
"මොකද හිනාවෙන්නෙ හොරා වගේ?"
"නෑ ඔයා එකපාරටම අහපු එකටයි මට හිනාගියෙ. හොඳ චිත්‍රපටි තියෙනකොට මම විමල් එක්ක බලන්න යනවා. මේකෙ විතරක් නෙවෙයි කොළඹ කොහෙ තිබුණත්!"
"ඔව් ඉතිං දෙන්නම චිත්‍රපටි පිස්සොනෙ!"
සිනහවෙමින්ප්‍රවේශපත්‍ර ලබාගත් අනුර අඳුරු සිනමාහල තුලට ගියේ ඉන්ද්‍රාගේ අතකින් අල්ලාගෙනය. චිත්‍රපටය ඒ වන විටද ආරම්භ වී තිබිණි.
"වැරදිලාවත් මේවා ඔෆිස් එකට ආරංචි උනොත් එහෙම මට ඉන්න හම්බවෙන්නෙ නෑ!"
ඉන්ද්‍රා කීවේ චිත්‍රපටය නරඹා අවසන්ව ආපසු එන විටදීය. අනුර සිනාසෙමින් පාරේ තිබූ ටින් කබලකට පයින් ගැසුවේය. ශබ්දයක් නගමින් ඇදී ගිය ටින් කබල කාණුවට විසි විය. සති අන්තය බැවින් මගීන් කීප දෙනෙක් හැරෙන්නට වෙනදා මේ වෙලාවට බස් නැවතුම්වල පිරී සිටින කාර්යාල සේවකයන් නැති පාර පාළු ස්වභාවයක් ගෙන ඇත.
"ආරංචි උනත් මොනව කරන්නද?" අනුර කීවේ සැහැල්ලුවෙනි.
"ඔව් ඉතිං ඔයාට නම් මොකද? මටනෙ ඔවුන් කතා හදන්නෙ!"
"හරි හරි දැන් යමුකො. එහෙම උනොත් ඒක ඒ වෙලාවට බලා ගන්නව මිසක දැන්ම ඉඳන් කලබල වෙන්න ඕනැ නෑනෙ!"
ඔවුන් ඉදිරිපිට නැවැත්වූ බසයකට ඉන්ද්‍රා ගොඩකරවමින් අනුරද නැගගත්තේය. තරමක් වෙහෙසට පත්වූ ස්වභාවයක් වතේ රැඳී තිබුණද ඉන්ද්‍රාගේ දෑස් දීප්තිමත්ය. ඔහුගේ අනවරත ආදරය පෑම හමුවේ ඇගේ මුහුණද දෙතොල්ද රත් පැහැ ගැන්වී ඇති අයුරු නිරීක්ෂණය කළ අනුර සාරියෙන් ආවරණය වූ ඇගේ සිරුරේ සුමට බව මෙනෙහිකළේ මදහසකිනි.
"ඇයි හිනාවෙන්නෙ?" ඉන්ද්‍රා අනුරගේ කණට කර සිහින් හඬින් ඇසුවාය. එයටද අනුර සිනාවක් පෑවා මිස කතා කළේ නැත.
"පරක්කුත් වෙලා මේ විදියට ගියාම නාලි අනිවාර්යයෙන්ම මොනව හරි හිතනවා!" ඉන්ද්‍රා කීවේ අනුරගේ අතැඟිලි මිරිකමිනි.
"ඇයි එහෙම හිතන එක ප්‍රශ්නයක්ද?"
"ප්‍රශ්නයක් නම් නෑ. හැබැයි නාලි ඇහුවොත් මට ඇත්ත කියන්න වෙනවා. මොකද එයාට බොරු කරන්න බෑ. හොඳ මොලයක්!"
"ඇහුවොත් කියන්න ඉතිං. මට නම් ගාණක් නෑ. කිව්වත් එකයි නොකිව්වත් එකයි!" අනුර කීවේ කතාව නවත්වමිනි.
ආයතනයේ හිමිකරු අලුත් ටෙලි නාට්‍යයක් නිපදවන්නට අතගැසුවේ මේ අතරය. නිෂ්පාදනය පටන්ගත් දා සිටම ආයතනයේ සියලුම දෙනාට මෙන්ම අනුරටද උදාවුයේ කාර්ය බහුල කාලයකි. ටෙලි නාට්‍යයට සහභාගී වන කලාකරුවන්ගේ සිට කාර්මික ශිල්පීන්ද ඇතුළු සියළු දෙනාගේම ගමනාගමන පහසුකම්, කෑම් බීම් සහ ඉඳුම් හිටුම් ගැන සොයා බලා කටයුතු කිරීමට තිබුණේ විනෝද්ටත් අනුරටත්ය. ආයතන හිමිකරුගේත් විමල්ගේත් මිතුරෙකු වූ විනෝද් සැහැල්ලු ගති පැවතුම් ඇති තරුණ ව්‍යාපාරිකයෙකි. සිය රථය පදවමින් ඔහු නිෂ්පාදන අංශය සඳහා හවුල් විය. කෙතරම් කාර්ය බහුල වුවත් අනුර බාරගත්තේ සති අන්තවල සහ නිවාඩු දිනවල වැඩ කිරීමට පමණකි. සංකීර්ණ රූපගත කිරීමක් ඇති විට ඔහු නිවාඩු ගෙන එයට සහභාගී වන්නේ විනෝද්ට තනියම වැඩ සියල්ලම කරගන්නට බැරි නිසාය. එක් සති අන්තයක විනෝද් විමල් හා අනුරද මීගමුවට ගියේ ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂගේ ඉල්ලීම අනුව මීගමු රෝහලේ දර්ශනයක් රූගත කිරීමට ඇති හැකියාව සොයා බැලීමටය. සෞඛ්‍ය අමාත්‍යාංශය මාර්ගයෙන් අවසර ලබාගෙන කරන්නට ගියොත් මාසයකට වැඩි කාලයක් ගත වන හෙයින් කෙටි මාර්ගයකින් කාර්යය කරගන්නට හැකියාව ඇත්නම් වඩා පහසු බව ඔහුගේ අදහස විය. එහෙත් ඔවුන් දන්නා හඳුනන කිසි කෙනෙක් මීගමු රෝහලේ නොමැති බැවින් යන කාර්යය සාර්ථක වන්නට ඇති සම්භාවිතාව ඉතා අඩු බව විනෝද් කීවේ සැහැල්ලුවෙන් සිනාසෙමිනි.
මීගමු රෝහලට ගිය ඔවුන් තිදෙනා පරිපාලන අංශ ගොඩනැගිල්ලට ඇතුළුවුනේ අවසර ගතයුතු නිසි බලධාරියා වන රෝහල් ලේකම් හමුවීමටය. වැඩි වෙලාවක් නොගොස් ඔවුන්ට ලේකම්වරයාගේ කාමරයට ඇතුල් වීමට අවසර ලැබුණි.
"ආ අනුර! මොකද මෙහෙ කරන්නෙ? හඬ ආවේ රෝහල් ලේකම් වරයා සිටි මේසයෙන් බව අනුර දුටුවේය.
එවැනි පිළිගැනීමක් කිසිසේත්ම බලාපොරොත්තු නොවූ අනුර වඩා විපරමෙන් නිලධාරියා දෙස බැලු විට ඔහු දැක්කේ තමන් සමග එකට වැඩකළ චන්ද්‍රපාලය. ඔහු රෝහල් ලේකම් තනතුරට පත්වූ බව හෝ මීගමු රෝහලේ වැඩකරන බව අනුර දැන නොසිටියේය. ඔවුන් ගිය කාර්යයට අවසර ලබා ගන්නට ගත් වුණේ විනාඩි කීපයක් පමණක් වූ අතර චන්ද්‍රපාල වැඩි වෙලාවක් ගතකළේ කාර්යාලයේ පැරණි සගයන් ගැන සහ අනුරගේ නව තොරතුරු ඇසීමටය. චන්ද්‍රපාලගේ සුළු සංග්‍රහයක්ද භුක්ති විඳ තිදෙනා එළියට පැමිණියෝය. ගිය කාර්යය හිතුවාටත් වඩා හොඳින් සාර්ථක වීම ගැන විනෝද් සහ විමල් පසුවුනේ දැඩි සතුටකිනි.
"ඒයි, අපි මේක සෙලිබ්රේට් කරන්න ඕනෑ!" යි කියූ විනෝද් වාහනය කෙළින්ම මීගමුවේ තානායමට පැදවීය.
ගිය කාර්යය සඳහා දවසෙන් වැඩි කාලයක් ගතවනු ඇතැයිද එසේ කාලයක් ගත කළද ලැබෙන ප්‍රතිපලය කුමක් වේදැයි හරියටම කියන්නට නොහැකි වැඩක් සඳහා ගිය අයගේ ඉක්මන් පැමිණීමක් ආයතනය බලාපොරොත්තු නොවන බැවින් ගත කිරීමට දවසක්ම ඔවුන් ඉදිරියේ විය.
"තව සීය සීය ගමු බං!" එක් වටයක් අවසානයේ විනෝද් කීවේය.
"ඊට පස්සෙ?" විමල් ඇසීය.
"දවල්ට කාල ආපහු යමු!"
"එහෙම නෙවෙයි!" අනුර කීවේය.
"මෙහෙම්මම අපේ ගෙදර ගිහිං නාගෙන එහෙම එහෙන් දවල්ට කාල ආපහු යමු. මට ගොඩක් දවසකින් අම්මව බලන්න යන්නත් බැරිවුණා උඹලගෙ මේ වැඩ හින්දා!" අනුරගේ කතාව විමල් සහ විනෝද් අසා සිටියේ සැහැල්ලුවෙනි. ක්ෂණයකින් දිනයේ වැදගත්ම පුද්ගලයා බවට පත්වූ අනුරට විරුද්ධ වන්නට ඔවුන්ගේ කිසිදු අදහසක් නොතිබුණෙන් අනුරගේ නිවෙසට යෑම සඳහා ඔවුන් පිටත් වූහ. පැය බාගයක් පමණ ගමන් කළ ඔවුහු අනුරගේ ගමට ළඟාවන විට ඉර මුදුන් වුණා පමණකි. ගෙදරට හැරෙන පාර ළඟදී අනුර දුටුවේ එතැන ගෙයි වහලට ගොඩවූ කීපදෙනෙක් කලුගැහුණු පරාල වගයක් ඇද දමමින් සිටිය බවය. ගෙදරට ගිය විගස අනුර අම්මාගෙන් ඇසුවේ ඒ ගැනය.
"ඇයි ළමයො සිරිපාලලගෙ ගෙට ඊයෙ රෑ පොලීසියෙන් ගිණි තියලනෙ." අම්මා කීවේ රහසින් මෙනි.
"ඒ ගෙදර කොල්ල හොයන්න දවස් ගාණක් ඇවිත්, ඌ හැංගිලා ඉන්නෙ ගෙදර එන්නෙ නෑ. ඔන්න ඊයෙ රෑත් ඇවිත් ,කොල්ල නැති තැන හිටපියව් තොපිට හොඳ වැඩක් කරන්න කියල එහෙම්මම පැට්‍රෝල් දාල වහලෙට ගිණි තිබ්බලු." අම්මා වැඩිදුරටත් කීවාය.
"ඒක තමයි, මොකද මේ හොඳට තිබ්බ වහලෙ කඩල දාන්නෙ කියල මම කල්පනා කළේ."
"දැන් ඉතිං මේ හරිය එන්න එන්නම බයානක වෙනවා. ඔය ළමයි දෙන්නත් එක්ක ගිහිං නාගෙන එන්නකො. මම ඉක්මනට කන්න හදන්නම්."
ගමේ හිටියානම් තමාද මේ වනවිට ආගිය අතක් නොමැති අයගේ ලේඛනයට ඇතුළත්ව බොහෝ කල් විය හකි යයි අනුර සිතුවේය. අහුවෙන්නටම ගොස් නූලෙන් බේරුණු දවසක් ගැනද ඔහුට මතක් විය. එදා මළගෙදරක ගොස් බොහෝ රෑ බෝවී ගෙදර පැමිණි අනුර සුපුරුදු ලෙස එළියේ කාමරයේ නිදාගත්තේය. පොලීසිය ආවේ පාන්දර තුනට පමණය. සංවිධානයට උදව් කළ තරුණියක් ගැන තොරතුරු සොයමින් ඔවුන් පැමිණ තිබුණේ ඔත්තුකරුවෙකුද සමගය. එහෙම කෙනෙක් ගැන අනුර ඇත්තටම දැන සිටියේද නැත. පොලිස් කණ්ඩායමටම උවමනා වී තිබුණේ අනුර රැගෙන ගොස් ප්‍රශ්න කිරීමට වුවත් කණ්ඩායම භාරව පැමිණි පොලිස් උප පරීක්ෂක වරයා අනුරගේ කාර්යාල හැඳුනුම් පත පරීක්ෂා කර බලා බොහෝ වෙලාවක් කල්පනාවේ නිමග්නව සිටියේය.
"අපි යනවා." හැඳුනුම් පත ආපසු අනුර අතට දෙමින් උප පරීක්ෂක වරයා කීදේ අනුරට අදහන්නටද බැරි විය. ඔහු බලාගෙන සිටියේ ඇදගෙන ගොස් ජීප් රථයට දාගන්නා තෙක්ය. මඳ දුරක් ඉදිරියට ඇවිදගෙන ගිය පොලිස් උප පරීක්ෂකවරයා යමක් මතක් වුනාක් මෙන් ආපසු හැරී පැමිණ අනුරට කතා කළේය.
"මම හිස් අතින් ගියාට ගම්පහින් ආවොත් නම් හිස් අතින් යන එකක් නැහැ. ඒකත් මතක තියාගෙන ඉන්න එක හොඳයි!" කියූ ඔහු ආපසු හැරී යන්නට ගියේය.
ගම්පහ මතක් වන විට අනුරගේ සියොලඟ හිරිගඩු පිපුණේ ඒ වනවිට ගම්පහ පොලිස් බල ප්‍රදේශයට පැමිණ සිටි ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී වරයා සිහියට නැගීම නිසාය. ඉතා දරුණු අලුගෝසුවෙක් ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටි ඔහු සිය සහචර මැර නිලධාරීන් සමග එක්ව දිස්ත්‍රික්කය පුරා දැඩි භීෂණයක් වපුරා තිබුණු අතර ඒ කණ්ඩායමේ ග්‍රහණයට හසුවූ කෙනෙකු පණපිටින් ආපසු නොඑන බව නොදන්නා කෙනෙක් නොවීය.
ගෙට පහළින් තිබූ නාන ළිඳේ වතුර උතුරා යමින් තිබුණි. ඒ වනවිටත් දැඩිව තිබූ දාහය හේතුවෙන් අපහසුවට පත්වෙමින් සිටි ඔවුන්ට නාගන්නට යයි අමුතුවෙන් කියන්නට අවශ්‍ය නොවිණි. ළිඳේ බොහෝ වේලාවක් ගතකර ගොඩට ආ ඔවුන් වෙනුවෙන් අනුරගේ මව පිළියෙළ කර තිබූ දහවල් අහාරයද භුක්ති විඳි ඔවුන් තිදෙනා ආපසු යන්නට පිටත් වූයේ තමන් ගිය කාර්යය සාර්ථක කරගන්නට ලැබීමේ සතුටිනි. පිටත් වන්නට පෙර අම්මා සමග තනිව කෙටි කතාබහක නියැලුණු අනුරට ඇය කීවේ නිතරම ගෙදර එන්නට අවශ්‍ය නොමැති බවත් සිටින තැනක ප්‍රවේශමෙන් රාජකාරිය කරගෙන ඉන්නා ලෙසත්ය. එය මව වෙනදාට කියන කතාවට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් කතාවක් වුවත් එහි තිබූ අනතුරු ඇඟවීම අනුරට හොඳින් තේරුම් ගියේය.
"විජිතගේ දානෙ ගෙදර කිව්වද?" දිනක් ඉන්ද්‍රා අනුරගෙන් ඇසුවේ සවස කාර්යාලයේ සිට ආපසු යද්දීය. විජිතා කාර්යාලයේ සේවය කරන කාන්තාවන් අතරින් ඉන්ද්‍රාගේ හොඳම යෙහෙළියයි. කිඹුලාවල ප්‍රදේශයේ පදිංචි ඇයගේ නිවසට අනුර සිටි තැන සිට කිලෝමීටරයක්වත් දුර නොමැති තරම්ය.
"නැහැ!" අනුර කීවේ තරමක නොසැලකිල්ලකිනි.
"ඔයාටත් කියයි, මටයි කුමාරිටයි කලින්දා හවස එන්න කිව්ව තියෙන වැඩවලට උදව්වටත් එක්ක!"
"කවදටද දානෙ තියෙන්නෙ?"
"ලබන ඉරිදලු. සෙනසුරාදා හවස අපිට යන්න තියෙන්නෙ!"
"ඔයා යන ගමන් අපේ පැත්තෙන් එන්න, හවසට දෙන්න එක්කම විජිතලගෙ ගෙදර යමු. මමත් මේ දවස්වල තනියම ඉන්නෙ!"
"ඇයි ඔයාගෙ පිරිවර කොහෙ ගිහින්ද?"
"උන් ටික ඔක්කොමල ෂූටිං ගිහින්. ගෙදර තනියම ඉන්න බෑ මළ පාළුයි!"
"පාළුව මකා ගන්නද මට එන්නය කිව්වෙ?"
"ඇයි හොඳ නැද්ද?"
ඉන්ද්‍රා සිනාසුනාය. සිනාසෙන විට සිහින්වන ඇගේ නෙත් යුවළ දෙස බලා ඉන්නට අනුර ප්‍රියකරයි. පසුවදා වෙද්දීම අනුරට විජිතාගේ ආරාධනාව ලැබුණි.
"ළඟ පාත ඉන්න නිසා කළින් දවසෙ හවසත් ඇවිත් පොඩ්ඩක් උදව් කරන්න!" විජිතා කීවාය.
"ආයෙ කවුද එන්නෙ?" අනුර කිසිවක් නොදන්නා සේ ඇසුවේය.
"ඇයි, ඔයාගෙ ක්‍රෂ් එකත් එයි!" විජිතා කීවේ ඈත සිටි ඉන්ද්‍රා දෙසට ඉඟිමරමිනි.
සෙනසුරාදා උදයේ සිටම අනුර ඉන්ද්‍රාගේ පැමිණීම බලාපොරොත්තුව සිටියේය. ඇය එන්නේ සවස් වරුවේ බව හොඳින්ම දන්නා නමුත් ඔහු උදේ සිටම විටින්විට පාර දෙස බලාසිටියේ හදිසියේ හෝ ඉන්ද්‍රා පාරේ පහළින් මතුවී පෙනෙතැයි සිතමිනි. දහවල් කෑමෙන් පසුව අනුර එළියේ තබාගත් පුටුවක හිඳ බලාසිටියේ සිටගෙන සිටීම ඇතිවී තිබුණු නිසාය. ගෙය පසුකරගෙන යන බසයක් ගානේ ඔහුගේ බලාපොරොත්තු දැල්වෙයි. පාරේ කෙළවර ඇති බස් නැවතුමේ බසය නොනවත්වා යනවිට බලාපොරොත්තු සුන්ව ගියද අනෙක් බසය එද්දී නැවතත් බලාපොරොත්තු තබාගනී. පාර කෙළවරෙන් කාන්තා රුවක් මතුවනවිට ඔහු හුනස්නෙන් නැගිට ගත්තේ ඒ නම් ඉන්ද්‍රා විය යුතු යයි සිතමිනි. සුදු පාට ලොකු මල් වැටුණු කහපාට ගවුමක් හැඳ කිණිහිරිය මලක්සේ සුන්දරවූ ඉන්ද්‍රා එනවිට සවස දෙක පසුවී තිබුණත් අනුරට දැනුනේ ඇය බොහෝ ප්‍රමාද වූ බවකි. ඔහු ගේට්ටුව ඇර ඉන්ද්‍රාව ඇතුළට ගත්තේ සතුට පිරී ගිය සිතිනි. සැන්දෑ හිරු එළියේ හමන සුළඟ මෙන් සුමුදු වූ ජීවයෙන් පිරුණු වතින් යුත් ඇය අනුර ඉදිරියේ පෙනී සිටියේ සිනා මල් වස්සවමිනි.
"ඇයි පරක්කු උනේ?" අනුර ඇසුවේ ඇය පුටුවක වාඩි වෙද්දීමය.
"පරක්කු?" ඉන්ද්‍රා උපහාසාත්මකව අනුර දෙස බලමින් කීවේ හිසෙන් බිත්ති ඔරලෝසුව දක්වමිනි.
"මං ගොඩක් වෙලා ඉඳන් බලා හිටියෙ. ඒක වෙන්නැති!" අනුර කීවේ ලජ්ජාවෙනි.
ඉන්ද්‍රා ගේ සැමතැනම ඇවිද යමින් බැලුවේ අනුරගේ අතකින් අල්ලාගෙනය. අවසානයට ඔවුන් දෙදෙනා අනුරගේ කාමරයට ගියහ.
"මොකක්ද අනේ, ඉන්න කාමරේවත් පිළිවෙලකට තියාගන්න බැරිද? මේ බලන්නකො හැමතැනම ඇඳුම්!" ඉන්ද්‍රා කාමරයේ තැනතැන විසිරී තිබූ ඇඳුම් ගෙන ගසමින් ඇඳුම් රාක්කයේ එල්ලන්නට වුවාය. තවත් බලාසිටිය නොහැකිවූ අනුර ඇය වැළඳගෙන ඇඳේ වාඩි ගත්තේය. කිසිදු විරුද්ධත්වයක් නොපෑවද ඉන්ද්‍රා මඳ අපහසුවකින් මෙන් අනුරගේ උරයේ එල්ලී සිටියාය.
"ඇයි?"
"ඇඳුම් පොඩිවෙයි. විජිතලගෙ ගෙදර මෙහෙම යන්නෙ කොහොමද?"
වචනයකුදු නොදෙඩු අනුර කාමරයේ පසෙක තිබූ පෙට්ටියක් අවුස්සා කාන්තා නිදන ඇඳුමක් ගෙන ඉන්ද්‍රාට දුන්නේය. ඇය ඇඳුම අතට ගෙන අනුර දෙස බලා සිටියේ ප්‍රශ්නාර්ථයක් මුහුණට නගා ගෙනය.
"ආ ඔය අපේ කලින් ප්‍රොඩක්ෂන් එකකට මහපු ඇඳුම්. වැඩේ ඉවර උනාට පස්සෙ ලොන්ඩරියට දාල හෝදල මැදල මෙහෙ ගෙනත් තියනවා. සමහරවිට තවත් වැඩකදී ඕනැ වෙන්න පුළුවන් නිසා!"
"වෙන වැඩක් කිව්වෙ මෙහෙට එන කෙල්ලන්ට අන්දවන්න වෙන්න ඇති!" ඉන්ද්‍රා සරදම් කළේ නිදන ගවුම ඇඟලා ගනිමින්ය.
"ඒකත් එක වැඩක් තමයි!"
"කාටද අප්පා මේක මැහුවේ? මෙච්චර මහත අයත් ඉන්නවද?" එය තරමක් පළල් වූ ඇඳුමක් වූ අතර සිහින් සිරුරක් ඇති ඉන්ද්‍රා ඒ ගවුම ඇඟ ලා ගත්කළ ඔලගුවක් පොරවා ගත්තාක් මෙන් විය. අසල වූ කැඩපතින් තමාවම නරඹමින් ඇය සිනාසුනේ උපහාසයෙනි.
"කමක් නෑ, අපේ උවමනාවට මේක වැඩිත් එක්ක නේද?" අනුර කීවේ ඉන්ද්‍රාව සයනයේ පෙරළා ගනිමිනි.
සවස් වනතුරු නිවසේ ගතකළ යුවළ විජිතාගේ නිවසට යන්නට පිටත් වූයේ සැන්දෑ හිරු සිය කහවන් ආලෝකයෙන් තුරු මුදුන් ආලෝකමත් කරද්දීය. මහත් වූ සොම්නසක් රැඳි ඉන්ද්‍රාගේ වතෙහි තරමක් වෙහෙසකර ස්වභාවයක්ද අනුර නිරීක්ෂණය කළේය.
"මදැයි මේ ජෝඩුව එන වෙලාව.කොයි ලෝකෙ ගියාද මෙච්චර රෑ වෙනකල්?" ඔවුන් දෙදෙනා දුටුවනම විජිතා ඇසුවේ ඉන්ද්‍රා ඇය අතට දුන් පාර්සලය පසෙක තබමිනි.
"වෙලාව තියෙන නිසා අපි ඔහෙ හිමිහිට ආවා. නේද ඉන්ද්‍රා?"
"හා යමු යමු ඇතුළට, මේ වැඩටික කොහෙන් පටන් ගන්නද කියල මම හිත හිත හිටියෙ!"
රාත්‍රියේ මැදියමක් වෙනතුරු නොයෙක් වැඩවල නිරතවූ අනුර නිදාගන්නට ගියත් තැන වෙනස් වූ නිසා නින්ද පමාවිය.
"ආ ඔයා මෙතනද? මම හැම තැනම බැලුවා!" අඳුරේම ඡායාවක් ලෙස අනුර ලඟට ආවේ ඉන්ද්‍රාය.
අනුර නිහඬවම ඉන්ද්‍රාගේ අතින් ගෙන ඇඳට ඇදගත්තේය. ඇය ලතාවක් මෙන් අනුරගේ සිරුරේ වෙලී සිටියේ කතාබහකින් තොරවය. රාත්‍රියේ පශ්චිම යාමය ගතවෙනු ඔවුන් දෙදෙනාට යන්තමින්වත් නොදැනුණි. පසුදා දහවල් දානයෙන් පසුව ආපසු යන්නට පිටත්වූ අනුරගේත් ඉන්ද්‍රාගේත් අත්වල විජිතා ලබාදුන් කෑම පාර්සලයක් බැගින් විය. නිහඬවම අනුර පසුපස පියමනින ඉන්ද්‍රාගේ නෙත්වල වෙහෙස හා නිදිමත පරයමින් තිබූ කාන්තිය කුමක්දැයි අනුර හොඳින් දැනසිටියේය. ඒ දහවල බස් නැවතුමේ සිටියේ ඔවුන් දෙදෙනා පමණකි. අනුර ඉන්ද්‍රාගේ අත අල්ලා ගත්තේය. ඇය නෙත් දල්වා අනුර දෙස බැලුවාය.
"මම ලබන සතියෙ වගේ ගෙදර යනවා ගමේ යාලුවෙක්ගෙ මඟුලකට. එතකොට ඔයා ගැන අම්මට කියන්නයි හිතාගෙන ඉන්නෙ. එහෙම කමක් නෑ නේද?"
වචනයක් කතා නොකළද අනුර දෙස බැලු ඉන්ද්‍රාගේ මුහුණින් විහිදුනු සොම්නස ඇයගේ පිළිතුර හොඳින් කියා පාන්නක් විය. මොහොතක් ඔහු දෙස බලා සිටි ඉන්ද්‍රා ඉවතට හැරී අත තිබූ ලේන්සුවෙන් දෑස් පිසදැමූවාය.
"ඇයි මේ?"
හිස දෙපසට වනමින් මොකුත් ප්‍රශ්නයක් නෑ යන්න අභිනයෙන් කියා පෑ ඉන්ද්‍රා අනුර දෙස බලා සිනාසුනාය.
"මොකද කතා පෙට්ටිය ලොක් උනාද?"
ඉන්ද්‍රා සිනාසෙමින් අත දිගුකර ඈතින් එන බසය දැක්වූවාය. බොරැල්ලට යනතෙක් ඔවුන් දෙදෙනා තමන්ගේම කල්පනා ලෝකවල නිමග්න වෙමින් ගියේ කතාබහකින් තොරවය. ඔවුන් බස් නැවතුම්පොලෙන් බැසගත් පසු අනුර ඉන්ද්‍රාව ඇයගේ බසයට හැරලුවේය.
"කතා නොකළට මොකුත් හිතන්න එපා, හෙට කතාකරමු!" බසයට නැගගත් ඉන්ද්‍රාගේ දෑස්වල තෙතමනයට යටින් යම් ආලෝකයක් දැල්වෙන බව අනුර දුටුවේය.
ඊට දින දෙක තුනකට පසු දවසක සවස කාර්යාලය අවසානයේ අනුර දුම්රියේ නැග ගෙදර ගියේ එදා රාත්‍රියට යෙදී තිබූ ඔහුගේ මිතුරාගේ මංගල්‍යයට සහභාගී වීම සඳහාය. මංගල්‍යයට යන්නට සුදානම් වන අතරේ අනුර ඉන්ද්‍රා ගැන මවට කීවේය. ඇය කීවේ අනුර දැන් වැඩිහිටියෙක් බවත් තමන් කළයුතු නොකළයුතු දෑ හොඳින් වැටහෙන කෙනෙක් බැවින් ඔහුගේ කැමැත්තට ඇයගේ විරුද්ධත්වයක් නොමැති බවත්ය.
දන්නා කරන මිතුරන් සියළු දෙනාම පාහේ මගුලට පැමිණ සිටි බැවින් අනුර ඔවුන් සමග රෑ මැදියමක් වනතුරු විනෝදයෙන් ගතකර ගෙදර ආවේ බමන මතිනි.
"ඇතුලෙ කාමරේ ලෑස්ති කරල තියෙන්නෙ. ඒකෙ නිදාගන්න!" අම්මා අනුරට ඔහුගේ සුපුරුදු ඉස්තෝප්පු කාමරයේ නිදාගන්නට ඉඩ දුන්නේ නැත. ඇඳුම් මාරුකර ඇඳට වැටුණු මොහොතකින් අනුරට නින්ද ගියේය. වෙනදාට නින්ද යනතෙක් ඇසෙන බල්ලන් බුරාහැලෙන හඬවල් සහ ගේ අවට ඇවිදින සපත්තු ශබ්ද නොමැති ඒ රාත්‍රියේ සුවසේ නිදාගත් අනුර පාන්දර නැගිට මව සුදානම් කරදුන් තේ කෝප්පයද බී සුදානම්ව මවට වැඳ ගෙදරින් පිටත් වුණේ පාන්දර 5.40 දුම්රිය අල්ලා ගැනීමේ අදහසිනි. ඔහු වත්තේ කඩුල්ලෙන් පාරට ගොඩවුවා පමණි. රවුම් සීතල යකඩයක් සිය ගෙලට තදවනු දැනී අනුර හිස හැරවුයේ ඒ කුමක්දැයි බලන්නටය.
"හැරෙන්න දෙයක් නෑ. ඔහොමම ඉස්සරහට යමු. කලබල කරන්න හැදුවොත් වෙනදේ දන්නවනෙ!"෴
Thursday, October 3, 2024
ජීවිතයෙන් බිඳක්, ප්‍රේමයේ කෝඩුකාරයෝ, ස්වප්නාගේ අතදීම, මී ගොන් කරත්ත, කඩේ අයියා සහ සුනිල් සහෝදරයා.
ඇනෝලා මගේ යහලුවන් නිසා ඒකට නම් කමක් නැතිය. මගේ පෝස්ටුවලට විශේෂයෙන් අවසාන පෝස්ටුවට ඇනෝලා ලියූ කමෙන්ට් තොගය කියවීමෙන් මා ලද සතුට සුවය අප්‍රමාණය. ලිවීම ශරීරයට ජීර්ණය වී ඇති එකෙකුට නොලියා ඉන්නට අමාරුය. හරියට කොටු පැන පුරුදු එකාට කොටු නොපැන ඉන්නට බැරුවා වාගේය. කුඩුකාරයාටත් බඩුකාරයාටත් කුඩුත් බඩුත් නැතිව ඉන්නට බෑ වගේ හැලපයාටත් නොලියා ඉන්නට බැරි යැයි කවුදෝ මගේ පෝස්ටුවකට ලියා තිබූ කමෙන්ටුව කෙතරම් නිවැරදි දැයි මට සිතේ.
කොහොම වුණත් ආයෙම ලියන්නට ගන්නේ රටට අලුත් පාලනයක් ලැබී තිබියදීය. පාලනයේ හොද නරක කියන්නට තවම කල් වැඩි උනත් මට හමුවන අය නම් කතා කරන්නේ නව පාලනය ගැන මහත් ආශ්වාදයකිනි සතුටකිනි. අලුත් පාලනය ගැන කියද්දී අපේ පරණ යාලුවෙක් මට මතක් විය. ඔහු නමින් සුනිල් සහෝදරයාය. ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණ්කාලීනයෙකු වූ ඔහු වැලිසර, අඩි විස්ස පාර, මහබාගෙ, ඇලපිටිවල ආදී ප්‍රදේශවල කරක් ගසමින් හමුවන්නන්ට කොකු ගසමින්, ඊට පසු පංති කරමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක කටයුතු ඉහලින්ම ඔසවා තබන්නට හදවතින්ම කැපවුනු තරුණයෙක් විය. මීට පෙරද මම මගේ පෝස්ටු දෙකක ඔහු ගැන ලියා ඇත්තෙමි. කතාව පටන් ගන්නට 1981 තරම් ඈත කාලයකට අපට යන්නට සිදුවේ.
ඒ වනවිට මම මගේ පලවෙනි පෙම් සබඳතාව බිඳවැටී දරුණු මානසික ව්‍යාකූලතාවකින් ගතකල සමයයි. බිඳ වැටුනා කීවද සිදුවුනේ ඇය එක්වරම මා අතහැර යාමය. ප්‍රේමයට කෝඩුකාරයෙක් වු මට එය මහත් කම්පනයක් විය. ඇය මා හැරගියාටත් වඩා මට සිත් වේදනාවක් වූයේ හැරගිය ආකාරයයි. කාන්තා සිත හෝ ආකල්ප ගැන මෙලෝ අවබෝධයක් මාහට නොතිබූ ඒ කාලයේ ප්‍රශ්නයක් වුවද ඇය මාහැර ගිය හේතුව පසුකාලීනව මට පැහදිලි විය. ප්‍රේම සම්බන්ධතාවක් කඩා වැටීමේදී තරුණයෙකුට වදින ක්ෂණික ප්‍රහාරය වනුයේ තමාගේ වූ යුවතිය අහිමි වීමේ වේදනාවටත් වඩා ඇයගෙන් ප්‍රතික්ෂේප වීමේ වේදනාවයි. ප්‍රතික්ෂේප වන්නට අප කවුරුත් අකැමැතිය. අප ප්‍රතික්ෂේප වන්නේ තරුණියකගෙන් නම් එය වඩාලාත්ම දරුණු වෙයි. එවැනි ප්‍රහාරයකින් වැටුණු විට නැගිටින්නට නම් තවත් තරුණියකගේ උපකාරය අත්‍යාවශ්‍ය බව මගේ පුද්ගලික අත්දැකීමයි. තරුණියකට නම් තරුණයෙකුගේ උපකාරය අවශ්‍යයය. එසේ නොමැතිවූ විට අවුල්වූ මනසින් යුත් මෙම තරුණ තරුණියන් විවිධවූ ප්‍රතිචාර දක්වති. සමහරු සියදිවි නසා ගැනීම දක්වා දිගදුර යන්නේ මෙවැනි අවුල් වූ මනෝභාවයන් වේ. මෙම ප්‍රතිකර්ම අවශ්‍ය වනුයේ කෙනෙකුගේ කුලුඳුල් පෙම් සබඳතාවට පමණක් බව වැඩිදුරටත් මතක තබා ගත යුතුවේ. ඊට පසු ඇතිවන සබඳකම් වලදී පෙර අත්දැකීම් වලින් ප්‍රයෝජන ගන්නා ඔවුන් ඇතිවන ප්‍රශ්න මනාව කළමණාකරණය කරගැනීමට සමත් වෙති. එමතුද නොව පසුකාලීනව සිදුවන අතහැරයාම් හෝ ප්‍රතික්ෂේපවීම් ද ගණනකට නොගෙන සිටීමට පුරුදු වෙති. ඉතින් මා පෙර කියූ කතාව තවත් ටිකක් විස්තර කරන්නට අවශ්‍යය. එනම් කොල්ලෙක් නම් කෙල්ලෙකුගේ අතේ හෝ කෙල්ලෙක් නම් කොල්ලෙකුගේ අතේ එල්ලී ගොඩ ඒමේ කතාවය.
ස්වප්නා කතාවට ප්‍රවිෂ්ට වන්නේ මේ ආකාරයටය. ඇය පත්වීමක් ලබා වැලිසර රෝහලට එන්නේ ඔය මා සඳහන් කල කාලයේදීය. සරලවම කිව්වොත් දඩ බූටක් කා මබ්බෝද වී සිටි මට රෑ නින්දද හරියකට නොලැබේ. උදේ පාන්දරින් ඇති කෝච්චියෙන් මම වැඩට යමි. ස්වප්නා වැඩට එන්නේද ඒ කෝච්චියෙන් බව දැනගතිමි.
දිනක් දුම්රියෙන් බැසගත් මා දුටුවේ ඉදිරියෙන් ගමන් කරන උස මහත කැපී පෙනෙන අඟපසඟ ඇති තරුණියකි. මා යන දෙසටම ගමන් කළ ඇය මාව දුටුවේ පාර පනින්නට ආපසු බලද්දීය. රෝහලේදී දැක පුරුද්දට ඇය සිනහවක් පා මා එනතුරු නැවතී සිටියාය. පළමුවරට අපි එදා කතාකරමින් රෝහලට ගියෙමු. ඉන්පසුව එය පුරුද්දක් බවට පත්වී කෝච්චියේද එක පෙට්ටියේ එන තරමට ප්‍රගතියක් ඇතිවිය.
කෙසේ හෝ ස්වප්නාගේ ඇසුර හේතුවෙන් මගේ සිත්තුල තිබූ ඔල්මොරොන්දම් මූසල ගතිය ටික ටික මග හැරෙන්නට වී යම් තරමක ප්‍රකෘති තත්ත්වයකට පැමිණී බව මටම වැටහිණි. අවංකවම කිව්වොත් බුට් කා බිමටම වැටී සිටි මා නැවත නැගිට්ටේ ස්වප්නාගේ උදව්වෙන් ඇගේ අතේ එල්ලීගෙනය. කෙනෙකුට ඇතිව තිබෙන දරුණු සිත් තැවුලකින් මෙසේ මිදෙන්නට හැකිබව තේරුම් ගිය මම බූට් කා හොඳටම අසනීප වී සිටි යුවතියන් කීප දෙනෙකුටම සනීප වෙන්නටම පසුකාලීනව ප්‍රතිකාර කලේ ඔවුන් පෙළන ශෝකයෙන් මුදවා ගැනීමේ පවිත්‍ර චේතනාවෙනි.
ස්වප්නා මාව තමන් සතු කරගන්නට බලාගෙන සිටින බව මට රහසක් නොවීය. ග්‍රාමීය ජීවිතයෙන් දැඩි ලෙස හික්මවූ ගති පැවතුම් රැසක් ඇගේ දිවියට බද්ධ වී තිබුනේ ගසට පොත්ත මෙනි. කොල්ලන් කෙල්ලන් අතර ඇතිවන ප්‍රේම සම්බන්ධතා ගැන යමක් කිව්වොත් කෙල්ලෙක් සමග සම්බන්ධතාවකින් කොල්ලෙක් බලාපොරොත්තු වන්නේ ආදරය,අවධානය, පාලුව මකාගැනීම, ලිංගිකත්වය ආදී සරල දේවල් වුවද කෙල්ලෙකු විෂයෙහි එය සම්පූර්ණ වෙනස් වේ. කෙල්ලෙක් හුදෙක් ආදරයට අමතරව අවධානය, ආරක්ෂාව,ප්‍රේමයේ ස්තාවර බව මෙන්ම මුල්‍ය ශක්තියද බලාපොරොත්තු වෙයි. ගමක හැදී වැඩුණු සාම්ප්‍රදායික ගති පැවතුම් ඇති යුවතියක් වූ ඇයගේත් මගේත් සිතුම් පැතුම් ගොනා සහ මීමා මෙන් දෙපැත්තට ගම න් කරන බව මට වැටහී ගොස් තිබුණී. ගොනා ගොඩට අදින විට මීමා අදින්නේ මඩටය. බෝතලේ වලව්වේ මී ගොන් කරත්තයක් තිබෙනු මම දැක ඇත්තෙමි. මී හරකුන් දෙන්නෙක් බැන්ද එය පාවිච්චි කලේ ගමේ කුඹූරුවල වී වලව්වට අදින්නටය. වලව්වට එන පාරේ එක පැත්තක ඇලය. අනික් පැත්තේ වෙල්ය. පොඩ්ඩ බැරි වෙනකොට එක්කෝ කරත්තය ඇලේය නැත්නම් වෙලේය. මා කුඩා කල මේ සෙල්ලම බොහෝ විට දැක ඇත්තෙමි. ඇති පදමට එලගොන්නු සහ කරත්ත ඇති වලව්වේ මී ගොන් කරත්තයක් හැදුවේ කවුදැයි ප්‍රශ්නයකි. ඒ කරත්තය මගේ ජීවිතයේ මෙතෙක් කල් දුටු ඒ ජාතියේ එකම කරත්තයයි. ගම කරත්ත වලට සමුදුන්නේ අත් ට්‍රැක්ටර් යුගය ආවාට පසුවය. ඕනෑම අත් ට්‍රැක්ටරයට ගමේ කීවේ ලෑන්ඩ් මාස්ටර් හෝ ලෑම් මාස්ටර් කියාය. මුලින්ම පාවිච්චියට ගත් වර්ගයේ නම විය හැකිය. පසුකාලීනව විවිධ වර්ගවල අත් ට්‍රැක්ටර් පාවිච්චියට පැමිණ තිබූ බව මට මතකය.
කුබෝටා, ෆාම් මාස්ටර් ආදී වර්ග අතර ඉසෙකි නම් අත් ට්‍රැක්ටරයක්ද විය. ඒක අයිති වුනේ පිළිකන්නවත්තේ ගෙදරටය. එලෙව්වේ කඩේ අයියාය. කඩේ අයියා අපේ ලොකු අම්මාගේ මහප්පාගේ අයියාගේ ලොකු පුතාය. කඩේ කිව්වාට ඔවුන්ට තිබුනු කඩයක් නොවීය. ආදි කාලයේ කඩයක් තිබුනු නිසා ඒ නම වැටෙන්නට ඇත. කුඹුරු ගොවිතැන් කරමින් සිටි කඩේ අයියාට ඊට අමතරව ට්‍රැක්ටරයේ කටයුතුද පැවරිණි. කඩේ අයියාට කුකුල් කොටුවක් දා ගන්නට උදව් කලේ වයි ඇම් සී ඒ එකෙනි. කුකුල් කොටුව හදන්නට වත්තේ ඉඩ නොතිබූ නිසා එය හැදුවේ මහගෙදර වත්තේය. කිකිළියන් සිය ගණනකට සෑහෙන්නට හැදූ ලොකු කුකුල් කොටුවක් වූ එය බාගෙට මැටි බිත්ති බැඳ දැල් ගසා පොල් අතු සෙවිලි කළ කොටුවේ බිමට දහයියා අතුරා නිම කර තිබුණී. වයි ඇම් සී එකෙන් දුන් කුකුල් පැටව් පෙට්ටිද කුකුල් කෑම ගෝනිද මීරිගම සිට ඉසෙකියේ පටවාගෙන ආවේ අපි දෙන්නාය. පැටව් කූඩුවට නිදහස් කල විට මම උන්ට වතුර දුන්නේ නිකමට වගේය. රෑ පහන් කීපයක් තබා උණුසුම දුන්නෙමු. පසුවදා බලන විට වෙහෙස නිසා මියගොස් තිබුනේ පැටව් පස් දෙනෙක් වගේය. ගෙනිච්ච අනික් අයට සාපේක්ෂව එය ඉතා හොඳ ගණනක් විය. ඉන්පසුව මගේ දවස ගෙවුණේ කුකුළන් එක්කය. කෑම දීම වතුර දීම අවශ්‍ය වුණොත් එලියට දමා නැවත ආපසු දැමීම මගේ රාජකාටි අතර විය. පැටව් ලොකු වෙද්දී හැදෙන ලෙඩ වලට බේත් දීමද අත්‍යාවශ්‍ය කාරියක් විය. කුකුලන්ට හැදෙන විවිධ ලෙඩ වර්ග මා අත්දුටුවේ කොටුවේ වැඩ කරද්දීය.
කුකුළන්ගේ වැඩේට කරදර වෙන්නට අනවශ්‍ය නිසා කඩේ අයියා පැෂන් ෆෲට් හෙවත් වැල් දොඩම් කොටුවක් දැම්මේද වයි ඇම් සී එකේ උපකාරයෙනි. පැල,පොහොර ආදිය ලැබෙන අතර අස්වැන්න වයී ඇම් සී එක මිලදී ගනී. බිත්තර මිලදී ගන්නවා වගේමය. ඔවුන් වියදම් කළ මුදලින් කොටසක්ද කපාගනී. ඒ කාලයේ කඩේ අයියා කරපු දේශපාලනයක් නැත. නමුත් පසුකාලීනව ඔහු ජනතා විමුක්ති පෙරමුණේ භක්තිවන්ත අනුගාමිකයෙක් විය. මොන වැඩේ කලත් උපරිම කැපවීමෙන් එය කරන කඩේ අයියාගේ සිරිත අනුව ඔහු ජ වි පෙ දේශපාලනයද උපරිම කැපවීමෙන් කළේය. ඒ කාලයේ මැයි දිනයේ ටවුන් හෝල් එක හරියට වී ජ වි පෙ මැයි පෙළපාලිය නැරඹීම මගේ සිරිතක් විය. ඒ අසූ ගණන්වල මුල හරියේ වන්නට ඇත. අසූ තුනේ ජ වි පෙ තහනම් විය. හැම අවුරුද්දේම මැයි දින පෙළපාලි වල කඩේ අයියා සුපුරුදු දසුනක් විය. ඔහු පෙළපාලියේ සැමදාම ඉදිරිපත් කරන්නේ ඒකාංගික රංගනයකි. එක්කෝ වෙස් මුහුණක් දමාගෙන යකෙකුට ඇඳ නටයි. එක්කෝ සුදු පිරුවටයක් හැඳ රතු රෙද්දක් ඉනේ ඔතාගෙන බෙරයක් ගසමින් යාදිනි කවි කියමින් ගමන් කරයි. 88/89 භීෂණ සමයේ කඩේ අයියා පණ බේරාගත්තේ ඉතා අසීරුවෙනි. පොලිසියද විවිධවූ සන්නද්ධ කණ්ඩායම්ද රෑ දවල් නොමැතිව ඔහු පසුපස එළවද්දී දිවි බේරාගන්නට කැලෑවට වැදී ගල් ගුහාවල මැස්සන් මදුරුවන් හා සර්පයින්ගෙන් පීඩා විඳිමින්, අව්වට වේලෙමින්, වැස්සට තෙමෙමින් නොවිඳිනා දුක් වින්දේය.
2002 පළාත් පාලන මැතිවරණයේදී ජ වි පෙ කඩේ අයියාව මීරිගම ප්‍රාදේශීය සභාව තරග කිරීම සඳහා අපේක්ෂක ලැයිස්තුවට නම් කළේය. එම මැතිවරණයේ බෝතලේ ශ්‍රී ගෝඨාභය රජමහා විහාරයේ තිබුනු ඡන්ද පොලේ ජ්‍යෙෂ්ට ඡන්ද ස්තානාධිපති කම මට ලැබී තිබුණි. උදේ ඡන්ද දායකයන් ඡන්දය දමනු බලමින් සිටි මම දුටුවේ කඩේ අයියා තවත් අපේක්ෂකයෙකු සමග ඡන්ද පොලට ඇතුල්වෙන ආකාරයයි. සුදු සරමක් කමිසයක් හැඳ අපේක්ෂක යනුවෙන් ලේබලයක් සක්කුවේ ගසාගෙන සිටි ඔවුන් ඡන්ද පොලවල් පරීක්ෂාවේ යන ගමන්ය. මම ඔවුන්ට ඇතුළට කතාකර වාඩිවෙන්නට කියා තොරතුරු කතා කළෙමි. ආපසු යන්නට ගිය කඩේ අයියා මඳක් ඉදිරියට ගොස් ආපසු හැරී ඇවිත් මගෙන් ඇසුවේ "මල්ලි නේද මෙතන ලොක්කා" යනුවෙනි. මහත්වූ ස්නේහයක් ඔහුගේ දෑස් තුළ විය. අප අතීතයේ කළ කී දෑ ඔහුට මතක් වන්නට ඇත. කතා කරගන්නට බැරිව මුව ගොලුව ගිය මම සිනාසුනෙමි. අවිවාහකයෙකු වූ කඩේ අයියා බැඳී සිටියේ පක්ෂයටය. පක්ෂය ඔහුගේ බිරිඳ වූ අතර පක්ෂ ක්‍රියාකාරීන් ඔහුගේ දරුවන් විය. දුරස්තරව ජීවත්වීම මෙන්ම මා රටේ නොසිටීමද හේතුවෙන් පසුකාලීනව මට කඩේ අයියාව බොහෝ දුරට මග හැරුණි.
ටික කලක් අසනීපයෙන් සිටි කඩේ අයියා මීට දසවසරකට පමණ පෙර මියගියේය. ඔහුගේ මරණයටද සහභාගි වෙන්නට මට නොහැකි වුයේ රටේ නොසිටි නිසාවෙනි. මම එයට කැමත්තෙමි. කඩේ අයියාගේ නිසල කය නොදුටු මගේ සිත තුල හැමදාටම ජීවත් වෙන්නේ මා දන්නා කඩේ අයියා බැවිනි. සිය ජීවිතයේ වටිනාකම තුට්ටු දෙකට දමා පෞද්ගලික පරමාර්ත අමතක කරමින් කඩේ අයියා පැතූ පාලනය දැන් බිහිව ඇත. ඔවුන් පැතූ ලොව ඉදිවේද නැද්ද යන්න කියන්නට තවම කල් වැඩිය. කොහොම උනත් කඩේ අයියාට ඉන්න තැනක ඉඳ සතුටු වෙන්නට මේ හොඳටම ප්‍රමාණවත් ය. කඩේ අයියා මට නැවත කවදා හෝ හමුවනු ඇත. එදාට අපි ආයෙම කුකුල් කොටුවක් දමා පැෂන් කොටුවක්ද වවමු.
ඊලඟට සුනිල් සහෝදරයාය. තමන් විශ්වාස කල අරමුණ වෙනුවෙන් සිය පෞද්ගලික ජීවිතය අමතක කර දළ අහර බුදිමින් බොහෝවිට කුසගින්නේ සිටිමින් අනන්ත කැපකිරීම් කළ සුනිල් සහෝදරයා මට ආපසු කවදාවත්ම මුණ නොගැසුනු චරිතයකි. අප පුද්ගලික ජීවිත වෙනුවෙන් වෙහෙසෙද්දී ඔහු සැවොම වෙනුවෙන් වෙහෙසුනේය. සමහර විට අද සුනිල් සහෝදරයා ජීවත්ව සිටින්නට පුලුවන. එසේ නොමැති නම් භීෂණ සමයේදී වධ දී මරා ටයරයක් මත අවසන් ගමන් ගියා වන්නට පුලුවන. ජීවත්ව සිටීනම් අද අවුරුදු හැත්තෑ ගණනක වයෝවෘද්ධයෙක් හැටියට සතුටු වෙනවා ඇත. වයස කීයක් ගියත් විප්ලවීය ජීවගුණය නොනැසී පවතින සුනිල් සහොදරයාගෙන් විහිදෙන සහෝදරත්වයේ සුවඳ නොනැසී පවතිනු ඇත.
Monday, July 4, 2022
සේනගේ කතාව, ලණුවේ පටලැවිල්ල, නිළමේගේ සංග්‍රහය, ගුරාගේ කොටුව සහ නඩු විභාගය.
https://helapakade.blogspot.com/2020/07/blog-post.html
අපි අන්තිමට සේනගේ කතාව කියෙව්වේ 2020 අවුරුද්දේය. කතාව තව ටිකක් කියන්නට ඇත. අද ලෑස්ති වෙන්නේ ඉතුරු ටික කියන්නටය. ඉවර කරගන්නට හැකිවේදැයි නොදනිමි.
සේනත් මමත් නිළමේගේ රා පොළෙන් රා කටු දෙක තුනක්ද සප්පායම් වී කයියක්ද ගසමින් සිට ආපහු ඩැනිස්ගේ කාමරයට ආවේ සෑහෙන්න ප්‍රමාද වෙමිනි. අපි එනවිට ඔහු නින්දෙන් නැගිට උදේට කා බී සිගරට්ටුවක්ද උරමින් කොට බිත්තිය උඩ වාඩිවී සැහැල්ලුවෙන් සිටියේය.
"අම්මට සිරි! මේ සේන නේද? මොකද මේ හදිස්සියෙ?" ඩැනිස් ඇසුවත් සේන හදිස්සියෙන් ආවේ ඇයි කියන එක ඔහු හොඳින් දැන සිටි බව ඔහු මට ඇසකින් ඉඟි කරන විටම තේරුම් ගියේය.
"නිකං ඇවිත් යන්න ආව සිල්වා රාළහාමි." ඩැනිස්ට ගමේ කවුරුත් කතා කළේ සිල්වා රාළහාමි යනුවෙනි.
"යමු ඇතුළට දෙන්නම." කියමින් ඩැනිස් අපව කාමරය තුලට කැඳවාගෙන ගියේය.
කාමරයට ගොස් ඇඳක හිඳගත් වනම සේනගෙන් ඩැනිස්ට ප්‍රශ්නය යොමුවිය.
"ඇත්තද රාළහාමි මේ මෙයා කියන්නෙ?"
"මොකක්ද?"
"රාළහාමි රොටියත් එක්ක සම්බන්ධකමක් තියෙනව කියල?"
"ඉතිං මොකක්ද ඒකෙ ඇති වැරැද්ද?" සේනයාව මඩවන්නම හිතාගෙන ඩැනිස් සැහැල්ලුවෙන් උත්තර දෙයි. ඒ චෝදනාව ඩැනිස් තරයේ ප්‍රතික්ෂේප කරනු ඇතැයි සිතාසිටි සේන ඩැනිස් චෝදනාව වැඩි බරක් නැතුවම පිළිගැනීම ගැන මවිතයට පත්වෙයි. එන්න එන්නම සේනගේ ස්වරය හැඬුම්බර වෙයි.
"ඉතිං රාළහාමි බැඳලනෙ?"
"හරි මගුලක්නෙ. බැඳපු මිනිහෙකුට කෙල්ලක් යාළු කරගන්න තහනම් කියල නීතියක් මොකක්හරි තියෙනවද? මම ඇහුවා ඒකිත් කැමති උනා එච්චරයි."
"ඒ උනාට රොටියා මගෙත් එක්කනෙ යාලුවෙලා හිටියෙ."
"ඒ කලින් වෙච්ච දෙයක්නෙ. යාලුඋනා නම් කෙල්ලව පරිස්සම් කරගන්න තමුසෙ දැනගන්න ඕනෑ. කෙල්ලව ගෙදර දාල කැලෑ හතේ රස්තියාදුවෙ ගියාම කෙල්ලො වෙන අතක් බලාගන්නව තමයි. ඒකට උන්ට දොස් කියල හරියන් නෑනෙ."
"යකෝ ඕකිමනේ මට කිව්වෙ, අනාගතයක් තියෙන්න ඕනෑ, ගමේ රස්තියාදු ගගහ ඉඳල හරියන් නෑ. රස්සාවකට ගිහිං යමක් කමක් හම්බ කරගන්න කියල. ඒක හින්දනෙ මම ගියෙ. ගිහිං මාසයක් උනේ නෑ ඕකි මට මෙහෙම කළානෙ."
බිම බලාගෙන හිසේ අත් ගසාගත් සේන හඬන්නට විය. සේනයා අඬන හැටි ඩැනිස්ට බලාගෙන ඉන්නට බැරිවිය. ජොලියට ලණුවක් දුන්නත් එය එහෙම පිටින්ම ගිල කතාව නොසිතූ පැත්තකට හැරේවි යයි අප බලාපොරොත්තු වුණේ නැත.
"ඔය විලාපෙ නවත්තගන්නව සේන. අපි තමුසෙව රවට්ටන්න බොරුවක් කළේ. යාලුවන්ට අපි එහෙමත් සවුත්තු වැඩ කරනවද මනුස්සයො."
ඩැනිස් හොඳින් කතාකර සේනගේ හිත හැදුවේය. කඳුළු පිසදාගත් සේන අප දෙස බලා සිනාසුනේ සතුටිනි. එදා හවස සේනත් රොටියාත් දෙහි ගහ යටටවී පෙම් බස් දොඩනු අප දෙදෙනා බලා සිටියේ සිනාසෙමිනි. සේන පහුවදා පාන්දරම ගඩොල් වාඩියට යන්නට පිටත් වුණේ දවස් දෙකක් වැඩ පාඩු උනා යයි මට දොස් කියමිනි.
"අහිංසකයට පව් බං." ඩැනිස් කීවේය.
ගුරාද ඩැනිස්ගේ කාමර සගයෙකි. නුවර දෙයියන්නෙවෙලින් පැමිණි ගුරාත් අලුත්ගම කළුවාමෝදරින් පැමිණි ඩැනිසුත් එක කාමරයක එකතුවුනේ රෙදි මෝලේ රස්සාව නිසාය. ඔය වගේ රටේ විවිධ පළාත්වලින් පැමිණ එකට නැවතීගෙන කමින් බොමින් රස්සාව කරපු සිය ගණනක් ඒ කාලයේ අපේ ගම සිය තාවකාලික වාසස්ථානය කරගෙන සිටියහ(එමෙන්ම සමහරක් පසුකාලීනව තාවකාලික වාසස්ථානය සදාකාලික කරගත්හ) රටේ හැම පැත්තකින්ම පැමිණි විවිධ ජනවර්ග වල අයගේ ප්‍රාදේශීය භාෂා ව්‍යවහාරයන්ද විවිධාකාර විය. බිබිලේ දුෂ්කර ගම්මානයකින් පැමිණ රස්සාව කළ රසාක් කැඩි කැඩී සිංහල කතා කළේය. බදුල්ල පළාතෙන් පැමිණි තරුණයෙක් වූ කරුනාසිංහත් ගිරුවා පත්තුවේ වීරකැටියටත් එහා ගමකින් පැමිණි පාලත් බෙහෙවින් ප්‍රිය කළේ රා බීමටය. කොටින්ම එකල අපේ ගම මුළු ලංකාවේම හරස්කඩක් වුයේ රෙදිමෝල නිසාය. මොන ජාතියක වුවත් රටේ කොයි පළාතක වුවත් නිවාඩු ඇති හැම වෙලාවේම කට්ටිය එක් රැස් වුණේ පොඩි මහින්දලාගේ ගේ ඉස්සරහ තිබුණු කොට්ටං ගහ යටටය. වැඩුමල් වුනත් බාල උනත් පිටින් පැමිණි සියළු දෙනාම කරන දෙයක් කරන්නේ ගමේ කොල්ලන් වූ අපේ අනුදැනුම පිටය. ඔය මම කියන්නට යන දවසේද අඩු තරමින් හත් අට දෙනෙක්වත් කොට්ටං ගහ යට එකතුවී කතා කරන්නට වුණේ අද කුමක් කරමුද කියාය. මාසයේ අග දවස් නිසා ඊළඟ මාසයේ පඩි ලැබෙනතුරු රස්සාව කරන උන් අතේ මුදල් නැත. රස්සාවල් නැති කොල්ලන් වූ අපේ අතේ කවදාවත් මුදල් ගැවසුණේ නැත. හොර කුරුම්බා කැඩීම, අලවත්තේ අන්නාසි හොරෙන් කඩා කෑම, මාළු වලවල් ඉසීම, දෙල් හෝ මඤ්ඤොක්කා තම්බාගෙන කෑම සහ කොළ කැඳ හැදීම එකල අප අතර ජනප්‍රියම අංග විය. එදා ඒ එකකටවත් කාගේවත් කැමැත්තක් නොතිබුණි. අවසානයේ තීරණය වුයේ නිළමේ බලන්නට යෑමටය. එයට සියළු දෙනාම එකඟ වුයේ මහත් සතුටිනි. නිළමේ බලන්නට යාම යනු වෙන වචනයකින් කිව්වොත් රා බොන්නට යෑමය. ඒ නිළමේ රාවලින් දේශීය නිෂ්පාදනයක් පෙරන්නට ගත් අලුතමය. කැමති අයට කැමති දෙයක් බොන්නට ලැබෙන නිසාත් සත පහක්වත් වියදම නොයන නිසාත් හැම දෙනාම නිළමේ බලන්නට යන්නට බොහෝ මනාපය.
තීරණයක් ගත් පසු ප්‍රමාද වෙමින් සිටීමේ තේරුමක් නැත. ඔක්කොමල්ලා ඒ වනවිට මගට බැස හමාරය. නිළමේ සිය වාඩිය තනාගෙන සිටියේ අපේ ගමට එහා ගමේ කෙළවර පියාගෙන් ලැබුණු ඉඩම් කැබැල්ලකය. පාරෙන් යනවා නම් වාඩියට යන්නට කිලෝමීටර් දෙකහමාරක් තුනක් යන්නට ඇත. අපි ගියේ කොට පාරවල් වලින් වතු උඩින් පැන ගනිමින් නිසා ඉක්මනටම වාඩියට යන්නට හැකිවිය. අපි යනවිට අතුරේ ගසින් ගසට යමින් මල් කපමින් සිටි නිළමේ අපේ පැමිණීම දුරතියාම දැක අතුරෙන් බැස වාඩියට ආවේය. සුළු කතාබහකින් පසු තව ගස් ටිකක් කපා ඉවරකරන්නට ඇතැයි කියා ඇල අසල බඩවැටියට ගිය නිළමේ තමන් ආපසු එනතුරු බොන්නටැයි කියා පිරී තිබු හතේ කෑන් එකක් ගෙනැත් තිබ්බේය. බඩු වැඩිපුර කළවම් කර නොමැති නිසා සැර ඇතැයි කියූ ඔහු කළවම් කරගෙන බොන්නැයි අවවාදයක් කළ නිළමේ බයිට් එකට සැර ගමේ අච්චාරු මුට්ටියක්ද ගෙනැත් තබා ආපහු ගස් නගින්නට ගියේය. අවවාද අනවශ්‍යය. අපේ උන් නිළමේ ගහ ලඟට යන්නටත් කලින් වක්කරගෙන බොන්නට පටන් ගත්හ. මෙච්චර කොහොම බොන්නටදැයි විමතිය පළකරමින් පටන් ගත්තත් කෑන් එක කෙමෙන් කෙමෙන් අඩුවන්නට විය. මුලින්ම වැටුනේ අබයාය. ඌව වියපු පොල්අත්තක තබා තව පොල් අත්තකින් වැසුවේ අව් සැර වැටෙනවාටය. තවත් දෙතුන් දෙනෙක් වැටෙද්දී කෑන් එකේ පතුල පෙනෙන්නට විය. වත්තම් කරගෙන යන්නට පුළුවන් උන්වත් රැගෙන අපි ආපහු ආවෙමු. එදා බීපු බීමේ සැරට මගේ උගුර පිච්චි දවස් කීපයක් කෑම කන්නද බැරිවිය.
මෝලේ වැඩකරපු සැට් එකේ ඉන්න වැඩි හරියක් බීමට කප් ගහපු උන්ය. කෑම නැතත් කොහෙන් හෝ බීම සොයාගනිති. බීමට පසු ප්‍රමුඛත්වය ලැබෙන්නේ මෝලටය. බීවාට පසු මෝල් අමාරුව හැදෙන උන්ද බීවද නොබීවද නිතරම මෝල් අමාරුව ඇති උන්ද ඉන්න අතර මේ අය නිතරම අමාරුව සුව කරගන්නට තැන තැන සැරිසරති. දවසක්දා හවස ඇඳිරි වැටීගෙන එන වෙලාවේ නාකියාගෙන එහෙම කාමරයට ආ ගුරා යාළුවෙක්ට කතා කළේය.
"ඒයි, එනව ගමනක් යන්න!"
"කොහෙද ඕයි?"
"තමුසෙට ඒකෙන් වැඩක් නැනෙ. එනවකො යන්න!" කී ගුරා කඩිමුඩියේ ලොකු සිමෙන්ති කඩදාසි කවරයක් ගෙන ඌ පුට්බෝල් ගහනවිට ඇඳ අයින් කර දමා තිබු පරණ ජර්සි වගයක් කවරයට පුරවන්නට විය. ජර්සි කවරයට පුරවා ලොකු පාර්සලයක් ඔතාගත් ගුරා යාළුවාත් එක්ක දෙවැට පාර දිගේ පල්ලම් බහින්නට විය. එකල අපේ ගම වෙන්වී තිබු කුඹුරු යාය හරහා වැටුණු පාර තිබුණේ නැත. කවුරු කවුරුත් දෙවැට දිගේ වැටී තිබු අඩිපාරෙන් ගොස් වෙල නියර දිගේ එගොඩ ගොඩට යන්නට පුරුදුවී සිටියහ. දෙවැට පාරේ මඳක් දුර ගොස් ගෙදරක කම්බි වැට අයිනේ නැවතුණු ගුරා බලා සිටින්නට විය. ටික වෙලාවකින් ගේ පිටුපසින් කාන්තාවක් එළියට ආවාය. ඇය ඉක්මන් ගමනින් කබල් වැට අයිනේ සිටි ගුරා ලඟට විත් නැවතුනාය.
"රෙදි ගෙනාවද?" කාන්තාව කසු කුසුවෙන් ඇසුවාය.
"ඔව් මේ !" ගුරා පරණ ජර්සි පාර්සලය ඇයට පෑ විට කාන්තාව එය අතට ගත්තාය. යාලුවා එතැනම පොල් මුලක් උඩ වාඩිවී බලා සිටී. ගුරා ඌව ගෙනැවිත් ඇත්තේ ඔත්තු බලන්නටය.
"එන්න!" ගුරා කීවේ රහස් හඬකිනි.
කාන්තාව වැට පැන එන්නට අදි මදි කරයි. ගුරාද වැට පැන ඇතුළට යන්නට කැමති නැති සෙයකි. දෙදෙනා මඳ වෙලාවක් කසු කුසුවෙන් සාකච්ඡා කර අන්තිමේ දෙදෙනාටම එකඟ විය හැකි විසඳුමකට පැමිණියහ. කාන්තාව සිය හැඳිවත උනා දෙකට නැවී මළකඩ කාච්ච කම්බි දෙපොටක් අතරින් සිය විසල් පශ්චාත්භාගය එළියට දමා දණගසා ගත්තාය. ගුරා කාන්තාව ලඟට කිට්ටු වුණේ තොළකට ලෙවකමිනි. විනාඩි දෙක තුනක් ගතවන්නට ඇත. දෙවැට පාරේ කන්ද උඩින් ගිණි පුපුරක් සෙලවෙනු යාලුවා දුටුවේය. ගිණි පුපුර වරෙක දීප්තිමත් වෙයි. නැවත එළිය අඩු වෙයි. යාළුවා විමසිලිමත් විය. ගිණි පුපුර තරමක වේගයෙන් කන්ද බසී. කවුරුන් හෝ දුම්වැටියක් දල්වාගෙන කලුවරේම එන බව පැහැදිළිය. ගුරාට සංඥාවක් කළ යාළුවා පහළට දුවන්නට විය. ගුරාද ඔහු පසුපස ඉගිළුනේය. යාළුවා වෙල නියර පසු කරමින් ගොස් නැවතී බලා සිටියේය. ගුරා ආගිය අතක් නැත. දුම්වැටිය දල්වාගත් පුද්ගලයාද යාළුවා පසුපසම ඇවිද ඇවිත් මහ නියරට ගොඩවී අනෙක් අතට යන්නට විය. දුමවැටිය උරමින් ඇවිත් තිබුණේ නිළමේ බව යාළුවා දුටුවේ එවිටය. හැමදාම උයාගෙන කන වාඩිබත එපාවුණු විට නිළමේ අම්මාගෙන් බත් කන්නට සතියකට වතාවක් දෙකක් ගෙදර යයි. එදාද නිළමේ ගෙදර ගිය දවසකි. ටික වෙලාවක් බලා සිට ගුරා නැති තැන යාළුවා ගෙදර ගියේය.
කාන්තාව රෙදි ඉල්ලීම ගැන කතාවද පැහැදිලි කළ යුතුය. රෙදි මෝලේ වැඩ කරන අයට අලුත් අවුරුද්දට රෙදි සලාකයක් හිමිවේ. දෙන ප්‍රමාණය ගත් කළ සේවකයාගේ පවුලටම සෑහෙන රෙදි ප්‍රමාණයකි. රෙදි සම්බන්ධයෙන් යම් යම් සීමා පැවති මේ සමයේ මෝලෙන් දෙන රෙදිවලට රෙදි සාප්පු කාරයන් සහ කලුකඩකාරයන් ඇස ගසාගෙන ඉන්නේ රෙදි හැකි ප්‍රමාණයක් මිළට ගන්නටය. මෝලේ වැඩකරන බොහෝ තනිකඩයන් තම රෙදි කොටස විකුණා අරක්කු බොති. එක්කෝ හොරපොලේ ණය බේරති. රෙදි ටික ගෙදර ගෙනයන්නේ පවුල් කාරයන්ය. ඒත් ගෙදර ගෑනිගෙන් බේරෙන්නට හැකියාව ඇත්නම් උනුත් රෙදි විකුණති. ගුරා කාන්තාව සමග ගනුදෙණුව කතා කරද්දී ඇය ඉල්ලුවේ රෙදිය. මෙය එකල ග්‍රාමීය දුගී කාන්තාව මුහුණදී සිටි දරිද්‍රතාවේ එක් පැතිකඩකි. බොහෝ කාන්තාවන් තම දරුවන්ට අවුරුද්දට අලුත් ඇඳුමක් මසා දෙන්නට නොහැකිව ලතවී සිටිති. ඇගේ ස්වාමිපුරුෂයා උපයන මුදල බොහෝවිට යන්තම් ආහාර සඳහා සෑහෙන ප්‍රමාණයකි. එහෙමත් නැත්නම් මනුස්සයා බේබද්දෙකි. සිය පවුලට කෙසේ හෝ රෙදි ටිකක් ලබා ගැනීමේ අටියෙන් කාන්තාව රෙදි ලබා දිය හැකි කෙනෙකුට සිය සේවය ලබාදෙයි.
කලින්දා සිදුවුන දේ ගැන සංවාදයක් ඇතිවුනේ පහුවදා ගුරාගේ කාමරයේදීය.
"ෂික් යකෝ, පටන් ගත්තා විතරයි!" ගුරා විස්සෝප වෙයි.
"කවුද දන්නෙ එන්නෙ නිලමයා කියල?" යාලුවා කියයි.
"ඒකනෙ, නැත්නං ෂේප් එකේ එහෙමම හැංගිල ඉන්න තිබ්බ බං!"
"ආයෙ ඉතිං එහෙ ගිහිං ඉවරයි නේද?"
"ඇයි ඒ?"
"නෑ ඉතිං රෙදි කියල ගෙනිච්ච කඩමාලු දැක්කම ආයෙ ඒ ගෑනි උඹේ මුණවත් බලයිද?"
"එහෙමම නෑ. හැබැයි මීට පස්සෙ හම්බෙන්නෙ අත්පිට මුදලට!" ගුරා කොටු පැනීම් ගැන විශේෂඥයෙකි.
"තමුසෙට තිබුනෙ අර පාර්සලෙත් අරං පනින්න!"
"කොහෙ ගන්නද? පාර්සලේ උඩනෙ ඒකි අත් දෙක තියං හිටියෙ!"
"ඒ ඇයි එහෙම?" යාලුවා අසන්නේ මෝඩකමටය.
"ඇයි ඕයි වැලමිටි දෙකේ ගල් කෑලි නිදිකුම්බ කටු එහෙම ඇනෙන හින්දනෙ!" ගුරා පණ්ඩිතයෙක් සේ කියන්නේ යාළුවාගේ මෝඩකම ගැන හිනාවෙමිනි.
ගුරාත් සේනත් හොඳම යාළුවන්ය. දෙන්නාම එකම උස මහතය. ගුරා උගේ ඇඳුම් සේනයාට අන්දවා චිත්‍රපටි රඟපෑම් කරවයි. එහෙම නැත්නම් සිංදුවලට නටවයි. සේන ගමේ නොහිටි නිසා මේ සෙල්ලම් ටික කලකට නතරවී තිබුණි. ගඩොල් වැඩපොළේ වැඩ ඉවර කර සේන ගෙදර ආවේ මේ අතරය. ආපහු වැඩකට යන්න නොසිතු සේන සුපුරුදු රස්තියාදුවට වැටුනේය. වැඩියත්ම රොටියා සමග තිබූ පලහිලව්ව නැති වේ යයි බියෙන් පසුවුණු සේනයා හැමවිටම රොටියා ලඟින් සිටීමට වග බලාගත්තේය. දෙහි ගහ යටත් මහලිඳ ලඟත් උන් දෙන්නාගේ ප්‍රේම ජවනිකාවන් නිතරම රඟ දැක්වෙන්නට විය. බෝම්බය පුපුරා ගියේ උන් දෙන්නාම නොසිතූ වේලාවකය. සේනත් රොටියාත් ගැන ගමේ පැතිරුණු කටකතා මුලින්ම රොටියාගේ නැන්දා හෙවත් පොඩි මහින්දලගේ අම්මා විශ්වාස නොකළත් දිගින් දිගටම ඒ ගැන නොසිතා ඉන්නට බැරි තැනට වැඩ කටයුතු සිදුවන්නට වූයෙන් රොටියාට බැන වැදුණු ඇය මේ කතාවල ඇත්ත නැත්ත විමසුවාය. මුලින් සේනත් සමග සම්බන්ධයක් තිබුණු බව ප්‍රතික්ෂේප කළත් නැන්දාගේ දැඩි ප්‍රශ්න කිරීම හමුවේ ඇය සත්‍යය පිළිගත්තේ වෙන කරන්නට දෙයක් නොමැති තැනය. නැන්දාගේ පහළ උසාවියේ ඇසුණු නඩුව තවදුරටත් විභාග කිරීම සඳහා ඉහළ උසාවිය හෙවත් පොඩි මහින්දලාගේ තාත්තා හමුවට පැමිණවීමට ඇය කටයුතු කළාය.
දවසක් හැන්දෑවේ අපි සුපුරුදු රස්තියාදුවට ඩැනිස්ගේ කාමරයට යද්දී සාලයේ වෙනදා නැති අමුතු දර්ශනයකි. සේනත් රොටියාත් පුටු දෙකක වාඩිවී සිටිති. පොඩි මහින්දලාගේ තාත්තා සහ අම්මා තවත් පුටු දෙකකය. බිම බලාගෙන නළලට අත තබාගත් රොටියා නොනවත්වාම ඉකිබිඳිමින් හඬයි. සේන නිශ්ශබ්දව බලාසිටී.
"මේ ගොන් හරකිට මිනිස්සු නැතුවද ඈ? මේ කොහෙවත් නැති නිකමෙක් අල්ලගත්තෙ." පොඩි මහින්දලෑ අම්මා රොටියාට දිගින් දිගටම දොස් කියයි.
"එහෙම කතා කරන්න එපා, කාටද නිකමා කිව්වෙ මටද? මම නිකමෙක් නෙවෙයි. මම ඇවිල්ල මට ඕනෑ වෙලාවක ඕනෑ ගාණක් හම්බ කරන්න පුළුවන් පොරක් හරිද!" සේන වහාම ඔහුට එරෙහිව නැගුණු චෝදනාවට විරුද්ධ වෙයි.
"අනේ උඹයි මමයි කරන හම්බ කිරිල්ල. යකෝ පවුලක් කනව නං යමක් කමක් හම්බ කරගෙන තියෙන්න ඕනෑ. තොට තියෙන්නෙ ඉනේ වස්තරේ විතරයි. කසාද බැඳල ගෑනිට කන්න දෙන්නෙ තොගෙ ලබ්බද?" පොඩි මහින්දලෑ අම්මට හොඳටම කේන්ති ගිහින්ය.
"දැන් ඔය රණ්ඩුව නවත්තගන්නව. තමුසෙ අගේට ගෙදර වැඩපල කරගෙන හිටපු ළමයට බොරු කියල රවට්ට ගත්තනෙ!" මහින්දලෑ තාත්තා කීවේය.
"වැරදියි. මම රවට්ට ගත්තෙ නෑ හරිද? අපි දෙන්න කැමති වුණා. ඊට පස්සෙ ලව් කළා. ඇයි මොකද වැරදිද?" සේනයා ආක්‍රමණශීලීය.
"මම දැක්කනෙ තමුසෙ ලියල දීල තිබුණු බොරු ගොඩ!"
සාලයේ කැබිනට් එක උඩ ලියුම් මිටියකුත් ලේන්සු කීපයකුත් කොණ්ඩා කටු වගයකුත් තබා තිබුණේ නඩු භාණ්ඩ වශයෙනි. ඒවා සේන විසින් රොටියාට තෑගීදී තිබියදී සොයාගත් බව නඩු විභාගයේදී හෙළි වුනි. නඩුව රෑ බෝ වෙනතුරු දිගින් දිගටම ඇදී ගියේය. සේන පුරාජේරු කියවයි. රොටියා දිගටම හඬයි. මහින්දලගේ අම්මා ජෝඩුවටම දෙස් දෙවොල් තබයි. ඉවරයක් නැත. කම්මැලි නිසා අපි යන්නට ගියෙමු. පහුවදා උදේ අපි එද්දී තීන්දුව ලබා දී දඬුවම ක්‍රියාත්මක කරලාත් ඉවරය. සේනයාට කිසිම දඬුවමක් නැත. ඇත්තටම ඌට දඬුවම් දෙන්නට විදියකුත් නැත. අහිංසක රොටියා වහාම ක්‍රියාත්මක වන පරිදි ගෙදර පිටත් කරලාය. ඊට පසු කවදාවත් මට රොටියා දකින්නට ලැබුණේ නැත. හොඳින් පවුල් ජීවිතයක් ගෙනයමින් ඉන්නවා කියල නම් දැනගන්නට ලැබුණි. පොඩි මහින්දලෑ කාමරය හිස්විය. මුලින්ම යන්න ගියේ ඩැනිස්ය. ඔහු රස්සාවෙන් අස්වී ගෙදර ගියේය. ඊට පසු ගුරා ගියේ මාදුවාගේ ගෙදර කාමරයකටය. පසුකාලීනව අපි සෙට් උනේ එතැනය. එතකොට මාදුවලා චූ කොල්ලන්ය. අපිටත් එක එක්කෙනාට රස්සාවල් ලැබෙන්නට වූ පසු කාමරේ එකතුවී පිස්සු නැටිල්ල අඩුවී ගියේ වැඩ වැඩිකම නිසාය. කොහොමින් කොහොමින් හරි මට සේනව ගොඩක් මග ඇරුණේය. පසුකලක ආරංචි වුණේ සේන වීරඟුලේ පැත්තෙන් කසාදයක් කරගෙන එහෙටම බින්න බැස ඉන්නවා කියලාය. පහුගිය අවුරුද්දේ වගේ මට අහම්බෙන් සේනව හමුවුණේ සේනලාගේ මහගෙවල් පැත්තේ මලගෙදරකදීය. මම යනවිට ආපහු එමින් සිටි සේනව දුටුවිට කතාකළෙමි. සේන කීවේ ඔහු කලකට ඉහතදී දරුණු ලෙස අසනීප වූ බවත් දැනටත් බේත් බොමින් සිටින බවත්ය. ඉතින් සේනගේ කතාව අවසන් වෙන්නේ ඔය විදියටය෴



