Sunday, November 30, 2025

පළතුරු,කුණු මාලු සමග මාදුවාගේ කොටු පැනීම.

                                                           photo. google images

මාදුවා දැන් පළතුරු විකිණීම අතහැර රස්සාවක් කරයි. ඒත්  පළතුරු බොන එක නවත්වා නැත.   උගේ යාලුවා වන බෙරයාත් සමග උදේම ෂොට් එකක් දාගනී.  කලින් නම් මාදුවා පළතුරු පොට් එකට ගොස් බඩු අරගෙන එයි.  නමුත් වැඩේ පොලිසියට මාට්ටු වූ පසු මාදුවා පළතුරු ගෙනෙන්නට යන්නේ නැත.  ඒ වෙනුවට පළතුරු විකුණන පොර බඩු පැකට් අරගෙන සයිකලෙන් උදේම මාදුවලෑ හන්දියට එයි. ඌ එනතුරු නොඉවසිල්ලෙන් බෙල්ල දිගු කරගෙන බලා සිටින කීප දෙනෙක් හන්දියේ සිටිනු උදේට දැකගත හැක.  ටික කලක් මේ වැඩේ කරගෙන යද්දී අපේ යාලුවන් කීප දෙනෙක් එකතුවී පළතුරු කාරයාට තර්ජනය කළ පසු උගේ ගමන නැවතුනි.  ඊට පසු මාදුවාද උගේ යාලුවන් දෙදෙනාද පළතුරු කාරයා එන තැනට පා ගමනින්ම යනු දකින්නට ලැබුණි.

ත්‍රීවීල් හයර් කරන කාලේ මාදුවා උදේ පාන්දරම මාලු ලෝඩ් එකක් පටවාගෙන ගාමන්ට් එකකට යයි.  ඒ ගාමන්ට් එකේ වැඩ කරන කෙල්ලන්ට දවල්ට කන්න දෙන කෑම එකට උයන්නටය.  මාලු ගෙනියන ගමන් ඌ කිලෝ එකක් හමාරක් පන්නයි.  ඒක විකුණා උදේට බොයි.  සමහර වෙලාවට මටත් විකුණන්න හදයි.  කොච්චර ලාබ උනත් ඒවා මාකට් එකේ විකුණන පරණ කෙලවල්ලන්ය. සත්තුන්ට දෙන්නවත් හොඳ නැතිය.  අපේ මාකට් එකේ විකුණන තරමක් පරණ මාලුය. ගොඩක් වෙලාවට ඒවා නරක් වෙලාය.  මාලු විකුණන උන් මොන මොනව හෝ කියා නරක් වෙච්ච මාලු ගෑණුන්ගේ ඇඟේ ගසයි.  ගෙදර ගෙනිහින් උයල කන්න බැලූවිට අල්ලන අතද කසන්නට ගනී.  පෙළක් වෙලාවට ගෑණු මාලු හට්ටි පිටින් උස්සගෙන ආපහු මාකට් එකට ගෙනෙන බව කියන්නේ මාදුවාය.  මාලු කාරයෝ ටික ගෑනුන්ට මොනව හරි කියා ෂේප් කර පිටත් කර හැර මාලු අල්ලපු අතත් කසනවා කියා හිනාවෙන බවද කියන්නේ මාදුවාය.  ඉතිං දැන දැනම ඔය කුණු මාලු ගන්නට බැරිය.  මාකට් එකේ මාලු විකුණන උන් කොච්චර දැන අඳුනනවා වුනත් මූණ බලාගෙන දෙන්නෙම කුණු මාලුය.  ඊට පස්සෙ කාලෙක ධීවර සංස්තාවෙන් ටවුමේ මාලු වෙළඳසැලක් විවෘත කරන්න යනවිට මාලු විකුණන කට්ටිය ඒකට විරුද්ධව ලොකු උද්ඝෝෂණයක් කලේ ඒ වැඩෙන් උන්ට කෙලවෙන බව හොඳින් දන්නා නිසාය.   නමුත් ඒකෙන් වැඩක් උනේ නැති නිසා අද ටවුමේ මාලු කෑල්ලක් ගන්නට තැනක් තිබේ.

මාදුවාගේ ලදරං ෆෝන් එක කැඩිලා හදන්නට බැරුව තැන තැන කිය කියා හිටියේ කොහොම හරි ෆෝන් එකක් හොයාගන්නට ඕනෑය කියලාය.  තියෙනවා නම් පරණ ෆෝන් එකක් දෙන්න කියා මගෙනුත් ඉල්ලුවේය.  ඒ මම අලුත් ෆෝන් එකක් ගන්න හිතමින් සිටි කාලයේය.  මම අලුත් එකක් ගත්තාම දැන් තියෙන එක උඹට දෙන්නම් කියා මම කීවෙමි.  එදා ඉඳන් කොයි වෙලේ බැලුවත් මාදුවා අපේ ගේ ඉස්සරහය. පේන්න හිටියොත් එහෙම ෆෝන් එක ගත්තාදැයි අසයි.  කෙසේ හෝ අන්තිමට මම අලුත් ෆෝන් එකක් ගත්තෙමි. එදා සිට මාදුවා අපේ ගෙදර පදිංචි වෙලා වගේය.  මගේ කම්මැලිකමට පරණ ෆෝන් එකේ තිබුණු දත්ත ටික අලුත් එකට මාරු කරගන්නට තවත් මාසයක් විතර ගතවිය.  ඒ කාලය මාදුවා ගතකලේ උපරිම අසහනයකිනි.  

"ඔය නොම්මර ටිකයි පින්තුර ටිකයි කොපි කරගන්න එක එච්චර දෙයක්ද? ඒකට පැය කාලක් වත් යන්නෑ කියල අපේ කෙල්ලත් කිව්වා."  

විටෙක මාදුවා සිය අසහනය පිටකරයි. කොහොමහරි අන්තිමේ ෆෝන් එක දෙන දවස වනවිට මාදුවා මට ෆෝන් ගැන මා නොදත් බොහෝ දේවල් උගන්වා තිබුනි.  පෝන් එක ලැබුනු මාදුවා සතුටු උනේ  ඔටුන්නක් පැලඳ ගත් රජෙක් වගේය.   හැම තැනම ගිහින් පෝන් එකේ වරුණාව කියයි.

"මේ බලපං, මේක හීරිලාවත් නෑනෙ"   

කොහොමත් ඒ පෝන් එක තිබුණේ ඉතාම හොඳ තත්ත්වයෙනි.  මම පෝන් එක මාරු කළේ මට මදි නිසා මිසක පෝන් එකේ අවුලක් නිසා නොවේ.  ඒකේ කැමරාවෙන් ගත් පොටෝ වල කොලිටියට මාදුවා වශී විය.  සතියක් විතර යනතුරු ඌ හැම වැඩක්ම පැත්තකට දමා තැන තැන ගොස් පින්තූර ගනිමින් කාලය ගතකළේය.  වැඩ කරන පැක්ටරියේද පින්තූර ගන්නට ගොස් කාර්‍යාලයට කැඳවා අවවාද කර ඇත.

දවසක් මාදුවා මට හමුවුනු වෙලේ ඌ කිව්වේ ලඟදිම බෝතලයකුත් අරගෙන මාව හම්බවෙන්න එන බවය.  ඒ උගේ කෘතගුණය පලකිරීමටයි.  නමුත් මාස ගණනක් ගතවන තුරුම පොරොන්දුව ඉටු කර ගන්නට නොලැබීම මාදුවාට සිතට දුක ගෙන දෙන කරුණක් විය.  මට බෝතලය මතක නැති උනත් හමුවන හැම තැනකම මාදුවා ඒක මතක් කරයි.  මේ දවස්වල ඇති මුදල් අපහසුකම් කියයි.  සමහරවිට පොකැට් එක ඇද ඒටීඑම් රිසිට් එකක් පෙන්වයි.  මම බෝතලයක් නොඉල්ලූ බවත් බෝතලය ලැබුණත් නොලැබුණත් මට ප්‍රශ්නයක් නැති බවත් මම ඌට කිව්වෙමි.  පසුබසින්නේ  මාදුවා නොවේ.  ඔන්න දවසක අපි හත් අට දෙනෙක් පිට්ටනිය ලඟ කතා කරමින් ඉද්දී මාදුවා උගේ ට්‍රේල් බයිසිකලයේ එතැනට ආවේය.  

කියන්න අමතක විය මාදුවාට දැන් ට්‍රේලක් තිබේ.  උගේ ත්‍රී වීල් එක විකුණලාද නොදනිමි,  කාලෙකින් ඒකද දැක්කේ නැත.  මාදුවා දැන් හැම තැනම රවුම් ගසන්නේ ට්‍රේලෙනි.  බොන්නට යන්නේද, පළතුරු ගෙනෙන්නට යන්නේද,වැඩට යන්නේද ආදී වශයෙන් ට්‍රේලෙන් මූ නොයන තැනක් නැත.  හැබැයි මූට ලැයිසන් නැත, ට්‍රේලට ලයිසන් ඉන්ෂුවරන්ස් මොකුත් නැත.  පොලිසියෙන් අල්ලනවාත් ඉවරයක් නැත.  බීල ගිහින් උසාවි දානවාද දඩ ගහනවාද ඉවරයක් නැත.  හැබැයි ආයෙම පහුවදා සිට ට්‍රේලෙන් රවුම් ගහයි. මේ ලඟදි දවසක හොඳටම බීගෙන ගියා විතරක් නෙවෙයි පළතුරුත් එක්ක පොලිසියට මාට්ටු විය.  ඊට දවස් කීපෙකට පස්සෙ පොලිසියෙන් ෂේප් එකක් දාගන්න යනවා කියා ගියේය.  ආපහු ඇවිත් කිව්වේ බීල ට්‍රේලෙ ගිය එක වෙනුවට ලයිසන් ඉන්ෂුරන්ස් නැතුව ගිය හැටියට හදාගත්ත බවයි.

ඉතින් මාදුවා උගේ ට්‍රේලෙ එනවිට මා දැක ලඟට ඇවිත් කතා කලේය.

"ආ අද අර වැඩේ කරන්න පුලුවන්. අද මගෙ අතේ සල්ලි තියනවා" යි කියමින් බෝතලයක් ගේන්න හදයි.  මාදුවා බෝතලයක් ගෙනාවොත් එතන ඉන්න හත් අට දෙනාට කණේ වක්කරගන්නවත් මදිය.  උන් ගේන්න සල්ලි දෙන්නෙත් නැත.  දෙන්න සල්ලි ඇත්තෙත් නැත.  තියෙන එවුන් දෙන්නෙත් නැත.  අන්තිමට ඒකටත් කරගහන්න වෙන්නේ මටමය.  මාදුවාට මේවා තේරෙන්නෙ නැත.

ඔය සල්ලි එකතුකර බෝතල් ගෙනෙන එක ගැන කප් ගසා ඇති එකෙක් ඔය සැට් එකේ ඇත.  හැමදාම බොන්නට සෙට් උනොත් සල්ලි එකතු කරන්නේ ඌය.  සමහරු දාහක් දෙති තවත් එවුන් පන්සීයක් දෙති.  තවත් අය සීයෙ කොළ දෙකක් සමහරු පණහත් දික්කරන වෙලාවල් හිඟ නැත.  එකතු කරන එකාට ඒවායේ ගාණක් නැත.  දෙන සල්ලි ඔක්කොම ගනී, විස්සක් දුන්නොත් ඒකත් ගනී.  අන්තිමට උගෙ අතින් සතපහක් වත් නොදා බෝතලුත්, බයිටුත්, ඌට සිගරැටුත් ගෙන්නාගෙන කණ පැලෙන්නටම නොමිලේ බොයි. බෝතල් ඉවර වෙනකොට ආයෙම ගෙන්නයි, මෝරා වෙන්නේ කවුරුහරි එතන ඉන්න අහිංසකයෙකි.

මාදුවාට බීගත්තාම මෙලෝ කල්ලිතාවක් නැත.  ගොඩක් වෙලාවට ඌට මෝල් වෙයි.  ඒ වෙලාවට ඉතිං අදින්නේම සබ්ජෙක්ට් එකටය.   දවසක් මරු වැඩක් විය.  ආ, ඊට කලින් කියන්නට කතාවක් ඇත.  ඒ මාදුවාගේ අවයවයේ සයිස් එක ගැනය.  කිව්වට ඇස්වහක් කටවහක් නැත ඒක නම් නොම්බර එකේ අවයවයකි.  බබා ඇතින්න එහෙම ඒ කාලේ මාදුවාට වශී වෙලා හිටියේ ඒකෙන් කාපු නිසාය.  ඒ කතාව මම කලිනුත් ලියා ඇත.  වැඩේ පටන් ගත්තේ අපි ගොයම් පාගන්නට ගිය දවසකය.  අපි කිව්වේ මමත් සුද්දාත් මාදුවාත්ය.  අපි මායක්කලෑ වත්තේ ගොයම් පාගනවාට එරෙහිව බබා ඇතින්න ගේම ඉල්ලුවාය.  මමත් හරහට කතා කරගෙනම හිටියෙමි.  සුද්දා මාව පැත්තකට කර බබා ඇතින්නව ෂේප් කර ගත්තේය.  ගොයම් පාගා ඉවරවී ආපහු එන ටිකට සුද්දා මාදුවාත් එක්ක බබා ඇතින්නව ටෝක් කරගෙන තිබිණි.  දවස් දෙකකට පස්සේ මුං දෙන්නා බබා ඇතින්නව ඉස්සුවෝය.  ඉස්සුවේ සුද්දාගේ ගෙදරටයි.  ඒ සුද්දා පවුල දාලා ගිහින් ගෙදර තනියම හිටපු කාලයයි.  බබා ඇතින්න හාපුරා කියා මාදුවාගෙන් කෑවේ එදාය.  කාපු කෑම කොච්චරද කිව්වොත් බබා ඇතින්න මාදුවාට වශී වුනාය.  ඊට පස්සේ මාසෙකට දෙතුන් සැරයක් බබා ඇතින්නට ඉවසා ගන්න බැරි දරුණු බඩේ අමාරුවක් හැදෙයි.  බඩේ අමාරුව වැඩිවී බබා ඇතින්න බෙරිහන් දෙන්නට පටන් ගනී.

"බුදු අම්මෝ, මට ඉන්න බැරියෝ, මාදුවට එන්න කියපියෝ!!"

මාදුවාට එන්න කියන්නේ ත්‍රීවීල් එකේ බේත් ගන්න යන්නටය.  කොහොමහරි මාදුවා ඇවිත් බබා ඇතින්නව ත්‍රීවීලයේ පටවාගෙන යයි.  බේත් දී ආපහු මාදුවා එක්ක එද්දී අර තිබුන අමාරු මොකුත් නැත.  හිනාවෙවී එයි.  ඇඟේ මහන්සිය යන්නට මාදුවාට අරක්කුත් අරගෙන දෙයි.  ටික දවසකින් ආයෙම ඒ ලෙඩේම හැදෙයි.  ඔය මම කිව්වේ අවුරුදු දහයකට පහලොවකට පමණ පෙර වෙච්චි කතාවකි.  දැන් බබා ඇතින්න ඉන්නවද මැරිලාද නොදනිමි.   මුගේ වැඩ කටයුතු ගෙදරටත් ආරංචි නොවී තියෙන්නේ නැත.  බීමත්කමත් වලත්ත වැඩත් නිසා ඌව ගෙදරින් අතඇරලා වගේය.  මේ නිසාම මාදුවා ජීවත් වන්නේ දැඩි පොර සෝකයකිනි.  කොටුවක් පැනගන්නට ක්‍රමයක් සොයමින් සිටිනා මාදුවාට රස්සාවට යන්නත් බෑ බෑ වගේ හිතෙයි.  රස්සාවට නොගියොත් අතට මුදලක් එන එකත් නවතී.  

මාදුවා මනුස්සයෙක් වගේ හිටපු කාලයේ ඌට ටෝක් උන කෙල්ලෙක් සිටී.  ඒ වෙනින් කවුරුවත් නොව උගේ එකට බොන හොඳම යාලුවාගේ පවුලය.  ඉන්නෙත් ගෙවල් ළඟමය. ටෝක් වී සිටි කාලයේ දවසක් මාදුවා මේ කෙල්ලට වචනයක් දැම්මේ නිකමට වගේය.  ඒක වැඩ කළේය.  යාලුවා ගෙදර නැති රැයක මූට එන්න යැයි කොළ එළිය පත්තු විය.  නියමිත දිනයේ මාදුවා කෙල්ල බලන්නට රාත්‍රියේ ගියේය.  ගියේ හිස් අතින් නොව කෙල්ලට තෑග්ගකුත් අරගෙනය.  තෑග්ග චිකන් කොත්තුවකි.  ගේ ඇතුළට ගොස් සැටියේ තුරුල් වී හිඳගෙන චිකන් කොත්තු කවාගනිමින් සිටි ජෝඩුවට එකවරම ගැහුවේ නොසිතූ හෙණයකි.  කෙල්ලගේ ගෙට අල්ලපු වැටේ ඉන්නා ඒකිගේ අම්මා එකපාරටම දොර ඇරගෙන ඇතුල්විය.  කෙල්ල තනියම ඉන්න නිසා ආවද නැත්නම් මාදුවා ආපු එක දැක ආවාදැයි නොදනිතත් වැඩේ සිද්දවී මාදුවා තක්කු මුක්කු විය.  කොහොමහරි එදා මාදුවාට පසුබැස යන්නට විය.   

ඊට පස්සෙ දවසක් දා හොඳටම බීගත් මාදුවාට මෝල් අමාරුව තදේටම ඇතිවිය.  ඌට එක්වරම මතක් උනේ උගේ කෑල්ලවය.   කෙල්ලගේ අම්මා මාස කීපයකට කලින් පරලොව ගිහින් නිසා මෙදා සැරේ ඒ කරදරයත් නැතිය. දෙසැරයක් නොහිතා මාදුවා කෙල්ල බලන්න යන්නට පිටත් උනේය.  හැබැයි මෙදා සැරේ කලින් දාගත් ඇපොයින්මන්ට් වත් කෙල්ලට තෑගිවත් මොකුත් නැත.  රා බීපු නාලාගිරියා මෙන් කෙලින්ම ගෙදරට කඩා වැදුනේය.  කෙල්ලට හොල්මන්ද පොල්කොළ උනේ එකපාරට මාදුවා ගෙට පැන්න එකටය.  කිසිම එකඟතාවක් හෝ දැනුම් දීමක් නොමැතිව මාදුවා ආපු විදිහ ගැන කෙල්ලට ඇතිවුනේ අප්‍රසාදයකි.  කෙල්ල ඌට හොඳින් කිව්වේ මේ වෙලාවේ ඌට මුහුණ දෙන්නට බලාපොරොත්තුවකින් නොසිටි නිසා ආපහු යන්නට කියලාය.  නමුත් මාදුවා හිටියේ ඒ වගේ ඉල්ලීම් වලට කන් දෙන තත්ත්වයක නොවේ.  ඌ කෙලින්ම තර්ජනය කරන්නට විය.  කෙල්ලට තද උනේ මාදුවාගේ හිතුවක්කාර කමටය.   කෙල්ලත් තරමක් නහට නාහන එකියකි. හොඳින්  බැරිනම් නරකින් කියා ගෙයි තිබුණ යකඩ පොල්ලක් ගත් ඇය මාදුවාගේ කකුල් වලට පළමු ප්‍රහාරය එල්ල කළාය.  කෙලින් ඉන්නවත් බැරි ගණනට බීමත්ව සිටි මාදුවාට පළමු ප්‍රහාරයම ඔරොත්තු නොදෙන එකක් විය.  "බුදු අම්මෝ" යි මරහඬ තලා දුවන්නට සැරසෙන මාදුවාගේ පිට හරහට දෙවැනි ප්‍රහාරය පතිත විය.  ඒත් සමගම අඩපන වූ මාදුවා කෙලින්ම බිම පතිත විය.  මාදුවාව එලියට ඇද දැමූ කෙල්ල දොර වසා දැමුවාය.

දවස් කිහිපයක් එකතැන්ව සිටි මාදුවාට උගේ වැඩපොලෙන් හදිසි අනතුරු නිවාඩු අරන් දෙන්නට උගේ යාලුවන් කීප දෙනෙක් කටයුතු කලහ.

Wednesday, September 17, 2025

නිහඬතාව, හැලපැට්ටාගේ වගතුග, දික්ඔය සිට අක්කරේපත්තුවට, හැක්වීම සහ අලුතෙන් ලැබුණු තෑග්ග.


අපේ බ්ලොග් ලිවීම නැත්තටම නැතිවී ගොසින් දැන් අවුරුද්දකටත් කිට්ටුවේගන එයි.  ඒ කියන්නේ මම අන්තිමට පෝස්ටුවක් දැම්මේ පහුගිය අවුරුද්දේ දෙසැම්බර්ය.ඒ නිසාවෙන් අදත් එදත් අතර කාලය තුල සිද්ද වුනු දේ ටිකක් කතාකලොත් හොඳයි කියා සිතේ. 

පහුගිය දෙසැම්බරයේ පෝස්ටුව දැම්මායින් පසු මම හිතා සිටියේ  දිගටම ලියන්නටය.  නමුත් අවාසනාවකට මෙන් ලෙඩ දිදී තිබුනු ලැප්ටොපය අවසන් ගමන් ගියේ මගේ බලාපොරොත්තු සුන් කර ලමිනි,  අවුරුදු හය හතක් පරණ එකක් වූ ඒ ලැප්ටොප් එක ආපහු හදනවා නම් ලොකු මුදලක් යන බවත් එහෙම හැදුවත් වැඩි කලක් වැඩ ගන්නට බැරි බවත් කියූ කොම්පියුටර් කාර්මිකයා නොකියා කියන්නේ හදලා වැඩක් නැති බව යැයි මට තේරුම් ගියේය. ඉතින් අකැමැත්තෙන් වුවත් බ්ලොග් ලිවීමට සමුදෙන්නට සිදුවිය. පෝන් එකෙන් බ්ලොග් බලන්නට හැකි උනත් ලියන්නට බැරිය. ඉතින් ඔය විදියට ඊයේ වෙනතුරු කටයුතු සිදුවිය.

හැලපැට්ටා ගැනත් යමක් නොකිව්වොත් පෝස්ටුවේ අග මුල ගැට ගහගන්නට බැරිය. දික්ඔය සනීපදායක සීතලේ වැඩ කරමින් සිටි හැලපැට්ටා ගිය අවුරුද්දේ අගෝස්තු මාසයේ සිට ගිණිගහන අව් රශ්මිය ඇති අක්කරේපත්තුවට මාරු කළේය.  තනියෙන් නෙවෙයි යුවලමය.  කියන්නට අමතක විය හැලපැට්ටා දැන් තනියම නොව ජෝඩුවකි.  ඌ විවාහ උනේ ගිය අවුරුද්දේ මුලය.  ඉතින් දෙන්නාම දික්ඔය සිට අක්කරේපත්තුවට පැමිණ පදිංචි වූහ.  ඒ නිසාම අපි දෙන්නාටත් දෙතුන් සැරයක්ම අක්කරේපත්තු යන්නට ලැබිණි. මෙහෙම ඉද්දී ගිය අවුරුද්දේ දෙසැම්බර් වල හැලපැට්ටාගේ බිරිඳ(තවම බ්ලොග් සහෘදයන් නමක් දමා නැති නිසා නමක් නැත) අසනීප විය.  රෝගය පපුවේ සෙම වැනි තත්ත්වයකි.  අවටපිට බහුලව ඇති දුහුවිලි නිසා විය හැකිය.  කෙසේ හෝ රෝහලේ නවත්වා බේත් දුන්නද අඩුවක් නැති තැන නිව්මෝනියා තත්ත්වයෙන් කොලඹට මාරු කරන්නට යෙදුනි.  දෙසැම්බර් අග අසනීප වූ රෝගියාට ජනවාරි අග වෙනතුරු කොලඹ මහ රෝහලේ දැඩි සත්කාර ඒකක තුනක නැවතී ප්‍රතිකාර ගන්නට තරම් රෝගය දරුණු විය. බොහොම අමාරුවෙන් සනීප කරගත් පසු රෝහලෙන් අවවාද කළේ දුර ගමන් වලිනුත් දුහුවිලි සහිත පරිසරයෙනුත් ඈත්වී සිටින ලෙසය. දැන් ඉතින් ආපසු අක්කරේපත්තුවට යන්නට බැරිය.  බොහොම අමාරුවෙන් තත්ත්වය සෞඛ්‍ය අමාත්‍යාංශයට කරුණු කාරණා පැහැදිලි කළ පසු මාස හතරක තාවකාලික මාරුවක් කොලඹ මහ රෝහලට ලැබුණි.  

දැන් හැලපැට්ටා අක්කරේපත්තුවේ තට්ට තනියමය.  මාසෙකට දෙවතාවක් පමණ ගෙදර එයි.  මාස දෙක තුනකට සැරයක් අපි දෙන්නාත් එහෙ ගිහින් සතියක් දෙකක් නැවතී ගේ සුද්දකර හැලපැට්ටාට කෑම හදාදී ආපසු ඒම සිරිතක් කර ගත්තෙමු.  අක්කරේපත්තුවට යන එකම පට්ට කට්ටකි.  එය පැය 10 ක පමණ ගමනකි.  උදේ හතට මඩකලපු කෝච්චියට නැග මඩකලපුවට යන විට හවස හතර පහුවෙයි.  මඩකලපුවෙන් බස් එක  අක්කරේපත්තුවට යනවිට හයහමාරත් පහුවෙයි. ආපසු ඒම නම් කිසි අවුලක් නැත,  රෑ අටට කොළඹ සුඛෝපභෝගී ඒසී බස් එකට නැගගත් විට පාන්දර තුනහමාරට පමණ නිට්ටඹුවෙන් බැසගත හැක.  බස් එක කුරුණෑගලින් හයිවේ නොදා ආවොත් හතර විතර වෙයි. මගක් එද්දී එන නිදිමතට නින්ද ගියවිට ආපහු ඇහැරෙන්නේ රෑ දොළහට විතර කදුරුවෙල හරියේ කෑමට නැවැත්තුව විටය.  ආයෙම යන නින්ද කැඩෙන්නේ නිට්ටඹුවේදී කොන්දොස්තර ඇහැරවන විටය. පැය හය හතක ගමනක් ආවද කියාවත් නොදැනේ.

අක්කරේපත්තුව මරු ටවුමකි. රශ්නය ඇරෙන්නට අනෙක් හැම අතින්ම, කෑම බීම අතින් ඉන්න මිනිස්සු අතින් බැලුවම සුපිරිය.  ඔනෑතරම් අලුත් මස් මාලු අපි මෙහෙ ගන්න ගණන් වලට සාපේක්ශව හරි අඩුවට ගත හැක. කඩ කෑමද ඒවගේමය.  හැලපැට්ටා පදිංචිවී සිටියේ ටවුමේමය.  හරියටම කිව්වොත් පල්ලිය ලඟය.  ගෙවල් අයිතිකාරයා වන නිසාම් වයස නැතත් වයසයි වගේ පේන ලොකු බඩක් ඇති හොඳ මනුස්සයෙකි.  පල්ලිය ලඟ ඇති බිල්ඩිම ඔහුගේය.  බිල්ඩිමේ පහල තට්ටුව හාඩ්වෙයාර් එකකට සහ තව කඩ කීපයකට බදු දී තිබේ.  උඩ තට්ටුව ගෙවල් දෙකකි.  එකක හැලපැට්ටාය, අනිකේ තවත් දොස්තර කොල්ලෙකි.  කොච්චර ඉල්ලගෙන ආවත් දොස්තරලාට ඇරෙන්නට වෙන කාටවත් ඒ ගෙවල් දෙක කුලියට නොදෙන බව නිසාම් කියයි. ඊට අමතරව නිසාම් කුඹුරු වවයි.

"මටත් කුඹුරු ටිකක් තියනවා" දවසක් නිසාම් මගෙත් එක්ක කතා කරමින් ඉද්දී කීවේය.

"කොච්චරක්ද?" මම ඇසුවේ කුඹුරු සබ්ජෙක්ට් එක මගෙත් ප්‍රියතම එකක් නිසාය.

"පොඩ්ඩයි, අක්කර විස්සක් විතර"

"හොඳ පොඩ්ඩ"

"ඔව් පොඩ්ඩ තමයි,  මෙහෙ අයට අක්කර සීය හමාර තියනවා" නිසාම් කීවේය. 

අක්කරපත්තුවේ සිට කල්මුණේට යද්දී පාර දෙපැත්තේ පේන තෙක් මානයේ විශාල වෙල් යායකි. වෙල් යාය පහුකල ගමන් විවිධ නම්වලින් ඇති හාල් මෝල්‍ ය. ගොයම් කපන කාලයට අස්වැන්න පාරේ වේලන දර්ශනය අක්කරපත්තුවේ සිට සම්මන්තුරේට යනතුරු පාර අයිනේ දැක බලාගත හැක.  රත්න සහල් මෝලේ විශාල කන්ටේනර් ලොරි පාර අයිනේ නවත්වා වී කිරයි. සම්මන්තුරේ හරියේද අනික් පැත්තට පොතුවිල් පහුකරගෙන ආරුගම්බේට යනතුරුම වී කිරනවා මම දැක්කේ  රත්න ලොරි විතරය.  නිසාම්ලා වැනි කුඹුරු හිමියන් වෙල්වල දඟලන්නේ නැත.  වෙලට යන්නේ වී විකුණා සල්ලි ගන්නට විතරය.  ඉතුරු වැඩ සියල්ල කරන්නේ කුඹුර වැඩ කරන්නට දී ඇති ගොවියාය.

අක්කරේපත්තුවට ගිහින් ඉද්දි අවම වශයෙන් මම දවසකට තුන් සැරයක් වත් ටවුමට යමි.  උදේම යන්නේ උදේට කෑම ගේන්නය.  උදේට කන්නට කිරි ආප්ප හෙවත් පාල් අප්පම් ද වණ්ඩු ද තෝසේ ද ඉඳිආප්පද පරෝටා සහ පොල් රොටීද පිට්ටු හෙවත් පුට්ටුද ඇත.  අපි වඩා කැමති පාල් ආප්පම් සහ වණ්ඩු වලටය.  වණ්ඩු යනු අපි මෙහෙ කන වණ්ඩු නොවේ. ලා පැණි රසකුත් එක්ක ඇති මේ වණ්ඩුව හරියටම අණ්ඩ නැති සුදුපාට කෝප්පයක් මුනින් අතට නැමුවා මෙනි.  අනික පාල් ආප්පම්ය,  හරියටම සුදු ආප්පය වුණත් බොහෝ කිරි රසය. දෙකක් එකට අලවා ඇත.  එතකොට එක කියන්නේ දෙකකි.  මම මුලින්ම මේවා ගද්දී දහයක් ඉල්ලා ගෙනාවිට විස්සක් ලැබී දවසම කිරි ආප්ප කන්නට සිදුවිය.  උදේ ගමනින් පසු දවල් දහයට එකොළහට පමණ ආයෙම ටවුමට යන්නේ දවල්ට උයන්නට එළවලු මාලු හෝ මස් ගෙනෙන්නටය.  හවස බොහෝවිට යැවෙන්නේ මොකුත් ගෙදර නැතිනම් පානයට අරගෙන එන්නටය.  ඒ එන ගමන රෑකෑමටත් යමක්ගෙ නෙන්නට සිදුවෙන්නේ රෑටත් ගෙදර ඉවීමක් සිදු නොකරන බැවිනි.  

මම ටවුමේ යනවිට බොහෝ දෙනෙක් මා දෙස බලන්නේ මම පිටස්තරයෙක් බව බැලූ බැල්මටම ඔවුන්ට පෙනීයන බැවිනි.  සාමාන්‍යයෙන් එහේ උදවිය ටී ෂර්ට්, ෂෝට් ඇඳගෙන පාරට බසින්නේ නැත.  මාත් එක්ක මුලින්ම හිතවත් උනේ කුකුල් මස් කඩේ කොල්ලාය.  ඌ කඩේ ඉස්සරහ ඉඳගෙන සිටින අතර කුකුලන් රංචුවක් කඩේ ඇතුලේ වී ඇට ඇහිඳිමින් සිටිති.  ඕඩරය ලැබුණු විට එකෙකුට ආගම කියා කටට වතුර ටිකක් වත්කර ෂොට් එක දෙනු ලැබේ.  ඒ දර්ශනය බලන්නට මම අකමැති නිසා කොල්ලාට ඇඟිල්ලෙන් එක පෙන්නා මම මාකට් එකට යමි.  ආපසු එන විට මස් ටික තරාදියට දමා ලෑස්ති කර තිබේ.  හරක් මස් හෝ එළු මස් කඩවල ඒ ප්‍රශ්නය නොමැත.  ඒවා රෙඩිලි ඇවේලබල්ය.  ඌරු මස් කඩ කොහෙවත් නැති බව කියන්නට අවශ්‍ය නොවේ.  

කඩේට ගිහින් මස් කිරවා ගන්නා අතරේ කොල්ලා මගෙත් එක්ක කතාවට වැටෙන්නේ උගේ කුතුහලය සංසිඳුවා ගන්නටය.

"අයියා කොහෙද ඉන්නෙ?"

"ම්ම් පල්ලිය ලඟ, නිසාම්ගෙ ගේ දන්නවද, අන්න ඒ ගෙදර උඩ තට්ටුවෙ" මම කියමි.

"ඔව් ඔව්, මෙහෙ මොකද කරන්නෙ?"

"පුතා බලන්න ආවෙ. ඒ ගෙදර පුතාල ඉන්නෙ"

"දිගටම ඉන්නවද?"

"නෑ නෑ සතියක් විතර ඉන්නවා"

මම දිගටම හිටියොත් උගේ බිස්නස් එකටත් හොඳ බව උපන්ගෙයි බිස්නස් කාරයන් වන උන් දනිති. රොටී ගන්නට හෝටලයකට ගියත් සල්ලි ගන්න එකා මගෙන් ඒ ප්‍රශ්නයම අසා විස්‍තර දැනගනී.     සාමාන්‍යයෙන් ඒ තොරතුර වටේටම පැතිරී යන නිසා බොහෝ අය ඊට පසු මාව දැනගනී.  වයසක මුස්ලිමුන් නිතරම පාහේ සිංහල කතාකළත් කොල්ලන්ට බොහෝවිට සිංහල බැරිය.  විශේෂයෙන් කොල්ලන් ගණන් කියද්දි උන්ට සිංහලෙන් කියන්නට බැරිව හිරවී සිනාවෙමින් මා දෙස බලයි.  "සොල්ලුංග තම්බි" කියා මම කියද්දී ඌ ටක් ගා ගණන දෙමලෙන් කියයි.  සමහර කොල්ලන් එච්චර දඟලන්නේ නැතුව ගාන කැල්කියුලේටරයේ හදා මට පෙන්වා මුදල් ගනී.

ජූලි මාසය අන්තිමේ හැලපිත් මමත් හැලපැට්ටා බලන්නට ගියේ ඔහුට අගෝස්තු සිට කොලඹට මාරුවක් ලැබී ඇති නිසා ගෙයි බඩු අස්කරගෙන එක්ක එන්නටය. ගෙදර තිබුනේ බඩු ටිකක් උනත් අහුරන්නට කාඩ්බෝඩ් පෙට්ටි කීපයක් අවශ්‍ය වුනේය.  පෙට්ටි කීපයක් ගන්නට තැනක් නිසාම්ගෙන් විපරම් කළෙමි.   

"සල්ලිවලට ගන්න ඕන් නෑ, මගෙ ෆාමසියට බේත් එන පෙට්ටි තියනවා. මම හොයල දෙන්නම්"  නිසාම් පොරොන්දු විය.

පෙට්ටි ගෙනෙන්නට නිසාම් මගෙත් එක්ක ෆාමසියට ගියේය. බෙහෙත් තොග බාන්නේ ගබඩාවකටය.  ෆාමසියේ බේත් අඩුවෙන විට ගබඩාවෙන් බේත් ගනෙයි.  ඒ සඳහා ගබඩාවේ කෙල්ලන් දෙන්නෙක් සිටී. උන්ට සිංහල තේරෙන්නෙ නැත.නිසාම් උන් එක්ක කතාකර පෙට්ටි ඉල්ලා ගත්තේය.  අපි පෙට්ටිත් අරගෙන ආපහු එන ගමනේ නිසාම්ගෙන් මෙදා සැරේ අස්වැන්න ගැන ඇහුවෙමි.

"මට හොඳයි, මේ සැරේ වී මිටියක් හත්දාහ ගානෙ වික්කා" නිසාම් කීවේය.  

ටවුමේ සිට ඔරලෝසු කණුව පසුකර අම්පාර පැත්තට ටික දුරක් යද්දී වයින් ස්ටෝස් එක පිහිටා තිබේ.  බියර් එකක්වත් බොන්නට කියා මම වයින් ස්ටොස් එකට ගියෙමි.  අක්කරපත්තුව සහමුලින්ම වාගේ මුස්ලිම් ටවුමක් නිසා බාර් එක පාලුවට ගොස් ඇතැයි මම සිතා සිටියත් බාර් එකේ තිබුනු පෝලිම් දෙකේම සෙනග පොදිකමින් සිටියහ. පහුවදා උදේ හැලපිගේ නංගී ඇතුලු තුන්දෙනා පැමිණුන අතර එදා රෑ බස් එකෙන් මම ගෙදර ආවෙමි.  අනික් කට්ටිය එදා නැවතී පහුවදා උදෙන් කාර් එකෙන් පිටත් වීමට නියමිත විය.

හැලපැට්ටා අගෝස්තු මුල නව සේවා ස්ථානයට වාර්තා කළේය.  අක්කරේපත්තුවේ ඉද්දී ඌ අඩුම වශයෙන් මාසෙට දෙවතාවක් ගෙදර ඇවිත් ගියේය. කොලඹට ආ පසු ගෙදර එන්නෙම නැත.   එන්නට නිවාඩු නැත කියයි. සෙනසුරාදාත් වැඩ කියයි.   මගේ තර්ජනාත්මක ඉල්ලීමකට අනුව ලැප්ටොපය එකලස් කර දෙන්නට ගිය සතියේ ආවේය.

තව කතාවක් කියන්නට අමතක විය.  පහුගිය ජනවාරි මාසේ මගේ යාලුවෙක්ගේ මෙසේජ් එකක් මෙසෙන්ජර් වලට ආ අතර මම එයට ප්‍රතිචාර දැක්වූයෙමි.  ඒ ටිකකින් මට මතක් වුණේ එය යම්කිසි හැකරෙකුගෙන් ලැබුනු එකක් වෙන්නට බැරිද කියාය.  ඒ නිසා ඊට පසු ලැබුනු ඉල්ලීම් වලට ප්‍රතිචාර නොදක්වා සද්ද නැතුව සිටියෙමි.මොහොතකින් ඒ කාලකණ්නි බල්ලා මගේ එෆ්බී එක හැක් කළේය.  ටික දවසකින් එය නැවත යථා තත්වයට පත්කර ගත්තත් එෆ්බී ආයතනය මට තහනමක් දමා තිබුණේ එහි නීති වලට පටහැනිව පෝස්ට් දමනවා කියලාය.  හැකරාගේ වැඩ නිසා මට දවස් 180 ක තහනමක් වැටුණි.  ආපසු පහුගිය මාසේ එෆ්බී එක හදාගත්තත් ඒ අලුත් එකක් විදියට නිසා මගේ අවුරුදු දහයක පමණ තිබූ පැරණි වටිනා පින්තූර ඔක්කොම  නැතිවිය.

ඉතින් මේ මාසයේ හැලපිත් හැලපැට්ටාත් එකතුව මට අලුත් ලැප්ටොප් එකක් අරගෙන දුන්නේ මම ලියන්නට නැතුව කම්මැලි කමින් ඉන්නවා කියලාය.ඔක්කොම පරණ වැඩකෑලි ටික හැලපැට්ටා ආපහු දමා දුන්නේ මගේ ඉල්ලීමටය.  මම ලියන්නට ගත්‍තේ එහෙමය.

ඉතින් මගේ බ්ලොග් මිතුරු කැල ආදරයෙන් මතක් කරමි.  පහුගිය කාලයේ මම නොලිව්වත් ඔබලා බ්ලොගයට ගොඩ වැදී යාමම ලොකු දෙයකි.  බලාපොරොත්තු වෙන්නේ පරණ කතන්දර ටිකක් නැවත ලියන්නටය.  එක කේස් එකක් ඇත.  ඒ මට හැලපයා නමින් කමෙන්ට් කරන්නට බැරිකමය.  වදින්නේ ඇනෝ කමෙන්ට්ස්ය. ආපහු එය හදා ගන්නේ කෙලෙසදැයි මම නොදන්නවා උනත් එයත් කෙසේ හෝ හදාගත යුතුමය.