Wednesday, October 2, 2024

ජීවිතයෙන් බිඳක්, ප්‍රේමයේ කෝඩුකාරයෝ, ස්වප්නාගේ අතදීම, මී ගොන් කරත්ත, කඩේ අයියා සහ සුනිල් සහෝදරයා.

අපේ ජීවිතය අපේ කීවාට මගේ ජීවිතය ගැන කල්පනා කරද්දී එහි විචිත්‍රවත් බව ගැන වෙලාවකට පුදුමත් හිතෙයි.  ජීවිතයේ බොහෝ දුර ඇවිද ගොස් ආපසු හැරී බලනකල අතීතයේ කරපු කියපු දේවල් විටෙක මදහසකින්ද විටෙක දුකකින්ද විටෙක උපේක්ෂාවෙන්ද විටෙක කෝපයෙන්ද සැමරිය හැකිය.  එහෙම පරණ දේවල් මතක් වීමේ ප්‍රතිපලය වශයෙන් මේ පෝස්ටුව ලියන්නට ගතිමි.  2022 ට පසු එනම් අවුරුදු දෙකකට මදක් වැඩි කාලයක් මම මොකුත් ලීවේ නැත.  ඊට හේතුව මූලික වශයෙන් බොහෝසේ කාර්ය බහුල වීමත් ලිවීමේ උපකරණ එනම් ඩෙස්ක් ටොප්, ලැප්ටොප් ආදී උපකරණ නිෂ්ක්‍රිය වීමත් කම්මැලිකමත් යන කරුණූ වේ.  කාර්ය බහුල වීමට හේතුව නම් හැලපැට්ටාගේ කටයුතුය.  ඉන්පසුව අවුරුද්ද මැදදී පමණ යම් ඉස්පාසුවක් ලැබුනද ආපසු ලියන්නට ඉඩ හසර ලබාගන්නට නොහැකි විය.  ඉන්පසුව හිත හදාගෙන ලැප්ටොපයක් රෙපෙයාර් කර ගත්තේ අසීරුවෙනි.  ගෙදර ඇවිත් ලියන්නට බලන කල බ්ලොගර් මට පිටුපාලාය.  මට මතක නැති පාස්වර්ඩ් ආදී සියල්ල මුල සිට ඉල්ලයි.  කෙසේ හෝ ගූගල්ට බැගෑපත්වී නව පාස්වර්ඩ් ආදිය ඉල්ලා ගතිමි.  සිංහලද නැතිව ගොස් තිබූ නිසා දාගත් නව සිංහලය තවම මට නුහුරුය.  හැලපයා යන පුරුදු නමින් කමෙන්ට් කරන්නට තවම බැරිය.  කමෙන්ට් යන්නේ ඇනෝ හැටියටය.

ඇනෝලා මගේ යහලුවන් නිසා ඒකට නම් කමක් නැතිය.  මගේ පෝස්ටුවලට විශේෂයෙන් අවසාන පෝස්ටුවට ඇනෝලා ලියූ කමෙන්ට් තොගය කියවීමෙන් මා ලද සතුට සුවය අප්‍රමාණය.  ලිවීම ශරීරයට ජීර්ණය වී ඇති එකෙකුට නොලියා ඉන්නට අමාරුය.  හරියට කොටු පැන පුරුදු එකාට කොටු නොපැන ඉන්නට බැරුවා වාගේය.   කුඩුකාරයාටත් බඩුකාරයාටත් කුඩුත් බඩුත් නැතිව ඉන්නට බෑ වගේ හැලපයාටත් නොලියා ඉන්නට බැරි යැයි කවුදෝ මගේ පෝස්ටුවකට ලියා තිබූ කමෙන්ටුව කෙතරම් නිවැරදි දැයි මට සිතේ.

කොහොම වුණත් ආයෙම ලියන්නට ගන්නේ රටට අලුත් පාලනයක් ලැබී තිබියදීය.  පාලනයේ හොද නරක කියන්නට තවම කල් වැඩි උනත් මට හමුවන අය නම් කතා කරන්නේ නව පාලනය ගැන මහත් ආශ්වාදයකිනි සතුටකිනි.  අලුත් පාලනය ගැන කියද්දී අපේ පරණ යාලුවෙක් මට මතක් විය.  ඔහු නමින් සුනිල් සහෝදරයාය.  ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණ්කාලීනයෙකු වූ ඔහු වැලිසර, අඩි විස්ස පාර, මහබාගෙ, ඇලපිටිවල ආදී ප්‍රදේශවල කරක් ගසමින් හමුවන්නන්ට කොකු ගසමින්, ඊට පසු පංති කරමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක කටයුතු ඉහලින්ම ඔසවා තබන්නට හදවතින්ම කැපවුනු තරුණයෙක් විය.  මීට පෙරද මම මගේ පෝස්ටු දෙකක ඔහු ගැන ලියා ඇත්තෙමි.  කතාව පටන් ගන්නට 1981 තරම් ඈත කාලයකට අපට යන්නට සිදුවේ.

ඒ වනවිට මම මගේ පලවෙනි පෙම් සබඳතාව බිඳවැටී දරුණු මානසික ව්‍යාකූලතාවකින් ගතකල සමයයි.  බිඳ වැටුනා කීවද සිදුවුනේ ඇය එක්වරම මා අතහැර යාමය.  ප්‍රේමයට කෝඩුකාරයෙක් වු මට එය මහත් කම්පනයක් විය.   ඇය මා හැරගියාටත් වඩා මට සිත් වේදනාවක් වූයේ හැරගිය ආකාරයයි.  කාන්තා සිත හෝ ආකල්ප ගැන මෙලෝ අවබෝධයක් මාහට නොතිබූ ඒ කාලයේ ප්‍රශ්නයක් වුවද ඇය මාහැර ගිය හේතුව පසුකාලීනව මට පැහදිලි විය.  ප්‍රේම සම්බන්ධතාවක් කඩා වැටීමේදී තරුණයෙකුට වදින ක්ෂණික ප්‍රහාරය වනුයේ තමාගේ වූ යුවතිය අහිමි වීමේ වේදනාවටත් වඩා ඇයගෙන් ප්‍රතික්ෂේප වීමේ වේදනාවයි.  ප්‍රතික්ෂේප වන්නට අප කවුරුත් අකැමැතිය.  අප ප්‍රතික්ෂේප වන්නේ තරුණියකගෙන් නම් එය වඩාලාත්ම දරුණු වෙයි.  එවැනි ප්‍රහාරයකින් වැටුණු විට නැගිටින්නට නම් තවත් තරුණියකගේ උපකාරය අත්‍යාවශ්‍ය බව මගේ පුද්ගලික අත්දැකීමයි.  තරුණියකට නම් තරුණයෙකුගේ උපකාරය අවශ්‍යයය.  එසේ නොමැතිවූ විට අවුල්වූ මනසින් යුත් මෙම තරුණ තරුණියන් විවිධවූ ප්‍රතිචාර දක්වති. සමහරු සියදිවි නසා ගැනීම දක්වා දිගදුර යන්නේ මෙවැනි අවුල් වූ මනෝභාවයන්‍ වේ.  මෙම ප්‍රතිකර්ම අවශ්‍ය වනුයේ කෙනෙකුගේ කුලුඳුල් පෙම් සබඳතාවට පමණක් බව වැඩිදුරටත් මතක තබා ගත යුතුවේ.  ඊට පසු ඇතිවන සබඳකම් වලදී පෙර අත්දැකීම් වලින් ප්‍රයෝජන ගන්නා ඔවුන් ඇතිවන ප්‍රශ්න මනාව කළමණාකරණය කරගැනීමට සමත් වෙති.  එමතුද නොව පසුකාලීනව සිදුවන අතහැරයාම් හෝ ප්‍රතික්ෂේපවීම් ද ගණනකට නොගෙන සිටීමට පුරුදු වෙති.  ඉතින් මා පෙර කියූ කතාව තවත් ටිකක් විස්තර කරන්නට අවශ්‍යය.  එනම් කොල්ලෙක් නම් කෙල්ලෙකුගේ අතේ හෝ කෙල්ලෙක් නම් කොල්ලෙකුගේ අතේ එල්ලී ගොඩ ඒමේ කතාවය.

ස්වප්නා කතාවට ප්‍රවිෂ්ට වන්නේ මේ ආකාරයටය.  ඇය පත්වීමක් ලබා වැලිසර රෝහලට එන්නේ ඔය මා සඳහන් කල කාලයේදීය.   සරලවම කිව්වොත් දඩ බූටක් කා මබ්බෝද වී සිටි මට රෑ නින්දද හරියකට නොලැබේ.  උදේ පාන්දරින් ඇති කෝච්චියෙන් මම වැඩට යමි.  ස්වප්නා වැඩට එන්නේද ඒ කෝච්චියෙන් බව දැනගතිමි. 

දිනක් දුම්රියෙන් බැසගත් මා දුටුවේ ඉදිරියෙන් ගමන් කරන උස මහත කැපී පෙනෙන අඟපසඟ ඇති තරුණියකි.  මා යන දෙසටම ගමන් කළ ඇය මාව දුටුවේ පාර පනින්නට ආපසු බලද්දීය.  රෝහලේදී දැක පුරුද්දට ඇය සිනහවක් පා මා එනතුරු නැවතී සිටියාය.  පළමුවරට අපි එදා කතාකරමින් රෝහලට ගියෙමු.  ඉන්පසුව එය පුරුද්දක් බවට පත්වී කෝච්චියේද එක පෙට්ටියේ එන තරමට ප්‍රගතියක් ඇතිවිය.

කෙසේ හෝ ස්වප්නාගේ ඇසුර හේතුවෙන් මගේ සිත්තුල තිබූ ඔල්මොරොන්දම් මූසල ගතිය ටික ටික මග හැරෙන්නට වී යම් තරමක ප්‍රකෘති තත්ත්වයකට පැමිණී බව මටම වැටහිණි.  අවංකවම කිව්වොත් බුට් කා බිමටම වැටී සිටි මා නැවත නැගිට්ටේ ස්වප්නාගේ උදව්වෙන් ඇගේ අතේ එල්ලීගෙනය.  කෙනෙකුට ඇතිව තිබෙන දරුණු සිත් තැවුලකින් මෙසේ මිදෙන්නට හැකිබව තේරුම් ගිය මම  බූට් කා හොඳටම අසනීප වී සිටි යුවතියන් කීප දෙනෙකුටම සනීප වෙන්නටම පසුකාලීනව ප්‍රතිකාර කලේ ඔවුන් පෙළන ශෝකයෙන් මුදවා ගැනීමේ පවිත්‍ර චේතනාවෙනි.  

ස්වප්නා මාව තමන් සතු කරගන්නට බලාගෙන සිටින බව මට රහසක් නොවීය.  ග්‍රාමීය ජීවිතයෙන් දැඩි ලෙස හික්මවූ ගති පැවතුම් රැසක් ඇගේ දිවියට බද්ධ වී තිබුනේ ගසට පොත්ත මෙනි.  කොල්ලන් කෙල්ලන් අතර ඇතිවන ප්‍රේම සම්බන්ධතා ගැන යමක් කිව්වොත් කෙල්ලෙක් සමග සම්බන්ධතාවකින් කොල්ලෙක් බලාපොරොත්තු වන්නේ ආදරය,අවධානය, පාලුව මකාගැනීම, ලිංගිකත්වය ආදී සරල දේවල් වුවද කෙල්ලෙකු විෂයෙහි එය සම්පූර්ණ වෙනස් වේ. කෙල්ලෙක් හුදෙක් ආදරයට අමතරව අවධානය, ආරක්ෂාව,ප්‍රේමයේ ස්තාවර බව මෙන්ම මුල්‍ය ශක්තියද බලාපොරොත්තු වෙයි.  ගමක හැදී වැඩුණු සාම්ප්‍රදායික ගති පැවතුම් ඇති යුවතියක් වූ ඇයගේත් මගේත් සිතුම් පැතුම් ගොනා සහ මීමා මෙන් දෙපැත්තට ගම න් කරන බව මට වැටහී ගොස් තිබුණී.  ගොනා ගොඩට අදින විට මීමා අදින්නේ මඩටය.  බෝතලේ වලව්වේ මී ගොන් කරත්තයක් තිබෙනු මම දැක ඇත්තෙමි.  මී හරකුන් දෙන්නෙක් බැන්ද එය පාවිච්චි කලේ ගමේ කුඹූරුවල වී වලව්වට අදින්නටය.  වලව්වට එන පාරේ එක පැත්තක ඇලය.  අනික් පැත්තේ වෙල්ය.  පොඩ්ඩ බැරි වෙනකොට එක්කෝ කරත්තය ඇලේය නැත්නම් වෙලේය.  මා කුඩා කල මේ සෙල්ලම බොහෝ විට දැක ඇත්තෙමි.  ඇති පදමට එලගොන්නු සහ කරත්ත ඇති වලව්වේ මී ගොන් කරත්තයක් හැදුවේ කවුදැයි ප්‍රශ්නයකි.  ඒ කරත්තය මගේ ජීවිතයේ මෙතෙක් කල් දුටු ඒ ජාතියේ එකම කරත්තයයි.  ගම කරත්ත වලට සමුදුන්නේ අත් ට්‍රැක්ටර් යුගය ආවාට පසුවය.  ඕනෑම අත් ට්‍රැක්ටරයට ගමේ කීවේ ලෑන්ඩ් මාස්ටර් හෝ ලෑම් මාස්ටර් කියාය.  මුලින්ම පාවිච්චියට ගත් වර්ගයේ නම විය හැකිය.  පසුකාලීනව විවිධ වර්ගවල අත් ට්‍රැක්ටර් පාවිච්චියට පැමිණ තිබූ බව මට මතකය.

කුබෝටා, ෆාම් මාස්ටර් ආදී වර්ග අතර ඉසෙකි නම් අත් ට්‍රැක්ටරයක්ද විය.  ඒක අයිති වුනේ පිළිකන්නවත්තේ ගෙදරටය.  එලෙව්වේ කඩේ අයියාය.  කඩේ අයියා අපේ ලොකු අම්මාගේ මහප්පාගේ අයියාගේ ලොකු පුතාය.  කඩේ කිව්වාට ඔවුන්ට තිබුනු කඩයක් නොවීය.  ආදි කාලයේ කඩයක් තිබුනු නිසා ඒ නම වැටෙන්නට ඇත. කුඹුරු ගොවිතැන් කරමින් සිටි කඩේ අයියාට ඊට අමතරව ට්‍රැක්ටරයේ කටයුතුද පැවරිණි.  කඩේ අයියාට කුකුල් කොටුවක් දා ගන්නට උදව් කලේ වයි ඇම් සී ඒ එකෙනි.  කුකුල් කොටුව හදන්නට වත්තේ ඉඩ නොතිබූ නිසා එය හැදුවේ මහගෙදර වත්තේය.  කිකිළියන් සිය ගණනකට සෑහෙන්නට හැදූ ලොකු කුකුල් කොටුවක් වූ එය බාගෙට මැටි බිත්ති බැඳ දැල් ගසා පොල් අතු සෙවිලි කළ කොටුවේ බිමට දහයියා අතුරා නිම කර තිබුණී.  වයි ඇම් සී එකෙන් දුන් කුකුල් පැටව් පෙට්ටිද කුකුල් කෑම ගෝනිද මීරිගම සිට ඉසෙකියේ පටවාගෙන ආවේ අපි දෙන්නාය.  පැටව් කූඩුවට නිදහස් කල විට මම උන්ට වතුර දුන්නේ නිකමට වගේය.  රෑ පහන් කීපයක් තබා උණුසුම දුන්නෙමු.  පසුවදා බලන විට වෙහෙස නිසා මියගොස් තිබුනේ පැටව් පස් දෙනෙක් වගේය.  ගෙනිච්ච අනික් අයට සාපේක්ෂව එය ඉතා හොඳ ගණනක් විය.  ඉන්පසුව මගේ දවස ගෙවුණේ කුකුළන් එක්කය.  කෑම දීම වතුර දීම අවශ්‍ය වුණොත් එලියට දමා නැවත ආපසු දැමීම මගේ රාජකාටි අතර විය.   පැටව් ලොකු වෙද්දී හැදෙන ලෙඩ වලට බේත් දීමද අත්‍යාවශ්‍ය කාරියක් විය.  කුකුලන්ට හැදෙන විවිධ ලෙඩ වර්ග මා අත්දුටුවේ කොටුවේ වැඩ කරද්දීය. 

කුකුළන්ගේ වැඩේට කරදර වෙන්නට අනවශ්‍ය නිසා කඩේ අයියා පැෂන් ෆෲට් හෙවත් වැල් දොඩම් කොටුවක් දැම්මේද වයි ඇම් සී එකේ උපකාරයෙනි.  පැල,පොහොර ආදිය ලැබෙන අතර අස්වැන්න වයී ඇම් සී එක මිලදී ගනී.  බිත්තර මිලදී ගන්නවා  වගේමය.  ඔවුන් වියදම් කළ මුදලින් කොටසක්ද කපාගනී.  ඒ කාලයේ කඩේ අයියා කරපු දේශපාලනයක් නැත.  නමුත් පසුකාලීනව ඔහු ජනතා විමුක්ති පෙරමුණේ භක්තිවන්ත අනුගාමිකයෙක් විය.  මොන වැඩේ කලත් උපරිම කැපවීමෙන් එය කරන කඩේ අයියාගේ සිරිත අනුව ඔහු ජ වි පෙ දේශපාලනයද උපරිම කැපවීමෙන් කළේය.  ඒ කාලයේ මැයි දිනයේ ටවුන් හෝල් එක හරියට වී ජ වි පෙ මැයි පෙළපාලිය නැරඹීම මගේ සිරිතක් විය.  ඒ අසූ ගණන්වල මුල හරියේ වන්නට ඇත.  අසූ තුනේ ජ වි පෙ තහනම් විය.  හැම අවුරුද්දේම මැයි දින පෙළපාලි වල කඩේ අයියා සුපුරුදු දසුනක් විය.  ඔහු පෙළපාලියේ සැමදාම ඉදිරිපත් කරන්නේ ඒකාංගික රංගනයකි.  එක්කෝ වෙස් මුහුණක් දමාගෙන යකෙකුට ඇඳ නටයි.  එක්කෝ සුදු පිරුවටයක් හැඳ රතු රෙද්දක් ඉනේ ඔතාගෙන බෙරයක් ගසමින් යාදිනි කවි කියමින් ගමන් කරයි.  88/89 භීෂණ සමයේ කඩේ අයියා පණ බේරාගත්තේ ඉතා අසීරුවෙනි.  පොලිසියද විවිධවූ සන්නද්ධ කණ්ඩායම්ද රෑ දවල් නොමැතිව ඔහු පසුපස එළවද්දී දිවි බේරාගන්නට කැලෑවට වැදී ගල් ගුහාවල මැස්සන් මදුරුවන් හා සර්පයින්ගෙන් පීඩා විඳිමින්, අව්වට වේලෙමින්, වැස්සට තෙමෙමින් නොවිඳිනා දුක් වින්දේය.  

2002 පළාත් පාලන මැතිවරණයේදී ජ වි පෙ කඩේ අයියාව මීරිගම ප්‍රාදේශීය සභාව තරග කිරීම සඳහා අපේක්ෂක ලැයිස්තුවට නම් කළේය.  එම මැතිවරණයේ බෝතලේ ශ්‍රී ගෝඨාභය රජමහා විහාරයේ තිබුනු ඡන්ද පොලේ ජ්‍යෙෂ්ට ඡන්ද ස්තානාධිපති කම මට ලැබී තිබුණි.  උදේ ඡන්ද දායකයන් ඡන්දය දමනු බලමින් සිටි මම දුටුවේ කඩේ අයියා තවත් අපේක්ෂකයෙකු සමග ඡන්ද පොලට ඇතුල්වෙන ආකාරයයි.  සුදු සරමක් කමිසයක් හැඳ අපේක්ෂක යනුවෙන් ලේබලයක් සක්කුවේ ගසාගෙන සිටි ඔවුන් ඡන්ද පොලවල් පරීක්ෂාවේ යන ගමන්ය.  මම ඔවුන්ට ඇතුළට කතාකර වාඩිවෙන්නට කියා තොරතුරු කතා කළෙමි.  ආපසු යන්නට ගිය කඩේ අයියා මඳක් ඉදිරියට ගොස් ආපසු හැරී ඇවිත් මගෙන් ඇසුවේ "මල්ලි නේද මෙතන ලොක්කා" යනුවෙනි. මහත්වූ ස්නේහයක් ඔහුගේ දෑස් තුළ විය.  අප අතීතයේ කළ කී දෑ ඔහුට මතක් වන්නට ඇත. කතා කරගන්නට බැරිව මුව ගොලුව ගිය මම සිනාසුනෙමි.  අවිවාහකයෙකු වූ කඩේ අයියා බැඳී සිටියේ පක්ෂයටය.  පක්ෂය ඔහුගේ බිරිඳ වූ අතර පක්ෂ ක්‍රියාකාරීන් ඔහුගේ දරුවන් විය.  දුරස්තරව ජීවත්වීම මෙන්ම මා රටේ නොසිටීමද හේතුවෙන් පසුකාලීනව මට කඩේ අයියාව බොහෝ දුරට මග හැරුණි.

ටික කලක් අසනීපයෙන් සිටි කඩේ අයියා මීට දසවසරකට පමණ පෙර මියගියේය.  ඔහුගේ මරණයටද සහභාගි වෙන්නට මට නොහැකි වුයේ රටේ නොසිටි නිසාවෙනි.  මම එයට කැමත්තෙමි.  කඩේ අයියාගේ නිසල කය නොදුටු මගේ සිත තුල හැමදාටම ජීවත් වෙන්නේ මා දන්නා කඩේ අයියා බැවිනි.  සිය ජීවිතයේ වටිනාකම තුට්ටු දෙකට දමා පෞද්ගලික පරමාර්ත අමතක කරමින් කඩේ අයියා පැතූ පාලනය දැන් බිහිව ඇත.  ඔවුන් පැතූ ලොව ඉදිවේද නැද්ද යන්න කියන්නට තවම කල් වැඩිය.  කොහොම උනත් කඩේ අයියාට ඉන්න තැනක ඉඳ සතුටු වෙන්නට මේ හොඳටම ප්‍රමාණවත් ය.  කඩේ අයියා මට නැවත කවදා හෝ හමුවනු ඇත.  එදාට අපි ආයෙම කුකුල් කොටුවක් දමා පැෂන් කොටුවක්ද වවමු.  

ඊලඟට සුනිල් සහෝදරයාය.  තමන් විශ්වාස කල අරමුණ වෙනුවෙන් සිය පෞද්ගලික ජීවිතය අමතක කර දළ අහර බුදිමින් බොහෝවිට කුසගින්නේ සිටිමින් අනන්ත කැපකිරීම් කළ සුනිල් සහෝදරයා මට ආපසු කවදාවත්ම මුණ නොගැසුනු චරිතයකි.  අප පුද්ගලික ජීවිත වෙනුවෙන් වෙහෙසෙද්දී ඔහු සැවොම වෙනුවෙන් වෙහෙසුනේය.  සමහර විට අද සුනිල් සහෝදරයා ජීවත්ව සිටින්නට පුලුවන.  එසේ නොමැති නම් භීෂණ සමයේදී වධ දී මරා ටයරයක් මත අවසන් ගමන් ගියා වන්නට පුලුවන.  ජීවත්ව සිටීනම් අද අවුරුදු හැත්තෑ ගණනක වයෝවෘද්ධයෙක් හැටියට සතුටු වෙනවා ඇත.  වයස කීයක් ගියත් විප්ලවීය ජීවගුණය නොනැසී පවතින සුනිල් සහොදරයාගෙන් විහිදෙන සහෝදරත්වයේ සුවඳ නොනැසී පවතිනු ඇත.