Tuesday, April 24, 2018

අලුත් අවුරුද්දේ නෑගම් යෑම, ගමේ කඩේ දේශීය කෑම , පාන් පරිප්පු, ඉරිදා උදේ උපවාසය සහ ස්වප්නාගේ අවුරුදු කෑම වේල.


අම්මා හිටපු කාලේ නම් අලුත් අවුරුද්දට අපේ ගෙදර නෑදෑයින්ගෙන් පිරිලාය.   අම්මා නැතිවුනත් හරි නෑදෑයින් එන එක ටික ටික අඩුවෙලා ගියේය.   දැන් නම් අලුත් අවුරුද්දට අපේ ගෙදර එන්නේ සහෝදර සහෝදරියන් ගේ පවුල්වල අය විතරය.   ඒ කොහොම වුණත් මෙදා පාර අලුත් අවුරුද්ද බොහොම කාර්යබහුල විය.   වැඩිපුරම තිබුණේ නෑදෑ ගෙවල්වල යන්නටය.   නෑදෑ ගෙවල්ද වෙන අවුරුදු වලට සාපේක්ෂව මේ අවුරුද්දේ වැඩිය.   ඊට එකම හේතුව පහුගිය අවුරුදු දෙක තුළ හැලපි ගේ සහෝදරයන් ගේ දූවරු හතර දෙනෙක්ම දීග යාමයි.   කෙල්ලන් හතර දෙනා දුන්න හැටි පිළිවෙලින් කිව්වොත් ලොකු අයියාගේ ලොකු දුව පානදුරයටය.   ඊළඟ අයියාගේ දුව මාතලේටය.   අනික් අයියාගේ දුව දිවුලපිටියටය.   ලොකු අයියාගේ පොඩි දුව අපේ ගමටය.   ඔය ගමන් ටික ගියාට පසුව අන්තිමටම යන්න සැට් වුණේ හැලපිලගේ මහ ගෙදරටය.  මහ ගෙදර කියා කතාවට කිව්වාට අම්මා නැතිවුනාට පසු මහගෙදර පාලුය.   මහගෙදර කියා අපි යන්නේ ලොකු අයියලාගේ ගෙදරටය.   ගමන යන්නට දාගත්තේ පහුගිය ඉරිදාය, මේ ගමන එක්කම කියැවෙන තවත් කතාවක් ඇත.   

මගේ හොඳම යාළුවෙකුගේ එකම දුව දීග දී තියෙන්නේ හැලපිලගේ ගමේම තාර පාරෙන් එහා පැත්තේ ගෙදරක කොල්ලෙකුටය.   මේ කොල්ලා, ඒ කියන්නේ මගේ යාළුවගේ බෑනා මෑතකදී ගමේ විදියට කෑම විකුණන කඩයක් පාර අයිනේ විවෘත කළේය.   විවෘත කර කෑම කඩය බුකියේද ප්‍රමෝට් කළේය.   ලීවලින් සාදා මැටි ගසා පොල්ලතු බැඳ හෙප්පු, වංගෙඩි, කුළු, පිත්තල පහන්, කුරහන් ගල් ආදී ෂෝ එකට තබා ඇති  මෙකී නොකී සියල්ලෙන්ම සමන්විත මේ කඩයෙන් දේශීය කෑම වර්ග සියල්ලම පහසු මිළට ලබාගන්න හැකි බවත් කන්නට අවශ්‍ය අයට එහෙමත් ගෙනියන්නට හෙවත් ටේක් අවේ අවශ්‍ය අයට එහෙමත් ආදී වශයෙන් පහසුකම් ඇති බවද බුකි පොස්ටුවේ ලියැවී තිබිණ.

මේ පෝස්ටුව බුකියේ දැක්ක වෙලාවේ සිට හැලපිට මේ කඩෙන් කෑමේ දොළදුකක් පහළ විය.   මේ හදිස්සියේ ඔය කඩෙන් කෑම සඳහා පමණක්ම  යන්නට පිස්සුවක් මට නොතිබුණත් හැලපිගේ කියවිල්ලෙන් බේරෙන්නට උවමනා විය.   කල්පනා කර බැලු මට මතක් වුණේ අලුත් අවුරුද්දට ගමේ යන ගමන් උදේට කන්නට ඔය කඩේට යන්නට පුළුවන් නේද කියාය.   ගමන යන්න කළින් දවසේ මම මගේ යාළුවාට කතා කළෙමි.   අපි එන ඉරිදා ගමේ යන්නට යොදාගෙන තිබෙන නිසා බෑනා ගේ කඩෙන් උදේට කෑම ගන්නට හිතාගෙන ඉන්න බව කීවෙමි.   ඌ කීවේ උදේ කෑමට එන අයට ආප්ප, ඉඳිආප්ප, පිට්ටු, රොටී, කිරිබත්, කඩල, කව්පි ආදී විචිත්‍රවත් කෑම වට්ටෝරුවක් තෝරාගැනීම සඳහා ලැබෙන බවයි.  

ඉරිදා අපි දෙන්නා ගමන පිටත්වුණේ හැලපිලාගේ නංගිගේ පවුලත් එක්කමය.   ඒ ගෙදරිනුත් ඒ ගොල්ලන්ගේ මහ ගෙදරිනුත් උදේට කන්නට කියා කරන ලද ඉල්ලීම් සියල්ලම පසෙක දැම්මේ ගමේ කඩෙන් බඩපුරා හිතපුරා කන්නට හොඳට බඩගින්න තියෙන්නට අවශ්‍ය නිසාය.   ඔය තැනින් තැනින් කඩලයි පානුයි කෑ විට බඩගින්න මෙව්වවී යයි.   කඩේ තියෙන තැන මගේ යාලුවා කියා තිබු නිසා සොයාගන්නට අසීරුවක් නොවීය.   කඩේට යන්නට පෙරම මම අපේ කට්ටියට කීවේ අපේ හිතවත්කම් කිසිවක් නොකියා කෑම කා යමු කියාය.   කඩ මිදුලේ වාහනය නවත්වා අපි හතරදෙනා බැස්ස විට එතැනම පහළ තිබු ගෙදරක සිට තරුණයෙක් කඩේට ආවේය.

" උදේට කන්න ආවෙ, කෑම තියෙනවද? " මම තරුණයාගෙන් ඇසුයෙමි.

" ඔව්,ඔව් මහත්තය එන්න ඇතුළට ! " තරුණයා උත්තර බැන්දේය.

" මොනාද කන්න තියෙන්නෙ? " යි කඩේ ඇතුළට යන්නට පෙර මම තරුණයාගෙන් ඇසුවේ කඩේ ඉස්සරහ පොල් කොටයකට පොල් අතු බැඳ සකස් කරගත් අව් ආවරණයක් ඇතුළේ තබා තිබු බත් පාර්සල් කීපයක් හැරෙන්නට වෙනත් කිසියම්ම කෑම වර්ගයක් කඩය තුළ මා නොදුටු නිසාය.

" බත් තමයි කන්න තියෙන්නෙ මහත්තය, අනික් කෑම ජාති ඉවරවෙලා! " තරුණයා කීවේය.  මම වෙලාව බැලුවිට උදේ නමයටත් විනාඩි පහක් විතර ඇති නැති ගානය. 

" බත් කන්න මෙච්චර දුර එන්නෙ මොකටදැ ? " යි කියා ආපහු වාහනයට ගොඩවී පාරට ගෙන නවත්වා ඇතිවෙන්නට හිනාවුනෙමු.

" දැන් මොකද කරන්නෙ? " වඩාත්ම අමාරුවේ වැටී ඇත්තේ මමය.  අනික් තුන්දෙනා නම් මොන මොනවා හෝ උදේට සප්පායම් වී ඇත.

" ඉස්සරහ නයිට් කඩයක් තියෙනවා! එතැන බලමු !" 

" කෑම තියේවිද? "

" තියෙන්න නම් ඕනෑ! කෝකටත් ගිහිං බලමු ආයෙ වෙන තැනකුත් ළඟ පාතක නැති එකේ !" 

නයිට් කඩේට ගිහිං බැලුවිට එතැනත් කෑමට බත් හැරෙන්නට වෙනයමක් හරි හාමනකට නොතිබූ නිසා එතැනින් පාන් රාත්තල් දෙකතුනක් අරගෙන ලොකු අයියාගේ අක්කාට එතැන ඉඳන්ම කෝල් කලේ අපි පාන් අරගෙන එන නිසා පාන් කන්නට පරිප්පු හොද්දක් හදා තියන්නටැ' යි  කියන්නටය.

පානුත් අරගෙන ගෙදරට යනවිට අක්කා පරිප්පු හොද්ද ලිප තියලාය.   ලිපේ ගොද ගොද ගාමින් නටන පරිප්පු හොද්දේ සුවඳ නාසය දිගේ කුසට ගොස් මගේ කුසගින්න දැන් එලෝකෝටියට නැගලාය.   පාන් කපා පරිප්පු හොදි දීසියත් මේසයට තබා කෑමට එන්න කියපු ගමන්ම මේසයට දුවගෙන ගියේ පරිප්පු හොදිත් එක්ක හොඳහැටි පාන් කන්නම්ය කියා හිතාගෙනය.  පාන් කෑල්ලක් පරිප්පු හොද්දේ පොඟවා රස බැලුවෙමි.

අවාසනාවකි, පාන් කෑල්ල කටේ තියන්නට බැරිය.  පරිප්පු හොද්දේ ලුණු කට්ටෙටය.  ඉතින් කුමක් කරන්නට ද? කන්නට ගත් පාන් පෙත්ත එතැනම තබා මම කෑම මේසයෙන් නැගිට ආවේ අනිත් අයගේ සිනාහඬ මැදය.  හැලපී පැරණි උපහැරණයක් කීවේ අපට වෙච්ච දේටය.

" එක රිටක් වැරදුණොත් රිටි හතක් වරදිනවා 'යි කියන්නෙ මේකට තමයි! "

ඒ වැරදීම කොච්චරද කිව්වොත් ප්ලේන්ටී එකකින් පමණක් සෑහීමකට පත්වී දවල්ට කෑම කන තුරු උපවාසයේ ගතකරන්නට සිදුවිය.   ඉතින් අපේ අවුරුදු ගෙවී ගියේ ඔන්න ඔය ආකාරයටය.  මීළඟට තවත් විචිත්‍රවත් අවුරුදු කෑමක මේ සතියේ යන්නට තිබේ.   ඒ ස්වප්නලාගේ ගෙදර කජුත් කොසුත් කන්නටය.

ස්වප්නා අවුරුද්දට අපි කට්ටියට ගෙදර එන්න කියා ආරාධනා කළේ මාස ගණනකට පෙර සිටය.  ආවොත් ඇතිවෙන්නට කන්න කජුත්, කොසුත් පිළියෙළ කර දෙන බව ඇය පොරොන්දු වුණාය.  පොරොන්දු වුණා වගේම ස්වප්නා දිනයක්ද යොදාගෙන අපට ආරාධනා කළාය.   දිනය යෙදී තියෙන්නේ මේ සතියේය.   මම මේ ඊයේ පෙරේදා විස්තර අහන්නට ස්වප්නාට කතා කළ විට ඇය කීවේ ආරාධනා කළ සියලුම දෙනා එන බව දැන්වූ බවත් ස්වප්නාගේ පැත්තෙන් සියල්ල සුදානම් බවත් දැන් තියෙන්නේ අපේ පැමිණීම පමණක් බවත්ය.

කොහොමත් රක්ෂිත කැලෑව අද්දර කැලෑවේම කොටසක් වගේ නිස්කලංක ගතියක්ද කුරුළු කොබෙයි කෑගැහිල්ල ද නොඅඩුව ඇති ස්වප්නලාගේ වත්තේ උඩහට වෙන්නට බැදි කුට්ටි තුළින් ඇතුළට යන්න තියෙන ගල්තලාවත් ගල්තලාව අද්දරින් ගලා යන සීතල දොළ පාරත් ආයෙම දැකගන්නටත් දොළ පාරේ සීතල වතුරේ දෙපා ඔබාගෙන කුරුම්බාවක් බොන්නටත් මට ඇත්තේ ලොකු ආසාවකි.   ස්වප්නාගේ ගෙදර අවුරුදු කෑමේ විස්තරත් සමග නැවත හමුවෙමු෴ 

34 comments:

  1. Replies
    1. අපෙත් අවුරුදු මේ ගමන වැඩක් නෑ. එන්න කියපු එවුවො ආවෙත් නෑ, අපි කොහෙවත් ගියෙත් නෑ.

      යකෝ අවුරුදු අස්සෙ කඩවල් වලින් කන්න යනවට බොලාට හොඳ වැඩේ වෙලා තියෙන්නෙ. හැක්..

      Delete
    2. අවුරුදු අස්සේ නෙවෙයි බං එතකොට අවුරුදුවල කෑලිත් නෑ.

      Delete
  2. හැලපේ බෝතලේ ගියේ නැද්ද.
    මටත් යන්න බැරි උනා මෙදාපාර.

    ReplyDelete
    Replies
    1. බෝතලේ දැන් කවුරුවත් නෑ බං. හිටපු එකම පුංචි අම්මත් දැන් වෙන කොහාටදෝ වෙලා. ගියාට වැඩක් නෑ.

      Delete
  3. //දොළ පාරේ සීතල වතුරේ දෙපා ඔබාගෙන කුරුම්බාවක් බොන්නටත්//
    දෙවරක් පෙරපු කුරුම්බ බෝතලයක් වෙන්න ඇති මේ කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. වෙන මොනාද එහෙනං. ගහපු ගමන් පණ පිටින් දිවිය ලෝකේ.

      Delete
  4. ස්වප්නගේ කෑම වලටත් ලුණු වැඩිවෙයං

    ReplyDelete
    Replies
    1. සුපිරියටම තිබුණේ. බොගෙ ඉරිසියාවටත් එක්ක.

      Delete
  5. අම්මෝ අවුරුදු නෑ ගං නං....
    මොනා උනත් අවුරුද්දකට පාරයි නෙහ්

    ReplyDelete
    Replies
    1. අවුරුද්දකට එක පාරයි නොවැ. ඒකනෙ නොගිහිං බැරි.

      Delete
  6. මේ සැරේ අවුරුද්ද නිකං ආවා ගියා වගේ... ගමේ හක්කලන් කරන්න හම්බුනේ නෑ හිතේ හැටියට..

    ReplyDelete
    Replies
    1. අපිනං ඉතිං ලෙසටම හක්කොලන් කොළා.

      Delete
  7. Replies
    1. ඇනෝ නැතුව පාලුයි.

      Delete
    2. ඇනෝ මේ දවස්වල පේන්න නෑ. බිසී ඇති.

      Delete
  8. ඇවිදින්න තියනෙව නම් හැමදාම අවුරුදු කරුමෙට මේ අවුරුදු නිවාඩුවම ලෙඩ වෙලා ගෙදර

    ReplyDelete
    Replies
    1. පව් යකෝ. දැන් හොඳයැ.

      Delete
    2. යා පිවිතුරු වෙසගේ හාමුදුරුවෝ නැති, පන්සලක් ඇති, කන්දක් මුදුනේ තෙමි තමෙී ගවො දැමීමට තීරනය කලෙමි.

      Delete
  9. වෙනසත් සමග කෑමක් කන්නට හිතලා
    හැලපෙත් ගියාලූ හොඳ කඩයක් හොයලා
    මෙහෙමත් කාපු කට්ටක විස්තර ලියලා
    හිතුවත් නිහඬ වෙනු බෑ සිනහව පිරිලා...

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. රසවත් කවියක් හැමදාම වගේ. ජය!!

      Delete
  10. https://gadyanohothkavi.blogspot.com/2018/04/blog-post_685.html

    ReplyDelete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. ස්වප්නා කිව්වෙ අර පරන කතන්දරේක හිටපු කෙනාද හැලපයියේ ??

    ReplyDelete
    Replies
    1. එසේය! එසේය! ඇය මය.

      Delete
  13. මම නම් මේ අවුරුද්ද වයිපරේලැයි ගෙදර ගතකොලා. නැන්දම්මා කන්න බොන්න ඕන ජාති ලගටම ගෙනත් දුන්නා. මාමණ්ඩියා ලයිය පෙයිය කලින්ම ගෙනත්. මමත් රතුවා දෙකක් අරන් ගියා.

    ReplyDelete
    Replies
    1. එළ යැ. සිරාවටම අවුරුදු කා ඇති බව පෙනේ.

      Delete
  14. රහ දිව පිනවන්න කැමති එවුන්ට ඔය වගේ වැඩ උනහම දවසම අවුල් අප්පා ... විශේෂයෙන් ජංජාලෙ උජාරුව බලල කෑම කඩ හොයන් ගිහින් :-D

    ReplyDelete

ඔබේ අදහස්