Thursday, October 18, 2018

ඩැනිස්ගේ කාමරයට ආ අලුත් සාමාජිකයා, සේනගේ නළුකම, ක්ලින්ට් ඊස්ට්වුඩ් සහ රොටියාගේ ලව් එක.


අද ලියන්නට හදන කතාවේ ද ඩැනිස් හිටියත් මේ ඩැනිස් ගේ කතාවක් නොවේ වෙනත් කෙනෙක්ගේ කතාවයි.  සුපුරුදු පරිදි මේ කතාවටද පසුබිම් වන්නේ සෑහෙන ඈත කාලයක අපි ගතකළ ජීවිතයයි.  අනාදිමත් කාලයක් ගතවී තිබුණත් කිසිම මල කෑමක් නොමැතිව මේ කතා මගේ හිතේ සටහන් වී තිබෙන්නේ එකල අප ගතකළ ජීවිතයේ තිබු රසවත්කම නිසාමය.  ඩැනිස් පොඩි මහින්ද ලාගේ ගෙදර ඉස්සරහ කාමරේ නවාතැන් ගෙන සිටි සමය අපි තරුණ අවදියේ ගතකළ සුන්දරම කාලය ලෙස සිතේ නොමැකෙන ලෙස සටහන් වී ඇත.  කරන්නට වැඩකුත් නැතිව අතේ සතේ නැතිව අපතයන් ලෙස ඩැනිස්ගේ කාමරයට වී විනෝදයෙන් ගතකළ ඒ අවදියේ හත් අට දෙනෙකුගෙන් යුත් අපේ කොල්ලන් කණ්ඩායම ඩැනිස්ගේ කාමරය බදු අරගෙන වගේ දවසම කාමරයේ ගතකරද්දී කාමරයට තවත් නව සාමාජිකයෙක් එකතුවී සිටියේය.  ඒ ගුරාය.  නුවර දෙයියන්නේවෙල පදිංචිකරුවෙකු වූ ගුරා ටික දවසකින්ම ඩැනිස්ටත් වඩා අපට හිතවත් වුණේ ඒ වනවිට ගුරාද අපි වගේ අවිවාහකයෙක් වීම හේතුවෙනි.  සිංහල භාෂාවට අමතරව ඉංග්‍රීසිත් කතාකළ හැකි එකෙකු වූ ගුරා ඉතා චතුර ලෙස දෙමළ භාෂාවද හැසිරවිය.  ඒ ඔහු පදිංචි වී සිටි ප්‍රදේශයේ විසූ මුස්ලිම් අයගේ ආශ්‍රය හේතුවෙනි.  උගේ යහළුවන් වූ සිද්දික් හා මොහොමඩ් නිතරම ගුරා හමුවන්නට පැමිණ දින දෙක තුන කාමරයේ නැවතී සිටින බැවින් ඒ අයද ඉතා ඉක්මනින් අප සමග හිතවත් වූහ.

ඔය කාලයේ අපේ ප්‍රධාන විනෝදාංශය වී තිබුණේ චිත්‍රපටි නැරඹීමය.  ටවුමේ චිත්‍රපටි හෝල් එකට එන හැම චිත්‍රපටියක්ම සිංහලද, ඉංග්‍රීසිද, දෙමළද, හින්දිද කියා වෙනසක් නොමැතිව බලන්නට යෑම කට්ටියගේ සිරිත විය.  අතේ සතේ නැතිව සිටියත් චිත්‍රපටියක් බලන්නට නම් කෙසේ හෝ මුදල් සොයාගන්නට කවුරුත් සමත්කම් දැක්වුහ.  ගෙදරින් චිත්‍රපටි බලන්නට සල්ලි නොලැබෙන විට හාල් ටිකක්, පොල් හෝ අන්නාසි ගෙඩි කීපයක් විකුට අවශ්‍ය මුදල් සොයාගතිමු.  සල්ලි අතේ නැති එකෙකුට හෝ ගානට අඩුවෙන් මුදල් තියෙන එකෙකුට වැඩිපුර සල්ලි තියෙන එකෙක් අනුග්‍රහය දක්වයි.  මේ අනවරත චිත්‍රපට නැරඹීම හේතුවෙන් අපට සිදුවූ එක යහපතක් වුණේ පසුකාලීනව හොඳ හා කබල් චිත්‍රපට වෙන් වශයෙන් හඳුනා ගැනීමට හැකිවීමයි.  චිත්‍රපටයක් නැරඹු පසු ඒ චිත්‍රපටය එහෙම පිටින්ම පහුවදා ඩැනිස්ගේ කාමරයේ රඟ දැක්වීම සිරිතක් විය.  ඒ වැඩට යන නිසා චිත්‍රපට බලන්නට නොලැබෙන ඩැනිස්ගේ හා ගුරාගේ වින්දනයටය.  සිංහල චිත්‍රපටයක් නම් සම්පූර්ණ චිත්‍රපටය රඟ දක්වනු ලබන්නේ පැටියා විසිනි.  චිත්‍රපටයේ දෙබස් කියමින් හා ගීත නිසි තැන්හි ගායනා කරමින් පැටියා චිත්‍රපටය අපූරුවට රඟපා පෙන්වයි.  සමහර වෙලාවට අපේ චිත්‍රපට රඟ දැක්වීම නිසා කාමරයේ ඇතිවන කන් කරච්චලය ඉවසා ගනු නොහැකි ඩැනිස්

" පලයව් පලයව්, එළියට ගිහිං කරන මඟුලක් කරගනියව් මට ටිකක් නිදාගන්න දීලා." කියමින් අපව කාමරයෙන් පිටුවහල් කරයි.

කලින්දා බැලුවේ ක්‍රියාදාම සපිරි ඉංග්‍රීසි චිත්‍රපටයක් හෝ කව්බෝයි චිත්‍රපටයක් නම් චිත්‍රපටය රඟ දක්වන්නට නළුවන් බොහෝ වෙති.  ගොපළු චරිත රඟ පෑ ක්ලින්ට් ඊස්ට්වුඩ්, රොජර් මුවර් වැනි නළුවන් අපේ ලෝකයේ වීරයන් වූ ඒ සමයේ කව්බෝයි චිත්‍රපටයක් නරඹා දින කීපයක් ගතවෙන තුරු අපි පාරේ යන්නේ පවා සිතින් මවාගත් ගිනි අවියක් ඉණේ රඳවාගෙනය.  සතුරෙකු දුටු සැණින් වෙඩි තැබීම එහි අරමුණයි.  සතුරන් නොමැතිවූ හෙයින් ඉදිරියට පැමිණෙන මිතුරෙකුට හෝ එක්වනම වෙඩි තැබීමට අපි පසුබට නොවීමු.  කාලය වේගයෙන් ගෙවී යද්දී එක්කෙනෙක් දෙන්නෙක් රස්සාවල් හොයාගෙන සිටි බැවින් රස්තියාදු ගහන්නට කාලය නොතිබුණත් තවත් හත් අට දෙනෙක් කණ්ඩායමේ ඉතිරිවී සිටියහ.

සේන අපේ කණ්ඩායමට එකතු වෙන්නේ ඔන්න ඔය කාලයේදීය.  අපේ ගමේ කොල්ලෙක් වුණත් සේන පොඩි කාලයේ සිටම සිටියේ ගමෙන් පිටය.  පාසැල් අධ්‍යාපනය කඩාකප්පල් කරගෙන ගමෙන් පිට ගොස් වත්තල පැත්තේ මන්ත්‍රී වරයෙකුගේ ළඟ සෑහෙන කාලයක් වැඩ කළ සේන ඡන්දයෙන් මන්ත්‍රීට ආසනය අහිමි වූවායින් පසුව තවත් රස්සාවල් දෙක තුනක් කරමින් සිට ඒ කාලය වන විට මොකුත් නැතිව ගමට ඇවිත් සිටියේය.  ටිකින් ටික අපේ ඇසුරට වැටුණු සේනයා පුරාජේරු කතාවෙහි ගජ සමතෙකි.  තමන් කිසිසේත් සම්බන්ධ නොවූ ලොකු ලොකු වැඩ ඌ කළා යයි අල්ලේ පැල කර කියමින් ද අඳුනන ලොකු ලොකු අය ලවා ඔනෑම වැඩක් කරදෙන්නට ඌට හැකිය කියමින්ද රස්තියාදු වෙමින් කාලය ගත කළ සේන අපිත් එක්ක කීවේ ඌ අහිංසක කලාකරුවෙක් බවය.  සේනයා දන්නා වෙන කලාවක් නැති වුණත් ගොක් කොළ කලාවෙහිදී ඌ විශිෂ්ටයෙකි.  ගමේ මඟුලක් හෝ පිරිතක් ඇති සෑම අවස්ථාවකදීම පෝරුව ගහන්නටත්, පිරිත් මණ්ඩප්පය සරසන්නටත් සේන නැතිවම බැරි චරිතයක් විය.  සේනයා ජිනාත් එක්ක කරාටි ගැසූ පේමයා ගේ බාල සහෝදරයෙක් නිසා අපේ කණ්ඩායමට එකතු වෙන්නට ඔහුට වෙනත් චරිත සහතික අවශ්‍ය නොවීය.

චිත්‍රපට නළුවෙක් වීම සේනගේ එකම සිහිනය සිහිනය වූ අතර ටෙලිනාට්‍ය තබා රුපවාහිනිය වත් ලංකාවට හඳුන්වා දී නොතිබූ ඒ කාලයේ සේනයාට නළුවෙක් වීම සිහිනයක්ම විය.  නළුවෙක් වෙන්නට ඇත්නම් සේනයා නොකරන දෙයක් නැති තරම්ය.  උගේ මේ සිහිනය හොඳින් අධ්‍යයනය කළ ගුරා තේරුම් ගත්තේ චිත්‍රපටි කලාව මුලට තබා ගත් විට සේනයා ඇන්දිය හැකි බවය.  දවසක් සේනට කතාකළ ගුරා කීවේ උගේ යාලුවෙක් වූ සිද්දික් චිත්‍රපටි නිෂ්පාදකයින් හා අධ්‍යක්‍ෂ වරුන් හොඳින් දන්නා කියන එකෙක් නිසා ඒ මාර්ගයෙන් සේනට චිත්‍රපටයක රඟපාන්නට අවස්ථාවක් ලබාදෙන්නට තමන්ට හැකි බවයි.  නමුත් ඊට පෙර සේනට ඇත්තටම රඟපාන්නට පුලුවන්ද යන්න සොයා බැලිය යුතු බව කී ගුරා තමන් ඉදිරියේ චිත්‍රපට කොටස් රඟපා දැක්වීමට සේනයාට යෝජනා කළේය.  ඊට පසු ගුරා කාමරයේ සිටි හැම දිනෙකම සේනගේ රඟපෑම් අපි සියල්ලන්ටම බලා ගත හැකි විය.

දවසක්දා සේන අපි සියලු දෙනාම ඉදිරියේ 'පැන පැන එන සඳේ' ගීතය ගයමින් නැටුම ඉදිරිපත් කළේ ගුරාට පෙනෙන්නටය.  මට මතක තියෙන ආකාරයට චිත්‍රපටයේ එම නැටුම ඉදිරිපත් කළේ සුමනා අමරසිංහය.  සේන ඇය නැටු ආකාරයටම දෑත් එකට තබා ඉණේ ඒ පැත්තටත් මේ පැත්තටත් තබමින් කාමරයේ සිට නටාගෙන එළියට එනවිට කුස්සියේ සිට සාලය පසුකර එළියට යන්නට ආ පොඩි මහින්දලාගේ අම්මාගේ ඇඟේ හැපුනි.  පොඩි මහින්දලාගේ අම්මා කෝපි ඇට වනක් කොටාගෙන කුල්ලක දා ඉණේ තබාගෙන එළියට යන්නට ගියේ කෝපි ටික අව්වේ වේලෙන්නට දමන්නටය.  සේනයා නටාගෙන ඇවිත් ඇඟට පැනීම හේතුවෙන් කුල්ල බිම වැටී කෝපි ටික බිම විසිරී ගියේය.

" මගෙ ඇඟට පැන්නෙ මූට මදන යකා ගහල ද" කියමින් පොඩි මහින්දලගෙ අම්මා සේනයාට දෙස් දෙවොල් තබන්ට වූ අතර ඌට සිදුවුණේ නැටුම පැත්තක තබා කෝපි ඇට අහුලා දීමටය.  අපි කාමරයට වී ඇතිවෙන්නට සිනාසුනෙමු.

තවත් දවසක කව්බෝයි චිත්‍රපටියක කෑල්ලක් රූපගත කරන්නට ගුරා යෝජනා කළේය.  සේන ප්‍රධාන චරිතය වූ ක්ලින්ට් ඊස්ට්වුඩ් ය.  දැන් සේනයාව කව්බෝයි කෙනෙකුට ඇන්දිය යුතුවිය.  දෙන්නාම එකම උස මහත නිසා ගුරාගේ කලිසමකුත් කමිසයකුත් සේනට හරියටම හරිගියේය.  ඩෙනිම් ජැකට් එකක් අන්දවා පළල් පටියක් ඉණට දමා පොඩි මහින්දගේ සෙල්ලම් පිස්තෝලයකුත් පටියේ එල්ලූ අතර කව්බෝයිට තොප්පියකුත් අවශ්‍යමය.  ඩැනිස්ට සුද්දෙක් දීපු ලස්සන දුඹුරු පාට තොප්පියක් ඔහුගේ පෙට්ටියේ විය.  එයත් අරගෙන සේනගේ හිසට දමා සුපිරිම කව්බෝයි කෙනෙක් හැටියට සේනව හැඩ ගන්වන ලදී.  චිත්‍රපටයේ අධ්‍යක්ෂ වරයා වූ ගුරා සේනට දර්ශනය විස්තර කර කිව යුතු ඉංග්‍රීසි දෙබස් ද කියා දුන්නේය.

දර්ශනයේ හැටියට අස්සයා පිටේ ඇවිත් බහින කව්බෝයි අස්සයා පොඩි මහින්දලගෙ මිදුලේ ඇති අඹ ගහේ ගැට ගසයි.  ඊට පසු ඔහුගේ මිතුරන් දෙදෙනෙක් එතනට එන්නේ කව්බෝයිව හමුවී එක්කරගෙන යන්නටය.  මිතුරන් දෙදෙනා සමග වචන කීපයක් හුවමාරු කරගන්නා කව්බෝයි ඔවුන් දෙදෙනා සමග පිටත්ව යයි.  දරශනය එහෙමය.  අධ්‍යක්ෂ ගුරා 'ඇක්ෂන්' කීමත් සමගම දර්ශනය රූගත කිරීම ආරම්භ විය.  සේන පාරේ සිට අස්ප ගමන ආරම්භ කර පොඩි මහින්දලාගේ මිදුලට ඇවිත් අස්පයාගෙන් බැස අස්පයා අඹ ගහේ ගැට ගැහුවේය.  වටපිට බලනවිට එතැනට ආවේ ඔහුගේ සහචරයන් දෙදෙනෙකි.  සහචරයන් දෙදෙනා කිට්ටුවන විටම ඉණේ තිබූ පිස්තෝලය ඇදගත් සේනයා ඩිෂුම් ඩිෂුම් කියා උන් දෙන්නාටම වෙඩි තබා පිස්තෝලයේ බටයෙන් පිටවන දුමට කටින් පිඹ ආපහු පිස්තෝලය ඉණේ ගසාගත්තේය.

" කට් කට්, කෑවා කෑවා, යාළුවො දෙන්නට වෙඩි තිබ්බෙ මොන මඟුලකටද? " අධ්‍යක්ෂ ගුරා කේන්තියෙන් මෙන් කෑ ගැසුවේ පුපුරන්නට තතනන සිනහව ආයාසයෙන් නතර කර ගනිමිනි.  අපි කට්ටියම හූ කියමින් සිනාසෙන්නට වීම නිසා රූපගත කිරීම එතැනින් නවත්වන්නට සිදුවිය.  දර්ශනයේ දී කියන්නට ගුරා උගන්වා තිබු ඉංග්‍රීසි වාක්‍යය ඌට අමතකව ගොස් තිබිණි.  වෙනත් මොකුත් කියන්නටත් නොහැක්කේ සේනයා ඉංග්‍රීසි මළපොතේ අකුරක්වත් නොදන්නා නිසාය.  සහචරයන් කතාකළොත් තමන් නෝන්ඩි වෙන නිසා කළින්ම උන් දෙන්නාට වෙඩි තබා දැමු බව සේන මට පසුව කියා සිටියේය.

ගෙදර වැඩත් කඩේ වැඩත් ආදී සියල්ලම තනියෙන් කරගන්නට පොඩි මහින්දලාගේ අම්මාට තිබු අපහසුතාව නිසා උදව්වට පොඩි මහින්දලාගේ අම්මාගේ මල්ලීගේ දුවෙක් ඇය ගෙදරට ගෙන්වාගත්තේ මේ අතරතුරේදීය.  ලාලනී නම්වූ ඇය උස රතු ලස්සන කෙල්ලෙකි.  ඉතා කඩිසරව ගෙදර වැඩත් වත්ත පිටියේ වැඩත් කරන ලාලනී ගේ පැමිණීම නිසා පොඩි මහින්දලාගේ අම්මාගේ වැඩ කන්ද බාගෙකින්ම අඩුවිය.  ඇවිත් ටික දවසකින්ම ලාලනී උදේට උදේට හදා කඩේ තැබූ පොල් රොටී කඩේට තේ බොන්නට එන අය අතර බෙහෙවින් ජනප්‍රිය විය.  මේ නිසාම අපි කට්ටිය රොටියා කියා ඇයට නම් තැබුවෙමු.  ඒ නමට රොටියාගේද අකැමැත්තක් නොවූ අතර අලුත් නම ඇය පිළිගත්තේ සුපුරුදු පරිදි මඳ සිනහවකිනි.

අනික් අය මෙන් නොව ආ දා පටන්ම සේන රොටියා ගැන බොහෝ උනන්දු විය.  හැමදාම උදේට වෙන කාටත් පෙර පොඩි මහින්දලාගේ ගෙදරට වාර්තා කරන සේන නිතරම සිටියේ රොටියා පේන මානයේය.  පොඩි මහින්දලාගේ ගෙයි ඉස්තෝප්පුවේ තිබුණු කොට තාප්පය උඩ අපි කට්ටිය පාරට මුහුණ ලා වාඩි වෙද්දී සේනයා ගෙට මුහුණ ලා වාඩි වෙන්නට වග බලා ගත්තේය.  ටික දවසක් මේ විදියට කොකම් පාමින් සේන උත්සාහ කළේ  කෙසේ හෝ රොටියා එක්ක හුටපටයක් පටන් ගන්නට ය.  කකුල් අමාරුව නිසා පොඩි මහින්දලාගේ අම්මා ඇඳට ගිහිං නිදියද්දී තනියම කුස්සියේ වැඩ කරන රොටියාට උදව් කළේ සේනයාය.  රොටියාද ළූණු ටිකක් සුද්ද කරගන්නට, පොල් ගෙඩියක් ලෙලි ගසා ගන්නට සේනගෙන් ලැබුණු උදව්ව ප්‍රතික්ෂේප කළේ නැත.  මෙහෙම වැඩ කර දෙන ගමන් සේනයා දෙන නැව් ටෝක් වලට මුගේ කපටිකම් දන්නේ නැති කෙල්ලද ටික ටික රැවටුනාය.  ටික දවසකින්ම රොටියා සේනගේ පෙම්වතිය බවට පත්වුණේ කාටත් හොර රහසේය.  ඒ කාලයේ සේනයා දවසෙන් වැඩි කොටසක් පොඩි මහින්දලාගේ ගදර ගත කළ අතර කෙනෙකුට ඌව හොයාගන්නට නම් උන්ගේ ගෙදර නොව පොඩි මහින්දලාගේ ගෙදර යායුතු විය.  දවල් දවසේ රොටියාට ආදර බස් කියමින් ඇගේ වටේ කැරකෙමින් ඉන්නා සේනයා හවස් කල අඳුරට මුවාවී පොඩි මහින්දලාගේ ගේ පිටුපස ඇති දෙහි ගහ යටටවී රොටියාත් එක්ක හාදු හුවමාරු කරගන්නට පුරුදු විය.

මේ විදියට මාස කීපයක් ගෙවී යද්දී සේන නිතරම කතාකරන්නට වුණේ රස්සාවක් හොයාගෙන කීයක් හරි හම්බ කර ගැනීම ගැනය.  රස්සාවක් හොයාගන්නට එතෙක් කල් තිබුණේ නැති උනන්දුවක් සේනට හදිසියේ ඇතිවීම පිටුපස රොටියාගේ බලකිරීමක් තිබෙන්නට ඇතැයි මට නිකමට වගේ සිතුණි.  සේනයාත් එක්ක ආදර බස් මුමුණමින් ඉන්නා අතරේ ඇය සමහර විට " හැමදාම මේ විදියට රස්තියාදු වෙවී ඉඳල හරියයිද? අනාගතේ ගැන බලන්නත් එපායැ, ඔයා ඒ ගැන ටිකක් කල්පනා කරන්නැ"යි කියන්නට ඇත.  කොහොමින් කොහොමින් හරි රොටියාගේ ඉල්ලීම පලදරා සේන සල්ලි හම්බ කරන්නට වැඩක් හොයාගන්නට සමත් විය.  සේන හොයාගත් වැඩේ වුණේ ගඩොල් කැපිල්ලය.  අපේ ගමේ ගඩොල් බාස් ලා කීප දෙනෙක් සමග සේන කුඹුක්ගැටේ ගඩොල් වාඩියකට යන්නට නියමිත විය.  යන්නේ ගඩොල් කපන්නට වුණත් සේන රොටියාට කීවේ ඌ ඇලහැර මැණික් ගරන්නට යනවා කියාය.  ගඩොල් කැපිල්ලට වඩා මැණික් ගැරිල්ල ටිකක් පොෂ් බව සේනයා සිතන්නට ඇත.  ඉතින් සේනයා සිය ආදරවන්තිය වූ රොටියාටද ආදර බස් කියා සිප සනසා කුඹුක්ගැටේ ගඩොල් වාඩියට පිටත්ව ගිය අතර රොටියාද ඇඬු කඳුළින් සේනයාට සමුදුන්නේ ඌ යන්නේ දෙන්නාගේ අනාගතය ගැන සිතා නොවේදැයි සිත සනසාගෙනය෴

( සේනගේ කතාව තව ටිකක් ලියන්නට ඇතත් පෝස්ටුව දිග වැඩිවන නිසා තවත් කොටසකින් හමුවෙමු)

Tuesday, October 9, 2018

සුද්දාගේ අන්නාසි සොමිය, අලුත් අවුරුදු උත්සවය, මාදුවාගේ දිවා භෝජන සංග්‍රහය, ඔපරේෂන් ත්‍රීවීල් සහ අවලංගු කළ ප්‍රහාරය.


අපට නිතරම සොමිය දෙන සුද්දා ගේ කතාවක් ආයෙම ලියන්නට සිතුණු නිසා ත්‍රිකෝණයේ ඊළඟ කොටස මඳක් පමාකොට සුද්දාගේ කතාව ලියමි.  සුද්දා පහුගිය දවස්වල හිටියේ තරමක් අවුලෙනි.  හේතුව වුණේ සුද්දාගේ පොඩි පුතා අසනීප වීමයි.  පොඩියට හිටියට සුද්දා දරු පස් දෙනෙක්ගේ පියෙකි.  පළවෙනි කසාදයේ දුවයි පුතයි සහ දැන් කසාදයේ පුත්තු දෙන්නයි දුවයි වශයෙනි.  පොඩි දුවයි පුතයි දෙන්නා නිවුන්නුය.  ඒ කියන්නේ විනාඩි ගණනකින් අක්කා සහ මල්ලිය.  දැන් උන් දෙන්නාට වයස අවුරුදු දෙක හමාරක් පමණය.  අපිව නිතරම සුද්දලාගේ ගෙදරට අදින කාන්දම වෙන්නේ මුන් දෙන්නාගේ හුරතල්ය.

පහුගිය දවසක පොඩි කොල්ලා තරමක හෙම්බිරිස්සා ගතියකින් සිටි නිසා සුද්දාගේ පවුල කොල්ලාට පැනඩෝල් පෙත්තකින් බාගයක් කපා බොන්නට දී පැනඩෝල් කාඩ් එක මේසය උඩ තබා කුස්සියේ වැඩකට ගියාය.  කොල්ලා ඒ ටිකට පුටුවකට නැගගෙන මේසයට ගොඩවී පැනඩෝල් කාඩ් එක ගත්තේය.  ඌ සාමාන්‍යයෙන් බේත් බොන්නට බොහොම කැමතිය.  පැනඩෝල් පෙති පහ අම්මා දෙනවාක් මෙන් දෙකට කපා ටැප් එක ලඟට අරගෙන ගිහිං ඔක්කොම ගිල දැම්මේය.  ඌ පෙති බොන අතරේ එතනට ආ අක්කාටද කොල්ලා පෙති බොන්නට කතාකළත් බේත් බොන්නට හොර කෙල්ල ගිහිං අම්මාට කියා ඇත.  අම්මාට දෙලෝ රත්වී අහල පහළ අයට කතාකර කොල්ලාත් අරගෙන ගිහිං රෝහලේ නැවතුනාය.  කොල්ලාව ඉස්පිරිතාලෙන් ආපහු එව්වේ දවස් තුනකට පසුය.  අතට කැනියුලාවක් සවිකර සේලයින් දීමත් උදේ හවස අත්දෙක විද පරීක්ෂණ සඳහා ලේ ගැනීමත් නිසා ඉස්පිරිතාලය එපාවී සිටි කොල්ලා ආයෙම රෝහල මතක තියෙන තුරු  හොරෙන් පෙති බොයි කියා හිතන්නට අමාරුය.

කොල්ලා ඉස්පිරිතාලෙ හිටපු කාලය පුරාවටම සුද්දාගේ තනිකම ද දුක ද තුනී කරන්නට අපි සුද්දා එක්කම ගතකළෙමු.  කොල්ලා ගෙදර එක්කරගෙන ආවයින් පසුව මට සුද්දාගේ ගෙදර යන්නට වුණේ එක දවසක් පමණකි.  සුද්දා දැන් ප්‍රකෘති තත්ත්වයෙන් කල් ගතකරන නිසා මම එය ප්‍රශ්නයක් කර නොගත්තත් නොඑන එක ගැන සුද්දා මට කතාකර දොස් කීවේය.  අවස්ථාවක් ලද විගසම එන බව කියා සිටියත් එක එක වැඩ නිසා සුද්දා බලන්නට යන එක කල් ගියේය.  ඊට පසු ආයෙම දවසක මට කතාකළ සුද්දා හවස එන්නට කියා කීවේ හොඳ බඩුවක් හම්බ වෙන්නට තියෙනවා කියමිනි.  මම හවස සුද්දලාගේ ගෙදර යද්දී සුද්දා සිටියේ අන්නාසි කොටුවේ වල් ගලවමිනි.  සුද්දාට මේ දවස්වල පළතුරු යහමින් ලැබෙන්නේ මීගමු පැත්තෙනි.  ඔහු මට කතාකලේද පළතුරු බෝතලයකට වග කියන්නටය.  අපි දෙන්නා පළතුරු බොමින් කතා බහේ යෙදී ඉන්නා තැනට මාදුවාද ටිකකින් ආවේය.

මාදුවා ගැන කියන විට ඌ පහුගිය දවසක කළ වැඩක් ගැන නොකියාම බැරිය.  දවස හරියටම කිව්වොත් පහුගිය අප්‍රේල් පහළොස්වෙනිදාය.  පිට පළාත්වල පදිංචිවී සිටින අපේ ගමේ අය සාමාන්‍යයෙන් අලුත් අවුරුද්දට ගමේ එන්නේ පහළොස් වෙනිදාටය.  ඊට හේතුව වී ඇත්තේ හිසතෙල් ගාන අවුරුද්ද බොහොමයක් අවුරුදුවල පහළොස් වෙනිදාට යෙදීමත් අපේ ගමේ අලුත් අවුරුදු උත්සවය හෙවත් බක්මහ උළෙලද එදාට යෙදී තිබීමත්ය.  එදාත් සුපුරුදු පරිදි සුද්දාත් මමත් බක්මහ උළෙලේ කාර්ය බහුලව සිටිද්දී වෙනුජ එතැනට ආවේය.  වෙනුජ සිය දරු පවුලත් සමග ගමේ ඇවිත් තිබුණේ මහ ගෙදර අවුරුදු කන්නට හා දෙමව්පිය වැඩිහිටියන්ට බුලත් දෙන්නටය.  ටිකක් වෙලා කතා කරමින් සිටි වෙනුජ දවල් කෑම වෙලාවේදී මුණ ගැහෙමුයි කියා පිටත්ව ගියේය.

අපේ බක්මහ උළෙලේ දවල් කෑම විවේකය සෑහෙන දිග එකකි.  දවල් කෑමට විසිර යන උන් ඥාති මිත්‍රාදීන් සමග එකතුවී සතුටු සාමීචියේ යෙදෙමින් බෝතල්ද හිස් කරමින් කතා කර කර ඉන්නවා මිසක කෑම ගෙන ආපහු පිට්ටනියට යන්නට හිතන්නේ වත් නැත.  බොහෝ අය එහෙමම නිදාගනිති.  ඉතින් සුද්දාත් මමත් කෑමට පිටත් වෙද්දී ක්‍රීඩා සමාජයේ කොල්ලන් කීවේ හවස නෑවිත් නොසිට අනිවාර්යයෙන්ම එන්නට කියාය.  අපි දෙන්නා අපේ ගෙදරට ඇවිත් ටික වේලාවකින් වෙනුජද අපේ ගෙදරට ආවේ වොඩ්කා බෝතලයක් ද අරගෙනය.  මගේ ලඟද වොඩ්කා බෝතලයක් තිබුණු අතර මට ඒ බෝතලය එවා තිබුණේ සඳා ය.  ඉස්සර අපිත් එක්ක වැඩකළ සඳා දැන් වැඩ කරන්නේ රුසියාවේය.  ඇය රුසියාවට ගිය යාළුවෙක් අත මට හොඳ සැර රුසියන් වොඩ්කා බෝතලයක් එවා තිබුණාය.

අපි තුන්දෙනා වොඩ්කා අඹ ජුස්ද සමගින් පානයට පටන් ගෙන ටික වේලාවක් යන විට මාදුවා ස්කූටියක නැගී අපේ ගෙදරට ඇවිත් බොන්නට විය.  ඌ ඒ වනවිටත් සිටියේ තරමක බීමතිනි.  දෙකක් දාගත් මාදුවා අපේ වහලයට පාත්වී තිබු රට අඹ ගහේ අතුවල තිබුණු ඉදුණු අඹ කඩා පිහියක් ගෙනැත් කපමින් අපට කන්නට දුන්නේය.  බැලුකොට තිබුණු වෙන බයිට් වලට වඩා අඹ බයිට් එක සුපිරිය.  අද ගෙදර යන්නේ නැද්දැයි  වෙනුජගෙන් මම ඇහුවේ සාමාන්‍යයෙන් වාහනය පදවන්නට තිබෙන විට වෙනුජ බොන්නේ නැති නිසාය.  අද හවස යන්නට ඕනෑය කියූ වෙනුජ ලොකු දුව වාහනය පදවන නිසා ප්‍රශ්නයක් නැතැයි කීවේය.  මේ වෙනවිට මාදුවාටත් වෙනුජටත් හොඳටම වැදිලාය.  බෝතල් දෙකත් ඉවර වෙලා තිබෙන වෙලේ අපි ලෑස්ති වුණේ දවල් කෑමට යන්නටය.  එදා අපට දවල් කෑම ලෑස්ති කර තිබුණේ අපේ නංගිලාගේ ගෙදරය.  මම හිතාගෙන හිටියේ වෙනුජත් සුද්දත් එක්ක එහෙන් කෑම කා ආයෙම අවුරුදු උත්සවයට යන්නටය.  මාදුවා එක පාරටම වෙනුජට කෑම දෙන්න ඕනෑය කියා උගේ ගෙදර යන්නට කතාකළේය.  වෙරි වැඩිකමට කෑමට කතාකළත් ගෙදර අමුත්තෙකුට දෙන්නට කෑම ලෑස්ති කරනවා තබා දවල්ට උයලාවත් තියෙනවා දැයි ඌ නොදනී.

තියෙන දෙයක් කා කට්ටියම විසිර යමු කියා මම කිව්වත් වෙරිමතින් වෙසමුනියා සේ සිටි මාදුවා දිගින් දිගටම කියන්නේ වෙනුජ උගේ ක්ලාස් මේට් නිසා කෑමට එක්කරගෙන යන්ට ඕනෑමය කියාය.  ඒ ගමන කට්ටියම පාරට බැසගත් විට වෙනුජ මාදුවාගේ ස්කූටිය ස්ටාට් කරගත්තේ ඒකෙ යමු කියලාය.  මාදුවාද පස්සෙන් ගොඩවිය.  දැන් ස්කූටිය ගැරඬියා යනවාසේ පාර පුරා යයි.  මෙහෙම ගියොත් දෙන්නාම නවතින්නේ පාර පල්ලමේ ඇති වෙලේ නිසා බොහොම අමාරුවෙන් දෙන්නා බස්සවාගෙන අපේ නංගිගේ පුතාට කතාකර උගේ කාර් එකට මේ දෙන්නා ඇද දැම්මේ ගිහිං බස්සවා එන්න කියලාය.  වෙනුජ ඇතුල් කර මාදුවා කාරෙක  ඇතුළට දානවිට අනික් පැත්තෙන් වෙනුජ දොර ඇරගෙන බැහැගනියි.  අමාරුවෙන් වෙනුජව ඇතුල් කරනවිට මාදුවා බැහැගනී.  හරියට පොල්කට්ටට ගෙම්බන් එකතු කරනවා වගේය.  ඒ අස්සේ මාදුවා මගේ අතින් අදින්නේ මටත් කෑමට යන්න එන්න කියලාය.  ටිකක් වෙලා මෙහෙම දඟලමින් ඉන්නවිට සුද්දා පරක්කු වෙනවාය කියා පිට්ටනියට ගියේ කෑම කන්නේවත් නැතුවය.  අන්තිමේ බොහොම අමාරුවෙන් දෙන්නාව කාරෙකට දමා පිටත් කර ඇරියෙමි.

කොල්ලා කාරකෙන් පනින්න හදන උන් දෙන්නාව බොහොම අමාරුවෙන් ගිහිං බස්සවා ආපසු ආවේය.  පහුවදා මාදුවා මට කිව්වේ වෙනුජව එක්කරගෙන ගියාට ඔහු ගෙට ගොඩවුණේ වත් නැතුව යාළුවෝ කට්ටියක් පාරේ ඉන්නව දැක ඒ අය එක්ක කතාකරමින් යන්න ගිය බවය.  උඹේ වැඩකට නැති දැඟලිල්ල නිසා වෙනුජට දවල්ට කන්නත් නැතිවුණා කියා මම මාදුවාට කීවෙමි.

ආයෙම කතාවට ආවොත් සුද්දාත් මමත් මාදුවාත් පළතුරු බෝතලය බොන ගමන් කතාකළේ උන් දෙන්නා දවස් දෙකකට ඉස්සර කරපු වැඩක් ගැනය.  සුද්දා ගෙදර තිබුණු කැඩිච්ච ත්‍රීවීල් එක හදන්නට ගැරේජ් කාරයෙකුට බාරදුන්නේ ඒ ගැරේජ් එක මාදුවාගේ මස්සිනා හොඳට දන්නා කරන තැනක් නිසාය.  ත්‍රීවීල් එක හදනවාට ගාස්තුව හැටියට සුද්දා ගෙදර පැත්තකට දමා තිබු අත් ට්‍රැක්ටරයක් ගැරේජ් කාරයාට දුන්නේ හදාගන්නට කියාය.  සති දෙකක් ඇතුළත ත්‍රීවීල් එක හදා දෙන්නම් යැයි කියූ ගැරේජ් කාරයා වාහන දෙක අරගෙන යන්නට ගියේය.  දැන් වාහනය බාරදී මාස හයකටත් වඩා ගතවී ඇති නිසා සුද්දාත් මාදුවාත් ගැරේජ් එකට ගියේ වෙලා තියෙන්නේ මොකක්දැයි බලන්නටය.  උන් දෙන්නා ගිහිං බලනවිට ගැරේජ් කාරයා අත් ට්‍රැක්ටරය හොඳට හදා වැඩට අරං තිබුණු අතර ත්‍රීවීල් එකේ රෙපෙයාර් එකක් හැටියට කර තිබුණේ හොඳ තත්ත්වයේ තිබුණු ටයර් තුන ගලවා වෙන ත්‍රීවීල් එකකට සවිකර තිබීම පමණකි.

ගැරේජ් කාරයා කර තිබු වැඩේට යකා නැග්ග සුද්දාත් මාදුවාත් ඌට හොඳටම බැනවැදී ගහන්නට යනවිට ගැරේජ් එකේ උන් එහෙට මෙහෙට මාරුවී ගිය බව මාදුවා කීවේය.  ඊට පසුව කතාවුණ ටික මේ විදියය.

මාදුවා: "මේ වැඩේ හරියන්නෙ නෑ, අපි ත්‍රීවීල් එක අරගෙන එමු."

සුද්දා: "කැඩිච්ච එක අරගෙන එන්නෙ කොහොමද?"

මාදුවා: "කැඩිච්ච එක නෙවෙයි හොඳ එකක් අරං එමු. අපේ එක දෙනකල් ඒක දෙන්නෙ නැතුව ඉම්මු."

මම: "ඉතින් ඕවා කරනකල් ගැරේජ් එකේ උන් නිකං බලා ඉඳීද?"

සුද්දා: නෑ නෑ උන්ගෙ ප්‍රශ්නයක් නෑ, අපි කට්ටිය ගේමට බැස්සහම උන් නිකංම සරෙන්ඩර්."

මාදුවා: " අපි අත් ට්‍රැක්ටරෙත් අරගෙන එමු."

සුද්දා: "ඔව් ඒකත් ගේමු, ඔන්න ඔයත් එන්න ඕනෑ මම හෙට අපේ මස්සිනාගෙ වාහනේ අරං එන්නම්"

පහුවදා ගැරේජ් එකේ උන්ගෙන් යකඩ පොලු පාරවල් කන්නට ලැබෙන එක ෂුවර් වුණත් සුද්දාගේත් මාදුවාගේත් දෑත් ශක්තිමත් කිරීම යුතුකමක් නිසා හෙට උදේ නවයට මම ලෑස්ති වී ඉන්නම් ය කියා උන් දෙන්නාට පොරොන්දු වුණෙමි.  සුද්දා තවත් එකක් කට කපා දාගත්තේය.  දැන් හෙට උදේ ඔපරේෂන් ත්‍රීවීල් ක්‍රියාත්මක කරන්නට සියල්ල සුදානම්ය.  ටිකකින් සුද්දා කෝල් එකක් ගන්නවා දැක්කෙමි. 

" මේ ඔය ගැරේජ් එකේ මල්ලි නේද?"

" ......"

" මේ මම අර ත්‍රීවීල් එක හදන්න දුන්නෙ, අපි ඊයෙ ඇවිත් ගියෙ."

"..................................................................................."

" තව පොඩ්ඩයි කිව්වට මොකුත් හදල තිබ්බෙ නෑනෙ."

"................................................................................"

"ඕවා කියල හරියන්නෙ නෑ මට ත්‍රීවීල් එක ඕනෑ.  ඔයා ටයර් තුනත් ගලෝල වෙන එකකට දාල."

"......................................................................................................................................................"

"ඔයාගෙ බයිලා මට වැඩක් නෑ, ඔන්න අපි හත් අට දෙනෙක් හෙට උදේ එනවා.  ඔයා අපට ත්‍රීවීල් එක දුන්නෙ නැත්නම් අපි ඉතුරු ටික බලාගන්නම්."

"........................................................................................................................."

"නෑ නෑ ඕව මම මෙච්චර කල් අහගෙන හිටිය, මට තවත් කල් දෙන්න බෑ.  අපි ආවොත් එහෙම ටිකක් වැඩේ දුරදිග යයි හරිද?  ඔයාගෙ වාහන ටිකත් උස්සගෙන යන්නත් එක්කයි අපි එන්නෙ.  මට කරන්න දෙයක් නෑ බලාගෙන ඉඳල ඉඳල තමයි මෙහෙම කරන්නෙ."

"......................................................................................................................"

" ඔව් ඔව් තරහ වෙන්න එපා, ඔයා වෙලාවට වැඩේ කළා නං ඔහොම වෙන්නෙ නෑ."

කතාව අවසන් කළ සුද්දා ජයග්‍රාහී ලීලාවෙන් වටපිට බැලීය.  මාදුවා බඩ බදාගෙන සිනාසෙයි.  

"එහෙනම් ඔක්කොම හරි, හෙට උදේ යමු" යි සුද්දා කීවේය.

"හා හා උදේ ගිහිං? " මාදුවා ඇසුවේය.

" ගිහිං වාහනේ අරං එමු"

" අරං එයි වාහනේ, හෙට උදේ අරූගෙ නැට්ටවත් අල්ලන්න හම්බෙන්නෙ නෑ."

"මොකද එහෙම කියන්නෙ?" කෝපාවිෂ්ට වූ සුද්දා ඇසුවේය.

" එහෙම කියන්නෙ? ඇයි යකෝ ඔක්කොම විස්තර ටික ඌට කිව්වම ඌ ගැරේජ් එක පැත්ත පලාතක ඉඳීවියැ"

"ඉතිං උඹ මට කියන්න එපායැ"

"කියන්නෙ මොනවද, එකපාරටම ඔක්කොම කියල දැම්මහම?"

ප්‍රහාරයට එන භට සංඛ්‍යාව, ආයුධ ප්‍රමාණය හා ප්‍රහාරය සිදුකරන්නට නියමිත වෙලාව කළින්ම සතුරාට දැනුම් දී ප්‍රහාරයට යෑම සුද්දාගේ අලුත්ම යුද උපක්‍රමයකැයි මම සිතුවද මොකක් හෝ වැරදී ඇතැයි සිතුණේ මාදුවා දිගින් දිගටම සුද්දාට බැන වදිද්දීය.  පහුවදාට නියමිත ප්‍රහාරය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කළ අතර මාදුවා සුද්දාට බලු බැණුම් බනිමින් ගෙදර ගියේය.  සුද්දාට අත්වන්නට තිබු තවත් සුවිශේෂී ජයග්‍රහණයක් නූලෙන් මගහැරී ගියේ ඒ විදියටය෴

Tuesday, September 18, 2018

ත්‍රිකෝණය - 2



අද ලියන්නට සුදානම් වෙන්නේද කලින් ලියු කතාවක ඉතිරි කොටසයි.  මේ කතාව මා ලියා තිබුණේ මීට අවුරුදු තුනකට පමණ පෙර වුවත් ඉතිරි කොටස ලිවීම දිනෙන් දින අතපසු විය.  අවුරුදු තුනකට පසු හෝ මේ කතාවේ තවත් කොටසක් ලියාගැනීමට හැකිවීම සතුටකි.


ඇස් දෙකත් ලොකු කරගෙන ගල් බීතවී බලා සිටි ජයතිස්ස ඉස්කෝලෙ මහත්තයා දුටු රංජිත්ට සිනාගියත් ඉස්කෝලෙ මහත්තයාගේ විස්මය පහවුණේ නැත.  පොලීසියේ යමපල්ලන් ඇවිත් මල්ලිලා දෙන්නා පැහැරගෙන ගිය දවසේත් රංජිත් ගෙදර නොසිටියේ ඔහු ඒ කාලයේ මීගමුව පැත්තේ ඉස්කෝලෙක උගන්වමින් ගුරු නිවාසයක නැවතී සිටි නිසාය.  වෙච්ච සිද්දිය සහමුලින්ම දැනගන්නට ලැබුණේ ගෙදර අයගෙන් සහ යාළුවෙක් වුන සුමින්ද ගෙනි.

මල්ලිලා දෙන්නා රාජ්‍ය විරෝධී සංවිධානයකට සම්බන්ධවී වැඩකරන බව රංජිත්ට කණින් කොනින් ආරංචි වී තිබුණත් පැහැරගෙන යන්නට තරම් දේවල් ඒ දෙන්නා අතින් සිදුවී නොමැති බව රංජිත් සිතා සිටියේය.  එහෙත් සංවිධානයේ කාගේ අතින් හෝ නම කියැවුණු පමණින් වුවත් තරුණයින් පැහැර ගෙන යන්නට පොලීසිය සැදී පැහැදී සිටි බව රංජිත් නොදැන සිටි කරුණක් විය.

පොලීසිය රංජිත්ලාගේ ගේ වටකළේ රෑ දොළහත් පහුවී ගෙදර සියල්ලන්ම නින්දේ සිටිද්දීය.  වයස විස්සක තරුණයෙක් වූ ලොකු මල්ලීත් අවුරුදු දාසයක යව්වනයෙක් වූ පොඩි මල්ලීත් ඒ වෙලාවේ නිදි සුව විඳිමින් සිටියහ.  පොලීසිය ගේ වටකර දොරට ගහද්දි කලබලයෙන් පිබිදුණු මේ දෙදෙනා වෙලා තිබු දේ මොහොතකින් වටහාගෙන සිවිලිම උඩට නැග සැඟවී ගත්හ.  පොලීසිය දොර ඇරවාගෙන බොහෝ වේලාවක් ගේ සෝදිසි කර යන්නට හැරෙද්දී උඩ සැඟවී සිටි එකෙකුගේ කරුමෙටම සිදුවූ චලනයකින් සිවිලිම සද්ද විය.  සද්දය වටහාගෙන මාරාවේෂ වූ පොලිස් ලොක්කා සිය භටයන් මෙහෙයවා උඩ සැඟවී සිටි දෙදෙනා බෙල්ලෙන් අල්ලාගෙන පහළට බස්සවා ගත්තේය.  එදා දෑත් බැඳ ගෙනගිය අයිය මලෝ දෙදෙනාගේ හාංකවිසියක් ඉන්පසු දැනගන්නට නොවීය.

රංජිත්ගේ මල්ලිලා අල්ලාගෙන යනවා බලාසිටි තවත් එකෙක් ගමේ සිටියේය.  ඒ සුමින්ද නම් රංජිත්ගේ මිතුරෙකි.  ඔහුගෙන් රංජිත්ට දැනගන්නට ලැබුණු විස්තරය මෙහෙමය.

රාජ්‍ය විරෝධී වැඩ කළත් නැතත් රෑ පානේ පාරේ ඉන්නා කොල්ලෙක් දැක්කොත් අරගෙන ගිහින් අතුරුදහන් කරන සමයක් වූ ඒ කාලයේ සුමින්ද ජීවත්වුණේ කොයි වෙලාවේ තමන්ව අල්ලාගෙන යයිද කියා පණ බයෙන්ය.  රෑ නිදාගන්නට ගියත් නින්ද නොඑන්නේ බයටමය.  ඒ වෙලාවට සුමින්ද ගේ ඉස්සරහ තියෙන පාලු වත්තට ගිහින් සැඟව ගනී.  ටිකක් වෙලා වත්තේ හිටියත් එතනදීත් කවුරුවත් දකීදෝ සැකයෙන් ආපහු ගෙදර කාමරයට එයි.  නිල නොලත් භීෂකයින් සහ නිල ලත් භීෂකයින් සැඟවී සක්මන් කරන රාත්‍රිය අතිශයින් බිහිසුණුය.  ආණ්ඩුවේ පාර්ශවයේ නිල ලත් භීෂකයින් එන වාහන වල එන්ජින් සද්දෙ ඈතට ඇහෙනවාට සුපිරියටම ටියුන් කර තිබේ.  කොහොමත් ඔවුන් ගොදුරු සොයා යන්නේ වාහන ඈත නවත්වලාය.  රංජිත්ගේ මල්ලිලා ගෙනගිය දා රාත්‍රියේද ඔවුන් වාහනය නවත්වා තිබුණේ සුමින්ද ලාගේ ගෙට උඩින් කන්දේය.  රාත්‍රියේ බල්ලන් බුරා හැලෙද්දී වාහනයෙන් බැස පයින්ම රංජිත්ලාගේ ගෙදරට ගිය ඔවුන් මල්ලිලා දෙන්නා දෑත් බැඳ රැගෙන එද්දී ද සුමින්ද සිටියේ ගේ ඉස්සරහ පාළු වත්තේ මහ කොස් ගහේ අත්තක් උඩ හැංගිලාය.

කොල්ලන් දෙදෙනා ඉස්සර කරගෙන ඔවුන් වාහනය තියෙන තැනට එක පෝලිමට එන හැටි සුමින්ද දැක්කේ හඳ එළියෙනි.  රංජිත්ගේ ලොකු මල්ලී කතා කරනවාත් සුමින්ද අසාගෙනය.  ඔහුගේ කටහඬ භීතිය නිසාම උස් ස්වරයක් ගෙන තිබු බව සුමින්දට මතකය.  ඔහු කතා කරනවා අවසන් වරට අසා සිටියේත් ඔවුන් අවසන් වරට දුටුවේත් සුමින්දය.

ජයතිස්ස ඉස්කෝලේ මහත්තයා රංජිත්ගේ කතාව හුම් සද්දයක් නැතිව අහගෙන හිටියේ ඇස් දෙකත් උඩ ඉන්දවාගෙනය.  ඉස්කෝලෙ මහත්තයා ගෙදර ගිහින් පියවතී හාමිනේට කතාව කියද්දී දිලිනිත් කතාව අසා සිටියේ දොර ළඟ ඉඳගෙනය.  කවදාවත් නොදුටු කොල්ලන් දෙන්නෙක් ගැන ඇතිවූ සියුම් ශෝකයකින් ඇගේ සිත පිරී ගියේය.

" ඕවා ඉතිං තම තමන් ගෙනාපු ආවුස හැටියට නොවැ සිද්දවෙන්නෙ හාමිනේ!"  ඉස්කෝලෙ මහත්තයා කීවේ කතාව කෙළවර කරමිනි.

" එතකොට දැන් රංජිත් මහත්තය විතරයි ගෙදරට ඉන්න කොල්ලා?" පියවතී හාමිනේ ඇසුවේ ඉස්කෝලෙ මහත්තයාගෙනි.

" එහෙමලු! අක්කයි නංගියි දෙන්නත් දීලලුනේ!"

ඉස්කෝලෙ මහත්තයාට තවත් කිට්ටු වුනු පියවතී හාමිනේ කතා කළේ කටහඬ පහත් කරමිනි.

" එහෙනම් මහත්තයො වෙලාවක රංජිත් මහත්තයගෙන් අහල බැලුවොත් නරකද?"

" බලමුකො, මේ දවස්වල මිනිහ අල්ලගන්න නං එක්කො කුඹුරට එක්කො හේනට යන්න වෙනවා."

ගල්ගමුවේ සිට කිලෝමීටර් විස්සක් පමණ දුරින් පිහිටි පාසැලේ උගන්වමින්ද නිවාඩු වෙලාවට කුඹුරු, හේන් ගොවිතැන් කරමින්ද රංජිත් ගතකළේ සැහැල්ලු දිවියකි.  පවුල් බරක් හෝ වගකීම්ද නොතිබුණු රංජිත්ට මිළ මුදලින්ද අඩුපාඩුවක් නොවීය.  පාසැලට පහළින් තිබු ගුරු නිවාස කාමරයක පදිංචි වී සිටි රංජිත් ට පාළුව මකන්නට උපකාරී වුණේ ගල්ගමුවේ සිට එන බසයෙන් ගෙන්වා ගන්නා අරක්කු බෝතලයයි.  සමහර දිනෙක රංජිත්ට බෝතලය හිස් කරන්නට උදව් කරන්නට හවස් අතේ කාමරයට එන්නේ තැපැල් මහත්තයාය.  සතියේ දිනවල කන්තෝරුවේ වැඩකරන තැපැල් මහත්තයා සති අන්තයේ අඹු දරුවන් බලන්නට ගමේ යයි.

රංජිත්ට දෙවේලේ බත සැපයෙන්නේ ළඟ පාත තිබු ගෙයක් වූ විල්සන් ලාගේ ගෙදරිනි.  රෑ බත පිඟානකට බෙදා මැටිකෝප්පයකින් වසාගෙන රංජිත්ගේ නවාතැනට රැගෙන එනු ලබන්නේ විල්සන්ගේ බිරිඳ බිසෝමැණිකා විසිනි.  ඇයට කවුරුත් ඇමතුවේ බිසෝ යනුවෙනි. රංජිත්ගේ රෑ කෑම වේලද රැගෙන මඳ අඳුරේ ඇය එනවිට කාමරය ඉදිරිපිට ඇති රුක්අත්තන ගහ යට බංකුවේ රංජිත් හිඳගෙන සිටින්නේ මීවිතකින් පදම්වී ගීතයක් මුමුණමිනි.  පිරිපුන් අඟ පසඟින් හෙබි රුවැත්තියක් වූ බිසෝ ඇතුළට ගොස් කෑම පිඟාන කාමරයේ තබා දහවල් හිස්වූ භාජන ද රැගෙන නිතඹ නළවමින් යනු දකින රංජිත්ගේ සිතේ ඇතිවන්නේ කෑදරකමකි.

ජයතිස්ස ඉස්කෝලෙ මහත්තයාගේ ලොකු දුව වන දිලිනිව රංජිත්ට යෝජනා කළේ ඉස්කෝලෙ මහත්තයාමය.  මෙය රංජිත් බලාපොරොත්තු වුවක් නොවූ නිසා ඔහුගේ සිතේ ඒ ගැන ඇතිවුයේ විස්මයකි.  මොනවා කරන්නදැයි සිතා ගන්නට නොහැකිව සිටි රංජිත්ගෙන් ඉස්කෝලෙ මහත්තයාම දිනක් ඒ ගැන විමසුවේය.

" අපේ යෝජනාව ගැන මහත්තයගෙ අදහස මොකක්ද?" ජයතිස්ස ඉස්කෝලෙ මහත්තයා අසයි.

සිහින් සිරුරක් ඇති රූමත් දඟකාර කෙල්ලක වූ දිලිනිට අකමැති වෙන්නට හේතුවක් රංජිත්ට නැත.  හොඳින් අධ්‍යාපනය හදාරා ඇති දිලිනි පාසැලේ වොලිබෝල් කණ්ඩායමේ නායිකාවයි.  දීප්තිමත් දෑසක් ඇති ඇගේ සිරුරෙන් තරුණකම නට නටා ඉස්මතුවේ.  ලාබාල කම හැරෙන්නට පවුලක් වෙන්නට වෙනත් කිසිම නුසුදුසු කමක් දිලිනිගෙන් රංජිත්ට නොපෙනේ.

" මගෙ නම් අකමැත්තක් නෑ මහත්තයා, ඒත් ඉතින් මේ වගේ දේවල් අපේ ගෙවල් වලිනුත් දැනුවත්ව කෙරෙන්න ඕනෑ නේද? "

" බොහොම හොඳයි, බොහෝම හොඳයි, වෙන්නත් ඕනෑ එහෙම්ම තමයි.  මහත්තයගෙ කතාවට මම බොහොම මනාපයි. එහෙම නම් ගෙදරටත් කියල ඒ ගොල්ලන්ගෙත් කැමැත්ත ඇතුව දිනයක් යොදාගෙන අපේ ගෙදර ඇවිල්ල යන්නකො."

" ඊළඟ සතියෙ ඉස්කෝලෙ නිවාඩු දීල වෙලේ ගොයම් කැපුවට පස්සෙ මම ගෙදර යනවා.  ගිහින් අම්මලටත් කියල මහත්තයට දිනයක් කියල එවන්නම්.  එහෙම හොඳයි නේද?"

" එහෙම හොඳයි, අපි කට්ටියත් නිවාඩුවට ගෙදර යනවා.  එහෙනම් මහත්තයලට කුලියපිටියෙ අපේ මහගෙදර එන්න පුළුවනි."

" ඔව් එහෙම එන්න තියෙනව නම් අපටත් ලේසියි."

ඊළඟ සිකුරාදායින් එළඹුණු වසර මැද පාසැල් නිවාඩුවට ජයතිස්ස ඉස්කෝලෙ මහත්තයා සිය පවුලත් සමග ගමේ යන්නට පිටත්විය.  රංජිත් සිය කුඹුරේ ගොයම් කපන්නට යොදාගෙන තිබුණේ සෙනසුරාදාය.  සරුවට සැදී පැසී තිබුණු කුඹුරේ අස්වැන්න රංජිත් බලාපොරොත්තු වුනාටත් වැඩියෙන් තිබිණි.  ගමේ යද්දී කොටාගෙන යන්නට වී ගෝනි දෙකක් ඉතුරුකරගෙන ඉතිරි වී තොගය විකුණා දැමු රංජිත් හවස් අතේ කාමරයට ආවේ සැහැල්ලු සිතිනි.  හිතේ බුබුළු දමමින් නටන සතුට බෙදාගන්නට කවුරුවත් නැති එක ගැන රංජිත්ට දුකසිතුනේ බෝතලයෙන් වීදුරු දෙකක් හිස්වුන පසුවය.  "හෙටම ගෙදර යනවා" යි රංජිත් සිතුවේය.

" මහත්තය තනියම කරුවලට වෙලා බර කල්පනාවක වගේ!"

හිතුවෙවත් නැති වෙලාවක පිටුපසින් ඇසුණු හඬින් රංජිත් කල්පනා ලොවින් මිදුණි.  ඒ බිසෝ රෑ කෑම පිඟාන රැගෙන එන වෙලාවයි.  ඇය කඩිනම් ගමනින් තමන්ට පිටුපා ගෙට ඇතුල්වනු ඔහු බලාසිටියේ බමන දෑසිනි.  සවස දිය නාද්දී ගාන ලද සබන් වර්ගයක සුවඳ ඇය පසුපසින්ම ඇදෙනු ඔහුට දැනිණි.  රංජිත් බංකුවෙන් නැගිට්ටේත් ගෙට ඇතුල්වුනේත් නිරායාසයෙන් මෙනි.  කෑම පිඟාන කාමරයේ මේසය උඩ තැබූ බිසෝ සිහිනිඟ නළවමින්  කාමරයෙන් එළියට එයි.  එක්වරම තමන් ඉදිරියේ පෙනීසිටි රංජිත් දුටු ඇය මොහොතකට තිගැස්සුනත් ඉදිරියට එන බිසෝගේ අතකින් අල්ලා ලඟට ගත් රංජිත් ඇයව තරයේ වැළඳ ගත්තේ කිසිදු කතාබහකින් තොරවය.

" අප්පේ, මේ මොකද මහත්තය, අත අරින්න අනේ, කවුරුවත් ආවොත් එහෙම?"  කලබලයෙන් කතාකරන බිසෝ ගේ  විසල් නෙත් යුගලේ රැඳී ඇත්තේ විස්මයකි.

" කවුරු එන්නද බිසෝ,  මෙච්චර වෙලා මම තනියම හිටියෙ, මාව බලන්න කවුරුවත් ආවෙ නෑ, ඔයාවත් ආපු එක කොච්චර දෙයක්ද?" දෑස් පියාගත් රංජිත් කියන්නේ අසිහියෙන් මෙන් කියවයි.

" ඉතින් මම ආවනෙ මහත්තය බලන්න, කෝ මට දැන් යන්න දෙන්නකො, කරුවලත් වැටිලනේ." 

ඇය එහෙම කිව්වත් රංජිත්ගේ ග්‍රහණය ඇයට කරදරයක් නොවන බව ඇගේ මුහුණේ ඇඳී ඇති මඳ සිනහවෙන් පෙනේ.  රංජිත් එක්වරම වැලඳ ගනිද්දී ඇය මඳක් තිගැස්සුනත් ක්ෂණයකින් යථා තත්ත්වයට පත්වූවාය.  තවමත් ඇයව තරයේ වැළඳගෙන සිටින රංජිත් බිසෝගේ මුහුණත් ගෙලත් තොරතෝංචියක් නැතිව සිපගන්නේ වියරුවෙන් මෙනි.

සිය සිරුර තරයේ බැඳගෙන සිටි රංජිත්ගේ දෑත් සීරුවෙන් ඉවත්කළ බිසෝ ඔහුගෙන් මෑත් වී යන්නට සැරසුනේ " තියෙන විසේ නං ලේසි පාසු එකක් නෙවෙයි" කියමින් ඔහුගේ පිටට සෙමෙන් පහරක් ද ගසමිනි.  නැගිට ගන්නට වාරු නැතුවාක් මෙන් රංජිත් පුටුවේ දිගාවී සිටිද්දී එළියට බැසගත් ඇය අඳුරට මුසුවී නොපෙනී ගියාය.

රංජිත්ගේ අනපේක්ෂිත ආලිංගනයෙන් සිය ගත පිබිදී ඇති බව බිසෝට දැනුණි.  ආයෙමත් ඔහුගේ තුරුලට යන්නට තරම් ඇගේ සිතුවිලි උණුසුම් වී තිබිණි.  දවස පුරා මහන්සි වී සිටි රංජිත් ඒ වනවිටද පුටුවේ තද නින්දකට වැටී සිටි අතර අවදි වුණේ පසුදා උදයේය.

පසුවදා රෑට කෑම ගෙන ආ බිසෝගේ අතකින් අල්ලාගත් රංජිත් ඇයව යහනට රැගෙන ගියේ වැඩි පෙරැත්තයකින් තොරවය.  රංජිත්ගේ පහසින් ප්‍රබෝධමත් වූ ඇය ඔහු හැරදා යන්නට මැලිව මෙන් බොහෝ වෙලා රංජිත්ව තදින් වැළඳගෙන සිටියාය.  කලකට පසු සුකුමාල කාන්තා පහසක් ලද තෘප්තියෙන් රංජිත් දෑස් පියාගෙන බිසෝගේ සුරතල් ඉවසා සිටියේය.

" මේවා කොහෙන් කොහෙන් කෙරවල් වෙයිද අනේ මන්දා?"  ඇය කියන්නේ ලිහී ඇති වරලස උඩට කර බැඳ ගනිමිනි.

" ඇයි බිසෝට බයද?  රංජිත් අසන්නේ ඇඳේ හාන්සිවී සිටිමිනි.

" ඒකත් එකක් තමා! "  ඇඳුම් හැඳගත් බිසෝ යන්නට සුදානම් වෙයි.

" ගෙදර මනුස්සය ඉද්දී බිසෝ බයවෙන්නෙ ඇයි?"

"පිස්සුද මහත්තය,  ඒ මනුස්සය මාස ගාණකින්  මගෙ ඇඟට අතක් තියල නෑ."

" ඒ මොකද?"

" වැඩක් නෑලු, මට ළමයි නෑ කියන්නෙ!"

" එහෙම වෙන්නත් පුළුවනි, ඒකෙ අනික් පැත්ත වෙන්නත් පුළුවනි, බිසෝ දන්නවද?"

" කාට කියන්නද මහත්තය ඔව්වා!"  ඇය කෙළිලොල් අන්දමට සිනාසෙමින් පිටව ගියාය.

බිසෝගේ මුදු මොළොක් පහස රංජිත්ට අවාරයේ පලගත් මී අඹයක් මෙන් රසවත් විය. ඇගේ සුමුදු නග්න සිරුරට ආසක්ත වී සිටි රංජිත් නිවාඩුවට ගෙදර ගියේ ඊටත් පහුවදාය෴

( මේ කොටස දිග වැඩිවන නිසා මෙතෙකින් නවත්වමි.  කතාව අවසන් කරන්නට තව කොටස් දෙකක් හෝ තුනක් ලිවිය යුතු බව සිතමි.) 

Sunday, September 9, 2018

දෙසතිය මතක - රාජ්‍ය සාහිත්‍ය උත්සවය, හංවැල්ලේ ගමන, ප්‍රේමාගේ රාත්‍රී භෝජන සංග්‍රහය සහ හරක් මස් වර්ජනය, ඌරු මස් කෑම.



 රාජ්‍ය සාහිත්‍ය උත්සවය, මාස්ටර් සහ සංඝානන්ද.

අද ලියන්නට යන කතාව මීට කලින් මා ලියන්නට පටන් ගත් කතාවක ඉතිරි කොටසයි.  විශේෂය වන්නේ මම මේ මුලින් ලින්කුව දී ඇති කතාව ලියා තිබෙන්නේ මීට අවුරුදු හතරකටත් පෙර එනම් 2014 මාර්තු මාසයේ වීමයි.  ඉතින් කතාවේ ඉතිරි කොටස ලියන්නට මේ සාහිත්‍ය මාසය තරම් සුදුසු වෙන කාලයක් නැති බව සිතුනු නිසා අවුරුදු හතරකට පසුව වුවද ඉතිරි හරිය ලියන්නට කල්පනා කළෙමි.

හංවැල්ලේ රාජසිංහ මහා විද්‍යාලයේ එම වසරේ රාජ්‍ය සාහිත්‍ය උත්සවය පැවැත්වීමට නියමිතව තිබුණි.  දැන් අප යමින් සිටින්නේ දෙසතිය ප්‍රදර්ශන කුටියට වෙන්කරදී ඇති ඉඩ ප්‍රමාණය භාරගැනීමටය.  රාජලාගේ ගෙදරින් උදේට කෑම ගැනීමෙන් පසුව රාජසිංහ මහා විද්‍යාලයට ගිය අපට නියමිත රාජකාරිය ඉවර කරගැනීමට විනාඩි පහළොවක් වත් ගත නොවීය.  විද්‍යාලයට පැමිණ සිටි සංස්කෘතික දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විද්‍යාලයේ ගොඩනැගිල්ලක උඩුමහලේ කාමරයක් පෙන්වා එහි යතුර මට භාරදුන්නේ අපේ දෙසතිය ප්‍රදර්ශන කුටිය එම පන්ති කාමරයේ පිහිටුවා ගන්නට කියාය.  සාහිත්‍ය උත්සවය ගැන කියනවිට එදා තිබු රාජ්‍ය සාහිත්‍ය උත්සව සහ අද පැවැත්වෙන රාජ්‍ය සාහිත්‍ය උත්සව ගැන පොඩියට වුණත් යමක් කිව යුතුමය.

රාජ්‍ය සාහිත්‍ය උත්සවයේ සංවිධානය සංස්කෘතික දෙපාර්තමේන්තුවේ වගකීමකි.  ඒ කාලයේ දෙපාර්තමේන්තු බලධාරීන් රාජ්‍ය සාහිත්‍ය උත්සවය  දෙපාර්තමේන්තුව මගින් පවත්වන  වසරේ ලොකුම උත්සවය ලෙස සලකා ඒ උත්සවය මහ ඉහළින් පවත්වන්නට හැකි සෑම උත්සාහයක්ම දැරූ බව සඳහන් කළ යුතුය.  කොළඹින් පිට සමහර විට බොහෝ ඈත පලාතක විද්‍යාලයක් ලබාගෙන දිවයිනේ සිටින සියළුම පොත් ප්‍රකාශකයින්ට ආරාධනා කර පමණක් නොව රජයේ දෙපාර්තමේන්තු සංස්ථා ආදියේ සහභාගිත්වයත් ලබාගෙන ඉතා උත්කර්ෂවත් අන්දමින් සංස්කෘතික දෙපාර්තමේන්තුව විසින් රාජ්‍ය සාහිත්‍ය උත්සවය සංවිධානය කරන ලදී.  බී.එම්.අයි. සී. එච් එකේ පැවැත්වෙන පොත් ප්‍රදර්ශනය අරඹා නොතිබූ ඒ කාලයේ පොත් ප්‍රදර්ශනය කෙරුණේද සාහිත්‍ය උත්සවය පැවැත්වෙන තැනදීමය.  සාහිත්‍ය උත්සවය සතියක කාලයක් අදාළ විදුහලේදී පවත්වනු ලැබූ අතර සංස්කෘතික ඇමතිවරයා විසින් පළවෙනි දිනයේ විවෘත කිරීමෙන් පසු සෑම දිනෙකම ප්‍රධාන  ආරාධිතයා ලෙස ඇමතිවරයෙක් පැමිණි අතර අවසාන දිනයේ ඒ වසරේ තෝරාගනු ලැබූ හොඳම පොත්වලට අදාළ සම්මාන පිරිනමනු ලැබුයේ ජනාධිපතිවරයා විසිනි.

සාහිත්‍ය උත්සවයේ ආරම්භක දිනයේ සිට අවසන් වනදා දක්වා හැම දිනකම උදේ කාලයේ සිට සවස් වනතුරු  සාහිත්‍ය සාකච්ඡා, සම්මන්ත්‍රණ, දේශන, කවිමඩු ආදී සාහිත රස වෑහෙන වැඩසටහන් ද රාත්‍රියේ දේශීය සංගීතාංග ද, නැටුම් ගැයුම් ද, බලි තොවිල් ආදී ශාන්තිකර්ම ද වශයෙන් බලන්නට අහන්නට බොහෝ විශේෂාංග  විය.  කොටින්ම රාජ්‍ය සාහිත්‍ය උත්සවය පැවති කාලය අදාළ පෙදෙසේ ජනතාව සාහිත්‍ය රසයෙන් මුසපත් කරන කාලයක් වූ අතර මුළු සතිය පුරාම ප්‍රදේශවාසී ජනතාව සාහිත්‍ය උත්සව භූමියට පොදි කමින් පැමිණියහ.  උදේ කාලයේ විශේෂයෙන්ම පාසැල් සිසු සිසුවියන් වැඩිපුර පැමිණි අතර රාත්‍රියේ ගැහැණු පිරිමි බාල මහලු ළමා ළපටි ආදී සියලුම දෙනා එකසේ පැමිණියේ සාහිත්‍ය උත්සව බිමේ අසිරිය විඳිමින් ගීයක් අසා නැටුමක් බලා සිත සැහැල්ලු කර ගන්නටය.  ජනාධිපති ප්‍රේමදාස මහතාද සද්ද බද්ද ඇතිව අලංකාරයට මහ ඉහලින් පැවැත්වෙන උත්සව වලට සහභාගීවීමට බොහෝ ප්‍රිය කළ නිසා උත්සවය සුළු හෝ අඩුපාඩුවක් නොමැතිව පවත්වන්නට සංස්කෘතික දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැපවී වැඩකළ බව කිව යුතුය.

එහෙත් අද නම් ඒ කාලයේ මෙන් රටවටා සාහිත්‍ය උත්සව ගෙනගොස් පවත්වන්නට කටයුතු නොකරන අතර පොත් ප්‍රදර්ශනය අවසානයේ බී.එම්.අයි.සී.එච් එකටම රාජ්‍ය නායකයා ගෙන්වා නැටුමක් ගැයුමක් පෙන්වා සම්මාන ප්‍රදානය සිදුකරයි.   අවුරුදු විසි ගණනකට පසු අපේ රාජ්‍ය සාහිත්‍ය උත්සවය වැටුණු තැන එහෙමය.

නැවතත් අපේ කතාවට ආවොත් රාජසිංහ මහා විද්‍යාලයේ කරන්නට යෙදුණු රාජකාරිය කළින්ම ඉවරවීම නිසා අපි එතැනින් එළියට බැස්සේ උදේ එකොළහ වෙන්නටත් පෙරදීය.  ඊළඟට යොදාගෙන තිබුණු කටයුත්ත වුණේ රම්‍යාගේ ගෙදර ගිහින් දවල්ට කෑම ගැනීමයි.  නමුත් එහේ යන්නට කල් වැඩි බව අපි සියලු දෙනාගේම මතය විය.  තවම රම්‍යලාගේ අම්මා දවල්ට උයන්නට හාල් ගරනවා ඇති යැ'යි අපි කතාකළේ සිනහසෙමිනි. කාලය ගත කරන්නට තිබුණේ එකම දෙයකි.  වයින් ස්ටෝර්ස් එකකින් බෝතලයක් ගෙන මගදී දුටු අලංකාර රබර් වත්තක් අයිනේ ගලක් උඩ හිඳගෙන බෝතලය ටික ටික හිස් කළේ කාලය ගතවෙන තුරුය.  එක එක්කෙනා තම තමන්ට රිසි පමණින් පානය කළ බෝතලය හිස්වෙන්නට වැඩි වේලාවක් ගියේ නැත.  ඊට පසු තවත් බෝතලයකි.  දැන් සංවාද, සාකච්ඡා මණ්ඩප ජයටම පැවැත්වෙයි.  වැඩේ ඉවර වනවිට එකත් පහුවුණු නිසා ඉක්මන් කර රම්‍යා ගේ ගෙදරට යන්නට පිටත් වුණෙමු.

රම්‍යලාගේ ගේ තිබුණේත් රබර් වත්තකය.  පාරෙන් වම් පැත්තේ කන්දක් නැගගෙන ගෙදරට ගිය අපි එනතුරු  රම්‍යා ගෙදර අයත් එක්ක මග බලා සිටියේ සරුසාරයට දවල් කෑමත් පිළියෙළ කරගෙනය.  කෑමෙන් පසු ආපහු එන්නට පාරට බැස්සත් මග දිගට බාර් ගානේ නවත්වමින් රස්තියාදු වෙවී කොළඹට එනවිට රෑ නවයත් පහුවෙලාය.  හේරත් ව කළුතර බස් එකකට ගොඩකරවා මමත් කුමාරත් පීරිසුත් කොටුව ස්ටේෂමට ගියේ නවයහමාරේ කෝච්චිය අල්ලා ගන්නටය.  කෝච්චියට ගොඩවුණු සැණින් කුමාරත් පීරිසුත් ගොරවමින් නිදන්නට වුහ.  දැන් මටත් නින්ද ගියොත් එහෙම තුන්දෙනාම නවතින්නේ පොල්ගහවෙල කියන එක හොඳටම ෂුවර් ය.  බොහෝම අමාරුවෙන් ඇස් ඇරගෙන සිට කුමාරව ගනේමුල්ලෙනුත් පීරිස් බෙම්මුල්ලෙනුත් බස්සවා මම ගෙදර එනවිට රෑ දොළහටත් කිට්ටුවෙලාය.

සාහිත්‍ය උත්සවය පටන් ගන්නට පෙර අපට කරන්නට තිබු වැඩක් වුණේ දෙසතිය කුටිය ලස්සනට හදා ගන්නා කාරියයි.  චිත්‍රපට අංශයේ බාස් ලා දෙන්නෙක් ලී වැඩවලට සහ අලංකාර කටයුතුවලට සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ සහකාර කතිකාචාර්ය කෙනෙක්ගේ උදව්වෙන් සාහිත්‍ය උත්සවය පටන්ගන්නට දින කීපයකට පෙර කුටිය ලස්සනට සාදා නිමකර ගත හැකිවිය.  සාහිත්‍ය උත්සවයට සහභාගී වෙන්නට අපි හංවැල්ල බලා පිටත්වුණේ උත්සවය පටන් ගන්නට පෙරදින හැන්දෑවේ ය.  අපේ කණ්ඩායම වුණේ මමත්, මගේ සහායක රාජාත්, ගෝලයාවූ සෝමපාලත්ය. උත්සවය ආවරණය කරන්නට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් යවන නිල ඡායාරූප ශිල්පියා වූ සරත් ද අප සමගම එක්විය.  රියැදුරු වුයේ මොළේ සුනිල් හෙවත් මොළයාය.  රියැදුරන් සම්බන්ධ සෑම කාර්යයකදීම හැම දෙනාම උපදෙස් ලබාගන්නේ ඔහුගෙන් නිසා සුනිල් හඳුන්වනු ලැබූයේ මොළයා කියාය.

කණ්ඩායමේ සියළුම දෙනා අනවශ්‍ය ප්‍රශ්න ඇති නොකරන විනෝදයෙන් ඉන්නට කැමති අය වීම නිසා මම සිටියේ සතුටිනි.  එමෙන්ම ඉතාම සුන්දර සතියක් ගතකරන්නට ලැබෙන බවද මම දැන සිටියෙමි.  හංවැල්ල රාජසිංහ මහා විද්‍යාලයයට ගිය අපි අපේ දෙසතිය කුටියේ ස්ථානගතවී පසුවදා උත්සවයට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ගත්තෙමු.  අපේ නවාතැන වුයේද එම කුටියමය.  ඡායාරූප ශිල්පියාවූ සරත් අපේ දෙපාර්තමේන්තුවෙන් ගියද ඔහු අයත් වුයේ මාධ්‍යවේදීන් ගණයට නිසා සරත්ට වෙනම නවාතැන් සහ කෑම බීම සංස්කෘතික දෙපාර්තමේන්තුවෙන් ලබාගත හැකිවිය.  ඒත් ඔහු වඩා කැමතිවුනේ අපිත් එක්කම එකට නවතින්නටය.  අපිත් එක්ක එකට ඉන්නවිට තියෙන සොමිය පිට අය එක්ක වෙනම ඉද්දි ලබාගන්නට බැරිවීම ඔහු නවතින්නට හේතුවූ ප්‍රධාන කාරණය බව මම දැන සිටියෙමි.  කෙසේ වුවද සරත් ඉතා සුන්දර සහ වටිනා ගමන් සගයෙක් වීම නිසා ඔහු අපත් සමග නැවතීම සියළුම දෙනාගේ සතුටට කරුණක් විය.  පසුදා සිට සාහිත්‍ය උත්සවය ඉතා අලංකාරයෙන් සහ උත්කර්ෂවත් අන්දමින් ආරම්භ විය.  අපිද දෙසතිය කුටියේ වැඩ කටයුතු ඉතා සතුටින් කරගෙන ගියෙමු.

සාහිත්‍ය උත්සවයේ පළමු දිනයේ උදේ වරුව වෙන්වන්නේ දේශන වැඩමුළු සාකච්ඡා සහ සම්මන්ත්‍රණ සඳහාය.  මෙවැනි තැන්වලදී එකතුවෙන ආචාර්ය මහාචාර්ය වරු සහ පණ්ඩිතයන් බොහෝ කරුණු කාරණා ගැන මත පළකරමින් සහ වාද විවාද කරගනිමින් සාකච්ඡා කරති.  එවැනි එක් තැනක මුළු උදේ වරුවම ගතවුණේ හංවැල්ල යන නමේ නිරුක්තිය සෙවීම සඳහාය.  එවැනි තැන්වලදී කියැවෙන බොහෝ වටිනා කරුණු කාරණා මට නම් මී මෙන් රසවත් විය.  පණ්ඩිතයන් ගම්වල නම් පමණක් නොවැ කතාකරන පඬිවරයාගේ නමේ නිරුක්තිය පවා විචාරති.  හංවැල්ල නම හැදුණු හැටි හොයන්නටම මේ පණ්ඩිතයන්ට වරුවකටත් වඩා ගතවූ බව මට හොඳට මතකය.  දෙසතිය කුටියේ වැඩ කටයුතු රාජාටත් සෝමපාලටත් පවරා මම මුළු උදේ වරුවම මේ සාකච්ඡා සම්මන්ත්‍රණ වල ගතකරන්නට පටන් ගත්තේ ඒවා ඒ තරම්ම රසවත් වීම නිසාය.  රසවත් වීම පමණක් නොව මා ඒවායින් අපමණ දැනුම් සම්භාරයක් ලබාගත් බවත් කිවයුතුමය.  හවස් වරුව එක එක ප්‍රකාශකයන්ගේ වෙළෙඳ කුටි වෙත ගොස් ලාබෙට විකුණන්නට ඇති පොත් සොයමින් ගතකලෙමි.   රාත්‍රියේ මාව කුටියේ තබා අනික් දෙතුන් දෙනා කඩචෝරු කමින් සංගීතාංග සහ නැටුම් ගැයුම් බලන්නට ද ඒවා බලන්නට එන ගමේ කෙල්ලන් පස්සෙන් යන්නටද පටන් ගනී.  එය මට කිසිම කරදරයක් නොවුණේ රෑට වෙළෙඳ කුටිවලට එන අය අඩු නිසාත් පහළ කෙරෙන සියලුම දේවල් උඩ තට්ටුවේ ඉන්නා මට හොඳින් පේන නිසාත්ය.

මේ අතර මොළේ සුනිල් වාහනයේ හංවැල්ල ටවුමට ගොස් රෑට කන්නට සහ විශේෂයෙන්ම බොන්නට අවශ්‍ය දේවල් රැගෙන එයි.  ඇවිදින්නට ගිය උන් මහන්සිවී ආපහු දෙසතිය කුටියට එන්නේ බොන්නත් කන්නත් බලාගෙනය.  දෙකක් තුනක් දාගත් පසු  ගිය ගමන්වල විස්තර ගැන කෙරෙන කතාබහද මඩ ගහ ගැනිලි ද අඩුවක් නැත.  ඔක්කොම වැඩ ඉවරවී අපි නිදාගන්නේ මහ පාන්දරය.  උදේ අවදිවී කට්ටියම වාහනයට නැගගෙන නාන්නට යන්නේ හංවැල්ල ටවුමට කිට්ටුවෙන් කැළණි ගඟේ තියෙන තොටුපොලකටය.  රාත්‍රියේ බීපුවායේ අමාරුව යන්නත් එක්ක හොඳට ගඟෙන් නාගෙන පාරෙන් තැඹිලිත් බී කුටිය විවෘත කරන්නට  කල්වේලා ඇතිව ආපහු එන්නේ උදේට කන්නට බලාගෙනය.  උදේ කෑමට වියදම් කරන්නට අවශ්‍ය නොවුණේ සරත් ඔහුට දෙන කෑම අපටත් එක්ක ඇතිවෙන්නට අරගෙන එන නිසාය.  මේ විදියට කටයුතු  වෙද්දී කාලය ගතවෙනවා නොදැනේ.  ඇත්තටම රාජ්‍ය සාහිත්‍ය උත්සවයේ ගතකරපු මුළු කාලයම අපට නම් එකම විනෝදයක් විය.

දවසක් දා රාත්‍රියේ (එය මට මතක හැටියට සිකුරාදාවක් විය) අපේ කාර්යාලයේ වැඩකරපු ප්‍රේමා හෙවත් ප්‍රේමක්කා ඇගේ මහත්තයා සහ දරු දෙදෙනා එක්කරගෙන සාහිත්‍ය උත්සවය බලන්නට ආවාය.  එතැනදී අප හමුවූ විට ඇගේ සතුට නිම් හිම් නැතිවිය.  ඒ ගැනත් කතාවක් ඇත.  ප්‍රේමක්කා අපේ කාර්යාලයේ වැඩට ආවේ හංවැල්ලේ ඉඳලාත් කිලෝමීටර් තුන හතරක දුර ගමක සිටය.  දරුවන්ගේ වැඩත් එක්ක ගමනාගමනය අපහසු නිසා වෙලාවට කාර්යාලයට යන්න එන්න තිබුණු කරදර නිසාවෙන් ඇය ගමට ළඟ තැනකට ස්ථාන මාරුවක් ඉල්ලා අවුරුදු කීපයක් ගතවී තිබුණත් ස්ථාන මාරුව නොලැබුණු නිසා ඇය සිටියේ ඒ ගැන සිත් කරදරයෙනි.  මම ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට මාරුවී ආවේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ සිට නිසා ඇය ඒ ගැන මට කීවේ පුළුවන් කමක් ඇත්නම් වැඩේ කරදෙන්න කියාය.  රාජ්‍ය පරිපාලනේ හිතවත් අයගේ මාර්ගයෙන් ප්‍රේමාගේ ස්ථාන මාරුව ලබාදෙන්නට මට ගතවුණේ සති දෙකක් වැනි සුළු කාලයකි.  ස්ථාන මාරුව ලබාගත් ප්‍රේමක්කා මට මුව නොසෑහෙන සේ ස්තුති කර සතුටින් ගම් පළාතට ගියාය.  ප්‍රේමා හංවැල්ලේ ඉන්නවාය කියා ඒ වන විට අපටද අමතක වී ගොසින්ය.  අපි කට්ටිය දුටු පමණින්ම ප්‍රේමක්කා සතුටු වුණේ ඒ හින්දාය.  කතාබහ කර සාහිත්‍ය උත්සවයද බලා ආපසු යන්නට ලෑස්ති වෙන ප්‍රේමක්කා අපට ආරාධනාවක් කළාය.

" මල්ලියෙ, ඔන්න ඔක්කොම කට්ටිය එක්ක හෙට රෑ අපේ ගෙදර කෑමට එන්න!"

අපි ආරාධනාව සතුටින් පිළිගත්තෙමු.  පහුවදා උදෙන්ම රාජකාරියට ගිය සරත් දවල් වෙද්දී අපේ කුටියට ආවේ සිනාසෙමිනි.

" උඹල දන්නවද වැඩක්, මම අද ටවුමට ගිය වෙලාවෙ ප්‍රේමගෙ මහත්තය හම්බුණා නෙ."

" ඉතිං."

" ඉතිං තමයි, පොරගෙ සයිකලේ පිටිපස්සෙ ලේ පෙරෙන ඌරු ගාතයක් ගැට ගහල තිබ්බනෙ." 

සරත් සිනාසෙමින් කියයි.  එදා රාත්‍රියේ ප්‍රේමා ගේ ගෙදර රෑ කෑමට ඌරු මස් පිළියෙළ කොට තිබුණාදැයි මට මතකයක් නැතත් සරත් එහෙම කිව්වේ අපටද සිනාසෙන්නටය.  ඒ කාලයේ අද මෙන් නොව ඌරු මස් ටිකක් ලේසියෙන් හොයාගන්නට තිබුණේ නැත.  අද නම් හන්දියක් හන්දියක් ගානේද පාර අයිනේද ඌරු මස් තට්ටු ඕනෑ තරම් ඇත.  හෝටල බොහොමයකද බෝඩ් එල්ලා තිබෙන්නේ ඌරු මස් සමග බත් කන්නට තියෙනවා කියලාය.  හැබැයි හරක් මස් ටිකක් කඩේකින් හෝ හෝටලයකින් වැරදිලාවත් හොයාගන්නට නැතිවීම පුදුමයකි.  අද කියැවීම අනුව ඌරන් මැරීම පව් සිදුවන දෙයක් නොවෙන නමුත් හරකුන් මැරීම ආනන්තරිය පාප කර්මයකි.  ඒ නිසාදෝ ඉඳහිට හරි කොහේ හෝ තැනක හරක් මස් විකුණනවා නම් ඒ කරන්නේත් හොරන් හොරෙන් කේ ජී විකුණනවා වගේ පුද්ගලයා හොඳට හඳුනා ගැනීමෙන් පසුවය.  නමුත් මට මතක ඈත කාලයේ නම් හරක් මස් නිදහසේ විකුණුන අතර අරන් යන අයගේද අඩුවක් නොවීය.  කොටින්ම අද සුලභව කෑමට ඇති කුකුල් මස් වල තැන එදා තිබුණේ හරක් මස් වලටය.  මම මේ කියන කතාවේ යටිපෙළ තේරුම් ගැනීම ඔබ සතු කාර්යයකි.  

මේ ළඟදී දවසක මම ලේ පරීක්ෂණයක් සඳහා උදේ නිරාහාරව ගොස් පරීක්ෂණයට ලේ දුන්නෙමි.  ලේ දීමෙන් පසු කෑම කා පැයකට පසු නැවතත් ලේ ගැනීමට නියමිත විය.  ඊට පසු මම ටවුමේ හෝටලයකට ගියේ උදේට කෑම කන්නටය.  මට කෑම ගෙනැත් තියපු මනුස්සයා කීවේ පාන් කන්නට වෙනත් වෙනත් හොදි වර්ග සමග ඌරු මස් හොදිත් තියෙනවා කියලාය.  මම ඔහුගෙන් හරක් මස් පීරිසියක් ඉල්ලුවේ නැති බව දැන දැනම උනත් උදේම පොඩි සොමියක් ගන්නට හිතලාය.

" හරක් මස් නෑ!" ඌ කීවේ මුහුණද හපුටු කරගෙනය.

" මම හිතුවෙ ඌරු මස් තියෙන එකේ හරක් මසුත් ඇති කියලා!" මම අහිංසක ලෙස කියා සිටියෙමි.

" නෑ නෑ අපි හරක් මස් ගේන්නෙ නෑ!" ඔහු තදින්ම කියා සිටියේය.

හරක් මස් ආහාරයට ගන්නවාට විරුද්ධව මෙතරම් විරෝධයක් තියෙද්දී හරක් මස්ම කන්නට ඉල්ලන මේකා මහ මිථ්‍යා දෘෂ්ටිකයෙක් ම විය යුතුයැයි ඔහු නිසැකවම සිතන්නට ඇත.

අපිත් එක්ක එකට ඉන්දියාවේ සිටි ටෙරන්ස් කතෝලිකයෙකි.  සතියකට දෙතුන් වේලක් හරක් මස් ආහාරයට ගැනීම ටෙරන්ස්ලා සිරිතක් වශයෙන් කරන දෙයකි.  ඒ දවස්වල අපි හවස වැඩ ඇරී ගෙදර යද්දී එග්මෝර් ටවුමේ හරක් මස් පොට් එකකට ගිහින් මස් මිළදී ගත් අතර එතැන මස් ඉවර නම් අන්නා නගර් වල තැනකින් මස් ගන්නට පුරුදුවී සිටියෙමු.  දැන් ටෙරන්ස්ගේ පදිංචිය ලංකාවේය.  ළඟදී දවසක අපි ටෙරන්ස් ලාගේ ගෙදර කෑමකට ගිය වෙලාවක දවල් බතට සුපුරුදු පරිදි හරක් මස් ඉස්ටුවක් ද විය.  

" මේ පැත්තෙ නම් මස් ගන්න එච්චර අමාරුවක් නෑ වගේ." 

මම කීවිට ටෙරන්ස්ට මල හොඳ එකෙන්ම පැන්නේය.  

" පිස්සුද බං, මස් ටිකක් හොයාගන්න තියෙන අමාරුව අපියි දන්නෙ. දැන් හැම කඩේකම වාගේ හරක් මස් විකුණන එක නවත්තලානේ.  මස් ටිකක් හොයාගන්න හෙන ඈත යන්න වෙනව.  ඇයි යකෝ ඉන්දියාවෙදි වත් මෙහෙම අමාරුවක් තිබ්බෙ නෑනෙ මස් ටිකක් හොයාගන්න."

ඒ කතාව එහෙමය.  සාහිත්‍ය උත්සවය ගැන කියන්නට තියෙන දේ කියා අහවර බව සිතමි.  හංවැල්ල සාහිත්‍ය උත්සවයේ දී සිදුවූ මතක හිටින තව දෙයක් වුයේ කරුණාරත්න දිවුල්ගනේ හමුවීමයි.  සාහිත්‍ය උත්සවයේ තිබු සංගීතයක ගීත ගයන්නට ඇවිත් සිටි ඔහු වෙලාව එනතුරු උත්සව භුමියේ ඇවිදිමින් සිටින අතර දෙසතිය කුටියටත් ගොඩවුණේ එක දෙසතියක ඔහු ගැන ලිපියක් පළවී තිබීම හේතුවෙන් එය මිළදී ගන්නටය.  කාලය සම්බන්ධව අපි දෙදෙනාටම ප්‍රශ්නයක් නොතිබූ බැවින් අපි දෙදෙනා ටිකක් වෙලා කතා කරමින් සිටියෙමු.  එවකට ඔහු ගැයූ ජනප්‍රිය ගීත කිහිපයක්ම අපේ කතාවට බඳුන් වූ අතර කතාව අවසන් කරන්නට වුණේ ඔහුට ගී ගයන්නට යායුතු වෙලාව පැමිණීම නිසාය෴

Monday, August 27, 2018

භීෂණය මැදින් ටෙලිනාට්‍ය සමග ජීවිතය 19 - ජීප්ගේ වැලපීම, කළුතර ගමන, දීපිකාගේ උපදෙස්, අබේගේ මඟුල, ස්ථාන මාරුව, පාට් ටයිම් ජොබ් එක සහ අලුත් අත් ඔරලෝසුව.






                           Photo : Google Images

අක්කා කෙල්ල හෙවත් ජීප්ගේ කලවයස දැනටමත් පැන ඇති නිසාවෙන් කා සමග හෝ හැකි ඉක්මණින් විවාහ වීමේ අවශ්‍යතාව තදබල ලෙස ඇයට දැනෙමින් තිබිණි.  ඇය නිතරම කියවන්නේ අපි දෙන්නා ඉක්මනින්ම කසාද බැඳිය යුතු බවය.  ඒ කතාව ඇහෙනකොටත් මගේ ඇඟ පත සීතල වෙන්නේ කසාදයක් බැඳ පවුලක් පන්සලක් වීම ගැන ඒ වනවිට මම හිතලාවත් නැති නිසාය.  ජීප් ව අතහැරීම ගැන සිතන්නටත් බැරි තරමට ඇය අප දෙදෙනාගේ සම්බන්ධය ගැන ඇගේ පවුලේ අයටත් යාළුවන්ටත් දන්වා පුළුල් ප්‍රචාරයක් ඒ වනවිටත් දී තිබුණි.  ඔය කාලය වන විට මා පැටලී සිටියේ මොනවා කරන්නදැයි හිතා ගන්නට බැරි තරම්  උහතෝකෝටිකයකය.  ජීප් හඬමින් ද වැලපෙමින් ද නිතරම මගේ සිත අවුලෙන් අවුලට පත් කරන්නට පසුබට නොවුවාය.  හැමදාම උදේ ජීප් මගෙත් එක්ක කතාකරන්නේ දෑසේ කඳුළු පුරවාගෙනය.  ටිකකින් ඇය කඳුළු වගුරුවමින් හඬන්නට පටන්ගැනීම මට මහත් හිසරදයක් වෙන්නට වැඩි කලක් ගත නොවීය.  හැම උදේකම සිද්ද වෙන මේ සිද්දිය මගේ දවසම මුසල කරවයි.  ජීප් හිතාගෙන ඉන්නේ අඬපු විට මට දුක හිතී ඇය කියන දේවලට කැමති වේය කියාය.  ටිකක් හරි මගේ හිත හදන්නට ඉන්නේ දීපිකාය.  මා බුම්මාගෙන ඉන්නවිට ඇය මට විහිළුවක් කර නැවතත් මාව යථා තත්ත්වයට ගෙන එන්නට සමත්වෙයි.  මේ හේතුව නිසාම මම ජීප්ට වඩා දීපිකාගේ ඇසුර ප්‍රිය කරන්නට පටන් ගතිමි.  තරුණයින් වූ අපි දවසම අඬා වැලපෙමින් ඉන්න අයට වඩා විහිළුවක් දෙකක් කරගෙන සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක් ඇසුරු කරන්නට  කැමතිවීම සාමාන්‍ය ස්වභාවයයි.  නගරයේ හැදී වැඩී ජීවිතය සතුටින් විනෝදයෙන් ගතකරන්නට පුරුදුවී සිටි කෙල්ලක් වූ දීපිකා ගේ ඇසුර මගේ සිතේ වූ කණස්සල්ල ද කලකිරීම ද නැතිකරන්නට ඖෂධයක් මෙන් විය.

කෙසේ වුවද අපි දෙන්නාගේ කතා බහ ජීප්ට රහසෙන් කරගෙන යන්නට සිදුවුණේ එය ජීප් දැනගතහොත් දීපිකාටද බැනවදින නිසාය.  අපි තුන්දෙනාගේ අනෙක් හිතවතා වූ අබේ මේ ගැන මට දැඩි ලෙස විරෝධය පලකළේය.  ඒ වනවිටත් විවාහ වන්නට කෙල්ලෙක් තෝරාගෙන සිටි අබේ අවංක සහ ආදර්ශමත් පෙම්වතෙක් විය.  ඔහුගේ අදහස වුණේ මා ජීප්ට දැඩි අසාධාරණයක් කරන බවයි.  එක සති අන්තයක අපි හතර දෙනා අබේ බඳින්නට සිටි කෙල්ලත් සමග කළුතර බෝධියට ගියේ අබේගේ ආරාධනයෙනි.  අබේගේ කෙල්ලට කළුතර බෝධියට පුජාවක් පවත්වන්නට අවශ්‍යතාව තිබුණු අතර ජීප් ඉතා කැමැත්තෙන් ගමනට එකතු වුණේ ඇයට ද බෝධියට බාරයක් වෙන්නට වුවමනා ය කියාය.  මටත් දීපිකාටත් එහෙම විශේෂ වුවමනාවල් කිසිවක් නොවූ අතර එය අපට තවත් විනෝද ගමනක් විය.  උදේම කළුතරට ඇවිත් සල්ගාදු හෝටලයෙන් උදේ ආහාරය ගත් අපි ඊළඟට පුජා වත් පිළිවෙත් කරන්නට බෝධියට පැමිණියෙමු.  අබේගේ කෙල්ල අබේවත් ලඟින් ඉන්දවා ගෙන ඇය ගෙදරින් ගෙනා ලොකු පොතක් දිග හැර ගෙන ගාථා කියවන්නට වූ අතර ජීප් ඒ ලඟින්ම වාඩිගෙන තවත් පොතක් දිග හැර ගෙන ගාථා කියන්නට වුවාය.  මල් පහන් පුදා මම නැගිට යන්නට හදන විට ජීප් මට තරවටුවෙන් කතා කර ඇය ලඟින් ඉන්දවා ගත්තාය.  දීපිකා ඒ වන විටත් මළුවේ ඇවිදිමින් සිටියාය.  ටිකක් වෙලා ජීප් ළඟ ඉඳගෙන සිටි මට ජීප්ගේ ඉවරයක් නැති ගාථා කියවිල්ල අහගෙන ඉඳගෙන ඉන්නට කම්මැලි නිසා කකුල් රිදෙනවා ය කියා නැගිට ගොස් දීපිකා ගේ ඇවිදිල්ල ට එකතු වුණෙමි.

මළුවේ තාප්පයට හේත්තුවී හිස් බැල්මෙන් ගඟ දෙස බලා සිටි මගේ ලඟට ආ දීපිකා ඇහුවේ ජීප් සහ මගේ අතර ඇතිව තිබු ප්‍රශ්නකාරී වාතාවරණයේ ඒ වනවිට තත්ත්වය ගැනය. 

" දෙන්නත් එක්ක ඔක්කොම කාරණා කටයුතු කතාකරගෙන ඉවරවෙලා වෙන්නැති අද බෝධියට පුජා පවත්තන්න ආවෙ."

ජීප් සහ මගේ අතරේ සිදුවූ කතා බහ හැම දෙයක් ගැනම හොඳින් දන්නා දීපිකා එහෙම ඇහුවේ මට සවුත්තුවටය.

" ඔව් ඔක්කොම කතාබහ කරගෙන ඉවරයි, තව සතියකින් දෙකකින් හොඳ දවසක් බලල රෙජිස්ට්‍රේෂන් එක ගන්නයි ඉන්නෙ."

මමත් ඇය ඇසු විදියටම උත්තර දුන්නෙමි.  දීපිකා කතා කළේ සිනාවෙමිනි.

" එහෙම නෙවෙයි අනේ, කියන්නකො ඇත්තටම මොකද වුණේ කියල."

" මොකුත් වුණේ නැහැ.  ජීප් කළුතර යන්න කතා කළා මම ආවා, ඔයත් දන්නවනෙ."

" මම ඇහුවෙ ඒව නෙවෙයි අනේ, ඔය දෙන්නගෙ මඟුල කෙරෙනවද නැද්ද කියල."

" ජීප් නං හැමදාම කන්කෙඳිරි ගානවා. ඒ උනාට මම කැමති නෑ.  කැමති නෑ කියල ජීප්ගෙන් බේරෙන්නත් බෑ, මට හිතාගන්න බෑ මොනව කරන්නද කියල."

දීපිකාගේ මුහුණ ආලෝකමත් විය.  ඇය මටත් හිසෙන් කතාකරගෙන මළුවේ ඈත කෙලවරට ගොස් වටපිට බලා කතාකළේ හඬ පහත් කරමින්ය.

" මේ අහන්න, දැන් ජීප්ට තියෙන්නෙ ඉක්මනට කාව හරි බැඳගන්න තියෙන උවමනාව.  ඒ කියන්නෙ ඔයාවම නැතත් වෙන කෙනෙක් හරි.  එයාට එච්චර හදිස්සියි.  ඉතින් කොහොමත් එයා මේ අවුරුද්ද ඇතුළත කාව හරි බඳීවි."

" ඔය ඇත්තමද දීපිකා? හැබැයි එයා කතා කරන්නෙ නං මාව බඳින්න ලැබුනෙ නැත්නම් ගඟේ මුදෙ පනින ගානට."

" විකාර........ඔයාටත් ඔව්ව ඇත්ත.  මොකද වෙන්නෙ කියල සද්ද නැතුව බලාගෙන ඉන්නකො.   අඬන අඬන වෙලාවට බයවෙලා එයා කියන දේවල් කරන්න යන්නෙ නැතුව."

දීපිකාගේ වචන වලින් මගේ සිත ක්‍රම ක්‍රමයෙන් සැහැල්ලු වන්නට විය.  අද කළුතර ආවේ කරන්නට කිසිම දෙයක් හිතාගන්නට බැරුව වුවත් දීපිකාත් එක්ක කළ කතාව නිසා සිතේ බර ටික ටික අඩුවී යයි.

" දැන් හරි ෂෝක් නෙ.  ළමයගෙ මුණත් එක්ක එළිය වැටුණා.  ජීප්ගෙ පුජාවල් මෙතනදීම පල දෙනව වගේ."

දීපිකා විහිළු කරන්නට පටන් ගත්තාය.  ජීප්ලා පුජා වතාවත් ඉවර කළේ ඊටත් පැයකට විතර පසුවය.  ඒ වන විට අපි දෙන්නා ඊළඟ සති අන්තයේ මුණ ගැසෙන්නට ද කතා කරගෙන ඉවරය.  ආපසු එද්දී උදේ ආවාට වඩා සැහැල්ලුවකින් හැසිරෙන මා දෙසද දීපිකා දෙසද ජීප් විමසිලිමත්ව බැලුවත් මොකුත් කිව්වේ නැත.

ජීප්ට අසාධාරණ කම් මදි පුංචිකම් කරනවාය කියා මගෙත් එක්ක ටිකක් හිත නොහොඳින් සිටි අබේ පසුව සිය විරෝධය එළිපිටම පෙන්වන්නට විය.  ඔහු මගෙත් එක්ක කතාකිරීම පවා නවතා දැම්මේය.  ඊට ටික දවසකට පසු ජීප් සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රධාන කාර්යාලයට ස්ථාන මාරුවක් ලබාගෙන ගියාය.  එහෙම ගියත් ජීප් හැමදාම මට කතා කළ අතර විටින් විට ඇය බලන්නට එන්න යැයි තර්ජනයක්ද කළාය.  අබේගේ මඟුල සිදුවුණේ මේ අතරය.  හිත නොහොඳින් හිටියත් අබේ මටත් මඟුලට ආරාධනා කළේ කාර්යාලයේ අනෙක් ඔක්කොටොම මඟුල කියපු නිසා මිසක කැමැත්තකින් නොවන බව මට හැඟුණි.  ගම්පහ තිබුණු අබේගේ මඟුල් ගෙදරට කාර්යාලයේ අනික් අයත් එක්ක මමත් ගියෙමි.  ඒ මඟුල් ගෙදර අපි ඔක්කොටොම මතක හිටින මඟුලක් වුණේ මඟුල් බතට තිබු චිකන් කාපු හැමෝටම බඩ එළිය යෑම නිසාය. 

ඔය කාලයේ මගේ රැකියාවේත් වෙනස්කමක් සිදුවිය.  මට උසස්වීමක් සමග ස්ථාන මාරුවක් ලැබුණු නිසා මම ක්‍ෂය රෝග මර්දන ව්‍යාපාරය අතහැර රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ රාජකාරියට වාර්තා කළෙමි.  අලුත් රාජකාරි ස්ථානයේ දී මට නව මිතුරු මිතුරියන් රැසක් හඳුනා ගන්නට ලැබුණු අතර මගේ හොඳම යහළුවන් දෙදෙනා වුණේ මගේම බැච් එකේ චන්ද්‍රලාල් සහ මා එන්නට දින කීපයකට පෙර ස්ථාන මාරු ලබා පැමිණ සිටි ඉන්ද්‍රා ය.  ඒ දෙදෙනාම දකුණු පළාතේ ගාල්ල ප්‍රදේශයෙන් පැමිණ සිටි අතර ලාල් දිනපතා ගාල්ලේ සිට රාජකාරියට පැමිණි අතර ඉන්ද්‍රා කැලණිය පැත්තේ නිවසක නවාතැන් ගෙන වැඩට ආවාය.  දීපිකා නිතරම පාහේ කාර්යාලයට ටෙලිපෝන් කර කාර්යාලයේ විස්තර කතාකළත් ජීප් නම් වැඩිපුර කතා කළේ නැත.

මේ අතර සිදුවූ තවත් වෙනස්කම් කිහිපයක් නම් එතෙක් කල් දේශීය ආදායම් දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලේ තට්ටු කිහිපයක පවත්වාගෙන ගිය සෞඛ්‍ය අමාත්‍යාංශය එතැනින් ඉවත්කර ක්‍ෂය රෝග මර්දන ව්‍යාපාරයට අයත් ගොඩනැගිල්ලට ගෙන ඒමයි.  සෞඛ්‍ය අමාත්‍යංශ ප්‍රධාන කාර්යාලයේ අය ඒ ගොඩනැගිල්ලට සුවසිරිපාය යනුවෙන් නම් තබා පදිංචි වූ අතර අවතැන්වූ ක්‍ෂය රෝග මර්දන ව්‍යාපාරයේ ප්‍රධාන කාර්යාලය වැලිසර ළය රෝහලේ ගොඩනැගිල්ලක ස්ථානගත කරන ලදී.  මේ අතර මට කණින් කොනින් අහන්නට ලැබුණු ආරංචියක් වුණේ අබේ ක්‍ෂය රෝග මර්දන ව්‍යාපාරයේ ලැබ් එකේ වැඩකළ තරුණියක් වූ ශ්‍රියානි සමග කිට්ටු ආශ්‍රයක් පවත්වාගෙන යන බවයි.  දවසක් මම මේ කතාව ඇත්තද කියා දීපිකාගෙන් ඇසුවිට ඇය කිව්වේ කතාව ඇත්තය කියාය.  ශ්‍රියානි ත් ගම්පහ සිට වැඩට එන තරුණියක් වූ අතර අබේ ඇයත් එක්ක හැමදාම උදේ හවස යන එන බව දීපිකා වැඩිදුරටත් කීවාය.  නුගේගොඩ සිට උදේ හවස වැලිසරට යන්නට අමාරුයි කියා කන්කෙඳිරි ගාමින් සිටිය දීපිකාට උසස්වීමක් සමග කොළඹ කාර්යාලයකට ස්ථාන මාරුවක් ලැබී ගිය නිසා ඊට පසු අබේගේ අලුත් ප්‍රේම කතාවේ විස්තර දැනගන්නට ක්‍රමයක් නැතිවිය.

දවසක් දා වැඩ ඇරී ගෙදර එන ගමන් මම රාගම දුම්රිය පොළෙන් බැස්සේ රාගම මහ රෝහලේ ප්‍රතිකාර ලබන මගේ මිත්‍රයෙක් බලන්නටය.  රෝහලට ගොස් මිත්‍රයාත් බලා ආපසු ගෙදර එන්නට මම රාගම දුම්රිය පොළට ආවෙමි.  ඈතදීම මම දැක්කේ දුම්රිය පොළේ බංකුවක ඉඳගෙන සිටි තරුණ යුවළක් සිනහසෙමින් කුටු කුටු ගා කතා කරමින් ප්‍රේම සාගරයේ ගිලී ඉන්නා අන්දමය.   ළං වනවිට ඒ ඉන්නේ අබේත් ශ්‍රියානිත් බව හඳුනා ගත්තෙමි.  මට එක්වරම මතක් වුණේ කෙල්ලන් දෙතුන් දෙනෙක් එක්ක එකවර හාදකම් පවත්වනවාය කියා ඔරොප්පු වූ අබේ මට මදි පුංචිකම් කළ අන්දමයි.  මුට පේන්නටම ඒ ඉස්සරහින් යන්නට හිතාගෙන එද්දී මා එනු දුටු අබේ දෑස් පියාගෙන නිදි බව පෙන්වන්නට වුණේ කර කියාගන්නට කිසිවක් නැතිවූ තැනය.  ඌ අසරණ වූ ආකාරය දැක දුක හිතුණු මම ශ්‍රියාණිත් එක්ක සිනහවී එතැනින් ඉස්සරහට ගියෙමි.  මේ ගැන මට කියන්නට තියෙන්නේ ඔය බොරු සුචරිතවාදීන් සියල්ලම එක වගේ බවය.  තමන්ට අවස්ථාවක් ලද සැණින් සුචරිතවාදය පැත්තකට දමා තහනම් ගහේ ගෙඩි රස විඳිමින් චව් චව් ගගා වළඳති.  අබයාත් ඉන් එකෙකි.  මගේ නම් බොරු උපාසක කම් හෝ ව්‍යාජ සුචරිතවාදයක් කවදත් තිබුණේ නැති අතර ඒ කාලයේ මා අනුගමනය කළේ 'පුදන කැවුම් කාපල්ලා' යන න්‍යාය බව කටපුරාම කියා සිටින්නට කැමතිය.  අබේගේ අලුත් පෙම් කතාව ආරංචි වූ උගේ බිරිඳ ගම්පහට ඇවිත් රැක සිට ජෝඩුවම අල්ලාගෙන කුඩයක් කැඩෙන්නටම දරුණු ප්‍රහාරයක් එල්ල කළ බව මට පසුව ආරංචි විය.

මේ කාලය වන විට ජීප් හිතාගන්නටත් බැරි විදියට බොහෝ නිශ්ශබ්දව සිටි අතර මම කතාකළොත් මිසක  ඇගෙන් දුරකථන ඇමතුමක් හෝ මට ලැබුණේ නැත.  මෙය මට හිතාගන්නටවත් බැරි තත්ත්වයක් වුයේ ඇය අඬපු දොඩපු හා මට තර්ජනය කළ ආකාරයට මෙසේ නිහඬව සිටීම එකිනෙක ගලපාගන්නට නොහැකිවූ නිසාය.   දීපිකාත් මමත් බොරැල්ලේ දී මුණගැහුණු දවසක මම ඇයගෙන් මේ වෙනස ගැන ඇසුවෙමි.

" ඇයි දවසක් දා මම ඔයාට කිව්වා මතක නැද්ද?"  දීපිකා කියන්නේ සිනහව මැදිනි.  

" ජීප් වැඩිකල් ඔයාගෙ පස්සෙන් එන්නෙ නෑ කියල මම කිව්වෙ, දැන් ඒ කතාව හරිගියා නේද?"

" කිව්වා නං තමයි, ඒත් මට හිතාගන්න බැරි ඒ ඇයි කියල."

" ජීප් ආයෙමත් ඔයාට කතා කරාවි කියල මම හිතන්නෙ නෑ.  ඔයා මේක හිතේ තියාගෙන ඉන්න කාටවත් කියන්න යන්න එපා.  එයාට ගෙදරින් ප්‍රපෝසල් එකක් ගෙනත්.  ඉතින් දැන් ඒ මනුස්සය ජීප්ව හම්බවෙන්න එනව යනවා.  ඒකයි ජීප් සද්ද නැත්තෙ, ඔයා ආයෙ ජීප් ගැන හෙව්වෙ බැලුවෙ නැතුවට කමක් නෑ, දැන් ඒක කරන්න කෙනෙක් ඉන්නවනෙ."

දීපිකා එක දිගටම කියාගෙන ගියාය.  මම නිහඬවම අසා සිටියෙමි.

" මොකෝ සද්ද නැත්තේ, දුක හිතුනද?"  දීපිකා අසයි.

" නෑ දුකක් නම් නෑ සතුටුයි."

" එහෙම තමයි, අපි අතේ තියෙනකොට අගයක් නැතිවුණාට ඒ දේම නැතිවුණාම ඒකෙ අගේ වැඩියෙන් දැනෙනවා." 

දීපිකාගේ කතාව ඇත්තය.  කොච්චර රණ්ඩු වුණත් ඇඬුවත් ජීප් මා ගැන නිතරම සොයා බැලුවාය.  ඒ සොයා බැලීම බොහෝ විට මට හිරිහැරයක් වන තරමට විය.  එක අවුරුද්දක නත්තල් සහ අලුත් අවුරුදු සමයේ මට පාට් ටයිම් ජොබ් එකක් ලබාදී අමතර මුදලක් සොයාගන්නට මග පාදාදුන්නේ ජීප්ය.  ඒ හැම්පර් පැක් කරන සහ ඩිලිවරි කරන රස්සාවකි.   මම ඒ ජොබ් එක කළේ රාත්‍රී කාලයේ සහ සති අන්ත වලය.  හැම්පර් රස්සාවෙන් මට ලැබුණු මුදලින් අලුත් ඔරලෝසුවක් ගන්නැ'යි ජීප් කීවාය.  මම එදාම සලාකා එකෙන් සිටිසන් වර්ගයේ හොඳ අත් ඔරලෝසුවක් මිලදී ගත්තෙමි.  ඒ අවුරුද්දේ අන්තිම දවසේ හෙවත් දෙසැම්බර් තිස් එක් වැනිදාවක බව මට හොඳට මතකය.  ඒ අත් ඔරලෝසුව කිසි කරදරයක් නැතිව අවුරුදු හතක් පමණ මම පාවිච්චි කළෙමි.  ඊට පස්සේ මල්ලී මට අලුත් ඔරලෝසුවක් දුන් පසු දවසක් මම අලුත් ඔරලෝසුව බැඳගෙන පරණ එක ලාච්චුවේ දමා ගමනක් ගිය විට එකෙක් ඔරලෝසුව උස්සාගෙන ගිහින් තිබුණි.  හොරෙන් ගත්තේ අලුත් එකක් ගන්නට ඌට සල්ලි නැතිකම නිසා නොවැ කියා මම සද්ද නැතිව හිටියෙමි.  හැබැයි ඌට ඒ ඔරලෝසුව සතියක් වත් පාවිච්චි කරන්නට නොලැබුණේ ගුවන් යානා අනතුරකින් ඌ දැවී අළුවී නිවන් ගිය නිසාය෴

Sunday, August 19, 2018

ඩැනිස් ගේ සොමිය, සුනාමිය, පප්පාට වූ අකරතැබ්බය සහ අවසානය.

                                                 Photo : Google Images.
ඩැනිස් ගේ සොමිය 3
ඩැනිස් ගේ සොමිය 2
ඩැනිස් ගේ සොමිය 1

අපට ඩැනිස් ගේ සොමිය අවසානයක් කරන්නට බැරිවුණේ වෙන වෙන කතා ලියන්නට සිදුවීම නිසාය.  මම කලින් කතාවේ කිව්වත් වගේම ඩැනිස් ගේ මල්ලිගෙ දුවගේ මංගල්ලයට ගිය වෙලේ ඩැනිස් ගේ නෝනා මහත්තයා හෙවත් අක්කාත් දරුවනුත් මුණ ගැසිණි.  ඒ මුණ ගැසීම සිදුවුණේද කාලාන්තරයකට පසුවය.  අපි කට්ටියම එකතුවී ඒ දවස්වල ඩැනිස් එක්ක කරපු කියපු දේවල් මතක් කරමින් ඇති වෙන්නට සිනාසුනෙමු.

මඟුල් ගෙදරට අක්කාත් දරුවන් තුන් දෙනෙකුත් ඇවිත් සිටි අතර බාල දුව හෙවත්  එකල අපේ කුඩා සුරතලිය වූ මනෝ විවාහවී විදේශයක ජීවත් වන නිසා දකින්නට සිටියේ නැත.  බාලයා ඇවිත් නොහිටියේ රස්සාවේ ඉන්ටර්විව් එකක් නිසා කාර්යබහුල වී ඇති බැවින් යැයි කිව්වේ ලොකු දුවය.  මනෝ වැඩිවිය පැමිණුනේ ද අපි ඩැනිස් ගේ ගෙදර හිටපු දවසක රාත්‍රියේය.  " මගෙ කෙල්ලගෙ මඟුලට උඹල ඉන්නම ඕනෑ" යැයි එවේලේම ඩැනිස් නිවේදනය කර සිටියේ " යන එකෙක් එක්කවත් මීට පස්සෙ මගෙ කිසිම සම්බන්ධයක් නෑ" කියා තර්ජනයක් ද කරමිනි.  ඒ නිසා අකමැත්තෙන් වුණත් වැඩිපුර දවස් තුනක් කළුවාමෝදර නවතින්නට අපට සිදුවිය.

දවස් තුනක් ඉන්නට වුණේ සුබ නැකත යෙදී තිබුණේ දවස් තුනකට පසුව වීම නිසාය.  ඒ දවස් තුනේමත් හැම රෑකම ඩැනිස් මඟුලට පෙර මඟුල් කෑවේ අපිත් එක්කය.  බීගෙන වෙරිවන ඩැනිස් කාත් එක්ක හෝ කොක්කක් ඇදගෙන රෑට අපිව ගෙදරින් පිටමං කර පහුවදා උදේම ආපහු යාළුවෙයි.  අද ඩැනිස් ජීවතුන් අතර නැති බව මෙතෙක් මා ලියු දේවලින් ඔබ වටහාගෙන ඇතැයි සිතමි.  ඊළඟට ලියන්නට ඇත්තේ ඔහුගේ අවසානය ගැන කතාවයි.  මේ හරිය මට අත්දකින්නට නොලැබුණේ ඒ දිනවල මා විදේශගතවී සිටි බැවිනි.  අක්කාගෙන් හා ඩැනිස්ගේ මල්ලිගෙන් මා ඉතිරි හරිය පසුව අසා දැනගතිමි.

2004 දෙසැම්බර් වල සුනාමිය එන්නට කළින් පෙබරවාරියේදී ඩැනිස් යන්නට ගියේ හෘදයාබාධයක් හේතුවෙනි.  ඊට ටික කලකට පසුව ආ සුනාමිය ඩැනිස්ගේ ගෙදරත් අපි ඉතා ඇලුම් කළ ගෙස්ට් හවුසියත් ඒ ලඟින්ම ඩැනිස් සාදා තිබු කඩ පේළියත් බිලිගත්තේ ගෙදර අයට ඇඳි වත පමණක් ඉතුරු කරමිනි.  කොටින්ම ගෙදර කට්ටියත් බේරී තිබුණේ නුලෙන් කිව්වොත් නිවැරදිය.

ඩැනිස් මුදට කිට්ටුවෙන් අලුත් ගෙයක් හදද්දී අක්කාගේ මාමා කෙනෙක් අනාවැකියක් කියා ඇත.  මුහුදේ හැසිරීම ගැන අත් පොතක් බඳු පළපුරුදු තන්ඩලේ කෙනෙක් වන මාමා එදා මුහුදේ මැද ඇති ගලක් පෙන්වා කියා ඇත්තේ ඒ ගලට උඩින් වතුර දාපු දිනෙක මේ අලුතෙන් හදන ගෙටත් වතුර දාන බවයි.   ගලට උඩින් වතුර දානවා දුටුවොත් මොහොතක් වත් ගෙයි නොසිට පිටවී යන්නැයි සුනාමියක් ගැන හීනෙකින්වත් නොසිතු කාලයක මාමා නිවැරදිවම කියා ඇත.  ගෙදර හිටපු අය බේරුණේ ඒ අනාවැකිය පිළිපදිමින් ගෙදරින් හැකි ඉක්මනින් පිටවී ගිය නිසාය.

ඩැනිස් ට හෘදයාබාධය හැදුණේ අම්මාගේ මරණය ගෙයි තිබියදීය.  අම්මාගේ මිනිය ගෙදරට ගෙනැත් සාලයේ තැන්පත් කර පෙට්ටිය ඇරිය විට ඩැනිස් දැක්කේ පෙට්ටිය මිනියට වඩා අඟල් හයක් පමණ දිගින් වැඩි බවය.  වලියක් ඇදගන්නට ඔහුට ඒ හොඳටම ප්‍රමාණවත්ය.  මල් ශාලාවේ එකා මොන මොන දේවල් කිව්වත් වලියේ අවසානය වුණේ ඩැනිස් මල් ශාලාවේ අයිතිකාරයාට මිනියත් අරගෙන ආපහු යන්නටැ යි කියා ගුටි බැට දුන් පසුවය.  මළගෙදර දැම්ම වලියෙන් පසු ඩැනිස් ගෙදර ගියේය.  කලින් ඉඳන් ටික ටික ඇතිවී තිබුණු පපුවේ වේදනාව එදා තදින් දැනුණු නිසා අක්කාට ඒ ගැන කියූ ඩැනිස් ඇඳට ගියේය.  කලබල වුනු අක්කා ගෙදර අයටත් කතාකොට ඩැනිස්ව රෝහල්ගත කළාය.  රෝහලේ දවසක් ගතකළ ඩැනිස්ව පසුවදා ඩිස්චාජ් කරන ලදී.  දෙවෙනි ඇටෑක් එක ආවේ ගෙදර අයත් එක්ක රෝහලේ සිට ආපහු එන්න ලෑස්ති වෙමින් සිටියදීය.  එයින් ඔහුට ගැලවීමක් නොවූ අතර ගෙදර ගෙනාවේ ඩැනිස්ගේ නිසල දේහයයි.

ඩැනිස්ගේ හොඳම යාලුවා වූ පප්පා ඒ වන විටත් මෙලොව හැර ගොස් සිටි බව මට කලින් කියන්නට අමතක විය.  පප්පාගේත් ඩැනිස්ගේත් තවත් කතාවක් කියා ඩැනිස්ගේ සොමිය අවසාන කරන්නට කැමැත්තෙමි.

ගෙස්ට් හවුස් එක හදද්දී පප්පාත් ඩැනිසුත් අතර කොන්දේසි කිහිපයක් සම්බන්ධයෙන් එකඟත්වයක් ඇතිවිය.  පප්පා ඉදිරිපත් කළ කොන්දේසිය වුයේ ලංකාවේ ගතකරන කාලය තුළ ගෙස්ට් හවුසියේ තනි සම්බුද්දිය ඔහුට ලැබිය යුතු බවය.  ඩැනිස් ඒ කොන්දේසියට එකඟ විය.  ඩැනිස්ගේ කොන්දේසිය වුයේ ගෙස්ට් හවුසියට සබ්ජෙක්ට් ගෙනෙන්නට තහනම් බවය.  නොම්බර එකේ සබ්ජෙක්ට් කාරයෙක් වූ පප්පාට අකැමැත්තෙන් නමුත් එයට එකඟ වන්නට සිදුවිය.   වැදගත් විදියට ගමේ ජීවත් වන තමන්ට ලොකු මහත් වුනු දරුවන්ද සිටින නිසා එවැනි වැඩ තමන්ගේ තැන සිදුවීම තමන්ගේ නමට කැළලක් බව ඩැනිස් පප්පාට පැහැදිලි කර දුන්නේය.  සුරා සුදු ආදී හැම දුශ්චරිතයකම යෙදුනද ඩැනිස් සබ්ජෙක්ට් කාරයෙක් නොවූ අතර කොටු පැනීම ඔහුට අරහං විය.

කොන්දේසිය කෙසේ වුවද පප්පා තමන්ගේ පුරුද්ද අතහැරියේ නැත.  ඔහු ඩැනිස්ට හොරෙන් ගෙස්ට් හවුසියට සබ්ජෙක්ට් උස්සා ගෙන ඇවිත් සුක්ෂ්මව පිටත් කර හැරියේය.  දවල්ට කෑමෙන් පසු පැයක් දෙකක් නිදාගැනීම ඩැනිස්ගේ සිරිතයි.  පප්පා සබ්ජෙක්ට් උස්සා ගෙන එන්නේ ඒ වෙලාවටය.  මෙහෙම කරගෙන ගිය පප්පාගේ  හැංගිමුත්තන් සෙල්ලම දවසක් වැරදුණේය.  එදා පප්පා සබ්ජෙක්ට් එකක් උස්සාගෙන ගෙස්ට් හවුස් එකට ආවේ ඩැනිස් නැගිටින්නට පෙර වැඩේ අවසන් කර කෙල්ලව පිටත් කරන්නට හිතාගෙනය.  ඉස්සරහ දොරෙන් ගෙට ගත්තොත් ඩැනිස්ලාගේ ගෙදරට පෙනෙන නිසා සබ්ජෙක්ට් එක වැට ළඟ නවත්වා පප්පා ගෙස්ට් හවුස් එකට ආවේ පස්සා දොර හැර සබ්ජෙක්ට් එකව ගෙට ගන්නටය.

පප්පාගේ කරුමෙටදෝ එදා ඩැනිස් දවල් නින්ද නිදාගෙන නොසිටියේය.  එදා දවල් ගමේ මඟුල් ගෙදරකට සහභාගී වී හොඳට අනුමත වූ ඩැනිස් ආපහු ගෙවල් පාරේ වාහනය පදවාගෙන එද්දී දැක්කේ ගෙස්ට් හවුස් එකේ වැට ළඟ හොරගල් අහුලමින් ඉන්න කෙල්ලවය.  වහාම වාහනය නවතා ඔහු කෙල්ලගෙන් ප්‍රශ්න කරන්නට විය.  කෙල්ලට කියන්න දෙයක් නැති තැන ඩැනිස්ට යකා නැග්ගේය.  තිත්ත කුණුහරුපයෙන් බනිමින් වැටෙන් පොල්ලක් කඩා ගත් ඩැනිස් කෙල්ලට ආගිය අතේ නෙලන්නට වූ විට මෙලෝ සිහියක් නැතුව විලාප දෙමින් දිවගිය කෙල්ල ළඟ ගේකට රිංගා හැංගුණේ ඩැනිස්ගේ ප්‍රහාරයෙන් බේරෙන්නටය.  කෙල්ල බේරා ගන්නට ආ පප්පාටද ඩැනිස්ගෙන් පිට හරහට පොලු ප්‍රහාර  කීපයක්ම එල්ල විය෴

Wednesday, August 1, 2018

භීෂණය මැදින් ටෙලි නාට්‍ය සමග ජීවිතය 18 - එස්.එච්.සරත්ගේ කලා අධ්‍යක්ෂණය, බෙනට්ගේ පළමු ටෙලිය, එලාගේ රැඟුම්, දයාගේ සුරුට්ටු පෙට්ටිය, ලින්ටන්ගේ සංක්‍රමණය සහ සංගීත ප්‍රසංගය..







අගමැතිතුමා එස්.එච්. සරත්ගේ චිත්‍ර ප්‍රදර්ශනයක් විවෘත කරනවා දැනට මාසයකට පමණ පෙර රූපවාහිනියෙන් දුටුවෙමි.  එස්.එච්.සරත් අගමැතිතුමා එක්ක චිත්‍ර ප්‍රදර්ශනය බලනවා දුටුවිට මට මතක්වුණේ එස්.එච්. සරත් ව පළමුවෙන්ම හමුවූ දවසය.  ඒ අසූ ගණන්වල අග භාගයේය.  එකල එස්.එච්.සරත් චිත්‍ර ශිල්පියෙක් වශයෙන්  ඉතා ප්‍රසිද්ධ වී සිටි අතර ඔහුගේ 'රබර් ගස' නම් චිත්‍රය රුපියල් ලක්ෂයකට විකිනුණු කතාව අපි අසා සිටියේ විමතියෙනි.  ඒ මන්ද යත් හැත්තෑ ගණන්වල චිත්‍රයක් එපමණ මුදලකට අලෙවිවීම ප්‍රවෘත්තියක් ම වූ බැවිනි.  පසුව අපි ඔය ගැන කතාවෙද්දී එකෙක් කීවේ එය සරත්ගේම සිරිකිස් වැඩක් කියා වුවත් එහි ඇත්ත නැත්ත මම නොදනිමි.  කොහොම වුණත් සරත් අපට හමුවන්නට හේතු පාදක වූ කාරණය වුණේ බෙනට් ගේ පළමු ටෙලි නාට්‍යයයි.  ඒ ටෙලියේ කලා අධ්‍යක්ෂක හැටියට බෙනට් එස්.එච්.සරත් ව තෝරාගෙන තිබුණි.

ටෙලිය රූගත කරන්නට තෝරාගෙන තිබුණේ අම්බලන්ගොඩ සහ හික්කඩුව අතර පිහිටා ඇති අකුරළ නම් සුන්දර ගම්මානයේය.  කතාව සහ තිර රචනය නිමල් ගමගේ ගෙන් වූ අතර ඔහුද ඒ පළාතේ කෙනෙක් බැවින් කතාව ලියා තිබුණේ අකුරළ ගම හිතේ මවා ගනිමිනි.  කතාව ටෙලියකට නගන්නට බෙනට් තීරණය කළ පසු අපි කට්ටියක් බෙනට් එක්ක අකුරළට ගොස් ලොකේෂන් බලා ආපසු ආවේ රූගත කරන්නට අවශ්‍ය පහසුකම් ද සපයා ගෙනය.  කාලයක් සංචාරක කර්මාන්තය සරුවටම කෙරුණු අකුරළ, යුද්ධය නිසා සංචාරක කර්මාන්තයට කණකොකා හඬා තිබුණු එකල පාළුවට ගිය ගමක් විය.  සංචාරක කර්මාන්තය ලෙල්ලටම බැස තිබීම හේතුවෙන් එහි තිබුණු හෝටල් ද ගෙස්ට් හවුස් ද පාළුවට ගොස් තිබුණි.  සංචාරක අහේනිය තරු හෝටලයේ සිට පාරේ තැඹිලි කපන මනුස්සයා දක්වා ම අසරණ කර තිබු අතර ගයිඩ් වැඩවලින් එදාවේල සොයාගත් තරුණයින් නන්නත්තාර කරදමා තිබුණි. 

සංචාරක පැමිණීම් ඉතා ඉහළ අගයක් ගෙන තිබු කාලයේ තැන තැන ලෑලි වලින් ඉදිව තිබු තාවකාලික නවාතැන් පොළවල් ද කඩද දිරායමින් පැවතුණි.  සංචාරකයින් නොමැතිවීම අපට අහම්බ වාසියක් වුණේ පාළුවට ගිය සංචාරක ස්ථාන සියල්ලම පාහේ ටෙලියේ දර්ශන තල බවට පත්කරගන්නට ලැබීමය.  ඊට අමතරව අත්‍යාවශයම දෙයවූ නවතින්නට තැනක් ද ඉතා අඩු මිළකට වෙන්කර ගන්නට ද හැකිවිය.  එය ඒ කාලයේ වැඩ නැතිව තිබුණු කුඩා හෝටලයකි.  කාමර පහකින් යුත් එම නවාතැනේ නළු නිළියන්ට ද නිෂ්පාදන කණ්ඩායමට ද කාර්මික ශිල්පීන්ට ද නැවතී සිටින්නට ඉඩ තිබුණි.  නවාතැන පිහිටා තිබුණේ මුහුද අයිනේ වූ අතර ඉදිරිපිටින් හිරිගල් වැටියකින් වටවී තිබු නොගැඹුරු මුහුද නාන්නටද පීනන්නටද කදිම ස්ථානයක් විය.

මේ වැඩ කටයුතුවලට එවකට ගාලු දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් වූ නන්දිමිත්ත ද සොයිසා මහතාගේ සහයෝගය ද ලැබුණේ ඔහු නිමල් ගමගේ ගේ හිතවතෙක් වූ නිසාය.  නන්දිමිත්ත ද සොයිසා ගේ නිවස පිහිටියේ අප නවාතැන් ගත් ගෙස්ට් හවුසියට පාරෙන් එහා පැත්තේ වූ අතර අප ලොකේෂන් බලන්නට හා වෙනත් වැඩවලට විටින් විට අකුරළ ගිය විට අපට කෑම ලැබුණේ ද ඔහුගේ ගෙදරිනි.  නන්දිමිත්ත ද සොයිසා මහතා නිතරම පාහේ ගෙදර නොසිටි අතර ඔහුගේ බාල සොහොයුරෙකු වූ කුමාර ද සොයිසා අපට අවශ්‍ය පහසුකම් සලසා දෙන්නට උනන්දු වුණේ සිය සොහොයුරාගේ දේශපාලන බලයද ඔහුගේ පිරිස් බලය ද යොදා ගනිමිනි.  මෙලෙස පහසුකම් සපයා ගැනීමෙන් පසු රූපගත කිරීම් සඳහා යන දිනය ලං ලංව පැමිණියේය.  සියලු රූගත කිරීම් සති දෙකක් තුළ අවසන් කරන්නට නියමිත වූ අතර ඒ සති දෙක තුළ සියලුම කලා ශිල්පීන්,  කාර්මික ශිල්පීන් හා නිෂ්පාදන කණ්ඩායම  අකුරළ නැවතී සිටිය යුතු විය.

මට තිබුණු ප්‍රශ්නය වුණේ සති දෙකක් කාර්යාලයෙන් නිවාඩු ගැනීමයි.  අපේ නිවාඩු විෂයය භාරව සිටියේ හික්කඩුවේ වවුලගල කෙල්ලක් වූ අතර ඇය මා සමග හිතවත්ය.  ඇය මට කීවේ සති දෙකක් නිවාඩු අනුමත කරගෙන යන්නට නොහැකි නිසා අසනීප බව දන්වා ටෙලිග්‍රෑම් එකක් එවන ලෙසත් ආපසු කාර්යාලයට එන දවසට වෛද්‍ය සහතිකයක් අරගෙන එන ලෙසත්ය.  මම ඇගේ උපදෙස් අකුරටම පිළිපැද්ද අතර අන්තිමේදී  නිවාඩු ටිකත් ඉතිරි කරදෙන්නට ඇය කටයුතු කළාය.

අකුරළ යන්නට නියමිතව තිබු දිනයේ අපි උදෑසනින් ගමන පටන් ගත්තත් ලාහට ගෙම්බන් එකතු කරන්නාක් සේ තැනින් තැන නවතා කට්ටිය එකතු කරගෙන ෆයින් විෂන් එකෙන් කැමරා උපකරණ හා කාර්මික ශිල්පීන් ද පටවාගෙන වාහන තුනකින් අකුරළ නවාතැන ට යනවිට සවස්වී තිබිණ.  ෆයින් විෂන් එකෙන් බඩු ගන්නට වුණේ එවකට බෙන් ෆිල්ම්ස් ආරම්භ කර නොතිබූ නිසාය.  නිළියන් හතර දෙනෙක් හා නළුවන් තුන් දෙනෙක් ආටිස් ලා වූ අතර වේෂ නිරුපණය කළේ ජේ. සුරනිමල ය.  කලා අධ්‍යක්ෂණය මා කලින් සඳහන් කළාසේ එස්.එච්. සරත් ට භාරව තිබු අතර ඔහු පැමිණ සිටියේ සිය සහයකයා වූ අතුල පීරිස් සමගය.  අතුල පීරිස් ගුරුවරයෙකි.  ගාල්ල කොටුවේ ලේන් බාන් වීදියේ පදිංචිකරුවකු වූ අතුල එවකට රාජ්‍ය නාට්‍ය සම්මාන ලද වේදිකා නාට්‍යයක් වූ 'සුභ සරණගත' නාට්‍යයේ නිෂ්පාදකයා විය.  කැමරාව මෙහෙයවීම කරන ලද්දේ පරාක්‍රම සිල්වා විසිනි.  ඔහු 'බිත්ති හතර' චිත්‍රපටය කැමරාව මෙහෙයවමින් අධ්‍යක්ෂණය කළේය.  සුගතපාල ද සිල්වා ලියු ඉතාම අපූරු පොතක් වන බිත්ති හතර පොත මා කියවා ඇතත් චිත්‍රපටය මේ දක්වා බලන්නට නොලැබිණි. 

දයා සුගතදාස ටෙලියේ නිෂ්පාදන කළමනාකරණය භාරව කටයුතු කළ අතර සහාය කැමරා ශිල්පියා වූ  චන්න දේශප්‍රිය කාර්මික ශිල්පීන් ගේ කණ්ඩායමද  භාරව සිටියේය.  දේශා සහ රුවන් බෙනට්ගේ අධ්‍යක්ෂණ සහායට සිටියහ.  ටෙලියේ සහායක චරිත හෙවත් පොඩි පොඩි චරිත රඟපාන්නට ද කීප දෙනෙක් පැමිණ සිටි අතර ගියදාට පසුවදා උදේම රූපගත කිරීම් ආරම්භ වුයේ ප්‍රධාන නිළිය මුහුදේ ගහගෙන යනවිට බේරා ගන්නා දර්ශනයක් රූපගත කිරීමෙනි.  නිළියන් කීප දෙනෙකුගේ නෝක්කාඩුව ඇරඹුණේ එදා රාත්‍රියේ සිටය.  පසුවදාද ඔවුන්ගේ දර්ශන රූගත නෙකෙරෙන බව දැනගන්නට ලැබුණු විට ඔවුන් නොසන්සුන් වුණේ කොළඹ සියලුම වැඩ දමා මෙහි ඇවිත් නිකං කාමරයට වී ඉන්නට බැරිය කියාය.

දේශා, රුවන්, නිහාල් සහ මම එක කාමරයක නවාතැන් ගෙන සිටි අතර දවසේ වැඩ අවසන්වූ පසු අම්බලන්ගොඩින් හෝ හික්කඩුවෙන් බෝතලයක් දෙකක් කාට හරි කියා කාමරයට ගෙන්වා ගැනීම සිරිතක් වී තිබිණි.  බයිට් වලට අලුත් මාළු වුවමනා තරම් වැල්ලෙන් ලාබෙට ගතහැකිය.  මාළුවෙක් දෙන්නෙක් අරගෙන කුස්සියට දුන් විට රසවත් බයිට් එකක් කාමරයටම ලැබේ. බෝතලය හිස් කරන්න උදව් වෙන්නට සුරනිමල ද අපේ කාමරයට එයි.  සුරනිමල පස්සෙන්ම කාමරයට එන්නේ එලන් සිල්වෙස්ටර් ය.  ඇයට අපි එලන් ඇන්ටි කියා ඇමතූ අතර දෙකක් වැදුණු පසු එලා යනුවෙන් නම කෙටිවෙයි.  දෙකක් දාගත් එලා බෙනට්ව පතුරු ගහන්නට ගනී.

" ඔක්කොම වැඩ අතහැරල මෙහෙ ආවෙ දවසකින් දෙකකින් යන්න පුළුවන් කියල බෙනට් කියපු හින්දනෙ.  බලන්නකො තවම එක ෂොට් එකක්වත් ගත්තෙ නෑ, ඔහේ කාමරේට වෙලා ඉන්නවා.  බෙනට් ට බම්බු ගහගන්න කියල මම හෙටම යන්න යනවා." එලා බරසාර හඬින් කියයි.

සුරනිමල ඇගේ කතාවට හුමිටි තබන අතර තවත් එකක් දාගන්නා එලා හඬන්නට පටන් ගනියි.

" මගෙ පුතා, මගෙ එකම පුතා, තනියෙන් දාල ආවේ.  මොන හිතකින් මම මෙහෙ ඉන්නද! එනව පුතේ මම හෙටම එනවා."

එලා සියල්ලම රඟපා පෙන්වයි.  කාමරය එකම විනෝද සාගරයකි.  අපි බඩවල් අල්ලාගෙන සිනාසෙමු.

" උඹල අහිංසක මට හිනාවෙනවා නේද කොල්ලනේ? උඹලට දරු දුක තේරෙන්නෙ නෑ! මගෙ එකම පුතා, අයියෝ.....මම කොහොම මේ දුක ඉවසන්නද?

රෑට කෑම සුදානම් වෙන තුරුම අපි එලාගේ රැඟුම් රස විඳින්නෙමු.  අපි හිනාවුණාට ඇතිවී ඇති තත්ත්වය බරපතලය.  බෙනට්ට විරුද්ධව කැරැල්ලක් ඇතිවෙන්නට තරම් විරෝධය ඉහළ ගොස් ඇත. බෙනට් සියල්ලන්ම එකවර කැඳවා ගෙනැවිත් තිබුණේ ඔහුගේ පහසුවට නමුත් කරන්නට තිබුණේ රූගත කිරීම් සිදුවන ආකාරයට කලාකරුවන් රැගෙන ඒමය.  කෙසේ වුවද දැන් කරන්නට දෙයක් නැත.  පටන් ගත්තු වැඩේ ඉවරයක් කළ යුතුය. 

බෙනට් ට විරුද්ධව කියන දේවල් පහුවදා එළි වන විට ඔහුගේ කණට යයි.  තත්ත්වය කළමනාකරණය කර ගන්නට බැරි තරමට ඉහළ ගොස් ඇති බව වටහාගන්නා ඔහු උදේම යක්ෂාවේෂ වේ.  කවුරුත් කතාබහක් නොකර තම තමන්ගේ වැඩක් කරති.  කෙසේ වුවද කිසි කෙනෙක් යන්නට ගියේ නැති නිසා රූපගත කිරීම් වලට කරදරයක් වුණේ නැත.  වැඩේ පොඩ්ඩක් වැරදුනේ ටෙලිනාට්‍ය කරණයට බෙනට් ආධුනිකයෙක් වීම නිසාය.  ඔහුගේ සහායකයින් වූ දේශා ද රුවන් ද පමණක් නොවැ නිෂ්පාදන කළමනාකරු වූ දයා සුගතදාස ද වැඩේට ආධුනිකයන්ය.  තමන්ට වැරදුණු බව වටහාගත් බෙනට් පසුකාලීනව කළ ටෙලිනාට්‍ය වලදී එම වරද සිදු නොකරන්නට පරිස්සම් විය.  

අපි නවාතැන් ගෙන හිටිය හෝටලය තිබුණේ මුහුද අයිනේ ය කියා මම කලින් කීවෙමි.  ඊට එහායින් ගාලු පාරය.  ගාලු පාරට එහායින් ගම පටන්ගත් අතර දුම්රිය පාර ඇදී ගියේ ගම මැදිනි.  අපි රූගත කිරීමට ප්‍රයෝජනයට ගත් දර්ශන තල පිහිටා තිබුණේ දුම්රිය මාර්ගයටද එහායිනි.  දුම්රිය මාර්ගය පැන්න විට හමුවන පහත් භුමිය දිය සීරාවෙන් යුක්ත එකක් වූ අතර අත්හැර දමා තිබු පාළු හිරිගල් වලවල් වල වතුර පිරී තිබිණි.  වලවල් වටේ බොරුපන් පඳුරු වැවී තිබු අතර කුඩා කහ පැහැති මල් සහිත ජලජ ශාක දියේ පාවෙමින් අලංකාර දර්ශනයක් මැවීය.  ලෑලි වලින් සාදා දිරාපත් වෙමින් තිබු කාමර සහ කඩ තිබුණේ මෙම අලංකාර පරිසරයේය.  මේ බිම් කොටසට අපි බොහෝ සේ ප්‍රිය කළ නිසා විවේකයෙන් සිටි හැම වෙලාවේම එම පරිසරයේ සුන්දරත්වය විඳිමින් ගතකරන්නට පුරුදුව සිටියෙමු. 

විහිළු කතා කියමින් එක එකාට කාඩ් ගසමින් හැම තිස්සේම විනෝදයෙන් සිටි කාර්මික ශිල්පීන් කණ්ඩායම හෙවත් කෲ එක සෙට් එකට ගිහින්ද විහිළු කළහ.  මේ විහිළුවලට නිහාල් ද සම්බන්ධ විය.  නිළියෙක්ගෙන් ගවුමක් ඉල්ලා ගන්නා නිහාල් ඒකත් ඇඳගෙන පොල් ගහක් යට වාඩිවී සිටින්නේ කෲ එකත් එක්කය.  කෝච්චියක් එන සද්දෙ ඇහෙන විට නැගිට ගන්නා නිහාල් දුවන්නට ගනී.  කෲ එකේ කොල්ලන් දෙන්නෙක් නිහාල් පිටිපස්සෙන් එලවාගෙන යති.  නිහාල් දිග ගවුම පැත්තකින් උස්සාගෙන ' බුදු අම්මෝ! මාව බේරාගනියෝ' කියා විලාප තබමින් හිරිගල් වලවල් වටේ දුවද්දී කෝච්චියේ යන උන් ජනෙල් වලින් ඔලුව පමණක් නොව ඇඟද එළියට දමාගෙන සිය දෑස් ඉදිරිපිට සිදුවන මේ මහා අපරාධය දුක්මුසු දෑසින් නැරඹුවත් උන්ට කරන්නට දෙයක් නැති අතර කෝච්චිය යන්නට යයි.  නිහාල් ද කෲ එකේ කොල්ලන් ද බඩ බදාගෙන හිනාවෙවී ආපහු ඇවිත් පොල් ගහ යට වාඩිවෙන්නේ තවත් කෝච්චියක් එනතුරුය.

ආවා වෙනුවට දවසක් නැවතී සිටි කලා අධ්‍යක්ෂ එස්.එච්.සරත් පසුවදා යන්නට ගියේ කලා අධ්‍යක්ෂණය සිය සහායක අතුල පීරිස් ට පවරා දෙමිනි.  තවත් දවසක් සිටි අතුල ද නිවාඩු නෑ කියා ආපහු ගාලු ගියේ කලා අධ්‍යක්ෂණය නිහාල් ට පවරා දෙමිනි.  කෲ එකට මේ ගැන කියන්නට කතා බොහෝ විය.

" සරත් පරාවෙක් අරං ගෙදර ගියා, අතුල ගල් මාළුවෙක් අරං ගෙදර ගියා, නිහාල් උඹ දැල්ලො ටිකක් වත් අරගෙන ගෙදර පලයං."  ඔවුහු නිහාල්ට විහිළු කළහ.

ගෙදර යන්නට හදිස්සියක් නොතිබූ නිහාල් තමන්ට පැවරුණු කලා අධ්‍යක්ෂණයේ සහයට මට කතා කළ අතර අපි දෙන්නා දන්නා විදියට කලා කටයුතු ටික කර දුන්නෙමු.  ඒ දවස්වල ගමේ කොල්ලන් වැඩි දෙනෙක් අපේ කණ්ඩායමේ කාට කාට හෝ හිතවත්ව ලඟින් සිටියේ තියෙන වැඩක් කර දෙන්නට වගේම ටෙලියේ කෑල්ලකට මුහුණ ඔබා ගන්නට තිබු වුවමනාව නිසාය.  නිහාලුත් මමත් එකට වැඩ කරන්නට වුණු එක ගැනද කෲ එක කතා හදන්නට වූයේ හැම එකාටම ඇසිස්ටන් කෙනෙක් ඉන්න නිසා නිහාල් මාව ඇසිස්ටන් කමට ගත්තා කියාය.  ඔය විදියට වැඩේ යද්දී මටද ඇසිස්ටන් කෙනෙක් හමු විය.  ඌ ගමේ අහිංසක  කොල්ලෙකි.

" අන්න යකෝ, අරූටත් ඇසිස්ටන් කෙනෙක් සෙට් වෙලා." කෲ එකට තවත් බයිට් එකකි.  මම යන හැම තැනම පස්සෙන් එන කොල්ලාට උන් කිව්වේ ඇසී හෝ ඇසියා කියාය.  එක දවසක ගාල්ල කොටුවේ දර්ශනයක් රූපගත කරන්නට කණ්ඩායම උදේම ගාල්ලට යන්නට නියමිත විය.  මම ඇසියා ටද පහුවදා උදේම හෝටලයට එන්නට කීවෙමි.  ඇසියා ටිකක් වෙලා මා දෙස බලා හිඳිමින්,

" මට ගාල්ලෙ ඇඳගෙන යන්න තරම් හොඳ කමිසයක් නෑ." යි කීවේය.  මට අඳින්නට ගෙන ගොස් තිබු නිල් පාට අත් කොට කමිසයක් මම ඇසියාට දුන්නෙමි.  කමිසය අතට ගත් ඇසියා ගේ දෑස් සතුටින් දිළිසෙන්නට වූ අතර ඌ පහුවදා එළිවෙන පාන්දරම කමිසයත් ඇඳගෙන හෝටලය ඉදිරිපිට පෙනී සිටියේය.

ඒ දවස්වල අපිත් එක්කම එකට හිටි තවත් තුන් දෙනෙක් ගැන කියන්නට තිබේ.  ඒ ලාංකිකයන් නොව සංචාරකයින්ය.  මේ අය කලින් ද ලංකාවට ඇවිත් පළපුරුදුකම් ඇති අය නිසා යුද්ධය තිබුණත් රටේ බෝම්බ පිපිරුණත් ලංකාවට නෑවිදින් ඉන්නට බැරි තරමට ලංකාවට ඇලුම් කරන අයයි.  එකෙක් අඩි හතක් විතර උස මහත දැවැන්ත ඇඟපතක් තිබු ජර්මන් ජාතිකයෙක් වූ අතර ඔහු කුමාරගේ ගෙස්ට් කෙනෙකි.  කුඩා සිරුරක් තිබු කුමාර ජර්මන් ජාතිකයා ඉදිරියේ අඟුටු මිට්ටේකු මෙන් විය.  රෑ පුරා සිංදු කියමින් විනෝදයෙන් ගතකර පාන්දර නිදාගන්නා ඔහු දවල්වී නැගිට ඇවිත් මුහුදට පනී.  මුහුදේ පැය ගණනක් නාගෙන ගොඩට විත් හෝටලයෙන් ලොකු  මාළුවෙක් රෝස් කරවාගෙන බියර් බොමින් දවල්ට කයි.  වෙරළේ රූගත කිරීම් කරද්දී ඔහු අපත් සමග හිතවත් වූ අතර ටෙලියේ දර්ශනයකට ද පෙනී සිටියේය.  දර්ශනයේ ෂොට් වරදින වරදින පාර නැවත නැවතත් ගනිද්දී නොසන්සුන් වූ ඔහු 'දැන් ඇති' කියා යන්නට අවශ්‍යයි කීවේය.  ඒ ගමන බෙනට් ගිහින් ඔහුට යාප්පුවෙන් කතා කළේ තව ටික වෙලාවයි කියා ඔහුව රඳවා ගන්නටය.  ක්ෂණයකින් ඔහු බෙනට් ව බෝනික්කෙක් මෙන් උඩට ඔසවා මුහුදට විසිකළේ සිනාසෙමිනි.  ඉන්පසුව හැම රෑකම අප හමුවන්නට හෝටලයට එන ඔහු රෑ මැදියමක් වෙනතුරු අපත් සමග ගීත ගයමින් විනෝද වෙන්නට පුරුදු විය.

ඊළඟට හිටියේ වයස අවුරුදු විසි ගණනක් වූ ස්විට්සර්ලන්ත ජාතික විශ්ව විද්‍යාල ශිෂ්‍යාවකි.  ඇගේ නම දැන් මට මතක නැති වුණත් උස මහත නිතර සිනාසෙන සුහදශීලී  සුන්දර තරුණියක් වූ ඇය අපි අකුරළට ආපු දා පටන් යන යන හැම තැනකම අපිත් එක්ක පස්සෙන් වැටී එන්නට පුරුදුව සිටියාය.  ගෝල්ඩ් ලීෆ් පැකට් දෙක තුනක් මල්ලක දාගෙන හෝටලයට එන ඇය ගංජා ඔස්තාර් කෙනෙකි.  ගංජා මිටිය සුදු මුදු ඇඟිලි තුඩින් පොඩිකර සිගරැට් දුම්කොළ ද මිශ්‍ර කරන ඇය මිටිය හුරුබුහුටියට ඔතන ආකාරය බලා ඉන්නට ලස්සනය.  බියර් බොමින් සිටි ඇයට වැඩි දවසක් යන්නට පෙර අපේ උන් ගල් බොන්නට පුරුදු කළේ අඩු මුදලට වැඩි සොමියක් ගන්නට හැකිය කියමිනි.  මිටිය ගහන්නට වැඩි කැමැත්තක් නොතිබූ අප හමුවන්නට ඉන්පසු ඇය ආවේ ගල් බෝතලයක් ද අරගෙනය.  ටික දිනකින්ම නිහාල් ඇය සමග ළෙන්ගතු කමක් ඇතිකරගත් අතර පාළු හිරිගල් වලවල් අයිනේද, වෙරළේ ගොඩට ඇද තිබු ඔරු කඳන් අස්සේද උන් දෙන්නාගේ ආදර ජවනිකා රඟ දැක්වෙන්නට විය.  රේල් පාර අයිනේ තිබු නිවෙසක උඩ තට්ටුවේ කාමරයක ඇය නැවතී සිටි අතර සංචාරකයින්ට කුලියට දෙන්නටම හදා තිබු ඒ කාමරයට පිටින් නගින්නට පඩිපෙළක් විය.

දවසක් දා නිහාල්ටත් මටත් දර්ශන තලයක රාත්‍රිය ගත කරන්නට සිදු වුණේ ඒ දර්ශන තලයට ගෙනගොස් දමා තිබු ජෙනරේටර්, ලයිට්, වයර් රෝල් ආදියේ ආරක්ෂාවටය.  රෑට කෑමත් ඔතාගෙන අපි දෙන්නා යන්නට ලෑස්ති වෙද්දී සුරනිමලත් අපි පස්සෙන් වැටුණේ තනියම ඉන්නට කම්මැලියි කියමිනි.  ටිකක් දුර යන විට දේශා ද අපේ පස්සෙන් දුවගෙන එනු දුටුවෙමු.  දර්ශන තලයේ හාන්සිවී ගෙනිච්ච බෝතල් කඩාගෙන සප්පායම් වූ අපි එය අවසන් වූ පසු ගෙනගිය කෑම කෑවෙමු.  කෑම කා අවසන්ව බලන විට දැක්කේ බොන්නට වතුර ගෙනැවිත් නැති බවය.  " උඹලා දෙන්නා ඔහොමම ඉඳිල්ලා 'යි දේශාට සහ සුරනිමල ට කී නිහාලුත් මමත් රේල් පාර දිගේ පහළට ආවේ කාගේ හෝ ගෙදරකින් බොන්නට වතුර ටිකක් ඉල්ලා ගන්නටය.

රේල් පාරේ ටිකක් දුර එන අපට එක්වරම ඇසුණේ සංගීත වාදනයකි.  කොහේද කියා විපරම් කොට බැලු කල සංගීතය ඇහෙන්නේ අර කෙල්ලගේ කාමරයෙනි.  ඩෝලයක් ද සර්පිනාවක් ද වාදනය වෙමින් තිබු අතර ගී හඬක් ද ඒ අතරින් පාවී ආවේය.  සිත් මන්මත් කරන සංගීත නාදයට උන් හිටි තැන් අමතක වූ අපි දෙන්නා රේල් පාර පැන පඩිපෙළ නැග කෙල්ලගේ කාමරයට ගියෙමු.  සර්පිනා කාරයාද ඩොල්කි කාරයාද බිම වාඩිවී ගීත කියමින් සංගීත රසයෙන් මත්ව ආවේස වුවන් සේ වාදනය කරන අතර කෙල්ල ඇඳේ සිට මිටියක් ද උරමින් දෑස් පියාගෙන ගී රස විඳිමින් සිටියාය.  ගිය වැඩේ අමතකවූ අපි දෙන්නාද  මොහොතකින් සංගීතයට හවුල් වුණෙමු.  පැයක් පමණ සංගීත රසයේ වෙළී ඉන්නාවිට දොරට තට්ටු කරන සද්දයකි.   වතුර ගේන්නට ගිය උන් දෙන්නාට මොකක් වී දැයි බලන්නට සුරනිමල ද දේශා ද කාමරයට ඇවිත්ය.  අපි දෙන්නා කොහෙ ගියාදැයි සොයාගන්නට බැරිව උන් රේල් පාරේ ඇවිදිද්දී කාමරයෙන් එන සංගීත නාදය ඇසී "මුන් දෙන්නා ෂුවර් එකටම මෙතැන ඇති යැ' යි කියා කාමරේට ආ බව කියද්දී වතුර ගෙනෙන්නට ආ බව අපටත් මතක් විය.  එදා අපි දැමු සාජ්ජය පාන්දර වෙනතුරු ඇදීගිය අතර කොයි වෙලේ නිදාගන්නට ගියාදැයි අපට මතක තිබුණේ නැත.  පහුවදා උදේ මළකඳන් සේ වැටුණු වැටුණු තැන්වල නිදාසිටි අපට ඇහැරවන ලද්දේ රූගත කරන්නට ලෑස්තියෙන් ආ අනෙක් අය විසිනි.  ' මුන් ටික ඊයෙ රෑ ටොප් එකට මුර කරල තියෙනවා' අප දුටු බෙනට් කීවේය.   සාජ්ජයේ මමත් නිහාලුත් සිංදු කියද්දී දේශා ගත්ත පිංතුරයක් නිහාල්ගේ මුහුණු පොතේ තියෙනවා මම මේ ළඟදී දුටුවෙමි.

අනික් සංචාරකයා වුයේ උස කෙට්ටු කොල්ලෙක් වූ ඔස්ට්‍රියන් ජාතිකයෙකි.  ලෝගුවක් වැනි රෙදි බැනියමක් හැඳ දිගට වැවුණු කොණ්ඩය උඩට කර බැඳගෙන භාවනානුයෝගීව මෙන් සිටි ඔහු අපේ වැඩ කටයුතු ගැන කොහෙත්ම උනන්දුවක් නොදැක්වූ අතර වැඩිපුර කාමරයෙන් පිටතට ගියේ නැත.  දක්ෂ චිත්‍ර ශිල්පියෙක් වූ ඔහු හැම වෙලේම කුමක් හෝ චිත්‍රයක් අඳිමින් සිටි අතර ඔහුගේ චිත්‍ර ගැන කුතුහලයක් ඇතිවූ අපි නිතරම ඔහුව හමුවන්නට කාමරයට ගොස් එක එක ප්‍රශ්න අසමින් ඔහුට කරදර කළෙමු.   නිතරම වැනිලා සුරුට්ටුවක් කටේ ගහගෙන චිත්‍ර අඳින මේ තරුණයා පුද්ගල චිත්‍ර හෙවත් පෝට්රේට් ඇඳීමේ අති දක්ෂයකු බව අපි දැනගත්තේ දයා සුගතදාස ගේ පෝට්රේට් එකක් දයා ජීවමානව ඉන්නවා මෙන් ඇඳ දුන් පසුවය.  චිත්‍රය දුටු දයා සුගතදාස ගේ සතුට නිම් හිම් නැතිවිය. ආපසු හෝටලයට පැමිණි දයා මොකක්ද වැඩකට අම්බලන්ගොඩ යන්නට සුදානම් ව සිටි ලින්ටන් සේමගේ ට වැනිලා සුරුට්ටු පෙට්ටියක් අරගෙන එන්නට කියා සල්ලි දුන්නේ සුරුට්ටු පෙට්ටිය චිත්‍ර ශිල්පියාට තෑගී දෙන්නට හිතාගෙනය.  

සුරුට්ටු පෙට්ටියත් අරගෙන ලින්ටන් ආපහු එනවිට දයා සුගතදාස කොහේදෝ ගමනක් ගොසිනි.  චිත්‍ර ශිල්පියාගේ පළහිලව්ව නොදත් ලින්ටා කණ්ඩායමේ සිටි සුරුට්ටු බොන්නෙකු වූ එල්සන් දිවිතුරගම නොහොත් එල්සන් අයියා නොහොත් එල්සා ට සුරුට්ටු පෙට්ටිය දුන්නේ සුරුට්ටු ගේන්නට කිව්වේ එල්සාට දෙන්නට යැයි සිතාගෙනය.  සුරුට්ටු පෙට්ටිය ලැබීමෙන් සතුටට පත් එල්සා එවේලේම සුරුට්ටුවක් දල්වාගෙන අදින්නට විය.  දයා සුගතදාස ආපසු එනවිට එල්සා සුරුට්ටු දෙක තුනක් ඉවර කරලාය.  දයා හමුවූ ලින්ටා සුරුට්ටු පෙට්ටියේ ඉතුරු සල්ලි දුන්නේය.

" සුරුට්ටු පෙට්ටිය කෝ?" දයා ඇසීය.

" ආ! ඒක මම එල්සන් අයියට දුන්නා." ලින්ටා කීවේය. දයාට යකා නැග්ගේය.

" ඇයි යකෝ, මම ඒක ගේන්න කිව්වෙ අර මනුස්සයට දෙන්නනෙ, මොන මඟුලකටද එල්සන් ට දුන්නෙ මගෙන් අහන්නෙ නැතුව?" දයා ගෝරනාඩු කරන්නට විය.

" ඔය කතාවක් මම දන්නවැයි? මම හිතුවෙ එල්සන් අයියට දෙන්න ගෙන්නගත්තා කියල." කලබල වූ ලින්ටා බස බස ගා කීවේය.  

" ඇයි යකෝ මොන මඟුලකටද මම එල්සන්ට සුරුට්ටු පොවන්නෙ?  තමුසෙලට වැඩක් කියනවට වඩා හොඳයි කට ගලක උලාගන්න එකැ'යි කී දයා එවේලේම කාර් එකට නැගී අම්බලන්ගොඩ ගියේ තවත් සුරුට්ටු පෙට්ටියක් ගෙනෙන්නටය.

සාමාන්‍යයෙන් කේන්ති නොගන්නා නිහඬ චරිතයක් වූ දයා සුගතදාසට කේන්ති ගියා අපි ඔය දැක්කාමය.  දයා ලින්ටාට බනිද්දී අපි හිනා නොවී කට තද කරගෙන හිටියත් දයා පිටත් වූ පසු බැණුම් අසා අප දෙසට එන ලින්ටා දුටු අපේ සිනහව බකස් ගා එළියට පැන්නේය.  මේ කතාව කෲ එකේ උන් දැනගත් පසු උන්ගෙන් නම් ලින්ටාට මෙන්ම දයාට ද බේරිල්ලක් නැතිවිය.

ලින්ටන් ව ඉන්පසු දවසක් මට හමුවුණේ අරංගල දේශලා ගේ ගෙදරදීය.  ඔහු නිෂ්පාදනය කරන ටෙලියක් දේශාට කියා කරවා ගන්නට අවශ්‍ය වූ ලින්ටන් එදා ඇවිත් සිටියේ ඒ ගැන සාකච්ඡා කරන්නටය.  උන් දෙන්නා කතා කරමින් සිටින අතර මම ලින්ටන් අත තිබූ තිර රචනය ඉල්ලාගෙන කියෙව්වෙමි.  කතාව කියවූ මට දැනුණේ කතාවේ මොකක්දෝ කියාගන්නට බැරි අසම්පූර්ණ බවකි.  මම ඒ ගැන පසුව දේශාට ද කීවෙමි.

" ස්ක්‍රිප්ට් ඔහොම තමයි බං, ෂූට් කරද්දී ගොඩක් දේවල් වෙනස් වෙනවා, එතකොට හරියයි." 

දේශා එවෙලාවේ කිව්වේ එහෙමය.  සිතුවාක් මෙන්ම මෙලෝ රහක් නොතිබූ ඒ ටෙලිය පසුදිනෙක රූපවාහිනියෙන් විකාශය වනු මම බලා සිටියෙමි.  ලින්ටන් නැවතත් මට මුණගැසෙන්නේ ඊටත් අවුරුදු විස්සකට පමණ පසුව කැලිපෝනියාවේ ලොස් ඇන්ජලීස් නුවරදීය.  එවිට ලින්ටා ලංකාවේ පදිංචිය අතහැර ඇමෙරිකාවට සංක්‍රමණය වී සිටියේය.  බොහෝවිට ඔහු එන්නට ඇත්තේ සම්මාන දිනු චිත්‍රපටයක් වූ ලින්ටන් රඟපෑ 'මීහරකා' ඇමෙරිකාවේ ප්‍රදර්ශනය කරන්නට විය යුතුය.   මා හමුවන විට ඔහු ඇමෙරිකාවේ ගල්වී ටික කලක් වූ අතර අඹු දරුවන් ද ඔහු සමග විය.

ඒ වනවිට මා ඇමෙරිකාවට ගියා විතරය.  ඉන්නට ගෙයක් නොවූ අතර ගෙයක් ලැබෙනතුරු මා නැවතී සිටියේ හෝටලයකය.  ලොස් ඇන්ජලීස් වල ශ්‍රී ලාංකිකයන්ගේ සංවිධානයක් විසින් ශාලාවක පවත්වන්නට යෙදුණු සංගීත ප්‍රසංගයකට අපේ ලොක්කාට ද ආරාධනයක් විය. හරියටම කිව්වොත් ප්‍රසංගය තිබුණේ මම ආපු දවසට දවසකට පසුවය.  ලොක්කා වැඩේ මට පවරා අඹු දරුවන් බලන්නට සති අන්තයේ කැනඩාවට ගියේය.  එය ඒ පළාතේ පදිංචි ලාංකිකයන් ගී ගයන ප්‍රසංගයක් වූ අතර ලින්ටා ව මට හමුවුණේ එහිදීය.  ප්‍රසංගය ඇරඹෙන තුරු අපි දෙන්නා එළියට වී පරණ කතා මතක් කරමින් සිනාවෙමින් සිටියෙමු.  ප්‍රසංගය ආරම්භයේ පොල්තෙල් පහණ පත්තු කරන්නට ඇති නිසා මට ඉදිරිපස අසුනක වාඩිවෙන්නට වූ අතර ලින්ටා මගෙන් සමුගෙන ඔහුගේ යහළුවන් හමුවන්නට ගියේය.  

මා වාඩිවී සිටි අසුනට වම්පසින් වූ  ආසනයේ වාඩිවී සිටියේ සුන්දර කාන්තාවකි.  තරුණවිය පසුකර ටික කලක් ගතවී ඇති බව පෙනුණු ඇය තරුණවිය ඉක්මෙන විට ඇතිවන තරබාරු කමෙන් මිදී ශරීරයේ හැඩය හොඳින් පවත්වාගෙන යන්නට උනන්දු වී ඇති බව පෙනිණි.  එතැන වාඩිවෙද්දී මා සමග සිනාසුණු ඇය ටිකකින් මා සමග කතාවට වැටුණාය.  ඇමෙරිකාවේ දී මීට පෙර නොදුටු කෙනෙක් වූ මා කවුද, කුමකට ආවේද, පදිංචිය කොහේද, පවුලේ විස්තර කෙසේද ආදී කාන්තාවන්ගේ සහජ කුතුහලය හා බැඳුණු ප්‍රශ්න රාශියක් ඇයට විසඳාගන්නට තිබු අතර ඇය ඇසු ප්‍රශ්න සියල්ලටම මම සුහදව පිළිතුරු දුන්නෙමි.   

ප්‍රසංග සංවිධායකයින් ඉක්මන් වුණේ රෑ බෝ වෙන්නට පෙර ප්‍රසංගය ආරම්භ කරන්නට නිසා කතා පැවැත්වීම,පොල්තෙල් පහණ දැල්වීමේ ආදී ආරම්භක කටයුතු ලහි ලහියේ සිදුවිය.  ප්‍රසංගය ආරම්භ වී ගායක ගායිකාවන් එකා පසුපස එකා බැගින් වේදිකාවේ ගී ගයනු අපි අසා සිටියේ ගැයුණු ගීතවල හොඳ නරක ගැන අප දෙදෙනා අතර කෙරුණු කතා බහක් ද සමගය.  තව මොහොතකින් ඇගේ නම කියැවුණු අතර නැගී සිටි ඈ වේදිකාවට ගොස් ගීතයක් ගායනා කළාය.  ඇය එදා ගායනා කළේ මරියසෙල් ගයන 'මල්ලිකා කියා රැවටිලා මට කතා කළා දෝ' නම් ජනප්‍රිය ගීතය බව මට අදද හොඳට මතකය.  එම ගීතය ඈ  සැහැල්ලුවෙන් සිටගෙන, ආයාසයකින් තොරව රසවත්ව ගායනා කළ බවද මතකය.  වේදිකාවේ කියැවුණු ඇගේ නම ආපසු මතක් කරගන්නට මම උත්සාහ දැරුවෙමි.

'ශිරානි කෞශල්‍යා' ඒ ඇගේ නමයි.  නම ඇසු මොහොතේ මීට කලින් ද ඒ නම අසා ඇති සැටියක් ලාවට වගේ මතකයට ආවත් කොහෙදීද, ඈ කවුද යන වග ඒ මොහොතේ මගේ සිතට ආවේ නැත.  ගීතය අවසන් කළ ඇය ආපසු අවුත් මගේ ලඟින් වාඩිවූවාය.  

" සිංදුව කොහොමද? බැණ බැණ අහගෙන හිටියද?" ඇය මගෙන් ඇසුවාය.

" නෑ, බනින්න දෙයක් තිබුනෙ නෑ. අහගෙන ඉන්න පුළුවනි" මමද විහිළුවකින්ම පිළිතුරු දුන්නෙමි.

" අපෝ, අහගෙන හිටිය විතරද? ඇයි අනේ රස වින්දෙ නැද්ද? මම ලස්සනට සිංදුව කිව්වෙ නෑ කියලද කිව්වෙ? " ඇය ඇසුවේ ආරූඪ කරගත් දුක්මුසු බවකින් යුතුවය.

" නෑ නෑ හරිම මිහිරියි, මම ආසාවෙන් රස වින්දා. ඇයි දන්නවද, ඔබ කිව්වෙ මම කැමතිම සිංදුවක්" මා කියූ විට ඇගේ මුහුණ ආලෝකමත් විය.  

" මට ශිරානි කියන්න." ඇය කියා සිටියාය.  

ප්‍රසංගය අවසන් වන තුරු අප දෙදෙනා විවිධ මාතෘකා ගැන කතා කළ අතර ඇය කීවේ මීට වසර විසි ගණනකට පෙර විවාහ වන්නට ඇමෙරිකාවට පැමිණ මේ දක්වා ඇමෙරිකාවේ ජීවත්වන බවත් දරුවන් ඉගෙන ගෙන රැකියාවන්හි නියුක්ත අතර ඔවුන් විවාහවී සිටින බවත් ඇයද මෑතකදී සිට සැමියාගෙන් වෙන්වී හුදකලා ජීවිතයක් ගතකරන බවත්ය.

" බැඳපු ජෝඩුවකට වෙන්වෙන්න තරම් ප්‍රශ්න නොතිබුණත් වෙන්වෙන එක මේ රටේ විලාසිතාවක් වෙලා තියෙන්නෙ.  ඒ විලාසිතාව දැන් ලංකාවෙ අයටත් බෝවෙලා වගේ නේද? මම අසා සිටියෙමි.

" ඒ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න මට නම් තේරෙන්නෙ නෑ." ඇය ප්‍රශ්නයෙන් ලිස්සා ගියාය.

අපේ කතාව අතරේම ප්‍රසංගයද අවසන් විය.  ප්‍රසංගය අවසානයේ පැමිණ සිටි ආරාධිතයන්ට සංග්‍රහයක් ද වූ අතර සංග්‍රහය භුක්ති විඳ අපි සමුගත්තෙමු.  සමුගන්නට පෙර ශිරානි ඇගේ ලිපිනයත් දුරකථන අංක දෙකකුත් මගේ අතේ වූ කුඩා ඩයරියේ සටහන් කළාය.  පැමිණි ගමන්ම නිසා ඇයට දෙන්නට කාඩ්පතක්, ලිපිනයක් හෝ දුරකථන අංකයක් මා සතුව නොමැතිවීම ගැන මගේ කණගාටුව මම ඇයට ප්‍රකාශ කළෙමි.

" ආ! ඒකට කමක් නෑ නම්බර් එකක් ලැබුණම කතා කරන්නකො." ඇය කීවාය.

ප්‍රසංගය අවසන්ව ආපසු එද්දී මෙන්ම නින්දට යද්දීද මට සිතුණේම ඇගේ රුව මා හොඳට දැක පුරුදු බවත් නමත් හොඳට අසා ඇති නමක් බවත්ය.  ඒ ගැන සිතමින්ම මම නින්දට ගියෙමි.  මගේ සිත තුළ වූ ගැටළුවට පිළිතුරු ලැබුණේ පසුදා උදයේය.  ශිරානි කෞශල්‍යා අසුව දසකයේ මුල් භාගයේ නිපදවුණ ආන්දෝලනාත්මක චිත්‍රපටයක් වූ 'මලට නොඑන බමරු' චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාමින් සිනමා ක්ෂේත්‍රයට පිවිසි නිළියකි.  එයින් පසු තවත් චිත්‍රපට හතරක පමණ රඟපෑ ඇය සිනමාවට එක්වරම සමුදුන්නේ විවාහ වීම සඳහා විදේශගත වන්නට සිදුවීම හේතුවෙනි.

ඇය සමග කතා කරද්දී මේ විස්තර කිසිවක් මතකයට නොඒම ගැන මම මටම සාප කරගත්තෙමි.  මෙතරම් ජනප්‍රිය නිලියක් ගැන නොදැන සිටි මා අමු මෝඩයෙකැයිද කලා විහීන මුග්ධයෙකැයි ද ඇය සිතුවා නම් එය ඉතා සාධාරණය.  ඇයද මා සමග කතා කරද්දී තමා නිළියක් බව හැඟෙන එක වචනයක් වත් නොකී අතර කීවා නම් සමහර විට මගේ මතකය අවදි වන්නට තිබිණි.  කෙසේ වුවද ඒ අපේ පළමු මෙන්ම අවසාන හමුවද වූ අතර එදා ඇය ගැන මතකයට නොඒම ගැන ඇතිවූ ලැජ්ජා සහගත චිත්තය නිසාම දුරකථනයක් ලැබුණු පසුවද ඇයට කතා කරන්නට හිත හදා ගන්නට මට නොහැකි වූ අතර, ඉන් වසර කීපයකට පසු මා ඇමෙරිකාවෙන් පිටත්ව ආපසු එනතුරුම  ඇයව මට කොතැනකදීවත් හමු නොවීය෴